Saturday, April 28, 2012

පෙට්ටි නැති කල්හි ස්ත්‍රීහු තටු ලැබ ඉගිලෙත්..


ඉස්සර හැමෝම ගියේ ගොන් කරත්තයේය. ඉන්ධන මුකුත් අවශ්‍යය නැත්තේය. අවශ්‍යය වන්නේ කෝටුව පමණි. අසරණ සතෙක්ට තට්ටු කලාම සතා යන්නේය. ඒක පව්ය. එනිසා විවිධ ඇන්ජින් ලොවට ආවේය. ඒ කාර්මික විප්ලවය නිසාය. එනිසා අසරණ වහු පැටව් සහ හරක් බේරුනේය. ඇන්ජිමත් සමග ගියර් පෙට්ටියද වාහන වලට එකතු වුනේ ඒවායේ වේගය පාලනය කළයුතු නිසාය. කදු නගිද්දී, තැනිතලා බිමක යද්දී, කිසිවෙක් අබිභවා යද්දිද මේ ගියර් පෙට්ටියේ වටිනාකම දැනෙන්නේය.

එහෙව් ගියර් පෙට්ටිය පසු කලෙක ආකාර දෙකකින් යුක්ත වෙන්නට ගත්තේය. එකක් මැනුවල් එකය. අනෙක ඔටෝය. දැන් කාන්තාවෝ බහුතරයක් භාවිත කරන්නේ ඔය කියන ඔටෝ එකය. එහි ගියර් පෙට්ටි නැත්තේය. එනිසාම ඔවුන් ඉගිල්ලෙන බැව් කීවොත් නිවැරදිය.

එය මෙසේය...

ට්‍රැෆික් එකක ගියර් සහිත බයික් එකක ඉදිරියට ඇදෙද්දී විටෙක මග හිටින්නේය. ඒ ගියර් මාරු කිරිමේ හැකියාව මතය. සමහරු හරි හැටි මාරු කරගත නොහැකිව පිටුපසින් එන අයවද කරදරේ දමන්නෝය. එහෙත් පෙට්ටි නැති කාන්තාවෝ බහුතරයක් පදින ඒවා එසේ නැතිය. ඔවුන් වැඩකාරයෝ වගේ ඉදිරියටම ඇදෙන්නෝය. එවන් බයික් ප්‍රමාණයෙන් පවා කුඩා නිසා කාන්තාවෝ බය නැතිව ඕනෑම අස්සකින් දමන්නෝය. එය පෙට්ටි නැති වූ කලෙක ලැබෙන වරමක්ය.

ට්‍රැෆික් එකක, කලර් ලයිට් එකක් ඉදිරිපිට සිටියදී ඉදිරියෙන්ම සිටින්නේ බයික් කරුවෝය. ඔවුන් සියළු වාහන අභිබවා ඉදිරියට වී ලයිට් වැටෙන තුරු බලා සිටින්නෝය. එහෙව් කලෙක පෙට්ටි නැති බයික් කාරියක් සිටියොත් ඇය කොළ ලයිට් දැල්වෙද්දී සියල්ලට පෙර ඉදිරියට ඇදෙනවා ෂුවර්ය. එය සෑමා අත් දැක්කේය.

දිනක් සෑමා සමග හරි හරියට බේස් ලයින් මාර්ගයේ උදේ වරුවක පෙට්ටි නැති කතක් තරගයට ආවාය. සෑමා ලග ලග ගියර් දම දමා ඉදිරියට ඇදෙද්දී ඇය රේස් කරගෙන සිට ගේමක් නැතිව කරට කර ආවාය. ලද අවසරයකින් සෑමා වෑන් එකක් සහ කාර් එකක් මැදින් දමා ඉදිරියට ඇදුනේ පෙට්ටි නැති ඇත්තියෝ සමග තරග කොට ලැජ්ජාවෙන්නට බැරි කම නිසාය. එහෙත් සෑමා කලර් ලයිට් එක අසල ඉදිරි පෝලිමට එකතු වෙද්දී, ඇයද ඉදිරියට විත් එයට එකතු වූයේ පෙට්ටි නොමැති බවේ වරප්‍රසාද විදහා දක්වමින්ය.

සියළු දෙනා අතර සෑමා සහ පෙට්ටි නොමැති ඇය පෝලිමට සිටියදී සෑමා ක්ලච් එකේන් දෑත් නිදහස් කර ගත්තේය. ඒ ගියර් එක නියුට්‍රල් කරමින්ය. ඇයට ගානක් නැත්තේය. ඒ පෙට්ටි නැති නිසාය. ඇයට ක්ලච් නැත්තේය. ඇත්තේ රේස් කරන තරමට යන එකක්ය. සෑමා ඇය දෙසත්, ඇය සෑමා දෙසත් බලා ඉදිරිය බලා ගත්තෝය. ඒ අතර වැටුනේ කොළ ලාම්පුවේ එලියක්ය. සෑමා ක්ලච් තද කොට, ගියර් දමා දගලද්දී ඇය සුරූස්... ගා ඉදිරියට ඇදුනාය. සෑමා දඩ්..ඩිග්.. ගා එතනම නැවතුනේය. නැවත පණ ගන්නවන කළ ඇය සයිඩ් කණ්නාඩියෙන් සිනා සී ඉදිරියටම ගියාය. ඇය පෙට්ටි නැති කලෙක ආඩම්බර වූවාය.

