Showing posts with label සිංහල අලුත් අවුරුද්ද. Show all posts
Showing posts with label සිංහල අලුත් අවුරුද්ද. Show all posts

Thursday, April 13, 2017

සැඟවුණු අමුත්තා සොයා ගියෙමු.. - Searched for the Hidden Guest !!




“සුභ අලුත් අවුරුද්දක් වේවා රට වාසීනී..“

“සුබ මුහුර්ථයෙන් පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව දැන අපි බලාපොරොත්තු වෙන්නේ ගම හරහා දිවීමේ තරඟය පැවැත් වීමට. ඒ සඳහා තරඟ වදින තරඟ කරුවන් සියළු දෙනාම ප්‍රධාන මාර්ගය අසල සිටින තරඟ සංවිධායකවරු මුණ ගැසෙන්න. ඒ අතරම ලිස්සන ගහ නැගීමට ජව සම්පන්න ගම් වාසී තරුණයන්ට ආරාධනා කරනවා. එම ස්ථානයට පැමිණ තම තරඟ ආරම්භය සනිටුහන් කරන ලෙසට. මට පෙනෙනවා ගිය වරත් එම තරඟය ජයග්‍රහණය කළ තරුණ පිරිස අදත් විලි ලැජ්ජා නැතිව තෑගි අපේක්ෂාවෙන් ලිස්සන ගහ අද්දර දෙඅත් දෙපා පිරි මැද මැද බලා සිටින අයුරු.. ගිය වර මෙන් ලිස්සන ගහ කඩා වැටී කොඩිය ගලවාගන්නට මෙවර ඔවුන්ට ඉඩ නොලැබේවා කියා..“

“ඒ අතරම අපි බලාපොරොත්තු වෙනවා සැඟවුණු අමුත්තා තේරීමේ තරඟය ආරම්භ කිරීමට. තරඟයට සහභාගිවීමට කිසිම වයස බාධාවක් නැහැ. ඔබ වේදිකාව අභියස සිටින සංවිධායක මණ්ඩලය මුණ ගැසී තමන්ගේ නම, වයස, ලිපිනය ලබා දී එම විවෘත තරඟයට සහභාගී විය යුතු බව මතක් කර සිටිනවා.“

*********

“සියළු කටයුතු එසේ සිදුවෙද්දී දැන් මේ සූදානම කාන්තා ඒකල, ගීත ගායනා කිරීමේ තරඟය...“

“ඒයි නිවේදකයා... ඒම කෝමද කරන්නේ??“

“ඇයි මොකද මහත්තයා සීන් එක??“

“අපෙ ගමේ ඒම කරන්න දෙන්න බැහැනේ.. මේක අපෙ ගම.. මේක කැළණිය..“

“ඇයි මෙහෙ කාන්තා තරඟ තහනම්ද??“

“කාන්තා තරඟ නෙවෙ අයිසේ.. අපෙ ගමේ තරඟ අපෙ කාන්තාවන්ට මිසක්... පිටින් ගෙන්නලා මෙහෙ තරඟ තියන්න බැහැ හරිය..“

“නැහැ නැහැ.. සංවිධායක මණ්ඩලය ඒව බලනවා.. අපි නම, ගම, ලිපිනය කොහොමත් ගන්නවා..“

“එහෙනම් අහවල් එකටද මෙතන වැඩේට ඒකල උන්ට අඬගහන්නේ.. නිකං මැරුම් නොකා ඉන්නවා අයිසේ..“

“අහ්.. සමාවන්න.. මීලඟට කාන්තා ඒක පුද්ගල ගීත ගායනා තරඟය...“

*********

“හරි..  වැඩේ නැගලාම යනවා.. මම දැන් මේ සූදානම් වෙන්නේ සැඟවුණු අමුත්තා සොයන, සුවහසක් ක්‍රීඩක පිරිසට පළමු ඔත්තුව ලබා දෙන්නටයි. සැඟවුණු අමුත්තා හරියට කුරුල්ලෙක් වගේ කාලයක් තිස්සේ හොඳට පේන්නට හිටියා. චතුර ලෙස කියවනවා, හැබැයි දැන් පේන්නම නැහැ. ඉස්සර හරි ප්‍රසිද්ධයි. මේ කාලෙ වැඩිය පේන්න නැහැ. දැන් තරඟකරුවන් ඉතා යුහුසුලුව වැඩේ කරගෙන යන්න. අපි තවත් ඔත්තුවක් ලබා දෙනවා සුළු මොහොතකින්... “



