Showing posts with label අනේ මන්දා. Show all posts
Showing posts with label අනේ මන්දා. Show all posts

Friday, July 2, 2021

ත්‍රීවීල් අයියා - Three wheel brother !!

හදිස්සියට පාරක් අහ ගන්නට ඉස්සර ඉදන් අපිට උදව් කළේ ත්‍රීවීල් අයියලාය. ඕනෙම වෙලාවක වීල් පාක් එකකට ගියොත් උදව්වක් ගන්නට පුලුවන් බව කිව යුතු මනාය. පාරක් අහන්නට, බාර් එකක් අහන්නට, ඕනිම ගමක අප්ඩේට් එකක්, ගොසිප් එකක් සෙනික අප්ඩේට් වෙන්නේ වීල් පාක් එකටය. ගමේ කෙනෙක් වීල් එකේ යන ගමන් කරන්නේ අර පුටු පුටු සද්දෙ අස්සේ වීල් එකෙ අයියාව කේලමකින්, දේශපාලනයෙන් හෝ තර්ක සාස්ත්‍රයෙන් අප්ඩේට් කිරීමය. ඉන්පසු සියලු ගොසිප් හෝ දැනුම හෝ පාක් එකේ සාමාජිකයන් සෙට් එක අතරේ සංකලනය වී අපූරුම නිවුස් රැසක් සොයාගැනීම් හෝ නිපැයුම් රැසක් සමාජයට එකතු වන්නේ ඇසුරු සැනින් ය.

ගමේ එකා පිට එකා වෙන් කර හදුනා ගැනීමට ඔවුන්ට හැකි ය. ගමට පිටින් ආ එකා, ගමෙන් පිට පැන්න එකා ඔවුන් ගේ දත්ත ගබඩාවේ සටහන්‍ ය. අහිම්සක එකී, අහවල් එකී සහ වල් එකී ඔවුන්ගේ මෙමරියේ අප්ඩේට් ය. එහෙව් තත්වයක් තිබියදී ශ්‍රී ලංකා පොලිසියට ත්‍රීවීල් 2000ක් ගෙන්වන්නේ රාජානුග්‍රහයෙන් ය.

ඉතිං වීල් එක්ක ගණුදෙනු දැන් සුපරික්ෂාකාරී විය යුතුය. වෙනදාට ඕනෑම ගමක බැස මල් කෑල්ලක් සොයන්නට වීල් එකකින් අසන්නට කිසිවෙකු නොපැකිලෙන බව කවුරුත් දන්නා සත්‍යයක් ය. දැන් එහෙම කරන්නට පෙර දෙවරක් සිතිය යුතුය. එවැනි සෑම දෙයක්ම දැන් හරිම රිස්කිය. එලෙසම වීල් සෙට් එකක් බැස අපි පොලිසියෙන් කිව්වොත් අනේ නෑ ඔයාලා පොලිසියේ නෙවේ කියන්නටද බැරිය. කෝකටත් ආරක්ෂාවට පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම නුවනට හුරුය. පොලිස් හා සාමාන්‍ය ත්‍රීවීල් වෙන්කර හඳුනාගන්නා තුරු අපිට සමා කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිය යුතුය.




⚠️️සෙනික u ටර්න් ගසන වීල් වලට නොබනින්න.


⚠️️වීල් එකකට අත දමන්නට පෙර දෙවරක් හිතන්න.


⚠️️අඩියක් ගසා වෙරි මතේ වීල් වලට නොනගින්න.


⚠️️සිග්නල් නොදමා හරවන හෝ වමට සිග්නල් දමා දකුණට කරකවන වීල් වලට නොබනින්න.


⚠️සියලු ️වීල් වලට ගරු කරන්න.


⚠️️ෆෝන් එක කනේ තියන්නට පෙර දෙපස වීල් තිබේදැයි බලන්න.


⚠️️අධික වේගයෙන් වීල් පසුකර නොයන්න.


⚠️️සැම විටම වීල් වලට ප්‍රමුඛතාවය ලබා දෙන්න.


තත්වය එසේ තිබියදී වෙන්කර හදුනා ගැනීමට පහත ත්‍රීවීල් වැකි හෙවත් වීල් ටැග්ස් සමාජගත කරමි. ඔබේ එව්වාද පහළින් කොටන් යන්න.


කැළණිය බෝඩරේ

අතහිත ඕඅයිසී ගෙන්

මාංජු සාක්කුවේ - චන්ඩි දැන් බෝක්කුවේ

ආවා සොයා ආදරේ

ඉංග්ලිශ් අකුරු තුනේ ලොක්කා

පොලිසිය නෑ ආතල් දන්නේ

විකසිත ආදර ප්‍රාර්ථනා 

ඉන්ස්පෙක්ටර් ලකී


Written_by_sAm_sRi_8:00am_02.07.2021

Monday, April 8, 2019

අවුරුදු නැද්ද ?




අම්මෝ ඒ කාලෙනෙ අවුරුදු. දැන් නම් මොන අවුරුදු ද? හැම අවුරුද්දේම හැම අයම කියන්නේ එහෙමය. ඉස්සර ඔන්චිල්ලාය. හැමෝම ගෙදරය. කැවුම් කොකිස් මුං අළුවා බදින සුවඳය. කොහා ගස් උඩය. පංච ක්‍රීඩාය. ඔලිඳ කෙලිය ය. රබන් සුරල්ය. එදා ආතල් ය. මෙදා නැතිය.

අවුරුදු කිව්වාම දැන් ඉන්නා හැමෝම කියන්නේ එහෙමය. අපේ මිනිස්සු දකින දේට වඩා ලැබෙන දේවල් වලට වඩා හිතන්නේ කියන්නේ නොලැබෙන දේවල් ගැනය. අවුරුදු නැත්තං කිරිබත්ගොඩ, මහරගම පසු කරන්න මෙච්චර වෙලාවක් ගත වෙන්නේ ඇයි දැයි ප්‍රශ්න කරන්නට කෙනෙක් නැති එක ගැන සිතිය යුතුය. ඉස්සර වගේම අලුත් අවුරුද්දට අලුත් ඇඳුමක් ගන්නට පොඳිකන්නේ අවුරුදු නැති නිසාදැයි ඇසි යුතුය.

අවුරුදු ඇත. එහෙත් අපිට මඟ හැරී හෝ අමතක කර දමා ඇත.

ඉස්සර අවුරුදු මෙන් පොඩි උන්ට ඔන්චිල්ලා බඳින්නට ගසකට නඟින්නට කෙනෙක් දැන් නැත. එක්කෝ ඔන්චිල්ලා පදින්නට තරම් හයිය අතු සහිත ගස් සොයන්න නැත. එහෙමත් නැති නම් ගස් තිබ්බාට ඔන්චිල්ලා බඳින්නට වෙලාවක් වැඩිහිටියන්ට නැත. අවුරුදු පොඩි උන්ට නැති කළේ එතැන සිටය. පංච බෝඩ් එකක් සොයා දෙන්නට කෙනෙක් නැත. කියා දෙන්නට ආච්චිලා සීයලාද නැත. එව්වා එකතු කරගෙන නිවාඩුව ගත කරන්නේ නම් අවුරුද්ද ඉස්සර වගේම ජුන්ඩක් ලැබෙනවා නිසැකය.

ගෙදර කැවුම් කොකිස් මුං අලුවා හදන්නට බැරි නම් එව්වා කඩෙන් ගන්නට හරි ඔබට බැරි නැත. කැවිලි සහිත මේසය සාදා ඉස්සර අවුරුද්ද දකින්නට ඔබට බැරි නැත. රබන් සුරල් නම් අද කරන්නට බැරි දෙයක්ය. කොහා සොයා ගන්නට බැරිය. එදාට හොඳ චැනල් එකක් ටියුන් කළා නම් ඒවාද එකතු කර ගන්නට බැරි නැත.

ඒ සියල්ල පැත්තකට දමා ඉස්සර අවුරුද්ද මෙන් හැමෝම එකට සිටින, නෑකම් යන, හෝ මහ ගෙදරට එකතු වෙන අවුරුද්ද විඳින්නට ඉඩක් දවසක් වෙන් කර ගන්නේ නම් ඉහත කිසිත් නැතුවාට ඔබට අවුරුදු දැනෙනු ඇත.

අනේ දැන් නම් ඉස්සර අවුරුදු නැහැ කියමින් සිටිනවාට වඩා. ඉස්සර අවුරුදු අද හෙට හෝ හැමදාටම මවා ගැනීම ඇත්තේ අප අතේ මිස කාගේත් අතේ නොවන්නේය.

sAmsRi 08/04/19 10:56pm

Wednesday, April 3, 2019

අයියාගෙ රස්සාව... - Aiya's Job !!


ගමේ උන්ට ඕනේ නැති දෙයක් නැත. පාර අයිනේ නිවස ඇති නිසා පාරේ යන උන්ට සියල්ල පෙනේ. වාහනය හෝදන අතර පාරේ යන ඩෑල් එකක් සෙට් වුනොත් "අහ් මේක හෝදනවා ඉවරයක් නැහැනේ" යැයි කියයි. ආයේ දවසක ඒ පුද්ගලයාම සෙට් වුනොත් "අයියෝ දූවිල්ල නේ.. මේක හෝදන්නේ නැද්ද" යැයි අසයි. පනිට්ටුව, ප්‍රෙෂර් ගන් එක දී හෝදපං කියා කනට දෙන්නට සිතෙන්නේ එවිටය.

ප්‍රෙෂර් ගන් එක කිව්වාම තවත් කතාවක් මතක් විය. ගන් එකක් සල්ලි දීලා ගත්තේ සර්විස් සෙන්ටර් වලට පන්සීය බැගින් පුදන්නට බැරි නිසාය. පන්සියය බැගින් විසි වතාවක් සේදුවොත් දසදහසක ගන් එකක් ගත හැකි නිසා පහසු ගෙවීමේ ක්‍රමයට සෑමා ගන් එකක් ගත්තේය. සෑම සති අන්තයකම ප්‍රෙෂර් ගන් එකෙන් වාහනය හේදීම සෑමාගේ සිරිතය. සර්විස් සෙන්ටර් එකට වැකියුම් කරන්න පුදන මුදලත් ඉතිරි වන්නේ අර අටමා අටවා දුන් රුපියල් 1000ට ගත් වැකියුම් ක්ලීනර් එක තවමත් වැඩ නිසාය. එය වෙළඳපොළ මිල තවමත් රුපියල් 15000ක් පමණය. ඉතිං ඔය සති අන්ත සමහරක සෑමා ප්‍රෙෂර් ගන් එක එළියට ගන්නට කම්මැලි කම නිසා ටැප් එකට හෝස් එක පමණක් ගසා කම්මැලි සේදිල්ලක් සෝදන්නේය. එහෙම හෝදන වෙලාවක දවසක් ආපු ඩෑල් එකක් කිව්වේ අපෝ තියෙන පෙරේතකම සර්විස් එකට දාලා හෝදන්නකෝ කියාය. එවිට සෑමා කිව්වේ ඔව් අප්පා වියදමක් නේ ඒ නිසා අතින් සෝදනවා කියාය. ගන් එක ගැන ඉන්ට්‍රොඩියුස් කරනවාට වඩා ඌව පිටත් කර හෝදන කාර්යය ඉක්මන් කර ගත හැකිය. පසු දාක ගන් එකෙන් සෝදන වෙලාවක ඒ ඩෑල් එකම පැමිණියේය. "ආ අලුතින් ගන් එකක් ගත්තාද? මේක නම් වටිනවා" කියූ විට සෑමා කියුවේ අර එදා ඔයා පෙරේතකම් නොකර සර්විස් සෙන්ටර් එකට යන්න කියපු දවසෙත් මේක තිබ්බා කියාය. මෑන්ස් මිසින්ය.

මෑත දිනයකදී මැෂින් එකෙන් වාහනය සෝදන වෙලාවක කඩේට ආවේ සෑමා පාසැල් සමයේ සිට දන්නා ලස්සන නංගි කෙනෙක්ය. ස්කූල් වෑන් එකේ ගියත් සෑමාව නොදන්නා ගානට ආ නිසා සෑමා ගණනකට නොගත්තේය. කඩේට ගොස් ඇය අම්මා සමඟ චැටක් දමා පත්තරයක්ද රැගෙන ආපසු යද්දී 

"ආ..ඔයා දන්නවද මේ නංගිව?" කියා ඇසුවාය.

"මොකද මම නොදන්නෙ? මෙයානෙ මාව නොදන්නෙ"

"අපෝ නැහැ අයියෙ. අම්මා කිව්වාම මට මතක් උනෙ"

"ඔව් ඔයා අපෙ ස්කූල් වෑන් එකෙනෙ ගියෙ"

"ඔව් ඔව් සරත් අංකල්ගෙ එකෙ.."

"ඔයාගෙ යාලුවා බෝධිනී නේ??"

"අන්න හරි.."

"හෙලේනා එකට නේ ගියෙ??"

"අම්මො ඔයාට ඔක්කොම මතකනේ.."

"අපො අපිට කෙල්ලො ගැන අමතක වෙනවද?"

"මම අයියෙ බැන්දෙ කෑගල්ලෙන්. ටුවින්ස් ලා ඉන්නෙ. දෙන්නම අයියගෙ පුතාගෙ වයස"

"අනෙ හොඳයි නෙ.."

"අයියා මොකද දැන් කරන්නෙ? ඔයාද මේ ගරාජ් එක කරන්නෙ??"

"කොයි??"

"මේ වාහන ගොඩක් ගහල තියෙන්නෙ.. අහ් සෙරි සර්විස් සෙන්ටර් එකක් නේද??"

කඩයට ආ වාහන කිහිපයක් සහ සෑමා සෝදන වාහනය පෙන්වා ඇය සෑමාට ජොබ් එකක් දුන්නාය.

"ඔව් නංගී වාහනයක් හෝදගෙන ෂේප් එකේ ඉන්නවා.."

"අනෙ අයියෙ බබාලා නිසා මමත් ජොබ් එක අතෑරියා. දැන් ගෙදර ඉදන් හරි කරන්න මොනවා හරි දෙයක් බලනවා."

කියමින් ඇය සෑමාට නම්බරය දී පිටත්ව ගියාය.

sAmsRi_04/03/19_11:18pm

Monday, April 1, 2019

වෘත්තීය ලෙඩ - Occupational Diseases !!


