Sunday, April 15, 2012

කුලේ මීයා විකුණන් කයි...


සෑමා අවුරුද්දට පෙර පෝස්ටුවකින් වැලහින්නගේ පෙම අහවර කලේය. එසේම නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින් කුලේ 2500/-න් කන හැටි පෝස්ටු ගත කලේය. කුලේගේ ආදායම් මාර්ගය ගැන සදහනක් කිරීමට සුදුසු සාධක කිහිපයක් ලැබුණු නිසා හදිසියේ පෝස්ටුවක් කෙටීමට සෑමා උත්සුක වුයේය.

සෑමාගේ අල්ලපු ගෙදර ඉන්නේ සෑමාගේ පියාගේ (කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතාගේ) අයියාය. ඒ ගෙදර මේ දිනවල මීයන්ගේ කරදරයක පැටලී ඇති බවක් සෑමා දුටුවේය. සෑමාගේ නිවසේ මී කරදරය තිබුණද, සෑමාගේ අම්මා මීයන් මරන්නට වස තබන්නට අකැමැති වූ නිසාත් ගෙදරට ගෙන ආවේ මීයන් අල්ලන කම්බි දැල් උගුලක්ය. එය‍ බොහෝ දෙනා දැක ඇති බවට සැක නැත්තේමය.

සෑමාගේ අම්මා එදිනම රාත්තිරියේ මී උගුල ඇටවු නමුදු නියම ප්‍රථිඵල නොලැබින. එහෙත් අතුලත තිබි කෑම නම් මීයන් අනුභව කොට තිබින. ඒ නිසාම අදහස ඇතැර දැමූ සෑමාගේ මව එම උගුල දුන්නේ අල්ලපු ගෙදරටය.

ඉකුත් මාස දෙක තුල සෑමාගේ ජොක්කු දෙදෙනෙකු අස්ථාන ගතවූ බව සෑමා බ්ලොග් ලෝකයට හෙලි නොකළේය. ඒ සෑමාට ඇති විලි ලැජ්ජාව නිසාමය. එහෙත් පසුගිද දින කිහිපය තුල අවුරුද්දට නිවස පිලිවෙලක් කරද්දී සීලිම අස්සේ ජොක්කු දෙදෙනෙකු එකතු කොට මීයන් නිවාස තනා ඇති බවට සාධක ලැබුනේය. ඒ දුටු සෑමාට මීයන් මරන කෝප සිත පහලව හොදැවැයින් මී පාසානම් නොහොත් මී වස ටිකක් නිවසට ගෙනාවේය. එයින් නියම ප්‍රථිඵල ලැබී දැන් සෑමාගේ ජොක්කු ආරක්ෂිතය.

එදා සෑමාගේ අම්මා දුන් මී කුඩුවෙන් දැන් මීයන් අල්ලන්නේ අපේ අල්ලපු ගෙදර මහප්පලාය. ඉකුත් දවස් දෙක තුලදි මීයන් දෙදෙනෙකු අල්ලා ගැනීමේ වාර්ථාවක් තැබීමට ඔවුන් සමත් වූහ. සෑමාගේ අම්මා උගුල ඇතුලෙන් පොල් කෑලි තබද්දී මහප්පලා තැබුවේ ඉදි ආප්ප බැවින් උගුල සාර්ථකව ක්‍රියාත්මක වී ඇත. ඊයේ මීයා සමග කූඩුව තබාගෙන ඔවුන් කල්පනා කලේ මීයාට කරන්නේ කුමක්ද කියාය. අවසානයට ආ තීරණය වූයේ මීයා කුලරත්න අංකල්ට නොහොත් කුලේට භාර දීමය.

හදිසි කැදවීමක් මත කුලේ නිවසට වාර්ථා කලේය. පොර ඒ ආවේද වැනි වැනීය.

"අංකල් මෙන්න මීයෙක් ඉන්නවා ඈතට ගෙනිහිං දාන්න. මරන්න එපා හැබැයි" ඒ කීවේ මහප්පාගේ පොඩි පුතා නොහොත් බුද්ධික අයියාය.

"අපෝ මේක ආයෙ එන්නෙ නැති වෙන්න මම වැඩේ කරන්නම්. නැට්ටේන් අල්ලලා පොලේ ගහමු." කුලේ අංකල් කීවේ කසියා මතිනි.

"ඔයා ඕනෙ මගුලක් කර ගන්න. ඈතට ගෙනිහිං හරිද ?" අපි කුලේට වෝ(ර්)නිං දුන්නෙමු.

"හරි මට 100ක් දෙනවා...." කුලේ වැඩේට මිල තීරණය කලේය.

"ආං...." කියමින් බුද්ධික අයියා කුලේ අත තැබුවේ 100 නෝට්ටුවකි. මුදලට වඩා මී කරදරයෙන් මිදීම වටිනා බැව් හෙතෙම හොදින් දන්නා බව නිසැකය.

කුලේ මීයා බෑග් එකකට දමන අයුරු ජංගම දුරකථනයේ සටහන් කර ගැනීමට සෑමා සමත් විය.


වීඩියෝව හොදින් ඇසුවොත් ඇහෙයි. කුලේ නැගිටින්නේද "මොන හු.." කියාගෙනය.

ඒ සිදුවීම වූයේ ඊයේය. ඉන්පසු අදද එසේම සිදුවිය. රුපියල් සියයක් ගත් කුලේ මීයා රැගෙන ගියේය.

මීට පෙර දවසක් කුලේට වෙනත් ගෙදරක ඇන්ටි කෙනෙක් පූසෙක් දී ඇත. ඒ ඈත ගෙයක් ලගින් ‍ගෙනිහින් දාන්නට කියාය. ඒ ඇන්ටී කුලේට මුදල්ද දී ඇත. කුලේ ඒ පූසා ගෙනවිත් දමා තිබ්බේ අපේ ගෙදරය. අපේ ගෙදරින් නැවත මුදල් ගෙන කුලේ ඒ පූසාව වෙන කොහේ හෝ නැවත දමන්නට ඇත.

එහෙව් කුලේ ගැන දන්නා සෑමා කුලේ මීයා රැගෙන යන විට පිටු පසින් ගමන් කලේය. කුලේ සෑමගේ ගෙවල් පැත්තට හැරී මිදුල දෙසට ගමන් කලේය. එසේ ගොස් පාර අයිනේ තිබෙන ලයිට් කුණුවක් ලග පහත් වී මීයා මුදා හරින්නට සැරසෙද්දී සෑමා කෑගැසුවේය.

"ආ.. ආ.. මීයව මොකද මෙතන දාන්න හදන්නේ.."

"නැහැ.. කවුද මීයෙක් දාන්න හැදුවේ.. මම නිකං පාත්වුනේ.." කියමින් කුලේ ආපසු හැරී ගියේය.

කුලේ කලින් දවසේ මීයාට කළ දේ තවම පැහැදිලි නැත. ඒ මීයාද මෙසේ දමා යන්නට ඇතැයි සැක සහිතය. පොර මීයන් දමා ගොස් දිනකට රුපියල් සියය බැගින් ගෙන මසකට රුපියල් තුන්දහසක් ලබා ගනු නිසැකය. පොර කෑමට දෙදහස් පන්සියයක් යන්නේද නැත්තේය.

සෑමා සියල්ල වාර්ථා කලේ තම පියාටය.

"මට නම් හොදටම ෂුවර් එදා මීයා තමා අද අහුවෙන්නත් ඇත්තේ.." සෑමාගේ තාත්තා කීවේය.

"මෙයාට නම් පිස්සු.. ඔයා කෝමද මේ ඒකම කියන්නේ??" සෑමා සිනාසෙමින් ඇසුවේය.

"මට නම් එදා එකාගෙයි අද එකාගෙයි වෙනසක් පෙනුනේ නැහැ. දෙන්නම එක වගේනේ.."

පලි - සෑමා තම පියා සමග තර්ක කිරීමට නම් මින් පසු අල්ලා ගන්නා මීයාට සුදු පාට තීන්ත හෝ අතුල්ලා කුලේට භාර දිය යුතුය. නැතිනම් තර්ක කිරීමට සාධාරණ සාක්ෂි නොමැත.

Written by sAm_5.30pm_15.04.2012

Thursday, April 12, 2012

සුභ නව ව(ස)රක් වේවා.. ! ( සුභ 9 X වේවා..! )


නිකංම විශ් කර පෝස්ටුවක් දානවාට වඩා, අළුත් අවුරුද්දට සුදුසු කතාන්දරයක් සෑමාගෙන්... 

පහ වසරේදී සෑමා කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතා සොයා ගියේය. එකී පාසලේ පහේ පන්තියේ සෑමාට ඉගැන්වූ කල්‍යාණි ගුරුතුමිය තවමත් සැමට මතකය. පහ වසරේදී අපිව සවස ඉස්කෝලෙ තබාගෙන 'සතර' පොත කෙරෙව්වේ ඇයය. ඒ පොතේ පිටුපස පිළිතුරු තිබුණ නිසා අපි ඉස්කෝලේ හවස පන්තියේදි වැඩි ලකුණ ගත්තෙමු. වාසනාවන්ත ලෙස ශිෂ්‍යත්වය පාස් වීමටද හැකියාවක් එකී වසරේදී සෑමාටද හිමිවිය.

සවස පන්ති තිබුනේ ඉස්කෝලේ අහවර වී පැයකට පමණ පසුය. ගෙදර ලග ඉස්කෝලෙට ගියත් අම්මා බැදලා දෙන බත් මුල කෑම සිදු කළ යුතුය. එසේ බත් කා ඉතිරි වේලාව සෙල්ලම් කිරීම සිරිතක්ය. ඉස්සර අපි බොහෝ විට කලේ අල්ලන සෙල්ලම්ය. ටයිම් කියා විවේක ගැනීමට ගසකුත්. වයිම් කියා කලින් ඇල්ලූ පිරිස බේරා ගැනීමට තව ගසකුත් ඇත. වයිමට ගොස් ඇල්ලූ පිරිසට අත දී බේරා ගත යුතුය. බ්ලොග් ලියන බොහොමයක් ඉස්කෝලෙ ගිය ඇයවලුන් නිසා අටුවා ටීකා අනවශ්‍යය.

