Wednesday, March 28, 2012

සැබෑ දේශප්‍රේමියෙකුගේ අතින් ඇල්ලීමි..


එදා දෙදහස් දොලහ වසරේ මාර්තු විසි හත් වෙනිදාය.
ස්ථානය නවලෝක රෝහල.
වේලාව දහවල් 12:45 පමණ


එදා සෑමා සිටියේ නවලෝක රෝහලේ පහත මාලයේ චැනලින් සෙන්ටර් එක අසල ඇති ලිෆ්ට් එක අසල හිදගෙනය. ලිෆ්ට් එකට පිටුපස හරවා හිදගෙන සිටි නිසා එයින් යන එන කිසිවෙකු සෑමාට පෙනුනේ නැත. එහෙත් එක වරම පරිසරය කලබළ වූවාක් සේ හැගුන නිසා ඒ පැත්ත හැරී බැලුවේ සෑමාය.

ඈත සිට මිනිසුන් කිසිවෙකුට අත වනයි. හිදගෙන සිටින බහුතරයක් නැගිටිති. සමහරු පසු පසින් දිව යති. කිසිවක් සිතා ගත නොහැකි වූ සෑමාට යමක් ඉවෙන් මෙන් දැනින. ඊට හේතුව රෝහලට ඇතුලු වෙන දොරටුව අසල කැමරා සූදානම් කරගෙන පිරිසක් සිටිය නිසාය. සිදුවන්නේ කුමක්ද කියා දැනුන මුත් සෑමා නැගිට ගියේ ඒ පැත්තටය.

පොලිස් නිලධාරීන් රැසක් වට ‍කරගෙන ඉදිරියට ඇදෙමින් සිටියේ සැබෑ දේශප්‍රේමියෙකි. කුමන අභියෝගයක් හමුවේ වුවද නොසැලී සිනහවී එඩියෙන් මුහුණ දෙන දේශප්‍රේමියෙකි. තමා දේශප්‍රේමී යයි ක්‍රියාවෙන් ඔප්පු කළ පුද්ගලයෙකි. ඔහු පිරිස මැද ඉදිරියට ඇදෙද්දී වට පිට හිදගෙන සිටි බහුතරයක් තම අසුන් වලින් නැගිට සිටියහ. ඇතැමුන් දිව ගොස් තම අත ඔහු දෙසට දිගු කොට ඔහුගේ අත අල්ලා ගත්හ. සියළු කාරණා දෙස බලාගෙන සැලෙන හදින්, තෙත් වූ දෙනෙතින් ඔහුගේ බිරිද පිටුපසින් ඇදුනේ තම ස්වාමියා නෙපෙන්වන දුක තම කළු පාට සාරියෙන් ලොවට විදහා දක්වමිනි. සියල්ල මැද සෑමාද ඒ දෙස බලා ඉදිරියට ඇදුනේ ඔවුන්ට පිටුපසිනි.

ඉන්පසු එතුමා ගියේ විකිරණ පරීක්ෂා සිදුකරන කාමරය තුලටය. පසු පසින් ආ පිරිස් තැන් තැන් වල වාඩි වුණහ. සෑමාද ඒ අවට වාඩි වුනේ සිදුවන්නේ කුමක්දැයි නැවත බලා ගැනීමටය. එතුමාගේ බිරිද සමග ආ මැදිවියේ තවත් කාන්තාවක් සෑමා අසල වාඩි වුණාය. ඇය සෑමා සමග සිනාසුනේ සෑමා හිතන දේ තේරුණ නිසාවත්ද ?

"දැක්කද මල්ලි කොච්චර සෙනගක් ඉන්නවද සර්ට ?" ඇය හඩ අවදි කළාය.

"අමුතුවෙන් කියන්න දෙයක් නැහැ අක්කේ, මිනිස්සු සද්ද නැතිව හිටියට ඇත්ත දන්නවා." සෑමා කීවේය.

"ඒ දවස එනකල් තමා අපිත් ඉන්නේ.." ඇය එසේ කියා නැගිට පසෙකට වුනේ රෝහලේ කාර්යය මණ්ඩලයේ අයෙක් කතා කළ නිසාය.

එතුමාට කතා කළ යුත්තේ 'සර්' කියාය.
එතුමා වෙනුවෙන් ෆේස් බුකියේ අපි කරන (pages, groups, profiles, campaigns, etc;) දේවල් කිව යුතුය.
අන්තර්ජාලය හරහා අත්සන් එක්කොට ධවල මන්දිරයට යැවූ පෙත්සමට අත්සන් කළ බව කිව යුතුය.
එතුමා වෙනුවෙන් හඩන, තැවෙන, දුක්වෙන පිරිසක් හිදින බැව් (එතුමා දන්නා වුවද) කිව යුතුය.

සෑමා එතුමා හමු වූ විට කිව යුතු දේවල් කල්පනා කලේය.

විනාඩි දහයකට පමණ පසු නැවත පරිසරය කලබලකාරී විය. ඒ සමගම එකි සැබෑ දේශප්‍රේමියා පිරිස් මැද ඉදිරියට ඇදුනේ සියල්ලන්ටම සිහනවකින් සංග්‍රහ කරමින් සහ අතට අත දෙමින් කතා කරමිනි. එතුමා හිදගෙන සිටි සෑමාව පවා නැගිටුවමින් ඉදිරියට ඇදෙන්නට විය. සෑමා නැගිටිද්දී එතුමා සෑමා දෙසට තම අත දිගු කළේය. සෑමාට තමා කියන්නට සිටි සියළුම දේ අමතක විය. 

පෙර දවසකදී සෑමා එතුමාට කතිරය ගැසුවේ අද ඔහු අල්ලාගෙන සිටින දකුණු අතිනි. පෙර දවසක රට දැය වෙනුවෙන් සැබෑ දේශප්‍රේමියෙකු ලෙස අවි එසවුනේ එතුමාගේ මේ සුරතිනි. ‍අද රාජ්‍ය පාලන තන්ත්‍රයේ සිටින කරුණා අම්මාන්ලා ඇටවූ බෝම්බ පහරට ලක්ව තම බඩවැල් පවා තම සිරුරට තද කරගෙන සිටියේ මේ සුරතිනි. එහෙව් අතකින් අල්ලාගෙන සිටින සෑමාගේ වචන සිර විණ. කිසිත් හිත ගත් නොහැකිව ඔහු දෙස බලා සිනාසුනේ සතුටකින්ද නොවේය. නමුත් සියළු කම්කටොළු දරාගෙන ඔහු සිනාසෙන්නේ නම් සතුටකින් නොවුනද සිනාසෙන්නට සෑමාට සිදු විය.

ඉදිරියට ඇදුන සැබෑ වීරයා ලගට ඊලගට ආවේ වයසක අම්මා කෙනෙකි. එතුමාගේ සුරත සිපගෙන කදුලු සලන්නට තරම් ඇය සංවේදී වූවාය. ඇගේ හිස අතගාමින් එතුමා ඉදිරියට ඇදුනේය. ඉදිරියේ හිදගෙන සිටියේ සිගිති දරුවෙකු ඇකයේ තබාගෙන තරුණ යුවලකි. දෙදෙනාම ඔහු දැක නැගිට සිටියහ. එතුමා ඔවුන් ලගට ගොස් තරුණ පියාට අත දි දරුවාගේ මුහුණද අත ගෑවේය. සෑමාට මතක් වූයේ දරුවන් සුරතල් කරන තවත් උතුමෙකි.

මග දිගට රැස්වෙන සියළු නෙත් තෙත් කරවමින් එතුමා පිටත්ව ගියේය.

සියළු දෙනා ඔහු වටා රැස්වූයේ, ඔහු දැක හැගුම් බර වූයේත්, දේශපාලනයෙන් තොරවය. සෑමා මෙය ලීවේ දේශපාලනයෙන් තොරවය. මිනිස් සිත් ඇති සැමටය.

සියළු දෙනා ඔහු වටා රැස්වූයේ, ඔහු දැක හැගුම් බර වූයේත්, දේශපාලනයෙන් තොරවය. 

ප/ලි - මීට පෙර සෑමා එතුමා දුටුවේ යුද්ධය නිමා වූ දිනවල එතුමා කැළණි විහාරය වන්දනා කිරීමට ආපු දිනකය. එවලේ අපි සිටියේ දහම් පාසලේ වැඩකට ගිහින්ය. එක වරම අපිට එලියට බහින්න එපා යැයි විධානය කොට සිය ගණන් ආරක්ෂක සෙබළුන් පන්සල පුරා විහිදී ගියෝය. අපි දාන ශාලාවේ සිට අමාරුවෙන් එතුමා දැක ගත්තෙමු. එදා ඔහු වීරයෙකි. දැන් සම-හරක්ට එතුමා වීරයෙක් නොවේය.

