Friday, March 16, 2012

වැලහින්නකට පෙම් බැදිමි..... (2 කොටස)


මෙතෙක් කතාව... 

ලසදා ගමට පැමිණි පැණි බීම කරත්තකාරයා සමග තම නිවසට සහ ගමට පිටු පා යද්දී සිරිමෙවන් කිසිත් නොකර බලා සිටී. හෙතෙම තම දරු පැටියා සමග දවස ගෙවා ගෙන මහ වනයට වැද මී පැණි එකතු කරයි. ලසදා සමග ගෙවූ වෙහෙසකර පළමු සහ එකම රැය සිහි ගන්වමින්, පිළිකුල් කරමින් සිටින සිරිමෙවන් මහ වනය මැද දී නැවතත් වැලහින්නකගේ තාඩන පීඩනවලට හසුවන්නේ ලසදාගේ පළමු රැයට වඩා තම දිවිය කිලිටි කරවමිනි. සියල්ල විද දරා පොල්කට්ටෙන් බිංකුන්ඩන් වසන්නාක් මෙන් හබරල කොළයකින් "නැට්ට" වසාගෙන නැවත ගෙදරට එන සිරිමෙවන්ට තම පුතු පවා තට්ටු කරන්නේ හබරල කෙළයටමය. ලැජ්ජාව සහ තරහව එක්කොට ගත් සිරිමෙවන් පුතුට බැන වදී....

මඩපාත සොරොව්ව ගම්වාසීන්ට ඔලොක්කු කරමින් වාන් දමන කළදී ගම්වාසීහුද නොසැලී සිටිත්. එහෙත් මහ වනයක් මැද තමා පෙරලාගෙන සද්දන්ත වැලහින්නක් රතියේ වෙලෙද්දී මලා සේ බලා සිටි සිරිමෙවන්ට ලසදා කළ හරිය හොද යැයි සිතේ. ලසදා පැණි බීමකාරයා සමග යාම තිරිසන් වැඩක් සේ හැගුනත් වැලහින්නක් වැනි තිරිසන් සතෙකු තමාට කළ බලහත්කාරකම මඩපාත සොරොව්ව ඉතිරී ගිය කළක් මෙන් සිරිමෙවන්ට හැගේ.

වෙනදාට අමුඩ ලේන්සුවෙන් විලි වසාගත් තම පියා එදින සවස හබරල කොලයකින් වසාගත් විලියෙන් මිදුලේ සිටියදී, වෙනදා තම පියා තමාට ගෙනෙන මාදං මිටක් යැයි සැක කොට කුට්ටමට තට්ටු කර බැනුම් ඇසූ සැටි සිරිමෙවන්ගේ පුතුගේ කන පුරා දෝංකාර දෙන්නේය. ගෙදර ‍වැසිකිලි වල කපන කාලයේ තමාද එහි බැසගෙන පියාට අත් උදව් දුන්නා පුතුට මතකය. වල තුල සිටියදී තමා කෑ ගසන හඩ නැවත නැවත දෝංකාර දී ඇසුනා සේ, තම පියා කවදාවත් නැතිව තමාට කළ තර්ජනය පුතුගේ කන් බෙරය තුල ප්‍රතිරාව දෙන්නට විය. එලා ගත් පැදුරේ දිගාවී පැත්තට හැරී මුහුනට අතක් තබා දෑස් පියා ගත්තට පුතුට නින්දක් නැත්තේමය. 

ලසදා ගෙදර ඉන්න කාලයේ ගෙදර ඉදෙන හොද්දට ලුණු ඇඹුල් මදි වූ කළ සිරිමෙවන් එලියට බැස සියඹලා අතු සොලවන්නේය. එවිට සියඹලා කරල් සට පට ගා බිම පතිත වන්නා සේම, සිරිමෙවන් හදවත වෙනදාට වඩා චංචලය. සට පට ගා සැලෙන්නේය. පුතු නින්ද නැතිව පැදුරේ තැවෙන කල්හි සිරිමෙවන් ද පැදුරේ සිටින්නේ තමාට වූ බලහත්කාරකම තමා හදුනන කැලෑවේ ගස් ගල් දැක සිටි නිසාමය. ලසදා හැරයාම ගමම දැනගත්තාට වඩා වැලහින්නගේ අතවරයට ලක්වීම කැලෑවේ ඇති ගස් ගල් දැකීම සිරිමෙවන්ට මහා නින්දාවකි. රබර් වත්තක වියලුන කොළ අතරින් ඇදෙන සර්ප පැටියෙකු මෙන් සිහින් හඩ නංවමින් කළබලයෙන් සිත එහේ මෙහේ ඇවිදින්නේය. හිත අහලකවත් නින්ද නැත්තේමය. කාටවත් කරදර නැතිව මී වදයක් කඩාගෙන එදා වේල සරි කරගත් සිරි මෙවන්ට කැලැවේ ගස් ගල් පවා හෙට සිට ඔච්චම් කරනවා ඇත. එවන් කලෙක සිත සනසා නිදනු නොහැක්කේමය.

"ඩඩස්..."

කුස්සියේ දොරත්, කක්කුස්සියේ දොරෙත් වෙනසක් නැති සිරිමෙවන්ගේ නිවසේ දොර පැත්තෙන් හඩක් නැගින. සිරිමෙවන් කළබල නැතිව කන් දුන්නේය. කුස්සියේ දොර තනි ලෑලි පලුවකි. ඇරිය යුත්තේ ඔසවා පැත්තකින් තැබීමෙන් පමනි. ගෙන යන්නට තරම් වටිනා දෙයක් ගෙදර නැත්තේමය. හිටපු එකම වස්තුව පැණි බීම කරත්තකාරයා පටවාගෙන ගොස් හමාරය. ඒ නිසා කලබල විය නැත්තේමය. සොරෙක් ඇතුල් වුයේ නම් සොරකමට කිසිවක් නැතැයි සිතා හැරී යනු ඇත. නින්ද නැති සිරිමෙවන් නිසලව සිටියේය.

"තාත්තේ මෙන්න අම්මා ඇවිත්..."

සිරිමෙවන් වැතිර සිටියාට සද්දය කුමක්දැයි විපරම් කොට බලා කෑගැසුවේ සිරිමෙවන්ගේ පුත්තරයාය. කළුවරේ සිටම කෑගැසූ පුතු ගේ හඩ සිරිමෙවන්ව නැගිට වීමට තරම් බලවත් විය. දඩිස් ගා පැදුරේ හිදගත් සිරිමෙවන් එකවරම නැගිට දිව ගියේ කුස්සියටය.

"මොකක් කිව්වා.. මේකිට මේ මහ රෑ යන්න තැන් නැතිවද??" සිරිමෙවන්‍ ඇසුවේ කෝපයෙන් වුවත් සැගවුන සතුටකිනි. දැන් තමාට ගමේ එකාලට පේන්න ඇය සමග ඇවිද්ද හැක. කලින් තමා නොදුන් ආසාවල් ඉටුකර නියම ලෙස දිවිගෙවිය හැක්කේමය. ලණුවක් ඇද ගැට ගසා, කද භාගෙට කපා ඇති පොල් ගසකට වැදුන අවසන් පොරෝ පහරකින් ගස ක්ෂණිකව කඩා වැටෙන්නාක් මෙන් සිරිමෙවන්ගේ සිතට ක්ෂණිකව අපමණ අදහස් ගලා එන්නට විය. පෙර වැරදි නිවැරදි කර ගැන්මේ පෙරනිමිති පහල වන්නට විය.

