Showing posts with label පෙම් හබ. Show all posts
Showing posts with label පෙම් හබ. Show all posts

Thursday, May 24, 2018

බෑ කියනවාට වඩා හා කියනවා පහසුය.. - Easiest Way to Love !!


ඉස්සර කෙල්ලෝ මැටිය. අමුම අමු මැටිය. කොල්ලෙක් ලියුමක් දුන්නොත් බනිනවාය. එක්කෝ ඔරවනවාය. නැති නම් දන්න අයියලා බස්සලා ගස්සනවාය. කොල්ලා කොයි තරම් හැකියාවක් තිබ්බත් කෙල්ලගේ අයියා ගැහුවොත් ඉවසනවාය. ගහපං අයියේ මම අනුකම්පාවෙන් හෝ ඒකිව සැට් කර ගන්නවා කියා ඉන්නවාය. ඒ කෙල්ලගේ සීයා ආච්චි ඇවිත් ගැහුවත් එහෙමය. කොල්ලා දරාගෙන ඉන්නවාය. ඉන්පසු කෙල්ලගේ හිත උණු වෙනවාය. තෙල් තාච්චියට දැමු වතුර බිංදුවක් මෙන් කෙල්ලම ඇබරිලා ඇවිත් කොල්ලා සිප සනසනවාය. ක්ෂණිකව නොවන දෙයක් නොවේය. ඒත් කාලයට ඉඩදී තුවාල වේලෙන්නට, තැල්ම මැකෙන්නට, ඉඩ දුන්නාම කෙල්ල අතේය. ඉන්පස්සේ කෙල්ලට බූට් එකය. අර ගහපු අයියා, ආච්චි හෝ සීයා ඇවිත් කෙල්ල සමගම වැද වැටෙනවාය. අවුල්ය. ඒත් එව්වා දෛවයේ සරදම්ය. පව් ය.

එහෙමත් නැතිනම් වෙන්නේ කෙල්ල ලියුම අරගෙන මිසින් වෙනවාය. කොල්ලා රිප්ලයි එනකල් බලා සිටින්නේය. ඒත් කෙල්ල පිට පාරේ ගෙදර යනවාය. කොල්ලාට එපා වෙනවාය. ඉතිං එක්කෝ ඌ ඒකි වෙනුවෙන් තනිකඩව බලා සිටිනවාය. එක්කෝ ඒකත් එනතුරු බලාගෙන ඉන්නා ගමන් තවත් එකක් කරලා බලනවාය. කෙල්ල විභාග අහවර වී කැම්පස් යන්නට ලෑස්ති වී අර කොල්ලාව හොයනවාය. ඒ යාලු වෙන්නටය. එක්කෝ අරූව ආයේ ෆෝම් කර වචනයක් නැවතත් ගන්නටය. එතකොට කෝච්චිය ගිහින්ය. එක්කෝ කොල්ලා තවමත් තනිකඩවය. නැතිනම් කොල්ලා දරු පවුල් කාරයෙක් වෙලාය.

සමහර කෙල්ලෝ කරන්නේ ලියුම අරගෙන රිප්ලයි නොදී අරූව තවදුරටත් මෝල් කිරිමය. ඌ ඇස් දල්වාගෙන හැමදාම මහ මඟය. අරකී ඇස් කරකවා පද්දලා හා අයියේ කියලා ලයින් එකක් දෙන්නීය. කොල්ලා ෆුල් සැටිස්ය. හැම එකාටම කියන්නෙ වැඩේ හරි කියලාය. කෙල්ල ඌව තියාගන්නේ සමාජයට තමන්ට ඇති ක්‍රෂ් ප්‍රමාණය අති මහත් බව පෙන්වන්නටය. කොල්ලා හෙනම සීන් එකේ තනියම ආතල් එකක් ගන්නේ ඒකි හා කියනවා ෂුවර් බව හිතේ තියාගෙනය. හැබැයි කෙල්ල ගේම ගොඩ දා ගන්නවාය. කොල්ලා ඒකි හරි තමා කියමින් වෙන එකක් වත් බලාපොරොත්තු නොවී ඉන්නවාය. එක්කෝ කලින් කිව්වාක් මෙන් තව එකක් කරගන්නා බුද්ධිමත් උන්ද ඉන්නවාය.

උඩ කී ආකාර සියල්ල ඉස්සර ජාතියේ උන්ය. එහෙම ලව් සෙට් වුනත් හෙන බෝරිං සීන්ය. දැන් වගේ ක්ෂණික රිප්ලයි නැති නිසා වැඩක් කර ගත් එවුන්ද අල්පය. ඒකට දැන් කාලේය. ලියුම් නැතිය. ක්ෂණික රිප්ලයිය. බෑ කියනා උන් නැහැය. ඩිමාන්ඩ් කරන උන් අල්පය. වැඩේ නැගලා යනවාය. සරලව කිව්වොත් මරා ගැනිලි නැත්තේය. දෙදෙනාම කතා බහය. එක්කෝ මීට් වෙනවාය. කාලයත් සමඟ ගැලපෙන උන් ඉතිරි වී නොගැලපෙන ලව් මග ඇරී යනවාය. ඒ ක්‍රමය ඉතා හොඳය. ඇරියස් නැතිය. උන් දෙන්නා දෙපැත්තට ගිහින් වෙන උන් බැදගත්තත් තරහවක්, වෛරයක්, ඉරිසියාවක් නැතිය. අන්න ඒක සැබෑ ආදරයය. ඒ අස්සේ ගොං පාට් ලව්ද නැතුවා නොවේය. 99%ක් ගිය එකා ගියාවේ, ආපු එකා එක්ක පවුල් කනවා කියා සිටින්නෝය. ඉතිරි 1% තමන්ගෙ එක කන ගමන් ගිය එකාගේ එකත් කන්නට, විනාස කරන්නට දඟලන්නෝය.



කැමති එකාට, පස්සෙන් එන එකාට, කෙලින්ම කතා බහ කර කැමතියි කීම හෝ ලඟින් තබා ගැනීම සරල සහ ලේසිම ක්‍රමයය. ටික දිනකින් කොල්ලා කෙල්ලගේ තරම තේරුම් ගෙන එක්කෝ ඈත් වෙනවාය. නැති නම් ඔන්න ඔහෙ ඕන මඟුලක් කියා ඒකි එක්කම ඉන්නවාය.

sAm_ශ්‍රී_9:34pm_24/05/2018

Thursday, January 9, 2014

අනේ කාටවත් නම් කියන්න එපා අයියේ... - Please Keep It as a Secret !!!


අවංකව ආදරය කළ කොල්ලෙකු බූට් එකක් කා සිටියදී හැම කෙල්ලටම සාප කරන්නේය. සදාතිනකව තනියෙන් සිටිනවා යැයි කියා පැත්තකට වී සිටින්නේය. නැතහොත් ඒ කෙල්ලම එනතුරු බලා සිටින්නේය. ඒ කෙල්ල වෙන කොල්ලෙකු සමඟ යනු දැක දැකත් ඇය වෙනුවෙන් බූට් සිංදු අසමින් කියමින් කලාකරුවෙකු වන්නේය. ප්‍රේමයේ විරහවේ උන්මත්තකයෙකු වී ඇය වෙනුවෙන්ම බලා සිටින්නේ. කුමන වරදක් වුවද ඔහු හැර ගිය දිනක නැවත එන ලෙස අයදිමින් බලා සිටින්නේය. වැරදිලා හෝ නැවත ආ විට සිදුවන දේ බලා ගත හැකිය. කොල්ලා ඇරියස් හිටන් කවර් කරන්නේය. එය අවංක, නිකැලැල්, පිවිතුරු ආදරයේ ලක්ෂණයක්ය.

තවත් විටක අවංකව ආදරය කරපු කොල්ලෙක් කෙල්ල තමා හැර ගිය විටක මහා සල්ලාලයෙකු වන්නේය. එකෙක්, දෙකෙක්, ගෙන් නොනැවතී කෙල්ලන් දහයක් පහලොවක් බැලන්ස් කරන මට්ටමට වැටෙන්නේය. එය කෙල්ල කළ දේට පලි ගැනීමක් ලෙස කොල්ලා විසින් සිදු කරන්නේය. කෙල්ලට පෙනෙන්නට පට්ට කෑලි සමඟින් එහේ මෙහේ යන්නේය. අවසන කොල්ලා අර කෙල්ලට වඩා හොඳ කෙල්ලෙක් පර්මනන්ට් ලෙස තබා ගන්නේ අනිත් කෙල්ලන් රැසකට පාඩම් උගන්වමින්ය.

කොල්ලේ ගැන එලෙස නිශ්චිතවම කීවද කෙල්ලෝ ගැන කිව නොහැකිය. උන් ගුප්තය. අවංක ආදරයක් කරන ගමන් තවත් ඒවා බැලන්ස් කරන ඇත්තියෝද, අවංක ආදරයක් කරන ගමන් අනිත් එවුන්ට ක්‍රශ් එකක් වෙන උන්ද, ඒ ගමන්ම දහයක් පහලොවක් ෆෝම් කොට පස්සෙන් ගෙන්වාගෙන තමා තමයි කෑල්ල කියා ගන්නා උන්ද ඇත්තේය. එසේම එක කොල්ලෙක් එක්ක වත් යාළු නොවී ගමටම ආතල් දෙන උන්ද, ගමේම එවුන් පස්සෙන් එන තරමට ගමේ උපන් සිරියාවිය සුකුමාලිය වන්නාවූ කෙල්ලන්ද ඇත්තේය. කොල්ලෝ පිලිබඳ ලිවීමේදී උන්ට ඇත්තේ කුලක කිහිපයක්ය. එහෙත් කෙල්ලන් වර්ග කිරීම අපහසුය. උක්ත ඡේදයේද සෑමාට මිස් වුණ ජාතියේ උන් රැසක් සිටිය හැකිය.

