Showing posts with label පන්තිකවය - අතීත මතක. Show all posts
Showing posts with label පන්තිකවය - අතීත මතක. Show all posts

Tuesday, November 29, 2011

භීෂනයේ අතුරැ කතා - අවසාන සටන

පන්ති කවය මාධ්‍යය හමුවේ ප්‍රකාශයට පත් කළ දින සිට සියළු බාහිර සාධක අමතක කොට සම්මත තත්ව යටතේ අප පන්තියේ විසීමු. බට් ඒත් ඒ සියළු කාරණා මැඩ නැගී සිටියේ අ‍පගේ විසේ කාර ජානයි. එහෙමත් නැතිනම් උප්පත්තියෙන් ගෙනආ නෙසන්ඩාල දගකාර කමයි.

සියළු කරණු කාරනා මැද අප පුල පුලා බලා සිටි, පාසල් ජිවිතේ භීෂණකාරීම මොහොත උදා විය. ඒ පන්තිකවය පැවැත්වෙන සදුදා දිනයයි. පෙර වැරදි ඇත්තෝ සියල්ලෝම නිහඩය. සියල්ලෝම හමුවේ වග උත්තර බැදීමේ අභියෝගය ඉතිරිව ඇත. 

ඥානේ මග හැර සංගීත cheater ටීචර් බැලීමට රිංගූ සාලිය, මා සමග දණ ගසා සිට පද මාරැ කර පාරැ කවි කියූ නාමල්, ලක්ෂාගේ පොත හොරකම් කිරීම නොදැකීම නිසා වැරදි කරැවන් වූ මම සහ චේති, තම මිතුරා පීරියඩ් කට් කිරීම නිසා වැරදි කරැ වූ ලක්ෂා, පන්තියේ බලු බෙට්ට නිසා ලලිතා පාඩම නොකිරීමට හේතු වූ මම සෑමා... යන සියල්ලෝම චූදිතයෝය. සියල්ලෝම වෙන වෙනම වග උත්තර හදාගෙන සිටියේ එන දේකට මුහුණ දීමටය. නමුත් පන්තියටම තිබූ ඉහලම චෝදනාව එල්ල කළේ ඥානේය. ඒ කළු ලෑල්ලේ පොල්තෙල් ගෑවා යැයි අභූත චෝදනාවකි. බාල වර්ගයේ චෝක් නිසා බෝඩ් එකේ ලිවීමට අපහසු වූ බව ඥානේ කිසිදා පිළිනොගත්තේය. ඇල්බට් අයින්ස්ටයින් වන් කොණ්ඩය තිබූ පුද්ගලයෙකුගේ සිත වෙනස් කිරීමට අපහසුය.
පන්තියටම තිබූ ඉහලම චෝදනාව එල්ල කළේ ඥානේය

මේ සියල්ල මැද සෙක්ෂන් එකම හෙල්ලූ ඩුම්මගේ සූදුවට චූදිතයෝ රැසකි. ඔවුන් දැනටමත් දඩුවම් විද අහවර මුත් පන්තිකවයේදී ස්ටෝරිය යලි ඇදෙනවා suck-sudath සක් සුදත් සේ විශ්වාසය.

"මචං අද අපිට පෝරියල් එක සෙට් වෙන දවස, ඒක නිසා පන්තිය අතුගාලා සුපිරියට තියහල්ලා" අවධානමට පෙර සූදානම හොදය. කලින් දින චෝක් කැබලි වලින් ගහ ගැනීම නිසා පන්තියේ චෝක් නැත. ඒ ඥානේ කෑගසා ලියවෙන්නේ නැහැ කියු චෝක්ය. කෝකටත් ඔෆීසියෙන් අළුත් චෝක් ‍ගෙනාවේ කතන්දර අසන්නට බැරි නිසාය.

පන්තිභාර කුසුමේ අතුළු අනෙක් ගුරැවරැ පිරිස පන්තියට පිරිණ. දෙමව්පියෝ සියළු දෙන හිදගත් අතර අපි සියළු දෙන වටේට සිටගෙන සිටියේ මාරක ලිදේ බයිසිකල් පදිනු බැලීමට මෙනි. සමහර එවුන් අම්මා. තාත්තාට නොකියා ආච්චී හෝ සීයා නැතිනම් වෙනත් ලග ඥාතියෙක් රැගෙන එන්නේ නැවත ගෙදර යෑමට අවශ්‍යය නිසාය. අපේ එකෙක් එක පාරක් තම සහෝදර අයියා එක්කගෙන ආවා මට මතකය. ඒ අයියා සිටියේ අප පාසලේම ඉහල පන්තියක ඉගෙන ගනිමිනි. පන්ති භාර ටීචර් පල නොකියා පලා බෙදු අයුරැ මට හොදට මතකය. "සෑමා" හැමදාම ගෙදරින් එක්කන් ආවේ තාත්තාවය. ඒ අපේ තාත්තා ගුරැවරයෙක් නිසා, ඉස්කෝලේ වෙන සීන් එච්චර දරැණුවට නොගන්නා බව මම දන්නා නිසාය.

කුසුමේ පොදුවේ සියළු දෙමව්පියන් අමතා අහවර වූ කළ අනෙක් ගුරැවරැන්ගේ වාරය උදා විය. බලුබෙටි සීන් එකට ලලිතා (වැරදිලා අනුන්ගේ රිපෝට් එකක් ගත්ත රංගයාගේ අම්මා) නැගිට්ටාය.

"මේ ලමයින්ගේ පන්ති පිරිසිදු කිරීම හරිම අන්තිමයි. ගෙවල් වලත් එහෙමද මේ ගොල්ලො ඉන්නේ? දවසක් පන්තියේ බල්ලෙක් ජරා කරලා. මේ ‍එක්කෙනක් වත් නෙවේ සුද්ද කරලා තිබ්බේ. මම එදා පාඩම කරන්නේ නැතිව පන්ති වාර්තා පොතේ නෝට් එකක් දාලා ගියා ඒක අස්කරන්න කියලා." කියමින් ඇය නෝට් එක දැමු පිටුව සොයන්නට වූවාය. නෝට් එක දැමූ දිනම ඒ පිටුව පරිස්සමට අරන් තිබ්බ නිසා ලලිතාට සාක්ෂි ප්‍රමාණවත් නොවින.

"බලන්න මට පේන්නේ මේ ගොල්ලෝ ඒ පිටුවත් කඩලා දාලා..." වටේටම ඔරවමින් ලලිතා නිහඩ විය.

"මේ ගොල්ලෝ මම පන්තියට එනවට කොහෙත්ම කැමති නැහැ." එව‍ර පටන් ගත්තේ ඥානේය.

"මේ ලගදී දවසක් බෝඩ් එකේ පොල් තෙල් ගාලා තිබ්බා මම එනකොට. කොහේ ලිව්වත් ලියන්න බැහැ. මේ බලන්න..." කියමින් ඥානේ හුණු කෑල්ලක් ගත්තේ වැඩේ ‍ප්රැක්ටිකලි practically ඔප්පු කිරීමටය.

බලන්න කියමින් ඥානේ හුණු කැබැල්ලෙන් ඉරක් ඇද බැලුවේය. වෙනදාටත් වඩා හොදින් ඉර ඇදුනේය. ඥානේගේ කට ඇද විය.

"නැහැ ඒ හරිය ලියවෙනවා. බලන්න මේ පැත්තේ ලියන්න බැහැ..." කියමින් යලි ඉරක් ඇද බැලුවද එය ඇදුනේය. ඥානේ තම මතය අත් නොහැරම යලිත් ක්‍රියාත්මක විය.

"මේ කෙලවරේ තමා ලියන්න බැරිම වුණේ. පොල් තෙල් ගාලා තමයි. බලන්න එලිය වැටුනාම දිලිසෙන්නේ ඒකයි" සියළු සාධක සමග ඥානේ නැවත ඉරක් ඇදීය. බෝඩ් එක පුරා ලීවත්, හොදට ලිය වුණත්, එදා බෝඩ් එකේ ලියනොවුනේ බාල හුණු කූරැ නිසා බව ඥානේ අදටත් පිලි නොගනී.

"කුසුම් ටීචර් ඊයෙද, පෙරේදද මේ ගොල්ලෝ හවස හිටියා නේද තීන්ත ගාන්න. මම හිතන්නේ එතකොට බෝඩ් එකත් හෝදලා දාන්න ඇති.." එවර ඔහු සාර්ථක කතාවක් ගෙතුවේ ලැජ්ජාව සමනය කිරීමටය.

මීලගට තිබ්බේ දෙමව්පියන් වෙන වෙනම තම දරැවා සමග ගුරැවරැ වෙතට ගොස් විස්තර ඇසීමේ වාරයයි. එම අවස්ථාවට මම අකැමති නැත්තේ අපේ තාත්තා ‍එසේ එක්කගෙන නොයන නිසාය. තැන් තැන්වල කස්ටිය ගුරැවරැ වට කරගෙනය.

ඒ අතර ඥානේ අපේ තාත්තාගේ උරහිසින් අල්ලාගෙන දරැණු කතාවකි. අතරතුර හිනා වෙනුද පෙනින. වරෙක මවෙත ඇගිල්ල දික් කර පෙන්නනුද දුටු විට පෙර නොවිදි අමුත්තක් දැනෙන්නට විය. අම්ම ගහයි  බැට් එකෙන් (තාත්තා ගෙදර ගිහින් කිව්වොත්) පෙර වැරදි එකින් එක මා ඉදිරියේ මැවෙන්නට විය. බොහොමයක් ඥානේගේ තීන්දු නිසා කැරකුන ඒවාය. ඒ අතරම ඥානේ අතින් සංඥා කල නිසාම මම ලගට ගියාද නොගියාද කියා මට මතක නැත. ඒත් මම ගොස් ඇත.

