Monday, December 26, 2016

සැන්ටා ක්ලෝස් වූ හැටි... - End of Santa's Role !!




ඉතිං සැන්ටා ක්ලෝස් සීයේ, ඔබගේ සැප දුක් කෙසේද? පොඩි සෑමා නම් සුවෙන්ය. ඔබට ලියන්නේ නම් කලකින්ය. දැන් නත්තල් සීයා වුණාට පොඩි සෑමා ඔයාව දන්නේ සැන්ටා ක්ලෝස්ය. ඒ පොඩි සෑමාගේ සීයා නිසාය. සීයා ඉන්න කාලේ අපේ ගමටත් සැන්ටා ක්ලෝස් කෙනෙක් සිටියේය. හැම දෙසැම්බරේම සැන්ටා ක්ලෝස් සීයාට ඇන්දේ ගමේ හිටිය සාන්ත සීයාය. වැල මැරී තිබුණත් අල බැස තිබුණු නිසා සීයා දෙසැම්බර සීතලේ සැන්ටාගේ මූණට මුවා වී වැඩ කිඩ දැම්මේය. ඒ දාපු තරමක් වැඩ දැම්මේ අල්ලපු ගෙදර ආච්චීටය. ඒ ආච්චී ගේ සීයා මැරුණු දා සිට ආච්චි බලා සිටියේ සීතල දෙසැම්බරේ තෑගි අරගෙන සැන්ටා සීයා හෙවත් සාන්ත සීයා එනතුරුය. ගමටම නත්තල් දා සාන්ත සීයාගේ තෑගි ලබන්නට පොඩි දරුවන් වෙන අපි දෑස අයා බලා සිටින්නෝය. ඒ අතරද එහා ගෙදර ආච්චී දොරකඩට වී සිටින්නේ මැදියම් රැයේ සාන්ත සීයාගෙන් අරුම පුදුම තෑගි බලන්නය. විටක සාන්ත සීයාගේ පිණි මුවා මතට ගොඩවන අල්ලපු ගෙදර ආච්චී එකල අපි අස්සයා ගෝන් ටික් ටික් කරන්නාක් මෙන් කුලප්පුවෙන් දඟලනා බව කිව්වේ අපේ ආච්චීය. ඒ අසා සිටි සීයා හරස් ප්‍රශ්න රැසක් ඇසුවේ ආච්චී ඒ අඩව් ගැන දන්නේ කෙසේද දැන ගන්නට විය යුතුය. ආච්චී ගණනකට නොගෙන කියා සිටියේ අනේ මම පිණි මුවාගේ අං තට්ටුව ගැස්සෙනාව දැක්කා කියාය. එදා සීයා ආච්චීට බැන්නේ බොට සැන්ටා ගෙන් තෑගි තියා සැනසිලි තෑගිවත් ගන්නට ඉඩක් නොතබන බව කියාය. එහෙම මොකක් හරි ආරංචි වුණොත් සැන්ටා ක්ලෝස්ව, ක්ලෝස් කරන බව සීයා කියූ වාර අනන්තය.

අපේ සීයා එහෙම කිව්වාට එහා ගෙදර මැගි ආච්චී සැන්ටාට ගොඩක් ක්ලෝස්ය. ඒකට අපෙ සීයාට පොඩි ඉරිසියාවක් තිබුණු බව අපිට වැටහී ඇත්තේය. ඒක සාධාරණ විය හැකිය. මොකද අපෙ සීයා අසල්වැසියාට ප්‍රේම කරන නිසාය. ඒත් අපෙ ආච්චීටත් ඒ සම්බන්ධය පිළිබඳව තිබුණේ මහත් තරහක්ය. කේන්තියක්ය. මැගි ආච්චීව දකින්නට තරම් ඈ අප්‍රිය කළාය. ඒ අතින් අපෙ ආච්චී වැරදිය. කරන්නට තිබුණේ මැගි ආච්චීට ප්‍රේම කිරීමය. 

පවුල් ප්‍රශ්න, ගමේ ප්‍රශ්න අඬ දඹර මොක තිබුණත් අපි සාන්ත සීයාට කෙසේ වෙතත් සැන්ටාට ආදරය කළෙමු. ඒ මෑන්ස් මොක වුණත් කන්නට ලොසින්ජරයක්  හෝ අප අත තබන නිසාය. බොහෝ විට ගම පුරාම වීදි සංචාරය කර මධ්‍යම රාත්තිරියේ සැන්ටා අපේ ගෙවල් පැත්තට එන්නේ මැගි ආච්චීට ප්‍රථම ත්‍යාගය ලබා දෙන්නය. ඒ අනුව අවසන් සැනසිලි තෑගි ලැබෙන්නේ අපිටය. මැගි ආච්චීගේ අල්ලපු ගෙදර ඉන්නා අපිට සැන්ටාගේ සැලකිල්ලත් වැඩිය. ඒ සැලකිල්ල නිසාමදෝ නත්තල් පාටියෙන් ඉතිරි වූ කෑම බීම පවා සැන්ටා වෙනුවෙන් වෙන් කර තබන්නේ අවසන් ජාමයේ කා බී විනෝද වන්නටය. ඒ අතර තුර සැන්ටා තමන්ට ලැබෙන කෑම බීම මෙන්ම, කවලං වූ අඩි පුඩිද ගසා එන බව අමුතුවෙන් කිව යුතු නැතිය.

එදා ද සුපුරුදු පරිදි සැන්ටා මැගි ආච්චීට තෑගි දෙන්නට ආවේය. සැන්ටා සීයාට පදමට ඩෝප්ය. ඒත් සීයා අපිට තෑගි දෙන්නට අමතක නොකළේය. තෑගි අප අත තබා මැගි ආච්චී බලන්නට යන්නට යද්දී අපේ ගෙදර අය කිව්වේ සීයාට කෑම එකක් ලෑස්ති කරන බවය. “හරි හරි මම මැගියා බලා එන්නං“ කියූ සීයා අල්ලපු ගෙට පැන්නේය. කෙසේ හෝ වැඩ අහවර කොට කෑම ගන්නට මේ පැත්තට එන නිසා අපේ ගෙදර අය සීයාට කෑම පාර්සලය ගසා තබන්නෝය. අපේ ගෙදර අය අපිට කිව්වේ “ඔතල තියෙන්නේ, සීයා ආවම දෙන්න කියාය“ ඒ අසා සිටි අපෙ සීයාට ඌරු ජුවල්ය. “ඔතල දීහල්ලා ඕකට මල් පඩංගුව“ කියා කිව්වේ තරහින්ය. එහෙම කිව්වාට අපිට සීයා එනතුරු නිදි මරන්නට බැරිය. පැය ගණනක් ඉවසා බලා සිටියද සීයා එන පාටක් නැතිය. හැම දෙසැම්බරේම සාන්ත සීයා මැගි ආච්චී සමඟ අහවල් එකක් කරනවා දැයි බලන්නට අපේ පුංචි හිත් වලට සාධාරණ කුතුහලයක් ආවේය. ඒ නිසාම මැගි ආච්චීගේ මැට්ටෙන් හැදූ පැල්පතේ ජනෙල් ගැට්ටෙන් ඇතුලට එබුනේ සීයාගේ පිණිමුවා බලන්නටය.

පැත්තක කුප්පි ලාම්පුවක්ය. කළු දැල්ල කෙලින්ම ඉහළට නැගෙන්නේය. පහළින් කහ දැල්ල සෙලවෙන්නේය. සැන්ටාගේ රතු පාට තෑගි මල්ල ගොම පොළොවේ දිගා වෙලාය. සැන්ටාගේ රතු පාට තොප්පිය, සුදු බූල් සහිතව ආච්චීගේ හිසේය. මැගි ආච්චීගේ සුදු කොණ්ඩයට සීයාගේ රතු තොප්පිය පට්ට මැචින්ය. එහෙත් හරි කලබලයක්ය. ආච්චී පිණිමුවා සමඟ පොර බඳනවා විය හැකිය. සීයා බිම පෙරලිලාය. මැගි ආච්චී නරකය. අහිංසක පිණි මුවා උඩ නැගී උඩ පනිනවාය. සීයා පිණිමුවා බේර ගන්නට දඟලනවාය. ඒ කළබලය නිසාම මැගි ආච්චීගේ චීත්තය බිම වැටෙන්නට ඇතිය. පිණි මුවාගේ අං තට්ටුව පැටලී ආච්චීගේ හැට්ටය ගැලවෙන්නට ඇතිය. 

“මට හඳට යන්න ඕනෙ මැගියෝ.. මලක් ඕනේ... මැගියෝ...“

සීයා හති අරිමින් කෑගැසුවේය. ඒ අතර ජනේලය පැත්ත බලමින් දැඟලුවේය. කලබලය දැක පුදුම වී සිටි අපිට සැගවෙන්නට වෙලා නැති වුණේය. අපි හිතුවේ පිණිමුවා ගැන මිසක හැංගෙන එකක් ගැන නෙවේය. 

“තොපි මොකද යකුනේ මෙතැන කරන්නේ.. පල යන්න කාලකන්නි යක්කු..“

“නෑ සීයෙ ඔතල තියෙනවා අරන් යන්න කියන්න අපි ආවේ..“

සාන්ත සීයා වෙස් මූණට මුවා වී, මැගි ආච්චී සමඟ පිණි මුවාට සලකපු ආකරය දුටු අපට දෙන්නට තිබුණු සාධාරණම පිළිතුර එයම විය.

“හෑ යකුනේ.. කවුද ඔතල තියෙනව කිව්වේ.....“

“අපෙ සීයා..“

“කවදාවත් නැතුව යකෝ.. උට මාව මතක් වුණා එහෙනම්.. උබලට විස්වාස ද? මොනවද ඌ මට ඔතල තිබ්බේ..“

මැගි ආච්චී පැත්තකට පැන්නේය. සාන්ත  සීයා නැගිට්ට නැගිටිල්ලට ආච්චීට පනින්නට දෙයක් නොතිබ්බේය. පිණි මුවා මිසිං ය. සාන්ත සීයාගේ මුහුණින් අපිට පෙනුනේ අපිට කරදරයක් නම් නොවන බවක්ය.

“සීයාට.. මල් පඩංගුවක් තිබ්බා...“

“වරෙව් යන්න.. මම මදි පාඩුවක හිටියේ.. උබලෑ සීයා හොඳ එකා මාත් එක්ක බොරුවට අමනාප වුණාට.. මැගියෝ තෝ හිටු. මම ආයෙ එන්නං...“

සැන්ටා සීයා සතුටින්ය. අපිත් ඔහු පිටුපසින් ගියේ මහත් සතුටින්ය. ලබන නත්තලේ සිට අපිට වැඩිපුර තෑගි ලැබෙනවා ෂුවර්ය. සැන්ටා සීයා දිව ගොස් අපෙ සීයාව බදා ගත්තේය. කලබලයට සීයාගේ සරම පහලට වැටී අහවල් එකක්ද කරන්නේ කියා ඇසුවේය.

“උබ හොඳ එකා.. දීහං මට මල මෙහාට්ට..“

“මොන මලක්ද යකෝ.. තෝ මෙහෙන් තොලොන්චි වෙලා පල මේ බත් පත අරං“

“එහෙනං මුං මට ඇවිත් කිව්වේ උබ මට ඔතල තිබ්බ කියල එකක්....“

“ඔතන්න..?? උබට ඔතල, රෝල් කරල එකක් ගහන්නෝනි පුකේ...“

“තොපි හැත්ත.. කියපල්ලෝ මොකක්ද මේකෙ තේරුම...??“

“ඔය තියෙන්නෙ සාන්ත සීයාට ඔතපු කෑම එක.. ඒක ගැන අපි කිව්වෙ..“

අපිට කියන්න ලැබුණේ එච්චරය. සාන්ත සීයා කුණු හරප රැසක් කියා අඩි පොලේ ගසා නික්ම ගියේය. මැගි ආච්චී නැවත අප සමඟ කතා නොකළාය. ඒ විලි ලැජ්ජාවටය. අපෙ සීයාද වෙච්ච දේ හොදා යැයි කිව්වේ එදායින් පසු සාන්ත සීයා සැන්ටාට නො ඇන්ද නිසාය. ආච්චී නම් අපට සිද්ධිය මතක්වන සැරයක් පාසා දොස් කියන්නීය.

මොක වුණත් අපිට තෑගි දෙන්නට සාන්ත සීයා එනවා නම් අපි සතුටුය. ඒත් ඒ සතුට කවදාවත් නොලැබෙන්නේය. දැන් සාන්ත සීයලා ඉන්නේ සාප්පු වලය. නත්තලටය. ඒ අපිව ගෙන්වා ගන්නටය. අපෙන් සල්ලි අරන් අපිට බඩු දෙන්නටය. නැති නම් නිකං දෙන්නට නෙවේය. එහෙව් එකේ සැන්ටා සීයා සිටියා නම් මැගි ආච්චීටද සතුටුය. අපිටද සතුටුය. 


Written_by_sAm_ශ්‍රී_10:14pm_26/12/16

Thursday, December 22, 2016

කස්සාගේ එක දෙක වේ... - Kassa's Sad Story !!




කස්සාගේ කතාව ඌට නම් ශෝක ජනකය. සෑමාට නම් ඒ තරම් කතාවක් නැත්තේය. කස්සාව කතා බහට සැට් වූයේ ඊයේ පෙරේදාය. ඒ නම් කාලෙකින්ය. කොණ්ඩය කපා ගන්නට යැයි කියමින් සැලුන් එක දක්වා ඇදුනු කස්සා හෙයාර් කට් එකට පසු පැමිණ සෑමා හමුව ඔහුගේ කතාන්දරය කියා සිටියේය. ඒ කතාන්දර අපේ කතාන්දරය කර ගැනීමට කාලය හරිය. කස්සාට එදා මේ කතාව සෑමාට කිව්වා යැයි අමතක ඇතිය. එහෙම අමතක වන්නට නොදී පෝස්ට් එක කෙටීම නම් පට්ට අසාධාරණය. එවිට ඌ කියන්නේ අඩේ බඩු වේලෙන්න කලින් විස්තරේ පත්තරේ දාලා කියාය.

“මොකැ බං වෙන්නෙ දැන් පන්සල පැත්තෙ ඒම යන්නේ නෑ නේද??“

සෑමලෑ, කස්සලෑ ගමට පන්සල් හතරක්ය. ගමේම කියන හෙඩ් පන්සල තිබියදී අනෙක්වා බ්‍රාන්චර්ස්ය. එහෙත් බ්‍රාන්චර්ස් පවා හෙඩ් ක්වාටර්ස් වන්නේ තමන්ගේ නිවස තිබෙන ස්ථානය අනුවය. කෙසේ හෝ කස්සා සහ සෑමා මේ කතා කළ පන්සල ඒ හතරෙනුත් පිට අපේ පන්සල යැයි කියවෙන අපේ දහම් පාසලය. ඔව්, කුප්ප කතන්දර රැසක් ලියැවුණු කැළණි දහම් පාසලය. පරණ පන්සල් කතා වල ලින්ක් ඇඳිය නොහැකිය. කෙසේ හෝ කස්සාගෙන් සෑමා ඇසුවේ ඉහත ප්‍රශ්ණයය. ඇයි බං පන්සල පැත්තේ යන්නෙ නැද්ද කියාය. සෑමාද එලෙසය. වෙනදාට දහම් පාසල් යන කාලයේ නම් දුරුතු මහා පෙරහැරට මේ දවස්වල සෑමාලා බිසීය. බ්ලොග් ලියන තරියා ඒවාට ප්‍රාෙයා්ගික සාක්ෂිය. ඒ කටු සහ ඒ කටු වල රස දන්නේ වැඩේ සිටි උන්ය.

