Monday, June 22, 2015

පාන් කතාවක්... - Bread Talks !!


ඉස්සර පාන් නම් රසය. බරය. ගුණය. ඒ කාලේ තිබ්බේ දර පෝරණු පාන්ය. දැන් තාක්සනය නිසා වැඩිපුරම ඇත්තේ කරන්ට් පාන් හෙවත් විදුලි අවන්වලින් හදනා පාන්ය. ඔය කියන කරන්ට් පාන් මාකට් එකට එන්නට පටන් ගත් කාලයේ මාර ඉල්ලුමක් තිබ්බේය. දර පෝරණු පාන්කරුවන් පාන් කියා ගත නොහැකි තත්වයකට ඇඳ වැටුනේ කරන්ට් පාන් මාකට් වූ කාලයේය. ඒත් ඔවුන් නොසැලී දුක්ඛිතව තම රාජකාරිය කළෝය. ඒ දුකෙහි ඵල ඔවුන් නෙලන්නේ මේ කාලයේය. මන්ද කරන්ට් පාන් වලට ඇති මාකට් එක දැන් අහිමි වී යන නිසාය. කොහේ හෝ තැනක තඩි අකුරින් දර පෝරණු පාන් ඇත කියා ගසා ඇත්තේ නම් එතැනින් පාන් ගන්නට බත් නොකන ජනතාව පෙළඹී ඇත්තෝය. ඒ නිසා කරන්ට් පාන් මාකට් එක බැසී දර පෝරණු පාන් මාකට් වෙනු ෂුවර්ය. කාලයේ හැටි ඒමය. අමුඩය මාකට් නැති වී ජොකාට බැස, නැවත අමුඩය ගසන කාලයට එළැබෙන්නේ කාලයේ විපරියාසයෙන්ය.



හරි බරට, හරි ප්‍රමිතියට තිබුණු කාලයේ පාන් රාත්තලක් කන්නා වැඩ්ඩෙක්ය. එහෙම කාපු එකෙක් සමාජයක් මැද කතා කරන්නේ යුග පුරුෂයෙක් ආකාරයෙන්ය. පාන් පෙත්තක බටර් ගා සීනි දමා කෑවත් බඩ පිරෙන කාලයක් තිබුණා කියා අපද දන්නේය. දැන් නම් පාන් රාත්තල පෙති දෙකකට කපා කෑවත් බඩ පිරෙන්නේ නම් නැතිය. පාන් වලට සැට් වෙන්නේ බටර්, ජෑම් නොව පරිප්පු හොද්ද බව සෑමා ඉන්තේරුවෙන්ම දැන ගත්තේ බාල සන්ධියේදීය. එයටම මිරිස් හොද්දක් මික්ස් කොට පොල් සම්බෝල දැමූ විට රස යැයි අම්මා කීවත් එය කනකට නොගත්තේ සෑමාය. පසු කලෙක ඒලෙවල් කරන්නට ගම්පහ සමාධියට ගොස්, ඉන්ටර්වල් එකට ඉතා අපිරිසිදු කඩයකට පිටුපසින් රිංගා, කඩයේ කුස්සියේ හිටගෙනම, ප්ලාස්ටික් පිගානේ දමාගෙන පරිප්පු, මිරිස් හොඳි සමඟ පොල් සම්බෝල කන විට අම්මා කීවේ ඇත්තක් බව සෑමාට වැටහුණේය. එය සත්‍ය බව දැන සිටි අපේ උන් එම කුස්සියේ සිටම දෙසා බෑහ. ඉන්ටර්වල් එකට ලැබෙන කාලය අඩු නිසාත්, ගෙදර එන්නට බස් එකට සල්ලි වුවමනා නිසාත් පාන් බාගයකට සීමා වීමට අපට සිදු වූයේය.

පාන් අරුම පුදුම කෑමක් ලෙස සෑමා දැන ගත්තේ මෑත භාගයේ සිදුවූ සිද්ධියක් නිසාය. ලකස් සබන් කැටයේ මැද සඟවා රන් කාසි එවූ කාලයක් තිබුණේය. සබන් කෑල්ල අතුල්ලං යන විට එක පාරට රන් කාසිය මතු වන්නේය. එහෙම කාසි ලැබුනු එකෙක්වත් අහලා, දැකලාවත් නොතිබුණත් අපි ඒ කාලේ සබන් ගෑවේ පරිස්සමටය. රන් කාසියකට වුණත් ඇඟපත තුවාල කරගත නොහැකි නිසාය. එලෙසම පාන් අස්සේද තෑගි සඟවා එවූ කාලයක් තිබුණේය. එහෙම එකක් සැට් වූවේ අපේ ගමේ අංකල් කෙනෙක්ටය. ඒ රෝයල් බේකරියෙන්ය. එය සොයාගත් අංකල් තෑගිත් එක්කම හිරු නිවුස් වල සිටියේ මහත් ආඩම්බරයෙන්ය. රෝයල් යනු අපි ජුන්ඩි කාලයේ ඉදන් නම ගිය එකක්ය. තිබුණේ සහ තාම තියෙන්නේ ගෝනවලය. අපේ පැත්තේ උන්ගෙන් ඉස්කෝලෙ කොයිද බං ඇහුවාම “රෝයල්“ කියන උන් කට අරින්නේ ටිකක් බයෙන්ය. එහෙම කිව් එකෙක්ගෙන් නැවත අහන්නේ “ආහ්.. ගෝනවල රෝයල්ද?“ කියාය. ඒනිසා මේ පැත්තේ උන් ඉස්කෝලෙ රෝයල් කියන්නට මැලි වන්නෝය. කෙසේ හෝ අර කී වාසනාවන්ත අංකල්ට පාන් ගෙඩිය මැද තිබී තෑග්ගක් හම්බුණේය. පොර එය දුටු සැනින් කතා කර ඇත්තේ ගමේ PHI ටය. පොරත් සිද්ධියට මැදිහත්ව, පාන්ගෙඩිය මැද තිබූ රෝයල් එකේ පිත්තල යතුර සමඟ නිවුස් වලට පෙනී සිටියේ මහත් ආඩම්බරයෙන්ය. එහෙ තෑගි ලැබෙන්නත් පිං කළ යුතුය. අපට එහෙව් පිනක් නැත්තේය. එක පාරක් යකඩ ඇණයක් පමණක් තෑගි ලෙස ලැබුණා මතකය. එය සැනසිලි ත්‍යාගයක් නිසාම රූපවාහිණියේ පෙනී නොසිට අප කඩේ එකා හමුවී අම්මා මුත්තා පමණක් මතක් කොට ප්‍රීතිය බෙදා හදා ගත්තේය.

