Thursday, January 30, 2014

මචං අම්ම එක්ක වරෙන් බොන්න.. - Drinking With Parents !!!


බොන උන් මෙන්න බොන්නේ නැති උන්ද මාගේ මිතුරෝය. මන්ද බීම හෝ නොබීම යමෙක් මිතුරෙකු කර ගැනීමට අදාල හේතුවක් හෝ මිනුම් දණ්ඩක් නොවන නිසාය. එහෙත් බොන එවුන් තමන් බොනවා යැයි ප්‍රසිද්ධියේ පිළිගනිද්දී නොබොන උන්ද තමන් බොනවා යැයි කීමට පෙළඹෙන අවස්ථා සෑමා දැක ඇත්තේය. විටක මිතුරන් ඉදිරියේ තමන්ට ලැබෙන තැන නැති වේ යැයි හැගීමෙන් එසේ කියනවා විය හැකිය. නැතහොත් තමන් නොබොනවා යැයි කීම මඳි පාඩුවක් ලෙස සිතනවා විය යුතුය. 

බොහොමයක් උන් තමන් බිව්වද බිව්වා යැයි කීමට අකැමැති සමාජයක් ඉස්සර තිබුණද දැන් නොබොන උන් පවා බොනවා යැයි පෙන්වීමට උත්සාහ කරන්නේ එයද සමාජයේ තැන ලබා ගැනීමේ මිනුම් දණ්ඩක් නිසාද, නැතිනම් මිතුරන් අතරේ කොන් වේ යැයි සිතෙන නිසාදැයි සිතා බැලිය යුතුය. නමුත් තමන් බොන්නේ නැහැ කීමට තරම් ආඩම්බරයක් ඇති අය නැති වීම නම් දුක්ඛිතය. බොන උන් අස්සේ සිටින එකම නොබොන එකා වීම ආඩම්බරයට කරුණක් නොවන්නේද? එසේ නම් එය කීමට පසුබට වන්නේ මන්දැයි සෑමාට සිතුනේ මෑතකදී වූ ආතල්ම සිද්ධියක් නිසාය.

මෙලොව ඉපදුනා වූ හැම එකාම මොලොව හැරයන්නේය. වීදුරුවට හලා ගත්තාවූ අරක්කු ෂොට් එක එක හුස්මට ඉවර වන්නේ යම් සේද, මෙලොව උපන් අයෙක් මෙලොව හැර යන්නට වැඩි වේලාවක් ගත වන්නේ නැතිය. ඇල්කොහොල් වඩාත් වාශ්පශීලී නොවේ. එහෙත් එක හුස්මට ඉවර වේ. එසේම පනද තණ අග පිණි බිඳු වැන්නේය. සරලව කිවහොත් එදා තිබ්බේ මල ගෙයක්ය. මල ගෙදරක සැනඩ්විච්, නයිස් බිස්කට්, මාරි බිස්කට්, ප්ලේන්ටී සහ කෝපී හැරුණු විට සැඟවුණු පානයන් සහ බයිට් බොහෝය. දිනක් සෑමා මඟුල් ගෙවල් වලට වඩා මරණ ගෙවල් ආතල්ය කියා කීවේ එම පානයන් නිසා නොව කැරම්, ආදී ක්‍රීඩා නිසාය. ඒ කෙසේ වෙතත් බූරු පැදුරු හැරුණු කොට උක්ත පානය, චන්ද්‍ර ග්‍රහණ පවා පෙන්වන මල් සමඟ මුසු වන්නේ මරණ ගෙවල් වලදීය. එදා අපේ එවුන් මරණ ගෙදර ගියේ මිය ගිය අයට පින් සිදුවන්නට පොඩ්ඩක් සැට් වීමටය.

සියළු දෙනා රැස්ව සිටියද අපේ එකෙක් තවමත් මඟය. එසේ තිබියදී බෝතලය කැඩීම ඌට කරන නිග්‍රහයක්ය. මෙතුවක් අප සමඟ සෙට් වී නැති වුණත් කතාවේ හැටියට පොරත් සමඟ බොන්නට පුලුවන් එකෙක් අපේ සෙට් එකේ නැති බව අපට දැනී හමාරය. එදා මචං අච්චරක් ගැහුවා, මෙච්චරක් ගැසුවා ලෙස කියන “පොර“ ඉදිරියේ අප නම් ලදරුවෝම බව අපට සිතී තිබුණේය. ඒ නිසා පොරගේ ප්‍රමදය නිසා දෙතුන් වරක්ම අවසර ගෙන අප බෝතලය කැඩුවෙමු. ඒ වන විටත් පොර ගෙදරය. පොර කියනා පරිදි මහා ඇල්කෝල් ලෝලියෙක් නිසාම අපේ එවුන් ගේ අවවාදය වූයේ “මචං උඹ එනව නම් කාව හරි වාහනේ දාගෙන වරෙන්. නැත්තං උඹ යද්දි අවුලක් වෙයි“ කියාය. අපේ මිතුරා කීවේ “හරි මචං අද ගහන්නෝනි පැලෙන්න, මම එන්නම් කෝ...“ කියාය.

තත්වය එසේ තිබියදී අපේ එවුන් ලඟ නැමුවේ අපේ ‘පොර‘ට තැන තියාගෙනය. “මචං අරූ එයි ඌට තියමු“ කියමින් කස්ටිය ඉතුරු කළේ ‘පොර‘ වැඩකාරයා කියා කතන්දර වලින් දන්නා නිසාය. එහෙව් බොන කොල්ලෙක් හමුවේ අපි තවමත් පිටිකිරි බොන මට්ටමේ උන් කියා අපි සිතා සිටි නිසාය. අපේ එවුන් සැන්ඩි දමා බොන විට පොර නීට් ගහනවා යැයි කියන්නේය. අපි නීට් ගහනවා යැයි කියද්දී පොර කලවම් කර ගසන්නේ යැයි කියන්නේය. ඒ තරමට පොර වැඩ්ඩාය. බාගයක් පමණ ඉතුරුවන්නට තබා අපේ එකෙක් පොරට කෝල් කළේය. ඒ ඉන්නා තැන දැන ගැනීමටය.

“මචං උබ කොහෙද ඉන්නෙ??“

“හරි බං දැන් මේ පාර්ක් කළා විතරයි..“

“ආ උඹ එළියෙද.. අපි අහවල් තැන ඉන්නවා.. කෙලින්ම වරෙන්..“

අපි සැට් වී සිටි වෑන් එකෙන් එළියට බැස මරණ ගෙදර මිදුලට ආවේ මිතුරාව කුදලාගෙන වෑන් එකටම යාමටය. මිතුරා ඈත සිට එනු දැකීමෙන් අපේ එවුන් මූණට මූණ බලාගත්තෝය.

ඒ අතරින් අපේ ‘පොර‘ ගේ මව හඳුනාගත් අයෙකු කීවේ වචන කිහිපයක්ය.

“මූ මාර #$යෙක් නේ බං.. අම්මත් එක්කනෙ මූ ඇවිත් තියෙන්නෙ....“

පලි - තමන් මතින් තොර බව කීමට ආඩම්බර විය යුතුය. නොඑසේ නම් මිතුරන් මැද බොන බව හඟවමින් සිටීමෙන් තමන්ද, මිතුරන්ද පිරිහෙන්නේය. එනිසාම මිතුරන් මැද සදාකාලිකවම බයිට් වන්නේය.

Monday, January 27, 2014

තැඹිලි ගෙඩි.. - King Coco-Nutz !!!



හමුවෙද්දි පාර තොට
නොයෙක් විධ තැඹිලි හෙම
රස නොමැති බැව් දැනම
හලා ගත්තා කටට



ඉවසුමක් නොමැතිවම
වටපිටත් බලාගෙන
හොඳ හරිය හලාගෙන
කට දිගේ හදිසියට



බිව්වාම දඩිබිඩියෙ
එක හුස්මෙ උගුරු අට
ඉස්පාසුවක් නැතුව
මෙලෝ රසයක් කොයිද?



පාරෙ විකුනන්න ඇති
තැඹිලි අමතක කරල
වත්තකට තාප්පෙන්
අඩිදෙකට ගස් නැගලා



ගහයටම ඉඳගෙනම
ඇඟිලා දා හිල් කරලා
කලත්තා බිව්වාම
තිබුණු රස අමතක කරලා



ගෙදර වත්තෙන් කඩාගෙන
ජෝගුවට දමාගෙන
කකුල උඩදාගෙනම
හෙමි හෙමින් රස බලලා



නිදහසේ දිවගාන
තැඹිලි ගෙඩියේ රසය
හදිසියේ බිව්වාම
නැති බවක් දැනේ තව

ගූගල් දෙයියා දන්නේ තැඹිලි ගැන නොව පොල් ගැනය


Written_by_sAm_ශ්‍රී_Perera_6:23am_27/01/2014

Friday, January 24, 2014

වචනයක් අවභාවිත කරන අයුරු... - How to Misuse a Word !!!


Misuse, අවභාවිතය, නියම වචනයක්ය. අමුතු ගතියක් ඇත්තේය. මා මුලින්ම අවභාවිතය පිළිබඳව ලියන්නට කල්පනා කළේ වචනයක් උච්චාරණයෙන් හෝ භාවිත කරන ආකාරයෙන් කොච්චර නම් විනාශයක් කළ හැකිද යන්න කල්පනා කළ විටය. මෑත භාගයේ මා භාවිත කළ “අපූරුයි“ යන වචනය කොතරම් දෙයක් කරන්නට සමත් වූයේ දැයි දන්නේ අපේ ගෙදර අයය. අපූරුයි යන්න සරලව ගත් විට හොඳයි, නියමයි, යන අරුත් දෙන්නේය. යමක් හොඳයි, වඩා හොඳයි යන්න කීමට සෑමා “අපූරුයි“ යන වචනය භාවිතා කළේය. එය භාවිත කළ ආකරය සහ භාවිත කරන තැන දුටු නිවැසියෝ එය සෑමාට හුදෙක් තහනම් වචනයක් බවට පත් කළේය.

පට්ට, යනු කළෙකට ඉහතදී පට්ට වේසී (කුණුහරපයක් නොව පැරණිම වෘත්තියක්ය,) යන්න හෙවත් නරකම තැනේ අඩිය පෙන්වීමට භාවිතා කරන ලද්දේය. එකල්හි පට්ට කියන වචනය උච්චාරණය කිරීමට ‘ප‘ යන්න කියද්දීම ඉතිරිය ‘වේසී‘ ලෙස කියවෙන බව සමාජයම දැන හුන්නේය. නමුත් වර්ථමාන භාවිතය අනුව පට්ට යනු උපරිමයේ ඇති වචනයක්ය. නියමයි යන්න, හෝ හොඳ හෝ නරක යන දෙකේ උපරිමය (superlative කිවහොත් නිවැරදිද?) දැක්වීමට මෙය යොදා ගන්නේය.

