Tuesday, April 29, 2014

ඩ්‍රැකියාගේ ඉහේ මලක් පිපේ..... - Dracky & the Flower !!!


පහවසරේදී සැමා ඉගෙන ගත්තේ ‘ඒ‘ පන්තියේය. ගමේ පාසලේ හැම ශ්‍රේණියකටම තිබ්බේ පන්ති දෙකක්ය. ඒ සහ බීය. කල්‍යානි ටීචර් ශිෂ්‍යත්වය ගොඩ දමා දෙන තුරු සෑමා සිටියේ ඒ පන්තියේය. ඉගෙන ගන්නා ලමයි යැයි කියා ඒ පන්තියට ලමයි දමා ඉතිරිය බී පන්තියට දැමීම සිරිතක්ය. එහෙත් බී පන්තියේ ඉන්නා උන්ද පන්තියේ පළවෙනියා දෙවෙනියා වෙන්නේ නම්, උන් ඉගෙන ගන්නේ නැති පන්තිය යැයි නම් කිරීම වැරදිය. ඒ පන්තියේ සිටි අපිද ඉගෙන ගන්නා උන් කියා කියන්නේ කෙසේ දැයි මට නිතරම ගැටළුවක් වූයේය. අපේ පන්තියේ ඉගෙන ගන්නා උන් පමණක් සිටින්නේ නම් එහා වත්තට කාක්කෝ ගසා අසුවූයේ, ඒ ගෙදර වහලය වැසෙන්නට එක්සසයිස් පොත් වල පිටු තිබූනේ, ඒ නිසාම පන්තියම ගුටි කෑවේ කෙසේදැයි ගැටළුවක්ය. මෙය  හුදෙක් ඒ වර්ග කිරීමට එරෙහිව ලියන්නට පටන් ගත් ලිපියක් නොවේය.

ඒ‘ පන්තියේ සිටියදී සෑමා කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතා සොයා ගියේය. ඒ සෑමාගේ තාත්තාය. නමින් ලාල් සර්ය. තාත්තා පාසලේම ගුරුවරයෙකු වූ නිසා සෑමාට නිදහසක් නැතිය. පන්තියේ කුමකට අසුවුවත් එය තාත්තා ගෙදරදී විචාරයට ලක් කරන්නේය. දිනක් පන්තියේ අත්වැඩ සඳහා ගොක්කොල නිර්මාණ සෑදීමේ සිද්ධියක් තිබුනේය. ඒ සදහා අපේ පන්තියේ නම දිනා සිටියේ චාමරය. ඌ ගොක්කොලයෙන් ලස්සන නෙළුම් මලක් හදන්නේය. ටීචර් පන්තියේම අවධානය චාමරයා වෙත යොමු කරමින්, ඌට හදන්නට දුන්නේ නෙළුම් මලය. තාත්තා ගෙන් ලද ආභාෂය සහ සහජ හැකියාව මත චාමරයා සෙමින් සෙමින් මල හදන්නට වූයේය. එහෙත් අතර මැද අමතක වීම් නිසා නිර්මාණය, අත්කම නිම කරන්නට චාමරයාට බොහෝ වෙහෙසක් දරන්නට වූයේය. ඒ ඌ පහවසරේ සිට එවන් නිර්මාණයක් කරන නිසාය. වැඩේ අමාරුය. ටීචර් විටින් විට චාමරයාට වද දෙන්නීය. මෙය බලා සිටි සෑමා ටීචර්ව ඇමතුවේය.

“ටීචර් ඔය කරන වැඩෙන් චාමරට මල හදන්න නෙවේ, මල පැනලා ඇති ටීචර්...“

ටීචර් නැවතත් මොකක්ද සමින්දික බොලා කීවේ කියා ඇසුවාය. වැඩේ බරපතල් වගේ නිසා සෑමා මුනිවත රැක්කේය. ගෙදර පැමිණි විගස තාත්තා ඇසුවේ මොකක්ද මලේ කතාව කියාය. වැඩේ එතැනින් හමාරය.

මල පනිනවා කියන්නේ කේන්ති යන එකටය. කක්කා පනින එකටත් මල පනිනවා කිව හැකිය. ඒ කේන්ති ගියාම එහෙම වෙන නිසාදෝ කියා සැක සහිතය. මේ ලියැවෙන්නේ ඩ්‍රැකියාගේ මල ගැනය. ඌ මල සොයා ආවේ ගණේමුල්ලේ සිටය. එක්කෝ ඌට පිස්සුය. නැතිනම් මට පිස්සුය. වෙන උන් දුවගෙන එන්නේ සඳ ගමනට මුල් වන, අතේ ඔතා, රෝල් කර ගසන මල හෙවත් මර්ලින් ගැසීමටය. ඒවා නීතියෙන් තහනම් වන්නේ පොලිසිය ආතල් නොදන්නා නිසාය. එහෙත් එදා ඩ්‍රැකියා අපේ ගෙදර ආවේ තම බිරිය සැනසීමට මල් ගසක් වඩම්මවාගෙන යන්නටය. එදා ඩ්‍රැකියාට මල පැන්නේ වැඩිපුර වේලා සෑමාගේ නිවසේ නොරැදී ගෙදර යන්නට වූ නිසාය. මන්ද බාස්ලා සැට් එකක් ඩ්‍රැකියාගේ ගෙදර වැඩක සිටි නිසාය. ඒත් අද ඩ්‍රැකියාගේ ඉහේ මලක් පිපිලාය.

ගිය වසරේ ඩ්‍රැකියා සෑමා සොයා ආවේ සඳ මල හෙවත් Moon Flower ලෙස නම ඇති මල් ගසෙන් පැලයක් ගෙනියන්නටය. එය ඩ්‍රැකියා දැක්කේ බුකියෙන්ය. නමක් නොදන්නා පත සයිස් ගසක තඩි මල් සැට් එකක් පිපී තිබී එහි නම සෙවීමට මල බුකි ගත කලේ සෑමාය. ඉන් අනතුරුව එය Moon Flower ලෙස කස්ටිය නාමකරණයට යටත් කළෝය. එය දුටු ඩ්‍රැකියා සෑමා සොයා එනවා කීවේ මල් අත්තක් රැගෙන යන්නටය. එදා සෑමාගේ අම්මා බෑග් කැබැල්ලක සිටවූ අතු කැබැල්ල ඩ්‍රැකියා එන දිනයේ චූට් පැලයක් වී තිබුනේය. ගනේමුල්ලේ සිට බයික් එකේ පැමිණ එය රැගෙන යන්නට ඩ්‍රැකියා දඟලමින් සිටියදී ටිකට් එක ඇදුන තේ කොළ කඩේ අංකල් එතැනට පැන්නේය.

“මොකක්ද පුතා ඔය??“

“මේක අංකල් මල් පැලයක්..“

“මෙයා කවුද??“

“මගේ යාලුවෙක්.. මේක පන්සලට පූජ කරන්න යන්නෙ...“

“ඇහ්.. කොයි පන්සලටද..“

“මානෙල් වත්ත පන්සලට..“

“අනේ හොදයි පුතා.. ජය වේවා...“

ඩ්‍රැකියා සිනා තද කරගෙන දෝතින් මල් පැලය අල්ලාගෙන සිටියදී අංකල් දොහොත් මුදුන් නොතබා ජය වේවා කීවේය. සෑමා අමුත්තක් නොදක්වා පැත්තකට වී අංකල්ට තත්වය පැහැදිලි කළේ අංකල්ව සම්පූර්ණයෙන් මුලා කරවමින්ය.

ඒ සමඟම එතැනට ආවේ සෑමාගේ පාසල් සමයේ මිතුරියක්ය.