සියළු සිතුවිලි සමග පෙර මගට යන සිරිමෙවන් ඉදිරියට තම පුතු ආවේ අම්මාගේ අතින් අල්ලාගෙනය. සිරිමෙවන් දුටු සැනින් ඇගේ ඇස් කැලෑව මැද මහ රාත්තිරියේ එලිය දෙන රෑබදුල්ලෙකු මෙන් එලිය දෙන්නට විය. හීයක් විද්ද සැනින් සෙලවෙන දුන්නක නූලක් මෙන් සිරිමෙවන් ගැහෙන හඩින් තම පුතු ඇමතීය.

"ඈ ය‍කෝ තොට තොගෙ අම්මවයි කැලේ ඉන්න වැලහින්නකගෙයි වෙනස අදුන ගන්න බැරි එකෙක්ද??"

පුතු එ‍විට බැලුවේ අම්මාගේ මුහුණය.

කෝපය මුසු නොවූ බිය මුසු වදනින් සිරිමෙවන් කෑගැසූ කල පුතු පැන්නේ තම පියා සිරිමෙවන් ලගටය. දෙදෙනා බදාගෙන වැලහින්න දෙස බලා සිටියදී වැලහින්නද නොසැලී ගල් කුලක් මෙන් පිය පුතු දෙදෙන දෙස බලා සිටින්නීය. නෙත් හතරක් තමා මත එල්ල වී තිබුණ මොහොතින් පසු වැලහින්න බිම අතුරා තිබූ පැදුර ඇද පැත්තකට දමා බිම වැතිරුණාය.

පුතු බැලුවේ පියා දිහාය.

"ඇත්තමයි තාත්තේ මම හිතුවේ අපෙ අම්ම කියලා.. මම කුස්සියේ දොර ලගට ගිහින් අතින් අල්ලගත්තම මගේ ඔළුව අතගෑවා.." සිරිමෙවන්ගේ පුතු මිමිණුවේ එදා තමාට බැන්න ආකාරයද සිහිපත් කරවමිනි.

"බොට විතරක් නෙවේ කොලුවෝ එදා මහ කැලේදි මේ වැලහින්න මාව බිම පෙරලගත්ත වෙලාවෙත් මට හිතුනේ මේ තොගෙ අම්ම වගේ එකියක් කියලම තමා..."


Written by sAm_5.50pm_15.03.'12

Wednesday, March 14, 2012

ආරක්ෂිත ඇසුරකට... (ධනාත්මක චින්තනයෙන්)


ඉස්කෝලේ යන කාලයේ අපිට තිබ්බ අමාරුම වැඩේ හොර බඩු හැංගීමය. ඒ කියන්නේ කෙල්ලෙක්ට දෙන්න අරන් තියපු බර්ත් ඩේ කාඩ් එකක් නැතිනම් දහපාරකට වඩා මහන්සි වී ලස්සනට ලියපු ලියුමක් වගේ දෙයක් අරන් තැබීම ඉතාම අපහසුය. ඉස්කෝලෙ යනකාලේ හොර සීන් සෑමා අතීත මතක යටතේ ඉදිරිපත් කලා මතකැති. (ඉස්සර හොර බඩු හංගපු විදිහ මතක් කරගන්න බඩුත් එක්ක හොරු කියවන්න)

සෑමාගේ අම්මාගේ, මල්ලීගේ, පුතා නොහොත් අපේ මාමාගේ පුතා කෙලි පොඩිත්තියන් දීපු ලියුම් ද උස්සගෙන එන්නේ සෑමා භාරයේ සුරක්ෂිතව තැබීමටය. නැහැ බැහැ නොකියා සෑමා ඒවා සගවා තැබුවද කවදාවත් දිග හැර බලා නැත්තේය. මලයාටද සෑම් අයියා පට්ට ෂුවර්ය. එනිසා බය නැතිව තබා යන්නේය. ඉස්සර බය නැතිව ලග තබා ගත්තාට දැන් නම් ඒවා මතක් වෙද්දී සෑමාට බය හිතෙන්නේය. ඒ ලියුම් වල නම් ගම් නොතිබූ බව මලයා කීවේ මේ මෑතකදීය. එහෙව් නම් ගම් නැති ලියුමක් සෑමාගේ අම්මාට අසු වුනේ නම් සෑමා අද බ්ලොග් ලියන්නට ඉතුරු වන්නේ නැත්තේමය.

දවසක් පොර දුවගෙන ආවේ ලියුම් හට්ටියක් සමගය.

"අඩෝ මේක හංගපං.." පමණක් පවසමින් පොර මාරුය. සෑමා අතේ රැදි ලිපි මිටිය සාක්කුවේ දමාගෙන කාමරයට ආවාට වෙන වැඩක් සෙට් වු නිසා සෑමාට සාක්කුවේ ලියුම් සෙට් එක අමතක විය. මතක හැටියට ක්ලාස් එකක් නිසා හැද සිටි කලිසම බාත් රූම් එකේ එල්ලා සෑමා නිවසෙන් පිටත් විය.

"මචං මම අරක අරන් යන්න එනවා...." බස් එකේ සිටියදි සෑමාට කෝල් එකක් ආවේ මලයාගෙනි. මල හුට්ටප්පරයකි. කලිසම ලියුම් මිටිය සමග බාත් රූම් එකේ වැලේය.

"අඩේ ** සීන් එක.. ඒක වැලේ බං... මට අමතක වුණා.. උඹ දැන්ම අපේ ගෙදරට රිංගලා ගනින් අම්ම නැත්තම් සාක්කු එලියට ඇදලා ඕක හෝදයි" සෑමා මලයාව කුලප්පු කලේ තම ජීවිතයද අනතුරේ බැවිනි.

"මචං වැඩේ හරි... මම ඒක ගත්තා" මලයා පුke කඩියා තියාගෙන නිවසට රිංගා වැඩේ ගොඩ දමා හොද නිව්ස් එකක් දුන්නේය.

එය එදා එසේ සිදු වෙද්දී මෙය මෙසේ සිදුවූයේ ගිය වසරේදීය.

අපේ ඔපීසියේ සිටි පොරක් පෙරුම් පුරාගෙන විත් ‍යන්තම් එකක් සෙට් කරගෙන ඔපීසියේ සැමට මගුලුත් කීවේය. එවන් විටෙක් මගුලට කලින් දින තෑගි පාර්සල් කිරීම සිරිතය. අපේ එකාලා පුරුදු සිරිත් පරිදි ‍කොන්‍ඩම් පැකැට්ටු ගෙනාවේ කොල්ලා පලමු දිනම වැඩේ අවුල් කර ගෙන බඩු පැකැට් කර ගනී වී යැයි සානුකම්පිත චේතනාවෙනි.
Safety 1st !

"සෑමා මේක ලග තියා ගනින් තෑගි පාර්සල් කරනකොට මේක ඇතුලට දාපං..." කියමින් සෑමා අතට ලද පැකැට්ටුව සෑමා පුරුද්දට ඔබා ගත්තේ පොකැට්ටු‍ පොඩ්ඩේය. 

තෑගි පාර්සල් කොට ගෙදරවිත් බැලූ කල සාක්කුවේ ආරක්ෂිත පැකැට්ටුය. අම්මා දැක්කොත් විනාසය. මූ වැඩට යනව කියල ගිහින් කරන්නේ අහවල් ඒවා කියා සිතනු ෂුවර්ය. ඒ අතර මල්ලී ගේ ලියුම් සීන් එකද මතක් වූ නිසාම වැඩි ආරක්ෂාව ගැන සිතු සෑමා එය අල්මාරියේ ඇදුම් අස්සේ එබුවේය. එසේම පසුවට භාවිත විනාස කිරීමේ චේතනාව සහිතවය.

