Thursday, July 31, 2014

වචන සෙල්ලම්.. - Word Games !!! (පොඩි සෑමාගේ ලිපියක්..)



දයා බර ප්‍රින්සි පල් සර්ට ලියමි...


ලිපියේ උඩින් ආ මන්ත්‍රනය කර ඇති ආකාරය දුටු විටම සර්ට තද වෙන බව දනිමි. මන්ද සර්ට ඒ කාලයේ කැළෑ පත්තල වැදුනේද ඒ ආකාරයෙන්ම නිසාය. එහෙත් සර් අපිට සිංහල ටීචර් ලියම් ලියන්නට කියා දුන්නේ මෙසේ ආ මන්ත්‍රනයක් දමාය. සිංහල ටීටර්ව මතක් කළාම සර්ට නැවත මල පනිනා බව දනිමි. අපේ සිංහල ටීචර් දයාසීලී වීමත්, හැමෝම ටීචර්ට ආදරේට දයා කීමත් ඒකට හේතුවක්ය. සර්ට තද වෙන අනිත් හේතුව නම්, සර් දයා ටීචර්ට හේත්තුවක් දාන්නට ගොස් මාට්ටු වී කැළෑ පත්තර කෑමය. ඒවා සියල්ල පරණ කතන්දර නිසා සර්ට මම මේ ලිපිය ලියන්නේ සිස්සයන් වෙන අපේ අයිතීන් සුරක්ෂිත කර ගැනීමටය.

ඒ අප පන්ති කාමරයේ කරනා වර්ඩ් ගේම්ස් (Word Games) හෙවත් වචන සම්බන්ධ සෙල්ලම් කිරීමේ අයිතිය ආරක්ෂා කර ගැනීමටය. පන්තියේ විවේකයක් ලද විගස අප කරන්නේ ජීවන නිපුනතා පොතේ අන්තිම පිටුව පෙරලා ගැනීමය. ඒ ගැහැණු, පිරිමි, මල්, පලතුරු, සත්තු, ගම්, බඩු, එලවළු සෙල්ලම කරන්නටය. සෙල්ලම හොඳ දෙයක් වුවත් අපි කරන්නේ හොරෙන්ය. ඒ ටීචර්ලා සර්ලා අපිට ඒවා කිරීමේ නිදහස වාරණය කර ඇති නිසාය. එකී වාරණය නිසා යම් දවසක පාසල් යන එවුන් මේවා නොකරනවා නිසැකය. එදාට උන් වචන සෙල්ලම් අමතක කොට දමා සියල්ල ක්‍රියාවෙන්ම කරන්නට සැරසෙනවා ෂුවර්ය. සර් තරහා නොගන්නේ නම් මේ සෙල්ලම අපට තදින්ම වාරණය කළේ සර්ගේ අපේ දයා ටීචර්ය. ඒ සිද්ධිය මෙසේය.

එදා තිබුණේ සිංහල පීරියඩ් එකක්ය. සිංහල ටීචර් කෝමත් පන්තියට එන්නේ පීරියඩ් එකෙන් හතරෙන් එකක් ගියාට පස්සේ කියා අපේ උන් දන්නේය. අපේ උන් ටීචර්ව හොයන්න යන්නේ නැත්තේ ටීචර්ව හොයන්නට දෙයක් නැති නිසාය. මන්ද ටීචර් ඒ හතරෙන් එක ඉන්නේ සර්ගේ රූම් එකේ කියා දන්නා නිසාය. ඒ නිසා ටීචර්ගේ උදේ පීරියඩ් එකේ මුල් හතරෙන් එක අපේ උන් ආහාර ගැනීමට වැය කළෝය. පසුව ඉතිරි හතරෙන් තුනෙන් ටීචර්ව අපේක්ෂා කළද ටීචර් එන පාටක් නොතිබුණේය. එකී කාලය අපේ උන් වචන හරඹය හෙවත් අපේ සෙල්ලමට වැය කරන්නට වූවෝය. එදා පන්තියම තරඟයට එකතු වූ නිසා පන්තිය එකම කලඹලයක් වූයේය. එකෙක් “ද“යන්නෙන් අකුරු ලියන්නට දී තිබියදී, ගැහැණු, පිරිමි, මල්, පළතුරු ආදිය සියල්ල ලියා තබා “බඩු“ වකට “දයා“ ලෙස ලියා තිබුණේය. එය අමු වැරැද්දක් බවත්, එලෙස බඩුවක් නැති බවත් පන්තියම මැදිහත්ව අපේ එකාට පැහැදිලි කරද්දී ටීචර් පන්තියට ආවාය. අපේ එකා සෙල්ලම කරපු කොළය හංගද්දී ටීචර් කොළේ උදුරාගෙන “ද“යන්නෙන් ලියූ වචන සැට් එක කියෙව්වාය. කියවා අපේ මිතුරාව පන්තියෙන් දොට්ට දමා සියල්ලන්ටම පහරදී මරණ තර්ජන පවා එල්ල කළේ මේ තරඟය පාසලේ දී කිසිදා නොකරන ලෙස වාරණයක් දමමින්ය. එදායින් පසු ඒ සෙල්ලම තහනම්ය. අපේ මිත්‍රයා තවමත් කියන්නේ බඩුවක් නම් එතැන ලියැවිය යුත්තේ “දයා“ කියාය.

උක්ත කාරණාවේ සත්‍ය අසත්‍ය බව දන්නේ සර් පමණක්ය. එහි සත්‍ය සෙවීමට මෙය ලියන්නට පටන් ගත්තා නොව එකී සිද්ධියෙන් පසු අපේ පන්තියේ විනය පිරිහිණු අන්දම ලියා දක්වන්නටය. එතැනින් මතු අපේ උන්ට වචන සෙල්ලම් කවදාවත් කරන්නට නොලැබුනේය. අපේ උන් එම සෙල්ලම දාන්නට වූයේ ඉන් පසුව ඉංග්‍රිසි ටීචර් සමඟය. දිනක් ටීචර් තාරාවාට කියන වචනය ඇසුවාය. අපේ එකෙක් එක වරම කීවේ duck (ඩක්) කියාය. පැත්තක සිටි එකෙක් dick (ඩික්) දෝ මොකක්ද කියනවා ඇසුනද ටීචර් ඒවා කනකට නොගත්තාය. පසුව එහි plural හෙවත් බහු වචනය ටීචර් ඇසුවාම එකෙක් දඩි බිඩියේ නැඟිට කියා සිටියේ එක තාරාවා ඩක් නම්, තාරාවෝ සමූහයකට “ගො-ඩක්“ කියනා බවක්ය. එදා සිංහල ටීචර්ගේ කේස් එක ටීචර් දන්නා නිසා අනිත් බහුතරයක් ටීචර්ලා අපේ පන්තියට සද්ද දාන්නට නොආවෝය. ඒ නිසා ඉංගිරිසි ටීචර් එය ඉවසා සිටියාය. ඇය එය නිවැරදි කරමින් කියා සිටියේ “ඩක්“, නම් බහුවචනය “ඩක්ස්“ කියාය. ඉන්පසුව තව එකෙක් පැත්තක සිට කෑගෑවේ “එහෙනම් ටීචර් තාරාවෝ ගෙනියන වාහනේට කියන වචනේ දන්නවාද කියාය.“ ටීචර් බයිට් වේදෝ නොසිතා “ඒ මොකක්ද ඒ...“ කියා ඇසුවාය. අපේ එකා “ඇයි ටීචර් ඩක්-කුව...“ කියූ නිසා ටීචර් පාඩම වෙන අතකට හැරෙව්වාය.

සිංහල ටීචර් අපට අහිමි කළ word games අපේ උන් නොනවත්වාම කළේ අපේ ඉංගිරිසි ටීචර් සමඟමය. දිනක් වාක්‍ය සැකසීම පිළිබඳව කළ පාඩමකදී ටීචර් සිංහල වචන පෙළක් දුන්නේ ඉංගිරිසියට පෙරලන්නටය. අපේ උන් එයද වචන සෙල්ලමට යොදාගත්තෝය. “මේ රටේ නීති පොත් දෙකක් නැහැ..“ කියා ටීචර් කීවාය. ඒ ඉංගිරිසියට පෙරලන්නටය. අපේ ජෝනා පුටුව පෙරළාගෙන නැඟිට උත්තර දුන්නේය. “THERE IS NO DOUBLE RULE BOOK IN THIS COUNTRY" එදා තව පොඩ්ඩෙන් ටීචර් අපේ ජෝනාව ඩබල් කරනවාය. ඉන්පසුව පන්තියේ පිළවෙලකට ඉන්නා සිරිකමලා ගෙන් ටීචර් ප්‍රශ්නයක් ඇසුවාය. “හරි සිරිකමල් කියනවා බලන්න ඕස්ට්‍රේලියාවේ යුද්ධයක සළකුණක් නැහැ කියලා ඉංග්‍රීසියෙන්..“ සිරි කමලා ඇඹරුණේය. නැවත ජෝනා නැගිට උත්තර දුන්නේය. “MARK WAR IS NOT IN AUSTRALIA“ මාර්ක් වෝ දැන් සෙල්ලම් කරන්නේ නැතැයි අනිත් උන් කෑ ගැසූ නිසා ටීචර්ට ජෝනාගේ වාක්‍යය ඇසුනේ නැතිය.