වෘත්තීය ලෙඩ වර්ග දෙකකි. එකක් මානසික සහ අනෙක කායික ලෙඩය. මානසික ලෙඩ ගොඩක් ඇත්තේ ලොක්කන්ටය. කොන්ද නමාගෙන පහළ උන් සිටීම දැකීම, අනිත් උන්ට බැරි වී තමන්ට පුලුවන් වීම, උන්ට කඩේ යනු දැකීමට කැමති වීම, උන් නිතර හරි යැයි අනිත් උන් පිළිගත යුතු බව වැනි මානසික ලෙඩ බහුතරයක් ඇත්තේ ලොක්කන්ටය. පොඩ්ඩන්ට ඇත්තේ කායික ලෙඩය. මානසික ලෙඩ ඇත් සොක්කන්ද නැතුවා නොවේය. උන්ටත් තමන් අනිත් උන්ට වඩා ලොකු යැයි සිතා එන සමහරක් මානසික ලෙඩත් සහිතය. උන් සොක්කෝය. එහෙත් පොඩි අපි වගේ උන්ට මානසික වෘත්තීය ලෙඩ වලට වඩා ඇත්තේ කායික වෘත්තීය ලෙඩය. සෑමාට ඇති අත්දැකීම් අනුව තමන් නිරත වෙන වෘත්තිය අනුව විවිධ ලෙඩ ඇති විය හැකි බව කිව යුතුය. ඒ අතර නිතර තමන් සිටින ඉරියව්ව බලපාන්නේය. වැඩි වේලාවක් සිටගෙන සිටීම හෝ ඉඳගෙන සිටීම අනුව විවිධ වෘත්තිය රෝග ඇති විය හැකිය.



කාලයක් සෑමා මර්චන්ඩයිසින් රස්සාවක් කළේය. ඒ කාලයේ සිටියේ මීයා අල්ලගෙනමය. ලැප් නැති කම්පියුටර් තිබුණ කාලයේ මීයා අල්ලන් සිටිය නිසා සෑමාගේ දකුණු අතේ මැණික් කටුව යටි පැත්තේ රිදිල්ලක් ඇති විය. පුංචි ගෙඩියක් මට්ටමට එතැන ඉස්සී මහා රිදිල්ලක් බවට පත්වන්නට ගියේ සුළු කාලයක්ය. දොස්තරලා ලඟට නොගොස් ඉරියව්ව වෙනස් කිරීමෙන් එය යලි නිවැරදි කරගන්නට සෑමාට හැකි විය. කළේ සුළු ප්‍රතිකර්මයක් පමණක්ය. මවුස් පෑඩ් එකක් මත මීයා තබා පෑඩි එකේ ස්පොන්ජ් ගැට්ටක් මත මැණික් කටුව තබා ගැනීමෙන් වේදනාව මාසයක් පමණ යද්දී නැති වී ගියේය.

පසු කාලෙක ඒ වගේම කොන්දේ අමාරුවක් ඇති වී සෑමා මහ දුකක් වින්දේය. නැමෙන්නට බැරිය. කෙලින් වෙන්නට බැරිය. බොහෝ අය කිව්වේ මෙට්ටයේ හෝ කොට්ටයේ අවුලක් කියාය. දොස්තරලා බෙහෙත් දුන්නේ වේදනාව සමනය වීමට මිසක ලෙඩේට නෙවේය. බොහෝ විට කෙන්දෙ අමාරුවට බෙහෙත් ගන්නා අයට සිද්ධ වෙන්නේ වේදනා නාෂක ගැසීම මිස ලෙඩේට බෙහෙත් සොයා ගැනීම නොවේය. සෑමා නිදහසේ කල්පනා කර බලා කොන්දේ අමාරුවට හේතුව සොයා ගත්තේය. වාහනේ ඩ්‍රැයිවින් සීට් එකේ හේත්තු වෙන කොටස තිබූ ආකාර වෙනස් කර සතියක් පමණ යද්දී වේදනාව සෙමින් අඩුවෙනු සෑමාට තේරුම් ගියේය. අපිට ඇති වෙන බොහෝ කෙන්දේ අමාරු වලට හේතුව අපේම වැරදි ඉරියව් බව අමුතුවෙන් කිව යුතු නැත. එව්වාට බෙහෙත් හොයනවාට වඩා ඉරියව් වෙනස් කිරීමෙන් වේදනාව හෝ රෝගය පහ කර ගත හැකිය.

මේ බ්ලොග් ලිපිය ලිවිමට පවා හේතු වූයේ මෑතකදී ඇති වූ වේදනාවක්ය. සෑමාගේ දකුණ අතේ මහපට ඇඟිල්ලේ මහා වේදනාවක් එන්නට ගත්තේ මාසයකට පමණ ඉහතදී සිටය. ඇඟිල්ල නොමිලේ ගැස්සෙන හෙල්ලෙන ගතියක්ද තිබූ නිසා මගේ අම්මෝ ස්නායු කේස් එකක් යැයි සෑමාටද සිතුනේය. එහෙත් දින කීපයක් ඇතුලත ලෙඩේ සොයා ගන්නට සහ වේදනාව අඩු කරගන්නට සෑමා සමත් වූයේය. මහපට ඇඟිල්ලෙන් බට්න් එකක් පවා ඔබන්නට බැරි තත්වයට ආවේ වේදනාවේ උපරිමයේදීය. ෆෝන් එක අත් දෙක මත තබාගෙන මහපට ඇඟිලි දෙකින් දිඟු කාලයක් භාවිතා කිරීමේදී මේ අමාරුව ඇති වූ බව සෑමාට තේරුම් ගියේය. දකුණු ඇඟිල්ල වම් ඇඟිල්ලට වඩා හුරු නිසා ඒ ඇඟල්ලෙන් ඩිස්ප්ලේ එකේ එහා කෙලවර ටච් කිරීමට යාම වේදනාවට හේතුව බව සෑමාට තේරුණේය. වෛද්‍යවරයෙකු ලඟට ගියා නම් අනිවාර්යයෙන් ස්කෑන් පරීක්ෂණයක් කරන්නට වෙනවා සහතිකය. පසුව එම ඇඟිල්ලේ භාවිතය අඩු කිරීමෙන් වේදනාව සමනය කර ගැනීමට සෑමාට හැකි විය.

බර වැඩ නොකරන අපිට වෘත්තීය මට්ටමේ මෙහෙම ලෙඩ එනවා නම් එදිනෙදා බර වැඩ කරන මිනිස්සුන්ට කොහොම අමාරුවක් ඇත්දැයි සිතන්නට අපේ ලෙඩවල වේදනාව ප්‍රමාණවත්ය. ඔබටත් යම් වේදනාවක් ඇති නම්, රුදාවක් ඇති නම්, නිදහසේ කල්පනා කර රුදාවට හේතුව කුමක්ද කියා බැලූ විට සරලව ඉරියව් වෙනස් කිරීමේ බෙහෙත ඔබටම සාදා ගත හැකිය.

sAmsRI_01.04.19/1:47pm

Friday, March 15, 2019

අංකල්ට නැති එක - What Uncle left behind !


කලකට ඉහතදී සෑමා වෛද්‍යවරයෙකු හමුවන්නට ගිය මොහොතක වූ අපූරු සිදුවීමක් මෙසේය. රෝගියෙකු තම කුටියේ සිටියදීම වෛද්‍යවරයා සෑමාට ඇතුලට කතා කළේ කාර්ය බහුලත්වය නිසා ඉක්මනින් තම කටයුතු අහවර කර ගැනීමට විය හැකිය. වෛද්‍යවරයා හා රෝගියා අතර දෙබසට කන් නොවැටෙන්නට සෑමා අවට ඇති පෝස්ටර් බලමින් කල් යැවීමට පටන් ගත්තේය. නමුත් ඒ දෙබසින් සෑමාගේ දෙසවන් ඉවත් කිරීමට අපහසු විය. එය ඒ තරමට අපූරු දෙබසක් වීය.

මහළු රෝගියා වෛද්‍යතුමා පෞද්ගලිකව හඳුනන අයෙකු විය හැකිය. එය ඔවුන්ගේ දෙබසින් පැහැදිලි විය. සාමාන්‍යයෙන් පෞද්ගලිකව හඳුනන් වෛද්‍යවරයෙක් ලඟට ගිය විට පටන් ගන්නේ පවුලේ විස්තර වලින් නිසා ඔවුන්ගේ හැඳුනුම් කම ගැන සෑමාට යම් අදහසක් ඇති වීය. මහළු රෝගියා තමන්ගේ දරුවන් එතෙර අධ්‍යාපනය ලබන බව පුරසාරම් දොඩන්නට වූයේ වෛද්‍යවරයාගේ මුහුණට සිනහවක් එක් කරමින්ය.

ඩොක්ටර් උදේම හොස්පිට්ල් යනව නේද?

හවසට ප්‍රයිවට් ප්‍රැක්ටිස් නේද?

අම්මෝ මහන්සියි නේද? අපේ දරුවන්ට නම් එහෙම නැහැ. එයාලා රට ඉදන් හොඳට හම්බ කරනවා. එහෙ මේ තරම් මහන්සි වෙන්න දෙයක් නැහැ. ඇයි ඩොක්ටර් යන්නෙ නැත්තෙ? මෙහෙ කට්ට කනවට වැඩිය එහෙ ගියා නම් මරු නේ ??



අංකල් ගේ වචන ටික නිසා සෑමාට සංවාදයෙන් පිටට කන් යොමු කරන්නට බැරි විය. වෛද්‍යවරයා දුන්නේ සරල එක උත්තරයක් පමණක්ය.

"යන්න බැරිකමක් නැහැ. මට මෙහෙ මගෙ දෙමව්පියෝ බලා ගන්න තියෙනවා. නංගිගෙ දරුවො මගෙ දරුවෝ මාව දැක්කාම හරි සතුටින් ඉන්නෙ. මට ඒ ටික වටිනවා."

දරුවන් රට රස්සාවට යවා ගෙදර තනිව සිට තනිවම වීල් එකක නැඟී බෙහෙත් ගන්නට පැමිණ වෛද්‍යවරයාට බෙහෙත් දෙන්නට ගිය අහිංසක මහළු රෝගියාගේ මුහුණ මැලි විය. තමන් ලඟ නැති වුණත් දරුවන් ඔහු පිළිබඳව සොයා බලනවා විය හැකිය. එහෙත් ඔහුගෙන් ඉවත්ව ගිය උණුසුම පුරවන්නට ඒ මුදල් වලට බැරි බව ඔහු තේරුම් ගන්නට ඇත.

මිනිස්සුන් තමන්ට නැති දේ ගැන නොතකා අනුන්ට නැති දේ ගැන කතා නොකරන්නේ නම් හිත් රිදවීම් බොහෝ අඩුවනු නිසැකය.

#sAmsRi_15/03/19




Thursday, March 14, 2019

ගුරු වර්ජන - Teacher's Strike !!


ගුරු වර්ජන අස්සේ කියවන්නට ලැබුනේ සුන්දරයි සුනන්දා හෙවත් රෝජාගේ පෝස්ට් එකක්ය. ඇය කියන්නේ..

"ගුරුවරු සේවය කරන්නෙ පැය කිහිපයකැයි මම නොකියන්නේ එය පැය කිහිපයකට සීමා නොවන බව අප කවුරුත් දන්නා නිසා වුවද? මෙය ඒක පාර්ශවීය වරදක් නොව ද්වීපාර්ශවීය වරදැකැයි මට සිතෙන නිසා මෙලෙස සටහන් කරමි. දිගින් දිගටම පිරිහෙන සමාජයක ගුරුවරු දුවා දරුවන් පමණක් නොව ඔබද මාද ඇතැම්විට වරදකරුවන් වී හමාරය." (පෝස්ට් එක මෙතැනින්)

ගුරුවරුන් පිළිබඳ සෑමා සතු වූ සුන්දර මතක අසුන්දර වූයේ උසස් පෙළ කාලයේය. ඒවා ගැන කෙටි බ්ලොග් සටහන් බොහොමයක් බ්ලොග් එකේ ලියැවී ඇත්තේ අමිහිරි සුන්දර මතකයන් ලෙසය. ගුරුවරුන්ගේ ඇතැම් දුර්ජන ක්‍රියා හේතුවෙන් ගුරු සංහතියම එපාවන බව නම් කිව යුතුය.



සෑමාට උසස් පෙළ ගණිත සර්ව එපා වූයේ ඔහු කළ අසාධාරණ පළිගැනීමක් නිසාය. එදා මා ඇතුළු පන්තියේ බොහෝ දෙනෙක් ගෙදර වැඩ කරගෙන ඇවිත් නොතිබුණු බව සත්‍යයක්ය. එහෙත් කලින් දිනක පන්තියේ සිසුවෙකු වෙනුවන් සාධාරණය කතා කරන්නට ගිය ඇරියස් එක සර්ගේ හිතේ තිබුණු බව සෑමාට සිහි වූයේ මේ සිද්ධියෙන් පසුය. පන්තියේ ඉතිරි හතලිස් දෙනා සිටියදී සර් ඉදිරියට කැඳවා සෑමාගේ පමණක් ගෙදර වැඩ කළා දැයි පොත පරීක්ෂා කළේය. ඔහු හොඳින් දැන සිටි කරුණ නම් අනිත් අයද ගෙදර වැඩ කරගෙන නොසිටි බවය. සෑමා වැඩ කරගෙන ඇවිත් නැති බව කියමින් පොත විසික් කර පන්තියෙන් එළියට දමා සර් තමන්ට අවශ්‍ය පලිය ගත් බව කිව යුතුය. පන්තියේ අනිත් සිසු සිසුවියන්ටද ඒ බව පසක් වූ බව සැබෑය. තමුන්ගේ තාත්තාත් ගුරුවරයෙක් නේද තමුසෙ දන්නැද්ද ගුරු වරුන්ට සලකන්නන යැයි ඔහුගේ මුවින් පිට වූයේ කළ වරද ගැන පමණක් නොව හිතේ තිබූ තරහවද පිටකරමින්ය. කාලපරිච්ඡේදය අවසන් වන තුරු එළියේ සිටි සෑමා එදායින් පසු ඒ ගුරුතුමා ගැන කිසිම පිළිගැනීමක් හෝ සතුටු සිතක් නොවීය.