‍එසේ සෙල්ලම් කරන දවසක අපේ එකෙක්ට කක්කා බරක් සෙට් වුනා මතකය. එදා කක්කා බරක් වුනාට අපිට ඒලෙවල්, ඕලෙවල් කාලයේ සෙට් වුනේ කක්කා බර නොව බොකක්ය. පොරට කක්කා කරන්නට සියළු පහසුකම් සූදානම් කර දුන්නේ අපිමය. වැසිකිලියට ඇරලවා වතුර බාල්දියක් පවා ගෙනිහින් දුන්නේ අපේ එවුන්ය. ඉන්පසු අපි පැත්ත පලාතේ නොගියෙමු.

සියළු කටයුතු අහවර වී සියල්ලෝම පන්තියට වාර්ථා කළහ. අපේ මිතුරාද පන්තියට ආවේය. ඒත් පන්තියේ ඉන්නට බැරිය. කක්කා ගද පන්තිය දෙවනත් කරන්නට වීය. ටීචර් නඩුව අසද්දී අපි සාක්ෂි දුන්නේ පොරට සෝදා ගැනීමට වතුර පවා අපි සප්ලයි කළ බවකි. එහෙත් පොර හෝදාගෙන එලියට එද්දී වැසිකිලියේ ලිස්සා වැටී ඇත. සුදු පාට කමිසය සහ නිල් පාට කොට ෂෝට අපවිත්‍ර වැසිකිලියේ ඇතිල්ලී ‍මිතුරාට අවාසනාවන්ත සිදුවීමටක මුහුන දෙන්නට සිදු වී තිබිණ. පසුව පන්තිය පසෙක දමා ටීචර් සහ කිහිප දෙනෙක් ගොස් මිතුරාව ‍සෝදා ගෙදර යැව්වා තාමත් මතකය.

ඒ මිතුරා ගැන පූර්විකාවකි.

ඉස්සර අපට චක්කරය අරහංය. ඒත් අමාරුවෙන් සෑමා චක්කරය පාඩම් කර ගත්තේ තම පියාද එම විදුහලේ  ගණිත ගුරුවරයෙකු නිසා කතන්දර අහන්නට බැරි නිසාය. එහෙත් 'නම වරක්' චක්කරය ටිකක් අප්සට්ය. ඒකත් පොඩි උප්පර වැට්ටියකින් අල්ලා ගැනීමට හැකිවිය. 9,18,27,36 ආදී ලෙස අන්තිම ඉලක්කමේ එකක් අඩුවෙන උප්පරවැට්ටිය කවුරුත් භාවිත කරන්නට ඇතැයි සිතමි.

දිනක් ටීචර් පන්තියේ තැනින් තැන නැගිට්ටුවා "නමය වරක්" චක්කරය පාඩම් ගනිද්දී අපේ ඉහත කී මිතුරා අසරණ වුයේය. මිතුරා නැගිට සිටියදී අවටින් සපෝට් එක තිබ්බත් පොරට එදා ගුටි කන්නටම සිදු විය.

පහ වසරේ නමය වරක් සිද්ධිය සෑමාට යලි මතක් වුනේ ගිය වසරේ මාර්තු මාසයේ පමණ වෙලද සැලකට ගිය අවස්ථාවකදීය. වසර මුලදී බොහෝ වෙලදසැල් වල "සුභ නව වසරක් වේවා" කියා පුළුන් කැබලි වලින් අලවනු දැක ඇත. ඒ වාක්‍යයේ අකුරක් හැලී හෝ ගලවා හෝ තිබුණු නිසා මට මතක් වූයේ පහ වසරේදී 'නම වරක්' චක්කරය නිසා අසරණ වූ අපේ කක්කා මිතුරාය.

එහි තිබුණේ "සුභ නව වරක් වේවා"

එකී කතාව නව වරක් ගැනය. සෑමා මේ කියන්නට යන්නේ...

ලබන්නාවූ සිංහල - හින්දු අළුත් අවුරුද්ද, පිටි කොටන්නට මෝල් ගහෙන් වංගෙඩියට තලන්නාක් මෙන් බ්ලොග් ලියන්නට කී-බෝඩ් එකට ඇගිලිවලින් තලන්නාවූ බ්ලොග් හිතවතුන්ට ආයු ආරෝග්‍යය සම්පත්තිය, යෝධ බල යෝධ විරිය ලබන්නටත් හේතු වේවා. 

පොදුවේ සියළු දෙනාට ජය සතුට සාමය පිරි අළුත් අවුරුද්දක්ම වේවා.

Written by sAm_11.22pm_11.04.2012

තවද ලොවෙත් නැති - ලෝවැඩ සගරාවෙත් නැති - ලෝකෝප්‍රකාරයෙත් නැති අළුත් අවුරුද්දක් වේවා.. !

යක්ෂයන් බත් කන, දෙවියන් සිරබත් කන සංස්කෘතිය නිමවන්නට තවත් බලාපොරොතුවක් තබමි.

Wednesday, April 11, 2012

වැලහින්නකට පෙම් බැදිමි..... (අවසන් කොටස)

ලසදා පැණි බීම කරත්තකාරයා සමග ගම හැර යද්දී සිරිමෙවන් දරුවා සමග නිවසේ තනිවේ. මී කැඩීමට කැළයට යන සිරිමෙවන්ට වැලහින්නකගේ අතවරයකට ගොදුරුවන්නට සිදුවේ. රාත්‍රියේ නිවසට එන්නේද වැලහින්නමය. වැලහින්නගේ සෙනෙහස මවගේ සෙනෙහස යැයි රැවටී නිවසේ දොරගුලු හරින්නේද සිරිමෙවන්ගේ පුත්‍රයාය. එදින රාත්‍රියද සිරිමෙවන් ගෙවන්නේ වැලහින්න සමගය. පසුදා උදයේ තිදෙනා අවදි වූ කළ සිරිමෙවන් මොහෙතකට කල්පනා සයුරේ ගිලෙන්නේ මිදුලේ හිදගෙනය. ඒ අතර වැලහින්න සහ දරුවා අතුරුදහන් වේ. සිරිමෙවන් මෙලෝ විකාරයෙන් දරුවා සොයා ගත නොහැකිව තනිවේ. රාත්‍රියේ ද වැලහින්න සමග දරුවා නැවත නිවසට ඒ යැයි සිතා ලාම්පුවක් දල්වා බලා සිටින සිරිමෙවන් අසලට වැලහින්න පමණක් පැමිනේ. දරුවා නැති වූ සොවින් සිරිමෙවන් වැලහින්න සමග පොර බදද්දී ලාම්පුව නිවසට පතිතව නිවස විනාස වේ.

සවිස්තරාත්මකව වැලහින්නකට පෙම් බැදිමි..... (1 කොටස) මෙතනින් කියවන්න.
සවිස්තරාත්මකව වැලහින්නකට පෙම් බැදිමි..... (2 කොටස) මෙතනින් කියවන්න. 
සවිස්තරාත්මකව වැලහින්නකට පෙම් බැදිමි..... (3 කොටස) මෙතනින් කියවන්න.
සවිස්තරාත්මකව වැලහින්නකට පෙම් බැදිමි..... (4 කොටස) මෙතනින් කියවන්න.

ගිණි දැල් අවසන නැගෙන දුම් රල මිදුල වසා ගනිද්දී සිරිමෙවන් ගේ දෙනෙත් කදුලින් බොදවිණ. වැලහින්න තවමත් සිරිමෙවන් තුරුලේ හොවාගෙන හිස පිරිමදින්නීය. ඇය නොසිතා වූ වරදට සමාව අයදින්නාක් මෙන් සිරිමෙවන් තුරුල් කරගත්තාය. 

"කෝ බොල මගෙ පොඩි එකා.." සිරිමෙවන් කෙදිරි ගෑවේය.

වැලහින්න සිරිමෙවන් මෑත් කර නැගිට ගත්තාය. සිරිමෙවන්ද නැගිට ගත්තේ ඇය පිළිතුරු දෙන්නට සූදානම් බවක් පසක් වූ නිසාමය. වැලහින්න පෙර මග ගෙන ගමන් කරද්දී සිරිමෙවන් පිටුපසින් පියවර මැන්නේය. අදුරු වනය සිසාර ඇසුනේ සතුන්ගේ කෙදිරිලිය. ඒ සියල්ල සිරිමෙවන්ට දැනුනේ නව ලොවකට කැදවීමක් ලෙසටය. අලුත ගෙනා මනමාලිය ගුරු පාර දිගේ ආඩම්බ‍රයෙන් ගමන් කරන කලෙක ගමේ ඕපා දූප සොයන ගැහැනු සේම කොල්ලෝ කුරුට්ටෝ පවා එඹිකම් කර බලන්නෝය. එහෙව් දසුන් සිහි කැදවමින් වැලහින්න සහ සිරිමෙවන් නව යුගයකට පියමනින අයුරු බලා සිටියේ කැලෑ සත්තුමය. දෙපස ගෙම්බන් කෑ ගැසුවේ සංගීතය සපයන්නාක් මෙනි. ගමේ පන්සලේ ආලෝක පූජාවට ලයිට් දාන සමරේ අයියා මෙන් රෑ බදුල්ලෝ සේම කලා මැදිරියෝද මග දෙපස එළිය කළහ.