අපේ උන්ගේ සෙල්ලම නවතින්නේ නැති තැන ටීචර් පන්තියෙන් කලින් පිටත් වූවාය. නැවත ටීචර් පන්තියට ආවේ පසු දිනය. එදාත් අපේ උන් ටීචර්ට සත්තම් දාන්නට වූවෝය. මැදහත් සිතින් බැලූ විට සියළු වැරදි බැර වන්නේ අපේ සිංහල ටීචර්ගේ අකවුන්ට එකට සහ අපේ ජෝනාගේ එකවුන්ට් එකටය. නමුත් අපේ උන්ගේ බුද්ධි වර්ධනය කළ වචන සෙල්ලම් දැමීම වාරණය කළ තැන සිට අපේ උන් කුපිත වූ බව නම් සැබෑය. පසුදිනද ටීචර් පර්වර්ථනය සඳහා අපිට දුන්නේ වාක්‍ය දෙකක් පමණක්ය. ඉන් පළමු එක PRESENT TENSE ගැන කියා දීමටය. “මම පුතාට කෑම කවනවා“ යැයි ඈ කී විට අපේ එකෙක් කීවේ I AM EATING MY CHILDREN කියාය. එදා එය කීවේ ජෝනා නොව වෙන එකෙක්ය. ඌව පාවා දීමට නොහැකි නිසා මම නම නොකියමි. නැවත ටීචර් එය නිවැරදිව කියාදි “මගෙ අම්මා බත් උයනවා“ සිංහලට හරවන්නට කීවාය. අපේ ජෝනා නැවත උද්වීපනය වී කියා සිටියේ MY MOTHER IS A RICE COOKER කියාය. ටීචර් එතැනින් නොනැවතී අපේ උන්ට පහරදී, ප්‍රින්සිපල් සර්ව සොයා ආ සැටි, සියළු විස්තර සර් දන්නවා ඇතිය.

මේ සිද්ධි සියල්ල නොනැවතී ඉදිරියට ගලා යනු ෂුවර්ය. හරියට විස්සවිද්‍යාලේ උන්ට පහරදී, උන්ට වරද පටවා සමාව ගන්නට කීවා හා සමානය. උන් සමාව නොගන්නේ වරද නොකළා කියාය. මහ උන් සමාව ගන්න කියන්නේ උන් වරද පිළිගත්තා යැයි කීමටය. ඉතිං සර්.. මෙකී ලිපිය ලියන පොඩි සෑම සතුව විකල්පයක් ඇත්තේය. ඒ ක්‍රමයෙන් අපේ උන් නිවැරදි මඟට එනු ෂුවර්ය. අපේ උන්ට ඕනැ වචන සෙල්ලම් කිරීමටය. ගැහැණු, පිරිමි සෙල්ලම නැති වුණත් වෙනත් සෙල්ලමක් කිරීමට අපේ උන් කැමතිය. මා කියන්නේ අපේ උන්ට කොම්පියුටර් රූම් එකේ දොර නිදහස් වේලාවට විවෘතව තබන ලෙසය. එහි ගොස් උන්ට ගූගල් එකේ වැඩ කරන්නට අවස්ථාව ලබා දෙන්නේ නම් උන් වචන සෙල්ලම් දානවා ෂුවර්ය. ඒ SEX සර්ච් කොට ලෝකයේ පළමු තැන ගන්නට නොව, අපේ භාෂාව ලෝකය තුල තවත් ඉදිරියට ගෙනියන්නටය.

මේ ලිපිය කියවා සර් අපේ ඉස්කෝලෙම ඉන්න උන්ට රට වෙනුවෙන් උදව්වක් කරන්න කියා ඉල්ලා සිටිනු දැකීමට පොඩි සෑමා කැමතිය. Google Translate වෙතට සිංහල භාෂාව ඇතුලත් කරන්න ගන්න උත්සාහයක් විදිහට මෙය අපේ උන්ට හඳුන්වා දිය යුතුය. එදාට අපේ උන් කෙලින පිස්සුව අවසන්ව, ටීචර්ලාට නිදහසේ වැඩේ කරගෙන යා හැකිය. මේ ක්‍රමයෙන් ඉංගිරසි නොදත් අපේ ජෝනාට මෙන්ම සිරිකුමාරටත්, මටත්, වෙබ් පි‍ටුවක් උනත් පහසුවෙන් සිංහලයට පරිවර්තනය කරගන්න පුලුවන්ය. පාසල් ළමයින්ට,ගුරුවරුන්ට,ඉගෙන ගන්න හැමෝටම,මෙකී නොකී සියලු දෙනාටම වාසි සැලසෙන මහඟු කාර්යයක් ලෙස හැදින්විය හැකිය. ඒ නිසා ඔබේ වටිනා කාලයෙන් ටිකක් වැය කරලා මේකට උදව් කරන්නේ නම් වටින්නේය. ඒකට ලින්ක් එක මෙසේය. මෙතනින් පිවිසෙන්න පුලුවන්

ගූගල් ට්‍රාන්ස්ලේට් ක්‍රියා කරන හැටි ගැන මෙම වීඩියෝව නරඹා බෙදා ගන්න. (සිංහල උපසිරැසි සහිතයි)


මෙය හඳුන්වා දීමෙන් සර්ට මෙන්ම දයා ටීචර්ටත් නිදහස් සුවය විදින්නට හැකි බව මතක තබා ගත යුතුය.

ඉතිං සර්..
ඔබට ජය..

මීට පොඩි සෑමා..

පලි - මේ පිළිබඳ ලිපියක් ලියන්නට කියා ඊමේල් එකක් එවූ එක වසරේ සිට මගේ මිතුරා වූ “Anja“ හෙවත් අංජනයාටත්, බුකියේ මාව මීට ටැග් කළ පසන් කොලුවාටත් ස්තුතියි.

පපලි - වැඩේ කොරලම බලපල්ලා. super mario ගේම් එක ගහනව වගේ තමා.. ඉවරයක් නැහැ.. වචන එනවා සූ ගාලා...

Written by sAm_ශ්‍රී_Perera_7:10am_31/07/2014

Wednesday, July 23, 2014

තාත්තා අම්මාගේ ඇමතුම් මිස් කරයි..... - Dad Missed Mom's Call !!


තාක්ෂණය පෙවීම අපහසු කාර්යයක්ය. තාක්ෂණය දිනපතා වෙනස් වීමත්, ඒ සමඟ අප්ඩේට් නොවීම පිළිබඳවත් සෑමා මින් පෙර ලිපි ලියුවේය. දිනක් “මත්තා“ කැසට් ප්ලේයර් එක කුමක්දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට සෑමාට අපහසු වූයේ ඒ කාලේ ඒවා නොදන්නා අද කාලේ පොඩි උන් අපි එදා හිටියාට වඩා අද පරිණතව සිටින නිසාය. ඒ වාගේම අපි වයසට යද්දී දිනපතා බිහිවන අලුත් ගැජට් ගැන අප සිහියෙන් සිටින්නේ නැති නම් අපටද හැරමිට්ටෙන් යන කාලය වෙද්දි කෙළවන්නේය. එදාට හැරමිට්ට වෙනුවට අලුත් ගැජට් එකක්ද බිහිවෙනු ෂුවර්ය.

සෑමාගේ මිතුරෙකුගේ පියෙක් වැඩ කළේ විදුලිබල මණ්ඩලයේය. අංකල් සිරා බුවාය. හැබැයි හවසට ගෙදර එන්නේ පොඩි අඩියක් ගසාගෙනය. විදුලිබල මණ්ඩලයේ පැරණි සේවකයෙක් නිසා, විශ්‍රාම යන්නට කිට්ටු කාලයේ අංකල්ට වරප්‍රසාද ගොඩාක් තිබුණේය. කැමති විටක ගෙදර ඒමට, කැමති පරිදි නිවාඩු ගන්නට, වැනි වරප්‍රසාද කීපයක් ඒ අතර වූයේය. ඔෆීස් එකේ එළියට පනින්නට ඉඩ ලැබෙන නිසා අංකල් කලින් ගෙදර නොආවේය. රැකියාවට ආදරේ කරමු ලිපියේ කීවා සේම අංකල්ද ගෙදර නොගිහින් කට්ටි පැන්නේය. බොහෝ විට අඩියක් පුඩියක් ගසන්නට බාර් එකට ගියේය. ඉන් ගැටළුව මතුවූයේ ඇන්ටීටය. කොයි වේලාවේ කොතැනක සිටින්නේදැයි දැන ගැනීමට ඇන්ටී කළේ අපේ මිතුරා හෙවත් පුතුගේ සහයෙන් අංකල්ට ෆෝන් කටුවක් ලබා දීමය. කොහේ ගියත්, කොතැන ගියත් එය සාක්කුවේ දමාගෙන රැගෙන යා යුතු බවට නීතයක්ද අංකල්ට පණවන ලද්දේය. ඉන් මඳක් සැලෙන්ඩර් වූ අංකල් සතියක් පමණ ෆෝන් එක සාක්කුවේ දමාගෙන ගියේය. කොල් නොගත්තාට අංකල්ට කෝල් එන්නට වූයේ ඇන්ටී ගෙන්ය. කොහේද ? කොතැනනද? කීයටද? ආදී සුපුරුදු ප්‍රශ්න වලින් හෙම්බත් වූ අංකල් ඊලඟ සතියේ සිට ෆෝන් එක අමතක කොට ගෙදර දමා යන්නට වූයේය. සුපුරුදු ලෙස හැමදාම අමතක වන ෆෝන් එක මතක් කිරීම ඇන්ටීද තම දින චර්යාවෙන් අමතක කොට අංකල්ට දුරකථනයෙන් තොර නිදහස් දිවියක් නැවත ලබා දුන්නාය.