රෝජා කියූ පරිදිම ගුරු සේවය උගන්වන කාල සීමාවට පමණක් නොව ජීවිත කාලයටම බලපාන් බව මම උගත්තේ අපේ තාත්තාගෙන්ය. ඔහු උත්සව අවස්ථාවකට ගියත් සැර බීමක් කටේ තිබ්බේ කලාතුරකින්ය. ඒ ගත්තත් බෙහෝ අල්ප වශයෙන්ය. ඒ සියල්ලටම හේතුව වූයේ උගන්වන කාලසීමාවට පමණක් නොව ජීවිත කාලයම ගුරු වරයෙකු ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටිය යුතු නිසාය. දිනක් සෑමා වෙඩිමකට ගොස් අඩියක් ගසනා විට ඈත සිට අංකල් කෙනෙක් ඇසුවේ ආ.. මේ සර් ගේ පුතා නේද කියාය. එතැනින්ම සෑමාට හිතුනේ සර් වගේම දරුවන්ද ගුරුවරයෙකුගේ දරුවෙක් යන හැඟීමෙන් කටයුතු කළ යුතු බව සමාජය බලාපොරොත්තු වන බවය.

ගුරු ගෞරවය සෑමාගෙන් නොපිරිහෙලා උදුරා ගත් උසස් පෙළ ගුරුවරුන් නිසාම ගුරු වර්ජනය ගැන සෑමාට ඇත්තේ අප්පිරියාවක් ලෙස සටහන් කළ යුතුය. අද ලෙඩ නිවාඩු දමා වැඩට නොගිය ගුරුවරු අපි මහන්සි වෙන්නේ දරුවන් හදන්න යැයි හෙට පාසැල් ගොස් කටපුරා කියන්නේ කෙසේදැයි සෑමාට නම් ප්‍රශ්නයක්ය. ප්‍රසිද්ධ පාසලකට ඔළුව දමාගෙන ටියුෂන් පිටින් ගොඩ යන බුරුතු සිටිනා බහුතරයක් ගුරු කුලකයෙන්, සැබෑවටම සුජාත ගුරුන් පැතීම ඉදිරියටත් නොකළ යුතු බව සෑමාගේ අදහසය.

#sAmsRi_14/03/19_11:59pm

Monday, March 11, 2019

ඇඟිල්ලේ වැඩේ පෝලිම් දමා කිරීම - Finger works in the Queue !!


ලියන්නට යන්නේ කැත හිත් වලට ලස්සන කවි කැටගිරියේ එක්ක නොවුනාට ස්මාර්ට් ෆෝන් එකෙන් දහසක් කැටයම් දමනා උන්ට දරා ගන්නට බැරි වෙනු නිසැකය. අපේ උන් ෆෝන් එකේ ඇප් භාවිත කළ ප්‍රමාණ මැන බැලුවහොත් සමාජ ජාලා ඇප්ස් ඉහළම තිබෙනු නිසැකය. ෆේස් බුක්, යූටියුබ් ඇරුණු කොට වට්ස් ඇප්, වයිබර් ඉහළම රැදෙනවා නිසැකය. ඉස්සර නම් sms එකකින් කළ එව්වා දැන් ඇප්ස් ගොඩකින් කිරීම පහසුය. ඒත් ඇප් ප්‍රමුඛතා ලිස්ට් එක ඉහත ආකාරයෙන් සමාජ මාධ්‍යය ජාලාම නම් ඔබ ඊටත් එහාට ගොස් තවත් වැඩකට ඇති ඇප් එකකට යොමුවී වෙනසක් සිද්ධ කරගන්නවා නම් එය වටිනා බව කිව යුතුය.

"මචං මැසේජ් එකක් දැම්මා"

ඉස්සර මෙහෙම එකෙක් කෝල් කළාම කෙලින්ම SMS ඉන්බොක්ස් එක බැලීම පමණක් ප්‍රමාණවත්ය. දැන් එහෙම නෙවේය. මුලින්ම මැසෙන්ජර්, වට්ස්ඇප්, වයිබර්, ඉමෝ සහ වීචැට් පවා බැලිය යුතුය. එහෙමත් නැතිනම් අවසන ඇස්ඇම්ඇස් ඉන්බොක්ස් එක ද පරීක්ෂා කළ යුතුය. එහෙමත් නැතිනම් ජීමේල් එකට ලොග් වී එවූ මැසේජ් එක සොයා ගත යුතුය. දැන් මෙවලම් බහුලය. ආකාර බොහෝය.

කොච්චර තාක්ෂණය තිබුණත් අපේ උන් හිතන්නේ ඉන්ටර්නෙට් යනු ෆේස් බුක් කියාය. බොහෝ මහළු අය පවා ඉන්ටර්නෙට් කිව්වාම හිරි වැටී යන්නේ අම්මෝ ෆේස් බුක් කියන්නේ මහ විනාසයක්ය, ඉන්ටර්නෙට් යනු ඒ වගේම විනාසයක් කියාය. ඒ තත්වය බොහෝ විට සත්‍යය වන්නේ බෙහෝ අය ලැප්ටොප් එකක් පවා ඔන් කළ විගස බ්‍රවුසර් එකේ මුලින්ම ඕපන් කරන්නේ ෆේස් බුක් වීම නිසාය. නිකමට වෙනම ටැබ් එකක පවා බුකිය ඕපන් වී තිබීම දැන් සරල කාරණාවක්ය.

සමාජ ජාලා භාවිතය ප්‍රශ්නයක් නොවන්නේ කාලය ගත කිරීමට තනිව මඟ බලා සිටීමට සිදුවන වෙලාවක් කල් මැරීමේ හොදම මෙවලමක් ලෙස භාවිත කළ හැකි නිසාය. අවභාවිතාව ගැන වෙනම ලිවිය යුතු මාතෘකාවක්ය. එලෙසම තාක්ෂණය ඇඟිලි තුඩක තිබියදී කාලය බල්ලාට දමා පෝලිමේ සිටින උන් දැක්කාම සෑමාට නඟින්නේ ඌරු ජුවල්ය. බෙහෝ වෙලාවට තැපැල් කන්තෝරු, විදුලි බල මණ්ඩල, ජලාපවාහන මණ්ඩල සහ බැංකු වල පෝලිම් වල ඉන්න අය දැක්කාම සෑමාට හිතෙන්නේ අනේ ඇයි මුං මෙහෙම කියාය. අතේ ෆෝන් කෑල්ලක් තියාගෙන ඒකට කොට කොට පෝලිම් වල දුක් විදින්නේ බිල් ගෙවීමට නම් ඔබ දෙවරක් සිතිය යුතුය. පෝලිමේ නොසිට විදුලි හා ජල බිල්පත් ගෙවීම දුරකතනයෙන්ම කළ හැකි බව සියල්ලෝම දන්නා නමුදු භාවිතාව ඉතා අල්පය. 



හදිසියකට ෆෝන් බිල් ගෙවීමට සුපර් මාකට් වල පෝලිම් වල තපින අය, වෙනත් බිල් ගෙවීමට පවා සුපර් මාකට් පෝලිමේ තපින අය පව් ය. එයාලා ස්මාර්ට් ෆෝන් අතේ තබාගෙන සිටින්නේ සමාජ ජාලා වල සිරවී පෝලිම් අස්සේ සිරවී සිටින්නට විය යුතුය. ඩයලොග් මොබිටෙල් ආදී ඕනෑම බිලක් ඔවුන්ගේ වෙබ් අඩවි වලින් කාඩ් මඟින් ගෙවිය හැකිය. නැති නම් ඔබේ බැංකුවට අදාල ඇප් මඟින් අමතර ගෙවීමක් නැතිව එවලේම පහසුවෙන් කර ගත හැකි බව දැන ගත යුතුය.

ඇඟිල්ලේ වැඩේ පෝලිම් දමා කර ගත යුතු නැති බවට ඔබ දැන ගත යුතුය. එය භාවිත කළ යුතුය. ඔන්ලයින් සියළු දේ කර ගත හැකි රටක බැංකු කටයුතු, මූල්‍යය කටයුතු ඉතා පහසුවෙන් කර ගත හැකි ඇප් සහ ඒවායේ එන නොයෙකුත් අලෙවි ප්‍රවර්ධන සහනයන් පවා ලබා ගැනීමට ඔබ තවමත් ප්‍රමාද නැති බව සිහි කළ යුතුය.

#sAmsRi_11/03/19

Monday, March 4, 2019

කෙටිම කෙටි හිඟන කතාවක් - A Beggar's Tiny Tale !!




සුපර් මාකට් එකක රථය ගාල් කර ඇතුලට යද්දී හිඟන මනුස්සයෙක් ඉදිරියට ආවේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

"මෙන්න පනහක්..."

ඇතුලේ වැඩකටයුතු නිමා කරමින් එළියට ආවේ ගෙදර යන්නය. ඩෑල් එක නැවතත් ආවේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

"ඇයි දැන් පනහක් දුන්නේ.."

ඩෑල් එක මාරුය. හැමදාම වගේ කිසි ප්‍රමිතියක් නැතිව, කලින් සල්ලි දුන් උන්ගේ අත්සනක් වත් දා ගන්නේ නැතුව පස්සෙන් එලවා නියමාකාරයෙන් නොකරන මේ රස්සාවට බනින එක දැන් කම්මැලිය.

වාහනයට නැග්ගා විතරයි තව කෝල් එකක්ය. එක්කෝ බඩු ලිස්ට් එක වැඩි කර එවන එකක් විය හැකි යැයි එතැනම ආන්සර් කළේ සෑමාය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

ඒ හඬ නැවත ඇසුනේ ෆෝන් එකෙන් නොවන බව පැහැදිලිය. බාගෙට ඇරී ඇති ෂටර් එකෙන් නැවතත් ඩයල් එක පැමිණ තිබුණේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

සෑමාට මරු ජුවල් අස්සේ ආතල් එකක් ගියේය.

"ඇයි හලෝ ඔයාට පනහක් දීගෙන ඇතුලට ගියේ ඒකෙන් ගන්නවකෝ.."

"හරි සර්.. හාල් කිලෝ එක හරි පොල් ගෙඩියක්...!!"

"ඔව් ඕයි ඒ පොල් ගෙඩියට තමා රුපියල් පනහක් දුන්නේ"

ඩෑල් එක මිසින්ය. කෝල් එක අවසන ගේට් එකෙන් එළියට එන්නට හැරෙන විට වාහනයට පැන්නේ නැවතත් ඔහුමය. ඔහුගේ කට සෙලවෙන අයුරු මට පැහැදිලිය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

ගෙදර පැමිණ ටීවී බලන අතර සෑමාට බකස් ගා හිනා ගියේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

කතාව උපහාසයට මිස අපහාසයට නොවුනත්,
හිඟා කෑමත් කලාවක්ය.
මාකටින් නැතුව කිසිත් බැරිය.

#sAmsRi_04/03/19

Wednesday, February 27, 2019

නොකියාම නිදි නේද?




බිම වැටී ඇති පිනි සේම
දිළිසුනා ඔබ ළඟ  පාත
වැතිරිලා මම නොදොඩාම
රස සොයමි රහසේම

පිනි වාගේ දිලුනාට
පැණි රසක් නැතුවාට
දහඩියෙන් නැහැවීම
නිදි නේද නොකියාම

ඉඩ නැතිව සයනේම
කිටි කිටියෙ වෙලුනාම
මඳ අඳුරෙ ගිලුනාම
ආදරේ ‍නොදැනේද

කෙටි හුස්ම හනි හනික
ගන්නේද නුබ මැණික
නිදි සේම පැද්දේද
ඔය පපුව මැද හුස්ම

ඇස් පියන් තද කරන්
නොනිදාම ඔබ නිදන්
මට පහසුවෙන් තියන්
ඉඩ දෙන්නෙ කිම කියන්

සිහිසුන්ව ඔබ වැටී
මට ලිහිල් බව දි දී
කිමිදෙන්න හුස්ම දී
නුබ හොරෙන් ඇයි නිදී

සඳ රැස් අප දකී
මද සුළං රැල් වැදී
ඇහැරෙන්න හිත නොදී
නුබ හිදින් මම සිබී

මගෙ උකුල් බර දැනී
හිදින් නුබ නොරැවටී
සේද තිරපට ඇරී
මුළු රෑම නෑ නිදී

#sAmsRi_27/02/19

Monday, February 25, 2019

මගේ කිරි කතාව.. - My Milk Story !!


කිරි පිටි පිළිබඳව කතිකාවක් ඇති වූයේ මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කළ ප්‍රකාශයක් නිසාය. ඔහු සඳහන් කළේ කිරි පිටි වල ඌරු තෙල් අඩංගු බවය. ඊට විරුද්ධව හඬ නඟන රාජිත සේනාරත්න මහතා පවසන්නේ ඌරු තෙල් අඩංගු නැති බව විද්‍යාත්මකව සනාථ කර ඇති බවත් කිරි පිටි භාවිතය පිළිබඳව කිසිඳු ගැටළුවක් ඇති කර ගත යුතු නැති බවත්ය. කතාව තවත් ඉහළ තලයකට ගෙන යන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් කළ ප්‍රකාශයක් නිසාය. තමන් සෞඛ්‍යය ඇමතිව සිටි කාළයේ කිසිදු කිරිපිටි නිශ්පාදක සමාගමක් සමඟ කිසිම ගණුදෙනුවක් නොකළ බවක්ය. එය රාජිතගේ කිරිපිටි ඩීල් ගැන නොකියා කියූ කතාවක් වැනිය. කෙසේ වෙතත් දේශීය කිරි නිශ්පාදනය රටේම අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් නොවන තැනක බොහෝ අය කියන්නේ කිරි පිටි අත්‍යාවශ්‍යය දෙයක් නොවන බවය. ක්ෂීරපායී සත්වයින් ඉපදී මුල් කාලයේ ආහාරයට ගන්නා කිරි නැවත භාවිතයට නොගනිති. එසේ ගන්නේ මිනිසුන් පමණක්මය. 



ඇත්තටම කිරි පිටි මිනිස්සුන්ට බලෙන් එබ්බවූ දෙයක්ය. නුවනක්කාර වන්නට ගැහැණිය මිලට ගත යුත්තේ රත්තී යන වචන ටික නිතරම ඔබේ ඔලුවට දමන්නේ වෙළඳ දැන්වීම් වලින්ය. ජව ශක්තිය පෝෂණය නැතුව හැම උදෑසනක්ම අසාර්ථක වන බව කියන්නේද කිරිපිටි ආයතනයක්ය. සම්පූර්ණ යොදය සහිතව අවශ්‍යය නම් ආහාරයට ගත යුත්තේද කිරි පිටි බව මතක් කර දෙන්නේද වෙළඳ දැන්වීම් මඟින්ය. සියළුම ආයතන විටින් විට රූපවාහිනීයේ ඔබ අප ඉදිරියේ හඬා වැටෙන්නේ ඔවුන්ගේ එක හොඳම එක කියා මතක්කර දෙමින්ය.