"ආ.. මෙයාද පුතා.. මෙයා හොදයි, හොදට වැඩ කරනවා.." ඥානේ කීවේ ෂොට් එකක් දාගෙන ඇවිත්ද කියා මට සැකය. දැනෙන්නට නම් ඇල්කොහොල් ගදක් එන්නේ නැත. නො එසේ නම් හුණු කෑල්ලේ සීන් එක නිසා ඥානේ කම්පනයට පත්ව ඇත. මම අමාරැවෙන් අහිංසක හිනාවක් දොට්ට දැම්මෙමි.

එදා ගෙදර ගියාට පසු මම තාත්තාට කිට්ටු වුණේ වෙච්ච සීන් එක දැන ගැනීමටය. බැලින්නම් ඥානේ ගුරැ උපදේශකයෙක් ලෙස කටයුතු කරන කාලයේ අපේ තාත්තාට දේශන පවත්වා ඇත. ඒ නිසාම දෙදෙනා කලින් සිටම එකිනෙකා හදුනන්නෝය.

එදා සිට මට තිබ්බේ එකම සැකයයි.. ඥානේ මගේ හොද කීවේ මිත්‍රත්වය නිසා හිත රිදවන්න බැරිවද? නැත්තම් ඇත්තටම සෑමා හොදට වැඩ කරනවාද?

හැබැයි සෑමාට ඕලෙවල් වලට තිබ්බ A අකුරැ පහට අමතරව B එකක් තිබ්බේ ඥානේගේ ගණිතයට තමයි. පොර නොහිටිය නම් ඒකත් Aය. අනිත් 2ම Cය.

Written by sAm_29.11.'11_1.40pm

ඊලගට අප හමුවන්නේ ඒ ලෙවල් A/L පන්තිකව ස්ටෝරියෙනි...

Wednesday, November 16, 2011

භීෂණයේ අතුරු කතා - බ්‍රහස්ප්‍රතින්දා ( A week before the parent's meeting)

මරණීය‍ දණ්ඩනයට නියම වෙලා ඉන්න අපරාධකාරයෝ සෙට් එකක් වගේ අපේ එවුන් පන්ති කවයට (ඒ කියන්නේ පේරන්ට්ස් මීටින් එකට) කලින් දවස් 7ක් ගෙව්ව හැටි තමා එපිසෝඩ් විදියට මේ එළියට දාන්නේ. අතර තුර ‍කොම(ර්)ෂල් ඇඩ් දාන එකට කස්ටිය අප්සෙට් වෙන්න එපා කියලත් රික්වෙස්ට් කරනවා. බීපු මිනිස්සු කබරයා දානවා වගේ එහෙමත් නැත්තම් අපේ බොකා බරාස් ගාලා බොක දානවා වගේ ස්ටෝරිය දැම්මොත් අපි එදා වේල හොයාගෙන කන්නේ කොහොමද? පහුගිය දින තුන ගැන දැනගන්න උනන්දු ඇත්තෝ පහල ලින්ක්ස් යූස් කරත්වා.

මෙන්න බුරහස්පතින්දා නොහොත් ත(ර්)ස්ට් ඩේ එපිසෝඩ් එක

පන්ති කවය ලං ලං වෙනකොට අපේ එවුන් රටේ නැති ලෙඩ වැටේ. ඇත්තම කිව්වොත් දාගන්නවා නෙවේ ලෙඩ ඇවිත් බලෙන් පදිංචි වේ. හරියට එක ඉලෙක්ට්‍රෝනයක් අඩුවෙලා ස්ථායී වෙන්න අමාරුවෙන් ඇඹරෙන පරමාණුවක් වගේය (‍ප්‍රොෆෙසර්ලා එහෙම බ්ලොග් එක බලනවා නම් ක්ලෝස් බට්න් එක ක්ලික් කරනවා හොදා). ඒත් ඉතින් අපි උදේම මලක් පහනක් පූජා කරලා ගාථා කියලා ඉත සිතින් පතන්නේ අදවත් ගැල විජ්ජාවක් තිබේවා කියාය. එත් දෙවියෝත් මුහුණු දුසිමයි, ඇස් දුසිම් දෙකයි තිබ්බත් අපේ දිහා බලන්නේවත් නැත. ඉදහිට බැලුවත් බලන්නේ අප පසුකර ගොස් වපර ඇසිනි නැතොත් සයිඩ් කණ්ණාඩියෙනි.

බුරහස්ප්‍රතින්දා මට අතුගාන්න තිබ්බ දවසය. ඒ බව මම දැනගත්තේත් මේ සීන් එක වුණ දවසේය. එතකොටත් ඒ වසරේ මැද භාගයයි. අපේ වාසනාවට මිශ්‍ර ඉස්කෝලෙක ඉගෙන ගත්තෙමු. නැත්තම් පන්තිය අතුගාන්න කෙලි පොඩිත්තියෙක්වත් නැත. අපි ඒ දවස්වල අතුගෑවේ නැත්තේ ඒ දැරිවියන්ට කරදර කිරීමට නොව හුදෙක් ඔවුන්ගේ විවාහ දිවිය සාර්ථක කිරීමේ ඒකායන පැතීමෙනි. නැත්නම් ඒ දැරිවියන්ට "අතුගාන්න ඉගෙන ගන්නවත් ඉස්කෝලේ ගිහින් නැහැ" කියා කොහු ඉදල් පාරවල් කන්න වෙන්නේ තම තමන්ගේ ස්වාමිවරුන්ගෙනි. 

(ඇත්තම කියනවනම් ඒ කාලේ මම හැරී පොටර් ගැන වැරදි ආකල්පයක් තිබ්බ පුද්ගලයෙක්. මම ඇත්තටම හිතාගෙන හිටියේ හැරී යනු ඔහුගේ පාසලේ ක්ලීනින් වැඩ කරන දරුවෙක් කියාය. මන්ද ඔහු නිතර සිටින්නේ කොස්සක් සමගය. හැරී බ්ලොග් එක බලනවනම් සමාවේවා..!!)

කොහෙම හරි බ්‍රහස්ප්‍රතින්දා මට සහ අපේ කොල්ලන්ට අතුගාන්න තිබ්බ දවසේ අපිට උදේම තිබ්බේ සමාජ අධ්‍යයනය පිරීයඩ් එකයි. පන්ති භාර කුසුමේට අනිත් හැම දවසකම උදේ පීරියඩ් එක නිසා එක දවසක් සමාජ අධ්‍යනය ටීචර්ට දී ඇත. මතකනේ කන් ඇහෙන්නේ නැතුව වැරදිලා රිපෝට් එක ගත්ත රංග (අනුවර්ථ නම) අන්න ඒ රංගයාගේ මව තමා අපිට සමාජ අධ්‍යයනයත් කළේ. එයා පන්ති අතුගාන සීන් බලන්නේ නැත. ඒවා අදාල වන්නේ කුසුමේට නිසාත්, ඇය බ්‍රහස්ප්‍රතින්දා උදේම පන්තියට එන්නේ නැති නිසාත් අපිට අතු නොගෑවත් අවුලක් නැත. ඒත් අහිංසක කෙල්ලෝ පන්තිය අතුගාති.

රංගයා ගේ කන් ඇහෙන් නැති නිසා පොරට හැමදාම ඉස්සරහ සීට් එක රිස(ර්)ව් කරලා තිබුනේය. අපේ එවුන් කොහොමත් ඉදිරි පෙල ක්‍රීඩා කරන්නේ නැති නිසා රංගයා නිතර‍ගයෙන් ඉදිරිපෙල ක්‍රීඩා කලේය. අපේ එවුන් පසුපෙලට පොරකන නිසා පන්ති භාර කුසුමේ කීවේ දිනපතා පේලි මාරු විය යුතු බවයි. මත‍කනේ ඉස්සරහම පේලියේ ඉදලා අගහරුවාදා කෙලවුණ හැටි.


රංගයා නිතර‍ගයෙන් ඉදිරිපෙල ක්‍රීඩා කලේය

සමාජ අධ්‍යයනය ටීචර් ඉස්සර කළේ අච්චු පොතම අපේ තනි රෑල් පොතේ පිටපත් කරවීමය. අපි 3 වසරේත් කලේ ඒ වගේම සීන් එකකි. ඒ මවුබස විෂයටයි. එනම් අසා ලිවීමයි. අපිව අතීතයට ගෙනියමින් ටීචර් දාපු සෙල්ලමට අපේ ඔබ්ජෙක්ෂන් ආ නිසා ටීචර් කඩෙන් සිලබස් එකට අදාල වෙනත් පොතක් ගෙන අසා ලිවීම නැවත සාර්ථකව ඇරඹීය. අපේ සාලිය ඒ පොතම කඩෙන් අරගෙන ගෙදර දීම නෝට් එක ලියන් එන්නට පටන් ගත්තේ පන්තියේ විසිල් එකක් ගසා ආතල් එකේ සිටීමටය. දවසක් පොර ටීචර් අසා ලිවීම කරකොට නිකන් ඉද මාට්ටු වීය. ටීචර් ඉස්සරහට ගෙන්නා ඇසුවේ නෝට් එක ලියා තිබේද කියාය. පොර වැඩ්ඩා වගේ පොත දික්කල විට ටීචර් කොර විය. දරුවා මුතු අකුරින් නෝට් එක ‍එලෙසම ලියා ඇත. ඒත් පොර නෝන්‍ඩි වූයේ එදා පාඩමට අදාල කොටසටත් වඩා නෝට් එක කලින්ම ලියා ගෙදරදි ඇදගෙන එන්න කියූ සිතියම් පවා අලවා තිබූ නිසාය.