සෑමාට පාන් ගැන ලියන්නට හිතුනේ ඊයේ හවස පාන්, බනිස් හන්දියට ගිය නිසාය. සෑමාගේ හන්දියේ බේක් හවුස් නම් 5ක්ම ඇත්තේය. අඩියෙන් අඩියට ඇති බේක් හවුස් වලින් කුමකට යනවා දැයි ගෙදරදීම සිතාගෙන එළියට බැසිය යුත්තේය. නැත්තං අතරමංය. එහෙම හිතාගත් බේක් හවුස් එකකට ගොඩව සෑමා බනිස් ගෙඩි සැට් එකක්ද, රෝස් පාන් තුනක්ද ඉල්ලා සිටියේය. කඩේ එකා බඩු සැට් එක ෂෝ කේස් එක මත තැබුවේය. සෑමා මුදල් දී ෂෝ කේස් එක මත තිබු බැග් දෙකම අතට ගෙන එන්නට හැරුණේය. පැත්තක ප්ලේන්ටියක් ගසමින් සිටියේ යසපාල අංකල්ය. පොර කකුල් දෙක පද්දමින් ආතල් එකේ ප්ලේන්ටිය තොල ගාන්නේය. අංකල්ගේ ආතල් නොකඩා, අංකල්ට අමතා සැලුට් එකක් ගසා සෑමා එලියට පැන්නේය. ගෙදර විත් බෑග් දෙක චැක් කරද්දී බනිස් සහ රෝස් පාන් හතරක් සහිත එක මල්ලකුත්, තවත් මල්ලක තවත් රෝස් පාන් හතරක්ය. සෑමාගේ පපුව හෝස් ගා ගියේය. අහෝ මෙහෙව් හොරකමක් ලොවෙත් කිරීම මහා පාපයක්ය. පාන් යනු ජාතික වස්තුවක්ය. වහාම පාන් බෑග් එක ගෙන සෑමා කඩේට දිව්වේය. 

යසේ තාමත් ප්ලේන්ටියේ ආතල් එකෙන්ය. කඩේ එකා බිස්නොස් එකේය. සෑමා හිතුවේ කඩේ පත්තු වෙලා ඇති කියාය. කාටත් ගානක් නැත්තේය. පාන් එකේ හිමිකරු හෝ සද්දයක් දමන්නට කාලය ඇතිය. කඩේ එකාට බෑග් එක දුන් විට ඌ හොල්මන්ය. ගාණක් නැතිය. සෑමාගේ මූණ දිහා බලාගෙනම හිටියේය. “ඔයා කාට හිරි දීපු බෑග් එකක්, දාල ගිහින් වෙන්න ඇති.“ සෑමා පහදා දුන්නේය. “කමක් නැහැ මල්ලී, ඔතනින් තියල යන්න..“ කඩේ එකා කිව්වේය. යසේ පැත්තට හැරුණු සෑමා යසේට ස්ටෝරිය කිව්වේය. පොරටත් හිනාය. හිනාව අවසන් ටියුබ් ලයිට් එකක් මෙන් “ආ.. මගේ බෑග් එකත් ඔතනම තිබ්බා..“ කියා සොයන්නට වූයේය. සැමා උස්සන් ගොස් තිබ්බේ යසේගේ පාන් මල්ලය. පොරට ආතල් ඩබල් වූයේ තමන්ගේ බෑග් එක ලොකු ටුවර් එකක් ගොස් ආ නිසාය. ප්ලේන්ටි ආතල් එක පැත්තකින් තබා පුටුවෙන් නැඟිට යසේ පාන් මල්ල බදා ගත්තේ නිධානයක් ලැබුණා සේය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:50am_21/06/2015

Tuesday, June 16, 2015

මිතුරාගේ කන්ටැක්ට් ලිස්ට් එක චෙක් කරන්න.. - Check Your Friend's Contact List !!!


හෑන්ඩ් ෆෝන් නැති කාලයේ හැම එකාගේම සාක්කුවේ ටෙලිෆෝන් ඩිරෙක්ටරියක් තිබ්බේය. ඩිරෙක්ටරිය කිව්වේ ටෙලිකොම් එකෙන් ගෙදරට එවූ පතරංග පොත නෙවේය. අපි එකිනෙකා අත තිබූ ජුංඩං නෝට් පෑඩ් එකය. එහි සටහන් කළේ එක එකාගේ ටෙලිෆෝන් නම්බර්ය. ඉන් බහුතරයක්ම වූයේ ලෑන්ඩ් ෆෝන් නම්බර්ය. මන්ද ඒ කාලේ හෑන්ඩ් ෆෝන් භාවිතය එතරම් නොවු නිසාය. ඒ පොතේ තිබූ බොහොමයක් නම්බර් නිරායාසයෙන් කටපාඩම්ද වූයේ නිතර භාවිත වෙන සුළු නම්බර් ප්‍රමාණයක් තිබු නිසාය. එහෙත් දැන් එහෙම නැතිය. දැන් ෆෝන් එකේ කන්ටැක්ට් ලිස්ට් එකේ නම්බර් 500කට වඩා එහා පැත්තේ ඇත්තේය. ඉන් සුළුතරයක් නම්බර් පමණක් මතකය. එහෙත් බොහෝ විට නිතරම කෝල් ගන්නා එවුන්ගේ වත් නම්බර් මතක නොහිටින්නේය. හේතුව නම්බරය සේව් වී ඇත්තේ පුද්ගල නාමයෙන් නිසාය. කාගේ හෝ ෆෝන් කටුවක් නැතිවුණ හැටියේ බොහොමයක් උන් නහයෙන් අඩන්නේ ෆෝන් එකේ වටිනාකම කියමින් නෙවේය. “ෆෝන් එක නම් අවුලක් නැහැ බොලව්, ඒකෙ තිබ්බ කන්ටැක්ට්ස් ටික තමා වටින්නේ“ යැයි බොහොමයක් උන් කෙඳිරි ගාන්නේ ඒ නිසාය. සිද්ධිය නම් ඇත්තය. බොහොමයක් නම්බර් ෆොන් බුක් එකක නොලියන නිසාත්, ස්මාර්ට් ෆෝන් එකෙන් ගූගල් එකට හෝ බැකප් නොකරන නිසාත් ඔය ගැටළුවට මුහුණ දෙන්නෝ බහුලය.