කෙල්ලන් කොල්ලන් ආදරය, ඉදිරියේ වර්ග කරන්නට සෑමාට සිත් වූයේ මෑත භාගයේ අපේ කොල්ලෙක්ට වූ සිද්ධියක් නිසාය. කොල්ලා අවංක ආදරවන්තයෙක්ය. කෙල්ලෙක් වෙනුවන් තුට්ටු දෙක වැය කොට, ඇගේ සියළු දේ සොයා බලමින් සිටි කොල්ලා අවසන බූට් එකක හිමි කරුවෙක් වූයේය. කොල්ලා කෙල්ල වෙනුවෙන් නොකළ දෙයක් නැතිය. එසේම ඒ කිසිත් කොල්ලා බලෙන් කළ ඒවා නොව, කොල්ලාගෙන් කෙල්ල ඉල්ලා ගත් ඒවාය. එසේම කොල්ලා කැමැත්තෙන් කළ ඒවාය. ඇගේ බෝඩිමට පවා විටක මුදල් ගෙවා ඇත්තේ අපේ කොල්ලාය. කෙල්ලගේ පැත්තේ පිරිසක් කොල්ලාද අඳුනන නිසා කොල්ලාට යම් තාක් දුරකට සපෝට් එකක් ලැබුනේ ආදරය තරමක් දුර ඇඳගෙන යාමට මිස, බොහෝ කල් රඳවා ගැනීමට නොවේය. අවසන කොල්ලා මල් අතරින් එකක් වූයේය.

කලින් බූට් තැබූ කෙල්ලගේ පැත්තේ අය කොල්ලා වෙනුවෙන් දුක් වූවෝය. කෙල්ලට සාප කළෝය. අපේ එකියක් වුනත් ඕකි ඔහොම වැඩක් කළානේ කියමින් විස්සෝප වූවෝය. එහෙත් කොල්ලාගේ සිත නැවත පිළිසකර වීමට එම වඳන් ප්‍රමාණවත් නොවුනේය. ඔහු මෙවර ඇයට මෙන්ම ඇගේ පැත්තේ පිරිසටද සාප කළේය. බුද්ධිය වර්ධනය වී නැවතත් හිතන්නට පටන් ගත්තේය. ඒ අතර තුර අප කලින් දුන් අවවාද, අනුශාසනා නිවැරදි යැයි ඔහුට හිතෙන්නට ඇතිය. එහෙත් පමා වැඩිය. නැවතත් එවන් දෑ නොකර ඉන්නවා මිසක කණගාටුවීමෙන් පළක් නැතිය. කොල්ලා නම් හොද එකාය. එහෙත් කෙල්ල කළ දෙයින් කොල්ලා පැත්තකට වී සිටියා මිසක වෙනත් කෙල්ලන් පස්සේ ගියේ නැතිය. කෙල්ලන් තම ශබ්ධ කෝෂයෙන් ඉවත් කර හරින්නට හෙතෙම සමත් වූයේය. ඒ අතර පෙර සිටම ශබ්ධ කෝෂයේ තිබූ බෝතලය යන වචනය වැඩිපුර උච්චාරණය කරන්නට හෙතෙම සමත් වූයේය.

හදිසියේම අප මිත්‍රයාගේ හිසේ මලක් පිපුනේ කෙල්ලකගේ සේයාවක් තම සිත් කොනක ජනිත වූ නිසාය. එම යෝජනාව ආවේද කලින් කෙල්ලගේ පැත්තෙන්ය. ඇගේ පැත්තෙන් කොල්ලාට සපෝට් කළ අක්කා කෙනෙකු මේ යෝජනාව සමඟ කරලියට ආවේය. ඇය දන්නා කෙල්ලක් සිටින බවත්, හොඳට සල්ලි තියෙන බවත්, ටිකක් මහත, ස්ටයිලිෂ් කෑල්ලක් බවත් කොල්ලා සමාජය හමුවේ කීවේය. මුලින්ම අපට කීවේ අපේ අදහස් දැන ගැනීමටය. සල්ලි නම් මොනවද මල්ලී ඒත් සල්ලි තියෙන කෑල්ලක් නම් එළම තමා කියමින් අපි කීවේ කෙල්ලව බලන්න පලයන් කියාය. එහෙත් මාස කිහිපයක් තිස්සේ ගැස්සි ගැස්සී තිබූ යෝජනව සම්මත කර ගැනීමට කොල්ලා කෙල්ල හමුවට ගියේ මෑත භාගයේදීය. අක්කාගේ තල්ලුවද, අපේ තල්ලුවේද, බල මහිමයෙන් කොල්ලා කෙල්ල හමු වූයේය.

“නංගිට අක්ක කිව්වද මගේ කතාව..“

“ඔව් අයියේ.. කවුද කෙල්ලෙක් බූට් එකක් තිබ්බලු නේද??“

“එහෙම කියන්න එපා... අපි යාළු වෙලත් හිටියනේ..“

“හ්ම්..“

“අක්ක තව මොනවද කිව්වේ..“

“ඔයා මට කැමතී කියල කිව්ව කිව්වේ...“

“ඉතිං ඔයා මොකද කියන්නේ..“

“අනෙ අයියෙ අක්කට නම් කියන්න එපා.. මට බෝයි කෙනෙක් ඉන්නව..“

“එහෙනම් අක්ක කිව්වෙ කවුරුත් නැහැ කියල..“

“අක්ක දන්නව නම් මට කොල්ලො හොයන් නෑ අයියෙ කෙලින්ම බන්දලා දෙනවා..“

කොල්ලා නැවතත් කෙල්ලන් පිලිබද සිතීම අහෝසි කළේලු. එසේම මෙවැනි සිද්ධීන් අප හමුවේ ප්‍රකාශ කිරීමෙන්ද නවතින්නේලු.

Written by sAm_ශ්‍රී_Perera_3:15pm_09'01'13

Tuesday, October 30, 2012

හොදම බොක්ක බිරිදද?? යාළුවද??


කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි බැදපු මිනිහෙක්ගෙ ලගින්ම ඉන්න සාමාජිකාව තමයි බිරිද, ඒවගේම යාළුවො කියන්නෙත් අපේ ජීවිතේ ඉන්න සමීපතම සත්තු කොට්ඨාශයක්. සමහරුන්ගෙ සමහර මිතුරො ජීවිතේදි බිරිදටත් වැඩිය එයාලට සමිපයි. ඔයාල ඒ වගේ සීන් නම් අනුමත කරන එකක් නැහැ. තවත් සමහරුන්ට බිරිද තමයි එයාගෙ හොදම මිතුරිය. මගේ හොදම බොක්ක මගෙ යාළුවද මගෙ බිරිදද කියන එකට  තාම මට හරි උත්තරයක් නැහැ. හැබැයි මේ කතාව අවසානෙදි ඔයාලට පුළුවන් වෙයි මට හරි උත්‍තරේ හොයල දෙන්න. 

මම ජයවීර, මගෙ හොදම මිත්‍රයා රණවීර...

ඇත්තටම කියනව නම් රණවීරයා මාර බොක්කක්. ඉස්කෝලෙ යන කාලෙ ඉදන් රණවීරයා ඒක මට ඔප්පු කරපු වාර අනන්තයි. දවසක් නොකරපු වැරැද්දකට ගුරුතුමා මට ගහන්න හැදුවා. 

“ජයවීර මම අද උබව ඉතුරු කරන්නෑ...“

“අනේ මට ගහන්න එපා සර් මම නෙවේ ඒ වැරැද්ද කළේ...“ මම ගුටිකන්න බයෙන් කෑ ගැහුවා.

“ජයවිරට ගහන්න එපා සර්.. ජයවීර නෙවේ ඒ වැරැද්ද කළේ මං.. මට ගහන්න..“ මට ගුටි කන්න එච්චර හයියක් නැති බව තේරුම් ගත්ත රණවීර මං වෙනුවෙන් වරද භාර අරන් ගුටි කෑවා. 

චටාස්...වටාස්... ආහ්.. ඇහ්..ඇහ්..ඇහ්...

ගුරුතුමා ගහපු සද්දෙත් එක්ක පොර ඇඩුවට, රණවීරට ඒක එච්චර දෙයක් නෙවේ.. ඉස්කෝලෙදි නිතරම ගුටි කන්න වෙන හින්දා රණවීරයා නිතරම කලිසම් දෙක, තුනක් එක පිට එක ඇදලයි ඉන්නේ. ඒකයි ඌ බය නැතුව සර්ට ෆේස් කළේ. 

දැන් ඔයාල හිතයි ඇයි පොර අච්චර සද්දෙන් මීහරකෙක් වගේ ඇයි ඇඩුවෙ කියල.