පසු ගිය දිනක සෑමා මුළු අල්මාරියම අස් කළත් පැකැට්ටුව නැත. දිනක් අම්මා අල්මාරිය ඇද්දා වගේ මතකය. සියල්ල සිදුව හමාරය. "අම්මේ අරක කෝ" කියා අසන්නට බැරිය. හේතුවක් නැතිව එක පාරට "ඒක ගෙනාවේ අපේ එකෙක් ගේ වෙඩින් එකට දෙන්න" කියනුද නොහැක.

මාර අප්සට් එකක්ය. සියල්ල මැද දෝදුවා මට මුණ ගැසින. 

"මචං මාර සීන් එක බං.. " සියල්ල මුල සිට දෝදුවාට කීමි.

"අඩේ අවුලක් නැහැ බං.. " දෝදුගේ වදනින් සෑමාගේ මල ඩබල් විය.

"ඇයි ** එහෙම කියන්නේ උඹට විහිළු ඉතිං..."

"පොඩ්ඩක් ධනාත්මකව හිතපං බං.. අම්ම හිතනව ඇති පුතා ආරක්ෂිතයි කියලා..."

අප්පද බොල දෝදුවා නිවැරදිය. ධනාත්මකව එසේ සිතිය යුතුය. 
ආරක්ෂිත ඇසුරකට දෝදුවාගේ ධනාත්මක චින්තනය උචිතය.


Written by sAm_9.30pm_07.03.2012

පලි - දෝදු ගැන කතා දිගටම ලියවුනා නොවැ.. තව තියෙනවා නොවැ.. ඉතිරිය කල් ගිහින් දැමීම ‍හොදැයි ?

පලි / පලි - ජැනට් ඇන්ටිට ලියපු ලියුම පරණ වෙන්න කලින් මේක දාපු එක වැරදිලු.. ඒ නිසා මෙන්න බලපු නැති අයට.

Monday, March 12, 2012

ජැනට් ඇන්ටීට ලියමි.... (පොඩි සෑමාගේ ලියුම 7)


අපේ අක්කා ගැන ලියුම් ලියලා පොඩි සෑමාට ඉවරයක් නැත්තේමය. වෙලාවකට සියල්ල ඇතැර දමා සුදු වෑන් රථයකට බෙල්ල තැබීම අගනේයයි සිතේ. පවුලේ සංතෘෂ්ඨිය තකා අක්කා නිවැරදි මගට ගැනීම පොඩි එකා වුණත් සෑමාගේ පරම අධිෂ්ඨානය බැවින් එකී වගකීම කර මත තබාගෙන නැවතත් ලිපියක් අකුරු කරමි. ඒ අපේ අක්කා සේම දැයේ වනිතාවන්ගේ රූපාලංකාරය පිණිස විවිධ නිෂ්පාදන වෙළදපොලට ගෙන එන ජැනට් ඇන්ටී අක්කාටය. 

ජැනට් ඇන්ටි අක්කාට ස්තුති පූර්වක ආදරයෙන් ලියමි.. !

කාන්තා දිනය පසුගිය සතියේ යෙදී තිබුණු නිසා සෑමාට හිතුනේ මෙවර පොඩි සෑමාගේ ලිපියෙන් කාන්තාවන්ට අපමණ මෙහෙයක් කළ දැයේ කන්තාවකට ලියුමක් ලිවිය යුතුයි කියාය. එනිසාම ජැනට් ඇන්ටීට හද පිරි බැතියෙන් අකුරු කරන්නට පටන් ගනිමි.

අපේ අක්කාට ඉස්සර නම් හරි කරදරය. කැරට් තලා හෝ උරච්චි කොට මුනේ පල්ප ආකාරයෙන් ලේයර් එකක් දමා ඩබල් ලේයර් ඇදේ දිගාවී සිට සෝදා හැරිය යුතුය. එසේම පිපිඤ්ඤා රවුම් පෙති කපා ඇස් උඩ තබා උඩු බැලි අතට සිටිය යුතුය. සදුන්, කෝමාරිකා, වෙනිවැල් ආඩ තෝඩ, කොත්තමල්ලි, තනපලා, පස්පංගුව ආදිය පවා උරච්චි කරගත් අක්කා ඇදේ දිග් අතට දිගාවි මුහුනේ තබාගෙන සිටියා පොඩි සෑමාට අද වගේ මතකය. කිරි හටිටියක් කෑවොත් අක්කාගේ මුහුනට ඉන් භාගයක්ම වෙන්වේ. පලතුරක් කෑවොත් අපි ලෙලි විසික් කරනවාය. ඒත් අක්කා ඒවා එවලේම මුනේ අතුල්ලා ගන්නීය. අඹ, ආත්තා, කොමඩු ද විටෙක දෙහි ලෙල්ල පවා ඇය අතුල්ලා ගත්තේ අනිච්චානුක ක්‍රියාවක් විලසටය. දිනක් දිවුල් කට්ටක් මුහුනේ ඇන ගත්තේ ඒවා කරන්නට ගිහින් බව වරෙක මට සිතිණ. 

එකී සියළු ශාක සාර කැටි කොට, දිය කොට, බෝතල්ගත කොට අපේ අක්කාට මුහුනේ හා සිරුරේ ඕනෑම තැනක අතුල්ලා ගත හැකි පරිදි වෙලද පොලට ඉදිරිපත් කළ ජැනට් ඇන්ටීට මුලින්ම තුති වන්ත වන්නේ අක්කාගේ දුක්ඛ දෝමනස්ස සමනය කළ නිසා පමණක් නොව ඉන් පොඩි සෑමාට පැ‍වරුණු රාජකාරි පවා අවම වූ නිසාය. ඉස්සර අක්කා උඩුබැලි අතට ඉන්නා විට ගෙදර පොඩි එකා වන මම විසින් ඇයට උපස්ථාන කළ යුතුය. බටයක් ආධාරයෙන් වතුර පෙවීම, ෆෝන් එක ලගට දීම, විටෙක ඇගේ මැසේජස් වලට පවා රිප්ලයි කළේ පොඩි සෑමාය. ඒ ඇයට සෙලවෙන්නට නොහැකි නිසාය.

දැන් ඒ කරදර නැත්තේමය. කැරට් තැලීම, කෙටීම කළ යුතු නැත. එය දැන් බෝතල් ගත කොට ඇත. කළ යුත්තේ ඇතිල්ලීම පමණි. කෝමාරිකා, වෙනිවැල්, සුදු හදුන්, දෙහි, ආදියද එසේමය. ඒවා අවශ්‍යය පරිදි ඇයට ඕනැම තැනකට යෙදිය හැක. විටෙක නිවසේ දෙහි නැති වූ විටෙක පවා අම්මාට පවා ප්‍රයෝජනවත්ය. එය ජැනට් ඇන්ටී කළ අප්‍රමාණ මෙහෙයකි. 

ජැනට් ඇන්ටීට මෙච්චර කැරට්, කෝමාරිකා, වෙනිවැල්, දෙහි ආදිය කොහෙන් ලැබෙනවාද කියා වෙලාවකට පොඩි සෑමාට පුදුමය. ජොනී මාමා කූඩ හදුන්වා දුන් කලෙක එළවලු ගණන් ගියද ජැනට් නැන්දා අපේ කාන්තාවන් වෙනුවෙන් කළ මෙහෙය අප්‍රමාණය. එළවලු ගණන් යද්දී අපේ අක්කා කීවේ "අම්මේ බලන්න ඉස්සරහට කැරට් පේෂ් වොෂ් එකත් ගණන් යයි" කියලාය. ඒත් පුදුම සහගත ලෙස එම සතියේම අපේ අක්කා පේෂ් වොෂ් එක අරන් ගෙදර ආවේ පුදුම සතුටකිනි. ඒ සතියේ අක්කාට පේෂ් වොෂ් එක සමග දෙහි අඩංගු සබන් කැටයක් නොමිලේ ලබා දී තිබිණ. ඒ ජැනට් ඇන්ටී කාන්තාවන් වෙනුවෙන් ගෙවත්තේම වගා කරන ශාකවලින් ලබා ගත් ඵලදාවන් බව මා හොදාකාරව දනිමි. එය මලින්ද මාමා ගෙන ආ "අප වවමු, රුව වඩමු" සංකල්පයට බොහෝසෙයින් සමගාමීව යන වැඩසටහනක් බදුය.

