Monday, June 25, 2012

කොන ආරක්ෂා කර ගැනීම - ජාති වාදය නොවේ....


මුලින්ම කිව යුත්තේ සෑමාට විවිධ ජාතීන් සහ ආගම් වල මිතුරන් සිටින බවත් මෙය ජාතිවාදය ඇවිස්සීමේ පෝස්ටුවක් ‍නොවන බවය.

කොන ආරක්ෂා කිරීම කිව් විගස මතක් වන්නේ මුස්ලිම් තරුණයන්ය. ඒ ඔවුන් උප්පත්තියේදීම ඔවුන්ගේ ආගමික කටයුත්තක් ඉටු කරන නිසාය. එය හුදෙක් ආගමානුකූලව සිදුවන්නකි. එසේම පසුකලෙක වෛද්‍ය අර්ථ දැක්වීම්වලට අනුව පැවසුනේ එය ආගමික කටයුත්තක් ලෙස සිදුවුවද පුරුෂ ලිංගයේ පවිත්‍රතාවය රැක ගැනීමට පවා ඉවහල් වන බවය. දැන් මෙය කියවූ සියළු ස්ත්‍රින් මුස්ලිම් තරුණයන් කරා ඇදී යාමට ඉඩ ඇත්තේය. ඉන්පසු අනෙක් සියළු ජාතීන්, හා ආගම් වල කොල්ලන් රෙදි උස්සාගෙන සෑමා පසු පස ලුහු බදිනු සහතකය. ඒ නිසා සෑමා තරයේ කියා සිටින්නේ හැම කොල්ලාම තම පවිත්‍රතාවය පිළිබද සැලකිලිමත්ව සිටින බවක්ය. ක්‍රිකට් මැච් එකකදී තමා අත ඇති පන්දුව දිලිසෙන තරමට පොලිෂ් කරන කොල්ලෝ, තමන්ගේ දෙයක් ඊට වඩා හොදින් ආරක්ෂා කරන බවට තර්කයක් නැත්තේමය.

සෑමා කොන ආරක්ෂා කරගත් අයුරු මේ කතාවට පසුව බැලිය හැකිය.

එකෝමත් එක රටක සියළු ආගම් වලට ගරු කරන පොරක් සිටියේය. පොර අමාරුවෙන් හරි හම්බ කර වාහනයක් ගත්තේය. වාහනය ගත් විගස පොරට සිහි වුයේ තමා වාහනය සියළු ආගමික සිද්ධස්ථානවලට ගොස් ආරක්ෂා කර ගත යුතු බවය.

පොර පන්සලට ගියේය. පිරිත් සජ්ජායනා කොට, පිරිත් පැන් ඉස වාහනයට සියළු ආගමික වත් පිලිවෙත් ඉටු කරන ලද්දේ පන්සලේ හාමුරුවන් විසින්ය.

පොර කිතුනු පල්ලියට ගියේය. එහිදී විවිධ ගීතිකා ගයමින් පල්ලියේ පියතුමන් විසින් වාහනයට බ්ලෙස් කළ ජලය ඉසින ලද්දේය.

ඉන්පසු පොර ගියේ හින්දු දේවස්ථානයටය. එහිදී දෙහි, මිරිස් අමුණා වාහනයේ ඉදිරියේ එල්ලන ලද්දේ දේවස්ථානයේ සාමි තුමා අතින්ය. තවද සියළු ආගමික වතාවත් සිදු කරන ලද්දේය.

පොර සියල්ල අවසන ගියේ මුස්ලිම් පල්ලියටය. එහිදී පොර වාහනයෙන් බැස පල්ලියේ පියතුමා බැහැ දැක කීවේ තම වාහනයට සියළු ආගමික කටයුතු කර ගත යුතුව ඇති බවක්ය. පල්ලියේ පියතුමා සියළු ආගමක කටයුතු අහවර වන තුරු ඔහුට වාහනයට නැග තම ඇස් පියාගෙන සිටින ලෙස කීවේය. ඔහු පියතුමාට වන්දනා කොට වාහනයේ අසුන් ගත්තේය. ඇස් පියාගෙන සිටින ඔහුට මොහොතකින් වාහනය පිටුපසින් ටකරං කපන හඩක් ඇසී බිමට බැස බැලුවේය.

පිටුපසට ගොස් බලන කළ පියතුමා ඔහුගේ සයිලන්සරයේ කොන් කොටස කපා අවසානය.

සෑමාට පාසල් කාලයේද කොන ආරක්ෂා කර ගැනීමට මහත් පරිශ්‍රමයක් දරන්නට වුයේය. ඒ අපේ හැම එකාම කොනට ආසා නිසාය. පන්තියේ බිත්තිය අයිනේ යකඩ දැල අසල හිද ගැනීමට කවුරුත් කැමතිය. පාසල් සමයේ බොහෝ විට සෑමා ඒ කොන ජය ගත්තේය. නමුත් සියළු බලාපොරොත්තු බිද දමමින් සෑමාට කොන බේරා ගැනීමට සටනක් කරන්නට වූයේ ඒ-ලෙවල් පන්තියේදීය. ඒ අපේ පේලියේ කොන සෑමාගේ මිත්‍රයෙක් අල්ලාගෙන සිටි නිසාමය.

පළමු දිනය සෑමා කොන අහිමිව සිටියේය.

දෙවන දිනය සෑමා කොන දිනා ගැනීමේ සටන ඇරඹුවේය. පොතක පිටුවක් කඩාගෙන ‍ගොටුවක් සාදා ගත් සෑමා ‍ගොටුව පිරෙන්නට කෙල පිඩක් මුසු කලේය. එය ‍‍ගොටුව මදක් පොගන ලෙස ටික වේලාවක් මේසය මත තබාගෙන සිටිය යුතුය. නැතිනම් සටනට අව‍ශ්‍ය මූලික කරුණු සම්පූර්ණ නොවන්නේය. ගොටුව හොදින් කෙළ වලින් පෙගුනු පසුව එය ගුලි කර බිත්තිය අයිනේ සිටින පුද්ගලයා අතට යන තුරු අතින් අතට යැවිය යුතුය.