විටක විශාල රාජකාරියක් කරන ෆෝන් එක මහා වදයක් වන්නේ එලෙසින්මය. බොහෝ අයට රස්සාවෙන් නිවාඩු අරගෙන නිවසේ රැදී සිටියද, විරාමයක් නැත්තේ ෆෝන් එක නිසාය. ගුරුවරයෙකු වූ කේ.කේ.ඩබ්ලිව් පෙරේරා මහතා හෙවත් සෑමාගේ තාත්තා ෆෝන් භාවිතයෙන් තොරව සිටියේය. ඒ මෑත කාලයක් වන තුරුය. පාසල් සිසු සිසුවියන්ට ෆෝන් තහනම් සේම සෑමාගේ තාත්තාද ෆෝන් කෙරෙහි වැඩි උනන්දුවක් නොදැක්වුවේය. සෑමා පාසල් යන කාලයේ, ගණිත අංශ ප්‍රධානී ගනේපොල සර්ටත් ෆෝන් එකක් තිබ්බා මතකය. පන්තියේ උගන්වන අස්සේ ෆෝන් එක නාද වුවහොත් සර් ෆොන් එක අරගෙන පන්තියෙන් පිටතට දුවන්නේය. ඒ දිව ගොස් සෙක්ෂන් එකටම ඇසෙන්නට කෑගසා කතා කරන්නේය. අපේ උන් එය අනුකරණය කරමින් ගන්නේ පට්ට ආතල් එකක්ය. සර් විටක ෆෝන් එක ස්ටාෆ් රූම් එකේ අමතක කොට අපේ පන්තියට පැමිණ උගන්වන්නේය. එවන් මොහොතක වුවද ෆෝන් එක නාද වුව හොත් අපේ පන්තියට ඇසෙන්නේය. ඒ තරමට සද්දයක් දමා තිබුනේ සර්ගේ කන් නෑසෙන නිසාද නැතිනම් දුරකථන භාවිතයේ දැනුම මඳ නිසාදැයි සිතා ගත නොහැකිය. මෑත භාගයේ කම්පියුටර් ෂොප් එකක් කරන සෑමාගේ මිතුරෙකුගේ නිවසට ගොස් මොනිටර් එකක් ඉල්ලා තිබුණේ එම සර්මය. අපේ එකා LCD, LED හොඳයි කියද්දී CRT පැරණි වර්ගයේ මොනිටර් එකක්ම සර් ඉල්ලා තිබුණේය. එක පැත්තකින් සර් නිවැරදිය. CRT මොනිටර් එකේ කොළිටිය අනෙක් ඒවායේ තවම ඇත්දැයි සැක සහිතය. එහෙත් විදුලි පිරිමැස්ම සහ නව්‍ය බව අතින් නම් අනෙක්වා ඉදිරියෙන්ය.

සෑමාගේ තාත්තාට දුරකථනයක් ලබාදීමේ අදහස අම්මාට ආවේ කාරණා කිහිපයක් මතය. ඔහු පාසල් ගිය විටක පුවත්පත් කළමනාකරුවන් කඩේට ආ විටක සම්බන්ධ කර ගැනීමේ පහසුව ඉන් ප්‍රධාන වූවේය. විටක ඔවුනට ගෙවීම් කරන්නට චෙක් පත් ලියා තබා කොහේ හෝ අස්සක ගසා තාත්තා පාසල් යන්නේය. අම්මා ඒවා වරු ගණන් සොයා පසුව තාත්තාව කන්ටැක් කර ගන්නට පාසලට කෝල් කරන්නීය. ඉන්පසු තාත්තා පන්තියක සිට ඔපීස් එකට දිව යා යුතුය. එකී කරදර මඟ හැරීම සඳහා තාත්තා අතට ෆෝන් එකක් දිය යුතු බව අම්මාගේ මතය වූයේය. එහෙත් එම මතය ක්‍රියාවට නැංවූයේ මැතිවරණයකට පෙර දිනයේය. තාත්තා මැතිවරණ මධ්‍යස්ථාන භාර නිලධාරියෙකු ලෙස සේවයට ගිය මැතිවරණයකදී, ඊට පෙර දිනයේ තාත්තා පිටත් වෙද්දීම අම්මා තාත්තා අතට ෆෝන් එකක් දුන්නාය. එතැන් පටත් තාත්තා අතේ ෆෝන් එකය. ඉන්පසුව ගැටළු මතු වූයේ ෆෝන් එක ඔපරේට් කිරීමේදීය. තනි සිම් පතක් දැමිය හැකි භාවිතයට පහසු Nokia දුරකථනයක් වෙනුවට අම්මා තාත්තාට ලබා දුන්නේ ඩුවල් සිම් චයිනීස් ෆෝන් එකක්ය. එහි වැල් වටාරම් ඉතා සංකීර්ණ බැවින් තාත්තාට වෙනම ක්ලාස් එකක් කොට ෆෝන් එක අතට දෙන්නට වූයේය. මැතිවරණ මධ්‍යස්ථානයේදී Silent කළ ෆෝන් එක ගෙදර ගෙන එන තෙක්ම තාත්තා සද්ද නැත. ගෙදර  ඇවිත් කීවේ තමන්ට කිසිම ඇමතුමක් නොලැබුණ බවක්ය.

Profile වෙනස් කිරීම, FM ඇසීම වැනි වැඩකිඩ බෙහෝමයක් තාත්තා ඉක්මනින් ඉගෙන ගත්තේ නිතරම දුරකථනය ඔබමින් සිටි නිසාය. දැන් නම් වැඩේ ගොඩය. එහෙත් මෑත භාගයේ සිතාගත නොහැකි ගැටළුවක් පැණ නැග්ගේය. එනම් තාත්තාගේ ෆෝන් එකට කෝල් එකක් වත් එන්නේ නැති තත්වයක්ය. එකක්වත් කිව්වේ එන එකම කෝල් එක ගෙදර ලෑන්ඩ්  නම්බර් එකෙන් අම්මා ගන්න කෝල් එකය.

අම්මා සහ තාත්තා ෆෝන් එක සෑමා අතට දුන්නේ දුරකථනයේ දෝශය සමනය කිරීමටය. සෑමා ෆෝන් එක අතට ගත් සැටියේ බැලුවේ ෆොන් එක සයිලන්ට්ද කියාය. එහෙත් සයිලන්ට් නෙවුයේය. ඉන්පසුව සෑමාගේ දුරකතනයෙන් තාත්තාගේ නම්බරයට කෝල් කර බැලුවේය. ආතල් එක කියන්නේ තාත්තාගේ නම්බර් එක දැන ගත්තේ ඒ අවස්ථාවේදීය. කිසිම අවුලක් නැතුව සෑමාගේ කෝල් එක තාත්තාට ලැබුණේය. ඉන්පසු ගෙදර ලෑන්ඩ් නම්බර් එකෙන් කෝල් කළ විට කෝල් එන්නේ නැතිය. දැන් කරන්නට තියෙන්නේ එක වැඩක්ය. බ්ලැක් ලිස්ට් එක බලන එකය. චයිනිස් ෆෝන් කැබලි වල බ්ලැක් ලිස්ට් එක එන්නේ කොල්ලන්ට වඩා කෙල්ලන්ට වැඩ ගන්නටය. බොහෝ කෙල්ලන් චැට් එකේදී, මඟ තොටදී කොල්ලන්ට නම්බර් දී බේරෙන්නේ මේ ඔප්ෂන් එක නිසාය. මුල් කාලේ හොඳට කතා බහ කරමින් සිට අනේ ඌ ගැලපෙන්නේ නැහැ, ඌට සල්ලි නැහැ, ජොබ අප්සට්, නැතිනම් තමන්ගේ කොල්ලාට අහුවෙයි සිතා කොල්ලාව බ්ලැක් ලිස්ට් කරන්නේ කෙල්ලන්ය. තාත්තාගේ ෆෝන් එක චැක් කළ විට ගෙදර ලෑන්ඩ් නම්බර් එක බ්ලැක් ලිස්ට් එකේය. මහා විනාසයක්ය. අම්මාට සෑමා කිවේවේ මෙන්න අම්මේ ඔයාව බ්ලැක් ලිස්ට් කරලා කියාය. තාත්තා දන්නා බ්ලැක් ලිස්ට් එකක් නැත්තේය. කෙසේ හෝ නම්බර් එකේ Option ගොස් බ්ලැක් ලිස්ට් එකට වැටී ඇත්තේ තාත්තා අතින්මය.