දැන් අතුරු කතා පැත්තක තැබිය යුත්තේය. සෑමා ‘අපූරුයි‘ යන්න අවභාවිත කළ අයුරු සොයා බැලිය යුත්තේය. කෑම ගැනීමට පෙර කෑම තේරීම සෑමාගේ සිරිතක්ය. අම්මා ගෙදර කෑම හදන කාලයේ සෑමා කන කෑම වලට අමතරව, ගෙදර අනෙක් අය කන කෑමද සදන්නේය. එවිට සෑමා කන කෑම අතර නොකන කෑමක්ද පිඟානට එන්නේය. “කෑම වල රස නොදැන කෝමද කියන්නේ හරි නැහැ කියලා.. අදවත් කටක් කාල බලනවා..“ කියමින් එම නොකන කෑම පිඟානට එන්නේය. එදා එසේ පිඟානට ආ ‘තලන බටු‘ අද සෑමා රස දන්නා නිසා, බෙදාගෙනම කන්නේය. එය නොකන කෑම කැවීමට යොදා ගන්නා අම්මලාගේ ට්‍රික් එකක්ය. ඒ අතරම රැකියාවට යද්දී බෙඳෙන බත් ගුලියේද, කන කෑම වලට අමතරව නොකන කෑමක් තිබෙන්නේය. බත් පත දිග හැරගත් විට කන්න ගත්තාම වැරදිලා හෝ එම වර්ගය කැවෙන ලෙස එය සැලසුම් සහගතව සිදු වන්නක්ය. එවිට ගෙදර ආ විට අම්මා අසන්නේ “අහවල් කැමත් බැන්ඳා.. කෝමද රසයි නේද?“ කියාය. එවිට සෑමා “ඒක නම් අපූරුයි..“ අප්පා කියන්නේය. මෙය නොනැවතී දිගටම භාවිත කළ තැනදී අම්මාට අප්සට්ය. එතැන්සිට කුමකට “අපූරුයි“ කිව්වද අම්මා කියන්නේ “මේකා මේ අපූරුයි කියන්නේ, අකැමැති ඒවාට“ කියාය. සෑමා අත වරදක් නැතිය. හොඳයි කියනවාට වඩා, අපූරුයි කීමේ කොපමණ වැඩි අගයක් ගැබ්වී ඇත්තේද? එහෙත් එය නොගැලපෙන වචනයක් සේ අම්මා දැක්කේ මන්ද?

තුඹ කරවිල, සෑමාට අජූව කෑමක්ය. මෙලෝ රහක් නැතිය. රසක් නැත කීවේ කාලා බලා නොවේය. එහෙත් එහි ව්‍යුහය සෑමාගේ සිත කුපිත කරවන්නේය. දැක්කාම කන්නට නොහිතෙන මට්ටමේය. ඒ නිසා සෑමා තුඹ කරවිල කටේවත් තියා නැතිය. පසුගිය දිනෙක කතරගම ගිය විටක කිටියා තුඹ කරවිල ගෝනියක් විතර ගත්තාය. සැමා කට ඇඳකරගෙන සිටියදී ගත්ත නිසා “ඇයි ඔයා කාල නැද්ද ඇසුවාය..“ සෑමා එක හෙලාම පිළිතුරු දුන්නේ.. “අප්පට හුඩු.. මම කාල තියෙනවා අපූරු කෑමක්..“ කියාය. අම්මා දුන් උපදෙස් සහ සෑමාගේ වචන භාවිතයේ හිස්ට්‍රිය පෙරළා බැලූ කිටී දැන ගත්තේ සෑමා අපූරුයි කියා ප්‍රකාශ කරන්නේ ඔබ්ජෙක්ෂන් එකක් සිතේ තබාගෙන බවය. එහෙත් සෑම මිනිහෙක්ටම මුහුණ පාන්නට වෙන අවාසනාවන්ත සහ නොවැලැක්විය හැකි හේතුව යටතේ තුඹ කරවිල ගෝනියක්ම නිවසට ආවේය. අපූරුය. අම්මාගෙන් බත් කන කාලයේද සිද්ධ වූයේද එවන් ක්‍රියාදාමයන්ය. නොවැලැක්විය හැක්කේය. එහෙත් අපූරුය.

ඊයේ රාත්‍රී කෑම වේලක් සඳහා ඥාති නිවසකට ගිය සෑමා, කිටී සහ සෑමාගේ දෙමාපියන් කෑම කන අතරතුරද කිසියම් කතාබහකට ආවෝය. 

අම්මා - මම දැක්ක ඊයෙ පෙරේදා හාමුදුරු කෙනෙක් බණකටත් දේශනා කරනව, මිනිස්සු, තමන්ගෙ ගෑණිව අගේ කරන්නෙ නැති එක ගැන..

පුංචි - අපේ අයත් එහෙම තමා..

කිටී - ඇයි මෙයා.. එයත් එහෙමයි..

සෑම් - හැමදාම කෑමක් රසට හදද්දි, හැමදාම රසයි රසයි, කිය කිය කෑවහම වටිනාකමක් නැහැනෙ. ඒක නිකං ගතියක් නැහැ.

අම්මා - අන්න ඒක තමා හාමුදුරුවො කිව්වෙ, ගෙදර පවුල හදන කෑම එක කාල ඒක හොඳයිද නරකද කියල කියන්නෙ නැති එක ගැන.

පුංචි - අපෙ පොඩි පුතා විතරයි කියන්නෙ, අපෙ එක්කෙනාත් කියන්නෙ නැහැ..

සෑම් - මොන පිස්සුද මම නම් කැමක් කෑවොත් අපූරුයි කියල තමා කියන්නෙ..

කිටී - අපෝ මම ඔය වචනෙ නවත්ත ගන්න කියල තියෙන්නෙ..

අම්මා - ඔව් මේක බොරුවට කියන වචනයක්..

තාත්තා - නැහැ මේකනේ කතන්දරේ, අපි කෝමද ගෙදර හදන එක හොදයි කියල කෙලින්ම කියන්නේ. අපි ගෙදරින් විතරයි නේ කන්නේ..

අම්මා - ඉතිං බලන්න ස්ටාෆ් එකේ අය ආවහම, මගෙ කෑම හොඳයි කියලමයි යන්නෙ..

තාත්තා - ඔව් ඒක ඇත්ත, ඒ මිනිස්සු එහෙන් මෙහෙන් කන නිසා වෙනස දන්නව. ඒකට අපි.. අපි එහෙම පිට තැන්වලින් කන්න යන්නෙ නැහැනේ..

සුපුරුදු පරිදි මුළු ඩයලොග් එකටම තාත්තා කතා කළේ වාක්‍ය දෙක තුනක් පමණක්ය. ඩයලොග් එක චකබ්ලාස්ය. එය හුදෙක් “අපූරුය“

පලි - මා කිසියම් තැනක ‘අපූරුයි‘ කියා කමෙන්ට් කර ඇතිනම්, එය අවභාවිත කළ වචනයක් නොවන බව කරුණාවෙන් සළකන්න.

Written_by_sAm_ශ්‍රී_Perera_7:18am_24/01/14

Wednesday, January 22, 2014

කාමුකම පාර්ලිමේන්තුව - Most Sexiest Parliament In the World.. !!


දියවන්නාව වටේට කොල්ලෝ කුරුට්ටෝ පිරිලාය. උදේම ජොගින් කරන්න ආපු නිසා සීන් එක හොඳට බලා ගන්නට හැකි වීම ගැන මට තිබුනේ පට්ට ආතල් එකක්ය. ඈත තියාම එද්දී සිතුනේ මහ සෙනඟක් ජොගින් කරන්න ඇවිත් කියාය. වෙනදාට දියවැඩියාකාරයෝ, ප්‍රෙෂර් කාරයෝ, වගේ උන් එක්ක ඇවිද්ද මට අද ලෙඩක් දුකක් නැති කොල්ලෝ එක්ක මොන ජොගින්ද කියා දුර තියාම සිතුනේය. ලඟ පාතට එද්දී වයසක සීයලා සැට් එකක්ද සරම් කැහැ පොට ගසාගෙන සිටිනවා දුටු නිසා සීන් එකක් කවරක්ද කියා සොයන්නට සෑමා මහා ගේමක් ගැසුවේය. දියවන්නා වතුර වල දෙස බලාගෙන දෙඅත් වලින් කලිසමේ සිප් අල්ලාගෙන සිටි කොල්ලො කුරුට්ටන් සහ සරම් කැහැපොට ගසාගෙන සිටි අංකල්ලා ඈත් මෑත් කොට සිද්ධිය විමසන්නට සෑමා උත්සුක වූයේය. සියල්ලෝම බලා සිටියේ දියවන්නාවෙන් එපිට තිබෙන පාර්ලිමන්ට් එක දෙසය. පාර්ලිමන්ට් ජෝක්ස් බැලුවාට පසු මෙහෙම සීන් එකක් දැක්කාමය. හැම එකාම අහවල් එක අතේ තියාගෙන වතුර පාර දෙස බලාගෙන සිටින්නෝය. විටෙක පාර්ලිමන්ට් එකට යන පාර දෙසද ඇඟිලිවලින් එසැවී බලන්නෝය. හැම එකාගේම බඩ පිටට ඇලිලාය. හැමදාම අතට ගන්නා නිසා කෙට්ටු වීලාදෝ කියා සෑමාට සිතුනේය. එක්කෝ බඩගින්න නිසාදැයි කියාද සැකයක් උපන්නේය.

සෑමා සෙනඟ මැද්දේ සිටියදී තවත් ඔපීසි යන ඩයල් එකක් කට කොනින් චාටර් හිනාවක් දමා සෑමා දෙසද බැලුවේය. ගිණි විජ්ජුම්බරයක්ය, ඌ හිතන්නත් ඇත්තේ සෑමාද පාර්ලිමන්ට් එක බලා අහවල් එක අතට ගත් එකෙක් කියාය. විලි ලැජ්ජාව මකා ගත හැක්කේ එකම ක්‍රමයක් මගින්ය. ජොගින් කිට් එකේ ෂෝටද ගල් දෙක හිරවෙන මට්ටමේ එකක්ය. ඒ නිසා ඌගේ සැකය තවත් තහවුරු විය හැකිය. ජොගින් ෂූස් දෙක සෑමාගේ ගෞරවය රැක්කේය.

