Followers

Friday, March 22, 2019

විල්පත්තුව සරලව


පොඩි එකා හිටවනවා,
මහ එකා කපනවා..

- බඩුඊර්ඩීන්'ස් ලෝ !!


Pic - sAm

Friday, March 15, 2019

අංකල්ට නැති එක - What Uncle left behind !


කලකට ඉහතදී සෑමා වෛද්‍යවරයෙකු හමුවන්නට ගිය මොහොතක වූ අපූරු සිදුවීමක් මෙසේය. රෝගියෙකු තම කුටියේ සිටියදීම වෛද්‍යවරයා සෑමාට ඇතුලට කතා කළේ කාර්ය බහුලත්වය නිසා ඉක්මනින් තම කටයුතු අහවර කර ගැනීමට විය හැකිය. වෛද්‍යවරයා හා රෝගියා අතර දෙබසට කන් නොවැටෙන්නට සෑමා අවට ඇති පෝස්ටර් බලමින් කල් යැවීමට පටන් ගත්තේය. නමුත් ඒ දෙබසින් සෑමාගේ දෙසවන් ඉවත් කිරීමට අපහසු විය. එය ඒ තරමට අපූරු දෙබසක් වීය.

මහළු රෝගියා වෛද්‍යතුමා පෞද්ගලිකව හඳුනන අයෙකු විය හැකිය. එය ඔවුන්ගේ දෙබසින් පැහැදිලි විය. සාමාන්‍යයෙන් පෞද්ගලිකව හඳුනන් වෛද්‍යවරයෙක් ලඟට ගිය විට පටන් ගන්නේ පවුලේ විස්තර වලින් නිසා ඔවුන්ගේ හැඳුනුම් කම ගැන සෑමාට යම් අදහසක් ඇති වීය. මහළු රෝගියා තමන්ගේ දරුවන් එතෙර අධ්‍යාපනය ලබන බව පුරසාරම් දොඩන්නට වූයේ වෛද්‍යවරයාගේ මුහුණට සිනහවක් එක් කරමින්ය.

ඩොක්ටර් උදේම හොස්පිට්ල් යනව නේද?

හවසට ප්‍රයිවට් ප්‍රැක්ටිස් නේද?

අම්මෝ මහන්සියි නේද? අපේ දරුවන්ට නම් එහෙම නැහැ. එයාලා රට ඉදන් හොඳට හම්බ කරනවා. එහෙ මේ තරම් මහන්සි වෙන්න දෙයක් නැහැ. ඇයි ඩොක්ටර් යන්නෙ නැත්තෙ? මෙහෙ කට්ට කනවට වැඩිය එහෙ ගියා නම් මරු නේ ??



අංකල් ගේ වචන ටික නිසා සෑමාට සංවාදයෙන් පිටට කන් යොමු කරන්නට බැරි විය. වෛද්‍යවරයා දුන්නේ සරල එක උත්තරයක් පමණක්ය.

"යන්න බැරිකමක් නැහැ. මට මෙහෙ මගෙ දෙමව්පියෝ බලා ගන්න තියෙනවා. නංගිගෙ දරුවො මගෙ දරුවෝ මාව දැක්කාම හරි සතුටින් ඉන්නෙ. මට ඒ ටික වටිනවා."

දරුවන් රට රස්සාවට යවා ගෙදර තනිව සිට තනිවම වීල් එකක නැඟී බෙහෙත් ගන්නට පැමිණ වෛද්‍යවරයාට බෙහෙත් දෙන්නට ගිය අහිංසක මහළු රෝගියාගේ මුහුණ මැලි විය. තමන් ලඟ නැති වුණත් දරුවන් ඔහු පිළිබඳව සොයා බලනවා විය හැකිය. එහෙත් ඔහුගෙන් ඉවත්ව ගිය උණුසුම පුරවන්නට ඒ මුදල් වලට බැරි බව ඔහු තේරුම් ගන්නට ඇත.

මිනිස්සුන් තමන්ට නැති දේ ගැන නොතකා අනුන්ට නැති දේ ගැන කතා නොකරන්නේ නම් හිත් රිදවීම් බොහෝ අඩුවනු නිසැකය.