ප/ප/ලි - කිසිවෙකුට හෝ අප්සට් වගේ නම් මේ කතාව select කර, කොපි කර, මයික්‍රොසොෆ්ට් වර්ඩ් හෝ නෝට් පෑඩ් එකකට පේස්ට් කරන්න. ඉන්පසුව crtl + H (Edit > Replace) යතුරු ඔබා ලැබෙන Dialog box එකේ "Find what" යන්නෙහි "දේශප්‍රේමි" වචනය යොදා, "Replace with" යන්නෙහි "දේශ‍ද්‍රෝහී" ලෙස යොදා  Replace කර කියවන්න.

මේ දෙකත් ක්ලික් කර බලන්න..

මහරජුන් සහ ජෙනරාල් එක්ව ලද නිදහසට අවමන් නොකරමු.. !

ඇත්තටම "සෑමා" ලිව්වේ නැහැ - හිතන්න දෙයක් ඉතුරැ කළා

Written by sAm_6.15pm_28.03.'12

Monday, March 26, 2012

සෑමා "කේ. ඒ. ඩබ්ලිව්. පෙරේ‍රා මහතා" සොයා ගිය ගමනක්...


මුලින්ම කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා මහතාගේ නිර්මාණ ගැන බිදක්.....


Director


No Year Name
1 ) 1960 පිරිමියෙක් නිසා
2 ) 1963 සුහද සහෝදරයෝ
3 ) 1966 සැනසුම කොතැනද
4 ) 1966 කපටිකම
5 ) 1968 බයිසිකල් හොරා
6 ) 1971 කතුරු මුවත්
7 ) 1971 සීයේ නෝට්ටුව
8 ) 1972 ලොකුම හිනාව
9 ) 1972 ඉහත ආත්මය
10 ) 1973 අපරාධය සහ දඩුවම
11 ) 1974 ලසදා
12 ) 1974 දුලීකා
13 ) 1976 වාසනා
14 ) 1976 නෑදෑයෝ
15 ) 1978 සසර
16 ) 1978 ජනක සහ මංජු
17 ) 1979 හිගන කොල්ලා
18 ) 1980 ආදර රත්නේ
19 ) 1982 රේල් පාර
20 ) 1982 වතුර කරත්තය
21 ) 1988 දුර්ගා
22 ) 1994 දවල පුෂ්පය
23 ) 1996 මධුරී
24 ) 2000 උන්ඩය
25 ) 2004 සුමේධා

සෑමා පහ වසරේදී එනම් 1997 වසරේදී ඉගෙන ගනිමින් සිටියේ පහ වසරේය. ඒ කියන්නේ ශිෂ්‍යත්වය පාස් වෙන්නට පෙර ඉගෙන ගත් ගමේ පාසලේය. සෑමා පහ වසරේ සිටියදී කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා මහතා 1996 වසරේදී මධුරී චිත්‍රපටය එලි දක්වා හමාරය. 1994 වසරේදී එලිදැක්වූ දවල පුෂ්පය බලන්නට ගියා සෑමාට තාම මතකය. තාත්තා, අම්මා, අක්කා සහ අයියා සමග ගිය ඒ ගමන අමතක නොවන්නේ ලිබටියේ ජුරාසික්ස් පා(ර්)ක් බලුව හැටි අමතක නැති ලෙසටමය. දවල පුෂ්පයේ තිබුනේ (මතක හැටියට) රෑමත් නර්ස් නෝනා කෙනෙකුට ආදරය කරපු සීන් එකකි. ඒකේ තිබුන "ලදක් ලදක් දුටිමි ලදක් - ආහා ලසන ලදක්" ගීතය තාමත් ඇසීමට තරම් අසා හිතේ.

සෑමා පහ වසරේ සිටියදී සෑමාගේ තාත්තා එම පාසලේම ඉගැන්වූයේ 11 වසරට ගණිතය විෂයයි. පහවසරේ විභාගයට ඉදගන්නට ඉන්න සෑමා කරන හැම දේම තම පියාට වාර්ථා වන්නේ එසැනකිනි. පහ වසරේ කල්‍යානි ටීචර් තාම සෑමාගේ ගෙදර එනවාය. ඇය තාමත් සෑමාට ආදරේ ඒ කාලේ පන්තියේ කරපු කියපු දේවල් නිසා වන්නට ඇත. 

පහ වසරේදී අපි රබර් පටි වලින් කාක්කෝ (රොකට්) විදින්නට ගත්තේ එහා පැත්තේ වත්තටය. ඒ පැත්තේ ගෙදර කිසිවෙක් අපි දුටුවේ නැත. ඇස්බැස්ටෝස් ශීට් ඇතිරූ වහලය පමණක් අපිට පෙනේ. කාක්කෝ විදින සෙල්ලම අන්තිමට තරගයක් දක්වා දිවෙන්නට විය. වැඩිම දුරක් විද්දේ අපේ සමිත්ය. පොරට දැන් කස්ටිය කතා කරන්නේ උපාලි කියාය. ඒ පොරගේ පියාගේ නමය. උපාලියා කාක්කෙක් විද්දේ එහා වත්ත කෙලවරේ ඇති කොස් ගස අසල වැටෙන්නටය. ඒ වාර්ථාව කැඩීමට දිනපතා කාක්කෝ 25ක් පමණ එහා වත්ත දෙසට විදෙන්නට විය. 

දිනක් අපේ ටීචර් තම පුටුවෙන් නැගිට විත් එහා වත්ත බැලුවාය. ඒ පැත්තේ වහලය සුදුම සුදු පාට වී තිබිණ. ඒ අපේ එවුන් කාක්කෝ විද්ද පොත් වල පිටු නිසාය. ටීචර් ඒ පැත්ත එක පාරට බැලුවේ එහා වත්තේ ඇන්ටී කලින්ම පැමිණිලි කළ තිබුණ නිසාය. එදා ටීචර් කීවේ කාක්කෝ විදින එවුන් නැගිටිනවා කියාය. රහසේම සෑමාව ගෙන්වා කට උත්තර ගත්තද සෑමා කට නොසෙල්වූ නිසාත් පන්තියටම වේවල් පාර වදිද්දී සෑමාට වැදු‍නේ දරුණු පහරකි. ඒ කිසිවෙක් පාවා නොදුන් නිසාය.

එදිනම සෑමාගේ තාත්තාට නිවුස් එක ගොස් තිබිණ. සෑමාගේ තාත්තාට ටීචර්ලා සහ ගමම කීවේ/කියන්නේ "ලාල් සර්" කියාය. ඉස්සර පොඩි පන්ති වලදී නැගිට්ටුවා අපෙන් ගුරුවරු අහන්නේ අම්මාගේ නම තාත්තාගේ නමය. පන්තියෙන්ම එකම ප්‍රශ්නය එලෙස අසාගෙන යන දිනක සෑමාවද නැගිට්ටුවා ටීචර් කෙනෙක් සෑමාගෙන් ඇසුවේ තාත්තාගේ නම කුමක්ද කියාය. කණිෂ්ඨ අංශයේ ගුරුවරියක පවා තම එකම ගුරු මණ්ඩලයේ ජේෂ්ඨ පන්ති වල උගන්වන ගුරුවරයෙකුගේ නම නොදැන සිටීම ගැන සෑම්ට පුදුම සහගත කරුණක් විය. ඒ ටීචර් සෑමාව සහ පියාව දැන සිටියාය. හැමෝගෙන්ම ඇසිය යුතු නිසා අහන්නට ඇත.

"අපේ තාත්තාගේ නම ලාල්" සෑමා නැගිට කීවේ මුලු ගමම ඔහුට කියන නමය. ටීචර් සිනා සී මට ඉද ගන්නට කීවාය. 

එදා සිට සෑමා හැම ටීචර්ටම කීවේ තාත්තාගේ නම ලාල් කියාය. අමුතුවෙන් හදුන්වන්නට දෙයක් නැත. ගමේ ඉස්කෝලේ සියල්ලෝම තාත්තාව දන්නවාය.

