Tuesday, May 5, 2015

පන්සල් ගොස් වන්දනා කරන්නේ කෙසේද?


උප්පැන්නයට අනුව ඔබගේ ආගම බෞද්ධ නම් ඔබ යන්නේ පන්සලටය. කතෝලික නම් යන්නේ පල්ලියටය. මුස්ලිම් නම් මුස්ලිම් පල්ලියටය. හින්දු නම් කෝවිලටය. උප්පැන්නයට අනුව අදහන ආගම ධර්මය තීරණය වී දෙවියන්, බුදුන් දැක ආගම අදහන්නේ ඒ ඒ තැන් වලට ගොස්ය. සෑමා බෞද්ධ නිසා පන්සලටද, කිටියා කතෝලික නිසා පල්ලියටද යන්නෝය. දෙදෙනාම යන්නේ එකටය. වෙසක් දවසේද මුලින්ම පල්ලියේ පූජාවට ගියේ හවසය. ඒ එන ගමන් ගියේ පන්සලටය. මඟ දිගට දන්සැලක් දෙකක් වදිමින් පන්සල් ගියේ ආගමික වතාවත් කරන්නටය. වටේ ඉන්නා උන්ට කරදරයක් නැතිනම්, කොයි දේවාලේ ගියත් අවුලක් නැතිය. එහෙත් පන්සලේ හාමුදුරුවෝද, පල්ලියේ පූජකයාද, කෝවිලේ පූසාරිද, බලන්නේ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමටය. ධර්මයෙහි, ආගමෙහි පිහිටවන්නට නොවේය. ඒ ගැන පල්ලි කතාවක් සෑමා ලියුවේ වෙඩිම අස්සේය


මිශ්‍ර විවාහ පිළිබඳ ගැටළුව බොහෝ විට එළි බහින්නේ පල්ලියෙන්ය. එම ලිපිය කියවූ බොහොමයක් ප්‍රශ්න ඇත්තෝ සෑමා ඇමතුවේ තමන්ගේ මිශ්‍ර විවාහ ගැටළු වලට පිළිතුරු ලබා ගන්නටය. විටක සෑමාගේ බ්ලොග කියවන කතෝලික රසිකාවියක් සෑමා සමඟ විවාදයකට පවා පැටලුනේ පල්ලියකින් එවැනි බලපෑමක් කිසි දිනක එල්ල විය නොහැකි බව කියමින්ය. නමුත් එම ලිපිය කියවා බෞද්ධ සහ කතෝලික ලෙස මිශ්‍ර පෙම් සබඳතා පවත්වන බොහෝ දෙනෙක් සෑමාගෙන් විස්තර ඇසුවේය. සෑමා ඒවාට පිළිතුරු දුන්නේ හද පිරි සතුටින්ය. සෑම ආගමකම, ධර්මයකම (විකෘති නොවූ) කියා දෙන්නේ නිවැරදිව ජීවත් වන ආකාරය නිසාවෙන් ආගමක් යනු ආදරයකට ප්‍රශ්න නොවේය. අනෙක් ආගම් ගැන කතාන්දර පසෙක තැබූ විට සෑමාට කතා කිරීමට අයිතිය ඇත්තේ බෞද්ධාගම ගැනය. පන්සල් යෑම ගැනය. මන්ද මේ වෙසක් සතිය නිසාය.

කිටියා සහ ඇගේ අක්කා සෑමා සමඟ වෙසක් දා පන්සල් ගමනට ආ නිසා සැමාගේ පන්සල් වන්දනාව බලා සිටි බව තේරුණේ නිවසට ආ පසුය. උන් ඇසුවේ මොකක්ද බොල ඒ වැදිල්ල කියාය. වැඩි වේලාවක් ගත නොවීය. වෙසක් නිසා පන්සලේ තදබදයක්ය. ඒ අස්සේ ධාතුන් වහන්සේලා වන්දනා කරන පිරිස්ය. ගෙදරින් කඩාගෙන ගිය මල් බෝධිය, චෛත්‍යය, සහ බුදු පිළිම වහන්සේට පිළිවෙලින් පූජා කොට සෑමා සිතින් මල් පූජා කරන ගාථා කීවේය. පහන් පත්තු කරනා ගමන් පහන් පූජා කරන ගාථාද සිතින් කීවේය. සුවඳ දුම් පූජා කරන ගාථා සිතින් කීවේ හඳුන් කූරු පත්තු කරමින්ය. පැන් කළ රැගෙන බෝධි මළුව වටේ පැදකුනු කරන අතර බෝධි වන්දනා ගාථාද, ඉතිපිසෝ ගාථාවද සිතින් කීවේය. ඉන්පසුව ධාතුන් වහන්සේද වන්දනා කොට සෑමා ගෙදර ආවේය. උක්ත ගාථා බෝධින් වහන්සේ දෙස බලා ශබ්ධ නගා ගායනා නොකියවීමෙන්ද, දණ ගසාගෙන කල් නොමැරීමෙන්ද, අපේ උන්ගේ සිත් අවුල් වී තිබුණේය. ඉනපසු කල්පනා කළ සෑමාට සිහිවූයේ ඇත්තටම තමන් කළ දේ වැරදිද කියාය. ඇත්තටම පන්සල් ගොස් වන්දනා කළ යුත්තේ කෙසේද කියා සංවාදයක් ඇතිකොට පිළිතුරු සොයා ගත යුතු බව සෑමාට සිතුනේය. 