සිද්ධියෙන් පසු තාත්තා වැඩි දුරටත් පැවසුවේ දිනක් Player එකේ සින්දුවක් Play වීම නවත්වා ගත නොහැකිව ෆෝන් එකේ බැටරිය ගලවා නැවත දැමූ විට තත්වය සමනය වූ බවක්ය.

Written_by_sAm_ශ්‍රී_perera_7:21am_23/07/14

Thursday, July 17, 2014

ඇතුලේ හිරවීම් (දෙක) - Can't Get it OUT?? (Part-02)

කලින් ලිපියේ ලියන්නට හැදුවේ හිරවීම් ගැනය. එහෙත් ලියැවුණේ බලු කතාන්දරයක්ය. දොට්ට පිලට යද්දී හරියටම කොමඩ් එක ටාගට් කරන අපේ එවුන්ට කතාවක් ලියද්දී මාතෘකාව ටාගට් කරගත නොහැකිවීම දුක්ඛිත සිද්දියක්‍ ය. සෑමාටද එසේමය. එලෙස ලියාගත නොවූ ATM කතාව මෙසේය.

හිරවීම් නම් ඉතා දුක්ඛිත බැව් එදා බලු කතාවෙන් සනාත වූවේය. හිරගන්නට යන එකෙක්ව බේරා ගැනීමට පිරිමි බහුතරයක් උපකාර කළද කාන්තාවෝ නම් කිසිම සහයෝගයක් නැත්තේය. එය සෑමාට අත්දැකීමෙන් තේරුම් ගියේ හිරවුණු දවසකය.

හදිසියට මුදල් අතට ගන්නට සෑමා යන්නේ ගෙවල් ලග අති ATM එකටය. එතැන බැන්කු ශාඛාවක් නැත්තේය. කාන්තාරයක් මැද හිටවූ ආකාරයේ ATM මැෂින් එකකින් සල්ලි ගැනීම අවධානම් බව මතක තබා ගත යුතුය. හදිසියේ ඔබගේ කාඩ් පත එවැනි මැෂින් එකක හිරවූවොත් ඔබ අසරණ වන්නේ සිද්ධිය ගැන කියන්නට එතැන සිකියුරිටි අංකල් කෙනෙක් වත් නොමැති වන නිසාය. බැංකුවක් අසල තිබෙන මැෂින් එකක නම් ඕනෑම වේලාවක කාඩ්පත හිර වූවොත් ඒ ගැන ඒ අසල සිටින සිකියුරිටි අංකල්ට කිව හැකිය. එහෙත් බැංකු ශාඛාවක් අසල නැති මැෂින් වලදී කාඩ් පත හිරවුණොත් ටිකක් කරදර වන්නට සිද්ධ වෙන්නේය.

දිනක් සෑමා ගෙවල් අසල ඇති මැෂින් එක අසලට ගියේ මුදල් ගැනීමටය. මැෂින් එක අසලට යාමට පඩිපෙළ නැගගෙන යද්දී එතැන කෙල්ලෙක් මූණ දෙක කරගෙන සිටියා සෑමාට මතකය. ඉන්පසුව කාඩ් පත ඇතුලට දැමූ සෑමා රහස් යැයි කියනා අංකය ඇතුලත් කළේය. සිදුවූයේ විපතක්ය. කාඩ්පත ඇතුලට ගියා මිසක එළියට නම් ආවේ නැතිය. සියළු සෙල්ලම් දමා ගන්නට හැදුවද වැඩේ ගොඩ නොගියේය. සියල්ල බලා සිටියේ උඩින් සවිකර තිබූ කැමරාව පමණක්ය. සෑමා එලියට ආවේ මැෂින් එක සැදූ එවුන්ගේ අම්මා මුත්තා සිහි කරමින්ය. පහළට එද්දී පෙර කී කෙල්ල සෑමා දෙස බැලුවාය.

“සල්ලි ගන්න පුලුවන් වුණාද අයියා...“

“ෂික් බලන්නකෝ.. කාඩ් එක හිරවුණානේ..“

“ඒක තමයි.. මගේ කාඩ් එකත් හිර වුණා..“

ඇගේ මුහුණ දෙස බලා සිටියදී සෑමාට මැවී පෙනෙන්නට වූයේ කිසිදාක නොදුටු ඇගේ මෑණියන්වය.

“ඉතිං මම ඇතුලට යද්දි කිව්වෙ නැත්තෙ මොකෝ හලෝ.. ඔයා මාර බඩුවක්නේ...“

ඇය නිරුත්තරය. සමහර විටක කාඩ් පතක් සිරවූවද ඊලඟට පැමිණෙන පුද්ගලයාට කිසිම ගැටළුවක් නැතිව තමන්ගේ කාඩ් පත පරිහරණය කිරීමට ඉඩ ලැබෙන්නේය. එහෙත් තම කාඩ්පත සිරවී තිබියදී ඊලගට පැමිණෙන පුද්ගලයාට ඒ බව පවසා සිටීම යුතුකමක් වන්නේය. නැතිනම් සිදුවන්නේ තමා වැටුණු වලේ තවත් කිසිවෙකු වැටෙනු බලා සිටීමටය. එදින සිරවූ කාඩ් පත නැවත බැංකු ශාඛාවෙන් ලබා ගැනීමට සෑමාට දින කිහිපයක් ගත වූයේය. එම සිද්ධියෙන් උගත යුතු පාඩම නම් බැංකු ශාඛාවක් අසල නැති ATM මැෂින් වලට කාඩ් පත ඇතුලත් කිරීමේදී දෙවරක් සිතිය යුතුය යන්නයි.

කාඩ්පත සිරවුවහොත් කුමන හෝ ජිල්ටෝන් එකක් දමා කාඩ් එක ගත හැකිය. එහෙත් ඔබේ මුදල් මැෂින් එකෙන් පිටතට නාවොත්, හො හිර වුව හොත් ඔබට ගත හැකි ක්‍රියාමාර්ගයන් පිළිබඳව දැන සිටිය යුතුය. පෙර කී මැෂින් එකෙන්ම දිනක් සෑමා මුදල් ගන්නට උත්සාහ කළේය. එහිදී රුපියල් 2000/-ක් ගන්නට මුදලේ අගය මැෂින් එකට ඇතුල් කළද මුදල් පිටතට නොආවේය. සෑමා නැවත වරක් උත්සාහ කළේය. මැෂින් එකේ ක්‍රියාකරන හඬ පිටතට ඇසුනද, එවරත් මුදල් නොලැබිණ. මුදල් පිටතට ලැබෙන කවුළුව අතගා බැලුවද එ වැසී ඇත්තේය. කළ හැක්කේ අන් කිසිවක් නොව කැමරාව දෙස බලා මුදල් ලැබුණේ නැති බවට විරිත්තීම පමණක්ය. ඉන්පසුව කාඩ් පතේ ශේෂය විමසූ විට ඉන් රුපියල් 4000/-ක් අඩු වී තිබුණේය.

ඉන්පසු සෑමා කාඩ් මධ්‍යස්ථානය ඇමතුවේය. ඔවුන් කීවේ බ්‍රාන්ච් එකක් අසල නොවන මැෂින් එකක් නිසා ඔවුන් එය පරික්ෂා කරන්නේ යන්ත්‍රයට නැවත මුදල් පුරවන්නට ගිය විටක බවය. ඒ නිසා දින දෙකක් පමණ ඉවසා, වරද නිවැරදි නොවූයේ නම් ගිණුමට අදාල බැංකු ශාඛාවට දන්වන ලෙසය. සෑමා දින දෙකක් ඉවසා බැංකු ශාඛාවකට දැනුම් දුන්නේය. බැංකු සහකරුවෙක් කියා සිටියේ ගිණුමේ එදින 4000ක මුදලක් අඩුවී ඇති බවත්, තවමත් ඔවුන් එය නිවැරදි කර නැති බවත්ය. තවත් සතියක කාලයක් පමණ ඉවසා සිටින මෙන් ඔහු කීවේය. ඒ අතර සෑමා නැවත කාඩ් මධ්‍යස්ථානය ඇමතුවේය. ඔවුන් කීවේ සතියක කාලයක් පුරාවට කිසිවෙකු එම ATM මැෂින් එක ලඟට ගොස් නැති බවක්ය. එක අතකින් එය විහිළුවක් බව හැඟුනද සෑමා නිහඩව සිටියේය. නැවත මාකොළ කොමර්ෂල් බැංකු ශාඛාවෙන් විමසූ විට මුදල් තවමත් ලැබී නැත්නම්, බැංකුවට ලිපියක් නොදුන්නේ මන්දැයි ඇසුවේය. මෙතුවක් එවැනි පියවරක් අනුගමනය කළ යුතු බවට සෑමාට කීවේ කාඩ් මධ්‍යස්ථානය පමණක්ය. කලින් වර බැංකු ශාඛාවෙන් විමසූ විට ඔවුන් කීවේ එවැන්නක් අනවශ්‍ය බවත්, ඉවසා සිටිය යුතු බවක්ය. සෑමා කාඩ් මධ්‍යස්ථානය අමතා නැවත කතා කළ විට ඔවුන් කෑෂ් සෙන්ටර් හෙවත් බැංකු ශාඛාවලට අනුබද්ධව නොපිහිටි ATM මැෂින් වලට මුදල් පුරවන මධ්‍යස්ථානයක නම්බර් එකක් දුන්නෝය. සෑමා එය ඇමතුවේය.