පහ වසරේදි දෝදු සිටියේ අපේ පන්තියේය. ගමේ ඉස්කෝලයෙන් ශිෂ්‍යත්වයෙන් පිරිස වෙන්වී වෙන ඉස්කෝලෙකට ගියත් දෝදු ආවේ සෑමාගේ පිටු පසින් එම පාසලටමය. ඒ තරමට දෝදුවා තවමත් සෑමාගේ පිටු පසින් පන්නනවාය. අපේ පහ වසරේ ටීචර් ඉස්සර පාසලේ හැම වැඩකටම මුල් තැන ගෙන කටයුතු කලාය. ගුරුවරුන්ගේ උත්සව, මරණ, ආදී සියල්ලටම කලෙක්ෂන් දැම්මේ ඒ ටීචර්මය. එසේම අපේ කැන්ටින් එකට කෑම සප්ලයි කලේත් ඒ ටීචර් මාර්ගයෙනි. සමහර රිටන් කරන ‍පොල් ටොෆී, කිරි ටොෆී සෑමාගේ ගෙදරට ආවහම සෑම්, සෑම්ගේ අක්කා සහ මහප්පාගේ දුව සෙට් වී ඒවා උස්සනවාය. ඒවායේ ටොෆී 50ක් තිබෙන නිසා ඉවර වෙන්නටම කන්නට අපිට බැරිය. ඉතින් ඉතිරිය හංගන්නේ ඇදන් යටය. එසේ හංගද්දි ආපහු එලියට අරන් කන්නට අමතක වෙනවාය. ඒවා එලියට ගන්නේ අපේ අම්මාය. එතකොට ඉදලා හමාරය.

ටීචර් කලෙක්ෂන් දාන්න ඕනෙ වුන විට කැමති දෙන්නෙක්ට එන්නට කියන්නීය. සෑමා නම් ඉස්සර ඒ වැඩේට කැමතිම නැත. ඉස්කෝලෙ පුරාම ඇවිදින එක එපා වෙන වැඩක්ය. අනික සෑමගේ තාත්තාගෙන් පවා කලෙක්ෂන් දාන්නට වීම සෑමාට අප්සට්ය. ඒත් අපේ දෝදුවා සහ අංජා හැමදාම මේ සීන් එකට පැනලා යති. ඒකට හේතුව මීටර් වුනේ සෑමාද දිනක් ඒ ගමනට ගිය නිසාය. ටීචර් ඒ වැඩේ කරන දෙන්නාට සංතෝසමක් ලෙස ඉදි ආප්ප 10ක් කැන්ද කොලයක එතු පාර්සලයක් හැමදාම දී ඇත. සෑමාත් එලෙස ගිය දවසක පාර්සලයක් ලැබුන නිසා  වැඩේ මීටර් විය. එදා අංජා නොසිටි නිසා ගමන ගියේ සෑමා දෝදු සමගය.

ගුරුවරුන් ගේ නම් ලියු කොළ දෙකක් දෝදුට සහ සෑමාට ලැබිණ. දෙදෙනාට දෙපැත්තට බෙදි යාමෙන් වැඩේ ඉක්මනට අහවර කල හැකි වෙන පරිදි ටීචර් ලිස්ට් දෙකක් සාදා තිබින. දෝදු සහ සෑමා දෙපැත්තට ගියේ වැඩේ කරගෙන නැවත පහ වසරට නගින පඩිපෙල පාමුල දී මුණ ගැසෙන චේතනාවෙනි.

ඉස්කෝලෙ පුරාම කරක් ගැසූ අපි නැවත එකම තැනකට සෙට් වීමු.

"මචං වැඩේ ගොඩ නේද ? " ඇසුවේ දෝදුය.

"මාර සීන් එක බං එක සර් කෙනෙක් නැහැනේ" කීවේ සෑමාය.

"එහෙනම් ඇවිත් නැද්ද දන්නේ නැහැ. මොකක්ද බං නම" දෝදු ඇසුවේය.

"කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා.... බං" සෑමා කීවේය.

"වරෙන් යන්න මම දැක්ක සර් පන්තියක උගන්නනවා." ‍‍දෝදු සිනාසෙමින් සෑමා‍ව ඇදගෙන ගියේය.

11 වසර පන්තියක් අසලට ගිය දෝදු සෑමාගේ කොළය උදුරාගෙන ගොස් සර්ට දිගු කලේය. එහි සිටියේ "ලාල් සර්" ය. එනම් සෑමාගේ පියාය. දෝදු එනතුරු සෑමා එලියට වී සිටියේය.

"අඩේ අපේ තාත්තද බං කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා" සෑමාගේ ඇස් උඩ ගොස්ය.

"නැතුව යකෝ උබ තාත්තගේ නම දන්නෙ නැති පුතෙක් නේ.." දෝදු කී දෙයින් සෑමාගේ මූණ රතු විය.

"ඇයි බං ගමේ හැම එකාම කියන්නේ ලාල් සර් කියල. අනික ඉස්කෝලෙත් කියන්නේ එහෙම. මම අදයි බං දන්නේ..."

****

සෑමා කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා මහතා සොයා ගියේ එලෙසය. එදා දෝදු නොසිටියේ නම් විනාසය.

පලි - ගමේ හැමෝම අපේ තාත්තාට පොඩි කාලේ සිට කියා ඇත්තේ ලාල් කියාය. ගුරුවරයෙකු වූ පසුව එය ලාල් සර් කියා වෙනස් වී ඇත. එසේම අපේ මහප්පාට (තාත්තාගේ අයියාට) කියා ඇත්තේ 'සීබට්' කියාය. ඔහු රජයේ මුද්‍රණාලයේ හිටපු සහකාර මුද්‍රණාලාධිපතිය. වෙලාවට සෑමා එහේ සිටියේ නැත.

Written by sAm_7.05pm_25.03.'12

Saturday, March 24, 2012

ඉස්කෝලෙ උගන්නපුවා සම්පූර්ණ වැරදි(ද?)...


බාධක මැද ඉදිරියට යා යාතුය.

අපි ඉස්කෝලෙ යන කාලයේ ටීචර්ලා කීවේ බාධක මැද ඉදිරියට යායුතුය කියාය. ජීවිතයේ හමුවන සෑම කඩ ඉමක්ම මැඩගෙන ඉදිරියටම යායුතුය කියාය. ඒ නිසාම අපි වැස්සේ පවා ඉස්කෝලේ ගියෙමු. බස් ස්ට්‍රයික් තිබුනද වෙලාව පහුවෙලා හෝ ඉස්කෝලේ ගියෙමු. ඒ ලෙවල් කාලයේ මැත්ස් සෙක්ෂන් එකට පන්ති තහනමක් තිබුණා සෑමාට තවමත් මතකය. එහෙව් කාලයක පවා, අපට පාසල තහනම් වී තිබියදි අපේ පන්තියම ඉස්කෝලේ ගියේ බාධක මැඩගෙන ඉදිරියට යායුතුයි කියා ඉස්කෝලෙදීම අපට උගන්වා තිබුන නිසාය. 

ඒ පාසල් අවධියයි. නමුත් එකී උපදෙස් අපට තවමත් මතකය. එදා සෑමා ඔපීසියේ සිට ගෙදර බලා ගමන් කරමින් සිටියේය. කැළණිය පොලිසිය අසල සිට කැළණි ප්‍රධාන බස් නැවතුම දක්වා දිවෙන මාර්ගයේ මැද හරියේ පාර දෙකට බෙදා තිබෙන්නේ කඩ ඉරි වලිනි. ප්‍රධාන බස් නැවතුම දෙසට හැරෙන වංගුව ඇත්තේ තනි සුදු ඉරෙනි. කඩ ඉර කැපීම වරදක් නොවන නිසා සෑමා කඩ ඉරි කපාගෙන සියළු රථවාහන බාධක මධ්‍යයේ ඉදිරියට අදුනේය. වංගුව අසල සිටි පොලිස් මාමා නිසාත්, තනි සුදු ඉර නිසාත් නැවත නිවැරදි මංතීරුව අනුගමනය කරමින් ඉදිරි‍යට ගියේ බාධක සමගය. ප්‍රධාන බස් නැවතුම අසලට ලංවත්ම තවත් පොලිස් මාමා කෙනෙක් වෝකි ටෝකිය අතේ තබා සෑමාට අත වැනුවේය. සෑමා නැවතුනේය.

"ලයිසන් එක දෙන්න..."

"ඇයි ඒ ?"

"ඉස්සරහ තිබ්බ සුදු ඉර කපලා ඉස්සර කරලා තියෙනවා" පොලිස් මාමා කීවේය.

"ඔයා මෙතන ඉදන් කොහොමද කියන්නේ ?" සෑමා ඇසුවේය.

"මට ‍මැසේජ් එකක් ආවා."