ඇය එසේ කළාය. දිනෙක සෑමා මෙසේ කලේය.

එදා සෑමා ධාවනය කරමින් සිටියේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහතාගේ මදුරුවා යතුරු පැදියය. මදුරුවා උනත් එහි ගියර් 4ක් තිබි බැව් කිව යුතුය. මගක් දුර යද්දී සෑමාට කෝචෝක් එකට හෝන් ගසමින් ඉදිරියට ඇදුනේ පෙට්ටි නැති කතුන් දෙදෙනෙක් සහිත බයික් එකක්ය. ඔවුන් ගේ පිටුපස සිටි ඇත්තිය සෑමා දෙස බලා සිනාසුනේද කින්ඩියටමය. 

කරන්නට දෙයක් නොවූ කලෙක් සෑමා හතරවන ගියරයට සට පට ගා කඩමින් ඔවුන් පහුකලේ දෙවරක් හෝන් එක ගසමින්ය. ඔවුන් පහු වූ පසු සෑමා කුපාඩි කමට මෙන් සෙමින් ගමන් කලේය. නැවත පෙට්ටි නැති එතුමියන්ලා සෑමා පසුකලේ කෝචෝක් හෝන් දෙක ගසමින්ය. දැන් ඉතිරිව ඇත්තේ සෑමාගේ වාරයය. එහෙත් වැඩි දුරක් නොගොස් ඉදිරියේ ඇති වංගුවෙන් සෑමා හැරවිය යුතුය. ඊට පෙර ඉස්සර කළ යුතු නිසාම සෑමා දත් විකාගෙන ඉදිරියට ගියේය. වංගුව අසලදීම වාගේ සෑමාට ඔවුන් පසුකරන්නට හැකි වුවේය. ඒ සමගම සෑමා පාර හරහා දකුණට තිබුණ වංගුවෙන් හැරවීය. පිටුපස නොබලා දුරක් ගිය සෑමාට අමුත්තක් දැනුන නිසා පසුපස හැරී නොබලා සයිඩ් කණ්නාඩියෙන් බැලුවේය.

පිරිසක් විත් ඇයලා දෙදෙනාව ඔසවා පැත්තකට කරනු සෑමා දුටුවේය. එහෙත් ඔවුන් සෑමාගේ බයික් එකේ ගෑවුනේවත් නැත්තේය. නැවත හරවා ගොස් බලන්නට ගිහින් ගුටි කනවාට වඩා යන ගමන යනවා හොදය කියා සෑමා පිටත් වුවේය. පෙට්ටි නැති බයික් එකේ ඇයලා කලබල වී ඔවුන් විසින් බයික් එක පෙරලාගෙන තිබුනෝය.

පලි - උඩින් යන කළු පෙට්ටි ගැන දැනුමක් සෑමාට නැත්තේය. ඒවා ඇත්තේ ප්ලේන් වල බැව් සෑමා දන්නේය. කළු පෙට්ටි පිළිබද පෝස්ටුවක් බ්ලොගයක තිබ්බා මතකය. එය සෙව්වද නොලැබුන නිසා ලින්කුව දාන්නට නොලැබිණ.

සෑමාගේ අවවාදය - කාන්තාවෝ පෙට්ටි නැති වුවද බයික් පදිද්දී ප්‍රවේසම් විය යුතුය. පෙට්ටි නැතැයි සිතා නිදහස ලැබ ඉගිල්ලීම තරම දැන කළ යුත්තේමය.

Written by sAm_2.37pm_27.04.2012

Thursday, April 26, 2012

මව සහ ඇය - (වෙනස් නොවන වෙනස)



මව - 
බත් කට ගුලි කොට අපට කවන්නීය
ඇය -
අප බත් කට අනා කැවිය යුතුය.



මව -
"උඹ කඩෙන් කන්න ඕනේ නැහැ, මම ඉන්නකල්" කියමින් උදේම නැගිට කෑම සදන්නීය.
ඇය -
"බබා අද අපි වෙනසකට එක්ක කඩෙන් කමු නේද" කියමින් උදේ නිදන්නීය.



මව -
පාසල් යද්දී කියන්නට කලින් රෙදි සෝදා දුන්නීය. අදුම් මැද දුන්නීය. පාසල් යන කාලේ අපි ඇගේ ඇදුම් සෝදා නැත්තේය.

ඇය -
විටෙක ඇගේ අදුම් පවා සෝදන්නට වෙනවාය. ඒ ආදරය නිසාය. ඇදුම් මදින්නට වෙනවාය. ඒ අරපිරිමැස්ම සදහා අදුම් සියල්ල එකවර මැදිය යුතු නිසාය.



මව -
තේ එක සාදා ලගට ගෙනත් දුන්නේ පොඩි කාලේ සිටය. තවමත් එහෙමය. කම්පුයුටරේ ලගටම ගෙනත් දෙන්නීය.

ඇය -
විවාහවී මුල් වසර කිහිපයක් ලගටම ගෙනත් දෙන්නීය. පසුව "අන්න තේ හැදුවා ගිහින් බොන්න" කියන්නීය. තවත් පසුව ඇය නිදිය.  අප කඩෙන් තේ බිය යුතුය. නැත්තම් අල්ලපු ගෙදරින්ය.



