Thursday, October 29, 2015

සුදුමල් පොකුර කැරකෙන රෝදයට යටවේ...


සිංදු ඇනෝ කියා බ්ලොග්කරුවෙක් සිටින්නේය. මල වදයක් ඇත්තේ උගෙන්මය. පෝස්ට් එකක් දැම්මොත් එතැනට ගැලපෙන සිංදුවක් ඔබන්නේය. අසා ඇති ගීත මෙන්න අසා නැති නාට්‍ය ගීත පවා ගෙනත් කමෙන්ට් කර ගැලපෙන ආතල් එකක් දෙන්නේය. ඒ නිසාම ගීත ගැන යමක් ලිවිය යුතු යැයි සෑමාට සිතුණේය. ගීත කිව්වාම සෑමාට ඇත්තේ භාණ්ඩාගාරයක්ය. ඒ සෑමා හිතං ඉන්න හැටිය. ලොකු සීන්ය. ගම්පහ ගෙට්ටුවේ සෑමා ගොඩ ගියේ ගීතයෙන් ගීතය කරන්නට ගොස්ය. අඩියක් ගැසූ විට භාණ්ඩාගාරය උපරිමයෙන් ඕපන් වෙන නිසා සිංදු හදලා හෝ කිවිය හැකිය. එදා ගීත උපන්නේ අඩිය නිසාය. කුඩා කළ සිටම ගයන්නට බැරි වුවත් ගීත අසන්නට තිබූ ප්‍රියතාවය නිසා ගී පද වැල් සෑහෙන ප්‍රමාණයක් සෑමාට මතකය.



බොහොමයක් ගීත අපට බොක්කට වදින්නේ කොහෙන් හෝ කොනකින් අපේ ජීවිතයට සම්බන්ධ නිසාය. එලෙස සමහර ගීත ලයිෆ් එකේ කොනකට බද්ධ වූ හැටි හා එවන් ගීතවල කික් එක පෝස් එකක් මඟින් සමාජ ගත කළ යුතු යැයි සෑමා සිතීය. ඒ චින්තනය සිත දරාගෙන ගීත එකින් එක මතක් කළ සෑමාට සිතුනේ සියල්ල එක පෝස්ට් එකකට ගැබ් කළ නොහැකි බවය. එනිසා වෙනම කැටගරියකට දමා පෝස්ට් කිහිපයක් ලිවිය යුත්තේ යැයි සිතුණේය. මේ ලියැවෙන්නේ සැමාගේ ලයිෆ් එකේ ටැග් වූ ගීතයන්ය. මොන්ටිසෝරි යද්දී ෂර්ට් එකේ ටැග් වූ හොටු ලේන්සුව මෙන් ලයිෆ් එකේ එදා මෙදාතුර ටැග් වූ ගීත ගැන මෙලෙස ලියැවෙන්නේය.

අද මෙන් එදා හාඩ් ඩිස්ක් නැතිය. සීඩී නැතිය. තිබුණේ කැසට් පීස් පමණක්ය. බොහොමයක් ඔරිජිනල් ඒවා පට්ට ගසා ඒ උඩින් එෆ් එම් නාලිකාවල යන ගීත රෙකෝඩ් කරන්නේ නිවසේදීමය. කැසට් පීස් එකේ උඩ පැත්තේ ඇති ප්ලාස්ටික් කැබැල්ල කැඩූ විට පීස් එකේ කිසිවක් රෙකෝඩ් කළ නොහැකිය. එලෙස කරන්නේ ඔරිජිනල් එකේ ආරක්ෂාවටය. එසේ කැඩුණු ඒවාට කඩදහි කැබලි ඔබා නැවත රෙකෝඩ් කළ හැකි පරිදි සකසා ගත හැකිය. ටේප් කැඩුණු ඒවාද සෙලෝ ටේප් කර නැවත භාවිත කෙරෙන්නේය. ඒවා ඉන්පසු භාවිත කළ යුත්තේ ඉතා පරිස්සමෙන්ය. නැවත කැසට් පීස් එක FF ෆාස්ට් ෆෝවර්ඩ් හෝ RW රිවයින්ඩ් කරද්දී හෝ එතැනින් කැඩී යා හැකිය. එහෙමත් නැවත කෙළ වුණහොත් ටේප් එක එළියට ඇඳ දමා ගලක් එක් කෙලවරක ගැට ගසා ගල් මාට්ටුවක් ලෙස ගසකට පැටලීම සිරිතය. එලෙස පැටලුණු සුළඟට හෙල වෙද්දී දැනෙන්නේ මාර ආතල් එකක්ය.