“මචංලා අපි තෑග්ග බෙදා ගමු. මේකෙ ලොකු සීං එකක් නැහැ ලොකු නෙට් එකක් අරං වරෙං. කුරුල්ලෙක් නේ. අල්ලගන්නට ට්‍රයි එකක් දෙමු කොහොම හරි. තෑග්ග බෙදා ගමු. එක්කෝ තෑග්ග විකුණලා අඩියක් ගහමු සෙට් වෙලා.“

“මෙන්න මචං නෙට් එක තියෙනවා.. දැන් මොකෝ කරන්න කියන්නේ..“

“ඕක අරං යමු රිංගමු කැළේට. ඔය කියන්නේ කොහා ගැන. ඉස්සර අපි පොඩි කාලෙ ඕකා සීන් එකේ හිටියා. පස්සෙ ඌව ඉස්සුවා කඩවල් වල සේල් කාරයෝ. උන් කරපු වැඩෙන් කොහා මුදලට යට වුණා. ඊටත් පස්සෙ මීඩියා වලින් ඉස්සුවා. උන් වැඩි පඩියට මීඩියා වලට රිංගන්න ගත්තා. පස්සෙ හරියට පඩියක් වත් සෙට් නොවුන නිසා උන් දැන් වැඩිය බහින්නෙ නැහැ ලංකාවට. දැන් ඉතිං බැද්දෙ ඉන්න මොකෙක් හරි තටු තියෙන පක්ෂියෙක් බස්සලා ඌට බාසාව උගන්නලා ගමු මචං...“

“හරි වරෙන් යන්න.. මටත් හැකියාව තියෙනවා වටු කුරුල්ලො අල්ලලා..“

*********

“ඔව් මෙන්න අපේ එක තරඟකරුවෙක් සැඟවුණු අමුත්තා කියා ඩෑල් එකක් එක්කගෙන ඇවිත් තියෙනවා. සුදු සරම, ෂර්ට් එක ගසලා, නැෂනල් කිට් එකෙන්ම බැහැල තියෙන්නේ. අවුරුදු අසිරිය දෙඟුණ තෙඟුණ කරමින්.. හරි මල්ලි කියන්න බලන්න පිටට තට්ටු කළාම මෙයා පිළගත්තද එයා අවුරුදු කුමාරයා කියලා..“

“ඔව් අය්යා.. ගේමක් නැහැ. මෙයා චතුර ලෙස කතා කරනවා, කුරුල්ලෙක් වගේ තමා, ගිරවා වගේ කියෝනවා අගක් මුලක් නැහැ. අනික දැන් මේ කාලෙ පේන්නත් නැහැ. ඒ කාළෙ 1982දි ප්‍රථම අවුරුදු උත්සවය තියෙද්දි, මෙයා මේ තරඟයට සහභාගි වුණාලු. ඒකෙදිත් කාටවත් හොයා ගන්න බැරි වුණාලු කවුද සැඟවුණු අමුත්තා කියලා. බලනකොට සංවිධායක මණ්ඩලය නම් කරල තියෙන්නෙ මෙයාවමයි සැඟවුණු අමුත්තාට. ඉතිං මෙයා කිව්වලු මම දැනං හිටියා ඒත් ඉදිරිපත් වුනෙ නැහැ කියලා. අන්තිමට සැඟවුණු අමුත්තට හිටිය මෙයාටම තෑගි ලැබුණලු...“

“බලමු අපි එයා එක්ක කතා කරලා.. කියන්න ඔබ තුමාගෙ නම.. ගම.. විස්තර..“

“මම අපෙ අප්පගෙ පුතා.. ඉපදුනේ 1982 අවුරුද්දෙ...“

“ඔබතුමා 1982 වෙලා කෝමද සැඟවුණු අමුත්තා වුණේ??“

“එතකොට මම හිටියෙ අම්මගෙ බඩේ.. බ.. බ.. බ.. බ..“

“හරි හරි දැන් තේරෙනවා. ස්තූතියි ඔය මල්ලි තරඟයට ඉදිරිපත් වුණාට... ඒත් මෙයා නෙවෙයි සැඟවුණු අමුත්තා.. තවත් උත්සාහ කරල බලමු...“