ඔවුන් කීවේ එම කාල සීමාව තුල එසේ මුදල් වැඩියෙන් පිටතට පැමිණීමක් හෝ, යන්ත්‍රය තුල සිරවීමක් සිදුව නැති බවක්ය. සෑමා යන්ත්‍රය භාවිත කළ දිනය වේලාව සහ ඒ වේලාවේ අදාල මුදල් 2000, බැගින් දෙවරක් පිටතට ලබා දුන් බව ආයතනය මගින් කියා සිටියේය. එහෙත් සෑමා අතට මුදල් නොලැබුණු බවට එතැන තිබූ කැමරාව සාක්ෂි දරන්නේ නම්, එය නැවත නිරීක්ෂණ්‍ය කර බලා සාධාරණයක් ඉටු කිරීමට ආයතනය නිවැරදි විය යුතුය. ඒ මොහොතේ මැෂින් එකේ තිබූ කැමරාවෙන් සිද්ධිය නිරීක්ෂණය කරන මෙන් සෑමා ඉල්ල සිටිය විටදී ආයතනය කීවේ ඒ සඳහා කොමර්ෂල් බැංකු ආයතනයට බලයක් නොමැති බැවින්, පොලිස් පැමිණිල්ලක් මාර්ගයෙන් අදාල ඉල්ලීම කළ යුතු බවක්ය. අපේ ගිණුමක, අපේ සල්ලි ගන්නට පොලීසි බඩ ගාන්නට වන්නේ නම්, බැංකුවේ ATM මැෂින් එකක සවි කළ කැමරාවේ අයිතිය ඇත්තේ පොලිසියටද? ඒවා සවිකිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා සෑමා විමසා සිටියේය. එසේම ඔවුන් මින් අදහස් කරන්නේ බැංකු ශාඛාවක් නැති මැෂින් එකකින් මුදල් ගැනීමේදී ඇති අනාරක්ෂිත බවදැයි විමසා සිටිය විට එහා පැත්තේ කතා කළ පුද්ගලයා සිනාසුනේ එය සත්‍ය බව හඟවමින් දැයි සිතා ගත නොහැකිය.

උක්ත සිද්ධියට මුදලට නතු නොවූ, බලයට නතු නොවූ, ලොව සාධාරණම පොලිස් සේවය හවුල් කර ගන්නවාට වඩා, සිදුවූ පාඩුව දෙස බලා, නැවත එම වරදම නොකිරීමට වග බලා ගැනීම පහසුය. එසේම යම්කිසි මුදල් හදිස්සියකින් වැඩි මුදලක් ලබා ගන්නට ATM මැෂින් එකට ගියේ නම් එතැනදී සිදුවන අපහසුතාවය ගැන දෙවරක් කල්පනා කර බැලිය යුතුය.

මට නැවත මතක් වන්නේ මැෂින් ඇතුලේ හිරවීම් ගැන ලියන්නට ගොස් ලියැවුණු බලු කතාවේ අවසන් වාක්‍යයි.

//සල්ලි හිරවීමෙන් සෑමාට වූ සිද්ධිය මතක් වෙද්දී විටක සිතෙන්නේ අපේ ATM මැෂින් බැල්ලිගේ අහවල් එකට වඩා අන්ත බවක්ය.//

Written_by_sAm_ශ්‍රී_Perera_7:17am_17/07/14

Monday, July 14, 2014

ඇතුලේ හිරවීම්... - Can't Get it OUT??


හිරවීම් හෝ සිරවීම් ගැන ඇසුවාම පපුව හිරවෙනා තත්වයක් බොහෝ දෙනෙක්ට ඇත්තේය. පොළොව හාරාගෙන යද්දී පතල් අස්සේ සිරවීම් ගැන ඇසුවාම හුස්ම හිරවෙන්නේ ඉබේටම වාගේය. එවැන් සිද්ධියකදී හිරවුණු අයට හුස්ම හිරවන්නා සේම අපේත් හුස්ම හිරවන්නේය. එසේම වැඩි සතුටකදී හෝ වැඩි දුකකදී පපුව හිරවෙනා තත්වයක් බොහෝ අයට ඇත්තේය. එය කෙළවර වන්නේ පපුවේ අමාරුවකින් හෙවත් හාර්ට් ඇටෑක් එකකින්ය. ඒ සියල්ල මැද්දේ හිරවීමට හොඳම උදාහරණය දිය හැක්කේ බලු කතාවකින්ය. බලු කතා කිහිපයක් ලියූ සෑමා හිරවීමේ උදාහරණය බල්ලා කොට ගෙන ලියන්නට යන්නේ ATM කාඩ් එක සිරවීමක් ගැනය. 

බලු කතාව මට කීවේ මිතුරෙක්ය. තමන්ගේ ගම් පැත්තේ සිටිනා බල්ලෝ සැට් වලට විවිධ අනන්‍ය වූ හැසිරීම් සහ පිහිටීම් ඇති බව හොඳින් නිරීක්ෂණය කළ හැකිය. බල්ලාට ඇති වැඩකුත් නැහැ හෙමින් ගමනකුත් නැහැ කියූවද උන්ගේ හැසිරීම සහ දින චර්යාවේ සමානකමක් ඔවුන් අධ්‍යයනය කිරීමෙන් උගත හැකිය. එවැනි වාහාන පසුපස පන්නන බල්ලෙකු සහ ත්‍රීවීල් හයර් දුවන බල්ලෙකු ගැන සෑමා අතීතයේ සටහන් කළේය. අපේ මිතුරාගේ පැත්තේ බල්ලෝ සැට් එක සිට ඇත්තේය. උන්ගේ තඩි පොෂ් ලුක් එකක් තිබූ බල්ලා ඒ පැත්තේ රජෙකු මෙන් සිටියේය. එසේම ඌට ලයින් දෙන, ක්‍රෂ් එක, සිකුමාල පිරිසිදු බැල්ලක් ඒ අවටම සැරිසරා ඇත්තේය. වටේට සිටි බලු රැල නොයෙක් වර්ගයේ වල් බල්ලෝ වූවෝය. ඒ අතර සිටි ‘පූලා‘ නම්  (ඔහු මීට වඩා අපූරු නමක් කියූ නමුදු නම මතක නැත) වූ නකුටු බල්ලා බලු සැට් එකේ කොන් වී සිටි අයෙක්ය. රජා, සුකුමාල රැජිණ සමඟ සංවාසයේ යෙදුනද අනෙක් උන්ට කිසිම සැපතක් නොමැති වූයේය. එසේම රැජිණ ලෙස සිටි සිකුමාල බැල්ල රජුට හැරෙන්නට වෙන එකෙක්ටවත් තම කරේ නගින්නට ඉඩ නොදුන්නේය.

තත්වය එසේ තිබියදී රජු හා රැජිණ සැපෙන් කල් ගෙවද්දී අනෙක් බලු සැට් එක රැජිණට ගහ මරා ගන්නෝය. එහෙත් රැජිණද තම පතිවත රැකගෙන පුදදෙන්නේ මහ රජුට පමණක්ම වූයේය. ඒ අතර හැමදාම වලිය. මහ බල්ලාද බලු සැට් එක සමඟ පොර බැද බැල්ලට ලං වන්නේය. අනෙක් උන් පොර  බැද්දට වැඩක් නැත්තේ සටනින් ජය ගත්තද අවසන් තීරණය ඇත්තේ බැල්ලීගේ මනාපය පරිදි බැවින්ය. ඇය කවුරුන් සටන ජය ගත්තද කරේ නගින්නට දෙන්නේ මහ බල්ලාට පමණක්ම විය. එකී අසාධාරණ සමාජ ක්‍රමය හමුවේ සටන් පවා දිනපතා ජය ගත්තේ මහ බල්ලාය. අනෙක් උන් සටන අතරමැද අතැර යන්නෝය, විටක ජයගෙන පැත්තකට වන්නෝය. මේ සියල්ල මැදහත් සිතින් පැත්තකට වී බලා සිටියේ නකුටු පූලාය. විටක සටන් ජයගෙන පැමිණෙන උන්, බැල්ලගේ පහස නොමැති වූ තැන නගින්නේ පූලාගේ කරේය. එහෙත් පූලාට කරන්නට දෙයක් නැත්තේය. ඌ පිරිමි සහ ගැහැණු අතර මැදහත් සිතින් කොන්ද නමාගෙන සිටින්නේ තිබෙන්නාවූ නෝන්ජල්කමටය. එසේම කරකියාගත දෙයක් නොමැති අසරණකමින්ය.