පොතේ හැටියට තනි පොලිස් මාමා කෙනෙකුට දඩ කොලයක් ලිවිය නොහැක්කේය. අවම වශයෙන් දෙදෙනෙකු සිටිය යුතුය. ඒත් සෑමාට නීතිය කතාකරන්නට නොහැකි වූයේ අවම නිලධාරීන‍් දෙදෙනෙකු නොමැති වුවත් මැසේජ් එකක් මගින් ඔත්තුවක් ලැබුනොත් තනි අයෙකුට වුවද දඩයක් ලිවිය හැකි බලතලයක් ගැන සෑමා නොදත් නිසාය. සෑමා ලයසන් එක දික්කලේය.

"මල්ලී මම උසාවි දාන්නේ නැහැ. ඉර කපපු එකට විතරක් දඩය ලියන්නම්." ඔහු පව්ය. සෑමාට දුක සිතින. හරි හොද පොලිස් මාමා කෙනෙකි. 

දඩ කොළය අතට ගෙන බැලු සෑමා වරද ලෙස දුටුවේ "බාධක මැද ඉදිරියට යාම" කියාය. "එතකොට සුදු ඉර ගැන නැහනේ". සෑමා තමාටම කියා ගත්තේය.

ඒ කියන්නේ අපිට ඉස්කෝලෙ උගන්නලා තියෙන්නේ බොරුය. බාධක මැඩගෙන ඉදිරියට යාම නීත්‍යානුකූල නැත. 550ක් දඩ කෑ හැකි වරදකි.

වැඩි ලකුණු ගත්තොත් ෆේල්


ඉස්සර විභාගයක ලකුණු මදි වුණාම ටීචර් කරන්නේ ගෙදරින් කස්ටිය එක්කගෙන එන්න කීමය. එහෙමත් නැත්නම් ටීචර් කරන්නේ පන්ති කවයෙදී ලකුණු අඩු දරුවන්ගේ රෙදි ගැලවීමය. විටෙක දෙමව්පියන්ගේද රෙදි ගලවන්නේමය.


සෑමා ගමේ ඉස්කෝලයට යද්දී නම් පන්තිකවයට කිසිවෙකු ආවේ නැත. එන්න කියා කීවේත් නැත. සෑමාගේ තාත්තාට දිනපතා සෑමා ගැන අප්ඩේට් එකක ලැබෙන නිසා එසේ කරන්නට අවශ්‍ය වන්නට නැත. ඒ සෑමාගේ තාත්තා ගමේ පාසලේම ගණිත ගුරුවරයෙකු වූ නිසාය. පහ වසරේ ශිෂ්‍යත්වය පාස් වී වෙන ඉස්කෝලෙකට මාරු වෙන තුරුම සෑමා මේ කරදරයට මුහුණ දුන්නේය. වැරදි නැති වුනත් පන්තියේ කියපු විහිලු කතන්දර පවා අපේ තාත්තාගේ කනේ තියන්නේ ටීචර්ලාය. දවසක් පහවසරේදී අපේ කොල්ලෙක්ට "මල පැනලා" කියලා මම ටීචර්ට කීවෙමි. ඒ දවස්වල මල පැනලා කියන එක පවා කුණු හරපයක් වගේ සංකල්පයක් තිබිණ. සෑමා ගෙදර ආ සැටියේ තාත්තා ඇහුවේ අද කාටද මල පැන්නේ කියාය.


ඒ ලෙවල් කරන කාලේ වයලා ගුරුතුමී සෑමා ඇතුලු තව පහක් (සෑමා, අප්පුවා, චරියා, කලර්ස්, කස්සා, සහ මාකා) වෙනමම ගත්තේ දෙමාපිය රැස්වීමකදී අපේ වැරදි කියන්නටය. වැරදි වූයේ අහක යන ඒවාය. මාකා ටීචර්ට වයලා (ටීචර් ගේ නම වයලට්ය.) කියා අසු වී තිබිණ. අප්පුවා ඩෙස් එක උපයෝගී කොට ඩ්‍රම් ගැසීමේ වැරදි කරුවෙක්ය. ගීත ගායනය, කෑගැසීම් අදී වැරදි ඒ අතර විය. සෑමා එක්කගෙන ගියේ තාත්තාවය. අනිත් එවුන් ද තම දෙමාපියන් එක්කරගෙන එද්දී කලර්ස් (colors) ආවේ ආච්චී සමගය. කලර්ස් ගෙදරදීම ආච්චීට කියා ඇත්තේ කෙමෙස්ට්‍රි ටීචර්ට ටිකක් අප්සට් කියාය. කියන කිසිවක් ගණන් නොගෙන සිටින ලෙස පවා ආච්චීට උගන්වා තිබිණ.

"මම මෙයාලට කියන්නේ හයේ කල්ලිය කියලා" ටීචර් අපි හය දෙනාගේ දෙමාපියන් ඉදිරියේ රැස්වීම ඇරඹීය. කලර්ස්ගේ ආච්චී සිනා මුහුණින් බලා සිටියේ ටීචර්ට පිස්සු කියා කලර්ස් ගෙදරදීම උගන්වා තිබුණ නිසාය.

"මේ ඉන්නේ $$%, මෙයාට පන්තියේ ලමයි කියන්නේ මාකා කියලා" ටීචර් මාකාට ඇගිල්ල දිගු කොට වැරදි කියන්නට වූ‍වාය.

"මෙයා ගුරුවරයෙක් වෙච්ච මට කතා කරන්නේ වයලා කියලා. මේ මගේ කන් දෙකටම ඇහිල තියෙනවා." ටීචර් එකිනෙකාට ඇගිල්ල දික් කරමින් වෙන වෙනම වැරදි කියන්නට වූවාය. සියල් මැදහත් සිතින් බලාගෙන කලර්ස්ගේ ආච්චී සි‍නාසුනේ ටීචර් ගැන මුණුපුරා කියා තිබූ දේවල් නිසාය.

"මෙයාගෙ වැඩේ පිටි පස්සෙ ඉන්න එක්කෙනා එක්ක කතාව." ටීචර් සෑමාට අත දිගු කර කියද්දී සෑමා තම පියාගේ මුහුණ බැලුවේය. වසලා හමාර බවක් සෑමාට සිතින.

"ඉතිං ටීචර් මෙයාව පිටි පස්සේ ලමයා ලගට දාන්න" සෑමාගේ තාත්තා ගුරුවරයෙකු වශයෙන් ගැලපෙන උපදෙසක් ටීචර්ට දුන්නේය. ටීචර් ඊට වඩා වරදක් සෑමාට කීවේ නැත.

එහෙව් සියළු ගුරුවරු පොඩි කාලේ සිට අපට කියා දුන්නේ වැඩි පුර ලකුණු ගන්න කියාය. උපරිමය 100%ක්ය. ලකුණු අඩු වූ විට බනින්නේය. ඒත් දැන් මාර්ග නීති කැඩුවොත් අපිට ලකුණු ලැබෙන්නේය. එහි උපරිම ගත්තොත් ෆේල්ය. අඩුවෙන් ගත්තොත් පාස්ය.

ඒ කාලේ අපිට ඉස්කෝලේ උගන්වා ඇත්තේ බොරුය. වැඩිපුර ලකුණු ගන්න කියා ගුරුවරු අපිට පහරදී දඩුවම් කර ඇත්තේ බොරුවටය. වැඩි ලකුණු ගත්තොත් ෆේල්ය. ලකුණු වැඩියෙන් ගැනීම රියදුරු බලපත පවා වසරකින් අහෝසි වීමට හේතුවේ.

කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන්න


එහා පැත්තේ ඉන්න එකාට පැන්සලකින් පෑනකින් ඇන්නොත් ටීචර් කියන්නේ පාඩුවේ කාටවත් කරදරයක් නැතිව හිටපං කියාය. අපි අට ව‍සරේ ඉන්න කාලේ අපේ බොකා එහා පැත්තේ සිටි "ටෝචාට" ඇන්නේ කව කට්ටකිනි. එවිට අපිට උගන්නමින් සිටියේ පාසලට අලුතෙන් ආපු සර් කෙනෙකි. ඒ සර් පන්තියේ අපිට බනින්නේ ගහන්නේ නැති තරමට හොදය. බොකා කවකට්ටෙන් ඇනපු පාරට ටෝචා උඩ ගිහින් කෑගසාගෙන බිම වැටින. සර් ටෝචාගේ මුහුන බැලීය.

"බලන්න සර් මූ මට ඉදිකට්ටකින් ඇන්නා..." ටෝචා කීවේය.

"මුගෙ බො‍රු සර්, ඉදිකට්ටකින් නෙවේ ඇන්නේ කවකට්ටකින්..." කවකට්ට ඉහලට ඔසවමින් කීවේ බොකාය. එදා ඒ සර් කාටවත් බැන්නේ ගැසුවේ නැත. කීවේ කාටවත් කරදරයක් නැතිව ඉන්න කියාය.