"මේ මොනද බං මේ.."

"ඕක යවහං බං දැලෙන් එලියට විසික් කරන්න කියලා.."

"මොනාද බං තෙතම තෙතයි..."

"හරි හරි ඉක්මනට විසික් කරපං බං..."

එසේ ගොටුව ක්‍රමයෙන් කොනට පාස් වන්නේය. එකිනෙකා ඇගිලි තුඩු වලින් අල්ලා පාස් කරද්දී බිත්තිය අයිනේ සිටිය කොන අල්ලා ගත් ආක්‍රමණිකයා අතේදී...

"මචං ඉක්මනට විසික් කරපං, ඕක දැන් හොදට පොගලා තියෙන්නේ... නැත්තං කෙල බෙට්ට උබේ ඔඩොක්කුවට වැටෙයි" කියා කිව යුතුය. එවිට ඔ‍හු හොද කුණු හබ්බයක් කියමින් එය එලියට විසික් කරන්නේය.

ඕනැම සටනක ජයග්‍රහනය ලැබීමට නොකඩවා තම සතුරාට පහර දිය යුතුය. එසේ දින කිහිපයක් කිරීමේදී ...

"අපෝ අපිට බැහැ බං හැමදාම මුගෙ කෙල ගොට්ට පාස් කරන්න.."

"වද නොදී ඔය මුල්ල සෑම්ට දීපංකෝ..."

කියමින් අනෙක් එවුන් ආක්‍රමනිකයාට බල කරද්දී, ආක්‍රමණිකයා කොන අතැර සෑමා අතට පත්කලේ නිතරගයෙන්ය.

එලෙස බුද්ධිමත් වූ සෑමා කොන බේරා ගත්තේය.

Written by sAm_4.50pm_25.06.2012

සෑමා සමග සිටියේ සිරාම සෙට් එකක්ය. නැතිනම් අද සෑමා බ්ලොග් ලෝකයේ නැත්තේමය.

Saturday, June 23, 2012

සංගා උඹ 199යි.... ඒත් අපිට උඹ දාහක් වටින්නේය..




ඉස්සර සෑමා ක්‍රිකට් බැලුවේ කරේ තබාගෙනය. සෑමා පමණක් නොව අහන දකින හැම එකාම එහෙමය. දැන් ක්‍රිකට් මේනියාව ඒ තරමට නැත්තේය. එයට හේතුව ක්‍රීඩාවේ දේශපාලනීකරණය නොවේදෝ සිතිය හැක්කේද? දක්ෂයාට, සුදුස්සාට තැන නොදී තමන්ගේ එකාට ක්‍රිකට් පිත්ත දීමට තැත් කිරීම, රගර් බෝල දීම, හොද පුටු දීම, සිදු වූ කලෙක ක්‍රීඩාව මෙන්ම රටම සිහිනයක් නොවන්නේ නොවේද?

ඇත්තටම දැන් සෑමාට ක්‍රිකට් ඇලජික්ය. එසේ වීමට හේතුව ලෙස සෑමා තම ඇගිල්ල කෙලින්ම දිගු කරන්නේ වර්ථමාන සාටක පාලු දේශපාලුවන්ටය. උන්ට කොන්දක් නැත්තේමය.  ලෝක කුසලානයේ අවසන් තරගයේ ශ්‍රී ලංකාව පරාද වුයේය. ඒ කියන්නේ අපේ කොල්ලෝ 'රන(ර්)ස් අප්ය' එනම් ලෝක කුසලානයේ දෙවෙනි තැන ගත්තේය.

ඉක්බිතිව මසක් ගත වුනේය.

ක්‍රිඩා ඇමති ජාතිය ඇමතුවේය. "ක්‍රිකට් මණ්ඩලය පාඩුයි" හේ රෙදි උස්සා කට ඇර කීවේය. සෑමාට මතක් වූයේ තමා දිනපතා පාන්දර පියන උස්සා හිද ගන්නා කොමඩ් එකය. ලැජ්ජා නැත. කුණු ජරාවම අදින්නේය. පැවැත්මක් තියෙන්නේ ජරාව ඇති තාක්මය.

තත්වය එසේ විය.

ලගදී තිබුනේ රූපවාහිනී තරග විකාශන අයිතිය පැවරීමේ සෙල්ලමක්ය. එයට ටෙන්ඩර් කැදවා වැඩිම ඉල්ලුම සහිත රූපවාහිනී ආයතනයට පැවරීම ඉතා වාසි දායකය. එය ක්‍රිකට් ආයතනය දැඩි මූල්‍ය අර්බුධයක පැටලී ඇති බව කියන අයගේ බුද්ධියට නෙදැනීම අරුමයක්මය. එසේ තිබියදී අයිතිය පැවරුවේ ක්‍රිකට් ආයතනයට කිසිම මූල්‍ය වාසියක් නොවන ආකාරයට. ඒ ලගදී එලි බැස ගත් කාල්-ටොන් එකටය. කාල්ටන් කියද්දී සෑමාට මතක් වන්නේ අපේ ගමේ ග්‍රාමසේවක මහතාගේ රගර් ගහන පුතාය. ඒ කතාව මෙතැනින් බලන්න. මෙහි විකාශන අයිතිය ලබා ගැනීමට එම්.ටී.වී/එම්.බී.සී මාධ්‍යය ජාලය පවා අයදුම් පත් ඉදිරිපත් කර ඇති බව සදහන්ය. එසේ තිබියදී ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව එම අයිතිය පිටට නොදී පවුලේම තබා ගැනීම ක්‍රීඩාවට සේම රටටද මරු අත වනද්දී සැලයුට් ගැසීමක් වැනිය.

නිවැරදි නොවන වැරදි හැමදාම එසේමය. ඒත් මව්බිමේ ආලවන්තයෝ නිහඩය. සළු පිලි දරාගෙන ගොරවන්නෝය. සද්දය සහ ගද පමණක් හමන්නේ ජාත්‍යාලය පුබුදුවමින්ය. ඒත් වැඩ කියලා වැඩක් නැත.