“කොහෙ යනවද බං?? අපිව ඒ කාලෙම කුජීත කරල දැම්මනේ..“

ඒ කස්සාගේ පිළිතුරය. කුජීත කළේ කවුද යැයි ඇසීම වැඩක් නැතිය. තමන්ට තමන් ඇරෙන්නට වටේ සිටින උන් කුමන හෝ කුප්ප වැඩකින් ලඟ සිටින එකා කුජීත කිරීමේ ආදරණීය වෑයමේ යෙදෙන්නෝය. කුජීත වූ දවස ඇසීමද නිෂඵලය. මන්ද ඉස්සර දහම්පාසල් යන සෑම දිනක්ම අලුත් දිනක්ය. බාල්දියක් පෙරලෙන්නේ, පෙරලගන්නේ නැති දවසක් නොමැත්තේය. ඒ නිසාම සෑම දිනක්ම අලුත් අත්දැකීමක් ලබන්නට දෑස් අයා බලා සිටිය යුතුය. සෑමාට ඇසීමට ඉතුරුව තිබුණේ එකම ප්‍රශ්ණයක්ය. එය සෑමා කෙලින්ම කස්සාගෙන් ඇසුවේය.

“කොයි සීන් එක ගැනද බං උබ කියන්නේ?? “

කස්සා කතාව දිග හැරියේය. එය කස්සාට සිනා මුසු දුක් කතාවක්ය. සෑමාට නම් එය මී පිරුණු රසවත් සිනා සාගරයක්ය.

“ඇයි බං හේරා අපිට දුන්නනේ පුඩිය..“

හේරා යනු ගුරු මණ්ඩලයේ සිටි ඇන්ටික් වස්තුවක්ය. ජාතික කෞතුකාගාරයේ තැබිය යුතු අයෙක්ය. දහම් පාසලේ උගන්වන කාලයේම වයස අසූ ගාණක් පමණ අයෙක්ය. කොණ්ඩය සුදුම සුදුය. පාඩම කියවන්නේ පොතක් බලාගෙන වුවද අවුලක් නැතිය. අපි ලියන කියන කිසිවක් ඔහු නොබලන්නේය. පන්තිය ඉදිරිපිටම කෙල්ලන්ගේ ඩෙස්ක් එකක් මත ඉදගෙන තමාට කතා කළ හැකි උපරිම දුරට ඇසෙන ලෙසද, තමාට පෙනෙන උපරිම දුර සීමාව බලාගෙනද හෙතම පාඩම කියවන්නේය. අන්තිම පේලි වල උන්ට කරදරයක් නැත්තේය. 

“මොකක්ද බං ඒ සීන් එක..??“

සෑමා වැඩි විස්තර සොයන්නේය. හේරා සෑමාට මැවී පෙනෙන්නට විය. පාඩමට අවධානය නැති වුවත් කුපාඩි වැඩකට මාට්ටු වුණොත් හේරා අපෙ උන්ගේ රෙදි ගලවන්නේය. ඔහු දැන සිටි දරුණුම වචනය “පරයා“ යන්නය.

“නැහැ බං දවසක් මම දහම් පාසල් ගියෙ නැති දවසක හේරා ඇවිත් අපෙ උන්ට පේපර් එකක් දීලා...“

“ඉතිං...“

“අපේ සම්පතා කරල තියෙන වැඩේ පේපර් එක ලියලා මගෙ නම දාලා..“

“පොඩි සීන් එකක් නෙ අවුලක්ම නෑනෙ.. අනික බං හේරා පේපර් නෙවේ මොක දුන්නත් දරුණුවට ගන්න දෙයක් නෑනෙ බං..“

“එහෙම අවුලක් නැති නිසා තමා සම්පතා මට ඉහළ උසාවියටම යන්න බඩු සැට් කළේ.. ඌ පේපර් එකට මගෙ නම දාලා P. අතාවුද කියලත්..“

“උබ පී නෙවේ නෙ යකෝ. කේ නේ..“

“ඒක තමයි.. කුපාඩි කමට බං පී දාලා තියෙන්නෙ. අනික මූ අන්තිමට තිබ්බ ප්‍රශ්ණෙට සුපිරිම ආතල් එකක් දීල තිබ්බා..“

“ඒ මොකක්ද ඒ??“

“තුන්වන ධර්ම සංගායනාව ගැන ලියන්න තිබිලා.. මූ සුපිරියටම ලියලා. මුල් ටික සිරාවට ලියලා. අන්තිමට ජෝගියක් දාලා බං“

“ඉතිං කියාංකෝ ජෝගිය..“

“මූ අන්තිමට ලියලා සංගායනාව අවසානයේ සිරස මාධ්‍ය ජාලය අනුග්‍රහයෙන් සුපිරි තරු තේරීම සඳහා සුපර්ස්ටාර්ස් තරඟයක්ද පැවැත්වුණා කියලා. පලමු ජයග්‍රාහකයා අජිත් බණ්ඩාරට සුපිරි මෝටර් රථයක්ද, දෙවෙනි හා තෙවෙනි ස්ථාන සඳහා මුදල් තෑගිද, අනෙක් දස දෙනාට සැනසිලි තෑගිද දුන්නා කියලා.“

“අඩෝ.. හේරාට උබව මාට්ටුද??“

“නිකං ම මාට්ටු වුණා බං..“

“ඒ කෝමද උබ එදා දහම්පාසල් ගියෙ නෑනෙ..“

“මේකනේ හේරා පේපර් එක උස්සං ඇවිත් කවුද මේ පරයා කියල ඇහුවා. මම අන්දුං කුන්දුං වෙලා බං හිටියෙ. පී. අතාවුද කිව්වාම මම කිව්වා මම පී නෙවේ කේ කියලා. එතකොට පන්තියම හිනා වුණා. පස්සෙ මම කිව්වා මම එදා ආවෙත් නැහැ කියලා. මූ කියපි ඒම වෙන්නෙ කෝමද මේ පේපර් එක ලියලා තියෙන්නෙ කියලා...“

“උකා.. ඇයි යකෝ රෙජිස්ටර් එක??“

“මොන රෙජිස්ටර් ද බං. මම හේරාට ගේම ඉල්ලුවා බොරු නම් එදා රෙජිස්ටර් එක බලන්න කියලා. මූ රෙජිස්ටර් එකේ බලපි. මම එදා ඇවිල්ලා කියල මාර්ක් කරල බං. අපේ එවුන්ම නේ රෙජිස්ටර් එක මාර්ක් කරන්නෙ. ඉතිං උන් කවදාවත් අපිට ආවෙ නැහැ කියලා එක නොදා ඉන්නෙ නෑ නේ...“

“අඩෝ අන්න ඒක තමයි කියන්නෙ නිරපරාදෙ එක දා ගන්න යන්න එපා කියලා..“

Written_by_sAm_ශ්‍රී_9:45pm_22/12/16

Wednesday, September 21, 2016

අම්මාගේ කවි සහ තාත්තාගේ රිප්ලයි..!!


සෑමාගේ අම්මා මීට පෙර ලියූ කවි සැට් එකක් බ්ලොගේ සටහන් විය. ඒ සෑමාගේ ආච්චිගේ වියෝව වෙනුවෙන් ලියැවුණු පෝස්ට් එකකය. එහි තිබුණේ සෑමාගේ අම්මා ලියූ කවි සැට් එකක්ය. මල ගෙදර දින වල අම්මා ඒ කවි සැට් එක එලියට ගත්තාය. එතැන් සිට ඒ කවි සැට් එක අවසාන කටයුතු දා මුද්‍රණය කර බෙදා හැරීම දක්වා කටයුතු සිද්ධ වූයේ සෑමා සහ ලහිරුවා ගේ මැදිහත් වීමෙන්ය. අම්මාගේ සාහිත්‍ය හැකියාව සෑමා දැක ඇත්තේ කවි වලින්ය. පුංචිම කාලයේ කිසියම් පොතක හෝ කොළ කිහිපයක ඇය ලියූ කතන්දරයක් හෝ කෙටි කතාවක් තිබූ බව සෑමාට මතකය. එහෙත් එය දැන් සොයා ගන්නට නැතිය. කඩේ සිටින විටක හෝ අම්මාගේ නිවසට ගිය විටක කිසියම් කොළයක් තිබුණොත්, එහි අම්මාගේ අත් අකුරු නම් සෑමා බලන්නේ එහි ඇත්තේ කවිද කියාය. මන්ද ඇය ලියන කවි කියවීම ඇගේ ඇති සාහිත්‍ය ආශාව පිළිබඳ සෑමාට ලැබෙන යම් මිණුම් දණ්ඩක් නිසාය. ඇය බ්ලොග් නොදන්නීය. දන්නවා නම් සෑමා අද ගමෙත් නැතිය. ඇයට බ්ලොග පෙන්වීමටද සෑමාට උවමනාවක් නැත්තේය. එහෙත් ඈ ලියූ මේ කවි පත්‍රිකා කිහිපය ගැන සටහනක් තැබිය යුතුය.



මුල්ම කවි සැට් එක සෑමා දුටුවේ කඩේ සිටියදීය. එය දුටු විගස කියවා සෑමා අම්මාගෙන් ප්‍රශ්න කළේය.

“මම“

හිතට දුක වැඩිවෙද්දි
බුදු හිමිගේ සරණ සොයා
සදහම් සිසිලස ලබා
සසරින් කෙලවර පතමි මම...

කසාවතක් ගත දවටා
සිත පුරා තෙරපෙනා
දුක් කන්ද මඟ හැර
යා යුතු යැයි සිතමි මම...

අවුරුදු තිස් ගණනක් මම
සෙවනැල්ලක් සේ
දුක සැප බෙදාගෙන
එක සෙවනක සිටි මම
මා ගියොත්..
තනිවේද ඔබ.. ??
ආ පස්සට මා හැරෙයි.

2016/03/28



සෑමා - කාටද මේ ලිව්වේ ?

අම්මා - ඕක ලිව්වෙ උබලෑ තාත්තට පේන්න.

සෑමා - ඉතිං රිප්ලයි නැද්ද ?

අම්මා - මොකද නැත්තෙ ඔය උඩින් තියෙන්නෙ.

තිබුණේ තනිකර ආතල් රිප්ලයි එකක්ය.

“තේකොළ කඩේ කුලියක් මාර්තු දක්වා 2640/-“

තාත්තා එහෙමය. කවි කියවා සද්ද නැතුව ඉන්නවා මිසක ලයික් හෝ කමෙන්ට් දැමීමෙන් වැලකී සිටින්නේය. එය ඉතා හොද ප්‍රවණතාවයක්ය. නැති නම් ලයික් කමෙන්ට්ස් වැඩි වී පෝස්ට් එක පබ්ලික් වී හිට්ස් වැඩි වූ විට වසලා හමාරය. ඉතිං අම්මා වුවද විවුස් කීයද නොබලා, හිට්ස් නොතකා ෂෙයාර් කරන්නේ තාත්තා සමඟ පමණක්ය.

කතාව වැඩිදුර යාමෙන් පසු අම්මා තවත් කවි දෙකක් රිලීස් කළාය. ඒවා නම් මෙසේය.

ඉර නැගෙනා පැයේ පිලමත වාඩිගෙන
කවියක් ලියන්නට හිතුනා හිතට එන
ආදර හැඟුම් හිත පත්ලෙන් පිටත එන
මට කිති කවයි ප්‍රේමයෙ මුල් දවස ගැන

පත්වීම රැගෙන තාත්තා කෙලින්ම ගියේ රාජාංගනයටය. එහි වසර හතරක් දෙදෙනා ගෙවූ දුක ජීවිතය අද සිහි කරන්නේ සතුටු සිතින්ය. ඒ කාලය විවාපත් වූ අලුතය. තවමත් ඒ මතකයන් සුන්දර බව ඇය කියන්නීය. එහෙත් ඒ කාලයේ තිබූ සම්පත් සීමිත බව, දුක අසීමිත බව දන්නේ ඔවුන් දෙදෙනා සහ තරමක් අසා ඇති කතන්දර දන්නා අප පමණක්ය.

යන එන විටදි නිදහස පෙන්නා සුහද
බැදගත් ඇසුර මතකද ඔබ මගේ හද
නොදකින විටදි ඔබ නෙතගට කදුළු පොද
ආ හැටි මතක ඇත මිහිරක් දැනෙයි අද

දෙගුරුන් ඔවා දී අපි එක්කල හන්දා
තිස්පස් වසක් පෙම්ලොව ජය දද බැන්දා
මිණිමුතු වගේ දරු තිදෙනා හද බැන්දා
වියපත් පෙමක සුන්දරකම අප වින්දා



2016.04.17

නේක විධ දුක දරන්
ගෙවුණු දිවි මග පුරා
මගේ අත්වැල වෙලා
නුඹ උන්න ලං වෙලා

අත කරට සරසන්න
රුවන් මිණි මුතු නැතත්
එදා මම ඇඩුවෙ නෑ
නුඹ ලග නැති නිසා

අද අපට නේකාසි
ඇති බව මම දනිමි
අපි හොදින් කා බී
සලුපිලිත් ඇදගෙන
පිනක් දහමකුත් කර
සසර බවයෙන් එගොඩ වෙමු.



වින්ද දුක අනේකය. එදා නැතත් අද ඔවුන් සාරවත්ය. ජීවිතය ජය අරන්ය. සියළු ලෞකික සුවය, එමෙන්ම ලෝකෝත්තර සුවය, ලබා ගත යුතු බව ඇය කවියෙන් ලියන්නීය. මේ නම් නොකියා කියන්නේ මාත් සිල් ගන්නවා, ඔයත් ඇවිත් සිල් ගන්න කියාය. ආච්චිලා සිල් ගත්තාට සීයලා සිල් ගන්නේ ප්‍රමාද වීය. නැතොත් නොගෙනම සිටින්නෝය. ඇය මේ කවිය ලියා ඇත්තේ එතැනට බව සෑමාට සිතුනේය.

සියල්ල අවසන ඇය කිව්වේ සෑමාගේ තාත්තාගේ අම්මාට හෙවත් අපෙ ආච්චීට, ඇගේ නැන්දම්මාට කවි කිහිපයක් ලියා ඇති බවක්ය. ඇය ශතකය හමුවේ නොදැවී ක්‍රීඩා කරන බැවින් ඒවා එලියට එන්නට තව බොහෝ කල් ඇත්තේය. තවත් කවි සැට් එකක් ලීක් වෙන තුරු සෑමා අවධානයෙන් සිටින අතර ඒවා එකතු කර නැවත් පෝස්ට් එකක් ලියැවෙනවා ඇත.

