පෝස්ටුවක් නැතැයි සෑමාට දෙස් දෙවුල් තැබූ සැමට, බණ පදයකින් (සූත්‍ර පාඨයකින්) පටන් ගනිමි.
නිද්දාසීලී සභා සීලී
අනුට්ඨාතා ච යෝ නරෝ
අලසෝ කෝධපඤ්ඤානෝ
තං පරාභවතෝ මුඛං
- යමෙක් නිතර නිදන සුළුද, සභාවට (මිනිසුන් රැස් වූ තැනට) ඇලුනේ වේද, උට්ඨාන වීරියෙන් කටයුතු නොකරන්නේද, අලසද, කිපීම ස්භාව කොට ඇත්තේද එය පිරිහීමට කරුණු වේ.
පාසලේ, දහම් පාසලේ පවා නොයෙක් විට අසා ඇති පරාභව සූත්‍රය (සහ අනෙකුත් පාලි සූත්‍ර, ගාථා) සෑමාගේ සිතට වැඩිපුරම කා වැදුනේ දහම්පාසල් අවසාන ශ්‍රේණි විභාගය හමාර කොට ධර්මාචාර්්‍යය විභාගය සදහා ඉගෙන ගන්නා කාලයේය. මෙම සුත්‍රය නැවත සෑමාගේ මතකය අළුත් කලේ මෙසේය.
බියගම හන්දිය යනු සවස් ජාමයේ ට්‍රැෆික් එක බහුල ස්ථානයකි. කඩුවෙල දෙසින් (තෙල් මිල වැඩි වුවත්) එන අති විශාල වාහන ප්‍රමාණය නිසාත් බියගම පාරේ දිවෙන වාහන රැල නිසාත් තද බදය බියගම තුන්මං හන්දිය සවසට කලබලය. මෙම තදබදය ට්‍රැෆික් ලයිට් වලට (ඇත්තටම ට්‍රැෆික් ලයිට් දමා නැත) අවම කළ නොහැකි නිසා සවසට රථ වාහන පොලීසිය (බොහෝ විට පොලීසිය) මේ කාරණයට පිලියම් සොයනු මා දැක ඇත. බොහෝ විටක පිලියම මැලියම් දමා ඇලෙව්වාක් මෙන් දරුණු වන්නේ උක්ත පුද්ගලයන් කාර්යය භාරගත් විටක බව එම හන්දියේ කරක් ගැසූ සැමට නොරහසකි. නමුත් මෑතකදී එයට තරමක සාධාරණ විසදුමක් ලැබී තිබුණු නිසා සෑමාට සරල සතුටු සිතක් පහල විය.
එහිදි සිදු කර තිබ්බේ තුන්මං හන්දිය අසලම තිබු බස් රථ නැවතුම් ස්ථාන හන්දියෙන් ටිකක් ඈතට රැගෙන යාමය. එය ඉතා නුවනැති කාරණයක් බව කිව යුතු සේම ස්තුතිවන්ත විය යුතුය. එම ක්‍රියා මාර්ගයෙන් දුක් වුයේ කලින් බස් නැවතුම අසල සිටි ලොතැරැයි විකුණූ අංකල් පමණි. "බලන්න පුතා හෝල්ට් එක එහා පැත්තට ඇද්දා දැන් මෙතන මිනිස්සු නැහැ. මම වේලෙනවා." බස් එකක් එනතුරු චැට් එකට සෙට්ව සිටි අංකල් කීවේ එපමණකි. නමුත් බහුතර ජනතා හිත සුව පිණිස සිදුවූ දෑ අපූරුය. බ්ලොග් පෝස්ටුවේ දැමීමට වැදගත් යමක් අංකල් කියන නිසාම සෑමා අංකල්ට කිට්ටු වූ බව අංකල් තවමත් නොදනී.
පසුගිය සවස් ජාමයක සෑමා ඔය කියන හෝල්ට් එකට ආවේ කැළණිය දෙසට බසයක් අල්ලා ගැනීමටය. අලුත් ස්ථානයේ බස් හෝල්ට් එකට ඉදිරියට යා යුතුය. එදෙසට ගමන් කරන විට පරණ බස් හෝල්ට් එකේ සිටියේ සෑමාගේ මිතුරෙකි.