මෑතකදී ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියක් තිබුනේය, එහිදී එක් ඉසව්වකට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් සහභාගි වූයේ පැලදීමට ක්‍රීඩා සපත්තු යුවලක්ද නැතුවමය. ඔහු එම තරගයෙන් අවසානයට ආවේය. ජපන් හෝ චීන ක්‍රීඩකයෙක් ප්‍රථම තැන ගත්තේය. ඔහු පැමිණ තමා පැලද සිටි සපත්තු යුවල අපේ ක්‍රිඩකයාට දෙද්දී ඔහු සතුටු සිනා සැලුවේය. අවාසනාව අපේ ක්‍රීඩකයන්ට සපත්තු පැලදවීමට අපේ එකාලට නොහැකි වීමය. සෑමාට සිනහ පහල වෙන කාරනාව නම් ඊට පෙර සතියේ ඉන්දියාවේ සුපිරි නිලියන් ගෙන්වා අපේ රට ඇතුලේ රගර් ගැසීමය. කෝටි ගණන් වියදම් කිරීමට හැකි එකාලාට ක්‍රීඩකයන්ට පහසුකම් සැලසීමට මුදල් නැත්තේමය. 

අද සංගා පකිස්ථානයට එරෙහිව 200ක් ගහන්නට සැරසුනේය. ඒ අන්තිම විකට්ටුව හමුවේය. ඔහු ලකුණ දෙසීයය ලකුණු පුවරුවේ සටහන් වන පරිදි එක ලකුණක් දමා එහා පැත්තට පැන බැට් එක එසෙව්වේය. ඒ දින දෙකක දහඩිය ලංකා පොලවට පතිත කරවිමින්ය. සංගා බැට් එක ඔසවද්දි මහේල ඇතුලු ක්‍රීඩා ගාරයේ සැම කීවේ ලකුණු පුවරුවේ 200 සටහන් වීම වරදක් බවත් නිවැරදි ලකුණු ප්‍රමාණය 199 බවත්ය. ඇත්තටම ලකුණ දමන එකාට සිදු වූ වැරුද්දක්ය.

සංගා හිත හදා ගත්තේ ඊලගට එහා පැත්තට ගොස් ලකුණක් දමා නැවත ‍තම මෙහෙය, නිහතමානීව සැමරීමටය. සංගා යනු තමා දැවී ගියේ නම් විනිසුරුගේ තීරනය ලැබෙන තෙක් නොහිද ක්‍රීඩාගාරයට පිය නගන නිහතමානී ක්‍රීඩකයෙක්ය.

සංගා එහා පැත්තට ගොස් ලකුණක් දමන්නට සිටියදී එහා පැත්තේ සිටි ක්‍රීඩකයා ඊලග පන්දුව දැවී ගියේය. සංගාගේ දෙසීය මෙන්ම, ලංකා ඉනිමේද අවසානය එසේ විය.

එහෙත් සංගා පසුපස පකිස්ථානුවෝ පවා පැමිණ සුභ පැතුවේ ඔහුගේ දක්ෂතාවය නිසාමය. එසේම "සංගා උඹ රටට මැණිකක්ය"

ලකුණු පුවරුවේ ලකුණු දැම්මේ මහින්ද මාමා නෙවේය. ඒ අසල සිටියේ ක්‍රීඩා ඇමති නෙවේය. එහෙත් කවදා හෝ ක්‍රීඩාවට අත්වන ඉරණමට වගකිව යුත්තේ බලධාරීන්ය. එදාට උන් වේදිකාවේ ඡන්දය ඉල්ලමින් දගලද්දී රතිචඤ්ඤා දමමින්, විසිල් ගසමින්, බල්ටි ගැසූ මෝඩ චූන් කාරයෝද, (අහිංසක ජනතාව නොව) වග කිව යුතුය.


Written by sAm_8.55pm_23.06.2012

කලින් පෝස්ටුවක ඇනෝ කමෙන්ටුවක් වැටී තිබුනේය. ඒ සෑමා ජනරාල්ට කඩේ යනවා කියාය. ඊට රිප්ලයි කමෙන්ටු නොදා තවමත් හිස්ව තිබෙන්නේය. ඒ සෑමා මැක්කෝ සමග නැගිටීමට අකැමැති නිසාය.

"ඔව් සෑමා කඩේ යන්නේය. ඒ මනුෂත්වය සදහාමය"

Thursday, June 21, 2012

අපි අමාරුවෙන් ගොඩ ආපු කොල්ලෝය.


මේක කාන්තාවන්ට ඇලජික් පෝස්ටුවක් විය හැකිය. ඒත් මනාප ඇත්තියෝද සිටිය හැකිය. මේ සියළු කොල්ලන්ගේ අමිහිරි අතීතයක් ගැනය. ඒ කෙල්ලෝ නිසා අසරණ වු අවස්ථාවක් නෙවේය. හුදෙක් තාක්ෂණය සමග ගැටීමේදී සිදුවූ මතකයන්ය. විටෙක අමිහිරිය, බොහෝ විට මිහිරිය.

මීට පෙර සෑමා කොත්තා සමග ඔට්ටු ඇල්ලූ සාලිය නයිට් රයිඩර් සර්කිට් එක ගහපු හැටි ලිව්වේය. (මෙතැනින් බලන්න) එය සෑමාගේ බ්ලොගේ හරියටම හත් වෙනි පෝස්ටුවය. ඉන් පසු මෑත භාගයේ සරාගේ ලෝකයේ සරත් දැම්මේද ඉලෙක්ට්‍රොනික් පෝස්ටුවක්ය. එය දුටු සෑමාට සිහිවුයේ කටුක අමිහිරි අතීතයක්ය. එය මෙසේය.

