Showing posts with label අතීත මතක. Show all posts
Showing posts with label අතීත මතක. Show all posts

Saturday, October 14, 2023

බේකරියේ සිරවූ විපුලයා.. - Vipula stucked at the Bakery !!!

කාලෙන් කාලෙට අපිට සෙට්වෙන ගැන්සි විවිධය. ඉස්කෝලෙ යන කාලයේ නම් ඉස්කෝලෙ සෙට් එක, බස්හෝල්ට් එකෙ සෙට් එක, ක්ලාස් එකෙ සෙට් එක, ආදී ලෙස විවිධ ස්ථාන අනුව ගැන්සියක් සෙට් වීම හොදම උදාහරණයක්ය.

දැන් සෑමා ඉන්නා සෙට් අනුව එක සෙට් එකක් නම් මොන්ටිසෝරි සෙට් එකය. උන්ව සෙට් වෙන්නේ උදේ 8ට හා දවල් 11.30ටය. තුන වසරේ සෙට් එක තවත් සෙට් එකක්ය. උන්ව සෙට් වෙන්නේ දවල් 1.30ටය. දැන් ඉන්නා සෙට් වලින් ගොඩක්ම ඉන්නේ වයසක සෙට්ය. කාලීනව ඒවා වෙනස් වීම අරුමයක් නොවේය.


ඔය හැම සෙට් එකම සෙට් වෙන අවස්ථාවක් අනිවාය. ඒ කියන්නේ ටේබල් එකක් වටේට සෙට් වීමය. ඒ අනුව මොන්ටිසෝරි සෙට් එක මුලින්ම සෙට් වුනේ සම්පත් අයියලෑ දිහෑය. සම්පත් අයියා කියලා මුලින්ම කිව්වාට පහු පහු වෙද්දී මෑන්ට අපෙ මොන්ටිසෝරි සෙට් එක කියන්න ගත්තේ සම්පා කියාය. දැන් දැන් ඌට කියන්නේ සම්පයියා කියාය. ඒක හැටිය. මුලින්ම මුලිච්චි වෙද්දී තියෙන් ගෞරවය හා පිළිගැනීම පහු පහු වෙද්දී ෆිට් එක වැඩි වෙද්දී යන්නේ දෙපිටින්ය.

ඔන්න සම්පයියෑ ගෙදර මුලින්ම සෙට් වුන දවසේ කස්ටිය රෑ ගෙදර එන්නෙ නැතුව පහුවදාම ගෙදර ආවා මතකය. ඒකත් පහුවදා දවල්ය. ඒ තරමට සම්පයියා අපිට සැලකුවේය. පහුවදා උදේ කන්න යමක් හොයන්නට යද්දී සම්පලෑ උඩහ බේකරියක් තිබ්බේය. ඉතිං පළවෙනි දවසේම සම්පෑ බේකරිය සෑමාගේ මතකයේ රැදුනේය.

ඔහොම කල් ගෙවෙද්දී දවසක් රෑක සම්පාට බයිටක් දෙන්නට සිතා අපි ගත්තේ කෝල් එකක් ය. හදුනාගන්නට බැරි පරිදි ඥංඥුං හඩින් සම්පා ඇමතුවේ සෑමාය.

අඥේ ඥංපත් අයියේ..

ඔව් කවුද මේ කියන්න..

අඥේ අය්යේ මඥ් මේ බේකරියෙ ඉදන් කතා කරන්නේ..

ඔව් කියපං

මාව මේ බේකරියෙ උන් ඇතුලට දාලා වහලා අයියේ

ඈ.. මේ වෙලාවෙ.. ඔතන කවුරැවත් නැද්ද

ඥෑ අයියේ.. මුං ඔක්කෙම ගිහින්.. මම මේ ඇතුලෙ ඉදන් කතා කරන්නේ..

කවුද බං මේ..

මම විපුල අයියේ..

හිටහං මම පොඩ්ඩක් බලන්න..


කියලා තියපු සම්පා සෑමාව සැක නොකර සතියක් විතර ගෙවුනේය. මොන්ටිසෝරිය ලග සැට් එකටම සීන් එක ගැන කියපු සෑමා රෙකෝඩින් එකද ඇස්සෙව්වේය. සම්පා දකින වාරයක් පාසා විපුලයා සිහිවී සිනා යෑම අපට අවසන් කරගත නොහැකි තැනට ආවේය. අන්න එදා අපි සම්පාට ඇස්සෙව්වේ රෙකෝඩින් එකය.

හෑ &$(කන්නෝ.. අරුං අරහෙ විපුලයා කවුද කියලා හොයනවා..

කවුද ?

බේකරියෙ උන්..

අප්පට සිරි..

ඔව් බං.. මම හිතුවා උදේට අපි කෑම ගන්න කඩේ ඉන්න ඥංඤුං ඩෑල් එක වෙන්න ඇති බේකරියෙ හිරවුනේ කියලා. තව පොඩ්ඩෙන් මම උගෙනුත් අහනවා මොකැ මල්ලි උනෙ කියලා.

ඉතිං සම්පයියේ එදා රෑ මොකෝ උනෙ ?

ඇයි බං මං එදා නිදිමරගාතෙම බේකරිය උන්ට කතා කරලා කිව්වා අන්න කවුද එකෙක් ඇතුලෙ හිරවෙලාලු ගිහින් දොර ඇරපල්ලා කියලා.

උන් පහුවදා උදේ සම්පට කියලා එහෙම එකෙක් හිටියෙ නැහැ කියලා..


සම්පා එදායින් පස්සෙ බේකරිය පැත්ත පලාතෙ ගියෙ නෑය. බේකරියෙ උන් සම්පා දැක්කාම අත වනලා හිනාවෙනවාය කියලා සම්පෑ පවුල මොන්ටිසෝරිය ලගදී කීවාය.


Written_by_sAm_sRi_10:00pm_14.10.2023

Thursday, June 24, 2021

දුමින්දාගමනය - Duminda Arrives !!


අද පොසොන්ය. ඒ කියන්නේ කලා ශිල්ප ගණනාවක් සමඟ ලංකාවට අනුබුදු මිහිඳු හිමි වැඩම කළ දවසය. උදේම නැඟිට්ට ගමන් කරන්නට උනේ ඉස්කෝලෙ වැඩක්ය. සෑමා ඉස්කෝලේ නොගියාට පුත්‍රයා ඉස්කෝලේ යන්නේය. යනවා කිව්වට කොල්ලා යන්නෙ ලැප්ටොප් එක ලඟටය. ගිහින් ලැප් එකට වැඳ, පන්සිල් කියන්නේය. ඉන්පසු ස්ක්‍රීන් එක දිහා බලාගෙනම පාසැල් ගීය හා ජාතික ගීය කියා පාසැලේ වැඩ අරඹන්නේය. දැන් ඉස්කෝලේ යෑම එහෙමය. ඉස්සර වැඩිහිටියෝ පොඩි උන්ට හෙවත් අපිට විහිලු කළේ උබලා වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා යෑ... කියලා ය. දැන් ළමයි ලොකු උන දාක මුල් ළමා විය ගැන කුමන ජෝක්ස් එළියට ඒ දැයි සැකය.

පොසොන් පොහොය නිසා ගෙදර සෙට් එකම එකට ඉදගෙන දුර පේන තැනිතලා ගැන ගීතයක් ගායනා කළ යුතු බවත්, එය වීඩියෝ කළ යුතු බවත් සහ එය පාසැලේ ගෲප් එකට එවිය යුතු බවත් කිව්වේ ටීචර් ය. අන්තිම දවසට කලිනුත් ටීචර් කිව්වේ ළමයි හැට නම ලක්සයෙන් එකම දරුවයි තවම එව්වේ කියාය. ඒ අපි නොවේ වෙන දරුවෙක් ය. ඊයේ උදේ කිටියා ඕගන් එක ගසද්දී කිහිප වරක් රිහසල් කළ අපි එක වර වීඩියෝ කර යූ නල ගත කළේ ඒ වීඩියෝ එකය. ටීචර්ට වීඩියෝ එක යැව්වාම ඇය කිව්වෙ අනේ නයිස් අම්මා, බට් කට්ටිය හිටං කිව්වා නම් මැක්ස් ප්‍රෝ කියලාය.

 මල කෙලියක්‍ ය. වන් ශොට් වීඩියෝ එක ගත්තේ ආයි පොඩි උන් තුනක් එක්ක හිටං කරන්නට බැරි නිසාය. ඉදන් කළේ උන් මෙල්ල කර ගැනීමටය. ෆෝන් එක කබඩ් එකක් උඩ අටවා ශේප් එකෙ ගත් වීඩියෝ එක නැවත කැටයම් කළ නොහැකිය. ඒ නිසා අනේ ටීච මේ අමාරුවෙන් කළේ මීට වඩා බෑ කියූ විට ඈ ඕකේ කිව්වාය. ඒ නිසා ටීචර් හොඳය. <3

උඩහ කඩේ අක්කා පෝයට බිත්තර දෙන්නේ නැතිය. ඇය කියන්නේ පෝයට බිතතර දෙන එක පෞ කියාය. ඉතිං පෝයට දාන බිත්තර වලට කිකිළී මක් කරනවාද දන්නේ අක්කාය. එක දවසක් ඇය කිව්වේ අනේ මල්ලී අතට දෙන්න බෑ ඔයාම අත දාලා බිත්තරේ ගන්නවා නම් ඕකේ කියාය. එදා බිත්තරේ ගත්ත දා සිට පෞල කිව්වේ අපි පෝයට සෝයා කමු කියාය. ඒ නිසා ඊයේ සෑමා දඩයම් බට්ටා පැකැට් එකක් ගන්නට කඩේට ගියේය. අක්කා බට්ටා සෑමා අතේ තබන්නට යද්දී එතැනට ආ කඩේ අයියා කිව්වේ බට්ටා එපා මල්ලීට පොලොස් රස එකක් දෙන්න කියාය. අනේ අයියේ අපි ඔරිමජිනල් පොලොස් කොහොමත් කන නිසා අපිට බට්ටාම දෙන්න කියා සෑමා එය ගෙදර අරං ආවේය.

සෑමා උදේ වීඩියෝ එකට සබ්ස්ටයිට්ල් දමමින් නටද්දී කිටියාගෙන් කම්ප්ලේන් එකක් ය. අනේ මේවා ගෙනාවෙ ඇයි. මේකෙ ISO, SLS සහතික නෑනෙ. එවලේ එව්වාට රිප්ලයි නොකළ සෑමා වැඩේ සිහියෙන් සිටියේය. ඒ සහතික දෙන සමාගමේ ඇන්ටී පවා කිව්වේ අනේ ඒ සහතික හරියට දෙන්න ගියොත් මිනිස්සුන්ට කන්න දෙයක් නැති වෙනවා කියාය. ඉතිං එහෙව් රටේ ISO SLS සහතික නැති කඩේ අක්කාගේ බිත්තරේ සෑමාට විශ්වාස බව කිව යුතුය.

වෙසක් පෝයට ඉස්කෝලේ පාඩමට වෙසක් ගැන බුද්ධාගමට කියා දුන්නාට පසු කොල්ලාට ඊළඟ පාඩමට තිබ්බේ පන්සල් ගිහින් පිළිවෙලට වඳින ස්ථාන ගැන සහ එව්වාට වඳින ගාථා ගැන පාඩමක් ය. අවුරුද්දේ මුලම කොල්ලාගේ පොත් සෙට් එක අවබෝධ කරගත් සෑමා දිනපතා හවස බුදුන් වඳින සෙග්මන්ට් එකට ඒ ගාථා ඇතුලත් කළේය. ඒ නිසා කිසිම අවුලක් නැතුව පාඩමට පෙර පිළිවෙලින් චෛත්‍යය, බෝධිය සහ බුදු පිළිම වඳින ගාථා කොල්ලාට පාඩම් විය. හොඳම හරිය උනේ ඉතිපිසෝ ගාථාව වාර විභාගයට ප්‍රශ්නයක් ලෙස තිබීමය. කොල්ලා ගානක් නැතුව කියලා දැම්මේ ඒ ගාථාවය.

පොසොන් වලට කලින් පොසොන්, මිහින්තලය සහ මිහිඳු හිමි ගැන කතා කිව්වාට කොල්ලා දේවානම්පියතිස්ස නම හරියට කිව්වේ ඊයේය. මුල් වාරයේ සර්වමිත්‍ර බමුණා කියන නම කිව්වාට වඩාඒ වචනය අමාරු විය. එහෙව් කොල්ලාට දුර පේන තැනි තලා ගීතය යම්තම් හෝ හුරුවීම අපිට දුමින්දාගමනයට වඩා සතුටුය.

ඉතිං අපි කිරිබත් පිස හන්දියේ බෙදා ලක්ස 69ක් සමඟින් සැමරීමු.


ලින්ක් එක බලා සැදැහැවත් සිත් උපදවා ගන්න.

ඒ උපන් සිතින් සබ්ස්ක්‍රයිබ් කරන්න.


බුදුසරණයි !


Written_by_sAm_sRi_4:00pm_24.06.2021

Wednesday, April 3, 2019

අයියාගෙ රස්සාව... - Aiya's Job !!


ගමේ උන්ට ඕනේ නැති දෙයක් නැත. පාර අයිනේ නිවස ඇති නිසා පාරේ යන උන්ට සියල්ල පෙනේ. වාහනය හෝදන අතර පාරේ යන ඩෑල් එකක් සෙට් වුනොත් "අහ් මේක හෝදනවා ඉවරයක් නැහැනේ" යැයි කියයි. ආයේ දවසක ඒ පුද්ගලයාම සෙට් වුනොත් "අයියෝ දූවිල්ල නේ.. මේක හෝදන්නේ නැද්ද" යැයි අසයි. පනිට්ටුව, ප්‍රෙෂර් ගන් එක දී හෝදපං කියා කනට දෙන්නට සිතෙන්නේ එවිටය.

ප්‍රෙෂර් ගන් එක කිව්වාම තවත් කතාවක් මතක් විය. ගන් එකක් සල්ලි දීලා ගත්තේ සර්විස් සෙන්ටර් වලට පන්සීය බැගින් පුදන්නට බැරි නිසාය. පන්සියය බැගින් විසි වතාවක් සේදුවොත් දසදහසක ගන් එකක් ගත හැකි නිසා පහසු ගෙවීමේ ක්‍රමයට සෑමා ගන් එකක් ගත්තේය. සෑම සති අන්තයකම ප්‍රෙෂර් ගන් එකෙන් වාහනය හේදීම සෑමාගේ සිරිතය. සර්විස් සෙන්ටර් එකට වැකියුම් කරන්න පුදන මුදලත් ඉතිරි වන්නේ අර අටමා අටවා දුන් රුපියල් 1000ට ගත් වැකියුම් ක්ලීනර් එක තවමත් වැඩ නිසාය. එය වෙළඳපොළ මිල තවමත් රුපියල් 15000ක් පමණය. ඉතිං ඔය සති අන්ත සමහරක සෑමා ප්‍රෙෂර් ගන් එක එළියට ගන්නට කම්මැලි කම නිසා ටැප් එකට හෝස් එක පමණක් ගසා කම්මැලි සේදිල්ලක් සෝදන්නේය. එහෙම හෝදන වෙලාවක දවසක් ආපු ඩෑල් එකක් කිව්වේ අපෝ තියෙන පෙරේතකම සර්විස් එකට දාලා හෝදන්නකෝ කියාය. එවිට සෑමා කිව්වේ ඔව් අප්පා වියදමක් නේ ඒ නිසා අතින් සෝදනවා කියාය. ගන් එක ගැන ඉන්ට්‍රොඩියුස් කරනවාට වඩා ඌව පිටත් කර හෝදන කාර්යය ඉක්මන් කර ගත හැකිය. පසු දාක ගන් එකෙන් සෝදන වෙලාවක ඒ ඩෑල් එකම පැමිණියේය. "ආ අලුතින් ගන් එකක් ගත්තාද? මේක නම් වටිනවා" කියූ විට සෑමා කියුවේ අර එදා ඔයා පෙරේතකම් නොකර සර්විස් සෙන්ටර් එකට යන්න කියපු දවසෙත් මේක තිබ්බා කියාය. මෑන්ස් මිසින්ය.

මෑත දිනයකදී මැෂින් එකෙන් වාහනය සෝදන වෙලාවක කඩේට ආවේ සෑමා පාසැල් සමයේ සිට දන්නා ලස්සන නංගි කෙනෙක්ය. ස්කූල් වෑන් එකේ ගියත් සෑමාව නොදන්නා ගානට ආ නිසා සෑමා ගණනකට නොගත්තේය. කඩේට ගොස් ඇය අම්මා සමඟ චැටක් දමා පත්තරයක්ද රැගෙන ආපසු යද්දී 

"ආ..ඔයා දන්නවද මේ නංගිව?" කියා ඇසුවාය.

"මොකද මම නොදන්නෙ? මෙයානෙ මාව නොදන්නෙ"

"අපෝ නැහැ අයියෙ. අම්මා කිව්වාම මට මතක් උනෙ"

"ඔව් ඔයා අපෙ ස්කූල් වෑන් එකෙනෙ ගියෙ"

"ඔව් ඔව් සරත් අංකල්ගෙ එකෙ.."

"ඔයාගෙ යාලුවා බෝධිනී නේ??"

"අන්න හරි.."

"හෙලේනා එකට නේ ගියෙ??"

"අම්මො ඔයාට ඔක්කොම මතකනේ.."

"අපො අපිට කෙල්ලො ගැන අමතක වෙනවද?"

"මම අයියෙ බැන්දෙ කෑගල්ලෙන්. ටුවින්ස් ලා ඉන්නෙ. දෙන්නම අයියගෙ පුතාගෙ වයස"

"අනෙ හොඳයි නෙ.."

"අයියා මොකද දැන් කරන්නෙ? ඔයාද මේ ගරාජ් එක කරන්නෙ??"

"කොයි??"

"මේ වාහන ගොඩක් ගහල තියෙන්නෙ.. අහ් සෙරි සර්විස් සෙන්ටර් එකක් නේද??"