ඒ දවස්වල ගමට කියා ලෑන්ඩ් ෆෝන්ද තිබුණේ ස්වල්පයක්ය. ඒ අතර සෑමාගේ මහප්පලෑ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකද වූයේය. එය අපටද මහ මෙරක් වූයේය. ගමේම එවුන්ට කෝල් එන්නේද ඒ නම්බරයටය. ඒ නිසා නොම්මරය නම් තාම කට පාඩම්ය. අවට උන්ට හදිසි පණිවිඩ ලැබෙන්නේ ඒ නම්බරයටය. අහවල් වෙලාවට මම කතා කරනවා යැයි කියන උන්, කතා කරන තුරු අසල්වාසීන් මහප්පලෑ ගෙදරට වී කල් මරන්නේ අහවල් වෙලාවට එන කෝල් එකට ආන්සර් කිරීමටය. බොහොමයක් දෙනා එන කෝල් එක ආන්සර් කොට ක්ෂණිකව කතා බහ අහවර කොට, ස්වල්ප මුදලක් ෆෝන් ස්ටෑන්ඩ් එක උඩ තබා යන්නේ භක්තියෙන්ය. විටක එය බලහත්කාරයෙන් ඔවුන්ගේ ඇගේ ගසන්නට වන්නේය. මහප්පා රජයේ ඉහළ නිලධාරියෙක් වූ නිසා ෆෝන් එකක් ලැබුණා සේම, එහි මුදල් ගෙවීමද කළේ රජයෙනි. එම සංකල්පය ඉදිරියට ගෙන ගිය මහප්පෑ පොඩි පුත්‍රයා කමියුනිකේෂන් ක්ෂේත්‍රයෙන් ගමේ තැනකට පැමිණ ඇත්තේය. ඔහු නැවතුනේ මහප්පාගේ ලෑන්ඩ් නම්බර් එකට ෂොට් එක දීමෙන් බව මහප්පා තාමත් කියන්නේය.

උක්ත නම්බර් එකට සෑමාටද කෝල් කිහිපයක් ආවේ පාසලේ 4, 5, සහ 6 වසර වලදීය. ඒ ටෙලිෆෝන් ව්‍යාප්තිය වැඩිවන කාලයේය. නම්බර් කිහිපයක් සෑමාට තාමත් මතකය. සෑමාට කතා කළේ සුළු පිරිසක් වූ නිසාම ඒවා තාමත් කටපාඩම් වීම සාධාරණය. ඒ එන කෝල් එකද හොරෙන් මෙන් කතා බහ කර ඉක්මනින් තියන්නේ කෝල් එකක් ඒම මහා භයානක දෙයක් ලෙස දැනුනු නිසාය. එලෙසම ගෙදර උන්ද කන දාගෙන සිටින්නේ මූ මොනාද කතා කරන්නේ කියා විය හැකි නිසාය.

කාලය ගත වෙද්දී සෑමාගේ ගෙදරටද ලෑන්ඩ් ෆෝන් එකක් ආවේය. එයද ටැලිකොම්ය. ඒ කාලේ ඉන්ටර්නෙට් යනු හරිම පුදුම දෙයක්ය. පට්ට ස්පීඩ්ය. ලොග් වූයේ ඩයල් අප් මොඩම් එකෙන්ය. ස්පීඩ් එක මතක හැටියට 56 kbit/s ය. මගෙ අප්පේ දන්නා වැදගත් සයිට් එකකට තිබුනේ නාසා එකේ සයිට් එකය. ඒ අස්සේ කමියුනිකේෂන් එකේ බුද්ධික අයියා නෙට් ටු ෆෝන් ගැජට් එකක් ගසාගෙන IDD කෝල් ලාභෙට ගත්තේ මේ කාලයේය. සෑමාගේ ගෙදර නම් ඉන්ටර්නෙට් සුම්මා වූයේය. ඒ අම්මාගේ විමසිලිමත් නෙත් නිසාය. ඒ අතර අම්මා ෆෝන් බුක් එකක් මේන්ටේන් කළාය. මගේ අප්පේ අගක් මුලක් නැතිව හිත් තැන් පිරවෙන්න තැනින් තැන ලියූ ෆෝන් නමබර්ස් සෙවීම අපට නම් කළ නොහැකි දෙයක් වුණේය. එහෙත් අම්මා ක්ෂණිකව තමා ලියූ නම්බර්ස් සෙව්වාය. ඇල්ෆබර්ට් එකේ පිළිවෙලට වත් නොතිබූ කාගේ හෝ ඕනෑම නම්බර් එකක් තප්පර කිහිපයකින් සෙවීම කළ හැකි වූයේ අම්මාට පමණක්ය. තත්වය එසේ වූ නිසා සෑමා සහ සෑමාගේ අක්කා එම ටෙලිෆෝන් බුක් එක පිළිවෙලක් කිරීමට කතිකා කර ගත්තෝය. ඒ අනුව ආකරාදී පිළිවෙලට නම්බර් වෙන වෙනම තවත් ඩයරියක් ලියන්නට වූවෝය. එහි පිළිවෙලකට ලියා තැබුවද අම්මා නිතර භාවිත කළේ පරණ, අපිට අපිළිවෙල වූ, ඇයට පිළිවෙල වූ, ෆෝන් බුක් එකය. පසු කාලීනව සෑමාත් අක්කාත්, එම ඩයරිය ඉල්ලා අස්කර ගත්තොත්ය.

අතීතය එසේ අමතක වී යමින් තිබියදී සෑමා මෑත දිනයකදී අම්මාගේ ෆෝන් ලිස්ට් එක දිග හැර බැලුවේය. ඒ සුපුරුදු පරිදි කලින් කී අපිළිවෙල ඩයරියමය. එහි ලියැවී තිබූ පුද්ගල නාම දුටු සෑමාට හිනා ගියේ අප්‍රමාණවය.




පලවෙනි ෆොටෝවේ පරිදි ලේනා නම් ගමේ එකෙක්ය. ඌ කරන්නේ කුලී වැඩය. උගෙ හැඩය ලේනා වාගේය. පුංචිය. පිටේ ඉරිතුන වෙනුවට ඇත්තේ ලේනෙක් වැනි කොණ්ඩයක් සහ දත් ටිකය. දෙවෙනි ෆොටෝ එකේ පරිදි කම්බි ඩයස් නම් ඩයස් අංකල්ය. කරන්නේ යකඩ වැඩය. වැල්ඩින් වැඩය. සාරි නොපිට ලෙස ඇත්තේ කඩේට එන ඇන්ටි කෙනෙක්ය. ඇය සාරිය අදින්නේ නොපිටට බව අම්මා කියා ඇත්තේය. ඒ නිසා ඒ නම දමා ඇත්තේ සෑමාගේ අම්මාය.