තවත් දවසක් අපේ මනා (DJ manoj) 11 වසරේදී අපේ පුටු පේලියේ හිදගෙන සිටියදී ඉස්සරහ පුටුවේ සිටි‍යේ අපේ වින්දනයාය (පොර දැන් එයාර් ෆෝස්ය). ඉස්කෝලේ යද්දී අපි ඉදගන්නේ බෑග් එක පුටුව මත තබා බෑග් එකේ පටි දෙක පුටුව හරහා දැමීමෙන් අනතුරුවය. අපේ මනා පාඩම අසා සිටින අතරතුරදී තම පෑනෙන් වින්දනයාගේ බෑග් පටියේ කුරුටු ගාමින් සිටියේය. අපි ගණන් ගත්තේ නැත. ටීචර් පාඩම අහවර කර ආයුබොවන් කීමට නැගිටින විට පන්තියම නැගිටිද්දී වින්දනයා පිටිපස්ස බලා කෑගැසුවේ ටීචර්ටය.

"ටීචර් බලන්න කවුද මගේ බෑග් එකේ මොනවද ලියලා..."

පන්තියේම අවධානට ඒ දෙසට යොමු වෙද්දී ටීචර් දිව ආවේ අපේ වින්දනයා ලගටය. ටීචර් පටිය ඇද බැලුවේය. එහි තඩි අකුරෙන් ලියා තිබුනේ "පු - ක" කියාය. ටීචර් වට පිට බලද්දී මානා අතේ තිබ්බ පෑන සමග මාට්ටු විය.

ටීචර් මනාට හොදටම දෙස් දෙවුල් තබා අන්තිමට කීවේ "ලමයෝ කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන්න ඉගෙන ගන්නවා" කියාය. මානාට එදා වින්දනයාගේ බෑග් එක ගෙදර ගෙනියන්නට ලැබුනේ "පු" සහ "ක" මැකෙන ලෙස සෝදාගෙන එන්නට අණ දීමෙන් අනතුරුවය.

ඉස්සර සිට අපිට කීවේ කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන්න කියාය. එසේ තිබියදී කාටවත් කරදරයක් නැතිව කොළඹ මාර්ගයක පැත්තකින් ගමන් කර බැලිය යුතුය. පිටු පසින් එන වාහන පෝලිමේ ඇවිත් හෝන් ගගහා ඉස්සර කර යන්නේ කාටවත් කරදරයක් නැතිව පාඩුවේ ගමන් කිරීම නිසාය.

කාටවත් කරදරයක් නැතිව පාරේ යාමෙන් තමාට කරදර වන අවස්ථා නැත්තේ නොවේමය.

Written by sAm_1.15pm_23.03.'12

Thursday, March 22, 2012

වැලහින්නකට පෙම් බැදිමි..... (3 කොටස)


මෙතෙක් කතාව... 

ලසදා ගමට පැමිණි පැණි බීම කරත්තකාරයා සමග තම නිවසට සහ ගමට පිටු පා යද්දී සිරිමෙවන් කිසිත් නොකර බලා සිටී. ලසදා සමග ගෙවූ වෙහෙසකර පළමු සහ එකම රැය සිහි ගන්වමින්, පිළිකුල් කරමින් සිටින සිරිමෙවන් මහ වනය මැද දී නැවතත් වැලහින්නකගේ තාඩන පීඩනවලට හසුවන්නේ ලසදාගේ පළමු රැයට වඩා තම දිවිය කිලිටි කරවමිනි. සියල්ල විද දරා පොල්කට්ටෙන් බිංකුන්ඩන් වසන්නාක් මෙන් හබරල කොළයකින් "නැට්ට" වසාගෙන සිරිමෙවන් නැවත ගෙදරට එන්නේය. එසේ පැමිණ රාත්‍රියේ ඇස් පියා ගන්නට වත්ම දොරට තඩි බා නිවසට ඇතුල් වන්නේ වැලහින්නමය. තම පොඩි පුතු පවා කරුවලේම වැලහින්න අතින් ඇදගෙන ගෙට එන්නේ තම මෑණියන් කියා රැවටීමෙන්ය. වැලහින්න හදුනාගත් පුතු පියා ලගට පනිද්දි වැලහින්න පැදුරක් එලාගෙන නිවසේ බිම වැතිර ගනී.

සවිස්තරාත්මකව වැලහින්නකට පෙම් බැදිමි..... (1 කොටස) මෙතනින් කියවන්න.
සවිස්තරාත්මකව වැලහින්නකට පෙම් බැදිමි..... (2 කොටස) මෙතනින් කියවන්න. 

කහබිලියා පදුරක් පසෙක තිබියදි කැලැ සතෙකුවත් ඒ ලගින් නිදා ගන්නේ නැත්තේමය. තම නිවස මැද්දේම තඩි වැලහින්නක් දපනේ දමා පැදුරක් එලා නිදා සිටින විට නැවැස්සෝ නිදා ගන්නේ කෙසේද? ලසදා සමග පවා එක පැදුරේ නිදා ගත්තේද එකම දිනයකි. එදිනට පසු සිරිමෙවන් අද වැලහින්නක සමග නිවසේ නිදන්නේ කෙසේද? තම දෑතින්ම එලා ගත් පැදුරේ සිට වැලහින්න දෙනෙත් අයා සිරිමෙවන් දෙස බලා සිටින්නීය. පොඩි පුතුට නම් තම මව් සෙනෙහස දැනුනු කලෙක මෙන් වැලහින්න දෙස බලා සිටින්නේ බිය නිවුනු සිතිනි. සිරිමෙවන් ලසදා සමග තිබි කෝන්තරය සිහිගන්වමින් වැලහින්න දෙස බලා සිටින්නේ තරමක කෝපයෙනි. නමුත් දැමුණු සිතිනි.

"ඕක ‍ඔහෙ හිටපුවාවේ. උඹ මා ලගින් මේ පැදුරේ නිදාගනින් කොලුවෝ.." ඉතිරි ඉරුණු පැදුරු කැබැල්ල එළමින් සිරිමෙවන් පුතුට කීවේය. හිස සලා පුතුද වැතිරුනේ බිය පහව ගොස් ඇති නිසාවෙනි. ගෙදර හුරතලයට හැදුන කැළෑ කුකුල් තඩියා පුතුගේ කුඩා කළ මතකය අවදි කලේය. වත්ත පුරා බෙටි දමමින් කරදර කලත් ඌ සිටියේ පොඩි එකා සමගමය. 

හිටි හැටියේ කුකුල් තඩියා අස්ථාන ගතවු විට තම පියා කීවේ ඌව උගුඩු‍වෝ කෑවා කියා බව පුංචි මතකයේ සටහන්ය. එහෙත් පැණි බීම කාරයා සමග හාදකම දුර දිග යත්ම තම මවගේ කටින් පිටවුණු වදන පුතුට අමතක නැත්තේමය. 

"උබ උපාසකය වෙලා මාත් එක්ක නිදා ගත්තෙ නැතිවට මොකෝ ඕන තරම් එකාල ඉන්නව මාව ගන්න බලාගෙන. එහෙව් එකෙක් හයි හත්තිය එන්න කුකුලෙක් ගිල්ලම මොකෝ..."

පුතුගේ මොලකැටියට තේරුනේ අවසන් වචන කීපය පමණක් මුත් මතු දාක සියල්ල වැ‍ටහෙනු සහතිකය.

එහෙව් නැතිවූ කුකුල් තඩියා වෙනුවට තමාට අද තෑග්ගක් නිවැසටම ගෙනවිත් ඇත්තේ තම පියා බව පුතුගේ යටි හිත කියන්නේය. මව් සෙනේ නැති හෙතෙම අදුරේ අත පත ගා තම මව් යැයි වැලහින්නකට රැවටුනේ නොහැගෙන සෙනෙහසක් නිසාමද? වැසි දිනට නිවස මැද්දෙන් රෑටා වැටෙන වැහි බිදු සීරාව සේ සිතුවිලි සියල්ල එකිනෙක පුතුගේ සිත දෝරෙ ගලා යද්දී සිරිමෙවන්ද වැලහින්නට තම පුතු ලගට එන්නට නොහැකි වනසේ පුතු සහ වැලහින්න අතරේ වැතිර ගත්තේය.

"ගර්..."