සෑමාගේ ගෙදර කැසට් පීස් සැට් එකක් තිබුණේය. ඒ අතර අම්මා ගත් ඒ කාලේ ජනප්‍රිය වූ ගීත සහිත කැසට්ද තිබුණේය. සෑමාට හොඳටම මතක ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ “සුදුමල් පොකුරක්“ ගීත සැට් එක තිබූ කැසට් එකය. අතුලගේ සැනසෙන් නැලවෙන්න සුදෝ කැසට් පීස් එකද තිබුණේය. අපි ඒ කාලේ පිංකාට කියන්නේ ඒ සිංදුවය. පිංකා කියන්නේ පුංචීටය. අම්මාගේ නංගීය. අම්මාගේ නංගී අපට පිංකාය. පිංකාට අපෙ අම්මා කිව්වේ “සුදෝ“ කියාය. ඉතිං පිංකාට තද වූ විට “සැනසෙන් නැලවෙන්න සුදෝ...“ කියූ විට තවත් මලය. ඒ කැසට් පීස් අම්මා දිවි හිමියෙන් සුරැකියේය. මන්ද අපි ඊට උඩින් අපේ ආරයේ සිංදු රෙකෝඩ් කරන නිසාය. අපේ ගෙදර කැසට් සැට් එකේ පීස් දෙකක් දැමිය හැකිය. A එකෙන් ප්ලේ කළ හැකි අතර, B එකෙන් ප්ලේ කිරීම හා රෙකෝඩ් කිරීම යන දෙකම කළ හැකිය. එහි වටිනාකම වූයේ කාගේ හෝ කැසට් එකක් සැට් වුණොත් ඉන් කොපියක් ගසා ගැනීමට හැකි වීමය.

අපි කැසට් රේඩියෝ එක දාගෙන ඉන්නා විට අම්මා බලන්නේ B එකේ හෙවත් රෙකෝඩ් කරන පැත්තේ කැසට් එකක් තියෙනවාද කියාය. ප්ලේ කරන්නට එක බට්න් එකක් එබිය යුතු බවත්, රෙකෝඩ් කිරීමට බට්න් දෙකක් එබිය යුතු බවත් ඇය දන්නීය. නඩුව පත්තු වෙන්නේ බට්න් දෙකක් ඔබා ඇති විටකය. ඒ නිසා සෑමා බොහෝ විට පරණ කැසට්වල රෙකෝඩ් කරද්දී පවා බට්න් සැට් එක වැසෙන්නට යමක් තබන්නට උත්සාහ කළේය. නැති නම් වන්නේ බැනුම් කෝටියකට එකක් වැඩියෙන් අසන්නටය. තත්වය මෙසේ තිබියදී දිනක් සෑමා අම්මාට අතේ මාට්ටු වූයේය. ඒ ප්‍රින්ස්ගේ සුදුමල් පොකුරක් කැසට් පීස් එකේ සිංදුවක් රෙකෝඩ් කරමින් තිබියදීය.