සියළු සාජ්ජ මැද සිරිමෙවන් හා වැලහින්න ආවේ මහා වෘක්ෂයක් අසල එල්ලෙන වැල් වලින් ආවරණය වූ ගුහාවක් අභියසටය. වැල් පොටවල් මෑත් කර වැලහින්න පාර කීවේ අලුත ගෙනා මනමාලයාටය. සිරිමෙන් හදන්නේ බින්න බහින්නටය. කරන්නට දෙයක් නැත. ආත්තා ගෙඩිය රසය, ගුණය, ගදක් නැත්තේමය. එහෙත් දූරියන් රස, ගුණ පිරි මුත් දුගදය. ඒත් ආත්තා වලට වඩා ගුණයෙන් වැඩි බව සැවොම දනිත්. එහෙව් ගෙඩි දෙකක් දෙපස ඇත. ලසදා නම් ආත්තාමය. සුවදින් සපිරි නිසා පැණි බීම කරත්තකාරයා තුරුලු කර ගත්තේය. වැලහින්න නම් දූරියන්මය. දුගද මුත් ගුණදායකය. තමාට පමණක් ‍නොව තම පුතුටද සෙනෙහේ සිතින් සලකන්නේමය. එහෙව් කලෙක පුතු ගැන සිතීම විනා නාකි මගේ ඇග උඩ නැග්ගාට කම් නැත කියා සිරිමෙවන් ගුහා ගත වුවේය.

ඇතුලත අදුරුය. නමුත් මෑතින් වැතිර නිදන පුතු ගේ මුව පැහැදිලිය. සිරිමෙවන් පියෙක්ව පුතුගේ දිවිය එලිය කරන්න‍ට වෙර දරන්නේ හන්දියේ ඇති ලයිට් කණුව මෙනි. එහෙව් කණුව හන්දිය එළිය කළද කණුව පාමුල අදුරුය. ඇත්තය. සිරිමෙවන්ද එසේමය. තම දිවිය අදුරු මුත් වටේම එලිය කරන්නට කාලයක් එලැබ ඇත. වැලහින්නක වුවද තමා දිවිය සරි කළ රක්ෂාවටම ගැලපෙන්නේමය. මී වද / දෙබර කූඩ කැඩීමට තමා දැන් කළබල විය යුතු නැත්තේමය. තම බිරිය වැලහින්න වූ කලෙක සිරිමෙවන් නිදහස්ය. පෙර නොවිදි රසය, ලසදාගෙන් එපා කී රසය දැන් සිරිමෙවන්ට හුරුය පුරුදුය. දැන් තමා සිටින්නේද ගමේ, නිවසේ නොවේය. නිවස දැවි අවසානය. ගමේ එකාලා තමාව නැවත සොයනු නැත්තේමය. දැන් තියෙන්නේ නුපුරුදු දීගය රස විදීම පමණකී යැයි සිරිමෙවන් සිත හදාගත්තේය.

ඉහල එසවෙන, පහළ යන පුතුගේ පපුව සිරිමෙවන් අතගෑවේය. වැලහින්න සියල්ල බලා සිට පුතු අසලින් වකුටුව වැතිර සිටියාය. සිරිමෙවන් නුහුරු සරම උනා තියා අමුඩය පිටින් වැලහින්න අසල වැතිර ගත්තේය. දැන් සියල්ල නිදහස්ය. පෙරලෙන ගලට පෙරලෙන්නට දුන් කාලය අහවරය. පෙරලෙන ගල කැමති කැමති අතට පෙරලා රස විදින්නට කාලය එලැබ ඇති බව සිරිමෙවන්ට නිසැකය. ගමෙන් එලියට පැන වන ගත වූ අපූරුව සිරිමෙවන්ට සතුටක් ගෙන දුන්නේය. පුතු පසුපසින් වකුටු වූ වැලහින්නද, වැලහින්නට ඇතිල්ලි පිටුපසින් වකුටු වූ සිරිමෙවන්ද, එකම ගල් ගුහාවක් තුල හුස්ම ඉහල පහල හෙලන්නට වූහ. මොහොතකින් පුතු හැර අනෙක් දෙදෙනාගේ හුස්ම වේගය වැඩි වූ බවට දන්නේ කැලෑවේ සෙලවෙන ගස් අතු රිකිලි පමණකි.

අළුත් ලොවක උණුසුමින් හිරු එලිය වැටී ගල් ගුහාව එළිය වෙද්දී සිරිමෙවන් සහ පුතු අතර පැවතියේ හිඩැසකි. වැලහින්න ඒ අතර නොසිටියාය. සිරිමෙවන් කැලැවේ ගති ගුණ දන්නා අයෙකි. වට පිට බලා කුඩා ගස් පැලෑටි විපරම් කළ සිරිමෙවන්ට දැක ගත හැකි වු‍යේ වැලහින්න එලියට ගිය බවකි. එහෙත් ඇය ගමන් කරනවාට වඩා වැඩි වපසරියක ගස් අතු පොඩි වී ඇති බවක් සිරිමෙවන්ට පසක් විය. දැන් කැලෑව අතැර ගොස් ඉන්නට ගෙයක් නැති බව සිරිමෙවන් ගේ සිත තෙපලන්නේය. ආ මග අතැර දමා යායුතු ‍නොවේ. එන අතකට මුහුණ දිය යුතු කළෙක ආරක්ෂාවට යමක් සගවා තබා ගැන්ම සුදුසුය. සිරිමෙවන් පුතු ගල් ගුහාව තුල සිටියදීම එලියට බැස විපරම් කොට හොද ගස් අතු කැබැල්ලක් කඩාගෙන ගල් තලාවක අතුල්ලමින් මුවහත් කලේය. ඒ අනාරක්ෂිත වැලහින්න ගේ ඇසුරට බියේ නොවේමය. වෙනත් සත්ව කරදරයකට ගොදුරු වීමට අකැමැත්ත නිසාමය. වැලහින්න නම් දැන් සිරිමෙවන්ගේ කොටසක් වී ඇත.

පුතුද කැලෑ දිවියට ආශා බැව් පෙනේ. සිරිමෙවන් ලසදා සමග රැය ගත කලේද දවසම කැලයේ සිටින පුරුද්දෙන් සිටින කාලයේය. එහෙව් පුතෙකු කැලයට අකැමති බැව් සිතිය නොහැක. පුතු ද ගල් ගුහාවෙන් එලියට බැස ගත්තේ කෙලි සෙල්ලමට ඇති ලෙංගතුකම නිසාමය. සිරිමෙවන් ද එලියට බැස ගත්තේ වැලහින්න නැති නිසා ඇය එන මගක් බැලීමටත් පුතුගේ ආරක්ෂාව යන දෙකම ගැන සිතීමෙනි.

"අන්න අම්මා.." පුතු කෑ ගැසීය. සිරිමෙවන් වට පිට බලද්දි දුටුවේ වැලහින්නය. පුතුගේ මව වැලහින්නක් ? තම බිරිද වැලහින්නක් ? සිරිමෙවන් දෙ‍ලොවක් මැද දැල්වෙන හිරු මෙන් උනුසුම් ‍වන්නට විය.

වැලහින්න ගුහාව අසලට ආවේ ‍මී වද අතේ හොවාගෙනය. ඒ ඇරත් අතේ තිබි පලතුරු පුතුටය. සිරිමෙවන් සිතන්නට වූයේ තම රැකියාව දැන් කරන්නට වැලහින්න ඉදිරිපත්ව ඇති බවය. එහෙත් කැලේ වෙසෙන අපට නම් මුදල් කුමටද? සිරිමෙවන් සිතුවේය. මේවා විකිනීමට යා යුත්තේ ගමටය. ගමට ගිය කලෙක ගමේ එකාලා පස්සෙන් එනවා ඇත. එවිට තමාට සියල්ලන්ටම උත්තර බදින්නට වෙනවා නිසැකය. ඊට වඩා මී කැඩිල අහවර කළ යුතු කාලය එලැබ ඇති බව සිරිමෙවන්ට පසක් විය. වැලහින්නට එය තේරුම් කළ නොහැකි නිසා ගුහාවට ගෙනා මීය අත නොගා නොසලකා හැරීම කල යුතුය. එවිට ඇය තමා තේරුම් ගනු ඇත. සිරිමෙවන් උපක්‍රම යෙදුවේය.

සිරිමෙවන්ගේ උපක්‍රම සාර්ථක වී වැලහින්න මී ගුහා තුල හොවා හිදගත්තාය. ඉර අවරට හැරී කැලෑ දිවියේ ගුහාවක ගෙවෙන ජීවිත තුනක, අසම්මත පුංචි පවුල් සංස්ථාවක දිනයක් අවසාන වන්නට පටන් ගෙන තිබිණ. නුපුරුදු උණු‍සුමේ නිදන පුතු වැලහින්න ලග වැතරි ගත්දී, පළමු දින නුපුරුදු වූද දැන් තව තවත් සුපුරුදු පහසක් පතා සිරිමෙවන්ද වැලහින් අසලට වූවේය. වෙනදා පුතු මැදය. දෙන්න දෙමල්ලෝ දෙපසය. නමුදු ගුහාවේ ගෙවෙන ප්‍රථම රැය අද සිරිමෙවන් වැලහින්න අසලය. පුතු වැලහින්නට ඉදිරිපසිනි. මොහොතින් තිදෙනා නිදිලොව වැලද ගත්තද සුපුරුදු පරිදි ඉකුත් නිමේෂයේ වැලහින්නගේ දෙනෙත් විවර විය.

වෙනදා විවර වූ දෙනෙතින් ඇයි බැලුවේ සිරිමෙවන් දෙසය. එසවී ඇති අමුඩ ලේන්සුව දෙසය. අද ඇය නැගිට කෙලින්ම පිය මැන්නේ ගුහා දොර දෙසටය. කිසිත් නොපැහැදිලි අදුරු ගුහාවක පෙනුනේ ඇගේ දිලිසෙන දෙනෙත් පමණි. ගුහා දොර අසල සිටගෙන සිට ඇය නැවත පිය පුතු දෙසට හැරුණාය. මෙවර අදුරු ගුහාව පරයා දිලිසුනේ පෙර දුටු දෙනෙත් දෙක නොව දෙනෙත් සතරකි. එකී දෙනෙත් සතර ගමන් කලේ සිරිමෙවන් දෙසටය.