සෑමා පොඩි කාලයේ වයර්, ඇණ මුරිච්චි සමග ගත කලේය. පොත් තබන මේසය පුරා පොත් වලට වැඩියෙන් තිබුනේ යකඩ බඩුය. සෑමාට අම්ම බැන්නේද කොයි වෙලේ හරි ඔය යකඩ කම්මලත් සමග ගෙදරින් පන්නනවා කියාය. ඒ කරන්ට් එකට අත ගසන නිසාමය. සෑමා 3 වසරේ දී නිල් වෙන්න කරන්ට් වැදුන කොල්ලෙක්ය. පැයක පමන කාලයක් සිහි නැතිව සිටියේය. ඒ අපේ නිවස හද කාලයේ කරන්ට් ලීක් වීමක් නිසාය. ඉස්කෝලෙ ඇරී නිවසට ආ සෑමා අම්මා සමග ඉහල මාලයේ බාස් අංකල්ලා වැඩ කළ සැටි බලන්නට ගියේය. එවිට අංකල්ලා කෑමට ගොස්ය. පොලොව පුරා වතුරය. ඒ ටෙරාසෝ දමන නිසාය. සෑමා කාමරයකට රිංගා යකඩ ඩ්‍රිල් එකක් අල්ලා ඇත්තේය. අම්මා නොදැන සෑමා බොහෝ වෙලාවක් එහි ඇලී සිට ඇත්තේ කරන්ට් ලීක් එකක් නිසාය. ඉන්පසු ඉස්පිරිතාලේ ගෙන යන අතරතුර සිහි එලැබ නැවත ගෙදර ගෙන විත් ඇත්තේය.

ඉන්පසු ඉලෙක්ට්‍රොනික්ය.

පහ, හය වසර වලදී සෑමාට පරණ විෂය නිර්දේශයේ විද්‍යා පොත් සෙට් එකක් ලැබුනේය. ඒවා සෑමාගේ තාත්තාගෙන් උස්සපුවාය. මතක හැටියට පරණ නිර්දේෂයේ නවය සහ දහය ශ්‍රේණි වල ඒවාය. එහි සුළු ප්‍රමාණයේ ගැජමැටික්ස් ගැන තිබ්බේය. බැටරියක ඇති කාබන් කුඩු භාවිත කර කන්ඩෙන්සර් මයික් එකක් සෑදීමේ ක්‍රියාවලියක් පවා තිබ්බේය. සෑමා එය සාදා බැලුවේය. තව එක එක ඒවා තිබ්බේය. ඒ අතර සෑමා සතුව 'සෙනිත්' එකේ සර්කිට් පොත් සෙට් එකක්ද විය. ඒවා සෑමාගේ අයියා භාවිත කළ ඒවාය. ඒ කාලේ හදපු එල්.ඊ.ඩී ලයිට් දෙකක් නිවි නිවි පත්තුවෙන සර්කිට්ටුව සෑමාට තාම මතකය. එල්.ඊ.ඩී 2යි, C828 ට්‍රාන්සිස්ටර් 2යි, 100uF කැපසිටර් යි, 22k රෙසිස්ටර් 2යි සෑමාට අමතක නොවන්නේමය. පසු කලෙක D400 ට්‍රාන්සිස්ටරයද එක්ව බල්බ් 30ක බුදුරැස්මාලාවක් තැනුනා සෑමාට මතකය.

සෑමා ඒ කාලේ ගියේ ගමේ ඉස්කොලෙටය. ගමේ සර්කිට් බඩු ගන්නට කඩයක් නැතිය. සෑමා ඉස්සර අයියා පාසැල් ඇරී එනතුරු බලා සිටින්නේ සර්කිට් කැබලි රැගෙන එනතුරුය. ඒ පොර කොළඹ ඉස්කෝලෙට ශිෂ්‍යත්වෙන් ගිය නිසාය. අපි ඒ කාලේ වැඩි භජනයක් නොමැත. විටෙක පොර සර්කිට් බඩු ගෙනවිත් එක එක ඒවා හදන්නේය. සෑමාද ඔළුව දමන්නේය. සමහර දිනෙක ලුණු කුඩු සහ මිරිස් කුඩු මිශ්‍රව ගෙනෙන දිවුල් ගැට වලට සෑමා සේම, සෑමාගේ අක්කාද මනාපය.

එල්.ඊ.ඩී බල්බ් (Light Emitting Diode - ආලෝක විමෝචක ඩයොඩ)


මලකඩ කාපු පින් සහිත බල්බ් දැම්මාට ගණන් ගන්න එපාය. ඉස්සර අපිට තිබ්බේ මේවාය. අනික මෙහෙම පින් කෙලින් ඒවාට වඩා තිබ්බේ ඇබරිලා ගිය පින් සහිත බල්බ්ය. ඒ පුංචි සර්කිට් වයර් සමග ඇඹරීම නිසාය. නැතොත් තව බල්බ් එකක පින් එකක් සමග ඇඹරීම නිසාය. පාදයේ දිග කොට අනුව +/- සොයා ගත්තද පින් කැඩුනහොත් +/- සොයා ගත්තේ බල්බ් එක පැත්තේ තිබුන කඩතොලු ව නිසාය.


මේක ඒ කාලේම ආපු එකක්ය. පින් තුනක්ය. වරණ දෙකක්ය. මෙය අතට ලැබුන මුල් කාලේ නම් සෑමාට පට්ට මැජික් එකක් විය. පොදු එක ධන අග්‍රයක් තිබියදී අනිත් අග්‍රය සෘණය.

