Showing posts with label සමාජ සත්කාර.... Show all posts
Showing posts with label සමාජ සත්කාර.... Show all posts

Thursday, November 30, 2017

පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා... - Let us Curse Them !!


දඩු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසනා
පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා

පෙරහැරට ගමන් කරන්නේ දළ ඇතුන්ය. දළ දිග උන්ය. බර වැඩ කරන උන් පෙරහැරේ යන්නේ නැතිය. ඒ උන්ට දළ නැනි නිසාය. දළ ඇති එකා පෙරහැරේ යන්නේය. ඒ තේජස නිසාය. මිනිසුන්ට වටින්නේ වැඩ කරන එකා නොව කැටයම් දමන එකාය. දළ ඇතෙකු සම්පතක්ය. එකෙක්ට නොව රටටමය. එහෙව් ඇතෙකු මරා දළ කපා තමන්ගේ කර ගන්නවා නම් සාප වෙන්නේ හත්මුතු පරම්පරාවටමය. අහුවෙන හැම අලියාම නසමින් දළ ඇත්තු සොයන කළෙක, ස්භාවධර්මයාද කැළැබෙන්නේමය. ගැසිය යුත්තේ හෙනමය.



සිල් රෙද්දෙ ලේ ගෑවුනේ කොහොම සොයනා
අවි ගත්තු සිල්වත්තු දා ගැබට විදලා

හැම එකාම හොයන්නේ අනුන් ගැනය. තමන් ගැන නොවේමය. අනුන් ගැන නොසොයා තම තමන් තමන් ගැන සොයා ගත්තා නම් රටටම සිරාය. ආතල්ය. කරදර ලස් ය. එහා පැත්තෙ එකාගෙ සිල් රෙද්දෙ ලේය. සිල් රෙද්ද යනු දැහැමි බවට සංකේතයක් ලෙස සිතන රටක් ය. එහෙව් රෙද්දෙ ලේ නම් අවුල්ය. ඒ ලේ ගෑවිච්ච එකා ගැන හොයන එකාත් අවි අරන් දාගැබට විදින්න ඇවිල්ලා විය යුතුය. එක්කෝ පිං කැටයට කෙලින්නටය. නැති නම් නිධානය ගොඩ දමන්නටය. නැති නම් ජාති ආගම් වාදය පතුරා තම තැන රැක ගන්නටය. ගැසිය යුත්තේ හෙනමය.

උතුරින්ද දකුණින්ද උඹ අවෙ කියනා
කොයිබින්ද නෙක පැහැති ලේ දැක්කෙ නුඹලා

"සිoහල ජනයනි රුහුණු මායා පිහිටි රටේ... දමිල ජනයනි යාපා පටුනේ මඩකලපුවේ තිරිකුණාමලේ.... මුස්ලිම් ජනයනි බේරුවල හම්බන්තොට තිහාරියේ.... උරය පලා සැතකින් බලන් රුහිරු..... එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු....." එහෙම කිව්වෙ නන්දා මාලිනිය ය. පාට එකම මුත් බෙදී ඇත්තේ අපට ඕනවාට නොවේය. එක එකාගේ දේශපාල උවමනාවටමය. උන්ගේ බලය තර කරන්නටය. අපට ප්‍රශ්න නැති නම් උන්ට තැන නැත්තේමය. අපට ප්‍රශ්නයක් නැති ම තැන උන් මාකට් කරන්නේ ජාතිය, ආගමය. මාකට් කළ හැකි හොඳම භාණ්ඩය එය ය. මැරෙන තුරු කෙළ ගන්නට පුලුවන්ය. අවසන උන්ට බලය හිමි වන්නේය. මරා ගත් උන්ට ලැබෙන ඉටි ගෙඩියක් නැතිය. ගැසිය යුත්තේ හෙනමය.

කෝවිලට ගිනිබින්ද වෙඩිඋන්ඩ නසලා
නිල් අහස පරවින්ට ඉඩ හරිනු සොයලා

කාගේවත් ඇජෙන්ඩා වලට නොනැමිය යුතුය. කළ යුත්තේ මහ උන්ට බලය දෙන්නට ලේ පාට ලෙස නොබෙදා එකා වන්ව සිටීමය. කෝවිලට වෙඩි තිබ්බ එකාද, පන්සලට වෙඩි තිබ්බ එකාද, පල්ලියට වෙඩි තිබ්බ එකාද, කරේ තියා නොගෙන, උණ්ඩය පිට වුණ තැනට කෙලිය යුතුය. නැසිය යුතුය. නිල් අහස, නිදහස් අහස සුදු පරෙයියන්ට මිස, උකුස්සන්ට, රාජ අලියන්ට බිලි නොදිය යුතුය. බිලි දෙන උන්ට ගැසිය යුත්තේ හෙනමය.