පුරුදු විදිහට ගුරුතුමා වේවැලෙන් පස්සට කෙලී කියල ඉදිරිපත් වුනාට, එදා ගුරුතුමා ගැහුවේ උගෙ කොන්දට. ඒකයි.

පොඩිකාලෙ නොදන්න කමට යාළුවො වෙනුවෙන් ඔහොම ගොන් කම් කෙරුවට ලොකු වුනාම එහෙම කරන්නැති බව ඔයාල හිතනව ඇති. 

නැහැ... රණවීරයගේ ඒ ගුණේ ලොකු වෙලත් එහෙම්මම තිබ්බා. ලොකු වෙලා අපි දෙන්නම හමුදාවට බැදිලා සාම සාධක භටයෝ විදිහට ඉරාකෙට ගියා. එදා ඒ හතුරු උණ්ඩේ අපි ලගට එනකල් අපි දැක්කෙ නැහැ.

ඩිෂුම්..ඩිෂුම්..සට..සට..සට..සට..සට...

“ඒ ජයවීර ඔන්න වෙඩි උණ්ඩයක් එනවා පස්සෙන්...“ වෙඩි උණ්ඩේ දැකපු එකෙක් කෑගහද්දි මට හෙලවෙන්නවත් වෙලාවක් තිබ්බෙ නැහැ. මරණෙ සතුටින් භාර ගන්න කියල හිතාගෙන මම ඇස් දෙක පියා ගත්තා. දැන් මාව මැරෙනව බලන් අකැමැති අය කන් දෙක පියා ගන්න එපා. බය වෙන්න එපා..

ඒ උණ්ඩෙට මාව බිලිවෙන්න රණවීර මට ඉඩ දුන්නෙ නැහැ. මට ආපු උණ්ඩෙට රණවීර පැන්නා. ඒත් ඒ එඩිතර පපුවට වැදුනු උණ්ඩෙ අඩිගානක් පස්සට විසි වුණා. පපුවෙ නෙවේ හොදකම, පපුවෙ බැදල තිබ්බ වෙඩිනොවදින යකඩ පතුරෙ.

ඒ වගේ කල්‍යාන මිතුරෙක් ලෝකෙවත් ඇති කියල මම හිතුවෙ නැහැ. ඒත් ඒ පාර නිවාඩුවට ගියාම සියල්ල වෙනස් වුනා. මට ඒ නිවාඩුවෙදි හම්බුනා අචලා... නොතිසිතු මොහොතක අහම්බෙන් හම්බුනත් එයා මට එයාගෙ ජීවිත කතාව සේරම කිව්වා. 

“අපේ තාත්ත මහ බේබද්දෙක් ජයවීර. අපේ අම්මා මාවයි නංගිවයි ලොකු කරන්න නොවිදිනා දුක් වින්දා... මාත් මේ ලෝකෙ විදපු නැති දුකක් නැහැ. අම්මට අපිට දෙන්න දැවැදිවත් කමකුත් නැහැ ජයවීර. අපෙ අම්මගෙන් අපිට ලැබුන එකම දායාදෙ, අවංක කමයි, ගුණයහපත් කමයි විතරයි.“

එදා මම අචලගෙන සමුගත්තෙ අපි කසාද බදින දිනෙත් නියම කරගෙන. නිවාඩු ඉවර වෙලා ගිහින් ඒ කතාව රණවීරට කියන්න මම මාර ආසාවෙන් හිටියේ. ඒත් මගෙ මූන දැකපු ගමන් රණවීර කියපු කතාවෙන් මම පිස්සු වැටුනා. 

“මචං, මේ පාර මං නිවාඩු ගිය වෙලාවෙ මට මාර කෙල්ලෙක් සෙට් වුනා..මාර අහිංසක හිතහොද චරිතවත් කෙල්ලෙක් බං. නම අචින්තා.. මම ලබන මාසෙ ඒකිව බදිනවා...“

හොදම යාළුව වුනාට උගෙ වෙඩින් එකට මට යන්න බැරි වුනා. මගෙ වෙඩින් එකට ඌට යන්නත් බැරි වුනා. ඒක තමා මේ හමුදා සේවයේ හැටි. ඌ ඒකට තරහ වුනේ නැහැ. අපි අතරෙ තිබ්බෙ ඒ වගේ පුංචි දේවල් වලට තරහ වෙන ෆෙන්ඩ් ෂිප් එකක් නෙවේ. 

වෙඩින් එකට යන්න බැරි වුන එකත් එක්ක මේ පාර නිවාඩුවෙදි අපි දෙන්න සෙට් වුනා. 

“අඩේ මේච්චර ෆ්‍රෙෙඩක් වෙලත් උබ තාම මගෙ වයිෆ්ව දැකල නැහැනේ බං...“

“ඉතිං මචං උබ මගෙ වයිෆ්ව දැකලත් නැහැනේ..“

“ඒකනේ... ඒකනේ මමචං කියන්නේ... මූණු දැක්කෙ නැති වුනාට මචං.. උබයි මමයි වගේ උනුත් අපේ හදවත් වලින් බැදිලා ඉන්නේ...“

“අනිවාහ්..“

අපි දෙන්න එතැනින් එලියට බැහැල ඇවිදන් එන්න ආවා. සමහර විට ඔයාල විශ්වාස කරන එකක් නැති වෙයි. එකපාරට දැකපු දර්ශනෙන් මගෙ ඇග කිලිපොලා ගියා. 

ගෑණු දෙන්නෙක් අපි දෙන්න දිහාට ඇවිදන් එනවා. එක්කෙනෙක් මගෙ වයිෆ්. අනිත් එක්කෙනා....

ඔයාලට විතරක් නෙවේ... මම රණවීරටයට වත් නොකියපු රහසක් තිබ්බා.. මට අචලට අමතරව තව අනියම් බිරිදක් හිටියා. දැන් නම් මට රණවීරට මුහුණ දෙන්න බැහැ. රණවීරට නෝන්ඩි වුණා වගේ නෙවේ. අර ගෑණු දෙන්නට නෝන්ඩි වුනොත් ඉදලා හමාරයි. 

මම පණ කඩාගෙන දුවල ගිහින් හෝටලේක කුස්සිය පිටිපස්සෙ දොර මුල්ලක හැංගුනා. 

හහ්..හහ්හහ්...හහ්..හහ්හහ්...හහ්..හහ්හහ්... හාාාාා

මම එතැන හැංගිලා විනාඩියක් වත් ගියෙ නැහැ. රණවීරයත් දුවන් ඇවිත් ඒ දොර මුල්ලෙම හැංගුනා...

“මොකෝ මචං උබ පණ කඩාගෙන දුවගෙන ආවේ...“

“මට සමාවෙයන් රණවීර මම උඹට නොකියපු රහසක් තියෙනවා...“

“ඒ මොකක්ද බං ඒ..???“

“මට බිරිදට අමතරව අනියම් බිරිදක් හිටිය රණවිර. අර අපි දෙන්න ඉස්සරහට ආවේ මගෙ බිරිදයි, අනියම් බිරිදයි...“

“හ්ම්... එහෙමද???“ රණවීරත් ලොකු සුසුමක් හෙලුවා...

“ඉතිං ඇයි මචං උබ පණ කඩාගෙන දුවගෙන ආවේ...???“

“මෙච්චර කල් උබටත් නොකිව්වට මටත් අනියම් බිරිදක් හිටියා.... මාත් දුවගෙන ආවේ ඒ හේතුව නිසා තමයි. අපි දෙන්න එලියට යද්දි අපේ ඉස්සරහට ආවේ මගෙ බිරිදයි අනියම් බිරිදයි තමා බං..“

දැන් කවුරු හරි මට කියල දෙන්න.. මගේ හොදම බොක්ක මගෙ යාළුවද මගෙ බිරිදද කියන එකට  උත්තරේ ??

sAm_ශ්‍රී_Perera_8.40am_30.10.2012

Wednesday, October 17, 2012

අහිංසක ආදරය අයිස් ක්‍රීමක්ව අසරණව දියව යයි...



එදා සිකුරාදා. මුළු සතිය තිස්සෙම මම බලන් හිටියේ  මං මේ දවස එනකල්. ඉස්කෝලෙ ඇරෙන බෙල් එක වැදුන ගමන් හොස්ටල් එකට දුව....ගෙන ගිය මං මගෙ සූට් කේස් එකත් අරන් එක පිම්මේ ස්ටේෂන් එකටත් දුව...ගෙන ගියා. හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..

ස්ටේෂන් එකෙන් කෝච්චියට නැගල ගෙදර යද්දි කෝච්චි පෙට්ටියෙදියි පාරෙදියි ඇස් දාස් ගණනක් මට හම්බුනත් මං හෙව්වෙ එකම එක ඇස් දෙකක් විතරයි. ගෙදර ගිය ගමන්ම මූන හෝදගන්නෙ වත් නැතුව ඇදන් ආපු ඇදුම් පිටින්ම මම ටක් ගාලා බත් පිගන් තුන හතරක් කාල දැම්මේ ඒ මූන බලාගන්න කල්  ඉවසීමක් නැති වුන හින්දා. අන්තිම බත් කටත් කාලා, අම්ම දීපු මීකිරි හටිට්යත් උඩින් පල්ලෙන් ඉවර වෙනකල් කාලා දාපු මම, ගේ පිටිපස්සෙ කුරුදු ලන්දෙන් පාරට වැටුනෙ ඒ ඇස් දෙක මම එනකල් පෙරුම් පුරාගෙන මග බලාගෙන ඉන්න බව මං දන්න හින්දා.