මේ සියල්ල මැද්දේ පණ මෙන් ආරක්ෂා කරපු බල්බ එකක පින් එකක් අග්ගිස්සෙන්ම කැඩී ගිය අවස්ථා බහුලය. එවන් බල්බ විසික් නොකර අමාරුවෙන් හෝ කාලයක් පත්තු කළ අවස්ථා එමටය. ඒ සෑමාට පෑස්සුම් යන්ත්‍රයක් (බවුත් එකක්) ඒ කාලේ නොතිබුන නිසාය. මුල්ම උපකරණය අ‍ප නිවසට ගෙන ආවේ සෑමාගේ අයියාමය. ඊට පෙර අපි භාවිත කලේ මිට ගැසු බයිසිකල් ස්පෝක් කම්බියක්ය. එය ලාම්පුවක තබා රත් කර ක්ෂණිකව ඊයම් සමග තැබිය යුතුය. දිනක් සෑමාගේ අයියා එවන් බවුත් එකක් රත් කරගෙන නිවස ඇතුලට දිව එද්දී අපේ මහප්පාගේ දුව (සෑමාට අක්කා) හරහට පැන අත දිය බුබුලු එන්නට පුච්චා ගත්තා සෑමාට මතකය. ඒ සෑමාගේ අයියා අම්මාගෙන් නොසෑහෙන්න ගුටි කෑ නිසාය.

බැටරි
මෙහි ඇත්තේ බැටරියක් නොව බැටරි කේස් එකක්ය. ඉස්සර බල්බ් එකකට වයර් අමුනා බැටරි අග්‍ර දෙකේ අල්ලාගෙන සිටීම තරම් අපහසු වැඩක් නැත්තේය. ධන අග්‍රයට හැට්ට කට්ටක් සිර කර වයර් එක ඇමිණිය හැකිය. එසේ වුවද සෘණ අග්‍රය වයර් එකට යට කොට තැබිය යුතුය. එසේම බැටරි එක මත එක තැබීම කළ යුතුය. ඒ එල්.ඊ.ඩී බල්බයක් දැල්වීමට අවම බැටර් 2ක් අවශ්‍යය නිසාය. එසේ බැටරි එක උඩ එක තැබීම හරියට ලංකා බැංකු ගොඩනැගිල්ල වගේය. බැටරි එක මත එක තැබීමේ පහසුවට බැටරි මැදට තබා කාඩ්බෝඩ් කැබැල්ලකින් එතීම පහසුය. එසේ ඔතා රබර් පටියක් දැමීම සිරිතය.

ඉස්සර සෑමාට තඩි බැටරි කැබලි නොමිලේ ලැබෙන්නේය. ඒ මහප්පාගේ නැෂනල් රේඩියෝවට දමන කැබලි 5න්ය. මසකට වරක් ඒවා අලුත් කරන නිසා සෑමාට රජ මගුල්ය. ඔය අතර සෑමාගේ අයියා පවර් පැක් 1ක් ගෙනාවේය. එය 1.5 - 12 දක්වා වෝල්ට් පරාසයක් සහිතය. එහෙත් බැටරි දැමීම පෝටබල් නිසා සෑමා බැටරියට පෙම් බැන්දේය.

බැටරි සමග බැටරි කේස් එකක්.
ටෝච් බල්බ්


ටෝර්ච් බල්බ් එක තරම් වදකාර බල්බ් එකක් ‍සෑමාට නොතිබ්බේය. ඒ බැටරියට වයර් හයි කරනවා සේම අපහසු නිසාය. එක වයර් එකක බල්‍බයේ බද වටා එතිය හැකිය. අනෙක් අග්‍රය යටින් ගෑවීම දුෂ්කරය. විවධ උප්පර වැට්ටි යොදා සවි කළද පෑස්සුමක් තරම් සාර්ථක නොවීය.
එසේ අපහසුවෙන් සිටියදී සෑමාගේ අයියා දිනක් ටෝර්ච් බල්බ් හෝල්ඩරයක් ගෙනාවේය. බොහෝ විදුලි පන්දම් තුලද ඇත්තේ මෙවන් එකක්ය. එයට වයර් සවි කිරීම පහසුය. බල්බය දමා කැරකවීම පමණක් කළ යුතුය.

මෝටරය
මේ ‍මෝටර යාන්ත්‍රණය ගැන අපි දැන ගත්තේ ඕලෙවල් කාලයේය. ඒත් සෑමා පොඩි කාලේ අත පත ගා තිබු නිසා දළ අදහසක් තිබ්බේය. මේවාට වයර් සවි කිරීම පහසුය. පොඩි කාලේ බුදුරැස් මාලා කැරකැවූයේ මේවා මගින්ය. බද රවුම් නිසා රදවා තැබීම අපහසුය. එනිසා සෑමා කැමති මේ හැඩයට නොවේය.


සෑමා මනාප මේ හැඩයටය. ඒ බුදුරැස් මාලාව කරකැවීමේදි රැදවීමේ ඇති පහසුව නිසාය. තවද මේවායේ වයර් හයි කරන අග්‍ර කැඩුනාම අපරාදේය. එවිට ඇතුලේ ඇති පිත්තල පතුරු දෙකට සපෝට් එකක් දමා මෝටරය ගොඩ දා ගත හැකිය. එහෙමවත් බැරිම වුවහොත් කාන්දම අප අ‍තේය. එය ඔක්කෝටම වඩා මරුය. ඉස්කෝලෙ ගෙනිහින් වැඩ දමන්නේ ඒ කාන්දම ආධාරයෙන්ය.

සරාගේ පෝස්ටුවෙන් ඉලෙක්ට්‍රොනික අතීතයට ගිය සෑමා මෙසේ සටහන් කලේය. සියල්ල සරලව කෙටියෙන්ය. තව පොස්ට් කිහිපයකට කරුණු තිබුනත් ඉලෙක්ට්‍රොනික අතීතය ලිවීමට හිතක් නැත්තේය. ඒ නිසා එකකින් සරල අහවර කලෙමි. ඒවා ලිවීම හිතක් නැත්තේ අකැමැත්ත නිසා නොව ඒ අමුතු ලෝකෙට යාමට කාලයක් නොමැති නිසාමය.

දන්නෙ නැහැ ඇයි කියල. ඇස් තෙත් වුනා. නිදිමතට මගෙ හිතේ.