Written_by_sAm_ශ්‍රී_Perera_11:13pm_21/09/16

Thursday, September 15, 2016

උන්ට හෙන හත වැදී නැසේවා නැසේවා..!!


නිතර සුදු අඳින උන් විශ්වාස නොකළ යුතුය. උක්ත ආදර්ශය අපට දුන්නේ ලාංකීය පාර්ලිමේන්තු ක්‍රමයෙන්ය. සියළු ජඩ වැඩ අවසන දෙඅත් නොසෝදාම සුදු හැඳගත් පමණින් උන් සුද්ද වන්තයෝ බව කියැවුණේ දුර්දන්ත දේශපාලන ක්‍රමයෙන්මය. ඉන් කියැවෙන්නේ පාට හැඳගත් උන් සියල්ලෝම ගුණවත් කියා නොවේය. නමුත් යම්තාක් දුරකට පිළගත යුතු සත්‍යය මෙසේය. දුදනෝ සුදු ඇඳුමට මුවා වී තම වැරදි වසාගත් සුදනුන් වන්නට තැත් කරන බවය. අනෙක් සත්‍යය නම් කිසිම වර්ණයක් නොතකා අතට අහු වෙන හැම එකක්ම අඳිනා උන් ඉන්නා නිසා ඇඳුමෙන් පැළඳුමෙන් සමහර මිනිස් කොට්ඨාශ මැනිය නොහැකි බවය.




දැන් ඒ සියල්ල පසෙක තැබිය යුතුය. මේ ලියන්නට යන්නේ ඇඳුමට අදාල දෙයක් නොවේය. මේ ලියන්නේ ආත්ම ශක්තිය ගැනය. පිරිසක් මැද තමන් පිලිගැනීමට ලක්වේදෝ නොවේදේ යන මතය හැම සිතකම කොනක හොලමන් කරන්නාවූ සිතුවිල්ලක්ය. එනිසාම විශේෂ අවස්ථාවකට සහභාගි වෙද්දි තමන් අඳිනා ඇඳුමට පෙර බොහෝ අය සිතන්නේ අනිත් උන් පැමිණෙන්නේ කුමක් ඇඳගෙනද කියාය. එය තමන් කැපී පෙනෙන්නට තිබෙන ආශාව නිසාම කරනා දෙයක් බව කිව හැකිය. නැති නම් තමන්ට ඇති සැටිය අනෙක් අය හමුවේ බාල්දු වේ යැයි එන හැගීම විය යුතුය. 

මෑත භාගයේ ඉන්දියාවත් එක්ක හැප්පිය යුතුමයි කියන සංකල්පයේ සිට පැවැත්වුණේ හිරු ගෝල්ඩන් ෆිලුම් අවෝඩ්ස්ය. අපේ උන් ජැන්ඩිය ඇඳගෙන එන අතර ඉන්දියන් නාකි නලු නිලි සැට් එකක් ද ඉවෙන්ට් එකට එන්ටැර් වී තිබුණෝය. ජාත්‍යන්තර මට්ටමට යද්දී ඇඳුම ගැන සිතිය යුතුමය. එය ගැටළුවක් නැතිය. එහෙත් හිරු නිවුස් අස්සේ දුන් ලයිව් අප්ඩේට් එකක ස්වල්පයක් දුටු සෑමා එවලේම බුකියේ දැමුවේ මෙවන් ස්ටේටස් එකක්ය.


සුරාජ මාපා කිව්වා අපි ඉන්දියාව එක්ක හැප්පෙන්නෝනි කියලා.

ඊට පස්සෙ සාරංගා ආවා.

සාරංග කතා කර කර ඉද්දි ජැකී ෂිරොප් එනව කියල සාරංගව නවත්තං හිටියා.ජැකියට සැලුට් ඔක්කොම ගසලා ජැකියා යනකල් ඉදලා සාරංග එක්ක කතා කළා.

අන්න ඒමයි අපි රටක් වශයෙන් ඉදිරියට ගිහින් ඉන්දියාවෙ හැප්පෙන්නෙ !!

#හිරු_ෆිලුම්_අවෝඩ්ස්

ඒ ලංකාවේ හැටිය. තමන්ගේ එකා සිටියදී කොයින්දෝ එන උන්ට තැන දෙන්නේය. ආරාධිතයන්ට තැනක් දිය යුතුය. එය අපේ උන්ගේ සිත් නොතැලෙන ලෙස ප්ලෑන් කළ යුතුය. උත්සවයේ කැපී පෙනෙන සීන් එක සම්මාන ලද පිරිස බව පෙනෙන්නට නැත්තේය. සම්මාන ලබන නොලබන හැම අයම පැමිණියේ තමන්ගේ උපරිමයෙන් සැරසීගෙනය. සම්මාන උලෙලක් අවසන් විය යුත්තේ සම්මාන ලද උන් සමාජයට වැඩිපුර විවර වීමක්‍ ය. කොටින්ම කිවොත් ඔවුන් පොරවල් විය යුතුය. එවැන්නක් නම් සෑමා නොදුටුවේය. සම්මාන උලෙලක් හුදු සංදර්ශනයක් වූවා පමණක් ය.

දැන් කතන්දරය නන්දා මාලනිය ගේ ඇදුම ගැනය. හැමෝම කැටයම් දාද්දී ඇය සරල, චාම්, සුපුරුදු ඇදුම ඇන්දාය. සෑමා කලින් කීවේ ඒ ගැනය. සුදු පාට, අදින ඇදුම, සියලු මිනිසුන් මනින පොදු සාධකයක් කර ගත යුතු නැත්තේය. සෑමාට අදාල නම් ගායකයෙක් නම් සංගීතයට කළ මෙහෙවරය. නිලියක් නම් චිත්‍රපට හෝ නාට්‍ය කර්මානත්යට කළ මෙහෙවරය. ඉන් එහාට ඔවුන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකම් අපිට වැඩක් නැත්තේය. නන්දා නැන්දා ගත හොත් සෑමාට නම් චරිතයක්ය. පවතින රජයකට විරුද්ධව ගායිකාවක ලෙසින් ඇය එදා තනිවම නැගිට සිටියාය. පවතින රජයට, ඔවුන්ගේ ධනවාදී බලයට, ක්‍රියාකාරකම් වලට එරෙහිව හෙන හත වැදෙන්නට යැයි පවසන්නට තරම් ඇය එඩිතර වූවාය. ඉදින් ඇය එවන් එඩිතර කමක් තිබු නිසාම මහා පරිමාණයෙන් පැවැත්වූ සම්මාන දුන් සාදයට පැමිණ සිටියේ සුදු වතින්ය. එය ඇයගේ යුනෆෝම් එකය. සෑමා ඇයව සදාතනිකව දැක ඇත්තේ සුදු වතින් සැරසීගෙනය.

ඉන් පෙන්වූයේ ඇගේ සරල බව, චාම් බව, ගුණවත් බව හෝ සුදන ගුණය ලෙස සෑමා ලේබල් නොගසන්නේය. එය හුදෙක් ඇගේ එඩිතරකමය. පාටියකට යද්දී අපට පොදුවේ දැනෙන චකිතය ඇයට නැති බවය. එන අයෙක් අය කුමක් අඳින්නේද? කෙලෙස නම් එන්නේද යන්න දෙවරක් නොසිතා තමන්ට කැමති සැහැල්ලු ඇඳුම ඇඳීම සමාජ ක්‍රමයට කොටු නොවීමක් ලෙස හැදින්විය හැකිය.

ඇදුම ගැන ඇයට සිතන්නට දෙයක් නැතිය. එය ඇය පෙන්නුම් කළේ ඔය කියන්නාවු සම්මාන සාදයෙන් නොවේය. පවන ඇල්බම් එකෙන්ය. ආණ්ඩු විරෝධී රැල්ලෙන්ය. සප්ත ස්වරයෙන් උද්ගෝෂණ කළ ඇය එඩිතරය. ඒ නිසාම ඇය ගැයුවේ, තද පිරිමි හඩින් කිව්වේ, “උන්ට හෙන හත වැදී නැසේවා නැසේවා“ කියාය. ඒ එඩිතර කම පහත පද වැලෙන් කියවා තේරුම් ගත අයෙකුට ඇගේ සුදු වත අදාලම නැත්තේය.

අබුඩාබියේ දීය දයාබර ස්වාමිනී..
කිළිටි වූ ගැහැණියක ලෙස ඔබට ලියන්නෙමි..
නොකිළිටිව ඔබ සැවොම අහෝ රැක ගත නොහැක..
මගේ පව් සමාකර මේ ලිපිය කියවන්න..

අරාබියෙ මොලේ නැති කාලකණ්ණින් සමග
වැතිර හිද වෛරයේ ගිණිගොඩේ පැහෙන්නෙමි..
මා සිරුර මගේ නොව අනුන්ගේ යයි සිතා
දිරාමය දිරාමය ගනන් කර බලන්නෙමි..

මේ අපා දුකට මා පත් කලේ මගෙ රටයි
මගෙ රටේ මහ එකාලයි උන්ගෙ පන්තියයි..
එන්ට හැකිනම් උන්ට කරන දේ දන්නවා...
ගමන්බල කරදාසි අරාබියෙ උන් ලඟයි..

අනුන් හට අත නොපා දිවි ගෙවූ ජාතියක්..
කාණු හෝදන්ට නොරටක යැවූ අය කවුද...
උන්ට හෙණ හත වැදී නැසේවා නැසේවා..
මා ඔබේ ප්‍රියාදර පියවතී ස්වාමිණී..

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය -රෝහණ වීරසිංහ

ඉතින් නැවත එන්නේ සුපුරුදු තැනටය.


Written_by_sAm_ශ්‍රී_Perera_13/09/16

Tuesday, September 6, 2016

සුපිරි තරු ඇති - පදවැල් ලියන මහත්තුරු නැති.. - Need awesome lyrics !!





මගේ හදවත හැඳින ගත් ඔබ කියූ එවදන් මට එපා
මගෙම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා
මතු යළිත් ඔබෙ දෙනෙත් අබියස වැරදි හෝ හමුවනු එපා


සෑමා අද දවස පටන් ගත්තේ මේ ගීතයෙන්ය. නිවසේ දාලා තිබුණු චැනල් එක දෙරණය. දෙරණ මැදිරියට පැමිණ තිබුණේ පැරණි හිතවතුන් දෙදෙනෙක්ය. අයෙක් කුමාරසිරි පතිරණය. අනෙකා “නිල් නුවන් පියවිලා“ ගයන අතුල ශ්‍රී ය. මගේ හදවත ගීතය නැවත දිගු කළකට පසුව අසද්දී ඒ පරණ කික් එක සෑමාට එසේම දැනුනේය. අවසන සෑමාට මතු වූ ප්‍රශ්නය වූයේ කවුද යකෝ මේක ලිව්වේ කියන එකය. දෙරණ නිවේදිකාව සෑමාගේ සිත කියවා ඒ ප්‍රශ්නය ඇසුවේ කුමාරසිරිගෙන්මය. මගේ ගීත දෙසියයෙන් එකසිය අනුවකම තනු, පද සහ සංගීතය මගේමය කිව්වේ කුමාරසිරිය. ඉතිං අම්මට සිරි වෙනවාය. සෑමා මීට පෙර සාප කර කර සිටියේ වර්ථමාන ගායකයින්ට නොව උන්ට ගීත ලියා දෙන පද රචකයන්ටය. ඒත් එහෙම බනින එකත් සුදුසු නැතිය. ඒ බව වැටහුනේ අදය. ඉස්සර කුමාරසිරිලා තමන්ට සැට් වෙන ගීතය තමන්ම ලියා ගත්තේ දැන් ඉන්න උන්ට බලා ගෙන හැදෙන්නටය. ඒත් උන් කරන්නේ කොහෙන් හෝ ලැබෙන පජාත පද වැලකට තාල අල්ලන එකය. නැත්තං අල්ලා ගත් තාලයකට පජාත පද සැට් එකක් එක්කහු කරන එකය.


කුමාරසිරි තමන් පෙම් කළ කෑල්ලට කිව්වේ එපාම කියාය. එදා එපා කියූවේ අපුරුම ක්‍රමයකටය. කෙලින්ම නෙවේය. වටින් ගොඩින්ය. නුදුරු අතීතයේ කෙල්ල එපා කියූ ගීත නම් අල්පය. හැම එකාම කිව්වේ අනේ යන්ඩ එපා දෙයියෝ කියාය. බොහොමයක් ගීත රූප රාමු පවා හැදුනේ කොල්ලා කඳුළු හලාගෙන හොටු පෙරාගෙන අඩන සීන්ය. ඉතිං දැන් ඉන්න කෙල්ලෝ නලලේ තියා ගන්නේ ඒ නිසාමය. කොටින්ම ගත්තොත් ඉන්දියන් නාට්ටි සැට් එකේම ගෑනුන් ලංකාවේ ගෑනුන්ගේ අහවල් තැන නලලට තබා ඇණ ගසා දෙන්නෝය. ඉෂි අම්මාගේ සිට, ස්වප්නා, ශිවන්‍යා පවා උන්ගේ එක නලලට තබා පැලැස්තර ගසන්නෝය. ලංකාවේ වර්ථමාන පද රචනය, ගායනය සහ කොටින්ම රූප රචනය පවා අම්මට සිරි වෙලාය.


නුදුරු අතීතයේ,


යන්න එපා ඉන්න නගේ
තරහා මොටද හදේ..


කියද්දී එදා කිව්වේ,


එක වරක්...ඔබට මා...එපා නම්... 
සිය දහස්...වාරයක්...එපා 
මට ඔබ එපා...


එදා සිටු කුමාරියකට පවා මිල්ටන් ආදරෙන් ගැයුවේ යනවා නම් පලයන් සිටු කුමාරියේ කියාය. වචන එතරම් රළු නොවූ නිසාම අපේ උන් ඒ ගීත තාලයට අත්පුඩි ගසනවා විය හැකිය. නමුත් නොකියා කිව්වේ ඔයා වටේ යනවා නම් මට කිසි වටිනාකමක් නැහැ නංගී කියාය. සිටු කුමාරියේ ඔබේ සිනා සදළු තලාවේ ගීතයෙන් කියැවුණේ මෙසේය.


පෙරදාක වෙන කවුද ලං වූ වගයි
ඔබ ඉන් මුලා වූ වගයි
මධු යාමයේ ගීත සෝ ගී වුනැයි
ඔබගේම දෙනුවන් කියයි


හමුවීම වෙන්වීම ඔබගේ ලොවේ
එක දාක අරුමේ නොවේ
හැමදාම ඔබ ඒ වගේ නම් අනේ
ඔය මල් හිනා නෑ අගේ


එදා පද රචනයට වහ වැටී අපේ උන් ගීත අසන්නේ යැයි සෑමාට හොඳටම වැටහුණේ මෑත භාගයේදී මිල්ටා ගේ පරණ ගීතයක් කොලුවෙක් ගායනා කරන අයුරු සමාජ වෙබ් අඩවි වල බරටම ශොයර් වුණ නිසාය. තනුව සුපිරිය. පද සුපිරිය. සංගීතයද සුපිරිය, සහ මිල්ටාගේ ගායනයද සුපිරිය. ඒත් අපේ උන්ට ඒ ගීතය වැදුනේ ඒ ගීතය ගායනය කරපු තරුණයා කී බෝඩ් එකක් වාදයන කරමින් එහා පැත්තේ කෙල්ලෙක් වාඩි කරවාගෙන සිටි නිසා විය යුතුය. ඇත්තටම අපේ උන් මත් වුණේ සියල්ලටම නොව ඒ ගීතයේ පද පෙලටය. ඔබ ගාව මම ඉන්නෙමි ලෙස ඔහු ගායනා කළේ වර්ථමාන පද පෙලක් නොව, අතීතයේ අපි වැලඳගත් ගීතයමය. 


මෙලෙසේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ
ඔබගේ සිනා දෑස නේදෝ

නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
ඔබගේ මගේ ස්නේහෙ නේදෝ

සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ

වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන් නෑ ළඳේ


කියන්නට ඇත්තේ පොඩි දෙයක්ය. වර්ථමාන බොහොමයක් ගායකයන්ගේ හඬ පිළිබඳව කාටවත් ගැටළුවක් නැත්තේය. ගැටළුව ඇත්තේ හඬ ගැන නොව පද ගැනය. කළ යුත්තේ හඬක් තෝරන තරඟ සංවිධානය කිරීම නොව පද සෙවීමට තරඟ සංවිධානය කිරීමය. අප ගෙදර දොරේ කතා කරන පද වැල් එකතු කොට ගීත සෑදීමේ පිළිකුල් සහගත සංස්කෘතිය වෙනස් කළ යුත්තේ මාධ්‍යය මගින්ය. ඒවාට ශෝට් කට් නැතිය. කළ යුත්තේ හැකියාව ඇති උන් එක තැනකට ගෙන පොලිෂ් කිරීමය. නැති නම් පොලිෂ් වන්නට පිළිවෙලක් සකස් කර දීමය.


එය එසේම වේවා යැයි පතමින් කුමාරසිරිගේ අම්මට සිරි පද පේලි සැට් එකෙන් අහවර කළ යුතුය.


ඔබ රකින්නට සැරසුනේ මා නා රජෙක් සතු මැණික මෙන්
ඔබේ පසු පස මනෙතු රැඳුනේ රකින්නයි ඔබ හැමදෙයින් 
එත් ඔබටම එපා වූ මා නැවත එන්නෑ ඔබ බලන්නට
රහසේ කුමරෙකු සිටිය ඔබ ගේ ඔහුව රැකු මැන සෙනෙහසින්


සැක කලේ මා සැර කලේ මා හදාගන්නයි හැමදෙයින් 
මගේ කියල මගෙම සිතලා ඔබට බැඳි ඒ ආදරෙන්
මටත් හොරා ඔබ තැනූ ලෝකය සවිමත් අතු දැන් බිඳී ගිහින්
ඉතින් ලං වෙනු එපා ඔබ මට නිම වෙනා තුරු මේ භවෙන්


Written_by_sAm_ශ්‍රී_Perera_11:21pm_06/09/16

Friday, June 3, 2016

ඇගේ ඇස අග සහ නසීර් හමීඩ් ගේ ඇස අග - Let her/him Cry !!


ඇගේ ඇස අග ලියු හදගම ගැනවත්, ෆිලුම් එක ගැනවත් විචාර අනවශ්‍යය. නමුත් ඇගේ ඇස අග සහ නැගෙනහිර මහ ඇමති නසීර් හමීඩ් ගේ ඇස අග සමානත්වයක් දකින්නට සෑමාට හැකි වන්නේය. කොහේ හෝ තිබෙන නොගැලපෙන දෙකක් එකට තබා ගලපන්න යෑම සෑමාගේ කුජීත ක්‍රියාවක් හෙයින් කම්පා නොවී කියවිය යුතුය. අවසන කමෙන්ට් බොක්ස් එකේ ඉඩ තිබෙන්නෙ ඔබලාටය. 

ඔහු මහාචාර්ය කෙනෙක්ය. බිරිඳ පැත්තකය. ඔහු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක හා අමුතු සම්බන්ධයක් ඇති කර ගන්නේය. ඇය මුදල් වලටත් නොවන, ඔහු කාමයටත් නොවන ආලයක් දෝ මොකක් දෝ එකකින් ඇය සමඟ බැදෙන්නේය. හදගමයාගේ වල් කතා තමයි තියෙන්නේ උන්ට කතාවේ ඇතුලාන්තය දකින්නට නොහැකිය. හදගමයා පෙන්නන හෙලුව බලන්න යන උන්ටද එය දකින්නට නොහැකිය. හිල්වෙච්ච බෙඩ් ෂීට් එක අස්සෙන් ස්වර්ණා දකින (හෙලුව දකින්නට එන උන් වෙනුවෙන් පෙන්වන) ඇතුල හෙලුව මිසක කතාවේ අන්තර්ගතය නොවන්නේය.

කෙල්ල ලඟට ආවහාම පන්නා දමන මහාචාර්යතුමා, කෙල්ල දකින්නට නැති කොට හොයන්නට යන්නේය. ඇය දන්නේ එකක් පමණක්ය. කෙසේ හෝ මහාචාර්යතුමා තමන් සොයා එන බවය. විලි ලැජ්ජා නැතුව කරන හැම දේම මැඩම් හෙවත් මහාචාර්යතුමාගේ බිරිඳට කෙල්ල කියන්නීය. සර් කෙල්ලව සොයා යන නිසා මැඩම් ඇයව රැගෙන විත් ගෙදර තබා ගන්නීය. ගෙදර සිටින කාලයේ කෙල්ල කොපමණ කැටයම් දැමුවත් මැඩම්ගේ කෝපය යටපත් වූ කරුණාවට වශී වන්නීය. කොටින්ම වෛරයෙන් නොකළ හැකි දේ මෛත්‍රිෙයන් කළ හැකි බවක් නොකියා කියවෙන්නේය. අවසන ඇය නිවසින් පලා යන්නේද, තමන්ගේ අරමුණ ඉලක්කය සර්, මැඩම් සහ ඔවුන්ගේ දියණිය අතර සිටිය හොත් ලබා ගත නොහැකි නිසාමය. හෙලුවෙන් තොර කතාව එපමණය. අමු හෙලුවට වැඩියෙන් වසන් වූ හෙලුව නිසා කතාව තවත් රසවත් වන බව කිව යුතුමය.

එලෙසම අමු හෙලුවෙන් තොර වසන් වූ හෙලුවෙන් රසවත් වූ තවත් කතාවක්ය. පිටදී දමනය නොවූ තැන , වෛරයෙන් දමනය නොවූ තැන, මෛත්‍රිෙයන් දමනය කිරීම ඔලුව අතගා ටොක්කක් ඇනීම වැනිය. පොරෝ පහරට වඩා සැරය. නින්දා සහගතය. ලේ පැල්ලම් නැතිය. කැපුම් තුවාල නැතිය. ඒත් බරටම රිදෙන්නේය.

ආගම, ජාතිය, තනතුර වැඩක් නැතිය. නසීර් හමීඩ් හෙවත් නැගෙනහිර මහ ඇමති මෑතකදී රැඟුවේය. යමෙක් උපතින් බ්‍රහ්මණයෙක් නොවේය. වසලයෙක්ද නොවේය. තම ක්‍රියාවෙන්ම වසලයෙක් හෝ බ්‍රහ්මණයෙක් වන්නේය. සිංහල, බෞද්ධ, දමිල, හින්දු, මුස්ලිම්, මැලේ කතා අදාල නැතිය. ක්‍රියාවම හේතු වන්නේය. එක දමා ගැනීමට තමන්ට ආරාධනා නොකළ තැන හෙතෙම උත්සවයකට ගියේය. ඇමරිකන් ඩෑල් එකක්ද එතැනය. නාවික හමුදා උසස් නිලධාරියාට ඇරියස් නැතුව බනින්නේය. එතැන සිටි පාසල් ශිෂ්‍යාවකටද විසක් කරන අතක පහරක් වැදෙන්නේය. ඇය එහෙත් එතැනට වී බලා සිටින්නේ ක්‍රියාවෙන්ම වසලයෙක් වෙන පාඩමක් ගැනය. ඇය එය උගත්තා විය යුතුය. නැවත කිසියම් උත්සවයකදී නසීර් හමීඩ් පැමිණෙන නිසා ආරක්ෂක අංශ එයට සහභාගී නොවන්නේය. හිස් වූ පුටු සහිතව රාත්‍රී නිවුස් වලට පෙන්වන්නේ මෙන්න අපේ රිටන් එක කියාය.

සර් සමඟ රැලේ ගිය කෙල්ලට පහර දිය යුත්තේ කෙල්ලව පිට තබා නොවේය. ගෙදරට ගෙනවිත්ය. පිට නිදහස ඇතුලේ සීමා වන්නේය. මැඩම් ලෙස ස්වර්ණා කියා දුන්නේ ඒ පාඩමය. නසීර්ට පිට තබා පහර නොදී නාවුක හමුදා මූලස්ථානයට ගත යුතුය. පහර දෙන්නට නොවේය. කන්නට යමක් දෙන්නටය. කලින් කී පාඩම මතක් කළ යුතුය. රිදෙන්නේ පොරෝ පහරට නොව විලිලැජ්ජා සහගත ඔලුව අතගෑමකටය. කැලැල් නැතිය. ලප නැතිය. පිලිස්සුම් පාරවල් නැතිය. දිය මතුපිට ඇන්දාවූ ඉරක් වැනිය. එහෙත් පපුව පතුලට වදින්නේ ගලක ඇදි කැටයමක් ලෙසය. පාසල් ශිෂ්‍යාවකට පුද්ගලයෙකු වසලයෙක් හෝ බ්‍රහ්මණයෙක් වන්නේ ක්‍රියාවෙන්ම බව පෙන්වා දුන් නැගෙනහිර මහ ඇමති නාවුක හමුදාවේ කෑම වේලක් රස බලා පිටත් වන්නේය. නිකන් නෙවේය. විලිලැජ්ජාව දෑතින් වසාගෙනය.

Written_by_sAm_ශ්‍රී_Perera_9:04am_03/06/16

කතාව තවම ඉවර නැතිය. කෙල්ල කිසියම් අරමුණකට යද්දී කෙල්ලව අතරමඟදී හරවන්නට ස්වර්ණා ඇයව තම ගෙදරට ගෙන්වා ගත්තීය. නසීර් හමීඩ් ව කැඳවා ගත්නාතේ වුක හමුදා මූලස්ථානයටය.

Tuesday, May 31, 2016

ගංවතුරේ අතුරු කතා - 3 ආතල් කතා !!


Don't let a little flood get you down


අවතැන් වූ වන්ට ඕනෑ දේ.


කොච්චර කළත් හොඳක් අහන්නටම බැරිය. අපේ උන්ට කොච්චර දුන්නත් මදිය. මේ පෝස්ට් එක ලියද්දීද සෑමාගේ නිවස ඉදිරිපිට නවත්වා ඇත්තේ පත ලොරියක්ය. ලොරියක් නොව කන්ටේනර් එකක්ය. දැනට ඉන් තව කුඩා ලොරියකට බඩු බෑවේය. වරක් නොව දැනට දෙවාරයක්ය. තුන්පාරක් අදින්නටද බඩු එහි ඇත්තේය. බෙදන්නේ අවතැන් වූ අයටය. දැන් ඒ අය නැවත නිවෙස් කරා ගොස් අවසන්ය. මේ පැත්තේ නම් අවතැන්ජ වූ අයගේ ජන ජීවිතය යථා තත්වයට හැරිලාය. ඒත් හම්බෙන ඒවා බෙදිය යුතුය. කලින් ලිපියේ කී පරිදි ග්‍රාමසේවිකාව හා පන්සලේ ලොකු හාමුදුරුවන් මැදිහත්ව එකතුවූ භාණ්ඩ ගමේ පාසලේ තියා බෙදා දුන්නේය. කස්ටිය තඩි මලු රැගෙන ගෙදර ගියෝය. අදත් බෙදන්නේය. ඇත්තය. අපෙ උන්ට කොච්චර තිබුණත් මදිය. මා දන්නා වෙනත් පැත්තක නම් එකතු කරගත් බඩු නිසා වසා තිබූ පුංචි කඩයක් නැවත විවෘත වූයේය. ඒක නම් පුංචි කඩයක්ය. ඒ ඇන්ටී එකතු වූ සනීපාරක්ෂක ඒවා පමණක් විකුණා ගොඩ යන්නට හදන්නීය. අවුලක් නැතිය. ඒ ඇයත් ගංවතුරෙන් අසරණ වූ නිසාය.

කෑම බෙදන දවස් වල සමහර පැතිවලට කෑම නොලැබුණු බවට තර්ජන පවා ආවේය. ග්‍රාමසේවක මහත්මිය කාන්තාවක් නිසා අසරණ වූ බොහෝ පුරුෂයන් ඇයට ඇමතුවෝය. බොහෝ ඒවා දුරකථනයෙන්ය. ඒ දිනවල ඇගේ ස්වාමියා ඈ අසලින්ම සිටියේ තමන්ගේ පුද්ගලික රාජකාරි අමතක කරමින් විය යුතුය. එක්කෝ දෙන්නාටම රජයෙන්ප ඩි දෙකක් දිය යුතුය. නැතිනම් ඔහු තම රස්සාවෙන් ඉවත්ව ඇය සමඟ එක්ව සහයෝගය දිය යුතුය. ඒත් ඔවුන්ද ජීවත් විය යුතුය.

දිනක් ග්‍රාමසේවිකාවට ආ ඇමතුමකින් කීවේ ඇයට එහි පැමිණෙන ලෙසය. එතැන ඇගේ ස්වාමියාද සිටියේය. එහා පැත්තෙන් කතා කළ පුද්ගලයාගේ දරුණු බව නිසාම ඇය ලවුඩ්ස් පීකර් දැම්මේ වටේ සිටින අයට ගමේ උන්ගේ තරම කියා දීමට විය යුතුය.

“කෝ නෝනා කෙහෙද ඉන්නෙ..“

“මම අහවල් තැන ඉන්නෙ මොකක්ද ප්‍රශ්නේ..“

“ඔතන ඉදල හරියනවද ඔයා ඉන්න ඕනෙ මෙතන නේ.. අපි මෙහෙ කරගන්න දෙයක් නැතුව ඉන්නේ..“

“අපි දැනටමත් හැමතැනම කෑම බෙදල තියෙන්නේ.. ඔයාට තියෙන්නෙ කෑම ප්‍රශ්නයක්ද??“

“හරි හරි.. ප්‍රශ්නෙ මොකක්ද බලන්න ඔයා මෙහාට එන්න කෝ..“

“ප්‍රශ්නෙ කියන්නෙ නැතුව කොහොමද මං විසදුමක් දෙන්නෙ.. අනික ඔතනට මං නිකං ඇවිල්ල හරියනව ඈ..“

“නෝනා කියන දේ අහල එනවද මේ පැත්තට.. අපිට තියෙන ප්‍රශ්න කියන්න ඔයා මෙහෙට එන්න එපෑ..“

හරි මඟුලක්ය. ප්‍රශ්නයක් නැත, ඒත් ඇය එහි යා යුතුය. සියල්ලට ඇසුනු ටෙලිෆෝන් සංවාදය අවසන එතැන සිටි සිරා ඩෑල් එකක් විසඳුම කිව්වේය.

