Tuesday, June 12, 2012

ෆිල්ම් හෝල් එකේ ‍බොක්ස් ඉවරද ? මෙන්න යන්න නියම තැනක්...


මේ දිනවල සුපර් සික්ස්ය. ඒ නිසා හෝල්වල මාර සේනාවක්ය. සිතූ සහ කුසූද චිත්‍රපටය බැලීමට නොව බොක්ස් එකක් සොයා ගැනීමට හෝල් එකට එන්ටර් විය. ඒ වරක් නොව දෙවරක්ය.

පළමු සතිය

ඒ සෙනසුරාදාවක්ය. ඉංග්‍රිසි අකුරු තුනේ හෝල් එකකට සිතු - කුසු පියමං කලෝය. ජෝඩුව ටිකට් ගන්න පෝලිමේ තුන් වෙනියාය. 

"බොක්ස් දෙකක්" ඒ සිතුය.

"බොක්ස් ඉවරයි." ඒ ටිකට් කඩන්නාය.

"අහ්.. එහෙනම් බැල්කනි දෙකක්." හැරී එන්න බැරිකමට සිතූ කුසු බැල්කනි ගත වුහ.

සියළු සැලසුම් අසාර්ථකය. කරන්නට ආ කිසිත් සිදු නොවීය. සිතු - කුසු ඉන්ටර්වල් එකේ ගෙදර ආවෝය.

"බලන්න අප්පා දැන් ඔන් ලයින් ටිකට් බුක් කරන නිසා ඇතුලට යන්න කලින් බොක්ස් ඉවරයි" ඒ සිතුය.

"අපිට බැරිද ඔන් ලයින් බුක් කරන්න?" ඒ කුසූය.

"මම හිතන්නේ ක්‍රෙඩිට් කාඩ් ඕනේ..කමක් නැහැ ලබන සතියේ එමු.." ඒ නම් සිතූය.


දෙවන සතිය

ඒ සුපුරුදු සෙනසුරාදාවක්ය. ගියවර ගිය ඉංග්‍රිසි අකුරු තුනේ හෝල් එකකටම සිතු - කුසු පියමං කලෝය. ජෝඩුව ටිකට් ගන්න පෝලිමේ මුලින්ම සිටියෝය. 

"බොක්ස් දෙකක්" ඒ සිතුය.

"බොක්ස් ඉවරයි." ඒ ටිකට් කඩන්නාය.

"අහ්.. එහෙනම් බැල්කනි දෙකක්." ය‍කෝ පෝලිමේ මුලින් ඉදලත් බොක්ස් ඉවරද? කියා සිතමින් සිතු බැල්කනි ටිකට් ගත්තේය.

සියළු සැලසුම් අසාර්ථකය. කරන්නට ආ කිසිත් සිදු නොවීය. සිතු - කුසු ඉන්ටර්වල් එකේ ගෙදර ආවෝය.

"බලන්න මේක මාර වැඩක් නේ ටිකට් එකක් ගන්න බැහැ අපිට" ඒ සිතුය.

"කමක් නැහැ අපි ෆිල්ම් එක භාගෙ ඒවා දෙකක් බැලුවනේ, ඒ කියන්නේ අපි ෆුල් එකම බලලා..?" ඒ කට කැඩුන කතාව කිව්වේ කුසූය.

"බබා අපි දැන් විනෝද චාරිකා ගියා ඇති. අපි වන්දනා ගමන් එහෙමත් ගිහින් තියෙන නිසා අපි අධ්‍යාපන චාරිකාවක් යමු" ඒ නම් සිතූය.

"ඒ හතර බීරි කතාව මොකක්ද?" කුසුගේ ඇස් කටේය.

"ඇයි බබා අපි ෆිල්ම් බලල තියෙනවා, බීචි ගිහින් තියෙනවා, එතකොට අරහෙ මෙහෙ ගිහින් ලන්ච් අරන් තියෙනනවා...ඒ විනෝද චාරිකා." සිතු පැහැදිලි කලේය.

"එතකොට වන්දනා ගමන් කි‍ව්වේ පන්සල්, පල්ලි ගිය ඒවා ???" කුසු තම දැනුම පෙන්වීමට මැද්දෙන් පැන්නේය.

"අන්න හරි.." සිතු තහවුරු කලේය.

"එතකොට අධ්‍යාපන චාරිකා??" ඒ කුසුය.

"බබා අපි බොක්ස් යනවට වඩා හොදයි ග්‍රහලෝකාගාරේ වගේ කළුවර තැන් වලට යන එක. බලන්න බොක්ස් එකත් කළුවරයි. ග්‍රහලෝකාගාරෙත් කළුවරයි.." ඒ දාර්ශනික මත දරන සිතුය.

"එතකොට බොක්ස් වගේ කවර් කරල නැහැනේ." ඒ කුසුය.

"මොන මගුලටද බබා කවර් කරන්නේ?? හැම එකාම උඩ බලාගෙන ඉන්න නිසා අපිට නිදහසේ වැඩක් කරගෙන එන්න පුලුවන්නේ.."

Written by sAm_1.45pm_10.06.2012

සමහර බ්ලොග්කරුවෝ තම අත්දැකීම් හෝ තමාට සිදුවු සිදුවීම් වෙනත් අයගේ පිටින් දමා ලියන අවස්ථා සෑමා අනන්තවත් දැක ඇත්තේය. ඒවා අසික්කිත වැඩය.


සිතු කුසු ආන්දෝලනාත්මක ආදර අන්දරය නොබැලූ අයට..




Sunday, June 10, 2012

ජෝන් ලොගී බෙයාර්ඩ් මාමාට ලියමි (සීයාගේ අසනීපය සම්බන්ධවයි - පොඩි සෑමාගේ ලියුම 9)


මේ මෑතකිදී පුබුදු කොලුවා සෑමාට කීවේ ඇයි බොල පොඩි සෑමා දැන් ලියුම් ලියන්නේ නැද්ද කියාය. එය සෑමාගේ හිතේද තිබ්බ කාරනාවකි. සයිබර උත්සවයේදි ඔබා මාමා ඇහුවේද "මල්ලී එතකොට පොඩි සෑමා කියන්නෙ ඔයාද තව වෙන එක්කෙනෙක්ද ?" කියාය. ඇත්තටම පොඩි සෑමාගේ ලියුමක් ලියන්නට පමා වුයේ එවන් ලිපියක් ලිවීම අපහසු නිසා නොව, බලන්නාට ප්‍රියවන්නට නිදහස් මනසින් ලිවිය යුතු නිසාමය.

පංචායුධ මාමාට පොඩි සෑමා අවසාන් ලිපිය ලියා අදට දින 75ක් පමණය. එවන් තැනකදි අද අකුරු කරන්නේ ‍‍ජෝන් මාමාට හෙවත් රූප පෙට්ටිය සොයා ගත් ජෝන් ලොගී බෙයාර්ඩ් මහතාටය.

ආදරනීය ලොගී බෙයා මාමේ...

මොනිටර් එක ඉදිරිපිට සිට ලියමි. ඒක ජොන් මාමා සොයාගත් වර්ගයේ නොවේය. ඇල්.සී.ඩීය.

ගූගල් දෙවියන්ට පිං සිද්ධ වෙන්නට ඔබ ගැන පොඩි සෑමා කරුණු එකතු කර ගත්තේය. එහෙත් ඔබට මාමා කියන එක වැරදිය. ඒ ඔබ 1888දි උපත් නිසාය. ඒ කියන්නේ ඔබ අපේ සීයාට වඩා කෞතුක වස්තුවක්ය. මේ කාලේ කෞතුක වස්තුවක් කියා කාටවත් කියන්නට පවා බයය. ඔබ කෞතුක වස්තුවක් බව අපේ දැන් ඉන්න මාමලාට ඇහුනොත් ඔබව වලෙන් ගොඩට ගන්නවා ෂුවර්ය. ඒ අරගෙනත් ඔබගේ ඉපැරනි ටීවි එක මතුවෙනතුරු වල හාරනවා ෂුවර්ය. ඒ දැන් ඉන්න අපේ මාමලාය. ඔබ 1925 ටීවී එක සොයා ගත් බවද දැන ගතිමි. ඒ දිනවල පොඩි සෑමාගේ සීයා නම් ගැටයා කාලයේය. ඔබ ලොවට වටිනා සේවයක් කළ බැව් සැබෑමය. එවන් සේවයක් කර 1946 වසරේ මිය ගිය බැව්ද පොඩි සෑමා දන්නේය.

ඔබ 1925 ටීවි එක සොයා ගන්නා කාලයේ පොඩි සෑමාගේ සීයා නම් ගැටයාය. පසු කලෙක සීයා වයසට යන කාලේ පොඩි සෑමා ගැටයාය. ඒ කාලේ තිබුනේ ටියුබ් සහිත ටීවිය. දැන් නම් ‍ජෝන් මාමාගේ ජාතියේ ටීවි ලෝකයේ අඩුය. දැන් එවා ස්ලිම්ය. එවාට හරියන්නට ජීවත් වෙන ජනතාව ටියුබ් සහිත ටීවී එකට වඩා විශාල බඩක් ඇත්තෝය. ඔබ රූප පෙට්ටිය සොයාගත් පසු කලෙක සුදු මාමලා රූප පෙට්ටියට කිව්වේ Idiot box කියාය. ඒ හැම එකාම වට වෙලා කිසි වැඩක් නොකර ඕක දිහා බලන් ඉන්න නිසාය. ඒක නම් ‍ජෝන් මාමාගේ වරද බැව් පොඩි සෑමා නොකියන්නේය. වැදගත් දෙයක් වැදගත් විදියට යොදා ගන්නට අපේ එවුන් නොදන්නා කමය.