වැලහින්න පහත්ව සිරිමෙවන්ගේ මුව තද කර ගනිද්දී සිරිමෙවන් නිදි දෙනෙත් හැරී දගලන්නට වූවේය. දගලන අතර ලද අවසරයෙන් සිරිමෙවන් කෑගැසීය.

"අහ් උඹ තමා එහෙනම් අද උදේ ගුහාව ලගට ආපු අනිත් එකා..." නැවති සිරිමෙවන්ගේ මුව තද වූයේ වැලහින්න අතින්මය. පුතුට ඇසේ යැයි සිතී ඇය පියාගේ මුව තද කලාය.

සිරිමෙවන් එදින උදේ ගුහාව අවට දි දුටු සාධක වලින් තේරුම් ගත් දේ පසක් වන්නට සිරිමෙවන්ට අමුතු වෙහෙසක් ගන්නට අවශ්‍යය නැත්තේමය. ඒ සාධක මැද තමා සූදානම් කොට තබා ගත් උල් ආයුධය අතපත ගෑ සිරිමෙවන්ට එය ලගට ගත නොහැකි විය.

වැලහින්නගේ ආරාධනයෙන් ඇතුලට පැමිණි වලහා සිරිමෙවන් තැනූ අවිය අතදරා නැගී සිටියේය. වැලහින්නගේ අතින් තද වූ මුව විවර කරගන්නට වෙහෙස දරද්දී වලහා එකී අවියෙන් සිරිමෙවන්ගේ පපු කුහරය පසාරු කරද්දී සිරිමෙවන් මහ හඩින් දුන් විලාපයේ කොටසක් වා තලයට මුසු විය.

පියාගේ මර හඩින් අවදි වූ පුතු වහා පැන බදාගත්තේ වැලහින්නගේ සිරුරමය.

** සමාප්තයි **

Written by sAm_10.04.2012_06.20pm

Friday, April 6, 2012

කෑමට නම් මසකට රුපියල් 2500/- කුත් වැඩිය...


මාරයාගේ හෝරා‍වේ මාරයා කන හැටි අප දුටුවෙමු. ඒ රුපියල් 3500කින්ය. බන්දුල මාමා කීවේ 2500ක් ගැනය. ඒත් මාරයියා බන්දුල මාමාගේ කතාවට සාධාරණයක් ඉටු කොට ඇඩිෂනල් 1000කින් යසට කාලා ඇත.

එය නොබලපු අයට ලින්කුව මෙන්න.

මෙන්න මාරයාගේ ඒ කෑම සරලව.

ඔය මැන මැන කෙරිලි වෙන්නේ නැති හින්දා කොහොම හරි හාල් කිලෝවෙන් වේල් හයයි කතාව ඉවරයි...
මේ දවස්වල සුදු කැකුළු සම්බා සහ සම්බා මිල රුපියල් 66ත් 72කත් අතර වගේ තියෙනවා.. කීරි සම්බානං 90 ට ගතෑකි සමහර තැන්වල 100ටත් තියෙනවා... කොහොම උනත් හාල් කිලෝ 15ක් ගත්තොත් මට මාසෙකට යනවා රුපියල් 1050ක් විතර...
මාසෙකට පොල් ගෙඩි 08ක් විතර යනවා. ඒ කියන්නේ ගෙඩියක් 30 ගානේ තිබ්බොත්...240 යි (මේ දවස්වල මෙහෙ පොල් 25ත් 35ත් අතර ඇත.මං ගන්නේ මධ්‍යම ප්‍රමාණයෙන්..)
මාසෙකට බිත්තර 20ක්නං කැවෙන එක වලක්වන්න බැහැ.. බිත්තරයක් රුපියල් 9 යේ ඉදලා 11 වෙනකල් තියෙනවා..මං ඊයේ ගත්තෙත් 10 ගානේ.. ඒ කියන්නේ 200යි...
කොහොම උනත් පොලේ ගිය වෙලාවක රුපියල් තුන්සීයක කරවල ගත්තම මට මාසයකට ඇති. එතකොට කරවල වලට 300 යි
ඊ ළගට එළවළු.. මේ දවස්වල කෝකත් පන්සීය 30යි 40යි... මට එළවළු ගන්නකොට රුපියල් 15ක ප්‍රමාණය සෑහෙනවා...ඒ කියන්නේ ග්‍රෑම් 200ක් වගේ... හැබැයි මාසේ දවස් 30ම එළවළු භාවිතා වෙන්නේ නැහැ..ඔය අල පරිප්පුවලටත් කලක් යන්න එපෑ.. ඒ හින්දා දවස් 25කට එළවළු ගත්තොත් 375ක් වගේ...
පරිප්පු රුපියල් 100කත්.. අල රුපියල් 100කත් ගත්තම ඒ ටිකත් ඇති..එතකොට අල පරිප්පු දෙකටම 200යි.
ඊ ළගට මාළු... තලපත් මේ දවස්වල පන්සීය 320ත් 340ත් අතර තියෙනවා... ඉතිං ඔය දෙකටත් මාසෙකට රුපියල් 300ක් විතර අහක් කලාම ඇති.මස්නං ගෙන්නේ එහෙමත් දවසක... ඕක ගෙනත් කප කප උයනවට වඩා ලේසියි රුපියල් 60ක් දීලා දැල් කඩෙන් මස් එකක් අරං එනවා...
ඉතිං ඊ ලගට පලා වර්ග ගැන.. ඕන තරං නිකං ලැබෙනවා... ඒ කියන්නේ ඒවා මං වැඩ කරන තැන ඕන පදං ඔහේ වැවෙනවා..ගොටුකොල වගේ දේවල්වලට ගියොත් ඇර මට මාසෙකට රුපියල් 50කට වඩා ඔව්වට වියදං වෙන්නේ නැහැ.
එතකොට ඊ ලගට දුරු මිරිස් ,තුනපහ ,ලුනු ,ලූණු ,අමුමිරිස් ,තක්කාලි ,පොල් තෙල්,සෝස්.. වගේ දේවල්වලට යනවා තව රුපියල් 400ක් විතර මාසෙකට...ඔය ඉතිං උපරිම කිව්වේ..ඔයිට අඩු මිස වැඩි නැහැ...
ඊ ළඟට ගෑස්..මගේ ගෑස් සිලින්ඩරෙන් මාස දෙකක් කවර් කලෑකි..ඒ කියන්නේ ගෑස්වලට මාසෙකට 170ක් වගේ...
ඒ කියන්නේ ඔය ටිකට රුපියල් 3285ක් වගේ වෙලානේද..? ඒත් ඔය ගණන් රවුං කිරිල්ලෙන් ඔච්චර වැඩි උනා මිස ඇත්තටම ඕක තවත් ටිකක් අඩු වෙනවා...
ඕකට තව එකතු වෙන්න ඕන සීනි කිලෝවක්..නෙස්ටමෝල්ට් පැකට් එකක්.. ටී බෑග්.. කෝපි.. බිස්කට් වගේ දේවල්... හැබැයි මං ටිකක් තේ බොනවා අඩු කෙනෙක්.. සාමාන්‍යයෙන් මට සීනි කිලෝව පිටි පැකට් එක මාස දෙහෙකටත් ඇති වෙන වෙලාවල් තියේ...ආන්න ඒ ටිකත් එකතු වෙලා කොහෙන් කොහොම කැරකුනත් මට මාසෙකට කාලා..තේ බීලා ඉන්න 3500ක්නං යනවා ආයේ ඒකේ දෙකක් නැහැ.
ඒ අතර දෙරණේ සංවාදය බලපු මාතලන්ට නප්පෙට තද වී ‍පෝස්ටුවක් දැම්මේ "පිස්සු හරක් - Mad Cow Decease" ගැනය. එයද කියවන්ට.

ඒ සංවාදයට කතා කළ අයෙක් කීවේ පොරට 2500න් කන්න ඇහැකි කියාය. මාතලන් ඔහුට කීවේ මෙසේය. 

"හෝමාගම බන්දුල පමණක් නොව මීගොඩ සිට කෝල් එකක් දුන් මී හරක් බන්දුල කිව්වේ 2500 ටත් අඩුවෙන් ජීවත් වෙන්න පුළුවන් කියාය. "

බන්දු - රවී සංවාදය එසේ කැරකෙද්දී මාරයියා - මාතලන් මෙසේ කියද්දී සෑමාට ජීවමාන උදාහරණයක් සාක්ෂි ඇතිව ලැබුනේය.

මාරයාගේ කෑම ලෙව කෑමක් ලෙස බහුතරයක් කමෙන්ට් කරද්දී මේ ජිවමාන උදාහරණය එයිට වඩා සතුටින් සිටී. කරදරයක් නැතිව කන්නේය. මාරයා කියපු විදිහට ගණන් හද හද කෑම අපහසුය. මාසය අන්තිම වෙද්දී වේලෙන්නට වෙනවා ෂුවර්ය. දුර ට්‍රිප් යන මාතලන් වැන්නෙකුට එහෙව් කැමක් ප්‍රමාණවත්දැයි සැකය. එලියට බැහැලා ඇවිදින කොට දවසකට/දෙකකට රුපියල් දහක් වත් වියදම් වනු නොඅනුමානය.