“මොකද මේ..“

“පොඩි පූජාවත් හලෝ..“

“මොකක්ද??“

“මේ පැලේ පන්සලට පූජ කරන්න යන්නෙ..“

“යනව යන්න බොරු නොකියා..“

“සිරාවට ඉතිං.. අත ගහල වඳිනවා පින් සිද්ධ වෙනවා..“

පැලය දෝතින් අල්ලා ඇය තෙවරක් වැන්දේ ඩ්‍රැකියාගේ ඇස් නලලට යවමින්ය...

“උඹ මාර බඩුවක් නෙ සෑමා..“

“මෙහෙ උන් එක්ක ඔහොම නැතුව ජීවත් වෙන්න බැහැ බං..“

ඩ්‍රැකියා එදා ගියාට පසු සද්දයක් තිබුනේ නැතිය. අද කොල්ලාගේ සද්ද පටන් අරන්ය. ඒ අද සෑමාව ටැග් කර දැමූ පොටෝ කැබලි කිහිපයෙන්ය.

//සෑමා දුන්න, කෙල්ලෙක් තුන් පාරක් වැඳපු, අංකල් 'ජයවේවා' කියපු, 'හඳ මල' පැලේ මල් පිපිලා ඕං...//

කියමින් ටැග් වී තිබූ පොටෝ කැබලි ටික දුටු සෑමාගේ අම්මාට ඇතිවු සතුට අප්‍රමාණය.




මල පැඟිරි සුවඳය. රෑට පිපෙන නිසා පැඟිරි සුවඳට මදුරුවෝ නොඑන බැව් කියති. ඒ සඳහා මල් ගස යට පැදුරක් දමා දොයිය ගැනීම සුදුසුය.

පලි - මල් අත්තක් රුපියල් 50ට අලෙවි කෙරේ.

Written_by_sAm_ශ්‍රී_Perera_11:03pm_29/04/14

Tuesday, April 22, 2014

සයිබර් ෆෙස්ටිවල් එකෙන් කතා දෙකක්... - Two Stories From the Fest !!


සයිබර් ෆෙස්ටිවල් ගැන ලියා වැඩක් නැතිය. ලියන්නට ඕනෑ හරිය සහ දමන්නට ඕනෑ පොටෝ රැසක් ජංජාලයේය. ඒවා ඩවුන්ලෝඩ් කරන්නට සේව් කරන්නට ලැප් එකේ ඉඩත් නැතිය. හාඩ් එකේ වැලේ වැල් නැත්තට නැති කර ඒවා සේව් කරන්නට ඉඩ ලබා ගැනීම හෝ කළ යුතුය. සයිබර් ෆෙස්ටිවල් අතරතුරදී ඇසුනු, සහභාගාගී වූ දෙබස් / සිදුවීම් කිහිපයක් මෙසේ සටහන් තැබීම සුදුසු යැයි සිතමි.

දැයෙන් සමුගන්නා තරියා සහ රජා

කකාගේ තට්ටය පැලීම

කනා මුට්ටියට පොල්ලෙන් ගසන්නට ගොස් කකාගේ තට්ටය පැලුනා නොව. මාතර පැත්තේ ගොස් තට්ටය පැලුනු කතාවක්ය. කකා එදින පැමිණ සිටියේ OBEY යැයි තඩි අකුරින් ගැසු තොප්පියක් දමාගෙනය. උදෑසනම කොස්වත්තේ ෆුඩි සිටියට ගොස් වැට් 9 දෙකක් දමාගත් කන්නන්ගරගේ බාර් එක අසල සිටියදී කකාව සැට් වූයේය. ඒ පොත් මිටියක් අත තබාගෙනය.

කකා - ආ.. මේ ස්..ස්..ස්...

සෑම් - ඔව් සෑම් තමයි..

කකා - කවිද කියවන්න කැමති.. කතන්දරද??

සෑම් - කතන්දරකාරයෙක්ගෙන් කවි පොත් ඉල්ලන එක හරි නැහැනෙ.. කතන්දර පොතක් දෙන්න.

සුමිත් අයියාට දුන් පොතේ “ප්‍රහාරය කෝ“ කියා ලියූ කකා නැවත හමු වූයේ කොට්ටා පොර කෙලින තැනදීය.

සෑම් - මොකෑ මේ Obey කියල තොප්පියේ ගහගෙන, Obey the Rules ද? 

කකා - නැහැ. මම මේක දාන්නෙ මගෙ තට්ටෙ පැලුන නිසා.

(ලොකු ජෝනා, කස්සා සහ වටේ සිටි උන් සිනානොවී තද කරගෙන සිටි බවක් දක්නට ලැබුනේය.)

සෑම් - ඇහ්?

කකා - ඔව්.. ලඟදි මාතර ගියා එහෙදි රස්නෙට මගෙ තට්ටෙ පැලෙන්න ගත්තා. ඉතිං මම මේක පාවිච්චි කරනවා එදා ඉදන්.

හිසෙන් තොප්පිය ඉවතා ලා තට්ටය පෙන්වමින් කකා කියද්දි, සෑමාට මතක් වූයේ වතුර නැතිව වියලී යන විට පැලෙන මැටි පොලොවය. ඇත්තටම කකා හමුවීම සතුටක්ය. 

ලොකු ජෝනා කියුවේ එය පෝස්ට් එකක් දැමීමට තරම් සිද්ධියක් කියාය.

චන්දන, රූපවාහිනිය, සහ ෆැක්ස් එක

රූපවාහිනි රාත්‍රී ප්‍රවෘත්ති සඳහා බ්ලොග් අවකාශය පිළිබද තොරතුරු ලබා දීමේ රාජකාරිය වැදි චන්දන මහතා විසින් කෙරෙනා බව දැන ගත්තේ මේ සිද්ධියට පසුවය. වීඩියෝ කිහිපයක් එම ආයතනයට යවා චන්දනයා බරටම තොරතුරු ටික කොළයක ලියනවා සෑමා දුටුවේය. එයට ඔළුව දමා අකුරු වල පැහැදිලිකම උපරිම නිසා සහ ශරීරගතව තිබූ ඇල්කොහොල් ස්වල්පය නිසා එතැනින් ඉවත්ව ගියේ සෑමාය. එම සිද්ධිය අමතකව ගියේ දහවල් කෑම ගෙන ගෙදර යන්නට උත්සාහ කළ නිසාය. කෑම එනතුරු ඒ මේ අත දිව්වද පමා වෙන නිසා ගෙදර යන්නට සිත හදා ගත්තෙමි. එවිට ඉදිරියට දිව ආවේ ප්‍රදීපයියාය. “මල්ලි උබ ගෙදර යනව නේ මේක ෆැක්ස් එකක් ගහගෙන පලයන් රූපවාහිනී සංස්ථාවට“ මෙවන් වැඩ භාරගත්තද අමතක වන බැව් ෂුවර්ය. ප්‍රදීපයියා කීවේ 2ට කලින් දාපන් කියාය. ඒ ලිපියත් රැගෙන පඩිපෙල නැග්ගේ උදේම වැට් බෝතල් දෙකක් ගන්නට සෑමා සමඟ ෆුඩ් සිටි ගිය කන්නන්ගරයා හමුවන්නටය. එතැන බෝතල් කුඩුය.

“මචං මම යනවා..“

“අඩෝ කලින්ම යනවද??“

“ඔව් බං මේ ප්‍රදීපයා ෆැක්ස් එකක් ගහන්න දුන්නා.. ඒකත් ගහගෙන යනවා..“

“මොකක්ද බං ඔය..“

“මේ රූපවාහනියට දාන්න ඕනෙ එකක් ලු බං..“

“*කනවා... මේක තාම තෝ ලගද??“

“ඔව් බං මට මේ දැන් දුන්නෙ..“

“යකෝ චන්දනයගෙ හිතේ ඒක ෆැක්ස් කරල කියල. ඌ රූපවාහිනයෙ එවුන්ටයි, වටේටම බනිනවා, ෆැක්ස් එක දැම්මා ආවෙ නැද්ද කිය කිය..“

“ඉතිං බං දැම්මද කියල හොයල බලල උන්ට කියන්න එපෑ..“

“මොන කල්පනාවක්ද යකෝ.. දැන් ඕක යවල පැයකටත් වැඩී. උබ ඒක උස්සන් මෙතනටම ඇවිත්.. අනික මම මූගෙන් ඇහුව යැව්වද කියල.. ඌ කිව්වා මම වැඩේ ලස්සනට කරල තියෙන්නෙ කියල...“

“ඔය කරන්නේ මචං ලස්සනට..“

දෑත දුගු කර පෙන්වූයේ බරටම සෙට් වෙන චන්දනයාවය.


