සිතුම් ගත් ගැම්ම ඉස්තරම් වූයේය. අකිලයාගේ අත ගිලිහුණේය. ක්ලාස් අහවර වී අන්තිම බස් එකේ ගෙදර එද්දී ෆුට් බෝඩ් එකේ සිතුම් එල්ලෙද්දී, අකිලයාවත් එල්ලා ගැනීමට උත්සාහ කළ දිනය අකිලයාට සිහි වුයේය. සියළු උත්සාහයන් අතහැර සිතුමාට ගෙදර යන්නට දී අකිලයා ආපසු හැරී බස් හෝල්ට් එකට විත් හිට ගත්තේ ඉවසීමෙන්, ප්‍රශ්න ඇති නොකරගෙන, ජීවිතයට මුහුණ දෙන ආකාරය ප්‍රගුණ කර ඇති නිසාය. එදා සිතුමා ඊලඟ නැවතුමෙන් බැස අකිලයා සොයාගෙන නැවත ආ සැටි අකිලයාට මතකය. ඒ සිද්ධිය මතක තිබියදීත් අකිලයා පැත්කට වී බස් එකක් එනතුරු මෙන් බලා සිටියේය. අත්ලෙහි වූ පොරි ගොටුවකට විසිවෙන්නට පහර දෙන්නේ යම් සේද එසේම සිතුමා ඉදිරියට පැන බයික් එකේ සිටි අනංගයාට පා පහරක් එල්ල කළේය. හෙල්මට් එක පාර එහා පැත්තේ කාණුවටද, බයික් එක පාර මැදටද විසිව ගොස් අනංගයාගේ කකුලක් බයික් එකට යටව තිබුණේය. කෙහෙල් ලෙල්ලක් මත නැගි එකෙක් බේරා ගන්නට අල්ලා ගන්නට වෙලාවක් අසල උන්ට නොලැබෙන්නේය. එලෙසම කරකියා ගත දෙයක් නොමැතිව, කිසිවක් සිතා ගන්නට කාලයක් නොමැතිව අනංගයාගේ මිත්‍රයන් දෙදෙනා බලා සිටියෝය.
වරදෙහි බැඳෙන්නට පෙර ඔවදන් දෙන මිතුරන් කොහෙවත් නැතිය. වරදෙහි බැදී කෙළ වූ පසුව උපදෙස් දෙන්නට මිතුරන් බොහෝය. මිතුරන්ගේ දෙමාපියන්ද බොහෝය. අනංගයා බයික් එකට යටව සිටියදී දිව ආ මිතුරන් දෙදෙනා බයික් එක උස්සනවා වෙනුවට කළේ ඔහුට ඇඩ්වයිස් කිරීමය. ඒ හැටිය. ඔහු බයික් එක උස්සපං කියා කෑ මොර දෙද්දී මිතුරන් දෙදෙනා බිමට නැමුනේ තම මිත්‍රයා ගොඩ ගැනිමටය. උන් දෙදෙනාටම පහර දී සිතුමා වැඩ පෙන්වන්නට ගියේය. එක් වරක් වීරයෙකු වූ පසු තවත් වැඩ දැමීම මෝඩ කමක් යැයි සිතුමාට තේරුණේ පසුවය. අනංගයාගේ කකුලක් තුවාල වී තිබියදීත් ඔහුගේ මිතුරන් දෙදෙනා සිතුමා අල්ලාගෙන එක් කනේ පහරක් දුන්නේ එලොව තරු පෙනෙන්නටය. හුලං පිරුණු කන් ගුල් අතරන් සිතුම්ට ඇසුණේ එකම දෙයක්ය. “අහු වෙයන් උබ... අහු වෙයන් උබ... අහු වෙයන් උබ... අහු වෙයන් උබ...“
තුන් දෙනෙකුට සිතුමා තනියෙන් නෙලද්දීද අකිලයා සිටියේ බස්හෝල්ට් බම්බුවට හේත්තු වෙලාය. උන් වගේ උන් පොල් පිත්තෙන් කැපිය හැකිය. එහෙත් මිතුරන් අත් හැරිය නොහැක. අකිලයා කීවේ නම් සිතුමාට සිහිය නැති වුණොත් හොස්පිට්ල් ගෙන යාමට තමන් හොද සිහියෙන් සිටිය යුතු නිසා සීන් එකට එන්ටර් නොවූ බවක්ය. සිතුමා දිවි පරදුවට තියා ගේමට එන්ටෑරු වුවත් අනේ තැන්කියූ කීමටවත් කුසුම්ගේ දිව නොනැමුණේය. කෙල්ලකගේ හැම අහු මුල්ලක්ම නැමෙන්නේය. එහෙත් දිව නොනැමෙන්නේය. කිසියම් කාලකන්නි වැඩක් කොට අනේ සොරි මෙයා කීමට නම් දිව නැමෙන්නේ තැන් හතර පහකින්ය. අකිලයාට කෙන්ති ගියේ සිතුමා එක්ක නොවේය. කුසුම් එක්කය. එය නැවත නැවතත් සිතුම්ට මතක් කරන්නට ඔහු පෙළඹුනේය. සිතුම්ට ගාණක් නැතිය. අකිලයා පසුව බුවනෙකයාවද වැඩේට සැට් කර ගත්තේය. ඒ සිතුම් ඉන්නා තැන කුසුම් වැනි කතකට පෙම් බැදීමේ ආදීනව කියා දීමටය.