දැන් තියෙන ටීවී බිත්තියේ එල්ලිය හැක්කේය. පුලුල් තිර සහිත ඒවාය. බර නැත. ඇත්තටම ඇතුලේ ගන්නට තරම් කිසිවක් නැත්තේය. රූප පෙට්ටිය කොතරම් විශාල වුවද කිසිම තේරුමක් නැත්තේය. ඒ තිරය වැහෙන්නම අපේ නාලිකා කාරයෝ වෙලද දැන්වීම් දමන්නෝය. ඒ නිසා තිරය විශාල වුවද වැඩ නැත්තේමය. ඉස්සර පොඩි සෑමාගේ ගෙදර තිබ්බේ අගල් 15 කළු සුදු ඩේට්රෝන් ටීවී එකක්ය. ඒ කාලේ පොඩි සෑමාගේ ගම පුරා තිබ්බේ ඒ වර්ගයේම නැෂනල් හෝ සෝනි රූප පෙට්ටිය. අපරාදෙ කියන්නට බැරිය. දැන් වාගේ චැනල් අල්ලන්නට අඩි ගණන් ඇන්ටනා අවශ්‍ය වුයේ නැත්තේය. සැටලයිට් අනවශ්‍යය. පුංචි වයර් කැබැල්ලකින් චැනල් සියල්ල බලා ගත හැක්කේය. එවන් කලෙක නාලිකා කාරයෝ මේ ආකාරයෙන් ඇඩ් දැම්මේ නම් අපිට අගල් 15 ටීවී එක ඉදිරියෙන් අන්වීක්ෂයක් හෝ සවි කිරීමට වෙනවා ෂුවර්ය.

කළු සුදු රැල්ල අහවර වී වර්ණ රූපවාහිනි රැල්ල එද්දී ලොකු සෑමා පොඩි එකාය. එතකොට පොඩි සෑමා ලොවෙත් නැතිය. ලෝවැඩ සගරාවේවත්, ලෝකෝපකාරයේවත් නැතිය. එවන් කලෙක අලුත් ගැජට් එකක් ආවා මතකය. ඒ කළු සුදු රූපවාහිනි වර්ණ කරන ගැජට්ටුවක්ය. එවන් එකක් අපේ සීයා ගෙන ආවා මතකය. එය රූප පෙට්ටියේ තිරය තරම් වූ කවරයක්ය. එය රූප පෙට්ටිය ඉදිරියෙන් සවි කළ යුතුය. එවිට අපට කළු සුදු රූප වර්ණ ලෙස බැලිය හැකි බව කියා ඇත්තේ ගැජට්ටුව සීයාට විකිණු කඩේ මාමාය. සීයා අපි සමග එක්ව ගැජට්ටුව ගැසුවේය. ඉස්සර නාලිකා පටන් ගත්තේ සවස් ජාමයේය. එතෙක් නාලිකාව "සූ.. " හඩ නංවමින් ඉරි කැබලි පෙන්නූ බවක් සෑමාට මතකය. ගැජට්ටුව ගසා රූප පෙට්ටය දැමූ විට වැඩේ ගොඩය. පාට තිත් පෙනෙන්නට විය. ඉන්පසු සීයා සමග අපට ඉස්පාසුවක් නැතිව බලා ඉන්නට වූයේ නාලිකා පටන් ගන්නා තුරුය. සවස් ජාමේ නාලිකා ඇරඹුනේය. සීයා ටීවී එක දැම්මේය. වැඩේ ගොඩය. කළු සුදු රූප වර්ණ ගැන්වී තිබුනේය. එහෙත් අවුලකට තිබ්බේ සරමක් ඇදගත් අයෙක් ඇවිදින ජවනිකාවක් තිබුනොත් ටීවි එකේ තැන් තැන් වලදී ඒ පුද්ගලයාගේ සරමේ පාට මාරු වෙනවාය. විටෙක ඔහුගේ මුහුනේ ඇග‍පතේ පාට පවා නිල්, රතු, කහ ආදී පාටින් පෙනෙන්නට විය. දින දෙකකින් පමන සීයා එය ගලවා පැත්තකට දැමුවේ කුණු හබ්බ දෙකක් කියමින් කඩ කාරයාගේ මවට ස්තුති කරමින්ය.


පසු කලෙක අපේ ගෙදරට වර්ණ ටීවි එකක් ‍ගෙනාවේය. එහි පිටුපස ඉතා තඩිය. බිත්තියේ සිට අඩි 3ක් පමණ ඉදිරියට වන්නට ටීවී ස්ටෑන්ඩ් එක තැබිය යුත්තේය. එදා සිට අපේ සීයා සිටියේ ඉමහත් සතුටින්ය. ඒ ජෝන් මාමේ ඔබට පින් සිද්ද වන්නටය. ඒ ටීවී එක ගෙනා දවසේ සිට අපේ සීයා සම්පූර්ණයෙන් වෙනස් වුයේය. වෙනදාට දුර සිට බලන සීයා අලුත් ටීවි එක ලගම පුටුවක් තියාගෙන ටීවි එකට මුහුන තියාගෙන බලන්නට විය. සීයාගේ මේ වෙනසට කලබල වූයේ අ‍පේ ආච්චීය. එනිසා තකහනියේ දොත්තර ලගට ගෙනියන්නට හැදුවද සීයා අදි මදි කලේය. 


සීයාගේ රෝග ලක්ෂන හොදින් වැටහුනේ පොඩි සෑමාටය. සීයාගේ රෝගය බොහේ විට උත්සන්න වූයේ දහවල හින්දි සිංදු යන විටය, නැතිනම් ඉංග්‍රීසි චිත්‍රපට බලන විටය, තවත් බොහෝ අවස්ථාවලදී මෙන්ම හවසට ඉංගිරීසි නාලිකාවල කාන්තාවන් එක්සයිස් කරන වැඩසටහන් වලදීද සීයා රෑප පෙට්ටියට මුහුන තබාගෙන බලන්නේය. සීයාගේ ලෙඩ හොද කළ යුතු නිසාම සෑමා ටීවී එකට උඩින් දිනක් වතුර වක්කලේය. ඒ සීයා ටීවී එක ඔන් කරපු හැටියේ පුපුරන්නටය. සීයා ටීවී එක ඔන් ‍කලේය. චටාස් ගෑවේය. එපමණකි. එවලේ සිට රූප පෙට්ටිය වැඩ නැත්තේය. 


එදා සීයාගේ ඇස් පෙනෙන්නට විය. ආච්චීට මෙන්ම ගෙදර හැමෝටම සීයාගේ රෝග තත්වයව නිෂ්චය විය. පහුවදා පාන්දර සීයා අවදිවී ටීවී එක උස්සා ගත්තේය. 


"මෙහෙ වරෙන් කොලුවෝ. මාත් එක්ක හන්දියට යන්න මේ ටීවී එක හදා ගන්ට" කියා ලොකු සෑමාට අඩ ගෑවේය. 


"මේ මහ පාන්ද‍ර කොහෙ යන්නද? අනික සීයාට හතිය නේද හුලං වදින්න හොදද?" ඒ ලොකු සෑමාය. 


"බොට බැරි නම් මට බයිසිකලේ යතුර දියන් මම තනියම යනවා." ඒ නැවත සීයාය. ටීවී එක සාදා ගැනීම සීයාගේ පරම චේතනාව විය.


"නැහැ නැහැ ඕනෙ නැහැ. මම එන්නම්. ටීවි එකක් උකුලෙ තියාගෙන, බයික් එක කකුල් අස්සෙ ගහගෙන කොහොම පදින්නද මෙයා.." ලොකු සෑමා ට තද විය.


"අනේ මේ පලයන් යන්න. මගෙ හැටි අහං බොලාගෙ ආච්චිගෙන්.."


ලොකු සෑමා බයික් එක එලියට ගෙන යන්නට යද්දී පොඩි සෑමා පැත්තකට වී බලා සිටියේය. ඒ අතර ආච්චීද දිවගෙන ආවාය.


"ඈ මේ මනුස්සයට හතිය නේද ? අර ජැකට් එකවත් ඇද ගන්නවා යන්න කලින්. ඒ මදිවට බදන්න බැරි ටීවි එකකුත් ඔඩොක්කුවේ" ආච්චිගේ කන්නලව්ව අසා සීයා ජැකට්ටුව ගෙන ඇදගත්තේය. 


"මොකද මනුස්සයෝ ඕක අනිත් පැත්ත ඇදලා. මේ මිනිහට ටීවි එක කිව්වොත් මුකුත් සිහියක් නැහැ.." ආච්චී නැවත කෑගෑවේ සීයා ජැකට්ටුව අනෙක් පැත්තට ඇද සිප් එක පිටිපස්සට එන ලෙස ඇද ගත් නිසාය.


"මේ ගෑනිට කට තිබ්බට මොලේ නැති හැටි. මම සිප් එක පිටිපස්සට එන්න ඇන්දේ පපුවට හුලං නොවදින්න අයිසේ.." සීයා පිටුපසින් හිදගෙන ටීවී එක උකුල මත තබා ගත්තේය. ටීවී එක සීයාට වඩා දෙතුන් ගුණයක් විශාලය.