කඩයට ආ වාහන කිහිපයක් සහ සෑමා සෝදන වාහනය පෙන්වා ඇය සෑමාට ජොබ් එකක් දුන්නාය.

"ඔව් නංගී වාහනයක් හෝදගෙන ෂේප් එකේ ඉන්නවා.."

"අනෙ අයියෙ බබාලා නිසා මමත් ජොබ් එක අතෑරියා. දැන් ගෙදර ඉදන් හරි කරන්න මොනවා හරි දෙයක් බලනවා."

කියමින් ඇය සෑමාට නම්බරය දී පිටත්ව ගියාය.

sAmsRi_04/03/19_11:18pm

Monday, April 1, 2019

වෘත්තීය ලෙඩ - Occupational Diseases !!


වෘත්තීය ලෙඩ වර්ග දෙකකි. එකක් මානසික සහ අනෙක කායික ලෙඩය. මානසික ලෙඩ ගොඩක් ඇත්තේ ලොක්කන්ටය. කොන්ද නමාගෙන පහළ උන් සිටීම දැකීම, අනිත් උන්ට බැරි වී තමන්ට පුලුවන් වීම, උන්ට කඩේ යනු දැකීමට කැමති වීම, උන් නිතර හරි යැයි අනිත් උන් පිළිගත යුතු බව වැනි මානසික ලෙඩ බහුතරයක් ඇත්තේ ලොක්කන්ටය. පොඩ්ඩන්ට ඇත්තේ කායික ලෙඩය. මානසික ලෙඩ ඇත් සොක්කන්ද නැතුවා නොවේය. උන්ටත් තමන් අනිත් උන්ට වඩා ලොකු යැයි සිතා එන සමහරක් මානසික ලෙඩත් සහිතය. උන් සොක්කෝය. එහෙත් පොඩි අපි වගේ උන්ට මානසික වෘත්තීය ලෙඩ වලට වඩා ඇත්තේ කායික වෘත්තීය ලෙඩය. සෑමාට ඇති අත්දැකීම් අනුව තමන් නිරත වෙන වෘත්තිය අනුව විවිධ ලෙඩ ඇති විය හැකි බව කිව යුතුය. ඒ අතර නිතර තමන් සිටින ඉරියව්ව බලපාන්නේය. වැඩි වේලාවක් සිටගෙන සිටීම හෝ ඉඳගෙන සිටීම අනුව විවිධ වෘත්තිය රෝග ඇති විය හැකිය.



කාලයක් සෑමා මර්චන්ඩයිසින් රස්සාවක් කළේය. ඒ කාලයේ සිටියේ මීයා අල්ලගෙනමය. ලැප් නැති කම්පියුටර් තිබුණ කාලයේ මීයා අල්ලන් සිටිය නිසා සෑමාගේ දකුණු අතේ මැණික් කටුව යටි පැත්තේ රිදිල්ලක් ඇති විය. පුංචි ගෙඩියක් මට්ටමට එතැන ඉස්සී මහා රිදිල්ලක් බවට පත්වන්නට ගියේ සුළු කාලයක්ය. දොස්තරලා ලඟට නොගොස් ඉරියව්ව වෙනස් කිරීමෙන් එය යලි නිවැරදි කරගන්නට සෑමාට හැකි විය. කළේ සුළු ප්‍රතිකර්මයක් පමණක්ය. මවුස් පෑඩ් එකක් මත මීයා තබා පෑඩි එකේ ස්පොන්ජ් ගැට්ටක් මත මැණික් කටුව තබා ගැනීමෙන් වේදනාව මාසයක් පමණ යද්දී නැති වී ගියේය.

පසු කාලෙක ඒ වගේම කොන්දේ අමාරුවක් ඇති වී සෑමා මහ දුකක් වින්දේය. නැමෙන්නට බැරිය. කෙලින් වෙන්නට බැරිය. බොහෝ අය කිව්වේ මෙට්ටයේ හෝ කොට්ටයේ අවුලක් කියාය. දොස්තරලා බෙහෙත් දුන්නේ වේදනාව සමනය වීමට මිසක ලෙඩේට නෙවේය. බොහෝ විට කෙන්දෙ අමාරුවට බෙහෙත් ගන්නා අයට සිද්ධ වෙන්නේ වේදනා නාෂක ගැසීම මිස ලෙඩේට බෙහෙත් සොයා ගැනීම නොවේය. සෑමා නිදහසේ කල්පනා කර බලා කොන්දේ අමාරුවට හේතුව සොයා ගත්තේය. වාහනේ ඩ්‍රැයිවින් සීට් එකේ හේත්තු වෙන කොටස තිබූ ආකාර වෙනස් කර සතියක් පමණ යද්දී වේදනාව සෙමින් අඩුවෙනු සෑමාට තේරුම් ගියේය. අපිට ඇති වෙන බොහෝ කෙන්දේ අමාරු වලට හේතුව අපේම වැරදි ඉරියව් බව අමුතුවෙන් කිව යුතු නැත. එව්වාට බෙහෙත් හොයනවාට වඩා ඉරියව් වෙනස් කිරීමෙන් වේදනාව හෝ රෝගය පහ කර ගත හැකිය.

මේ බ්ලොග් ලිපිය ලිවිමට පවා හේතු වූයේ මෑතකදී ඇති වූ වේදනාවක්ය. සෑමාගේ දකුණ අතේ මහපට ඇඟිල්ලේ මහා වේදනාවක් එන්නට ගත්තේ මාසයකට පමණ ඉහතදී සිටය. ඇඟිල්ල නොමිලේ ගැස්සෙන හෙල්ලෙන ගතියක්ද තිබූ නිසා මගේ අම්මෝ ස්නායු කේස් එකක් යැයි සෑමාටද සිතුනේය. එහෙත් දින කීපයක් ඇතුලත ලෙඩේ සොයා ගන්නට සහ වේදනාව අඩු කරගන්නට සෑමා සමත් වූයේය. මහපට ඇඟිල්ලෙන් බට්න් එකක් පවා ඔබන්නට බැරි තත්වයට ආවේ වේදනාවේ උපරිමයේදීය. ෆෝන් එක අත් දෙක මත තබාගෙන මහපට ඇඟිලි දෙකින් දිඟු කාලයක් භාවිතා කිරීමේදී මේ අමාරුව ඇති වූ බව සෑමාට තේරුම් ගියේය. දකුණු ඇඟිල්ල වම් ඇඟිල්ලට වඩා හුරු නිසා ඒ ඇඟල්ලෙන් ඩිස්ප්ලේ එකේ එහා කෙලවර ටච් කිරීමට යාම වේදනාවට හේතුව බව සෑමාට තේරුණේය. වෛද්‍යවරයෙකු ලඟට ගියා නම් අනිවාර්යයෙන් ස්කෑන් පරීක්ෂණයක් කරන්නට වෙනවා සහතිකය. පසුව එම ඇඟිල්ලේ භාවිතය අඩු කිරීමෙන් වේදනාව සමනය කර ගැනීමට සෑමාට හැකි විය.

බර වැඩ නොකරන අපිට වෘත්තීය මට්ටමේ මෙහෙම ලෙඩ එනවා නම් එදිනෙදා බර වැඩ කරන මිනිස්සුන්ට කොහොම අමාරුවක් ඇත්දැයි සිතන්නට අපේ ලෙඩවල වේදනාව ප්‍රමාණවත්ය. ඔබටත් යම් වේදනාවක් ඇති නම්, රුදාවක් ඇති නම්, නිදහසේ කල්පනා කර රුදාවට හේතුව කුමක්ද කියා බැලූ විට සරලව ඉරියව් වෙනස් කිරීමේ බෙහෙත ඔබටම සාදා ගත හැකිය.

sAmsRI_01.04.19/1:47pm

Monday, March 25, 2019

කරුවලේ සිට ලියමි - Words without Electricity !!


කරන්ට් එක නැත. ලැප් එක ඇත. මතක ඇති අතීතයේ කරන්ට් එක කැපුවේ ච.බ.කු මැතිණිය පමණි. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියය. ඇය කැපුවේ අපි පොඩි කාලයේය. ඉන්පසු දන්නා කාලයක නම් අදය. ඒ අපේ රවී කරුණානායක මහත්තයාගේ සුරතින්ය. කළුවරේ ඉන්නා විට මතක් වූයේ අනේ ඒ කාලේ කරන්ට් එක ගියාම අපි කළේ මේවානේ කියලාය. එව්වා ලියන්නට සිතී ලැප් එක අතට ගන්නා විට අඩේ ඒ කාලෙ ලැප් එකක්, ෆෝන් එකක් වත් නැතුව කොහොම කාලය ගෙව්වාද යන්න සිහිවිය.

ඉස්සර ගෙදර ලයිට් ඇරුණාම රෑට පත්තු වුනේ ටීවි එකය. දැන් නම් ටීවී එක බල්ලාට ගිහින්ය. ෆෝන් එක සහ කම්පියුටර් කරලියට ඇවිත් දැන් කම්පියුටර් එකත් පැත්තකය. ටැබ් එක සහ ෆෝන් එකට හොඳ කලක් ගිහින් ය. චබකු කරන්ට් එක කපන කාලයේ කරන්ට් එක කපන්නට නියම හේතුවක් කිව්වා සෑමාට මතකය. ඇය කිව්වේ පාරේ තඩි ජෙනරේටර් එකක් ගෙනියනවා ඒක ගෙනියන වෙලාවට කරන්ට් එක කැපිය යුතුයි කියාය. නැති නම් පාර හරහා ඇති කරන්ට් වයර් වල ෂෝට් වී විශාල හානියක් වෙනවා යැයි කිව්වා වගේ මතකය. එය හදපු කතාවක්ද, නැතිනම් චබකු මෝඩ කමට කිව්වාද කියා සොයා බලන්නට සෑමාට එදා නොහැකි වූයේ එදා සෝෂල් මීඩියා නැති නිසාය. කෙසේ වෙතත් එහෙම කතාවක් මතකය.



කරන්ට් එක යන නිසා ටීවි එකත් අහිමි වූ සෑමා පරණ කාර් බැටරියක් සොයා ගත්තේය. ඒ පහළ කුලියට දී තිබු කඩයෙන් ඉවත් කළ එකක්ය. ඉවත් කළා කිව්වාට ඒ අය පැත්තකට වෙන්නට තබා තිබූ exide වර්ගයේ බැටරියක් අනේ වැඩ කරන්නේ නැති පව් අහිංසක බැටරියක් යැයි සිතාගෙන සෑමා ඔසවාගෙන ආවා මතකය. ඉන්පසු උන් බැටරිය හෙව්වාද නැත්ද යන්න තාමත් දන්නේ නැත. හැබැයි නැවත බැටරිය උන්ට නොපෙනෙන ලෙස තබා ගැනීමට සෑමා උනන්දු වූ බව කිව යුතුය.

එසේ ගෙන ආ බැටරිය කෑලි හයක් හෝ අටක් දැමිය යුතු සිංගර් ඩබල් ඩෙක් කැසට් ප්ලේයර් එකකට ගසා සිංදු ඇසිය හැකි වන පරිදි සාදා ගන්නට සෑමාට හැකි විය. ගෙදර සැවොම ඉන්නා තැන් වලට වී ඉදගෙන මඳ අඳුරේ සිංදු අහන්නට පටන් ගත්තේ ඒ කාලයේය. ටික දවසකින් තාත්තා නියම කේබල් එකක් ගේ අස්සේ තිබී එළියට ගෙන ආවේය. කෙලවරක් බැටරියට ගසන ක්ලිප් දෙකක් සහ අනෙක් කෙළවර තිබුණේ ටීවි එකට ගැසිය හැකි ජැක් එකක්ය. මෙන මල විකාරද මේකෙන් කොහොමද යකඩෝ ටීවි එක බලන්නේ යැයි සිතා සෑමා පැත්තකට වූයේය. අගේට අසන්නට තිබූ රේඩියෝ එකෙ බැටරියටත් කෙලින්න තමයි යන්නේ යැයි සිතා සෑමා අහකට වූයේය. තාත්තා බැටරියට ක්ලිප් දෙක ගසා අනිත් කෙළවර ගේ ඇතුලේ තිබී දූවිලි ගසා ඉවතට ගන්නා ලැබූ Daytron වර්ගයේ අඟල් 12ක පමණ කළු සුදු ටීවි එකට ගැසුවේය. අඩේ නියමෙට වැඩය. තැන් තැන් වලට වී ඒකාත්මික වී ඇස් පියන් සිංදු අහන් හිටිය අපිට තාත්තා ටීවී එකක් ලබා දුන්නේ එලෙසය.

ඉස්සර කරන්ට් එක තිබුණද නැත්ද අදාල නැතිව මිනිස්සු ගෙදර එකට සිටිය බැව් කිව යුතුය. දැන් කරන්ට් එක නැති නිසා හෝ පවුලේ සැවොම එක තැනකට ගන්න බැරි බව සැබෑය. කරන්ට් එක නැති විට පවා තම තමන් ෆෝන් ටැබ් සහ ලැප් ඔන් කරගෙන තමන්ගේ ලෝක වල වෙන වෙනම ජීවත් වන ප්‍රාණීන් වී හමාරය. කරන්නට දෙයක් නැත. තාක්ෂණය එහෙමය.

Written_by_sAmsRi_25/03/19_9:16pm

Friday, March 15, 2019

අංකල්ට නැති එක - What Uncle left behind !


කලකට ඉහතදී සෑමා වෛද්‍යවරයෙකු හමුවන්නට ගිය මොහොතක වූ අපූරු සිදුවීමක් මෙසේය. රෝගියෙකු තම කුටියේ සිටියදීම වෛද්‍යවරයා සෑමාට ඇතුලට කතා කළේ කාර්ය බහුලත්වය නිසා ඉක්මනින් තම කටයුතු අහවර කර ගැනීමට විය හැකිය. වෛද්‍යවරයා හා රෝගියා අතර දෙබසට කන් නොවැටෙන්නට සෑමා අවට ඇති පෝස්ටර් බලමින් කල් යැවීමට පටන් ගත්තේය. නමුත් ඒ දෙබසින් සෑමාගේ දෙසවන් ඉවත් කිරීමට අපහසු විය. එය ඒ තරමට අපූරු දෙබසක් වීය.

මහළු රෝගියා වෛද්‍යතුමා පෞද්ගලිකව හඳුනන අයෙකු විය හැකිය. එය ඔවුන්ගේ දෙබසින් පැහැදිලි විය. සාමාන්‍යයෙන් පෞද්ගලිකව හඳුනන් වෛද්‍යවරයෙක් ලඟට ගිය විට පටන් ගන්නේ පවුලේ විස්තර වලින් නිසා ඔවුන්ගේ හැඳුනුම් කම ගැන සෑමාට යම් අදහසක් ඇති වීය. මහළු රෝගියා තමන්ගේ දරුවන් එතෙර අධ්‍යාපනය ලබන බව පුරසාරම් දොඩන්නට වූයේ වෛද්‍යවරයාගේ මුහුණට සිනහවක් එක් කරමින්ය.

ඩොක්ටර් උදේම හොස්පිට්ල් යනව නේද?

හවසට ප්‍රයිවට් ප්‍රැක්ටිස් නේද?

අම්මෝ මහන්සියි නේද? අපේ දරුවන්ට නම් එහෙම නැහැ. එයාලා රට ඉදන් හොඳට හම්බ කරනවා. එහෙ මේ තරම් මහන්සි වෙන්න දෙයක් නැහැ. ඇයි ඩොක්ටර් යන්නෙ නැත්තෙ? මෙහෙ කට්ට කනවට වැඩිය එහෙ ගියා නම් මරු නේ ??



අංකල් ගේ වචන ටික නිසා සෑමාට සංවාදයෙන් පිටට කන් යොමු කරන්නට බැරි විය. වෛද්‍යවරයා දුන්නේ සරල එක උත්තරයක් පමණක්ය.

"යන්න බැරිකමක් නැහැ. මට මෙහෙ මගෙ දෙමව්පියෝ බලා ගන්න තියෙනවා. නංගිගෙ දරුවො මගෙ දරුවෝ මාව දැක්කාම හරි සතුටින් ඉන්නෙ. මට ඒ ටික වටිනවා."

දරුවන් රට රස්සාවට යවා ගෙදර තනිව සිට තනිවම වීල් එකක නැඟී බෙහෙත් ගන්නට පැමිණ වෛද්‍යවරයාට බෙහෙත් දෙන්නට ගිය අහිංසක මහළු රෝගියාගේ මුහුණ මැලි විය. තමන් ලඟ නැති වුණත් දරුවන් ඔහු පිළිබඳව සොයා බලනවා විය හැකිය. එහෙත් ඔහුගෙන් ඉවත්ව ගිය උණුසුම පුරවන්නට ඒ මුදල් වලට බැරි බව ඔහු තේරුම් ගන්නට ඇත.

මිනිස්සුන් තමන්ට නැති දේ ගැන නොතකා අනුන්ට නැති දේ ගැන කතා නොකරන්නේ නම් හිත් රිදවීම් බොහෝ අඩුවනු නිසැකය.

#sAmsRi_15/03/19




Thursday, March 14, 2019

ගුරු වර්ජන - Teacher's Strike !!


ගුරු වර්ජන අස්සේ කියවන්නට ලැබුනේ සුන්දරයි සුනන්දා හෙවත් රෝජාගේ පෝස්ට් එකක්ය. ඇය කියන්නේ..

"ගුරුවරු සේවය කරන්නෙ පැය කිහිපයකැයි මම නොකියන්නේ එය පැය කිහිපයකට සීමා නොවන බව අප කවුරුත් දන්නා නිසා වුවද? මෙය ඒක පාර්ශවීය වරදක් නොව ද්වීපාර්ශවීය වරදැකැයි මට සිතෙන නිසා මෙලෙස සටහන් කරමි. දිගින් දිගටම පිරිහෙන සමාජයක ගුරුවරු දුවා දරුවන් පමණක් නොව ඔබද මාද ඇතැම්විට වරදකරුවන් වී හමාරය." (පෝස්ට් එක මෙතැනින්)

ගුරුවරුන් පිළිබඳ සෑමා සතු වූ සුන්දර මතක අසුන්දර වූයේ උසස් පෙළ කාලයේය. ඒවා ගැන කෙටි බ්ලොග් සටහන් බොහොමයක් බ්ලොග් එකේ ලියැවී ඇත්තේ අමිහිරි සුන්දර මතකයන් ලෙසය. ගුරුවරුන්ගේ ඇතැම් දුර්ජන ක්‍රියා හේතුවෙන් ගුරු සංහතියම එපාවන බව නම් කිව යුතුය.