රේඩියෝවේ එෆ්.එම් එකක වාදනය වුණේ අපූරු ගීතයක්ය. ගීතය තවත් දුර යන්නට නොදී රෙකෝඩ් කර ගත යුතුය. ඒ සඳහා කැසට් පීස් සෙවීමට කාලයක් නොතිබුණේය. සෑමා කලබල වී රෙකෝඩ් කරන කොටස ඇතුලේ තිබූ කැසට් පීස් එක උඩින්ම සිංදුව රෙකෝඩ් වෙන්නට දැම්මේය. රෙකෝඩ් වෙන අතරතුර බැලූ කළ ඇතුලේ තිබුණේ සුදු මල් පොකුරක්ය. පීස් එකේ මුලන්ම යන්නේද ඒ ගීතයමය. පිය ගුණ ගීයක්ය. අම්මාට මාට්ටු වුණොත් බඩුය. එහෙත් සිංදුවට දැනටමත් කෙළවී ඇති බව ෂුවර් නිසා සෑමා හිත හදා ගත්තේ දැන් රෙකෝඩ් වෙන ගීතය අවසන් වූ පසු කැසට් පීස් එක පැත්තකින් තබා මාරු වෙමි කියාය. සිංදුව අහවර වෙන්නට මොහොතක් තිබියදී අම්මා බට්න් දෙකක් ඔබා තිබෙනු දැක සෑමාට කෑගැසුවේය.

“මොකද මොකද මේ බට්න් දෙකම ඔබලා..“ කියද්දීම සිංදුව අහවර විය. සෑමා ක්ෂණිකව රෙකෝඩින් නැවැත්තුවේය. දැන් වැඩේ ලෙසටම සැට් වී ඇත. අම්මා පෙරැත්ත කළේ දැන් ප්ලේ කරලා පෙන්නපං කියාය. නැවත මුල් තැනට ගැනීමට පීස් එක රිවයින්ඩ් කළ සෑමා හිත හදාගෙන ප්ලේ බට්න් එක එබුවේය. මියුසික් එක අපුරුය. ගීතය පටන් ගත්තේය.

කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉඳගෙන මම ඉන්නේ
පදික වේදිකා පසු කර යන්නට
තල්ලු කරන් පුතුනේ

කැඩුණු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු කරන් පුතුනේ

කිරි කැටි දෙ අතේ සවි බල දියවේ
පමා වුණොත් අප මහ මග තනි වේ
අම්මා මග ඇති නෙත් හරවා ගෙන
තල්ලු කරන් පුතුනේ

ගීතය එඩ්වඩ්ගේය. අම්මා සද්ද නැත. ප්‍රින්ස් ගේ සුදුමල් පොකුරට කෙළ වූ බව අමතකය. රෙකෝඩ් වූ ගීතයද අවුලක් නැතිය. අම්මාට මතු වූයේ එකම ගැටළුවක්ය. 

“අයියෝ අන්තිමට මම කෑගහපු ටිකත් රෙකෝඩ් වෙලානේ.. ඒකත් නැත්තම් නියමෙට තියෙනවා“

Written_by_sAm_ශ්‍රී_Perera_7:06pm_29/10/15

41 comments:

  1. ඇත්තට කැසට් රේඩියෝ කාලෙ නේද .හීනයක් වගෙ.
    දැන් කැසට් පටයක් හොයාගන්න බැරි තරම්.

    ReplyDelete
    Replies
    1. මහ කාලයක් ගියාද? ඒ වෙනසට !

      Delete
  2. //සිංදු ඇනෝ කියා බ්ලොග්කරුවෙක් සිටින්නේය. මල වදයක් ඇත්තේ උගෙන්මය. පෝස්ට් එකක් දැම්මොත් එතැනට ගැලපෙන සිංදුවක් ඔබන්නේය. අසා ඇති ගීත මෙන්න අසා නැති නාට්‍ය ගීත පවා ගෙනත් කමෙන්ට් කර ගැලපෙන ආතල් එකක් දෙන්නේය. //

    එකෙන්ම... සිංදු ඇනෝට හෙනම ගහලා හෙනම ගහලා අකුලෝගෙනම පල !!! හැක හැක

    ReplyDelete
    Replies
    1. ඇකිලිලා ගිහින්ද කොයිද බං. වෙනදට මුලින්ම එන එකා අද සද්ද නැහැ..

      Delete
    2. අපොයි ඔව්.. ඌ මල කරදරකාරයෙක්..අපි ඉරාගෙන කමෙන්ට් / පොස්ට් දානවා ඌ සිංදු දානවා

      Delete
    3. ඌ හදලා දාන සිංදුද මන්දා...