ලොකු සෑමා අයියා තකහනියේ බයිසිකලය විදුලි වේගයෙන් පැද්දේය. සීයා ඒ ක්ෂණික ගැස්සිල්ලට පිටු පසට බර වී කෙලින් වූවේය. සීයා සහ රූපවාහිනිය නැවත එන තුරු බලා සිටි අප නිවසට හදිසි පනිවිඩයක් ආවේ සීයා හදිසි අනතුරකට ලක්ව ඇති බවක්ය. සිද්ධිය පසු විපරමේදී අපට සීයාගේ අනතුරට හේතුව රූප පෙට්ටිය බව ආරංචි වූයේය.


සිද්ධිය මෙසේය....


ලොකු සෑමා අයියාගේ ධාවන වේගයට රෑපවාහිනියේ බර දරාගත නොහැකිව සීයා අපේ හන්දියේ වැටි ඇත්තේය. සීයා වැටුනු බවක් නොදත් ලොකු සෑමා අයියා බයික් එක නොනවත්වා ධාවනය කර ඇත්තේය. මගදී සීයා නැති බවක් දැනුන ලොකු සැමා අයියා නැවත බයික් එක හරවාගෙන ඇවිත් ඇත්තේය. හන්දියේ පිරිසක් වට වී සිටිනු දැක ලොකු සෑමා අයියා එතැනට ගොස් බලන විට සීයා පැත්තක වැටී සිට ඇත්තේය.


"මෙතන මොකද වුනේ?? මේ අපේ සීයා.." රෑප පෙට්ටය පැත්තක වැටී තිබියදී, සීයාද පසෙක සිටිද්දි ලොකු සෑමා අයියා අසා ඇත්තේය.


"අහ්..  මේ ලමය එක්ක ගිහින් නේද සීයා වැටුනේ.." කවුදෝ පොරක් ලොකු සෑමාට කියා ඇත්තේය.


"ඔව් මම දන්නෙ නැහැ සීය වැටුන කියලා.. "


"බලන්න සීයා වැටිලත් ටීවි එක බදාගෙන හොදට හිටිය. මෙතන කඩේ හිටපු මිනිහෙක් කිව්වා බලන්න වැටිච්ච පාර සීයාගේ ඔළුව අනිත් පැත්ත හැරිල කියල. එතකොට කට්ටිය එකතු වෙලා ඔළුව අනිත් පැත්තට කැරකෙව්වා...."


"මගෙ අප්පේ සීය වැටිලත් හොදට හිටියනම් අහවල් එකටද අයිසේ බෙල්ල කැරකෙව්වේ..."


"ජැකට් එක අනිත් පැත්ත ඇදල හිටිය නිසා කට්ටිය හිතලා සීය ඔලුව ඇබරිලා කෑ ගහනවා කියල. ඒකයි කරකවල තියෙන්නේ."


එදා සිට අපේ සීයා බෙල්ලේ කොලර් එකක් පැලදුවේය. ඒ ටීවී එක නිසා සිදු වූ උලුක්කුව නිවැරදි කර ගන්නටය. ඇස් රෝග පවා වහා සුව වී තිබුනේය. නැවත සීයා ටීවී එකෙන් දුරස්ව වත්තේ පිටියේ වැඩට යොමු වූවේය. 


සියළු සිද්ධි අවසන ‍ජෝන් ලොගී බෙයාර්ඩ් සීයාට/මාමාට කියන්නට ඇත්තේ මෙපමනකි. ඔබේ නිර්මාණය ලෝකය වෙනත් මගකට යොමු කල බැව් සැබෑය. එනිසා අප ඔබට ණය ගැතිය. එහෙව් නිර්මාණයක් වර්ථමානයේ වැරදි දේ වලට පවා යොදා ගන්නේය. ඒවා වැලැක්විය නොහැක්කේමය. ඔබේ සොයා ගැනීම නිසා අපි මොනිටර් ඉදිරියට වී බ්ලොග් කොටන පිරිසක්ය. මොනිටර්ද දැන් වෙනත් ආදේශක දෑ නිසා වෙනත් මගකට යොමු වී ඇත්තේය. 


ආරම්භය ඔබය. ස්තුතිය ඔබටය.


Written by sAm_31.05.2012_7.25pm


පලි-  සෑමාගේ ඇත්තම සීයාට මෙහෙව් අප්සට් එකක් තිබුනේ නැතිය. මෙය සෑමා හිතා ලියුවක් පමණි.


පෙර ලිපි -









Friday, June 8, 2012

මමත් මෙහෙම හිටි හැටි මතකයි... මට හොද හැටි මතකයි....


පොසොන් කලාපය අහවර කිරීමෙන් සිටි සෑමාට වැදගත් පොටෝවක් ෆේස් බුකියේදී හමුවිය. එය ඉරිදා කැළණි දහම් පාසලේ සිසු සිසුවියන් උඩ මලුවේ වන්දනා කරන පො‍ටෝවක්ය. පොටෝව අරන් තිබුනේ සෑමාගේ මාමාගේ පුතාය. සුළු මොහොතකදි වැඩි ප්‍රමාණයෙන් ‍ඒ පොටෝව ෂෙයාර් වන්නට විය. එය සෑමාගේ කතාවේ උපතට හේතු විය. ඉස්සර අපි දහම් පාසල් යන කාලේද උදේ වරුවේ මෙහෙම වන්දනා කරන අතර සමහර බැතිමතුන් මේ අලංකාර දර්ශණය තම කැමරා කාචවල සටහන් කර ගන්නා අයුරු දැක ඇත්තෙමු. ඒ අතර විදේශිකයන් බහුලය. මෙසේ වන්දනා කරන අතර සිදුවෙන කිසිවෙකුත් නොදන්නා කතා රැසක් සෑමාගේ මතකය අවදි කලේය.


මේ තියෙන්නේ ඉරිදා අප දහම් පාසලේ උදෑසන බෝ මළුවේ වන්දනා කරන අයුරුය. පොඩිම කාලයේ අපි හිටියේ ඉස්සරහමය. පසුව ‍ඉහල ශ්‍රේණිවලට යද්දී ක්‍රම ක්‍රමයෙන් පසු පස පේලි වලට දැමීය. ඒ කියන්නේ පේලි ගැසුවේ ශ්‍රේණි වැඩිවන පිලිවෙලටය. නවය දහය ශ්‍රේණිවලදී අපි සිටියේ මෙහි තිබෙන අවසන් පේලිවලය. ඒවා නිදහස්ය. අවසාන ශ්‍රේණියේදී අප ශිෂ්‍ය නායකයින් වූ නිසා වැඩකරුවන් සේ හිටගෙන සිසුන් මෙහෙය වන්නට සිදුවීය.

සිසුන් අකැමැතිව ක්‍රියාව නම් මෙසේ දෙකට නැමී පැය භාගයකට ආසන්න කාලයක් වදින්නට සිදු වීමය. එහෙත් ඒ අතර එකිනෙකා සාකච්ඡා පැවැත්වීමට පටන් ගන්නෝය. හේතුව ශිෂ්‍ය නායකයින්ට කතා කරන බව නොපෙනෙන නිසාය. අපිත් එලෙස කතා කලා මතකය. විටෙක අපේම එවුන් මළුවේ තියෙන තිරිවානා කැට රැගෙන කැරම් ගසන්නාක් ආකාරයෙන් පුංචි ගල් සිසුන් අතරින් උඩින් ප්‍රක්ෂිප්ත කරන්නෝය. එවිට ගල ආ තැනක් සෙවිය නොහැකි නිසා පහර කෑ පුද්ගලයා සද්ද නැතිව සියල්ල විද දරා ගන්නේය.

නමය වසරින් ඉහලදී සිසුන් ආදර අන්දර අරබන්නෝය. මිශ්‍ර පාසැල්වල අයට නම් දහම් පාසල ඉස්කෝලය කියා වෙනසක් නැතිය. කොහේ ගියත් දෙගොල්ලෝම සිටින නිසා අවුලක් නැත්තේය. එහෙත් පිරිමි පාසල් වල සිසුන්ටත්, ගැහැණු පාසල් වල සිසුන්ටත් දහම් පාසල යනු කදිම ස්ථානයක්ය. තමා කැමති සිසුවිය අසල, ඇය සිටින පේලියට කෙලින්ම පේලියේ සිට වන්දනා කිරීමට බොහෝ අය පෙලබෙන්නේ ඇයව ඒ අතර තුර පවා දැක ගැනීමටය. එසේම ආදරය ප්‍රකාශ කර ආදර සටන් දිනූ බහුතරයක් සිටින්නේ ගැහැණු හා පිරිමි කොටස් වෙන් කෙරෙන සීමාවේය. එවිට ඔවුන් ඔවුන්ට හොදින් කතා බහ කළ හැක්කේය. ඉගි බිගි කළ හැක්කේමය. අපේ කාලයේ ආදරය දැන් කාලේ ආදර අන්දර වලට වඩා බොහෝ වෙනස් බව කිව හැකිය. එය බොහෝ විට අතින් ඇල්ලීමට, කොණ්ඩෙන් ඇදීමට වඩා දුර දිග නොගියේය. දැන් කාලයේ නම් කෙලින්ම සුපර් සික්ස්ය.