“මල්ලී.. මොකෑ බං මේ සීන් එක.. මාත් මේක අස්සෙ රිංගුව මොකද මේ කියල බලන්න..““

“මෙතනින් හැමදාම යන මම හිතුවෙ අලුත් බුවෙක් වැඩේට සැට් වෙලා කියල..“

“ඒ කිව්වෙ මං ගැනද??“

“නැතුව.. හැමදාම මේ සෙට්එක මේ වෙලාවට මෙතැන ඉන්නවා.. අතටම අරගෙන..“

“අඩේ.. අඩේ.. මම මේ ජොගින් ආපු අහිංසක අසරණ මනුස්සයා.. මාව මේ සැට් එකට දාන්න එපා මල්ලි.. මම වෙනදට හවස එන්නෙ.. අද කික් එකටත් එක්ක උදේ ඇවිත් මේ සීන් එක දැක්කෙ.. මොකැ මේ වෙන්නෙ..“

“අයිය රට ඉදලද ආවෙ..“

“නැහැ අයිසෙ.. තමුසෙට වැඩට යන්න පරක්කු වෙන්නෙ නැද්ද.. අගේ කරන්නෙ නැතුව සීන් එක කියනවකෝ..“

“ඇයි අයියේ.. පට්ට කෑලි සෙට් එකක් බැස්සනේ පාර්ලිමන්ට් එකට.. උන් එනව බලාගෙන මුන් මෙතන ඉදන් *තේ ගහනවා..“

“ඈ යකෝ.. වෙනදට වැලක් බලල කරන වැඩේ නේද මුන් මේ දියවන්නා ගැට්ටෙ තියාගෙන කරන්නෙ..“

“අවුලක් ගන්න එපා අයියා මුන් ටිකව ලඟදිම ගෙදර යවනවා..“

“ඒ කිව්වෙ මුන්ව ලොකප් වත් කරන්නද හදන්නෙ..“

“නැහැ අයියා ලොක්කා මුන්ට ගෙදර ඉදන්ම අහවල් එක තනියම කරගන්න වැඩේ සෙට් කරන්න යන්නෙ..“

“ඒ කිව්වෙ.. මට තේරුනේ නැහැ..“

“මේකනේ අයිය සීන් එක.. ඇහුවෙ නැද්ද නිවුස් වලට පහුගිය ටිකේ කිව්වා.. පාර්ලිමන්ට් සීන් ලයිව් දෙන චැනල් එකක් පටන් ගන්නව කියල..“

“අඩේ ඇත්ත තමයි.. මම ඒ කාලෙ හිතුවෙ පොඩි උන්ට බලන්න බැරි කුනු හබ්බ කියන චැනල් එකක් එයි කියල. මගදි බීප් සද්දෙ දාල,, වැඩේ කරගෙන යයි කියල..“

“ඔය තියෙන්නෙ අයියගෙ කුඩා මොලේ.. අන්න දැන් ටික ටික තේරෙනවා..“

“හරි දැන් එතකොට මට මෙහෙම කියනවා.. ඕක පටන් ගත්ත කියල කෝමද මේ අසහන කාරයෝ ටික ගෙදර යවන්නෙ..“

“ඇයි අයියා.. චැනල් එකේ ලයිව් දෙනකොට මුන් ගෙදර ඉදන් බලාගෙන තමන්ගෙ පාඩුවෙ වැඩේ කර ගනීනේ..“

“මල්ලි එතකොට බීප් සද්දෙ මදිවට කොටු දාන්නත් වෙයි නේද චැනල් එක පුරාවට..“

“අයියා පිස්සු කතා කරනව.. මේක ෆිල්ම් එකක් වගේ නැගල යන්න තමා ලොක්ක මේ කස්ටියට නොමිනේෂන් දුන්නෙ..“

“පිස්සු කොර බං මල්ලි.. අපිටත් නිවාඩු දාල ගෙදර ඉන්න වෙයි චැනල් එක බලන්න..“

“ඒව කියන්න බැහැ අයියා.. ඉස්සර ජින්ජර් ස්ටේජ් එකේ ඇඹරෙද්දි, හිරුණිකා උසාවිය වටේ දුවද්දි, රුවන්ති කොන්ඩෙ කඩාගෙන අඩද්දි, අනර්කලී ගෙ කෝටු කකුල් දකිද්දි, කාගෙවත් අහවල් එක සෙන්ටිමෙන්ටල් වුනේ නැහැ කියන්න පුලුවන්ද??“

“ඇත්ත තමා මල්ලි.. අර පාත්තය කියපු ඇන්ටි වුනත් දැක්කම අපේ උන් කොච්චර කික් එකෙන් හිටියද? මල්ලිට ජීවන් අයියගෙ දෝනිව අමතක වුණා නේද??“

“මට නෙවේ අයියට තමා අමතක වුනේ.. ඔය ඔක්කොටම හරි යන්න සුපිරිම කෑල්ලක් ඉන්නවා.. “

“ඈ මල්ලි මගෙ ලිස්ට් එකට අහු නොවුන ඒ කෑල්ල කවුද??“

“කොටින්ම කිව්වොත් මුන් සැට් එක මේ දියවන්නාවෙන් ඉගිලෙන මාළු දිහා බලන් ඉන්නෙ..“

“ඈ එතකොට මුන් *තේ ගහන්නෙ මාළු දිහා බලාගෙන යකෝ...“

“අයිය හරිම ප්‍රාථමිකයි අයියෝ.. අර තාප්පෙට තියාගෙන වඩාගෙන කෙළින කෑල්ල දැක්කෙ නැද්ද.. ඒකිත් මේක ඇතුලෙ තමා ඉන්නෙ..“

“අඩේ.. ගයේෂා...“

Written by sAm_ශ්‍රී_Perera_10:00pm_21/01/2014

Monday, January 20, 2014

සිරි ලාංකීය නාට්ටි.. - sRi Lankan Teledramas !!!


ටෙලි නාට්‍ය තිබ්බේ ඉස්සරය. ඒවා බලන්නට අප පොර කෑ සැටි තාම මතකය. ගෙදර බ්ලැක් ඇන්ඩ් වයිට් ඩේට්ට්‍රෝන් ටීවී එක තිබූ කාලේ ලොකු අම්මලා අපේ ගෙදර ආවෝය. ඒ එයාලාට ටීවී එකක් නොතිබුණ නිසාය. හැමදාම බලන නාට්‍යයක් යන විට “මෙන්න නාට්‍යය පටන් ගත්තා..“ කියා කෑ ගසන විට ඒගොල්ලො අපේ ගෙදරය. හැමදාම බලන නාට්‍ය කිව්වාට ඒවා යන්නේ සතියකට වරක්ය. එක සතියක් මිස් වුනොත් ඊලග සතිය වනතෙක් ඇඟිලි ගණන් කළ යුතුය. බැරි වෙලාවත් එක දවසක් එක කොටසක් මිස් වුණොත්, මාර අවුල්ය. ඒ දවස් හතක් බලන් ඉන්නට වෙන නිසාය. සමහර විටක නාට්‍යය යන වෙලාවට නිදාගෙන සිටිය හොත් පහුවදාට ගෙදර අයට බනින්නේ “තොපි මාව ඇහැරුවේ නැහැ.. “ කියාය. නැතහොත් නාට්‍යය අමතක වුනොත්, එදාට වෙන චැනල් එකක් මැච් එකක් තිබුණොත් ගෝරි ගොඩක්ය. ඒ කාලේ ඒ තරමට ටෙලි නාට්‍ය ඩිමාන්ඩ්ය. අගයක්, වටිනාකමක් තිබුණේය.

ටික කාලෙකින් ලොකු අම්මලා කලර්ඩ් ටීඩී එකක් ගෙනාවෝය. ඊට පස්සේ අපේ කළු සුදු ටීවී එක පැත්තකය. අපි එහෙට දිව යන්නේ ටීවී බලන්නටය. ටෙලි ඩ්‍රාමා බලන්නටය. ආතල්ය. දුර සිට චැනල් මාරු කිරීම, පාට පාට රූප දැකීම, බැලිය හැකි නාට්‍ය තිබීම සතුටක්ම වූයේය. සමහර දින වලට එකම වේලාවට චැනල් කිහිපයක නාට්‍ය යන නිසා සටන් ජවනිකා ඇති වූයේ ලොකු අම්මලාගේ සාලයේය. විටෙක දුරස්ථපාලකය සඟවා ගන්නා අයෙක් එදිනට තමන්ට කැමති නාලිකා දමන්නේය. අනිත් උන් නාට්‍යයට දක්වන කැමැත්ත මත ප්‍රතිචාර දක්වන්නෝය. ඒ අනුව සටන් ජවනිකාවද වෙනස් වන්නේය. ඒ සියල්ලම වූයේ රසවත්, නාට්‍ය රැසක් රූප පෙට්ටිය මඟින් ඉස්තෝප්පුව මැදට රැගෙන ආ නිසාය.

රසවත් ටෙලි නාට්‍ය කෙලිය නීරස වන්නට පටන් ගන්නේ මෙගා ටෙලි පෙරහැරක් ආරම්භ වීම නිසාය. ඉන්දියානු නාට්‍ය වලට සිංහල හඬ කැවූ නාට්‍ය පෙළක් නොනවත්වාම සතිය පුරාවට පෙන්වන්නට පටන් ගන්නේය. ඉන්පසුව සතිපතා දකින නාට්‍ය වල නිමාවක් ඇති වන්නේය. පුංචි කතාවක් පෙන්වීටම අතුරු කතන්දර දහසක් යොදා රචනය වන්නාවූ නාට්‍ය සතිපතා පෙන්වන ඒවාට වඩා දිගු නාට්‍ය බවට පත්වී දිනපතා යන මෙගා ටෙලි නාට්‍ය බවට පත් වන්නේ එලෙසින්ය. ආරම්භයේදී සිතන අවසානය, අවසානයේ දැකිය නොහැකිය. නමුත් මාසයක් පුරාවට ඔබට ටෙලිනාට්‍යය බැලීමට නොහැකි වූවද දකින කිසියම් දිනයක නාටකයේ සිදුවී ඇත්තේ කුමක් ද කියා සිතා ගත හැකි පහත් මට්ටමට ටෙලිනාට්‍ය වැටී ඇත්තේය. සරලව කිවහොත් එදා තිබූ ඩිමාන්ඩ් එක, වටිනාකම, බලන්නට බැරි වුවහොත් අපරාදේ යැයි සිතට දැනෙන හැඟීම දැන් සිතින් දුරස් කොට ඇත්තේය. එහෙත් සියල්ලට හේතුව මෙගා ටෙලි නාට්‍ය යැයි කීමද වැරදිය.

මෙගා වුවත් ඩිමාන්ඩ් එකක් ඇති කළ හැකි ආකරයෙන් ඉදිපත් කරන්නට නොහැක්කේ මන්දැයි ප්‍රශ්න කළ යුතුය. හින්දි මෙගා නාට්‍ය කෙසේ වෙතත් ඉංගිරිසියෙන් එන ඩ්‍රාමා සීරිස් බහුතරයක් බැලිය හැකි මට්ටමේ ඒවාය. හාඩ් එකට ගිගාබයිට් ගණනාවක් ඇති ඩ්‍රාමා සීරිස් අපේ එවුන් බලන්නේ එක හුස්මටය. ඒ නිර්මාණ කරුගේ දක්ෂතාවය මිසක අපේ එවුන්ගේ රසිකත්වයේ වෙනසක් නොවේය. හොඳදේ, බැලිය හැකි දේ බැලීමට අපේ උන් ප්‍රමුඛතාවය දෙන්නේය.