“ග්‍රාමසේවක නෝනා මෙහෙම කරල හරි යන්නෑ. කතාකරපු මිනිහට තියෙන්නෙ වෙනම ප්‍රශ්නයක්. ඔයා ඔයාගෙ මහත්තයව මෙතන තියලා කරුවල වැටුනාම ඒ පැත්තට යන්න...“


********


අතුරුදහන් වීම.

ගංවතුර මුල් දින දෙකම පට්ට ආතල්ය. ඒ ගංවතුර ආතල් කිව්වාම මල පනිනවාය. ඒත් කරන්නට දෙයක් නැතිය. ආතල් නම් ආතල් බව කිව යුතුය. මන්ද මුල් දින දෙක කිසිවෙකු මෙහි දරුණු බව නොසිතු නිසාය. අනික වෙනදාට ගංවතුරක් එනතුරු ආතල් ගන්නට බලං ඉන්න කොල්ලෝ කුරුට්ටෝද මේ පාර මුල් දින දෙක පමණක් ආතල් ගත්තෝය. පසුව ව්‍යසනයේ තත්තව තේරුම් ගොස් උන්ද ඇල්මැරුණු ස්භාවයකින් කල් ගෙව්වෝය.

අපේ උන් සමාජ සත්කාර කරන තැනටද ලෑන්ඩ් කළේ ගමේ ඩෑල් එකක්ය. පොරද ආතල්ය. බෝතල් කොහේ හෝ නම් පොර එතැනය. අපේ තැන බෝතල් නැති නිසා ඩෑල් එක එතැනින් පිටත් වූයේ ආපසු එන බව කියමින්ය. කෙසේ හෝ කතාව දිගට ගෙනයාමට පොරට නමක් දැමිය යුතුය. මෙතැන සිට පොර නිව්ටන්ය. නිව්ටා අපෙන් සමුගෙන ගොස් සවස් බාගයේ ඔරුවක වාඩි වී සිටිනු සෑමා දුටුවේය. ඒ ගංවතුර තිබුණු කලාපයේය. ඒ වන විටත් නිව්ටා අඩියක් ගසා ඇති බව තේරුම් ගන්නට සැමට හැකි වූයේ ඔරුව පදින උන්ගේ අවවාද මායිමකට නොගෙන හැසිරුණු නිසාය. බේබද්දෙකු නොවුනත් බොන්නට ඇතිනම් සියළු වගකීම් පැහැර හරින මට්ටමකට සිටි හෙයින් පොරට ඔපිසියෙනුත් බීම සම්බන්ධ කතා කිහිපයක් පටබැඳී තිබුණේය.

ගෙදරට බෑව මඤ්ඤොක්කා ප්‍රමාණය අධික නිසා මහ රෑ වනතුරුත් අස්පස් කිරීම් ආදි වැඩ නිමව නොතිබුණේය. එහෙත් පාර්සල් ගසා බෙදා දීමට පිරිස් පිටව තිබුණු නිසා වැඩේ සාර්ථක බව කිව යුතුය. රාත්‍රී 10 පසුවන විට ආරංචිය ආවේ නිව්ටා මිසින් වූ බවක්ය. ඒ නිසාම ගෙදර උදවිය බුද්ධික අයියාගේ කමියුනිකේෂන් එකට ඇන්ටර් වී ඇත්තේ නිව්ටා ගැන සොයන්නටය. නිව්ටා කෑම හදන තැන සිටි බව බුද්ධික අයියා කියා තිබු නිසා පිරිස ආවේ අපි වැඩ කළ තැනටය. අප අතරින් දහවල සමුගෙන ඩෑල් එක අවසන් වරට කොටු සරමක් ගසාගෙන ඔරුවක නැගි සිටි බව ඇසු ගෙදර උන් විස්සෝප වූවෝය. පොරව ඒ වන විටත් අතුරුදහන් වූවන්ගේ ලිස්ට් එකට දමා හමාරය. ෆෝන් එකද වැඩ නැතිය. ඒ අස්සේ වෝටර් වර්ල්ඩ් එකේ වැඩ කරන කොලුවෙක් පාරුවක ගොස් ටැංකි වසන්නට ගොස් වතුරට වැටී මිය ගිය පුවතක්ද ගම හොල්ලමින් තිබුණේය. ඉතිං නිව්ටා අතුරුදහන් වූ ලිස්ට් එකට දැමීම අසාධාරණ නොවන බව බොහෝ අය සිතුවෝය. රෑ වෙනතුරුම නිව්ටා ගැන තොරතුරක් නැතුව ගෙදර උන් නිව්ටා සොයන වැඩේ අතැර දමන්නට ඇතිය.

පසුදින පාන්දරම අපට නිව්ටා මුණ ගැසුණේය. පොර සිටියේ ගෙදර යන ගමන්ය.

“කොහෙද හිටියේ.. අන්න ගෙදර අය ආව හොයාගෙන.“

“ඔව් මල්ලී මම මේ ගෙදර යන ගමන්..“

“ගෙදර මිනිස්සු බය වෙලා. හිතල තියෙන්නෙ වතුරෙ ගිහින් කියලා..“

“වතුරේ තමයි මල්ලි ගියේ..“

“වතුරේ ගහගෙන ගිහින් කියල හිතල තියෙන්නේ... කොයිද ඉතිං හිටියේ??“

“මම පීටර්ලෑ ගෙදර සෙට් වුණා බං. ඔරුවේ ගිහින් කෙලින්ම ලෑන්ඩ් කලේ එහෙ. උඩ තට්ටුවේ තියාගෙන ගැහුවා..“

“අඩේ එහෙ යට තට්ටුවත් යට වෙලා නේද?“

“ඔව්.. පීටා කිව්වා රෑ වෙද්දි වතුර වැඩිවෙයිද දන්නෑ නිව්ටෝ කියලා.. ඉතිං අපි ඇහැරිලා හිටියා වතුර වැඩිවෙයිද බලන්න. නිදි මරන්න බැරි නිසා හීනියට සැට් වුණා..“

“අප්පට බොල, ගෙදර උන් අන්න ඔයාව අතුරුදහන් ලිස්ට් එකටත් දාලා..“

“අම්මට හැමිනෙන්න.. ඕකි බලං ඉන්නෙ මම අතුරුදහන් වෙනකල් තමයි...“

********

Written_by_sAm_ශ්‍රී_Perera_05/31/16

සෑමා ගංවතුරේ අතුරු කතා තුනක් ලිව්වේය. ඒවා මෙසේය. කියවා නැති නම් මුල සිට කියෙව්වා නම් හොඳය.

3. ආතල් කතා.


Tuesday, May 24, 2016

ගංවතුරේ අතුරු කතා - 2 නොසෑහීම !!


ගංවතුර නිසා වෙසක් කලාපයට කෙළවුනේය. සෑමාගේ බ්ලොගේ වෙසක් කලාපය මෙන්ම ලංකාව පුරා සූදානම් කර තිබුණු කූඩු තරඟ, තොරණ්, දන්සැල් සහ සියළු වෙසක් කලාප පෙරටුගාමී ස්භාවයක් නොතිබුණේය. ඒ ගංවතුර උවදුර නිසා සාමාන්‍ය ජනජීවිතයට වූ හානිය නිසාමය. ඒ හැම කලාපකයක්ම, තොරණක්ම, පොසොන් එකට එළියට එනවා ෂුවර්ය. වෙසක් කලාපයට අනුබද්ධ කොට ගංවතුර හමුවේ මිනිස් ක්‍රියාකාරකම් රැසක් සෑමා දුටුවේය. ගංවතුර හමුවේ කුහකකම් ලෙස පළවෙනි ලිපියත්, දෙවෙනි ලිපිය ලෙස නොසෑහීම් ගැන මේ ලිපියත් ලියන්නේ අපේ මිනිස්සුන්ට “කොච්චර ලැබුනත් මදි“ බව ප්‍රායෝගිකවම සෑමා දුටු නිසාය. තවත් එකක්ය...

“සමාජ සත්කාර කරන්නේ නම් සිරිලාංකිකයන්ගෙන් අබ මල් රේණුවක හෝ ගුණයක් ඇසීමට බලාපොරොත්තු නොවිය යුතුය.“



බියගම පාර යටවූයේ සෑමාගේ නිවස දෙපැත්තට වන්නටය. තල්වත්ත පැත්තෙන්ද, පට්ටිවිල පැත්තෙන්ද යට වූ නිසා සෑමා හිටියේ කොටු වෙලාය. වෙනදාට එන ගංවතුර මේ තරම් නොවන නිසාත්, එකතු වන ගංවතුර දිනකින් බැස යන නිසාත් කැළණි ගං මිටියාවතේ ජනතාව එතරම් තැකීමකින් තොරව සිටි බව සැබෑය. ඒ නොසැලකිල්ල නිසාම සිදුවූ හානිය වැඩිය. සෑමාගේ ගමේ ගංවතුරෙන් පීඩාවට පත් උදවිය සිටියේ ගමේ පාසලේය. බොහොමයක් උදවිය තමන්ගේ හිත මිත්‍රාදීන් සොයා ගියෝය. බොහොමයක් පිරිමි ජනතාව තමන්ගේ නිවෙස් වල ඉහළ මාලය නැග හෝ, තම නිවස අසල තවත් නිවසක හෝ සිටියේ නිවෙස් වල ආරක්ෂාවතකාය. බොහෝ නිවෙස් වල වාහනද දරුණු ලෙස වතුරට යට වූයේ සූදානමක් නැති කම නිසාය. ඒ නිසාම බොහෝ අය අසන්නේ ඇයි යකෝ ඔච්චර යට වෙනකල් ඇට කෑවාද කියාය. දැන් අඩු වෙයි, දැන් අඩුවෙයි කියමින් සිට ඔවුන් ජල ප්‍රමාණය වැඩිවන තුරුම අනාවැකි කියූ බව ඇත්තය. ඒ නිසා සිදුවූ පාඩුව දරුණුය.

සියල්ල අවසන ලංකාවේ මිනිසුන්ගේ දීමේ නොඅඩු කම දෝරේ ගිය බවක් පෙනුනේය. ඒ මේ ප්‍රදේශයට ලැබුණු කෑම, සහ ද්‍රව්‍යමය ආධාර නිසාය. කෑම ප්‍රමාණය ගැන ගණනින් නොකිව යුතු වුවත්, අවතැන් වූ බොහොමයක ගේ ක්‍රියාකලාපයන් සහන සේවා සැපයූ අයගේ ශක්තිය හීන කළ බව කිව යුතුය. ගමේ පන්සලේ හාමුදුරුවෝ කවදත් වගේ සියළු කටයුතු වලට රෑ දහවල් නොබලා කටයුතු කලෝය. එයම දායක සභාවට සහ සහන සේවා සපයන ජනතාවට ශක්තියක් වූයේය. උන්වහන්සේ එළියට බැස්සේ ගමේ පන්සල සහ ආවාස ගෙය යට වූ නිසා නොවේය. හැමදාමත් මෙන් ගමේ පොදු කටයුත්තකදී, මරණයකදී පවා  උන්වහන්සේ ක්‍රියාවෙන්ම මැදිහත් වන බවට සාක්ෂි අපමණය. අපේ ගමේ සිටිනා ග්‍රාමසේවක ද කාන්තාවක්ය. ඇය තම ස්වාමියාද පෙරටු කොටගෙන වතුරට බැස්සාය. දිවා රෑ නොබලා ලැබෙන ආහාර නිසි පරිදි බෙදා දීමට කටුයුතු කළ බව සැබෑය. ආහාර සහ ආධාර රැගෙන එන පිරිස් ඒවා ඔවුන්ගේ අතින්ම බෙදා දීමට උත්සාහ ගත්තේ කිසියම් අක්‍රමිකතාවයක් සිදුවේ වී යැයි සැකෙන් විය යුතුය. එය නම් සාධාරණය. මන්ද මේ සිරිලංකාව නිසාය. එහෙත් එසේ නොබෙදා ආහාර ද්‍රව්‍ය පන්සලේ හාමුදුරුවන් ඇතුලු පිරිස් මැදිහත්ව එක තැනකට එකතු කොට බෙදීමෙන් ආහාර ලැබුණු නොලැබුණු ජනතාව නිසි පරිදි හදුනාගෙන එකම තැනකින් බෙදීමෙන් අක්‍රමකිතා වලක්වා ගැනීමට සහන කටුයුතු වල නියැලුනු පිරිස් වලට හැකි වූයේය. එලෙසම ද්‍රව්‍යමය ආධාර එකම තැනකට එකතු කොට ග්‍රාමසේවක හා පිරිස් මැදිහත්ව බෙදා දිය යුතු බව නිගමනය විය. එයටද ආධාර රැගෙන එන සමහර පිරිස් අකැමැතිව කිසිම පදනමකින් තොරව පීඩාවට පත්, පීඩාවට පත් නොවූ ජනතාව අතර බෙදා දීමට කටයුතු කළෝය. එහෙත් එකම තැනකට එකතු කොට පීඩාවට පත් ජනතාව නැවත පදිංචි වූ පසු බෙදීමේ සංකල්පයට එකඟ වූ පිරිස් තම ආධාර පන්සලට හෝ ග්‍රාමසේවිකාවට බාර දී පිටත්ව ගියෝය.