*********

“ආ මේ කවුද මේ දැලක් උස්සගෙන ??“

“මෙන්න අයියා බඩු..“

“මේ මොකක්ද මේ දැලක් පටලවගෙන. පව් හලෝ කුරුල්ලෙක් නේද??“

“ඔව් අය්යා මූ තමා ඩෑල් එක. මූ කුරුල්ලෙක්. චතුර ලෙස කෑ ගහනවා. අනික දැන් කාලෙ පේන්නත් නැහැනෙ ඉස්සර හිටියට..“

“පිස්සුද මල්ලි.. ඔත්තුව නම් ගැලපෙනවා තමයි. ඒත් කුරුල්ලෙක් දාන්න පුලුවන් ද තරඟයකට සැඟවුණු අමුත්තා කියලා.. පිස්සු කෙලින්නෙපා මූව අතාරිනවා..“

“ඒම කරන්නෙපා අයියා ගේමක් දීලා ඇල්ලුවේ. මූ කපුටෙක්. පොඩි මොඩිෆිකේෂන් පාරක් දිලා බාසාව උගන්නලා ගත්තෙ. අනික ඔරිජිනල් කොහා ඉන්නෙ සේල් වලයි, ටීවි එකෙයි විතරයි නේ..“

“හරි මල්ලි ඒත් මේක කරන්න බැහැ. පුලුවන් නම් කාව හරි මනුස්සයෙක් කුදලං එනවා. මම සැනසිලි තෑග්ගක් වත් සැට් කරන්න..“


*********

“ඔව් තරඟයේ උණුසුම වැඩි වෙද්දි තරඟකරුවන් පිස්සු කෙලිනවා. ඉතිං අපි ඉක්මනින්ම දෙවෙනි ඔත්තුව ලබා දෙන්න යන්නේ...“

“අපේ අමුත්තා සුපිරි ඩෑල් එකක් කියල කිව්වොත් නිවැරදියි. රට, ජාතිය, ආගම වෙනුවෙන් බැහැලම සීන් එකේ හිටියා.. සුනාමි වෙලාවෙ උනත් එහෙමයි... ඒකාලෙ මාධ්‍ය වල බැහැලාම හිටියා. මේ ටිකේ පේන්න නැහැ..“

“අයියා ඩෑල් එක දන්නවා. පොරව එක්කගෙන එන්න යන්න ඕනෙ නැහැ. මේ ටිකේ කියන තැනකට බහිනවා. සූප්පුවෙන් කිරි බොන සීන් එකට දාලා, කිරි බෝතලයක් ගස්සවලා කික් කරල ගමු. මිනිහා මෙතැන රඟලා යයි.“

“අඩෙ කවුද බං ඩෑල් එක??“

“එහෙම කියන්න බෑ.. සප් එකක් දියං.. තෑග්ග ගමු..“

“එහෙම බෑ ඌව එක්කං එමු..“

“එක්ක එන්නෝනි නැහැ. උගෙ ඇපල් පෝං එකට පෝං කෝල් එකක් අරං. ඊට බස්සේ 1990 ගහං ඇම්බියුලන්ස් එකකට. පොර ෆුට් බෝඩ් එකේ එල්ලිලාම මෙතැනට බහියි.“

“හරි කරලා බලාං කෝ.. කුරුල්ලෝ ඇල්ලුව වගේ වෙයිද දන්නෑ..“

*********

“ගරු මහත්වරුණි. නෝනාවරුණි ඉඩලබා දෙන්න.. ඉඩ ලබා දෙන්න කරුණාකර ඉඩ ලබා දෙන්න... අන්න අපෙ ගමහරහා දිවීමේ තරඟයේ පළමු වෙනියා ඇම්බියුලන්ස් එකේ ෆුට් බෝඩ් එකේ නැගී මෙතැනට පැමිණෙනවා.. පිළිගන්න 