දිනක් ඔබ රූපවාහිනියේ කළ වැදගත් කතාවක් නිසා පොඩි සෑමා අක්කා මාළු කට්ටක් උගුරේ සිරවූ විට පවා උපස්ථාන කොට බේරගත්තේය. එයට ඔබට අප්‍රමාණ පිං අනුමෝදම් කරමි. ඒ සිදුවීම මෙසේය.

ජැනට් ඇන්ටී රූපවාහිනියේ දිනක් කීවේ "විටමින් ඊ පෙති/කරල් කඩා හිස කෙස් වලට දැමීමෙන් හිස් කබලට විටමින් උරාගන්නා බවකි" එය අපි පවුලේ සැම ඉදිරිපිට කෙරුනු වැඩසටහනක්ය. අපේ අක්කාද පහුවදාම විටමින් කරල් ගෙදර ගෙන ආවාය. නෑමට පෙර කඩා හිසකේ ගල්වා සිටියාය. ඇය කීවේ එය ඉතා වටිනා උප්පරවැට්ටියක් බවත් තම කොණ්ඩය මලානික බව නැතිව දික් වූ බවකි. අපිටත් ඉතා සතුටුය. ඒ අක්කා කොණ්ඩය ගැන ඉස්සර සිටම කරදර වූ නිසාමය.

ජැනට් ඇන්ටීගේ උපදෙසින් මම අපේ අක්කාගේ අසාමාන්‍යය සම/චර්මය ගැන නිගමනයකට එලැබියෙමි. විටමින් පෙති ගිලින්නට නිෂ්පාදනය කරන්නේ ඒවා පානය කළ විට ඇගට උරා ගැනීමටය. නැතිනම් දොස්තර මාමා බෙහෙත් නොබොන පොඩි එවුන්ගේ ඔලුවට පෙති කඩා දමනවා ෂුවර්ය. එහෙත් අපේ අක්කාට ජැනට් ඇන්ටීගේ ප්‍රතිකර්මය වැඩ කලේය. එනම් අපේ අක්කාට ඇත්තේ විටමින් උරා ගන්නා සමකි. එය ඉතා වටිනවාය. මම කිසිත් නොකියා අක්කාගේ අරුම පුදුම සම ගැන ආඩම්බර වූයෙමි.

අක්කා ප්‍රතිකර්මය පුරා සතියක් කළ පසු, දිනෙක කැම ගනිද්දී උගුරේ දඩාර මාළු කටුවක් හිරවිය. දොස්තර මහතා කටුව අරන් දමා අක්කාව ගෙදර එව්වද අක්කාට කෑම බීම ගැනීමට නොහැකිව සිටියාය. ඒ ගිලින්නට බැරි නිසාමය. සියල්ල හමුවේ පොඩි සෑමා ලෙස මා පෙර දිනකදී එලැබි නිගමය අම්මාට කියා දුන්නෙමි.

"අම්මේ අපේ අක්කගේ ඔලුවට විටමින් පෙති දාපුවහම ඇගට උරා ගත්ත මතකද ? දැන් මෙහෙම මෙයා නොකා හිටියොත් ඇදිලා ගිහින් කැත වෙයි.. ඒ නිසා කෝම හරි කන්න දෙමු..." පොඩි සෑමා ඒසේ කියද්දී අම්මා සුපුරුදු ලෙස පොඩි එකාගේ ඇගට පැන්නාය.

"උබ කිව්වට කෝම කවන්නද මේකිගේ උගුර තුවාල වෙලා ගන්න දෙයක් නැහැ."

"ඒක තමයි අම්මේ අපි මෙයාට උගුරට නොදී ඇගේ පත්තු බදිමු කෑම තියලා.."

"උබ කියපු කතාවෙ ඇත්තකුත් තියෙනව පොඩි එකෝ ඒත් මම ඕව දන්නෙ නැහැ බොලා ඕනෙ දෙයක් කරපං.. අක්කගෙන් ගුටි නොකා.."

අක්කාගේ අපූර්ව සම ගැන සියළු කාරණා තේරුම් කර දී පොඩි සෑමා අක්කාගෙන්ද අවසරය ලබා ගත්තේය. ගිලින්නට බැරි ආහාර, කැබලි කොට පත්තු වහයෙන් අක්කාගේ ඇගේ බැන්දෙමු. උදේට සුප් දියරද, දහවල බත් කැද ද ඇගේ ගල්වා තැබීමු. අක්කා කීවේ ඇගට ඒවා උරාගෙන අක්කා ශක්තිමත් වෙනු ඇයටම දැනෙන බවයි. පසුවදා අම්මා කීවේ ජැනට් ඇන්ටී කිව්වා වගේ හිස කෙස් වලට විටමින් දැම්මා සේ කැද සහ සුප් ඔලුවේ ඉසකුඩිච්චියක් දැම්මා සේ බදිමු කියාය. අක්කාද ඒවාට හිස සැලුවාය. ඒ ජැනට් ඇන්ටී ලොවට හෙලි කළ ඇගේ අරුම පුදුම සම නිසාය.

අක්කාගේ උගුරේ අමාරුව හොද වන විට අක්කාට හෙම්බිරිස්සාව කැස්ස නොඅඩුව තිබුනේ කැද සීතල නිසා විය හැක. එසේම ඇය වෙනදාට වඩා කෙට්ටු වූවද විටමින් පෙති උරාගන්නා සම ගැන ඇය ආඩම්බර වූ නිසාත් ජැනට් ඇන්ටීට අපි බනිනවාට ඇති අකැමැත්ත නිසාත් කීවේ කෙට්ටු වුණ එක හොදා කියාය.

ජැනට් ඇන්ටී හදුන්වා දුන් නිශ්පාදන නිසා පොඩි සෑමාගේ අක්කා, අම්මා සහ ආච්චී යන තිදෙනාගේ දැන් කිසිදු වෙනසක් නැත්තේමය. අක්කා කොටට අදින නිසාත්, අම්මා සාය හැට්ට අදින නිසාත්, ආච්චි ආච්චිගේ රෙද්ද අදින නිසා පමණක් අපට ඔවුනොවුන් වෙන් කොට හදුනාගත හැක්කේමය. කාන්තා දිනය දවසේ පවුලේ සැවොම ගෙදර මෙගා ටෙලි නාට්ටියක් බලන අතර පොඩි සෑමා තම හඩ අවදි කළේය.

"අද කාන්තා දිනය නිසා රටට වැඩක් කරපු කාන්තාවකට උපහර පිණිස ලියුමක් දාන්න ඕනේ අම්මේ.."

"කවුද බොල ඉතිං ඕකට ඉන්නේ.. චන්ද්‍රිකා නෝනත් නැහැ නොවැ.." අම්මා ප්‍රති උත්තර දුන්නාය.

"ඇයි අම්මේ එයා නැතිවට මොකෝ.. මම ජැනට් ඇන්ටිට ලියන්නම්..."