එදා පන්සල් මළුවේ සිටි සමහර උදවිය බෝධි පූජාවල නියැලමින් සිටියෝය. එවිට කළ යුතු වතාවත් අපි සැවොම දන්නා කරුණුය. පන්සල් ගොස් වන්දනා කිරීමද හැමෝම දන්නා කරුණක් විය හැකිය. එහෙත් බෝධිය දෙස බලාගෙන බොහෝ වෙලා වන්දනා කරන ඇත්තෝද සිටින්නෝය. බුදු පිළිම දෙස බලාගෙන බොහෝ වෙලා සිටින ඇත්තෝද සිටින්නෝය. විටක ඔවුන් ගාථා කියා සිත් නිවෙනා තුරු නිදහස් සිතින් බලා සිටිනවා විය හැකිය. සමහරු තමන්ගේ සිතෙහි ඇති දුක කියනවා විය හැකිය. එලෙසම සමහරු ගාථා කිව්වාට කියන්නේ ගිරා පෝතයක් ලෙසය. පාලි පාඨයන්ගෙන් සමන්විත නිසා තේරුමක් නොදැන විය හැකිය. ඒ නිසා සෑමාගේ ඉල්ලීම මේ ලිපිය අවසන තමන් පන්සලකට ගොස් වන්දනා කරන ආකාරය, කමෙන්ට් එකක් ලෙස ලියා තබන ලෙසය. එවිට එය අපිට සංවාදයකට ලක් කළ හැකිය.

මෑතකදී සෑමාගේ අක්කාගේ දියණිය යන පෙර පාසලේ දරුවන්ට පුහුණුවක් ලෙස සීල ව්‍යාපාරයක් පවත්වා ඇත්තේය. සෑම පෙරපාසල් දරුවෙක්ම පාහේ බොහොමයක් ගාථා දන්නෝය. බුදුන් වදින ගාථාවේ සිට පන්සල් ගොස් වදින බොහොමයක් ගාථාද, දෙමාපියන් වදිනා ගාථාද දන්නෝය. එහෙත් එක් එක් ගාථාව කියන්නේ කුමන අවස්ථාවටදැයි වෙන් කර ගන්නේ තරමක් වැඩිහිටියන් වෙන විටය. මන්ද පුංචි උන් කියන්නේ කට පාඩමින්ය. සිංදු කියනා ආකාරයෙන්ය. එදා සීල ව්‍යාපාරය හැසිරවූ ස්වාමීන් වහන්සේ පුංචි උන්ගෙන් අසා ඇත්තේ මල් පූජා කරන ගාථාව කුමක්ද කියාය. එවිට අත ඉහළට ඔසවා නැගිට සිටි පුංචි එකියක් පිළිතුරු දීමේ අවස්ථාව ලබාගෙන ඇත්තේය. පසුව ඇය තාලයට “රෝස මලේ නටුවෙ කටූ..“ ගීතය කියා ඇත්තේය. පැමිණ සිටි කිසිවෙක් ඇයව උපහාසයට නොගෙන පැහැදිලි කර ඇත්තේ මල් පූජා කරන ගාථාව “පූජේමි බුද්ධං කුසුමේනනේන..“ කියාය. 



සවි ජා නො භවං හෝතී
සවි ජා නො පරා භවෝ
ධම්ම කාමෝ භවං හෝති
ධම්ම දෙස්සී පරා භවෝ ......!

දියුණු වෙන කෙනා හඳුනා ගැනීමට ලෙහෙසි
පිරිහෙන කෙනා හඳුනා ගැනීමට ලෙහෙසි
දියුණු වෙන කෙනා ධර්මයට කැමති
පිරිහෙන කෙනා ධර්මයට ද්වේශ කෙරති...