ඒ කන්ටැක්ට් ලිස්ට් එක දුටු විට “යකෝ අපේ නම්බර්, අපේ උන් කෝම සේව් කරන් ඉන්නවාද මන්දා“ යැයි කිහිප වරක් සිතුණේය. කාරණාව සත්‍යය. යමෙක් තවකෙකුගේ නම්බර් එකක් ෆෝන් එකෙ කන්ටැක්ට්ස් වලට යොදා ගන්නේ තමන්ට පහසු විදිහටය. එකම නමින් පුද්ගලයන් දෙදෙනෙකු සේව් කරනා විටද එම තත්වය බලපාන්නේය. ඒ නිසාම ඔබේ මිතුරාගේ ෆෝන් එක අතට ගෙන, ඔබේ නම කුමන ආකාරයෙන් සේව් වී ඇත්දැයි බැලීම වටින්නේය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:15am_16/06/15

Friday, June 12, 2015

මාරු සල්ලි... - Changed Money !!


මාරු සල්ලි යනු කෙටි කතාවක් නොවේය. බ්ලෙග් කතාවක්ය. මාරු සල්ලි හමුවේ සෑමා දුටු කතාවක්ය. එය හුදෙක් පුද්ගලයන්ගේ පරාර්ථය හෙළි කරන්නක් බව සෑමා සිතුනේ කාසි, නෝට්ටු හෝ මුදල් සමඟ මෙතුවක් ජීවත් වීමෙන්ය. ඉස්සර මාරු සල්ලි වලට නියම ඩිමාන්ඩ් එකක් තිබුණේය. ඒ පාසල් යන කාලයේ කිව්වොත් නිවැරදිය. කැන්ටිමෙන් ලැබෙන ඉතුරු සල්ලි හෙවත් කාසි, පසු දිනට හෝ එදිනටම යලි ආයෝජනයක්ය. එලෙසම බස් එකේ යද්දී නම් මාරම වටින්නේය. ඒ නම් හැමදාම අපව රවටන කොන්දාව අපට රැවටිය හැක්කේ අතේ මාරු සල්ලි තිබුණොත් පමණක් නිසාය. තවත් අතකින් මාරු කාසි යනු පාසල් සමයේ කලෙක්ෂන් හෙවත් “ලොන්තේ“ දමන උන්ට නම් සහන මල්ලක්ය. හැමදාම ලැබෙන කප්පම් මුදල මාරු සල්ලි වලින් එකතු වුවද විශාල මුදලක් වන්නේය. එලෙසම කප්පමට ලක්වන්නෝද මාරු කාසි දීමෙන් තම පොකැට්ටුව බේරා ගත්තේ නෝට්ටු වලින් වෙන්නට යන විනාශය කාසි කිහිපයක් කප්පම්කරු අතට දීමෙන්ය. ඒ කෙසේ වෙතත් පාසලේදී, පන්තියේදී නම් සාක්කුවේ තිබෙන කාසි දෙකතුනක් හෝ බිම වැටී “සල බලාං“ සද්දය ආවොත් වටේ ඉන්න උන් කෑ ගහන්නේ “අඩෝ.. අන්න අරූගේ කැටේ කැඩුනා“ කියාය. එහි ඇති විලි ලැජ්ජාව නම් අපේ උන් “කැටේ“ කිව්වේ “ගුද මාර්ගය ආදායම් මාර්ගය“ කරගත් විටය.

මාරු සල්ලියේ දේශපාලනය නම් මෙසේය. විටක පුද්ගලයාගේ ආත්මාර්ථය, පරාර්ථය, හෝ කම්මැලි කම විදහා දැක්වෙන්නේ මාරු සල්ලි වලින්ය. බොහෝ විට මාරු කාසි වලින්ය. එහා පැත්තේ සැලුන් එකට එන කොණ්ඩය දන් දෙන්නෝ දහසේ මුදල් නෝට්ටුවක් අතේ තබාගෙන “හොට් සීට්“ එකේ වාඩි වන්නෝය. හොට් සීට් එක කිව්වේ සැලුන් එකේ කොණ්ඩය කපන සීට් එකටය. සෑමාට නම් ඒක හොට්ය. සැලුන් එකේ එකා කොණ්ඩය වැරදියට කැපුවොත් කැපුවාමය. මොන අටමගලය වුණත් මුදල් දී එන්නට වන්නේය. කෙසේ හෝ එහා පැත්තේ සැලුන් එකේ කස්ටර්මර්ස්ලා මාරු සල්ලි අතේ නැතුව, හිතුමතාම, කලින් නොදන්වාම, හොට් සීට් එකේ හිඳ ගන්නෝය. ඉනපසු කොණ්ඩය කැපුවාට පසු රුපියල් දාහේ නෝට්ටුව දික් කරන්නෝය. අසරණ වන්නේ සැලුන් එකේ එකාය. ඉන්පසු මාරු සල්ලි හොයමින් ඌ දිව එන්නේ සෑමාගේ කඩයටය. කොණ්ඩය කපන්නට ආ එකාගේ ආත්මාර්ථකාමීත්වය, කම්මැලිකම නිසා දුක් විදින්නේ වටේ ඉන්න උන්ය. බැරිම තැන සෑමාගේ අම්මා පෝස්ටර් එකක් ඇන්දේය. “කරුණාකර මාරු සල්ලි රැගෙන එන්න“ පෝස්ටරය සැලුන් එකේද, එහා පැත්තේ ඉඳිආප්ප කඩේද ගැසුවේ සෑමාගේ අම්මාය. ඒත් කරදරය එසේමය. කොණ්ඩය කැපුවාට පස්සේ මෙන්ම, ඉඳිආප්ප කෑමෙන් පසුද දිගු කරන්නේ රුපියල් දහසේ කොළයක්ය. සදාතනික දුක අපටය. 

ඉතිරි කාසි වෙනුවට ටොෆි ලැබෙන, බුලත් විට ලැබෙන සිද්ධීන් අවම කර ගත හැක්කේ තමන්ටමය. ඒ මාරු සල්ලි, මාරු කාසි අතේ තබා ගැනීමෙන්ය. විටක මුදලාලි ඉතුරු සල්ලි දෙද්දී පාරිභෝගිකයාගෙන් අහන්නේ මාරු තියෙනවාද කියාය. එවිට පර්ස් එක, පොකැට්ටුව විහිළුවටවත් අතගා නොබලන පාරිභෝගිකයා මාරු කාසි නැහැ කියන්නේය. එවිට මුදලාලි කඩේ තිබෙනා එක්ස්පයර් මට්ටමේ ඒවා ඔතා එවන්නේ ඉතුරු සල්ලි ලෙසය. දිනක් කඩේකට පැමිණි ඩෑල් එකක් මොන මොනවාදෝ බඩු ටිකක් ගත්තේය. ඒ අතර තමා අත තිබූ කාසි කිහිපයකින් කඩේ ලෑල්ලකට තට්ටු කරමින් සිටියේය. මුදලාලි බඩු කිරන කල්ම, ඔහු ලෑල්ලට තට්ටු කළේය. මුදලාලි ඩෑල් එක ඉතුරු දෙන්නට මාරු “කාසි තියෙනවද මහත්තයා ?“ කියා අසද්දී කඩේට ආපු ඩෑල් එක කට පුරා කීවේ “අනේ නැහැ“ මුදලාලි කියාය. ඒ උපන්ගෙයි ආත්මාර්ථකාමීත්වයය. මුදලාලියා රකුසු බැල්මට් එකෙන් පාරිභෝගිකයා දෙස දෙනෙත් හෙලා, “ඔය අතේ තියෙන කාසි ටික හරි දෙන්න මහත්තයා“ කීවේ කිංඩියටය. අරූට රෙදි නැතිය. පොර සමාජය මැද්දේ එළියට දැම්මේ තම ආත්මාර්ථයය. 