"මචං කොහෙද ගියේ" මිතුරා ඇසීය.
"මම පොඩි ගමනක් ගියා බං. උබ ඇවිත් ගොඩක් වෙලාද ? බස් එකක් ගියෙ නැද්ද ?"
"දැන් විනාඩි 10ක් විතර ඇති මචං. තවම නැහැ.."
"ඒ.. මෙතන නෙවේ නේද ඉස්සරහ නේද අළුත් හෝල්ට් එක??" මම ඇසුවේ එන බස්එක නවත්වන්නේ නිවැරදි හෝල්ට් එකේ නිසාය.
"ඒක එහෙම තමා බං. මෙතනත් සෙනග ඉන්නව නේ.. අනික ඔය ටික යන්න මට කම්මැලී බං.." මිතුරා කීවේ මුහුණද කම්මැලි කමෙන් පුරවමිනි.
"අපෝ බං උබලගෙ කම්මැලිකම... හරි හරි.. උඹ හිටපං... මම ඉස්සරහට යනවා" කියමින් මම ඉදිරියට ඇදුනේ හිස් බස් රථයක් විත් නිවැරදි හෝල්ට් එකේ නැවතුවහොත් ඉද ගැනීමේ අභිප්‍රායෙනි.
මොහොතකින් පැමිණි හිස් බස් රථයක් නැවැත්වුවේ සෑමා පසුකර ආ පරණ හෝල්ට් එකේය. ඉන්පසු පිරිස නංවාගෙන සෑමා සිටි හෝල්ටුවේ නැවැත්වුවද වැඩක් නැත. හිදගන්නට සීට් නැත්තේය. සෑමාද විලි ලැජ්ජාවේ සංතෝසේ බැරිව තම මිතුරා හිදගෙන සිටි සීට් එක අල්ලාගෙන එතැනම හිටගත්තේ මිතුරාටද බෑග් එක දීමෙනි.
"ඒකනේ බං කිව්වේ ටිකක් කම්මැලි වුණාට කමක් නැහැ කියලා"
ඒ කතාව පමණක් සිදුවුණි නම් පෝස්ටුවක් නොදා සෑමාට හිත හදා ගන්නට තිබිණ.
බස් වර්ජනයට පසුදින බස් රථයක ෆුට්බෝඩ් එක මතදී සෑමාගේ පොකැට්ටුවට සොරි විය. පසු දිනක ජාතික හැදුනුම්පත තැපෑලෙන් පැමිණියද රියදුරු බලපත්‍රය ලැබුණේ නැත. රියදුරු බලපත්‍රය සාදවා ගැනීමට සෑමාගේ බොස් සිකුරාදා දින නිවාඩුව සදහා අනුමැතිය ලබා දුන්නේ බ්‍රහස්ප්‍රතින්දා සවසකය. ඒ වැඩ අහවර කොට ගෙදර යන අතර මගදීය.
"sAm you take your leave tomorrow. Try to hand over your documents before 9am and come back to office soon as possible." කියා බොස් කීවේය.
(මීට අවශ්‍යය ඩොකියුමන්ට් මොනවා දැයි සෑමා අසා දැන ගත්තේ රාජ්‍යය තොරතුරු කේන්ද්‍රයෙනි. එවන් වැදගත් සේවාවක් ඇරඹීම පිළිබද ස්තුතිවන්ත වන ගමන් ලැබුණු තොරතුරු ගැන පසුවට පෝස්ටුවක් දමමි.)
"Yes sir, I have all documents in my hand but the issue is my birth certificate is at office" සෑමාගේ සියළු සහතික පත්‍ර ඇතුලත් ෆයිල් එක බොස් ඔෆීසියේ සුරක්ෂිත කර ඇත. ඉල්ලූ විටක පවා නොදෙන හේතුව සෑමා තවමත් කල්පනා කරන්නේය.