මුද්දර එකතු කරන කාලයේදී කරපු අමාරුම වැඩේ ලියුම් කවරයෙන් මුද්දරය ගලවා ගැනීමය. දන්නා උන් කවරය වතුරේ දමා මුද්දරය ආරක්ෂිතව ගලවා ගන්නෝය. එහෙව් බැරි එකා දිව හපාගෙන මුද්දරය අමු අමුවේ ගලවන්නට දගලන්නෝය. සිදුවන්නේ මුද්දරය පළුදු වීම පමණක්ය. කුසුම් ගෙන් සිතුම් ගලවා ගත යුත්තේ බුද්ධියෙන් සිතා බලාය. සිතුම් නම් මුද්දරය කුසුම් නම් තැපැල් කවරයේ ඇලවී ඇත්තේ දිවෙන් කෙල ගා නොවේය. රබර්කිරි බාල්දියක එබීමෙන්ය. සිතුම් මැදි කරගත් බුවනෙක සහ අකිලයා මුද්දරය පලුදු නොකර ගැලවීමේ කටයුත්ත ඇරඹුවෝය. සුපුරුදු ස්ථානයේදීය. සිතුම්ලා සැට් වෙන්නේ එතැනය. වල බසින්නේ එතැනය. කොණ්ඩය කපා ගන්නට ගොඩ වදින්නේද එතැනටය. එතැන ගමේ සැලුන් එකය. එළියේ ඇති අබලන් බංකුව උන්ට සෝෆා සැට් එකක්ය. පසෙක වූ ඇට්ටේරියා ගස සෙවන සලසන්නේය.
“සිතුමා තෝ දන්නවද ඕකි මහ ඇට්ටර බඩ්ඩ..“ ආරම්භය එසේය. එතැන් පටන් අම්මාගේ අප්පාගේ හිස්ට්‍රියද, අක්කාගේ දැගලිල්ලද. අයියාගේ මැර කම්ද ඇට්ටේරියා ගස යට බංකුව මත තබන්නට වූයේ බුවනෙක හා අකිලයා විසින්ය. උන්ට උවමනා වූයේ මුද්දරය ඉරා දැමීම නොව මුද්දය ගලවා ඇල්බම් එකේ දැමීමය. එහෙත් කාලකන්නි මුද්දරය බලන්නේම දෙකට ඉරී යන්නටය. බලු නකුටට ගල් තබා හෝ කෙලින් කිරීම අසාර්ථක උත්සාහයේ යෙදී සිටියේ මිත්‍රයන් දෙදෙනාය. සිතුම් බල්ලාගේ දෙපැත්තෙන් අල්ලාගෙන සිටියේ බුවනෙක හා අකිලයාය.
“බ්‍රාාාාස්“
මහ පාර අයිනේ පෙනෙන දුරින් නැවැත්වූයේ උස ට්‍රේල් බයික් එකක්ය. බයික් එක පැදන් ආ එකා ආම් කට් එකක් ගසාගෙන සිටියේය. පිටු පස එකා දිග රැවුලක් සහිත අයෙක්ය. අතේ වක් පිහියක්ය. දෙදෙනාම හයේ හතරේය. එච්චර උස ට්‍රේල් බයික් එකක සිට කකුල බිම ගාන්නට හැක මට්ටම් උන්ය. බයික් එක පිටුපස එකා එක වරම අඩිය ගසා බැස්සේ ගේමක් නැතුවය. වක් පිහියෙන් බෙල්ල කසමින් ආ හෙතම කලබලයක් නොපෙන්වා ඇවිදගෙන ආවේ සිතුම් සිටින දිශාවටය. ඔහුව අනුගමනය කරමින් බයික් එකේ ස්ටෑන්ඩ් එක ගසා අනිත් පුද්ගලයාද ඒ දෙසට ඇදුනේය.