දහඩියම දෑවැද්ද කොට ගත්ත නුඹලා
බැත කන්ද දියවෙද්දි මියැදෙන්න හැරලා

වැටෙන දහඩිය බිංදුවක්ම ගෙදර වෙනුවෙන් කරන උන්ය. ගොවියෝය. රටම සරි කරන උන්ය. කම්කරුවෝය. රටේ බර අඳින උන්ය. මැයි පළ වෙනිදාය. පොඩි උන්ට සංතෝසම් දී මහ උන් රඟන දවසය. සියළු දහඩිය ගෙදරට වැය කොට, අස්වැන්න නෙලා ගෙට දාගෙන කන්නට හදන විට මැරෙන්නට ආසන්නය. සියළු දහඩිය ගෙදරට කියා පුදා ඇත්තේ මහ එකාලටය. දහඩියෙන් රැස් කළ දේ බුක්ති විදින්නට යද්දී සැප කෙලවර වී මියෙන්නට ඔන්න මෙන්නය. මහ එකාලට ගැසිය යුත්තේ හෙනමය.

නිදිවැද්ද රජ ඔටුනු වැජඹෙන්න හරිනා
දෙවියන්ට පිං දෙන්න පුළුවන්ද වැදලා

සියල්ල දහඩියට කැප කළේ කම්කරුවෝය. පොඩි උන්ය. මහ එකාලට හූරා කන්නට දුන්නේ ඒ ටිකය. උන් නිදිය. සැපේය. පොඩි උන් නිදි නැතිව වැඩය. දුකේය. එහෙව් නිදි ගත් ඔටුනු වැජබෙන්නට ඉඩ හැරිය යුතුද? එහෙව් ඔටුනු රැකිය යුතුද? එහෙව් මහ එකාලට වැජබෙන්නට දෙන එහෙයියන්ට දෙවියන්ද සාප කරනු නියතය. එහෙව් එකාලා දෙවියන්ට වත් පිං දෙන්නට නුසුදුසුය. මහ එකාලාගේ වැරැදි දැක දැක නිහඩ උන්ට ගැසිය යුත්තේ හෙනමය. ගැසිය යුත්තේ හෙනමය.

Music composed - Iraj Weerarathna
Lyrics - Wasantha Dukgannarala
Flute - Nuwan

එදා සිට අද දක්වා පාලකයා කිමෙක් වුවත් සිදුවන අලි සංහාරය දැක ඉරාජ් ගේ ගීතය සිහිවිය. මුල් පද කිහිපය පමණක් අලින්ට වූවාට, ඉතිරියද අලි කතන්දරයක්ය. මේ ඉක පුරාජ්, ඉරාජ් කාලයේ කළ ගීයක්ය.

Written_by_sAm_ශ්‍රී_7:00am_30/11/2017

Monday, January 16, 2017

ඒක තියෙන්න ඕනි ඕනෙම වෙලාවට... - Should be there in Need !!


සෑමා ශිෂ්‍යත්වයට පෙර පාසැල් ගියේ ගමේ ඉස්කෝලයටය. එතැන අපේ කාලයේදී නම් අවශ්‍ය ප්‍රමාණයට පහසුකම් තිබුණා යැයි කිව හැකිය. එහෙත් එය සාපේක්ෂව ගණන් බැලීමක්ය. ගමේ දරුවන්ට තිබුණු පහසුකම් අනුව සියල්ලෝම පාසැල් ආ බව සැබෑය. එක වසරේ සිට කිසිදාක කකුලේ කිසියම් තුවාලයක් නොවන්නට බොහෝ දරුවන්, යහළුවන් සපත්තු පැලැදුවෝය. එය ඒ කාලයේ හැටියට නම් අවශ්‍යතා සම්පූර්ණ වීමක් බව කිව යුතුය. පාසැල් බෑග් පවා බොහෝ අයට තිබුණේය. හැම වසරකම අලුත් පාසල් බෑගයක් භාවිත කිරීමේ අවශ්‍යතාවයක් කිසිවෙකුට නොතිබුණු නිසා කිලිටි වෙනතුරු හෝ කැඩී බිඳී යනතුරුම බෑග් එක භාවිත කිරීම ඉතා සතුටුදායක කරුණක් වූවේය. බෑග් නොමැතිව කිසිවෙකුත් පාසල් ආවා සෑමාට මතක නැතිය. ක්‍රීඩා කිරීමට අවශ්‍ය විටක බැට් එකක් බෝලයක් සපයා ගැනීම එතරම් ලොකු ගැටළුවක් වූයේ නැතිය. සියලු අවශ්‍යතා සම්පූර්ණ වූ පාසලේ ගැමි කමක සුන්දරත්වයක් තිබූ බව නම් කිව යුතුය.