පුංචි කාලයේ පාසැල් යෑමට ඉතා කැමති වුවද සෑමා දහම් පාසල අප්‍රිය කලේය. ඒ සරම පටලවාගෙන සිටීමට  ඇති අකැමැත්ත සහ දහම් පාසල් නීති රීති පාසැල් නීති රීති වලට වඩා බරපතල වීම නිසාය. සරමේ ගැටළුව අම්මා විසදා දුන්නාය. ඒ සරම අන්දවා ඉන වටා පටි කැබැල්ලක් ගැට ගැසීම මගින්ය. ඊට අමතරව සරමට යටින් කලිසම් කොටයක් ඇන්දුවේ වැඩි හොදටය. එවිට සරම කැඩුනත් කලිසම ඇතුලේය. එකී පිලියම් යෙදුවද දහම් පාසල අප්‍රිය වුයේ ධර්ම ශාලාවට උදෑසන රැස්වීමට ඇතුල් කර ගනිද්දී නියපොතු පරීක්ෂා කර බල නිසාය. එසේම වාර්ථා පොත අනිවාර්යයෙන් තිබිය යුතුය. එය නොතිබුනොත් ඇතුලට නොගන්නේය. එසේම පිට පිට සති 4ක් නොදන්නවා දහම් පාසල් නාවොත් පන්ති තහනමක් ෂුවර්ය. එකී නීති නිසා සෑමා දහම් පාසල අප්‍රිය කලේය. දිනක් සෑමාගේ තාත්තා වන කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතා දහම් පාසල් යන්නට බැරි යැයි කියා පිලිකන්නේ සැගව සිටි සෑමාව සොයා ගත්තේ උදෑසන 8ට පමණය. සෑමාද තාත්තාට අහුවීම ගණන‍කට නොගත්තේ දහම් පාසල ඒ වන විටත් ඇරඹී ඇති නිසා ෂුවර් එකට ගෙදරම තියා ගනී යන චේතනාවෙන් වුවද එදා බලෙන්ම සෑමාව අන්දවා දහම් පාසල් යැව්වේය.

කල් ගෙවෙද්දී 9 වසර ඇරබෙද්දී සෑමාට දහම් පාසලේ අගය දැනෙන්නට විය. ඒ සැමට පොදු වූ ආදරණීය සිහිවටන ඇරබෙන කාලය නිසාය. එක එකාගේ පෙම් හබ වලට උදව් කිරීම, තම තමන්ගේ පෙම් හබ ගොඩ දා ගැනීම, ආදිය ඉගෙනීම අතර තුර විෂය බාහිර ක්‍රියාකාරම් විය. ඒ අතර පෙරහැර කාලයට මෙන්ම මාස 3කට ආසන්න කාලයක් පැවැත්වෙන පන්සලේ බණ වාරයට වැඩ කිරීම සියල්ලන්ගේම සිත් ගත් ක්‍රියාකාරකම් බව නිසැකය. එම ක්‍රියාකාරකම් වලට ගිය විට ලැබෙන කෑම එක තේ එක නිසා ඒවාට සහභාගි වන්නට බොහොමයක් දෙනා උත්සුක වූවද උපරිම අකාරයෙන් ඒවාට අත හිත දෙන්නට සියල්ලෝම වගබලා ගත්හ.

ශිෂ්‍ය නායක සමයේ සැම දුරුතු පිංකම් මාලාවකට පෙරම ධර්මශාලාව, බුදුමැදුර සේදීම සිදු කළ යුතුය. එයට දායක වන්නේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිටින 100කට ආසන්න පිරිසක්ය. බුදු මැදුර සේදීම අපේ එවුන්ට ගෙන ආවේ ඉමහත් සතුටක්ය. මහ රෑ වන තුරු වැඩ කටයුතු කර ගෙදර යන්නට සිදුවන්නේ කාගේ හෝ ෆුට් බයිසිකලයකය, නැතොත් කිලෝමීටර් 5ක් පයින්ය, එහෙමත් නැතොත් පන්සලේ බංකුවක නිදාසිට පහුවදා උදේ බස් එකේය. ඒවා අපේ එවුන්ට ආතල්ය.

පසු කලෙක දහම් පාසලේ හැම ‍පෝයකටම සිල් ගැනීමට සීල සමිතියක් බිහි වුයේ අපේ එවුන් ගේ ශක්තියෙන්ය. එක ශ්‍රේණියක් අනිවාර්්‍යයෙන් පෝය දින දායකත්වය ගත යුතුය. ඒ අතර අනෙක් සිසු සිසුවියන් සීල ව්‍යාපාරයට සහභාගි විය යුතුය. සමහර විටෙක කිසිවෙකු තමන් ට්‍රයි කරන ගෑණු දැරිවිය සිටින පන්තියට වැඩි පීඩනයක් එල්ල කලේ ඇයව සිල් ගන්නා දිනට ගෙන්වා ගත යුතු නිසාය. එදිනට තමන්ට  සිල් ගැනීමට පාළුවක් නැතිය. ඇය දෙස හොරෙන් බැලීම හෝ කතා කිරීම සිදු කල හැකි නිසාය. සෑමා වසර දෙකක් නොනවත්වා සිල් ගත්තේ ඒ නිසා නොවේය. දිනක් සෑමාගේ තාත්තා කීවේ යකෝ ඉස්සර ඉරිදට දහම් පාසල් නොගිය එකා දැන් හතර පෝයටත් යනවා කියාය.

ඒ සමිතියේ සභාපති වුයේ අපේම කොල්ලෙක්ය. සමිතියේ භාණ්ඩාගාරිකද අපේමය. පිරිකර ආදියට මුදල් එකතු කිරීම, සියල්ල සිදු වූයේ අප අතින්ය. අපිට වුවත් අතමාරුවක් ගැනීමට හැකි වූයේ භාණ්ඩාගාරික ගෙන්ය. හැබැයි එම ණය පියවීම නොවැරදීම සිදු කළ බව කිව යුතුය. පෝ දිනකට එසේ මුදල් එකතු කොට තිබියදී, එයිට පෙර දිනයේ අපේ එවුන් සෙල්ලම් කිරීමට ෆුට් බයික් වලින් පිට්ටනියට ගියා මතකය. ක්‍රීඩා කර එන අතර තුර අපේ සභාපතිතුමාගේ බයිසිකලය විශාල කානුවකට වැටී ඉස්සරහ ඇලෝයි වීල් එක ඇඹරුනේය. භාණ්ඩාරික මහතා නොහිටින්න සභාපතිතුමාගේ නිල රථය සෑදීමට අපි මුදල් තවමත් එකතු කරනවා ඇත.

ඉස්සර සෑම දහම්පාසල් දිනෙකම සියළු කටයුතු හමාර කොට ශිෂ්‍ය නායක මණ්ඩලය පොතේ අත්සන් කර නිවෙස් වලට යන්නට පෙර ගුරුවරු හමුව වැද අවසර ගන්නා සිරිතක් විය. බොහෝ විට අපි කරන්නේ කාර්්‍යාලයට රිංගා ඇතුලේ සිටින පිරිසට පෝලිමේ වැදීමය. එවන් අවස්ථාවල බොහෝවිට කාර්්‍යයාලය ඇතුලේ ඔවුන් සිටින්නේ අඩ කවයක් ආකාරයට සිට ගෙනය. අපේ මුලින්ම යන එකා කරන්නේ එක කොනකින් දණ ගසා ඒ සිටියදීම එහා පැත්තේ දෙදෙනෙක්ට ද වැද, ආයෙත් නැගිට හතර වෙනි ගුරුතුමා අසල නැවත දණ ගසා එසේ දණ ගසාගෙනම එහා පැත්තේ දෙදෙනෙකුට වැදීමය. එසේ සිදු කලේ කොන්දේ අමාරුව හදාගෙන නැගිට, නැගිට, දණ ගැසීම අවම කිරීමටය.

එදින මුලින්ම ගියේ තිලාන්ය. සෑමා සිටියේ 4 වෙනියාට පමන වන්නටය. කට්ටිය ගුරුවරුන්ගේ මුහුනක් වත් නොබලා දණ ගසා බඩගාගෙන වැදගෙන යන්නෝය. ඒ අතර සෑමාද අඩ කවයක් ආකාරයට සිටින ගුරුවරු නමදිමින් පෙරට ආවේය. අවසාන ගුරුවරු දෙදෙනාට පෙර ගුරුතුමා අසල දණ ගැසූ සෑමා එසේ දණ ගසාගෙනම එහා පැත්තේ ගුරුවරු දෙදෙනාගේ මුහුන වත් නොබලා වැන්දේය. එසේ වැද නැගිට බලද්දී කෙළවර සිටගෙන සිට ඇත්තේ ගුරුවරයෙකු නොව මුලින්ම ඇතුලට ගියා තිලාන්ය. ඔහු සියල්ලට වැද නමස්කාර කොට අවසාන ගුරුතුමා සමග කතා බහ කරමින් සිට ඇත.


සෑමා තිලාන් ගේ දෙපා නැමද නැගිටිද්දී අපේ එවුන් හිනාව තද කරගෙන කාර්්‍යාලයෙන් එලියට පැන ගත්තේ ඇති තරම් සිනා වෙන්නටය. වූ විලි ලැජ්ජාව සෑමා ඉවසා සිටියේ තල්ලේ චුයිංගම් එකක් අලවා ගලවා ගන්නට බැරිව දගලන පොඩි එකෙක් මෙන්ය.

Written by sAm_11.20pm_07.06.2012

‍පො‍සොන් කලාපයක අවසානය.


පොසොන් කලාපයට දායකත්වය දුන් ඔබ සැමට සහ 2011 වසරේ සැප්තැම්බර් 17වෙනිදා සෑමාගේ පලමු පෝස්ටුවේ සිට පෝස්ටු 114ක් සමග එකතු වූ, මාස නවයක කාලයක් ඇතුලත බ්ලොග් හිට්ස් 100,000ක් ලබා දෙමින්, ඔබේ මහන්සියෙන් සෑමා ලක්ෂපතියෙක් කරවූ සැමට උතුම් ආරෝග්‍ය සම්පත්තිය ලැබේවා. සියල්ලෝම ලක්ෂපතියෝ වේවා.