මව - 
අප පාඩම් කරද්දී ඇය නිදි වරා සිටියාය. නිදාගත්තේ අන්තිමටය.

ඇය -
අපි ඔෆීස් වැඩ කරද්දී, චැට් කරද්දී ඇය නිදිය. "ඔයා  ඇදට ඇවිත් මට ඇහැරවන්න" කියන්නීය.



මව -
නිතර ඇගේ එල්ලිලාම නොසිටියාට තාත්තාට තවමත් ආදරේය. එය විදහා දක්වන්නේ ක්‍රියාවෙනි.

ඇය -
අපට උපරිමයෙන් ආදරේය. නිතර ඇගේ දැවටෙන්නීය. තොදොල් වෙමින් පවසන්නීය. ඉදිරියට... ?



මව -
කතා කරගන්නට බැරිව සිටිද්දී පවා, හඩා ඉල්ලන්නට කලින් දෙතන කටේ තැබුවාය. ඊට වෙලාවක්, ස්ථානයක් නොමැත්තේය.

ඇය -
විටෙක ඉල්ලුවද, බලපෑම් කළද කටේ තබනවා තියා පෙන්නන්නේද නැත්තේය. විටෙක ඊට නියමිත වෙලාවක්, ස්ථානයක් ඇත්තේය.



ඇය මවක් වූ දිනෙක මේ සියල්ල වෙනස් වනු නියතය. එවිට ඇය මවගේ ගති ගුණ අනුගමනය කරනු ඇත.
වෙනස් නොවන වෙනස නම් ගැහැණියමය.

මිතුරියක්, සොයුරියක්, නැගෙනියක්, පෙම්වතියක්, බිරිදක්, මවක් සහ සෙසු චරිත රැසක් !


සැමා මේ සියල්ල ලීවේ නිකං හිතට ආපු නිසා. ඒත් පෝස්ටුව ටයිප් කරල අවසානේ ගුණදාස කපුගේ මහත්යාගේ ගීතෙක කොටසක් ඉබේම මිමිණුනා. එතකොට පෝස්ටුව බරපතල් වෙනවා මෙන්න මෙහෙම.

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ

"බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ" කියල කියන්නේ ඇයි කියල බොහොමයක් අය දන්නව ඇති. යෝධ ඇලේ මතුපිටින් වතුර ගලන්නේ නෑ වගේ පෙනුනට ඇල ගැඹුරට ගියාම ඉතා වේගයෙන් වතුර ගලාගෙන යනවා. ඒ ඇලේ බැස්ම හැතැක්මෙට අගලක් නිසා. දුර ගියාම තමා තේරෙන්නේ ගලනව කියලා. ඒ වගේ සමහර බිරින්දෑවරුනුත් තේරුම් ගන්න කල් යනව.

Written by sAm_6.15pm_26.04.2012

පලි - කමෙන්ටුවක් නිසා..

අග්නි ධාරා...Apr 26, 2012 09:42 AM
//මේක මම අහලතියෙන කතාවක්...//
ඈ බොල කොහෙන්ද මේක බොලා අහල තියෙන්නේ?
මේක උස්සපු එකක් නෙවේය. සෑමා ලියපු එකක්ය. :p

Tuesday, April 24, 2012

එකෙක් ඇගිල්ල තද කරල ඇර ගත්තොත්, අනිත් එකාලත් රිංගන කැත...





පුංචි සුරතේ - ඇගිලිතුඩකින්
ඔබා ගෙන හිද පුරුකෙ තරමක්
ඈත් කරමින් පෙට්ටියක දොර
දැනුනි ඇතුලට බරක් මහමෙර

*
*
*
කඩා ගත් පසු බාධකය මුල්
පොදුයි සැමටම විදින්නට පිං
ඉහල පහලට කරයි සැනෙකින්
පාවෙනා සුර ලොවක දසුනින්
*
*
*

පරණ වූ කල කිරි කිරිය දෙයි
ලිහිසි දියරක් දාන්නට වෙයි
මුලදි දැනෙනා සුවය මැකිලා
යාවි කිසියම් දිනෙක දිරලා
*
*
*

විටෙක දෙදෙනෙක් තනිව හිදලා
ලද සැනින් සුව ගනී විදලා
තොල් සගල තොල් සගලෙ සගවා
විදී පෙම් සුව රහසෙ සගවා
*
*
*

එකෙක් ඇරලා බලන් හිදලා
තවත් අය විත් බලයි රිංගා
පැද්දී පැද්දී නොයන හින්දා
කෙලින් ඉහලට පහල යන්නා
එයත් සැපකී සිතින් සිතනා
*
*
*
හදිසියේ සිරවුනොත් ඇතුලේ
ලොවට රහසේ ඉන්ට සිදුවේ
එහෙත් දිවියට ආස හින්දා
සද්දෙ එන්නට ඔබන්නට වේ
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*
**
*
*
*
**
*
*
*
*

ලිෆ්ට් එකේ හිර වුනොත් ලැජ්ජ නැතිව, සද්දෙ එන්ට, බෙල් එක ගහන්ට..