දැන් පවතින වසර තුන හතරක් පුරාවට දිවෙන මෙගා නාට්‍ය නිසා සියළු දෙනාම අසරණ වන්නේය. මුලින්ම ප්‍රේක්ෂකයා තම වටිනා කාලය අපතේ හරින්නේය. ඉන්පසුවට අධක්ෂකගේ සිට නළු නිලියන් දක්වාම ඉතා අසරණ තත්වයට වැටෙන්නේ වසර ගණනාවක් තිස්සේ ඇප කැපවී ෂූටින් කළ යුතු නිසාය. නාට්‍යය මඟදී ප්‍රධාන නළුවා හෝ නිළිය වෙනත් අධක්ෂක කෙනෙක් ඉස්සුව හොත් නාට්‍යයට වැලේ වැල්  නැතිය. එදා පටන් ප්‍රේක්ෂකයාද අන්දොස්ය. එවිට නාට්‍ය කණ්ඩායම විසාන් අදාල  නළුවා හෝ නිළිය අස්ථාන ගත කරන්නේය. හදිසි අනතුරක් හෝ, හදිසි විදේශගත වීමකින් අදාල චරිතය අස්ථාන ගත කරන නාට්‍ය කණ්ඩායම තාවකාලික සතුටක් ලබන්නේය. එවිට ප්‍රේක්ෂක ඇස් නලලේය. ඇය හෝ ඔහු නැවත ආවේ නැතිනම් නාට්‍යය කොට උඩය. එවිට හදිසි අනතුරින් හෝ විදේශ ගත වීමේදී අදාල චරිතය මියයාමෙන් නැවත වෙනත් අයෙක් ප්‍රධාන චරිතය හැටියට පෙරට එන්නේය. එතැන් පටන් නැවතත් කාලය කා දමමින් නාට්‍යය ගලා යන්නේය.

නිමිත්ත -

වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීමේ ලා බොහොමයක් සමාගම් නියම ආකාරයෙන් ප්‍රෙක්ෂකයා අල්ලා ගන්නා අතර, ටෙලි නාට්‍ය නිර්මාණයේදීද එම ගුණාංගය පවත්වා නොගන්නේ මන්ද?

Friday, January 17, 2014

ගැසට් එක නැතුව හරි කමක් නැහැ දිනමිණක් දෙන්න - No Worries about Gazette !!


ඒ කාලේ ගැසට් එක බලන්නට තැපැල් කන්තෝරුවට යා යුතුය. සෑම ගමකම ගැසට් එක තිබ්බේ තැපැල් කන්තෝරුවේය. ඒ නිසාම තැපැල් කන්තෝරුවේ ඇන්ටී හෝ අක්කා මාර ගණන්ය. දැන් මුද්දරයක් ගන්නවත් තැපැල් කන්තෝරුවට නොයන නිසා අක්කා, ඇන්ටී හන්ටර් වී ඇත්තේය. එහෙත් ගැසට් එකේ අවශ්‍යතාවය තිබෙන්නේය. එයට පිළියමක් දුන්නේ දිනමිණ පත්තරේය. ඒ සිකුරාදා දවසටය. මොනයම් හෝ වැඳගත් දෙයක් ගැසට් වී තිබුණහොත් එදාට පත්තරේ සෙවීම සුදු කැස්බෑවා සෙවීම වැනිය. පත්තරේ ගන්නා නොගන්නා උන් හැම එකාම පත්තරය ගන්නෝය.

අපේ කඩේ ඉන්නේ ආච්චීය. සෙන්චරියට අත වනමින් නීරෝගී සුවයෙන් සිටින ඇය මාරම මීටරේය. සෑමා ඇය ගැන මාළු වැස්ස ලිපියේ සටහනක් තැබුවේය. මට මතක හැටියට පත්තරේ ගැසට් එක එනවා යැයි මා දැන ගත් මුල් කාලයේ, ගැසට් එක ඉල්ලා අයෙක් කඩේට ආවේය. අපේ ආච්චී ගෙන් පත්තරයක් ඉල්ලූ පාරිභෝගිකයා, ගැසට් එක තිබෙන්නේ මේකේ දැයි ඇසුවේය. ආච්චී කීවේ “කැසට්“ හදා ගන්නට නම් ඉස්කෝලෙ ඉස්සරහා ඇති ඉලෙක්ට්‍රික් කඩේට යා යුතුය කියාය. එදා ගැසට් එක ගැන මාත් ආච්චීත් අධ්‍යයනය කළේ අම්මාගේ මැදිහත් වීමෙන්ය. එදා අම්මා වැඩි දුරටත් කියා සිටියේ සිකුරාදා ගැසට් එක ගන්නට පමණක් දිනමිණ ගන්න උන්ට පත්තරය දීමට පෙර හැමදාම එන පාරිභෝගියන්ට පත්තර අරන් තැබිය යුතු බවක්ය. හැමදාම එන උන් අපි නොදන්නා නිසා එවන් බරසාර වැඩ වලට අත ගැසීමට අපි මැලිවූයෙමු.

එහෙන් මෙහෙන් පාත් වෙන පාරිභෝගිකයන් හඳුනා ගත හැකි නියම මඟක් සෑමා සොයා ගත්තේ මින් පසුවය. මසකට වරක් පැමිණ බත් ඔතන්නට පමණක් ඉරිදා පත්තරේ ගන්නා උදවිය පත්තරය ඉල්ලන්නේ නමින් නොව බරින්ය. බර වැඩිම පත්තරේ මොකක්ද? පිටු වැඩිම පත්තරේ මොකක්ද කියා ඔවුන් ඉල්ලන්නෝය. එසේම මසකට වරක් බිස්නස් එකක් කරනු පිණිස වෙළඳ දැන්වීම් සහිත පත්තර මිලට ගන්නා අය සති අන්තයේ පැමිණෙන්නෝය. එලෙස පැමිණ ඔවුන් පත්තරේ ඉල්ලන්නේ නමින් නොව, ඇතුලත ඇති ලුහුඩු දැන්වීම්, අතිරේකයේ නම කියමින්ය. උන්ට පත්තරේ හෙඩ්ලයින් වැඩක් නැතිය. පත්තර ඉවර වූ විටකදී, මඳය පමණක් ඉල්ලාගෙන යන්නට තරම් ඔවුන් උත්සුක වන්නෝය.

ඉස්සර බෝම්බයක් වැදුනොත් පත්තර සොයා ගන්නට නැතිය. ඒ එදිනට රටම පත්තරේ ගන්නා නිසාය. එලෙසම විශේෂ අවස්ථා නිසා පත්තර උණු කැවුම් වන්නේය. සිකුරාදාට දිනමිණ පත්තරේට වන්නේ ඔය සන්ත්‍රෑන්සියමය. හේතුව ගැසට් එකය. දැන් ගැසට් එකට ලැබෙන තැන අඩු වී යන සීන් එකක් ඇත්තේය. ඉස්සර කඩේට එන උදවිය ඉල්ලා සිටින්නේ “පත්තරේ ඉවර නම්, වැඩිපුර ආපු ගැසට් කෑල්ලක්“ හෝ දෙන ලෙසය. දැන් තත්වය වෙනස්ය.

දැන් පුවත්පත් කලින්ම වෙන්කර තබා ගැනීම සුදුසු කාලයක්ය. මෙය සියළු බ්ලොග්කරුවන්ට පෙර දැනුම් දීමක්ය. නලින් අයියා බ්ලොග් පෝස්ට් උස්සා පත්තරේට ඔබන්නේය. එවිට පත්තරේ සුදු කැස්බෑවා වගේ අස්ථාන ගත වන්නේය. ඒ නිසා ඔබේ පිටපත සිකුරාදා දිනයට කලින්ම වෙන් කරවා ගත යුත්තේය. ගැසට් එක නැතුව හෝ ලඟම ඇති පුවත්පත් අලෙවි නියෝජිතයාගෙන් ඉල්ලා ගත යුතුය.

ඔබේ පිටපත කලින්ම වෙන් කරවා ගැනීමට සෑමා ඇමතිය හැකිය. මිල ගණන් මෙසේය..

ගැසට් + බ්ලොග් පිටුව දෙකම සහිත දිනමිණ පුවත් පත = 200/=
බ්ලොග් පිටුව සහිත දිනමිණ පුවත් පත = 100/=
එවිට ඉවත් කරන ගැසට් එක තවත් කෙනෙකුට රුපියල් 50කට හෝ විකිණිය හැකිය.

අද දිනමිණ පුවත් පතේ බ්ලොග් පිටුව මෙතැනින්.
සෑමාට බිස්නස් එකක් සැට් කර දුන් නලින් අයියාට ස්තූති !!

Written_By_sAm_ශ්‍රී_Perera_6:43am_17/01/2014

පලි - අපේ ගෙවල් ලඟ අසිතයා පුවත් පත් අලෙවිය පිළිබඳ දිනක් සෑමා සමඟ කතිකාවක් ගොඩ නැඟුවේය.

අසියා - මචං දැන් පත්තර වැඩිය විකිණෙන් නැතුව ඇති නේද?

සෑම් - ඇයි බං ඒ?

අසියා - දැන් බං ඉතිං සයිට් එකෙන් බලන්න පුලුවන්නේ..

සෑම් - ඒක අමාරුයි බං.. ලයිට් එකට ඇස් රිදෙනවා.. පත්තරේ ඕන තැනක පෙරලගෙන බලන්න බැරියෑ..

අසියා - පිස්සුද බං මාර ලේසී..

සෑම් - ඒත් වැඩක් නැහැ බං..

අසියා -ඇයි බං ඒ??

සෑම් - ඇයි යකෝ වැඩට යන එකෙක් හරි ඉන්න හැම ගෙදරකම පත්තර ගන්නවා.

අසියා - ඇයි බං වැඩට යන උන්ට ඔපීසියේ ඉන්ටර්නෙට් නැද්ද?

සෑම් - තියෙනව බං, තිබ්බට ඉන්ටර්නෙට් එකෙන් බත් ඔතන්න බැහැනෙ.. පත්තර පිටුවෙන් පුලුවන්නේ

Wednesday, January 15, 2014

දුරුතු පොහෝ දා කැළණි විහාරේ පෙරහැර යනවා සඳපානේ.. - Duruthu Maha Perahera !!