මේ අපේ ගමේ කුලරත්න අංකල්ය. පොරට ගමම කියන්නේ කුලේ කියාය. රැයක හොරෙන් රඹුටන් කඩන්නට ගොස් ගසින් වැටී ගහමුලම පසුවදා එලි වෙනතුරු සිට නිවැසියන්ට මාට්ටු වූ නිසා 'රඹුටන්' යන නාමයෙන්ද. සියඹලා මුලක් කඩේකින් සොරකම් කර අසුවී 'සියඹලා' නමින්ද, සරම කැහැපොට ගසා හැද සිටියදී කුමන හෝ වැඩකට කොන්ද නමා පාත් වූ කලෙක කිසිවෙකු පිටුපසින් කුලේගේ කුට්ටම දැකීමෙන් පසු 'ගෙජ්ජියා' යන නමින්ද, බලු පැටික්කියක සම්බන්ධ සිදුවීමකට චූදිතයා වීමෙන් 'බලු පැටව්' ගැන කී විටකද, ආදී නානා විධ නමින් ගම පුරා ප්‍රකට 'කුලේ' ගේ පොටෝවක් මෙන්න. මෙය ගත්තේද පොර මද පමනට පානය කර සිටියදීය. මේ පොටෝවට පොරව ගත්තේද ඩයලොග් ඇඩ් එකකට ගන්වා කියා පොරොන්දු වෙමිනි. එනිසා හිසේ ඩයලොග් කාඩ් එකක් තැබීමි.

මේ කුලේය - හිසේ ඇත්තේ ඩයලොග් කාඩ් එකක්ය.
කුලේ ජොබක් කලේම නැත. කරන්නේ කුලී වැඩය. ගමේ කෙනෙක් වත්ත සුද්ද කරන්නට කී විට පොර මුලින් ඇඩ්වාන්ස් ගන්නේය. උදේම 100ක් අරන් වත්තේ පැත්තක් කොටන පොර දවල් කන්නේද නැතිය. උදේට වැඩ කරන නිවසින් ප්ලේන්ටිය ලැබෙන්නේය. උදේ රුපියල් 100ක් ගත්ත කුලේ නැවත වැඩට එන්නේද නැතිය.

දවසක් අපේ ලොකු අම්මා පොරට මුදල් දි කඩේ යවා ඇත්තේ කරපිංචා මිටියක් ගෙන ඒමටය. අපේ වත්තේ කරපිංචා ඇත. ලොකු අම්මා කම්මැලි කමට කුලේව කඩේ යවා ඇත. කුලේ ‍කඩේ නොගොස් මුදල් සාක්කුවේ දමාගෙන වෙන ගෙදරක වත්තකින් කරපිංචා කඩා මිටි බැද ලොකු අම්මාට ගෙනත් දී ඇත. එය දැන සිටියේ කුලේ පමනකි. පැයක් යන්නට මත්තෙන් ඒ ගෙදර (දුරින් ඥාති ලු) කාන්තාව අපේ අම්මා සොයා ආවාය.

"මේව අපි අමාරුවෙන් වවපුවා. ඔයාල මිනිස්සු එවන්නේ ඇයි හොරකම් කරවන්න" ඇය කීවාය.

"ඇයි මොකක්ද ප්‍රශ්නේ??" අපේ අම්මා ඇසූ විට ඇය මුල සිට සිද්ධිය කියා ඇත.

"අපිට ගස් නැතිවද කරපිංච හොරකම් කරන්නේ.." කියා අපේ අම්මා වත්ත කෙලවරේ තියෙන ගස පෙන්නා ඇත.

ඇයට කට උත්තර නැතිය. ඒත් පිලිගත්තේම නැතිය. මෑතකදී ඒ ඇන්ටිලාගේ ගෙදර තිබ්බ දානමය පිංකමකට අපේ අම්මා යැව්වේද කරපිංචා තොගයකි. කරන්නට දෙයක් නැති කළ පසුව පැවැත්වූ පරීක්ෂන වලින් තහවුරු වුයේ කුලේගේ කුප්ප වැඩ නිසා සොරකම සිදුවූ බවය.

ඉස්සර අපේ මහප්පාගේ පුතා කඩයක් කර ඇත. පොර ඒකේ පරිප්පු බෑග් වලට දමා පාර්සල් කර තබා ඇත්තේ පාරිභෝගිකයාගේ පහසුවටය. ඒ කාලේ කුලේ අංකල් කඩේ ඉදිරියේ බංකුවේ හිදගෙන සිටින්නේය. කඩේට ආපු  කිසිවෙකු  දැක ඇත්තේ බංකුවේ සිටින කුලේ පරිප්පු පැකට් එකක් සරම අස්සේ ගසා ගන්නවාය. පොර හොරෙන් අපේ මහප්පාගේ පුතාට කියා ඇත. ප්‍රශ්න කරද්දි කුලේ කියා ඇත්තේ පොර සොර කම නොකල බවයි. නමුත් මොහොතකින් කුලේ අංකල් බංකුවෙන් නැගිට හන්දිය පැත්තට ගමන් කරද්දී සරම අස්සේ තිබි හිල් වුණ පරිප්පු බැග් එකෙන් පරිප්පු ඇට හැලෙන්නට පටන් ගෙන ඇත. එහෙව් සරමක් අස්සේ තිබි පරිප්පු කෑමට ගන්නට නොහැකි නිසා අපේ මුදලාලි මහත්තයා පොරට සමාව දී නොදැක්කා සේ සිටි‍යේය.

එහෙව් කුලේ කන හැටි සරලව මෙසේය.

පොර උදේට කන්නේ අඩුවෙන්ය. ප්ලේන්ටියක් පමනක් අවශ්‍යය. බීඩියක් හෝ දෙකක් අනිවාර්‍යය. එය ලබා ගන්නේ අපේ කඩෙනි. අපේ කඩේට බීඩි ගන්නේ කුලේටමය. ගිණි පෙට්ටියද හොරකම් කරන්නේ කුලේමය. විටෙක අපේ ගෙදරින් හෝ කඩෙන් පාන් කෑමට කියා හොදි ඉල්ලා පැමිනේ. අම්මා පොරට අවශ්‍යය ප්‍රතිපාදන ලබා දෙන්නේය.

දහවලට කන්නේ නැතිය. නිවැසක කුලී වැඩක් කරන විටක ඒ ගෙදින් කෑම ලැබේ. නැතිනම් දවසට 75/-ක් අවශ්‍යය. ඒ කසියා කාලක් ගැසීමටය. එදාට පොර දවල්ට නොකා සවස 3ට පමන යන්නේ කසියා පොට් එකකටය. ‍අපේ ගමේ නැති නිසා පොර රුපියල් 18ක දුරක් දැන් යන්නේ බස් එකෙනි. එහෙම ගියත් පොර ටිකට් ගන්නේ බස් හෝල්ට් එකක දුරකට පමණි. බොහෝ විට පයින්ම යන්නේය. හැමදාටම කසියා අවශ්‍යය. නැත්තම් පොරගේ දිව එලිට පැන වෙව්ලන්නට පටන් ගනී.

රුපියල් 75  X  දින 30 = 2250/- 

(කසියා කාලක් 75/- බව මම අද උදේ ‍කුලේ අංකල්ගෙන් අසා දැන ගතිමි. 
නමුත් ‍අද මිල ඩොලර් අගය නිසා හෙට වුවද වෙනස් විය හැක)

කුලේ අංකල්ට රෑට කෑමට වුවමනාමය. පොර බොහෝ විට කෑම ඉල්ලන්න යන්නේ අපේ ලොකු අම්මලාගේ ගෙදරටය. එවිට ‍ලොකු අම්මා පොරට බත් එකක් බැද දෙන්නීය. ‍හැදි දෙකක් දැම්මත් පොරට එය කා ගන්නට බැරිය. දවසක් රෑක අපේ ගෙදර ආ‍වේ කෑම එකක් ඉල්ලන්නටය. ගෙදර උඩ තට්ටුවට ඒමට එලියෙන් ඇති පඩි පෙල නැග්ගේ කුලේ අංකල්ය. එදා වැසි දවසක් නිසා පඩි පෙල තෙත වුවත් පොර කිසි අවුලක් නැතිව ලිස්සන්නේ නැතිව උඩට නැග්ගේ කසියා පවර් එකෙනි. අම්මා සෑමා අතට පාර්සලය දුන්නේ ‍කුලේ අංකල්ට දෙන්න කියාය. මම එය අතට දී කිවේ අංකල් පඩිපෙල ලිස්සනවා වැටෙයි කියාය.

"පුහ්..මාව වැටෙන්න.. මම එගොඩහ ඉදන් කසියා බැරල් බඩ යට තියාගෙන පීනපු කොල්ලෙක්" කියමින් කුලේ අංකල් පහලට බැස්සේය. මම දොර වසා නිවස තුලට ගියෙමි.

අවසාන 5 වන පඩියේදී පමන පොර වැඩී "දඩිස්" හඩක් නැගින.

"වැටුන නේද? ඇවිත් නැගිට්ටවන්නද" මම දොරෙන් ඔලුව දමා ඇසීමි. පොර වැටී සිටියද කැම පාර්සලය එක අතකින් ඉහලට ඔසවා සිටියේය.

"ෆිස්සුද... කවුද වැටුනේ?? මම මේක මෙතනම ඉදගෙන කන්න හැදුවේ.."

පොරට කෑමට (වඩා බීමට) මුදල් අවශ්‍ය විටෙක කරන්නේ අපේ කඩෙන් ණයක් ගැනීමය, එහෙත් පසුව ඒවා මතක නැත. වැඩිම වුනොත් ගන්නේ රැපියල් 100/-කි. ඒවා අපේ අය අමතක කරන්නේ පොර වැඩක් කිවොත් කරලා දෙන නිසාමය.

බන්දුල මාමා මෙය දැක්කොත් ජීවමාන උදාහරණයකට කුලේ අංකල්ව උස්සගෙන යනවා ෂුවර්ය. මට හිතෙන්නේ බන්දු මාමා කීවේ අපිට කුලේ අංකල් වාගේ කාලා ඉන්න කියාය. කුලේ අංකල්ට වියදම 2250කි. ඉතිරි 250/- අපිට ලිබටියේ ෆිල්ම් එකක් ද බැලිය හැක.