කූචු..බීචි..කූචු..බීචි..කූචු..බීචි..

මග දිගට ලන්දෙ හිටුප කුරුලු රංචු කිචි බිචි ගෑවෙත් මගෙ හැගීම් තේරුම් අරන් කියලයි මට හිතුනෙ. ඒත් බලනකොට ගැරඩියෙක් කජු ගහක බෙනේකට රිංගලා ඒකෙ හිටපු මයින පැටව් කනවා. ගැරඩියට බය වෙච්ච පාර තමයි මේ කුරුලු පැටව් කච කච ගාන්නේ. 

කුරුන්දෙ මල් කොමු මැදින් මම පාරට අඩිය තිබ්බා. එතකොටම කොයින්දෝ ඉදල අයිස් ක්‍රීම් කාරයෙක් මං ලගට ආවා. මට ඒ අයිස් ක්‍රීම්කාරයාව පෙනුනෙ හරියට සුර දූතයෙක් වගේ. රුපියල් 60ක්ම දීල ඌ ලග තිබ්බ අයිස් කෝන් දෙකක්ම අරගත්ත මං දුවලා ගියා..

හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හාහාහා...

ඒ යන ගමන් මගෙ අයිස් ක්‍රීම් එක මම මගදිම බස්සල ඇරියා. ඒත් අනිත් අයිස්ක්‍රීම් එක මගෙ අතින්ම පූජට කවලා, කට වටේම අයිස්ක්‍රීම් ගාගෙන පූජ හිනාවෙන හැටි බලන්න තව දෙවැටවල් දෙකයි. 

හික්..හික්..හිකිහිකි...හික්..

පූජගෙ හිනා හඩ දැන් මට නම් ඇහෙනව ඇහෙනව වගේ..
දෙපැත්තෙ ඉදගෙන එක අයිස් පලමක් උලා කනවා.

දැන් මං පූජලගෙ කඩුල්ල ලග. කඩුල්ලෙ උණ බට දෙක අතරින් මම පූජලගෙ මිදුල දිහා බැලුවා. දැන් ඔහෙල හිතයි මම හෙන කොටයි. මම කඩුල්ලටත් වඩා මිටියි කියලා. පිස්සු.... ඒගොල්ලන්ගෙ කඩුල්ල හෙන උසයි.

පූජලගෙ බිත්තියො වැදුන මගෙ ඇස්දෙක බම්පර් වෙලා ගිහින් නැවතුනේ අපි දෙන්න ගිය සතියෙ හදපු පුංචි සෙල්ලම් ගේ ලග. ඒ පුංචි සෙල්ලම් ගෙදර ලග මගුල් පෝරුවෙ මම මනමාලයා. එයා මනමාලි. (දැන් ඔයල අහයි අෂඨක කියන්න ආවෙ එයාගෙ තාත්තද කියලා.)

ඒත් එක පාරටම දැක්ක දෙයින් මගෙ හදවත භූමිතෙල් ඉවර වෙච්ච පැට්ටල් මැක්ස් එකක මැන්ටල් එක වගේ කඩාගෙන වැටුනා. මගෙ සිහින කුමාරි, මගෙ පුංචි සුරංගනාවි, මගෙ පුංචි සමනලී පූජා.. එහා ගෙදර මාටියාගෙ පුතා ‘කරන්‘ට ලංවෙලා දෙපැත්තෙ ඉදගෙන එක අයිස් පලමක් උලා කනවා.

එයාට ගෙනාපු අයිස් ක්‍රීම් එක මගෙ අතේම දිය වෙලා බිම වැටුනා. මම මීහරකෙක් වගේ දුවගෙන ගිහින්....

හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හාහාහා...

අපේ තාත්තට කිව්වා, මම අයිස් ක්‍රීම් අරගෙන යනකොට පූජා කරනයා එක්ක අයිස් ක්‍රීම් කනව දැක්ක කියල. අපේ තාත්ත තමා අපේ එස්ටේට් එකේ ඨාකූර්. මාටියා අපේ වත්තෙ මුරකාරයා. ඒක කියද්දිත් තාත්ත කරනයත් එක්ක මාටියගෙ මුළු පවුලම ගමෙන් එලවල දාලා පූජාව මට අයිති වෙන හැටි මට මැවිල පෙනුනා.

“ආහ්.. උඹ අයිස් ක්‍රීම් දෙකක් අරගෙන යනකොට පූජ කරනයත් එක්ක අයිස් ක්‍රීම් කනවා?? “

“හාහ්.. තාත්තේ.. “ මමත් බොරුවට ඇඩිලා වගේ කිව්වා.

“ඈහ්.. උබට කොහෙන්ද පවන් අයිස් ක්‍රීම් කන්න සල්ලි??? මගෙ කොට්ටෙ යට තිබ්බ රුපියල් සීය නැතිවුනේ කොහොමද කියල මම හොයාගත්ත. මෙහාට වරෙන්..“ තාත්ත මාව ඇදගෙන ගිහින් වත්ත කෙලවරේ බිලිං ගහේ බැදලා, ඇගට දිමි ගොටු දාලා මාව කෝටු මස් කළා..

Written 6:46pm_17/10/12

Thursday, October 11, 2012

දෝස්තෝ යේ ඒක් දෝ දේස්කා ප්‍රේම් කහානී හේ..


දෝස්තෝ යේ ඒක් දෝ දේස්කා ප්‍රේම් කහානී හේ..
මිතුරනි මේ එක් දේශයන් දෙකක ප්‍රේම කතාවක්...

ඉන්දියාව තමා එකට තිබිලා ඉන්දියා පකිස්ථානෙ කියල දෙකට බෙදුනේ. මගෙ නම වීර්. එයාගෙ නම සාරා. මම කාෂ්මීර දේශසීමාවෙ ඉන්දියාව රකින ‘ඒක් සිපයිහෝ‘ ඔයාල හිතනව ඇති මම මොන සිපයියෙක්ද කියලා. සිපයිහෝ කියල හින්දියෙන් කියන්නෙ සෙබලාට. 

මම හැමදාම උදේ හවස දේශ සීමාව මෙහා පැත්තට වෙලා කම්බි වැටෙන් එහා පැත්තෙ පාළු කාන්තාරෙ දිහා බලන් ඉන්නවා. ඔයාල හිතනව ඇති ත්‍රස්තවාදියො කොයි වෙලේ එයිද කියල මම බලන් ඉන්නව ඇති කියල. නැහැ, දේශ සීමාවෙන එහා පැත්තෙ කුඹුකෙ ලිද කියල හෙන ෆේමස් ලිදක් තියෙනවා. ඒකට උදේ පාන්දර ලස්සන කෙල්ලො රංචු රංචු නාන්න එනවා. මම ඒ ලිද දිහා තමයි බලන් ඉන්නේ.

දවසක් මම බංකරේට වෙලා ටෙලස්කෝප් එකෙන් ඒ ලිද දිහා බලන් හිටියා. බලද්දි ඒ පැත්තෙ කෙල්ලෙකුත් ටෙලස්කෝප් එකකින් මේපැත්ත බලන් ඉන්නවා. අපි දෙන්නගෙ ඇස් දෙක ටෙලස් කෝප් එකේ කාච දෙක හරහා එකිනෙක හම්බුනා. දෙයියනේ ඒ ඇස් පිහාටු දෙක සැලුන හැටි.. හරියට අර කවුද ඇමතිතුමා.. ටීවි එකේ දේශපාලන සංවාදෙකට ඇවිත් වගේ. දැන් කවුද ඒ ඇමතියා කියල අහන්න එපා. මොකද මට මේ තිර රචනය චිත්‍රපටයක් විදිහට එලියට දාන්නෝනි. 

එදයින් පස්සේ මාස ගණනාවක් යනකල් දේශ සිමාවට මීටර් එක්දාස් පන්සීයක් එහා පැත්තෙනුයි මෙහා පැත්තෙනුයි ඉදගෙන අපි දෙන්න ඇස් දෙකෙන් කතා කළා. දැන් ඔයාල අහයි ටෙලිෆෝන් තිබ්බෙ නැද්ද කියල. මොන ටෙලිෆෝන් කෝල්ද? අපි දෙන්න ඉන්නෙ කම්බි වැටෙන් එහා පැත්තෙයි මෙහා පැත්තෙයි වුනාට මේ රටවල් දෙකක්. කෝල් එකක් ගත්තොත් වැටෙන්නේ IDD චාජර්ස්. එච්චර කරන්න අපිට වත්කමක් නැහැ. ඒත් ටික දවසක් යද්දි අපිට දෑසෙ කතාව විතරක් මදි වුනා. 

ඔයාගෙ නම මොකක්ද?????????????????????????????? මම කෑගැහුව්වාම වචන දෝංකාර දුන්නා...

මගෙ නම සාරා.... එයා මට උත්තර දුන්නා.....