කළ හැකි දේට මැදිහත්ව, කළ නොහැකි දේ පැත්තකට වී බලා සිටි සෑමා මේ ලිපිය ලියන්නේ නොසෑහීම ගැනය. බොහෝ අය කීවේ තමන්ට කන්නට දෙයක් වත් නොලැබුනු බවය. ඒ නම් අමු බොරුය. කෑම පාර්සල් ප්‍රමාණාත්මකව කිවහොත් අපතේ යන තරමට ලැබුණේය. ඒ අතර ගංවතුර දැමූ පළමු දින පන්සලේ පිරිස් එක තැනකට එක්ව කෑම උයන්නට කටයුතු කළෝය. පසු දින අප දැනුවත්ව ලැබුණු කෑම ප්‍රමාණ සඳහන් කළ යුතුය. එය අසාධාරණ නොවන්නේ සුළුතරයකගේ නොමනා ක්‍රියාකාරකම් නිසාය. මඤ්ඤොක්කා කිලෝ දහසකට වැඩියෙන් තම්බා පාර්සල් දෙදහසකට වැඩියෙන් සාදා බෙදා දීමට අප පිරිස් කටයුතු කළෝය. එදිනම පන්සලෙන් පිසූ බත් පාර්සල්ද ජනතාව අතර බෙදා දුන් බව සත්‍යක්ය. ඒ මදිවාට පිටින් ආධාර ලෙස ලැබුණු කෑම නම් බොහෝය. පසු දින නැවත මඤ්ඤොක්කා තැම්බූ අපට පාර්සල් පන්සියයක් පමණ නැවත සාදා ගත හැකි වූ බව සැබෑය. ඒ අතර සෑමා පට්ටිවිල පැත්තේ තම මිතුරෙකු අමතා කෑම තත්වය ගැන විමසුවේ ඔහුද ගංවතුරට අසුව නිවසේ ඉහළමාලයේ රැදී සිටි නිසාය. අපි උඩ ඉදන් උයාගෙන කනවා මචං, අපි විතරක් කාල හරියන් නෑනේ බං. ඒ නිසා අපි පට්ටිවිල පන්සලේ උයන වැඩ වලටත් සෙට් වුණා කියා ඔහු කිව්වේය. ඇත්තටම සංවේදී වචන පෙලක්ය. තල්වත්ත පන්සලේ පිරිස් ලොකු හාමුදුරුවන් සමඟ එක්ව නිවසක උයන පිහන අතර පට්ටිවිල පන්සලට එක්ව හාමුදුරුවන් සමඟ එකතුව උයන පිහන ජනතාවක්ද සිටින බව සෑමාට පසක් වූයේය. ඊට අමතරව එදින පට්ටිවිල පැත්තට වෙන්නප්පුවෙන් කෑම පාර්සල් 750ක්ද එන බව මිතුරා කිව්වේය. ඊටත් පසු දින උදේ කෑම හිඟබව ආරංචි වූ නිසා සැමාගේ සහෝදරයෙක් මැදිහත්ව මහරගම ප්‍රදේශයෙන් කෑම පාර්සල් 350ක් උදේ ආහාරයටද, දහවල ආහාරයට කෑම පාර්සල් 500ක් පට්ටිවිල පන්සලටයද, තවත් 150ක්, තල්වත්ත පන්සලේ උයන පිරිස් රැදී සිටි තැනටද එකතු කළේ ආධාර ලැබීමේ ප්‍රමාණය ප්‍රායෝගිකව පෙන්වා දෙමින්ය. ඒ අතර වියලි සලාක සහ ද්‍රව්‍යමය ආධාර ලැබුණු බව සත්‍යය. තත්වය එසේ තිබියදී පිටින් පිරිස් පැමිණ බෙදා දුන් ආහාරද, නිවෙස් වල පිළියෙල කොට බෙදා දුන් ආහාර ප්‍රමාණද, ආධාර ප්‍රමාණද අප දුටුවෙමු. 

නැවත වේලාවක වතුර බලන්නට ගොස් සිටියදී ගමේ ග්‍රාමසේවක මහත්මියද, ඇගේ ස්වාමියාද, ගමේ සහ පන්සලේ දායක සභාවේ පිරිස්ද සමඟ සෑමා කතා බස් කරමින් සිටියේය. මොහොතකින් ග්‍රාමසේවක මහත්මියට ආවේ දුරකථන ඇමතුමක්ය. ඇය ඒ වනවිට සිටියේද දණකට වඩා වතුරේ බැසගෙන ඔරුවකට වතුර බෝතල් සපයන ගමන්ය. පැත්තක බත් පාර්සල් අඩංගු පෙට්ටියක්ය. ඇයට ඇමතුම ලැබුණු සැනින් ලවුඩ්ස්පීකර් දමන්නට වූයේ එහා පැත්තෙන් එල්ලවු චෝදනාවේ දරුණු කම නිසාය.

“ග්‍රාමසේවක නෝනා කොහෙද ඉන්නෙ??“

“මම මෙතන දුංගාලවත්ත ලඟ..“

“ඔයා හිටියට වැඩක් තියෙනවද? අපිට මෙහෙ කෑම නැහැ..“

“කොහෙටද කෑම නැත්තෙ.. අපි දැනටමත් ලැබුනු කෑම බෙදලා මෙතන ඉතිරි වෙලත් තියෙනවා..“

“අපි මේ විජයාරාම පාරේ, ඔයා ඇවිත් බලන්නකෝ..“

“මම ඇවිත් බැලුවට ප්‍රශ්නෙ විසදෙන්නෑනේ.. තැන කියන්න.. අපි ඔය පැත්තට කෑම බෙදුවා ඇවිත්..“

“තැන වැඩක් නැහැ ඇවිත් බලන්න.. ඔයා ඔහෙ ඉදල හරයනවද??“

එතැන සිටි පිරිස් මැදිහත්ව කතා කරන පුද්ගලයාගේ නම, ලිපිනය ඇසුවද ඔහු කිව්වේ කෑම නොලැබුණු බවක්මය. ඒ වන විටත් ඒ පැත්තට කෑම බෙදා දී අවසන්ය. බැරිම තැන ඇමතුම විසන්ධි වූ පසුව ත්‍රිවීල් එකක නැගී පිරිසක් ආවේය. කැළණි කැම්පස් එකේ සෙට් එකක් රැගෙන ආ සීන් සම්බල පාන්, වතුර බෝතල් සහ ඇඳුම් ඇතුළු ද්‍රව්‍ය බෙදා දී පැමිණි ත්‍රි රෝද රථය විජයාරාම පාරේ සිට ආ එකක්ය. කොච්චර ලැබුණත් නොලැබුන බව කියනා පිරිස් සමාජ සත්කාර වල ශක්තිය හීන කරන්නක් බව එයින්ම වැටහී ගියේය. ඒ අතරම ග්‍රාමසේවිකාව කියා සිටියේ සමහරු එක කෑම පාර්සලයක් රැගෙන ගොස් එය දිග හැර බලා, නැවත පාර්සලයක් ලැබුනහොත් එයද රැගෙන යන බවක්ය. දෙකම එක්කොට හොඳම ආකාරයෙන් වළඳන සිදුවීම්ද ඇය පහදා දුන්නීය.

අනිත් සිද්ධිය නම් ද්‍රව්‍යමය ආහාර ලබා ගැනීමේදී මිනිසුන් සිදු කළ නින්දිත ක්‍රියාවන්ය. එය සෑමා ඇස් දෙකට දුටු නිසා මෙසේ ලියා තැබිය හැකිය. නිවෙස් යටවූ අය පිරිමින් තම නිවෙස්වල උඩු මහල් වල තැබූහ. කාන්තාවෝ සහ දරුවෝ වෙනත් ආරක්ෂිත ස්ථාන වල රැදී සිටියෝය. එසේ සිටියදී ආධාර බෙදන උදවිය පැමිණි විට කාන්තාවෝ සහ දරුවන් වෙන වෙනම පෝලිම් වල රැදී සිට ආධාර ලබා ගන්නෝය. ගමේ නොවන, පීඩාවට පත් නොවු උදවිය පවා පෝලිම් අසල සිට ද්‍රව්‍ය ලබා ගත්තේ පිටස්තරින් පැමිණෙන ආධාරකරුවන් රවටමින්ය. එලෙසම පෝලිමේ සිට ආධාර ලබා ගන්නා උදවිය නැවත එම ද්‍රව්‍ය කොහේ හෝ තබා පෝලිම පැමිණ සිට ගන්නෝය. එලෙසම පිටතින් පැමිණෙන උදවිය දෙන ආධාර විටක ලැබෙන්නේ කොහෙන් හෝ පැමිණි අයෙකුටය. අසරණ වූ අයට නොවේය. සියළු සිද්ධීන් සාමාන්‍ය වුවද, ආධාර ලබා දෙන්නන්ගේ ඉදිරිපත් වීම සහ සිතෙහි ඇතිවෙන සතුට අඩු කිරීමට සමත් වූවා මිසක කිසිම ප්‍රිය උපදවන සිද්ධියක් නොවූ බව කිව යුතුය.

අපේ රටේ උදවිය දානය හෙවත් දීම කරන්නේ උපරිමයෙන් බව පසක් වූයේ ආධාර ලෙස බෙදීගිය දේවල් දැකීමෙන්ය. මාධ්‍ය ආයතන, අන්තර්ජාලය, හරහා මෙන්ම ප්‍රජාවන් එකතුව සිද්ධ කළා වූ සත්කාරයන් ඉතා අගය කළ යුතුය. එලෙසම නිකං ලැබෙනවා නම් ඕනෙම දෙයක් පමණට වඩා පොදි ගසා ගැනීමේ ජාන ගත වරදද උලුප්පාලීමට උක්ත ව්‍යයසනය උපකාරී වූයේය.

භෞතිකමය දේවල් අහිමිව, නැවත හිස ඔසවන්නට වෙර දරන ජනතාව අතර අධ්‍යාත්මිකව සහ අධ්‍යාපනිකව ගොඩ යන්නට වෙර දරන ශිෂ්‍ය ශිෂයාවන් වෙනුවෙන් කරන්නට යන වැඩසටහනට දායක විය හැකි නම් ඔය ඔබ කරගන්නා වූ මහත් පිං ක්‍රියාවක්ය. ඒ පිළිබඳ බස්සිගේ ලිපිය මෙතැනින්.

තිරය ඉදිරියේ සහ තිරය පිටුපස දහඩිය ගංවතුරේ දිය කළ සියල්ලන්ටම පිං ය !!

Written_by_sAm_ශ්‍රී_Perera_8:40pm_24/05/16

Friday, May 20, 2016

ගංවතුර සහ කුහක කම.. Attitudes, Beyond Flood !!!





නාය ගිය කඳු ගැටේ - බුදු පිළිම සිර වෙලා
ගංවතුර මැද්දෙනුත් - ජේසු අද නැඟිටලා
බුදුවදන් නිවැරදියි - කියන උන් හිනැහිලා
ජේසු තව දිවිගෙවයි - හිතන උන් සැනසිලා



උප්පැන්න නොබලාම - ජල කඳන් සැඩ වෙලා
ජාතියක් නොබලාම - අපේ උන් එක් වෙලා
ආගමක් නොබලාම - ජල කඳන් සැඩවෙලා
හරි වැරදි නොබලාම - අපේ උන් එක් වෙලා



දෙක තුනට බෙදි බෙදී - රිදුනු සිත් සනසලා
අවතැන්ව ඉන්න උන් - රැක ගන්න රොක් වෙලා
එක රටක්, එක තැනක් - බව අපට පවසලා
සොබා දම් මව් පුතුට - පාඩමක් පෙන්නලා



කැළණියේ බොදු සෙනඟ - පාරුවක නැගීලා
හංවැල්ල කිතුණුවෝ - ජල සැරෙන් මිදීලා
වැල්ලම් පිටි සෙනඟ - මුස්ලිම්ද නොඅසලා
සොබා දම් බල මහිම - මුළු රටම හොල්ලලා



අද එකමුතුව හිඳ - ජීවිතය මුදාලා
හෙට නැවත දිය සිඳී - ආගමක පැටලිලා
අපි හරියි, තොපි වැරදි - බව කියා සැනසිලා
යලි යලිත් උරන වෙමු - ජාතියෙන් බෙදීලා



Written_by_sAm_ශ්‍රී_Perera_7:05am_20/05/16

Tuesday, May 17, 2016

ඉර මාමාට සහ වැහි දෙයියන්ට ඉස්ටූටි කරන්නට ලියමි.. !!


පැන්සලක් කොලයක් අතට ගත්තේ කාලෙකින්ය. ඉක්කෝලෙ වැඩ අස්සේ කාටවත් ලිපියක් ලියන්ඩට පොඩි සෑමාට නො ඇහැක් වූයේය. ඉක්කෝලෙ ඉන්නා කෙල්ලන්ට චැට දැම්මාට, ඇෂ් ඇස්.ඇම්.ඇස් ගැහුවාට ලියුමක් ලියන්ඩට තරම් පොඩි සෑමාට කාලයක් නැතිවූවාය නැතිය. වැස්ස නිසා, අකුණු ගසන නිසා ලයිට් නැති නිසා පොඩි සෑමා කුප්පි ලාම්පුවෙන් මේ ලියුම කොටන්නට ලියන්නට ගත්තාය ගත්තේය. 



ඉතිං දයාබර ඉර මාමේ, වැහි දෙවිමාමේ,

ඉර මාමා නම් අපේ සිරිලංකාව සමඟම පට්ට ඇරියස් බව පොඩි සෑමා දන්නේය. මොකද බොට පහුගිය ටිකේ අපේ එවුන් සාප කළ නිසාය. ඒ කෝපය නිසාම කන පැලෙන්න අව්ව තිබුණාය තිබුණේය. ඒ බව පොඩි සෑමා හොදටම දන්නෙමුය දන්නෙමිය. ඔයා බොරු නිවාඩු දමා ගෙදර ගිය බව අපි දන්නේය. ඒ ගොස් වැහි මාමා එව්වේ අපිත් එක්ක ඇති තලාටය. ඒ වුණාට පොඩි සෑමා නම් ඔයා දෙන්නා එක්කම යාලුය. ඇත්තටම ඔය දෙන්නාම හූනියමක්ය. කළේ හොඳක්ය. අපේ ගමම අද කාලා එක පවුලක් මෙන් ඉන්නේ ඔය දෙන්නා නිසාය. ඒ ගැන කාටවත් තේරුමක් නැතිය. ඒත් මට හොඳටම තේරෙන්නේය.

එහා ගෙදර සූටි අයියාගේ නම කිරි පුතාය. ඒ ඇන්ටී ලස්සන බව තාත්තා කීවාය. පුතාට ආදරයට කියන්නේ කිරි පුතා කියාය. ඒ කොලුවා තාම කිරි බොන බව ගමම දන්නේය. අපේ තාත්තා ඒ බව දන්නෝ කෝමදැයි අම්මා ඇසුවේය ඇසුවාය. තාත්තා කිව්වේ ඌ නිසා උගෙ අප්පාටත්, එහා ගෙදර මිල්ටන් මාමාටත් කුක්කු නැති බවය. ඉතිං කිරි පුතා අයියාව මම දැක්කේ මීට වසර ගානකට පෙරය. ඒ කලින් දාසක් ගංවතුර දාපු නිසාය. අල්ලපු ගෙදර හිටියත් කිරි අයියාගේ කට හඬ මට ඇසෙන්නීනේය. හැමදාම උදේට ඌ දොට්ට යන බව මා දැනගත්තේ අපෙ අම්මාගෙන්ය. “අම්මේ හරී...“ යැයි ඌ උදේට කෑගාන්නේ කක්කා දාන්ඩ දොට්ට ගියාට පසුය. එවිට කිරිපුතා අයියාගේ අම්මා පැමිණ කක්කා කනවාය හෝදනවාය. දාසක් අපෙ මිල්ටන් මාමාද ඒ පැත්තට දිව්වේ බාල්දියක් අරගෙනය. කිරි පුතා අම්මේ කිව්වාම අපේ මිල්ටා අහවල් එකට ගියා දැයි අම්මා ප්‍රශ්න කළාහුය. ප්‍රිතු සේනේහය එහෙම බව කිව්වේ අපෙ තාත්තාය. කෝම වුණත්  වෙනදාට ඒ අයියා ගෙදර වහලය උඩ සිටින්නීනේය. කැප් එක හරාට දාගෙනය. ඌට කැප් එක හරි පැත්ත දාන්ඩ බැරි බව කිව්වේ අපෙ තාත්තාය. අම්මා කිව්වේ නම් උගෙ අප්පා හරියට කැප් එක දැම්මා නම් කිරි පුතා අද මෙලොව නැති බවක්හුය. ඒත් අපෙ තාත්තා විද්‍යාත්මකව පහදා දුන්නේ අප්පා කැප් එක දැම්මාට මිල්ටා නිසා කිරි පුතා මෙලොව කෝමත් එළිය දකින බවක්ය. ඒවා පොඩි සෑමාට දැන ගන්න වෙන්නේ ජුන්ඩා ලොකු වුණාමය. විජ්ජාව පාඩමටය.