කොහොම හරි එදා උදේම සමාජ අධ්‍යයනය ටීචර් පන්තියට ආවාය. අපිත් එතකොටම කොරිඩෝවේ ඉදන් පන්තියට පැන්නෙමු. මම මගේ පුටුවට ඉදගන්න ය‍නකොට මෙන්න එතන ටීචර්ගේ පුතා රංග ඉදගෙනය. පොරගේ කන් ඇහෙන්නේත් නැතිය. මොනව උනත් අම්ම පන්තියේ ඉන්නකොට පුතාට සද්ද දාන එක පන්ති කවය අහල පහල තියෙනකොට හොද නැති නිසා පොර‍ට ඇහෙන උච්ච ස්වරයෙන් මම කථා කලෙමි.  පොරට ඉදිරි පෙලට යන්න කී කල පොර මට කීවේ අදට විතරක් ඉස්සරහ ඉන්න ලෙසය.

මොනව උනත් ටීචර්ගේ පුතානේ කියා මම පොරගේ ඉදිරි පෙල ආසනයට ගියෙමි. එතන ඉන්න බැරි පට්ට ගදකි. ටීචරුත් සාරි පොටේ පිහිටෙන් නහය වසා ගෙන ඇත. 


ටීචර් සියළු දුර්ගන්ධ මැද්දේ කට ඇරියාය.

"රංග.. ඇයි තමුසේ අද පිටිපස්සේ ?" ටීචර්ගේ හිතේ මම පොරගේ සීට් එක ආක්‍රමණය කළා කියාය. පොරද සද්ද නැත.

"බලන්න ටීචර් මෙයා වෙනදට කන් ඇහෙන්නේ නැති ලමයා අද කන් ඇහෙනවා ඒකයි පිටි පස්සේ" මම කීවේ, මට බෙට්ට සෙට් වුණ එකට පට්ට මල නිසාය.

"මොකක්ද තමුසේ කියපු කථාව?" 

"මෙයා මෙතන බෙට්ටක් නිසා මාව මෙතනට දැම්මා ටීචර්." මම රිප්ලයි කලෙමි.

"කමක් නැහැ අදට ඔහොම ඉන්නවා" ටීචර් අපේ පෙර වැරදි ඇති නිසා ගණන් නොගෙන කීවාය.

"ඒ මොකක්ද ටීචර් ඒ කථාව. රංගයාට අම්මගේ සැලකිලි, අපිට කුඩම්මගේ සැලකිලි" මම දෙවරක් නොසිතා කීවෙමි. ටීචර්ට කට උත්තර නැත.

"නැගිටිනවා අද අතුගාන්න ඉන්න කට්ටිය" කෙල්ලෝ තුන් දෙනයි, මායි තව අපේ එවුන් දෙන්නෙකුයි නැගිට්ටෙමු. එයිනුත් කෙල්ලෝ තිදෙනා සහ තව අපේ එකෙක් පන්තියේ පැත්තක් අතු ගා තිබූ නිසා ජනාධිපති සමාව ලැබිණ. මාත්, ලක්ෂාත් බෙට්බ නිසා හිට ගෙන සිටියෙමු.

"තමුසේ වැරුද්ද තියාගෙනත් එනවද කට ගහගෙන" ටීචර් කාගේද මාළු මගේ ඇගේම තියා කපයි. හරියට බෙට්ට දැම්මේ මම වගේය.

"හරි දැන් තමුසෙලා දෙන්නා මේක අස් කරනවා. මම දැන් පන්ති වාර්ථා පොතේ නෝට් එකක් දාලා යනවා. මට බැහැ මෙහෙම උගන්නන්න" ටීචර් මාරු වූ පසු අපි නෝට් එක බැලීමු.

"පන්ති කාමරයේ ජරාවක් තිබූ නිසා මෙදින පාඩම කිරීමට සුදුසු වාතාවරණයක් නොමැති විය."

කොහොම හරි අපි එකතු වෙලා වැලි ටිකක් දමා බෙට්ට වැසීමු. පසු කාලෙක වාර්ථා පොතේ පිටුවකුත් සුදු වෑන් එකකින් පැමිණ ගලවාගෙන ගොස් තිබිණ. නැත්තම් පන්ති කවයට සාක්ෂි වන්නේ ඒවාය.

written by sAm_6.15pm_15.11.'11

Thursday, November 10, 2011

භීෂණයේ අතුරු කතා - බදාදා ( A week before the parent's meeting)

බ්ලොග් එක මුල ඉදන් ෆලෝ කරපු උදවියට අපේ 10,11 කැලෑසියේ වී‍රයා මතක ඇති. නොදන්න අයට දැනගන්න කියන්නේ පොර තමයි "ඥානේ" අහ් මතක හැටියට ඥාණදාස. ඉස්කෝලෙ අකැමතිම දවසක් එනකල් දවස් 7ක් (මලගෙදරක නයිස්, මාරි කකා නයිට් ගැහුව වගේ) ඇගිලි ගැන්න හැටි තමයි බ්ලොග් එකේ කොට කොට හිටියේ. ඒ කාලේ ඒකට කීවේ පේරන්ට්ස් මීටින් කියලා. පේරන්ට්ස් මීටින් එකට කලින් බදාදා දවසක ග්‍රහ මාරුව සිද්ධ වෙච්ච හැටි මෙන්න.

පෙර ස්ටෝරී කීපයකට නෑකම් කියන අළුත් පෝස්ට්ටුව.


  1. ගණිතය සහ සංගීතය (Maths Vs Music) - 2002
  2. භීෂණයේ අතුරු කතා - සදුදා ( A week before the parent's meeting )
  3. භීෂණයේ අතුරු කතා (අගහරුවාදා) - Remaining 7days for parent's meeting


ඊයේ (අගහරුවාදා) පැතූ පරිදි දවස සුභ නොවීය. කලින් කීලෙසම අහක යන ලොරිත් ඇවිත් ඇගේ හැප්පේ. ඥානේගේ චින්තනය අනුව ඇක්සිඩන්‍ට් එකක් දැක දැක බයටවත් ඇස් දෙක වසා ගත නොහැක. නොදැක්කොත් දඩුවම් ලැ‍බේ.

එදා බදාදා

සෙට් එකේ 10ක් හි‍ටියොත් 10ක ගේ ආකල්ප 10ක්. ඒක ජාන ගත වෙනසක්. හරියට එකම ආවර්තේ මුලද්‍රව්‍ය පොඩ්ඩක් හරි වෙනස් ගති පෙන්නවා වගේ. අපේ එකාලා ඒක නිසා තමන්ට වෙන වෙනම එපා වෙච්ච පීරියඩ් සාහසික ලෙස කට් කරනන පටන් ගත්තා. ඒ අතර එකෙක් අමාරුවෙන් දිවි පරදුවට තියලා කට් කලේ ඥානේගේ පීරියඩ් එක. පොර ඒක කට් කරනව කියල ඔප්පු කරන්න අපිට ප්‍රබල සාක්ෂි තිබ්බා. හරියට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180 ක් කියලා ඥානේ ඔප්පු කළා වගේමයි.


ඥානේගේ පීරියඩ් එක උදා වුණා. ඒ පීරියඩ් එක ටෙස් මැච් එකක අන්තිම ඉනිමේ අන්තිම විකට් එක වගේ. එදා ද‍වසේ තිබ්බ අන්තිම පීරියඩ් එකත් ඒකම තමා. පන්තියට ඇදිරි නීතිය දාලා වගේ. හුස්ම ගන්න සද්දෙත් ඇහෙනවා. අපේ යාළුවා සුපුරුදු පරිදි බෑග් එක ඩෙස්ක් එක යට හංගලා පන්තියෙන් එළියට ස්පෝටනය වෙලා. පුටුවෙ හිස්තැන මකන්න මමයි, ලක්ෂයි කරපු වැඩේ පිටි පස්සේ හිටපු එකෙක්ව ඉස්සරහට ආනයනය කළා.


කොහොම හරි හිස්තැන පුරවගෙන පාඩම කන්ටිනියු වෙනවා.


"කෝ තමුසෙලා දෙන්නා මැද වෙනදට ඉන්න එකා??" ඥානේට සීන් එක ක්ලික් විය.


"එයා අද ආවේ නැහැ සර්" වෙව්ලමින් වචන ගැලපීමු.


"ආ.. මිනිහගේ නම කියනවා බලන්න. මම රෙජිස්ටරේ චෙක් කරන්නම්" ආතල් කුඩුය. බඩයන්න බෙහෙත් බී කැලේ රිංගනවා හොදය.


"එයාගේ නම ----- සර්" කියන්නට බැරි වුණත් නොකියා බැරිය.


"ආ‍.. මේ තියෙන්නේ මිනිහා අදත් එළියට පැනලා. තමුසෙලා එනවද මාව තම්බන්න. අනික තමුසේ විෂය නායකයා නේද? වැරදි කරන එවුන්ව බේරන්න හදන්නේ??" කට උත්තර නැත.


"කෝ මිනිහගේ බඩු මල්ල. (අපේ කාලේ බෑග් එක වුණාට සර් ඉස්කෝලෙ යනකොට මල්ල වෙන්න ඇති) ඒක අරන් දානවා බැම්මෙන් එහා පැත්තේ කොරිඩෝවට"


කොහොම හරි ගිණියම් වෙච්ච ආතල් මැද්දේ පීරියඩ් එකයි, ඉස්කෝලෙයි දෙකම අහවර වෙන බව බෙල් එක වැදුනම ප්‍රකාශ වුණා.