මෙය වසර ගණනාවකට ඉහතදී සිරස ටීවී එකේ විකාශය වූ ගීතයක්ය. මතක හැටියට ගායකයානෝ පණ්ඩිත් අමරදේව මහතාය. එම වසරේ කැළණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැරට මාධ්‍ය අනුග්‍රහය දැක්වූවේ සිරස මාධ්‍යය නිසා මෙම ගීතය වීඩියෝ එකක් සමඟම සිරස නාලිකාවේ තිරගත වූයේය. පෙරහැර සමයේ නිතරම පාහේ මේ ගීතය ප්‍රචාරය වූයේය. එකල්හි ධර්ම විද්‍යාල ශාලාවක පැවැත්වූ නර්තන පන්තියක දැරිවියන් නර්තනය කරන රූප රාමුද යොදා ගනිමින් නිර්මාණය කර තිබූ එම වීඩියෝව සෑමාට තවමත් මතකය. ඉන් එක් හේතුවක් නම් එම ගීතයේ පද රචනයය. අනෙක් හේතුව රූප රචනයේ රූප රාමු කිහිපයක සෑමා නමය වසරේදි පොටෝ එකක් විකිණූ කෙල්ල, සිටීමය. ඇය එකල්හි නර්තන කණ්ඩායමේ ප්‍රධාන චරිතයක්ය. එසේම එම වීඩියෝව තවත් මතකයේ රැදුනේ අපි එය එළව එලවා බැලූ නිසාය. ඊට හේතුව පෙර කී කෙල්ල නොව, අපෙ අයියා එම වීඩියෝවේ කොටසක සිටීමය.

January 4, 2012 - සෑමා විසින් ගසන ලද පොටෝවකි...

ලියන්නට පටන් ගත්තේ එම වීඩියෝව ගැන නොව, ඒ කාලේ අපේ පෙරහැරක්ව තිබූ දුරුතු පෙරහැර ගැනය. එහි සොඳුරු මතකයන් ගැනය. දැන් අප කැළණි පෙරහැරට අමුත්තන්ය. නමුත් ඒ කාලයේ අප කැළණි පෙරහැරේ සාමාජිකයෝය. අලින්ට පොල් අතු කපන්නට යෑමේ සිට සිටියේ අපිය, අපේ එවුන්ය. දහම්පාසල් ශිෂ්‍යයන්ව, ගුරුවරුන්ව, ඒ කාලේ කළ කී දෑ අද මතක් වන්නේ පෙරහැරින් කැළණිය ආලෝකමත් වූ විටය. මාස දෙකක් පුරාවට පැවැත්වෙන බණ වාර සඳහාද සහභාගීවෙමින්, සියළු පෙරහැරවල් වලදී සහභාගී වෙමින් කළ කී දෑ මතක් වන්නේ දුරුතු පෝය මහෝත්සවයේ පෝස්ටර් දකිද්දීය. රෑ පුරා කැළණි පුරවරයේ බණ වාරයන් සහිත විශාල පෝස්ටර් අලවමින් ඇවිදින්නේද අපය. නොවරදවා අපේ ගෙවල් ඉදිරියේ ඇළවෙන පෝස්ටරය තවමත් ඇලවෙන්නේ ඒ මතකයන් අවදි කරමින්ය.

ශිෂ්‍ය නායකයන්ව සිටියදී දහම් පාසල් පෙරහැර සහ දේවදූත හෙවත් දොරකඩ අස්න පෙරහැරවල් කාගේත් සිත් ගත් පෙරහැරවල්ය. එදාට අපේ එවුන් තැන් තැන්වලය. ඊට හේතුව තම තමන් ට්‍රයි කරන්නාවූ කෙල්ලන්, තම තමන් යාළු වූ කෙල්ලන්, සහභාගීවන විවිධ අංග භාරව ගමන් කරන්නට කාගේත් ඇති කැමැත්ත නිසාය. විවිධ අංග, නර්ථන භාරව ඒ හා සමඟම සංවිධාන කටයුතු කරමින් ගමන් කරන්නට වන්නේ ශිෂ්‍ය නායකයින්ටය. එහිදී තමන් සිත්ගත් තැන තෝරා ගැනීමට කවුරුත් පෙළඹෙන බව නොරහසක්ය. එහෙත් පෙරහැර ආරම්භයට පෙර, කිසිවෙකුටවත් නොපවසා ඒ ඒ තැන් සියළු දෙනා තෝරාගෙන හමාරය. දහම් පාසල් පෙරහැරට සහාභාගිවන්නේ දහම්පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පමණක්ය. එහෙත් දේවදූත පෙරහැරට කැළණිය අවට පාසල් වල ශිෂ්‍යාවන් සහිත නර්ථන කණ්ඩායම්ද සහභාගි වන්නේය. එයද අපේ එවුන්ගේ සහභාගිත්වය වැඩි කරවීමට සමත් වූ කරුණක්ය. ඒ අතර මඟතොට දී ලැබෙන කෑම බීමද, සෑම වසරකම මෙතුවක් නොවරදවා ලැබෙන කැන්ඩොස් ආයතනයේ චොක්ලට් බීම දන්සැල, අමතක කළ නොහැකි දේවල්ය. උපාලි විජයවර්ධන මහතාට පිං පිණිස පැවැත්වෙන එය දහම්පාසල් දරුවන්ටම පමණක් වෙන්වූ සංග්‍රහයක්ය.

පෙරහැර අවසන් වූ විට ගෙදර යන්නට ලැබෙන්නේ නැතිය. සියළු කටයුතු අවසන්ව ශුද්ධ පවිත්‍ර කරන කටයුතු පවා පැවරෙන්නේ ශිෂ්‍ය නායක නායිකාවන්ටය. ඒ සඳහා දහම් පාසල් ශිෂ්‍යන් යොදා ගැනීමට අවසර ලැබෙන නිසා වැඩ කටයුතු ඔවුන් ලවා කර ගැනීමට අප උපරිමයෙන් කටයුතු කරන්නේය. එහෙත් අවසන අමාරුම වැඩ ටික සැට් වන්නේ අපටය. වරෙක චොක්ලට් බීම සංග්‍රහය අවසන් වි අලුත් ශාලාවේ බිම සේදුවේ අපිය. එදා එළියට බහින විට දහම් පාසල් නැෂනල් එකේ සරම දුඹුරු පැහැ ගැන්වී තිබුණේය. ඒ සියළු දුක්ඛිත කටයුතු අප කළේ ඉතා සතුටින්ය. නැවත දින කිහිපයකින් එළැබෙන දේව දූත පෙරහැරටත් පැමිණ එවැනිම කට්ටක් කන්නේ සතුටින්ය. උඩමළුවේ පෙරහැර, පහත මළුවේ පෙරහැර ආදිය පැවැත්වෙන්නේ මහ රෑටය. ඒවා මෙන්ම මහ පෙරහැර ආදියට සහභාගි වීමේදී ඇතිවන මහන්සිය අප ගණනකටවත් නොගෙන සතුටින් සියළු කටයුතු කරන්නේය. පෙරහැරේ අලිපිටේ යන්නට ඇති ආසාව සියළු දෙනාගේ විඩා නිවන කරුණක් වී තිබුණේය. එලෙස ලැබෙන අවස්ථාවෙන් අලි පිටේ නැග්ගද, පෙරහැර වටේ ගොස් ඇවිත් බිම බැස්ස විට අලි පිටේ යාමේ විපාකය දැනෙන්නේ දෙපා වලටය. හොඳටම පලල් වී තිබූ දෙකකුල් එකතු කොට ඇවිදින්නට පවා නොහැකි වන තත්වයක් උදා වන්නේ අලි පිටේ යද්දී කකුල් දෙපැත්තට ඇඳෙන නිසාය.

පෙරහැරට පෙර පන්සල පුරාම ඇති ගොඩනැඟිලි වල සායම් ගෑවෙන්නේය. එයින් කොටසක් දහම් පාසල් ශිෂ්‍ය නායකයින්ට වෙන් වන්නේය. බොහෝවිට පාසල් නිවාඩු කාලය සෙට් වෙන නිසා අපේ එවුන් උදෑසනම වැඩට බහින්නේය. එසේම ධර්මශාලාව, බුදු මැදුර ආදිය සේදීමේ කටයුතු සිද්ධ වන්නේ රෑ ජාමයේය. ඒවාටද කිසිම අකැමැත්තක් නොදක්වා අපේ එවුන් සෙට් වන්නේ මහ රෑට ගෙදර යන්නට බස් නැති වුනත් පයින් හෝ ගෙදර යෑමේ අදහසින්ය. එසේ ගෙදර යන විට මඟදී හමුවන රතු පල්ලියේ කනත්තට අපේ එවුන් වෙන වෙනම බයය. එහෙත් හැම එකාම තදයෝ මෙන් කියන්නේ ඔට්ටුවක් දමා කනත්තට යා හැකි බවය. කිසිම දාක එකෙක්වත් එම ඔට්ටුව භාරගත් බවක් නම් මතක නැතිය.

සතුටු සිතින් එකල් හි කෑ කටු දැන් නැවතත් එන්නේ නැතිය. එදා පෙරහැරේ ගිය අපි, දැන් පැත්තක හිඳගෙන පෙරහැර බලන තැනට වැටිලාය. පෙරහැර බලන අතර පුටුවකට වී හිඳගෙන ඒ සොඳුරු අතීතය මතක් කරනවා හැරෙන්නට නැවත අතිතයට ගොස් ඒ කාලයට එකතු විය නොහැකිය. එදා සිටි උන් අද තවමත් කතා බහ කළත්, තවමත් හමු වුවත්, ඒ ලෙසම අතදැකීම් නොලැබෙන්නේය. එදා කළ දෑ පිළිබඳ සිත් සතුටින් මෙනෙහි කරමින් බ්ලොග් පෝස්ටුවක් දැමීම, ඒ දවස් අහිමි වීමේ දුක තුනී කරන්නාවූ හේතුවක්ය.

Written_by_sAm_ශ්‍රී_Perera_8:34pm_15_01_2014

Thursday, January 9, 2014

අනේ කාටවත් නම් කියන්න එපා අයියේ... - Please Keep It as a Secret !!!


අවංකව ආදරය කළ කොල්ලෙකු බූට් එකක් කා සිටියදී හැම කෙල්ලටම සාප කරන්නේය. සදාතිනකව තනියෙන් සිටිනවා යැයි කියා පැත්තකට වී සිටින්නේය. නැතහොත් ඒ කෙල්ලම එනතුරු බලා සිටින්නේය. ඒ කෙල්ල වෙන කොල්ලෙකු සමඟ යනු දැක දැකත් ඇය වෙනුවෙන් බූට් සිංදු අසමින් කියමින් කලාකරුවෙකු වන්නේය. ප්‍රේමයේ විරහවේ උන්මත්තකයෙකු වී ඇය වෙනුවෙන්ම බලා සිටින්නේ. කුමන වරදක් වුවද ඔහු හැර ගිය දිනක නැවත එන ලෙස අයදිමින් බලා සිටින්නේය. වැරදිලා හෝ නැවත ආ විට සිදුවන දේ බලා ගත හැකිය. කොල්ලා ඇරියස් හිටන් කවර් කරන්නේය. එය අවංක, නිකැලැල්, පිවිතුරු ආදරයේ ලක්ෂණයක්ය.