ඔයාගෙ නම.... නම.....

මගෙ නම වීර්.....වීර්.....වීර්.....වීර්.....

අපි දෙන්නගෙම උගුරු ගියා...

අපි දෙපැත්තෙ ඉදන් කෑගැහුවේ, වැට ලගට නොගිහින් කතා කලේ, දේශ සීමාව දෙපැත්තෙම බතල හිටවල වගේ බිම්බෝම්බ වලලා නිසා. අඩිය තිබ්බොත් කෑලි.

ඒත් බිම්බෝම්බ වල තියෙන භයානක කමට වඩා ආදරේ බලගතුයි කියල අපි ඔප්පු කළා. 

දවසක් එක වැහි දවසක මම මඤ්ඤොක්කා දඩු ටිකක් බෝම්බ තියෙන පැත්තට විසි කළා. එයත් ඒ වගේම ඒ පැත්තෙ ඉදල බතල දඩු ටිකක් විසක් කළා. වැස්සත් එක්කම ඒ පැත්ත මඤ්ඤොක්කා යායක් වුණා. මේ පැත්ත බතල යායක් වුණා. මේක “අපි වවමු පකිස්ථානෙ නගමු“ කියල ව්‍යාපෘතියක් නෙවේ. එයා වැටෙන් මෙහා පැත්තට බතල දළු විසික්කරද්දි මම වැටෙන් එහා පැත්තට මඤ්ඤොක්කා විසික් කළේ අළ බැස්සම ඒ අළ කන්න ඌරො එයි. ඒ ඌරන්ට බෝම්බ පෑගුනාම බෝම්බ පුපුරයි කියල හිතාගෙන. එතකොට අපිට ලගට ගිහින් කතාකරන්න පුලුවන් වෙයි කියල හිතාගෙන. 

ඒත් අපි දෙන්නටම අල බහිනකල් ඉන්න පුළුවන් වුණාට, ඌරො අල ගලවන කල් ඉන්න බැරි වුනා. 

දවසක් මම බයෙන් වෙව්ල වෙව්ල එපා කියල කෑ ගහද්දි එයා ඒ බෝම්බ මැද්දෙන් මං ඉන්න පැත්තට දුවල ආවා. 

වීර්.....වීර්.....වීර්.....වීර්.....

සාරා එපා....සාරා එපා....“

ඔයාලා බෝම්බ පුපුරයි කියල බයේ කන් දෙක වහ ගත්ත නේද?

මුලදි නම් මාත් බය වුනා. ඒත් 1947 ඉන්දියාව බෙදුන දවසෙ ඉදන් අවුරුදු 60 ගාණක් බෝම්බ වල දාල තියල ඒ බෝම්බ සේරම එක්ස්පයර් වෙලා. එකක් වත් පිපුරුවේ නැහැ.

එයා ඒ පැත්තෙ ඉදන් රූං ගාලා කම්බි වැට ලගට දුවගෙන ආවා...

රූං රූං.....රූං රූං.....රූං රූං.....රූං රූං.....

මම මේ පැත්තෙ ඉදලා දුවල ගියා...

“බ්රූම්... පීප්.... පීප්...“

“වීර්....“

“සාරා... අපේ ආදරේ දිනුව කෙල්ලේ.... හමාරා ප්යාර් හෝගා..“

“දැන් අපි මොකද කරන්නෙ වීර්..“

“අපි තවත් මේ දේශ සීමා දෙකේ ඉදන් දුක් විදින්නෝනි නැහැ සාරා.. ඔය කම්බි වැටෙන් රිංගලා ඔයා මේ පැත්තට එන්න. අපි ජානම් දේක්ලෝ කියාගෙන ගමට යං... “ මම කිව්වා.

එයා පැනගෙන ආවේ...

එත් එයා දේශ සීමාවෙ කම්බි වැටෙන් රිංගද්දි කම්බියට එයාගෙ බෙල්ල සීරුනා.. දේශ සීමාවෙ බෝම්බ වගේම ඒ කම්බි වැටේ කම්බිත් අවුරුදු හැටකට වඩා පරණයි. සාරා දේශ සීමාවෙන් රිංගලා මේ පැත්තට ඇවිත් මට තුරුලු වුණා විතරයි... කම්බියෙ තිබ්බ මලකඩ වල විසට පිට ගැස්ම හැදිල එයා මගෙ ඔඩොක්කුවෙමයි මලේ.


අනූපමා_8:48pm_11/10/2012

Wednesday, September 12, 2012

‘සද දෝණි‘ නම් ඇයට රථ ගාය !



එදා එයා මට බැන්න, ගමනක් බිමනක් යන්න බයික් එකක්වත් නැති එකෙක් කියල. මාසෙ පඩිය ඉවරවෙනකල් බස් එකේ වැඩට යන කෙල්ලෙක් වෙච්ච ඔයා දුර දිග නොහිත මට කියපු කතාව වැරදි කියල කියන්න මම උත්සහ කලේ නැහැ. කවද හරි මම උබව දාගෙන හොද බිලක් සෙට් කරනව කියල හිතාගෙන මම මගේ ආදරේ එහෙමම වෙනසක් නොවී දළු දාන්න දුන්න.

මම කැමතිද ඇහුවම එයා කිව්වේ මට බයික් එකක් නැහැ කියල. විපක්ෂෙන් ප්‍රශ්න අහනකොට පක්ෂෙ කට්ටිය මාතෘකාවට අදාල නැතුව උත්තර දෙනව වගේ එයා මට ප්‍රති උත්තර දුන්න.

“අයියෙ මට උබේ බයික් එක දියන්කෝ...“ බස් එකේවත් යන්න සල්ලි නැති මම පිළිසරණක් පැතුව.

“අරන් පල, හැබැයි පෙට්ට්‍රල් ගහපං හොද හිතින්..“ හැමදාම මොල්ලිය ගෙවිච්ච ඔටුව වගේ ගෙදර එන හිස් පෙට්ට්‍රල් ටැංකිය සහිත බයිසිකල් කට්ට ගැන අයියගෙ කේන්තිය සාධාරණයි.

“ඇයි බං ඒම කියන්නේ. මම නොගහ ඉන්නවද මේකට පෙට්ට්‍රල් ??“ ලැජ්ජ නැති කට මැද්දෙ දගලන දිව කතා කළා.

“අරන් පල යන්න“ කවදත් වගේ ආදරණීය වචන වලින් බයික් එක දෙදරුවා.

කහපාට සාරි පොට බස්හෝල්ට් එකේ අසරණව ලෙල දෙද්දි, එයාගෙ ඇස් ඉබාගාතෙ සැරිසැරුව. මම දැක්ක එයාගෙ කළු ඉංගිරියාව කැරකුනේ ත්‍රීවිල් පාර්ක් එකේ පැත්තට. ‘අනේ මන්ද මේකිට ඕනෙ වාහනමද‘ කියල මගෙ හිත මට කොලොප්පං කරද්දිත් මගෙ ආදරේ ලැජ්ජ නැති කම මගෙ නහර පාසා උඩු දිව්වා. මම වංගුවෙන් හරවං ඇවිත් බස් නොඑන හෝල්ට් එකක නැවතුනා. ගැස්සුනා එයාගෙ පපුව. දැනුනා මගෙ ආත්මෙටම.

“සද දෝණි නගින්න“

කියන්න අමතක වුනා. සද දෝණි කිව්වට මේ දෝණිගෙ අම්මගෙ නම ‘සද‘ නෙවේ. ඇත්තටම එයාගෙ නම ‘සද දෝණි‘. මගෙ වැලමිටේ හිර කරන් තිබ්බ හෙල්මට් එක මම එයාට දික් කළා. කාමරේ ඇද යට තනිවුණු මකුලු පවුලක් ජිවත් වුන අසරණ මකුළු දැලක් කඩල තමා හෙල්මට් එක මම අරන් ආවේ. නැත්තං අපෙ අයියට තිබ්බේ එකම එක හෙල්මට් එකයි. එයා ඒක අතට ගත්ත. ඔළුවට දාගෙන වටපිට බලල කකුල බයික් එකේ කොනකට තියල, මගෙ පිටට බර දීල ගොඩ වුනා. හීනයක් නෙවේ ඇත්තටම. මටත් හිතුන ඒක අමුම අමු හිනයක් කියල. ඒත් මේ හැබෑ ලෝකෙ කියල දැනුනෙ අර දූවිලි වැදුන හෙල්මට් එක නිසා එයාට නොනැවතී කිඹුහුම් තුන හතරක් ගියාම.

මම කතා කළා. එයාට කලින්.

“ලසිත් මාලිංග ඔයාගෙ සහෝදරයෙක්ද බබා?“ පළමු වතාවට මම එයාට බබා කිව්ව.

“මොකක්? ඇයි ඒ??“

“දන්නවද ලසිත් මාලිංග විකට් එකක් ගත්තොත් අනිවාර්යෙන් තව දෙකක් ගන්නව පිට පිටම..“

“ඉතිං ??“

“ඒ වගේ ඔයත් පිට පිටම කිඹුහුම් තුන හතරක් යැව්ව බබා..“ 

“පිස්සු කොල්ලා.. ක්‍රික්‍රට් පිස්සා..“ එයා මගෙ හෙල්මට් එකට ගැහුව. අත් දෙක ඉස්සරහට දාල මාව බදාගත්ත.