සැමට තෙරුවන් සරණයි !!!

පලි - මම අපේ එකෙක්ට කිව්ව මචං "මගේ බ්ලොග් හිට් ලක්ෂයක් වෙලා" කියල, පොර අනිත් පැත්තට කිව්ව "අඩෝ ඉතිං අපරාදෙනෙ තියාගෙන ඉන්නෙ මාරු කරල සල්ලි ගනින්" කියල. පොර බ්ලොග් ගැන නොදන්නා, කොටස් වෙලද පොල ගැන දන්නා මිත්‍රයෙක්ය.

Wednesday, June 6, 2012

නූතන චක්ඛුපාල ලා.. - සෑමාගේ පොසොන් කලාපය


ඒ මතුගමය. දින දෙකක රාජකාරී වැඩකට සෑමා ගාල්ල බලා පිටත් වුයේ බොසා සමගය. ඒ අතර මතුගම ෆාමසියකට ගොඩවන්නට අපට සිදුවිය. මතක හැටියට නිව් මෙට්ට්‍රෝ ෆාමසි කියා නම් කර තිබ්බේය. ෆාමසිය ඉදිරිපිට බිම හිදගෙන හිගන මනුස්සයෙක් ආහාර ගිල දමන හැටි අප‍ දෙදෙනාම දුටු නමුත් ඒ ගැන කිසිදු කතාවක් අප අතර ඇති නොවින. ඒ පුද්ගලයා මනුස්සාත්මය ලදත්, තිරිසන් භවයක ඉපිද සිටින ආකාරයෙන් ෆාමසිය ඉදිරිපිට බත් වපුරමින් අනුභව කරන හැටි බොහෝ දෙනාගේ නෙත ගැටෙන්නට විය. එසේම සියල්ල අවසානයේ ඔහුට බීමට වතුර පවා දුන්නේ ෆාමසියේ වැඩ කරන අයෙක්ය. තම ආයතනය ඉදිරිපිට අපිරිසිදු කරමින් කටයුතු කළ හිගන්නාට බැන නොවැද පානයට ජලය පවා දී පිටමං කරන්නට තරම් මොවුන් කාරුණික බව සියල්ලන්ටම පසක් වන්නට වැඩි වෙලා යන්නට නැත්තේය.

ඒ අතරතුර ෆාමසියට ආවේ තවත් වයසක, අපිරිසිදු සීයා කෙනෙක්ය. ඔහු ෆාමසියේ හිමිකරු ඇමතුවේය.

"මහත්තයා මට ඇස් පේන බෙහෙතක් දෙන්න"

"ඇස් පේන බෙහෙත්, කොහෙද තියෙන්නේ ?" ඒ හිමිකරුය.

"තියෙනව නේද මහත්තයා, ඇයි මම වෙනදට ගන්නව නේ" නැවත ඒ සීයාය.

"කවුද ඔයාට එහෙම බෙහෙතක් දුන්නේ.." අපේ බොසා මැද්දට පැන්නේය.

"ඇයි මහත්තයෝ එහා පැත්තෙ ෆාමසි එකෙන් මට වෙනදට දෙනවා. ඒකයි මෙහෙන් ඉල්ලුවේ."

බොසා, සෑමා, සහ ෆාමසි අයිතිකරු මුහුනට මුහුන බලා ගත්තෝය. වැඩේ පැහැදිලිය. බොරු බෙහෙත් පොවා සීයාව රවටා ඇත්තේය.

"අංකල් වෙනදට රුපියල් කීයක බෙහෙත් බොනවද?" ඒ සෑමාය. බ්ලොග් පෝස්ටුවට කරුණු අවශ්‍යය නිසාය.

"පෙති ටිකක් දීල මගෙන් 50/-ක් ගන්නවා."

"මට අංකල්ලේ ඇස් පේන්න ඔන්නම් සතියකට බෙහෙත් දෙන්න පුලුවන්. ඒත් එහෙම හම්බ කරන්න බැහැ අපිට. ඔය මිනිස්සුන්ගේ බොරුවලට අහුවෙන්න එපා" කියා ෆාමසි හිමිකරු සීයාව පිටමං කලේය.

"බලන්න මේ මිනිස්සු කරන වැඩ. අහිංසක මිනිස්සුන්ව රවට්ටලා හරි සල්ලි හම්බකරනවා" කතාව ඇරඹුනේය.

"ඔයා දන්නවද චක්ඛුපාල ‍තෙරුන්ගේ කතාව" ඒ ෆාමසි හිමිකරුය. ඇසුවේ සෑමාගෙන්ය.

"අර ඇස් අන්ධ වෙන්න බෙහෙත් කරපු කතාව නේද?" කතාව දන්නා බැවින් සාරාංශ ගතව සෑමා උත්තර දුන්නේය.

චක්ඛුපාල තෙරුන්ගේ කතාව මෙසේය.


අපේ බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර වැඩසිටිද්දී උපාලි නම් පින්වතෙක් සසර දුකෙන් මිදෙන අදහසින් පැවිදි වුනේය. පසුව ධර්ම විනය ඉගෙන ගෙන තවත් ස්වාමීන් වහන්සේලා සමඟ ඈත පළාතක භාවනා කිරීමට පිටත් වීය. එහිදී ඒ ස්වාමීන් වහන්සේට නිදි නො ලබා භාවනා කිරීම නිසා ඇස් රෝගයක් හට ගත්තේය. වෙදමහත්තයා කිව්වේ ඇහැට බෙහෙත් දමද්දී ඇඳේ හාන්සි වෙන්න කියාය. බෙහෙත් අතටගත් ඒ ස්වාමීන් වහන්සේ මෙසේ කල්පනා කලේය.

“මං සංසාරෙ කොයිතරම් මේ ඇස් නිසා දුක් විඳින්න ඇද්ද … බෙහෙත් දම දමා කොතරම් මහන්සියකින් ඇස් දෙක සනීප කිරීමට වෙහෙස ගන්ට ඇද්ද … නමුත් මට කිසිකලෙක දී නුවණැස පාදන උතුම් ශ්‍රී සද්ධර්මය මේ ලෙසින් ලැබුණේ නෑ. උතුම් බුදු රජාණන් වහන්සේ වැඩසිටිද්දී මට ඔන කරන්නේ මේ ධර්මය අවබෝධ කරගැනීම විතරයි. ඒ නිසා වස් වසන්න කලින් මං අධිෂ්ඨාන කර ගත් විදිහට අරහත්වයට පත් නො වී මිසක් ඇඳක හාන්සි වෙන්නේ නැහැ”

ඒ අදහසේ පිහිටා සිට උන්වහන්සේ හිටගෙනම ඇස් වලට බෙහෙත් දැම්මෝය. තමන් ගේ අධිෂ්ඨානය රැක ගන්නට වෙද මහත්මයා ගේ කීම‍ නොඇසුවෝය. මේ නිසා බෙහෙත්වලින් සුව නොලැබීය. වෙද මහත්මයා බෙහෙත් කිරීම අත්හැරියේය. අවසන උන්වහන්සේ අරහත්වයට පත් වෙන විට ඇස් දෙකම අන්ධ වීය. ඒ නිසා උන්වහන්සේට ප්‍රසිද්ධ වුණේ චක්ඛුපාල යන නමින්ය. රහත් වෙන්න පින තිබුණත්, ඇස් අන්ධ වුණේ මක් නිසා ද? කියා අනෙක් ස්වාමීන් වහන්සේලා බුදු රජාණන් වහන්සේගෙන් ඇසුවෝය. එවේලෙහි බුදු රජාණන් වහන්සේ මේ ගාථාව වදාලෝය.


මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසතිවා කරෝතිවා
තතෝනං දුක්ඛමංවේතී
චක්කංච වහතෝ පදං

සියලු ක්‍රියාවන්ට සිත මූලික වෙන්නේය. චෛතසික ධර්ම නැතහොත් සිතිවිලි සිත මුල් කොට ගෙන උපදින්නේය. ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල වේතනාවන්ගෙන් යුක්තව අයහපත් සිතින් පුද්ගලයා සිදුකරන අයහපත් ක්‍රියාවන්ගේ දුක්ඛ විපාක ගැල බැඳි ගොනා පසුපස ඇදෙන කරත්ත රෝදය මෙන් පුද්ගලයා පසුපස පැමිනෙන්නේය.


ඔය ගාථාව වදාළ බුදු රජාණන් වහන්සේ කිසිවෙක් නො දන්නා අතීත සිදු වීමක් මේ ඇස් අන්ධ වීමට බලපා තිබෙන බව පෙන්වා දුන්නෝය. ඈත අතීත කාලයක චක්ඛුපාල ස්වාමීන් වහන්සේ වෙද මහත්තයෙක් වී සිටියේය. ඇස් නො පෙනෙන දුප්පත් ගැහැණියක් ඇවිදින් ඒ වෙද මහත්තයාට මෙහෙම කිව්වාය “අනේ පින්වත් වෙද මහත්තයෝ, මගේ ඇස් දෙක සනීප කරල දෙන්න. එතකොට මං දාසියක් වගේ ඔබ ළඟ සේවය කරනවා.” මෙය විශ්වාස කළ වෙද මහතා ඇය ගේ ඇස් දෙක සනීප කලේය. දාසියක් වීමට අකමැති වූ ඇය ඇස් නො පෙනෙන අයුරක් පෙන්වා වෙද මහතා ගේ බෙහෙතෙන් සනීප නො වුණ බවට බොරු කිව්වාය. වෙද මහතාට හරියට තරහ ගියේය. “මං තිගේ ඇස් දෙක අන්ධ කරල දානවා” කියලා වෛර බැඳගත්තේය. ආයෙමත් ඒ ගැහැණිය කැඳවා ඇස් අන්ධ වෙන බෙහෙතක් දුන්නේය. ඒ බෙහෙතෙන් ඇය අන්ධ වුවාය.