"ඇති යන්තම් මේක වැදගත් වැඩක් කරන්න යනවා.." අක්කා හද පිරි සතුටින් කීවේ ජැනට් ඇන්ටීට දේවත්වයෙන් සලකන නිසාවෙනි.

"ඇයි බොල පිටරට එකාලට ලියුම් ලියන්නේ.. අපේ රටේ කාන්තාවෝ නැද්ද බොලාට ?" ඒ පැන්නේ අපේ ආච්චීය.

"ඇයි ආච්චී අර ඔයා ගාන ක්‍රීම් හදන ඇන්ටි නොවැ ජැනට් කියන්නේ...ක්‍රීම් ඇතිල්ලුවට මෙයා නම බලන එකක් යැ.." මට මෙන්ම අක්කාටද ආච්චි සමග ආවේ සියුම් තරහවකි.

"ඈ බොල එතකොට අපි අතුල්ලන ක්‍රීම් හදන්නේ අර පලාස්ටික් සැත්කමක් කරලා මුණ ඇදවුණ ජැක්සන් කොලුවගෙ සහෝදරී ජැනට් කෙලීද ?"

එදායින් පසු ආච්චී වෙනදා මෙන් අක්කාගේ කාමරයට රිංගා හොරෙන් ක්‍රීම් ගෑවේවත් ෆේෂ් වොෂ් වලින් මුහුන සේදුවේවත් නැත. ආච්චිට එසේ වූවාට සුවහසක් කාන්තාවන්ගේ අපේක්ෂා ඉටු කළ ජැනට් ඇන්ටීට පසුගිය කාන්තා දිනය වෙනුවෙන් පොඩි සෑමා ඇතුලු පවුලේ සැමගෙන් උපහාර.

Written by sAm_10.50pm_10.03.2012

පලි - ඇගේ අතුල්ලන ක්‍රීම් (epidermal) සමට උරාගත්තාට ගිලින බෙහෙත් (Oral medicines) කුඩු කර ඇගේ ඇතිල්ලුවාට වැඩක් නැති නැත්තේය. ගිලින බේත් මුඛයෙන් ඇතුල්ව metabolize වී ආමාශයේදි උරා ගන්නේය. විටමින් ඊ පෙති හිසට දැම්මාට වැඩක් නැත්තේමය.

Friday, March 9, 2012

ලයිට් දමා අල බොන්ඩා කෑ හැටි...


සෑමාගේ බ්ලොගේ ලියවුණ බෙහෝ චරිත (හේමේ, ලොල්ලා, මාකා, මැරයා, ඥානේ) දැන් කස්ටිය දන්නවාය. එසේ තිබියදි අතීත මතක ලේබලය යටතේ මේ ලියවෙන්නේ දෝදුගේ ක්‍රියාවකි.

ට්‍රිප් යාමට වඩා ඕගනයිස් කිරීම ආතල්ය.. සහ දෝදුගේ සිහිනය.. කියවා දෝදු නම් කවරෙක්ද හදුනාගන්න.

ඉස්සර සෑමා ඒ ලෙවල් ක්ලාස් ‍ගියේ සෙට් එකක් සමගය. සෑමා පමණක් නොව ඒලෙවල් කල සැම සෙට් බැස ගත්තෝ බව දනිම්. එවන් කලෙක සෑමාගේ සෙට් එකේ සසී, උමේ, පුස්පේ, රුචිර (නයා), සංජා, සහ වටිනා දෝදු කුමාරයා පවා සිටියේය.

දෝදුවා හිටියොත් කෑමක් ෂුවර්ය. නොකෑ බේරුණු අවස්ථා අපමණ වුවත් අමතක නොවන ලෙස කෑවේ කැළණිය බස් නැවතුමේදීය. එදා නම් දෝදුවා නිසා නෙවේය. එය අහක ගිය තොප්පියකින් දමා ගැසීමකි. කාපු කතා කියා නම කැත කොර ගන්නවාට වඩා වටිනා කතා ලිවීම අගනේය. නැතිනම් දෝදුවා සෑමාට ද්‍රෝහී වනු නියතය.

ඉස්සර අපි ‍කෙමෙස්ට්‍රිවලට ක්ලාස් ගියේ කේ.සිරි විතාන ගේ සර් ලගටය. (සෑමා පාසල් ගුරුවරුන්ට කට පුරා ආරූඪ නම් කීමටත්, පෞද්ගලික පන්ති කරන ගුරුවරුන්ට සර් කීමටත් හේතුව ඉදිරියේදී පෝස්ටුවක් දානවා සුවර්ය.) කේ.සිරි සර් රොටරියට එන්නට පෙර (2006 වසර) ක්ලාස් කලේ නුගේගොඩම තිබෙන ලීඩ්ස් නම් ආයතනයේය. රොටරියේ අප ක්ලාස් අහවරව මොහොතක් කතා බහ කරන්නේ ඔපීසිය ලග සිටගෙනය. රවුමක් ආකාරයට සැදී කස්ටිය කතා බස් කරන විට දෝදුවා හැමදාම හිට ගත්තේ එකම තැනක සුපුරුදු දිශාවකට මුහුණ දීගෙනය. අපිට එය මීටර් වුනේ මාස තුන හතරකට පසුය. දෝදුවා මුහණ යොමා සිට ඇත්තේ ඔපීසිය පැත්තට හැරී තිබුණ වෙනත් ක්ලාස් එකක් දෙසටය. ක්ලාස් එකේ කෙලි පැටව් ඔපීසියට ඔලුව හරවා හිද සිටින විට දෝදුවා ක්ලාස් එක පැත්තට දෙනෙත් යොමා සිට ඇත්තේ දෝදුවා සමග සිනාසෙමින් කකුල් පද්දමින් සිටින ඇත්තියන් බැලීමටය. මෙය දැනගත් දායින් පසු එතන අපට කතා බහ කරන්නට රවුමක් සාදා ගැනීමට අපහසු වූයේ සියල්ලෝම දෝදුගේ ස්ථානයට පොර කෑ නිසාමය.

ලීඩ්ස් ආයතනයේ අපි ක්ලාස් ගිය කාලයේ කෙමෙස්ට්‍රි සිලබස් එක පටන් ගත්තා විතරය. ඕලෙ‍වල් අහවරව නිවසට වී අලස කුජීතව ක්ලාස් එකකට ගිය අළුත සර්ව බොදවී පෙනේ. එහෙත් විභාගය ලං ලංව එන කාලේ එසේ බොද නොවුනාට ඩෙස්ක් එක එක පාරට මුහුණට එනවා සේ පෙනෙන්නට විය. එසේම විටක සර් ලියන කළු ලෑල්ල එකපාරට මුහුනට එනවා සේද පෙනෙන්නට විය. ඒ අපි නිදි කිරා වැටුන නිසා නොවේය. සර් නම් කීවේ එහෙම වෙන්නේ තොපි නිදි නිසා කියාය. 

එහෙත් කේ.සිරි සර් ගැන දන්නා කිසිවෙක් පන්තියේ නිදා ගන්නේ නැත. ඒ කාලයේ ඔහු සැරය. පන්තිය ඉදිරියට ගෙනවිත් බනින අවස්ථා අපමණය. මුදල් ලැබීමේ පරමාර්ථයෙන් කරන කිසිම පන්තියක මෙසේ බනින්නේ නැතිය. සමහරු සර්ගේ පන්ති නොගියේ සල්ලි ගෙවා බැනුම් ඇසීමට නොහැකි බව කියමිනි. එහෙත් එසේ විනයක් ඇති කරමින් ඉගැන්වීම කිරීම වරදක් නැතැයි කියමි. දෙතුන් දහසක් සිටින පන්තියක් එසේ පාලනය කිරීමේ දක්ෂතාවය ගුරුවරයෙකු සතු විය යුතුමය.