පලි - දින තිස් පහකට පසු සෑමාගෙන් කැත හිත්වලට ලස්සන කවි පොඩ්ඩක්. කලින් ඒවා ප්‍රසිද්ධියේ වෙන්දේසි වූ නිසාත්, අපේ එකාලා රැවටෙන්නේ නැතිව අග ඉදන් මුලට බැලූ නිසාත්, සෑමාට කැත හිත්වලට ලස්සන කවි ලිවීම එපා වී තිබිණ. "කරන්නට දෙයක් නැත. බොලාලා ඕනෙ එකක් කරගත්දෙන්" කියා සෑමා නැවත ලියන්නට විය.

පෙර දී කැත හිත්වලට ලියූ කවි.. 
(සියල්ලම වාගේ ප්‍රසිද්ධියේ වෙන්දේසි විය..උස්සනවා නම් ලින්කුවක් සමගම උස්සන්න)






Sunday, April 22, 2012

සයිබරයේ සිහින අවුරුදු උලෙල නම් 'බොරුවට' ගියෙමි....


‍‍‍
කස්ටිය දැන් සෑමාට බැනගෙන මේ පැත්තට එනවා ෂුවර්ය. අද පැවැත්වු සයිබරයේ සිහින අවුරුදු උලෙල තනිකර බොරුවක් බව අවසාන‍යේ තේරුම් කර දෙන්නේ සෑමාය.

උදේම නැගිට ගත් සෑමා ෂෝටක් දමාගෙන "I AM CURRENTLY AWAY FROM MY COMPUTER" ටී-ෂර්ට් එක දමාගෙන අම්මාට කිවේ සයිබර අවුරුදු උලෙලට යනවා කියාය. 
"ඈ ඒ වගේ තැනකට මෙහෙම යනවද ?" ඇය ෂෝට දෙස බලමින් කීවාය.

"ඔව් මේ කමක් නැහැ..." කියමින් සෑමා පිටත් වීය.

සෑමා කවදාවත් බ්ලොගේ වැඩකට එකතු වී නැත්තේය. පෙරදින චැටේ සෙට් වුණ කුඹූ ගේ ලෝකය කීවේ මචං මාත් කලින් ඕකකට සෙට් වෙලා නැහැ දෙන්නා එකට යමු කියාය. ඒ අතර තව එකෙක් චැටට ආවේය. පොරගේ නම 'අරුණ'ය. සෑමාට පොරගේ බ්ලොගේ නම මතක තිබ්බේ නැත. අරුණයා ඇහුවේද හෙට එනවා නේද කියාය. ඇත්තටම පොරගේ බ්ලොගේ නම මතක් වුනේ සිහින අවුරුදු උලෙලේ හමුවී කතා කළ පසුය. පොර රෙප් මහත්තයාය.

රෙපා, කුඹු සෙට් වී කතා කර සිටින විට දේවා, කිරිපුතාද‍ සෙට්විය. අනිත් එවුන් කවුද කියා සොයා ගන්නට ලේසි වුනේ එල්ලා තිබූ ටැග් නිසාය. එහි වුයේ බ්ලොගේ නම සහ පුද්ගලයාගේ නමය. සෑමා, සහ කුඹු ඒ වෙන විටත් ටැග් නැතිව කැරකි කැරකී සිටියෝය. ඔබා මාමාගේ නම කියවුනු නිසා සෑමා ඔබා මාමා සොයා පිටත් වුනේ විශේෂිත ප්‍රදේශයකටය. ඒ පැත්තේ මතට තිතය. ඒ යන අතර තුරදී සෙට් වුනේ අපේ රස්තියාදුකාරයාය. පොර ඔසාමා මෙන් රැවුල වවාගෙන පැත්තකට වී සිටියදී සෑමා අහුලා ගත්තේය.

මතට තිත පැත්තේ පට්ට අවුරුදු උලෙලක්ය. ඒ තරගෙට බෝතල් හිස් කිරීමය. සුදුපාට අංකල් කෙනෙකු කණ්නාඩි කුට්ටම් දෙකක් දමාගෙන ඉදගෙන සිටියදී සෑමා තට්ටුවක් දමා කතා කලේය. ඒ අතර තව එකෙක් පැන්නේය. ඒ අභිතයාය. 

"උඹ කවුද මචං.." ඒ අභියාය.
"මම සෑම්.."‍

"අම්මද බොල සෑමෝ..." අභියාගේ දෑත් දිගුවිය.

එතන සිටි හයේ හතරේ පොර රංග අයියා බව දැනගත්තේ අභියාගෙන්ය. රංගයියා සතුව ඩ්‍රොවින් පොතක් පිරෙන්නට රූප ඇත්තේය. ඒවා ඔක්කෝම ඇග පුරා ඇදගෙනය. මීලගට සෙට් වුනොත් ඩ්‍රොවින් පොතක් තෑගි කළ යුත්තේමය.

"හරියන්නෙ නැහැ මචං අපිත් අර බෝඩ් කෑල්ලක් ගහ ගමු. නැත්තං ඉන්න එකාලා අපිව දන්නෙ නැහැනේ." සෑමා කීය.

"මචං බෝඩ් ගන්න තියෙන්නේ කොහෙද?" අපි ඇසුවේ දේවාගෙන්ය.

"පොඩි මෑන්ගේ පවුල ලග තියෙනවා. ගිහින් කෑම වලටත් ගෙවලා බෝඩ් එක ගනින්."