සයිඩ් කන්නඩිය කරකවල මම බැලුව. එයාගෙ කොණ්ඩේ පාවෙනවා. හරියට අපෙ ආච්චිගෙ යටිතල පහසුකම් හෝදලා වැලේ එල්ල තියෙද්දි තද සුලගකට අහුවෙලා පාවෙන්න හදනව වගේ. කියන්න හොද නැති වුනත් එයා මගෙ පිටට හේත්තු වුණා. හරියට පුද්ගල නාශක බෝම්බ දෙකක් පපුවෙ බැදගෙන ආපු කොටි කතක් මාව බදා ගත්ත වගේ. දැන් පුපුරයි දැන් පුපුරයි කියල හිතුවට පිපුරුනේ නැහැ එහෙම. 

අපි නිදහසේ අහසෙ පාවෙනකොට කොහෙන්ද මන්ද පාත්වුන ආදරේට සාප කරන දෙවි කෙනෙක් අපේ උනුහුම නැති කරන්න අහස කළු කළා. අහසෙ පියාබන කුරුල්ලෙකුටවත් පියාබන්න බැරි තරම් තදට වහින්න ගත්ත. 

“නවත්තන්න අප්පා.. මාව තෙමෙනවා..“ එයා කෑගැහුව.

“බබා දැන් කෝමද ගෙදර යන්නේ..?“ තෙමෙන් නැති තැනක් හොයල නවත්තපු මම එයාගෙන් ඇහුව. ඇත්තටම එතැන තිබුනේ බයිසිකල් හදන ගැරේජ් එකක්.

“මෝඩයා.. වාහනයක් ගන්න සල්ලි නැහැ. බයිසිකලේක දාගෙන ඇවිත් මාව හේදුවා.. ඒ මදිවට යන හැටි අහනවා..“ එයාගෙ සෙනෙහසට වැස්සෙ තෙමිල හිටිය මම වේලිලා ගියා. නැවත ඒ උනුහුම දැනුනා.

“තියා ගන්නවා මේ හෙල්මට් එක.. මම මෙතනින් නගිනවා බස් එකේ.. “ එයා ආදරෙන් මට සමුදීල බස් එකක නගින්න හිත හදාගත්ත. දුකේදි සැපේදි ආදරේ වෙනසක් නැති බව මට එයා ඉගැන්නුවා. ඇත්ත එයා මට ආදරෙයි. වැස්සෙ ගියොත් මම තෙමෙයි කියල වෙන්නැති බස් එකේ නගින්න හදන්නේ.

එයා බස් එකේ නැග්ගොත් මමත් පටස් ගාලා නගිනව බස් එකේම. බයික් එක ආයෙ ඇවිත් ගන්නවා. කියල හිත හදාගෙන මම එයා ලගම තප්පුල පුල හිටියා.

හෝල්ට් එකක් නැති තැනක වුනත් බස් එකක් නවත්තන පාරක එයා හිටියේ. බරාස් ගාල ඇවිත් බ්‍රේක් ගහපු බස් කට්ටක් එයා අත දාන්න කලින්ම නැවැත්තුවා. හරියට ආණ්ඩුව කියන්නති කලින් ජනතාව ගිහින් ඡන්දෙ දෙනවා වගේ. මාත් බයික් එක ගැරේජ් එක ලගම තියෙද්දි හෙල්මට් දෙකම කිහිල්ලෙ ගහන් බස් එකේ එල්ලුනා.

මාත් එක්ක එකට ආපු ගෑනි දැන් වෙන එකෙක් ලග හිටගෙන. මාව බදාගෙ ආපු ගෑනිව තව එකෙක් බදාගෙන. මගෙ හිත බස් එකේ රෝදෙට තැලෙන ගොලුබෙල්ලෙක් වගේ සමතලා වෙද්දි, බස් එකට එකපාරට අහුවෙන ගෙම්බෙක් වගේ පටාස් ගාලා සද්දයක් ඇහුන. මම හිතුව එයා අර කොල්ලට කන පැලෙන්න ගහල ඇති කියල. නැහැ එයාගෙ එහා පැත්තෙ හිටපු කොල්ලෙක්, එයාගෙ පිටිපස්සෙ හිටපු කොල්ලව තල්ලු කරල එයා ලගට එන්න හදල. එකම වලට ජිල්බෝල විසි කරන්න දගලන පොඩි උන් වගේ උන් දෙන්න මරාගෙන.

හැම කදුලකම කෙලවර හීනියි කියල හිතාගෙන මම ඊලග හෝල්ට් එකෙන්ම බැස්ස. වැස්සත් නැති නිසා හිත හදාගෙන ආපහු එන බස් එකක නැග්ග.

ගැරේජ් එක ලගින් බස් එකෙන් බැහැල මම ගියා බයික් එක නවත්තල ගිය තැනට. අපෙ අයිය කියපු වචන මට ආයෙ ඇහෙන්න ගත්ත. ඌ කිව්වෙ පෙට්ට්‍රල් ගහපං කියල විතරයි. ඒත් දැන් පෙට්ට්‍රල් ගහන්න බයික් එක තියා ටැංකිය වත් නැහැ. කවුද එකෙක් බයික් එක උස්සන් ගිහින්.

ගැරේජ් එකත් වහලා. පාර පාළුවට ගිහින්. මම පාරේ ඉබාගාතේ ඇවිදිනවා. එයාගෙ ආදරේ ගිණි පෙලෙල්ලක් වෙලා මගෙ හිත දිය පට්ට එනකල් පුච්චද්දි මට දැනුන වේදනාව අපමණයි. ඒ වේදනාවෙන් වෙලිලා, සමතලා වෙලා ඉන්න මගෙ පපුව උඩින් බයික් එකක බර දැනෙන්න ගත්ත. පාරෙ වැලිකැට අතර දුවන බිංකුන්ඩෙක් වගේ එහෙ මෙහෙ දුවන මගෙ ඉස්සරහට ආවෙ මජං නාගත්ත කොල්ලෙක්. ඌ තමා ගැරේජ් එකේ හිටපු ගෝලයා.

“මල්ලි කෝ මෙතන තිබ්බ බයික් එක ??“

“මෙතන තිබ්බ බයික් එක කිව්වේ ??“

“වැස්ස වෙලාවේ මම මගෙ බයික් එක මෙතන දාල ගියා මල්ලි. දැන් එනකොට ඒක නැහැ. අර ලී කෑල්ලක අගුරුවලින් නම්බර් එක ලියපු එකක්...“ මම දන්න හැම විදිහටම විස්තර කළා.

“අයියෝ අයියෙ අර මඩ නාපු තලගොයෙක් වගේ පාට පාට බයික් එක නේද ?“ මල්ලි හරියටම අදුනගත්ත බයික් එක.

“අයියෝ ඔව් මල්ලි. ඒක කවුරු හරි උස්සලා. දැන් මෙතන නැහැ.“ මම අසරණ වුනා.

“බය වෙන්න එපා අයියෙ. අපි හිතුවෙ මේ ඒක හදන්න ආපු බයික් එකක් කියල. ගරේජ් එකේ මහත්තය වැස්ස නිසා ඒකත් එක්ක අනිත් හැම බයික් එකක්ම කඩේ ඇතුලට දාල යන්න ගියා“

“අම්මෝ ඇති යන්තං මල්ලි.. එහෙනම් අයියට එන්න කියල බයික් එක ගමු නේද? එයා ලගද ඉන්නේ..“ මම උත්තර හෙව්වා.

“අයියා එන්නෙ තව සතියකින්. ගමේ ගියා.. එයාට මලගෙයක් වෙලා...“

මගෙ හැම හීනෙම විනාස කරල එයා ගියා වගේ, ගරේජ් එකේ එකා ගමේ ගිහින්. යතුරත් අරගෙනම.

Written by sAm_1:02pm_12/09/2012

පලි - අපේ කොල්ලෙක් උගෙ බයික් එක මේ විදිහටම ගරේජ් එකක් ලග නවත්තල ගිහින් ඌට මෙවැනිම සිද්ධාන්තයක් වු බැවින් එය සිහිකර අකුරු කලෙමි.

සැයු - මේක නම් සෑමාට වෙච්ච දෙයක් කියා කමෙන්ට් නොදමන්න !

පැරණි පෙම් හබ - 

මාදිවෙල වන්දනාට පෙම් කළෙමි... !

පරම්පරා ගත ආදර අන්දරය...

Monday, September 10, 2012

මාදිවෙල වන්දනාට පෙම් කළෙමි... !


මේක සිද්ධියෙ උණුසුමවත් ගිහින් නැති උණුම උණු කතාවක්. මේක උනේ ඊයේ.

තිසා වැවට උඩින් පායපු හද එලිය, තිසා වැවේ වතුරට වැටිල මුළු තිසා වැව් පිටියම එළිය වැටිල තිබුණෙ. අපේ නඩේ හැන්දැවෙ නැවතිල හිටියෙ තිසා වැවේ ඉවුරෙ තිබ්බ මාර ගහක් යට. හීතල හීනි පිණි බිංදු එක්ක ගෙනාපු මද සුලග මගෙ හිතට ගෙනාවෙ පුදුම මිහිරක්. එක පාරටම මට ඒ වතුර දෝතකින් මුව දොවාගන්න ආසාවක් ආව. මම හිමීට ඒ වැව දිහාවට ඇදුනා. 