එදා උදේ 7 සිට ඉගැන්වූ කේ.සිරි සර් අපිට ඉන්ටර්වල් එක දුන්නේ මට මතක විදිහට 10ට පමණය. සුපුරුදු ලෙස පඩි පෙල බැස පාරට ගිය විට අපි ගිලින්නේ "අල බොන්ඩාය" ඇත්තටම ක්ලාස් යනතුරු සෑමා අහවල් බොන්ඩාව කාලා තිබුනේ නැත. ඒක කහපාට ගුලියකි. ඇතුලේ දඩාර අල කැබිලිය. ඒ කාලේ අපි ඒවා කෑවේ රුපියල් 10කට පමණ සුළු මුදලකටය. එහෙත් දැන් කීයද දන්නේ නැත. ලගදි සෑමා එවා දැක්කේවත් නැත. 
"අල බොන්ඩා" දැක නැත්තෝ බලා කටේ කෙල උපදවා ගනිත්වා..

ඉන්ටර්වල් එක ලැබී පඩි පෙල බැස ගියේ දෝදුවා සහ සෑමා එකටය. අනිත් එවුන් පිටුපසින් ආවා මතකය. පඩි පෙල බසින මග පඩියක් අසල බිත්තියේ දනහිස මට්ටමින් ස්විච් බෝඩ් (switch board) එකක් තිබුනේය. දෝදුවාට ඒවා වැඩක් නැත. මොනවා දැම්මොත්‍ කොයි ඒවා පත්තු වේදැයි පොරට වැඩක්ම නැත. ඊලග පඩියට අඩිය තියන්නට පෙර දෝදුවා සට පට ගා ස්විච් 8ම ඔන් කලේය. සෑමා එය එතරම් සැලකුවේ නැත. කොහොමත් දොදුගේ වැඩවල අග-මුල සෙවීම මොලේ පූට්ටු වෙන සීන් එකකි. එනිසා ගණන් නොගෙන සිටීම වටිනවාය.

අල බොන්ඩා කා, විනාඩි පහලොවකින් පමණ අප ක්ලාස් ගත වීමු. දෝදුවා මගේ එ‍හා පැත්තේය. අනිත් එවුන් ටිකත් අපේ ඩෙස්ක් එකේය. සර් නැති නිසා පන්තියේ තැනින් තැන කස්ටිය කතා කරන නිසා මී වදයක් මෙන් හඩ ඇසේ. ඒත් සර් පන්තියට එන විට කොණක සිටි හඩ කෙමින් කෙමෙන් අඩුව 100% නිහඩවන්නේ පුදුම විදිහටය. එදා සර් වෙදාට වඩා වේගෙන් පැමිණ ස්ටේජ් එකට ගොඩවුවේය. සර් ගේ මූඩ් වෙනස් වීම අපේ එවුන්ට හොදටම මීටර්ය.

සර් මයික් එක ඔන් කලේය...

"මේ පන්තියේ ඉන්නවා ගෙදර ස්ව්ච් බෝඩ් එකක් නැති පො**නයෙක්." කස්ටිය වික්ෂිප්තය. ඇස් ‍නලල් තලයේ තමා උරහිස් පලල් කොට පපු ඉදිරියට යොමා සර්ගේ වදන් වලට සවන් නමා ගෙන සිටිත්.

"මට කලිනුත් ඕක අල්ල ගන්න බැරිවුණා. තමුසෙල ඔය පහලට බහින පඩිපෙලේ තියෙනවා ස්ච්ච් බෝඩ් එකක්. කලින් දවසක් එක ස්ච්ච් එකක් ඔන් කරල තිබ්බ. මම සද්ද නැතිව හිටියා. අද ඒ අසමජ්ජාතියා ඔක්කොම ඔන් කරලා ගිහින්...." කස්ටිය නිල් වී බලා සිටිති. දෝදුවා ගැන දන්නේ සෑමා පමණක් නිසා සර්ගේ වදන් වලින් කෙලින්ම කියවෙන්නේ අපේ දෝදුවා ගැන නිසා සිනා නවතා සිටීමට සෑමාගේ දෙතොල් දත් අතරේ සිරවිණ.

"තමුසෙල දන්නවද ඔය ලයිට් දැම්මම එක පාරට පත්තු වෙන්නෙ නැහැ. මේ බිල්ඩින් එකේ එලියේ තියෙන ස්පොට් ලයිට් පත්තු වෙන්නේ මේ ස්ව්ච් වලින්.. ස්පොට් ලයිට් පත්තු වෙන්න වෙලා යන නිසා තම ඔය බූරුවා බේරුනේ.. "

"මතක තියා ගන්නවා මම දවසක ඕකට ගහනවා ස්විච් ඕෆ් වෙලා ජීවිතේම අදුරු වෙන්න"

එදා හොදම හරිය වූයේ ක්ලාස් අහවරවී මෙනි.

"කාටද බං සර් අර පලු යන්න බැන්නේ.." අපේ මිතුරෙක් ඇසූවිට 

"අනේ කවුද බං දන්නේ..?? මං හිතන්නේ පො***නයා කියල එකෙක්ට නේද බැන්නේ..? පිළිතුර දෝදුවාගෙනි...

එදා සර් පන්තියේ දහසක් සිසුන් මැද ඇමතුවේ.. අප දෝදුවාටය.. නිකන්ම නොවේය.. කවුරුත් දන්නා සුද්ධ සිංහල වචනයකිනි.

Written by sAm_8.23pm_02.03.2012

Wednesday, March 7, 2012

වැලහින්නකට පෙම් බැදිමි..... (1 කොටස)

********

සු හඩ නංවමින් ක්ෂණිකව විස්ථාපනය වී හැකි උපරිම උසට එලැබ පුපුර යන්නා වූ අහස් කූරක් ලෙස සිරිමෙවන් ගේ නෝන්ජල් ජීවිතය ක්ෂණිකව එළිය කළ වැලහින්නකගේ ප්‍රේම වෟත්තාන්තය.

********

ගෙදර බලු කුක්කාට පෙම් බදින කොළඹ හතේ යුවතියන් සේම මහ වනයේ වැලහින්නකට බැදි පෙමක් ගැන විශ්වාස කළ හැක්කේද? විශ්වාස කළ හැකි වුවද, නොහැකි වුවද, කොනක සිට කියවිය යුත්තේමය.....

"දුවන මුවන් දැක නොදමවු නෙලූ පලා" වචන පෙල නොඅසා තිබූ ලසදා, හිදිසියේ ගමේ කඩමණ්ඩිය අසලදී දුටු පිටගම්කාර කරත්තකාරයෙකුගේ කරත්ත කවියකට මුලාව සිරිමෙවන් හැර ගියාය. රාජකීය නමක් තිබුනද මුලු ගැන්වී ගෙවෙන ජීවිතය නිසාම ඇයටද සිරිමෙවන් එපා වීම සාධාරණ බැව් ලියන්නට මා අකැමතිය. මංගල රැයේ පවා සියල්ල සිදුවූයේ ලසදාගේ සිතැගි පරිදිය. වෙලේ, කුඹුරේ, කැලේ වැඩ කරන විට සමද්විපාද ත්‍රිකෝණ හැඩැති අබුඩ ලේන්සුව හැද සිටින සිරිමෙවන් එදා රාත්තිරියේ ඇගේ ඔතාගෙන සිටියේ යාර දහයක පමණ සරම් කීපයක්ය. සිරිමෙවන් ගේ දහිරිය නිසාදෝ ගෙදරින් කෙරුනු බලපෑම නිසාදෝ දීග ආ නමුදු ඇගේ සිතැගි පරිදි මනරම් රැයක් එදා ඇයට ගත කරන්නට නොවුණි. රිමෝට් එකක් සුරතේ තබාගෙන කාර් එකක් පදවන්නාවු සිගිති දැරිවියක මෙන් ඇය තමාට අවැසි සියළු දේ ඔහු ලවා කරවා ගත්තාය. සිරිමෙවන් පළමු දින බාලාංශ පන්තියට ගොඩවූ කලෙක මෙන් කදුලු පිරි දෙනෙතින් තම ගුරුවරිය කියන දේ කරන්නට වුයේ කවදාවත් නැති පීඩනයක් මැද්දේය. කොටින්ම කිවතොත් විද්‍යාගාරයේ ස්ථිති විද්‍යුතය ප්‍රායෝගිකව අත්හදා බලන සිසුවියකගේ අතට එබනයිට් කූරක් දුන් කලෙක මෙන් අතුල්ලා අතුල්ලා ලසදා විද්‍යාගාර පරීක්ෂනය එදිනත් කළාය.