      Delete
    4. අඩෝ වල් පත්තරයා , තන් මෙන්ඩා ...බලාගෙන හිටු අකුලෝගෙන යනකල් .තොපිත් එක්කම තමයි යකෝ යන්නේ .මරාගෙන මැරෙනවා ...හැක් හැක් ..

      @සෑම් , ඔව් බන් මේ දවස් ටිකේ අකුලොගෙන තමයි හිටියේ ...මේකත් මේ අහම්බෙන් දැක්කේ ..

      සින්දු කියලා අපි හොයාගත්ත සල්ලි
      අද කුඩුවෙනවා මල්ලි
      පන් මල්ලට දාගත් පොඩි බඩුකෑලි
      ඈයි මිල වෑඩි මුදලාලි
      අපි කන හෑටි ලිපවත් දන්නෑ නන්ගි
      හිටියට අපි හිට් වි
      සන්ගිතෙන් අපි හොදටම නසරානි
      මේ කාලාවෙ හෑටි.........

      ගායනය - සිදුව සකුරා

      Delete
  3. කිරි කැටි දෙ අතේ සවි බල දියවේ
    පමා වුණොත් අප මහ මග තනි වේ
    අම්මා මග ඇති නෙත් හරවා ගෙන
    තල්ලු කරන් පුතුනේ
    මොකද මොකද මේ බට්න් දෙකම ඔබලා

    අන්න ගීතය........ ඒහෙමයි ලියැවෙන්නට ඔ්නේ.........

    ReplyDelete
    Replies
    1. එහෙම තමා රෙකෝඩින් එක ගියේ !

      Delete
  4. ඒ එකේ කැසට් එකක් දාල බී එකට රෙකෝඩ් කරනකොට මයික් එක ඕප් වෙනව නේද . රේඩියෝ එකෙන් රෙකෝඩ් කලත් එහෙමයි නේද

    ReplyDelete
    Replies
    1. අපෙ තිබ්බ පරණ සිංගර් එකේ නම් එහෙම නැහැ. රෙකෝඩින් දාලා තියෙද්දි මයික් එක කවර් කරල තිබ්බත් මතකයි..
      ගොඩක් වෙලාවට අපේ රෙකෝඩින් අවුල් ගියෙ මයික් එකෙන් සද්දෙ වදින හින්දයි.

      Delete
    2. අපේ එකෙත් එහෙම ඕෆ් වෙනව.. හයි ස්පීඩ් ඩබින් කියල ඔප්ෂන් එකක් තිබ්බ. වේගෙන් ප්ලේ වෙනගමන් රෙකෝඩ් වෙන.. අර කුරුමිට්ටෝ සින්දු කියනව වගේ ඇහෙන්නෙ එතකොට...

      Delete
    3. //හයි ස්පීඩ් ඩබින් කියල ඔප්ෂන් එකක් තිබ්බ.//

      පෝස්ට් එක ලියද්දි මට මේක මතක් වුණා. ඒක තිබ්බෙ ලොකු ලොකු සැට් වල. අපි රෙන්ට් කරල තිබ්බ කඩ කාමරේක සැලුන් එකක් දාල තිබ්බා. ඒකෙ හිටපු අයියා ඔය සිස්ටම් එකට තමා බං රෙකෝඩ් කරන්නෙ. ඒ කාලෙ මම හිතුවේ ඌ ඩී.ජේ කරන පොරක් කියලා..

      Delete
  5. හැක්, සාම අයියත් කොරන වැඩ, අපේ අම්මත් දවසක් බනින සීන් එකක් ඔය විදියටම රෙචොර්ඩ් කරලා උන්දැට අහන්න දීල ඊට වඩා බැදී ස්න්ක්යාවකින් බැනුම් අහගන්නට උන හැටි නම් මතකයි, හැබැයි අපේ අම්මා ඔය ගැජට් අයිටම් වලට වැඩිය කැමති නැති නිසා උන්දැට කැසට් පීස් වලට ප්රියයක් නොමැත. හැක හැක සැමගේ කුපාඩි වැඩ කියලා ලේබලේ ගහමු.