මාරු සල්ලියෙන් පුද්ගලයන් මැනිය හැකි බව කියන්නේ සෑමාය. සෑමාගේ පඩිටෝක්ස් පැත්තකින් තබා පුදගලයන් තමන් ගැනම හිතනා අය නම් මාරු සල්ලි නිවැරදිව පරිභෝජනය කළ යුතුය. රුපියල් පහේ කාසි කිහිපයක් පර්ස් එකේ දමාගෙන සතියක් දෙකක් ගත කළ විට පර්ස් එකට වෙන හානිය වැඩිය. පර්ස් වලට වැඩිය දැන් භාවිත වන්නේ වොලට්ය. එහි නම් කාසි දමන්නටම බැරිය. කෙසේ හෝ රැගෙන යාමේ අපහසුව, පර්ස් එකේ දැමීමේ අපහසුව, දන්නා උන් නම්, මාරු කාසි නිවැරදිව භාවිත කොට ඉතුරු සල්ලි ලෙස නෝට්ටු ලබා ගැනීමට උත්සුක විය යුතුය. රුපියල් හැත්තෑ පහේ භාණ්ඩයට රුපියල් සියයක් මුදලාලීට ලබා දී, රුපියල් 25ක් ඉතුරු සල්ලි ලබා ගැනීම සාමාන්‍ය ඩීල් එකය. ඒත් සෑමාට ආතල් වෙනස් විදියකටය. එනම් රුපියල් 105ක් මුදලාලියාට ලබා දී රුපියල් 30ක නෝට්ටු ලබා ගැනීමය. එහෙම කරන්නට ගොස් කෙළවුණ අවස්ථාද නැතුව නොවේය. එවන් අවස්ථාවක මුදලාලියා රුපියල් 20ක නෝට්ටුවක් සහ 10 කාසියක් දුන් විට මුදලාලියාගේ මෑණියන් සිහිවන්නේය. එහෙත් අප නොසැලී මාරු කාසි / සල්ලි නිවැරදිව භාවිත කළ යුතුය.

පලි - කාසි ගැන කියද්දී, සෑමාට මතක් වුණේ අපේ කාසියාගේ කතාවය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:10am_12/06/15

පපලි - වෙන උන් අම්මාගේ උපන්දිනය දා ලියන්නේ මව් ගුණ පෝස්ට්ය. එසේ නොලියා මාරු සල්ලි ගැන ලිව්වාට සොරිය. දරුවෙක් හදන්නට මව්වරු, පියවරු විදිනා දුක දැනුනු පුතෙකු, අමුතුවෙන් විශේෂ දිනයක මව් ගුණ ලිවිය යුතු නැති බව සිතුනේය.

Tuesday, June 2, 2015

සිරවීම් විතරයි.. !!




දස මසක් පුරා දුක් විඳ
හිටියා උදරය පිරිමැද
සැපයයි කියා දරු ගැබ
සිටියා සිරවී කුටියක

උපතින් මතුද දවසක
ඔතලා රෙද්ද සරුවට
හතරයි දෙකේ කොටුවක
සිරවුණා පොඩි තොටිල්ලක

 අම්මා පියා මඟ හැර
ඔෆීස් ගිය මොහොතක
බලා ගන්න එකෙක් නැති කොට
සිරවුණා “ඩේ කෙයාර්“ එකක

නොනවතී එතැන මතුවට
අ‘ යනු ආ“ යනු කියනට
ලොවක් මතු ජය ගන්නට
සිරව සිටියා “නර්සරියක“

අ‘යන්නෙන් ලොව දිනුමට
බැරි බව කියන දවසක
පහලොස් වසක් තුරාවට
සිරව සිටියා ඉස්කෝලෙක

ජය ගත් එවුන් පාසල
දිව්වා යුනිවර්සිටියට
සිරව සිටියා වසර පහකට
අතර තුර මහ ස්ට්‍රයික් මැද

යුනිවර් සිටි ගිය උන්
යුනිවර් සිටි නොගිය ඩෑල්
සෙට් වී එක තැනක ෆන්
සිරවුණා මතු ජොබ් එකක ඩල්

සොයා ගෙන සහකාරයක් පෙම්
බදාගෙන සහකාරියක් පෙම්
නැගී කැටයම් පෝරුවක බං
සදා කාලික සිරවුණා ලව්

රාහුලයෙක් ඉපදුණා
බන්ධනයක් ඇති වුණා
සිදුහත් මුව කියවුණා
එලෙසම සිත් සිර වුණා

දරු සුරතල් බලමිනා
එකා දෙන්නා වැඩි වුණා
සරලව තිබු ජීවිතේ
සදහකටම සිරවුණා

හැර යන්නට ජීවිතේ
නිසි කාලය එලැබුණා
නෑ නොනෑ කදුළු මැදින්
මිනි පෙට්ටියෙ සිරවුණා

පෙට්ටිය මැද අසුරලා
සුවඳට “සෙන්ට්“ තවරලා
මල් වටේට අහුරලා
වලක් කපලා සිරකළා


Written_by_sAm_ශ්‍රී_Perera
8:02am_02/06/15



පොසොන් කාලපයේ පෙර ලිපි..




 

Saturday, May 9, 2015

නියම වේලාව... - සෑම්ගේ වෙසක් කලාපය !!


ඔබ නියම වේලාව, සුභ මොහොත සහ නැකත ගැන විශ්වාස කරන්නෙක්ද? එසේ නම් කියවිය යුතුය.