දිනක් බලු සැට් එකම පාර දිගේ වලියක්ය. මහා සටන එළැඹී තිබුණේ එදින යැයි කිව හැකිය. මන්ද සියළු බලු සැට් එකම මහ බල්ලාව වට කොටගන ඌව සපා කන්නට වූයේ කලින් කතිකා කරගත් ආකාරයටය. ඌ බේරෙන්නට පාර පුරා දුවමින් දඟලන්නට වූයේය. ඒ අතර බැල්ලීද පැත්තකට වී නොසිට සැට් එක මැද්දට පැන බල්ලා වෙනුවෙන් සටන් කරන්නට වූවාය. තත්වය ක්‍රමයෙන් දරුණු වන බව පැත්තකට වී බලා සිටියේ පූලාය. එසේම ක්‍රමයෙන් උත්සන්න වන සටන් ජවනිකාවේ අවසන සිතා ගත නොහැකිව බැල්ලද පැත්තකට වූවාය. පූලා අවස්ථාවාදී වූවේය. පැත්තකට වී සීන් එක බලා සිටිනා බැල්ලගේ පිටට පැනීමට තරම් ශක්තියක් පූලාගේ සිතේ ඇති වූයේය. “මලත් කම් නැත එකක් ගසලා“ යන අති උතුම් වූ චේතනාවෙන් පූලා බල්ටික් ගසා පැන්නේ බැල්ලගේ පිට මතටය. බැල්ල තම ස්වාමියා වෙනුවෙන් වෙන්කොට තිබූ කෑම වට්ටෝරුව වෙන කෙකුට නොදී ඉන්නට වග බලා ගත යුතු යැයි සිතා ක්ෂණිකව පූලාගෙන් බේරෙන්නට තැත් කළාය. එහෙත් සිදුවූයේ අනෙකක්ය, පූලා ඇතුලේ සිටියදී දොර ලොක් වූයේය. ඉක්මනින් වෙන් නොවන බලු බැදීමකින් පූලා බැල්ල සමඟ කරේ යද්දී, අනෙක් බලු සැට් එකම සටන් විරාමක් තබා සිද්ධිය දෙස නෙත් යොමන්නට වූවෝය. 

පූලාට කරකියා ගන්නට දෙයක් නැති වූයේ මහ බල්ලා සමඟ අනෙක් බලු සැට් එකම පූලාගේ කරේ නැඟ පහර දෙන්නට වූ නිසාය. බැල්ල පහත මාලයේද, ඊට උඩ මහළේ පූලාද, සිටියදී බලු සැට් එකම පුලාව වට කොට කන්නට වූයේ ඇල්.ටී.ටී.ඊ. එකෙන් පැමිණ දෙමහල් ගොඩනැගිල්ලකට කුරුම්බැට්ටි ප්‍රහාරයක් එළ්ල කරන ආකාරයෙන්ය. ලොක්, අන් ලොක් වෙන තුරුම, ප්‍රහාරයන්ට මුහුණ දුන් පූලා “ලෙඩා මලත් බඩ සුද්දයිනේ..“ සිතා පණ බේරාගෙන දුවද්දී, බැල්ල ඉතා ලැජ්ජා සහගතව බලු රැල අතරේ කොන් වූවාය. මහ බල්ලාට කර කියා ගත දෙයක් නොමැතිව සිටියේ රාජ සභාවට පැන අග බිසවට එකෙක් කෙලියා නේදෝ යන කඩා වැටිච්ච සිතින්ය.

බලු කතාන්දරය දුර දිග ගිය නිසාම, බල්ලෝ කෝම හිර කර ගත්තද, ATM කාඩ්/සල්ලි එකේ හිර නොවන ආකාරයට කටයුතු කරනා සැටි සාකච්ඡා කිරීමට නැවත ලිපියක් ලියන්නට වන්නේය. සල්ලි හිරවීමෙන් සෑමාට වූ සිද්ධිය මතක් වෙද්දී විටක සිතෙන්නේ අපේ ATM මැෂින් බැල්ලිගේ අහවල් එකට වඩා අන්ත බවක්ය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:12am_14/07/14

Thursday, July 10, 2014

අපි නොදන්න රැකියා.. - Hidden Jobs !!!


සෑමාගේ සීයා මෙලොව ඇතැර ගොස් දැනට වසර විසිපහක් වන්නේය. මාළු වැස්සේ සිටි ආච්චී ගේ ආදරණීය සැමියා වූ අපේ සීයා නොහොත් තාත්තාගේ තාත්තා මිය ගියේ සෑමා පොඩි කාලයේය. ඒ කාලයේ මල ගෙදර පොටෝ කැබලි වල සෑමා අත දරුවෙකුව සිටියේය. මාතලන් මෑතකදී ලියු මලගෙවල් ස්ටෝරියේ පොටෝ කැබලි ඇල්ලීම ගැන සදහන් වූයේය. එහෙත් ඒ කාලයේ මලගෙවල් වල පොටෝ ගැසීම රජටම වූයේය. නමුත් මෑත භාගයේ සිට මල ගෙවල් වල පොටෝ කැබලි ගැසීම එතරම් දක්නට නොමැති බව කිව හැකිය. අපේ අම්මාගේ අම්මා හෙවත් කුංකාච්චී මිය ගිය මොහොතේ පවා පොටෝ කැබලි ගසන්නට කිසිවෙකුවත් පෙළබුනේ නැතිය. එදා අම්මා ලියා තිබූ කවි පන්තියක් සෑමා පෝස්ට් එකක් ලෙස දැම්මා මතකය.

කෙසේ හෝ වේවා මල ගෙවල් ගැන ලියන්නට හදනවා නොව මේ ලියන්නට යන්නේ අපි නොදන්නා ජොබක් ගැනය. අපේ තාත්තාගේ අම්මා (ආච්චී) පෙරටු කොටගෙන අපි සීයා සිහිපත් කොට දානමය පිංකමක් කරන්නට කතිකා කර ගත්තේ මාසයකට එපිටදීය. එතැන් සිට දානය දෙන්නට තැනක් තෝරා ගැනීම, දානය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තෝරා ගැනීම පවා කළේ අපේ මහප්පාය. මහප්පා තෝරාගත්තේ රාජගිරිය වික්ටෝරියා නිවාසයය. එහි සිටිනා අබාධිත අයට දානයක් දිය යුතුය යන්න මහප්පාගේ තේරීම වූයේය. එතැන බැලීමට මහප්පා මා සමඟ එහි ගියේය. ගොස් ඔවුනට අඩුපාඩු ඇත්තේ කුමක්දැයි  සොයා බලන්නට අපි සිදුවූයේය. එමඟින් අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුගත කොට අප දිනයක් වෙන් කර ගත්තේ මහප්පාගේ මුලිකත්වයෙන්ය. යම්තාක් දුරට ආධාර ලැබෙන තැනක් වූ නිසා සෑමා කීවේ එතැන එතරම් අහේනියක් නැති තැනක් කියාය. එහෙත් දීම හෙවත් දානය අපේ පැත්තෙන් කළ යුතු වැඩක් නිසා ඒ සඳහා කටයුතු කරන්නට අප කතිකා කර ගත්තෙමු.

ගමේ පන්සලේ (අපේ ගමේ පන්සල් තුනක්ය.) මූලික කරගෙන අප පිටත් වූයේ වික්ටෝරියා නිවස බලාය. දැන් ඉන්නා තරුණ පිරිස් සහ තාක්ෂණය පිළිබඳ කතිකාවකදී තාක්ෂණය නිසා දරුවන් නොමඟ යාම පිළිබඳ කතාවක් ඇඳී ආවේය. එහෙත් සමාජ වෙබ් අඩවි ආධාරයෙන් බොහෝ තරුණ පිරිස් සමාජ සත්කාර අදියට යොමුව ඇති බවට සිතුවිල්ලක් හාමුදුරුවන්ගේ මනසේ නිර්මාණය කරන්නට හැකි වීම ගැන සෑමාට සතුටක් ආවේය. එසේම අබාධිත මනස විකල් වූ අය පිළිබඳව කතා වෙද්දී හාමුදුරුවෝ අපූරු කතාවක් කීවෝය.