Written by sAm_10.53pm_20.06.2012

Tuesday, June 19, 2012

චක්කරේ මතක තියා ගැනීමට "චක්කර කොළ"



සෑමාගේ මහප්පාගේ පුතාට අප ග්‍රාමයේම කමියුනිකේෂන් එකක් තිබෙන්නේය. අපේ ගමේ ඒ කාලේදී මුල්ම ලෑන්ඩ් ෆෝන් එක ලැබුනේ අපේ මහප්පාටය. ඒ ඔහු රජයේ ඉහල පෙලේ ධූරයක් දැරූ නිසාය. ඒ ෆෝන් එකේ බිල ගෙව්වේද එම ආයතනයමය. එසේ තිබියදී ගමේ හැම එකාටම කෝල් ආවේ මහප්පලාගේ ගෙදරටය. ගන්න කෝල් එකක් ගත්තේද එහි පැමිණය. ඒ කාලේ එන කෝල් වලටද අය කළ නිසා ඇමතුම් ලැබෙන ඈයෝ කීයක් හෝ මුදලක් බලෙන් හෝ ගෙදර අය අතට ලබා දෙන්නට කටයුතු කලෝය. ඒ අතර ගන්නා ඇමතුම් වලටද මුදලක් ලබා දුන්හ.

මේ ක්‍රියාවලිය දුටු පොඩි පුතු තමාගේම කියා කමියුනිකේෂන් එකක් ඇරියේය. එය පසු කලෙක අනු ශාඛාද පිහිටුවමින් ප්‍රදේශයේ සුපිරි කමියුනිකේෂන් එකක් බවට පත්වුයේය. අපේ ගමේ හන්දියේ දහසක් කමියුනිකේෂන් දැම්මද ඔහුගේ කමියුනිකේෂන් ආධිපත්‍ය නොබිදී පවතින්නා සේම, එසේ දැමූ එවා දැන් වැහිලාත් අහවරය.

කමියුනිකේෂන් එක සමගම දැන් තවත් අංග එකතු කරමින් බහු ජන සේවා ආයතනයක් ලෙස වැඩකටයුතු කෙරෙන්නේය. ඒ ලිපි ද්‍රව්‍ය, පාසල් උපකරණ, චිත්‍රපට, සුවද විලවුන්, ජංගම දුරකථන, ආදී දේවල් සමගය. ඒ සියල්ලටම ද්‍රව්‍ය පොර රැගෙන එන්නේ පිටකොටුවෙන්ය. ගමේ අයෙක් යම් දෙයක් අවශ්‍යය වුවහොත් කමියුනිකේෂන් එකට පැමින බුද්ධික අයියේ අහවල් එක රැගෙන එන්න කියා ඕඩර් කර යන්නේද ඒ නිසාමය. එසේ ඕඩර් වැඩිවෙද්දී පොරට සමහර ඒවා අමතක වී මග හැරෙන්නට විය. ඒ නිසා ඔහු කරන්නේ කුඩා පොත් පිංචක සියල්ල සටහන් කොට සති අන්තයේ දිනක කොටුවට ගොස් රැගෙන ඒමය.

එසේ පොත රැගෙන ගිය පළමු දිනයේදි පොර පොත කොටුවේ කඩයක දමා ගෙදර ආවේය. පොර කීවේ එදා පොත ගෙනිච්චේ නැති බවක්ය. පසු දවසක කොටුවේ ගිය විටක කඩයක මුදලාලි කෙනෙක් පොරට පෙත දී ඇත්තේ "මේ මහත්තයා එදා දාල ගිය පොත මෙන්න" කියාය. ඊට පසු විසි තිස් වතාවක්ම පොර පොත විවිධ කඩ සාප්පුවල දමා ආ නිසා කොටුවේ මුදලාලිලා පොරගේ පොත දුටු සැනින් හදුනති.

පොතේ කතාව ඉවරය. දැන් පොතේ සීන් එකය. මේ මම කමියුනිකේෂන් එකේ සිටියදී සිදුවූවක්ය.

"බුද්ධික අයියේ අර ‍ෆිල්ම් එක ගෙනාවද?" ඒ කමියුනියට ආ ‍අයෙක්ය.

"මොකක්ද මල්ලී... ෆිල්ම් එකේ නම?"

"අර එදා මම ගේන්න කිව්වේ. ඔයා මට පොතක් දීල කිව්වේ නම ලියන්න කියලා.." පොර අර පොතේ නම ලියා ඇත.

"අහ්.. ඒකද. එහෙම ෆිල්ම් එකක නැහැ කිව්වනේ.. දෙමල එකක් නේද??"

"ඔව් දෙමල එකක් තමා. හැබැයි එහෙම ෆිල්ම් එකක් තියෙනවා. මගෙ යාලුවෙක් ලග තිබිල මම බැලුවත් එක්ක.."

"වෙන්න බැහැ. මම ඒ පොතත් අරන් ගියේ නම අමතක වෙන නිසා. මේ බලන්න මේකෙ මාර්ක් එකක් දාල ඇති ඒක නැහැ කියලා." බුද්ධික අයියා පොත දිගු කරමින් තරයේ කියා සිටියේය.

"කෝ බලන්න.." කියා ඔහු පොත ගත්තේය.

"කෝ ඉතිං මේකේ මාර්ක් එකක් ?? මේ තියෙන්නේ ෆිල්ම් එකේ නම ඒ විදිහටම.. කාල වර්ණ කියලා" සෑමාට නම හරියටම මතක නැතිය. මේ ලගින් යන නමක් තිබ්බා මතකය.

"ඇහ් එහෙම වෙන්නෙ කෝමද? එදා මම චෙක් කරලා එතන මාර්ක් එකක් දැම්මා ඒ කඩේදිම...."

"ඔව් අයි‍යෙ හැබැයි එහා පිටුවේ නම් මාර්ක් එකක් දාල තියෙනවා චක්කර කොල කියල එහෙකට"

"අප්පට හුඩු...." බුද්ධික අයියා හිසේ අත ගසාගෙනම පොත ගන්නට අත දික් කලේය.