පෑඩ් ගැලවී යන තරම් සද්දෙට වැදුනු බ්‍රේක් පාර නිසා සිතුම්, බුවනෙක හා අකිලට ඔවුන්ගේ පැමිණිම වෙන වෙනම පෙන්වීමට උවමනාවක් නොවීය. බ්ලෙන්ඩරයට දැමූ පොල් කුඩු මෙන් සිත තුල දස අතේ කැකෑරෙන කුසුම් ගේ සිද්ධියෙන් තිදෙනාම වික්ෂිප්ත වූවෝය. අකිලයා සුපුරුදු නිර්භීත ස්වරූපයෙන් එතැම වූ කෙටි තාප්පයෙන් එහා වත්තට පැන්නේය. බුවනෙකයා දිව ගොස් සැලුන් එකට රිංගුවේය. කොණ්ඩය කපන පුටුව මත හිඳගත් හෙතෙම සැලුන් එකේ අයියාට කියා සිටියේ තමන්ගේ කොණ්ඩය කපන ලෙසය. කිසිත් නොදත් සැලුන් එකේ ඩෑල් එක බුවනෙකයා වැසෙන්නට රෙද්දක් දමා බෙල්ලෙන් ඉහල පමණක් පෙනෙන්නට ඉතුරු කළේය. සිතුමා තනි වූයේය. බයික් එකෙන් ආ දෙදෙනා ලගම එන්නේය. කිසිවක් හිතා ගත නොහැකිව සිතුමා බංකුවට අඩිය තබා ඇට්ටේරියා ගසෙහි අත්තක එල්ලුනේය. එල්ලී අතු කිහිපයක් උඩට නැගුනේ ජීවිතාශාවේ තරම තේරුම් ගනිමින්ය.
බයික් එකෙන් ආ දෙදෙනාගේ කලබලය වැඩි වූ බවක් සිතුම්ට දැනුනේ තම හදවතේ වූ ගැස්මේ තරම වැඩි වූ බැවින්ය. ගසේ අතු සෙලවෙන බවක් දැනුනේය. එය තම හද ගැස්මට සමාන බවක්ද දැනුනේය. වක් පිහියක් අතින් ගත් පුද්ගලයා බංකුව අසලට විත් වටපිට බැලුවේ කිසිවක් සොයනා පරිදිය. අනෙක් පුද්ගලයා ගසේ කඳ අතගා බැලීය. විටක ගසේ මුල පිරික්සීය. ඔවුන් අමු මැරයන් විය හැකිය. උන්ගේ සෝදිසිය උපරිමයෙන්ය. පොලිස් බල්ලන් මෙන්ය. වැටුනු වැලි කැට පවා ඉව කර බලනා තරම්ය. සිතුම්ට චූ බර හැදුනේය.
වක් පිහිය අතින් ගත් මැර අයියා එක් වනම ගස උඩ බැලීය. මේසය උඩ තැබූ මාළු කැබැල්ල දුටු බලලෙකු මෙන් හෙතෙම සිතුම් දෙස නෙත් හෙලීය. මාළු කැබැල්ල පැහැදිලිය. බලලාද සූදානම්ය. සිතුම් සිත හදා ගත්තේය. මැර අයියා සිතුම් ඇමතීය. වක්පිහියෙන් බෙල්ල කැසීය.
“මල්ලී.. තමුසෙ මොකද ඔතන කරන්නේ..“
“මං.. මේ.. මං.. මං...“
“මං මං නෙවේ අයිසේ.. මේ පිහිය උඩට දාන්නම් පුලුවන්නම් ඔය උඩ හරියෙන් පොතු ටිකක් රැහැලා බිමට දානවකෝ..“
“ඒ.. ඒ මොකටද අයියා..“ සිතුම් මැර අයියාගේ කෝචෝක් එකට පිලිවදන් දුන්නේය.
“රෙද්දක් කියවන්න එපා අයිසේ.. මේ ලෙඩෙක්ට සිංහල බෙහෙත් වගයක් හොයනවා. බැරි නම් කියපං අපි යට හරියෙන් පොතු ටිකක් කපාගෙන යන්නම්..“
** අහවරයි **
Written_by_sAm_8:53pm_04/11/15