පහ වසරේ ශිෂ්‍යත්වය පාස වෙනතුරු සෑමා සිටියේ එම පාසලේමය. දිනක් අපේ පන්තිභාර කළ්‍යාණි ගුරුතුමිය කහ, කොළ, රතු වර්ණයන්ගෙන් LED බල්බ රැගෙන එන්නට කීවාය. ඒ Traffic ලයිට් සෙට් එකක් හදන්නටය. ඒ කාලයේ සිටම සර්කිට් එක්ක හැප්පුණු සෑමාට ලයිට් වැඩ කිව්වාම ඉහටත් උඩින්ය. ඉතින් පහුවදා උදේම ලයිට් තුන රැගෙන යා යුතුය. රැගෙන ගොස් මා දන්නා වැඩ කෑලි දැමිය යුතුය. ඒ කාලයේ LED බල්බයක් රුපියල් දෙකක් තුනක් අතර බව සෑමාට මතකය. ගෙදරට හොරෙන් ගත් බල්බ සෙට් එකක්ම සෑමා සතුය. කූරු කැඩුණු ඒවාද විසික් නොකර ලඟ තබා ගන්නේ කවදා හෝ වැඩක් වේවි යැයි සිතාය. එහෙත් ඒවායින් වැඩක් ගත්තේම නැති තරම්ය. ලඟ තිබුණු පාට තුනේ බල්බ තුනක්, වයර් කැබලි, රිජිෆෝම් කැබැල්ලක්, සහ බැටරි කැබලි දෙකක් මේසය මත තියා ගත් සෑමා පසුදා පාසල් ගමනට සූදානම් ව සිටියේය.

පසුදා පාසල ආරම්භ වුයේය. කළ්‍යාණි ටීචර් පන්තියට පැමිණ උදෑසනට ට්‍රැෆික් ලියිට් සෙට් එක සැදීමේ ව්‍යාපෘතිය සඳහා අප කණ්ඩායම් තුන හතරකට වෙන් කළා මතකය. කණ්ඩායම් හතරම සතුව සියළු උපකරණ තිබුණා මතකය. එහෙත් සෑමා සූදානම් කර ගත් උපකරණ එදා පාසැල් බෑගයේ නොතිබි බව කිව යුතුය. කලින් දා සූදානම් කර ගත්තාට රැගෙන විත් නොතිබුණේය. ටීචර් කිව්වේ නොගෙනාවාට කමක් නැහැ ඉන්න කට්ටිය කණ්ඩායමක් විදිහට එකතු වෙලා කරන්න කියලාය. එහෙත් අප කණ්ඩායම සතුව උපකරණ තිබුණත් සියල්ලන්ටම එකතු වී කරන්නට තරම් එක සෙට් එකක් ප්‍රමාණවත් නොවූයේය. එකෙක් බැටරි අල්ලද්දී, තවකෙක් වයර් ඇල්ලුවත්, තුන්දෙනෙකුට සෑහෙන්න වැඩක් එහි තිබුණේය. තමන්ට දායක වෙන්නට බැරිවූ නිසා සෑමා පැත්තකට වූයේය. පැත්තකට වී බලා සිටියේ අවශ්‍ය වේලාවට නොමැති වූ වේදනාවෙන්ය. 