සිරිමෙවන් හිස ඔසවා බැලුවේ වැලහින්න දෙසය. මැටි උරච්චි කරපු නිවසේ ඉරි තලන්නට දෙයක් නැත. එකම බිය තම පුතුය. වැලහින්න තමා කෙරේ ඇති ලොබ නිසා පුතුට කුමක් කරාවිද යන බිය සිරිමෙවන් සිත වෙලා ගත්තේය. එහෙව් සිරිමෙවන් නින්ද නොනින්ද අතර කල්පනාවක පැටලී සිටින්නේ ඉදිරිය අපැහැදිලි නිසාමය. පුතු නම් පසෙක නින්දේය. මව්ගෙන් නොලැබි සෙනෙහෙක ඇරඹුමක් සිත තෙරපද්දි පුතුගේ නින්ද අරුමයක් නොවන්නේමය. සිරිමෙවන්ට නම් මෙය පොලෝ මට්ටමෙන් වලකට වැටීමක් බදුය. අදුරේ දල්වා ගත් හුලුඅත්ත අත දවාලමින් ගිණි ගන්නා බවක් සිරිමෙවන්ට හැගේ. අදුර නිසා හුලු අත්ත නිවිය නොහැක්කේමය. තම පුතු අදුර පරයා ලබන ආලෝකය හා උණුසුම දුටු කල්හි තම අත දැවෙද්දී පවා හුලු අත්ත උස් කොට අල්ලා සිටිනු විනා පැත්තක විසි කර දැමිය නොහැක්කේමය.

මැදින් වැතිර වරෙක වැලහින්න දෙසත්, වරෙක පුතු දෙසත් නෙත් යොමමින් සිටින සිරිමෙවන් දහවල විදි පීඩනය සහ තෙහෙට්ටුව නිසාම දෙපස බලන අතර මැදකදී දෙනෙත් පියා ගත්තේය. ලසදා සමග ගෙවූ පළමු හා එකම රැයෙන් පසු ලසදා නිවසින් පිට වෙනතුරුම සිරිමෙවන් අමුඩයට සමුදුන්නේය. නමුදු ලසදා ගිය දා සිට අමුඩයෙන් තම ගත වෙලා ගත්තේ සිතට ලද නිදහස ගතටත් දැනෙන්නට හරින්නටය. 

නෙතු සයක් පියවි බිම වැතිර සිටින අදුරු රැයෙක නෙත් දෙක් පමණක් හදිසියේ අවදි ‍වන්නේ දහවල මහ වනයක් මැද ලද අමුතු රසයක් සෙවීමටය. ඇරුණු නෙතින් වැලහින්න බඩ ගෑවේ සිරිමෙවන් ලගටය. ලසදා තමා හැර ගිය පසු දින සිට ‍වෙලාගත් අමුඩය සුපුරුදු පරිදි සිරිමෙවන් හැද සිටියදී වැලහින්න දෙපා අතරින් එබී බලන්නීය. රා කට්ටක් ගසා වැටී සිටින බේබද්දෙකුට බලු තඩියෙක් තම දෙපා අතර නිදා ගන්නට යද්දි ඇහෙරෙන්නාක් සේම ඉහලට එසවුනු අමුඩ ලේන්සුව අතරින් වැලහින්නගේ ලෝම ගෑවෙද්දී සිරිමෙවන්ගේද දෙනෙත් හැරින. වරක් ගගට පැනපු එකා ගගේ තරම දන්නේමය. දහවල ගගේ පැනපු එකාට එදිනම රැයේ ගගේ පැන්නද ඒ තරම්ම වෙනසක් නැත්තේමය. සිරිමෙවන් දහවල මෙන්ම කළබල නොකර සිටියේය.

තම දෙපා ඈත් වෙයි. තම ගමේ දී දුටු එකම බයිස්කෝප් එකේ වේදිකාවේ තිරය මෙන් තම අමුඩය මෑත් වෙයි. වැලහින්න ඒ අතර ඇතිල්ලෙයි. ලසදා ගෙන් නොලද අමුතු සුවයක් තම සිත වෙලා ගත් බව සිරිමෙවන්ට හැගෙන්නේ දෙනෙත් පියා විද දරා ගත් නිසා විය හැක. වැලහින්න හිදගෙන සිටී සිරිමෙවන් වැතිර පිදුරු වහලය දෙස බලයි. වරෙක තම පුතු දෙස ද තවත් වරෙක දෙනෙත් පියාගෙනද සිටී. වැලහින්න අවසානයක් නොමැතිව කැළෑව පුරා දිව උඩ පනිමින් දිව යන හා පැටවෙකු මෙන් එක තැනම සිට උඩ පනින්නීය. 

සිරිමෙවන්ට නම් සිතා ගන්නට බැරිය. ලසදා තමාගෙන් බලෙන් ලද උණුසුම එක වරකි, එක රැයකි. එහි ඵලය පසෙක නිදන පුතුය. එදායින් පසු ලසදාට වුවමනා වුවත් සිරිමෙවන් නම් පැත්ත නොබැලුවේය. එහෙත් එකම දිනක දහවලක හා රැයෙක තමා වැලහින්නක සමගය. වැලහින්න තමා සමගමය. ලසදා ගෙන් ලද උණුසුම අවමානයක් ලෙස හැගුණු සිරිමෙවන් අද වැලහින්නක සමගය. එය තමාට හුරු බවක් හැගෙන්නේමය. තම සිත නම් තිරිසන්මය. සිරිමෙවන්ට වරෙක හැගේ. කුඩා කල සිට මහ වනය තම නිවෙසම විය. කැලෑ සතුන් තම නෑදෑයින් බදු විය. තමා මී පැණි කඩන්නට වනයට රිංගන්නට වූයේ  ඉස්කෝලෙ යා යුතු වයසේ පොඩි එවුන් දඩයම් කරමින් ගමට ආ ගුරුතුමෙක් නිසාමය. එහෙව් කැළයට අසීමිත නෑකම් ඇති සිරිමෙවන්ට මෙවන් දෙයක් සිතා ගන්නට බැරි තරම්ය. එසේම පුතු කෙරේ වැලහින්න බැදි සෙනේ තම සිත අවදි කරවන්නට විය. තම නිවුන හැගීම්ද අවුස්සන්නට වු බව සැබෑමය.

සියළු සිතුවිලි මැද සිරිමෙවන් සිරව සිටියදී, තම දෙපා අතර සිරව සිටි වැලහින්න ඉන් මිදී නැගිට ගත්තාය. හැරී බැලුවේ සිරිමෙවන් දෙසය. පෙර දිනක ලසදා සියල්ල අහවර කර සිරිමෙවන් දෙස බැලූ කළ ‍සිරිමෙවන් ගේ ඇස් වෙනතක බැලුවේ විලි ලැජ්ජාව නිසාමය. වැලහින්න තමා දෙස නෙත් යොමන කළ සිරිමෙවන් බැලුවේ වැලහින්නගේ ඇස් දෙස එක එල්ලයේමය. සිරිමෙවන්ට සිතා ගන්නට නොහැක. වැලහින්න පසෙකට වී නැවතත් වැතිර ගත්තීය. සිරිමෙවන් පුතු දෙස හැරී දෙනෙත් පියා ගත්තේය.

කවුලුවෙන් හිරු එබි බලද්දි සිරිමෙවන්ට රැයේ නොපිපි ලැජ්ජාව නැවත පිපෙන්නට විය. හිරු එළිය වැටී මුහුණ උනුසුම් වෙද්දි දෙනෙත් හැර සිරිමෙවන් බැලුවේ තම පුතු දෙසය. පුතු පෙනෙන්නට නැත. සිරිමෙවන් තැති ගත්තේය. තමා සිතුවා නිවැරදිය. නිවසට හදිසියේ ආ වැලහින්න නම් තිරිසන්මය. තම පුතු ඩැහැගෙන ගොස් ඇති බවක් පෙනෙන්නට තිබේ. සිරිමෙවන් නැගිට හිදගත්තේ පැදුර මතමය. හැරී බැලුවේ වැලහින්න සිටි පැත්තය.

සිරිමෙවන්ට තම ඇස් අදහා ගන්නට බැරි විය. පුතු හිස තබා නිදා සිටියේ වැලහින්නගේ දිගු කළ අතක් මතය. වැලහින්නට තුරුලුව නිදා සිටින්නේ තම පුතුය. වැලහින්න තම අතක් දිගු කොට වැලමිට මත පුතුගේ හිස තබා ඇත. අනිත් අතින් පුතුව සිරුරට තද කොට සිටින්නේ වැලහින්නමය. ලසදා කවදාවත් මෙලෙස පුතු සමග හිද නැත්තේමය. සිරිමෙවන් පසෙකටව බලා සිටියේය.

"කොල්ලෝ.. නැගිටපං.. දැන් උදේ වෙලා..." පුතු නැගිටවන්නට හිත නැති මුත් සිරිමෙවන් හඩ අවදි කළේය.