“ආ මේ.. වැසිකිළි පහසුකම් සපයල තියෙන්නෙ අර පැත්තෙ, ඒ දැන දැනත් මෙතන එනව වැවේ ඉදගන්න...“ මාර ගහ එහා පැත්තෙ ඉදන් හිටපු පොලිස් කාරයෙක් මගෙ ඇගට කඩන් පැන්න.

ඒ ලැජ්ජාවට කුඩාරමත් අකුල ගත්ත අපි අටමස්ථානෙත් නොවැදම කෙලින්ම මිහින්තලේ වදින්න ආවා. දැන් අපි ඉන්නෙ මිස්සක පව්වට නගින පෝලිමේ.

හප්පා ලංකාවෙ භාගයක්ම අද මිහින්තලේ. සේරම හදන්නෙ එක මොහොතකට හරි මිහින්තලේ නැගල බහින්න. එක පාරට මහ වැස්සක් කඩන් වැටුන. තිස්ස රජ්ජුරුවො එළවන කොට බය වෙච්ච මුවා වගේ මමත් මුවා වෙන්න තැනක් නැතුව එහෙට මෙහෙට දිව්වා.

“මේ තෙමෙනව නේද? එන්න මේ කුඩය යටට.“ අයිනකට වෙලා කුඩයක් ඉහලගෙන හිටපු කෙල්ලෙක් මට කිව්වා. දෙපාරක් නොහිත මම කුඩේ යටට ආවා.

දෙයියනේ....

කුඩේ යටට ගියාමයි මම දැක්කෙ. ඒ මුනෙ ලස්සන මම කෝමද ඔයාලට කියන්නේ. ඇදන් හිටපු සුදු ඇදුමට ඒ අහිංසක මුනෙ ලස්සන දෙගුණ තෙගුණ වෙලා පෙනුනෙ.

“මේ.. හිතන්නෙවත් නැති වෙලාවක නේද වැස්සේ?“ එයා ඇහුව.

“ඔහ්... ඔව්.. ඔයා තනියමද අනුරාධපුරේ ආවේ...??“ මම ගොත ගැහුව.

“නැහැ අයියා.. වැස්ස ආපු ගමන් නඩේ කට්ටිය සීසීකඩ දිව්වා.. මට මේ සෙනග ගොඩේ එයාලව මිසින් වුණා..“

“ඔයාගෙ නම මොකක්ද “

“මම වන්දනා..“

“ආ... ඒක තමයි මේ පොසොන් එකට අනුරාධපුරේ ඇවිත් තියෙන්නේ..“

“ඔව්.. අපි දුරුතු වලට කැළණි යනවා, වෙසක් එකට ගංගාරාමේ, පොසොන් එකට අනුරාධපුරේ, ඇසළ පෝයට අපි හැමෝම නුවර.“

“දඹදිව යන්නෙ නැද්ද?“ මම අන්තිමට ඇහුව.

“අප්පෝ.. දඹදිව යන්න තාම කල් තියෙනවා...“

“අහ්. ඒක නෙවේ ඔයාගෙ නම මොකක්ද?“

“මම විවේක..“

“ආනේ.. එහෙනම් ඉතිං වන්දනාවකට නියමෙට ගැලපෙනවා....“

“මේ වැස්ස දැන්ම පායන එකක් නැතිවෙයිද දන්නෙ නැහැ නේද නංගි?“

“මාත් එක්ක කුඩේ යට ඉන්න කැමති නැද්ද?“

“පිස්සුද කෙල්ලෙ ඔයා ඉඩ දෙනව නම් ජීවිත කාලෙ වුනත් ඔයා ලගටම වෙලා ඉන්නවා..“

“ඔය ඇත්තද?“

“ඔව් කෙල්ලෙ සත්තයි..“

“එහෙනම් පොරොන්දු වෙන්න..“

“වැස්ස පායපු ගමන් මාව මිස්සක පව්ව උඩටම එක්කගෙන යනව කියල.“

“ප්‍රොමිස් කෙල්ලේ...“

එතකොටම වැස්ස පෑව්වා...

“අන්න කියනකොටම වැස්ස පෑව්වා.. එහෙනම් යමු නේද?“ එයා ඇහුව.

“දැන් ඔයාගෙ නඩේ අය ඔයාව හොයනව ඇති..“

“නැහැ නැහැ අපි මෙහාට එන්න කලින්ම කතා කරගත්ත, මොකක් හරි හින්ද අපි කට්ටිය මිසින් වුනොත්, වැදපුදාගෙන ඔක්කොම ඉවර වෙලා අර පහලම  පඩිපෙල ලගට එනව කියල..“

“ආ... එහෙනම් අවුලක් නැහැ.“

වැස්ස නිසා සෙනග ටිකක් අඩුවෙලා. අපි දෙන්න ටිකෙන් ටික මිස්සක පව්ව උඩටම ආවා. 

“මෙතැන මොකක්ද අයියා තියෙන වැදගත් කම?“ එයා මගෙන් ඇහුව.

“මෙන්න මේ ගල උඩට තමයි නංගි මිහිදු සමිදු එයාගෙ පිරිවරත් එක්ක වැඩියේ.. එදත් මේ වගේම පොසොන් පෝය දවසක්, අර කවියකුත් තියෙන්නේ...“

““මිහිදු සදු පොසෙන් දාක අපේ රටට වැඩම කළා
මිහින්තලා ගල උඩ ඉද තිස්ස කියා කතා කළා
තිස්ස නිරිදු කළඹල වී මිහිදු සමිදු දෙස බැලුවා
සතුන් මරන්නට හොද නැහැ මිහිදු සමිදු බණ දෙසුවා...““ මම තාලෙට ගායනා කළා.

“ඉතිං ඒ කවිය වැරදිනේ අයියා...“ එයා කිව්වා.

“මිහිදු සමිදු තිස්සට බණ කිව්වෙ සතුන් මරන්න හොද නැහැ කියල නෙවේ නේ.. චුල්ලහත්ථිපදෝපම සුත්‍රය කියලනේ..“

“ඔයත් දන්න දේවල්... පණ්ඩිත කෙල්ල..“

“අනේ මම විතරද? ඔයත් පණ්ඩිතයනේ..“

ඒත් ඒ කතා කරපු පැය දෙකහමාරෙ මිහිර, ඒ සුසුම් සුවද තාමත් මගෙ පපුවෙ පිරිලා. ඒත් ඒ සුවදම මගෙ පපුව මෙච්චර රිදවයි කියල මට හීනෙන් වත් හිතුනෙ නැහැ.

අපි දෙන්න මිහින්තලේ පඩිපෙල පාමුලට ආව විතරයි...

“කෝ නංගි ඔයාගෙ නඩේ අනිත් අය??“

“ඒක තමයි කෝ පේන්න නැහැනේ අයියා...“


එතකොටම ලවුඩ්ස්පීකරේ සද්දෙ දවුල් පාරක් වගේ ඇවිත් මගෙ කනේ වැදුනා..


“සවන් දෙන්න.. මේ විශේෂ නිවේදනය මාදිවෙල සිට පැමිණි වන්දනාටය. මාදිවෙල සිට පැමිණි වන්දනා පැමිණෙන තුරු සැමියා සහ දරු දෙදෙනා මෙම ස්ථානයේ බලා සිටී...“

“අනේ අයියා.. ඒ මම ගැන කියන්නේ.. අනේ මම නැතුව මගෙ ලමයි දෙන්න අඩනවද දන්නෙ නැහැ..මම එන්නම්...“

“හොදයි බුදුසරණයි... !“

Thursday, September 6, 2012

පරම්පරා ගත ආදර අන්දරය...


මේ කතාව පටන් ගන්නේ 1840 අවුරුද්දේ. 1840 සෑමගෙ මුත්ත පයින්ම සිරීපාදෙ ගියා. දැන් ඔයාල හිතනව ඇති ඔයාලත් සිරීපාදෙ නගින්නෙ පයින් මයි කියල. මේ කියන්නෙ කන්ද උඩට පයින් යන ටික නෙවේ. ඒ කාලෙ අපේ මුතුන් මුත්තෝ කොළඹ ඉදන් සිරීපාදෙට ගියේ පයින්මයි. ඒ අතරමගදි අපේ මුත්තගෙ ඇහැ වෙන නඩේකින් ආපු වන්දනා කාරියක් ලග නැවතුනා. මුත්ත එයා එක්ක හිනා වුනා. එයා මුත්ත දිහා එක පාරක් බලල, නඩේ ගුරා දිහා බලල බිම බලාගත්ත. සමන් දෙයියන්ගෙ අඩවියෙදි එයා කට වරද්ද ගන්න අකැමැති නිසා වෙන්න ඇති. අපේ මුත්තත් ඊට පස්සෙ කට වරද්ද ගත්තෙ නැහැ. එයා අර නඩේ පිටිපස්සෙ ගිහින් එයාල සිරිපා කරුණා කරල බහිද්දි පැල්මඩුල්ල හරියෙදි අර ගෑනු ලමයව තනි කරල මෙහෙම ඇහුව.