ඔහුව.. “

“ඒම කෝමද අයියා.. එයාව පිළිගන්නෙ අපි.. ඒ අපේ ජයග්‍රහණය.. ඔව් මවිබිමේ විජයග්‍රහණය.. එයා අපේ සැඟවුණු අමුත්තා..“

“හප්පට සිලි මල්ලි මෙයා මේ අපේ කිරි බබා නේ.. බෙල්ලේ පංචායුධේ තියෙන්නේ.. එයා කෝමද සැඟවුණු අමුත්තා වෙන්නේ..“

“ඇයි අයියා.. ඔයාම නේ කිව්වෙ එයා වැඩිය මේ දවස් වල පේන්න නැහැ කියලා.. ඉතිං අපි එයාට කෝල් කරල වැඩේට ඉන්වයිට් කළා..“

“නැහැ මල්ලි.. පිස්සු කෙලින්න එපා.. එක්කං ආව නම් සලකලා ගෙදර යවපල්ලා..“

“අනෙ අයියා පොඩි උදව්වක් කරන්න.. අර කිරි බීමේ තරගෙට තියපු සූප්පු ගහපු කිරි බෝතලයක් මුගෙ කටේ ගහලා ආයේ ඇම්බියුලන්ස් එකෙම යවන්න ප්ලීස්.. අපි අද කෝම හරි ඔයාට සැඟවුණු අමුත්තා හොයල දෙන්නම්..“

*********

තරඟකරුවන් හරිම කුරිරුයි. දරුණුයි. මේ තරඟය දිගටම තිබ්බොත් මට ගමේ, රටේ වසන්න බැරි වෙනවා. ඒ නිසාම සැඟවුණු අමුත්තාගේ තරඟය මෙතැනින් අවසන් කරනවා.

ලබන අවුරුද්දේ සැට් වෙමු...!!

එතෙක් සැඟවුණු එව්වා එලියට පනින, සොමි බර මෙව්වා එකක් වේවා... !!


Written_by_sAm_ශ්‍රී_10;31am_13/04/17

Sunday, April 13, 2014

සුභ වෙන හැටි... - How to be HAPPY ??


සුභ වේවා කියූ පමණින් සුභ වෙන්නේද, අසුභ වේවා කියූ සැනින් අසුභ වන්නේ නැත. සුභ හෝ අසුභ බව රඳා පවතින්නේ හැසිරෙන ආකාරයෙන්ය. සිංහල අලුත් අවුරුද්දද එසේමය. සුභ වේවා යැයි පුරුද්දට කියා, සුභ කර ගත හැකි ආකාරයක් ලියා දැක්විය හැකිය. එය නම් මෙසේය.


දිනපතා වැඩට යන, අධ්‍යාපන කටයුතු වල නියැලෙන, නිවසේ රැදී නොසිටින හෝ පවුලෙන් දුරස්ව සිටින අය අද නිවසට පැමිණ සිටිය හැකිය. වෙනදාට වැඩට ගොස් ගෙදර ඇවිත් රූපවාහිනීය ඉදිරිපිට සිටින, පරිඝනකය අසල සිටින අය ගෙදර අය සමඟ කතා බහක් නැති තරමට කාර්යය බහුල වන්නට පුලුවන. එහෙත් අවුරුදු නිවාඩුව සමඟ අද ඒ අය ගෙවල් වලය. එසේම වෙනදාට වැඩිය අදහස් හුවමාරුවක් කතා බහක් ඇති වන්නේ ගෙදර දොර වැඩ කටයුතු සිද්ධ වෙන නිසාය. එනිසා ගෙදර උදවිය සමඟ වැඩිපුර ගැවසෙන්නටත්, එකිනෙකා සමඟ වැඩිපුර කතා බහ කරන්නටත් අවස්ථාවක් ලැබෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද සුභ විය යුතුමය. පැත්තකට වී වෙනදාට සිටින උන් සෙට් එකක් වන නිසා සුභ විය යුතුය.