“ඒ මිනිස්සු උපතින්ම සිහි විකල් වෙලා ඉන්නෙ.. ඒත් හොඳ සිහිය තියෙන අපේ මිනිස්සු ගුලිද මොනවද කාල සිහිය විකල් කර ගන්නෙ විහින් නේ...“

“අපොයි ඒක නම් ඇත්ත හාමුදුරුවනේ..“

“අපේ පැත්තේ සිරිසෝමයා මරු වැඩක් කළානේ.. පෙරහැර දවසේ...“ (සිරිසෝම යනු මන: කල්පිත නමක්ය.)

“ඒ මොකක්ද හාමුදුරුවනේ..“

“මිනිහා පෙරහැර යද්දි මාත් එක්ක කියව කියව ආව.. බෝක්කුව ලඟ වෙල ලඟ පාරෙදි..“

“ඉතිං..“

“මිනිහා වෙලෙන් පැනලා ගෙදර යන්න බලාගෙන හිටියෙ.. අනික සිහිවිකල් වෙලා හිටියෙ... වෙල ලඟදි මිනිහා කියපි.. හාමුදුරුවෝ පාරෙන් යන්න මම එහෙනම් වෙලන් වඩින්නම් කියලා....“

එදා සිරිසෝමයා වෙලන් වඩිද්දී හාමුදුරුවෝ පෙරහැරෙන් පන්සලට ගොස් තිබුණේය. හාමුදුරුවෝ ගුලි කෑමේදී සිදුවන මානසික විකෘතිය විග්‍රහ කළේ ඒ අයුරින්ය.

එලෙස වික්ටෝරියා නිවසට ගොස් දානමය කටයුතු නිමා කොට, සීයාට පින් අනුමෝදම් කොට, අවට අබාධිත, අසරණ වූ අය බලද්දී මහප්පා කීවේ දැන් Disabled හෙවත් ආබාධිත කියන වචනය භාවිතා නොවන බවක්ය. ඒ වෙනුවට කිසියම් හෝ හැකියාවක් ඇති බව කියවෙන differently abled කියා නම් කෙරෙන බව කියා සිටියේය. ඇත්තටම ඔවුනට සම්පූර්නයෙන් නොහැකියාවක් නැත්තේය. එනම් සම්පූර්නව ආබාධිත අය නොවූයේය. සමහරුන් සුභ පැතුම් පත් සාදා ඒවා තමන්ගේ ඇද අද්දර තබාගෙන විකුණන්නෝය. සමහරු අතේ බඳිනා බෑන්ඩ් ගොතා ඒවා විකුණන්නෝය. එවැනි සයිඩ් බිස්නස් කරන්නට තරම් හැකියාවක් ඔවුනට තිබුනේ Disabled නොවී differently Abled වූ නිසාය.

සියල්ල අවසන් වී එළිය පැමිණ විට අයෙක් රෝද පුටුවකට වී පාර දෙස බලාගෙන කුමක්ද සටහන් කරනු දක්නට ලැබුණේය. විටක ඔහු පාර දෙස බලාගෙන කවි ලියනවා විය යුතුය. දවස පුරා කිසිම වැඩක් නැතුව රෝද පුටුවට වි සිටියදී වෙන කරන්නට දෙයක් නැතුවා විය හැකිය. එක්කෝ පාර දෙස බලාගෙන පාරේ යන වාහන ගණිනවා විය හැකිය. එවැනි සිතුවිලි සිතට එද්දී අප කළේ ඔහු ලඟට කිට්ටු වී කරනා දේ කුමක්දැයි විමසීමය. ඔහු කනේ ඉයර් ෆෝන් එකක් ගසාගෙන, ෆෝන් එකකින් සිංදු අසනු අපට දක්නට ලැබුනේය. තම රෝද පුටුව මත තබා ඇති ලී කැබැල්ලේ පොතක් තබා ඇත්තේය. පැත්තක ලෑල්ලේම ඔරලෝසුවක් අලවා ඇත්තේය.

“ඔයා මොකද මෙතන කරන්නේ??“

“අහ්.. මම වැඩසටහනක් ලියනවා..“

අම්මට හුඩු කලාකාරයෝ මෙතනත් ඉන්නව නොවැ.. කියා සිතා ගත් මම තවත් ප්‍රශ්න නැගුවේ සියල්ල දැන ගැනීමටය. 1988 වසරේදී තමා ඔබ්රෝයි (අද සිනමන්) හෝටලේ වැඩ අහවර වී පාන්දර පාරට බැස්ස මොහොතේදී වෑන් රථයක් පැමිණ තමාව හප්පාගෙන ගිය බවත්, පසුවදා උදේ පිරිසක් පැමිණ තමාව කානුවකින් ගොඩ ගෙන රෝහලට රැගෙන ගිය බවත්, සිදුවූ ප්‍රමාදය නිසා තමන්ට දෙපා වාරු නැති වූ බවත් හෙතෙම කීවේය.

“හරි දැන් මේ වැඩසටහන මොනව ගැනද??“

“නැහැ.. මම කරන්නේ හවස 4 ඉදන් හවස 5 වෙනකල් එෆ් එම් නාලිකාවක යන වෙළඳ දැන්වීම් ලියනවා...“

“එතකොට..“

“ඒගොල්ලෝ ඇවිත් මේ කොළේ අරන් යනවා.. මාසෙ අන්තිමට අපිට ගාණක් දෙනවා..“

“අඩේ.. මාරයි නේ.. එයාල මොනාද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ..“

“එයාලට ඒ පැය ඇතුලත් වෙළඳ දැන්වීම් මිස් වුණාද කියල චෙක් කරනවා..“

කෙසේ හෝ වේවා, තනිවී අතරමං වී, සමාජයෙන් දුරස්ථව නිවාසයක රැදී සිටින ඔවුනට එවැනි කාර්යයක් පැවරීම නම් අගය කළ යුතුය. ඔහුට එම කුඩා රැකියාවෙන් මාසය අන්තිමට යම්කිසි මුදලක් අතට ලැබෙන බව හෙතෙම කීවේය. එවිට සෑමාට කල්පනා වූයේ අප නොදන්නා රැකියා කීයක් නම් මෙලොව ඇත්තේද යන්නයි...

Written_by_sAm_ශ්‍රී_Perera_12.01am_10/07/14

Monday, July 7, 2014

ආච්චී පටලා ගත් කකුල, මිණිබිරිය පටලා ගත් අත... - Grand Daughter Finds New Position !!!




ආච්චී සතුව තිබු
ඇන්ටික්ම ගැජට් එක
තම දුවගෙ ගෙදර එවු
දෑවැද්දෙ තිබූ එක



සීයාගෙ සරම් පොඩි
නූල් එක දෙක ගැලවි
ආච්චිගෙ දෙඅත් පොඩි
සරණින්ම වැසුනු හැටි



කකුල් තරමක් පළල්
කර තබා සීරුවෙන්
උඩ - පහළ යන ලෙසට
දුන්නානෙ ඇය රුකුල්



ආච්චී තම දුවට
කියා දුන් ශිල්පයට
නැලැවුණා මිණිබිරිය
අම්මගෙන් ලැබ දැනුම



ආච්චී දන්නෙ නැති
ලේසි පහසුම විදිහ
අම්මලා නොදත්තේ
මේ විදිහෙ ඇති රසය



ඈත් කොට රත් දෙපා
පැටලෙමින් දෙකලවා
එදා කළ රඟ සොබා
අතින් අද කරනවා



ස්වාමී අකැමැතී
කකුල් දෙක පැද්දෙද්දි
වෙනසකට ඔහු කැමති
අත් දෙකෙන් වැඩ ගත්දි



මොක වුනත් අවසානෙ
නූල ගැලවී යද්දි
දවටලා කට කොනේ
කෙළවලින් නැහැවෙද්දි 
හිලට දා ගත යුතුනේ
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*
ආච්චිලා කකුල් පටලවා ගත් මැෂිම

මිණිබිරිය අතින් දමන සෙල්ලම

Written_bY_sAm_ශ්‍රී_Perera_7:18am_7/7/14

Tuesday, July 1, 2014

රැකියාවට ආදරේ කිරීම... - Love Your Job !!!


එදා එක් සුන්දර උදෑසනක්ය. සතිඅන්තයක කොළඹ ගිය සෑමාට මරදාන හන්දිය කිට්ටුවට වී වාහනයට වී ඉන්නට වූයේ තම මිතුරෙකු එන තුරුය. කිටියාද පැත්තකින් සිටියාය.

පිපුණු මලක හැඩ දෑස සලා..
සිතුම් විහග කැළ වසග කළා..
මගතොට රැදි නෙත් දහක් වසා..
මතකද අප නෙත් කතාකළා..