අපේ එවුන් ගාථා කියලා යන්න සෙට් වෙනවා. ඒත් අවුලක්....


"අඩෝ මාර සීන් එක. ඥානේ යන්නේ නැහැ වගේ..."


"ඔව් මචෝ ගාථා කියලා අපි පන්තියෙන් යනකල්ම පොර ඉදී වගේ"


"මාර සීන් එක දැන් අරෑ පන්තියට ආවොත් මාට්ටු වෙනවා"


ගාථා කියන අස්සේ සීන‍් ගොඩකි. අපේ යාළුවා දැන් ආවොත් කෙල වේ. ඒත් බෑග් එක ගන්න පොර ආ යුතුය. එත් ගාථා කියා යන තුරු පොර මිසිංය.


"කෝ මිනිහා බෑග් එක නැතුවම ගෙදර ගිහින්ද? තමුසෙ එනවා ඔය මල්ල උස්සගෙන ඔෆීස් එකට. මිනිහා කවද හරි ඉස්කෝලෙ ආවහම එහෙට ඇවිත් මල්ල ගන්න කියනවා"


ඥානේ ඔෆීස් එකට යන පිටු පසින් අපේ විෂය නායකයාද පිටත් විය.


ඊට පස්සේ වෙච්ච සීන් එක අපිට ආරංචි වුනේ පහුවදාය....


පසුදින, උදෑසන


කස්ටිය ඉස්කෝලෙට රිපෝට් කරපු හැටියේ ඇහුවේ කථාවේ ඉතිරි ටිකය. මොගා ටෙලි නාට්‍යයක ඉතිරි කොටස බලන්න ඉන්නවා වගේ අපේ එවුන් ගෙදරදිත් කල්පනා කරන්නට ඇත. (ඒ කාලේ ‍වැ‍ඩිය මොබයිල් ෆෝන් නැහැනේ. ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට අත තියන්නෙත් නැහැ වැඩිය)


"බලපං මම බෑග් එක අරන් ඥානේ පිටි පස්සෙන් යනකොට අරෑ ඇවිත් බෑග් උදුරගෙන දිව්වා" ලක්ෂා සින් එක වාර්ථා කරයි. අපේ එවුන්ගෙන් අතුරු ප්‍රශ්න රැසකි.


"ඉතින් උබ මොකද කළේ??"


"මොනව කරන්නද බං. මං පස්සෙන් දුවන්නද? අපේ එකෙක් නේ. මම ඥානේගේ පස්සෙන් ඔෆීස් එකටම ගියා"


මං පස්සෙන් දුවන්නද? අපේ එකෙක් නේ.


"ඉතිං."


"ඉතිං කියන්නේ. මගෙන් ඇහුවා කෝ ඕයි බෑග් එක කියලා. මම කිව්වා අරන් දිව්වා කියලා"


"පට්ට සින් එක.. තොට ඥානේ මොකද කිව්වේ???"


"මගේ පතුරු ඇරියා බං, පොර මට බනින්න ගත්තා මම බෑග් එක කථා කරලා දීලා යැව්වා වගේ. අද පන්තියට ආවම මාව කයි.."


*** ඒත් එදා ඥානේ පීරියඩ් එක පටන් ගත්ත මොහොතේ සිට නොකඩවා ඉගැන්නුවා මිස සීන් එක ඇදලා ගත්තේ නැත. මොනව උනත් ඥානේට තමන්ගේ කොළු කාලේ මතක් වෙන්න ඇති. හිත හොද මනුස්සයා. ***


Written by sAm_12.31pm_07.11.'11


"හැමදාම වගේ ලයික් බට්න් එක පල්ලෙහා ඇති කොටලම යන්න"

Tuesday, September 20, 2011

භීෂණයේ අතුරු කතා (අගහරුවාදා) - Remaining 7days for parent's meeting

පන්ති ක‍වය ලබන සදුදාය. මොන ජඩ වැඩේ කළත් අපේ එවුන් හදන්නේ අහුනොවෙන්නට කිරීමටයි. වැරැද්ද වුණත් අහුවෙන්න කළොත් ගතියක් නැත. අහුවුනොත් ආතල් සියල්ල කුඩුය. ඒත් ගූහචාරය අපිට එතරම් සුභ නැත. අල්ලපු පන්තියේ වාතයක් ගියත් සද්දෙයි ගදයි දෙකම එන්නේ ‍අපේ පන්තියෙනි. අප එතරම් බ්ලැක් ලිස්ට් වී ඇත. අපි ඒ ගැන කම්පා නොවූවෙමු. ඉත සිතින් ආඩම්බර වුණෙමු. කුසුමේ හැමදාම උදේට පන්ති කවය සිහිකරයි. අපේ එවුන් ආරක්ෂාකාරී ලෙස දවස ගෙවීමට තීරණය කරයි. නමුත් කොහෙන් හෝ හෙණයක් පාත් වීමට ගතවන්නේ විසිල් එකක් ගහන පූමාදය පමණි.

සිකුරාදා සාලියට ටොෆිය සෙට් විය. සදුදා (ඊයේ) මටයි, නාමල්ටයි ටොෆිය සෙට්විණ. නාමල්ගේ ජනකවිය නිසා මම ගොඩය. නමුත් පන්තිකවයට පෙර අප තුන්දෙනා රන් අකු‍රෙන් ලියවී හමාරය. අපේ පිනාගේ ඔෆීසිය ලග හිටපු විදුහල්පතිවරුන්ගේ නම් කොටා ඇත. එලෙසම අපේ නම්ද කෙටෙනු ඇත. කස්‍ටිය කොහේ කොතැන හිටියත් ඥාණේගේ ගණන් ඇසීමට, කුසුමෙගේ කථා ඇසීමට පන්තියට අනි‍වා සෙට්වෙති. ඒ පන්තිකව භීතිය (parent's meeting phobia) නිසාය. අනෙක් ගුරුවරුන්ට එතරම් බයක් නොදක්වයි.

ඒත් විද්‍යාව කරන වින්ද්‍යා ටීචර් ගේ නම මගේ කේන්ද‍රයේත් ලියවී ඇත. ඇයට මනෝ, කූඹියා සහ මාව පෙන්වන්නට බැරිය. ආලෝකය පාඩම කළ දවස සිට අනිත් පාඩම් කරද්දීවත් අතුරු ප්‍රශ්න වලදි ඇය පිළිතුරු නොදේ. එදා දවසක් මනෝ ඇයගෙන් ඇසුවේ ටීචර් අනන්තය කොහේද තියෙන්නේ කියායි. ඇය කීවේ අනන්තය තියෙන්නේ ඉරේ (සූර්ය්‍යාගේ) කියාය. එකවරම මම ඇසුවේ ටීචර් සුර්යාට පෘතුවිය ඉදන් දුර කොච්චරද කියලා හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ අනන්තය තියෙන්නේ අපි දන්න දුරක්ද? එදා ඉදන් ඇය අප දිහා නොබලයි. ප්‍රශ්න නොඅසයි. අපිත් ජනාධිපති සමාව ලද සිරකරුවන් මෙන් සිටියෙමු. කිසි කරදරයක් නැත.

සිකුරාදා, සදුදා අපේ එකෙක් දෙන්නෙක් හෝ බිලිගත්තේය. අද එවන් අපලයක් නොවේවායි සිතමින් අපි උදේම පන්සිල් ගතිමු.

අගහරුවාදා - (අතුරු අන්තරාවක් නොවේවා)

කුසුම් පන්තියට ආවාය. වැරදි නැති දිනට ඇය සුන්දරය. අපේ ‍අයත් සතුටින් සිටිති. ඇය මේ සතියම මතුරන්නේ පන්තිකව මන්තරයයි. අපේ එවුන් මන්තරය ජප කරනවිට සැධුකාර දෙති. ඇය මොනව ‍හෝ කියා "නේද? ලමයි" කියා අසන විට, ඔලුව හොලවන්නේත් ශේප් වීමට මිස,  ඇය කියන්නේ ඇත්තම නිසා නොවේ.

"අපි අද හවස 2න් පස්සේ ඉදලා ඩෙස් පුටු paint කරමු. ලබන සතියේ පන්ති කවය නිසා හොදට තියෙන්න ඕනි. කවුද හවස ඉන්න පුලුවන් අය?" කුසුම් ඇසීය. 

එහා පැත්තේ සෙට් එකම අතු උස්සගෙනය. අපේ පැත්තේ කස්ටිය වටපිට බලයි. පන්තිකවය නොව පොලිස් හදුනාගැනීමේ පෙරට්ටුවකට දානවා කීවත් ‍අපේ අය තීන්ත ගෑම් වැනි කටුවැඩ නොකරයි.

"මොකද මේ පැත්ත සද්ද නැත්තේ?" කුසුම් ඇසීය.
සංජා (ඇන්ටී), ගයාන්(අංකල්), හරීන් (පුතා), {සංජා, ගයා, හරීන් තුන් දෙනාම එකට ඉන්න නිසා ලක්ෂා මේ තුන්කට්ටුව නම් කලේ පුංචි පවුල ලෙසය}, කොත්තා, ජයේ, අසංක, කූඹියා, වින්දන, සාලි, චේති, ලක්ෂා සහ මම සිටියේ පන්තියේ දොර පැත්තේය. මේ කි‍සිවෙකු කට්ටට බෙර නොගහති. එනිසා "මුළු මුහුදම හඩයි, අපි වෙරළේ නිසසලයි" කියමින් සද්ද වසා සිටියෙමු.