“ඕං මම මේ ඇත්තිට මනාපයි. මොකෑ කියන්නේ??“

“ඔය ඇත්තො ඇවිදින් අපෙ අම්ම අප්පගෙන් අහන්ට..අම්ම අප්පල මනාප නම් මගෙම්මා අමනාප නෑ..“ එහෙම කියල එයා නඩේ ලගට දිව්වා.

ඊට පස්සෙ මුත්ත එයාලගෙ ගෙදරින් අහල, අදාල කාරනා සිද්ද වෙලා දැන දෙන්නට ලමයෙක් ලැබෙන්න ඔන්න මෙන්න. 

““ඈක්.. ඔක්..ඔක්...““ ආන්.. බබෙක් ලැබිල මුත්තගෙ අම්ම වැදුම් ගෙයින් එලියටත් ආව.

“අම්මේ....“ ඒ මුත්තා..

“මොකෑ බං??“ ඒ මුත්තගෙ අම්මා.

“අමුඩයක්ද????“

“ආ.. ඔව් ඔවු.. අමුඩයක්..“ ඒ කියන්නෙ මුත්තට ලැබුනෙ කොල්ලෙක්. අපේ මුත්තට ඒ ලැබුන අමුඩෙ තමා අපෙ සීයා...

ඊට අවුරුදු 20කට පස්සෙ අපේ සීයාත් කරත්තෙන් සිරීපාදෙ ගියා. සිරීපාදෙ ගිය සීයටත් අරවගේ ඇහැට කනට පේන ගෑනු ලමයෙක් අහුවුනා. සීයත් ඒ ගැනු ලමයත් එක්ක හිනාවුනා. ඒ ලමයත් සීය එක්ක හිනා වුනා. සීයටත් සමන් දෙයියන්ගෙ අඩවිය ගැන ලොකු ගෞරවයක් හිතේ තිබ්බ නිසා සීයා වන්දනා කරන් එන ගමන් ඒ ගෑනු ලමය ගෙන් ඇහුව. 

“නගා මම ඔයාට මනාපයි මොකෑ කියන්නේ..“

“කෝ ඔය ඇත්තගේ ලිපිනය පොඩ්ඩක් දුන්න නම් මට ලියුම් කරදහියක් එවන්න තිබ්බා..“

සීයා ඇඩ්ඩ්‍රස් එක දුන්න.. කටයුත්තත් කෙරුනා.. ඔන්න දැන් එයාලගෙ බබත් අඩනවා..

වින්නඹු අම්මත් වැදුම් ගෙයින් එලියට ආවා. දැන් ඔයාල හිතනව ඇති මේ කතාවට ෆිල්ම් එකක් කලොත් වැඩි වියදමක් නැති වෙයි කියල. මොකද සීන් එකේ තියෙන්නෙම සිරීපාදෙමයි, වින්නඹු ගෙදරයි. එකම ලොකේෂන් එක නිසා. 

නැහැ. ඉස්සර ලමය හම්බුනේ ගෙදරමයි. මේ ලමය හම්බෙන්නේ වින්නඹු අම්මගෙ ගෙදර.

“වින්නඹු අම්මේ.. සරමක්ද ?? කම්බායක්ද??“

“සරමක් සරමක්.. “ වින්නඹු අම්ම කිව්වා..

ඒ සරම තමා අපේ තාත්ත. එයත් වසර 20 පස්සෙ සිරීපාදෙ ගියා ට්‍රැක්ටරෙන්. එයත් ගෑනු ලමයෙක් දැකල, මළුව ලංවෙද්දි ඒ ගැනු ලමයගෙන් මෙහෙම ඇහුව.

‘නංගි මම ඔයාට කැමති. මොකද කියන්නේ‘

“ඔයාගෙ ටෙලිපෝන් නම්බරේ දෙන්න. මම කෝල් එකක් දෙන්නම්.“ ඒ ගැනු ලමය එහෙම කිව්වා. ඒ අපේ අම්ම.

කොහොම හරි ඒ දෙන්නගෙ කටයුත්තත් කෙරුනා. ඒ දෙන්නටත් දරුවෙක් ලැබෙන්න යන්නේ.

ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ සුතිකාගාරෙන් දොස්තර මහත්තයා එලියට ආවා.

“දොස්තර මහත්තයෝ.. කලිසමක්ද සායක්ද??“ තාත්ත ඇහුව.

“කලිසමක් කලිසමක්..“ දොස්තර මහත්තය කිව්ව.

ඒ ලැබුන කලිසම තමා සෑමා. ඊට අවුරුදු විස්සකට පස්සෙ පාරෙ බස්එකේ සෑමා සිරීපාදෙ ගියා. සෑමටත් මගදි කෙල්ලෙක් සෙට් වුනා.

සිරීපාදෙ උඩ මළුවෙදි සෑමා මෙහෙම ඇහුව..

“I LOVE YOU.. ඔයා මොකද කියන්නේ...“

“ඔයාගෙ මොබයිල් නම්බර් එක දෙන්න.. කෝල් එකක් දෙන්නම්..“ එයා එහෙම කිව්වා..

කොහොම හරි ඒ විදිහට අපේ පවුලගෙයි මගෙයි කටයුත්තත් කෙරුනා. දැන් එයාටත් දරුවෙක් ලැබෙන්න ප්‍රයිවට් හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කරල ඉන්නේ..

මෙන්න ඩොක්ටර් ලේබර් රූම් එකෙන් එලියට එනවා..

“එකස් කි්‍යුස් මී ඩොක්ටර්..“

“ඇයි???“

“ඩොක්ටර් ඩෙනිමක්ද ? ජීන්ස් එකක්ද??“

“ඩෙනිමක්.. ඩෙනිමක්.. “ ඩොක්ටර් කිව්වා.

ඊට පස්සෙ අපෙ පුතා.. කෝමහරි ඌත් කට්ටියක් සෙට් කරගෙන ඒ/සී වෑන් එහෙක සිරීපාදෙ ගියා. 

දැන් ඔයාල හිතනව ඇති සිරීපාදෙ ට්‍රිප් එක අපෙ පරම්පරාවෙ දායදයක්ද කියලත්. සිරීපාදෙ නොගිය නම් අපි කාටවත් ගෑනු නම් හම්බෙන්නෙ නැහැ කියලත්. 

කෝම හරි අපේ කෙල්ලටත් කොල්ලෙක් සෙට් වෙලා සිරීපාදෙ ඉදිකටු පහන ලගදි කොහෙම හරි ඒකිගෙන් අහල.

“BABY''“

"YES BOY..."

"I WANT YOU..I LIKE YOU.. WHAT DO YOU THINK ABOUT THAT??"

"SIMPLE නෙ බබා. ඔයා FB ඉන්නවනේ. මට REQUEST එකක් දානන්න. මම ACCEPT කරන්නම්."

ඔන්න ඒ විදිහටත් ඒ කාරනේ සිද්ද වෙලා, ඒ කෙල්ලටත් ඔන්න දරුවෙක් ලැබෙන්න.

අපේ කාලෙ වගෙ නෙවේ බබා ලැබෙන තැන කොල්ලත් ඒ ලගම ඉන්නව බබා ලැබෙන හැටි බලාගෙන.

“ඔන්න හරි.. මිස් කියපු නැකතටම සීසර් කළා..“ නර්ස් කිව්වා.

“නර්ස් බොටමක්ද ? ලෙගින් එකක්ද?“

“බොටමක් බොටමක්“ නර්ස් කිව්වා.

අපෙ පරම්පාරාවටම කොල්ලො ලැබුනෙ නැත්තම් මේ කතාව දිගට ගෙනියන්න බැරිවෙනවා...

කෝම හරි අපේ මුනුපුරා සිරීපාදෙ ගිහින්..

“OH BABY MY SWEETY''''''''''“ ඌ නල්ලතන්නියෙදිම කෙල්ලෙක් සෙට් කරන්. කෙල්ලට WORD එක දාලා.

“අද රෑට SKYPE එකේ චැට් කරමුද DARLING'''“

කොහොම හරි ඒ කාරනෙත් සිද්ද වෙලා. මොකක්ද මන්ද අපිට නොතේරෙන තැනකදි ඒ කෙල්ලටත් ලමයෙක් හම්බ වෙලා..

අන්න ලමය අඩනවා..

“HEY ඩොක්ටර්.. “

"YES''"

"DOCTOR බිකිනි එකක්ද ? BEEP BEEP එකක්ද ද?

“අහ්.. BEEP BEEP එකක්“

දැන් ඔයාල හිතනව ඇති බීප් බීප් එක කියන්නෙ මොකක්ද කියල. මුනුපුරා ඇහුවේ ඒකාලෙ කොල්ලො කෙල්ලො අදින ලේට්ස්ම ඇදුම් දෙක ගැන. ඩොක්ටර් කිව්වේ කොල්ලො අදින ඇදුම ගැන.

දැන් හිතනව ඇති ඇයි ඒක හයියෙන් කියන්න බැරි කියාල.

ඒ කාලෙ ඒක මහ හයියෙන් කිව්වට අද කාලේ ඒක හයියෙන් කිද්දි මොකක්ද මොකක්ද වගේ..

Written_10:03am_06/09/2012
Related Posts Plugin for WordPress, Blogger...