වෙනදාට පන්සල පැත්තට නොයන අය අද පන්සල් යන්නේ එකම වේලාවකටය. ඒ නොනගතය අවස්ථාවේය. ගමේ හැම එකාම පන්සලේදී මුණ ගැසෙන්නට, ගෙදර අය සමඟ එකට පුන්‍ය කටයුතු වල නියැලෙන්නට ඉඩක් ලැබෙන නිසා ඒ අවස්ථාවන් සුභය. සතුටුය. කැවිලි නැති වුණත් ගෙදරක හැදෙන කිරිබත එක මේසයක් මතට වී, එකම අවස්ථාවක බෙදාගෙන කන නිසා, වැඩිහිටියන් සමඟ එකට හිඳ කන නිසා සතුටුය. සුභය. බුලත් අතක් දී වෙනදාට වදින්නේ නැති වැඩිහිටියන්ට වසරකට වරක් වත් වඳින නිසා සතුටුය සුභය. එකිනෙකා අතර හුවමාරු වන තෑගි බෝග නිසා අවුරුද්ද සතුටුය සුභය.

ඒ හරුණු කොට අවුරුද්දම සුභ කර ගත හැකි ආකාරයක් තිබිය යුතුය. පුරුද්දට මෙන් හැමදාමත් වගේ පුරුද්දට සුභ වේවා යැයි පැතිය හැකිය. එහෙත් සුභ කර ගැනීම, සුභ කරගැනීම සඳහා වෙහෙස වීම අප කාටත් අයිති රාජකාරියක්ය. එනිසා උදාවන අලුත් අවුරුද්දේ කැපවීමෙන්, උත්සාහයෙන් සුභ කර ගැනීමට වෙහෙසෙමු.

පුරුද්දට වගේ...
සුභ අලුත් අවුරුද්දක් වේවා !!
යැයි කියමි...

Written_by_sAm_ශ්‍රී_Perera_8:16pm_13/04/14

Thursday, April 10, 2014

අවුරුද්දට එපා.. අරක්කු.. - No Alcohol for the STN !!!




“අම්මේ... හැම පාරම අපිට තමා නැත්තෙ..“

“මොනවද දැන් නැත්තෙ?? තොපිට හැමදාම නැහීගෙන කරන්නෙ මම.. අප්ප කියල එකෙක් ඉන්නවද? කියලවත් තේරෙනවද???“

“එහෙම නෙවේ අම්මෙ.. අර එහා පැත්තෙ රසිකලා ඔන්චිල්ලාවක් බැඳගෙන දඟලනවා.. මම වැට ලගට ගියාම උන් මට දිව උලුක් කළා..“

“ඔන්චිල්ලා.. දැන් එච්චරයි අඩු...“

“මහ දෙයක්ද අම්මෙ.. අර තැඹිලි බාන ලණුව තියෙන්නෙ.. කොස් අත්තට තියල බැන්ද නම් ඉවරනේ..“

“අම්මද බොල මූ මට ඒ ටිකත් කියල දෙන්න එනවා...“

“මතක නැද්ද අම්මෙ.. ගිය පාරත් ලණුව ගැට ගැහුවෙ අර උඩින් තියෙන මහ කොස් අත්තෙ නේ..“

“දැන් මේ චීත්ත රෙද්දත් ඇඳගෙන මමද මහ කොස් අත්තට බඩ ගාන්න ඕනෙ..“

“නැහැ අම්මෙ.. අම්මා තාත්තට කියන්න.. අපි කිව්වොත් බැනුම් අහන්න වෙයි... පව් අම්මෙ නංගිත් ආස වෙයි ඹන්චිල්ලා පදින්න...“

“නංගිද කැමති උඹද කැමති කියල බලා ගන්නම් බැඳ ගත්තට පස්සෙ... මහ එකාට කියාපිය. අවුරුද්ද කියල බෝතලේ ඉනේ ගහගෙන ගම පුරා ඇවිදින්නෙ ඔය..“

*****

“මොකද බොල අම්ම අරහෙ කෑ ගහන්නෙ??“

“අපි පොඩි බඩ්ඩක් ඉල්ලුවා තාත්තෙ...“

“දැන් මොනවද කියපල්ලා කෙරෙන්න ඕනෙ..“

“නංගිට ඔන්චිල්ලාවක් බැඳලා දෙන්න කිව්වෙ..“

“ඉතිං තොපි ඕක අම්මට කියල හරි යනවද? මට කිව්ව නම් මම කරල දෙනව නේ.. ගිය පාරත් ඔය මඟුල බැන්දෙ මම නේද??“