අනිත් උන් සියල්ලෝම වැඩය. සෑමාට ඇති වුයේ තමන් ගැනම කලකිරීමක්ය. උබ මහා මෝඩයෙක්. කල්පනාවක් නැති එකෙක්. බඩු ටික ගෙනාවා නම් වැඩේ කරන්නට තිබුණේය. යන හැගීමක් සෑමාගේ හිත කැකෑරුවේය. උන්ට ඒක කරන්න තේරෙන්නෙත් නැහැ. උබ මේක කළා නම් උබ අද ඩයල් එකක්ය. සෑමා හිත යටින් හැඩුවේය. එදා සෑමාට පැහැදිලි වූයේ කොච්චර තිබුණත්, අවශ්‍ය වේලාවට දෙයක් නැති නම් කිසිම වටිනාකමක් නැති බවක්ය. ඒක මහ කාලකන්නි හැගීමක්. හිත පුපුරුගහන, යටි හිත රිද්දන හැගීමක්.

නැවතත් සෑමා ඒ හැගීමෙන්ම පීඩා වින්දේ හය වසරේදී වාද්‍ය භාණ්ඩ රැගෙන එන්න යැයි ගුරුතුමිය කියා තමන්ට බට නලාවක් රැගෙන යාමට නොහැකි වූ දාය. පන්තියේම උන් බට නලා පිඹිද්දී සෑමා අත බටනලාවක් නොමැති වු අවස්ථාව මුළු ලෝකයක් මැද තමන් තනිවූ හැගීමක් ගෙන දුන්නේය. ඒකත් ඇත්තටම මහ කාලකන්නි හැඟීමක්. මහා තනිවීමක් දැනෙන් අවස්ථාවක්.

ඒත් අපි එච්චර නොලැබීමේ වේදනාවෙන් පීඩා විඳ නැති බව කිව යුතුය. පන්තියේ බහුතරයක් සපත්තු දාද්දි සපත්තු නොදා සෙරෙප්පු දාගෙන ඉස්කෝලෙ යන එකෙක් මම වුණා නම්, වේදනාව කෝම වෙන්න පුලුවන්ද? ඇත්තටම මට, අපිට ඒක එච්චර දරාගන්න බැරි දෙයක් වේවි. ඉස්කෝලෙ හැම එකාම පෝලිමේ ගෙදර යද්දි අනිත් උන්ගෙ කකුල් අව්වට පිච්චෙන් නැතිව ආරක්ෂා වෙද්දි, දූවිල්ලෙන් බේරෙද්දි, පිට්ටනියෙ දුවද්දි ලස්සනට පෙනෙද්දි සපත්තු දෙකක් නැති එකම එකා මම වුණොත් අපිට ගාණක් නොතියෙයිද ?


ඇත්තටම සපත්තු කුට්ටම් ඉගෙනීම මනින සාධකයක් නොවන බව සැබෑය. එහෙත් වෙනස්කම ඇති කරන සාධකයක් බව කිව යුතුය. දරුවෙක්ගේ සිතේ ඇතිවෙන ඒ හැගීම නැති කරන්න අපිට එකතු වීමට අවස්ථාවක් ලැබිය යුතුය. ඒ අවස්ථාව ඇති කරන්න උත්සාහ ගන්නා බොහෝ තැන් වල සයිබර් අවකාශය විශාල පිටුවහලක් වූ බව කිව යුතුය. නගරයේ සිටින නැති බැරි අයට සරණක් ලැබෙන අවස්ථා බොහෝය. දුෂ්කර දුර ඈත ගම් වල දරුවන්ට එහෙම අවස්ථාවක් ලැබෙන අවස්ථා විරලය. අන්න ඒ තැනකදී අපි එකතු විය යුතුය. 



ඉහත රූපයේ සිටියේ දිඹුලාගල, කන්දේගම කණිෂ්ඨ විද්‍යාලීය දැරියන් දෙදෙනෙක්ය. “අරුනළු“ සමාජ සත්කාර නමින් සූදානම් වන්නේ කන්දේගම පාසලට උපකාර කරන්නටය. බ්ලොග් ලියන සිරා (ඔහුගේ ලිපිය මෙතැනින්) පසුගිය දා පාසැල බලන්නට ගියේ ඔවුන්ගේ මූලික අවශ්‍යතා සොයා බලන්නටය.


විදුහල්පති තුමා, ආචාර්ය මණ්ඩලයේ කීප දෙනෙකු, සමග අරුණළු නියෝජිතයන් එම පාසලට ගොස් ලබා ගත් විස්තර කිහිපයක් ඡායාරූප සහතවම පහතින් ඇත්තේය.