සෑමාට උසස් පෙළ ගණිත සර්ව එපා වූයේ ඔහු කළ අසාධාරණ පළිගැනීමක් නිසාය. එදා මා ඇතුළු පන්තියේ බොහෝ දෙනෙක් ගෙදර වැඩ කරගෙන ඇවිත් නොතිබුණු බව සත්‍යයක්ය. එහෙත් කලින් දිනක පන්තියේ සිසුවෙකු වෙනුවන් සාධාරණය කතා කරන්නට ගිය ඇරියස් එක සර්ගේ හිතේ තිබුණු බව සෑමාට සිහි වූයේ මේ සිද්ධියෙන් පසුය. පන්තියේ ඉතිරි හතලිස් දෙනා සිටියදී සර් ඉදිරියට කැඳවා සෑමාගේ පමණක් ගෙදර වැඩ කළා දැයි පොත පරීක්ෂා කළේය. ඔහු හොඳින් දැන සිටි කරුණ නම් අනිත් අයද ගෙදර වැඩ කරගෙන නොසිටි බවය. සෑමා වැඩ කරගෙන ඇවිත් නැති බව කියමින් පොත විසික් කර පන්තියෙන් එළියට දමා සර් තමන්ට අවශ්‍ය පලිය ගත් බව කිව යුතුය. පන්තියේ අනිත් සිසු සිසුවියන්ටද ඒ බව පසක් වූ බව සැබෑය. තමුන්ගේ තාත්තාත් ගුරුවරයෙක් නේද තමුසෙ දන්නැද්ද ගුරු වරුන්ට සලකන්නන යැයි ඔහුගේ මුවින් පිට වූයේ කළ වරද ගැන පමණක් නොව හිතේ තිබූ තරහවද පිටකරමින්ය. කාලපරිච්ඡේදය අවසන් වන තුරු එළියේ සිටි සෑමා එදායින් පසු ඒ ගුරුතුමා ගැන කිසිම පිළිගැනීමක් හෝ සතුටු සිතක් නොවීය.

රෝජා කියූ පරිදිම ගුරු සේවය උගන්වන කාල සීමාවට පමණක් නොව ජීවිත කාලයටම බලපාන් බව මම උගත්තේ අපේ තාත්තාගෙන්ය. ඔහු උත්සව අවස්ථාවකට ගියත් සැර බීමක් කටේ තිබ්බේ කලාතුරකින්ය. ඒ ගත්තත් බෙහෝ අල්ප වශයෙන්ය. ඒ සියල්ලටම හේතුව වූයේ උගන්වන කාලසීමාවට පමණක් නොව ජීවිත කාලයම ගුරු වරයෙකු ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටිය යුතු නිසාය. දිනක් සෑමා වෙඩිමකට ගොස් අඩියක් ගසනා විට ඈත සිට අංකල් කෙනෙක් ඇසුවේ ආ.. මේ සර් ගේ පුතා නේද කියාය. එතැනින්ම සෑමාට හිතුනේ සර් වගේම දරුවන්ද ගුරුවරයෙකුගේ දරුවෙක් යන හැඟීමෙන් කටයුතු කළ යුතු බව සමාජය බලාපොරොත්තු වන බවය.

ගුරු ගෞරවය සෑමාගෙන් නොපිරිහෙලා උදුරා ගත් උසස් පෙළ ගුරුවරුන් නිසාම ගුරු වර්ජනය ගැන සෑමාට ඇත්තේ අප්පිරියාවක් ලෙස සටහන් කළ යුතුය. අද ලෙඩ නිවාඩු දමා වැඩට නොගිය ගුරුවරු අපි මහන්සි වෙන්නේ දරුවන් හදන්න යැයි හෙට පාසැල් ගොස් කටපුරා කියන්නේ කෙසේදැයි සෑමාට නම් ප්‍රශ්නයක්ය. ප්‍රසිද්ධ පාසලකට ඔළුව දමාගෙන ටියුෂන් පිටින් ගොඩ යන බුරුතු සිටිනා බහුතරයක් ගුරු කුලකයෙන්, සැබෑවටම සුජාත ගුරුන් පැතීම ඉදිරියටත් නොකළ යුතු බව සෑමාගේ අදහසය.

#sAmsRi_14/03/19_11:59pm

Thursday, March 7, 2019

ඔය සද්ද මෙයාලට දරාගන්න බැහැ මල්ලී..


හික්කඩුවේ මඟුලක් සෙට්වී අපි කොළඹින් පිටත් වූයේ වෙඩිමට යාමටත් වඩා ට්‍රිපක් යාමට ලැබීමේ මහත් සතුටින්ය. එදා වෙඩිම අවසන හෝටලයේ ගේට්ටුව ලඟදීම ඇඳුම් උනා දමා ෂෝටට බැස්සේ මුහුදක් නොදුටු නුවර උන් වගේය. පැය ගාණක් ඇල්කොහොල් ලවන සමඟ දිය කොට ගොඩට ආවේ රාත්‍රී හතට පමණය. ගෙදර යෑමට අවශ්‍යය යැයි අපේ උන්ට සිතුනේ එවිටය. සියල්ලෝම වෑන් එකට නැග්ගේ ඉස්සෙල්ලාම කඩෙන් ප්ලේන්ටියක් ගසා මොනවා හො ගිල නැවත පිටත් වීමටය.

හෙමින් කතා කළත් දහයකගේ හඬ ඇති දෙදෙනෙක් අපේ නඩයේ සිටියෝය. අපි ඔවුන්ට කිසිදාක මචං සද්දේ අඩුවෙන් කතා කරපං යැයි නොකියන්නේ වැඩක් නැති නිසාය. උන්ගේ සද්දය අඩු කිරීමට උත්සාහ නොගන්න අපි උන්ට කියන්නේ මචං පොඩ්ඩක් කට වහගෙන හිටපං කියාය. කට වැසුවොත් මිසක් කටහඬ අඩු කර කතා කරන්නට නම් උන් දෙන්නාට නොහැකිය. පොඩ්ඩක් සද්දය අඩුවෙන් කතා කරපං කිව්වොත් මුල් වචනය හෝ දෙක පමණක් අඩුවෙන් කතා කර නැවත සුපුරුදු විලාසයට ඒම උන් උපතින් ගෙනා දෙයක් විය හැකිය. ඉතිං එව්වා හැදීමට අපිට නොහැකිය.



පොඩි කඩයකට ගොස් අප දස දෙනාම වාඩි වූයේ කෑමට සහ ප්ලේන්ටි ගැසීමටය. අරුන් දෙන්නා කඩේ වාඩි වූ වෙලාවේ සිටම නොනවත්වා කියවිල්ලය. බිත්තර ආප්ප ඉල්ලීම්, ප්ලේන් ආප්ප ඉල්ලීම්, ලුණු මිරිස් ඉල්ලීම් ඒ අතරය. නොනැවතී කඩේ ඇති බෝඩ් ලෑලි පවා කියවමින් ඇතුලේ සිටි අනිත් මිනිසුන් පවා අපහසුතාවයට පත් කිරීමට උන් සමත් වීය. කඩේ පොඩි නිසා දෝංකාරය වැඩිය. උන් දෙන්නා කියවන විට එය තවත් ඩබල්ය. කඩේ ඇතුලට ගොඩවන විට ඇතුලේ පාසැල් වැඩ කරමින් සිටි පොඩි කොල්ලෙක් සියල්ල පසෙක තබා කුස්සියට දිව්වේ අපේ උන් දෙන්නාගේ සද්දය නිසාය. කඩේ අක්කාට ඌරු ජුවල්ය.

"මල්ලී ඔය දෙන්නෑ සද්දෙ නවත්වනවද? අපෙ දරුවන්ට ඔව්වා දරා ගන්න බැහැ"

උන් දෙන්නාගේ සද්දය මැකී යද්දි කඩේම හිටිය සුවහසක් ජනතාව වහලය ගැලවෙන්න සිනාසුනේ අක්කාට ආඩම්බරයක් එක් කරමින්ය. කොල්ලාද නැවත මේසයට පැමිණ පාසැල් වැඩ පටන් ගත්තේය.

සියල්ල අවසන අක්කා බිල හැදුවාය. කෑවාට වඩා බිල වැඩි බව අප සැමට තේරුණු නිසා නැවත කාපු බීපුවා කියමින් ගණන් හැදුවේ අපේ උන් දෙන්නාය. උන්ට අක්කා සමඟ තිබුණේ සල්ලි නොගෙවා එන තරම් ඇරියස් එකක් බව කිව යුතුය.

අවසන අක්කා සියල්ල ගණන් බලා කලින් කියූ මුළු එකතුවට වඩා රුපියල් පන්සියයකට වඩා අඩු එකතුවක් කිව්වාය. අපේ උන් දෙන්නට අක්කා එල්ලා මැරීමට වරෙන්තු දුන්නා මෙන් සතුටුය.

"අක්කෙ මේ ඔයා හිතුමතේට හොර ගණන් කියන්න එපා.. අපෙ උන්ට ඔව්වා දරා ගන්න බැහැ.."

කෑගහන්නට එපා මල්ලී යැයි කියූ තැන සිට කතා නොකර සිටි ඇරියස් එක කවර් කරන්නට අපේ උන් දෙන්නාට හැකි විය. එදා සිට උන් කෑගසන හැම මොහොතකම කඩේ අක්කා මොහොතකට සිහි කළොත් සද්දට මදක් අඩු කර ගත හැකිය.

#sAmsRi_11:57pm/06/03/19

Monday, March 4, 2019

කෙටිම කෙටි හිඟන කතාවක් - A Beggar's Tiny Tale !!




සුපර් මාකට් එකක රථය ගාල් කර ඇතුලට යද්දී හිඟන මනුස්සයෙක් ඉදිරියට ආවේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

"මෙන්න පනහක්..."

ඇතුලේ වැඩකටයුතු නිමා කරමින් එළියට ආවේ ගෙදර යන්නය. ඩෑල් එක නැවතත් ආවේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

"ඇයි දැන් පනහක් දුන්නේ.."

ඩෑල් එක මාරුය. හැමදාම වගේ කිසි ප්‍රමිතියක් නැතිව, කලින් සල්ලි දුන් උන්ගේ අත්සනක් වත් දා ගන්නේ නැතුව පස්සෙන් එලවා නියමාකාරයෙන් නොකරන මේ රස්සාවට බනින එක දැන් කම්මැලිය.

වාහනයට නැග්ගා විතරයි තව කෝල් එකක්ය. එක්කෝ බඩු ලිස්ට් එක වැඩි කර එවන එකක් විය හැකි යැයි එතැනම ආන්සර් කළේ සෑමාය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

ඒ හඬ නැවත ඇසුනේ ෆෝන් එකෙන් නොවන බව පැහැදිලිය. බාගෙට ඇරී ඇති ෂටර් එකෙන් නැවතත් ඩයල් එක පැමිණ තිබුණේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

සෑමාට මරු ජුවල් අස්සේ ආතල් එකක් ගියේය.

"ඇයි හලෝ ඔයාට පනහක් දීගෙන ඇතුලට ගියේ ඒකෙන් ගන්නවකෝ.."

"හරි සර්.. හාල් කිලෝ එක හරි පොල් ගෙඩියක්...!!"

"ඔව් ඕයි ඒ පොල් ගෙඩියට තමා රුපියල් පනහක් දුන්නේ"

ඩෑල් එක මිසින්ය. කෝල් එක අවසන ගේට් එකෙන් එළියට එන්නට හැරෙන විට වාහනයට පැන්නේ නැවතත් ඔහුමය. ඔහුගේ කට සෙලවෙන අයුරු මට පැහැදිලිය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

ගෙදර පැමිණ ටීවී බලන අතර සෑමාට බකස් ගා හිනා ගියේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

කතාව උපහාසයට මිස අපහාසයට නොවුනත්,
හිඟා කෑමත් කලාවක්ය.
මාකටින් නැතුව කිසිත් බැරිය.

#sAmsRi_04/03/19

Tuesday, January 1, 2019

දුක් මොහොතක දැනෙන සතුට.. - A Friend in Need !!




සෑමා දිලා සමඟ වැලිසර රෝහලට ගියේ රාජකාරී කටයුත්තකටය. ඒ අතර දිලාට අතුරු වැඩක්ද පැවරී තිබුණේ තම ආයතනයේ ප්‍රධානියෙක් ගේ රෝගියෙක් බැලීමටය. සියළු වැඩ නිමා කොට දිලා සහ සෑමා රෝගියාගේ නම පමණකි තිබුණු SMS එක රැගෙන ගියේ තුන්වන වාට්ටුවටය. මැසේජ් එකේ තිබුණේ වාට්ටු අංකය පමණක්ය. එතැනින් එහාට රෝගියාගේ් නම ඔස්සේ අප ඇද සොයා ගත යුතුය. කවදාවත් දැක නොමැති රෝගී කාන්තාවක් සොයා යෑම අපහසුය. එහෙත් එතරම් රෝගීන් බහුල නොවූ වාට්ටුවක ඇය සොයා ගැනීම අපහසු නොවනු ඇතැයි අප සතු වූ බලාපොරොත්තුවක්ය. මුලින්ම අප සිතා සිටියේ ආයතනයේ එතරම් ධනවත්, බලවත් පුද්ගලයෙකුගේ ඥාතියෙක් මෙහි රඳවා සිටින්නේ මන්ද කියාය. විටෙක පුද්ගලික රෝහලකට නොගියේ මන්දැයි ප්‍රශ්නය අප සතු වූයේය. වාට්ටුව සොයා යද්දී මඟදී හමු වූයේ සෑමාගේ මිත්‍රයෙක්ය. ගමේ එකෙක්ය.

"අඩෝ.. "

"මොකෝ බං මෙතන.."

ගමේ කම අපේ කම ඉස්සර වූයේය. කොල්ලා සිටියේ එතැන තිබූ කණුවකට හේත්තු වෙලාය. ඔලුව බරකින් විය යුතුය. කිසිවෙකු රෝහලේ ප්‍රථිකාර ගන්නවා විය යුතුය.

"අම්මා ICU බං.. අපි මේ සිහිය එනකල් ඉන්නවා.."

ඇගේ සම්පූර්ණ විස්තරය සෑමා අසා දැන ගත්තේය. ලොකු සීන් එකක් නෙවේය. සෙම ඉවත් කරන සැත්කමක්ය. එහෙත් ICU එකය. සැත්කමක්ය. මහා බරක්ය. නීරෝගීකම උතුම්ම ලාභය බව සැබෑය. ගහක් ගලක් මෙන් මිනිස්සු බිම ඇදන් වැටෙන්නේ කෙසේ දැයි කාටත් උත්තර නැතිය. 

"කෝ වෙන කවුරුත් නැද්ද, උබ විතරද ආවෙ.."

"නෑ බං තාත්තා ඉන්නවා.."

"අපි මේ ලෙඩෙක් බලන්න තුන්වෙනි වාට්ටුව හොයන් යනවා බං.."

"ආ.. අපෙ අම්ම හිටියෙ ඒකෙ.. ඉදපං මම පෙන්නන්න.."

මිතුරා වාට්ටුවට යන හැටි සවිස්තරාත්මකව පෙන්වද්දී එතැනට ආවේ මිතුරාගේ තාත්තාය. සෑමාගේ ද හොද මිතුරෙක්ය. අංකල් හොඳ එකාය. ඇන්ටීද එලෙසමය. සැත්කමේ ප්‍රමාණය මත නොව, සැත්කමක්ය යන වචනය නිසා අංකල්ට සෑමාව හරියට මීටර් වූයේ නැතිය.

"ආ. අංකල්.. මොකද ඇන්ටිට??"

"අනෙ මහත්තයෝ බලන්නකෝ.."

කියමින් අංකල් කතාව පටන් ගත්තේය. සෑමාව සිහි නොවීය. ඔපීස් ඇඳුම් නිසා සහ ටයි පටිය නිසා අංකල් සිතන්නට ඇත්තේ වැරදියටය. කරදයකින් ඔලුව වැහිලාය. වෛද්‍යවරයෙකු ලෙස සෑමා ගැන සිතන්නට ඇතිය. නැවත එතැනට එන පොරොන්දු පිට සෑමා සහ දිලා ගියේ තුනවන වාට්ටුවටය. රෝගියා ගේ නමින් ඇද සොයා ගන්නට උදව් කළේ එතැන සිටි හෙදියක්ය.

ඇගේ කතන්දරය වෙනකක්ය. ඒත් දුකක්ය. ඇය රත්නපුරේය. දිලාගේ ආයතනයේ ප්‍රධාන නිලධාරියාගේ කිසිම ඥාතියෙක් නොවේය. ඇය කලින් එම ආයතනයේ සිටි සාමාන්‍ය සේවකයෙකුගේ බිරිඳක්ය. ඇගේ ස්වාමියා සහ දැරිය ඕස්ට්‍රේලියාවේය. ඇය මෙහේ ලෙඩ ඇඳේය. ඔවුන් නත්තල් නිවාඩුවට ලංකාවට නොඑන බවත්, නැවත එන්නේ අප්‍රේල් බවත් ඇය කිව්වාය. ඇය ඔවුන් සමග රටට නොගියේ ඇයිදැයි අසන්නට නොගියේය. ඒවා අපට අදාල නැතිය. එහෙත් කිසි කලෙක නොදුටු රෝගී කාන්තාවක්, ගෙදර උදවියද නොමැතිව, බලන්නට ගිය මොහොතක ඇයට ඇති වූයේ අමුතු සතුටක්ය. ඒ බව ඇය අප හා කළ කතා බහෙන් අපූරුවට පෙනෙන්නට තිබුණේය.