"නෑ ටීචර් අපි අත් ඉස්සුවේ නැත්තේ ඔය කට්ටිය ආවත් ඇති වෙයි ‍වැඩේ කරන්න" කූඹියා පන්තියම හැනැස්සවීය. නමුත් ටීචර්ට අවුල්ය. ඇය ගුරු සේවයේ 8 වසරක් පමණ අත්දැකීම් පූයෝජනයට ගත්තාය.

"හරි මෙයාලා අද හවස ඩෙස් පුටු පේන්ට් කරයි. ඔය පැත්තේ කට්ටිය වෙන දවසක බිත්ති පේන්ට් කරන්න"
කූඹියා විනාස විය. කතන්දර නැත. දවසක නෝනා කැමති පාට පන්තිය පුරා අතුල්ලන්නට අපට වැඩ සෙට් වී හමාරය.

"හොද ‍පේන්ටි බාස් කෙනෙක්ට, හොද පේන්ට් එකකුයි, බූෂ් එකකුයි හම්බුණාම තියෙන සතුට, බලන්න ගෑවෙන අපූරුව." ලක්ෂා සෙමෙන් මිමිණවේ කූඹියාට ඔරොප්පු වීමටය. වයසට ගියත් කෙල්ල වගේ ඉන්න කුසුම්ගේ කන් තියුණුය.

"ආ ඇත්තද ලක්ෂාන්? බලමුකෝ පන්ති කවයෙදී" කුසුම්ගේ සුපුරුදු මන්තරය සමග ලක්ෂා ඇදගෙන නෑවේය. වෙනදාට ලක්ෂා හිමින් කියන දේවල් පන්තියටම ඇහෙන්න කියන්නට ගොස් නා ගන්නේ කූඹියා හෝ වින්දනය. අද හොරා හිරේය.

Period හතරක් කිසිදු අතුරු අන්තරාවක් නැතිව ගෙවින. interval එකේ කස්ටිය පිට්ටනිය දිහා බලන්නේවත් නැත. ඉදහිට සෙල්ලම් කලත් ඉන්ටර්වල් එකේද කරන්නේ කාට හෝ ගින්නක් පත්තු කිරීමය. නැතිනම් සිදුවන්නේ කවුරුන් හෝ අවුලපු ගින්නක් නිවන්නට හෝ බලන්නට ගොස් ගින්නට අතක් පයක් හෝ පුච්චා ගැනීමය.

එදා තිබුණේ ""කොරිඩෝ පාරවල් (steps) සංදර්ශනයකි"". එහෙම ෂෝ එකකට section එකේ බහුතරයක් සහභාගි වෙති. සාහිත්‍ය සමිතියටවත් එවන් සෙනගක් අප දැක නැත සිටියත් සමිතිය අතරමැද විනාශය. සුදත්, චමල්, චේති දක්ෂ පාරවල්කරුවෝ අතර පිරිසකි. ෂෝ එක අහවර වන්නට කලින්ම ඉන්ටර්වල් එක අහවර විය. අපේ එවුන් එදා සිටම බෙල් එක ගනන් නොගනිති. ඉදහිට හෝ හරි වෙලාවට පන්තියට ගියේත් පිනා ගේ සද්දයක් ඇසුන දැනුන දාකය. බෙල් එක වැදුන නිසාත් අප පන්තියට නොගියේ ෂෝ එක අපේ පන්තිය අසලම තිබුණ නියාමය.

"මොන‍වද බං අපිට දැන් තියෙන්නේ?" මනෝ චේති ගෙන් ඇසීය. (මරු මිනිහාගෙන් ඇහුවේ)

"සංගීත නේද?" මම ඇසුවේ සාලිය දෙස බලමිනි. සංගීත සීන් එකට පසු සාලිය සදාතනික බයිට්ය. මුවින් නිකුත් වූයේ කුණුහරපයක් පමණි.

"ගණන් බං" උත්තර දුන්නේ කූඹියාය.

"අම්ම ගහයි ඕයි. ඥාණේ ඉන්නේ. යමු ඇතුලට" ‍මනෝ කීය

"අවුලක් නැහැ බං. පොර එනකොට පරක්කුවෙනවා. අනික පන්තියට රිංගන්න එච්චර වෙලා යන්නේ නැහැනේ" මම කීවෙමි.

"පිනා එනෝ..... " කිසවෙකු කෑගසමින් විත් එහා පන්තියට රිංගුවේය

ශිහාන්ගේ ෂෝ එකට ගල් ගැහුවා බදුවිය. ඇත්ත නැත්ත සෙවීම පසෙකලා සියල්ල ඒ මේ අත දිවූහ. අපි ද පන්තියට විස්ථාපන වීමු. කිසිවෙකු හා හූ නැත. සියල්ල නිහඩය, නිසලය. පිනාගේ හඩක්වත්, ගදක් වත් නැත. සුපුරුදු මුලාවකට අප හසුව ඇත.

එවර පන්තියට ආවේ පිනා නොව ඥානේය. සුපුරුදු ලෙස අත් දෙක එක්කර පෙන්වුවා පමණි. අප ආයුබෝවන් කියා හිදගතිමු. අප ‍එදා සිටියේ පළමු පේලියේය. පසුපෙල මැති ඇමතිවරු කිසි දින මුල් අසුන් වලට නොඑනා නිසා කුසුමේ ගේ උප්පරවැට්ටිය අනුව අපට හැමදාම පසුපෙල හිමිවූයේ නැත. දිනපතා හිදගන්නා පේලිය මාරු කල යුතුව තිබින. එනම් අද පසුපෙල අය හෙට ඊට ඉදිරි අසුන් පෙලට යා යුතුය. එලෙස සදාතනිකව පේලි මාරු වීම සිදුවිය. ඉදහිට හෝ අපි සතියට දෙවරක් අන්තිම පේලියේ සිටියේ චේතිය අපේ පේලියේ සිටි වාසනාව නිසාය. ඒ අනිත් එවුන් චේතිට ‍ගරුකරන නිසාය.

"ගෙද‍ර වැඩ කරපු පොත් අරන් පේලියට එනවා" ඥානේ ඇමතීය. පළමු පෙල සිටි අප නැගිට්‍ටෙමු. කෙලවර සිටි මනෝ නැගිට එලියට ගිය පසු, චේති නැගිට්ටේය. ලක්ෂා නැගිටින්නේ නැත. බෑගයට ඔලුව ඔබා මොනවද සොයයි. මමත් එලියට යාමට නොහැකිව ලක්ෂා නැගිටින තුරු සිටියෙමි.

"‍යකෝ ඥානේ කෑගහයි. යමු එලියට" මම කීමි

"පොත නැහැ බං" ලක්ෂා කීය.

"ඇයි යකෝ සෙට්එකම ගණන් ටික හැදුවේ උබේ පොත බලං නේද? උඹ කාටද අන්තිමට දුන්නේ?" කූඹියා පිටුපස සිට ඇසීය.

"චේති දුන්නට පස්සේ මම ඒක ‍ඩෙස්ක් එක උඩ තියලා ඉන්ටර්වල් ගියා බං" ලක්ෂා කීය. පොත නැති බව කීවත් ඥානේ විශ්වාස නොකරන බව හේ දනී. ඔහු අනිවා හිතන්නේ ගණන් නොහදා බොරු ගොතන බවය.

"කෝ තමුසෙලා දෙන්නා එන්නේ නැද්ද?" චේතිගේත් මනෝගේ පොත් බලා ඔලුව එසවූ ඥානේ ඇසීය.
මම ඩෙස් එක යටින් රිංගා එලියට පැමිණ පොත දික් කලෙමි

"කෝ තමුසෙ මොකද?"
"මගේ පොත නැහැ සර්, මම උදේ ගෙනාවා. ඒත් දැන් නැහැනේ" ලක්ෂා නැගිට පිලිතුරු දුනි.

"ඒකත් එහෙමද? උදේ ඇදගෙන ආපුවා තියෙනවද බලනවා, පොත හම්බෙනකන් ඔහොම හිටගෙන ඉන්නවා"

"පොඩ්ඩක් බලපං බං ඩෙස්ක් එකක් උඩවත් තියෙනවද කියලා" ලක්ෂා හිටගෙනම පොත හොයයි. 

නොසිතූ පරිදි ගණිතය විෂය නායකයාටත් පන්ති කවයට පෙර ටිකට් එක ඇදිනි. ලක්ෂා සිටගෙන සිටින අතර පන්තියේ සියල්ලම පාහේ පොත් පෙන්නවීය. නමුත් ලක්ෂාගේ පොත අතුරුදහන්ය. අපිත් පොත සෙව්වෙමු. ලක්ෂා සිටින්නේ මටත් චේතිටත් මැද පුටුවේය. එදා පලවෙනි පේලියේ සිටි නිසා අප සිටියේ දොර ලගමය. දෙරින් අත දැමූසැනින් ඩෙස්ක් එක උඩ ඇති ‍ඕනෑම දෙයක් ගත හැක. ඒත් ගණන් ලියන පොතක් ගෙන යන්නට තරම් අමාරුවක් ඇත්තෙක් සිටිය නොහැක.

ඥාණේ පොත් බලා අහවර විය. "කෝ තමුසෙගෙ පොත. තාම නැද්ද?"

"නැහැ සර්" ලක්ෂා පිළිතුරු දීය.

"තමුසෙත් මාව තම්බන්න හදනවද?" ඥාණේ ජාතිය ඇමතීම ඇරඹීය. අවසාන වන්නේ පන්තිකවය ගැන කීමෙන් බව අප දනිමු.