"Ok, I will call Mr' ### (he is the owner of our office building) who is next to our office. If you able to be there before 6.30am you can collect your birth certificate from him."
දැන් සෑමා ලයිසන් එක සාදවා ගැනීමට උප්පැන්න සහතිකය ලබා ගැනිමට නුගේගොඩ ඔෆීසිය අසලට උදේ 6.30 යා යුතුය. අපේ ඔෆීස් ගොඩනැගිල්ලේ අයිතිකාර මහතා නිවසින් පිටත් වන්නේ 6.30ට නිසා සෑමා ඒ වෙලාවට එතැනට ගොස් ලබා ගත යුතුය. කරන්නට දෙයක් නැත්තේමය ගෙදරින් 5.15ට වත් එලියට බැසිය යුතුය. සියල්ල දරාගෙන සෑමා කීවේ "Ok" කියාය.
"මචං උඹට හෙට උදේම කොහෙද යන්න තියෙනවා කිව්ව නේද..?" උදේම ගමනක් යාමට තිබෙනවා කියූ මිතුරෙකුට සෑමා ඇමතුවේ තමාගේ තනියට එකතු කර ගැනීමටය.
"ඔව් මචං. උඹ කීයටද යන්න ඉන්නේ" මිතුරා ඇසුවේය.
"5.15ට විතර බස් එකට නගින්න ඕනේ බං. නුගේගොඩට ගිහින් වේරහැරට යන්න වෙන්නේ."
"අපොයි එච්චර කලින් යන්න ඕනෙද පිස්සුද බං. මට කම්මැලියි එච්චර උදෙන් යන්න. උඹ පලයන් මම 5.35ට විතර යන්නේ"
"මදැයි උඹ එක්ක යන්න හිටිය. තොපි කම්මැලි කමේම හිටු. මම යනවා උදේම"
පසු දින උදේ 5.15ට සෑමා බස් හෝල් එකේ සිටින විට පැමිණි පළමු ප්‍රයිවට් බස් රථයේම නැගින. එලෙස ගමන් ඇරඹී 5.50 පමණ වන විට සෑමා සිටි බස් රථය පසු කර ගියේ රතු පාට C'T'B බස් රථයකි. මොහොතින් සෑමාට ලැබුනේ මිතුරාගේ දුරකතන ඇමතුමකි.
"මචං ගුඩ් මෝර්නිං, උඹ කොහෙද ?" ඒ මා මිතුරාය
"ගුඩ් මෝර්නිං මචං. මම @$$%^ පහු කළා විතරයි..."
"අහ් එහෙමද ? අපේ බස් එක උඹ හිටපු බස් එක පසු කරන්න ඇත්තේ මේ දැන්"
"අඩේ.. බලපං ඉතිං. එච්චර කලින් ඇවිල්ලත්.." සෑමා කීවේ කර කියා ගත දෙයක් නොමැතිවය.
"ඒකනේ බලපං. මම කම්මැලි කමට උඹට වඩා විනාඩි 10ක් විතර නිදාගෙනත් උඹට කලින් යනවා"
"එල එල.. කමක් නැහැ බං මාත් හිත හදාගෙන යන්නම්.. :) "
ශ්‍රී සම්බුද්ධ දේශනාව එදා පමණක් නොව සදාකාලිකව සත්‍යයය. එහෙත් මෙවන් අවාසනාවන්ත සිදුවීම් වැලැක්විය නොහැක්කේමය. ඉහත සිදුවීම් වටහාගෙන කම්මැලි වීම නොකළ යුත්තේමය.
සියල්ල අවසන සෑමාට මෙසේද සිහි විය.
සුද්දා කීවේ "Early bird catches the worm" කියාය. එනම් "උදෑසන පලමුව එන කුරුල්ලා පණුවා අල්වා ගනී" කියාය.
අපේ එකාලා මෙයට කීවේ "උදේම එළියට බහින පණුවා කුරුල්ලන්ට අසු වේ" කියාය
එයද වැරදි නැත්තේමය.
Written by sAm_6.22pm_26..02.'12