ඉතාමත්ම අබලන් තත්වයේ ඇති ගුරු නිවාස. මේවායේ ඇති අවම පහසුකම් සමග ගුරුවරුන් කල දවස ගෙවන්නේ මේ විද්‍යාලයේ දරුවන්ගේ සුභ සිද්ධිය උදෙසාමය.


චිත්‍ර‍, නැටුම් ඇතුලු සෞන්දර්යය විෂයන්ට අදාළ පන්ති පැවැත්වීම පිණිස ඉඳිකිරීම ආරම්භ කල පන්ති කාමර, ප්‍ර‍තිපාදන නොමැති කමෙන් වැඩ කටයුතු අතර මගය.



භාවිතයට ගත නොහැකි සංගීත භාණ්ඩ වලින් යුත් සංගීත කාමරය, ඉඩකඩ අවම වීමේ ගැටලුව මත ගබඩා කාමරයකය.

මේ සියල්ල සටහන් තබන්නේ අහස අල්ලන්නට තරම් බලාපොරොත්තු රැසක් තබාගෙන නොවේය. අවශ්‍ය තැනදී, අවශ්‍යය පිරිසකට සරණක් වීමටය. සරණක් බලාපොරොත්තුවෙන් ඔවුන් තමන්ගේ ජීවිත නවත්වා නැතිය. තමන්ගේ අධ්‍යාපනය, ක්‍රීඩාව නවත්වා නැතිය. දරුවන්ගේ දෙමාපියන් පාසල වෙනුවෙන් තමන්ට හැකි මට්ටමෙන් සියළු සේවාවන් කරන්නෝය. ඒ අතරම ගුරුවරු තම ශ්‍රමය, විටක මුදල් පවා කැප කරන්නේ දරුවන්ට යහපත් කිරීමටය. එහෙව් තත්වයකදී අපට කළ හැකි යමක් ඔවුන්ගේ ශක්තිය වෙනුවෙන් වෙන් කිරීම යහපත් බව කිව යුතුය. 

පහතින් දක්වා ඇත්තේ ගිණුම් විස්තරයන්ය. ඔබේ ආධාර එම ගිණුමට බැර කළ හැකිය. ද්‍රව්‍යමය ආධාර ඇතිනම් පහත අංකය අමතා සූදානම් කළ හැකිය. සියළු කටයුතු විනිවිදව සිදු කරන බව කිව යුතුය. එලෙසම 2017 මාර්තු මස අග බාගයේ දී පාසල වෙත ආධාර රැගෙන බස් රථයක් ගමන් කරන්නේ දරුවන්ට, ගුරුවරුන්ට සහ ගමට සිනහවක් රැගෙනය. 

Account Name : Arunalu Manushathwaye Sathkaraya
Account No      : 121261002661
Bank                 : Sampath Bank, Gampaha Super Branch

අමතන්න - 071 804 3915


Written_by_sAm_ශ්‍රී_08:45pm_15/01/17

Thursday, March 28, 2013

අපේ සතුට ඈට කොයිද? It Says "Yashodha Needs You"


පහවසර නම් පට්ට ආතල්ය. පන්තිය පුරා දගලමින් සිට අපි ඉන්ටර්වල් එකේ එළියට පනින්නේ සෙල්ලම් කිරීමටය. 5 වසර බිල්ඩින් එකේ දෙවෙනි තට්ටුවේ අපේ පන්තිය පිහිටියේය. ඒ නිසා ඉන්ටර්වල් එකට බෙල් එක ගැසූ සැනින් අප පඩිපෙල දිගේ පහළට දිව ආවේ එක මිනිත්තුවක් වත් අපතේ නොයවා සෙල්ලම් කිරීමටය. ඉන්ටර්වල් එකේදී කැමට පෙට්ටියක දමා අම්මා එවන කෑම එක පවා අපි ඉන්ටර්වල් එකට කලින් පීරියඩ් වලදී හොරෙන් කෑවේ සෙල්ලම් කිරීමට කාලය ඉතිරි කර ගැනීමටය. බෙල් එක ගැසු සැනෙකින් පඩි පෙළට පනින්නේ ඒ ඉතිරි කර ගත් කාලය තවත් ඵලදායී කර ගැනීමටය. මට මතක හැටියට පඩි පෙළ අඩි 5ක් වත් පළලය. එහෙත් ඒ අඩි පහ අපට ප්‍රමාණවත් නොවුනේ අප ඒ කාළේ ප්‍රමාණයෙන් විශාල වූ නිසා නොව, එක පොදියට පඩිපෙල බසින්නට පොර කෑ නිසාය. 

