Wednesday, February 27, 2019

නොකියාම නිදි නේද?




බිම වැටී ඇති පිනි සේම
දිළිසුනා ඔබ ළඟ  පාත
වැතිරිලා මම නොදොඩාම
රස සොයමි රහසේම

පිනි වාගේ දිලුනාට
පැණි රසක් නැතුවාට
දහඩියෙන් නැහැවීම
නිදි නේද නොකියාම

ඉඩ නැතිව සයනේම
කිටි කිටියෙ වෙලුනාම
මඳ අඳුරෙ ගිලුනාම
ආදරේ ‍නොදැනේද

කෙටි හුස්ම හනි හනික
ගන්නේද නුබ මැණික
නිදි සේම පැද්දේද
ඔය පපුව මැද හුස්ම

ඇස් පියන් තද කරන්
නොනිදාම ඔබ නිදන්
මට පහසුවෙන් තියන්
ඉඩ දෙන්නෙ කිම කියන්

සිහිසුන්ව ඔබ වැටී
මට ලිහිල් බව දි දී
කිමිදෙන්න හුස්ම දී
නුබ හොරෙන් ඇයි නිදී

සඳ රැස් අප දකී
මද සුළං රැල් වැදී
ඇහැරෙන්න හිත නොදී
නුබ හිදින් මම සිබී

මගෙ උකුල් බර දැනී
හිදින් නුබ නොරැවටී
සේද තිරපට ඇරී
මුළු රෑම නෑ නිදී

#sAmsRi_27/02/19

Monday, February 25, 2019

මගේ කිරි කතාව.. - My Milk Story !!


කිරි පිටි පිළිබඳව කතිකාවක් ඇති වූයේ මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කළ ප්‍රකාශයක් නිසාය. ඔහු සඳහන් කළේ කිරි පිටි වල ඌරු තෙල් අඩංගු බවය. ඊට විරුද්ධව හඬ නඟන රාජිත සේනාරත්න මහතා පවසන්නේ ඌරු තෙල් අඩංගු නැති බව විද්‍යාත්මකව සනාථ කර ඇති බවත් කිරි පිටි භාවිතය පිළිබඳව කිසිඳු ගැටළුවක් ඇති කර ගත යුතු නැති බවත්ය. කතාව තවත් ඉහළ තලයකට ගෙන යන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් කළ ප්‍රකාශයක් නිසාය. තමන් සෞඛ්‍යය ඇමතිව සිටි කාළයේ කිසිදු කිරිපිටි නිශ්පාදක සමාගමක් සමඟ කිසිම ගණුදෙනුවක් නොකළ බවක්ය. එය රාජිතගේ කිරිපිටි ඩීල් ගැන නොකියා කියූ කතාවක් වැනිය. කෙසේ වෙතත් දේශීය කිරි නිශ්පාදනය රටේම අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් නොවන තැනක බොහෝ අය කියන්නේ කිරි පිටි අත්‍යාවශ්‍යය දෙයක් නොවන බවය. ක්ෂීරපායී සත්වයින් ඉපදී මුල් කාලයේ ආහාරයට ගන්නා කිරි නැවත භාවිතයට නොගනිති. එසේ ගන්නේ මිනිසුන් පමණක්මය. 



ඇත්තටම කිරි පිටි මිනිස්සුන්ට බලෙන් එබ්බවූ දෙයක්ය. නුවනක්කාර වන්නට ගැහැණිය මිලට ගත යුත්තේ රත්තී යන වචන ටික නිතරම ඔබේ ඔලුවට දමන්නේ වෙළඳ දැන්වීම් වලින්ය. ජව ශක්තිය පෝෂණය නැතුව හැම උදෑසනක්ම අසාර්ථක වන බව කියන්නේද කිරිපිටි ආයතනයක්ය. සම්පූර්ණ යොදය සහිතව අවශ්‍යය නම් ආහාරයට ගත යුත්තේද කිරි පිටි බව මතක් කර දෙන්නේද වෙළඳ දැන්වීම් මඟින්ය. සියළුම ආයතන විටින් විට රූපවාහිනීයේ ඔබ අප ඉදිරියේ හඬා වැටෙන්නේ ඔවුන්ගේ එක හොඳම එක කියා මතක්කර දෙමින්ය.

කොතරම් කිරිපිටි වැඩක් නෑ යැයි කියෙව්වාට සෑමාද කිරිපිටි ජීවියෙක්ය. මව් කිරි වලින් නතර වී නැවත කිරිපිටි වලට සෑමා හුරු වූයේ කුඩා කාලයේ සිටය. උදෑසන අවදිව උදෑසන ආහාර වේල නොගෙනම පාසැල් යන සෑමාගේ උදෑසන ආහාරය වූයේ අම්මා සාදා දෙන කිරිපිටි එකය. ඉන්පසු උදෑසන කෑම ලෙස ගන්නේ පාසැල් රැගෙන යන කෑම පාර්සලය ය. රාත්‍රී ආහාරයට පසු නින්දට පෙර කිරි බීමද පුරුදු කළේ අම්මාය. අද තවමත් ඒ පුරුද්ද තාත්තාටද තිබෙන්නේ අම්මා නිසාය. උදෑසන අම්මා දෙන කිරි වේල සහ සවස ලැබෙන කිරි වේල තාත්තාටද ආවේණික දෙයක්ය. 