ඒ කර්මයේ ප්‍රථිඵලයක් ලෙස උන්ව‍හන්සේ රහත්ව සිටියදී පවා දෙඇස් අන්ධ වුයේය. එලෙස තමා කරන සියළු කර්ම (හොද හෝ නරක) තමා පසුපස එන බවක් බුදුන්වහන්සේ වදාලෝය. නූතන චක්ඛුපාල ලා ලාභ අපේක්ෂාවෙන් කරන සියළු නරක ක්‍රියාවලටද ප්‍රථිඑල ලැබෙන බව සිතා ගත යුත්තේය. එම සිදුවීම් ඇසුරෙන් යහපත් ක්‍රියාවල යෙදී අප ජීවිත යහපත් කරගත යත්තේය.

තෙරුවන් සරණයි... !

Written bY sAm_7.15pm_06.06.2012

පලි - දිනේෂ් ඉතාලියේ කෝමද දන්නෙ නැහැ නේද ? ඒ ෆාමසි වල එවුන් කෙල්ලෝ දිහා බලං ඉන්නවා විතරලු නේද ?

Sunday, June 3, 2012

අද බිපාෂා බලා - හෙට පොසොන් සද බැලීම.. - සෑමාගේ පොසොන් කලාපය


සෑමා පොසොන් කලාපය ලියුවේ සිත් නිමා සනසාලන්නටය. එසේම වැදගත් පණිවිඩ සැමට ගෙන ඒමටය. සියල්ල එසේ තිබියදී කිව යුත්ත කිව යුතු තැනදී නොකියා සිටීමට සෑමාගේ සිත සූදානම් නැත්තේමය.

මෑතකදී සෑමාගේ ගමේ අවුරුදු උත්සවයක් තිබුනේය. එය සුපුරුදු පරිදි වාර්ෂිකව පැවැත්වෙන එකක්ය. සෑම වසරකම එය අවසන මහා සංගීත රාත්‍රියක් පැවැත්වෙන්නේය. සියල්ලට මුල් වී කටයුතු කරන්නේ සෑමාගේ ලගම මිත්‍රයෙක්ය. ගිය වර උත්සවයේදී සියල්ලට සහය දුන් ගමේ අයියා කෙනෙක් මිය ගිය නිසා මේ වස‍රේ උත්සවයෙන් සංගීත ප්‍රසංගය ඉවත් කිරීමට කල් තියාම අදහස් කොට තිබිනේය. එහෙත් රාත්‍රියට මුකුත් නැතිවම බැරි නිසා පුංචියට නර්තන ප්‍රසංගයක් සංවිධානය වුවේය. ඒ අතරම ගමේ පන්සලේ පිංකමක්ද රාත්‍රි 8ට පැවැත්වෙන බවක් කී නිසා එකී ප්‍රසංගයද පැය දෙකක් පමණ පමා කරන්නට සංවිධායක මණ්ඩලය තීරණය කලෝය. ඒ ගමේ මිනිස්සු දැහැමිව කටයුතු කරන ආකාරය විදහා දක්වන්නක්ය.

මේ තත්වය ජාතික මට්ටමට එන විටදී අදාල පුද්ගලයන්නේ බුද්ධිය හා දැහැමි බව මීට වඩා උසස් මට්ටමක තිබිය යුත්තේ නොවේදැයි අපේක්ෂා කරන්නේ ඡන්දය ගැසූ ජනතාවය. එසේම එය ඊටත් වැඩිය බලාපොරොත්තු වන්නේ ඡන්දය නොදුන් ජනතාවය.

අද රාත්තිරියේ ලංකාවට වැඩම කරන්නේ හොලිවුඩයේ සරාගීම නිලියක්ය. ඒ බිපාෂාය. ඇය මෙන්ම සමීරා රේඩ් නම් තවත් සරාගී නිලියක් වැඩම කරන්නීය. ඒ ජම්බුද්වීපයෙන්ය. බිපාෂාගේ පරිවාර සේනාව ලෙස තවත් 15ක කණ්ඩායමක්ද ලංකාද්වීපයට වැඩම කරන්නේය. ඒ සියල්ලට ඇස්තමේන්තු කළ මුදල කෝටි 6ක්ය. එසේම සියළු ජම්බුද්වීපයෙන් එන කලාකරුවන් වෙනුවෙන් වියදම රුපියල් කෝටි 15ක්ය. 

හෙට රාත්තිරියේ පායන්නේ පොසෙන් සදය. ඒ අනුබුදු මිහිදු හිමි වැඩම කළ දිනයය. උන්වහන්සේ වැඩියේද ජම්බුද්වීපයෙන්ය. ඒ සරාගී නිලියන් රැගෙන නොව, සිත නිවන උතුම් ධර්මයක් රැගෙනය. ඒ සමග කෝටි ගණන් මුදල් වැය කොට පිරිසක් වැඩම නොකලේය. ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමනේර හා භණ්ඩුක උපාසක යන පිරිසක් වැ‍ඩමකලෝය. සිත අවුල් කරන කාමුකත්වය වෙනුවට ඒ පිරිස වැඩියේ මෙරටටම කියා තවත් කලා ශිල්ප රැසක් (මතක හැටියට 16ක්) රැගෙනය. සියල්ල නොමිලේය. කෝටි ගණන් වියදම් දේවානම්පියතිස්ස රජු නොකලේය.

උන්වහන්සේලා වැඩම කලේ මිහින්තලාවට හෙවත් මිස්සක පව්වටය. රාජ්‍යය පොසොන් උත්සවය පැවැත්වෙන්නේ තන්තිරිමලේය. එහි වරදක් කීම සුදුසු නැත්තේය. ස්ථානය කෙසේ වෙතත් වැදගත් දෙයක් කිරීම උතුම්ය. ගැටළුව ඇත්තේ උත්තරීතර ධර්මයක් වැඩම කරවූ දිනට පෙර දිනයේ, එම ඒ ධර්මය වැඩම වූ දේශයෙන්ම සරාගී නිලියන් ආනයනය කිරීමය.

මිහිදු හිමි නම් මහින්ද හිමිය. එ හිමිගේ ගිහි කළ පියා ධර්මාශෝකය. පිය පුතු දෙදෙන එක්ව ධර්ම ප්‍රචාරයට කැප වූයේය. එහෙත් පිය පුතු වරුන් එක්ව රටක් තනන්නට, දහම් බෙදන්නට වෙහෙසුනේ ඒ කාලයේ පමණක්ය. ධර්මාශෝක රජු දසරාජ ධර්මයෙන් රට කළ ඇත්තෙක්ය. දිග් විජය අතැර ධර්ම විජය ඇසුරු කළ උත්තමයෙක්ය. බුද්ධ ධර්මයේ වදාල එහෙව් දස රාජ ධර්ම මෙසේය. එය වර්ථමානය හා සසදමින් පහල දැක්වෙන්නේය.

  • දානය - දොලොස් මහේ දන්සැල්ය.
  • ශීලය - මසකට වරක් හෝ තෛයිනායික භික්ෂුන් වැද පුදා ගන්නේය.
  • පරිත්‍යාගය - ඒ ගොස් පිරිකර පූජා කරන්නේය.
  • ඍජු ගතිය - පොඩි මිනිසා ඉදිරිපිට සෘජු වූ නීතියද, ලොකු මිනිසා ඉදිරියේ වක් වූ නීතිද ඇත්තේය.
  • මෘදු ගතිය - සම නම් මෘදුය.
  • තපස - උපාසකය.
  • අක්‍රෝධය - වේදිකාවේ කතා කරන විට පවා උතුරන්නේය.
  • අවිහිංසාව - 'අවි'හිංසාව ඇත්තෙය.
  • ශාන්තිය - උපරිමය.
  • මෛත්‍රීය - උතුරන්නේමය.

තත්වය එසේය. පොසොන් සදට පෙර දින ලෝකයට ණය වී සරගී නිලියන් ආනයනය කරන්නේය. කුසට අහරක් නැතිව පිරිස් මහ මග හිගා කද්දී රටේ ජනයාගේ බදු මුදලින්, අයෙක් සැප ගන්නේය. කළ යුතු දේ කළ යුත්තේමය. නොකළ යුතු දේ නොකළ යුතුමය. බඩේ හැටියට කෑමට එක කටක් පිහිටියේය. අය වැයේ හැටියට ජනයා තෘප්තිමත් කිරීමටද, අහිතකර නොවැදගත් වියදම් කොට ලෝකයට පරකාසි පෙන්නා ලබන තාවකාලික තෘප්තියට වඩා ජනයා සුඛිත මුදිත කිරීමට සුව පහසුකම් ඇති කිරීම වැදගත්ය.

සෑමා අද දහම් කවි පසෙක තබන්නේය. පසෙකින් චාමර වීරසිංහගේ ගීතයක් වාදනය වන්නේය.


බල උමුතුවෙන් මත් වෙලා
රාගයට ලොල් වෙලා
මනස වීදෝ මුලා
සුමුදු මල පරවෙලා.....

අදුර ලොව රජ වෙලා
මිනිස් සිත ගොලු වෙලා
විශ්වයම වී මුලා
දහම ඇත සැගවිලා.....