කොට කලිසම් ගැසූ කොල්ලෝ සහ ගවුම් හැද ගත් කෙල්ලෝ කියා අපට වෙනසක් තිබුණේ නැත. කොල්ලෝ දුවන විට කෙල්ලෝ අප පිටුපසින් දුව ආවේ අපව අල්ලා ගැනීමටය. එසේම උන් දුවද්දී අපේ උන් පස්සෙන් දිව්වේ උන්ව අල්ලා ගැනීමටය. අපෙ විදුහලේ තිබූ මහා කෝන් ගස ටයිම වන අතර ඒ අසල තිබු පොල් ගස වයිම වූයේය. ටයිමට එන කෙල්ලන් බදා ගෙන නවතා ගන්නටත්, වයිමේ සිරව සිටින කෙල්ලන්ට නැවත අත දීමට එන කෙල්ලන්ව වලකා ලන්නටත් අප පොර කෑවේ ඉතා සතුටින්ය. දැන කාලේ උන්ව බදා ගන්නට ගියොත් එකම විනාශයක් වෙනවා ෂුවර්ය. ඒ නිසා ඒ කාලේම සිටියා නම් හොදයි කියා විටෙක සිතෙනු සාධාරණය.

අපි ලැබූ ඒ සතුට ඇයට තිබුණේද? අපි එලෙස සෙල්ලම් කරද්දී එක දිනක් ඔබ කකුලක් තුවාල වී පාසල් පැමිණියේ නම්, එදින ඔබ පන්තියේ කොනක තනිවනු ඇත. පන්තිකාමරයේ යකඩ දැලෙන් පිටත සෙල්ලම් කරන ලමුන් දිහා බලාගෙන සිටිනු ඇත. විටක ඔබේ හිතවත්ම මිතුරා හෝ මිතුරිය ලගින් සිටිනු ඇත. එවිට ඔවුන් මෙසේ කියනු ඇත.

“අද ඔයාට සෙල්ලම් කරන්න බැහැනේ.. පන්තියේ තනියම නිසා මම ලග ඉන්නම්..“





ඇය යශෝධාය. කිරිබත්ගොඩ විහාරමහාදේවියේ ඇය උගත්තීය. 1997 ඔක්තෝබර් මාසයේදී ඇයට ලියුකේමියාව වැලදී ඇති බවට වැරදි රෝග විනිශ්චයක් ලැබෙන අතර විවධ ප්‍රතිකාර සදහා ඇයව මහරගම පිලිකා රෝහලට යොමු කරන ලදී. පහ වසරේදී අධ්‍යාපනයට ඇති ඇල්ම නිසාම ශිෂ්‍යත්වයට පෙනී සිටි ඇය ඉන් ඉහළ ලකුණු ගත්තද 1999 වසරේදී ඇගේ ඉනෙන් පහළ කොටස සම්පූර්ණයෙන් පණ නැතිව යන්නේ වසරක පමණ කාලයක් ඇයව එක්තැන් කරමින්ය. පසු කාලීනව අනෙකුත් රෝගි තත්ව ඇයගෙන් පහව යද්දී අප්‍රාණික වූ පහළ කොටස නිසා ඇගේ දකුණු උකුල් ඇටයද පනින්නේය. රෝද පුටුවක සරණින් ජීවත් වූ ඇය 2005 වසරේදි නැවත වෛද්‍ය ප්‍රතාකර සදහා යෙමු වන්නීය. එවිට ඇය කොදු ඇට පේලිය ඇදවීමේ රෝගයට (Kypho Scoliosis) ගොදුරුව ඇති බවත්, ඒ සදහා පැළදීමට සුවිශේෂී වු ජැකට්ටුවක් (Corset) ඇයට වෛද්‍ය නිර්දේශය විය. එහෙත් කොදු ඇට පේලිය දිනපතා ඇද වූ නිසාත්, උකුල් ඇටයේ වැරදි පිහිටීම නිසාත්, ඇය දුෂ්කරතා රැසකට මුහුණ දුන්නාය. දිනෙන් දින වකුටු වන කොදු ඇට පෙළ ඇයගේ පෙනහලුවලට බාධාවක් ඇති කළේය. බොහෝ වෛද්‍යවරු කීවේ මේ සදහා සැත්කමක් කිරීම අපහසු බවක්ය.