බුද්ධදාස ක්‍රීඩාංගනයට ඇතුලු වූ තැන සිටම පිටත්ව යන තුරුම අපට සිනාසෙන්නට දහඩිය වැඟිරූ අයගේ සිනහව දුටුවෙමු. ගම්පහ ගෙට්ටුවෙන් ඒ දහඩියේ රසයද දැනී ඇත්තෙක් වන නිසා වැඩි දෙයක් කියන්නට නැත්තේය. සුපුරුදු ස්තූතිය පුද කරන්නේ ඊට ආදේශක වෙනත් වචන නැති නිසාය. එහෙත් ඒ වචනයට වඩා දෙයක් මේ කටයුත්තට කැපවූ සියළු දෙනා අතර බෙදී යන්නේය.

නැවතත් ස්තූතී !!!

Written_by_sAm_ශ්‍රී_Perera_9:34pm_22/04/14

පලි -


Saturday, April 19, 2014

පල්ලි යාමේ වරද කළෙමි ?? - Is It Bad to Visit Church For Me ??


මා බෞද්ධ වූයේ මාගේ දෙමාපියන් බෞද්ධ වූ නිසාය. එසේම ඇය කතෝලික වූයේ ඇගේ දෙමාපියන් කතෝලික වූ නිසාය. මෙසේ බොහෝ අය ඒ ඒ ආගම් වලට අයත්ව ඇත්තේ බුද්ධියෙන් විමසා බලා නොව, ආගම ධර්මය අදහා බලා නොව, උපතින්ම තම දෙමාපින්ට අනුව තමන් ලද ආගම, ධර්මය තම උප්පැන්න සහතිකයේ ලියවා ගැනීමෙන්ය. එහෙත් පසුව ඔබ වෙනත් ආගමකට හැරෙන්නට පුලුවන. ඒ ඔබ යම් දහමක් නුවනින් අවබෝධකොට ගෙන හෝ යම් කිසි මවා පෑමකට ගොදුරු වීමෙන්ය. එහෙත් ඔබේ සිත ඇත්තෙන්ම වෙනත් ආගමක්, ධර්මයක්, දර්ශණයක් වෙත ඇදී ගොස් තිබෙන්නේ නම්, එසේත් නැත්නම් යම් විමසා බැලීමක් කරන්නට සිත් වන්නේ නම්, ඔබ අනිවාර්යයෙන් ඒ අදාල ආගමික ස්ථානයට යනවා නොඅනුමානය. ඒ අනුව බෞද්ධ අයෙක් සිත වෙනස් වී පල්ලියකට, කෝවිලකට, හෝ වෙනයම් ආගමික ස්ථානයකට යනවා නියතය. එසේම කතෝලික අයෙක් සිත වෙනස් වී පන්සලකට, කෝවිලකට, හෝ වෙනයම් ආගමික ස්ථානයකට යනවා නියතය. එසේ යන්නේ තම උප්පැන්න සහතිකයේ ලියැවී ඇත් ආගම, ධර්මය තමන්ට නිවැරදි සේ නොපෙනෙන නිසා හෝ තම ආගම ධර්මය තම නුවනින් විමසා බලා වෙනස් කර ගන්නටය. ඒ අනුව සැරි සරන්නටය.

එලෙස යම් දවසක ඔබේ සිත වෙනස්ව වෙනත් ආගමික සිද්ධස්ථානයකට ඇතුල් වෙද්දීම ඒ ආගමික ස්ථානයේ පූජකවරයා ඔබ දැන් සිටින ආගමට එසේත් නැතිනම් උප්පැන්නයේ ලියැවී ඇති ඔබේ දෙමාපියන් අදහන ආගමට පහර ගසමින් කතා කරන්නේ නම්, ඔබ එතැනින් එවිටම ආපසු හැරී සිත වෙනස් කර ගන්නේ නොවේද?

මට සිදුවූයේ මෙවැන්නක් නොව අනෙකක්ය. අද මහ සිකුරාදාය. ඇය අද පල්ලි යා යුතුය. සතියකට වරක් කෙලෙස හෝ එම යුතුකම ඉටු කිරීමේ නියැලෙන්නේ කවුරුන් හෝ ආගම ධර්මය අදහන්නේ නිවැරදිව ජීවත් වන්නට මිසක කාටවත් කරදරයක් කරන්නට නොවන නිසාය. අද සවස තුන නිදහස්ව තබා ගත්තේ එකී යුතුකම ඉටු කරන්නට මිසක උප්පැන්නයේ ලියැවී ඇති ධර්මය (“ඒහි පස්සකෝ“ ලෙස ඇවිත් නුවනින් විමසා බලන්න කියු ධර්මය) වෙනස් කිරීමට නොවේය. තම ආගමික කටයුතු කරගන්නට ඉඩ හැර මා පැත්තකට වන්නේ කාටවත් කරදරයක් නොවන්නටය. එසේම එකී ආගමේ ඇති කරුණු අසා සිටින්නටය. එහෙත් අද ගේට්ටුවෙන් ඇතුලු වෙද්දීම ඇසුනේ අනෙකක්ය.

“අපේ ආගම අනෙක් ආගම් වගේ නෙවේ.. අපේ ආගමේ දුක ගැන කියවෙන්නේ නැහැ. දුක දුක ගැන කිය කිය ලතවෙන්න කියන්නෙ නැහැ. පවුල් ජීවිත වලට දුක ගැනම කතා කරල වැඩක් නැහැ. දුකට හේතුව හොයන්න කියල අපේ ආගමේ කියන්නෙ නැහැ... “

උප්පැන්නයේ ලියැවි ඇති ආගම ධර්මය වෙනස් කර ගන්නට අද කිසිවෙකු හෝ පල්ලියට ගියේ නම් ආපසු හැරී ගෙදර එනු නියතය. මන්ද විවේචනයන් මඟින් සිතක් ඇඳ බැඳ තබා ගන්නට නොහැකි නිසාය. බුද්ධ ධර්මයේ දුකට හේතුව සෙවූ බැව් නම් සැබෑය. එය හය වසරට පැමිණි ඕනෑම සිසුවෙකු දන්නා කරුණක්ය. එහෙත් එහි ඊටත් එහාට ගිය ගැඹුරු ධර්මයක් ඇත්තේය. එය මෙතැන ලිවීම තේරුමක් නොමැති නිසාම පටිච්ච සමුප්පාදයෙන් දුකෙහි හට ගැනීම සහ එය නිරුද්ධ කිරීමේ ආකාරය පෙන්වා දෙන විකිපීඩියා සබැඳිය මෙතනින්