සිත නිවන පොසොන් සතිය තුල ද්වේශ සහගත සිතුවිල ඉපදවූයේ නම් සමාව. එහෙත් සෑමා ලීවේ ද්වේශයෙන් තොරව නිසා, ඔබත් ද්වේශයෙන් තොරව කියවන්න.

උස් තැන් දැක හැකිළෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගෙ පුතා ලොකු වෙන්නනේ
- ටිබෙට් ජාතික එස් මහින්ද හිමි.

කිව යුත්ත - කිව යුතු තැන - කිව යුතු මනාය.. 
ඉතිං අද අප ඇය සමග රැය ගෙවා හෙට රාත්‍රිය පොසොන් සද සමග ගත කරමු.

Written by sAm_10.15pm_03.06.2012

පලි / 06.06.2012_11:20pm -

වැදගත් කමෙන්ටු කිහිපයක් වැටුන නිසා ඊයේ ඉරිදා මව්බිම (03.06.2012) පුවත් පතේ මුල් පිටුව මෙසේ අමුණමි. නිලියන් ගෙන්වීමට වඩා මිහිදු ප්‍රතිමාව පිරිසිදු කිරීමට මුදල් යෙදවීමට තරම් රාජ්‍යය අංශය නොසිතීම දුක්ඛිතය.

http://www.mawbima.lk/e-paper.php




Saturday, June 2, 2012

වියපත් බැඹරිය - සෑමාගේ පොසොන් කලාපය


ඊලගට සෑමා සූදානම්ව සිටියේ දින ජයග්‍රාහී 75කට පසු පොඩි සෑමාගේ ලිපියක් දැමීමටය. සියල්ල සූදානම්ව තිබියදී පොසොන් කලාපය ආරම්භ කළ යුතුව ඇති නිසා එය පසෙකට තැබීමි. වෙසක් කලාපය සාර්ථක කර ගැනීමට උපකාර කළ සැමට පිං දෙන අතරම මෙලෙස සනිටුහන් වන්නේ පොසොන් කලාපයක ආරම්භයය. මෙවර පොසොන් නිල රාජ්‍ය උත්සවය තන්තිරිමලේ පැවැත්වෙන බව කවුරුත් දන්නා කරුණකි. එසේම මිහිදු හිමි වැඩම කලේ මිහින්තලාවට බවද සියල්ලෝම දන්නා කරුණකි. තැන් මාරුව ගැන නොලියා මෙත් සිත් පිබිදෙන යමක් ලිවීම සෑමා තම වගකීම කොට දකින්නේය.

අනු බුදු මිහිදු හිමි යනු සංඝමිත්තා තෙරනියගේ ගිහිකල සහෝදරයාය. උන්වහන්සේ අනු බුදු වූයේ බුදුන්වහන්සේට පසුව ලංකාවට ධර්මය ස්ථාපනය කිරීමට දෙවෙනි වූ නිසාමය. එකල ලංකාව පාලනය කලේ දේවානම්පියතිස්ස රජුය. මේවා මූලික කරුණුය. මහ මිහිදු හිමි පිළිබද සෑමා සතුව පොතක් ඇත්තේය. ඒ ජයසේන ජයකෙඩි මහතා ලියූවක්ය. බොහෝ අය එතුමාගේ කෘති කියවා ඇති බව දනිමි. එසේ නැත්තවුන් එතුමාගේ මහ මිහිදු හිමි පොත කියවා බැලූවාට කම් නැත්තේය.

පොසොන් කලාපය වෙනුවෙන් සිත නිවන්නාවූ කතන්දර මෙසේ ඇරඹෙන්නේය.

එදා සෑමා සිටියේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකය. කොළඹ ප්‍රදේශයේ එකක් වූවාට එහි වැඩිය සෙනග ගැවසෙන්නේ නැත්තේය. උදෑසන 9ට පමන එයට ගොඩවූ නිසා වැඩි තද බදයක් නොවුනේය. එවිට සෑමාගේ දෙනෙතට යොමු වූයේ රෝද පුටුවක හිද සිටින වයසක කාන්තාවක්ය. ඇය මහළු වූවද, ඉතා පිරිසිදුවට හැද පැලද සිටි බවක් සෑමා දුර තියා දුටුවේය. වෙනත් කිසි විශේෂත්වයක් නොදුටු සෑමා ඇය වෙනත් සාමාන්‍ය රෝගියෙකු සේ සලකා වැඩි තැකීමක් නොකලේය. සුළු මොහොතකින් සෑමා එයින් පිටත් වුයේ නැවත සවස් ජාමයේ රෝහලට පැමිනිය යුතු අපේක්ෂාවෙන්ය.

සවස 3ට පමණ නැතව සෑමා නැවත ආවේය. සුපුරුදු කාන්තා රුව එලෙසම එම ස්ථානයේම රෝද පුටුව මත සිටියාය. ඒ අසල පිහිටි පුටු පේලිය මත සෑමා හිදගත්තේ ඇය සමග කතා කිරීමේ අදහසින් නොව මොහොතක් රැදී සිටීමට සිදු වන නිසාය.

"son what are you doing here?" ඇය දුර තියා සෑමාගෙන් විමසුවාය. වයසක, හොදින් හැද පැලද සිටි ඇය, ධනවත් පවුලක ඇත්තියක් යැයි සිතිය හැකි සාධක සෑමාගේ ඔලුවට ගලාගෙන ආවේ ඇය කතා කළ භාෂාවෙන් හා විලාසයෙන්ය.

"I came here to consult a doctor" සෑමා ප්‍රති උත්තර දුනේනේ හිටි තැන සිටම නිසා ඇයට හරියට ඇසෙන්නට නැති බවක් පෙනුනේය. ඇය ඔලුව සෑමා පැත්තට නැඹුරු කර නැවත කියන ලෙස ඉල්ලා සිටියාය. ඒ සමගම ඇය අසල වාඩිවන්නට ඇරයුම් කළාය. සෑමා ඇය අසලට ගියේය.

එතැන් පටන් ඇය සමග වූ සංවාදය ඉංග්‍රිසි භාෂාවෙන් වූවත් සියල්ල සිංහලෙන් සටහන් කිරීම උචිත යැයි හැගේ.

"මම ඩොක්ටර් කෙනෙක් හමුවෙන්න ආවේ..?" ඒ නැවත සෑමාය.

"පුතා මාත් මේ කතා කරන්න කෙනෙක් නැතිව ඉදගෙන ඉන්නවා.." ඒ ඇයය.

"මම දැක්ක ඔයා උදේත් ඉන්නවා. මේ ඒ වෙලාවේ ඉදන්ද ඉන්නේ.." සෑමා ඇයව උදේ දැක්ක බව ඇගෙන් ඇසුවේය.

"ඔව් පුතා බලන්නකෝ අපි උදේ ආවා. ඩොක්ටර් එන්නේ ආයේ දවල් 1ට කියලා අපිට එන්න කිව්වා." වයසක වුවත් ඇගේ අදහස් හා වචන නිරවුල්ය. ගලා යන ඉංග්‍රිසියෙන් ඈ කතා කලාය.

"ඒක තමා මම දැක්ක උදේ ඉන්නවා. ඒකයි ඇහුවේ. අපි කිව්වේ තව කවුද ඔයා එක්ක ආවේ."

"අපි කිව්වේ මගෙ මහත්තයයි මමය. එයාගෙ ඇහේ ඔපරේෂන් එකකට ආවේ. උදේ ඩොක්ටර් නැහැ කියල දවල් එන්න කිව්වා."

"කවුද ‍ඩොක්ටර්?" සෑමා ඕනෙ නැති ප්‍රශ්නයක් ඇසුවේය.

"ඩොක්ටර් XXX එයා තමා මගේ ඇස් ඔපරේෂන් කලෙත්.."

"ග්ලූකෝමාද? (ඇහේ සුද ද?)" සාධාරන ප්‍රශ්නයක් සෑමා යොමු කලේය.

"ඔව් පුතා.. මගෙත් කලින් කලා. එදා මෙච්චර වදයක් වුනේ නැහැ. මේ පාර අපේ මහත්තයා එක්කරගෙන ආවේ ලේසියට කරගෙන යන්න. ඒත් බලන්න දවසම අපි මෙතන." ඒ ඇයය.

ඇය සමග ඔහු ආවේ නම් ඇයට වඩා ඔහු මහළු විය යුතුය. එසේ නම් තනියම දෙදෙනා පමණක් ඒම අපහසුය. සෑමාට ප්‍රශ්න ගොඩක්ය.

"කො‍හොමද ඔය දෙන්නා ආවේ. අනික අංකල්ව අරන් ඔයා කෝමද එන්නේ. ඩ්‍රැයිවර් කෙනෙක් ඉන්වද ?"

"මගෙ ඉනෙන් පහල පන නැහැ පුතා. මට දැන් 80ක්. මගෙ මහත්තයට 72ක්...." ඇය කීවාය. සිනහ මුවින් ඇය උත්තර දුන්නේ ආදරය හැම දේටම යටත් බව කියන්නාක් මෙන්ය.

"අවුරුදු 8ක වෙනසක්...ඒවට මුකුත් කියන්න බැහැ. ඒක තමා ආදරේ කියන්නේ." සෑමා මුහුනේ හැගීම් වෙනස් නොකර පිලිතුරු දුන්නේ ඇයගේ සිත නොරිද්ද වීමටය.