පලි - කුලේ අංකල් ගැන ලියන්නට පටන් ගන්නට හිටියේ මෙහෙම නෙවේය. මාරයාගේ පෝස්ටුව දැක මම අපේ තාත්තට කිව්වේ එහෙම 3500න් කන එකෙක් ඉන්නවා කියාය. අපේ තාත්තා කීවේ කුලේ අංකල් නම් ගේමක් නැතිව කාලා ඉන්නවා කියාය. එවිට ආ අදහස අනුව මේ පෝස්ටුව දැමීමි. කුලේ අංකල්ගේ සොරකම් පිලිබද හා ආතල් සිද්ධි මාලාවක් සෑමා සතුය. ඒවාත් ලගදීම.

පපලි - කඩේ යනවාට වැඩිය අවංක වීම වැදගත් යැයි හැගේ.

Written by sAm_11.35am_06.04.2012

පපපලි - (සවස - 6.36) මෙය බුකියේ ශොයර් කල පසු අපේ නෝටි දරුවා කීවේ කසියා 75/- වැඩි බවකි. මම අද උදේ අහද්දී කුලේ අංකල් කීවේ කාලක් 75/- කියාය. නෝටියා කියන්නේ 100/- කියාය. එතකොට නම් ඉදලා හමාරය. එකතුව 3000ක් එනවාය.

** සිය රට දේ සිරි සැප දේ - කලාපීය භු විෂමතා ලක්ෂණ අනුව මිල වෙනස් විය හැකි බව කියවේ **

Wednesday, April 4, 2012

දෝදු සහ ටෙලිෆෝන් කතන්දර...


දෝදු.... යනු අමුතුවෙන් හැදින්විය යුතු නැති නමකි. ඔහු ගේ සැබෑ නම කවුරුත් (බහුතරයක්) තවම නොදන්නා නිසා පොර තාමත් සෑමාගේ මිතුරාය. කතා සියල්ල කියවමින් පොර මට බනින්නේ කුණු හබ්බ වලිනි.

එදා අපි ගම්පහ ක්ලාස් යන දවසකි. උදේ පාන්දර 7ට ටියුට් එකක් දෙන නිසා ලමයි පන්තියට ආවේ 6ට පමණය. සෑමා නම් ගෙවල් ලගින් බස් එකට නැග්ගේත් 6ට පමණය. ඒ කාලේ අපේ එකාලා ක්ලාස් ගියේ හුලුඅතු පත්තු කරගෙනය. කුකුලා අතේ තියාගෙනය. සෑමා සහ පුෂ්පේ ගෙවල් ලග හෝල්ට් එකෙන් නැග හෝල්ට් දෙකක් ඉදිරියට යද්දී එම බසයටම නගින්නේ අපේ දෝදුවාය. විටෙක පොර බස් එකට නගින්නේ නැත. විටෙක කීවාට බොහෝ විට දෝදුට නින්ද යන නිසා එන්නේ ප්‍රමාද වෙලාය. සර් හැමදාම ප්‍රමාද පිරිස් ඉදිරිය ඩෙස්ක් වලට ගන්නා නිසා අපි ක්ලාස් එකේ ඉදගෙන සිටියදි දෝදු පන්තිය මැදින් යනවා අපි අනන්තවත් දැක ඇත්තෙමු.

ක්ලාස් එන්න නැගිටින්නට පමා වන්නේ රෑට පාඩම් කර නිදි මත නිසා යැයි කීම සාධාරණය. එහෙත් පොර 7ට පමණ නිදා ගන්නේ පහුවෙනිදා ක්ලාස් යා යුතු නිසාය. ඒත් පොර එන්නේ පමා වෙලාය. එහෙව් දෝදුවා ක්ලාස් එකේද ටියුට් එක කර නිදා ගන්නේය. විටෙක ටියුට් එක අතක තබාගෙන හිස ඩෙස්ක් එක මත තබා ගොරවද්දි පුෂ්පේ හෝ සෑමා දෙපස සිට දෝදුව වත්තම් කරගෙන නැගිට්ටනවාය. දවසක් දෝදු එලෙස නිදා සිටියේ නුගේගොඩ මැත්ස් ක්ලාස් එකකදීය. එක පාරට නැගිට දෝදුවා සෑමාගෙන් ඇසුවේ ඇයි බං සර් විසිල් ගැහුවේ කියාය. සර් ගහපු විසිල් එකක නැත. එක්කෝ දෝදුවා හීනෙන් හෝ පොලිසියට මාට්ටු වී ඇත. නැතිනම් සිහිනයක් පාට පාටින් දැක ඇත. සෑමා නැහැ කියද්දිත් දෝදුවා කීවේ සර් විසිල් ගැහුවා කියාමය. බැලින්නම් අඩ නින්දේ සිටින දෝදුට සර් ගේ මයික් එකට සුලං වැදී එන විසිල් එකක් වැනි සද්දය ඇසී කලබල වී ඇත. සෑමා කීවේ අවුලක් නැහැ මචං සර් තව විසිල් එකක් ගැහුවොත් ඇහැරවන්නම් උඹ නිදා ගනිං කියාය.

ඒ ක්ලාස් එකේම දවසක් දෝදු පමා වී පැමිණ හිද ගත්තේ සෑමා හා පුස්පේ ඇතුලු සෙට් එක සිටි ඩෙස්ක් එකට ඉදිරියෙනි. ඒ ඩෙස්ක් එකේ සිටියේ දෝදු සහ ඊට බොහෝ දුරින් තවත් තිදෙනෙකු පමණි. පැය දෙකකට විතර පසු දෝදු ඩෙස්ක් එක මත සමපාත වී සිටියේය. ඉස්සර බහුතරයක් ක්ලාස් දරුවෝ දමන්නේ බාටා කැබලිය. නිකන්ම බාටා නොවේය. බෝල බෝල බාටාය. අපේ බොහොමයක් දැම්මේද ඒවාය. දෝදු ඉදිරිපෙල නිදා සිටියදී අපේ එකෙක් දෝදුගේ ‍ගලවා තිබූ සෙරෙප්පු දෙක අරන් දෝදුගේ දකුණු අත පැත්තේ එකකුත්, වම් අත පැත්තේ තව එකකුත් තැබුවේය. කෙල්ලෝ කොල්ලෝ දෝදු දෙස බලා සිනා සෙමින් සිටියත් දෝදු නැගිට්ටේ තම නින්ද කෙළවර කළ පසුවය. ඉන් පසුත් විනාඩි 15ක් වත් යනතුරු දෝදු සෙරෙප්පු නොදැක්කේමය.

ඒ දෝදු ගැන අතුරු කතාය, දැන් දෝදුගේ ෆෝන් කතන්දර...

ඉහත කී පරිදි දෝදු ගම්පහ ක්ලාස් යන්නට අපේ බස් එකටම නැග්ගේය. පොරගේ පොත් කිහිපය ඇරෙන්නට එදා අනිත් අතේ තිබ්බේ කළු ටියුලිප් බෑගයකි. ඒ දුටු අපට ප්‍රශ්න වැලකි.

"මොකක්ද බං ඔය? අද උබ දවල් කෑමත් ගෙනාවද?" දෝදු කෑමට සූරයා නිසාම ඇසුවෙමු.

"නැහැ මචං, අපේ සී.ඩී.එම්.ඒ ෆෝන් එක කැඩිලා. ඒක එන ගමන් නුවර පාරෙ ඇවිත් කිරිබත් ගොඩ ටෙලි ෂොප් එකට දෙන්න ඕනේ." දෝදු කීවේය.

"අම්මා මෙයා අදත් හෙන වට වන්දනාවක් සෙට් කරයි වගේ.." මීට කලිනුත් දෝදු බස් නැතිව පයිං යන ගමන් බහුලව අපට සෙට් කර ඇත.

"හරි හරි බං යන තැනය යං, ක්ලාස් ඉවර වෙලානේ... ඔය මගුල එල්ල ගෙන ඉන්නේ නැතිව පොත් ටිකත් දා ගනිං ඔය බෑග් එකට.." සෑමා දෝදුට ෆයි-එස් (5S) සිංහල ක්‍රමයට කියා දුන්නේය.

දෝදු කියන දේ අහන කොල්ලා නිසා බෑග් එකට පොත් ඔබා ගත්තේය. සුපුරුදු පරිදි එදා ක්ලාස් යද්දී අම්බානක පමාය. එනිසා සර්ගේ සුහද ඇරයුම යටතේ ඉදිරිපෙල මන්ත්‍රී අසුන් අපට හිමි විය. එහෙම පමා වී ක්ලාස් එකට ගියත් අපි සර්ට පෙනෙන මානයේදී පමණක් බොරු කලබලයක් ඇගට ගන්නෙමු. සර්ව දැක් හැටි‍යේ මහ කලබලයෙන් ඉදිරියට ගොස් හිද ගතිමු.

දෝදු මැදට හිටින පරිදි සුපුරුදු ලෙස හිද ගත්තේ පොරව විනාඩි 30කට වරක් ඇහැරවිය යුතු නිසාය. නැතිනම් දෝදු පන්තියෙන් එලියට දානවා ශුවර්ය. කලබලයෙන් හිදගත් දෝදු බෑග් එකට අත දමාගෙන පාඩමට අදාල පොත සොයන්නට විය. මතක විදිහට ඕගනික් කෙමෙස්ට්‍රිය. අත දමා කරකවා බැලුවද පොත සෙට් නොවුණ තැන දෝදු බෑග් එකෙන් එලියට ගත්තේ සී.ඩී.එම්.ඒ දුරකතනයයි. එය ඔසවා ඩෙස්ක් එක පැත්තකින් තැබුවේය. ඉතිරි පොත් ටික අනිත් පසින් තැබුවේය. දැන් දෝදු නිකං ඔපීස් එකක මහත්තයෙක් වගේය. පැත්තක පොත් ෆයිල් ගොන්නකි. පැත්තක දඩාර ෆෝන් එකකි. එහා පැත්තේ සිටි කොල්ලෝ සෙට් එක දත් මිටි කාගෙන සිනාසෙද්දී, කෙල්ලෝද දෝදුව අමු විලි ලැජ්ජාවට පත් කරමින් සිනාවෙන්නට වූහ. දෝදුට ලැජ්ජ නහර නැති වුනාට සර් දැක්කොත් විනාසය. අපි දෝදුගේ අතිජාත මිත්තරයෝ නිසා අපටද වීසා ලැබෙනු ශුවර්ය.