මා හට අවැසි වූයේ පියතුමා පවා දන්නා, හය වසරේ දරුවන් පවා දන්නා දුක ගැන කියන්නට නොවේය. සියළු බුද්ධ ධර්මයේම කියවෙන්නේ අනිත්‍යය යැයි කියනවා පුද්ගලයන්ට උත්තර බදින්නටය. සංසාර ගමන කෙටි කර ගැනීමට, නිවන අවබෝධ කර ගැනීමට දුක නැති කරගන්නා ආකාරය, තෘෂ්ණාව ප්‍රහීන කරන ආකාරය බෞද්ධ දර්ශනයේ කියවෙන්නේය. ඒ පමණින් සියළු අන්තර්ගතය රිනාත්මක නොවන බව කිව යුතුය. ගිහි ජිවතයට අදාලව බුදුන් ධර්මය වදාලෝය. ඒකී ධර්මයන දේශනා කළේ දුක ගැන කියමින් ගෙදරට වී තැවෙන්නට නොව, ගිහි ජීවිතයේ දියුණුව සලසා ගන්නටය. ගිහි පුද්ගලයාගේ දියුණුවට බාධා කරන කාරණා එකින් එක් දක්වමින් සිගාලෝවාද සූත්‍රය දේශනා කළේද දුක ගැන සිතමින් කල් මැරීමට නොව පුද්ගල ජීවිත සැපවත් කරන්නටය. දියුණු කරන්නටය. සුරාවෙන් දියුණුවට බාධා ඇති වන්නේ කුමන ආකාරයෙන්ද, අලස කමින්, දූ කෙලියෙන්, පාප මිත්‍ර සේවනයෙන් ආදියෙන් ගිහි දිවිය සැපවත් නොවන්නේ කුමන ආකාරයන්ද ආදිය දේශනා කළේ දුක ගැන සිතා ලත වන්නට නොවන බව පැහැදිලි කර ගත යුතුය. සිගාලෝවාද සූත්‍රය ගැන එකින් එක කරුණ්‍ර විග්‍රහ කළ යුතු නැති නිසා ඒ ගැන ලිපියක් මෙතැනින්.

ඉපදීම හෙවත් ජාතිය, සිටම මරණය දක්වාම ගත කරන්නාවූ ජීවිතයේ අවසානය දුකක් බවත් එය නැති කිරීමේ එකම මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය බවත්. ඒ සඳහා පටිච්ච සමුප්පාද ධර්මය අනුගමනය කර නිවන් ලබා ගත හැකි බවත්, එයින් ජාතිය හෙවත් නැවත ඉපදීම නැතිවන බැව් කී පමණින් ධර්මයේ සම්පූර්ණ අන්තර්ගතය දුක බව කියමින් විවේචනය කිරීම සාධාරණ නොවන්නේය. ගිහි ජීවිතයට, ලෞකික ජීවිතයට, දියුණුවට, සාර්ථකත්වයට දේශනා කළ ධර්මය පැත්තකින් තබා විවේචන කරන්නේ නම් එය බුද්ධියේ ගැටළුවක් හෝ කරුණු හරි හැටි නොදැන අසාර්ථක තර්ක ඉදිරිපත් කිරීමක් වන්නේය. එය හරියට බැලුව හොත් Good Friday හොඳ සිකුරාදා නම්, ඇයි ජේසුතුමන්ව ඇණ ගැසූ දා හොඳ සිකුරාදාවක් වන්නේ යැයි ඇසුවා හා සමාන වන්නේය.

මෙය පල්ලියේ පියතුමාට පමණක් පොදු වූ කරුණක් නොවන්නේය. බුද්ධ දේශනාවේ කියූ ලෙසින් අන් ආගම් විවේචනයෙන් වලකින්න කී කරුණින් පිට ගොස් අනිත් ආගම් විවේචනය කරන්නාවූ සංඝයාටත් බලපාන්නේය. මුස්ලිම් පල්ලියේ පූජකයාටත්, කෝවිලේ පූජකයාටත් එකලෙසම මේ කරුණු බලපාන්නේය. ඔබ විවේචනය කරන්නේ යම් ආගමක්ද, එය ඔබ හරි හැටි දැන හෝ නොගෙන විවේචනය කරනවා විය හැකිය. එහෙත් ඉන් සිදුවන්නේ බැතිමතුන් ඔබ වෙත ඇදී ඒමක් නොව, ඔබ සමග සිටින බැතිමතුන් පවා ඔබෙන් ඉවත්ව යාමක්ය.

Written_by_sAm_ශ්‍රී_Perera_11:55pm_19/04/14

පලි - මේ ලිපිය ලියන්නට පෙර සියවරක් කල්පනා කළේ මේ ලිපිය කියවන්නේ සියළු ආගම්වල පුද්ගලයන් නිසාය. එහෙත් අවසන මෙය ලියපං කියා සිත කීවේ කිසිම පූජකයෙක්, කිසිම ආගමකට ගැරහීමක් නොකරන්නේ නම් ඒ තැන කොච්චර ලස්සනද කියා සිතුන නිසාය. ගේට්ටුවෙන් ඇතුලට යද්දීම ඇසුනු වචන කීපයෙන් සිත් තැවුලෙන් මා පැත්තකට වූවා මිසක කිසිම අමනාප කමක් මුහුණින් නොපෙන්නුවේ මා ධර්මය දන්නා බැවින්ය.

** 20 ඉරිදා බනිස් කන්න බුද්ධදාස ක්‍රීඩාංගණයට එන්න.... **

Monday, April 14, 2014

බනිස් කෑම තහනම් කළ යුතුය.. - No Competition for Buns Please !!



මුද්දරස්පලම වැනි ඩොට් එක මැදට තබා
හොඳ හැටි රවුම් හැඩවන්නට ගෙඩි පුම්බා
නියමෙට රස්නෙ හින්දා හුලනුත් පිම්බා
බනිසක් කාල බොන්නට ඇත්නම් කුරුම්බා


තරඟෙට කියා පෝලිමෙ කස්ටිය හිදුවා
බනිස එල්ලුවා ලණුවක විනිසුරුවා
මුදලට කඩේ ගොස් බනිසක් කෑවා
නම් හොද කියලා විටකදි සිතුවිලි ආවා


එක දෙක තුන කියා මම ගැනගෙන යද්දි
ඔහෙලා දුවලා ගොස් බනිසක් කද්දි
අත් දෙක පිටු පසින් සිරවී තියෙද්දී
තරඟය කෝම වේදැයි අත්පුඩි දෙද්දී


අවුරුද්දට කියා පොඩි සැපතක් ගන්න
අත්පුඩි මැදින් තෑගිත් අරගෙන එන්න
සිතුවිලි හදාගෙන තරගෙට ඉඩ දෙන්න
අල්ලපු ගෙදර අක්කා පිටියට පැන්න


එක දෙක තුන කියා විනිසුරු කෑ ගෑවා
අක්කලා සැට් එකම දිව ගොස් දණ ගෑවා
ලණුවෙ එල්ලිලා බනිසක් විසි වූවා
අත් නැති නිසා අසු වූ බනිසක් කෑවා


අල්ලපු ගෙදර අක්කා කන කොට ලෙසට
එහා පැත්තෙ අක්කා ආවේ මැදට
එල්ලෙන බනිස අල්ලා ගන්නට බැරිව
විකුවා සැරෙන් කිරි එන්නට ගල් බනිස


එල්ලෙන විටක බනිසක එල්ලී කෑම
අත්දෙක ගැට ගසා සරණක් නැති වීම
හෙල්ලෙන නිසා තරමක් අපහසු වීම
සරල තර්කයකි එය පිළගත යුතු වීම


තරඟය පිටින් දා මෙහෙමත් පලි ගැන්ම
හොඳ නැහැ නේද විටකදි අනෙ රිදවීම
බනිසක් තදට විකලා හපලා කෑම
තහනම් කළ යුතු නොවෙද ?
මෙහෙමත් අවුරුදු කෑම
*
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
*

Sunday, April 13, 2014

සුභ වෙන හැටි... - How to be HAPPY ??


සුභ වේවා කියූ පමණින් සුභ වෙන්නේද, අසුභ වේවා කියූ සැනින් අසුභ වන්නේ නැත. සුභ හෝ අසුභ බව රඳා පවතින්නේ හැසිරෙන ආකාරයෙන්ය. සිංහල අලුත් අවුරුද්දද එසේමය. සුභ වේවා යැයි පුරුද්දට කියා, සුභ කර ගත හැකි ආකාරයක් ලියා දැක්විය හැකිය. එය නම් මෙසේය.