#sAmsRi_15/03/19




Thursday, March 14, 2019

ගුරු වර්ජන - Teacher's Strike !!


ගුරු වර්ජන අස්සේ කියවන්නට ලැබුනේ සුන්දරයි සුනන්දා හෙවත් රෝජාගේ පෝස්ට් එකක්ය. ඇය කියන්නේ..

"ගුරුවරු සේවය කරන්නෙ පැය කිහිපයකැයි මම නොකියන්නේ එය පැය කිහිපයකට සීමා නොවන බව අප කවුරුත් දන්නා නිසා වුවද? මෙය ඒක පාර්ශවීය වරදක් නොව ද්වීපාර්ශවීය වරදැකැයි මට සිතෙන නිසා මෙලෙස සටහන් කරමි. දිගින් දිගටම පිරිහෙන සමාජයක ගුරුවරු දුවා දරුවන් පමණක් නොව ඔබද මාද ඇතැම්විට වරදකරුවන් වී හමාරය." (පෝස්ට් එක මෙතැනින්)

ගුරුවරුන් පිළිබඳ සෑමා සතු වූ සුන්දර මතක අසුන්දර වූයේ උසස් පෙළ කාලයේය. ඒවා ගැන කෙටි බ්ලොග් සටහන් බොහොමයක් බ්ලොග් එකේ ලියැවී ඇත්තේ අමිහිරි සුන්දර මතකයන් ලෙසය. ගුරුවරුන්ගේ ඇතැම් දුර්ජන ක්‍රියා හේතුවෙන් ගුරු සංහතියම එපාවන බව නම් කිව යුතුය.



සෑමාට උසස් පෙළ ගණිත සර්ව එපා වූයේ ඔහු කළ අසාධාරණ පළිගැනීමක් නිසාය. එදා මා ඇතුළු පන්තියේ බොහෝ දෙනෙක් ගෙදර වැඩ කරගෙන ඇවිත් නොතිබුණු බව සත්‍යයක්ය. එහෙත් කලින් දිනක පන්තියේ සිසුවෙකු වෙනුවන් සාධාරණය කතා කරන්නට ගිය ඇරියස් එක සර්ගේ හිතේ තිබුණු බව සෑමාට සිහි වූයේ මේ සිද්ධියෙන් පසුය. පන්තියේ ඉතිරි හතලිස් දෙනා සිටියදී සර් ඉදිරියට කැඳවා සෑමාගේ පමණක් ගෙදර වැඩ කළා දැයි පොත පරීක්ෂා කළේය. ඔහු හොඳින් දැන සිටි කරුණ නම් අනිත් අයද ගෙදර වැඩ කරගෙන නොසිටි බවය. සෑමා වැඩ කරගෙන ඇවිත් නැති බව කියමින් පොත විසික් කර පන්තියෙන් එළියට දමා සර් තමන්ට අවශ්‍ය පලිය ගත් බව කිව යුතුය. පන්තියේ අනිත් සිසු සිසුවියන්ටද ඒ බව පසක් වූ බව සැබෑය. තමුන්ගේ තාත්තාත් ගුරුවරයෙක් නේද තමුසෙ දන්නැද්ද ගුරු වරුන්ට සලකන්නන යැයි ඔහුගේ මුවින් පිට වූයේ කළ වරද ගැන පමණක් නොව හිතේ තිබූ තරහවද පිටකරමින්ය. කාලපරිච්ඡේදය අවසන් වන තුරු එළියේ සිටි සෑමා එදායින් පසු ඒ ගුරුතුමා ගැන කිසිම පිළිගැනීමක් හෝ සතුටු සිතක් නොවීය.