සෑමාගේ නිවස ඉදිරියේ ඇත්තේ මැයි ගසක්ය. ගස නම් මැයි වූවාට මැයි මල් ගසක් වූයේ මෑතකදීය. එනම් අප්‍රේල් මාසයේ සිටය. ගස උස් මහත් වූ දා සිට කිසිම මලක් හට නොගත්තේය. මලක් තියා පොහොට්ටුවක් වත් නොතිබුණ බව සැබෑය. තත්වය එසේ තිබියදී ගිය මාසයේ මල් හට ගත්තේය. එයද අසාමාන්‍ය ලෙසකින්ය. ගස පිරෙන්නට අතු පිරෙන්නට මැයි මල්ය. අපූරුය. දකිනා සියළු දෙනා කීවේ එය සුභ ලකුණක් බවය. ඩ්‍රැකියාට පිදූ මල් ගහේ මල් ආ දවසේද හැම එකාම කීවේ එලෙසය. නමුත් මේ මැයි ගහේ මල් හට ගැනීම විශේෂ කොට සෑමාගේ අම්මා දැක්වූයේ ලැබෙන්නට සිටිනා දරුවා පිළිබදව සුභ ලකුණක් බවය. පෙර නිමිත්ත සුභ නිසා බැහැර නොකොට සිතේ තබා ගැනීම හොඳය. පෙර නිමිත්තක් නුගුණ මට්ටමේ නම් එවැනි පෙර නිමිති බැහැර කිරීම හොඳය. ඊටත් වඩා පෙර නිමිති ගැන විශේෂ අවධානයක් නොදැක්වීම හොඳය. සිතට සතුටුය. මධ්‍යස්ථය.

කුඹලාගේ කතාව එන්නේ ඊලඟටය. තඩි කුඹලෙක් සෑමාගේ නිවස ආක්‍රමණය කළේය. උළුවහු අස්සේ ගෙවල් සැදුවේය. දොර ජනෙල් අස්සේද ගෙවල් සැදුවේය. ඉන් නොනැවතී සාලය මැද ඇති වීදුරු ස්ටූල් එකේද ගෙවල් සැදුවේය. “බබාලා හම්බෙන්න ඉද්දී එහෙමයි“ හැමෝම කීවෝය. සෑමා ඒ කතාව අසා සිට දිනක් තම මිතුරෙකුගේ නිවසට ගියේය. අම්මද බොල සාලයේ කොනක තඩි කුඹල් ගෙයක්ය. මිත්‍රයාට සොයුරියන්ද නැතිය. ගෙදර සිටින්නේ මිතුරා සහ දෙමාපියන් පමණක්ය. එය දුටු විටම සෑමා ඇහුවේ කෝ බං උඹලෑ අම්මා කියාය. ඌ ගත් කටටම කිව්වේ අම්මා මචං හොස්පිට්ල් ඇඩ්මිට් කරලා කියලාය. මඟුලක්ය. මිත්‍රයාට වයස විසි අටකට කිට්ටු වෙද්දී මල්ලියෙක් නංගියෙක් ගෙදරට එන්න හදනවා විය හැකිය. කරන්නට දෙයක් නැතිය. අවශ්‍යතාවය ඇති තැන ක්‍රියාත්මක වී ඇති ගතියක් පෙනෙන්නේය. බැරිම තැන සෑමා තම මුව විවර කළේය. “මචං කාසල්ද? සොයිසාද? “ ඇස් උඩ ගිය මිත්‍රයා සෑමාට ජාතිය ඇමතුවේය. “බොට පිස්සද යකෝ.. අම්මට ප්‍රෙෂර් වැඩි වෙලා ඇඩ්මිට් කළේ..“ එහෙනම් කුඹලා වැරැද්දක් කරලාය. අපේ ගෙදර කුඹල් ගෙවල් කඩන්නට නොදී තබා ගත යුතුය. අහවල් එකක් නිසා නොව උන් පව් නිසාය. ටික දිනකින් උන් ගෙවල් හැර ගියාම කඩන එක වෙනම වැඩක්ය. අම්මා නම් කිව්වේ කුඹල් ගෙවල් සුදු පාටට පේන්ට් කළොත් කොල්ලෙක්, වෙන පාටක් ගෑවොත් කෙල්ලෙක් හම්බෙනවා කියාය. හැබැයි කිව්වත් වගේ එක කුඹල් ගෙදරක් සුදුපාට ගාලා තිබුණේය. හම්බුනේ කොල්ලෙක්ය. කුඹලාගේ ගෙදරින්ද සුභ අසුභ සහ අනාවැකි කිව හැකි බව වැටහුණේ එදාය.

සෑමාගේ වත්තේ ගසක මී වදයක් තිබුණේය. එය අලුතෙන් හදපු එකක්ය. එය දුටු බොහෝ අය කිව්වේ එය සුභ ලකුණක් කියාය. එසේම කිසිම කරදරයක් නොකොට තබා ගත යුතු යැයි කීවෝය. දින කිහිපයකින් මී වදය මිසින්ය. මී වදය තියා මී මැස්සෙක්වත් එතැන නොසිටියේය. අහෝ අසුභ විය හැකිය. තිබ්බා නම් සුභ නම් නැති නම් අසුභ නොවන්නේද? සෑමා හැමෝගෙන්ම ඇසුවේය. අම්මාගෙන් කුණු හබ්බ නොඇසූ ටික පමණක්ය. අනෙක් සියළු වදන් අසා ගත්තේය. මී වදය අමතකව ගියේය. බබා හම්බුණේය. ගෙදරට විත් පහුවදා බලන විට ඒ ගහේ ඒ අත්තේම මී වදයක්ය. කලින් සැට් එකමද නොදන්නේය. ඒත් මී වදයක්ය. අම්මාගේ හිත හදන්නට සෑමා එය පෙන්නුවේය. සුභ අසුභ කතන්දර සෑමාට වැඩක් නැත්තේය. අම්මාගේ හිත හදන්නට පෙන්නුවේය. දැන් සතුටින්ය. බබා ගෙදර ආවාට වැඩිය මී වදය රීප්ලේස් වී ඇති නිසාය. අනාවැකි, පලාඵල වලින් ලැබෙන ආතල් එක එයය. නරක දේවල් නම් අමතක කොට, හොඳ දේවල් නම් පොසිටිව් වී සිටීම තරම් දෙයක් ලොවෙත් නැත්තේය. 