නොදන්නා ඇයත්, දන්නා සෑමාගේ මිතුරා සහ අංකලුත් එකම අවස්ථා දෙකකය. දෙතැනම සිත් තැවුල්ය. දන්නා අංකල්ට සෑමා අමතකව දැනුන සතුට පැහැදිලිය. නොදන්නා ඇන්ටී ට අප දැක දැනුන සතුටද පැහැදිලිය. කාන්තාරයක හෝ කෙලවී සිටින අවස්ථාවක දන්නා එකෙක් හමුවෙනවා නම් දැනෙන සතුට, කෙලවී සිටින දුක මකාලන දිව්‍ය ඔසුවක් බව කිව යුතුය. එහෙව් තැනකදී තරුවක්ව පායා කාන්තරයට මාවතක් පෙන්වන්නට ලැබීමද භාග්‍යයක්ය.

Written_by_sAm_ශ්‍රී_14/12/2017

Wednesday, December 13, 2017

අඩේ කවුද බං ඒ කෑල්ල.. - Who is That Pretty ??


කිටියා අකැමැතිම වැඩේ සෑමාව කඩේ යැවීමය. ඒක වෙන්න බැරි වැඩක් බව සියල්ලටම සැක හිතෙනු නිසැකය. ඇත්තය. පිරිමින්ව කඩේ යැවීමට කාන්තාවන් කැමැතිය. එහෙත් සෑමා හන්දියේ කඩයට යනවාට කිටියා තරමක් අකැමැතිය. ඒ මක් නිසාවත් නොවේය. අඩි දෙක තුනට හන්දියට යා හැකිය. එහෙත් එසේ යෑමට, බඩු ගැනීමට සහ ගෙදර ඒමට සෑමාට පැයකට වැඩිය ගත වන නිසාය. විටෙක යාලුවෙක් සැට් වී කයියක්ය. නැති නම් බුද්ධික අයියාගේ කමියුනිකේෂන් එකේය. ඔව් අර චක්කර කොළ ෆිල්ම් එක හෙවූ ඩෑල් එකය. එහෙමත් නැති නම් කවුරුන් හෝ කොහේ හෝ යන්නට කතා කළොත් සෑමා සුටුස් ගා ඌත් එක්ක රවුමක් ගසන්නට යන්නේය. ඒ නම් බඳින්නට කලින්ය. ඉස්සර ගෙදර වැඩකට හන්දියට යන සෑමා මතුවන්නේ කන්කසන්තුරේ හන්දියෙන් විය හැකිය. තවත් දවසක් රෑක මිදුලට බහිද්දී පාර ලඟ බස් දෙක තුනකට සෙනඟ ලෝඩ් කරනු දැක සෑමා විපරම් කළේය. බලනකොට ගමේ උන් අනුරාධපුරේ යන්නටය. ඒ අස්සේ එකෙක් වරෙන් යන්න සෑමා කිව්වේය. ඒ හිටපු ගමන්ම බස් එකට නැග සෑමා අනුරාධපුරයෙන් මතු වූයේය. බස්වල සීට් ගාණනට සෙනග සිටි නිසා සෑමා ඉදගෙන ගියේ අන්තිම සීට් එක අසල සිටුවා තිබූ ගෑස් සිලින්ඩරයක් උඩය.

ඒ කාලේ එහෙමය. දැන් බැදලාය. වැස්සේම කඩේට ගිය ඩෑල් එකක කතාවක් සෑමාට මතක්වෙන්නේය. කඩේ මුදලාලියා කඩේට ආපු මනුස්සයා දෙස බලන්නේය. කුඩයක් නැතිය. තෙමිලාය. හතිදාගෙනය. ෂර්ට් එක අපිළිවෙලය. කඩේ මුදලාලි ඩෑල් එකෙන් ආතල් එකක් ගන්නට සිතා මෙලෙස ටෝක් කළේය.

"මහත්තයා බැඳලා

නේද?"

"නැතුව අයිසේ.. වයිෆ් එව්වොත් මිසක් මේ වැස්සෙ අපෙ අම්මා මාව කඩේට එවයි කියල හිතුවද??"

ඇත්ත සීන් එක එලෙසය. මුදලාලිට කට උත්තර නැති වෙන්නට ඇතිය. කඩේ යන සීන් එකේ අපහසුතාවය කෙතරම්ද දන්නේ වයිෆ්ලාට කඩේ යන අපි වැනි අසරණ ඩෑල්ය. ඒ නිසාම උදේ ගෙදරින් පිටත් වෙද්දී සෑමා කිටියාට කියන්නේ අවශ්‍ය බඩු ලිස්ට් එක මැසේජ් කරන ලෙසය. එහෙත් කිසිම දිනක මැසේජ් එක ආ සැනින් බඩු මිලට ගත යුතු නොවන්නේය. මැසේජ් එක උදේ 10 ලැබුණහොත් එතැන් සිට උදේ 11, දහවල් 12, දහවල් 1 ආදී වශයෙන් සවස පහ වෙනතුරු ලිස්ට් එක අප්ඩේට් වීමේ හැකියාවක් තිබිය හැකිය. එනිසා කලබල වී බඩු ගන්නට වුනොත් වැඩ කරන්නට වෙලාවක් නොලැබෙන්නේය. බඩුම අත ගගා ඉන්නට සිද්ධ වන්නේය. ඊටත් වැඩිය ඇඟට හොඳම ක්‍රමය නම් සවස පහ හය කිට්ටු වී ගෙදරට යන අතරම මඟදී බඩු ලිස්ට් එක එකතු කර ගැනීමය. එහෙත් ඉතා විශ්වාසයෙන් හා වගකීමෙන් ප්‍රකාශ කළ හැකි එක දෙයක් ඇත්තේය. ගෙදර ගිය විගස ලිස්ට් එකේ දමන්නට බැරි වූ එකක් හෝ ගන්නට ගමේ කඩයට, හන්දියට යන්නට වෙනවා ෂුවර්ය. ඒ පිරිමින් සදා ලබා උපන් හැටිය.

කඩේ යන සීන්, හන්දියට ගෑටීමේ සීන් එහෙව් තත්වයක තිබියදී සෑමාට පසුගිය දිනෙක හන්දියට යන්නට සිදු වූයේ කිසියම් දෙයක් රැගෙන ඒමටය. හන්දියට ගිය ගමන්ම සෙට් වුණේ බෆලෝය. කතා ගොඩක්ය. අරක මේක ඒක සියල්ල කතා කොට තවත් ඉදිරියට යද්දී අපෙ පරණ මිත්‍රයෙක්ය. නම කිව්වොත් කතාව ලියන්නට බැරි වෙනවාය.

"ආ සෑමා.. කෝමද??"

"ඉන්නවා බං.. ඇයි මේ පැත්තට බැහැලා.. කාලෙකින්.."

කතාව දිගට ගලා යන්නේය. කොල්ලා ඉස්සර හිටියේ මෙහේය. දැන් බැඳලාය. පිළිවෙලය. දියුණුය. ඒ නිසා සතුටු කතාය. සවිස්තරාත්මකය. දෙදෙනාම කතා කරන දිසාවට ඈතින් කෙල්ලෙක් පැමිණෙන්නේය. මිතුරා සෑමාට ඇමතුවේය.

"අම්මට උඩු අර බලපං කෝ මේ පැත්තට එන කෑල්ල... අඩේ කවුද බං ඒ??"

"අපොයි.. ඊයා බං.. බලහංකො හැටි.. පැත්තට ඇවිදින්නේ.. අප්පිරියයි ඕයි.."



සෑමා සවිස්තරාත්මකව ඇගේ ගමන, හැඩය, හැසිරීම විස්තර කළේය. කොල්ලාට කිසිත් කියන්නට ඉඩක් නොලැබෙන දුරින් ඈ සිටි නිසා නිහඩව සිටියේය. ඇය පැමිණි විගස අප මිත්‍රයා සමඟ කතා කළේය. සෑමා උඩු කුරුඤ්ඤංය. සියල්ල බලා සිට ඇය නැවත යනතුරු සිට ඔහුගෙන් විමසුවේය.

"කවුද බං ඒ?"

"වයිෆ් යකෝ.."

මිතුරා ආතල් එකක් ගන්නට ගොස් කෙලවා ගත්ත ආකාරය සෑමාට වැටහුනේය. ගෙදරට නැවත එනතුරු තනිවම සිනාසෙනවා ඇරෙන්නට සෑමාට කරන්නට දෙයක් ඉතිරිව තිබුණේ නැතිය.


Written_by_sAm_ශ්‍රී_13/12/2017

Monday, December 11, 2017

සුනීර මැතිවරණ අපේක්ෂකයෙක්ද.. - Is Suneera Election Candidate ??


සුනීර අයියා අපේ ගමේ එකෙක්ය. ඒ නිසාම හැම එකාම කිව්වේ ගමේ එකාට සපෝට් කරමු කියාය. ඒක ඇත්තය. ගමේ එකෙක්ට වැඩ කළොත් පාරකට තාර ටිකක් බැරි නම් කොන්කිරිට් ටිකක් හෝ වක් කර ගත හැකිය. එහෙම කිව්වේ අපේ අත්තම්මාය. ඒ ඇය ප්ලේන්ටියක් වක් කොරන ගමන්ය. අත්තම්මා පරම්පරා ගත එක්සත් ජාතික පාක්ෂිකාවක්ය. පසුගිය මැතිවරණයකදී අලියා නැතුව හංසයා ඡන්ද පත්‍රිකාවට ආවේය. අවුරුදු අනූවක් ගියත් අත්තම්මා ඡන්ද පෝලිමේ යන්නේ තනිවමය. තනිවම කතිරය ගසා පෙට්ටියට දමන්නේ අලියා රැක ගැනීමටය. එහෙව් පරමාර්ථයෙන් අලියා නැති මොහොතක හංසයා ඡන්ද පත්‍රිකාවේ සිටිනු දැක අත්තම්මා ෆොක්ස් වූවාය. බැරිම තැන එතැන සිටි මැතිවරණ නිලධාරියෙක් ලව්වා අලියා සොයා දෙන ලෙස ඉල්ලා සිටියාය. අවුරුදු උත්සවයේදී අලියා සිටියදී ඇහැ සෙවීමට තරඟකරුවන්ට සිදු වන්නේය. එදා අත්තම්මාට සිදු වූයේ ඇහැ තිබියදී අලියා සෙවීමටය. එහෙත් නිලධාරියා කිව්වේ මේ පාර අලියා නැහැ ඒ වෙනුවට හංසයා ඉන්නවා කියාය. අත්තම්මාට මල පැන්නාය. අලියා කළු පාටය, හංසයා සුදු පාටය. පක්ෂය පාවා දිය නොහැකිය. කියමින් ඡන්දය කටු ගෑවාය. එජාප ඥාතීන් රැසක් ඉන්නා අපේ ගෙදර උන්ට කොකා පෙනුනේ එදාය. අත්තම්මාව කලින් දැනුවත් නොකිරීමේ ආදීනවය මැතිවරණය ජය ගත්තාට පසුවද කම්පාවට හේතුවක් වූයේය. ඒ එක ඡන්දයක හෝ වටිනාකම අපෙ උන් දන්නා නිසාය. අපරාදේය. තාමත් කියන්නේ එලෙසය.

මෙවර අත්තම්මා ජවිපෙට හැරිලාය. අපි නම් දෙන්නේ සුනිර කොලුවාට යැයි කියන්නීය. පැවැත්වෙන්නට තිබෙන්නේ පලාත් සභා ඡන්දය ය. එනිසා පක්ෂය නොබලා පුද්ගලයාට ගැසුවාට කමක් නැතැයි ආත්තම්මා ලැජ්ජා නැතුව කියන්නීය. හංසයාගෙන් මට්ටු වෙලා නැද්දැයි අපේ ගෙදර කසු කුසුවක් යන්නේය. මෙතුවක් ගමෙන් සුනීර කියලා එකෙක් නම් ඡන්දයට ආවේ නැතිය. එහෙව් එකේ අපෙ අත්තම්මා මෙවර එකපාර අප්ඩේට් වූයේ කෙසේද යන්න අපිටත් සැකයක් උපන්නේය. විටෙක රතු කොලුවෝ පැමිණ සමාජවාදය උලුප්පා පෙන්වා දෙන්නට ඇතිය. තරුණ ජවය පෙන්වන්නට ඇතිය. නැතහොත් ආත්තම්මා හපා බිම හෙලන බුලත් විටය රතු පාට බව පෙන්වා දෙන්නට ඇතිය. ආත්තම්මා සහ බුලත් හපය අතර ඇති ආත්මීය බැදීම ආත්තම්මාගේ ඡන්දය ජවිපයට දෙන්නට තරම් ප්‍රබල වූවා දැයි සැක සහිතය. කෙසේ හෝ අපේ ගෙදර උන් මේ දිනවල සොයන්නේ ආත්තම්මාගේ ඡන්දය කොල්ල කෑ එකා කවුද යන්න ය.

පොඩි සෑමාටත් කරන්නට දෙයක් නැතිම තැන ආත්තම්මාට කිට්ටු වූයේ ජවිපෙට බැස්ස හේතුව අසන්නටය. අත්තම්මා පටන් ගත්තේ සමාජවාදයෙන්ය. සීයාගේ ධනවාදයට මින්පසු හසු නොවන බව ඇය කීවාය. සුනීර කොලුවා ගමට වැඩක් ඇති එකෙක් බව ඇය පුල පුලා කිව්වාය. 

"මොකද අත්තම්මේ කෑමක් වත් විස වුණාද මේ පාර අලියා පාවා දෙන්න යන්නේ.." බැරිම තැන පොඩි සෑමා හඩ අවදි කළේය.

"ඇයි දැන් උබ එනවද මට ඡන්දෙ කරන හැටි උගන්නන්න.."

"නෑ අත්තම්මෙ මේකනෙ.. දැන් බලේ තියෙන්නෙ රනිල් ලොක්කටයි, සිරිසේන ලොක්කටයි... ඉතිං අහවල් එකටද ජවිපෙට දෙන්න යන්නෙ.."

"බලේ කන්නද බොලව්.. උන් කරන එකක් කර ගත්තාවෙ.. මම කැපුවත් කොළ.. ඒත් මේ ගමේ එකාට නොදී ගෙදර බතක් උයාගෙන කන්න ලැජ්ජ නැද්ද තොපිට??"

"හරි දැන් ඌ ආවා කියමුකෝ.. කොහොමද බලේ නැතුව ප්‍රතිපාදන වෙන් කරගෙන ගමට වැඩක් කරන්නෙ??"

"කෝම හරි වෙන්නෙ නැතෑ බං.. ඒ වගේද අපෙ එකෙක්.. ඔහොම තැනක ඉද්දි.. "

"දැන් ඕකා කාගෙ කවුද? "

"යකෝ උබලා බජාර් එකේ ඉන්න කොල්ලො නේද? කෙල්ලෝ ගැන නම් දන්නවා ගමේ කොල්ලව දන්නෑ.."

"මට නම් එච්චර නිච්චියක් නැහැ ඒකව.."

"නිච්චි නැත්තං ගීං බලහං.. පාලම යට පොල අයිනේ තඩි කටවුට් එකක් ගහලා තියෙනවා රතු පාටින්ම.. අංක තුන සුනීර දිනවමු කියලා.."

"හෑ.. උන් මේපාර මනාප පොරයටත් බැහැලද??"

"නැතුව.. අංක එකෙන් ඉල්ලන්නෙ.."

සොට් එකටම ආත්තම්මා බුලත් කොළය මැද්දට හොද ටොපියක් තියාගෙන කාලා විය හැකිය. මනාප ඇතුව ජවිපෙ උන් ඡන්දෙට බහිනවා නම් වෙන්න බැරි වැඩක්ය. සෙනිකව පොළ අසලට ගොස් කටවුට් එක බැලිය යුතුය. 



පොළ අසලට යන්නට පෙර සිටම මඟ දෙපස කට්අවුට්ය. පෝස්ටර්ය. ආත්තම්මා රැවටෙන එක සාධාරණය. සුනීරයා රතුපාට පසුබිමක, අංක එකේ ඉලක්කමෙන් තරඟ වදින්නේය. බලනකොට ඉලෙක්ෂන් එකට නෙවේය. තරු තරඟයකටය. 

දැන් ඉතිං ඡන්ද කොළයේ අලියා නැතුව හංසයාට කතිරය නොගැසූ ආත්තම්මාගේ සිත වෙනස් කළ යුතුය. සුනීර යනු ඡන්දය ඉල්ලන්නට ආ අපේක්ෂකයෙක් නොව, තරු තරඟයකට ගිය ඩෑල් එකක් බව ආත්තම්මාට කියා දිය යුතුය. සමාජවාදය රජ කරවන්නට සුනිර පුතාට බැරි බවත්, කැඩිච්ච පාරට තාර දමන්නට ඔහුට නොහැකි බවත් ආත්තම්මාට කියා දිය යුතුය. ජනවාරියට පෙර ආත්තම්මා දැනුවත් නොවුනහොත් පලාත් සභා ඡන්දයද කටු ගානවා ෂුවර්ය.

Written_by_sAm_ශ්‍රී_12:15am_11/12/17

Tuesday, December 5, 2017

ආතති මවන මැෂිම.... - Is Fidget Spinner Stress Reliever ??


මෑතකදී සෑමා මිත්‍රයන් දෙදෙනෙකු සමඟ කොටුවට ගියේය. ඒ අතර සිටි මිත්‍රයෙක් හැසිරුණේ බැංකොක් ගිය ආකාරයකටය. දකින හැම තැනම නැවතෙමින්ද, දකින හැම බඩුවම අත ගාමින්ද මිතුරා හැසිරුනේ කිසිදා කොටුවේ නොගිය ආකාරයකටය. දෙවෙනි හරස් වීදියේ පාර අයිනේ ගැජට් විකුණන හැම තැනකදීම අපේ මිතුරා සොයා ගැනීමට අපහසු වූයේය. ඒ ඔහු මිනිසුන් වට වී සිටින හැම තැනකටම ඔලුව දමමින් පරික්ෂා කරමින් ගමන් කරන නිසාය. වරෙක අපිට ඔහුව මඟ හැරුණේය. වටපිට බලන විට ඔහු සිටියේ දෙසීයයි, දෙසීයයි කියමින් පෙන් ඩ්‍රැයිව් විකුණන තැනකය. රුපියල් දෙසීයට ගිගා අටක පෙන් එකක් ගන්නට ගිය මිතුරා බේරාගෙන අපි නැවත ගමන් කළේ හවස් වෙන්නට පෙර ගෙදර ආ යුතු නිසාය.