කොතරම් කිරිපිටි වැඩක් නෑ යැයි කියෙව්වාට සෑමාද කිරිපිටි ජීවියෙක්ය. මව් කිරි වලින් නතර වී නැවත කිරිපිටි වලට සෑමා හුරු වූයේ කුඩා කාලයේ සිටය. උදෑසන අවදිව උදෑසන ආහාර වේල නොගෙනම පාසැල් යන සෑමාගේ උදෑසන ආහාරය වූයේ අම්මා සාදා දෙන කිරිපිටි එකය. ඉන්පසු උදෑසන කෑම ලෙස ගන්නේ පාසැල් රැගෙන යන කෑම පාර්සලය ය. රාත්‍රී ආහාරයට පසු නින්දට පෙර කිරි බීමද පුරුදු කළේ අම්මාය. අද තවමත් ඒ පුරුද්ද තාත්තාටද තිබෙන්නේ අම්මා නිසාය. උදෑසන අම්මා දෙන කිරි වේල සහ සවස ලැබෙන කිරි වේල තාත්තාටද ආවේණික දෙයක්ය. 

විවාහයෙන් පසුද ඒ පුරුද්ද අතෑරීමට සෑමාට නොහැකි වූයේය. උදේ සවස බොන කිරි එක අත්‍යාවශ්‍යය දෙයක් ලෙස මානසික බලපෑමක් කාටත් හොරා සිතේ රජ කරන නිසාම අතහැරීමට අපහසුය. දින කිහිපයක් සෑමා කිටී සහ ඇගේ අම්මා කිරිපිටි වලට තිත තබමු යන සංකල්පය යටතේ උදෑසන අවදි වූ විට කිරි වෙනුවට උණු වතුර වීදුරුවක් බීමට උත්සාහ කළෝය. දින දෙකක් හෝ තුනක් උපරිමයෙන් එම උත්සාහය සාර්ථක වූ අතර ඉන්පසු ඔන්න ඔහේ කිරි එකක්ම බොමු අප්පා යැයි එකඟතාවයකට පැමිණ නැවත පරාජිත පුරුද්දට වැටුනෙමු.

කිරිපිටි පිළිබඳ නැවතත් ඇතිවූ කතිකාව නිසා ඒ පුරුද්ද අත්හැරීමට නැවත වරක් උත්සාහ ගැනීමට කාලය එළැඹ ඇත. දරුවන්ට සහ ඔබ අප පරිභෝජනය කරන කිරිපිටි වෙනුවට කොළ කැඳ වර්ගයක් හෝ වෙනත් පානයක් ආදේශ කර ගැනීමෙන් මසකට රුපියල් පන්දාහක පමණ අවම ඉතිරියක් පවුලකට සාදාගත හැකි බව සෑමාගේ මතයයි.

මම  කිරි පිටි අතහරින තුරු ඔබට කරන්න යැයි බලපෑම් නොකරමි.
එහෙත් ඔබත් එලෙස අතහරින්නේ නම් සතුටුය.

#sAmsRi_25/02/19

Friday, February 22, 2019

සිහිනය පරම්පරා දෙකක දුරින් ය...!!


අපේ පරම්පරාව පාසැල් සමයේ සිටම වෙනස් කරමු යැයි කියන පරම්පරාව ලෙස හැඳින්වීමට සෑමා කැමතිය. රචනාවක්  ලියුවත්, කතාවක් පැවැත්වූවත් අපේ උන් ලිව්වේ කිව්වේ වෙනස් වෙන හැටි ගැනය. රැක ගන්නා හැටි ගැනය. බොහෝ මාතෘකා පරිසරය ගැනය. පරිසර විනාශය ගැන හඳුන්වා දෙන රචනා අවසන් වූයේ පරිසරය රැක ගනිමු කියාය. ඔබ රැකුනොත් අපිත් රැකේ ලෙස කිව්වේද පරිසරය ගැනය. මේ ටික ලියන්නට සෑමාට සිත් වූයේ වෙනස් වෙන පරම්පරාව ඈතක නොවන බව කීමටය. නමුත් ඒ පරම්පරාව අපට කලින් පරම්පරාවට පසුවත්, අපේ පරම්පරාවට පසුවත් බව කීමටය.



සපුගස්කන්ද ප්‍රදේශයේ One way හරස් මාර්ග දෙකක් ඇත. ඒ හරස් මාර්ග දෙක ඇත්තේ කලාප අධ්‍යාපන කාර්යාලය පැත්තට දෙල්ගොඩ පාර සහ මාකොල පාර යා කිරීමටය. එක ලඟ වැටී ඇති හරස් කෙටි පාරවල් දෙක නිවැරදි ආකාරයෙන් භාවිතය කාටත් පහසුය. සපුගස්කන්ද පැත්තේ සිට කිරිබත්ගොඩ පැත්තට යන සෑමාට හරස් පාරේ ඇති තැපැල් කාර්්‍යාලයට යෑමට වටයක් ගසන්නට සිදු වේ. එක වන් වේ එකකින් දෙල්ගොඩ පාරට දමා තැපැල් කන්තෝරුවට ගොස දෙල්ගොඩ පාරෙන් නැවත මාකොල පාරට දමන්නට සිදුවන්නේ නීතිය පිළිපැදීමටය.එහෙව් අමාරුවෙන් නැවත මාකොළ පාරට දමන සෑමාට මුහුණට හමුවූයේ ත්‍රී රෝද රථයක්ය. කලින් පරම්පරාවේ අංකල් ඩෑල් එකක් නිසා පාඩමක් ඉගැන්විය යුතු යැයි සෑමාට සිතුණේ කුපාඩිකමටය. ත්‍රී රෝද රථය හරස් කර නැවැත්වූ සෑමාට අංකල් අත පය විසික් කරමින් කීවේ තමාට යන්නට ඉඩ දී පසුපසට ගන්නා ලෙසය.

"ආ.. අංකල් මේක වන් වේ නේද?"

"ඔව් ඇයි?"

"ඇයි නෙවෙ, හරියට යන්න ඕනි නම් එහා පැත්තෙ පාරෙන් දාලා එන්න තිබ්බා.. කාටත් කරදරයක් නැහැ එහෙම කළා නම්.."

"අනේ යනවා ඕයි යන්න.."

අංකල් සරලව පිළිතුරු දී තමාම වාහනය පිටු පසට ගෙන සෑමාට ඉඩ දුන්නේය. කතාව එතැනින් ඉවර කළේ මෙච්චර වයසට ගිය අංකල්ව හදන්න සෑමාට බැරි නිසාය. වරද කළ බව ඇත්තය. හිනාවකින් වරද පිළිගෙන ලිස්සා ගියා නම් අංකල් ඊටත් වඩා ලස්සනය.

එතන් සිට සෑමා කල්පනාවට වැටුනේ මාර්ග විනය කඩන බොහෝ පිරිස් අංකල්ලා සීයලා බව සිහි වූ නිසාය. වයසත් එක්ක එන පිළිනොගන්නා බව සහ දරදඬු බව නිසාම ඔවුන්ගේ මාර්ග විනය පිරිහී ඇත. හදන්නට යෑම තේරුමක් නැත. ඒ නිසා කාලයට ඉඩ දී පරම්පරා දෙකක් වත් ඉවසිය යුතු බවය සත්‍යය.

පාරිසරික ප්‍රශ්න වලදීද වැඩිහිටි පරම්පරාවේ උද්දච්ච දරදඬු වැඩ බොහෝය. බුලත් කෙල ගැසීම දැන් තරමක අඩු වී ඇත්තේ අලුත් පරම්පරාව බුලත් කෑම අවම නිසා බව කිව හැකිය. එලෙසම උඩින් පරම්පරා දෙකකින් අපි පැතූ පරිසරය දුර බව කිව යුතුය. සිගරැට් බීම වැඩිහිටි සහ අපේ පරම්පරාවටත් පොදුය. ඒ අතරින් වැඩිහිටියන් ෆිල්ටරය අත කරකවා කොහේ හෝ විසිකරන හැටි සෑමා දැක ඇත්තේය. අතේ ඉතිරිවන ෆිල්ටර් කොටය කසල බඳුනකට හෝ අළු බඳුනකට දමා යන තරුණ පිරිස් බොහෝය. වැරදි අවම කිරීම අතින් තරුණ පරම්පරාව ප්‍රමඛ බව කිව හැකිය. 

දිනක් සෑමා ඉදිරියෙන් ගමන් කරමින් තිබූ කැළණිය විද්‍යාලයේ පාසැල් බසයෙන් විටින් විට තැනින් තැන බසයේ ජනේල් වලින් එළියට දමන අයිස් ක්‍රීම් කවර සෑමා දුටුවේය. සුළඟට පාව ඇවිත් පාර පුරා විටින් විට රට මැවූ අයිස් ක්‍රීම් කවර දැක සෑමාට ඇති වූයේ කලකිරීමක්ය. පාසැලේ නම ගැසූ බසයෙන් ලැජ්ජා නැතුව කුණු එළියට දමන්නට තරම් පොඩි උන් මෝඩ යැයි සිතන්නට බැරිය. බසය හරස් කොට රියදුරුට කතා කළේ සෑමාය. වැඩිහිටි පුද්ගලයෙකු වූ ඔහුට එය ගණනකට නැති දෙයක් බවට පෙනී ගියේය. නැති නම් රියදුරුට පැති කණ්නාඩි වලින් සිද්ධිය නොපෙනෙන්නට ඉඩක් නැත. එය දැක නොදැක්කා ලෙස සිටිනා උඩ පරම්පරාවේ නැහැදිච්ච ඔහු කවදාවත් යට පරම්පරාවකට හරි වැරැද්දක් කියා දෙන්නේද නැත.

කසල කළමනාකරණය, කුණු වෙන් කිරීම සම්බන්ධයෙන් නව පරපුර දැනුවත්ය. දිරා යන නොයන සහ ඉඳුල් ද්‍රව්‍ය ලෙස කසල වෙන්කර කුණු ලොරියට බාර දීම උඩ පරම්පරාවට මහ බරක්ය. කුණු ගිණි තබන විට එහි වූ ප්ලාස්ටික් කැබලි ඉවත් කර නිවැරදිව ගිණි තැබීමට පවා ඔවුන් කම්මැලිය. එහෙත් අපේ කාලේ උබලෑ ක ාලේ කියා උද්දච්ච කතා කියමින් පොඩි උන්ට ලොරි ටෝක්ස් දීමේලා පුරෝගාමීන්ය.

ත්‍රීවීල් අංකල් සෑමාව දුරකට ගෙන ගොස් අතෑරියේ තව ප රම්පරා දෙකකින්වත් උබලා පතන ලෝකය බිහි වෙනවා යැයි කියා දෙමින්ය.

නොහැදෙනා අංකල්ලාට, ඇන්ටිලාට,
ස්තූතියි කියා දුන්නාට !!

sAm_sRi_9:15pm_22/02/19

Sunday, June 3, 2018

සමන්තබද්‍ර, චන්දිමාල් දෙස හැරී බලමු... - Any Marketing is Good Marketing ???


ඕනෑම ජරාවක් අයිසින් කර මේසය මත තැබීමට අපේ උන් සමත්ය. කාගේ හරි රෙද්දක් බතික් කර කැටයම් දමා ඒ මේසය මත එලන්නේම අපේම උන්ය. හාල් කෑලි ෆෝම් කිරීම සහ පබ්ලිසිටිය උපරිම කිරීමද ඒ අතින්ම උත්කර්ෂවත්ව කරන්නෝය. එක අතකින් ගොං කමය. පච හලමින් වේදිකාවට ගොඩ වූ චතුරලා ඩෑල් වූයේ අපේ උන්ගේ ගොං කම් නිසාය. ඒ පොරට හෙනම පබ්ලිසිටියක් දීම නිසාය. අනිත් අතින් අපෙ උන් කුහකය. ඉරිසියාවය. කොහෙවත් ඉන්න එකෙක් පාටියක් දැම්මාම, උගෙ සල්ලි වියදම් කළාම අපේ උන්ට කාලා ඉන්නට බැරිය. පාටියට ආපු උන් ඇදගෙන ආපු ඇදුමේ සිට එක එකා වෙන වෙනම කොටස් වශයෙන් අනුකලනය කරන්නේ ඉරිසියාව නිසාමය. අපිට නැති ආතල් වෙන උන් ගත්තාම අප උන්ට හිරි වැටෙනවාය.

අනිත් එක අපෙ උන්ට සමාජ මාධ්‍යයක දෙකට බෙදෙන්නට හේතුවක් තිබිය යුතුමය. හැරීගේ පවුලගේ මේකප් එක නැති එක අපෙ උන්ට අවුල්ය. අපෝ රෝයල් ඩෑල්ය. මේකප් නෑය. චාටර්ය. හිඟන වෙඩිමක්ය. ඊට එදිරිව රෙදි උස්සං එන අනිත් සෙට් එක කියන්නේ තවත් කතාවක්ය. අන්න චාම්ය. අපෙ රටේ උන්ට මේකප් නැතුව බැරිය. ලංකාවේ කෙල්ලෝ මේකප් එකෙන් රන් වෙන උන්ය. හෝදලා ගත්තාම මෙලෝ රහක් නැතිය. ඒ බෙදිල්ල කෙල්ලො කොල්ලෝ ලෙස පමණක් නොව මේකප් දාන කෙල්ලෝ සහ මේකප් නොදාන කෙල්ලෝ ලෙසත් දෙකට බෙදී ගියේය. හේතුව කාරණා දෙකක්ය. එකක් ගොං කමය. අනික කුහක කමය. හැරියා බැන්දේ එහේය. කෙල්ල වැඩිමල්ය. ඩිවෝස්ඩ්ය. අවුල උට නොව, උගෙ පවුලේ උන්ට නොව අපෙ හැති කරේටය. 