පොඩි මෑන්ගේ පවුල සොයා ගිය සෑමා, රස්තියාදුකාරයා සහ කුඹු ටැග් එල්ලා ගතිමු. එල්ලාගෙන ටැප් එකට ගොස් වතුර බී පඩිපෙල නගින්නට ලැබුනේ නැත. එකෙක් ෆෝන් එකක් කනේ තියාගෙන සිටියේය. පොර ෆෝන් එකද ඉවත් කර සෑමා දෙස බැලුවේය. ඇත්තටම මුහුන දෙස නෙවේය. ටැග් එක දෙසය.

"අඩේ සෑම්..." පොරගේ අත දිගු විය.

"මචං බනියා මම බැලුවා මේ වැනි වැනි එන කසියා ඩයල් එක කවුද කියලා. අපිත් කසියා ඩයල් නිසා අදුන ගන්න ලේසි වුනා.." බනියා ලගට ගනිමින් පොර කීවේය.

"උඹ මගෙ ටැග් එක නිසා සෑම් කියල දන්නවා.. උබ කවුද බං.." සෑම් අසරණ වී පොරගෙන් ඇසුවේය.

"මම රාජ්..."

"අඩේ ඉංග්‍රිසි රාජ් නේද? සිංහල එකානේ රාජ්ගේ නවාතැන කරන්නේ..." (උන් දෙන්නාගේ ප්‍රොෆයිල් වෙනස් වෙන්නේ නමින් නෙවේය. ලියා ඇති භාසාවෙන්ය.)

"මචං අපි ඔෆීස් එකේ එවුන් එකතු කරගෙන ට්‍රිප් එකක් ඕගනයිස් කරන්න බැරි එකේ, කවදාවත් දැකල නැති අපිව එකතු කරන්න උබලා මේ කරපු වැඩේ නම් සුපිරි බං..." සෑමා සහ පිරිස රාජ් සමග කතා කරපු ටිකෙන් මේ ටික ලීවොත් ඇති බව නිසැකය. ඒ අතර බනියාද පැන්නේය. පොර සෑමාගේ කුඩාකල සිට මිතුරා 'අංජා'ගේ මිතුරෙක් බව මතක් කර දුන්නේ සෑමාය.

දැන් අපි ටැග් ගසා ගෙන නිසා කාටවත් කරදරයක් නැත්තේය. කස්ටිය බලන්නේ මූන නොව ටැග් එකය. හිතුවක්කාරි ටැග් එක පපුවේ ගසාගෙන නොසිටියාය. ඒ හැමෝම ටැග් එක අල්ලා කියවා බලන නිසා විය හැක. අපේ එකාලා ටැග් අල්ලනවා කියා කරන්නේ අවැදගත් ඒවා නිසා ඇය එය පහලින් ගසාගෙන සිටියාය. 

කැමරාවක් අතින් ගත් පොරක් ඒ අතර සෑමා ලගට ආවේය. පොර වෙනියාය. අපේ ඕනයා හොස්පිට්ල් ගතව ඇති බව කීවේ වෙනියාය. කොහෙන්දෝ පැනගෙන ආපු තව එකෙක් අතට අත දුන්නේය. පොරට ටැග් නැත. "මචං මම ගැමියා..." අනේ උගෙ ගැමි කම. සෑමාට කියන්නට සිතුනේය. තව එකෙක් බෑග් එකක් කරේ එල්ලාගෙන සිටියේ සෑමා සහ පිරිස කෑම ගන්නට ගිය වෙලාවේය. පොර ඈත තියා රාජ් සමග කතා කොට සෑමා දෙසට අත් දිගු කරනු සෑමා බලා සිටියේය. බෑග් එක එල්ලාගත් පොර ආවේ අපි සිටින පැත්තටය. "මචං සෑම් අයියා මම පිස්සා.. හිත හොද පිස්සා..." මුං කොහොම කටක් ඇරලා මේ නම් කියනවාද මන්දා සෑමා කිවේය. සෑමාට මතක් වුනේ ඔබා මාමා රස්තියාදුකාරයාගේ නම ඇසු අයුරුය. "ඔයා කවුද ? මොකක්ද බ්ලොග් එක?" ඒ ඔබා මාමාය. "මම රස්තියාදුකාරයා.." විලි ලැජ්ජාවේ සංතෝසෙ බැරිය. කට ඇරලා කීවේ ඒ නමය.

"සෑම් මම චම්මා.." තව එකෙක් අත දුන්නේය.

"අහ්.. මොකද අමතක. අර කහපාට කොටු‍වේ කලුපාට සී අකුරක් තියෙන්නේ" පොරගේ ප්‍රොෆයිල් පොටෝව සෑමාට මතකය.

අලියාට ඇහැ තියන්නට කියා සෙට් වෙද්දී ඈත තියා තොප්පියක් දා ගත් පොරක් අත වැනුවේය. ටැග් එක නොදැක සෑමා අදුන ගත්තේ කෙසේද කියා බලන්නට ලගට ගියෙමි. අප්පද බොල පොර සුමිත් අයියාය. බ්ලොග් නොලිව්වාට කමෙන්ට් සුපිරිය.

තව එකෙක් සිටියේ වල් පල් කියා පපුවේ ගසාගෙනය. පොර පිස්සු පූසාය.