දිනපතා වැඩට යන, අධ්‍යාපන කටයුතු වල නියැලෙන, නිවසේ රැදී නොසිටින හෝ පවුලෙන් දුරස්ව සිටින අය අද නිවසට පැමිණ සිටිය හැකිය. වෙනදාට වැඩට ගොස් ගෙදර ඇවිත් රූපවාහිනීය ඉදිරිපිට සිටින, පරිඝනකය අසල සිටින අය ගෙදර අය සමඟ කතා බහක් නැති තරමට කාර්යය බහුල වන්නට පුලුවන. එහෙත් අවුරුදු නිවාඩුව සමඟ අද ඒ අය ගෙවල් වලය. එසේම වෙනදාට වැඩිය අදහස් හුවමාරුවක් කතා බහක් ඇති වන්නේ ගෙදර දොර වැඩ කටයුතු සිද්ධ වෙන නිසාය. එනිසා ගෙදර උදවිය සමඟ වැඩිපුර ගැවසෙන්නටත්, එකිනෙකා සමඟ වැඩිපුර කතා බහ කරන්නටත් අවස්ථාවක් ලැබෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද සුභ විය යුතුමය. පැත්තකට වී වෙනදාට සිටින උන් සෙට් එකක් වන නිසා සුභ විය යුතුය.

වෙනදාට පන්සල පැත්තට නොයන අය අද පන්සල් යන්නේ එකම වේලාවකටය. ඒ නොනගතය අවස්ථාවේය. ගමේ හැම එකාම පන්සලේදී මුණ ගැසෙන්නට, ගෙදර අය සමඟ එකට පුන්‍ය කටයුතු වල නියැලෙන්නට ඉඩක් ලැබෙන නිසා ඒ අවස්ථාවන් සුභය. සතුටුය. කැවිලි නැති වුණත් ගෙදරක හැදෙන කිරිබත එක මේසයක් මතට වී, එකම අවස්ථාවක බෙදාගෙන කන නිසා, වැඩිහිටියන් සමඟ එකට හිඳ කන නිසා සතුටුය. සුභය. බුලත් අතක් දී වෙනදාට වදින්නේ නැති වැඩිහිටියන්ට වසරකට වරක් වත් වඳින නිසා සතුටුය සුභය. එකිනෙකා අතර හුවමාරු වන තෑගි බෝග නිසා අවුරුද්ද සතුටුය සුභය.

ඒ හරුණු කොට අවුරුද්දම සුභ කර ගත හැකි ආකාරයක් තිබිය යුතුය. පුරුද්දට මෙන් හැමදාමත් වගේ පුරුද්දට සුභ වේවා යැයි පැතිය හැකිය. එහෙත් සුභ කර ගැනීම, සුභ කරගැනීම සඳහා වෙහෙස වීම අප කාටත් අයිති රාජකාරියක්ය. එනිසා උදාවන අලුත් අවුරුද්දේ කැපවීමෙන්, උත්සාහයෙන් සුභ කර ගැනීමට වෙහෙසෙමු.

පුරුද්දට වගේ...
සුභ අලුත් අවුරුද්දක් වේවා !!
යැයි කියමි...

Written_by_sAm_ශ්‍රී_Perera_8:16pm_13/04/14

Thursday, April 10, 2014

අවුරුද්දට එපා.. අරක්කු.. - No Alcohol for the STN !!!




“අම්මේ... හැම පාරම අපිට තමා නැත්තෙ..“

“මොනවද දැන් නැත්තෙ?? තොපිට හැමදාම නැහීගෙන කරන්නෙ මම.. අප්ප කියල එකෙක් ඉන්නවද? කියලවත් තේරෙනවද???“

“එහෙම නෙවේ අම්මෙ.. අර එහා පැත්තෙ රසිකලා ඔන්චිල්ලාවක් බැඳගෙන දඟලනවා.. මම වැට ලගට ගියාම උන් මට දිව උලුක් කළා..“

“ඔන්චිල්ලා.. දැන් එච්චරයි අඩු...“

“මහ දෙයක්ද අම්මෙ.. අර තැඹිලි බාන ලණුව තියෙන්නෙ.. කොස් අත්තට තියල බැන්ද නම් ඉවරනේ..“

“අම්මද බොල මූ මට ඒ ටිකත් කියල දෙන්න එනවා...“

“මතක නැද්ද අම්මෙ.. ගිය පාරත් ලණුව ගැට ගැහුවෙ අර උඩින් තියෙන මහ කොස් අත්තෙ නේ..“

“දැන් මේ චීත්ත රෙද්දත් ඇඳගෙන මමද මහ කොස් අත්තට බඩ ගාන්න ඕනෙ..“

“නැහැ අම්මෙ.. අම්මා තාත්තට කියන්න.. අපි කිව්වොත් බැනුම් අහන්න වෙයි... පව් අම්මෙ නංගිත් ආස වෙයි ඹන්චිල්ලා පදින්න...“

“නංගිද කැමති උඹද කැමති කියල බලා ගන්නම් බැඳ ගත්තට පස්සෙ... මහ එකාට කියාපිය. අවුරුද්ද කියල බෝතලේ ඉනේ ගහගෙන ගම පුරා ඇවිදින්නෙ ඔය..“

*****

“මොකද බොල අම්ම අරහෙ කෑ ගහන්නෙ??“

“අපි පොඩි බඩ්ඩක් ඉල්ලුවා තාත්තෙ...“

“දැන් මොනවද කියපල්ලා කෙරෙන්න ඕනෙ..“

“නංගිට ඔන්චිල්ලාවක් බැඳලා දෙන්න කිව්වෙ..“

“ඉතිං තොපි ඕක අම්මට කියල හරි යනවද? මට කිව්ව නම් මම කරල දෙනව නේ.. ගිය පාරත් ඔය මඟුල බැන්දෙ මම නේද??“

“හරි ඉතිං තාත්තෙ බැඳල දෙන්න කෝ..“

“අරන් වරෙන් අර තැඹිලි බාන කඹේ.. ඔය එහා පැත්තෙ මඩුවෙ දාල ඇති..“

****

“ඔය ඉනිමඟ තියල නගිනවා මනුස්සයෝ.. වෙරි මර ගාතේ කෝම බඩ ගාන්වද මන්දා..“

“අනේ මේ නිකං කට කියවන්නෙ නැතුව ඉන්නවා.. මේ වගේ ගස් වලද මම නැග්ගෙ...“

“හරි අම්මේ.. තාත්ත වැඩේ කරයි.. කෑ ගහන්න එපා..“

“හරි.. හරි.. තාත්තල පුතාල එකතු වෙලා වැඩේ කර ගන්වලකෝ.. මොනව හරි වුනොත් මම නම් එන්නෙ නැහැ පැත්ත පලාතෙ..“