ගං වතුරට කලින් කිරි පුතා අයියා මා හැමදාම දැක්කේ කොළපාටටය. ෆේක්ස් බුකියේ ඔන් ලයිට් එකේය. ඌ ඉන්නේ සැපේය. අහසේ දෙයියෝ නෑ කිව්වේය. පොලොවේ ඉන්නේ රියල් කැනරියෝ කිව්වේය. වහලේ උඩ රෙකෝඩ් කරපු ඒ විඩියෝ එක දාලා කිරි පුතා මාමා අයියා බිමට බැස්සේ එහා ගෙදර ඇන්ටී අල්ලගෙන හිටි ඉනිමග දිගේය. කෝම හරි ගංවතුර නිසා අයියා එළියට බැස්සෝසේය. පොඩි සෑමාට ඉන් කිකැරි අයියා සමඟ කතා කරන්නට අවස්ථාවවාදී ක් ලැබුණේය. අයියා කිව්වේ උඩ ඉන්නා ඉර මාමාට රැපක් කියන්ඩ ඕනේ කියාය. ඉර මාමා නිවාඩු ගියේ සැපේ ඉන්ඩලුය. ඉතිං නිවාඩු කැංසල් කොට ගෙන්නා ගත හැක්කේ රැපෙන්ලුය. පොඩි සෑමා අම්මාට කිව්වේ මේ මහ වැස්ස කිරි අයියා පුතාගේ වැඩක් කියලාය. අම්මා කිව්වේ ඔව් ඒකත් වෙන්ඩ බැරි නෑ එහා පැත්තේ මිල්ටන් අංකල් වස්කවි කාරයා කියාය.අපෙ ගෙදර උන් හැදාම කියෝන මිල්ටන් අංකල්, කිරි පුතා, කිරිපුතාගේ අම්මා අතර සම්බන්ධන් තාවය තාමත් මට පේලිකාවක්ය. ඒ පේලිකාවේ හරස් පදයක වත් කිරි පුතා අයියාගේ ඩැඩා නැත්තෝතිය.

කෝමෙන් කෝම හරි අපේ ගමම කෝමත් සමඟියයෝය. ඒත් ගමටම තිබ්බ ප්‍රස්නය මිල්ටන් අංකල් හා කිරි පුතා අංකල්ගේ අඩ දඹරයන්ය. එත් මිල්ටන් ඉර මාමා ෂහ වැහි දෙයියන්ගේ ඩීල් එකට පිං ෂිද්ද වෙන්නට මිල්ටන් අංකල් ආ කිරි පුතා අංකල් අතර ප්‍රශ්නය නිරවුල් වූවානේය. ඒ ගං වතුර නිසාය. ඊයේ සෑ තමයි සෑය. අපේ කිරි පුතා අයියලා ගෙදෙට්ට වතුර ගලන්නට වුණේ ඊයේ හවස සිටය. කිරි පුතා අංකල් වැඩට ගොස්ය. අසල්වාවේෂියෙක් ලෙස මිල්ටන් අංකල් කිරි පුතා ඇන්ටිලැ ගේ දිහා බලන නිසා හොඳය. නැත්තං කිරි පුතා අයියා අදටත් මිනි පෙට්ටියේය. ඉර මාමා කැදවන්නට සැල්පිං රැසැපක් කරන්නට කිරි පුතා අයියා වහලෙට නැග්ගාගේය. බිමට බයින්නට තිබ්බ ඉනිමඟ මිසින් වෙලා තිබ්බේ ඒ මෝතේය. බලද්දී ඒ ඉනිමඟ මිල්ටන් අංකල්ලෑ තාප්පෙට හේත්තු වෙලාය කොරලාය. ඒ කොරලා ඇත්තේ කිරි පුතා ඇන්ටීය. කිරි පුතා අයියා වහලේ උඩ සැපේ බව ඇන්ටී නොදත්තායතෝය. මිල්ටන් අංකල් තාප්පේ උඩින් ගේ පැත්ත සැපෙන් බලං ඉන්නා නිසා ඇන්ටී තාප්පෙට ඉනිමග හේත්තු කොරලා මිල්ටං දෙයියා වත්ත පැත්තට වඩම්මලාය. දෙන්නා සැපේ ඉදලාය ඒ මදිවට වත්තේ දණක් උසට ගං වතුරය. ඇන්ටිලෑ කාමරේ ඇඳේ කකුල් මට්ටමට වතුර තිබ්බ බව කිව්වේත් මිල්ටන් අංකල්යහුය.

කෝම හරි බිමට බයින්නට ඉනිමග නැතුව කිරි අයියා පුතා කෑ ගැහිලාය ගහලාය. ගං වතුර කලබල අස්සේ කාටත් ඇහිලා නැතිය. කෝමත් කිරි පුතා අයියා වහලෙට වෙලා රැප දාන නිසා ගමේ උන්ට ගානක් නැතිය. අනික අයියා සෙයාර් කරන ඒවා පේජ් වලා ඇඩ්ඩිං ලා බයිට් එකට ගන්නා බව කිව්වේ අපෙ අක්කාය. එයාත් බුකියේ ඒන්ජල් කෙනෙක් ය. කෝමෙන් හරි කිරි පුතා අයියා වහලේ උළු කැටයක් ඈත් කරලා කාමරේට ඔලුව දමා ඇත්තේයහුය. එතකොට කාමරේ ඉදලා ඇත්තේ මිල්ටන් අංකල් හා කිරි පුතා ඇන්ටීය. කිරි පුතා දැක ඇත්තේ ඇඳ මට්ටමට වතුර තියෙද්දී මිල්ටන් අංකල් ඇන්ටීව නෙලාගෙන වඩාගෙන ඇදෙන් උඩට ගන්නවාය. “අනෙ අංකල් අම්මවත් බේරගෙන මාවත් බේර ගන්ටෝ“ කියලා කිරි අයියා කෑගහලාය. ඒ අස්සේ ඇන්ටිව බේරගන්න මිල්ටා ඇවිත් හිටියේ හෙලු ඇඳුම් නැතුවලුය. ඇන්ටීද ඇඳුම් ඇඳගෙන එලියට බහින ටිකට කිරි පුතා අයියා වහලෙන් ලිස්සලා ගිහින්යලුය. රූටලා රූටලා වහලේ කෙලවරෙන් බිම වැටෙද්දීම මිල්ටං අංකල් කිරි පුතා අයියාව අල්ලගෙනය. මුළු ගමම දුක් ගංගාවක ගිල්වන්න ගිය සෝක පුවතක් නැවැත්තුවේ මිල්ටන් අංකල්ය. නැත්තං කිරි පුතා අයියාද මැරෙනවාය. ඇන්ටීද මැරෙනවාය. අංකල් ඔපිසියෙන් කලින් ඕෆ් වෙලා ආවා නම්, මිල්ටන් අංකල්ද මැරෙනවාතමාය.

මොක වුණත් හැම දේම වුණේ හොඳටය තමයි. කිරි පුතා අංකල්ගෙන් මැරුම් කන්නට හිටි මිල්ටං අංකල් දැන් පවුලේ සාමාජිකයෙක් වගේය. අපෙ අම්මා කිව්වේ නම් කෝමත් එක ගෙයි පවුලක් කියාය. එසේම කිරි පුතා අයියා ඊලඟ රැප අප්ලෝඩ් කරනවා කිව්වේ මිල්ටන් අංකල්ගේ ගුණ ගැහිලා ගයලාය. මේ සියල්ලටම මුල ඉර මාමාය. එයා නිවාඩු නොගියා නම් අද මේ සතුට නැතිය. මිල්ටන් මාමා ගමටම වීරයෙක් වුණේය. තරහවෙන් හිටි පවුල් දෙකක් යාලුවෝ වුනෝය. ඒ වැහි දෙයියන්ට පිං දෙන්න සිද්ද වෙන්නටය. 

දැන් ප්‍රශ්න අහවර ඉවරය. හැමෝම යාලුවෝය. ඒ නිසා ඉර මාමා නැවත පැමිණ, වැහි දෙයියා රිටයර් වුණා නම් හොඳය. ඒ අවතැන් වූ මගේ යාලුවන් නිසාය. යාලුවන්ගේ දෙමාපියන් නිසාය. රස්නය සමනය කර ගමේ සාමය උදා කළ ඔබට ස්තුතිය. නැවත අවශ්‍ය විටක එන්න කියනකල් පලයන්ය එන්න එපාය.

පිං සිද්ධ වේවාය. !!

Written_by_sAm_ශ්‍රී_Perera_08:15am_17/05/16

පොඩි සෑමාගේ පෙර ලිපි

නත්තල් සීයාට අවවාද කිරීමට ලියමි
නිදහස පොඩි සෑමාගේ කුප්ප ලිවිල්ලක්... !!!
පොඩි සෑමා ටෙලිවිෂන් වැඩසටහනකට යයි

Saturday, May 14, 2016

කකුල් තද කොට බැඳෙමු සදහට - කැත හිත්වලට කවි !!







නොමියෙනා ලෙස බැදෙන්නට පෙම්
බඳින්නට නුවමනා දම්වැල්
දෙපා තද කොට තබා ගෙන මං
වෙලා ගත්තා නොවන්නට වෙන්



පාසලේ එක් දිනක් රහසේ
විභාගය පැවතෙනා දවසේ
ගුරුවරුන්ගේ පිටු පෑම් මැද්දේ
ඔබත් එක්කල පෙමක් බැන්දේ



එදා ගුරුවරු පුරුදු කෙරුවේ
නූල පටලා බැඳ ගන්න මිතුරේ
දෙපා තද කොට නොබැදෙන්න කිව්වේ
අපේ හොඳටයි නොවෙද මිතුරේ



එදා ඇරඹුනු සංවාසේ
නොවී තවමත් ලොවට රහසේ
ඔපීසියෙ අපි එක්ව පෙරසේ
දෙපා තද කොට බැදෙයි පහසේ



විටෙක බර වැඩ බැහැනෙ එක ලෙස
එවිට පා යුග විහිදලා දෙපසට
ඇඟේ මුළු බර තදින් දැනෙන ලෙස
කළ යුතුය තද, වෙන්ව නොයනට




*
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
*

එදා, අද හෙට මතුත් සැම දින
බැඳෙනු ආසයි දෙපා තද කොට
“මෙට්ල් ෆ්‍රී“ යැයි කිව්ව දා සිට
වෙන්න යන්නෙමි ඔබෙන් සදහට



Written_by_sAm_ශ්‍රී_Perera_9:15pm_14/05/16

Tuesday, May 10, 2016

කැම්පස් ගමන ගැන අනාවැකි දැක්වූ අයට තුති !!


සර්ලා කිව්වේ ඇත්තය. ටීචර්ලා කිව්වේ ඇත්තය. එදා අපි සිටියේ ඔවුන් ගැන වෛරයෙන්ය. එහෙත් ඔවුන් අප ගැන දැක ඇති අනාගතය සත්‍යය. අප ගැන දැක්වූ අනාවැකි වඩාත්ම සත්‍යය. දැන් කළ යුත්තේ එදා තරහින් සිටියා වෙනුවට, අප කෙරෙහි දැක්වූ නිවැරදි ආකල්ප පිළිබඳව ඔවුනට ස්තුති කිරීම පමණක්ය. සර්ලා, ටීචර්ලාට පමණක් නොව ගමේ සිටිනා, සිටියා වූ, ඇන්ටිලාට, අංකල්ලාට වුවද මේ ලිපියෙන්ම ස්තුති කළාට පව් නැතිය. උන් එදා සිට අප කෙරෙහි දක්වා ඇත්තේ නිවැරදි ආකල්පයක් බව මොනවට පසක් වන්නේ දැන්ය. ඉතිං නැවතත් ස්තුතියි ඔබ සියලු දෙනාටම.



එදා පාසල් දිනයක්ය. පාසල නම් පටන් ගත්තේ හතටය. හතට පසු එන උන්ට උරුම වන්නේ ගුටි කන්නටය. නැතිනම් සුළු මොහොතක ශ්‍රමදාන ක්‍රියාවලියකට යටත් වන්නටය. ගුටි කන එක හොඳය. ගුට්ට කා පන්තියට එන්නට පමණක් සිදුවන්නේය. නමුත් ශ්‍රමදාන සීන් එක විලි ලැජ්ජා සහගතය. තණකොළ, ගලවන්නට, කානු සුද්ධ කරන්නට ලැබෙන කට්ට ගුට්ටට වඩා ලැජ්ජා සහගතය. අපේ උන් එනිසාම ගුටියට ප්‍රිය කළෝය. හතට පටන් ගන්නා පාසලට හතේ සිට අට දක්වා එන උන් කරන්නේ මහා වරක්ය. ඒ නිසා උන් උක්ත තාඩන පීඩන වලට ලක් වන්නෝය. ඒ බව දත් අපේ උන් බහුතරය කරන්නේ හතට එන්නම බැරි නම් අට පසුවී පාසලට පැමිණීමය. එය සම්පූර්ණ නිදහස් ක්‍රියාවලියක්ය. ප්‍රින්සිපල් කාර්ය බහුල මොහොතේ, ගුරුවරු පන්ති වලට දුවන මොහොතේ ගේට්ටුවෙන් නිදහසේ ඒමට ඇති අවස්ථාව නම් අට පසු වී පාසලට ඇතුළු වීමය.

තත්වය එසේ තිබියදී, අප සියළු දෙන පන්තියේ සිටියදී, අපේ එකෙක් පාසලට ප්‍රමාද වී ඇත්තේය. ඒ බව අපි දැන ගත්තේ ඉහළ මාලයේ ඇති අපේ පන්තියට සමීපව පිහිටි තාප්පය නිසාය. එතැනින්, එහා වත්තේ සිට බඩ ගා හෝ පාසල් වත්තට ඇතුලු විය හැකිය. ඒ එන ගමන දුෂ්කර නැත, චාටර් වන්නේ අපේ පන්ති භාර සර්ට පෙනුනොත් පමණක්ය. එහෙව් ප්‍රසිද්ධ රහස් මාර්ගයෙන් පන්තියට එමින් සිටි අපේ මිත්‍රයා පන්ති භාර සර්ට අසු වූයේ ඒ මොහොතේ අපේ පන්තියේ සිටි හැම එකාම තාප්පය දෙස බලා මහ හඩින් සිනාසුන නිසාය. ඔහු අමතා, සර් කිව්වේ පරිස්සමෙන් පන්තියට වරෙන් කියාය. කිසිම දඩුවමක් නොකළ හෙතෙම තව දුරටත් කියා සිටියේ ඔහොම පමා වෙන උන්ට කැම්පස් නම් යන්න බැහැ කියාය.