....මතු සබැදි....

Written bY sAm_6.30pm_22.03.'12

Tuesday, March 20, 2012

කෙල්ලෝ කටේ තියන් උරන කැත...




‍සියුම් සියුමැලි දෙතොලෙ සිරවී
සෙමින් උරනා අපූරුව නුඹ


මටත් කලියෙන් තබා දෙතොලග
උරන අරුමය උඩගු විලසින


දරා ගන්නට නොහැකි මා සිත
තදින් මිරිකා ගත්ත නුඹ අත


සිතා ගන්නට නොහැකි මොහොතක
ගලා ආවේ රසැති දියරය


ඇයත් සමගම තනිවු මොහොතක
ඇයට හදිසිය උරන්නට එය


පෙරදි දිනයක කටේ තැබු නුඹ
උඩගු වී අද තෙමයි තොල අග


කටට ගත් විට සිසිල දැනුනද
මටත් වෙහෙසක් වගේ දැනුනද


තබන්නට බැහැ පැත්තකින් අද
වටින හින්දම අවසන්ම බිංදුව


*
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
*




සෞඛ්‍ය රැක ගන්න - හැකිතාක් දියර පානය කරන්න

Written bY sAm_9.35pm_17.03.'12


ඇගේ අතැගිලි අතරේ මිරිකෙන නුබ...

උදේ එළියට ගන්න - රෑට ඇතුළට දාන්න ඉස්සෙන රෙද්ද

පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි...

කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම...

Sunday, March 18, 2012

පංචායුධ මාමාට ලියමි.. (මව්බිම බේරා ගැනීම සම්බන්ධවයි - පොඩි සෑමාගේ ලියුම 8)


මේ දවස්වල පොඩි සෑමා ගෙදර ඉන්නවාට වඩා ඉන්නේ පෝස්ට් ඔපීසියේය. හැමදාම පෝස්ටු ඔපීසියට දුවන්නේ මුද්දර මිලට ගැනීමටය. ඒ තරමට පොඩි සෑමාට ලියුම් ලියන්නට වෙලාය. පෝස්ටු ඔපීසියේ අක්කා කීවේ පොඩි සැමාට ඇගේ ඇසිස්ටන්ට් තනතුරක් හෝ දෙනවා කියාය. ඒ පොඩි සෑමා කොයි වෙලාවෙත් පෝස්ටු ඔපීසියේ සිටින නිසාමය.

ඒ මොන කතන්දර කීවත් මට භුමිතෙල් වලට වඩා වටින්නේ මව්බිම බැවින් පංජාගුද, පචායුධ පංචායුධ මාමාට මෙවර ලිපිය පොඩි සෑමාගෙනි.

පංචායුධ මාමේ...

හැමෝම මට කියන්නේ පොඩි සෑමා කියාය. ලගදී මලින්ද මාමාටත් පෝස්ටුවක් ලියූ නිසා එය ඔබ දකින්නට ඇති. එතුමා හැමදේම ඔබට පෙන්නන බව සුවර්ය. ඒ නිසා ඔබ මා හදුනනවා ඇත. මම ගිය සතියේ තාත්තා සමග කොළඹ යද්දි දැක්කේ දඩාර කට-අවුට් එකකි. එහි තිබ්බේ "මවුබිමද - භුමිතෙල්ද" කියාය. මේ දෙක අතර සම්බන්ධයක් මගේ පුංචි මොල කැටියට නෙතේරුන නිසාම ඔබට ලියන්නට ඉටාගත්තෙමි. මේ ලියුම පාර්සල් කර එවන්නේද අපේ ගෙදර හැදූ ලියුම් කවරයකිනි. එනම් ඇමරිකාවේ එකක් නොවේමය.

ඔබතුමා රට වෙනුවෙන් වේදිකා නාට්‍යය පෙන්නු වීරයෙක් බව කීවේ අපේ අල්ලපු ගෙදර මාමාය. එතුමා ඔබට වැඩ කළ අයෙකි. ඒ නාට්‍යය අපි බැලුවේ ටීවී එකේ නිවුස් වලිනි. ඔබතුමා දින ගණන් නිදාගෙන සිටියේ වේදිකාවක් මතය. පොඩි සෑමාට මතක විදිහට bank in moon (බැනිකී මූන්) ලෙස විජාතික බලවේග මගින් හදේ බැංකු ඇති කිරීමට ගත් අදහසට විරුධව ඔබ එදා ක්‍රියා කලාය. එම වේදිකා නාටකයේද ඔබ ප්‍රධාන චරිතයක් හැදෑරුවාය. දින ගණන් නිදාගෙන සිට නැගිට ගන්නට බැරිව සිටියදී මලින්ද මාමා ගේ සෙනෙහේ දිය පොදින් ඔබ නින්ද අතර මග නතර කොට නැගිට පන නල ලැබුවේය. එදා පොඩි සෑමා සිතුවේ මූන් මාමලාට එරෙහිව ඔබ ‍මියෙන තුරු නිදා සිටී කියාය. ඒත් අපේ රටේ / මවුබිමේ වාසනාවට ජිනීවා වේදිකා නාටකයේ පවා ප්‍රධාන චරිතය රගපෑමට ඔබ ඉතිරි වුවාය. එද ඔබ මලා නම් අද මෙහෙම වෙන්නේ නැතිය.

ඔබ පංචායුධය එල්ලා ගත්තේ වසර කිහිපයකට පෙර තැබු මැතිවරණයකදීය. එහෙත් පොඩි සෑමා එය ගැලෙව්වේ  මොට්ට-සෝරි යන්නට පෙර දිනයේය. ඔබ එය එල්ලාගත්තේ පාර්ලි-මෙන්ට් යන්නට පෙර දිනයේය. එහි නම් වැඩි වෙනසක් නැත්තේමය. පොඩි සෑමා මොට්ට-සෝරි යන්න පෙර කළ කී දෑ සියල්ල දැන් ඔබ වංචායුධය එල්ලාගෙන පාර්ලි-මෙන්ට් එකේ සිට කරනවාය. එහෙත් සියල්ල කරන්නේ මවුබිම වෙනුවෙනි. පොඩි සෑමා ඉස්සර පංචායුධය එල්ලාගෙන කලේ බිම පෙරලීගෙන බඩගාන එකය. ඒ අතින් ඔබ වීරයෙකි. එනිසා ඔබ කියන කරන දෑට විසිල්, අත්පුඩි ෂුවර්ය. 

ඒ අතින් බලන කල ෆොන්සේකා මමා කරපු දෙයක් නැත්තේය. ෆොන්සේකා මාමා ත්‍රස්තවාදීන් මැරුවා පමණි නමුත් ඔබ විජාතික බලවේග වලට එදිරිව දින කිහිපයක් වැටී නිදාගෙන සිටි එකම ඇතිය. ඉතිරි වූ කරුණා මාමා සමග එකට කකා බිබී ඔබ විජාතික බලවේග සමග සටන් කිරීම අතිමහත් සේවයකි. අපි සදාතනිකව ඔබට සපෝට් ඒ නිසාමය.

ඔබේ වදනින් පොඩි සෑමා මව්බිමට ගැති කොලු පැටියෙක් වූයේ ආශ්චර්ය්‍යයකිනි. සැබවින්ම පොඩි සෑමා ඔබට ණය ගැතිය. පොඩි සෑමාගේ ජී-මේල් එක ඩිඇක්ටිව් (සිංහලෙන් නම් විනා‍සකර) දැන් පොඩි සෑමා භාවිත කරන්නේ වී-මේල්ය. එනම් ඔබේ නමේ මුලකුරින් (වී-මාල්) ලංකාවේ නිෂ්පාදිත මේල් යවන ක්‍රමයකිනි. ඉස්සර KFC ගිය පොඩි සෑමා ඇතුලු පවුලේ සැම දැන් එහෙ යන්නේ නැත. දැන් අපි යන්නේ Kaluthara Food Cafe බත් කඩයටය. අපි මැක් ඩොනල්ඩ් නොයා ගමේ හන්දියේ ඩොනල්ඩ් මාමාගේ ආප්ප කඩේට යන්නේ ඔබ නිසාමය. ගූගල් සර්ච් ඇන්ජිම භාවිතයෙන් වැලකුණ අපි දැන් භාවිත කරන්නේ හොද ඉව තියෙන බලු තඩියෙකි. අපිට ඕනෑ කරන හැම දේම බලු තඩියාගේ නහයට තබා විසි කළ විට ඌ කටින් ඔසවාගෙන විත් අතටම ලබා දෙයි. ඒ ඔබේ පැසුනු බුද්ධියෙන් අප ලද දායාදයන්ය.