එදිනට පසු ගෙවුන මාස කිහිපය අතරතුරදි මොලොව එලිය දුටුවේ සිරිමෙවන්ගේ පළමු සිගිත්තායි. දරුපැටියාට 7 වන වසර එලබෙන තෙක් සිරිමෙවන් හා ලසදා එකතු නොවූ බව ගමටම නොරහසකි. පාලමක් යටින් ගගක් නොගලනා කලෙක පාලමෙන්ද වැඩක් නැත්තේමය. එවිට පාලම පවා හඩා වැලපෙන්නේ ගගට වැඩක් නැත්තේනම් වෙනත් කිසිවෙකු හෝ තමාගෙන් වැඩක් ගන්නා ලෙස ඉල්ලමිනි. එවන් කලෙක වැසි නැති බිමකට කඩා වැටි කදුලු බිංදුවක් සේම ලසදා නෙත ගැටුනේ කරත්තකාරයෙකි. ඒ ගමේ කඩමණ්ඩියේදීය. කහට උගුරක් බොන්නට සීනි ගේන්නට කඩයට ගිය ලසදා සීනි පැත්තක තබා කඩමණ්ඩියට පැණි බීම ඩිලිවරි කරන්නාවූ කරත්තයේ නැගී සිදාදි ගතවුවාය.

හවස් ජා‍මයේ බැස ගිය හිරු පසුදින නැගෙනහිරින් නොනැගෙන කලෙක සියළු ජනයා කැලබුණ සිතින් සූර්්‍යයා සොයනු නොඅනුමානය. නමුදු සවස් ජාමයේ සී‍නි ගේන්නට කඩේට දිව ගිය තම බිරිය ලසදා ගැන ගමේ එවුන් සොයන තුරුම සිරිමෙවන් නොසිතුවේය. හේ දිවි ගෙවුයේ සියළු රාගාදී කෙලෙසුන් නැසූ තපසෙකු පරිදිය. බේබද්දෙකුට රා කට්ටක් මෙන් පොඩි පුතුගේ සිනහ පිරි මුව ඔහුගේ තනිය නිවූ බව නිසැකය. එක දිනක් පීඩිතව ගතකළ රැයෙකින් ලද එකම තුටු පඩුර මෙයම විය. 

"ගිය එකාල ගියාවේ බොල කොල්ලෝ.. මට පුලුහං බොලාව ලොකු මාත් කොරන්ට." කිසිත් නොදන්නා දරුවා සිරිමෙවන්ගේ වදනට හිස සලන්නේය.

පැණි බීම කරත්තකාරයාට මුලාව තම බිරිය ගම හැර ගියද සිරිමෙවන් කළේද පැණි රස්සාවකි. උදේම කුණු කෙල පිරි මුවින් කැලේ රිංගනා සිරිමෙවන් නැවත ගෙදර එන්නේ මී පැණි දෝත දරාගෙනය. බිරිදට දෙවෙනි වූ සිරිමෙවන් මී මැස්සාට නොදෙවෙනි වන්නේ දෛවයේ සරදමක් මෙනි. මී මැස්සා දෂ්ඨ කරනු සිරිපාලට අමිහිරි නොවුනද නිතරතුරු සිතට වදදෙන ඇය තමාට දෂ්ඨකල ඒ කර්කෂ රාත්තිරිය සිරිමෙවන්ට අමතක නොවන්නේමය. එදින තමාගේ පිරිමිකම මෙන්ම සම්පූර්ණ දිවියද විනාශ වු බවෙක් හෙතෙම සිතන්නේය.

අමුඩ ලේන්සුවට ඔරොත්තු නොදෙන කුට්ටම යන්තමින් සගවාගෙන සීරීම් සහ හිරිවැටීම් දරාගෙන මී වදයක් සහිත ගසකට සිරිමෙවන් ගොඩවන්නේ කුට්ටම පරදුවට තබාගෙනය. ගසට නැගි හෙතෙම මී වදයක් දකින්නේ එළදෙනකගේ තන පුඩුවක් දුටු වහු පැටියෙකු ලෙසින් දිදුලන දෙනෙතිනි. එසේ දුටු මී වදය සුරතින් දරාගෙන ගසෙන් බිමට බසින කලෙක අමුඩය ගැලවී වැටුනද, කුට්ටම ගැලවී බිම වැටුනද, සිරමෙවන්ට වගක් නැත්තේමය. මාලු කැබැල්ල කටේ සිර කරගත් හොර බළලාට කොපමණ පහර දුන්නද මාළු කැබැල්ල අත නොහරින්නාක් සේම කුට්ටම හෝ අමුඩය විනශ වුවද මී වදය සිරිමෙවන් අත නොහරින්නේමය.

ගසෙන් බිමට බට සිරිමෙවන් වටපිට නෙත් යොමු බැලුවේ පාළු මහ වනයේ අමුත්තක් දැනුන නිසාමය. තම බිරිද හැරගිය දින සිට අද වනතුරුත් කළබල නොකලා සේම දුටු දසුනින් සිරිමෙවන් කළබල නොවූවද හෙබ්බිරිස්සාව හැදුන දිනෙක තමා අත රෙදි කැබැල්ලක් සිර කර ගන්නා පරිදිම, අත තිබි මී වදය සුරතේ තද කොට ගත්තේය.

පිරිපුන්, පිරුණු කළු රෝම කූපයෙන් වැසුන සිරුරින්, සිරිමෙවන් දෙස බලා සිටියේ දඩාර වැලහින්නකි. වෙසක් දින ගමේ පන්සලේ තොරණ බලන්න ගිය අයුරු සිරිමෙවන්ට සිහි විය. තොරණේ සිටි මුචලින්ද නාගයාගේ දෙනෙත් නිවි නිවි දැල්වුනා සේම වැලහින්නගේ දෙනෙත් දැල්වෙන්නට විය. ඒ අතර සිරිමෙවන්ට සිහි වූයේ පෙරේදා හවස තම පුතු පොතක් දිග හැර සද්දෙට කියවු වලහෙකුට අසුවූ මිතුරන් දෙදෙනෙකුගේ කතාවයි. එහෙත් ගසකට නැගීමටද, මලා සේ බිම වැටීමටද කාලයක් නොවේය. වැලහින්න දෙනෙත් දල්වා සිරිමෙවන් දෙස බලා හිදී. අදුරු රැයක පාරට දැමු වාහනයකින් නැගෙන හෙඩ් ලයිට් එලිය දුටු කලෙක නිලංකාර වූ දෙනෙතින් සිරිමෙවන්ද වැලහින්න දෙස බලා සිට මොහොතින් සිහිසුන්ව ඇද වැටුනේය.