"මාර කේස් එක මල්ලි අර ලමයෙක් ඇවිත් ඉස්කෝලෙට ගෙනියන්න චක්කර කොළයක් ගේන්න කිව්වා. මම සීඩි ෂොප් ‍එකෙන් ගිහිල්ල අහල තියෙන්නේ චක්කර කොළ ෆිල්ම් එක තියෙනවද කියල මගෙ හිතේ.."

Written by sAm_18.06.2012_11.05pm

Sunday, June 17, 2012

විලි ලැජ්ජා නැතුව - ඇදුම් අස්සේ රිංගීම...




රැලි තලා නුඹ
විහිදිලා සිත
උණුසුමින් මා
මත්කළා ගත


හද දවා සුව
දුව දුවා ගත
මතින් නුඹ
උණුසුම් කළා


කලිසමේ මැද
තෙරපිලා නුඹ
දනන් ගේ හැඩ
වැඩි කළා


කෙලින් වී සිට
විඩා නිවාගෙන
සෙමින් ඇග උඩ
වැතිරුණා


තෙත් වුණා
කලිසම මැදින් අද
රත් වෙලා නුඹ
වියලුවා හිද


අතින් ගෙන
ඇගෙ තනපටක් මම
වැතිරුවා නුඹ
ඒ මතින්


තෙත් මතින් යුතු
ඇගේ තනපට
සුසුමකින් නුඹ
වියලුවා


හති දමාගෙන
රෙදි තෙමාගෙන
දිව ඇවිත් නුඹ
සතපවාගෙන


විදගමින් සුව
වපුරවාගෙන
උණුහුමක් ලග
දණ ගසාගෙන


ඇගේ තදවූ
ඇදුම් මත්තේ
රැගුම් රැගුවේ
සදාතනිකව


නුඹයි ‍මිතුරේ
වරම් ලද්දේ
විදින්නට සුව
ඇදුම් අස්සේ


මගේ සර‍මේ
උණුසුමක් නුඹ
කිසිම දිනයක
ලබා නැත්තේ


අදින්නට කිසිවක් නොමැති ඒ
වැස්ස දවසක නුඹේ ලග හිද
තෙමාගත් මා සරම නුඹ ලග
තබා වින්දා උනුසුමක් හද


ඇගේ සුරතේ
රැදී සිත්සේ
අපේ ලෝකේ
හිදින් මිතුරේ


**
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
‍‍‍\*/

\*/
\*/

රැලි තලමින්, මගෙ ලෝකෙ උණුසුම් කරපු උඹ, එහෙ මෙහෙ දුවමින් මගේ ලෝකෙ උණුසුම් කරපු උඹ, කලි‍සමේ මැද වුනත් ලැජ්ජ නැතුව තෙරපිලා මගෙ ලෝකය ලස්සන කරපු උඹ, මහන්සි වුනාම කෙලින් වෙලා විඩා නිවාගෙන ආයෙත් වැතිරුණ උඹ, මම කලිසම මැද වුනත් තෙමා ගත්තම ලගින් හිටපු උඹ, මගෙ කෙල්ලගෙ වුනත් යට ඇදුම් උඩ සෙල්ලම් දාපු උඹ, අපි දෙන්න තෙත් වෙලා ඉන්නකොට ලගන් හිටපු උඹ, කවුරු නැතත් මගෙ කෙල්ලගෙ ඇදුම් අස්සෙ රිංගන්න වරම් ලබපු උඹ, කවදාවත් උඹට වැතිරෙන්න නොදීපු මගෙ සරම උඩත් අදින්න ඇදුමක් නැතිව ඉන්නකොට වැස්ස දවසකම වැතිරුනු උඹ, මගෙ කෙල්ලගෙ අත් අස්සෙ පැටලිලා හැමදාමත් මගෙ ලෝකෙ ලස්සන කරගෙන හිටපං.




කැත හිත්වලට ලියු තවත් ලස්සන කවි...



Thursday, June 14, 2012

ස්පයිඩර් මෑන් දැල පිටට නොගසා, අතේ ගසයි..


ඉස්කෝලෙ යන කාලේ කාලෙන් කාලෙට අලුත් විෂ බීජ පාසල් ගත වන්නේය. අපි යන කාලයේ කෙල්ලෝ දනිස්ස ලගට කොටට අදින්නට පටන් ගත්තෝය. එවිට තිත්ත නායක අක්කලා ඔවුන්ගේ ගවුම යට අඩියේ වාටිය ගලවන්නට පටන් ගත්තෝය. පහවෙනිදා අපේ කෙල්ලෝ ඒවා නැවත නමා වාටි ගසා පාසල් ගත වුවෝය. ඒ මැහුම් ගෙතුම් වලට දක්ෂ දැරිවියෝ අප පාසලේ සිටි නිසාය.

කොල්ලෝ බැගී වැඩිපුර දමන්නට වූහ. කලිසම දනිස්සට ඇද එල්ලගෙන සිටියහ. පසුකලෙක බැගී නැතිම කර නීට් එකට හොදටම යට කර අදින්නට වූහ. සෑමා 11 වසර සිටිද්දී 13 වසරේ අයියා කෙනෙක් ඉන්ටර්වල් එකේ  පමණක් යුනිෆෝම් එකට අදාල නොවන ගැජෙට්ටුවක් හැද සිටියා මතකය. ඒ බෙල්ට් එකක් නොහොත් ඉන පටියක්ය. ඒවා වෙළද දැන්වීම්ය.

ජෙල් ගෑමද මේනියාවක් වූ කාලයක් පාසලේ තිබුනේය. ජෙල් ගෑම් අත්අඩංගුවට ගැනීමට ආ ප්‍රින්සිපල් උතුමාට වුණ දේ මෙතනන් බැලිය හැකිය.

එසේ එක එක ගැජමැටික්ස් තිබියදී ඒ කාලේම පාසල් ගත වුයේ ෂර්ට් එකට දාන විලාසිතාවක්ය. එය ගෙදර සිටම කරගෙන ආ යුතුය. ෂර්ට් එක මැදීමේදී (අයන් කරන විට) අදාල ක්‍රමයට ෂර්ට් එක නමා අයන් කිරීමෙන් 'මකුළු දැලක්' ඉස්මතු කිරීම එම විලාසිතාව විය. එය කරන ආකාරය පහදා දී අතීතය මතක් කිරීම සුදුසුය.