"නැහැ සර් මම අද ගෙනාවා. මට මතකයි" ලක්ෂා කියූ සැනින් කොරිඩෝව පැත්තේ බැම්ම උඩින් පොතක් පන්තිය තුලට විසිවිණ. ඒ ලක්ෂාගේ පොතයි. ඥානේ නැගිට කොරිඩෝ‍ව දෙසට දිවීය.

"ඒයි, ඒයි. තමුසෙ මෙහෙ එනවා..." මොහොතකින් ඥානේ පන්තියට ආවේ, කලිසම දනිස්ස ලගට අදින සුදත්ව එක අතකින් ඇදගෙනය.

"තමුසෙ මොන මගුලටද මේ කොල්‍ලගෙ පොත ගෙනිච්චේ??" සුදත්ව අත නොහැරම ඥානේ විමසීය.

"නැහැ සර් මම කියලා ගෙනි‍ච්චේ. මට ගණන් වගයක් බලාගන්න" සුදත් කීය.

"බොරු එපා අයිසෙ ඇත්ත කියලා බේරෙනවා. නැත්තම් මම ඔෆීස් එකට අරන් යනවා"
ඥානේ සුදත්ව බය කරයි. සියල්ලෝ නාටකය බලා සිටිති. මෙවන් සිදුවීම් කස්ටියටම ආතල්ය. කාට හෝ ගින්නක් දී බලා සිටීම තරම් සැපතක් කිසිවෙකුට නොතිබිණ.

"නැහැ සර්, ඉන්ටර්වල් එක ඉවරවෙලා මෙතනින් මම යනකොට කවුද කෑගැහුවා principle එනවා කියලා. බයවුණ පාර මම මේ දොරෙන් ඇතුලට අතදාලා පොත අරන් ගියා. එතකොට සර් අහුවොත් මට කියන්න තිබ්බා පොතක් ඉල්ලගන්න ආවා කියලා."


 බයවුණ පාර මම මේ දොරෙන් ඇතුලට අතදාලා පොත අරන් ගියා




"ඉතින් ඕයි ඕක උඩින් විසිකලේ ඇයි?"


"නැහැ සර් මම දැක්කා සර් පන්තියේ ඉන්නවා. ඇතුලට ඇවිත් දුන්නොත් කොහොමත් බැනුම්නේ"


"එහෙමද තමුසෙ එහෙනම් දැන් යනවා, ආයෙ මොහොකට හරි අහුවුනොත් අඩු කඩනවා" ඥාණේ ශිල්ප දැක්වීය. ඇත්තම කියනවා නම් ඥානේ අනිත් පන්තිවල කොල්ලන්ට (බයේ) සද්ද නොදමයි. අපිවම කයි.

"දැන් දෙපැත්තෙ එවුන් දෙන්නා නැගිටිනවා. කියනවා බලන්න ඉන්ටර්වල් එකේ මොකද වුණේ කියලා"
පාරවල් ෂෝ එක ගැන කිව නොහැක. ඇට නැති දිවට මා නැවෙන්නට ඉඩහලෙමි.

"අපි ඉන්ටර්වල් ඉවරවෙලා පන්තියේ ඇවිත් ඉදගෙන හිටියා" මම කීමි. චේතිද හිස සොලවයි.

"තමුසෙ කොහෙද හිටියේ??" ඥාණේ චේති දෙස හැරිණ.

"සර් මාත් හිටියේ පන්තියේ තමයි" චේති කීය.

"තමුසෙලා දැක්කේ නැද්ද අයිසේ මැද ඉන්න එකාගේ පොත උස්සගෙන යනවා. මේකගේ කලිසම ගලවං ගියත් තමුසෙලා දන්නේ නැදද? "

"නැහැ සර් අපි දැක්කේ නැහැ." චේති කීය. 
ඥානේ කැකිල්ලේ රජුන් බදුය. තර්ක විතර්ක වැඩක් නැත. ඔහුගේ තීරණය අවසාන තීරණයයි. සුදත් නිවැරදිය. දෙපැත්තේ සිටි අප වැරදිය.

"එහෙනම් දෙන්නම අතගාලා බලනවා ලග තියෙන්න ඕන ඒවා තියෙනවද කියලා" කැකිල්ලේ නිරින්දාගේ අවසන් වදන එය විය.

Written by sAm_1:42pm_19.09.'11


Sunday, September 18, 2011

භීෂණයේ අතුරු‍ කතා - සදුදා ( A week before the parent's meeting )

පන්ති කවයට දින 7ක් (අද සදුදා නම් පන්ති කවය ලබන සදුදාය) තිබියදී භීෂණයේ අතුරු කතා රුසක් සිදුවිය. එම දින පහ මෙසේ දිග හරිමි.

ඥාණේට අසුවූ පසු සාලිය සදාතනිකව නිහඩය (එය පන්ති කවය ඉවරවන තුරු පමණක් බව සියල්ල දන්නා රහසකි) ඔහු වරදට යොමු වූයේත්, ‍ඥාණේට අසුවූයේත් මගේ වරදින් බව ඔහු තවමත් ඉර හද දිවුරමින් පවසයි. (ඇත්ත එය වුණත් මා අදටත් එය විශ්වාස නෙකාරමි) මහ වරුසාවට පසුව නැගෙන සද වෙනදාටත් වැඩියෙන් එළිය බව ගැයුවේ සෝමතිලක ජයමහ ගායකයාය. එසේම සියලු භීෂණ කටයුතු අවසානයේ දැන් ඥාණේ වෙනදාටත් වැඩිය අපට ආ‍දරේය. අපේ එවුන් ර‍වටනු කාටත් නොහැක. ඥාණේ සද්ද නැත්තේ පන්ති කවය දවසේ ගේම අදින්නටය. අපි නිහඩව සි‍ටින්නේත් පන්ති කවය අහවර වන තුරුය

එම දින පහ මෙසේ දිග හරිමි...........

සදුදා

කුසුමි ටීචර්ට කවුරුත් ආදරේය. ඇය සිංහල ඉගැන්නූයේ අප‍ට පමණි (10-B) නමුත් පන්ති 8හිම කොල්ලෝ ඇයට ආදරේය. එතරම් ගුරුභක්තියක් මා කවදාවත් දැක නැත. ඇය විෂයෙහි දක්ෂ පියකරු ගුරුවරියකි. හැමදාම අපිට උදේම සිංහලය, ඒ පන්තිභාර කුසුමේ (ආදරේට කියන නම) සිංහල ගුරුවරිය වූ නිසාය. උ‍දෑසන පන්සිල් ගත් විගස සියල්ලෝම (ගුරුවරිය නැත්නමි, සමහරවිට සිටියත්) කොරිඩෝවට බසිති.
 මම, ලක්ෂා, චේති, වින්දන, කූඹියා, සාලි... ඇතුලු පන්තියේන භාගයක්ම එලියේය (සොරි අමතක වුණා සාලිය බැස‍්සේ නැහැ)

"අද කුසුමේ නැද්ද බං" කූඹියා ඇසුවේ කොරිඩෝවට බසින දොර ලගදීය.
"කවුද බං ද‍න්නේ?? ඔය එන වෙලාවක එයි"  සරුංගල් නිමල් (කූඹියා) කීය.

චේතිට ඉන්නම බැරිය, වචනයක් ඇසුණ සැනින්, ඒ වචනයෙන්ම සිංදුවක් පටන් ගනී. දොරට පොල්ලකින ගසයි. කස්ටියම වටවී සිංදුව විනාස කරයි. පන්තියේ ඇතුලේ නමි ලක්ෂා (සයිඩ්) බෑග් එක ගිටාර් එකක් ‍සේ හරහට දමා වාදනය කරයි.

"ආ කුසුමෙද??"
""ඈ නීල වරල පීරලා.. ඈ යන ගමන හැ‍ඩ වෙලා... (අහං අහං..) කුසුමි නටයි පවන් සල සලා....""
සාජ්ජය ඇරඹින... අපේ එවුන්ට දහ පාරක් ගැහුවත් එපා නොවන ගීයකි. සංගීත කාමරේ කට නොඇර සිංදු කියන එවුන් මහ හඩින් කියන පැයේ ජනප්‍රිය ගීයකි. (2006 පැයේ ජනප්‍රිය ගීය වුයේ ඉරෙන් හදෙන් එළිය අරන් ගීතයයි)

වැඩේ නැගලා යයි. අත්වැල් ගාය‍නයේත්, රසික පිරිසේත් අඩුවක් දැනින. වෙනසක් දැනුන නිසා මමද වටපිට බැලීමී. පඩිපෙල දිගේ සාරි පොටක් පෙනේ. අපේ එවුන් හාමුදුරුවෝ පන්තියට එන බව කියන්නේ බිත්තිය බැලීමෙනි. සිවුරේ එලිය බිත්තයට වැ‍ටුණු ගමන් බැරේ (හාමුදුරුවෝ) එන බව කවුරුත් දනිති. ඒත් සාරිය සමග සෙල්ලම් නොහැක. සාම්පූර් වලට ගහන්න කෆීර් නග්ගන සද්දෙට කොටි හැංගෙති. ඉතින් ‍සෞඛ්‍යයට හිතකර ලෙස මාද ඉවත් විනි.

චේති නවත්තන්නේ නැත. පටන් ගත්තොත් වැඩේ තනිවම හරි අහවර කරයි. එදා සිංහල පාඩම ඇරඹුනේ චේතිගෙනි. චේති කු‍සුමෙට අසු‍වුනේත් "කුසුම් නටයි පවන් සල සලා" කියනකොටය. ආරම්භය සුභ නැත. පන්තිකවය දවසට කෙලවේ. මේ ගෙවෙනනේ කස්ටිය කුසල් රැස් කරන, පිං අනුමෝදන් කරන කාලයයි. එදා සාලි, මෙදා චේති ඉවරය. කුසුම් පාඩම පටන් ගත්තේ "තමුසෙලා ආයෙත් මට අහුවෙන්න එපා" කියමිනි.