"මොකද pකෝ කරන්නේ.. ඕක දාගනින් ඇතුලට ඇඩ් එකක් නොවී.." කීවද දෝදු නිසලය. සෑමාම බෑග් එක අතට ගෙන ෆෝන් එක ඇතුලට එබුවේ විලි ලැජ්ජා‍වේ බැරි නිසාය. සර්ට මාට්ටු නැත. එහෙත් එදා ඉන්ටර්වල් එකේදී පිටුපස සිටි සෙට් එකේ කොල්ලෙක් සෑමාට තට්ටු කලේය.

"මචං අද ගෙදර කවුරුත් නැද්ද ?" පොර ඇසුවේය.

"ඇයි මචං එහෙම ඇහුවේ.." සෑමා ප්‍රශ්නාර්ථ ලකුණින් ඇසුවේය.

"නැහැ.. ගෙදරට එන කෝල් මිස් වෙයි කියලද උබ ලෑන්ඩ් ෆෝන් එකක් ගෙනාවේ.." දෝදුගේ ‍වැඩෙන් බැට කෑවේ සෑමාය.

"මේ හු** වැඩ බං.. මේක වැඩ කරන්නෙ නැහැලු.. හදන්න දෙන්න ගෙනෙල්ලා.." සෑමා කීවේ දෝදු පෙන්නමිනි.

ඒ ෆෝන් එක කැඩිලා කිව්වාට කෝල් එකක් ආවොත් රින්ග්ස් යනවාය. විටෙක ඩිස්ප්ලේ එකේ අවුලක් තිබ්බ නිසා දෝදු එය රෙපයාර් කිරීමට රැගෙන විත් ඇත. එය හිරු එලියට ඇල්ලූ විට ඩිස්ප්ලේ එකද අවුලක් නැතිව පෙනෙනවාය.

එදා දෝදු සමග අප බස් එකට නැග්ගේ කිරිබත්ගොඩ ගිහින් ෆෝන් එක හදා ගැනීමටය. 

ඒ ලෙවල් කරන කාලේ සෑමට හෑන්ඩ් ෆෝන් නැත. සෑමා ප්‍රථමයෙන් ෆෝන් එකකට ගත්තේ රේඩියෝ ඇති සුට්ටං එල්.ජී ෆෝන් එකකි. ඒ 2008 වසරේදීය. ගෙදරින් ඉල්ලා නෙවේය. තමාගේම මුදලිනි. ඒ ෆෝන් එකෙන් ඇරඹි පෙම තවම තියෙනවාය. දැන් වසර 4කි. ෆෝන් එක නම් කැඩුනේ වසර එක හමාරක් විතර භාවිතයෙන් පසුවය. ඒත් එය තාමත් කෞතුක භාණ්ඩයක් ලෙස ගෙදර තබා ඇත.

දෝදු සමග බස් එකට නැගි අපි සෙට් එකට තිබ්බේ පුෂ්පේගේ නොකියා ෆෝන් එකක් පමණි. බෑග් එක උස්සගෙන සිටියදී එතන සිටි ක්ලාස් එකේ කෙල්ලෙක් දෝදු දිහා බැලුවේ නැත. කලින් දෝදුගෙන් පාඩමක් උගත් ඇත්තියක විය හැක.

"මොනාද අනේ බෑග් එක ගන්නකෝ.." දෝදු බැග් එක බලෙන්ම පැටෙව්වේය. කෙල්ලද කරන්නට දෙයක් නැති තැන ගත්තාය. ඇය තම පොත් ගොඩට උඩින් දෝදුගේ බෑග් එක පිලිවෙලකට තබාගෙන ඊට උඩින් තම මොලැ කැටි දෑත් තබා ගත්තාය.

"මචං ගනිං උබේ ෆෝන් එක.." දෝදු ඉල්ලා ගත්තේ පුෂ්පේගේ ෆෝන් එකයි.

"තෝ මොකෝ කරන්න යන්නේ.. අඩේ සල්ලි නැහැ බං.." පුෂ්පේ දෝදු ගැන දන්නා නිසා සියල්ල විස්තර ක‍ර ෆෝන් එක දුන්නේය.

"කවුද බං සල්ලි ඉල්ලුවේ.. මම ඉල්ලුවේ ෆෝන් එක.." දෝදු සද්ද දැම්මේය.

එහෙව් ෆෝන් එක ගත් දෝදු අර දැරිවිගේ ඔඩොක්කුවේ තිබි ෆෝන් එකටම රින්ග් කලේය. අර කෙල්ල එක වර අත්දෙක උඩට ඉස්සුවේ බෑග් එක දෙදරද්දී බයේ ගැස්සිලාය. ඇය එවර දෝදු දෙස බලා අහක බලා ගද්දී දෝදු මුකුත් නොදන්නා ලෙස අහක බලා සිටියේය. 

දෝදු නැවත රින්ග් කලේය.

අර කෙලි පොඩිත්ත හිස ඔසවා බැලුවාය.

"තමුසෙගෙ බෑග් තියා ගන්නයි, ‍ජෝක් බෙදාගන්නයි මට බැහැ. ‍ආහ්.. මේක තියා ගන්නවා"

Written by sAm_6.45pm_04.04.2012

පලි - ඩිස්ප්ලේ ගිය හෑන්ඩ් ෆෝන් එකෙන් දෝදු මැසේජ් ලියයි/කියවයි ලගදීම....

Monday, April 2, 2012

ගුරුවරුන්ට පාඩම් උගන්නපු ‍අපේ කොල්ලෝ.....


ඉස්කෝලෙ යන කාලේ ගුරුවරුන් ලමයි යහමගට ගන්නට ට්‍රයි කරති. වරදක් කලොත් දඩුවම් කරන්නේ ඒ නිසාමය. ඒත් අපේ එවුන් දඩුවමක් ලැබෙන කොට ඒ සමගාමිව ගුරුවරුන්ටද ටොපියක් සෙට් කරති. නිව්ටන් නියමය සත්‍යය වන්නේ එවිටය.

ජෙල් ගෑම තහනම්.

ඉස්සර ජෙල් ගෑම තහනම්ය. පොල් ජෙල් ගෑම වරදක් නැත. සෑමා පොඩි කාලේ ඔලුවේ මුකුත් ගෑවේ නැත. එහෙත් ලොකු වෙද්දී සුවද තෙල් වර්ගයක් ගෑවේය. ඒ නමය වසරදීය. ඒත් කාලය සමග ජෙල් භාවිතයට කොල්ලෝ කුරුට්ටෝ පෙලබෙද්දී සෑමාට ජෙල් ගා කොණ්ඩය ඉහලට එසවීය. ජෙල් වැඩිපුර ගෑවාම සුවද එන නිසා ගෙදරට මාට්ටු වෙනවාය. එනිසා කොල්ලො බහුතරයක් කලේ ජෙල් පැකට් සාක්කුවේ දාගෙන ඉස්කෝලෙ ඒමය. ටොයිලට් එකට ඇතුල්ව ජෙල් ගෑම ජයටම සිදුවිය. සමහරු පොල් ජෙල් ගෑහ. පොල් තෙල් ගා ජලය මිශ්‍ර කළ විට පොල් ජෙල්ය. එසේම බේබි ඔයිල් ගෑමද සිරිතක්ව තිබිණ. දැන් නම් සෑමාට පට්ට තෙලක් ලැබී ඇත. එය ඔලිව් මිශ්‍ර උකු දියරයකි. ගෑවාම ජෙල් වගේමය.

ජෙල් වසංගතය ඒමත් සමග පාසලේ නීති රීති වලට අලුතෙන් ආවේ ජෙල් තහනම් කිරීමේ රෙගුලාසියයි. ජෙල් ගෑම තහනම් සේම පාසලට ඇතුල් වෙන තැනදී ඔලුව අතගා ජෙල් ගාලා නම් හිස සේදිමද සිදුවිය. එය සිදු කලේ බොහෝ විට ශිෂ්‍යය නායකයින්ය. සමහරක් වෙලාවට ප්‍රින්සිපල් උතුමාද තම සුරතින්ම වැඩේ දෙන්නේය. දවසක් අපේ ‍එකෙක්ගේ කොණ්ඩය වැඩි කියා අල්ල‍ගෙන ගොස් තිබ්බේ ප්‍රින්ස්මය. එසේ පිරිසක් ගෙන ගොස් කතුරකින් කොන්ඩය කපා පන්තියට එවා තිබ්බේය. තවද කොණ්ඩය කපන්නට සල්ලි නැහැ කියන එවුන්ට සර් සල්ලි දීමද සිදු කලේය. අපේ ‍ගොඩක් එවුන් ඒ ක්‍රමයට කැමතිය.

දහම් පාසලේ ශිෂ්‍ය නායකයෙක්ව සිටින කාලයේ සෑමා ප්‍රින්සිපල්ට වැන්ද මොහොතක එතුමා හිස අතගා සෑමාගෙන් ඇසුවේ..

"ආ පුතා කොන්ඩේ 'ජෙලි' නේද ගාලා තියෙන්නේ.." කියාය.

"ඔව් සර්.." සෑමා ඇත්තම කීවේය.

"මොකක්ද ඔය 'ජෙලි' එක"

"මේක 'මෝතා' ජෙලි එක.." සෑමා එසේ පිලිතුරු දුන්නේ තමා ඔලුවේ ගාන්නේ 'ජෙලි' නොව 'ජෙල්' නිසාය.