    ReplyDelete
    Replies
    1. //බැදී ස්න්ක්යාවකින් //

      මොකක්ද බං ඒ වචනේ?? මට කොයිල් වගේ

      Delete
  6. ටේප් එක ගස්වල පටලලා ගත්ත ආතල් තාමත් මතකයි............

    ReplyDelete
    Replies
    1. අපි ගලක ගැටගහල ගහන්නෙ ලයිට් කම්බියට...

      Delete
    2. යකෝ මැරෙන වැඩ නේ ?

      Delete
    3. නැ යකෝ මං මලේ නැ මේ ඉන්නේ

      Delete
    4. ලයිට් කම්බිියට ගහන්නෙ බයිසිකල් චේන් එකෙන්........ අන්න ආතල් නං ආතල්...................

      Delete
  7. උඔ ආයමත් ලියන එක එල ද බ්‍රා

    ReplyDelete
  8. ....//එලෙස පැටලුණු සුළඟට හෙල වෙද්දී දැනෙන්නේ මාර ආතල් එකක්ය.//....

    මම ගෙදර තියන අලුත්ම කැසට් පීස් එහෙමත් දිගඇරලා ගස් වලට උඩින් විසිකරලා බලාගෙන ඉදලා තියනවා...
    ඩෙක් පීස් තමයි ඔය වැඩේට නියම...

    උඹේ පෝයට එකක් පෝස්ට් එකත් බැලුවා...මේ ටිකේම වැඩ වැඩි උනා බං...සමහර බිලොග් තවම බලන්නත් බැරි උනා..නැත්නම් මිස් කරන්නේ නැතිව ඇවිත් කොමන්ටුවක් කොටලා යනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි !
      කමෙන්ට් නැතුවට ගොඩ වෙලා යන එකම ඇති මනෝ.

      ඩෙක් පීස් එක කැසට් පීස් එකට වඩා ටේප් එක ලොකු නිසා ලස්සනයි.. !

      Delete
  9. හැබෑට සෑමා, අපි තමා බං ඕඩියෝ කැසට්, වීඩියෝ කැසට්, සීඩී, ඩීවීඩී කියන හැම උලව්වක්ම අතගාපු පරපුර. අපේ අයියල නං ඊට අමතරව අර ට්‍රෑම්ප් ටේබලේට දාන රෙකෝඩ් හිටං අඩුගානෙ අතගාල බලල හරි තියෙනවා. මාර මතක කන්දරාවක්...

    ReplyDelete
    Replies
    1. උබෙ මතකෙ තවත් අලුත් කරන්නද?

      එෆ්.එම් මයික් ආතල් එහෙම කෝමද?

      Delete
    2. අප්පට බොල. අපි දවසක් ඔය වගේ වෙන විදිහෙ මයික් එකක් හදාගෙන, පොලිස් වාහනයක් එද්දි කිව්ව‍ා "කැලිස් පොරියෝ එති!" කියලා. ඒක පොලිස් සෙට් එකට වැදුනා. බැනුං ගෝණියයි...

      Delete
  10. අප්පා කැටස් එකෙන් රෙකෝඩ් කලපු කාලේ

    ReplyDelete
  11. මම කොරපු කැසට් වඩු වැඩ උඹත් ලෙසටම කොරල බලාගෙන ගියාම...

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ සිරාවට බං..

      ටේප් එක මුල හරියෙන් කැඩිල ගියාම, අර දැති රෝදෙට දාලා මූට්ටු කරල තියෙනවද උබ,

      මට ඒක කරන විදිහ කියන්න තේරෙන්නැ බං

      Delete
    2. අම්මට සිරි.. නැතුව ඉතින්.. අර පුන්චි ප්ලාස්ටික් නීඩ්ල් එක ඒ රවුමෙ තියන ස්ලොට් එකෙන් ස්ලයිඩ් කරල ආයෙත් ටේප් එක ඒ ස්ලොට් එකට දාල නීඩ්ල් එක ආයෙත් දානව.. හැබයි කොච්චර ට්‍රයි කලත් මුලු ටේප් එකම අහු වෙන්නෙ නෑ...

      Delete
    3. අන්න හරි.. ඔය කිව්වෙ ලස්සනට..