එලෙසම පන්සල් ගොස් ඔබ කටයුතු කරනා ආකාරය ගැන කමෙන්ට් එකක් තබනා ලෙස ඉල්ලා සිටින්නේ කරනා දේ නිවැරදිව අර්ථවත්ව සිදු කරවීමේ අවශ්‍යතාවය නිසාය.

Written_by_sAm_ශ්‍රී_Perera_9:45pm_05/05/15

22 comments:

  1. සෑහෙන්න හොඳයි..බඳිනවා මමත් දෙමළ කෙල්ලෙක්..ජාතික සමගිය සහ මගේ සන්හිඳියාව උදෙසා

    ReplyDelete
  2. /* උප්පැන්නයට අනුව ඔබගේ ආගම බෞද්ධ නම්.......... */

    මේ වරද කිහිප දෙනෙක් කරනවා මං දැකලා තියෙනවා.

    උප්පැන්නයේ ආගමක් සඳහන් වෙන්නේ නෑ. පාස්පෝට් එකේ හෝ අයිඩෙන්ටි කාඩ් එකේ එහෙම සඳහනකුත් නෑ. හොඳින් බලන්න.

    අපේ ආගම ලෙස අප සළකන්නේ දෙමව්පියන් ගේ ආගමයි.

    ඉහත වාක්‍ය කණ්ඩය මෙලෙස වෙනස් විය යුතුයි.

    "උපත අනුව ඔබගේ ආගම බෞද්ධ නම්.............."

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා. කට වචනෙට කියන්නෙ උප්පැන්නෙ තියෙන ආගමක් ගැනනේ..

      ස්තුතියි... නිවැරදි කිරිමට..

      Delete
  3. සිතින් ගාථා කියමින් ඒ වතාවත් කලත් අවසානයේ අපි එකට ඉදගෙන පන්සිල් ගන්නවා ඒ පොඩි මෙන්ඩියාට හුරැ කල යුතු නිසා.

    ReplyDelete
  4. ඔන්න මං ධර්මයට කැමතියි............ ගොඩා.........................රියක් හරිද?????

    ReplyDelete
  5. මම කතෝලික, නමුත් පන්සල් යනව අරමුණු තුනක් වෙනුවෙන්. එකක් පුරාණ රජමහා විහාර බැලීමට මගේ තියන ආසාවට. අනික එකට ටියුශන් පංතිවල එකට ඉගෙනගත්ත හාමුදුරුවරු හමුවීමට, වැදගත්ම දේ පන්සලකට ගියහම හිතට දැනෙන සැහැල්ලුව විදීමට.
    වැදීමනම් මේ විදිහට ශාරීරික, පාරිබෝගික , උද්දේසික කියන පිලිවෙලට චෛත්‍යයට, බෝධියට, විහාර ගෙට මල් තියනව ඊට පස්සෙ නිස්කලන්ක තැනකට වෙලා ඉදගෙන ඉන්නව.
    මිශ්‍ර විවාහයකදි මම දැකල තියන දෙයක් තමයි බැන්ද කාලෙ කිසිම ආගම් බේදයක් නෑ, ළමයිට ආගමක් පටවන්න වෙන අවස්තාවෙදි ( පාසැලකට ඇතුලත් කිරීමේදී ) තමයි ප්‍රශ්නෙ.
    මගෙ ළමයි දෙන්න සෙනසුරාදට පන්සලේ දහම් පාසැල් යනව (ඉංග්‍රීසියෙන් උගන්වන ), ඉරිදට පල්ලියේ දහම් පාසැල් යනව. මම ඒ දේ කරන්නෙ තේරුම් බේරුම් තියන වයසට කැමති විදිහට ආගමක් අදහන්න අවස්තාව එයාලට දෙන්න.

    ReplyDelete
    Replies
    1. ගාථා කෙසේ වෙතත් චිත්ත සුවයක් සඳහා පන්සල් යෑම නම් අගය කරනවා..

      මිශ්‍ර විවාහ කතාවෙදි පාසල් ප්‍රශ්නෙදි ආගම හරස් වෙනව කියන්නෙ කලින් එඟතාවයක් නැති කම නිසා වෙන්න ඕනෙ.