"හරි දැන් පොත් ගන්නවලා, බඹර කවි නේද පාඩම? එක්කෙනෙක් නාමල් නැගිටලා පලවෙනි කවිය කියවන්න" කුසුම් ටිකක් නිවී ඇත. නාමල් ඔලුව කසමින් වටපිට බලයි.
"මොකද කරන්නේ කියවනවා, මොකද පූශ්නේ???" කුසුමු රතුවිණි.
"ටීච්ර් මම පොත ගෙනාවේ නැහැ"  නාමල් සුපුරුදු ලෙස ඔලුව කසමින් සිනාසෙමින් කීය. (වෙරලු ආච්චීගේ දිවුල් හොරකම් කර අසුවු විට හැසිරුනෙත් මෙසේය. දන්නෝ සීන් එක දනිති)
"පොත් ගෙනපු නැති අය නැගිටිනවා, තමුසෙලට බුරුලක් දුන්නම ඇගේ නගින්න එනවා"

මමද රත් වීමි. වටපිට බැලීමි. පොත ගෙනාවා සේ සි‍ටිය නොහැක. පුරුෂ ධෛර්ය ගෙන නැගිටීමි. පොත් නැතිව හිටියේ මාත් නාමලුත් පමණි. කරන්න දෙයක් නැත. නාමල් දක්ෂ ලෙස මටද ටිකට් එක ඇද දුනි.

"ආ... තමුසෙත් දැන් පිස්සු කෙලිනවද?" කට උත්තර නැතිව මා සිනාසුනෙමි. කරන්ට දෙයක් නැත. මගේත් ඔරලෝසුව හොද නැතිව ඇත. පන්ති කවයට මාත් අහවරය.
"හිනා වෙන්න එපා, දෙන්නම කොරිඩෝවට ගිහින් දණ ගහනවා. පීරියඩ් එක ඉවරවෙලා එනවා"

පිහිට වෙලා බේරගන්න අපේ ජාමය, පිං අරගත් දෙවියන්වත් උන්නේ නැහැ ලග...
කුසුමේ දරුණු වී ඇත. කරන්න දෙයක් නැත. දෙදෙනාම දණ ගැසුවෙමු. කියන්න පුලුවන් හැම විදියකටම නාමල්ට මම ඇමතීමි. වැඩක් නැත. නාමල් මට පූජාව සෙට්කර හමාරය. පිං අනුමෝදම් කර වැඩක් නැත.

"අවුලක් නැහැ බං, පළවෙන් පීරියඩ් එකනේ, පිනා එන්නෙත් නැහැ මේ වෙලාවේ. අනික කෙල්ලෝ මුල් පී‍රියඩ් එකේ එලියට බහින්නෙත් නැහැ" නාමල් මා අස්වසන්නේ මා අනුමොදං කළ පිං සැර වැඩි බැවිනි.
"අවුලක් නැහැ කාගෙන ඉමු. මොනව කරන්නද?" කී මම හිත හදාගතිමි. දෙන්නා දෙපැත්ත බලා (දොස්තර හොද හිත කාටූනයේ නැවේ දෙපැත්ත බලං උඩ ඉන්න ඔලුදෙකේ බල්ලා සේ) සිටියෙමු.

"මචං කැත සීන් එක" නාමල් කෙදිරි ගායි.
"ඒ ගමන මොකද? මෝල් නැතිව හිටු. තව කවන්නද හදන්නේ?" මට මල දෙපිටින් යයි.
"නැහැ යකෝ මට බනින්න එපා. අන්න පිනාද කොහෙද ඈත එනවා" නාමල් අඩන්න බලාගෙන කතා කරයි.
"මගුලයි ඉතින් දැන් බිම බලං හිටපිය, තෝ තමයි ඔක්කෝටම මුල"

ටොකොස්...ටොකොස්... ගාමින් පිනා ඇදේ. අපි බිංකුණ්ඩන් හාරන නොදරුවෝ සේ බිම බලා සිටීමු. උදේ පාන්දර වැඩනැති පිනාට වැඩක් සෙට්වේ. කමක් නැහැ නිකන් ඉන්න එකානේ. අනික කුසුම්ගේ කේස් වලට මෙ‍යා කැත නැතිව බහිනවා.

"තමුසෙලා දෙන්න මොක‍ද මේ??" දිව්‍ය‍ය ලෝකයෙන් ආ සුදු හැදගත් සුර දූතයා අප අමතයි.
"අපි සිංහල පොත් ගෙනෙල්ලා නැතිව එළියට දම්මා සර්" අපායේ සිටි නාමල් උත්තර දුනි.
"තමුසෙලා ඇයි ගෙනාවේ නැත්තේ??" සුපුරුදු මෝඩ පූශ්නය ඇසිණ.
"අමතක වුණා සර්" සුපුරුදු උගත් පිළිතුර මම දීමී.
"මම දන්නවා අයිසේ, බලනවා තමුසෙලා යට ඒවත් අමතක කරලද කියලා....*&^%$$@"

"චී කැතයි සර්..." අපි එහෙම කියන්න ගියේ නැත. කිව්වානම් ආතල්ය

"තමුසෙලාගේ අද පාඩම මොකක්ද??" පිනා හිනි වී ඇසීය. අපටත් ලේ ඉනීය.
"බඹර කවි සර්" මම කීවෙමි. නාමල් පාඩමේ නම තියා අද දිනය ඇසුවත් දන්නේ නැත.
"එහෙනම් තමුසෙ නැගිටලා ජන කවියක් කියනවා"නැගිට්ටනවනම් එකට දහයක් කියන්නම් සර්. මම නැගිටීමී. පහත් ස්වරයෙන්, 6/8 ටෙම්පො එකෙන් නාමල්ටත් ආස හිතෙන්න, නාමල් තියන ජනකවිය කීමි...

ඔන්න මලේ ඔය නාමල නෙළා වරෙන්...
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්...
කැලණි ග‍ෙඟ් ඔරු යනවා බලා වරෙන්...
සාදුකාර දී ඔරුවක නැගී වරෙන්...

පිනා සතුටින් පිනා ගියේය.
"හොදයි, තමුසෙ පන්තියට යනවා. ටීචර්ට කියනවා මම තමුසෙට සමාව දුන්න කියලා" පිනා කුසුම් ඉදිරියේ වැඩ්ඩා වීමට කැමතිය. අපි ගලා යන ගගෙන් දිය දෝතක් ගත්තාට පව් නැත. මාත් බව්වා සේ හිස වනා පන්තියට රිංගුවෙමි. කුසුම්ට කිට්ටුව සිද්ධිය පහදා හිද ගත්තේ දෙවන ලෝක යුද්ධය අහවර කර ආ සෙබලෙකු සේය. පන්තියම කොරය. නාමල් නැත.

"මොකද වුණේ? උඹ කොහොමද බං ඇතුලට ආවේ?" ලක්ෂා හොදටම කොරව මගෙන් ඇසීය
"කුසුම් කවුද බං මාව එලියට දාන්න. මම කනට කරලා සද්දයක් දාලා ඇතුලට ආවා" ලක්ෂාට තේරුම් කිරීමට කල් මදිය. මම පොර ටෝකක් දැම්මෙමි. පාඩමට සෙට් වුණෙමි.

මම ඇතුලට ඇවිත් විනාඩි 15ක් ගෙවෙන්නට ඇත. නාමල් නැත. ඔය නාමල නෙලා වරෙන් කීවේද මම ඔහුටය. මේකා ගගටවත් වැටුනද? මේ යකාට ජන කවි nonstop එකක් කියන්න කීවද? මට පූශ්න වැලකි. මට කෙලෙව්වත් මාත් එක්ක එකට දණගහපු එකාට වෙච්ච දේ මම සිතුවෙමි.

පිනා, නාමල් සමගම කෑගසමින් පන්තියට ආවේය. කස්ටිය හා... හූ.. නැත. කුසුමේ මිලින වූ පරිදිය. ඇයට නැගිට විණි.
"ඇයි සර්??"
"බලන්න ටීචර්, කලින් එකා ජනකවිය කියලා මාරු වුණා. මූ ජනකවියක් කියන්න කීවම ඒකම කීවා" පිනා කීය.
"ඒකම කිව්වත්. ඉතින් කමක් නැහැනේ සර්." කුසුම් මොනව උනත් දැන් නාමල් සුරකී.
"කමක් නැත්තේ කොහෙද?? මූට ඒකවත් හරියට කියන් බැරි වුණානේ, ටීචර්ම අහගන්න මුගේ කවිය. තමුසෙ ඔක්කොටම ඇහෙන්න කියනවා දැන්..."


ඔන්න මලේ ඔය නාමල නෙළා වරෙන්...
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්...
කැලණි ග‍ෙඟ් ඔරු යනවා බලා වරෙන්...
සාදුකාර දී ඔරුවක නැගී වරෙන්... 

ඔරුවේ පැද්දි පැද්දි යනවා සේ, නාමල් වෙව්ල වෙව්ල කිවේය.
"වැරැද්දක් නැහැනේ සර්, හරියට කීවේ" කුසුම්ට හිනාය. අපේ එවුන්ට හිනා වෙන්නට බැරිව සිරව සිටී
"ඈ යකෝ දැන තෝ එළියේදි කිවේ ‍ඔහොම නෙවේ නේ? එළියේ කියපු විදිහට කියපිය.." පිනා චොර විය. නාමල්ට එලියේ පද වැරදී ඇත. දැන් ඔහු නිවැරදිව කියයි. නමුත් වැරද්ද පෙන්විය යුතුය. නාමල් මිලිනව ඇත.