පාසලේ දහය එකොළහ වසරේ පමණ සිට මා මිමිණූ ගීතය, ඒ මොහොතේ එෆ්.එම් නාලිකාවක් ඔස්සේ ගුවනට මුදාහරිමින් තිබුණේය. කාලය හරිම පුදුමය. එකම ගීතය විවිධ අය, කීදෙනෙක්ට නම් කියන්නට ඇත්ද? මම මේ ගීතය ඇසූ දා සිට, කී තැනක, කී දෙනෙක් වෙනුවෙන් කියන්නට, සටහන් කරන්නට ඇත්ද? එකොළහ වසරේදී මා පන්තියේ තුන්වෙනි පේලියේ බිත්තිය කෙළවරේ හිඳගෙන සිටියේ බිත්තියේ කුරුටු ගී ලියන්නටය. එහි ආරම්භය වූයේ ශාලිත අබේවික්‍රමගේ උක්ත ගීතයය. එතැනින් නොනැවතී ලියැවුණු ගී, සින්දු සහ කවි කියවන්නට, මා හිඳගෙන සිටි පුටුවේ වාඩි වූ අය අපමණය. අතිරේක විශයන් සඳහා පන්ති මාරු කරද්දී, මාගේ කැටපත් පවුර කියවූ බොහොමයක් දෙනා ඇසුවේ මෙතන ඉන්නේ කවුද බන් කියාය. විටෙක බිත්තියේ බලි අදින එකාට පිස්සුදැයි ඇසූ අය නොසිටියා නොවේය. ප්‍රින්සිපල් පන්තියට පැන්න විටක, මා ආයාසයෙන් මා ලියූ ගී සින්දු කවර් කරන්නේ පැත්තට හිඳගෙන සිටීමෙන්ය.

මොහොතකට ඇසෙන පැරණි ගීතයකට ඔබව .ගෙනයා හැකි දුර අපමණය. මතකයන් සුන්දරය. ඒ මතකයන් ඔස්සේ ඇවිද යන මගේ සිත වෙනතකට හැරවූයේ අප වාහනය ඉදිරියෙන් කුණු එකතු කරන්නට යකඩ අත් කරත්තය තල්ලු කරගෙන ආ අංකල්ය. ඔහු කරත්තය තුළ වූ ඉදලට දෙඅත් ගසා වැන්දේය. ඉන්පසු කොට මිටක් සහිත වූ සවල දෝතින් ගෙන සිප ගත්තේය. මහා සුන්දර ලෝකයක සිටි මාගේ සිතුවිලි මොහොතකට උණු වෙන්නට පටන් ගත්තේ ඔහු කළ දේවල් දැකීමෙන්ය. මෙම ලිපියේ නිමිත්ත, ලිපිය ලිවීමේ අරමුණ පහල වන්නේ එතැනින්ය.

ඔහු ඒ සවලෙන් කුණු එකතු කොට කරත්තයට දමනවා විය හැකිය. දවස තිස්සේ පාර දෙපස ඇති කුණු ජරාව, බලු බෙටි බලල් බෙටි එකසේම සවලෙන් එකතු කොට කරත්තයට දමනවා විය හැකිය. තම ජීවිකාව කරගෙන යන්නට සවියක් දෙන්නාවූ තමන්ගේ රැකියාවට උර දෙන ආවුධ ආදරයෙන් සිප වැළඳගෙන දවසේ රාජකාරි ආරම්භ කරන්නට තරම් සංවේදී හැඟීමක් රැකියාව කෙරෙහි උපදින්නේ කීයෙන් කී දෙනෙක්ටද? ඔබ අද උදෑසන රැකියාවට පිටත් වන්නට උදේම නැගිටින්නට සිතෙන්නේත්, පිළිවෙලකට ඇඳ පැළඳගෙන රාජකාරියට යන්නට සිතෙන්නේත් ඔබ ආදරයෙන් හැඟීමෙන් එම රාජකාරියට සළකන නිසාය. එසේම තමන් ජීවත් වෙන, තමන් ඇතුළු පිරිසක් රැක බලාගන්නා රැකියාවට උතුම් අයුරින් සැලකීමේ යුතුකම සිතේ දරාගෙනය.

පෙර දවසෙක මා රාජකාරී කළ කම්පැනියේ ආතල් ඩයල් එකක් සිටියේය. පොර වැඩට එන්නට ඉතා මනාපය. අපි ඉස්කෝලෙ යන කාලයේ ආතල් එකේ ආසාවෙන් ඉස්කෝලෙ ගියේ පාසල් අභ්‍යන්තරයේ තිබූ බැඳීම් නිසාය. ඉගෙනීමට පමණක් නොව ඊට එහා ඉක්මවා ගිය බැඳීම් සමූහයක් නිසා අප පාසල් ගියෙමු. එලෙසම යම් කිසි විශේෂ හේතුවක් තිබෙන්නේ නම් රාජකාරියට යන පිරිසක්ද සිටින්නෝය. පෙරකී අපේ මිත්‍රයාට එසේ අහවල් බැඳීම්ද නොතිබුණේය. එහෙත් රාජකාරියට දිනපතා පැමිණියේ අව්, වැසි නොබලාය. විටක හොටු පෙරාගෙන තම පුටුවේ ඉදගෙන සිටියේ ගෙදර නොයිද වැඩට පැමිණීමේ පරම චේතනාවෙන්ය. මේ කටයුතු, හැසිරීම් සියල්ල අධ්‍යයනය කළ අපේ උන් බුවාව දිනක් ඉන්ටර්විව් කළෝය.

මචං, උඹ ඔච්චර දුර ඉදලත් වෙලාවට, හැමදාම වැඩට එනව නේ..

ඔව් බං.. මම පොඩ්ඩාව ඉස්කෝලෙ දාගෙන එහෙම්මම මෙහෙ එනවා.. ඒකයි වෙලාවට එන්න පුලුවන් වෙන්නෙත්...

අඩේ නිකමට වත් දවසක් ගෙදර ඉන්න හිතෙන්නෙ නැද්ද බං?

උඹල මේ පිස්සු කතා කරනවා.. මම ඔෆීස් එකේ විශේෂ නිවාඩුවක් වැටුනත් වැඩට යනව බං..

ඇහ්.. උඹ මෙහෙ එනවද???

මෙහෙ ඇවිත් තාප්පෙන් පනින්නද බං??

එහෙනම් උඹ කොහෙද යන්නෙ??

අනේ මන්ද බං.. මම ස්ටේෂන් එකට ගිහින් කෝච්චියෙ නැඟලා නුවර යනවා.. ආයෙ හවස් වෙද්දි එනවා...

මාර බුලට් එකක් නේ... යකෝ.. ආතල් එකේ ගෙදර ඉන්නෙ නැතුව..

උඹලට පිස්සුද? කාලෙකට ඉස්සෙල්ලා එකම එක දවසක් උණක් හැදිල ගෙදර හිටිය.. මට එදායි හිතුනෙ වැඩට ආව නම් එයිට වඩා රෙස්ට් කරන්න තිබ්බ කියල..

ඒ කිව්වෙ..

නැහැ බං.. පවුල ගෙදර නේ.. මම අසනීප වෙලා ගෙදර හිටිය දවසෙ කට කපල වැඩ.. ඒත් වැඩට ආව නම් ඩොක්ටර් කිව්ව වගේ හොඳට රෙස්ට් කරන්න තිබ්බා...

උඹ මාර ඩයල් එකක් නේ.. ඒ නිදහස ගන්නද වැඩට එන්නෙ...

මම උබලට එක උපදෙසක් දෙන්නම්.. කවදාවත් එකම වෙලාවට ගෙදර යන්න එපා. 5ට ඕෆ් වෙලා 6 වෙද්දි ගෙදර නම්.. ටිකක් ඉඳලා ගෙදර පලයල්ලා.

ඉතිං බං ට්‍රාන්ස්පෝට් එකේ ගියාම හැමදාම එකම වෙලාවට ගෙදර නේ???

ඔව්.. මම කෝච්චියෙ ගියත් එකම වෙලාවට ගෙදර.. ඒත් මම දොරට තට්ටු කරන්න කලින්.. එළියේ පුටුවක පොඩි ඇලට් එකක් දාගෙන ඉදලා ටිකකින් තට්ටුව දාන්නෙ.. එතකොට ෂේප්..

ඉතිං බොට ලැබෙන ප්‍රතිලාභේ??

ඇයි යකෝ හැමදාම 6ට ගෙට රිංගුවම පවුල අපිව හැමදාම 6ට බලාපොරොත්තු වෙනවා.. ඒ නිසා තමා අර විදිහට කරන්නෙ...

ක්‍රියාකලාපය එසේ වුවද අපේ මිත්‍රයා රැකියාව ආදරේ කළ අයෙක්ය. ගෙදරින් නිදහස් වන්නට අනුගමනය කළ ක්‍රම උපායන් හැරුණු විට බුවා රැකියාවට ආදරේ කළේය. අලුත් දවසක, අලුත් මාසයක, ඔබ නැවතත් සිතන්න. ඔෆීස් එකට, ලොක්කන්ට, ගරු නොකළත් තමන් කරන කාර්යයට උපරිමයෙන් ගරු කරන්න. නිවැරදිව ආදරයෙන් කරන්න.

Written_by_sAm_ශ්‍රී_Perera_7:08am_01/07/14
Related Posts Plugin for WordPress, Blogger...