      //ළමයි දෙන්න සෙනසුරාදට පන්සලේ දහම් පාසැල් යනව (ඉංග්‍රීසියෙන් උගන්වන ), ඉරිදට පල්ලියේ දහම් පාසැල් යනව. මම ඒ දේ කරන්නෙ තේරුම් බේරුම් තියන වයසට කැමති විදිහට ආගමක් අදහන්න අවස්තාව එයාලට දෙන්න.//

      මේ ටික නම් වටිනවා..

      Delete
  6. බුදු දහම යනු අදහන හෝ ශබ්ද නගා යාඥා කරන ආගමක් නොවේ යනු මගේ මතයයි. බුදු දහමින් නියම ප්‍රයෝජන ලබාගැනීමට නම් එහි හරය තේරුම් ගත යුතුය. නොකෙරෙන්නේද කළ නොහැක්කේද එයයි. පොදු ස්ථානයක ශබ්ද නගා ගාථා කීමෙන් අ‍සල සිටිනා තවත් අයෙකුගේ නිදහස නැති වීමක් සිදුවිය හැකිය.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒකයි මාත් බොහෝ විට හිතින් ගාථා කියන්නෙ. ඒමත් නැත්තං නොකියාම ඉන්නේ.

      Delete
  7. මම සාමාන්‍යයෙන් පන්සල් යන්නේ කලාතුරකිනි ඒත් බොහෝ විට මගේ අවශ්‍යතාවයන්ට නොව බිරිඳට, අම්මාට හෝ නැන්දම්මාට යාමට අවශ්‍ය විටදීය.... මගේ අවශ්‍යතාවයන්ට කියා යන්නේ මගේ මිත්‍ර හා ඥාති ස්වාමින්වහන්සේලා කිහිප දෙනෙකු හමුවීමට පමණි....

    කෙසේ වෙතත් මා ගෙදරදී උදේ හවස සුළු කාලයක් (වි 2-3 පමණ) බුදුන් වැඳිමට වෙන් කරනවා... ඒ කාලය තුල මා පාළි ගාථා නොපවසන අතර එම ගාථාවන්හි සිංහල තේරුම සිතින් කියමි. (මගේ පෞද්ගලික අදහස නම් නොදන්නා පාළියට වඩා දන්නා සිංහලය හොඳ බවයි)

    මා පන්සල් නොයන ප්‍රධාන කාරණය නම් අපේ ස්වාමින්වහනේසේලාමය....
    මා හට මෙතෙක් හමුවී අැති (මිත්‍රයන් නොවන) ස්වාමින්වහන්සේලා සමග කථාකරන විට මා අසා ඇති ඉල්ලීම් අතර....
    "මහත්තයා පන්සලේ බෝධිය වටේ රන් වැටක් හදන්න ඕනෙ...", "මහත්තයා පන්සලේ අළුත් ගොඩනැගිලි කීපයක් හදන්න ඕනෙ..."
    ආදිය මිස
    "මහත්තයා මේ සැරේ පෝයට පන්සලට ඇවිත් සිල් සමාදන් වෙන්න..." වැනි ඉල්ලීමක් හෝ සෑමා කීවාක් මෙන් ආගම අනුව නිවැරදිව ජීවත් වන ආකාරය කියා දීමක් කිසි දිනක මා හට ඇසී නැත...

    ReplyDelete
    Replies
    1. //(මගේ පෞද්ගලික අදහස නම් නොදන්නා පාළියට වඩා දන්නා සිංහලය හොඳ බවයි)//
      මගේ අදහසත් ඒකම තමයි.

      Delete
    2. ගාථාවල, පාලි පාඨවල තේරුම දන්නවා නම් භාෂාව පිළිබඳ ගැටලුවක් එන්නැ මම හිතන්නේ.

      //"මහත්තයා පන්සලේ බෝධිය වටේ රන් වැටක් හදන්න ඕනෙ...", "මහත්තයා පන්සලේ අළුත් ගොඩනැගිලි කීපයක් හදන්න ඕනෙ..." //

      හාමුදුරුවන්ගෙ මේ වචන ටික සාධාරණයි. මොකද මේ සිරි ලංකාවෙ හදලා ඉවර වෙච්ච පංසලක් හොයා ගන්න නැහැනේ. හැමදාම, හැම එකම හදනවා, අලුත් වැඩියා කරනවා.

      Delete
  8. මම එල්ලීගෙන පන්සල් යන එකෙකුත් නෙවෙයි, ඔය පිලිවෙත් පස්සේ එලවන එකෙකුත් නෙවෙයි. මම පන්සලට යන්නේ මගේ හිත නිවාගන්න ඕනේ උනොත් විතරයි. ගාථා නම් බහුතරයක් කියන්නේම නැත, පන්සිල් ගන්නවා පමනී. ඩොටී පුතුව හම්බු වෙන්න හිටි කාලේ නම් හිටු කියලා ගාථා, පිරිත් කිව්වා හිතේ තිබුන අවිනිශ්චිතකම, චකිතය දුරුකරගන්න. දැන් නම් එහෙම නැහැ.