අලියාට ඇහැ තියන්නට ගියාට වැඩක් වුනේ නැත්තේය. කවුදෝ ‍පොරක් අපිට කලින් තිබ්බේය. සෑමා නැත්තම් අලියාට ඇහැ තියනවා ෂුවර්ය. නැතිනම් හංසයෙක් ‍හෝ ඇදගෙන ඇස තියනවා ෂුවර්ය.

කෑම ගන්නට ගිය තැනදී ගයනී සහ ගයාන් ලෙස බාලසූරිය දෙදෙනෙක් සෙට් වුනේය. ගයනී කිව්ව කතාවට සෑමාට පොලොව පලාගෙන යන්නට සිතින.

"අපෝ ඔයාද සෑම්. මම හිතුවා තඩි මහ විසාල කොල්ලෙක් කියලා. බැලින්නම් මේකා එච්චර සයිස් නැහැනේ..." පව් ගයනි හිතන්න ඇති සෑමා එයා වගේ කෑම දෙක දෙක කනවා කියලා. සෑමා තමාටම කියා ගත්තේ ඇගේ අතේ තිබි කෑම පාර්සල් දෙක නිසාමය.

පොඩි මෑන් කිව්වේ වෙන කතාවක්ය. "සෑම් උබලා ඇයි බං පරන් පොටෝ දාන්නේ ප්‍රොෆයිල් එකට. ඒ පොටෝ වල උබ ඉන්නේ තරුණ කොල්ලෙක් වගේ . බැලින්නම් පට්ට වයසයිනේ.." සෑමාට ඇඩුනේය.

පඩි පෙලේ සිටින විට පොඩි කොලුපැට්ටෙක් අස්සෙන් රිංගුවේ තට්ටු කරමිනි. පොර "ආහ් සෑම් අයියා කීවේය". මාව දන්න මම නොදන්න මූ කවුද? ටැග් එකක් වත් නැත. ලගට ගොස් ඇසූ කල පොර බිම්සරය. ඒ අස්සේ මධුරංගයාද කොහේදෝ සිට ඇවිත් කතාකලේය. පසුව වෙච්ච දෙයක් නැති විය.

ඉන් පසු කඹ ඇදිල්ලට සෙට් වුනේ කුඹු, සෑමා, රස්තියාදුකාරයා, පිණිබිදු, ප්‍රාර්ථනා, චම්මා, පිණිබිදුගේ අයියා, කිරි පුතා සහ පිස්සු පූසා සිටියේය. පළමු වටය කුජීත වී අපි එක පාරම ඇදී ගියේ ප්‍රතිවාදි පැත්තටය. නිවේදක මාමා කීවේ "පුරුෂ දහිරිය යොදා අනෙක් පිල අපිව ඇද්ද බවකි." විලි ලැජ්ජාවේ සංතෝසෙ බැරිය.

කලින් තරගයේ පරාජිත පිල සමග අපි නැවත තරග වැදුනෙමු. පස්ටය අපි දිනුම්ය. නැවත අවසාන වටයද ජය ගත්තේ අපිමය. පස්ට ආතල්ය. කොන්ද පොඩ්ඩක් ඇදුනා පමණි. අපි දිනපු හැටි දන්නේ අපි පමණක්ය.

තවද රත්ගමයා සොයාගෙන ගොස් කතා කලෙමි. පොර අවුරුදු කුමාරයා වෙන්නටම සූදානමින් පැමින ඇති බවක් හැගුනේය. පිණිබිදු, මහී, චාමිකයා, හැදින ගතිමි. තවද නාකියා කියන තරම් නාකි නැති බවද හැදින ගතිමි. බ්ලොග් ගඩොල්ද මුණගැසින. මාතලන් සෙව්වද හිටියේ නැත. කස්ටිය කීවේ මාතලන් මේවා මිස් කරන්නේ නැහැ කියාය. අසරණයා, රාජ් (නවාතැනේ එකා), සෙන්නා, නිසුපා, අමා, ශානි, බුවා, කකා, සදරු, නෝටි, පොඩි කුමාරිහාමි, වර්ණා, දිනේශ්, රූ, වින්වැට්, අග්නිධාරා, ගැටයාලහිරු, ඔබ‍ නොදුටු ලොවක්, මඩිස්සලේ නිෂාන්, ලොකු පුතා, අඩවි රජා, හරීසාතන්, Dude සහ තවත් ‍බො‍හෝ අය‍ නැති අඩුවක් තිබිණ.

බහුතරයක් ඇසුවේ පොඩි සෑමාගේ ලියුම් ලියන්නේ උඹද? කවි ලියන්නේ උඹද? ලොකු සෑමා කවුද? කියාය. ඒ ප්‍රශ්නයට සෑමාට පස්ට මලය. ඔය කියන හැම එකාම මමය. මේ සෑමාය. වෙන එවුන් නැත. 

සියල්ල අවසන්ය. නොදැක්කෝ දැක ගතිමි. මෙහි නම් සදහන් නොවූවෝද බොහෝ වෙති. සියල්ලන්ටම ස්තුතිය. පෝස්ටුවේ මාතෘකාව සෑමා විශ්ලේෂනය කරන්නේ මෙසේය.

සයිබරයේ සිහින අවුරුදු උලෙල නම් අමූලික බොරුවක්ය. එය සිහිනයක් නොවේමය. සැබෑවක්මය. අපි නොදත්, නොදුටු සැමගේ උත්සාහයක සැබෑවීමක්ය. සිහිනයක් ලෙස කීම බොරුවක්මය.