චන්දිමාල් මම දන්නේ උගෙ බර්ත් ඩේ එක නිසාය. දිනේෂ් නොව ඇඳුම් අන්දන චන්දිමාල් කෙනෙක්ය. ඌ උගෙ සල්ලි වලින් ආතල් එකක් ගත්තේය. මේ පළවෙනි එක නෙවේය. ගිය අවුරුද්දේද ජයටම එකක් අරගෙන තිබ්බේය. ඒත් අපෙ උන්ට අවුල මේ පාර එකය. ඒ අවුල නිසාම පබ්ලිසිටිය ජයටම ගියේය. වෙනදාට ඇදුම් අන්දන චන්දිමාල් මේ පාර පාටියට එන උන්ගේ ඇදුම් ගලවලාය. බාගෙට අන්දලාය. ඒකටත් වැරදි චන්දිමාල්ය. හොදටම වියදම් කරලාය. අපෙ උන්ගේ කුහකකමය. තමන්ට ගන්න බැරි ආතල් අනිත් එකෙක් ගන්නවාට අවුල විය යුතුය. ඒ අස්සේ ගොං කම්ය. දැනට ප්‍රසිද්ධ නිලියන් විස්සකට වැඩිය චන්දිමාල්ට කියා මනාලියන් වී ඇත්තේය. දැන් ගොං ආතල් දුන් කුහක උන්ගේ නාමෙන් චන්දිමාල්ට පැකේජ් එක වැඩි කළ හැකිය. පබ්ලිසිටිය. උපරිමයෙන්ය. මෙතුවක් චන්දිමාල්ව නොදැන සිටි සෑමා පවා ඌව දන්නේ පේජ් වලින් දුන් පබ්ලිසිටිය නිසාය. ඇඟ පේන්න ඇදන් පාටියක්ට බැස්සාම අපෙ උන්ට හිරි වැටෙනවාය. දරාගෙන ඉන්න බැරුව දඟලනවාය.



පිටිදුවේ නමින් හිඳ සමන්තබද්‍ර ලෙස රහත් වූ සාදුගේ පාටිය නම් පාටිය ය. අපෙ උන්ට එව්වා වටින්නේ නැතිය. එදා සාදුගේ බත්ඩේ සෙලිබ්‍රේෂන් එකට නොතිබුණු ආතල් මේ පාටියට තිබ්බ නිසා ඒ පාටිය දැන් අමතකය. එක්කෝ අරහත් සාදුගේ මහ විසාල දාන පිංකමක් කියා පාටිය අමතක කර දැම්මා විය හැකිය. සාදුගේ කප් කේක් දාහේ මොණර පිල අපෙ උන්ට අමතකය. එව්වාත් ආතල් බව සිහි තබා ගත යුතුය. ඉරාජ් හෙලුව මාකට් කර වීඩියෝ කරනවා කියා දඟලන අපෙ උන් එව්වාම ෂෙයාර් කර විව්ස් වැඩි කර දෙන්නෝය. වරක් සමන්තබද්‍ර සාදු ලගට ගොස් ඉරාජ් වීඩියෝවක් කළේ විකුණගෙන කන්නට විය හැකිය. රැස් මාලාවක් පවා සාදුට සාදා දුන්නේ ඉරාජ් අයියාය. එහෙව් ඉරාජ් අයියා අම්මලාගේ දිනයටද කොහෙදෝ මෑතකදී වීඩියෝවක් කර හැඩු කදුලින් කියා සිටියේ හෙලුවට ලැබෙන ලයික් මේකට වැටුනේ නැහැ කියාය. ඇත්තය. පොර කලින් කළේ හෙලුව මාකට් කරන එක බව නොකියාම කියවුණේ එදාය. 

මොක කිව්වත් අන්තිමට වෙන්නේ ජරාවක් කළොත්, මාකට් වෙන්න පුලුවන් තත්වයක් එනවා යැයි සමාජ කතිකාවක් ඇති වීමය. එතැන් පටන් අනිත් හැම එකාම කරන්නේ ශෙයාර් වෙන තැනට, පබ්ලිසිටිය වැඩි වෙන තරමට, කතා බහට ලක්වෙන දේවල් සමාජ ගත කිරීම පමණය. එතකොට කුහක උන් අපිට නැති ආතල් උන්ට කියා බනිමින් ෂෙයාර් කරනවාය. ගොං ආතල් ඇති උන් මගෙ අපේපේ මේවා නේ ආතල් කියා ශෙයාර් කරනවාය. කවියෝ කවි ලියනවාය. බෙදිලා ගහ ගන්නවාය. නැවත ටොපික් එකක් එනකල් කල් ගෙවනවාය.

ආතල්ය.

sAm_sRi_9:54_pm_03/06/18

Sunday, May 27, 2018

බේබද්දන්ව බේරා ගතිමි.. - For the name of the Dopers !!




#බීමත්කමේ_දුර්විපාක

දුක කාටද
කාළකන්නිකම කාටද
අඬදබර කාටද
නිකරුනේ තුවාල කාටද
රතු ඇස් කාටද
#බීම_බෝතලය_ලඟ_පමාවෙන_මිනිසාටය
තව තවත් බොන්න යන මිනිසාටය
මඨ්‍යසාර රතට රතේ
දිලිසෙන විට..
වීදුරුවෙහි පෙන දමන විට
ලස්සනට වැක් කෙරෙන විට
#ඒ_දෙස_දෙස_නොබලන්න

නැත්නම්..
අන්තිමේදි එය
නයෙකු මෙන් සපා කයි
පොළගෙකු මෙන් දෂ්ඨ කරයි
එවිට ඔබේ ඇස් ⁣අද්භූත දේ දකි
ඔබේ කට විලම්බීත දොඩවයි
එවිට ඔබ...
මුහුද මැද ඒ මේ අත
පෙරලෙන කෙනෙකු මෙන්ද
කුඹ ගස මුදුනේ
නිදන්න හදන කෙනෙකු මෙන්ම වනු ඇති
එවිට ඔබ මෙසේ කොඳුරනු ඇත

"ඔවුන් මට පහර දෙන්නට ඇත
නමුත් මට රිදුනේ නැත
ඔවුන් මට ගසන්නට ඇත
නමුත් මට දැනුනේ නැත
කොයි වේලේ මා අවධි වෙයිද..?
එවිට මම තව උගුරක් බොමි".....


- කතාකරන පන්හිදේ බොන උන්ට එදිරිව ලියූ පද වැලක් ඉහත දැක්වෙන්නේය. බීලා අඩි පොලේ ගහන උන් හිටියේ ඉස්සරය. බොන හැම එකාම බේබද්දෝ ගානට වැටුනේ ඉස්සරය. දැන් එහෙම විය යුතු නැතිය. අඩියක් ගසා සැපේ ඉන්නා උන බෝය. කාටවත් කරදරයක් නැතුව, වෙනදාටත් වඩා වටේ පිටේ උන් එක්ක සතුටින් ඉන්නා උන් බෝය. ඉතිං සෑමා රිටර්න් එක දුන්නේ මෙහෙමය. කවියෙන්මය.


ඉස්සර වලිය,
අල්ලපු ගෙදරින් නැගෙන..
අංකල් බීමත් ය,
වැඩ ඇරී ගෙදර එන..
ඇන්ටී ඇඳිවතය,
ගුටි සමග නිවසින් පිට කෙරෙන..
දරුවන් කදුලෙන් ය,
ඉගෙනුමට තිත තබන..

අංකල් පුතුය,
දැන් ඒ නිවසෙම වෙසෙන..
හවසට පාටිය,
බෝතල් කිටි කිටි හඩ ඇසෙන..
ඔහුගේ වයිෆ් ය,
බයිට් මික්ශර් හදන..
එනමුදු සතුටින් ය,
වලියක් නොම ඇස ගැටෙන


Written_by_sAm_ශ්‍රී_4:15pm_27/05/2018

Thursday, May 24, 2018

බෑ කියනවාට වඩා හා කියනවා පහසුය.. - Easiest Way to Love !!


ඉස්සර කෙල්ලෝ මැටිය. අමුම අමු මැටිය. කොල්ලෙක් ලියුමක් දුන්නොත් බනිනවාය. එක්කෝ ඔරවනවාය. නැති නම් දන්න අයියලා බස්සලා ගස්සනවාය. කොල්ලා කොයි තරම් හැකියාවක් තිබ්බත් කෙල්ලගේ අයියා ගැහුවොත් ඉවසනවාය. ගහපං අයියේ මම අනුකම්පාවෙන් හෝ ඒකිව සැට් කර ගන්නවා කියා ඉන්නවාය. ඒ කෙල්ලගේ සීයා ආච්චි ඇවිත් ගැහුවත් එහෙමය. කොල්ලා දරාගෙන ඉන්නවාය. ඉන්පසු කෙල්ලගේ හිත උණු වෙනවාය. තෙල් තාච්චියට දැමු වතුර බිංදුවක් මෙන් කෙල්ලම ඇබරිලා ඇවිත් කොල්ලා සිප සනසනවාය. ක්ෂණිකව නොවන දෙයක් නොවේය. ඒත් කාලයට ඉඩදී තුවාල වේලෙන්නට, තැල්ම මැකෙන්නට, ඉඩ දුන්නාම කෙල්ල අතේය. ඉන්පස්සේ කෙල්ලට බූට් එකය. අර ගහපු අයියා, ආච්චි හෝ සීයා ඇවිත් කෙල්ල සමගම වැද වැටෙනවාය. අවුල්ය. ඒත් එව්වා දෛවයේ සරදම්ය. පව් ය.

එහෙමත් නැතිනම් වෙන්නේ කෙල්ල ලියුම අරගෙන මිසින් වෙනවාය. කොල්ලා රිප්ලයි එනකල් බලා සිටින්නේය. ඒත් කෙල්ල පිට පාරේ ගෙදර යනවාය. කොල්ලාට එපා වෙනවාය. ඉතිං එක්කෝ ඌ ඒකි වෙනුවෙන් තනිකඩව බලා සිටිනවාය. එක්කෝ ඒකත් එනතුරු බලාගෙන ඉන්නා ගමන් තවත් එකක් කරලා බලනවාය. කෙල්ල විභාග අහවර වී කැම්පස් යන්නට ලෑස්ති වී අර කොල්ලාව හොයනවාය. ඒ යාලු වෙන්නටය. එක්කෝ අරූව ආයේ ෆෝම් කර වචනයක් නැවතත් ගන්නටය. එතකොට කෝච්චිය ගිහින්ය. එක්කෝ කොල්ලා තවමත් තනිකඩවය. නැතිනම් කොල්ලා දරු පවුල් කාරයෙක් වෙලාය.

සමහර කෙල්ලෝ කරන්නේ ලියුම අරගෙන රිප්ලයි නොදී අරූව තවදුරටත් මෝල් කිරිමය. ඌ ඇස් දල්වාගෙන හැමදාම මහ මඟය. අරකී ඇස් කරකවා පද්දලා හා අයියේ කියලා ලයින් එකක් දෙන්නීය. කොල්ලා ෆුල් සැටිස්ය. හැම එකාටම කියන්නෙ වැඩේ හරි කියලාය. කෙල්ල ඌව තියාගන්නේ සමාජයට තමන්ට ඇති ක්‍රෂ් ප්‍රමාණය අති මහත් බව පෙන්වන්නටය. කොල්ලා හෙනම සීන් එකේ තනියම ආතල් එකක් ගන්නේ ඒකි හා කියනවා ෂුවර් බව හිතේ තියාගෙනය. හැබැයි කෙල්ල ගේම ගොඩ දා ගන්නවාය. කොල්ලා ඒකි හරි තමා කියමින් වෙන එකක් වත් බලාපොරොත්තු නොවී ඉන්නවාය. එක්කෝ කලින් කිව්වාක් මෙන් තව එකක් කරගන්නා බුද්ධිමත් උන්ද ඉන්නවාය.

උඩ කී ආකාර සියල්ල ඉස්සර ජාතියේ උන්ය. එහෙම ලව් සෙට් වුනත් හෙන බෝරිං සීන්ය. දැන් වගේ ක්ෂණික රිප්ලයි නැති නිසා වැඩක් කර ගත් එවුන්ද අල්පය. ඒකට දැන් කාලේය. ලියුම් නැතිය. ක්ෂණික රිප්ලයිය. බෑ කියනා උන් නැහැය. ඩිමාන්ඩ් කරන උන් අල්පය. වැඩේ නැගලා යනවාය. සරලව කිව්වොත් මරා ගැනිලි නැත්තේය. දෙදෙනාම කතා බහය. එක්කෝ මීට් වෙනවාය. කාලයත් සමඟ ගැලපෙන උන් ඉතිරි වී නොගැලපෙන ලව් මග ඇරී යනවාය. ඒ ක්‍රමය ඉතා හොඳය. ඇරියස් නැතිය. උන් දෙන්නා දෙපැත්තට ගිහින් වෙන උන් බැදගත්තත් තරහවක්, වෛරයක්, ඉරිසියාවක් නැතිය. අන්න ඒක සැබෑ ආදරයය. ඒ අස්සේ ගොං පාට් ලව්ද නැතුවා නොවේය. 99%ක් ගිය එකා ගියාවේ, ආපු එකා එක්ක පවුල් කනවා කියා සිටින්නෝය. ඉතිරි 1% තමන්ගෙ එක කන ගමන් ගිය එකාගේ එකත් කන්නට, විනාස කරන්නට දඟලන්නෝය.



කැමති එකාට, පස්සෙන් එන එකාට, කෙලින්ම කතා බහ කර කැමතියි කීම හෝ ලඟින් තබා ගැනීම සරල සහ ලේසිම ක්‍රමයය. ටික දිනකින් කොල්ලා කෙල්ලගේ තරම තේරුම් ගෙන එක්කෝ ඈත් වෙනවාය. නැති නම් ඔන්න ඔහෙ ඕන මඟුලක් කියා ඒකි එක්කම ඉන්නවාය.

sAm_ශ්‍රී_9:34pm_24/05/2018

Monday, May 21, 2018

ත්‍රීවීල් සහ පරිකල්පන මෙව්වා එක... SL Tuk Tuk Habits !!