මලින්ද මාමා ඒ කාලේ ලියපු පොතක් අපිට මතකය. ඔබ ඇතුලු බොහෝ අය එකතුව එය ලියපු බව පොඩි සෑමාගේ දෙසවනට ඇසුනේ ඔබේම මුවෙනි. එහි එක් පිටුවක තිබ්බේ ගැමි දරුවන් පවා විශ්ව ගම්මානයට එකතු කර ගන්නා බවය. දැන් ඒ ගම්මානයට අපි යන්නේ නැත. ඒ ඔබ කියූ පරිදි මව්බිම වෙනුවෙන් අපිට විශ්ව ගම්මානයට ගැති වෙන්නට බැරි නිසාමය. ඔබතුමා මව්බිම වෙනුවෙන් ජනතාවට ආස හිතෙන විදිහට මෙරට නිපදවූ ජෙල් ගා කොණ්ඩය පැත්තට පීරන්නේය. දුෂ්කර ගම් වල දරුවන් ද ප්‍රියමනාපව ජීවත් වන්නට ගාන්නේ පොල්-ජෙල් නොහොත් පොල් ගසින් ගන්නා තෙල් වර්ගයකි. ඒ ඔබ ඉගැන්වූ ක්‍රම වේදයට අනුවමය. ඔබ ලංකාවේ තෙල් ආකර වලින් ලද (මෑතක දී තිබූ මැතිවරණයකට කලින් දින තෙල් මතුවූවා පොඩි සෑමාට මතකය) තෙල් වලින් ඔබ ලංකාවේ නිපදවූ වාහන වල යන්නේය. අපිද ඔබ කියු පරිදි මව්බිම, රට හා ජාතිය වෙනුවෙන් යන්නේ ගමේම නිෂ්පාදිත බක්කි කරත්තය හෝ ගොන් කරත්තය උපයෝගි කරගෙනය. ඇත්තටම ඇමරිකාවට ගැතිවිය නොහැක්කේමය. ඔබ කී ලෙස අපිට අපේ දේ වටිනවාය. ඔබ ලංකාවේ නිපදවූ බැලැක් බෙරි භාවිත කරන්නේ මවුබිම නිසාමය. අපිත් එසේමය. අපි භාවිත කරන්නේ ගිණිපෙට්ටියකට නුලක් දමා ගෙදරම හැදූ ‍පෝං එකෙනි.

එහෙව් සියලු විපරියාස රට දැය වෙනුවෙන් කලේ ඔබ තුමාය. අපි සදා ණය ගැතිවන්නේ එනිසාය. පොඩි සෑමා දැන් කේ.එෆ්.සී නොගියද රට ගැන නොසිතන ගොඩක් අය යන්නේ එතැනටමය. එනිසා ඒවායේ ලයිසන් ඔබතමා කැන්සල් කිරීම හොදය. එවිට රට දැය ගැන නොසිතා එවන් ආයතන වල වැඩ කරන අපේ දේශද්‍රෝහී පිරිස් පාරට වැටෙනවා ඇත. එය ඔබේ දැනුමට අනුව හොදය. සියල්ල විය යුත්තේ මව්බිම වෙනුවෙනි. පොඩි සෑමාගේ ගෙවල් ලග හිටපු අයියා කෙනෙක් දැන් කේ.එෆ්.සී එකේ කැෂියර් එකේය. කෑම බෙදලා දෙන්නේත් එයාය. පොඩි සෑමා ඒ අයියා සමග තරහය. එනිසා ලයිසන් කැන්සල් කළ යුත්තේමය. එසේම කොකා කෝලා එකද රට දැය ගැන සිතා ඔබ වසාවී යයි සිතමි. එවිට එම ෆැක්ටේරිය ලග සිටින බුලත් විට විකුණන අංකල් පවා පාරට වැටෙන්නේය. එසේ කළ යුත්තේමය. මොකද ඔබතුමා කියන්නාක් සේ රට දැය වෙනුවෙන් ඒවා කළ යුත්තේමය.

රට දැය වෙනුවෙන් සියල්ල එසේ වෙද්දී, ඔබ ගිරිය කඩාගෙන රට දැය වෙනුවෙන් කෑ ගසද්දී පොඩි සෑමාට තවත් අදහසක් පහල වෙන්නේය. අපේ රටේ ඉන්න ජාති ද්‍රෝහි පිරිසක් පිට රැටියන්ට ඇදුම් මහන්නේය. එවා පිට රට යවා ඔවුන්ගේ විලි වසා සල්ලි ගන්නේය. ඒවා ඇදගෙනම අපිට එක එක ඒවා කියන්නේය. ඒවාද රට දැය ගැන සිතා නොකල යුත්තේමය. එනිසා අපි ඒ ඇදුම් මැසිය යුතු නැත. එවිට විජාතික බලවේග ඇදුම් නැතිව සිට කෑ ගසනු ඇත. එවිට ඔබ තුමාට සහ ඔබ තුමා වටා සිට විසිල් ගසන් අයට පට්ට ආතල්ය. ගිරිය කඩාගෙන කෑගසනවා වෙනුවට හු කියන්නට හැක්කේමය. ෆොන්සේකා මාමා කැළණි පුදබිම වදින්නට ආ දිනෙක පන්සල් භුමියට පිරිස් ගෙන්වා හූ කියෙව්වා පොඩි සෑමාට තවමත් මතකය. දේශද්‍රෝහීන්ට එසේ කළ යුත්තේමය. පන්සලද, පල්ලියද, කෝවිලද කියා බැලිය යුතු නැත්තේමය. එලෙසම අපේ පරගැති ඇගළුම් කර්මාන්ත වසා දමා ඇදුම් නැතිව කෑගසන සුද්දන්ට අපි හූ කිවිය යුත්තේමය.

අවසන් වරට සෑමාට ඇත්තේ තවත් එක ඉල්ලීමක්ය. ඔබ තුමා මව්බිමට ලැදි, දේශප්‍රේමී අපේ ලේ රත් කරවමින්, ජාත්‍යාලය වඩවමින් සිංහලෙන් කරන කතන්දර ඉංගිරිසියෙන් කරනවා නම් සුපිරිය. ඔබේ හඩ, වාග් කෞෂල්‍යය සහ ඉරියව් සහිතව ඉංගිරිසියෙන් කතාවක් කළහොත් සුද්දන්ට හොදට තේරෙනවාය. එවිට ඔවුන් මීට වඩා ගොඩක් බය වෙනවා සුවර්ය. එවිට අපිට නිදහස්ව නිවහල්ව ඇමරිකාව පරයා නැගී සිටින්නට හැකි වනවා සුවර්ය.

ඔබට මව්බිමේ ප්‍රණාමය... !

පලි - ඔබතුමාගේ පොටෝ එක ගූගල් වලින් සර්ච් කරන්නට බැරි නිසා අනුගමනය කලේද මම පෙර කී ක්‍රමයයි.

"ගූගල් සර්ච් ඇන්ජිම භාවිතයෙන් වැලකුණ අපි දැන් භාවිත කරන්නේ හොද ඉව තියෙන බලු තඩියෙකි. අපිට ඕනෑ කරන හැම දේම බලු තඩියාගේ නහයට තබා විසි කළ විට ඌ කටින් ඔසවාගෙන විත් අතටම ලබා දෙයි.

එම ක්‍රමය යටතේ ඔබේ ඡායාරෑප විශාල ප්‍රමාණයක් ලැබුන නිසා සියල්ල එකතු කර එකක් සේ දමමි.


Written by sAm_3.15pm_18.03.'12

පළමුවත් මව්බිම, දෙවෙනුවත් මව්බිම, තෙවෙනුවත් මව්බිමය... මලින්ද මාමා කීවේ ඒමය. එතුමා ක්‍රියාවෙන් පෙන්නා ඇත්තේ එසේමය. හිකිස්


පොඩි සෑමාගේ පෙර ලිපි...


  1. සුසිරි අයියා‍ගේ ආදර අන්දරය
  2. අක්කාගේ ප්‍රවාහන සේවය සම්බන්ධවයි
  3. නත්තල් සීයාට අවවාද කිරීමට ලියමි
  4. අක්කාගේ කැම්පස් ගමන සම්බන්ධවයි
  5. පොඩි සෑමාගේ තියරිය අනුගමනය කළ ජයසූලිය මාමාට ලියමි
  6. පේස් බුකියේ අයියා නොහොත් සූ-මේකර්ට - පේස් බුකිය වැසීම සම්බන්ධවයි
  7. ජැනට් ඇන්ටීට ලියමි

Related Posts Plugin for WordPress, Blogger...