ජයෙන් ජය !

Written by sAm_7.05pm_22.04.2012

පලි - පොටෝ ටික ඉක්මනට දාපල්ලා..

මෙන්න කඹ සෙට් එකේ ජයග්‍රාහකයෝ.. පොටෝවට කුඹුට ස්තුතිය

Thursday, April 19, 2012

ලක් දෙරණේ ගල් එලියේ - සිරස දෙරණ මත සමපාත කිරීම...

ඉස්සර හැමෝම බැන්නේ සිරසට සිරස නැහැ කියාය. ඉන්දියානු වැඩසටහන් පෙන්නද්දී අපේ ගෙවල් වල ඒ කාලේ රිමෝට් එකට මරා ගත්තා සෑමාට මතකය. එය ඩබල් ට්‍රිබල් වූයේ කිරිකොට් මැච් තිබ්බ දවසටය. ඉස්සර ඉන්දියාවම ලංකාවේ තිබ්බේ සිරස නිසා බව ඇත්තය. ඒත් දැන් එහෙම නැත. සිරස ජනතා වාදී වෙලාය. ලංකාවේ නළු නිළියන් දමාගෙන නාට්ටි කරන්නට සිරස අත ගසා බොහෝ කල්ය. හැම නාලිකාවක්ම එහෙමය. එත් හැම එකේම එකම ප්‍රධාන නිලියක්ය. ඇය කොටය. විවාහ දිවිය අවුල්ය. ඇගේ පෙර නාට්ටියකම කොල්ලෙක් එක්කම සෙට් වෙලාය. ඒවා අපිට වැඩක් නැත. එයාලගේ ආතල් ඒවාය. අපේ ආතල් මේවාය.

සිරස රියැලටි ෂෝ ලංකාවට ගෙනාහ. එයද පිටරට කොපි බව හැමෝම කියති. ඒක බොරු නෙවේය. ඒත් ලංකාවට ගැලපෙන්ට අනෙක් නාලිකාවලට ඇඩ්ඩ්‍රස් නැතිවෙන්ට ලෙසටම කලෝය. ඒවා පටන් ගත්ත කාලේද සිරස නැති වෙන්ට බැන්නෝය. බොහොමයක් සිරසට බනින්නේ ඒවා කරන නිසා නෙවේය. පක්ෂ දේශපාලනය නිසාය. බොහෝ අය සිරස පුවත් නොඅසන්නෝය. ඒත් සෑමා කැමති ප්‍රවෘත්ති බලා හෝ විනෝද වීමටය. එසේ නම් සිරස හා ස්වර්ණවාහිනී පුවත් බැලිය යුතුමය. සිරස කුමරිය තේරීය. සිරස සුපර් ස්ටාර් කලෝය. සිරස ඩාන්සිං ස්ටාර් තේරීය. සිරස මෙගා සංගීත් කලෝය. දැන් ලක්ෂපති ද කරන්නේය. ඒ හැම එකටම හැමෝම බැන්නෝය. ඒත් අනෙක් නාලිකාද කොපි කරන්නට වුයේ බැන බැනමය.

කාලය එසේ ගෙවෙද්දී අළුතින් නාලිකාවක් අපේ ගෙදරට ආවේය. ඒක ආපු අළුත ටීවී එකේ ඉහල කොනක කොම්බුවක ලකුණක් තිබුනේය. එහි නම සෑමාගේ අම්මාට මතක නැත්තේමය. ඒ නාලිකාව බලන්නට ඕනේ විටක ඈ කිවේ "සෑමෝ කොම්බුවට දාපං" කියාය. ඒ දෙරණය.

දෙරණ අනික් පරණ නාලිකාවලට ගේමක් දෙන්නට හැකි මට්ටමේ එකක් බව පෙන්නලා හමාරය. සිරස සුපර් ස්ටාර් කරද්දී දෙරණ ඩ්‍රීම් ස්ටාර් කලෝය. සිරස ඩාන්සිං ස්ටාර් කරද්දී දෙරණ සිටි ඔ‍ෆ් ඩාන්ස් කරන්නේය. සිරස මෙගා සංගීත් කරද්දී දෙරණ තව මොකක්ද කරන්නේය. එහි විනිශ්චය මණ්ඩලේ සිටින්නේ සිරස සුපර් ස්ටාර් එකෙන් මගදී හැලී ලංකාවට මුහුණ පෙන්නූ ගායකයෙක්ය. දෙරණ ලිට්ල් ස්ටාර් කරද්දී දැන් සිරස තව මොකක්ද කරන්නට සැරසෙන්නේය. සිරස එකළ සිරස කුමරිය අහවර කලේය. දැන් දෙරණ දෙරණ වීට් කුමරිය එලියට දාගෙනය. ඒ අතර සූප ස්ටාර් ලෙස සුප වේදී තරගයක්ය.