රෝජා කියූ පරිදිම ගුරු සේවය උගන්වන කාල සීමාවට පමණක් නොව ජීවිත කාලයටම බලපාන් බව මම උගත්තේ අපේ තාත්තාගෙන්ය. ඔහු උත්සව අවස්ථාවකට ගියත් සැර බීමක් කටේ තිබ්බේ කලාතුරකින්ය. ඒ ගත්තත් බෙහෝ අල්ප වශයෙන්ය. ඒ සියල්ලටම හේතුව වූයේ උගන්වන කාලසීමාවට පමණක් නොව ජීවිත කාලයම ගුරු වරයෙකු ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටිය යුතු නිසාය. දිනක් සෑමා වෙඩිමකට ගොස් අඩියක් ගසනා විට ඈත සිට අංකල් කෙනෙක් ඇසුවේ ආ.. මේ සර් ගේ පුතා නේද කියාය. එතැනින්ම සෑමාට හිතුනේ සර් වගේම දරුවන්ද ගුරුවරයෙකුගේ දරුවෙක් යන හැඟීමෙන් කටයුතු කළ යුතු බව සමාජය බලාපොරොත්තු වන බවය.

ගුරු ගෞරවය සෑමාගෙන් නොපිරිහෙලා උදුරා ගත් උසස් පෙළ ගුරුවරුන් නිසාම ගුරු වර්ජනය ගැන සෑමාට ඇත්තේ අප්පිරියාවක් ලෙස සටහන් කළ යුතුය. අද ලෙඩ නිවාඩු දමා වැඩට නොගිය ගුරුවරු අපි මහන්සි වෙන්නේ දරුවන් හදන්න යැයි හෙට පාසැල් ගොස් කටපුරා කියන්නේ කෙසේදැයි සෑමාට නම් ප්‍රශ්නයක්ය. ප්‍රසිද්ධ පාසලකට ඔළුව දමාගෙන ටියුෂන් පිටින් ගොඩ යන බුරුතු සිටිනා බහුතරයක් ගුරු කුලකයෙන්, සැබෑවටම සුජාත ගුරුන් පැතීම ඉදිරියටත් නොකළ යුතු බව සෑමාගේ අදහසය.

#sAmsRi_14/03/19_11:59pm

Monday, March 11, 2019

ඇඟිල්ලේ වැඩේ පෝලිම් දමා කිරීම - Finger works in the Queue !!


ලියන්නට යන්නේ කැත හිත් වලට ලස්සන කවි කැටගිරියේ එක්ක නොවුනාට ස්මාර්ට් ෆෝන් එකෙන් දහසක් කැටයම් දමනා උන්ට දරා ගන්නට බැරි වෙනු නිසැකය. අපේ උන් ෆෝන් එකේ ඇප් භාවිත කළ ප්‍රමාණ මැන බැලුවහොත් සමාජ ජාලා ඇප්ස් ඉහළම තිබෙනු නිසැකය. ෆේස් බුක්, යූටියුබ් ඇරුණු කොට වට්ස් ඇප්, වයිබර් ඉහළම රැදෙනවා නිසැකය. ඉස්සර නම් sms එකකින් කළ එව්වා දැන් ඇප්ස් ගොඩකින් කිරීම පහසුය. ඒත් ඇප් ප්‍රමුඛතා ලිස්ට් එක ඉහත ආකාරයෙන් සමාජ මාධ්‍යය ජාලාම නම් ඔබ ඊටත් එහාට ගොස් තවත් වැඩකට ඇති ඇප් එකකට යොමුවී වෙනසක් සිද්ධ කරගන්නවා නම් එය වටිනා බව කිව යුතුය.

"මචං මැසේජ් එකක් දැම්මා"

ඉස්සර මෙහෙම එකෙක් කෝල් කළාම කෙලින්ම SMS ඉන්බොක්ස් එක බැලීම පමණක් ප්‍රමාණවත්ය. දැන් එහෙම නෙවේය. මුලින්ම මැසෙන්ජර්, වට්ස්ඇප්, වයිබර්, ඉමෝ සහ වීචැට් පවා බැලිය යුතුය. එහෙමත් නැතිනම් අවසන ඇස්ඇම්ඇස් ඉන්බොක්ස් එක ද පරීක්ෂා කළ යුතුය. එහෙමත් නැතිනම් ජීමේල් එකට ලොග් වී එවූ මැසේජ් එක සොයා ගත යුතුය. දැන් මෙවලම් බහුලය. ආකාර බොහෝය.