හොස්පිට්ල් එකෙන් නික්ම ගෙදර එන්නට හදන මොහොතේ සිස්ටර් කෙනෙක් සෑමාගෙන් ඇසුවේ දැන් බබාට නමක් දැම්මාද කියාය. මල් මඟුලක්ය. වෙලාව බැලිය යුතුය. අකුරු තේරිය යුතුය. කාටවත් නැති නමක් ගැලපිය යුතුය. සම්ප්‍රදාය එයය. නැත්තම් නඩුවක්ය. “ඩිස්චාර්ජ් කරද්දිත් නම් දාගෙන ගෙදර යන අය ඉන්නවද?“ සෑමා සිස්ටර් ඇමතුවේය. “මොකද නැත්තේ ??“ සිස්ටර් පිළිවදන් දුන්නාය. කස්ටිය හොස්පිට්ල් එන්නේ වෙලාවටය. හම්බෙන වෙලාවද දන්නෝය. සීසර් කරන්නට බඩ කපන්නේ සුභ පැත්ත බලාගෙනය. එළියට ගන්නේ නැකතටය. දරුවාගේ වෙලාව කේන්දරය හැදෙන්නේ සුභ විදියටය. සුභ අකුරුද දන්නෝය. එවිට නම හදාගෙනම ඇඩ්මිට් විය හැකිය. සැප නම් කනේය. හොස්පිට්ල් සීසර් පැකේජය සමඟ නම් නොමිලේ දුන්නා නම් වටින්නේය. ඩොක්ටර් සෑමාගෙන් ඇසුවේ සීසර්ද ? නෝමල්ද? කියාය. “අනේ ඩොක්ටර් සූර පප්පා කාටුන් එකේ සීසර් චාටර් වෙන හැටි දැක්කම බබාව සීසර් කරල ගන්න හිතෙන්නෑ, අපි හම්බෙන වෙලාවට නෝමල් ගමු..“ සෑමා කීවේ එපමණක්ය. ඩොකටර් අංකල් සෑමාට ධම්ම පදයේ ගාථාවක් සහිත කාඩ්පතක් අතට දුන්නේය. “සීසර් කරනවා නම් මටත් ලාබයි. ලේසියි. අනික චාර්ජස් වැඩියි. ඒත් මමත් කැමති නෝමල් ගන්නවාට.“ ඩොක්ටර් කීවේය. ඩොක්ටර් දුන් කාඩ්පතේ තිබුනේ මේ ගාථාවය.

නක්‌ඛත්‌තං පටිමානෙන්‌තං, අත්‌ථො බාලං උපච්‌චගා;
අත්‌ථො අත්‌ථස්‌ස නක්‌ඛත්‌තං, කිං කරිස්‌සන්‌ති තාරකාති.


නැකැත් බලා උපරිමයෙන් කෙළවාගත් නායකයන් සිටින්නෝය. අපද කෙලවා ගත යුතු නැත්තේය. කිසිවක් කරන්නට නියම වේලාව එම මොහොත යැයි බුද්ධ දේශනාවය. එහෙත් සම්ප්‍රදායට අනුව අපේ උන් හිත හදාගන්නේ වැඩක් කරන්නට නැකැත් බැලීමෙන්ය. කතාව ඇත්තය. අප මෙන්ම ජෝතිෂ්‍යකරුවෝද කීයක් හෝ හොයා ගත යුතුය. ජීවත් විය යුත්තේය. සෑමා කියන්නේ යමක් කරන්නට නැකැත් බලා ප්‍රමාද වෙනවාට වැඩිය අප්‍රමාදව, හරි දේ හරි තැනදී කළ යුතු බවක්ය.

මා පමාද’මනුයුඤ්ජේථ – මා කාමරතිසන්ථවං
අප්පමත්තෝ හි ඣායන්තෝ – පප්පෝති විපුලං සුඛං

නැකැත් පස්සෙ දුවන බාල ජනයා ප‍්‍රමාද වෙන විදිහට, ප‍්‍රමාදයේ ඇලී ගැලී වසන්ට එපා. ඔය කාම සැපයට ඇලෙන්න එපා. කාමයත් එක්ක එකතුවෙන්ටත් එපා. අප‍්‍රමාදීව බණ භාවනා කරගත්තොත් මහා සැපයකට පත්වෙන්ට පුළුවනි.

-ජේතවනාරාමයේදී නැකැත් ක‍්‍රීඩාවක් අරභයා වදාළ ගාථාවකි.

sAm_ශ්‍රී_Perera_2:50pm_09/05/2015

Tuesday, May 5, 2015

පන්සල් ගොස් වන්දනා කරන්නේ කෙසේද?


උප්පැන්නයට අනුව ඔබගේ ආගම බෞද්ධ නම් ඔබ යන්නේ පන්සලටය. කතෝලික නම් යන්නේ පල්ලියටය. මුස්ලිම් නම් මුස්ලිම් පල්ලියටය. හින්දු නම් කෝවිලටය. උප්පැන්නයට අනුව අදහන ආගම ධර්මය තීරණය වී දෙවියන්, බුදුන් දැක ආගම අදහන්නේ ඒ ඒ තැන් වලට ගොස්ය. සෑමා බෞද්ධ නිසා පන්සලටද, කිටියා කතෝලික නිසා පල්ලියටද යන්නෝය. දෙදෙනාම යන්නේ එකටය. වෙසක් දවසේද මුලින්ම පල්ලියේ පූජාවට ගියේ හවසය. ඒ එන ගමන් ගියේ පන්සලටය. මඟ දිගට දන්සැලක් දෙකක් වදිමින් පන්සල් ගියේ ආගමික වතාවත් කරන්නටය. වටේ ඉන්නා උන්ට කරදරයක් නැතිනම්, කොයි දේවාලේ ගියත් අවුලක් නැතිය. එහෙත් පන්සලේ හාමුදුරුවෝද, පල්ලියේ පූජකයාද, කෝවිලේ පූසාරිද, බලන්නේ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමටය. ධර්මයෙහි, ආගමෙහි පිහිටවන්නට නොවේය. ඒ ගැන පල්ලි කතාවක් සෑමා ලියුවේ වෙඩිම අස්සේය


මිශ්‍ර විවාහ පිළිබඳ ගැටළුව බොහෝ විට එළි බහින්නේ පල්ලියෙන්ය. එම ලිපිය කියවූ බොහොමයක් ප්‍රශ්න ඇත්තෝ සෑමා ඇමතුවේ තමන්ගේ මිශ්‍ර විවාහ ගැටළු වලට පිළිතුරු ලබා ගන්නටය. විටක සෑමාගේ බ්ලොග කියවන කතෝලික රසිකාවියක් සෑමා සමඟ විවාදයකට පවා පැටලුනේ පල්ලියකින් එවැනි බලපෑමක් කිසි දිනක එල්ල විය නොහැකි බව කියමින්ය. නමුත් එම ලිපිය කියවා බෞද්ධ සහ කතෝලික ලෙස මිශ්‍ර පෙම් සබඳතා පවත්වන බොහෝ දෙනෙක් සෑමාගෙන් විස්තර ඇසුවේය. සෑමා ඒවාට පිළිතුරු දුන්නේ හද පිරි සතුටින්ය. සෑම ආගමකම, ධර්මයකම (විකෘති නොවූ) කියා දෙන්නේ නිවැරදිව ජීවත් වන ආකාරය නිසාවෙන් ආගමක් යනු ආදරයකට ප්‍රශ්න නොවේය. අනෙක් ආගම් ගැන කතාන්දර පසෙක තැබූ විට සෑමාට කතා කිරීමට අයිතිය ඇත්තේ බෞද්ධාගම ගැනය. පන්සල් යෑම ගැනය. මන්ද මේ වෙසක් සතිය නිසාය.