"අම්මට උඩු මේ තියෙන්නෙ මම හොයපු ගැජට් එක.."



"අහ් ස්පිනර් එකක් නේ.."

"ඔව් බං, වයිෆ් කිව්වා තව සතියයි බලන්නෙ, එකක් ගෙනාවෙ නැත්තං යන්න යනව කියලා.."

"ඉතිං ඕයි ගෙනියන්නෙ නැතුව ඉන්නවකෝ.."

"මේක සිරාද බලහං, බරයි, සැරටම කැරකෙනවා.."

"හා හා ගනින්කෝ.."

"අයියේ මේක කීයද ?"

"තුන් සීයයි.."

"අඩු නැද්ද??"

මේන් රෝඩ් එක අයිනේ ඩෑල් එකක් නිසා පොර කේවල් කරන්නට ඉඩ නොදීම රුපියල් තුන් සියයකටම භාණ්ඩය අපේ එකාගේ ඇඟේ ගැසීය. එතැන් පටන් කොල්ලා ටිකක් මෙල්ල වූයේය. සද්ද නැතුව ස්පිනර් එක කරකවන ගමන්ය. ඇවිදින්නේද ඇඟිලි දෙක අස්සේ ස්පිනර් එක ගසාගෙනය. ටෝක්ස්ය. අඩෝ මේ බලහං මේක කැරකෙනවා බං විනාඩි පහකට වැඩිය. මේක හොදා බං ස්ට්‍රෙස් එක අඩු වෙන්න. කතන්දර සියයක්ය. බැරිම තැන සෑමා ෆෝන් එකේ ස්ටොප් වොච් එක දමාගෙන කැරකෙන කාලය මැන බැලුවේය. ලොකු සීන් එකක් නැතිය. විනාඩියක් සහ තවත් තප්පර විස්සක් විතර කැරකුණේය. මිත්‍රයාගේ ටෝක්ස් ටිකක් අඩු වූයේ එතැන් සිටය.

"හැබැයි මේක නවත්තන්න හිතෙන්නෙ නැහැ බං.."

"ඔව් නේ එහෙම සීන් එකක් තියෙනව නේ.."

"උබට මතකද මම මේක හොයන්නෙ කවද ඉදන්ද කියල.."

"මම දන්නවද බං ඒක?"

"ඇයි බං අපෙ පුංචිගෙ පුතා ඩෙංගු හැදිලා හොස්පිට්ල් ඉද්දි ඌ ඇඳේ ඉදන් කරකෝ කරකෝ හිටියෙ.. අන්න එදා ඉදං මම මේක හොයන්නෙ.."

"ආ මට මතකයි.. එදත් උබ නවත්තන්නෙ නැතුව ඒක අතේ තියන් හිටියෙ. මම හිතුවා උබ ඒක එදාම උස්සයි කියලා.."

ගිය වැඩේ කරගෙන නැවත සෑමා සහ මිත්‍රයන් දෙදෙනා පාරට බැස්සේ ගෙදර එන්නටය. අපේ එකා නොනැවතී ගැජට් එක කරකවන්නේය. ඒ අතර හරස් පාරක බිම තියාගෙන අංකල් කෙනෙක් ස්පිනර් වෙළදාමේය. අපේ එකා සෙනික තමා සතු ස්පිනර් එක හංගා ගත්තේය. ඒ තමා කලින් ගෙවූ මුදල සාධාරණද බලන්නටය.

"අංකල් මේක කීයද?"

පොර එක වරම අංකල්ට පෙන්වූයේ, තමා සතු වූ ප්‍රමාණයේම, ඒ පාටම, එකක්ය. මොහොතකට පෙර සාක්කුවට දමාගෙන හංගා ගත් එකමය. රුපියල් තුන්සියයේ එකමය.

"ඒක දෙසීය පනහයි.. ලයිට් පත්තු වෙන එක තුන්සිය පනහයි.. අර පොඩි එක දෙසීයයි.."

අපෙ එකාගේ මුහුණ අමුතු වූයේය. මෙතැන දෙසීය පනහෑ එකකට කොල්ලා තුන්සියයක් ගෙවා ඇත්තේය.

"අංකල් මොකෝ කියන්නේ දෙසීයකට දෙනවද?" ඒ සෑමාය. මිතුරාව තවත් අවුල් කිරීමටය.

"හ්ම්.. හරි හරි මොන පාටද ඕනෙ කියන්නකෝ.." අංකල් අකැමැත්තෙන් මෙන් ඩීල් එකට කැමති වූයේය.

මිතුරාට කලින්ම කෙලවී හමාර නිසා වැඩි විස්තර කතා නොකර, තවත් බාල්දු නොකර එතැනින් පිට වූයේ කොල්ලා ගේ හිත හදන්නටය. අපිට හදන්නට දෙයක් නැතුව නැවත සාක්කු වේ තිබ්බ ස්පිනර් එක අතට ගත් කොල්ලා නැවතත් ටෝක්ස්ය.

"ඒ වුනාට බං ඕවෑ කොලිටීස් තියෙනව නේ.."

හිත නිවන කතාවක්ය. ස්ට්‍රෙස් මකන යන්ත්‍රය කොල්ලාට ස්ට්‍රෙස් ගෙන දෙන්නට වූයේ ඉතිරි විනාඩි කිහිපයේය.

"ඒ වුණාට අර කැ%$#ට තිබ්බා ටිකක් අඩු කරල දෙන්න.. බලපං තුන්සීයටම දුන්නෙ, සතයක් අඩු නොකර.. ෂික් එතැනින් ගන්න හදිස්සි නොවී මෙතැනින් ගන්න තිබ්බෙ... අවුලක් නෑ හැබැයි මේකට කවරයක් තියෙනව නේ බං.. අරකෙ කවරයක් නැහැනේ.. මට හිතෙන්නේ අරකෙ බර අඩුයි.. මේක සැරට දැනෙන්න කැරකෙනවා.. බර නිසා වෙන්න ඇති.."

ස්ට්‍රෙස් නිවෙන්නට ගැජට් එකක් ගත් මිත්‍රයා ස්ට්‍රෙස් එකේ ගිලෙමින් කතා කරන්නට වූයේය. ඔහු කියන හැම හේතුවක්, කාරණයක් පාසාම ස්පිනර් එක කැරකෙන්නට විය.

Written_by_sAm_ශ්‍රී_11:47am_05/12/17

Thursday, November 30, 2017

පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා... - Let us Curse Them !!


දඩු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසනා
පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා

පෙරහැරට ගමන් කරන්නේ දළ ඇතුන්ය. දළ දිග උන්ය. බර වැඩ කරන උන් පෙරහැරේ යන්නේ නැතිය. ඒ උන්ට දළ නැනි නිසාය. දළ ඇති එකා පෙරහැරේ යන්නේය. ඒ තේජස නිසාය. මිනිසුන්ට වටින්නේ වැඩ කරන එකා නොව කැටයම් දමන එකාය. දළ ඇතෙකු සම්පතක්ය. එකෙක්ට නොව රටටමය. එහෙව් ඇතෙකු මරා දළ කපා තමන්ගේ කර ගන්නවා නම් සාප වෙන්නේ හත්මුතු පරම්පරාවටමය. අහුවෙන හැම අලියාම නසමින් දළ ඇත්තු සොයන කළෙක, ස්භාවධර්මයාද කැළැබෙන්නේමය. ගැසිය යුත්තේ හෙනමය.



සිල් රෙද්දෙ ලේ ගෑවුනේ කොහොම සොයනා
අවි ගත්තු සිල්වත්තු දා ගැබට විදලා

හැම එකාම හොයන්නේ අනුන් ගැනය. තමන් ගැන නොවේමය. අනුන් ගැන නොසොයා තම තමන් තමන් ගැන සොයා ගත්තා නම් රටටම සිරාය. ආතල්ය. කරදර ලස් ය. එහා පැත්තෙ එකාගෙ සිල් රෙද්දෙ ලේය. සිල් රෙද්ද යනු දැහැමි බවට සංකේතයක් ලෙස සිතන රටක් ය. එහෙව් රෙද්දෙ ලේ නම් අවුල්ය. ඒ ලේ ගෑවිච්ච එකා ගැන හොයන එකාත් අවි අරන් දාගැබට විදින්න ඇවිල්ලා විය යුතුය. එක්කෝ පිං කැටයට කෙලින්නටය. නැති නම් නිධානය ගොඩ දමන්නටය. නැති නම් ජාති ආගම් වාදය පතුරා තම තැන රැක ගන්නටය. ගැසිය යුත්තේ හෙනමය.

උතුරින්ද දකුණින්ද උඹ අවෙ කියනා
කොයිබින්ද නෙක පැහැති ලේ දැක්කෙ නුඹලා

"සිoහල ජනයනි රුහුණු මායා පිහිටි රටේ... දමිල ජනයනි යාපා පටුනේ මඩකලපුවේ තිරිකුණාමලේ.... මුස්ලිම් ජනයනි බේරුවල හම්බන්තොට තිහාරියේ.... උරය පලා සැතකින් බලන් රුහිරු..... එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු....." එහෙම කිව්වෙ නන්දා මාලිනිය ය. පාට එකම මුත් බෙදී ඇත්තේ අපට ඕනවාට නොවේය. එක එකාගේ දේශපාල උවමනාවටමය. උන්ගේ බලය තර කරන්නටය. අපට ප්‍රශ්න නැති නම් උන්ට තැන නැත්තේමය. අපට ප්‍රශ්නයක් නැති ම තැන උන් මාකට් කරන්නේ ජාතිය, ආගමය. මාකට් කළ හැකි හොඳම භාණ්ඩය එය ය. මැරෙන තුරු කෙළ ගන්නට පුලුවන්ය. අවසන උන්ට බලය හිමි වන්නේය. මරා ගත් උන්ට ලැබෙන ඉටි ගෙඩියක් නැතිය. ගැසිය යුත්තේ හෙනමය.

කෝවිලට ගිනිබින්ද වෙඩිඋන්ඩ නසලා
නිල් අහස පරවින්ට ඉඩ හරිනු සොයලා

කාගේවත් ඇජෙන්ඩා වලට නොනැමිය යුතුය. කළ යුත්තේ මහ උන්ට බලය දෙන්නට ලේ පාට ලෙස නොබෙදා එකා වන්ව සිටීමය. කෝවිලට වෙඩි තිබ්බ එකාද, පන්සලට වෙඩි තිබ්බ එකාද, පල්ලියට වෙඩි තිබ්බ එකාද, කරේ තියා නොගෙන, උණ්ඩය පිට වුණ තැනට කෙලිය යුතුය. නැසිය යුතුය. නිල් අහස, නිදහස් අහස සුදු පරෙයියන්ට මිස, උකුස්සන්ට, රාජ අලියන්ට බිලි නොදිය යුතුය. බිලි දෙන උන්ට ගැසිය යුත්තේ හෙනමය.

දහඩියම දෑවැද්ද කොට ගත්ත නුඹලා
බැත කන්ද දියවෙද්දි මියැදෙන්න හැරලා

වැටෙන දහඩිය බිංදුවක්ම ගෙදර වෙනුවෙන් කරන උන්ය. ගොවියෝය. රටම සරි කරන උන්ය. කම්කරුවෝය. රටේ බර අඳින උන්ය. මැයි පළ වෙනිදාය. පොඩි උන්ට සංතෝසම් දී මහ උන් රඟන දවසය. සියළු දහඩිය ගෙදරට වැය කොට, අස්වැන්න නෙලා ගෙට දාගෙන කන්නට හදන විට මැරෙන්නට ආසන්නය. සියළු දහඩිය ගෙදරට කියා පුදා ඇත්තේ මහ එකාලටය. දහඩියෙන් රැස් කළ දේ බුක්ති විදින්නට යද්දී සැප කෙලවර වී මියෙන්නට ඔන්න මෙන්නය. මහ එකාලට ගැසිය යුත්තේ හෙනමය.

නිදිවැද්ද රජ ඔටුනු වැජඹෙන්න හරිනා
දෙවියන්ට පිං දෙන්න පුළුවන්ද වැදලා

සියල්ල දහඩියට කැප කළේ කම්කරුවෝය. පොඩි උන්ය. මහ එකාලට හූරා කන්නට දුන්නේ ඒ ටිකය. උන් නිදිය. සැපේය. පොඩි උන් නිදි නැතිව වැඩය. දුකේය. එහෙව් නිදි ගත් ඔටුනු වැජබෙන්නට ඉඩ හැරිය යුතුද? එහෙව් ඔටුනු රැකිය යුතුද? එහෙව් මහ එකාලට වැජබෙන්නට දෙන එහෙයියන්ට දෙවියන්ද සාප කරනු නියතය. එහෙව් එකාලා දෙවියන්ට වත් පිං දෙන්නට නුසුදුසුය. මහ එකාලාගේ වැරැදි දැක දැක නිහඩ උන්ට ගැසිය යුත්තේ හෙනමය. ගැසිය යුත්තේ හෙනමය.

Music composed - Iraj Weerarathna
Lyrics - Wasantha Dukgannarala
Flute - Nuwan

එදා සිට අද දක්වා පාලකයා කිමෙක් වුවත් සිදුවන අලි සංහාරය දැක ඉරාජ් ගේ ගීතය සිහිවිය. මුල් පද කිහිපය පමණක් අලින්ට වූවාට, ඉතිරියද අලි කතන්දරයක්ය. මේ ඉක පුරාජ්, ඉරාජ් කාලයේ කළ ගීයක්ය.

Written_by_sAm_ශ්‍රී_7:00am_30/11/2017

Wednesday, November 22, 2017

උස නම් ශිෂ්‍ය නායක, මිටි නම් ශිෂ්‍ය.. - Height Matters !!


ලියන්නට යන්නේ ලිවිය යුතු දෙයක් නොවේය. ඒත් නොලියාම බැරිය. නැත්තං කසනවා වගේය. ටීචර්ස්ලා ගැන වැරදි ලිවීම වැරදි වැඩක්ය. එහෙත් නොලියන්නේ නම් මෙව්වා කියවන ටීචර්ස්ලාවත් හැදෙන්නේ නැතිය. ඒ නිසා ලිවිය යුතුම යැයි සෑමා තීරණය කළේය. 

මෑත කාලයේදී ගුරුවරුන්ගේ ඔලමොට්ටල වැඩ නිසා දරුවන්ට පාසැල් අහිමි වීම් වැනි සිද්ධි බොහෝමයක් වාර්ථා විය. එලෙසම පාසැලේ දී අනෙක් දරුවන් අතර කොන් වීමට පවා බොහෝ දරුවන්ට හේතු වූයේ ගුරුවරුන්ගේ මොට්ට වැඩය. කිසිම ලෙඩක් නැති දැරිවියකට HIV වැලදී ඇතැයි කතන්දර ගොතා දරුවාට පාසල අහිමි කිරීම, ජීවත්වන පරිසරයෙන්, ගමෙන් කොන් කර හැරීම වැනි බොහෝ සිද්ධීන් වලට හේතු කාරණා වූයේ පාසැලේ ගුරුවරුන්ගේම ක්‍රියාකාරකම් බව කිව යුතුය. එදා මෙදා කියලා වෙනසක් නැතිය. ගුත්තිලලා ඉන්නා කාලේ මූසිලලාද සිටි නිසා ඉවසා සිටිය යුතු වන්නේය. samsung සුසුමන් පාවීලා කියා එදා සෑමා ලිව්වේද මේ වගේ කතාවක්ය. නිවැරදි විනිශ්චය කිරීම් නොකිරීමෙන් පාසැල් එපා වන්නේ දරුවන්ටය.

උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු කියා කියූ විට අපට සෙනිකව සිහිවන්නේ පාර්ලිමේන්තුවේ එක්කෙනකේ වය. එහෙත් උස මිටි අනුව තනතුරු බෙදූ ඉතිහාසයක් අපට නොතිබුණාම නොවේ කියා සෑමාට සිහි වූයේ මෑතකදීය.


ඒ හරියටම 2003 වසරය. අපි සිටියේ 11 වසරේය. ඒ පාසැලට ශිෂ්‍ය නායකයින් තෝරන දවසක්ය. හිටි හැටියේම ප්‍රධාන ගුරුවරයෙක් අපෙ ක්ලාස් එකට ඇන්ටර් වූයේය. කොරිඩෝවෙන් පන්තිය ඇතුලට විත් හිටගත්තේය. පන්තියම තක්කු මුක්කු වෙලාය. සර්ට හැමෝම බයය.

"හා දැන් නැඟිටිනවා බලන්න ඉස්කෝලෙ ශිෂ්‍ය නායක වෙන්න කැමති උන්"

බහුතරයක් නැඟිට්ටාහ. එහෙම නැගිට්ටවා සිල්ලරට පට්ටම් දෙනවා නම් හෝල් සේල් ගැනීමට හැමෝම කැමතිය. සෑමා ද ඒ අතර වූයේය.

"හා හා.. මේ ඔක්කොම ශිෂ්‍ය නායක වුණාම කවුද ඉතිරි වෙන්නේ.."

සෙනඟ අඩු කිරීමට සර් උපක්‍රම සෙව්වේය.

"හා තමුසෙ ඉඳගන්නවා.. තමුසෙ කොට වැඩියි. හා.. තමුසෙ උස ගානට.. තමුසෙ ඉන්නවා.."

සර් ප්‍රේමදාස කාලයේ අයෙක් විය යුතුය. උස උන් ශිෂ්‍ය නායක ලෙසත්, මිටි උන් ශිෂ්‍ය ලෙසත් ලේබල් ගසා සර් වැඩේ ගොඩ දැම්මේය. ඒ තියරියම අපේ කාලේ ප්‍රේමදාසයානෝ පාවිච්චි කළ බව සෑමාට සිහිවුයේ මෑතකදීය. කෙසේ හෝ ඒ කාලයේ අවසනාවන්ත මිටි අපි වැනි උන් ශිෂ්‍ය ලෙස ලේබල් ගසා පුටු වල නැවත හින්දුවේය.