    ReplyDelete
    Replies
    1. //ඩොටී පුතුව හම්බු වෙන්න හිටි කාලේ නම් හිටු කියලා ගාථා, පිරිත් කිව්වා හිතේ තිබුන අවිනිශ්චිතකම, චකිතය දුරුකරගන්න.//

      බය වුනාමත් පන්සල් යනව වගේ කියවෙන්නෙ. ;)

      පන්සලට වැඩියෙන් නැඹුරු වෙන බොහොමයක් අවංක චේතනාවක් නැතුව ලාභ අපේක්ෂාවෙන් තමා යන්නෙ. බොහෝ විට බලය ලබා ගන්න. තැන ලබා ගන්න. අවංකව යන එකාව කැපෙන්නෙත් ඔතැනදී.

      Delete
  9. //එලෙසම පන්සල් ගොස් ඔබ කටයුතු කරනා ආකාරය ගැන කමෙන්ට් එකක් තබනා ලෙස ඉල්ලා සිටින්නේ කරනා දේ නිවැරදිව අර්ථවත්ව සිදු කරවීමේ අවශ්‍යතාවය නිසාය.//
    මා පංසල් පල්ලි කෝවිල් දේවාල යන්නේ වන්දනාකිරීමට නොව ඒවායේ අයිතිහාසික , ගෘහනිර්මාණශිල්පී හෝ පුරාවිද්‍යා වටිනාකමක් හෝ නිස්කලංක පරිසරයක් ඇත්තේනම් පමණි.
    එසේ නැත්නම් වෙනත් අයෙකු ගෙනයාමට හෝ ප්‍රතික්ශේපකල නොහැකි ආරාධනයක් නිසාය.

    ප.ලි. සිටින අලි ඇතුන් බැලීමටද ගොස් ඇත.
    ගංගාරාමයට ප්‍රියකරන්නේ එහි ඇති කෞතුකාගාරය හා සුරතල් කිරීමට පුලුවන් බල්ලන් ඇති නිසාය.
    මොකකටවත් වඳින්නේ නැතිවුවත් ඉහත දේවලින් සිතට සතුටක් දැනේ.

    ReplyDelete
    Replies
    1. ඒකත් මාර ගමනක් තමා. හැබැයි බලාපොරොත්තුව චිත්ත සන්තුට්ඨිය වගේ. ඒකත් වටිනව නොවැ.

      Delete
  10. බුදු හාමුදුරුවො ආගමක් දේශනා කරල තියෙනවද බං?

    ReplyDelete
    Replies
    1. දවසක් හාමුදුරු මුදලාලිලා දෙන්නෙක් අපේ ගෙදර වැඩ්ඩා. උන්නැහැලා කියනවා, 'රත්නමාලි යන්තරේ 108 වාරයක් පිරිත් කරලා, ඕනෙ කරන උදවියට දෙනවලු, රුපියල් මෙච්චරයිලු, කලින් වෙන්කරගන්න අයට ඩිස්කවුන්ට් එකක් දෙනවලු'

      මාත් කිව්වා, 'රත්නමාලි යන්තරේ හරි රත්නමාලි බන්ධන ගාථා හරි, බුදු හාමුරුවො දේශනා කරලා තියෙන තැන මට ත්‍රිපිටකෙන් පෙන්නන්නය, ඔය වැඩේ කපු මහත්තුරුන්ට නම් කමක් නෑ, හාමුදුරු ගොල්ලට නම් එච්චර වටින් නැතිය' කියලා.

      මාත් එක්ක බොහොම තදින් වාද කරලා කරලා අන්තිමේ ‍පොඩි මුදලාලි (වැරදුනා - හාමුදුරුවො) කියනවා, 'අපේ පන්සලේ බණ මඩුවක් හදනවලු, ඒකට ආධාර ඉල්ලුවොත් දෙන් නැති හින්දා මේ වගේ දෙයක් කරනවලු' කියලා.

      Delete
    2. අප්පද බොල එෆ් ඇම් වලත් කියවෙන රත්නමාලි එක විකුණන් කනවද ගෙදරටත් ඇවිල්ලා..?

      Delete

Related Posts Plugin for WordPress, Blogger...