එකොලහ වසරදී අපේ පන්තියේ සිටි දසුන් ගේ කොණ්ඩය සෝදා තිබ්බේ ජෙල් වලට මාට්ටු වීමෙනි. එසේම එය සිදු කර තිබ්බේද ප්‍රින්ස් අතිනි. දස්සා එදා පන්තියට ආවහම පන්තියේ ටීචර් පවා ඔහුව බයිට් කලේය. වතුර බේරි බේරි කොල්ලා පන්තියට එද්දී සියල්ලෝම බලා සිටියහ. ඊට පසු දිනද උදේම දස්සා පන්තියට ඇදගෙන ආවේ ප්‍රින්ස් තුමා අතිනි.

සර්ගේ අත්දිග කමිසය ‍හොදටම තෙත් වී තිබිණ. එලෙසම දස්සාගේ උරසිසෙන් උඩ හොදටම තෙමී වතුර බේරෙන දසුනක් සැමට පෙනිණ.

"ටීචර් බලන්න මූව හදන්න බැරි එකෙක්.." ප්‍රින්ස් කෑගෑවේය.

"ඇයි සර් මොකද මූ කරල තියෙන්නේ.." ටීචර් ඇසු‍වේ පුටුවෙන් නැගිටිමිනි.

"මූ ඊයෙ ජෙල් ගාගෙන ඇවිත් මගෙ අතින්මයි මම හේදුවේ.." ප්‍රින්ස් උතුමා කීය.

"ඔව් සර්. මම දැක්ක. පන්තියට ආවහමත් මම බැන්න හොදටම" පන්තියේ ලමයෙක්ට බනිනවා කියන්නේ ටීචර්ටත් එච්චර හොද නැතිය. ඒ නිසා ටීචර්ද දස්සාට බැන්නාය.

"ඉතිං සර් අද මොකද ? මේක අදත් ගාගෙන ඇවිත්ද ?"

"නැහැ ටීචර් මූ මහ බලු වැඩක් කරල තියෙන්නේ.. ඊයෙ වගේම අදත් මට ‍මූ අහුවුණා ජෙල් පිටින්. මම ඊයෙ දඩුවමින් හැදුනෙ නැති එකානෙ කියල අදත් හේදුවා.."

දස්සා සද්ද නැතිව සියල්ල අසා සිටී..

"මම වතුර දාලා අතුල්ලන්න අතුල්ලන්න පෙණ එන්න ගත්තා.. මම දිගටම වතුරු දදා ඇතිල්ලුවා.. බාල්දියම ඉවරවෙනකල් පෙන ආවා.. මේ යකා අද ජෙල් ගාන්නෙ නැතිව ෂැම්පු අතුල්ලං ඇවිත් මට පාඩම් උගන්නන්න..."

දස්සා ජෙල් වෙනුවට අමුවෙන් ෂැම්පූ ගාගෙන විත් ඇත. එවිට වතුර සමග පෙන නගින නිසා සර්ට මල පැනීම සාධාරණය.

ඩෙස්ක් බංකු වල ලිවීම තහනම්

මේ සීන් එක වුනේ ඒ ලෙවල් කාලයේය. ඒ වසරේ බයෝ පන්තියට තිබ්බේ හොද අලුත් ඩෙස්ක්ය. විභාගයක් දවසක් නිසා පන්ති වල ඩෙස්ක් හදා තිබ්බේ විභාගයකට උචිත ආකාරයකටය. අපිට වාඩි කරවන්නේත් තැන් තැන් වලය. අපේ එකෙක්ට එදා සෙට් වුනේ බයෝ පන්තියේ ඩෙස්ක් එකක්ය. විභාගයේ ලියන්නට දෙයක් නැති කළ පොර ඩෙස්ක් එකේ තම නම ලියා තිබුනේය. ෂෙක්ෂන් හෙඩ්ට එය අතේ මාට්ටුය.

"තමුසේ මොනාද මේ කරල තියෙන්නේ... තීන්තවත් ගාල නැති ඩෙස් වල ලියල තියෙන්නේ.."සුපුරුදු ගොත ගැහිල්ලෙන් ඇසුවේ ෂෙක්ෂන් හෙඩ් නොහොත් 'ගනේපොල සර්'ය.

"මම හිතුවෙ නැහැ සර්.. නිකං ලියවුණා" අපේ මිතුරාට කියා ගන්නට දෙයක් නැත.

"කොහොම හරි කමක් නැහැ තමුසෙ ඩෙස්ක් එක හූරන්නෙ නැති ලියපුවා මකනවා.." සර් එසේ කියා යන්නට ගියේය.

හූරන්නේ නැතිව මෑකීම කරන්නට නොහැක. මකන කෑල්ලකින් මැකුවත් පෑන් ඉර් යන්නේ නැත. අපේ මිතුරා කලේ ලියපු අකුරු දිගේම "ටිපෙක්ට්ස්" එකකින් ඇදීමය. මිතුරා කලේ සර් කියපු විදිහටය.

"කෝ තමුසෙ මැකුවද අරක??" සර් ආවේ ටික වෙලාවකිනි.

"ඔව් සර්.." කියමින් මිතුරා අත දික් කලේ ඩෙස්ක් එකටයි..

"තමුසෙ මාර මනුස්සයෙක් නේ ඕයි. දැන් කලින් තිබ්බට වැඩිය මේක පේනවනේ.. මෙහෙම බැහැ තමුසෙ මේක කොහොම හරි මකනවා.. "

ඉන් පසු අ‍පේ මිතුරා කලේ වීදුරු කැබැල්ලකින් සීරීමයි. එවිට සර් එහෙම හොද යැයි පිළිගත්තේය.

සත්තු වත්තේ කබරයා


ඒලෙවල් බයෝ පන්තියේ සිටි අපේ කබරයා සිරා ඩයල් එකකි. පොර පන්තියටම ටොෆි ගේනවාය. එවා කාලා සෙට් එක පන්තියේ හිටියට ඇත්තටම ඉන්නේ හදේය. දවසක් බයෝ ටීචර් උගන්වමින් සිට ඇත. කබරයා ටොෆියෙන් හදේ සිට තනියෙන් සිනා සෙමින් සිටියදී ටීචර් අසා ඇත්තේ ලමයි ඔයාලට පාඩම තේරුනාද කියාය.

පන්තියම පාඩම නොතේරී බිරන් තට්ටු වී සිටියදී, කබරයා සිනා සෙමින් සිටින නිසා ටීචර් කබරයා ලගට ඇවිත් ඇත.

"මේ ලමයා නම් හරි සිරියාවන්තයි. පාඩම නොතේරුනත් හිනා වෙලා ලස්සනට ඉන්නවා.." කියා ටීචර් කබරයාගේ හිස අත ගා ඇත.

කබරයා දැන් වැඩ කරන්නේ සත්තු වත්තේය. පොරට නියම තැන වැඩ සෙට් වුණා කියලා කියන්නේ අපේ මිත්‍රයෝය. ඒක ඇත්තය. කබරයා සිටිය යුත්තේ සත්තු වත්තේය.

දිනක් සත්තු වත්තේ මොකක්දෝ සෙමිනා එකක් තබා ඇත. එයට නන් දෙසින් තොරාගත් පාසල් කීපයකින් පැමිණ ඇත්තේ උසස් පෙල ගුරුවරුන්ය. ගනේපොල මහතාගේ කරුමෙකට මෙන් එතුමාද එදින සමුළුවට ගොස් ඇත. එදා සමුළුව මෙහෙයවා ඇත්තේ අපේ කබරයාය. මේ ඔහු මට කතාව කියූ හැටිය. (ආදරේට ගනේපොල = පොලා)

"මාර ෆන් එක මචං.. පොලා එදා සෙමිනා එකට ඇවිත් තිබ්බා, මම හිනා වුණෘට පොර මාව දන්නේ නැහැ වගේ හිටිය බං.." කබරේ කීය.

"බලපං ඉතිං අපි එහෙම නම් සතුටු වෙනවා නේද අපේ එකෙක් සෙමිනා එකක් කරනව කිව්වම. මාර ගුරුවරු එතනට ඇවිල්ලත් උබව දන්නේ නැහැ වගේ හිටියද ?" සාධාරණ කේන්තියෙන් ඇසුවේ සෑමාය.

"ඔව් බං මොනා කරන්නද? පොරට මදි කමක් වගේ වෙන්න ඇති මගෙ සෙමිනා එකේ මගෙන් ලෙක්චර් ගන්න.. "

සෑමා හිනා වෙද්දී කබරේ කතාව දිගටම කීවේය.

"මට තිබ්බ බං ‍සර්පයෝ ආපු කට්ටියට හදුන්වල දෙන්න. ඉතිං මම සර්පයෝ අතට අරන් ගියා තැනින් තැනට. මම ගියා පොලගෙක් අතින් අරන් ගනේ පොලා ලගට..."

"ඉතිං.. ඉතිං.." සෑමා නොවිසිලිමත් වුයේය.

"මම පොලා ලගට ගිහින් පොලගව එක පාරට මූනට දික්කලා තරහටත් එක්ක.. පොර නැගිට්ටුනා බං පුටුවෙන්.."

කබරේ කිවේ සතුටිනි. මොනවා වුණත් සෑමාටත් වරදක් නොපෙනුනි.

පලි - තම ශිෂ්‍යයෙක් තැනක සිටිනවා දකින්නට අකැමැති ගුරුවරු සිටින්නේ අතලොස්සකි. ඒ අතර පොලා සිටියේ යැයි නොකියමි. එහෙත් කබරයා වන් චරිතයක් පොලාට තියා පොලිසියටවත් අමතක නොවන බැව් නිසැකය.

**පොලාව සිර කළ සැටි සහ ගැටයාව ලොක් කළ සැටි වෙනත් පෝස්ටුවකින් බලාපොරොත්තු වන්න.**
Related Posts Plugin for WordPress, Blogger...