කොච්චර තාක්ෂණය තිබුණත් අපේ උන් හිතන්නේ ඉන්ටර්නෙට් යනු ෆේස් බුක් කියාය. බොහෝ මහළු අය පවා ඉන්ටර්නෙට් කිව්වාම හිරි වැටී යන්නේ අම්මෝ ෆේස් බුක් කියන්නේ මහ විනාසයක්ය, ඉන්ටර්නෙට් යනු ඒ වගේම විනාසයක් කියාය. ඒ තත්වය බොහෝ විට සත්‍යය වන්නේ බෙහෝ අය ලැප්ටොප් එකක් පවා ඔන් කළ විගස බ්‍රවුසර් එකේ මුලින්ම ඕපන් කරන්නේ ෆේස් බුක් වීම නිසාය. නිකමට වෙනම ටැබ් එකක පවා බුකිය ඕපන් වී තිබීම දැන් සරල කාරණාවක්ය.

සමාජ ජාලා භාවිතය ප්‍රශ්නයක් නොවන්නේ කාලය ගත කිරීමට තනිව මඟ බලා සිටීමට සිදුවන වෙලාවක් කල් මැරීමේ හොදම මෙවලමක් ලෙස භාවිත කළ හැකි නිසාය. අවභාවිතාව ගැන වෙනම ලිවිය යුතු මාතෘකාවක්ය. එලෙසම තාක්ෂණය ඇඟිලි තුඩක තිබියදී කාලය බල්ලාට දමා පෝලිමේ සිටින උන් දැක්කාම සෑමාට නඟින්නේ ඌරු ජුවල්ය. බෙහෝ වෙලාවට තැපැල් කන්තෝරු, විදුලි බල මණ්ඩල, ජලාපවාහන මණ්ඩල සහ බැංකු වල පෝලිම් වල ඉන්න අය දැක්කාම සෑමාට හිතෙන්නේ අනේ ඇයි මුං මෙහෙම කියාය. අතේ ෆෝන් කෑල්ලක් තියාගෙන ඒකට කොට කොට පෝලිම් වල දුක් විදින්නේ බිල් ගෙවීමට නම් ඔබ දෙවරක් සිතිය යුතුය. පෝලිමේ නොසිට විදුලි හා ජල බිල්පත් ගෙවීම දුරකතනයෙන්ම කළ හැකි බව සියල්ලෝම දන්නා නමුදු භාවිතාව ඉතා අල්පය. 



හදිසියකට ෆෝන් බිල් ගෙවීමට සුපර් මාකට් වල පෝලිම් වල තපින අය, වෙනත් බිල් ගෙවීමට පවා සුපර් මාකට් පෝලිමේ තපින අය පව් ය. එයාලා ස්මාර්ට් ෆෝන් අතේ තබාගෙන සිටින්නේ සමාජ ජාලා වල සිරවී පෝලිම් අස්සේ සිරවී සිටින්නට විය යුතුය. ඩයලොග් මොබිටෙල් ආදී ඕනෑම බිලක් ඔවුන්ගේ වෙබ් අඩවි වලින් කාඩ් මඟින් ගෙවිය හැකිය. නැති නම් ඔබේ බැංකුවට අදාල ඇප් මඟින් අමතර ගෙවීමක් නැතිව එවලේම පහසුවෙන් කර ගත හැකි බව දැන ගත යුතුය.

ඇඟිල්ලේ වැඩේ පෝලිම් දමා කර ගත යුතු නැති බවට ඔබ දැන ගත යුතුය. එය භාවිත කළ යුතුය. ඔන්ලයින් සියළු දේ කර ගත හැකි රටක බැංකු කටයුතු, මූල්‍යය කටයුතු ඉතා පහසුවෙන් කර ගත හැකි ඇප් සහ ඒවායේ එන නොයෙකුත් අලෙවි ප්‍රවර්ධන සහනයන් පවා ලබා ගැනීමට ඔබ තවමත් ප්‍රමාද නැති බව සිහි කළ යුතුය.