ඉන් පසුව අප දහම් පාසලේ ශිෂ්‍ය නායක තේරීමේ ඉන්ටර්විව් එකක් තිබුණේය. එයට රැගෙන ආ යුතු ලිය කියවිලි ලිස්ට් එකක් ලැබුණේය. තමන් මෙතෙක් ලද සියළු සහතික, දැනට දහම් පාසලේ පන්තියේ ලියන සියළු පොත් පත්, සහ වාර්ථා පොත ඒ අතර විය. ලියන පොත් බලන නිසා ඉන්ටර්විව් ආ සියල්ලෝම පිළිවෙලකට පොත් සකසාගෙන ආවෝය. සමහරු පොතම නැවත මුතුවන් අකුරින් ලියාගෙන ආවේ පත්වීම ලබන්නටය. වාර්ථා පොතේ පහ වසරේ සිට සියළුම ඉතිහාසය සටහන් වී තිබුණේ විෂය බාහිර ක්‍රියාකාරකම් සහිතවය. පෝ දාක උදේ ආරම්භ වූ ඉන්ටර්විව් එක අවසන් වූයේ හවස් ජාමයේය. ඉවසීම නැති උන් මඟදී නැඟිට ගෙදර ගියෝය. රැකියාවකට ගනිද්දීවත් නොකරන මට්ටමේ මහ ලොකු ඉන්ටර්විව් එකක්ය. දහම් පාසලකට තරම් නොවන මට්ටමේ උනත් ප්‍රායෝගිකය.

සෑමා පාසැල හා දහම් පාසල සංසන්දනය කරන්නට නොගියේය. එහෙත් උස නම් සිකුරිටි මිටි නම් කම්කරු තියරිය මීට බොහෝ කළකට ඉහතදි භාවිත කළ බව පමණක් මතක් කර දුන්නේය.

Written_by_sAm_ශ්‍රී_11:15pm_21/11/2017

Wednesday, November 15, 2017

කොල්ලෙක් වෙනුවෙන් බිලි වීම.. - Die for a Friend !!


ඔබට ඔෆීස් එකේ නප්පෙට කෙලවූ අවස්ථාවක් නොතිබූ තරම් නැති තරම් විය යුතුය. එවැනි අවස්ථාවක ඔබේ ඔෆීස් එකේ මිතුරෙක් ඔබ ලඟට පැමිණ ඔබගෙන් මෙසේ ඇසුවේදැයි සිතා බැලිය යුතුය.

"මචං කේස් එක දරුණුවටම යනවා.. උබට කේස් එකක් පත්තු උනොත් මම වැඩේ බාර ගන්නම් ද? එතකොට උබට බේරෙන්න පුලුවන්.."

දරුණු කේස් එකක්ය. පත්තු වුනොත් ගෙදර යන්න වෙන තරම්ය. ඔෆීස් එකේ එකෙක් උබෙ වැරැද්ද, උගෙ කර ගැනීමට ඉල්ලා සිටින්නේය. සිහිනයක්ය. නැත්තම් ඌ පිස්සෙක් විය යුතුය. එහෙම එව්වා ඉන්දියන් නාට්‍ය වලවත් නැතිය. එහෙව් තව එකෙක් ගේ කේස් එකකට බෙල්ල තියන උන් ඔෆීස් වලදි නම් සෑමා දැක නැත්තේය. එවැනි අවස්ථාවක ඇඩ්වයිස් දෙන උන් නම් සිටින්නෝය. එක්කෝ උබව ගොඩ දැමීමටය. නැත්තම් ප්‍රශ්නය බරපතල් කිරීමටය. බොර දියේ සාරි ගප්පියෙක් හොයා ගන්නටය. විටක ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් දකින්නටය. 



හැබැයි එහෙම උන් සෑමා දැක ඇත්තේය. ඒ පාසැල් කාලයේය. ඕනෙම එකෙක්ගේ සීන් එකකට බෙල්ල තැබීමට ඕනෙම එකෙක්ගේ සීන් එකකට එන්ටර් වීමට බොහෝ උන් පොර කෑවෝය. ඒ පාසැල් කාලයේය. එදායින් පසු එහෙම උන් මලාද දන්නේ නැතිය. සීන් එක සරලය. ඒ කාලේ වෙන එකෙක් ගේ සීන් එකකට බැනුමක් හෝ ගුටියක් කාපු එකෙක් වීරයෙක්ය. මිතුරා වෙනුවෙන් දිවි දීමක්ය. මොරාල්ය. ගැම්මය. ෆිට් එකය. පාසැලෙන් ඉවත් වූදා සිට උන්ව කවුරුන් හෝ සමූල ඝාතනය කරන්නට ඇතිය.

නැහැ සිද්ධිය සරලව මෙසේය..

පාසැල් කාලේ ඉන්නේ කල්ලි වශයෙන්ය. පාසැලෙන් ඉවත් වූ දා සිට කල්ලි කැඩෙන්නේය. උසස් පෙළින් පසු කට්ටිය තැන් තැන් වලය. එවිට කල්ලි කුඩා වී ශේෂ වී යන්නේය. නැවත කට්ටිය එක් රැස් වෙන්නේ අවුරුදු දෙකකටවත් පසුය. සරල සිද්ධාන්තය එසේය. තනි වී ජොබක් හොයන්නට, කෝස් එකක් කරන්නට, කැම්පස් යන්නට හැප්පෙන තුරු කල්ලි නැතිය. එවිට දැනෙන්නේ පාසැල් යන කාලේ ආතල් එක නොවේය. ඒ තනිව හැප්පෙන කාලයේ සිට කාගෙවත් කෝච්චියකට බෙල්ල තියන්න හෝ අත දමන්නටවත් හොඳ නැති බව තේරුම් යන්නේය. පාසැල් කාලේ නම් ඕනෙ සීන් එකට බෙල්ල තිබ්බොත් උපරිමය වන්නේ ගෙදරින් ගෙන්වීම හෝ පන්ති තහනම් කිරීමය. එව්වාද ආතල් සීන් මිස ජීවිතයට හානියක් වෙන තරම් දේවල් නොවේය.

මෑතකදී සෑමාගේ මිත්‍රයෙක් කියූ අපුරු කතාවක් සිහි වූ නිසා අනුන්ගේ සීන් වලට එන්ටැර් වීම ගැන සිහි වූයේය. මිතුරා කිව්වේ ඔහුට වෙච්ච සිද්ධියක්ය. ඒකත් ආතල්ය. සෑමාට වෙච්චි සීන් එකක් ලෙස ලිව්වොත් අනිවාර්යෙන් මඩ වදිනවා ෂුවර්ය.

අපෙ මිතුරා පාසැලේ ගේට්ටුව ලඟදී අත් අඩංගුවට ගෙන ඇත්තේ කොණ්ඩය නොකැපීම සම්බන්ධයෙන්ය. ඒ කාලේ අපේ උන්ව කොණ්ඩයට ඇල්ලුවොත් කරන්නේ පෝලිමේ පිට්ටනිය මැද්දට ගෙන යාමය. පසුව ප්‍රින්සිපල් බාබර් වන්නේය. පිට්ටනිය මැද පෝලිමේ ඉන්න උන්ගේ කොණ්ඩය අසමජ්ජාති විදිහට කැතට කපන්නේ ප්‍රින්සිපල්ගේම සුරතින්ය. එදාට කොණ්ඩය විනාශ වූවෝ සිටින්නේ හැංගෙමින්ය. කාටවත් මුහුණ දෙන්නට බැරි විදියට කොණ්ඩය කපන්නේ පාඩමක් ඉගෙන ගන්නටය. කෙසේ හෝ අප මිත්‍රයා කොණ්ඩය නොකැපීමේ වැරදි පෝලිමේ සිටිද්දී ඔහුගේ තවත් මිතුරෙකු පැමිණ ඇත්තේය. ඒ ඔහු ගේට්ටුවෙන් එන්ටර් වී පාසලට ආ මොහොතේමය. 

"මොකො බං මෙතන.."

"කොණ්ඩෙ වැඩිලු බං.. මාව ඇල්ලුවා.. පෝලිමේ ඉන්න කිව්වා.."

"පොඩ්ඩක් හිටහං.. මාත් එනවා උබත් එක්ක.."

අන්න ඌ බෙල්ල තිබ්බේ එසේය. කොල්ලා ෆිට් එකය. ගැම්මය. අපේ එකෙක් වැරැද්දට අහු වෙලාය. තනියෙන් ඉන්නට දෙන්න හොඳ නැතිය. කනවා නම් එකා මෙන් ගුටි කෑ යුතුය. බෑග් එකත් එල්ලාගෙන මිත්‍රයා පෝලිමේ සිටියේය.

"කට්ටිය පෝලිමේ යමු ඔහොම ඔෆීස් එකට.."

හෙඩ් ප්‍රිෆෙක්ට්ය. පණ්ඩිතයාය. පිනාට මුට්ටිය ය. ටීචර්ලාට පන්දම ය. ප්‍රිෆෙක්ට්ස් ලා ඔක්කොම එකය. මුන්ට කෙලවන්න ඕනෑය. එකා මෙන් ගුටි කෑ යුතුය. උන්ට පෙන්විය යුත්තේ අපේ ශක්තිය ය. නැත්තං මුං හිතන්නේ අපි එකාට එකා නැහැ කියාය. උන්ගේ සෙට් එක පොඩ්ඩය. බහුතරය අපේය.

පෝලිම ශේප් එකේ ස්ටාෆ් රූම් එක පහුකරගෙන ඔෆිස් එකට ඇදෙන්නේය. ඉස්සරහ උන් හැංගෙන්නට හදන්නෝය. පස්සේ උන් කකුල් පන නැති ගානටය. සියල්ල සිදුවන්නේ හෙමින්ය. ප්‍රිෆෙක්ට්ස් ලාට තදියමය. උන්ට ඕනෑ වැටෙන ලකුණ ඉක්මනට දමා ගන්නටය. 

"ආ.. මේ පුතා මොකද මෙතන..??"

ටීචර් කෙනෙක් ස්ටාෆ් රූම් එකින් එලියට එද්දී අපෙ මිත්‍රයාව දැක ඇත්තේය. අපෙ එකා ටීචර්ට තත්වය පහදා දී ඇත්තේය.

"නෑ ටීචර් මේ කොණ්ඩේ වැඩියි කියල ඇල්ලුවා.. ඒත් පැත්තට පීරුවම පේන්නෙත් නැහැ.."

අපෙ මිත්‍රයා වැරදි නැති බව පෙන්නුවේය. ටීචර්ද ඌට සපෝට්ය. ප්‍රිෆෙක්ට්ස් ලා බලාගෙනය.

"පිස්සද?? ඔය වැඩි නැහැ.. යනවා යනවා පන්තියට.."

ටීචර් අපෙ එකාව ගොඩ දැම්මේය. පිටිපස්සෙ සිටි බෙල්ල තිබ්බ එකාගේ ඇස් ගියේය. අපෙ එකාටද කර ගන්නට දෙයක් නැතුව අවුල් සීන් එකේ පන්තියට ගොස් ඇත්තේය. මොහොතකින් කොල්ලා වෙනුවෙන් බෙල්ල තිබ්බ මිත්‍රයාද පන්තිය පැමිණ ඇත්තේය.

"අඩෝ සොරි මචං.. මොකෝ උනේ.."

"බෑග් එක තියල යන්න බං ආවේ.."

"ඇයි ඇයි... මොකෝ උනේ.."

"ඔක්කොම වැරදි කරපු උන් එකතු කරලා රැස්වීමක්.. මම ගිහින් එන්නමි බං.."


අන්න එදා සිට පාසලෙන් ඉවත්ව ගිය උන්, තව එකෙක් වෙනුවෙන් බිලි වීම නවත්වන්නට ඇතිය. නැත්තං ඔෆීස් වල, සමාජයේ, ඉන්නා උන් මෙච්චර ආත්මාර්ථකාමී වෙන්නට මෙතරම් ඉඩක් නැතිය.

Written_by_sAm_ශ්‍රී_11:25_15/11/17

Monday, November 13, 2017

කෙල්ලගේ ගෙදර පළමු රැය... - First Night at Girl's Home !!



සෑමා ඉස්කෝලෙ යන කාලෙ නම් ආදරය මේ තරම් ඇඩ්වාන්ස් නැතිය. දැන් කාලේ ආදරය පට්ට ෆෝවර්ඩ්ය. ෆස්ට් සයිට් එකෙන් ලව්ය. දැක්ක දවසෙ ඉදන්ම ලව්ය. ඉස්සර ඒකට කිව්වේ හිත ගිය තැන මාලිඟාව කියාය. දැන් උන්ට සියල්ල ෆස්ට් සයිට් එකෙන් නිසා දකින හැම එකටම ලව්ය. හැම තැනම මාලිඟාය. ඒකත් ආතල්ය. දැක්ක ගමන් නම්බරය ඉල්ල ගත්තේ නම් ගොඩය. නැතිනම් නම අසා ගැනීම සෑහෙන්නේය. නම්බරය ඉල්ලා ගත් දා සිට වයිබර් හා වට්ස් ඇප් හෝ ඉමෝ මගින් පට්ට ඇක්සස්ය. නැති නම් නම බලා බුකියේ සර්ච් කිරීම සෑහෙන්නේය. ඉතිං දැන් ලව පට්ට ස්පීඩ්ය. ඇඩ්වාන්ස්ය. ඒ එක්කම සෙක්ස් නම්  නතිංය.

ඒ කාලේ සෙක්ස් කියන්නේ මහ දෙයක්ය. කොල්ලා කෙල්ල එක්ක සෙට් වෙලා මුලින්ම අතින් ඇල්ලූ දා පළමු සෙක්ස් කළ දා කියා ගණන් හැදුවාට කාරි නැතිය. ඒ තරමට ලං වීම හෙනම අමාරුය. අතින් අල්ලා දෙවෙනුව කිස් එකක් දුන් දා එවරස්ට් තරණය කළාට වඩා හතිය. ක්ලාස් එකක් කට් කිරීම, බීච් යාම, ෆිල්ම් එකක් බලන්නට යාම දක්වාද, එතනින් එහාටද යෑම මහා දෙයක්ය. දැන් නම් ලව් නතිංය. සෙක්ස් ඊටත් වඩා නතිංය. ලං වෙලා බැරි නම් ඔන්ලයින් හෝ වීඩියෝ හෝ කළ හැකිය. තාක්ෂණය සමඟ සියල්ල ඉක්මන්ය. වටිනාකම අතින් පහත්ය. ඉස්සරහට මොනවා වෙයිද කිව නොහැකිය.

එහෙම අමාරු කාලයක අපේ එකෙක් කෙල්ලෙක් සෙට් කර ගත්තේය. කොල්ලා කෙල්ලගේ ගෙදර යන්න ගත්ත කාලයේද සිටියේ හෙන ඩෑල් එකක් වගේය. අඩෝ මම දැන් කෙල්ලගේ ගෙදරත් යනවා සීන් එක මාර කික්ය. කෑලි නැති උන්ට, ගෙදරට හොරෙන් ලව් කරන උන්ට අපෙ මිත්‍රයා ඩෑල් එකක් වී සිටියේ ඒ සමයේය. ගෙදර ගියාට හැබැයි සම්බාධක බොහෝ බව ප්‍රසිද්ධ රහසක්ය. කවුරුත් ගෙදර නැති වෙලාවට ගෙදරට එන්ටර් විය නොහැකිය. කෙල්ල තනියම නම් කේස්ය. අම්මා හිටියත් ටිකක් අවුල්ය. ගෙදර පිරිමි පරානයක් නැතිනම් කොල්ලාට ලිමිටේෂන්ස්ය. ඒත් අපේ එකා එව්වා සමාජගත් නොකළේය. අපෙ උන්ද එව්වා කොහෙන් හෝ අල්ලා ගන්නේ කොල්ලාව විනාස කරන්නටය. මොකද ඌ කෙල්ලගේ ගෙදර යන මට්ටමට අපට වඩා ඉහල තැනක සිටි නිසාය.

එහෙව් කෙල්ලගේ ගෙදරට යන කොල්ලන්ට ලැබෙන චාන්ස් කිහිපයක් තිබෙන්නේය. කෙල්ලගේ ගෙදර කිසියම් බර වැඩක් තියෙන්නේ නම් කොල්ලාටද එයට ආරාධනා ලැබෙන්නේය. වැඩේ කොච්චර අබ්ලික් වුණත් කොල්ලා බැහැලා සීන් එකට බහින්නේ කෙල්ලව මොහොතකට හෝ තමන් ලඟ තනිකර ගැනීමට අවස්ථාවක් බලාපොරොත්තුවෙන්ය. බොහෝ විට බිදී යන එවැනි බලාපොරොත්තු ශෝකානුකූලය. කෙල්ලගේ ගෙදර මලගෙයක් නම් කොල්ලා නයිට ගසන්නේ දවස් හතමය. ඒ සඳ ඇති රැයක කෙල්ලගේ රුව සඳ එළියේ බලාගන්නට විය හැකිය. නැතිනම් සඳ ගිණි ගනී චිත්‍රපටයේ ට්‍රේලරය හෝ බලාගැනීමටය. දානයක්, පිරිතක් වගේ නම් කොල්ලා අත අරින්නේද නැතිය. අද කාලේ නම් කෙල්ල ගෙට වූ දා සිට කෙල්ලගේ පාටිය ගන්නා දින දක්වා කෙල්ලගේ ගෙදර වැඩපල කර දෙන් ආදරවන්තයෝද සිටින්නට පුලුවන්ය. ඒ තරමට දැන් ආදරය ස්පීඩ්ය.
  