නාමල්ට එලියේ පද වැරදී ඇත. දැන් ඔහු නිවැරදිව කියයි.



ඔන්න මලේ ඔය නාමල නෙළා වරෙන්...
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්...
කැලණි ග‍ෙඟ් ඔරු යනවා බලා වරෙන්...
ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ...

නාමල් පිනාගේ සිත තුටින් පිරවීය...



Written by sAm_9.53pm_18.09.'11


Saturday, September 17, 2011

ගණිතය සහ සංගීතය (Maths Vs Music) - 2002


2002 වසර සිට 2006 වසර දක්වා පාසලේ සිදුවූ සත්‍ය‍ය, රසවත් සිදුවීම් එකින් එක පෙල ගසන්නට මට හිතුනා. කස්ටිය මෙනවද හිතන්නේ කියලා comment 1ක් දාන්න. නම් ගම් මනඃ කල්පිත කරන්න ගියේ නැහැ. මතක හැටියට කට්ටියගේ කතන්දර එකතු කරන්නම්. මට අමතක වුණ රසවත් සීන් තියෙනව නම් මතක් කලොත් වැඩේ නැගලා යයි.


2002 වසර, ස්ථානය 10-B පන්තිය





"මචං ඊලග period එක මොනවද තියෙන්නේ? සංගීත නේද?"


සංගීත කාමරයට යාමට පොත රෝල් කරගෙන, පෑන සාක්කුවට ඔබා ගනිමින් සාලිය ඇසීය. ඒ විෂයට ඇති ඇල්ම, කැක්කුම නිසාම නොවේ. සංගීත teacher ලස්සනය. සුදු හීන්දෑරි ඇය සාරිය හැදගත් විට අපූරැය. කොල්ලන්ගේ ගුරැ භක්ති වඩවන හැකියාව සතු ඇය විෂයට කොල්ලන්ගේ ඇති ආශාව වැඩිකරවයි. bell එක ගහන්නත් කලින් පන්තියෙන් සංගීත කාමරයට පැනගන්නේ ඒ නිසාමය.


මම කාලසටහන බැලීමි. ඇත්තටම ඊලගට තියෙන්නේ ගණන්, ඇල්බට් අයින්ස්ටයින් වැනි කොණ්ඩය ඇති ඥාණපාල සර් පන්තියට කඩා පනින‍්නේ ඊලගටයි. බලන බලන හැම තැනම කටිටිය ගෙදර දී හදන්න දුන්න ගණන් copy, paste කරයි. සාලියට වගක් නැත. සාලිට ඇත්තේ සංගිත ගුරැ භක්තියයි. මට එය විනාශ කල නොහැක.


"ඔව් මචං සංගීත තමයි"


"එල එහෙනම් අපි කැපුණා, දැන උබලගෙ චිත්‍ර කරැමේ පාත්වෙයි. අපි ගියෝ...."


කොරිඩෝවේ සිටි චේති, ලක්ෂා, මනෝ, රොෂේන් ඇතුළු set එකම පන්තියට එකවර විස්ථාපනය විය.


"ඥා‍ෙණ් එනෝ.." සියල්ල නිසලවුයේ තප්පරයකිනි.


"ආයුබෝවන්" කීවේ පන්තියේ සියල්ල පමණි. ඥා‍ණේ කවදාවත් ආයුබොවන් නොකියයි. ඔහු අත් දෙක එකතු කර පෙන්වනවා පමණි.


"මොනවද අපි ඊයේ කළේ??"


ගෙදර වැඩ ඥාණේට අමතක වේවා යයි සියලුදෙනා කන්නලව් කරන්නට විය. එය සදාතනික යැදීමකි. හැම සදුදාම ගොවිසෙත දිනුම් අදිනවා බදුය. දිනුමක් නැත. එහෙත් අදී.


"ආ.. සර් ගණන් වගයක් හදන්න දුන්නා" කොත්තා සුපුරැදු ලෙස ඉදිරියට පැන්නේය.


"එහෙනම් තමුසෙලා පොත් මාරැ කරගෙන හරි වැරදි බලනවලා, මම බෝඩ් ‍එකේ ගණන් ටික හදන්නම්"


සෙට් එකටම කවදාවත් නොඇදෙන ටිකට් එක අද ඇදිනි. පොත් මාරැකර බැලීම සරලය. එදාට ගණන් හදපු එකාගේත් හදපු නැති එකාගේත් වෙනසක් නැත. කරන්න තියෙන්නේ හැදුවා සේ උත්තරය ආපසු ඔලුව වැනිම පමණි.


"කෝ චෝක් නැද්ද?" ඥාණේ විමසීය.


"මෙයා ඉතින් හැමදාම දාන්නේ කෝ චෝක්නේ" කූඹියාගේ (අමිල) කට යාන්තමට ඇරිණී.


ඉදිරිපස පේලියෙන් චෝක් කැබලි කීපයක් මේසය මත තැබිණ. ඒවාත් එහෙන් මෙහෙන් අහුලාගත් ඒවාය. කොල්ලෝ කෙල්ලන්ට ගැසූ, එහෙන් මෙහෙන් අහුලා ගත් ඒවාය. ඥාණේ චෝක් කැබැල්ල සහ අච්චුපොත ගෙන කළුලෑල්ල වෙත හැරින. කොනකින් පටන්ගෙන බෝඩ් එක පුරා ලිවීම ඔහුගේ සිරිතයි. මකන්නට කම්මැලි ඔහු එම රාජකාරිය ඉදිරිපෙලට පවරයි.


"කෝ මේපැත්ත ලියවෙන්නේ නැහැනේ" බෝඩ්‍එකේ කෙලවරින් ලිවීමට 
නොහැකි වූ ඥාණේ කෑගැසීය. සියල්ල නිහඩය.


"අයිසේ මැද්දෙන් ලිවුවත් ලියවේන්නේ නැහැ" කියමිනි අනිත් කෙලවරත් ලිවිය හැකිදැයි හේ බැලීය.


"තමුසෙලා බෝ‍ඩ් එකේ පොල්තෙල් ගෑවා නේද? ඇත්ත කියනවා, මේකේ කොහෙ ලිවුවත් ලියවෙන්නේ නැහැ. තමුසෙලා මම එන නිසා මේකේ පොල්තෙල් ගාලා" ඥාණේ යක්ෂාරෑඩව කෑගසයි.


ඥාණේගේ හැටි හොදින් දන්නා සියල්ලෝම නිහ‍ඩය, ඔලුවක් වත් නොසෙල්වේ.


"කවුද බං ඕව කරන්නේ? අපි කළානම් අපි දන්නවනේ, අනික පිට එවුන් ඇවිත් මේකෙ තෙල් ගාවද?"
වැලමිට මේසය මත තබා, අතින් කට වසා, වින්දන පැවසීය. කරන්නට දෙයක් නැත. ඥාණේට මල පැන අවසානය. දැන් හෙල්ලුනත්, කාටහරි වාතයක් ගියත් පොර බනිනවා නියතය. සද්ද නැතිව හිදීම ඥාණවන්තය. සියල්ලෝම නිහඩය. ඇත්ම සිද්ධිය නම් කි‍සිවෙකු තෙල් ගෑවේ නැත. චෝක් කෑලි පරණය. කොහෙ ලිව්වත් ලියන්න බැරිය. ඥාණේට ඒවා වැඩක් නැත. එනිසා මුනිවත හොදය.


"තමුසෙලාගේ පන්ති කවය ලබන සතියේ තියෙනවනේ. මම කුසුම්රාණි ටිචර්ට තමුසෙලා ගැන කියනවා. දැන් මම උත්තර ටික කියනවා, හරි වරදි ලකුණු කරගන්නවා"


පොත පිටුපස උත්තර එකින් එක කියවන්නට ඥාණේ පටන් ගත්තේය. ඔහුටත් හොද පල්ලමය. නැත්තම් එකින් එක බෝඩ් එකේ ලි‍විය යුතුය.


"සර්..." මන්ද්‍ර ස්වරයෙන් පන්තියේ දොර ලගට ආ සාලිය ඥාණේ ඇමතීය.


"තමුසෙ‍ කොහෙද හිටියේ" උච්ච ස්වරයෙන් ඥාණේ ඇසීය. ඔහුගේ මල දෙපිටින් යයි.


"ඇයි සර් දැන් සර් දැන් සංගීත නේද?" සාලිය මා දෙසත්, සර් දෙසත් වරින් වර බැලීය.


ඇයි සර් දැන් සර් දැන් සංගීත නේද?
"තමුසෙට කාලසටහනක් නැද්ද ඹියි. සංගීතෙට ගියා නම් මෙච්චර වෙලා මොකද කලේ? ටීචර්වත් කිව්වේ නැද්ද සංගීත නෙවේ කියලා"


"නැහැ සර් මම යනකොට සංගීත room එක වහලා. ඉතිං මම office එකට ගිහින් check කලා. teacher අද off"


"තමුසෙට මාර ඇල්මක්නේ තියෙන්නේ, හොද හිතින් ගිහින් ඇතුලෙන් ඉද ගන්නවා"


සාලිය සතියක් උපසම්පදා වූ භික්ෂුවක් මෙන් කීකරැව හැසිරැනේ පන්ති කවය ලග නිසා වරද වසා ගැනීමටය.


-මතුසම්බන්ධයි
(ඊලග දවසේ පන්ති කවය බලමු)
Related Posts Plugin for WordPress, Blogger...