“උඹ කුස්සියට ගිහින් කන්න මොනව හරි හදපං කට වහගෙන.....“

****

“තාත්තේ මේ කෑල්ල ඇති වෙයිද?“

“හිටු.. තියලම බලන්න..“

“පොල් පිති කෑල්ල නම් ඇති වගේ.. ඒත් හයිය මදි.. බර වැටුනම ඉරෙයිද දන්නෙ නැහැ..“

“දැනට මේකෙන් පදිමු තාත්තෙ.. ලෑලි කෑල්ලක් තමා හරි යන්නෙ හැබැයි..“

“ලෑලි කෑල්ල හයිය වුනාට බොල, ඉදගත්තම පුක රිදෙනවා.. පොල් පිත්ත සනීපයි..“

“එහෙනම් දැනට මේක තියමු..“

“ඕක ඉරුනොත් කියපං.. මම එකක කපල දෙන්න....“

“හරි.. නංගි තල්ලු දායි.. මම ඉඳගත්තා..“

“දැන් තෝ තනියම පඳිනවා නෙවෙ ඕක..“

“හරි තාත්තෙ.. නංගි පනහයි.. මම පනහයි...“

****

“ඔයාට හයියෙන් තල්ලු කරන්න බැහැ නංගි.. බලන්න මම කොච්චර හයියෙන් තල්ලු කළාද??“

“මට ඔච්චර තමා පුලුවන්. බැරිනම් බහිනවා..“

“අනෙ මේ පැත්තකට යනවා. මම තනියෙන් අඩිය ගහලා වේගෙ වැඩි කර ගන්න..“

“හරි.. පැත්තකට වෙන්නම්.. හැබැයි ඔයාගෙ පනහ ඉවර වුණාම බහින්නෝනි..“

“හරි මඟුලක් නේ.. මම පැදගෙන මෙයාව පද්දවන්න... “

“එහෙම බැහැ හරිද? එහෙනම් මම තල්ලු දාන්නම්..“

“අපෝ එපා.. එපා.. ඉන්නවා තව ටිකක් පැදල දෙන්නම්..“

****

“කට කියෙව්වට එයාත් එහෙම තමා..“

“ඇයි මොකෝ..“

“මොනවද අයියෙ නපුරු වැඩ කරන්නෙ.. මටත් දානවාකෝ හයියෙන් තල්ලුවක්..“

“හයියෙන් ඕනෙ නම් මම වගේ අඩිය ගහලා උඩ යනවා..“

“කොහෙ යන්නද?? මගෙ අඩිය වදින්නෙ නැහැනෙ..“

“එහෙනම් කට පියන් ඉන්නවා..“

“අනේ....“

“හරි හරි ඉන්නවකෝ...“

****

“අම්මේ... දුවලා එන්නෝ...“

“මොකෝ බොල බෙරිහන් දෙන්නේ..“

“ලණුව ගැලවුණෝ.. නංගි මඩුවේ වහලෙ උඩට විසික් වුණෝ...“

“මම කිව්ව මේ මිනිහට සිහියෙන් ඉදපන් කියල.. කෝ දැන්...“

****


Written_by_sAm_ශ්‍රී_Perera_8:17am_10/04/14

Friday, April 4, 2014

මහ ඇමතිගේ පළවෙනි ඩියුටිය.... - First Duty of Chief Minister !!!


සෑමා පොලිස් කතාවක් ලිව්වොත් බොලාට වහ කඳුරු වගේය. එක්කෝ ඕවා කතා කරල වැඩක් නැහැ බං. පොලිසිය බැලන්ස් කොරන්න උඹල දන්නැහැ බං වැනි කමෙන්ට් වලින් පෝස්ට් එක අහවර වෙන්නේය. එසේ ගිය පොලිස් කතා කිහිපයක් බ්ලොග් එකේ ඇත්තේය. 


මේ සියල්ල ගේමෙන් ලියපුවා නිසා කස්ටිය කියවනකොට අවුල්  යන්නේය. ඒ නිසාම මේ ලියැවෙන්නේ පොලිස් ආතල් කතාවක්ය. සෑමා ඉන්නේ කැළණිය පොලිසියට අයිති බල ප්‍රෙද්ශයේය. එහෙත් මැතිවරණ කොට්ඨාශය නම් බියගමය. එය කෙසේ ගැලපෙන්නේ දැයි නොදන්නෙමි. නමුත් ඕන කුණු ගොඩකට අපේ ඒරියල් එකට බහින්නේ ඔය කියන පොලිසියෙන්ය. ඒ වගේම අපි ඕනෙම කුණු ගොඩක් ගෙනිහින් ඔබන්නේ ඔය ස්ථානයටමය.

කලින් සිටි ස්ථානාධිපතිගේ තරම දන්නේ අපේ පැත්තේ උන්මය. ඔහු සිටියේ ගේමෙන්මය. හැබැයි ඔහු කරනා දෑ ඇසූ විට හිනා යන්නේ බරපතල විදිහට නීතිය අතට ගෙන සිටි නිසාය. එක අතකට එය හොඳය. අපේ හන්දියේ බියර් ෂොප් එකෙන් බියර් රැගෙන එතැනම සිට කටේ හලා ගන්නා උන් අඩු වූයේ එතුමාගේ ක්‍රියා කලාපයන් නිසාය. එසේම පොලිසියේ අනිත් සේවකයන් පවා ලොක්කාට බය නිසා වැඩිය වැඩ දැම්මේ නැතිය. පසුව කුමන හෝ අටමගුලක් වී ලොක්කාව ස්ථාන මාරුවක් දී යැව්වේය. ඒ යන්නට පෙර කිරිබත්ගොඩ පැත්තේ මැර ඩයල් එකක් සමඟ ගෝරියක් ගොස් ලොක්කා කෑවේ යැයි කතාවක්ද තිබෙන්නේය. මැර ඩයල් එකට පස්සේ හොඳ සම්බුවක් ලැබෙන්නට ඇතත්, ලොක්කා ප්‍රසිද්ධියේ පාරේදී කාපු සීන් එක නම් කුජීතය. ඉස්සර රෑ 9 පසු වී විට පාරේ ගමන් කරන උන් පවා මොබයිල් එකේ දමාගෙන පොලිසියට රැගෙන යන්නේය. ඉන්පසු ප්‍රශ්න කොට ගෙදර එවන්නේය. කරුමෙට හෝ වැඩ ඇරී ප්‍රමාදවී එන එකෙක් සෙට් වුනොත් ඌටත් බඩුය. මොකද කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතුව ජීප් එකේ දමාගෙන යන නිසාය.

ඒ ආතල් එකම මෑතකදී නන්දේට සැට් වෙන්නට ගියේය. නන්දේ, කවුදැයි අමුතුවෙන් කිව යුතු නැතිය. අපේ නිවස අවට සැරිසරන නිදහසේ ආතල් එකේ සොට් එකක් දමාගෙන ජීවත් වෙන නන්දේ කාටවත් කරදරයක් නැතිය. එහෙත් පොලිසිය රෑ ජාමේ එන්නේ විවෘත මනසකින් නොවේය. දකින හැම එකාම වැරදිකාරයෙක් යන මතයේ සිට එන ඔවුන් අහුවෙන හැම එකාම කුදලාගෙන යාමේ සම්ප්‍රදායේ සිටින්නෝය. නන්දේව වරක් දුටු විට මතක හිටිනා නිසා එය ඔහුට පාඩුවක්ය. ඒ නදීක ගුරුගේ වගේ රැවුල වවාගෙන සිටින නිසාය. දිනක් හන්දියේ බියර් ටින් එක වටා වටවෙන පිරිස අස්සේ නන්දේ සිට ඇත්තේය. හදිසියේ පොලිසිය පැමිණීමෙන් පිරිසක් කුදලාගෙන ජීප් එකට දමා ගනිද්දී නන්දේ ඒ මැද්දෙන් පැන වත්තකට රිංගාගෙන ඇත්තේය. ඒ වත්ත තිබෙන්නේ අපේ නිවස ඉදිරිපිටය. තමා ඉනේ තිබූ පිහියක්ද කැළේ වට්ටාගෙන නන්දේ පහුවදා උදේ වෙන තුරු වත්තේ සැඟව සිට එළිබැස්සේය. එදා සිට නන්දේ පොලිසියට බ්ලැක් ලිස්ට්ය. “අර රැවුලා තමා අපි හොයන්නේ...“ ලෙස පොලිසිය කියන්නට පටන් ගත්තේ එදා සිටය. නන්දේ දවල්ට හන්දියේ වල බහිනා අතර රෑ ජාමයේ අපේ ගෙවල් පැත්තට එන්නේ පෙලෝසියෙන් බේරෙන්නටය.