තවත් විටක අවංකව ආදරය කරපු කොල්ලෙක් කෙල්ල තමා හැර ගිය විටක මහා සල්ලාලයෙකු වන්නේය. එකෙක්, දෙකෙක්, ගෙන් නොනැවතී කෙල්ලන් දහයක් පහලොවක් බැලන්ස් කරන මට්ටමට වැටෙන්නේය. එය කෙල්ල කළ දේට පලි ගැනීමක් ලෙස කොල්ලා විසින් සිදු කරන්නේය. කෙල්ලට පෙනෙන්නට පට්ට කෑලි සමඟින් එහේ මෙහේ යන්නේය. අවසන කොල්ලා අර කෙල්ලට වඩා හොඳ කෙල්ලෙක් පර්මනන්ට් ලෙස තබා ගන්නේ අනිත් කෙල්ලන් රැසකට පාඩම් උගන්වමින්ය.

කොල්ලේ ගැන එලෙස නිශ්චිතවම කීවද කෙල්ලෝ ගැන කිව නොහැකිය. උන් ගුප්තය. අවංක ආදරයක් කරන ගමන් තවත් ඒවා බැලන්ස් කරන ඇත්තියෝද, අවංක ආදරයක් කරන ගමන් අනිත් එවුන්ට ක්‍රශ් එකක් වෙන උන්ද, ඒ ගමන්ම දහයක් පහලොවක් ෆෝම් කොට පස්සෙන් ගෙන්වාගෙන තමා තමයි කෑල්ල කියා ගන්නා උන්ද ඇත්තේය. එසේම එක කොල්ලෙක් එක්ක වත් යාළු නොවී ගමටම ආතල් දෙන උන්ද, ගමේම එවුන් පස්සෙන් එන තරමට ගමේ උපන් සිරියාවිය සුකුමාලිය වන්නාවූ කෙල්ලන්ද ඇත්තේය. කොල්ලෝ පිලිබඳ ලිවීමේදී උන්ට ඇත්තේ කුලක කිහිපයක්ය. එහෙත් කෙල්ලන් වර්ග කිරීම අපහසුය. උක්ත ඡේදයේද සෑමාට මිස් වුණ ජාතියේ උන් රැසක් සිටිය හැකිය.

කෙල්ලන් කොල්ලන් ආදරය, ඉදිරියේ වර්ග කරන්නට සෑමාට සිත් වූයේ මෑත භාගයේ අපේ කොල්ලෙක්ට වූ සිද්ධියක් නිසාය. කොල්ලා අවංක ආදරවන්තයෙක්ය. කෙල්ලෙක් වෙනුවන් තුට්ටු දෙක වැය කොට, ඇගේ සියළු දේ සොයා බලමින් සිටි කොල්ලා අවසන බූට් එකක හිමි කරුවෙක් වූයේය. කොල්ලා කෙල්ල වෙනුවෙන් නොකළ දෙයක් නැතිය. එසේම ඒ කිසිත් කොල්ලා බලෙන් කළ ඒවා නොව, කොල්ලාගෙන් කෙල්ල ඉල්ලා ගත් ඒවාය. එසේම කොල්ලා කැමැත්තෙන් කළ ඒවාය. ඇගේ බෝඩිමට පවා විටක මුදල් ගෙවා ඇත්තේ අපේ කොල්ලාය. කෙල්ලගේ පැත්තේ පිරිසක් කොල්ලාද අඳුනන නිසා කොල්ලාට යම් තාක් දුරකට සපෝට් එකක් ලැබුනේ ආදරය තරමක් දුර ඇඳගෙන යාමට මිස, බොහෝ කල් රඳවා ගැනීමට නොවේය. අවසන කොල්ලා මල් අතරින් එකක් වූයේය.

කලින් බූට් තැබූ කෙල්ලගේ පැත්තේ අය කොල්ලා වෙනුවෙන් දුක් වූවෝය. කෙල්ලට සාප කළෝය. අපේ එකියක් වුනත් ඕකි ඔහොම වැඩක් කළානේ කියමින් විස්සෝප වූවෝය. එහෙත් කොල්ලාගේ සිත නැවත පිළිසකර වීමට එම වඳන් ප්‍රමාණවත් නොවුනේය. ඔහු මෙවර ඇයට මෙන්ම ඇගේ පැත්තේ පිරිසටද සාප කළේය. බුද්ධිය වර්ධනය වී නැවතත් හිතන්නට පටන් ගත්තේය. ඒ අතර තුර අප කලින් දුන් අවවාද, අනුශාසනා නිවැරදි යැයි ඔහුට හිතෙන්නට ඇතිය. එහෙත් පමා වැඩිය. නැවතත් එවන් දෑ නොකර ඉන්නවා මිසක කණගාටුවීමෙන් පළක් නැතිය. කොල්ලා නම් හොද එකාය. එහෙත් කෙල්ල කළ දෙයින් කොල්ලා පැත්තකට වී සිටියා මිසක වෙනත් කෙල්ලන් පස්සේ ගියේ නැතිය. කෙල්ලන් තම ශබ්ධ කෝෂයෙන් ඉවත් කර හරින්නට හෙතෙම සමත් වූයේය. ඒ අතර පෙර සිටම ශබ්ධ කෝෂයේ තිබූ බෝතලය යන වචනය වැඩිපුර උච්චාරණය කරන්නට හෙතෙම සමත් වූයේය.

හදිසියේම අප මිත්‍රයාගේ හිසේ මලක් පිපුනේ කෙල්ලකගේ සේයාවක් තම සිත් කොනක ජනිත වූ නිසාය. එම යෝජනාව ආවේද කලින් කෙල්ලගේ පැත්තෙන්ය. ඇගේ පැත්තෙන් කොල්ලාට සපෝට් කළ අක්කා කෙනෙකු මේ යෝජනාව සමඟ කරලියට ආවේය. ඇය දන්නා කෙල්ලක් සිටින බවත්, හොඳට සල්ලි තියෙන බවත්, ටිකක් මහත, ස්ටයිලිෂ් කෑල්ලක් බවත් කොල්ලා සමාජය හමුවේ කීවේය. මුලින්ම අපට කීවේ අපේ අදහස් දැන ගැනීමටය. සල්ලි නම් මොනවද මල්ලී ඒත් සල්ලි තියෙන කෑල්ලක් නම් එළම තමා කියමින් අපි කීවේ කෙල්ලව බලන්න පලයන් කියාය. එහෙත් මාස කිහිපයක් තිස්සේ ගැස්සි ගැස්සී තිබූ යෝජනව සම්මත කර ගැනීමට කොල්ලා කෙල්ල හමුවට ගියේ මෑත භාගයේදීය. අක්කාගේ තල්ලුවද, අපේ තල්ලුවේද, බල මහිමයෙන් කොල්ලා කෙල්ල හමු වූයේය.

“නංගිට අක්ක කිව්වද මගේ කතාව..“

“ඔව් අයියේ.. කවුද කෙල්ලෙක් බූට් එකක් තිබ්බලු නේද??“

“එහෙම කියන්න එපා... අපි යාළු වෙලත් හිටියනේ..“

“හ්ම්..“

“අක්ක තව මොනවද කිව්වේ..“

“ඔයා මට කැමතී කියල කිව්ව කිව්වේ...“

“ඉතිං ඔයා මොකද කියන්නේ..“

“අනෙ අයියෙ අක්කට නම් කියන්න එපා.. මට බෝයි කෙනෙක් ඉන්නව..“

“එහෙනම් අක්ක කිව්වෙ කවුරුත් නැහැ කියල..“

“අක්ක දන්නව නම් මට කොල්ලො හොයන් නෑ අයියෙ කෙලින්ම බන්දලා දෙනවා..“

කොල්ලා නැවතත් කෙල්ලන් පිලිබද සිතීම අහෝසි කළේලු. එසේම මෙවැනි සිද්ධීන් අප හමුවේ ප්‍රකාශ කිරීමෙන්ද නවතින්නේලු.

Written by sAm_ශ්‍රී_Perera_3:15pm_09'01'13

Tuesday, January 7, 2014

සහකරු-කාරිය හඳුනා ගැනීම - Understand Your Spouse !!


පවුල් කන හැම එකාම කියන්නේ පවුල් කෑම අමාරුයි කියාය. පවුල් කන්නට පෙරද කස්ටිය කියන්නේ පවුල් කෑම අමාරුයි කියාය. අපේ එවුන්ට පිස්සුය. යකෝ කන එක තරම් ආතල් එකක් ලොවෙත් නැහැය. බත් පතක් පෙරලගෙන කෑවේ ඉස්කෝලේදීය. ඒක ආතල් නැහැ කියන උන් මම දැකලා නැතිය. හොර බලල්ලු කුස්සිය පෙරළගෙන කන්නෝය. ඒක උන්ට ආතල්ය. මලින්ද මාමා වැනි අය රට කන්නෝය. ඉන් එතුමාගේ පරම්පරාවටම ආතල්ය. ඉතිං කනවා කියන එක ගෑවුණු තැන ආතල් නම් පවුල් කනවා කියන එක ආතල් නොවන්නේ කෙසේදැයි ගැටළු සහගතය. එහෙත් පවුල් කෑමට පෙර තම සහකාරයා හෝ සහකාරිය නිවැරදිව හඳුනා ගත යුතුය. ඉන් අනෝන්‍ය ගැටළු අවම වන්නේය. මේ දින වල කිටියා සෑමාවත්, සෑමා කිටියාවත් හඳුනා ගැනීමේ කටයුත්තේ සිටින නිසා පෝස්ට් ලිවීම දුෂ්කරය. එහෙත් හඳුනා ගැනීමට යාමේදී සිදුවන ආතල් නම් බ්ලොග් ලොවට මුසු නොකොට සිටීම මහා පාපයක්ය.