ඇය තනිවම මේ සදහා ප්‍රතිකාර සෙව්වාය. ඒ අතර ඉන්දියාවේ ඇපලෝ රෝහලේ Dr. Sajan Hegde මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම මේ සදහා වන සැත්කම් ඉතා සාර්ථකව සිදු කරන බව ඇයට සොයා ගන්නට හැකි වූවාය. උක්ත වෛද්‍ය පිරිස ලංකාවට පැමිණි අතර වාරයක ඇය ඔවුන් හමුවට ගිය විට මේ සදහා සාර්ථකව ඉතා ඉක්මනින් සැත්කමක් කළ යුතු බව ඔවුන් කියා සිටියහ. එය ඉතා සාර්ථකව ඉන්දියන් ඇපලෝ රෝහලේ සිදු කෙරෙන බවත් ඊට ඉන්දියානු රුපියල් ලක්ෂ දාහතක් (17) ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ හතලිස් පහක් (45) වියදම් වන බවට Dr. Sajan Hegde මහතා ඇස්තමේන්තු ලිපියක් එවන ලදී.

එම ලිපි මෙසේය.. (Please open in a new tab)




http://www.dailynews.lk/2010/11/26/news14.asp

ඒ සියළු කාරණා මැද අගේ පියා දියණියන් තිදෙනෙකු සිටින පවුලේ කටයුතු අතෑර දමා අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇගේ මවගෙන් දික්කසාදය ඉල්ලා සිටි අතර එය ඔහුට පක්ෂව ලැබෙන්නේය. සියළු නොමනා කම් උසුලා ගන්නට බැරි උච්චම අවස්ථාවේදි ඔවුන් මහනුවර ප්‍රෙද්ශයේ කුලී නිවසකට පිටත් වන අතර, ඇගේ නැගෙනිය මහනුවර බාලිකාවකට ඇතුලත් කරන ලදී. විවාපත් අක්කා තම පවුල් දෙකම නඩත්තු කරන අතර එය ඔවුන්ගේ ජීවත් වීමේ සටනට යම් තාක් දුරට අස්වැසිල්ලකි. ඇගේ මව විශ්‍රාමලත් ගුරුවරියක් වන අතරය, යශෝධාගේ සියළු බර ඇය මත පැටවී ඇති නිසා ඇයටද වෙනත් කර්මාන්තයක නියැලෙන්නට නොහැකිය. නැගෙනිය මේ වසරේ උසස්පෙළ සදහා ගණිත අංශයෙන් ඉදිරිපත් වන්නීය.

ඉන්දියානු ඇපලෝ රෝහලේ වෛද්‍ය කණ්ඩායම සිදු කළ ප්‍රතිකර්ම වල සාර්ථකත්වය පිළබද පහල වීඩියෝ වලින් බලන්න.

Dr. Sajan Hegde ( Sr. Consultant Spine Surgeon) Speaks on Renaissance



Spinal Deformity Correction on Agra Dibyajali, a 13yr old Srilankan girl.




අප කවදාවත් නොදුටු හසංගිට හසරැල්ලක් වුණෙමු. අප කවදාවත් නොදටු යශෝධාට සරණක් විය යුතු මොහොත එළැඹ ඇත්තේය. ඔබ අද වෙන් කෙරෙන කිසියම් මුදලකින් ඇය හෙට දිනයේ තම දෙපා වලින් එසවී සිටිය හොත්, මතු කිසිම දිනෙක ඔබට, ඔබගේ හිතවතෙකුට මෙවන් කරදරයක් නොවේවා යන්න සෑමාගේ පැතුමයි.

ඔබ සැමට තෙරුවන් සරණයි.
දෙවි පිහිටයි.

ඇය නැවත හිනැහෙනවා දකින්න
එකතු වෙන්න අප සමග 

Jayarathne Diyunugalge Yashodha Samindri
ගිණුම් අංකය - 273-2-001-4-0000208
මහජන බැංකුව, කඩවත. 
PSBKLKLX (Swift code)

වැඩිදුර විස්තර සදහා

0775262396 / 0728571983


Related Posts Plugin for WordPress, Blogger...