ත්‍රීවීල් අයියලා මරුය. එයාලා කරන්නේ සමාජ සංවර්ධනයක්ය. අපි ඉස්කෝලෙ ගියාට පස්සෙ මොලේ කල්පනා කළේම නැතිය. විභාගයකට ඇරෙන්නට අපි මොලේ කල්පනා කරන්නේ බොහෝ අඩුවෙන්ය. ඒ මොලය බ්‍රෑන්ඩ් නිව් තත්වයෙන් පවත්වා ගැනීමටය. කල්පනා කළොත් අපරාදේය. එක්කෝ බරටම කල්පනා කර, ප්ලෑන් කර වැඩක් කළොත් මොලේ කල්පනා කර කෙරුවාට වඩා හොදින්ම අල වෙනවා ෂුවර්ය. ඒ තරමට අපේ මොලේ අපිටම ගැලපෙනවාය. ඉතිං ඉස්කෝලේ ගියාට පසු පාවිච්චි නොකළ සෑමාගේ  මොලය පාවිච්චි කරවන්නේ ත්‍රීවිල් අයියලාය. එමඟින් සෑමාගේ පරිකල්පන මෙව්වා එක ඉතා ඉහළ මට්ටමක ඇති බව කිව යුතුය.



අද උදේ සෑමාට ඉදිරියෙන් ගිය ත්‍රීවීල් එකේ අයියා මාරම ඩෑල් එකක්ය. හෝන් එකසිය එකක් පමණ නාද කළේ ඊයේ දහම් පාසැලට දාන්නට ගිය දරුවා අද රැගෙන යන්නාක් මෙන්ය. ඒ හෝන් එක වාර එකසිය එකට නාද වූයේ රටා එකසිය එකකින්ය. මෑන්ස්ට සෑමා ඉඩ දුන්නේය. ඉස්සරහින් ආ ටිපර් එකේ අයියාද ඉඩදුන්නේ පුංචි උනත් හරිම සැරයි ත්‍රීවීල් ඇටේ කියාගෙන විය යුතුය. සෑමාට රවාගෙන ඉදිරියට ඇදුන ත්‍රීවීල් අයියා වම්පැත්තට සිග්නල් දමාගෙනම ගියේය. සෑමාව ඉස්සර කළේද මෑන්ස් වමට සිග්නල් දාගෙනය. මොහොතකින් සෑමාට තත්වය වැටහුනේය. පාන්දර මේ අයියා කරන්නට යන්නේ සෑමාගේ පරිකල්පන ශක්තිය උරගා බැලීමක්ය. ඉතින් දැන් කල්පනා කළ යුතුය. එක්කෝ මෑන්ස්ගේ සිග්නල් ලයිට් ඩිෆෝල්ට් එන්නේ එහෙම විය යුතුය. ඒක නම් කොහෙත්ම විය නොහැකි බව සෑමා තනියම සිනා සෙමින් ප්‍රතික්ෂේප කළේය. කල්පනා කරමින් සෑමා බෙන්තොට බේක හවුස් ලඟ නැවැත්තුවේය. එක්කෝ ප්ලේන්ටියක් බොමින් කල්පනා කළ යුතුය.

ඇතුලට යද්දී ත්‍රිවිල් අයියාද එතැනය. පොර තකහනියේ ඇවිත් ඇත්තේ මාළු බනිසක් ගිලින්නටය. මෑන්ස්ට ගැස්ට්‍රයිටිස් විය යුතුය. හදිසියේ පැමිණ කෑම කෑවාට පව් නැතිය. හැබැයි පාන් පිටි කන එක නම් වැරදිය. යන්නට තිබුණේ මාතර බත් කඩයකට මිසක බෙන්තොට බේක් හවුස් නොවේය. හයිවේ දාන්නට තිබ්බා නම් ත්‍රිවිල් අයියා මාතර හෝ ගොස් බත් කඩයක් හොයා ගන්නවා ෂුවර්ය. මෑන්ස් අර මරුමුස් මුහුණ ම නැවත සෑමාට දැම්මේය. බනිසක් ප්ලේන්ටියක් සමඟ අයියාගේ මේසය මතම ඉදගත් සෑමා මෑන්ස්ට ටෝක්ස් කළේය. බලනකොට මෑන්ස් සපුගස්කන්දේය. අතුරු පාරකය. සෑමා පාර දන්නේ නැතිය. හැබැයි එක වචනයෙන් සෑමා මෑන්ස්ව අදුරනා තැනට කතා කළේය.

"ඔව් අයියේ ඔයෑලෑ මිඳුලෙන් පාරට දාලා වමට දැම්මාම හරි නේද?"

ත්‍රිවිල් අයියා ෆොක්ස් වීය. අන්න හරි මල්ලි. එතැන තමා අපෙ ගේ. සෑමා ගේ පරිකල්පනය දැන් දියුණුය. අර වමට දැමූ සිග්නල් එක, අයියා හැමදාම උදේට ගෙදරින් එලියට බහිනකොට දාන සිග්නල් එකය. ඉතිං අයියා වැරදි නැතිය. උදේම දාන සිග්නල් එක නිවන්නේ හවසටය. ත්‍රිවිල් වල හැන්ඩ්ල් එක කැරකෙව්වාට සිග්නල් ලයිට් ඕෆ් නොවනාව ඇතිය.

කඩෙන් එළියට බැස කිරිබත්ගොඩ පැත්තට යද්දී ඉදිරියට එන හැම එකාම හෙඩ් ලයිට් ගහනවාය. ටිකක් සැලකිලිමත් විය යුතු සීන් එකක්ය. ඉරි නොකැපිය යුතුය. සෑමා එකින් එක තමා සතු වැරදි මෙනෙහි කළේය. ලයිසම, ඉන්ෂුවරන්ස් සියල්ල හරිය. ආදයම් බලපත්‍රය හරිය. ඒත් වින්ඩ්ස්ක්‍රීන් එකේ අලවා නැතිය. අල්ලනවා නම් අල්ලා දඩ ගැසිය නොහැකි සීන් එකක්ය. වාතයක් වී යවන තරමේ වැරැද්දක්ය. කෝකටත් අයිනට කර වාහනය නවත්වා ගත් සෑමා ඉදිරියට ආවේ හෙඩ් ලයිට් දෙකම ගසා ගත් වීල් එකක්ය. හම්මට උඩු සුනිර අයියාය. සැලුයුට් එකක් ගසා සෑමා ඩෑල් එක පාරේ එහා පැත්තේ නවත්වා ගත්තේය. 

"මොකද පොලිසියෙන් ඉන්නවද ඉස්සරහ?" 

"නැහැ බං.. මම මේ දැනුයි පාර්ක් එකට යන්නේ.."

"අහ් ඊයේ මහ රෑ වෙනකල් හයර් සෙට් වුණා නේද??"

"ඔව් ඕයි ඊයෙ මරු.. කෝමද දන්නෙ??"

"ඒක තමයි හෙඩ් ලයිට් තාම ඔන්.. "

සුනිර අයියලා පවා වැඩ කරන්නේ සෑමාගේ පරිකල්පනය වැඩි දියුණු කිරීමටය. අන්න මිනිස්සුය. ඉස්කෝලෙ ටීචර්ලා වත් අපේ පරිකල්පන මෙව්වා එක ඔප්නැංවුයේ නැතිය. සුනිර අයියා විස්සාස කර ඉදිරියට යා හැකිය. වීල් එකක් අමුතු වදනක් තිබුණොත් සෑමා යන ගමන් වුවද ෆොටෝ එකක් ගසා ගන්නට මැලි නොවන්නේය. සමහර වීල් වල වදන් බොහෝය ඡේද කිහිපයකට එකතු කර ලිව්වොත් ශිෂ්‍යත්වයට වචන් 150කට නොඅඩු රචනාවක් ගොඩ දමා ගැනීම අපහසු නැතිය. එහෙව් වීල් එකක් සෑමා ඉදිරියෙන් ය. සෑමා ක්ෂණික ෆොටෝ එකක් ගසා ගත්තේ ට්‍රැෆික් එකේදී වදන් දහයක් කියවා ගත්තද තවත් වදන් අසූ අටක් පමණ ඉතිරිව තිබූ නිසාය. තවත් පිටුපසින් සිට වාක්‍ය කියවිය නොහැකි විය. සෑමාට දකුණු තීරුවේ ඉඩක් ලද නිසා ඉදිරියට යන්නට සිදු විය. වීල් එකේ අයියා සහ සෑමා එක කෙලින් තීරු දෙකකය. පොර ආතල් එකේය. සිනා මුවින්ය. සෑමා ෂටර් එක විවෘත කර තම පරිකල්පන හැකියාව මැන බැලුවේය.

"වදන් නම් වදන් ඔව්වා තමා මචං.."

"කෝමද හොදයි නේද?? මගෙ එව්වා.."

"ඒකනෙ කියන්නෙ.. අයියාට ස්ටිකර් ගහන යාලුවෙක් ඉන්නවද??"

"අහ ඔව් ඔව් තොරණ හන්දියෙක අහවල් ෂොප් එක මගෙ යාලුවෙක්ගෙ, මම වදන් දුන්නම උෟ ලෙසටම ගහල දෙනවා.."

සෑමා හරිය. තමන්ගේ පරිකල්පනය උපරිම මට්ටමක ඇත්තේය. තව දුරටත් පරිකල්පන මෙව්වා එක මැන බැලීම තවත් ප්‍රශ්න වලට අත වැනීමක් විය හැකි යැයි උපකල්පනය කළ සෑමා පරිකල්පන නිවැරදි දැයි විමසා බැලීම නවතා දැමුවේය.

Written_by_sAm_ශ්‍රී_9:45pm_21/05/18


Friday, May 18, 2018

බලාපොරොත්තු.. - Hopes !!


උබට මේ මොහොතේ බලාපොරොත්තුවක් තියෙනවද?

ඇත්තටම මටත්, ඔබටත් මේ මොහොතේ බලාපොරොත්තුවක් නැතිය. මේ කියන්නේ ඉරහද අල්ලන තඩි බර බලාපොරොත්තු ගැන නොවේය. සරල සුන්දර ඒවා ගැනය. ලබා ගත හැකි එව්වා ගැනය. ගෙවල්, දොරවල්, යාන වාහන, විවාහ යනු බරපතල බලාපොරොත්තුය. එව්වා ගැන කතා කිරීම වැඩක් නැතිය. ඒත් ඉස්සර අපිට සරල සුන්දර බලාපොරොත්තු තිබුණු බව සිහි කළ යුතුය. දැන් එව්වා නැතිය. එව්වා අපි ඒ කාලේම ලබා ගත්ත බව සැබෑය. නමුත් එවැනි සිහින තවත් නැතිය.



ඉස්සර ඉස්කෝලෙ යන්නේ සෙල්ලම් කරන්නටය. කෑම එක ඉන්ටර්වල් එකට පෙර හොරෙන් කන්නේ ඉන්ටර්වල් එක වැඩිපුර ලබා ගන්නටය. වෙලාව ඉතිරි කර ගන්නටය. ක්‍රිකට් ගහනවා නම් යන්නේ බලාපොරොත්තුවකින්ය. වැඩි වෙලා බැට් කරන්නටය. එක්කෝ වැඩිපුර විකට් ගන්නටය. එව්වා බලාපොරොත්තුය. ඉස්සර අපිව ජීවත් කළ එව්වාය. කාලය යන බව නොදැන සිටින්නට අපි රඳවා ගත් සුන්දර බලාපොරොත්තුය. 

විටක යාලුවෙක් පහුවදා ඉස්කෝලය රැගෙන එන ටීවී ගේම් එකක්, ප්ලේස්ටේෂන් හෝ ගේම් සීඩි එකක් එනතුරු බලාපොරොත්තුවෙන්ය. ඉන්පසු එය අතට ගත් පසු ගෙදර යන තෙක් බලාපොරොත්තුය. ඉක්මනට බෙල් එක ගසන තුරු සිටින්නේ ගෙදර දුවන්නටය. එව්වා බර නැතිය. සුන්දරය. ඉටු කර ගත් බලාපොරොත්තුය.

දැන් එව්වා නැතිය. ඉස්සර ටීවි එක පවා බලාපොරොත්තු ගුහාවක්ය. සරල එව්වාය. ටෙලි ඩ්‍රාමාය. පටලැවිල්ල ආනන්ද වික්‍රමගේ ගේ නියම නාට්‍යයක්ය. සතියකට එක දවසක්ය. අද ඉවරවෙන නාට්‍ය ලබන සතියේ මේ වෙලාවටම බලන තුරු ඇඟිලි ගැනිල්ලක්ය. සුන්දරය. ඉටුවන එව්වාය. බලාපොරොත්තුය. ඉස්සර එවැනි ටෙලි ඩ්‍රාමා බහුලය. මායාබන්ධන මේ සතියේ අහවර වී ඊළඟ සතිය වෙනතුරු බලා සිටින්නේ බලාපොරොත්තුවෙන්ය. ලබා ගන්නටය. කාටවත් හානියක් නැති ආශාවන්ය. අපි නොදන්න ලයිව් කාලයක් ඉරිදා දහවල ගියේය. දහම් පාසැල් ඇරී ගෙදර දුවන් එන්නේ බලාපොරොත්තුවෙන්ය. ඉවර වෙන්නට පෙර බලන්නටය. පුංචිම කාලේ ඩේන්ටී රස පැන පවා බලාපොරොත්තුවක්ය. මෑතකදී නම් සෙනසුරාදා වෙනතුරු නොවිසිලිමත් වූයේ කූඹියෝ නිසාය. දැන් එහෙමවත් එකක් නැතිය. බලාපොරොත්තු නම් දැන් ටීවි එකේ ඇත්තේම නැත්තේය.

ඉස්සර අප්‍රේල් නිවාඩු කාලයය. අවුරුදුය. ඔන්චිල්ලාව පවා බලාපොරොත්තුවක්ය. අද රෑ නිදා ගන්නේ හෙට උදේම නැඟිට ගොස් ඔන්චිල්ලාවට ගොඩ වෙන්නටය. අගෝස්තු නිවාඩුවත් එසේමය. සරුංගල්ය. සරුංගලය හැදූ දා සිට නින්දට යන්නේ හෙට නැඟිට ආයේ සරුංගලය යවන බලාපොරොත්තුවෙන්ය. අද නූල් බෝලය ඉවර වෙනතුරු දුන්නේ නම් හෙට ඩොට් වෙන්නට යැවිය යුතුය. තවත් බෝලයක් ගැට ගැසිය යුතුය. දකුණට බර වැඩිය. පස්ස බර මදිය. ප්‍රශ්නය. හෙට නැවත පිළිසකර කළ යුතු බලාපොරොත්තුය. එව්වා සුන්දර ඒවාය.