      Delete
    4. TDK 60 තමයි රිලයබල්ම බඩුව.. විනාඩි 60යි රෙකෝඩින් ටයිම් එක... නයින්ටිය විනාඩි 90ක් තිබුනත් කල් යද්දි ඇදෙනව දිග වැඩි නිසා...

      Delete
  12. මදි නොකියන්න පීෂ් කෑලී රෙකෝඩ් කරපු අතීතය නම් පට්ට.... :D

    ReplyDelete
  13. කැසට් පීස් තරම් ප්‍රතිචක්තිකරණ ක්‍රියාවලියකට ලක් වූ දෙයක් අපේ කාලයේ තවත් තියෙන්නේ නැතුව ඇතිනේ බං.

    ReplyDelete
  14. අය්යෝ සෑම් ......කොහොම හිටිය කොල්ලෙක්ද මේ ..කමක් නැ බන් මම හින්දා උඹට මෙහෙම හරි පොස්ට් එකක් දැම්මානේ ...(උඹලා නිසා තමයි අපි බ්ලොග් කියවන්න ආවේ .දැන් තොපි ලියන්නේ නැතිව ඉන්නවා ...)

    කොවුලා වගේ
    කොවුලා වගේ ලව් සින්දුම කියපු එකා මං
    වවුලා වගේ රෑ තිස්සේ නිදි මැරුවේ මං
    හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
    හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
    පවුල බනියි ලේට් උණොත් ගිහින් එන්නද මං
    පවුල බනියි ලේට් උණොත් ගිහින් එන්නද මං

    මුට්ටිය ඉවර කෙරුවෙ ගහ මුලදිම මං
    බෝතලේ ඇරපුවාම චියර් කෙරුවේ මං
    රෑ දවල් ගතවුණාම සැලකුවේ නෑ මං
    දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං
    දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං

    ජොබ් එක සංස්ථාවෙ ඩෝන්ට් කෙයාර් මං
    නිවාඩු නැත්තං මෙඩිකල් දාපු එකා මං
    ඕවර් ටයිම් කිසි දවසක කරලම නෑ මං
    දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං
    දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං

    නයින් තර්ටි ෂෝ එකම බලපු එකා මං
    ලයින් එකේ තැනක් තියන් හිටපු එකා මං
    සීන් එකේ කොහේ බැලුවත් පෙනුණ එකා මං
    දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං
    දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං

    ගායනය - එම්. එස්. ප්‍රනාන්දු

    ReplyDelete
  15. මිල්ටන් මල්ලවාරච්චි ගේ ගී 12 ක් අඩංගු වූ 'Milton Anytime Anywhere' ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වූ ප්‍රථම කැසට්‌ පටියයි.මේ කැසට්‌ පටියේ, නිෂ්පාදනය හා බැඳුණු අතීත කතාව මෙසේයි."තරංගා" අධිපති විජය රාමනායක මහතා ලංකාවේ මුල්ම කැසට් පටය සඳහා තෝරාගෙන සිටියේ වික්ටර් රත්නායකයි. එම කටයුත්ත සඳහා වර්නන් පෙරේරා ද සමගින් වික්ටර් හමුවීමට ගියත් විජය රාමනායකට වික්ටර් හමුවීමට නොලැබුණේය. ආපසු එන ගමනේ දෙදෙනා මිල්ටන්ව හමුවී මේ අදහස ඉදිරිපත් කළේය. මුළදී මිල්ටන් වැඩි මනාපයක් නොදැක්වූයේ කැසට් පටිය නම් නව නිෂ්පාදනය අමුත්තක් වූ බැවිනි. කෙසේ නමුත් මිල්ටන් කැමති කරවා ගැනීමට විජය රාමනායක මහතා සමත් විය. එය මිල්ටන් ටද වාසනාව ගෙනාවේය. මෙලෙසින් 1977 දී මෙ රට නිෂ්පාදිත ප්‍රථම කැසට්‌ පටිය 'තරංගා' ලේබලයෙන් යුතුව එළි දැක්විණ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...