විවාහයෙන් පසුද ඒ පුරුද්ද අතෑරීමට සෑමාට නොහැකි වූයේය. උදේ සවස බොන කිරි එක අත්‍යාවශ්‍යය දෙයක් ලෙස මානසික බලපෑමක් කාටත් හොරා සිතේ රජ කරන නිසාම අතහැරීමට අපහසුය. දින කිහිපයක් සෑමා කිටී සහ ඇගේ අම්මා කිරිපිටි වලට තිත තබමු යන සංකල්පය යටතේ උදෑසන අවදි වූ විට කිරි වෙනුවට උණු වතුර වීදුරුවක් බීමට උත්සාහ කළෝය. දින දෙකක් හෝ තුනක් උපරිමයෙන් එම උත්සාහය සාර්ථක වූ අතර ඉන්පසු ඔන්න ඔහේ කිරි එකක්ම බොමු අප්පා යැයි එකඟතාවයකට පැමිණ නැවත පරාජිත පුරුද්දට වැටුනෙමු.

කිරිපිටි පිළිබඳ නැවතත් ඇතිවූ කතිකාව නිසා ඒ පුරුද්ද අත්හැරීමට නැවත වරක් උත්සාහ ගැනීමට කාලය එළැඹ ඇත. දරුවන්ට සහ ඔබ අප පරිභෝජනය කරන කිරිපිටි වෙනුවට කොළ කැඳ වර්ගයක් හෝ වෙනත් පානයක් ආදේශ කර ගැනීමෙන් මසකට රුපියල් පන්දාහක පමණ අවම ඉතිරියක් පවුලකට සාදාගත හැකි බව සෑමාගේ මතයයි.

මම  කිරි පිටි අතහරින තුරු ඔබට කරන්න යැයි බලපෑම් නොකරමි.
එහෙත් ඔබත් එලෙස අතහරින්නේ නම් සතුටුය.

#sAmsRi_25/02/19

Friday, February 22, 2019

සිහිනය පරම්පරා දෙකක දුරින් ය...!!


අපේ පරම්පරාව පාසැල් සමයේ සිටම වෙනස් කරමු යැයි කියන පරම්පරාව ලෙස හැඳින්වීමට සෑමා කැමතිය. රචනාවක්  ලියුවත්, කතාවක් පැවැත්වූවත් අපේ උන් ලිව්වේ කිව්වේ වෙනස් වෙන හැටි ගැනය. රැක ගන්නා හැටි ගැනය. බොහෝ මාතෘකා පරිසරය ගැනය. පරිසර විනාශය ගැන හඳුන්වා දෙන රචනා අවසන් වූයේ පරිසරය රැක ගනිමු කියාය. ඔබ රැකුනොත් අපිත් රැකේ ලෙස කිව්වේද පරිසරය ගැනය. මේ ටික ලියන්නට සෑමාට සිත් වූයේ වෙනස් වෙන පරම්පරාව ඈතක නොවන බව කීමටය. නමුත් ඒ පරම්පරාව අපට කලින් පරම්පරාවට පසුවත්, අපේ පරම්පරාවට පසුවත් බව කීමටය.



සපුගස්කන්ද ප්‍රදේශයේ One way හරස් මාර්ග දෙකක් ඇත. ඒ හරස් මාර්ග දෙක ඇත්තේ කලාප අධ්‍යාපන කාර්යාලය පැත්තට දෙල්ගොඩ පාර සහ මාකොල පාර යා කිරීමටය. එක ලඟ වැටී ඇති හරස් කෙටි පාරවල් දෙක නිවැරදි ආකාරයෙන් භාවිතය කාටත් පහසුය. සපුගස්කන්ද පැත්තේ සිට කිරිබත්ගොඩ පැත්තට යන සෑමාට හරස් පාරේ ඇති තැපැල් කාර්්‍යාලයට යෑමට වටයක් ගසන්නට සිදු වේ. එක වන් වේ එකකින් දෙල්ගොඩ පාරට දමා තැපැල් කන්තෝරුවට ගොස දෙල්ගොඩ පාරෙන් නැවත මාකොල පාරට දමන්නට සිදුවන්නේ නීතිය පිළිපැදීමටය.එහෙව් අමාරුවෙන් නැවත මාකොළ පාරට දමන සෑමාට මුහුණට හමුවූයේ ත්‍රී රෝද රථයක්ය. කලින් පරම්පරාවේ අංකල් ඩෑල් එකක් නිසා පාඩමක් ඉගැන්විය යුතු යැයි සෑමාට සිතුණේ කුපාඩිකමටය. ත්‍රී රෝද රථය හරස් කර නැවැත්වූ සෑමාට අංකල් අත පය විසික් කරමින් කීවේ තමාට යන්නට ඉඩ දී පසුපසට ගන්නා ලෙසය.

"ආ.. අංකල් මේක වන් වේ නේද?"

"ඔව් ඇයි?"