එක්කෝ සර්කිට් කැබැල්ලක්ය. හෙන ප්‍රොජෙක්ට් එකක්ය. කෑලි ටික රැගෙන ආ තැන සිට එකලස් කර සර්කිට් එක වැඩ කරවන තුරු බලාපොරොත්තුය. එක්කෝ ඩෙසක්ටොප් මැෂින් එකක්ය. හාඩ්වෙයාර් වැඩය. ෆෝමැට් එකක් ගැසීම පවා බලාපොරොත්තුවක්ය. හෙනම එක්ස්පෙරිමන්ට්ස්ය. ආතල්ය. සුන්දර බලාපොරොත්තුය. එක්කෝ අලුත ඉන්ස්ටෝල් කරගත් සොෆ්ට්වෙයාර් එකක්ය. නිර්මාණයක් කරන තුරු බලාපොරොත්තුවක්ය. දැන් ඇප්ස්ය. එහෙව් ලොකු බලාපොරොත්තු නැතිය. අපිට කරන්නට තරම් දෙයක් කිසිම තැනක ඉතිරි කර නැතුවා වාගේය.

සැනසිල්ලේ කල්පනා කර බැලිය යුතුය. දැන් අපිට පොඩි එව්වා නැතිය. ලොකු බරපතල විනාසකාරී ඔලුව කන බලාපොරොත්තු පමණක්ය. පොඩි පොඩි ලබා ගත හැකි ආකාරයේ බලාපොරොත්තු කාටවත් නැතිය. හදා ගත යුතුය. සිත නිවන, ලබා ගත හැකි සුන්දර සරල බලාපොරොත්තු කිහිපයක් ලං කර ගත යුතුය. කාටවත් කරදරයක් නැතිය. කාලය සුන්දරව ගෙවා දැමිය හැකිය.

Written_by_sAm_ශ්‍රී_9:36pm_18/05/2018

Friday, May 11, 2018

විමල් - කරූ මැයි දිනය දහවෙනිදා සමරයි... - Serious May Day !!


මේ පාර කම්කරු දිනය අති මඤ්ඤංය. ලෝකයටම පළවෙනිදාය. ලංකාවට හත් වෙනිදාය. එජාපයට හය වෙනිදාය. විමල් මාමලෑ ගෙදරට ඊයේය. එනම් දහ වෙනිදාය. ඔය කවදා තිබ්බත් අන්තිමට කම්කරුවාට දිනයක් නැතිය. ඒ බව සෑමා ලිව්වේ පරණ බ්ලොග් එකකය. පළවෙනිදා කවුරුත් කම්කරු දිනය සැමරුවේ නැතිය. සැමරුවේ වෙසක්ය. වෙසක් එකට කැළණි පන්සල් වදින්නට ආ බැති මතුන් නිසා පළවෙනිදාත් කම්කරුවෝ වැඩ කළෝය. ඒ පන්සල වටේ තිබුණු කුණු එකතු කරන්නටය. හය වෙනිදා එජාප කම්කරුවෝ රැස් වූවෝය. ඒ දේශපාලන කම්කරුවෝය. හත් වෙනිදා පක්ෂ වශයෙන් තවත් කම්කරුවෝ බෙදී තමන්ගේ කම්කරු දිනය පවා සැමරුවේ පක්ෂයකට යටත්ව ඔලුව පහත් කරගෙනය. හැමදාම වෙන්නේ ඒ ටිකය. විමල් මාමලෑ ගෙදර නම් කම්කරු දිනය සැමරුවේ ඊයේය. ඒ සැමරුම තරම් ආතල් සැමරුමක් කිසිදාක අපෙ ගමේ උන් වෙඩිමකදීවත් දැකලා නැතිය.



විමල් මාමා පෝට්ටුවේය. ඊට එහා ගෙදර කරුණානායක මාමා එජාපේය. විමල් මාමාගේ පවුල හෙවත් සසී ඇන්ටී කෝකටත් නැතිය. සැප ලැබෙන්නේ කුමන පක්සෙන්ද ඇන්ටී ඒ පක්සයට ප්ලග් වන්නීය. ඒ ගමේ උන් කවුරුත් කියන කතාවක්ය. ඇත්තටම ඇන්ටී හරිය. කන්න බොන්නට දෙන එකාට සැලකුවාට කමක් නැතිය. කම්කාරිනයක් ලෙස ඇය දනින් වැටී ලැබෙන දෙයක් දෙන එකෙක් ගෙන් කටේ දා ගන්නීය. කම්කරු දිනයක් ලෙස විශේෂ දිනයක් නොමැතිව විමල් මාමා නැති විට පවා තමන් සොයා එන සේවා දායකයා ඉදිරියේ වැතිරී සිට උපස්ථාන කරන්නීය. ඇය එවිට ඒ ඒ ස්වාමියා ඉදිරියේ දණින් වැටෙන අහිංසක කම්කාරිනිය වන්නීය.

මේ සියල්ල විමල් මාමා නොදැන සිටියා නොවේය. එහෙත් සාකෂි අතේ තියාගෙන නූලට කතා කිරීම විමල් මාමාගේ උපන් හැකියාව නිසා කොනක් සෙට් වෙනතුරු විමල් මාමා නිහඩව සිටියේය. එහෙත් වැඩේ පත්තු වුණේ දහ වෙනිදාය. ඒ කියන්නේ කම්කරු දිනයේ සැබෑ සැමරුම සිසී ඇන්ටිගේ නිවසට උදා වූයේ එදාය. සීන් එක සරලව මෙසේය.

හැමදාම කම්කරු දිනය සමරන සසී ඇන්ටී මෙදාද කම්කරු දිනයට පිටට නොගියාය. කරුණානායක හෙවත් කරූ අංකල් හය වෙනිදා කම්කරු දිනය සැමරූ නිසා හත් වෙනිදා සිටියේ  ගෙදරය. කම්මැලි කමේය. එදා විමල් අංකල්ගේ කම්කරු දිනයය. ඒ කියන්නේ හත් වෙනිදාය. විමල් අංකල්ද ගෙදර නැති නිසා කරූ අංකල්ට මැසේජ් එකක් යවා ඇත්තේ සසී ඇන්ටීය. එහි විශේෂ දෙයක් කියවන්නට නොතිබුණේය. තිබුණේ වචන කිහිපයක් පමණක්ය. 

ComeKaru Dinaya 07

බැලු බැල්මට ඇත්තේ කම්කරු දිනය හත් වෙනිදා කියාය. ඒත් ඇන්ටිගේ ෆෝන් එක කරේ තියාගෙන කෑගසන්නේ විමල් අංකල්ය. ඔහුගේ අතේ එදා කම්කරු දිනය සමරන්නට රැගෙන ගිය නඟුලක්ය. අද මම මේකිගේ ලියැද්ද හාරනවා කියමින් ඔහු මොර දෙන්නේය. විමල් අංකල්ගේ අම්මාගේ හෙවත් සසි ඇන්ටිගේ නැන්දම්මගේ අතේ වක් වූ දෑකැත්තක්ය. ඒ එදා ඇය අතෙ තිබූ දෑකැත්තය. එය කරේ තියාගෙන ඇය කෑගසන්නේ අහු වුණොත් කරූගේ ගොයම් මිටිය දෑකැත්තෙන් ඔප මට්ටම් කරනවා කියාය. එකම ආතල් එකක්ය. ගමේම උන් එතැනය. සසී ඇන්ටී තමන් නිවැරදි බව කියමින් රතු කොඩියක් ගෙන අහස උසට වනන්නීය. ගමේම උන් එතැනට ආවේ මෙතුවක් කල් පමා වී දහවෙනිදා සමරන මැයි දිනය බලන්නටය. අවේලාවේ පාත් වූ කම්කරු දිනය මොකක්දැයි බලන්නටය.

බැරිම තැන සසි ඇන්ටි ගේට්ටුවට නැග්ගාය. ගමේ ම උන් එකතු වූ තැන තම නිරවද්‍යතාවය සනාථ කිරීමට සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵල සටහන සමාජ ගත කළාය. ඇය කීවේ තමන් ඉංග්‍රීසි අසමත් බවය. ස්පෙලින් පවා බැරි බවය. සිංග්ලිෂ් වලින් තමන් කරු අංකල්ට යැවු පණිවිඩය විමල් අංකල් පටලවාගෙන තමන්ට වරද පටවන බවය. අැය කියන්නට උත්සාහගෙන ඇතතේ Kamkaru Dinaya 07 වෙනදා බවය. එහෙත් ඇය වැරදිලා හෝ ටයිප් කර ඇත්තේ Come Karu Dinaya 07 කියාය. එනම් විමල් මාමා ගෙදර නැති දා කරු මාමාට එන්න කියන්නාක් මෙන්ය. කම්කරුවාගේ ලෙයින් නැහැවෙන්නට ගිය රැලියක් ඇන්ටී සාර්ථකව ගොඩ දැම්මේ එලෙසය. දැන් ඇන්ටී හෙට අනිද්දාම ඉංග්‍රිසි ක්ලාස් එකකට යනවා ෂුවර්ය. කරූ අංකල්ද හොඳ ඉංග්‍රිසි ගුරුවරයෙක් බව ආරංචිය.

Written_by_sAm_ශ්‍රී_1:46am_11/05/18

Monday, December 18, 2017

මගේ සඳ ඇවිත්.. - Victor's Full Moon !!


මගේ සඳ ඇවිත්
කොඳ කැකුළු තරු ද සතපා
රැයෙහි කොපුල් රහසින් සිඹ
හිරු දිළෙනා මද්දහනේ
මගේ සඳ ඇවිත්


ඇවිත් ඇත්තේ මගේ සඳය. මෙතුවක් පාළු වූ හද රෑ අහස ආලෝකමත් කරනවා නම් පැමිණිය යුත්තේ සඳය. ඒ නම් රෑකය. රහසේමය. දහවල දහසක් නෙතු අවදියෙන්ය. කොපුල් සිඹිනට රැයද දහවල්ද වෙනසක් නැතිය. එහෙත් මේ පෙම අසම්මතය. ඇයට මට නොව, දකින උන්ට අසම්මතය. යෞවනය ඇත්තේ හදවතේ මිස බාහිරව නොවන බැව් නුඹ දන්නා නිසාම මෙය අපට සම්මතය. ඇය ඇගේ යෞවනය කැප කොට, කොඳ කැකුළු සුවඳත්, තරු රැසක අංකාරත්වයත්, කාන්තාරයක අතරමංවූ හිතකට පාර කියන තරු රැසක් රැගෙන ඇය ඇවිත්ය. 


වදුලූ කොනක සිත සඟවා
දියට බැස නෙළුම් සිඹිනා
බිඟු රැවටූ මා බලන්න
මගේ සඳ ඇවිත්


ඇය සවිමත් විය යුතුය. දහසක් කතන්දර අමතක කොට සිටින්නට ශක්තිමත් විය යුතුය. ඇය ඇගේ සිත වදුලු කොනක සඟවා ඇති අයුරක්ය. නැති නම් මෙතරම් ශක්තියක් අසම්මතයට එරෙහිව ඇයිට තිබිය නොහැකිය. සම්මතයේදී වුයේ මුලාවක් පමණක්ය. මලට හොරෙන් සුවඳ උදුරන බිඟුන් මෙතුවක් මා රවටා ඇත්තේය. එහෙව් මා දකින්නට අසම්මතයට අකුල් හෙලන තැනක, හිරු දිළෙනා මහ දවාලක, සඳ ඇවිත්ය. සමාජයටම සරදමක්ය. කොටින්ම හිරු තමන්ගේම කර ගත් ගිණි මධ්‍යහනේම ඇයි ඇවිත්ය. ඒ නම් මගේ සඳමය.


දෙවමින් දිවයුරුට නිගා
දේදුන්නක පෙම තවරා
මම රැවටූ මා බලන්න
මගේ සඳ ඇවිත්


සඳ යැපෙන්නේ හිරුගෙන්ය. එහෙව් තැනක හිරුට කෝචෝක් කරන්නට සඳට ශක්තියක් තිබිය නොහැකිය. එහෙව් තැනකදී හිරුට නිගා දෙමින් සඳත් ඒ අහසේම දිලෙනවා නම් අපූරුය. ඒ ඇගේ නොපරදින ගතිය ය. මෙතුවක් මුලාවූ, මියැදෙමින් තිබෙන සිතකට හිරුට කෙලින් පායන්නට සඳට හැකි නම් ඒ සඳ මගේමය. අපූරු සප්ත වර්ණ දේදුන්නක එතී, මා විසින්ම රැවටුනු මා අසල මගේ සඳය. ඒ මා බලන්නටමය. 


ඉතිං ඒ සඳ
සියල්ලටම බියෙන්
අහිමි කර ගත යුතුද?



Lyrics: Chandana Manoj Withana
Music / Vocalist: Victor Rathnayaka

Wednesday, December 13, 2017

අඩේ කවුද බං ඒ කෑල්ල.. - Who is That Pretty ??


කිටියා අකැමැතිම වැඩේ සෑමාව කඩේ යැවීමය. ඒක වෙන්න බැරි වැඩක් බව සියල්ලටම සැක හිතෙනු නිසැකය. ඇත්තය. පිරිමින්ව කඩේ යැවීමට කාන්තාවන් කැමැතිය. එහෙත් සෑමා හන්දියේ කඩයට යනවාට කිටියා තරමක් අකැමැතිය. ඒ මක් නිසාවත් නොවේය. අඩි දෙක තුනට හන්දියට යා හැකිය. එහෙත් එසේ යෑමට, බඩු ගැනීමට සහ ගෙදර ඒමට සෑමාට පැයකට වැඩිය ගත වන නිසාය. විටෙක යාලුවෙක් සැට් වී කයියක්ය. නැති නම් බුද්ධික අයියාගේ කමියුනිකේෂන් එකේය. ඔව් අර චක්කර කොළ ෆිල්ම් එක හෙවූ ඩෑල් එකය. එහෙමත් නැති නම් කවුරුන් හෝ කොහේ හෝ යන්නට කතා කළොත් සෑමා සුටුස් ගා ඌත් එක්ක රවුමක් ගසන්නට යන්නේය. ඒ නම් බඳින්නට කලින්ය. ඉස්සර ගෙදර වැඩකට හන්දියට යන සෑමා මතුවන්නේ කන්කසන්තුරේ හන්දියෙන් විය හැකිය. තවත් දවසක් රෑක මිදුලට බහිද්දී පාර ලඟ බස් දෙක තුනකට සෙනඟ ලෝඩ් කරනු දැක සෑමා විපරම් කළේය. බලනකොට ගමේ උන් අනුරාධපුරේ යන්නටය. ඒ අස්සේ එකෙක් වරෙන් යන්න සෑමා කිව්වේය. ඒ හිටපු ගමන්ම බස් එකට නැග සෑමා අනුරාධපුරයෙන් මතු වූයේය. බස්වල සීට් ගාණනට සෙනග සිටි නිසා සෑමා ඉදගෙන ගියේ අන්තිම සීට් එක අසල සිටුවා තිබූ ගෑස් සිලින්ඩරයක් උඩය.

