කාලයෙන් කාලයට අලුත් වාක්‍යයන් එන්නේය. ඉස්සර කාලයක් කිව්වේ “අම්මා ගහයි බැට් එකෙන් කියාය.“ බැට් එක එන්නට ඇත්තේ ක්‍රිකට් එල්ලේ පටන් ගත් කාලයේ විය හැකිය. නැත්තම් අම්මා ගහන්නට ඇත්තේ කොස්සෙන්, ඉදලෙන් හෝ ඉලපතින් විය හැකිය. ඉස්සර බත් බෙදන කෑම බෙදන වෙලාවක නම් සෑමා, අයියා හෝ අක්කා, වලියක් දා ගත්ත හොත් අම්මා පොල් කටු හැන්ද දික් කළාය. ඉන්පසු කියන්නේ “කට වහපල්ලා, නැත්තං හැන්ද යවනවා ගිරිය දිගේ..“ කියාය. කවදාවත් ගිරිය දිගේ හැන්දක් ගොස් නැති බව දන්නා අපි සද්ද වසන්නේ බයටය. කෙසේ හෝ අම්මා ගහයි බැට් එකෙන් භාවිතය දැන් අඩුය.
දිනක් සෑමා ක්‍රිකට් බැට් එකක් අතේ තියාගෙන සිටියදී, සෑමාගේ මිතුරෙක්ට ඔහුගේ අම්මා කිසියම් හේතුවක් නිසා බනින්නට වූයේය. එවිට මිත්‍රයා සෑමාට කිව්වේ “මචං ඔය බැට් එක අම්මට දියන් කියාය.“ සිද්ධිය එතරම් පැහැදිලි නොවුණ සෑමා ඒ ඇයි බං ඇසූ විට ඔහු කීවේ “එතකොට අම්ම ගහයි බැට් එකෙන් බං...“ කියාය. ඒ කාලේ කවුරුන් හෝ එකෙක් බැට් එක යෙදාගෙන මේ කතා හදන්නට ඇතිය. ඉස්සර ක්‍රිකට් ගහන්න ගෙදරින් පාන්දර එළියට බැස්සාම කොල්ලෝ ගෙදර එන්නේ හවස් වෙලාය. විටක ගෙදර ඉන්න උන්ට කොල්ලන් කැන්දන් එන්නට පිටියට යන්නට සිදු වන්නේය. ක්‍රිකට් ගහන කාලයේ මේවා අප අත්විද ඇති සිද්ධීන්ය. විටක ගෙදරින් එන අම්මා හෝ තාත්තා අපේ එවුන් සෙල්ලම් කරන බැට් එකම දෝතින් ගෙන තම පුත්‍රයාට පහර දෙන්නේය. “මේ මහ රෑ වෙනකල් තොපි අහවල් එකක් කරනවද? හවස් වෙද්දි ගෙදර එන්නෙ නැතුව..“ කියමින් සෙල්ලම් කරන උන්ව ක්‍රීඩා ගාරයට යවන්නේ පිටියට කඩා වදින දෙමව්පියන්ය. ඒ හේතුව මත අම්ම ගහයි බැට් එකෙන් වාක්‍යය කරලියට එන්නට ඇත්තේය.
අද කාලේ එළිමහන් ක්‍රීඩා විරල නිසාත්, ලැපට කම්පියුටරයට ගැතිව ඇති නිසාත් “අම්ම ගහයි බැට් එකෙන් වාක්‍යය“ කාලීන නොවන්නේය. අද කාලයට ගැලපෙන්නේ නම් “අම්ම බුකිය හැක් කරයි..“ වගේ එකක්ය. බැට් එකෙන් කෙලිනවට වැඩිය බුකිය හැක් කලොත් අම්මාගෙන් බේරෙන්නට බැරි වෙන නිසා අද කාලේ උන්ට ඒක ගැලපෙන්නේමය.
![]() |
| මදුරු තලා බැට් එක |
සෑමාට බැට් එක මතක් වූයේ අනෙකක් නිසා නොව මදුරුවන් තලන බැට් එක නිසාය. කොයිල් එකෙන් මැට් එකට, මැට් එකෙන් රෙපලන්ට් එකට ක්‍රමයෙන් විකසනය වූ මදුරු තැලිල්ල දැන් බැට් එකෙන් කෙළවර වී ඇත්තේය. පාර අයිනේ බැට් එකක් වනමින් සිටිනා අයෙකුගෙන් ගත් බැට් එකේ ආතල් එක ඇත්තේ මදුරුවෙක් මැරෙද්දීය. විටක කරදර කාරී මැස්සන්ටද කෙලිය හැකිය. පවක් කිරීම කොච්චර ආතල් දෙන්නේ දැයි සිතෙන්නේ, විටක කලකිරෙන්නේ එවිටය. බැට් එකේ දැලට හසුවන මදුරුවන් චටාස් ගා කැබලි ඉතුරු නොවන්නට අධික විදුලි ධාරාවකට හසුවන්නෝය. ගිණි පුලිගුවක් විසිවෙමින් උන්ට වෙච්ච දෙයක් නැති වන්නේය. ඉස්සර අපේ උන් කියූ අම්ම ගහයි බැට් එකෙන් කතාව දැන් කාලයේ ගැලපෙන්නේ මදුරුවන්ටය. දැන් ඉන්න උන් බැට් එකෙන් කෙලින්නේ මදුරුවන්ට නිසාය.