"ඇයි නෙවෙ, හරියට යන්න ඕනි නම් එහා පැත්තෙ පාරෙන් දාලා එන්න තිබ්බා.. කාටත් කරදරයක් නැහැ එහෙම කළා නම්.."

"අනේ යනවා ඕයි යන්න.."

අංකල් සරලව පිළිතුරු දී තමාම වාහනය පිටු පසට ගෙන සෑමාට ඉඩ දුන්නේය. කතාව එතැනින් ඉවර කළේ මෙච්චර වයසට ගිය අංකල්ව හදන්න සෑමාට බැරි නිසාය. වරද කළ බව ඇත්තය. හිනාවකින් වරද පිළිගෙන ලිස්සා ගියා නම් අංකල් ඊටත් වඩා ලස්සනය.

එතන් සිට සෑමා කල්පනාවට වැටුනේ මාර්ග විනය කඩන බොහෝ පිරිස් අංකල්ලා සීයලා බව සිහි වූ නිසාය. වයසත් එක්ක එන පිළිනොගන්නා බව සහ දරදඬු බව නිසාම ඔවුන්ගේ මාර්ග විනය පිරිහී ඇත. හදන්නට යෑම තේරුමක් නැත. ඒ නිසා කාලයට ඉඩ දී පරම්පරා දෙකක් වත් ඉවසිය යුතු බවය සත්‍යය.

පාරිසරික ප්‍රශ්න වලදීද වැඩිහිටි පරම්පරාවේ උද්දච්ච දරදඬු වැඩ බොහෝය. බුලත් කෙල ගැසීම දැන් තරමක අඩු වී ඇත්තේ අලුත් පරම්පරාව බුලත් කෑම අවම නිසා බව කිව හැකිය. එලෙසම උඩින් පරම්පරා දෙකකින් අපි පැතූ පරිසරය දුර බව කිව යුතුය. සිගරැට් බීම වැඩිහිටි සහ අපේ පරම්පරාවටත් පොදුය. ඒ අතරින් වැඩිහිටියන් ෆිල්ටරය අත කරකවා කොහේ හෝ විසිකරන හැටි සෑමා දැක ඇත්තේය. අතේ ඉතිරිවන ෆිල්ටර් කොටය කසල බඳුනකට හෝ අළු බඳුනකට දමා යන තරුණ පිරිස් බොහෝය. වැරදි අවම කිරීම අතින් තරුණ පරම්පරාව ප්‍රමඛ බව කිව හැකිය. 

දිනක් සෑමා ඉදිරියෙන් ගමන් කරමින් තිබූ කැළණිය විද්‍යාලයේ පාසැල් බසයෙන් විටින් විට තැනින් තැන බසයේ ජනේල් වලින් එළියට දමන අයිස් ක්‍රීම් කවර සෑමා දුටුවේය. සුළඟට පාව ඇවිත් පාර පුරා විටින් විට රට මැවූ අයිස් ක්‍රීම් කවර දැක සෑමාට ඇති වූයේ කලකිරීමක්ය. පාසැලේ නම ගැසූ බසයෙන් ලැජ්ජා නැතුව කුණු එළියට දමන්නට තරම් පොඩි උන් මෝඩ යැයි සිතන්නට බැරිය. බසය හරස් කොට රියදුරුට කතා කළේ සෑමාය. වැඩිහිටි පුද්ගලයෙකු වූ ඔහුට එය ගණනකට නැති දෙයක් බවට පෙනී ගියේය. නැති නම් රියදුරුට පැති කණ්නාඩි වලින් සිද්ධිය නොපෙනෙන්නට ඉඩක් නැත. එය දැක නොදැක්කා ලෙස සිටිනා උඩ පරම්පරාවේ නැහැදිච්ච ඔහු කවදාවත් යට පරම්පරාවකට හරි වැරැද්දක් කියා දෙන්නේද නැත.

කසල කළමනාකරණය, කුණු වෙන් කිරීම සම්බන්ධයෙන් නව පරපුර දැනුවත්ය. දිරා යන නොයන සහ ඉඳුල් ද්‍රව්‍ය ලෙස කසල වෙන්කර කුණු ලොරියට බාර දීම උඩ පරම්පරාවට මහ බරක්ය. කුණු ගිණි තබන විට එහි වූ ප්ලාස්ටික් කැබලි ඉවත් කර නිවැරදිව ගිණි තැබීමට පවා ඔවුන් කම්මැලිය. එහෙත් අපේ කාලේ උබලෑ ක ාලේ කියා උද්දච්ච කතා කියමින් පොඩි උන්ට ලොරි ටෝක්ස් දීමේලා පුරෝගාමීන්ය.

ත්‍රීවීල් අංකල් සෑමාව දුරකට ගෙන ගොස් අතෑරියේ තව ප රම්පරා දෙකකින්වත් උබලා පතන ලෝකය බිහි වෙනවා යැයි කියා දෙමින්ය.

නොහැදෙනා අංකල්ලාට, ඇන්ටිලාට,
ස්තූතියි කියා දුන්නාට !!

sAm_sRi_9:15pm_22/02/19
Related Posts Plugin for WordPress, Blogger...