ඒ කාලේ එහෙමය. දැන් බැදලාය. වැස්සේම කඩේට ගිය ඩෑල් එකක කතාවක් සෑමාට මතක්වෙන්නේය. කඩේ මුදලාලියා කඩේට ආපු මනුස්සයා දෙස බලන්නේය. කුඩයක් නැතිය. තෙමිලාය. හතිදාගෙනය. ෂර්ට් එක අපිළිවෙලය. කඩේ මුදලාලි ඩෑල් එකෙන් ආතල් එකක් ගන්නට සිතා මෙලෙස ටෝක් කළේය.

"මහත්තයා බැඳලා

නේද?"

"නැතුව අයිසේ.. වයිෆ් එව්වොත් මිසක් මේ වැස්සෙ අපෙ අම්මා මාව කඩේට එවයි කියල හිතුවද??"

ඇත්ත සීන් එක එලෙසය. මුදලාලිට කට උත්තර නැති වෙන්නට ඇතිය. කඩේ යන සීන් එකේ අපහසුතාවය කෙතරම්ද දන්නේ වයිෆ්ලාට කඩේ යන අපි වැනි අසරණ ඩෑල්ය. ඒ නිසාම උදේ ගෙදරින් පිටත් වෙද්දී සෑමා කිටියාට කියන්නේ අවශ්‍ය බඩු ලිස්ට් එක මැසේජ් කරන ලෙසය. එහෙත් කිසිම දිනක මැසේජ් එක ආ සැනින් බඩු මිලට ගත යුතු නොවන්නේය. මැසේජ් එක උදේ 10 ලැබුණහොත් එතැන් සිට උදේ 11, දහවල් 12, දහවල් 1 ආදී වශයෙන් සවස පහ වෙනතුරු ලිස්ට් එක අප්ඩේට් වීමේ හැකියාවක් තිබිය හැකිය. එනිසා කලබල වී බඩු ගන්නට වුනොත් වැඩ කරන්නට වෙලාවක් නොලැබෙන්නේය. බඩුම අත ගගා ඉන්නට සිද්ධ වන්නේය. ඊටත් වැඩිය ඇඟට හොඳම ක්‍රමය නම් සවස පහ හය කිට්ටු වී ගෙදරට යන අතරම මඟදී බඩු ලිස්ට් එක එකතු කර ගැනීමය. එහෙත් ඉතා විශ්වාසයෙන් හා වගකීමෙන් ප්‍රකාශ කළ හැකි එක දෙයක් ඇත්තේය. ගෙදර ගිය විගස ලිස්ට් එකේ දමන්නට බැරි වූ එකක් හෝ ගන්නට ගමේ කඩයට, හන්දියට යන්නට වෙනවා ෂුවර්ය. ඒ පිරිමින් සදා ලබා උපන් හැටිය.

කඩේ යන සීන්, හන්දියට ගෑටීමේ සීන් එහෙව් තත්වයක තිබියදී සෑමාට පසුගිය දිනෙක හන්දියට යන්නට සිදු වූයේ කිසියම් දෙයක් රැගෙන ඒමටය. හන්දියට ගිය ගමන්ම සෙට් වුණේ බෆලෝය. කතා ගොඩක්ය. අරක මේක ඒක සියල්ල කතා කොට තවත් ඉදිරියට යද්දී අපෙ පරණ මිත්‍රයෙක්ය. නම කිව්වොත් කතාව ලියන්නට බැරි වෙනවාය.

"ආ සෑමා.. කෝමද??"

"ඉන්නවා බං.. ඇයි මේ පැත්තට බැහැලා.. කාලෙකින්.."

කතාව දිගට ගලා යන්නේය. කොල්ලා ඉස්සර හිටියේ මෙහේය. දැන් බැඳලාය. පිළිවෙලය. දියුණුය. ඒ නිසා සතුටු කතාය. සවිස්තරාත්මකය. දෙදෙනාම කතා කරන දිසාවට ඈතින් කෙල්ලෙක් පැමිණෙන්නේය. මිතුරා සෑමාට ඇමතුවේය.

"අම්මට උඩු අර බලපං කෝ මේ පැත්තට එන කෑල්ල... අඩේ කවුද බං ඒ??"

"අපොයි.. ඊයා බං.. බලහංකො හැටි.. පැත්තට ඇවිදින්නේ.. අප්පිරියයි ඕයි.."



සෑමා සවිස්තරාත්මකව ඇගේ ගමන, හැඩය, හැසිරීම විස්තර කළේය. කොල්ලාට කිසිත් කියන්නට ඉඩක් නොලැබෙන දුරින් ඈ සිටි නිසා නිහඩව සිටියේය. ඇය පැමිණි විගස අප මිත්‍රයා සමඟ කතා කළේය. සෑමා උඩු කුරුඤ්ඤංය. සියල්ල බලා සිට ඇය නැවත යනතුරු සිට ඔහුගෙන් විමසුවේය.

"කවුද බං ඒ?"

"වයිෆ් යකෝ.."

මිතුරා ආතල් එකක් ගන්නට ගොස් කෙලවා ගත්ත ආකාරය සෑමාට වැටහුනේය. ගෙදරට නැවත එනතුරු තනිවම සිනාසෙනවා ඇරෙන්නට සෑමාට කරන්නට දෙයක් ඉතිරිව තිබුණේ නැතිය.


Written_by_sAm_ශ්‍රී_13/12/2017

Monday, December 11, 2017

සුනීර මැතිවරණ අපේක්ෂකයෙක්ද.. - Is Suneera Election Candidate ??


සුනීර අයියා අපේ ගමේ එකෙක්ය. ඒ නිසාම හැම එකාම කිව්වේ ගමේ එකාට සපෝට් කරමු කියාය. ඒක ඇත්තය. ගමේ එකෙක්ට වැඩ කළොත් පාරකට තාර ටිකක් බැරි නම් කොන්කිරිට් ටිකක් හෝ වක් කර ගත හැකිය. එහෙම කිව්වේ අපේ අත්තම්මාය. ඒ ඇය ප්ලේන්ටියක් වක් කොරන ගමන්ය. අත්තම්මා පරම්පරා ගත එක්සත් ජාතික පාක්ෂිකාවක්ය. පසුගිය මැතිවරණයකදී අලියා නැතුව හංසයා ඡන්ද පත්‍රිකාවට ආවේය. අවුරුදු අනූවක් ගියත් අත්තම්මා ඡන්ද පෝලිමේ යන්නේ තනිවමය. තනිවම කතිරය ගසා පෙට්ටියට දමන්නේ අලියා රැක ගැනීමටය. එහෙව් පරමාර්ථයෙන් අලියා නැති මොහොතක හංසයා ඡන්ද පත්‍රිකාවේ සිටිනු දැක අත්තම්මා ෆොක්ස් වූවාය. බැරිම තැන එතැන සිටි මැතිවරණ නිලධාරියෙක් ලව්වා අලියා සොයා දෙන ලෙස ඉල්ලා සිටියාය. අවුරුදු උත්සවයේදී අලියා සිටියදී ඇහැ සෙවීමට තරඟකරුවන්ට සිදු වන්නේය. එදා අත්තම්මාට සිදු වූයේ ඇහැ තිබියදී අලියා සෙවීමටය. එහෙත් නිලධාරියා කිව්වේ මේ පාර අලියා නැහැ ඒ වෙනුවට හංසයා ඉන්නවා කියාය. අත්තම්මාට මල පැන්නාය. අලියා කළු පාටය, හංසයා සුදු පාටය. පක්ෂය පාවා දිය නොහැකිය. කියමින් ඡන්දය කටු ගෑවාය. එජාප ඥාතීන් රැසක් ඉන්නා අපේ ගෙදර උන්ට කොකා පෙනුනේ එදාය. අත්තම්මාව කලින් දැනුවත් නොකිරීමේ ආදීනවය මැතිවරණය ජය ගත්තාට පසුවද කම්පාවට හේතුවක් වූයේය. ඒ එක ඡන්දයක හෝ වටිනාකම අපෙ උන් දන්නා නිසාය. අපරාදේය. තාමත් කියන්නේ එලෙසය.

මෙවර අත්තම්මා ජවිපෙට හැරිලාය. අපි නම් දෙන්නේ සුනිර කොලුවාට යැයි කියන්නීය. පැවැත්වෙන්නට තිබෙන්නේ පලාත් සභා ඡන්දය ය. එනිසා පක්ෂය නොබලා පුද්ගලයාට ගැසුවාට කමක් නැතැයි ආත්තම්මා ලැජ්ජා නැතුව කියන්නීය. හංසයාගෙන් මට්ටු වෙලා නැද්දැයි අපේ ගෙදර කසු කුසුවක් යන්නේය. මෙතුවක් ගමෙන් සුනීර කියලා එකෙක් නම් ඡන්දයට ආවේ නැතිය. එහෙව් එකේ අපෙ අත්තම්මා මෙවර එකපාර අප්ඩේට් වූයේ කෙසේද යන්න අපිටත් සැකයක් උපන්නේය. විටෙක රතු කොලුවෝ පැමිණ සමාජවාදය උලුප්පා පෙන්වා දෙන්නට ඇතිය. තරුණ ජවය පෙන්වන්නට ඇතිය. නැතහොත් ආත්තම්මා හපා බිම හෙලන බුලත් විටය රතු පාට බව පෙන්වා දෙන්නට ඇතිය. ආත්තම්මා සහ බුලත් හපය අතර ඇති ආත්මීය බැදීම ආත්තම්මාගේ ඡන්දය ජවිපයට දෙන්නට තරම් ප්‍රබල වූවා දැයි සැක සහිතය. කෙසේ හෝ අපේ ගෙදර උන් මේ දිනවල සොයන්නේ ආත්තම්මාගේ ඡන්දය කොල්ල කෑ එකා කවුද යන්න ය.

පොඩි සෑමාටත් කරන්නට දෙයක් නැතිම තැන ආත්තම්මාට කිට්ටු වූයේ ජවිපෙට බැස්ස හේතුව අසන්නටය. අත්තම්මා පටන් ගත්තේ සමාජවාදයෙන්ය. සීයාගේ ධනවාදයට මින්පසු හසු නොවන බව ඇය කීවාය. සුනීර කොලුවා ගමට වැඩක් ඇති එකෙක් බව ඇය පුල පුලා කිව්වාය. 

"මොකද අත්තම්මේ කෑමක් වත් විස වුණාද මේ පාර අලියා පාවා දෙන්න යන්නේ.." බැරිම තැන පොඩි සෑමා හඩ අවදි කළේය.

"ඇයි දැන් උබ එනවද මට ඡන්දෙ කරන හැටි උගන්නන්න.."

"නෑ අත්තම්මෙ මේකනෙ.. දැන් බලේ තියෙන්නෙ රනිල් ලොක්කටයි, සිරිසේන ලොක්කටයි... ඉතිං අහවල් එකටද ජවිපෙට දෙන්න යන්නෙ.."

"බලේ කන්නද බොලව්.. උන් කරන එකක් කර ගත්තාවෙ.. මම කැපුවත් කොළ.. ඒත් මේ ගමේ එකාට නොදී ගෙදර බතක් උයාගෙන කන්න ලැජ්ජ නැද්ද තොපිට??"

"හරි දැන් ඌ ආවා කියමුකෝ.. කොහොමද බලේ නැතුව ප්‍රතිපාදන වෙන් කරගෙන ගමට වැඩක් කරන්නෙ??"

"කෝම හරි වෙන්නෙ නැතෑ බං.. ඒ වගේද අපෙ එකෙක්.. ඔහොම තැනක ඉද්දි.. "

"දැන් ඕකා කාගෙ කවුද? "

"යකෝ උබලා බජාර් එකේ ඉන්න කොල්ලො නේද? කෙල්ලෝ ගැන නම් දන්නවා ගමේ කොල්ලව දන්නෑ.."

"මට නම් එච්චර නිච්චියක් නැහැ ඒකව.."

"නිච්චි නැත්තං ගීං බලහං.. පාලම යට පොල අයිනේ තඩි කටවුට් එකක් ගහලා තියෙනවා රතු පාටින්ම.. අංක තුන සුනීර දිනවමු කියලා.."

"හෑ.. උන් මේපාර මනාප පොරයටත් බැහැලද??"

"නැතුව.. අංක එකෙන් ඉල්ලන්නෙ.."

සොට් එකටම ආත්තම්මා බුලත් කොළය මැද්දට හොද ටොපියක් තියාගෙන කාලා විය හැකිය. මනාප ඇතුව ජවිපෙ උන් ඡන්දෙට බහිනවා නම් වෙන්න බැරි වැඩක්ය. සෙනිකව පොළ අසලට ගොස් කටවුට් එක බැලිය යුතුය. 



පොළ අසලට යන්නට පෙර සිටම මඟ දෙපස කට්අවුට්ය. පෝස්ටර්ය. ආත්තම්මා රැවටෙන එක සාධාරණය. සුනීරයා රතුපාට පසුබිමක, අංක එකේ ඉලක්කමෙන් තරඟ වදින්නේය. බලනකොට ඉලෙක්ෂන් එකට නෙවේය. තරු තරඟයකටය. 

දැන් ඉතිං ඡන්ද කොළයේ අලියා නැතුව හංසයාට කතිරය නොගැසූ ආත්තම්මාගේ සිත වෙනස් කළ යුතුය. සුනීර යනු ඡන්දය ඉල්ලන්නට ආ අපේක්ෂකයෙක් නොව, තරු තරඟයකට ගිය ඩෑල් එකක් බව ආත්තම්මාට කියා දිය යුතුය. සමාජවාදය රජ කරවන්නට සුනිර පුතාට බැරි බවත්, කැඩිච්ච පාරට තාර දමන්නට ඔහුට නොහැකි බවත් ආත්තම්මාට කියා දිය යුතුය. ජනවාරියට පෙර ආත්තම්මා දැනුවත් නොවුනහොත් පලාත් සභා ඡන්දයද කටු ගානවා ෂුවර්ය.

Written_by_sAm_ශ්‍රී_12:15am_11/12/17
Related Posts Plugin for WordPress, Blogger...