ඒ එක් අනාවැකියක් පමණක්ය. එදා ඌ ඇතුළු අපේ උන් හැම එකාම සර් සමඟ තිබුණේ ඔරොප්පුවක්ය. තවත් වෙසක් සමයක කූඩුව වැල්ඩින් කර ගන්නට ගිය අපේ පන්තියේ සිටි නොහඳුනා ගත් හොරෙක් කම්මලේ අයියාගේ ෆෝන් එක ඌ සන්තක කරගෙන තිබුණේය. පන්තිභාර සර්ගේ ඇඟිල්ල දික් වූයේ නියම හොරාට නොව අපේ සමීපතම මිතුරෙක්ටය. සර් නම් කැම්පස් බුවෙක්ය. ඒ නිසා බොහෝ සෙයින් උගත්ය. දැනුම හා අත්දැකීම් පදනම් කොටගෙන නිවැරදි කොල්ලෙක්ට කෙලින්ම අත දික් කළේය. එදාද ඔහු කිව්වේ තොපිට කැම්පස් යන්න බැහැ කියාය. ඇත්තය. අපි කැම්පස් ගියේ නැතිය. කැම්පස් ගිය සර් තුමා අත දිගු කළ මිත්‍රයා නිදොස් වෙද්දී, පෙරදී කැම්පස් යාවි යැයි සර් විසින්ම ලේබල් ගසා තිබූ අයෙක් ඇත්තම ෆෝන් හොරා වූයේය. ඉතිං එදාද අපි සර් සමඟ ඔරොප්පු වුණේ අපිට කැම්පස් යා නොහැකි යැයි සර් කියු නිසාය.

වරෙක අපේ පන්තියේ ගුරුවරයෙක් නැති මොහොතක අපේ උන් ආතල් ගත්තෝය. ආතල් ඩබල් වී සද්දය වැඩි වෙද්දී අපේ සෙක්ෂන් භාර සර්තුමා තොපි කෑගසනවා වැඩියි, යැයි කියමින් අපිව පලවා හැරියේ පාසල් පුස්තකාලයටය. එහි කාලය ගත කොට පන්තිය බලා නැවත පැමිණෙද්දී එම සර්ම අපිව අල්ලා ගත්තේය. තමුසෙලා මොකැ මෙතැන කරන්නේ යැයි ඇසු සර් දිගටම කිව්වේ මෙහෙම රස්තියාදුවේ යන උන් කැම්පස් යන්නේ නැති බවය. ඇයි සර්නේ අපිව ලයිබ්‍රියට එව්වේ යැයි කියු විට සර් අපිව පන්තියටම දැක්කුවේය. එදා සෙක්ෂන් හෙඩ් සමඟද අපි අමනාප නොවූවා නොවේය.

ඉහත සියළු සිද්ධීන් කතන්දර බවට පෙරලා රසවත්ව සෑමා බ්ලොගේ ලියා ඇත්තේය. උක්ත සිද්ධීන් වලින් එකල ගුරුවරු අප ගැන නියම කෝණයකින් බලා ඇති බව සෑමාට වැටහුණේ කැළණි සරසවි සිද්ධියෙන් පසුවය. පාසලේදී කොච්චර ආතල් දැම්මත් ඒවා කැම්පස් වල මට්ටමට බරපතල් නැති බව ගුරුවරු ඒ දවස් වලදීම අපහට කියා දී ඇත්තේය. එදා අපි කරපු කියපු කුප්ප වැඩ කැම්පස් යන අයගේ මට්ටමට නැති බව සර්ලා නොකියා කියා ඇතතේය. මෙතුවක් උබලා කැම්පස් නොයනවා යැයි කියූ අයට ආශිර්වාද කොට, එදා ඔවුන් කියූ වචන පේලිය අපට සාපයක් නොවූ බව අටපාස්, ඕලෙවල් පාස් සහ ඒලෙවල් පාස් වී කැම්පස් නොගිය ජනතාව තේරුම් ගත යුත්තේය.

Written_by_sAm_ශ්‍රී_Perera_8:25am_10/05/16

Thursday, May 5, 2016

කාටවත් කියන්න එපා මචං... - Top Secrets !!


කාටවත් කියන්න එපා යනු 18+ සිංහල ෆිල්ම් එකක්ය. ලංකාවේ ෆිලුම් ගැන කියන්නට දෙයක් නැති නිසා ෆිලුම් එක ගැන සෑමා නොලියන්නේය. බොක්ස් තියෙන තාක් සිංහල සිනමාව ගොඩය. බොක්ස් අඩු වී රූම්ස් වැඩි වූ දාට සිංහල සිනමාවට අබ සරණ බව මෑතකදී අප හට කියා පෑවේ සිංගා මචං චාර්ලී ෆිලුම් එකය. ඒ ෆිලුම් එක බැලූ සෑමාගේ මිතුරෙක් සෑමාට කීවේ මචං ඉතාම සතුටින් සිටින ඩෑල් එකක් ඔය කොමඩි ෆිලුම් එක බලන්ට යවපං කියාය. ඌ වැඩිදුරටත් කීවේ ඉතාම සතුටින් සිටින එකෙක් වුවද ඉතා දුක්බර මානසිකත්වයකට ඇඳ දැමීමට උක්ත ෆිලුම් එක සහ බොහොමයක් සිංහල ෆිලුම් සමත් බවය. සිංහල සිනමාවේ තත්වය එසේය. දැන් සෑමා කියන්නට යන්නේ ඒ සිනමාවේ දුක් කතාව නොවේය. කාටවත් කියන්න එපා කියන වචන තුනේ ඇති බරපතකම ගැනය.



කිසිවෙක් ඔබට ලංවී “කාටවත් කියන්න එපා“ මචං කියා ඇති වාර අනන්ත විය යුතුය. ඔබ ස්ත්‍රියක් නම් ඔබට එසේ කියූ මිතුරියන් ප්‍රමාණය අනන්තයට වඩා කිහිප ගුණයක් අනිවාර්යයෙන් වැඩි වි යුතුය. ස්ත්‍රි, පුරුෂ දෙපක්ෂයේ රහස් රැකීමේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ගැන පසුවට කතා කළ යුතුය. ලිංගය කුමක් වුවත් රැකීමේ හැකියාව පුද්ගලයා මත බලපාන්නේය. එසේ ඔබට ලංවී කාටවත් කියන්න එපා යැයි කතාවක් ඇසූ ඔබ එය කාටවත් නොකියා රැක ගන්නවා නම් බඩු ෂුවර්ය. බොක්කේ බත් වගේය. අනිවාර්යයෙන් එලෙස විය යුතුමය. එහෙත් එම වචන තුන කියාගෙන ඔබ ලඟට එන පුද්ගලයා එය ඔබට මෙන්ම තවත් අයට එලෙසම කියනා ආකාරයේ පුද්ගලයෙක් දැයි සිතා බැලිය යුතුය. එලෙස සිතා බලා අහවල් කතාව, කාටවත් කියන්නෙ නැහැ මචං කියා අසා ගත යුතුය. තත්වය ඔබට දැන් පැහැදිලි ඇතිය. කාටවත් නොකියන කතාව ඔබ අසන්නේද, එය රකින්නේද නම් ඔබ දෙදෙනාගේම මිත්‍රත්වය සුරැකිය. එම කතාව ඔබට කියනා අය, ඔබ මෙන්ම තවත් අයට කියමින් යන්නේද, ඔවුන්ටද කාටවත් කියන්නට එපා යැයි කියන්නේද, නම් තත්වය බරපතල් බව සිතට ගත යුතුය. කවදා හෝ ඔබ කාටවත් නොකියූ ඒ කතාව, ඔහු ගෙන් තවත් අයෙකුට අසන්නට ලැබී, සමාජ ගත වූවොත් ඔහු සැක කරන්නේ ඔබව මිස, අන් අය නොවේය.

උපදෙස එසේය. නිධාන කතාව ඉතා පැරණිය. ඒ එක කතාව මෙන්ම තවත් කතා ගොඩක්ය. එකම ජාතියේ එවැනි සිද්ධි රැසක් සිදුවීමෙන්, අධීක්ෂණය කිරීමෙන්, පසුව “කාටවත් කියන්න එපා“ යන වචන තුනේ ගැඹුරු බව පසක් කර ගත හැකිය. එලෙසම කාටවත් කියන්නට එපා යැයි කියාගෙන එන කතන්දර අසන්නට පෙර දෙවරක් සිතිය යුතු බව තේරුම් ගත යුතුය.

බොහො කලකට පෙර සෑමාගේ මිතුරෙක්යක් සිටියේය. ඔහු කාටවත් කියන්නට එපා යැයි කතාවක් සෑමාට කිව්වේය. ඇත්තටම එය කාටවත් නොකිය යුතු මට්ටමේ දරුණු ගණයේ කතාවක් නොවේය. එහෙත් එය කාලීන වශයෙන් වැදගත්කමක් ඇති, කාටවත් නොකිය යුතු කතාවක් බව සෑමා දත් නිසා කට නොසෙල්ලුවේය. කාටවත් නොකිය යුතු කතාව දැන් කිව්වාට කම් නැතිය. කාලීන වැඳගත් කමක් තිබු එය, දැන් පැරණි රසාංගයක්ය. ප්‍රසිද්ධ රහසක්ය. සෑමාට කිට්ටු වූ උක්ත මිතුරා දරුණුම වචන තුන කිව්වේය. 

“මචං කාටවත් කියන්න එපා.. පොඩි සීන් එකක් තියෙනවා“

“දැන් තව කවුද ඕක දන්නෙ?“

“උබට විතරයි කියන්න යන්නේ. ඒකයි කාටවත් කියන්න එපා කිව්වෙ...“

“උබ තව කාටවත් කියන්නෙ නැත්තං කියපං බලන්න...“

තව කාටවත් නොකියන, කාටවත් කියන්න එපා කියන කතාව මිතුරා කිව්වේය. උට ජොබක් සෙට් වෙලාය. එදා ඌ හිටි කම්පැනියෙන් වෙනත් කම්පැනියකට යන්න චාන්ස් එකක් ඇවිල්ලාය. ඉතිං හොඳය. ඒත් ඒ කාලයේ හැටියට එය කාටවත් නොකිය යුතු කතාවක්ය. නැත්තං ඌ ඒ මෙහොතේ සිටි කම්පැනියෙන් බකට් එකක් දමා උට ලැබෙන අවස්ථාව නැති විය හැකිය. ඒ නිසා සෑමා රහස රැකගෙන සිටියේය. දින කිහිපයක් ගත වෙද්දී, මිතුරා ඉන්ටර්විව් ගොස් වැඩේ 75%කට වඩා සාර්ථක වී තිබුණේය. කොල්ලාට ජොබ සැට් වෙන තුරු හෝ රහස රැකිය නොහැකි නම් වැඩක් නැතිය. මන්ද එය කාටවත් නොකිය යුතු කැටගරියට දැම්මේ කොල්ලාමය. නැති නම් එය එම කැටගරියට දරුණුවටම අයිති වන එකක් නොවේය. එහෙත් සෑමා සද්ද වසාගෙන සිටියේය.

දිනක් සෑමාට තවත් මිතුරෙක් මුණගැසුණේය. අඩේ සෑමා... කියා වත ගොත විමසන අතර ඔහු සෑමාගෙන් අසා සිටියේ පෙර කී මිත්‍රයා ගැනය. 

“අඩෝ ඌට අතන ජොබක් සෙට්වෙන්න ලු නේ යන්නේ ??? “

සෑමා උඩුකුරුඤ්ඤං වූයේය. මිතුරෙක් කාටවත් කියන්නට එපා කියු කතාවක් තවත් මිතුරෙක් පැමිණ අසන්නේ සෑමාගෙන්ය. මල කෙලියක්ය. සෑමා ප්‍රති ප්‍රශ්න නැගුවේ ඒ මිතුරාගෙන්ය.

“කවුද බං උබට ඕක කිව්වෙ?? අරූ මටවත් කිව්වෙ නැහැනෙ සීන් එක... “

“අඩේ උබට වත් කිව්වෙ නැද්ද?? මට කිව්වනෙ ඌ උබටත් කිව්ව කියලා...“

“අම්මට හුඩු ඒමද? උබට කිව්වෙ නැද්ද “කාටවත් කියන්න එපා කියල ??“

පිළිතුරු දෙනු වෙනුවට ඔහු එවිට සිනාසුනේය. මිතුරා කාටවත් කියන්න එපා කියූ කතාව හැමෝටම කියලාය. එදා සිට සෑමා සිතට ගත්තේ කාටවත් කියන්න එපා කතා හැමෝටම කියන උන්ගේ කතන්දර නොඇසිය යුතු බවය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:45am_05/05/16

Sunday, May 1, 2016

සයිබර් සිහින උලෙල වෙනුවෙන් ගැයෙනා ශෝක කවි කලාපය...




ලැපේ එළිය සාලෙට අරගෙන                         එනවා
තියා මේසෙ, පුටුවේ මම                                 සැනසෙනවා
බ්ලොගක් ලියපු අතැගිලි මට                          සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි                              කියවෙනවා


හිතේ දුකට හිට්ස් සුළඟට වැනි                        වැනියෝ
පෝස්ට් තොගය රැල්ලට සිඳි                           සිඳීයෝ
සයිබර් උලෙල සතුටින් පැසි                            පැසීයෝ
යන්න බැරිව විඳිනා දුක දෙවිඳුට පෙනි             පෙනීයෝ


මලේ මලේ සිහින උලෙල බලා                       වරෙන්
සරම කැඩෙයි යට ෂෝටක් ගසා                      වරෙන්
පිටිය පුරා කෑලි බසී                                        පරිස්සමෙන්
හාදු නොදී එන බස් එකෙ නැගී                        වරෙන්


කුරේ පිටියෙ වට ගහලා අන්න                        රැගුම්
සෑම් පුතා දැන් බැඳලා, බැහැනෙ                     කෙලුම්
බ්ලොගේ ළියන් කර ඔසවා බලන                   බැලුම්
තුම්පත් රටාවයි සයිබර් කෙතේ                       නෙලුම්


බ්ලොග් නෙලනා වකුටු කොන්ද දිග                ඇරපල්ලා
අතේ තියෙන ටැබ්, ලැප් හෙම විසි                   කරපල්ලා
ඉනේ තියෙන ෆෝන් කට්ට අතට                    ගනිල්ලා
සුභ මොහොතින් සැප ගන්නට කුරේ               වරෙල්ලා


ඉන්නේ මහ දුරයි කැළණියෙ ඇඳක්                 යට
කන්නේ කටු තමයි නිවසේ වෙසෙනා              කලට
බොන්නේ සැර දියයි දුක මැකෙනා                  ලෙසට
යන්නේ කවදාද සයිබරේ                                 විඳින්නට


ලබන පාර හමු වෙන්නට සිතා                         ගෙනේ
සමන් දෙවිඳු පුද පඬුරක් බැඳා                          ගෙනේ
සංවිධාන කරනා අත් සවිය                              ගෙනේ
යලිත් යලිත් ලැබ ශක්තිය සතුට                      ලැබේ


යලිත් යලිත් පෙර පින් පල දී                           ඇත්නම්
පවුල අපේ බර බර හෙම නොම දේ                  නම්
මතු වැරදිත්, පෙර වැරදිත් අමතක                    නම්
ලබන පාර සයිබරේට මා                                  එන්නම්



sAm_ශ්‍රී_Perera_8:25am_01/05/16
Related Posts Plugin for WordPress, Blogger...