ඔහොම කොල්ලන්ට චාන්ස් නැති ඒ කාලේ අපේ මිතුරෙක්ට නියම පල්ලමක් සෙට් වුණේය. කොල්ලා කෙල්ලගේ ගෙදර ගිය වෙලාවක්ය. ගෙවල් දෙකෙන්ම ලව් එක ගැන දැනගෙන සිටියෝය. පර්මිෂන් ද ලැබී තිබුණේය. එහෙත් කොල්ලා කෙල්ලගේ ගෙදර නයිටක් ගසා තිබුණේම නැතිය. හවස තේ එකක් බොන මොහොතේ තිබුණු චිරි චිරි වැස්ස ධාරාණිපාත වැස්සක් බවට පත්වන්නට ගියේ සුළු මොහොතක්ය. කළුවර බොහෝය. අකුණුද අහස පොලොව නුහුලන තරම්ය. කොල්ලා එහෙ ගියේ බයික් එකකය. රේන් කෝට් එකකට දරන්න බැරි කුරිරු වැස්සය.

"අප්පා පායන පාටක් නැහැ වගේ.." කොල්ලා බොරු සුසුම් හෙලන්නේය.

"මේ වැස්සෙ කෝම යන්නද?" කෙල්ල නෙගටිව් ටෝක්ස් මය.

"තව ටිකකින් පායයි. පුතා ටිකක් බලලා යන්න.." නැන්දම්මා පල නොකියා පලා බෙදමින්ය.

මාමණ්ඩී සද්ද වහලාය. විටක කොල්ලාගේ දුක තේරුම් ගෙන විය යුතුය. ටීවීත් බලන්නට බැරි තරම් ගොරවන හඬය. මාමණ්ඩී සෝෆාවේ පත්තරයක් බලමින් සිටියේය. නැන්දම්මා කුස්සියේය. විටක සාලයට ඔළුව දමමින්ය. ලිප ලඟ සිටිමින් සාලයේ සංවාද වලට උත්තර දෙමින්ය. වැස්ස වැඩි වන ලකුණුය. කෙල්ල රූම් එකේ සිට කොල්ලාට ටෙක්ස්ට් කරමින්ය.

"ඔයාට යන්න බැරි වෙන්නමයි ඕනෙ.."

"මේක පායන පාටක් නැහැ. පුතා පුලුවන් නම් අද මෙහෙ නවතින්න." මාමණ්ඩිය කිව්වේ පත්තරය පසෙකට තබමින්ය.

"ඉන්නව නම් පුතා ගෙදරට කෝල් එකක් දිලා කියන්න" ඒ නැන්දම්මාය.

"එහෙනම් මම කෝපි එකක් හදන් එන්නම්." ඒ කෙල්ලය.

"පුතාට ඉස්සරහ කාමරේ ලෑස්ති කරලා දෙනවා හොඳයි.." ඒ මාමණ්ඩිය ය.

සියළු ඇප්රූවල්ස්, ඇරේන්ජ්මන්ට්ස් අස්සේ කස්ටිය සාලයෙන් ඩිස්මිස් විය. ගෙදර හෙන කළබලයක්ය. මොහොතකින් කෙල්ල ආවේ කෝපි කෝප්පයක් සමඟය. කොල්ලා මිසින්ය. හිටි තැන නැතිය. හෙල්මට් එකත්, ජැකට් එකත්, බයික් එකත් සමඟ මිසින් ය. අම්මාත්, තාත්තාත් පැමිණ ගේ පුරා හෙව්වේ කෙල්ලගේ කොල්ලා කෝ කියාය.

"කොල්ලට ලැජ්ජ හිතුණද දන්නෑ.. අපි එහෙම නම් ඒ කාලේ පැනලා නවතින්නේ.." මාමණ්ඩීය.

"අනේ හැදිච්ච කොල්ලෙක්.." ඒ නැන්දම්මාය.

"අයියෝ ෆෝන් එකත් ආන්සර කරන්නෙ නෑ.." ඒ කෙල්ලය.

සියළු දෙනාගේ කමෙන්ට්ස් මැද ගෙදර දොර වැසුනේය. කස්ටිය වැස්ස නිසා නිදා ගන්නට සූදානමය.

ටොක් ටොක් ටොක්..

දොරට ගසන සද්දයක්ය. මාමණ්ඩිය ගොස් දොර ඇරියේය. නැන්දම්මාද ඉස්සරහට ආවේ මේ වෙලාවේ කවුද කියාගෙනය. කෙල්ල කාමරයෙන් ඔලුව දොට්ට දමාගෙන සිටියාය.

අම්මට උඩු කොල්ලාය. ජැකට් එක, කලිසම සියල්ල තෙමීගෙන නැවත ගෙදර ඇවිත්ය.



"කොහෙද පුතා ගියෙ.." ප්‍රශ්න කෝටියකින් එකක්ය.

"නෑ අප්පා.. මම ගෙදරට දුවල ආවා රෑට අදින්න ඇඳුමක් අරගෙන.."


Written_by_sAm_ශ්‍රී_7:48pm_13/11/2017

Wednesday, April 5, 2017

කොළ - රතු සහ පොලිසිය... - Police With Red & Green !!



පොලිසිය ගැන නම් කතන්දර බෙහෝය. බොහෝ එව්වා නරක එව්වාය. ඉතිරිය විහිළු එව්වා වන අතර, සුළුතරය හොඳ එව්වාය. සමහර නිලධාරීන් නිසා පොලිසියට අත්ව ඇත්තේ සෝචනීය තත්වයක්ය. එකෙක් දෙන්නෙක් ගේ නොමනා වැඩ නිසා පොදු පොලිස් සේවයම මඩ වඟුරක් වී ඇත්තේය. මෑතකදී සිදුවූ සිද්ධිය නම් මෝටර් බයිසිකලයක ගිය අයෙක්ට බිම දමාගෙන පහර දීමය. එතැනදී ජනතාවට හොඳ අය අමතකව සියල්ලටම පොදුවේ බනින තත්වයක උදාවන්නේය. කරන්නට දෙයක් නැතිය. අවුරුද්දට කොහා ආවත් වැරදිය. නාවත් වැරදිය. වැරැද්ද ඇත්තේ කොහාගේ නොවේය. ජනතාවගේය. ජනතා බලාපොරොත්තු ඉටු කිරීම පොලිස්පතිට බැරි නම් කොහා නම් මක් කරන්නද කියා සෑමා මතක් කරන්නේය. 



මෑතකදී අංකල් කෙනෙක් කිව්වේ පොලිස් කතාවක්ය. අහිංසක කන බොන ඩෑල් එකක් රාත්‍රි දොලහ පසු වී නිවසට යමින් සිටියේ සිය දරුවන් බලන්නටය. විශේෂයෙන් තම බිරිද බලන්නටය. හෙතෙම නිවසට යමින් සිටියේ හිස් අතින් නොවේය. සිරුරේ දිවෙන රුධිරය සමඟ ඇල්කොහෙල් යම් ප්‍රමාණයක් කළවම් කරගෙනය. ප්‍රමාණය කෙසේද යත් මෑන්ස්ට පාර අයිනේ දිගට ගසා තිබෙන සුදු ඉර දිගේ බයිසිකලය පැදගෙන යන්නට බැරි තරම්ය. කෙසේ හෝ ඉතා අවාසනාවන්ත අයුරින් ඩෑල් එක පොලිසියට හසු වි ඇත්තේය. තම දරුවන්, බිරිඳ බැලීමට වැඩ නිම වී රෑ දොලහ පසුවී ගෙදර යන එකෙක්ටවත් පාඩු වේ යන්නට බැරිය. පොලිසිය අත දානවාය. කොල්ලා හිතට දහිරිය රැගෙන එක් රාලහාමි කෙනෙක්ට කතා කර සිය චේතනාව කියා පෑවේය. තමා දරුවන් බලන්නට ගෙදර යන්නේය. විශේෂයෙන්ම තම බිරිද තමා එන තුරු පාර බලා සිටින බවත් කිව්වේය. පොලිසියේ ඩෑල් එකගේ සිත ගත සලිත වී ගියේ දුකටය. ඒ මෝටර් සයිකල් හිමිකරු සාක්කුවට අත දමා එළියට ගත් රැපියල් පන්දාහේ කොළ දෙකට කිව්වාට වැරැද්දක් නැතිය. සිත බිඳීගිය පොලිස් මාමා කියා සිටියේ මේ පන්දාහ තමුසෙ තියා ගන්නවා. ඉවත් ඉස්සරහට යද්දී පොලිසිය හිටියොත් බේරෙන්න එපෑ කියාය. එවැනි පොලිස් මහත්තුරු රටට වාසනාවක්ය. නිදැල්ලේ නිවසට යන, දරුවන් බලන, බිරිදගේ මුහුණ දකින ආශාව ඇත්තන්ට ඉතා වාසනාවන්ය. 

දෙවැනි සීන් එක අපේ ස්කූටර් හිමියෙක් ගැනය. ඩෑල් එකට ඇත්තේ හෙන ඇන්ටික් ස්කූටර් එකක්ය. කොච්චර රේස් කළත් එකම තැනය. එහෙත් පොර හිතාගෙන ඉන්නේ පොලොවේ ඇති පස් තම කනේ ගෑවෙනවා කියාය. පාරේ ඇති වංගු කෙලින් කරන්නේ පොර එහෙමය. අනික තම මීටරය වැඩ කරන්නේ ඉතා හෙමින් යැයි සිතන්නේය. එය නිවැරදි නැති බවත් හෙතෙම කියන්නේය. ඔහු කියන්නේ ස්කූටරය පැරණි වුණත් ඉතාම වේගවත් කියාය. ඒ නිසාම තමන් පැයට කිලෝමීටර සීය පන්නා ගමන් කරන නිසාත ෆුල් ෆේස් එකක් වඩාත් සුදුසු බව හෙතෙම කියන්නේය. උගෙ ආතල් කැඩීම වැරදි නිසා අපේ උන් අනෙ ඒක තමයි බං කියා පැත්තකට වන්නේය. එහෙත් දිනක් ඒ ආතල් කුඩු කළේ ඔහුත් සමඟ පිටු පස ආසනේ ඉඳගෙන ගිය තවත් මිතුරෙක්ය. පාරේ සුදු ඉරක් කපාගෙන ඉදිරියට ඇඳෙන මිත්‍රයාව කිලෝමීටර් භාගයක් පමණ ඈත සිට පොලිස් කාරයෙක් අත වනා ඇත්තේය. පිටුපස සිටින මිතුරා කිව්වේ අන්න මචං පොලිසියෙන් නවත්වන්න හදන්නේ කියාය. ඒ නිසාම බයිසිකලය පදින ස්කූටර් හිමි මිතුරා ඉතා වැරෙන් තම රථය රේස් කරමින් ඉදිරියට ඇදෙන්නේ පොලිස් මාමා ලඟ නවත්වන්නටය. ඔහු නොනවත්වාම අත වනමින් බලා සිටින්නේ මිතුරන් දෙදෙනා ලඟට එනතුරුය. අරූ හොඳින් රේස් කරන්නේය. පොලිස් මාමා නොනැවතී අත වනන්නේය. කොතරම් රේස් කළත් ඉදිරියට ඇදෙන්නේ ඉතා සෙමින් නිසා පොලිස් මාමා අත වනන වේගය අඩාල වන්නේය. අත ඔසවාගෙන සිටම අත රිදෙනවා විය යුතුය. එහෙත් අරූ වැරෙන් රේස් කරන්නේ ඉක්මනට එතැනට යන්නටය. එතැනට ලං වෙද්දීම පොලිස් මාමාට ඌරු ජුවල්ය. අපේ මිත්‍රයා එතැනදී ස්කූටරය ස්ලෝ කර ඇත්තේය. ඒ සමඟම පොලිස් මාමා කියා ඇත්තේ “අනෙ  පව් නොදී යනවා ඕයි යන්න“ කියාය. එදායින් පසු උගෙ ස්කූටරයට හයියෙන් යන්න බැරි බව හෙතෙම පිළිගත්තේය.

මාතෘකාවට අදාල කතාව තාම නැත්තේය. පෝස්ට් එක කියවන උන් සෑමාට විරුද්ධව දැන් පොලිසි යනවා ෂුවර්ය. පොලිසිය ගැන ප්‍රකට කතාවක් ඇත්තේය. රටවල් කිහිපයක පොලිසියෙන් යොදා කළ සමීක්ෂණයක්ය. කතාව හැමෝම දන්නේය. කෙටියෙන් කිවොත් මෙසේය. ලංකාව ඇතුලු රටවල් තුනක් සමීක්ෂණයට ගොස් ඇත්තේය. ඒ හොඳම පොලිසිය සොයන්නටය. හාවෙක් කැළයකට අත්හැර ඇත්තේය. සමීක්ෂණයට ගිය පොලිස් කණ්ඩායම් හාවා සොයා ගත යුතුය. ඇමරිකන් උන් සතියක් ගොස් වැඩේ අතැර ඇත්තේය. ඉන්පසු ගිය රුසියන් උන් සති දෙකෙන් වැඩේ අතැර ඇත්තේය. එංගලන්ත උන් ද නැවත පැමිණ නැත්තේය. අවසානයට ගිය අපේ පොලිසියේ අය හිවලෙක් අල්ලාගෙන ආවෝය. ඌ නහයෙන් කටින් ලේ පෙරාගෙන එනගමන් කියා ඇත්තේ “හරි හරි සර්.. මම හාවා කියල පිළිගන්නම්“ කියාය. අපේ පොලිසිය එහෙමය. වැඩේ කෙවිටෙන් බැරි නම් බැටන් පොල්ලෙන් හරි කරනවාය.

ඒ සිද්ධිය සෑමාට මතක් වුයේ ගමේ සීන් එකක් නිසාය. දිනක් පාන්දර එකට පමණ සැට් එකක් හන්දිය පැත්තට දුවනවා සෑමාට ඇසී ඇහැරුණේය. ඒ දින වල හමුදාවේ සිටි තරුණයෙකුගේ මලගෙයක් තිබුණේය. ඒ අස්සේ ගමට ආ සැට් එකක් එතැන තිබූ ත්‍රී වීල් එකක් පැදගෙන ගොස්ය. ගමේ උන් හොරා අල්ලන්න දුවන්නෝය. උඩුමහලේ සිට සීන් එක බලා සිටි සෑමා පහළ ට බැස්සේ ගමේ උන් ඉන්නා නිසාය. එතැනට ගොස් විපරම් කළ විට සිද්ධිය ඇත්තය. මල ගෙදර අසල තිබූ කොළ පාට ත්‍රී වීල් එකක් පැදගෙන ගොස් ඇත්තේ හොරු සැට් එකක්ය. හොරු පස්සේ දුවන්නට නොහැකි නිසා සෑමා ගෙදර පැමිණ නිදා ගත්තේය. නැවතත් කතාව අලුත් වන්නේ හොරු පස්සේ දිව ගිය මිතුරෙකු මුණ ගැසුණු නිසාය. අපේ උන් හන්දියේ සිටියදී ඉදිරියට පැමිණි පොලිස් ජීප් එකකට විස්තරය කියා ඇත්තේය. පොලිස් ජීප් එක සෙනිකව ආපසු හරවාගෙන ගොස් ඇත්තේ “බය වෙන්න එපා අපි දැක්කා වීල් එකක් යනවා, අපි අල්ලං එන්නම් කියාය.“ සිරිලාංකික පොලිස් වචනය උද්ගෝෂණයේදී වදින ජල ප්‍රහාරය තරම් පට්ට ෂුවර් නිසා අපෙ උන් නැවත මලගෙදර ගොස් ඇත්තේය. එහි සිටියදී පැයක් පමණ ගත වෙද්දී පොලිසිය පැමිණ ඇත්තේ වීල් එකක් සමඟය. එය පැදගෙන ඇවිත් ඇත්තේ පොලිසිය ‘හොරු‘ යැයි නම් කළ පිරිසක්ය.

“කෝ අර මල්ලිලා.. මෙන්න බඩු අපි අල්ලගෙන ආවා..“

“කෝකද රාලහාමි??“

“මේ තියෙන්නේ.. “

“මේක රතු පාට විල් එකක් නෙ රාලහාමි.. අපි යද්දිම කිව්වේ අරන් ගියේ කොළ පාට එකක් කියලා..“

“ආ මේක නෙවෙද?? තමුසෙලා යනවා එහෙනම්..“

කියමින් පොලිසිය රතු පාට වීල් එක ඇතුලේ සිටි කොල්ලෝ දෙතුන් දෙනාව පිටත් කර ඇත්තේය. ඉන්පසු අපෙ උන්ට පසුදා පොලිසියට ගොස් පැමිණිල්ලක්ද ලියන්නට සිදු වී ඇත්තේය. 

sAm_ශ්‍රී_9:50pm_03/04/17

Monday, April 3, 2017

ආදායම් බදු නිලධාරීන් වහලයෙන් හෝ පැමිණිය හැක... - Income tax on the roof !!


කාන්තාවෝ වයස හංගන්නෝය. පිරිමි තමන්ගේ පඩිය හංගන්නෝය. සාමාන්‍ය විදිහ ඒකය. වයසට යන ඇන්ටිලා කොණ්ඩය කොටට කපන්නෝය. ඒ ඩයි කිරීම ලේසි වන්නටය. සුදු කොණ්ඩය වරින් වර කළු කරනවා වඩා එකවර ටින්ට් කිරීම පහසුය. ඒ නිසා ඔවුන් කෙලින්ම කොණ්ඩය කොටට කපා ටින්ට් කරන්නෝය. ඒ ක්‍රමය පහසුය. මේකප් එකක් දමා එළියට බහින්නේ රැලි මැකෙන්නටය. විටක බෙල්ල වැහෙන්නට පවා හයි-නෙක් අදින්නෝය. ඒත් රැලි වැහෙන්නටය. කාන්තාවෝ ඒ සියල්ල කරන්නේ තමන්ගේ වයස වහන්නටය. පිරිමින්ට වයස වැසීමේ අවශ්‍යතාවයක් නැතිය. තිබුණත් කාන්තාවන්ට තරම් නැත්තේය. ඔවුන්ට ඇත්තේ තමන්ගේ පඩිය වැසීමේ උවමනාවක්ය. බොහෝ විට කීයක් ලැබුනත් වැඩියෙන් පෙන්වීමටය. හැබැයි ලොවෙත් ගාණ මෙච්චර යැයි නොකියන්නෝය. විදිහ එහෙමය. ඒ තමන් වියදම් කරන ප්‍රමාණය සැඟවීමට විය හැකිය. නැතිනම් ඉතිරි කරන ප්‍රමාණය සැඟවීමට විය හැකිය. කෙසේ හෝ අයියාට ඇති පඩි ගණන කීවත් තමන්ට ලැබෙන පඩිය කීයද කියා නොකියන්නෝය.



