පෙරදා පිපුණු හිරු මල දුටුවේ නැත මා
කළු වූ වලා අතරින් එළියක් වැටුණා
හිරිපොද වැස්ස නැඟුනා හිරිගඬු පුම්බා
හිරු හැංඟිලා අඳුරින් දවසම පිරුණා
සීතල වතුර කැට එක්කොට සිරුර දොවා
තෙත් වූ නිල ඇඳුම අතගෙන දිගහැරලා
පොල් කටු ඉස්කිරිම තබලා පිරිමැද්දා
තෙත් බව දුරලන්න ඒ රස්නෙට බැරුවා
සිත් නැති වැස්ස පාසල් ගමනට බාධා
රත් කර ඇඳුම් වේලා ගන්නට බැරුවා
තෙත් බව නොවේ නිසි කළ ගත් විට සෝදා
මෙත් සිත් බිඳී අම්මා හට දොස් නැඟුණා
නැඟ බැස කන්ද පාසල් ගමනේ යෙදිලා
එන්නේ සවස හොදටම විඩා වෙලා
අම්මා කළ යුතුය මගෙ වැඩ සොයා බලා
තෙත් වූ ඇඳුම් ඈ මත වරදක් කෙරුවා
නෙසතුටු සිතින් සීතල සුසුමක් සලලා
අම්මා දෙපා නොවැඳම එළියට බැහැලා
දොරටුව අසල සිටි අම්මා දෙස නොබලා
පාසල් යන්න ආවා එළියට බැහැලා
සත්තයි බරයි වෙනදට වැඩියෙන් අඩිය
උස්සා තබන්නට බැරි තරමට වෙහෙස
ඇත්තයි දනිමි වෙහෙසන බැව් ඔබ සසර
මොහොතයි තරහ නිවසට විත් යාළු වෙමි
පාසල් ගොසින් පොත් පත් පෙරලා බැලුවා
යෙහෙලියො අතර නොගැටී නිසලව සිටියා
උණුසුම දැනෙන තැන ඒ උණුසුම වින්දා
තෙත් වූ සීත ඇඳුමෙන් සැඟවී සිටියා
චිරි චිරි වැස්ස දවසම නිවනක් නැත්තේ
පොත පත වැඩට සිතුවිලි බාධා මත්තේ
අබලන් ගෙදර අම්මා තනිවම ඇත්තේ
පාසල අතර දිව යයි සිත ගේ පැත්තේ
සුළඟින් වැස්ස දරුණුව වැඩි වී දැනුනා
ලෝකය කඩා වැටෙනා බව සිත් කිව්වා
කඳු වැටි නාය ගොස් බව ඇතමුන් කිව්වා
කලබල මැද්දෙ දෙපයින් හැම තැන දිව්වා
නිවස නොපෙනෙනා මානේ සිට බැලුව
කිසිවක් නොපෙනුනේ විදිහට මා සිතුව
පස් කඳු පමණි දිස් වුණි පොළොවේ මතුව
දියවී ගොසින් වෑහෙන කදුලැලි ඇතිව
පුපුරා දැවෙයි හදවත කදුලැලි නිම්මා
හිත් නැති අහස නිවසක් අතුරා දැම්මා
උන් තැන නොමැත මාගේ පිම්බර අම්මා
පතනෙමි අමා සුව බුදු සරණයි සම්මා
sAm_ශ්‍රී_Perera_7:02am_30/10/14