ගෙදරට ආ මුල් දිනවල ගෙවල් අස්පස් කිරීමට සතියක් පමණ ගත වූයේය. වෙනදාට සෙරෙප්පු දෙක ගැලෙව්වොත් ගලවන්නේ දොර ලඟය. එවිට එය සොයා ගැනීම පහසුය. ටවල් එක සාමන්‍යෙයන් දමන්නේ ස්ටෑන්ඩ් ෆෑන් එක උඩය. නිදාගන්නා විට පොරව ගන්නා බෙඩ් ෂීට් එක මතක හිතෙන ලෙස අරන් තියන්නේ ඇඳ යටය. එහෙත් දැන් පවතින තත්වය යටතේ සෙරෙප්පු තබන්නට වෙනම රාක්කයක්, ටවල් එක තෙත නම් අව්වට දැමීමක්, බෙඩ් ෂීට් නමා තැබීමක් සිදුවෙන නිසා ඒවා සොයා ගැනීම අපහසුය. ඉස්සර තිබූ අමුතු පිළිවෙල දැන් නැති නිසා යමක් සොයා ගන්නට යාමේදී ටිකක් වෙලා යන්නේය. ඉස්සර තිබූ ජොක්කු දෙදෙනා මනාව බැලන්ස් කොට සෝදා වේලා අදින්නට සෑමා සමත් වූයේය. මන්දා සෑමා තමා විසින්ම ඇඳුම් සෝදා ගත් නිසාය. එවිට ගෙදර ඇත්තේ මොකාද? වැලේ ඇත්තේ මොකාද? හෙට අදින්නට ඇත්තේ මොකාද කියා ලේසියෙන් සොයා ගත හැකිය. නමුත් දැන් පවතින තත්වය යටතේ ජොක්කු පහක් සිටියද, උන් ඉන්නේ අල්මාරියේද? වැලේද? ඇඳපු ඇදුම් දාන බාස්කට් එකේද ? කියා කලින් සොයා බැලිය යුතුය. එය හුදෙක් අපහසු කාර්යයක්ය.

එකී කලබලකාරී වූ මුල් දින වලදී සෑමා පෑනක් සෙව්වේ කිසියම් වූ වැඩකටය. එය සොයා ගත ‍නොහැකිව කිටීව ඇමතුවේ සෑමාය. ඇයට ‘ඒයි‘ කියා කීවොත් මල අතේය. නාකි ජෝඩු ලෙස ‘ඒයි.. ඒයි..‘ කීම ඇය හෙලා දකින්නීය. එනිසාම සෑමා එම වචනය භාවිතා කරන්නේය. ඇයි එවිට ඕයි කියා පිලිතුරු දෙන්නීය.

“ඒයි පෑනක් තියෙනවදෝ..??“

“ඇයි ඕයි.. ඔය හෑන්ඩ් බෑග් එකේ තියෙන්නේ..“

හෑන්ඩ් බෑග් එකේ ඇති පෑන සොයා ගැනීම සඳහා සෑමා කිටියාගේ හෑන්ඩ් බෑග් එක සෙවීම ආරම්භ කළේය. ඒ සඳහා තවත් විනාඩි කිහිපයක් ගත වූ නිසා සෑමා නැවත කිටියා ඇමතුවේය.

“මේ... හෑන්ඩ් බෑග් එකක් තියෙනවදෝ...??“

“ඔව්.. ඔය ඩ්‍රෙසින් ටේබල් එක උඩ තියෙන්නේ...“

ඒ අනුව සෑමා ඩ්‍රෙසින් ටේබල් එක සොයාගෙන, බෑග් සොයා ගෙන, පෑන සොයා ගත්තේය. මුලුතැන්ගෙදර යුද්ධයට කිටියා මෙහි ආ දින සිටම බැස්සාය. ඇයත් රාජකාරියට පිටත් වන නිසා උදේම නැගිට කෑම සූදානම් කොට නිවසින් පිටත් වන්නීය. ඒ අතර කුස්සියේ අහවර වෙන, අලුතින් ගත යුතු දෑ ලිවීමට ඇය නෝට් බුක් එකක් තැබුවාය. ඒ අනුව දිනක් කුමක් හෝ මඳිපාඩුවක් වී එය ලිවීමට පොත අතට ගත්තේ සෑමාය. 

“ඔයා පොත තිබ්බට මොකෝ මටම මේකෙ ඉස්සෙල්ලම ලියන්න වුණා නේ..“

“හරි හරි ඕකෙ ලියන ඒව ගේන්න වෙන්නෙත් ඔයාටම තමා..“

“හරි කෝ දැන් පෑන..??“

“මඟුලයි පෑනක් තියල නැද්ද?? එහෙනම් ඉස්සෙල්ලම ලියන්න පෑන කියල..“

“යකෝ පෑන කියල ලියන්නත් පෑනක් තියෙන්න එපැයි..“

මේ දිනවල බ්ලොග් ලියවෙන්නේ බැලෙන්නේ ඉතා අඩුවෙන් බව සැබෑය. එයට හේතුව ඇය රැකියාවට යෑම සහ සෑමාද කුස්සියේ විප්ලවයට යම් පමණකින් දායක වීමය. කුස්සියේ විප්ලවය අතර මැද දී සාලයට පැමිණ ලැප් එකට අත තැබීම ඇගේ ඇස් උඩයාමට, කට ඇඳවීමට හේතුවන කරුණක් නිසා ලැප පැත්තක දමා විප්ලවයට දායක වීම ඉතා බුද්ධිමත් ක්‍රියාවක්ය. කුස්සියේ විප්ලවය අවසන් වන්නට ආසන්නව තිබියදී නම් ලැප අත ගෑමට සාලයට ඒම එතරම් අවුලක් නැතිය. එවිට හිරේ ගිය එකෙක්ට ජනාධිපති සමාව ලැබුණා සේ දැනෙන්නේය. ඇය කුස්සියේ සිටින විට සෑමා සාලයේ සිටියොත් විනාඩි පහෙන් පහට කුමක් හෝ කියන්නීය. අවසන සෑමාට කුස්සියට යන්නට හේතුවන පරිදි කුමක් හෝ කියන්නීය. මෙයට හේතුව සෙවිය යුතු බව සිතා ගත් සෑමා දිනක් හොඳටෝම කල්පනා කළේය. සුපුරුදු පරිදි ඇය කුස්සියේ සිටියදී සෑමා සාලයට වී සිටියේ ඇගේ ඇමතීමට හේතුව සොයා ගන්නා අදහසින්ය. ඇය කුස්සියේ සිට දෙබස ඇරඹුවාය. සෑමා පිළිතුරු දුන්නේ සාලයේ සිටය.

“සෑම් මෙතනට ලයිට් එකක් දාන්න වෙයි...“

“ඇයි දාල තියෙන එක..“

“ඒක එළිය මඳි.. අලුත් බල්බ් එකක් දාමු..“

“හා..“

නැවත විනාඩි දහයකින්...

“සෑම්..“

“ඔව්..“

“මෙතනට ප්ලග් පොයින්ට් එකක් දාමු නේද??“

“මොකක්ද අයියෝ.. මම කියල තියෙනව නේද කුස්සියේ ඉදන් කෑගහන්න එපා කියල. මට මෙහාට ඇහෙන්නෙ නැහැ..“

“හරි මෙහාට එන්නකෝ..“

“ඇත්ත කියන්න.. කුස්සියෙ තනියම ඉන්න බයයි නේද??“

කිටී සද්ද නැතිය. සෑමා නැවතත් එම ප්‍රශ්නයම යොමු කළේ කුස්සියට ගොස්ය. විලි ලැජ්ජා සහිත සිනහවකින් ඇය හිස සැලීය. දැන් කළ යුත්තේ සරල දෙයක්ය. සෑමා ලැප් එක කුස්සිය පෙනෙන මානයේ තබා ගත යුතුය. එවිට ඇය කුස්සියේ විප්ලවයට තනිවම උර දෙද්දී සෑමාට බ්ලොග බදාගෙන සිටිය හැකිය. මෙලෙසම ඔබත් ඔබේ සහකරුවා හෝ සහකාරිය නිවැරදි අයුරින් අධීක්ෂණය කරන්නේ නම්, තමන්ට ලැබිය හැකි උපරිම සහනය අත් විඳිය හැකි බව වටහා ගන්න.

Written by sAm_ශ්‍රී_Perera_7:15am_07/01/14

Thursday, January 2, 2014

සෑම් නළුවෙකු වූ හැටි - How sAm Became an Actor !!!


මෙය වෙඩින් ස්ටෝරියක්ය. වෙඩින් දා පෝස්ට් තුනක් ඔටෝ පබ්ලිෂ් වන්නට දමා සෑමා පිටත් වූයේ බ්ලොග් ලෝකයට ලයිව් අප්ඩේට් එකක් දීමටය. එය හරි ආකාරයෙන් සිදුවූ බව කමෙන්ටු මඟින් පෙනුනේය. ඉන් පසුව හෝම් කමින් දවසේ සිට මෙතෙක් දක්වා හරි හැටි යමක් ලියා ගැනීමට නොහැකි වූයේ කාර්යය බහුලත්වය නිසාය. දැන් දැන් එම කාර්යය බහුලත්වය පහව නව කාලසටහනකට පුරුදුව වැඩ කටයුතු ගලා යන බවක් හැඟුණු නිසා වෙඩිමේ පෝස්ට් එකකින්ම වැඩේට බහින්නට සෑමා සූදානම්ය. පවුල කැඩුනත් බ්ලොග විනස කර ගත නොහැකි බව මා ඇය හට කීවා මතකය. ඇයට නම් එය අමතක බවක් පෙනෙන්නට ඇත්තේය. මතක තිබුණා නම් අද මේ පෝස්ට් එකද ලිය වෙන්නේ නැතිය.

හෝම් කමින් එකට ආ අපේ පැත්තේ ආච්චී කෙනෙක් මේ ලඟකදී අපේ නිවැසට ගොඩ වූවාය. ඇය පුංචි කළ සිටම අපේ ගෙදරට එන අය ඇත්තියක්ය. එසේම කිසිම ඥාතීත්වයක් නොමැතිව පුංචි කාලේ සිටම අප හට කෑම බීම පවා ගෙනත් දුන් පවුලේ හිතවතියක්ය. ඇය එදින අපේ ගෙදරට පැමිණ ඇසුවේ මොකක්ද පුතේ එදා දාපු චිත්‍රපටිය කියාය. මා උඩ බිම බැලූ විට අම්මා පහදා දුන්නේ එදා හෝම් කමින් එකේදී ස්ක්‍රීන් එකේ දාපු කැෂුවල් ෂූට් එක ගැනය. වෙඩින් එක දින සිට හනිමූන් සතියක් තිබූ නිසා හැම එකාම සිතා සිටියේ එම දින පහේ අපි දෙන්නා ස්ටුඩියෝ එකත් එක්ක සැට් වී කැෂුවල් ෂූට් එකට ගිය බවක්ය. යකෝ දවස් පහක් තිස්සේ තොපි මේවද කළේ කියා එදිනම සමහරු මගෙන් ඇසුවෝය. එහෙත් එය වෙඩිමටත් කලින් දවසක් යොදාගෙන කළ එකක් බව පිරිස් දැනුවත් කරන්නට සෑමාට සිද්ධ වූයේය.