#sAmsRi_11/03/19

Thursday, March 7, 2019

ඔය සද්ද මෙයාලට දරාගන්න බැහැ මල්ලී..


හික්කඩුවේ මඟුලක් සෙට්වී අපි කොළඹින් පිටත් වූයේ වෙඩිමට යාමටත් වඩා ට්‍රිපක් යාමට ලැබීමේ මහත් සතුටින්ය. එදා වෙඩිම අවසන හෝටලයේ ගේට්ටුව ලඟදීම ඇඳුම් උනා දමා ෂෝටට බැස්සේ මුහුදක් නොදුටු නුවර උන් වගේය. පැය ගාණක් ඇල්කොහොල් ලවන සමඟ දිය කොට ගොඩට ආවේ රාත්‍රී හතට පමණය. ගෙදර යෑමට අවශ්‍යය යැයි අපේ උන්ට සිතුනේ එවිටය. සියල්ලෝම වෑන් එකට නැග්ගේ ඉස්සෙල්ලාම කඩෙන් ප්ලේන්ටියක් ගසා මොනවා හො ගිල නැවත පිටත් වීමටය.

හෙමින් කතා කළත් දහයකගේ හඬ ඇති දෙදෙනෙක් අපේ නඩයේ සිටියෝය. අපි ඔවුන්ට කිසිදාක මචං සද්දේ අඩුවෙන් කතා කරපං යැයි නොකියන්නේ වැඩක් නැති නිසාය. උන්ගේ සද්දය අඩු කිරීමට උත්සාහ නොගන්න අපි උන්ට කියන්නේ මචං පොඩ්ඩක් කට වහගෙන හිටපං කියාය. කට වැසුවොත් මිසක් කටහඬ අඩු කර කතා කරන්නට නම් උන් දෙන්නාට නොහැකිය. පොඩ්ඩක් සද්දය අඩුවෙන් කතා කරපං කිව්වොත් මුල් වචනය හෝ දෙක පමණක් අඩුවෙන් කතා කර නැවත සුපුරුදු විලාසයට ඒම උන් උපතින් ගෙනා දෙයක් විය හැකිය. ඉතිං එව්වා හැදීමට අපිට නොහැකිය.



පොඩි කඩයකට ගොස් අප දස දෙනාම වාඩි වූයේ කෑමට සහ ප්ලේන්ටි ගැසීමටය. අරුන් දෙන්නා කඩේ වාඩි වූ වෙලාවේ සිටම නොනවත්වා කියවිල්ලය. බිත්තර ආප්ප ඉල්ලීම්, ප්ලේන් ආප්ප ඉල්ලීම්, ලුණු මිරිස් ඉල්ලීම් ඒ අතරය. නොනැවතී කඩේ ඇති බෝඩ් ලෑලි පවා කියවමින් ඇතුලේ සිටි අනිත් මිනිසුන් පවා අපහසුතාවයට පත් කිරීමට උන් සමත් වීය. කඩේ පොඩි නිසා දෝංකාරය වැඩිය. උන් දෙන්නා කියවන විට එය තවත් ඩබල්ය. කඩේ ඇතුලට ගොඩවන විට ඇතුලේ පාසැල් වැඩ කරමින් සිටි පොඩි කොල්ලෙක් සියල්ල පසෙක තබා කුස්සියට දිව්වේ අපේ උන් දෙන්නාගේ සද්දය නිසාය. කඩේ අක්කාට ඌරු ජුවල්ය.

"මල්ලී ඔය දෙන්නෑ සද්දෙ නවත්වනවද? අපෙ දරුවන්ට ඔව්වා දරා ගන්න බැහැ"

උන් දෙන්නාගේ සද්දය මැකී යද්දි කඩේම හිටිය සුවහසක් ජනතාව වහලය ගැලවෙන්න සිනාසුනේ අක්කාට ආඩම්බරයක් එක් කරමින්ය. කොල්ලාද නැවත මේසයට පැමිණ පාසැල් වැඩ පටන් ගත්තේය.