"ස්පයිඩර් මෑන්" මහතා


අවශ්‍ය ද්‍රව්‍යය :-


  • ඉක්කෝල ෂර්ට් එක.
  • අයන් එක.
  • කරන්ට් එක.
  • අයන් බෝඩ් එක හෝ මේසය.
  • ඉස්කූල් බෑග් එක.
අයන් එක නොහොත් ඉස්කිරිත්තය ප්ලග් එකට ගසා රත් කර ගන්න. ඉන්පසු පහත පරිදි නමමින්, දිග හරිමින්, ක්‍රමානු කූලව අයන් කර ගන්න.

දෙකට නමන්න

හතරට නමන්න

ඒක ආයෙත් හරහට නමා, නැමු ඉරි දිගේ අයන් කරන්න.

උල උඩට නමන්න, නැමුම අයන් කරන්න

කලින් නමපු එක දිග හැර නැවත උල ඊට අඩුවෙන් උඩට නමන්න නැමුම අයන් කරන්න. 

ඒකත් දිග හැර නැවත අඩුවෙන් නමා  නැමුම අයන් කරන්න .  

දැන් දිග හැර බලන්න. එවිට මකුළු දැල ලැබේ.
අවශ්‍යය අමුද්‍රව්‍යය සියල්ල පාහේ භාවිතා කර අහවරය. දැන් කට්ටිය කල්පනා කරනු ඇත්තේ ඉස්කෝල බෑග් එකට කරන්නේ කුමක්ද කියාය. මෙහෙම මකුළු දැල ගසාගෙන ඉක්කෝලෙ යද්දි මුලින්ම මෙය ඇස ගැටෙන්නේ ගෙදර සිටින දෙමාපියන්ටය. එනිසා ෂර්ට් එක හැද ගත් හැටි‍යේ බෑග් එක දමාගෙන ගෙදරින් එලියට පැන ගත යුතුය.

පසුව පාසල් ගේට්ටුවෙන් ඇතුලට යාමටද බෑග් එක වුවමනාය. බැග් එක ගලවා පන්තියේ තබා පාසල තුල ඇවිදීමේදි ගුරුවරු පැමිනෙන විටකදී ලගම ඇති බිත්තිය පැත්ත හැරී සිටිය යුතුය. එවිට ගුරුවරු පවා සිතන්නේ මේ ගුණ ගරුක දරුවන් තමන්ට මාර්ගය ඉඩ දී, පසෙකට වී, ගරු බුහුමන් කරනවා කියාය.

මේ ඉට්ටයිල් එක පාසල් ගතව සුළු කාලෙකින් හැම එකාම පාහේ මකුළු දැල පිටේ ගසන්නට වුයේය. එනිසාම සමහර ගුරුවරුන්ට පවා ඉට්ටයිල් එක අතට අසුවිය. එදා සිට පරික්ෂන ඇරබෙන්නට විය. මකුළු දැල පිටේ ගසා ස්පයිඩර් මෑන් වුවන්ට දඩුවම් පැමිණ වීම ආවේ එදා සිටය.

සියල්ලෝම එකම කරද්දී උඩුගම් බලා පිහිනා නව නිර්මාණ කරන අපේ කොල්ලෝ ඒ කාලේද බහුලය. හැම එකාම මකුළුදැල් ගහ කළ අපේ සමහර එවුන් තම නමේ මුල් අකුර පවා ගසන්නට වූහ. ඒ අතර අපේ නුවන් සොයුරා පිටේ "N" අකුර ගැසුවා මතකය.

අපේ ජම්බුවාද දිනක්  නව නිර්මාණයක සමගින් පාසලට ආවේය. එදා ජම්බුවා අසු වූයේ අප බොහෝ දෙනාගේ සිත් දිනාගත් ලතා ටීචර්ටය.

ඇය හැම එකාගේම පිටවල් වලට එබෙමින් කොරිඩෝව දිගේ පැමිණියාය. ස්පයිඩර් මෑන් ලා බිත්ති වලට හේතු වන්නට වීය.

"මුං වගේ කොල්ලෝ ඔච්චර බය නම් අහවල් එකටද ඕව පිටේ ගහන්නේ??" ඒ ලතා ටීචර්ය.

"නැහැ ටීචර් අපි ටීචර්ට ඉඩ දෙන්න පැත්තකට වුනේ" අපේ එකෙක් කීය.

"අහ්.. සහන් නම් අද බය නැතුව ඉන්නේ.." සහන් හෙවත් අපේ ජම්බු වෙනදා මෙන් නොව ටීචර් ලගට එද්දි සිටිය නිසා ටීචර් සිතුවේ ජම්බු මකුළු දැල ගසා නැති බව විය යුතුය. ඇය ජම්බු සමග හොදින් හිතවත්ය. ටීචර් ලගට එද්දී ජම්බු තම දකුණු අත ටීචර් එන පැත්තට විරුද්ධ පැත්තට හරවද්දී ටීචර් ජම්බුගේ අත ඇද බැලීය. ඒ ඇයට ඇති වු සැකයක් නිසාමය.

"ඈ සහන් අනිත් එවුන් පිටේ ගහද්දි තමුසෙ අතේ ගහ ගත්තද??"

එදා අපේ ජම්බු මකුළු දැල අසා තිබ්බේ අතේය. ඒ කිව්වේ ෂර්ට් එ‍කේ sleeve එක ඉහත පරිදි නිසි ආකාරයෙන් නවා මකුළු දැල නිර්මාණය කර තිබුනේය.

Written by sAm_7.15pm_14.06.2012

සැයු - නිර්මාණයට දායක කරගත්තේ සදුදා ඔපීස් ඇන්ද තවමත් නොසේදු කමිසයක්ය.
Related Posts Plugin for WordPress, Blogger...