කිටියා සහ ඇගේ අක්කා සෑමා සමඟ වෙසක් දා පන්සල් ගමනට ආ නිසා සැමාගේ පන්සල් වන්දනාව බලා සිටි බව තේරුණේ නිවසට ආ පසුය. උන් ඇසුවේ මොකක්ද බොල ඒ වැදිල්ල කියාය. වැඩි වේලාවක් ගත නොවීය. වෙසක් නිසා පන්සලේ තදබදයක්ය. ඒ අස්සේ ධාතුන් වහන්සේලා වන්දනා කරන පිරිස්ය. ගෙදරින් කඩාගෙන ගිය මල් බෝධිය, චෛත්‍යය, සහ බුදු පිළිම වහන්සේට පිළිවෙලින් පූජා කොට සෑමා සිතින් මල් පූජා කරන ගාථා කීවේය. පහන් පත්තු කරනා ගමන් පහන් පූජා කරන ගාථාද සිතින් කීවේය. සුවඳ දුම් පූජා කරන ගාථා සිතින් කීවේ හඳුන් කූරු පත්තු කරමින්ය. පැන් කළ රැගෙන බෝධි මළුව වටේ පැදකුනු කරන අතර බෝධි වන්දනා ගාථාද, ඉතිපිසෝ ගාථාවද සිතින් කීවේය. ඉන්පසුව ධාතුන් වහන්සේද වන්දනා කොට සෑමා ගෙදර ආවේය. උක්ත ගාථා බෝධින් වහන්සේ දෙස බලා ශබ්ධ නගා ගායනා නොකියවීමෙන්ද, දණ ගසාගෙන කල් නොමැරීමෙන්ද, අපේ උන්ගේ සිත් අවුල් වී තිබුණේය. ඉනපසු කල්පනා කළ සෑමාට සිහිවූයේ ඇත්තටම තමන් කළ දේ වැරදිද කියාය. ඇත්තටම පන්සල් ගොස් වන්දනා කළ යුත්තේ කෙසේද කියා සංවාදයක් ඇතිකොට පිළිතුරු සොයා ගත යුතු බව සෑමාට සිතුනේය. 

එදා පන්සල් මළුවේ සිටි සමහර උදවිය බෝධි පූජාවල නියැලමින් සිටියෝය. එවිට කළ යුතු වතාවත් අපි සැවොම දන්නා කරුණුය. පන්සල් ගොස් වන්දනා කිරීමද හැමෝම දන්නා කරුණක් විය හැකිය. එහෙත් බෝධිය දෙස බලාගෙන බොහෝ වෙලා වන්දනා කරන ඇත්තෝද සිටින්නෝය. බුදු පිළිම දෙස බලාගෙන බොහෝ වෙලා සිටින ඇත්තෝද සිටින්නෝය. විටක ඔවුන් ගාථා කියා සිත් නිවෙනා තුරු නිදහස් සිතින් බලා සිටිනවා විය හැකිය. සමහරු තමන්ගේ සිතෙහි ඇති දුක කියනවා විය හැකිය. එලෙසම සමහරු ගාථා කිව්වාට කියන්නේ ගිරා පෝතයක් ලෙසය. පාලි පාඨයන්ගෙන් සමන්විත නිසා තේරුමක් නොදැන විය හැකිය. ඒ නිසා සෑමාගේ ඉල්ලීම මේ ලිපිය අවසන තමන් පන්සලකට ගොස් වන්දනා කරන ආකාරය, කමෙන්ට් එකක් ලෙස ලියා තබන ලෙසය. එවිට එය අපිට සංවාදයකට ලක් කළ හැකිය.

මෑතකදී සෑමාගේ අක්කාගේ දියණිය යන පෙර පාසලේ දරුවන්ට පුහුණුවක් ලෙස සීල ව්‍යාපාරයක් පවත්වා ඇත්තේය. සෑම පෙරපාසල් දරුවෙක්ම පාහේ බොහොමයක් ගාථා දන්නෝය. බුදුන් වදින ගාථාවේ සිට පන්සල් ගොස් වදින බොහොමයක් ගාථාද, දෙමාපියන් වදිනා ගාථාද දන්නෝය. එහෙත් එක් එක් ගාථාව කියන්නේ කුමන අවස්ථාවටදැයි වෙන් කර ගන්නේ තරමක් වැඩිහිටියන් වෙන විටය. මන්ද පුංචි උන් කියන්නේ කට පාඩමින්ය. සිංදු කියනා ආකාරයෙන්ය. එදා සීල ව්‍යාපාරය හැසිරවූ ස්වාමීන් වහන්සේ පුංචි උන්ගෙන් අසා ඇත්තේ මල් පූජා කරන ගාථාව කුමක්ද කියාය. එවිට අත ඉහළට ඔසවා නැගිට සිටි පුංචි එකියක් පිළිතුරු දීමේ අවස්ථාව ලබාගෙන ඇත්තේය. පසුව ඇය තාලයට “රෝස මලේ නටුවෙ කටූ..“ ගීතය කියා ඇත්තේය. පැමිණ සිටි කිසිවෙක් ඇයව උපහාසයට නොගෙන පැහැදිලි කර ඇත්තේ මල් පූජා කරන ගාථාව “පූජේමි බුද්ධං කුසුමේනනේන..“ කියාය. 



සවි ජා නො භවං හෝතී
සවි ජා නො පරා භවෝ
ධම්ම කාමෝ භවං හෝති
ධම්ම දෙස්සී පරා භවෝ ......!

දියුණු වෙන කෙනා හඳුනා ගැනීමට ලෙහෙසි
පිරිහෙන කෙනා හඳුනා ගැනීමට ලෙහෙසි
දියුණු වෙන කෙනා ධර්මයට කැමති
පිරිහෙන කෙනා ධර්මයට ද්වේශ කෙරති...

එලෙසම පන්සල් ගොස් ඔබ කටයුතු කරනා ආකාරය ගැන කමෙන්ට් එකක් තබනා ලෙස ඉල්ලා සිටින්නේ කරනා දේ නිවැරදිව අර්ථවත්ව සිදු කරවීමේ අවශ්‍යතාවය නිසාය.

Written_by_sAm_ශ්‍රී_Perera_9:45pm_05/05/15
Related Posts Plugin for WordPress, Blogger...