එසේ සිටිනා දවසක නන්දේ සමඟ කයියක් ගසන්නට සැට් වී ඇත්තේ අපේ සැලුන් එක කරන සුරේකයාය. නන්දේට බියර් එකක් ගැස්සවීමට සිතා සුරේකයා නන්දේට වචනය දමා ඇත්තේය. නන්දේ එපාම කියද්දී සුරේකයා බියර් ටින් එකක් රැගෙන විත් ඇත්තේය. ටින් එක කඩා සිගරැට් එකක් ඉවර කරන්නට මත්තෙන් පොලිස් ජීප් එක නවත්වා ඇත්තේ නන්දේ සහ සුරේකයා ඉන්නා තැනමය. නන්දේට බියර් සොට් එකක් ගසනවා තියා එහි ගඳ සුවඳ බලන්නටවත් ඉඩක් ලැබී නැත්තේය. වැඩිදුර නොසිතු නන්දේ අනිත් පැත්ත හැරී දිව ගොස් ඇත්තේ අපේ වත්තටය. සුරේකයා මාට්ටු වී තිබුණේය.

“කෝ ගන්නවා තමුසෙගෙ අයිඩින්ටිය...“

කියා පොලිසිය හැඳුනුම්පත ඉල්ලද්දී සුරේකයා අනිත් පැත්තට දුවා ඇත්තේ තමන් නැවතී සිටින සැලුන් එකේ උඩ තට්ටුවටය. රැවුලා දිව ගිය නිසාත්, සුරේකයා අයිඩින්ටිය ඉල්ලූ විට දිව ගිය නිසාත් කෝප වූ පොලිස් ජනතාව සුරේකයා පස්සේ උගෙ කාමරයට දිව ඇත්තේය. ඉන්පසු අස්සක තිබූ අයිඩින්ටිය ඇද පෙන්වා ඇත්තේය.

“තමුසෙ මොකද ඕයි දිව්වේ ??“

“අයිඩින්ටිය ගන්න සර් දුවලා ආවේ..“

“තමුසෙ මාර මිනිහෙක්නෙ ඕයි.. කියල එන්න එපෑ.. මම හිතුව තමුසෙත් දිව්වා කියල.. කෝ බලන්න.. තමුසෙ ගංජ නේද දුවගෙන ඇවිත් හැංඟුවේ...“

කෝපයට පත් පොලිස් ජනයා සුරේකයාගේ කාමරය සෝදිසි කර ඇත්තේ වෙනත් චෝදනාවක් යටතේය. එසේ කාමරය අවුස්සා දැමූ පොලිසිය සුරේකයාව ජීප් එකට නග්ගාගෙන ගොස් හන්දියෙන් බස්සවා ගෙදර එවා තිබුණේය. සුරේකයා කීවේ නම් පොලිස් සැට් එකත් බීලා සිටි බවක්ය. උන් ටිකක් බිව්වාම අපි බයිට් කියාය.

පසුවදා සිද්ධිය කියා සිටියේ නන්දේය.

“අම්මට හුඩු පොලිස් කාරයෝ දෙන්නෙක් බැස්ස ජීප් එකෙන් මට කර ගන්න දෙයක් නැහැ. මම ගිහින් පිටි පස්සේ තියෙන ඇඳේ ඇලවුණා.“

“යකෝ ඒ පැත්තට ආව නම් මාට්ටු වෙනව නේ..“

“නැහැ නැහැ මහත්තයා මම ගිහින් ඇඳ උඩ තිබ්බ මෙට්ට දෙකෙන් එකක් ඇඟ උඩින් දාගෙන හිටියෙ ලොවෙත් හොයන්න බැහැ.“

“ඉතිං ඇඳ යටට රිංගුව නම් ඉවර නේ..“

“මොන රිංගනවද හදිස්සියට, අනික බඩ උඩ තිබ්බ මෙට්ටෙ මම හුස්ම ගන්න වේගෙට උඩ පහළ යනවා. ආව නම් බඩු බනිස්ම තමා...“

“දැන් ඉතිං රැවුල කපල දාන්න තියෙන්නෙ. නැත්තං අල්ලගෙන යයි..“

“නැහැ.. වැඩේ ගොඩ. මම කෙලින් අජිත් මහත්තය ලව්වා මහ ඇමතිට කියල තියෙන්නෙ. මට ඕන වෙලාවක පොලිසියට යන්න එන්න පුලුවන් කිව්වා..“

“අඩේ මහ ඇමති පත් වෙලත් නැහැ නේද??“

“ඒක තමා කියන්නෙ. මහ ඇමති වැඩ භාර අරන් කරන පලවෙනි රාජකාරිය මේක..“


Written_bY_sAm_ශ්‍රී_Perera_7:10am_04/04/14

Tuesday, April 1, 2014

අපට සිහිනයක් වූ අප්‍රේල් පලවෙනිදා.. - "Fools Day" Its a Dream for Us !!!


ඉක්කෝලෙ යන කාලේ නම් අප්‍රේල් පලවෙනිදා යනු ආතල්ම දවසක්ය. පන්තියේ එහා පැත්තේ පුටුවේ සිටින එකාගේ සිට, පන්තිභාර ගුරුතුමිය, අනෙක් ගුරුවරු සහ ප්‍රින්සිපල් දක්වාම මෝඩයන් කරමින් ආතල් ගැනීම මෙදිනට යෙදෙන සිරිතක්ය. එහෙත් එම උණුසුම පවතින්නේ දහවල් වනතුරු පමණක්ය. විටෙක එය පාන්දරම ගුලිය කෑ විට අවසන්ය. ඉස්සර අප්‍රේල් පලමු වැනිදා මතක් වන්නේ සියල්ල සිද්ධ වුණාට පසුවය. නමුත් අද කාලේ අප්‍රේල් පලමු වෙනිදා කිසිවෙකු ඇන්ඳීම සිහිනයක් වී හමාරය. බුකියෙන්, මේල් වලින් සහ ඇස්.ඇම්.ඇස් වලන් බොහෝ දෙනා කලින්ම අප්ඩේට් වන නිසා බොරුවක් කියා හෝ කිසිවෙකු මුලා කිරීමේ පරම අයිතිය කෙලෙසා හමාරය. මේ වසරේ නම් සිරි ලංකාවේ දකුණු සහ බස්නාහිර පලාත්වල ජනතාව ඇන්ඳීමේ කටයුත්ත අප්‍රේල් පලමු වෙනිදාට පෙර හමාර වූයේය. ඒ මැතිවරණය 29 වෙනිදා යෙදී තිබුණු නිසාය.

අද උදෑසනම සෑමා නම් අප්‍රේල් මෝඩයා බවට පත්වූයේ අහක යන කලඩියක් හිස මත පතිත වීම නිසාය. උදෑසනම අපේ කඩේ පැත්තට ඔළුව දැමූ නිසා හොඳ පෝරියල් එකක් කෑවේය. රාත්තිරියේ ඇඳගෙන නිදා සිටි ගල් ෂෝට් එක උඩින් ෂර්ට් එකක් දමාගෙන පහළට බැස්ස සෑමාට තාත්තා රාජකාරියක් පැවරුවේය. ඒ අපේ කඩෙන් උදෑසන පත්තර කිහිපයක් රැගෙන යන්නට එන ස්කූල් බස් එකකට පත්තර ටික භාරදීමය. එම පත්තර කිහිපය මිටියක ලෙස ගැට ගසා මනාව සකසා තිබුණේය. තාත්තා එය පෙන්වමින් කීවේ මේක අහවල් පාසලේ පත්තර මිටිය, අහවල් ස්කූල් බස් එක ආ විගස භාර දෙන මෙන්ය. සෑමා එය පිළිගෙන පැත්තකට වී සිටියේය. තාත්තාද කොහේ හෝ ගියේය. මොහොතකින් ආවේ ස්කූල් බස් එකය. ඉන් බැස ආ දෙකේ පන්තියේ නංගී කෙනෙකු සිරිකත පත්තරයක් ඉල්ලුවාය. ඉන් පසුව අපේ ඉක්කෝලේ පත්තර ටික දෙන්න යැයි කී නිසා සෑමා ඔය තියෙන්නෙ නංගී ගන්න යැයි කීවේය. ඉන්පසු නංගී සෑමා පෙන්වූ පත්තර ටිකත් රැගෙන බසයේ නැග ගියාය. තාත්තා නැවත කොහේ හෝ සිට පාත් වූයේය. 