සියල්ල අවසන අක්කා බිල හැදුවාය. කෑවාට වඩා බිල වැඩි බව අප සැමට තේරුණු නිසා නැවත කාපු බීපුවා කියමින් ගණන් හැදුවේ අපේ උන් දෙන්නාය. උන්ට අක්කා සමඟ තිබුණේ සල්ලි නොගෙවා එන තරම් ඇරියස් එකක් බව කිව යුතුය.

අවසන අක්කා සියල්ල ගණන් බලා කලින් කියූ මුළු එකතුවට වඩා රුපියල් පන්සියයකට වඩා අඩු එකතුවක් කිව්වාය. අපේ උන් දෙන්නට අක්කා එල්ලා මැරීමට වරෙන්තු දුන්නා මෙන් සතුටුය.

"අක්කෙ මේ ඔයා හිතුමතේට හොර ගණන් කියන්න එපා.. අපෙ උන්ට ඔව්වා දරා ගන්න බැහැ.."

කෑගහන්නට එපා මල්ලී යැයි කියූ තැන සිට කතා නොකර සිටි ඇරියස් එක කවර් කරන්නට අපේ උන් දෙන්නාට හැකි විය. එදා සිට උන් කෑගසන හැම මොහොතකම කඩේ අක්කා මොහොතකට සිහි කළොත් සද්දට මදක් අඩු කර ගත හැකිය.

#sAmsRi_11:57pm/06/03/19

Monday, March 4, 2019

කෙටිම කෙටි හිඟන කතාවක් - A Beggar's Tiny Tale !!




සුපර් මාකට් එකක රථය ගාල් කර ඇතුලට යද්දී හිඟන මනුස්සයෙක් ඉදිරියට ආවේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

"මෙන්න පනහක්..."

ඇතුලේ වැඩකටයුතු නිමා කරමින් එළියට ආවේ ගෙදර යන්නය. ඩෑල් එක නැවතත් ආවේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

"ඇයි දැන් පනහක් දුන්නේ.."

ඩෑල් එක මාරුය. හැමදාම වගේ කිසි ප්‍රමිතියක් නැතිව, කලින් සල්ලි දුන් උන්ගේ අත්සනක් වත් දා ගන්නේ නැතුව පස්සෙන් එලවා නියමාකාරයෙන් නොකරන මේ රස්සාවට බනින එක දැන් කම්මැලිය.

වාහනයට නැග්ගා විතරයි තව කෝල් එකක්ය. එක්කෝ බඩු ලිස්ට් එක වැඩි කර එවන එකක් විය හැකි යැයි එතැනම ආන්සර් කළේ සෑමාය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

ඒ හඬ නැවත ඇසුනේ ෆෝන් එකෙන් නොවන බව පැහැදිලිය. බාගෙට ඇරී ඇති ෂටර් එකෙන් නැවතත් ඩයල් එක පැමිණ තිබුණේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

සෑමාට මරු ජුවල් අස්සේ ආතල් එකක් ගියේය.

"ඇයි හලෝ ඔයාට පනහක් දීගෙන ඇතුලට ගියේ ඒකෙන් ගන්නවකෝ.."

"හරි සර්.. හාල් කිලෝ එක හරි පොල් ගෙඩියක්...!!"

"ඔව් ඕයි ඒ පොල් ගෙඩියට තමා රුපියල් පනහක් දුන්නේ"

ඩෑල් එක මිසින්ය. කෝල් එක අවසන ගේට් එකෙන් එළියට එන්නට හැරෙන විට වාහනයට පැන්නේ නැවතත් ඔහුමය. ඔහුගේ කට සෙලවෙන අයුරු මට පැහැදිලිය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

ගෙදර පැමිණ ටීවී බලන අතර සෑමාට බකස් ගා හිනා ගියේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

කතාව උපහාසයට මිස අපහාසයට නොවුනත්,
හිඟා කෑමත් කලාවක්ය.
මාකටින් නැතුව කිසිත් බැරිය.

#sAmsRi_04/03/19
Related Posts Plugin for WordPress, Blogger...