තමා පිලේ නිදා සිටින විටක අමුඩය ඔසවා ඒ අතරින් ඉව කරනා බැලලියගේ මෙන් පහසක් දැනුන කලෙක සිරිමෙවන් සිහි උපදාවා වට පිට බැලුවේය. හැද සිටි අමුඩයද ගලවා දමා වැලහින්න තම දෙපා අතර හිදගෙන සිටින අයුරු දැක සිරිමෙවන්ගේ දෙනෙත් පලල්ව, කට උල්ව, කකුල් හිරි වැටී ගියේය. තම බිරිදට නොදෙවෙනිව වැලහින්නක් විසින් තමාව දෙවන වරටත් කෙලසන ලද බව සිරිමෙවන් කෙසේ විශ්වාස කරන්නද. වත්තේ පොල් උල මත පොල් ලෙලි ගසන සිරිමෙවන් පොල් උලක් වී, වැලහින්න පොල් ගෙඩියක් ලෙසින් වියරුව සිරි මෙවන් ලග දණ ගසා සිටී. ගලන ගගුලක කෝටුවක් මත පාවී යන කුහුඹුවෙකු මෙන් සියල්ල සිදුවන්නට ඉඩ හැර සිරිමෙවන් සිහි සුන්ව මෙන් වැතිර සිටියේ තම පොඩි පුතු උපත ලැබීමට හේතු වාසනා වූ ලසදා සමග යහන් වැදි රැය සිහි ගන්වමිනි. සිරිමෙවන්ගේ නූගත් සිතට එලැබි චකිතය වූයේ වැලහින්නට තම මුහුණ සිහිත දු සිගිත්තියක් ලැබෙනවා නිසැක බවය.

තියටර් එකට බට රෝගියෙකු සිහි නැති වූ කලෙක තම වකුගඩුවක් ගලවා ගත්තද නොදන්නවාක් සේ සිරිමෙවන් හිත හදාගත්තේය. දෑස් තද කොට පියාගෙන වැලහින්නට තියටර් එකේ සිස්ටර් වන්නට ඉඩ හලේය. සියල්ල නිමාව වැලහින්න නැගිට විත් සිරිමෙවන්ගේ මුවට පාත් විණ. දෑස් තදින් පූට්ටු‍කර ගත් සිරිමෙවන් කැළෑ දෙවියන් යැද්දේය. කැළණියේ අපට ඉස්සර හිටියේ විභීෂණ වුවද දැන් ඇමතිතුමා විශ්ණු වඩම්මවා ඇති නිසා අපි නම් අසරණය. එහෙත් සිරිමෙවන් දන්නා කැළෑ දහමට අනුව යැදිය යුත්තේ කැළෑ දෙවියන්ය.

රූපවාහිනී වෙලද දැන්වීමක මවක් විත් තම කුඩා දරුවාගේ නලල සිප ගන්නා කලෙක මෙන් සිරිමෙවන්ගේ නලල මත තම ගද ගසන මුව තබමින් වැලහින්න නික්ම ගියාය.

සියල්ල අවසන දුහුවිලි ගසා දමා නැගිට ගත් සිරිමෙවන් තමා වෙනදාට කැළැ පලතුරු කඩාගෙන කොලේක ඔතා ගෙදර ගෙනියන්නාක් මෙන් හබරල කොලයක් කඩා තම කුට්ටම වසා ගත්තේය. ලසදා සමග තනි වූ රැයේ අදුරු කුටියක ගෙට මුලුගැන්වුන යුවතියක මෙන් විලි ලැජ්ජාවේ හැසිරුණ සිරිමෙවන් නූල් පටක් නොමැතිව කෙසේ නම් මහ වනය මැදින් නිවැසට යන්නද. සියල්ල සම සිතින් විද දරා සිරිමෙවන් නිවැස ඉදිරිපිට මිදුලට පිවිසි කළ තම කොලු පැටියා වෙනදා මෙන් පෙර මගට දිව ආවේය.

වෙනදාට හබරල කොලය අස්සේ තිබෙන්නේ මාදං, හිබුටු, නාරංය. දිව ගිය කොලුවා පැන්න ගමන් හිබුටු වල්ල මිරිකා ගත්තේය.

"ඇැැැැක්..." ඉවසා ගත නොහැකි වූ සිරිමෙවන් මොර දුන්නේය. කොලුවා පැත්තට පැන්නේය.

"ඒ ගමන උබත් පටන් ගත්තද ‍මගෙ කුට්ටම තලන්න. තොපේ අම්ම ඉන්න කාලේත් එක දවසක් මාව විනාස කළා. ඊට පස්සේ උඹ බඩට ආව. අද කොහෙවත් ගිය වැලහින්නක් ඇවිත් මාව කුඩු පට්ටම් කළා දැන් උබත් එනව උලුක් වෙලාද බලන්න. දුපං මගෙ දෑහන නොපෙනී..."

*** මතු සබැදි ***

Written by sAm_7.12pm_07.03.2012

කැත හිත් වලට දැමූ කවි පොඩ්ඩෙන් හිට්ස් 50,000ට ලගා වුණි. සැමට තුති.. !

Monday, March 5, 2012

ඇගේ අතැගිලි අතරේ මිරිකෙන නුබ...




තෙමුණු සිරුරට තදින් වෙලිලා
සීතලට ලග තවත් හිදලා
ඇය සමග තනි කුටියෙ සරලා
සනසවන් ඇය තවත් මිරිකා


යුවතියගෙ රස රහස් තැන්වල
ඇතිල්ලෙන විට නුඹේ අතගෙන
සිතා ගන්නට නොහැකි වූ කළ
ලැජ්ජ හිතුනා මට ලියන්නට


තනිවු කුටියේ ලදුන් අතරේ
ලැමේ සුව විද, පාද අතරේ
සිනිදු සුව ඇති පහස වින්දේ
ලොවට රහසේ නොවේ මිතුරේ


ඇතිල්ලෙන කල ලිස්සලා යන
අපූර්වත්වයෙ නිමැයුමකි නුඹ
ලිහිසි බව නැති වුනොත් නුඹ ලග
කතුන් තරහා වෙනවා සත්තක


රස රහස් තැන් සිප බලාගෙන
දිනෙන් දින නුඹ යන විනාසව
ඒත් දිනකට විදින මිහිරිම
ස්පර්ශයම නුඹ විදී සතුටින


කෙලෙස් මල පිරි රතියෙ වෙලිලා
නුඹ ලගට එයි ඇයත් දුවලා
වින්ද සැප යලි මතක් කරලා
නුඹට තුරුලුව හිදී තෙමිලා


ඇගේ සිරැරේ තදින් වෙලිලා
ඇයද නුඹ තව තවත් මිරිකා
දියව යන තුරු නුඹේ සිනහා
අතුල්ලයි තව තවත් මිරිකා


*
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
*




Written by sAm_4.13pm_04.03.2012

කැත හිත්වලට ලියූ ලස්සන කවි බොහොමයක් ඊ-මේල් ලෙසට සංසරණය වීම සෑමාගේ සතුටට කරුණකි. නමුදු ඒ එකකවත් සෑමාගේ බ්ලොගේ ලින්කුව අඩංගු නොවීම දුක්ඛිතය. එකී සිදුවීම් ගැන මා දැනුවත් කළ නිසුපා ඇතුලු සියල්ලන්ට තුති. 

සැ/යු - කවි ඉස්සුවාට කමක් නැත. බ්ලොගේ හෝ පෝස්ටුවේ ලිංකුව අඩංගු කරන්නේ නම් මානුෂිකය.
Related Posts Plugin for WordPress, Blogger...