“හරි ඉතිං තාත්තෙ බැඳල දෙන්න කෝ..“

“අරන් වරෙන් අර තැඹිලි බාන කඹේ.. ඔය එහා පැත්තෙ මඩුවෙ දාල ඇති..“

****

“ඔය ඉනිමඟ තියල නගිනවා මනුස්සයෝ.. වෙරි මර ගාතේ කෝම බඩ ගාන්වද මන්දා..“

“අනේ මේ නිකං කට කියවන්නෙ නැතුව ඉන්නවා.. මේ වගේ ගස් වලද මම නැග්ගෙ...“

“හරි අම්මේ.. තාත්ත වැඩේ කරයි.. කෑ ගහන්න එපා..“

“හරි.. හරි.. තාත්තල පුතාල එකතු වෙලා වැඩේ කර ගන්වලකෝ.. මොනව හරි වුනොත් මම නම් එන්නෙ නැහැ පැත්ත පලාතෙ..“

“උඹ කුස්සියට ගිහින් කන්න මොනව හරි හදපං කට වහගෙන.....“

****

“තාත්තේ මේ කෑල්ල ඇති වෙයිද?“

“හිටු.. තියලම බලන්න..“

“පොල් පිති කෑල්ල නම් ඇති වගේ.. ඒත් හයිය මදි.. බර වැටුනම ඉරෙයිද දන්නෙ නැහැ..“

“දැනට මේකෙන් පදිමු තාත්තෙ.. ලෑලි කෑල්ලක් තමා හරි යන්නෙ හැබැයි..“

“ලෑලි කෑල්ල හයිය වුනාට බොල, ඉදගත්තම පුක රිදෙනවා.. පොල් පිත්ත සනීපයි..“

“එහෙනම් දැනට මේක තියමු..“

“ඕක ඉරුනොත් කියපං.. මම එකක කපල දෙන්න....“

“හරි.. නංගි තල්ලු දායි.. මම ඉඳගත්තා..“

“දැන් තෝ තනියම පඳිනවා නෙවෙ ඕක..“

“හරි තාත්තෙ.. නංගි පනහයි.. මම පනහයි...“

****

“ඔයාට හයියෙන් තල්ලු කරන්න බැහැ නංගි.. බලන්න මම කොච්චර හයියෙන් තල්ලු කළාද??“

“මට ඔච්චර තමා පුලුවන්. බැරිනම් බහිනවා..“

“අනෙ මේ පැත්තකට යනවා. මම තනියෙන් අඩිය ගහලා වේගෙ වැඩි කර ගන්න..“

“හරි.. පැත්තකට වෙන්නම්.. හැබැයි ඔයාගෙ පනහ ඉවර වුණාම බහින්නෝනි..“

“හරි මඟුලක් නේ.. මම පැදගෙන මෙයාව පද්දවන්න... “

“එහෙම බැහැ හරිද? එහෙනම් මම තල්ලු දාන්නම්..“

“අපෝ එපා.. එපා.. ඉන්නවා තව ටිකක් පැදල දෙන්නම්..“

****

“කට කියෙව්වට එයාත් එහෙම තමා..“

“ඇයි මොකෝ..“

“මොනවද අයියෙ නපුරු වැඩ කරන්නෙ.. මටත් දානවාකෝ හයියෙන් තල්ලුවක්..“

“හයියෙන් ඕනෙ නම් මම වගේ අඩිය ගහලා උඩ යනවා..“

“කොහෙ යන්නද?? මගෙ අඩිය වදින්නෙ නැහැනෙ..“

“එහෙනම් කට පියන් ඉන්නවා..“

“අනේ....“

“හරි හරි ඉන්නවකෝ...“

****

“අම්මේ... දුවලා එන්නෝ...“

“මොකෝ බොල බෙරිහන් දෙන්නේ..“

“ලණුව ගැලවුණෝ.. නංගි මඩුවේ වහලෙ උඩට විසික් වුණෝ...“

“මම කිව්ව මේ මිනිහට සිහියෙන් ඉදපන් කියල.. කෝ දැන්...“

****


Written_by_sAm_ශ්‍රී_Perera_8:17am_10/04/14
Related Posts Plugin for WordPress, Blogger...