කෝ ස්කූල් බස් එක නේද ගියේ?

ඔව්, පත්තර ටික දීල යැව්වා.

එතකොට මේ තියෙන්නෙ???

ආ ඒ ටිකද දෙන්න ඕනෙ?? මම අතන තිබ්බ ටික දීල යැව්වා..

හරි.. මේ ලඟ ඇත්තෙ මම පන්නලා ගිහින් අරන් එන්නම්.

තාත්තා හිසේ අත ගසා ගනිද්දී වැඩේ ෂේප් කරන්නට සෑමාට ඝණ දෙවි නුවණ පහළ වූයේය. වාහනයට නැගී ෆලෝවක් දෙන්නට සෑමා සූදානම් වූයේ හැඳ සිටි ගල් ෂෝට පිටින්මය. හැඩ වැඩ වෙන්නට වෙලාවක් නැතිය. ගල් සෝටක් ගසාගෙන දෙක වසරේ කෑල්ලක් පසුපස එළවන්නට සෑමාට සිද්ධ වූයේය. මඟක් දුර යද්දී ස්කූල් බසයේ පාට අමතකය. ඒත් හැඩය මතක නිසා මුණ ගැසුණු පළමු ස්කූල් බස් රථයක් හරස් කොට නැවැත් වීමට සෑමා සමත් වූයේය.

“අයියේ ඕගොල්ලො නේද ස්කෝලෙ පත්තරේ ගෙනියන්නෙ..“

“නැහැ මල්ලී අපි නෙවෙ...“

“අඩේ සොරි අයියා..“

“මල්ලි පිස්සු කෙලිනවා.. මම හිතුව අපි ලමයෙක්වත් මඟ දාල ඇවිල්ලද කියලා...“

කරන්නට දෙයක් නැත. බස් එක සොයා ගත නොහැකි නම් කළ හැක්කේ පාසල ඉදිරිටට ගොස් දෙකේ පන්තියේ කෙල්ලක් එනතුරු බලා සිටීමය. සෑමා පාසල ලඟට ගියේය. එතැන නවත්වන සෑම බස් රථයක්ම දෙස බලා සිටියේ දෙකේ පන්තියේ නංගී එන තුරුය. ඒත් මුහුණ මතක නැතිය. අතේ පත්තර සැට් එකක් තිබේනම් ඒ ඇයම විය යුතුය යන මතයේ සිට සෑමා පාසල අසල කහ ඉර අසල මුර කළේය. ඒ අතර පුංචි කෙල්ලෝ සැට් එකක් මැද්දේ පත්තර කිහිපයක් තුරුලු කරගෙන කෙල්ලෙක් ඇඳෙන්නීය. සෑමා ක්ෂණිකව වාහනයෙන් බැස උච්චර ස්වරයෙන් “නංගී“ ගෑවේය. උන් හා හූවක් නැතිය. පාර පැන කෙල්ලෝ සැට් එක පිටුපසින් “නංගී“ ගෑ විට දෙයියනේ කියා එක නංගී කෙනෙක් බැලුවාය. 

“නංගී.. අර පත්තර ටික අරන් යන නංගිට කතා කරන්න““

සෑමා කෑ ගැසුවේය. ඒ නංගි ඉදිරියෙන් සිටින වෙනත් කවුදෝ කෙල්ලෙකට තට්ටු කළාය. උන් ඔක්කොටම පිස්සු යැයි සිතින් සිතමින් සෑමා කෙල්ලෝ රැල මැද්දෙන් ඉදිරියටම ඇදෙද්දී ඇන්ටිලා, අංකල්ලා, ටීචර්ලා, සියල්ලෝම බලා සිටින්නේ සෑමා දෙසය. ගල් සෝටක් ගසාගෙන පාසලක් ඉදිරියේ ගේට්ටුව පැත්තට කෙල්ලෝ සැට් එකක් මැද්දේ ගමන් කරද්දී සෝට ඕනා නැතිය. රෙදි කැලේය. විලිලැජ්ජාවේ බැරිය. නැවතත් සිතට දහිරිය ගෙන අවසන් උත්සාහය ගන්නට සිද්ධ වූයේය.

“නංගී... නංගී...“

එවර නම් ඇය හැරී බැලුවාය. නංගී මේක අරන් යන්න ඕක මට දෙන්න යැයි කී විට ඇය කිසිත් නොඅසා සුහද මාරුව සඳහා කැමති වූවාය. එය රැගෙන නැවත පිටුපස වත් නොබලා ඇය ඇතුලට ගියාය. ගේට් එක අසල සිටි අයියා කෙනෙකු මොකැ මල්ලී සීන් එක යැයි ඇසුවේ සැමාගේ හිස සිට දෙපතුල දක්වා බලමින්ය. 

“බලන්න අයියේ මේ ලමය වැරදි පත්තර ටිකක් අරන් ඇවිල්නේ..“

“මල්ලි ඕව පරිස්සමෙන් කරපං. වැරදි පත්තර වැරදි ලමයි අතට ගියොත් විනාසයි...“

අප්‍රේල් පළවෙනිදාවක එහෙව් කෙළවීමක් වූයේ නම් තව කිසිවෙකුට හෝ ගින්නක් දිය යුතුය යන චේතනාවෙන් සෑමා කෝල් එකක් ගත්තේ තම මාමාගේ පුතාටය. කොල්ලා රෝද හතරක් ගත්තේ ඊයේ පෙරේදාය. ඈත පැත්තක රාජකාරි කළත් කොල්ලාගේ හිත තියෙන්නේ ගෙවල් පැත්තේය. ඒ වාහනයේ සිහියෙන්ය. වාහනය පාර්ක් කරන්නේද ගෙදරට යන පාරේ පල්ලමේය. හෑන්ඩ් බ්රේක් ගසා ලෑලි අඩයක්ද තබා ඇත්තේ වාහනයට ඇති ආදරය නිසාමය. සෑමා ඌට ගුලියක් දීමට කෝල් එකක් ගත්තේය.

“අඩෝ... ගුඩ් මෝර්නින්..“

“අහ් ගුඩ් මෝර්නින් මස්සිනා..“

“ගුඩ් මෝර්නින් නෙවේ.. මේ .. උඹ යද්දි කාර් එකේ හෑන්ඩ් බ්රේක් ඇඳල නෙවේද ගියේ??“

“ඇයි බං මොකැ සීන් එක..“

“උබ හෑන්ඩ් බ්රේක් ඇදල නැතුව අන්න කාර් එක පල්ලමට ගිහින්, බිත්තියක වැදිලා..“

“හරි.. බං.. උඹට විෂ් කරන්නත් බැරි වුණානේ.. හැපි බර්ත් ඩේ එහෙනම්...“

හැමදාම බොරු කියන උන්ට, හැමදාම ගුලි දෙන උන්ට විශේෂිත දිනයක් අනවශ්‍ය බව සෑමාට වැටහුනේ ඊට පසුවය. අපි කෙප්පයක් අරින්නට හැදුවොත් අනිත් උන්ට විහිළුය. ගණන් ගන්නේ නැතිය. උන් කියන්නේ අනේ උඹල හැමදාම දෙන ගුලි නිසා අපි ඒවා ගණන් ගන්නේ නැහැ කියාය. ඒ නිසා අපට අප්‍රේල් පළමු වැනිදා සිහිනයක් පමණක්ය. ඒ අපි හැමදාම බොරු කියනා නිසා නොවේය. අපි ඇත්ත කිව්වත් අනිත් උන් පිළි නොගන්නා නිසාය.

ගිය අවුරුද්දෙ අප්‍රේල් පලමු වැනිදා සැප කනේය..

Written_by_sAm_ශ්‍රී_Perera_5:15pm_01/04/14
Related Posts Plugin for WordPress, Blogger...