ඉස්සර සෑමා වැඩ කළ කම්පැනියක ඩෑල් එකක් කිව්වේ කවදාවත් ගෙදරට කලින් යන්නට එපා කියාය. ඌ විවාහ වී සිටි අයෙක්ය. කලින් ගෙදර ගියොත් පවුල සැකෙන් බලා අසන්නේ ඇයි අද කලින් කියාය. පරක්කු වී ගියත් පවුල අසන්නේ මොකෝ අද පරක්කු කියාය. ඒ නිසා ඔහු අනුගමනය කළේ බොරු බිසී සීන් එකක් පෙන්වා පමා වී යෑමක්ය. දිනක් වෙලාවට කලින් ගෙදර ගොස්, දොරට තට්ටු නොකර එළියේ ඇති පුටුවක වාඩි වී නින්දක් දමා වෙනදා වෙලාවට දොර ඇර ගත් බවක් හෙතෙම කිව්වේය. ඒ කලින් නිවසට ගොස් කුණු කතන්දර ඇසිය නොහැකි නිසා විය යුතුය. තවත් වරක් වේයන්ගොඩින් බැසිය යුතු කෝච්චියේ ඊටත් වඩා දුරක් ගොස් නැවත ගෙදර ආ බවක් කිව්වේය. ඔහු කිව්වේ ගෙදර ඉන්නවාට වඩා කම්පැනිය ඇතුලේ සිටීමෙන් කරන්නට ඇති රාජකාරී අඩුවන බවක්ය. ඒ තරමට ඔහු වැඩට ඇවිත් නිදහසේ සිටියේය. එකම කම්පැනියක වයසට යන ඩෑල් එහෙමය. ඔවුන්ට ඉහළ නිලධාරීන් කිසිම කරදරයක් නොකරන අතර උන් පාඩුවේ කාලය ගත කර ගෙදර යන්නෝය. සැබවින්ම සැදෑ සමය ගත කරන්නේ කම්පැනියේය.

පඩියේ ප්‍රමාණය සිය බිරිඳට සඟවන්නට යෑම ටිකක් දරුණු වැඩක්ය. ඔවුන් හිතන්නේ යකෝ මූ වෙන එකියකට වියදම් කරනවා කියාය. නැති නම් මූ අඩියක් පුඩියක් ගසා සියල්ල කාබාසිනියා කරනවා කියාය. ඒ ඇරත් pay slip එකක් හෝ බැංකු පොතක් අහු වුණොත් සියල්ල අවුල් ජංජාලයක් වන්නේය. ඒ නිසා ගෙදර උන්දෑට ආදායම් වියදම් පිළිබඳ යම්තාක් දැනුවත් කිරීම වටින්නේය. එය ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ බජට් එක මෙන් දශමයට තිබිය යුතු නැත්තේය. දළ අදහසක් ලබා දී තිබෙන්නේ නම් ප්‍රමාණවත්ය.

තත්වය එසේ තිබියදී අපේ මිතුරෙකු අනුගමනය කළේ ඉතා දරුණුම ක්‍රම වේදයක්ය. ඒ තමන්ගේ ආදායම පිළිබඳව බිරිඳට සැගවීමය. ඇය ප්‍රශ්න නොනගන තාක් එය අවුලක් නැතිය. එහෙත් කොනක් අල්ලා ගත් දාට වසන්නට වෙන්නේ සදාතනිකව කම්පැනිය ඇතුළේය. ඩෑල් එක ගෙදරට අඩු පාඩුවක් නොකරන්නේය. පඩිය ගැන නිවසට සැගවූයේ කාන්තාවන්ගෙන් වෙන අනිසි, වියදම් අඩුකරන්නට විය යුතුය. ඒ නිසා හෙතෙම පඩිය කොපමණද කියා වසන් කරන්නට තම pay sheets පවා අස්ථාන ගත කොට තැබුවේය.

දිනක් වහලයේ කැඩුණු මුදුන් උළු කැටයක් මාරු කිරීම පැවරෙන්නේ අප මිත්‍රයාටය. මිත්‍රයා තරමක් උස මහත නිසාත්, බර වැඩි නිසාත්, වහලට නැගීමේදී සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට හෙතෙම වහලයට නග්ගන්නේ තම බිරිඳවය. ඇය කෙට්ටුය. හීන්දෑරිය. බර අවමය. කෙසේ හෝ වහලයට හේත්තු කළ ඉනිමග දිගේ ඇය ඉහලට නගිද්දී අප මිත්‍රයා ඉනිමග අල්ලාගෙන සිටියේය. ඇය වහලට නැග්ගාය. පහළ තිබූ මුදුන් උළු කැටයක්ද ඇයට දී කැඩුණු උළු කැටයද පහළට ගත් ඔහු ඉනිමඟ අල්ලාගෙන සිටියේය. උළු මාරු කිරීමේ කාර්යය අවසන් වන්නට වෙලාව ඇතිය. කැඩුණු කැටය බිමය. අළුත් කැටය නිවැරදි තැනින් ඇය තැබුවාය. අප මිත්‍රයා ඉනිමඟ පාමුලය. පැය කාලක් ගත් වුණේය. ඇය සද්ද නැතිය. පැය භාගයක් ගත වූයේය. ඇය සද්ද නැතිය. කුමක් හෝ ලොකු සීන් එකක් වහලය මත සිද්ධ වෙනවා යැයි සිතූ මිතුරා හඬ අවදි කර ඇත්තේය.

“ඒයි... ඔයා කොහෙද??“

ඇය සද්ද නැතිය. දෙතුන් වතාවක් හඬ අවදි කොට ඔහු ඇයව සොයා ගත්තාය. ඉන්පසු ඇය වහලය මතින් නැගී සිටියේ කුඩා කඩදහි කොළ සැට් එකක්ද අතැතිවය. අපේ මිත්‍රයාට හීන් දාඩිය දමන්නට ඇත්තේ එතැන් සිටය. ඇය වහලයේ ෂීට් කැබැල්ලක් අස්සෙන් සීලිම මත තිබූ කොළ කැබලි කිහිපයක් පරික්ෂා කර ඇත්තීය. එය හොදින් කියවා බලා, පිළිවෙලකට සකසාගෙන ඇය පහළට බැස ඇත්තේ තම ස්වාමියා අත් අඩංගුවට ගැනීමටය. එතෙක් කල් කාමරයේ සීලිං ෂීට් කැබැල්ලක් ඔසවා, සීලිම අස්සේ සැඟවූ අප මිත්‍රයාගේ pay sheet සියල්ල හසු වූයේ එලසය. ඔහු නැවත තම බිරිඳව වහලයට නග්ගන්නට පෙර දෙවරක් හිතනවා ෂුවර්ය. නැති නම් Income tax එකට හසු නොවුනත්, තම බිරිඳට හසු නොවී හිදීම බොරු බව තේරුම් ගන්නවා ෂුවර්ය.


Written_by_sAm_ශ්‍රී_9,30PM_03/04/17

Wednesday, January 18, 2017

සිංහල බෙහෙත් ඉංග්‍රීසියෙන් බිව්වා වගේ.. - Struggling with Prescription !!


ආයුර්වේද බෙහෙත් ක්‍රමයට අපේ උන් කියන්නේ සිංහල බේත් කියාය. බටහර වෛද්‍ය ක්‍රමය ඉංග්‍රීසි බෙහෙත්ය. ඊට අමතරව හෝමියෝපති ප්‍රතිකාරද දැන් මාකට් එකේ ඇත්තේය. සෑමා ඒ බව දැනගත්තේ වැලිසර තිබෙන හෝමියෝපති හොස්පිට්ල් එක නිසාය. සෑමාගේ නැන්දා කෙනෙකු ආතරයිටිස් රෝගයට හෝමියෝපති බේත් අරගෙන තිබ්බාය. ඇයට අනුව නම් දැන් සනීපය. ඊට පසුවත් ඇයත් සමඟ බෙහෙත් ගන්නට ගිය කිහිප දෙනෙකු දැන් ගුණයැයි කියන්නෝය. හෝමියෝපති බෙහෙත් ගුණ අගුණ කෙසේ වෙතත් ඒ බෙහෙත් බොන එක නම් ආතල් පාටය. ඒවා පුංචි සීනි බෝල වැනි බෙහෙත්ය. කටේ දමා ගැනීමට පහසුය. තිත්තද නැතිලුය. ඒ නිසා බටහර බෙහෙත් වලට වඩා ආතල් විය හැකිය. ආයුර්වේද බෙහෙත් නම් කෝමත් පැණි වගේ නිසා අවුලක් නැතිය. චූර්ණ, ගුලි වගේ ඒවා නම් ටිකක් තිත්ත විය හැකිය. පත්තු, ඔත්තු, කුත්තු වගේ බෙහෙත් නම් විටක ගඳය, විටක සුවඳය. ඒවා හැදිල්ල සහ බැඳගෙන සිටීමේ අපහසුව පමණක් ඇත්තේය.



සෑමා නම් කාටවත් බෙහෙත් ගන්නට තැනක් රෙකමන්ඩ් කරන්නට යන්නේ නැතිය. අදහසක් පමණක් ඔලුවට දමනවා මිසක රෙකමන්ඩ් කිරීම ප්‍රායෝගික නැත්තේය. බොහෝ බෙහෙත් වලට වඩා ඇත්තේ රෝගියාගේ මනසට වැටෙන ආකල්පයන්ය. අතන හොඳයි, අර බෙහෙත් හොඳයි යන සංකල්පය ඔලුවට වැටීම මත රෝගය සුව වීමට ඇති ප්‍රතිශතයද වෙනස් වෙන බව සෑමාට හිතෙන්නේය. “ප්ලැසිබෝ“ හෙවත් “Placebo Effect“ එක අනුව සුව වීම හේතු සාධකයක් බව සෑමාට හිතෙන්නේය. කිටියාගේ සීයා අවසාන කාලයේ හෘද රෝගය සඳහා GTN (Glyceryl Trinitrate) භාවිත කළේය. එහි අතුරු ආබාධයක් ලෙස හිසේ රුදාව ඇතිවන බව කවුරුත් දන්නේය. ඔහු විට අදාල මාත්‍රාවට වඩා බෙහෙත් ඉල්ලුවේ පපුව රිදෙනා බව කියමින්ය. ඒ අවස්ථාවේදි ඔහුට ලබා දෙන්නේ ප්ලැසිබෝ ආකාරයේ කිසිම ක්‍රියාකාරීත්වයක් නැති බෙහෙත්ය. එය ගෙන ඔහු පවසන්නේ වේදනාව අඩු වූ බවක්ය. ඒ සියල්ලටම හේතුව ඔහුගේ සිතුවිල්ලය. එලෙසම සමහර දාට සෑමා දුටු විට ඔහු ඉල්ලා සිටින්නේ පොඩි අඩියක් ගසන්නට තිබුණා නම් හොඳයැයි කියාය. අසනීපකාරයා නිසාත් බෙහෙත් බොන නිසාත්, මධ්‍යසාර තහනම්ව තිබූ නිසා සීයාට අවුල්ය. විශේෂ අවස්ථාවක පොඩි ෂොට් එකක් හොරෙන් හෝ, කොහෙන් හෝ ලැබුණත් ඩේලි ගැසිලි බොරුය. විටක නිවසේ ඇති ඇපල් ජූස් එකක් වතුර අඩුවෙන් දමා සාදා දෙන්නේ මධ්‍යසාර කියාය. එක හුස්මට එය ගසා දමන සීයා ප්ලැසිබෝ ආතල් එකක් ගනු සැමා දැක ඇත්තේය.

සිංහල සහ ඉංග්‍රිසි බෙහෙත් ගැන සෑමාගේ දළ ආකල්පය නම් මෙසේය. උණක්, හෙම්බිරිස්සාවකට ඉංග්‍රිසි බෙහෙත් ශේප්ය. පීනස වගේ සීන් එකකට සිංහල බෙහෙත් කිරීම සාධාරණය. ඊට අමතරව සෑමා සිංහල බෙහෙත් හොඳ යැයි කියන්නේ අතක් පයක් කැඩුනු සීන් ජොයින්ට් කිරීම් සඳහාය. ඊටත් කළින් හදිසි අනතුරු වාට්ටුවේ හෝ සිට ඇන්ටනා වගේ යකඩ කූරු බස්සා ට්‍රයි එකක් දිය යුතුය. ගල් ප්ලාස්ටර් දමා හෝ ට්‍රයි කර බලා එහෙමත් සැට් වෙන්නේ නැත්තං සිංහල බෙහෙත්, පත්තු පිහිටය. සෑමා සතුව ඇත්තේ එහෙව් සිම්පල් ප්ලෑන් එකක් ය.

හොස්පිට්ල් පවා කිසිවෙකුට රෙකමන්ඩ් කරන්නට නොයායුතුය. සොයිසා හොඳ එකාට කාසල් හොද නැතිය. කාසල් හෝ සොයිසා හොඳ උන්ට ජපුර හොඳම නැතිය. රිජ්වේ නම් බහුතරයකට හොඳය. උණ නම් IDH තමා හොඳම කියූ විටක අයෙක් සෑමාට කිව්වේ පිස්සුද මහ ඉස්පිරිතාලේ තමා හොඳම කියාය. එසේ කියද්දි මීගමුව රෝහල ඩෙංගු වලින් ලංකාවේ හොඳම සේවාව ලබා දී තිබු බව පුවත්පත්වලද තිබුණේය. එතැනින්ම පෙනෙන්නේ හොඳ නරක තීරණය වන්නේ එක් එක් අයගේ සිතුවිලි මත බවය. එලෙසම කුමන හොස්පිට්ල් එකකදී හෝ කෙලවෙන්නේ කුමක් හෝ කරුමයක් නිසා බවය. 

මෑතකදී සෑමාගේ මිතුරෙකුට සෙම්ප්‍රතිශ්‍යාව දරුණු වී තිබුණේය. උදෑසන කෝල් එකක් දුන් පොර පැවසුවේ අඩේ ඉන්න බැහැ සෑමා උණ ගන්න වගේ කියාය. එහෙනම් බෙහෙත් ගනින් යැයි සුපුරුදු උත්තරය දුන් සෑමා කතා බහ කර දුරකථනය විසන්ධි කළේය. පසුව දහවල නැවතත් කෝල් එකක් ආවේ උගෙන්මය. එහා පැත්තේ සිට පොර අමාරුවෙන් කතා කළේය. උණ ඩබල් වී ඇත් බවක් සෑමාට දැනුණේය. එකවර එහා පැත්තෙන් දුරකථනය විසන්ධි වූ අතර නැවත නැවත ට්‍රයි කළද මිතුරාව සම්බන්ධ කර ගැනීමට සෑමාට නොහැකි වූයේය. අවසන උත්සාහය අතැර දැමූ සෑමාට පසුදා උදෑසන නැවත මිතුරාගෙන් ඇමතුමක් ලැබුණේය.

“මොකෝ *&) උනේ.. ෆෝන් එකක් ඕෆ් වුණා නේද??“

“ඔව් බං මට එකපාරට හෙම්බිරිස්සාවක් හැදුනා.. මම ෆෝන් එක ඕෆ් කරන් ගෙදර ආවා..“

යකාගේ සීන් එකක්ය. හෙමබිරිස්සාවක් ඌට එක පාර ඇවිත් ඇත්තේය. ෆෝන් එකත් ඕෆ් කරන්න තරම් කේස් එකක්ය. ඒ අමාරුව අපේ මිතුරාට දින කිහිපයක් තිබුණේය. අවසන් වතාවට සෑමා කිව්වේ උබට ඉංග්‍රිසි බෙහෙත් අරන් හරි ගියේම නැතිනම් සිංහල බෙහෙතක් ගනින් කියාය. මිත්‍රයා එම අදහසට එකඟ වන්නට ඇතිය. ඉංග්‍රිිසි බෙහෙත් අරන් දින දෙකක්ද ගතවී සුව නොවූ තැන මිතුරා එයට එකඟ වන්නට අැතිය. ඒ අනුව ඔහු සිංහල බෙහෙත් අරගන්නට ගොස් තිබුණේය.

“අඩෝ සෑමා කැ&^ සීන් එක බං..“

“ඇයි මොකෝ උනේ.. උබට හොඳ නැද්ද තාම??“

“මම ගියා බං සිංහල වෙදෙක් ලඟට.. අපෙ ගෙවල් ලඟම..“

“මොකො උනේ?? ඌ නස්නයක් වත් කලාද??“

“මොන නස්නද බං?? ඌ මට බේත් තුන්ඩුවක් ලියල දුන්නා..“

“ඉතිං ගිහින් ගනින් බේත් බඩු කඩේකින්..“

“රෙද්දෙ බේත් බඩු කඩේ.. ඌ ලියල දුන්නෙ පැරසිටමෝල්, ඇමොක්සිලින්, ෆෙක්සොෆෙන්ඩීන් දුන්නා බං..“

“හැමිනෙනවා.. උබ කලිනුත් ඉංග්‍රිසි බේත් ගත්ත නේ.. උබ දැන් මේකත් අරන් බිව්වද??“

“ඌත් යකාගෙ වෙදෙක් බං.. ආයෙත් ඔය බේත් ටික බොන්න පුලුවන්ද බං??“

“ඉතිං උබ මොකද කළේ...??“

“මම සිංහල බේත් කඩේකට ගිහින් තල් සූකිරියි, සිරප් එකකුයි ඉල්ල ගත්තා බං..“


Written_by_sAm_ශ්‍රී_9:45_pm17/01/17

පලි - කෙසේ හෝ අප මිතුරා දින කිහිපයකින් විශේෂඥ්ඥ වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගෙන සුව වූ බව කිව යුතුය.
Related Posts Plugin for WordPress, Blogger...