Studio 4u කණ්ඩායමේ (වෙබ් අඩවිය මෙතැනින්) සහයෝගයෙන් එක් දිනක් ඇතුලතදී ෂූට් එක අවසන් කර ගැනීමට ලැබීම සෑමා ලද භාග්‍යයක්ය. වෙඩින් එකේ වැඩ අස්සේ, රැකියාව කරන අස්සේ, අපේ කිටීට කැෂුවල් ෂූට් එකක අවශ්‍යතාවය දැඩිවම දැනුනාය. විවිධ කයි කතන්දර ගසා වැඩේ බැහැර කිරීමට උත්සාහ ගත්තද වැඩේ කරන්නට සෑමාට සිද්ධ වූයේය. එහි ප්‍රතිඵලයක් ලෙසට අද අප ආසාවෙන් එම වීඩියෝව බලන්නේය. එසේම කිටියාගේ පුංචිගේ පුතා හෙවත් අපේ සංජු එම සිංහල ගීතයේ අයිතිකරුවාය. තම ගීතයේ ඔරිජිනල් වීඩියෝව අවසන් කොට විදේශ ගතවූ සංජු අප හට ඔහුගේ ගීතය නොපැකිලී ලබා දුන්නේ කැෂුවල් ෂූට් එක සඳහාය. 


සංජුගේ ඔරිජිනල් වීඩියෝව..

දක්ෂ ගිටාර් වාදකයෙකු ලෙසත් හොද හඩකින් ගීත ගායනයේ හැකියාවක් ඇත්තෙකු ලෙසත් සංජු එම සුන්දර පද රචනයට සාධාරණයක් ඉෂ්ඨ කළ බවක් ගීතය ඇසීමේදි පැහැදිලි වන්නේය. එලෙසම අපට ගීතය ලබා දීම පිළිබඳව ප්‍රති උපකාර කිරීමට ඔහුගේ වීඩියෝව මා මෙහි අඩංගු කළේය.



අපේ වීඩියෝව..

වෑහෙනා සුපෙම් භාවනාවන් ඔබේ
හද පායනා පහන් තාරකාවක් වගේ
සුදු කම්මුල් දිගේ ගලනා ආදරේ
ප්‍රේමනීයයි මගේ වස්තුවේ
දෑස පාරයි මගේ සෑම දා මේ භවේ
පූජනියයි අපේ ආදරේ...

සංසාරයෙන් සංසාරයේ 
අපි එක්වෙලා ආදරෙන් ඉන්නැතී
පෙම්වත් සුවේ හැම ආත්මයේ 
මගෙ ඇස් දෙකෙන් ඔබ විඳගන්නැතී
වෙනස් වෙන්නෙ නෑ ඒ ගතී....

වස්සානයේ වර්ශා මැදින්
මඟ හැඩකළා රෝස මල් පෙති වැටී
හසරැල් මතින් සුසුමක් සරින්
රැකගත් ඔයා මාගෙ මනමාලි වී
දුරස් වෙන්නෙ නෑ මා යලී...

ගීතය පුරාවට ඇති පද වල රසවත් බව, අවසන් පද පේලි තුනෙන් තවත් වැඩි වන්නේය. අපේ කිටියා ස්ටුඩියෝ එකෙන් ඉල්ලා සිටියේ එම පද පෙලට වෙඩින් දිනයේ රෑප රාමු කිහිපයක් එක් කර සිටින ලෙසය. එය නැවතත් ප්‍රතිනිර්මාණය කොට අප වෙත ලබා දීමට තරම් ඔවුන් සහයෝගීමත් වූවෝය. එය වීඩියෝවේ සාර්ථකත්වයට බලපෑ බවක් පෙනෙන්නට තිබුණේය. එලෙසම සිංහල ගීතය හැරෙන්නට තවත් ඉංග්‍රිසි ගීතයකට රෑප රාමු එකතු කර දෙන ලෙස ඉල්ලා සිටි නිසා ඔවුන් ඒ සඳහාද අප වෙනුවෙන් සාධාරණයක් ඉටු කළෝය. ඒ අනුව,

I have died everyday waiting for you..
Darling, don't be afraid I have loved you..
For a thousand years..
I'll love you for a thousand more.

ගීතයටද රූප රාමු එක්කොට ඔවුන් අප්ලෝඩ් කර තිබුණේය.


වීඩියෝවට අවශ්‍ය පසුබිම් සොයා ගැනීමට කිටී මහත් උත්සාහයක් ගත්තාය. ඇගේ අදහස වූයේ මීට වසර හයකට පෙර අප හමුවූ ක්ලාස් එක අවට පරිසරය යොදා ගත යුතු බවය. ඒ අනුව අප පොත් රෝල් කරගෙන ක්ලාස් යන සීන් එක ඉඟුරු කඩේ හන්දියත්, ස්ටේඩියම් එකත් අතර සුමති ආයතනය ඉදිරිපිටදී ගත්තේය. ඉන්පසු බීච් සීන් එක ගැනීමට අප ගියේ ගෝල් ෆේස්ය. එහිදී පලමු ෂොට් එක ගනිද්දීම පොලිසිය මැදිහත්ව කියා සිටියේ එය අධි ආරක්ෂිත කළාපයක් නිසා ෂූට් කළ නොහැකි බවත්ය. එම පළමු ෂොට් එක අපතේ නොයවා ස්ටුඩියෝ එකේ පිරිස එය ගීතයේ අවසානයේ අප මුහුද දෙසට දිව යන දර්ශණය සඳහා යොදාගෙන ඇත්තේය. උදෑසන තේ බීමට වැලිවිට පැත්තේ කොෆී ෂොප් එකක නැවැත්වූ අතර එම වෙලාවද අපතේ නොයවා එහිදීද දර්ශණ පෙලක් රූප ගත කර ගත්තේය. ඉන්පසු බීච් සීන් එක සඳහා අප ගියේ ගල්කිස්සටය. එහිදී ඔළුව පැලෙන්න රිදෙන තුරු බීච් එක පුරා ඇවිදීමට සිදු වීම ඛේදනීය තත්වයක් ඇති කළේය. ස්ටුඩියෝ ටීම් එකේ හිටපු පොඩිම මල්ලී කෙනෙක් කියන කියන හැම විටකම සෑමාට කිටියාව කිස් කරන්නට වූයේය. හොරෙන් දෙනවාට වඩා කැමරාවක් ඉදිරියේ එවැනි දේ කිරීමට සිදු වීම ඉතා දුක්ඛිතය. අර අහවල් වීඩියෝ කරන ඇත්තෝ කැමරාවලට කොහොම මුහුණ දෙනවාදැයි සිතා ගත නොහැක්කේ ඒ නිසාය.

කැෂුවල් ෂූට් එක නිසා සෑමාට වෙන්නට තිබූ විපතකින් සෑමා ගොඩ ගියේය. වෙඩිම අවසන් වනතුරුම සෑමාගේ කාර් එක තිබුණේ මිතුරන් බාරයේය. උන් මහා විනාසයක් කොට තිබුනේ කාර් එකටය. මොනවාදෝ සුදු පැහැති බැලූන් වර්ගයක් එල්ලා, අහවල් වදන් ලියා, කාර් එක සරසා තිබුණේය. 

 




සෑමා පිටත් වී සුළු මොහොතකින් මිතුරන් වාහනය මගින් නවතා තබන ලෙස කීවේ යමක් දෙන්නට අමතක වූ බව කියමින්ය. කිලෝමීටර් 5ක් පමණ පැමිණි පසු ඔවුන් එනතුරු සෑමා බලා සිටියේය. උන් පැමිණ බාල්දි වලට වතුර රැගෙන විත් කාර් එක සෝදා දුන්නෝය. ඒ වන විටත් අර නොදන්නා බැලුම් වර්ගය පුපුරා ගොස් තිබුණේය. එක්කෝ උන් බැලුම් පුම්බන්නට දන්නේ නැතිය. නැතහොත් එම බැලුම් වර්ගය බාල ඒවාය.


බාල්දිය මට අල්ලා ගන්නා ලෙස පවසා පොටෝව ගසා තිබුණේ මම සෝදා ගත්තා යැයි කීමට බව සලකන්න.

දින පහකට සෑහෙන්න ඇඳුම් කිටී සූදානම් කොට තිබුනේ වෙනම බෑගයක් තුලය. එහෙත් සෑමා කාර් ඩිකියේ ෂෝට් සහ ෂර්ටි කිහිපයක් දමාගෙන සිටියේ වුවමනා වේයැයි සිතාය. කැෂුවල්  ෂුට් එකට ගත් අලුත් ඇඳුම් සියල්ල හනිමුන් එකට වෙනමම පැක් වූයේය. මේ බව නොදත් අපේ අපාය සහයක මිත්‍ර සැට් එක සෑමාගේ ඩිකියේ තිබූ ෂෝට් සියල්ලේම කකුල් මසා තිබුණේය. හනිමූන් ගිය පසුදා සිටම ඔවුන් කෝල් කරමින් ඇසුවේ සෑමා ඇඳන් සිටින්නේ කුමක්ද කියාය. ඒ වන විටත් සෑමා සිද්ධිය නොදැන සිටියේ වෙනම ඇඳුම් තිබූ නිසාය. ඔවුන් ඇසූ විට කාර් එකේ තිබූ කලිසම් සියල්ලටම උන් ගේම දී ඇති බවක් දකින්නට ලැබුණේය. එම ඇඳුම් මසන්නට ගිය ටේලර් ෂොප් එකේ ඇන්ටීද හොඳම එකෙන්, ලඟින් ලඟින් නූල් ඇඳ තිබුනේ ලොවෙත් ගලවන්නට බැරි විදිහටය. ඉන්පසු අපේ එවුන් කීවේ ඇන්ටී මුලදී වැඩේට අකැමැති වූ බවක්ය. පසුව “අනේ මන්ද පුතා ඔයාලගෙ පව්කාර වැඩ වලට මාත් සම්බන්ධ වෙනවා..“ කියමින් කලිසම් මසා ඇත්තේය. ඉන්පසුව අපේ එවුන් කියා ඇත්තේ ඇන්ටී පව් කාර වැඩේ වුනත් ලෙසටම කළා කියාය. “ඔව් පුතා මොනව වුනත් වැඩේ හරියට තියෙන්න එපෑ..“ කියමින් ඇන්ටී මුදල් ගෙන ඇත්තේය.

එවන් කාලකන්නි මිතුරන් ගෙන් මට ඇත්තේ “යකෝව් හනිමූන් යන්නට ඇඳුම් ඕනෙමද ??“ කියාය. කැෂුවල් ෂූට් එක ලෙසටම කළ ස්ටුඩියෝ ෆෝ යූ ආයතනයට සහ විවිධ අජූත ක්‍රියා මැද වෙඩිම සඳහා උපකාර කළ මිත්‍ර ද්‍රෝහියන්ටත්, නන් අයුරින් උපකාර කළ සියළු දෙනාටත් ස්තුති වන්ත වෙමි. වෙඩිමේ ඔරිමජිනල් පොටෝ ලැබෙන තුරු කිසිම පොටෝවක් පබ්ලිෂ් නොකරන බැවින් පහත පොටෝ ටික බලා සැනසෙන්න.



Written by sAm_ශ්‍රී_Perera_6:28am_02/01/2014
Related Posts Plugin for WordPress, Blogger...