"ඉස්සර අපිට හරියට ප්‍රශ්න ආවා ගෙදරින්. දැන් කාලෙ නම් ඕවට දෙමව්පියෝ විරුද්ධ වෙනවා අඩුයි.." ඇය දිගටම කතා කලාය. මොහොතකට ඇය ඇගේ අතීතයේ ජීවත් වු බවක් පෙනෙන්නට තිබුන නිසා සෑමා ඇයට බාධා නොකලේය. ඇගේ ආදරයේ ආරම්භය එය ජය ගත් සැටි යන සියල්ල ඇයට මතක් වන්නට ඉඩ දුන්නේය.

"ඒව වෙනස් කරන්න බැහැ. ඔයාල ආදරේ කලා. ඒ ආදරේ ජය ගත්ත. දැන් වෙනසක් නැතිව නැති බැරි කාලෙත් එකට ඉන්නවා. ඒක තමා නොවෙනස් ආදරේ..."

"බලන්න පුතා ඔයා වෙලාවට ආවේ. මගෙ හිත කලබල වෙලා තියෙන්නේ. මගේ හස්බන්ඩ් 1ට ඔපරේෂන් එකට ගත්තේ. දැන් 4ට කිට්ටුයි. මම තාම මුකුත් දන්නෙ නැහැ. එයාව ඔපරේෂන් එකට අරගෙනද, ප්‍රශ්නයක්ද කියල මුකුත් දන්නෙ නැහැ." ඇය නැවත කතාව වෙනස් කලාය.

"තියටර් සිස්ටර් ගෙන් ඇස්සෙව්වෙ නැද්ද?"

"අහන්නෙ කෝමද පුතා. මම අතන ඉන්න සිස්ටර්ලගෙන් ඇහුවම කිව්වා තියටර් එකේ ඉන්නවා ඔපරේෂන් එකක් නිසා කෝල් කරල ඩිස්ටර්බ් කරවන්න බැහැ කියල. ඉතිං මම එයා එනකල් මෙතන ඉන්නවා." ඇය කීවාය.

"ඔව් එහෙනම් කතා කරන්න බැහැනේ." කියා ඇය අස්වසමින් සෑමා ඒ ආසන්නයේ සිටි සිස්ටර් කෙනෙක්ගෙන් තොරතුරු විමසු විටද ඔවුන් කීවේ එසේ කතා කරන්නට බැරි බවය. එය සාධාරණය. නැවත සෑමා ඇය අසල වාඩි වුනේය.

"ඔයා මෙයා එක්ක ආපු කෙනෙක්ද ?" එවර සිස්ටර් කෙනෙක් සෑමා පසුපස විත් ඇය පෙන්නා සෑමාගෙන් ඇසුවාය.

"නැහැ. මේ පුතා මාත් එක්ක කතා කර කර හිටියේ. බලන්න අද දවසම අපි මෙතන. මම කෑම කාලත් නැහැ." ඇය සෑමාටත් පෙර සිස්ටර්ට සිංහලෙන් කතා කලාය. 

"අනේ අපිට තියටර් එකට කතා කරන්න බැහැනේ. නේද?" කියා සිස්ටර් සෑමා දිහා බැලුවාය. එවිට සෑමාට එය තහවුරු කලේය.

"අපි ඔයාට කන්න මොනව හරි දෙන්නද ?" සිස්ටර් කාරුණිකව ඇගෙන් විමසුවාය.

"මම කොහොමද කන්නේ? මගේ හස්බන්ඩ් කෑම කාලත් නැහැ. එයා එනකල් මට කන්න හිතක් නැහැ." ඇය ආදරේ උතුම් බව පෙන්නුවාය.

"ඔහොම ඉන්න එපා ඔයා බිස්කට් එකක් හරි කන්න මම ගේන්නද?" එවර සිස්ටර් ඇයට අවනත නොවූවාය.

"හා.. බිස්කට් දෙකක් විතර දෙන්න මම කන්නම්." ඒ ඇගේ අසරණබවේ උච්චතම අවස්ථාවය. දරාගන්නට තරම් පුංචි බඩගින්නක් නම් ඇය තව දුරටත් ආදරේ වෙනුවෙන් ඉවසා සිටිනා බවක් සෑමාට වැටහුනේය.

සියල්ල එසේ සිදුවද්දී සෑමාට එතැනින් පිටත් වීමට කාලය එලැඹින. 

"මම දැන් යන්න ඕනේ. ඔයා මොනව හරි කාල ඉන්න. බය වෙන්න එපා එයාට කරදරයක් වෙන එකක් නැහැ. ජේසු පිහිටයි." ඇගේ ආගම කතෝලික බව දැනුන නිසා සෑමා කීවේය. එය නිවැරදිය.

"බොහොම ස්තුති පුතා මාත් එක්ක කතා කලාට. එහෙම නැතිනම් මට මේ ටික වෙලාව වත් ඉන්න බැරි වෙනවා..."

ඔවුන් ගේ දෙමාපියන් ඔවුන්ව අත හරින්නට ඇතිය. ඒ වසර 8ක් වැඩිමහල් තරුනියක් විවාහ කර ගැනීමේ වරදට විය හැකිය. ඔවුන් අත නොහැර තිබුනත් මේ වන විට ජීවත්ව සිටින්නට බැරිය. ඔවුන්ගේ දරුවන් සිටින්නට ඉඩ ඇත්තේය. ඒත් ඔවුන් මේ දෙදෙනා නොසලකා හරිනවා විය හැකිය. එසේත් නැති නම් දරුවන් නොමැති ‍වන්නට පිලිවන්ය.

මේ කතාවට අමරසිරි පීරිස් මහතාගේ "මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා" ගීතය ගැලපීමට නොහැක්කේය. ඒ මෙතැන ඇය වියපත් නිසාය. එසේම "සිහිනෙන්වත් නොදකින කුමරා හෝ කුමරිය " නොවන නිසාය. එහෙත් ගත යුත්තක් ඇත්තේය.

ආදරය නම් නොවෙනස් විය යුතුමය. එදා ගත් තීරණය අද වැරදි යැයි සිතා ඔහු හෝ ඇය හැර යාමට වඩා, ඔවුන් ඔවුන් සමගිව නොවෙනස් ආදරයෙන් එකට විසීම ආදර්ශමත්ය. ඇය ඔහුට පෙර මිය යාමට ඉඩ ඇත්තේය. හෝ ඔහු ඇයට පෙර මිය යාමට ඉඩ ඇත්තේය. වෙනසක් නොමැත, ආදරය මිය නොයන්නේමය.

උතුම් බිරිදක් - ලොවම පිදූම්ලත් ස්වාමියෙකු වෙනුවෙන් පිරූ පිලිවෙත් "යසෝදරාවතේ" අඩංගුය.

හිමයේ ගොසින් මල් යහනක සිටිනව ද
කොමල අනගි සිරිපා දෙක රිදෙනව    ද
හිගේ නැතුව දෙවියෝ මුර කරනව  ද
මගේ ඇත් රජුනි හිමි අද කොතැනක   ද

කැලේ තිබෙන කොයි දේ වත් රස වේ වා
මලේ බඹරු ලෙස පිරිවර ඇති වේ වා
අව්වේ තිබෙන රැස් මාලා අඩු වේ වා
ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේ වා

කියන මැසිවිල්ල හිමි හට නො ඇසෙන වා
රන් කඳ මහිමි මට හීනෙන් නො පෙනෙන වා
කම් රස විඳීමක් නැත මම දිවුරන වා
වෙන් කර ගියත් මම සීලේ පිහිටන වා

වෙහෙස වුණත් තද දුක් මම විඳිඤ්ඤයි
අහස පොළොව ලෙස හිමි සිහිකර ඉඤ්ඤ යි
රහත් වෙන්ට මම වෑයම් කරඤ්ඤයි
ඇසට දකින තුරු නවගුණ පුරඤ්ඤ යි

සිදුහත් කුමරාණන් ගිහිගෙය අතහැර පියා තවුස් වෙස් ගෙන මගට පිවිසියේ තමාත් දරවාත් ඇතුථ මුථ මහත් ලෝක සත්වයාම දුකින් මුදවන මගක් සොයා ගැනීම සඳහා බව යසෝදරා තිර ලෙස අදහයි. ඇය තම ස්වාමි වූ උතුම් පුරුෂයා වෙනුවෙන් කැප වී සිටින්නේ —අහස පොළොව ලෙස එතුමා සලකා ගෙනය. දුකට පත් ලෝ සතුන් මුදන මාර්ගයක් සොයාගෙන එතුමාණන් ආපසු පැමිණෙන බව ඇයට අහස පොළව මෙන්ම විශ්වාසය. — ඇසට දකින තුරු නව ගුණ පුරඤ්ඤයි˜ යනුවෙන් ඇය පැවසුවේ එහෙයිනි.

සියලූ මානව වර්ගයා පවුල් ජීවිතයට දැඩි සේ ආසක්ත වන අවස්ථාවේ දීය සිදුහත් කුමරා ගිහිගෙය හැර දමා ගියේ. එය වූකලි ඉන් ගැලවෙන මගක් සොයා යන ධීරයකුට ඉතා යෝග්‍ය මොහොතකි. එහෙත් යසෝදරාවන් එම මානසික තත්ත්වටය් නොසිටි හෙයින් ඇගේ හිත් වේදනාව දැඩි ය. වැලපීම අවසානයේ ඇය සිත හදාගනී, කවර දුකක් වුවද විඳින්නෙමැයි අදිටන් කර ගනියි. රහත් වීමට වෑයම් කරන බව පවසා ඇය වහා නිෂ්කාමී ජීවිතයකට ප්‍රවේශ වී සැමියා වෙනුවෙන් උත්තරීතර කැප කිරීමකට යොමු වෙයි.


Written by sAm_12.15am_02.06.2012
Related Posts Plugin for WordPress, Blogger...