මදුරු කරදරයේදී සෑමා කැමතිම ආරක්ෂක ක්‍රමය වූයේ නෙට් එකය. මොකා හිටියත් නෙට් එක දැම්මා නම් ආතල්ය. බොහෝ විට නෙට් එකේ එලියට වඩා ඇතුලේ මදුරුවන් සිටින අවස්ථාද නැතුවා නොවේය. එහෙව් විටක කළ යුත්තේ එලියේ සිටින සියළු මදුරුවන් නෙට් එක ඇතුලට කැදවා නෙට් එක ගැට ගසා තබා නිදහසේ නෙට් එක නැතිව නිදා ගැනීමය. එලෙසම හැමදාම උදේට නෙට් එක ගැට ගසා තැබීම තරම් වදයක් ලොවෙත් නැත්තේය. විටක අම්මා බනින්නේ ඇයි යකෝ නෙට් එක අකුලන්නේ නැත්තේ කියාය. එවිට සෑමා පිලිවදන් දුන්නේ “කමක් නැහැ ඉතිං.. අද රෑටත් නිදා ගන්නවා නේ“ කියාය.
කෙසේ හෝ මදුරු බැට් එක අතට ගත් මොහොතේ සෑමාට මතක් වුණේ අට වසර පන්තියේ සිටි විශ්වයාය. ඌද කොත්තා සමග සෙට්ව සර්කිට් හදන එකෙක්ය. දිනක් පොඩි පෙට්ටි කැබැල්ලක සර්කිට් එකක් අමුනා, බැටරියක් ඔබාගෙන ඔහු පාසල් ආවේය. පෙට්ටියෙන් පිටතට කම්බි කනු දෙකක් දමා තිබුනේය. පෙට්ටියෙන් පිටතට ඇති ස්විචයක් ඔන් කර ස්වල්ප මොහොතක් තබා කම්බි කනු දෙක අපේ උන් ඇගේ ගෑව්වේ විශ්වයාය. කුණු හරප කිහිපයක් කියමින් අපේ උන් විශ්වයාට බැන්නේ එයින් අධි ධාරාවක් පිට වූ නිසාය. ගැජට් එක තුල තිබූ තඩි කන්ඩෙන්සරයෙන් ධාරාවක් ගබඩාකරගෙන සිට එකවර මුදා හරින්නේ යැයි අපට තේරුම් ගියේ පසුවය. එම යාන්ත්‍රණම බැට් එකේ ඇත්තේය. ඒ කාලයේදීම කොත්තා සහ විශ්වයා අපට වද නොදී, ගුටි නොකා එම පර්පථය ගොඩ දැම්මේ නම් මදුරු බැට් එක ගොඩ දාන්නේ අපේ එවුන් දෙන්නෙක්ය.
![]() |
| බැට් එකේ සර්කිට් එක |
මදුරු බැට් එක විටක වැඩ කරන්නේ නැතිය. මදුරුවෙක් වැදුනත් ඌ පාඩුවේ ඉගිල යන මොහොතක් ඇත්තේය. එවිට බැට් එකේ කරන්ට් එක මදිය. චාර්ජ් කළ යුත්තේය. එවන් අවස්ථාවක බැට් එක චෙක් කරන්නට බට්න් එක ඔබා දැල ඇල්ලීමෙන් සෑමා නියම සැපක් ගත්තේය. කෙසේ හෝ අත් දෙකින් හෝ බැට් එකෙන් මරුවත් පව පවමය. මදුරු සිගිත්තන් සිගිත්තියන් දවසට විස්සක් තිහක් බාන්නට සෑමාට සිදුවන්නේ පොඩ්ඩා නිසා මේ දිනවල නෙට් භාවිතය බැරි නිසාය. ඒත් මැරෙන මදුරුවා නිසා සිදුවන පව අවම කරගත හැකි පියවරක් සෑමා සොයා ගත්තේය. මදුරුවා මැරීමට බට්න් එක යොදා බැට් එක එක වරක් වැනීමෙන් මදුරුවා සිහිසුන්ව වාගේ බැට් එකේ රැදී සිටින්නේය. නැවත බට්න් එක එබුවොත් ඌ සදා සොත්තීය. අඩු කැබැල්ලක් වත් ඉතුරු නොවන්නට දුමක් දාන්නේය. උක්ත පියවර දෙකෙන් එකක් පමණක් අනුගමනය කොට, මදුරුවා සිහිසුන් මොහොතේදී බිම අතෑරියොත් පව අඩු වන්නේ යැයි සෑමා සොයා ගත්තේය. එම සිහිසුන් මොහොතේ මදුරුවා බිම දැමූ සැනින්, කූඹි පැමිණ තම ආහාරය සපුරා ගන්නෝය. ඒ නිකංම නිකන් මදුරුවෙක් අනුභව කිරීමෙන් නොවේය. BBQ මදුරුවෙක් අනුභව කිරීමෙන්ය. ඒ නිසා සෑමා හිත හදාගෙන ඇත්තේය. තමන් මදුරුවන් නොමරන බවත්, කූඹින්ට BBQ මදුරුවන් කෑමට දමන ලෙස සිතා, කුසගිනි නිවනා පුණ්‍ය කර්මයක් කිරීමෙන් සෑමා නිතර සැනසෙන්නේය.
ඔබේ නිවසේත් මදුරු කරදරයක් ඇත්තේ නම්, කූඹින්ට BBQ මදුරුවන් කෑමට දමනා බැට් එකක් ගෙන, කූඹින්ට කෑම දැමීමේ පුන්‍ය කර්මයක් කොට දෙලොව ශාන්තිය උදා කරවා ගන්න.
Written_by_sAm_ශ්‍රී_Perera_25/06/15_6:35am