සෑමා දෙරණේ ගල් එලියේ බව කීවේය. ඒ ලගදී එම නාලිකාවේ වීට් මිස් සිරි ලංකා එකේ සීන් දැකීමෙන් සලිත වූ නිසාය. තරගකාරියන් කූඩාරමක නිදගෙන සිටින්නෝය. පාන්දර වෙලා නිසා ඔවුන්ව ඇහැරවන්නට එන්නේ ගල් එලියේ දමා ගත් තරගකාරියක් වන තවත් තරුණියක්ය. ඇය කූඩාරමට රිංගා කොට්ට වලින් ගසන්නීය. බෙඩ් ශීට් වලින් අදින්නීය. අනිත් එවුන් නැගිටින්ගේ ගල් වලින් පෙරලිලාය. ඔවුන් විටෙක නාන්නෝය. ටවල් ඔතාගෙන සිටින්නෝය. අපේ එකාලාට එස් එම් එස් කරන්නට කල්පනාවක් නැත්තේය. (තරගයට එස්.එම්.එස් තිබේද නොදනිම්) අපේ එකාලා ගල් ඇතිල්ලී ගින්දර එනු බලා සිටින්නෝය. ඒකාලේ ගින්දර ගත්තේ කළු ගල් අතුල්ලාය. ඒත් මේ සුදු ගල් ඇතිල්ලී ගින්දරක් නොඑන්නේමය. ඇතිවනුගේ රා ගින්නක්මය.

පෝස්ටුවට පොටෝ ඕනේ නිසාම සෑමා ගූගල් දෙයියන්ගෙන් ඉල්ලුවේ තරග‍යේ ෆොටෝය. මගෙ අප්පේ වෙන පෝස්ටු වලට සෑමා දාන්නේ එක පොටෝවකි. ඒත් මේ පෝස්ටුව ඇල්බම් පිටින් දැමිය යුතු පොටෝ සහිතය. තව දුරටත් ගියොත් පොස්ටුවේ නමත් වෙනස් කරන්නට වෙනවාය. සෑමා ලියන්නට ආවේ දෙරණේ ගල් ගැනය. පොටෝ බලද්දී දෙරණේ ගෙඩි ගැන ලියන්නට කාරනා රැසක් ලැබුනේය. ඒත් ඒවා අදාල නැත්තේය. ඵල ඇති රුකට කොල්ලෝ ගල් ගසන්නෝය. එහෙව් ඵල, නොහොත් ගෙඩි වලට ගල් ගසා සෑමා කතන්දර අසා ගන්නට අකැමැතිය.

කියන්නට ඇත්තේ මෙහෙමය. සිරස කුමරිය කලෝය. කතන්දර දහසක් අසා ගත්තෝය. ඒ මේ තරම් ගල් එලියට නොදාය. නමුත් වීඩියෝ එලියට ආ බවක් කියන්නෝ බොහෝය. යූ ටියුබයේද බොහෝ බව කියන්නෝය. ඒ අතර සිරස ගිණි ගත්තේය. තවමත් වැරදි කරුවෝ නැත්තේය. එය මාධ්‍යය නිදහසට එල්ල වූ පහරක් බව පක්ෂ භේද නැති පාට කණ්නාඩි නොදා ගත් සියල්ල එක හඩින් කීවෝය. සෑමාද ඒ කාලේ සිටියේ ඒ මතයේය. තාම එහෙමය. ඒත් පාට කණ්නාඩි දා ගත් සියල්ලෝම කීවේ හොද වැඩේ කියාය. සිරස තරණ පරපුර කනවා කියාය. සිරස කුමරියද ඒ අතර දමාගේ සංස්කෘතිය විනාශ කරන්නේ සිරස බවම කීවෝය. ඒවා මතක් වෙද්දී සෑමාට පස්ට ආතල්ය. දෙරණේ ගල් දැක සෑමාට මේ පෝස්ටුව දමන්නට සිතුනේය. දැන් සෑමාට හිතුන ටික මෙසේ දමන්නේය.

දෙරණ ගල් ෂෝ එක කරන්නට තිබ්බේ සිරසය. දැන් දෙරණට කවුරුත් මුකුත් කියන්නේ නැත්තේය. ඒ දෙරණ නිසාය. ඒක සිරස වුණා නම් තව පාරක් ගිණි තියනවා ෂුවර්ය. ඒ ගල් පෙන්නුවාට නෙවේය. සිරස එක්ක තරහා නිසාය. ඒක දේශපාලනයමය. නැතිනම් වෙන තරහක් නැත්තේමය. සිරස කුමරිය කරන විට ගල් එලියට දැම්මා නම් සිරස අද සීල් කරලාය. එතැන එහෙනම් මැරවින් අයියලා වැඩ කාරයෝ වෙනවා නිසැකය. ගල් අරක්කු වලට සීල් තැබුවා සේම ගල් පෙන්නුවා යැයි සිරස ගලවලා අහක් කරනවා ෂුවර්ය. දෙරණට එසේ නැත්තේමය. ඒ දෙරණ සමග දේශපාලනික ආරවුලක් නැති නිසාමය. නැතිනම් මෙලහකටත් දෙරණට මේ දෙරණ තලයේම ගල් පාරවල් විසික් වෙනවා ෂුවර්ය.

වීට් මුලින්ම කකුලේ ඇතිල්ලුවේ අනර් කෙලීය. ඇගේ දැන් මයිල් හැලිලාය. ඒ කකුලේ ගලේ පමණක් නොවේය. සමහර විටෙක කොණ්ඩේද ගැලවිලාය. දෙරනේ ගල් එලියේ කරන්නේද අනර් කෙලීගේ මයිල් ගැලවූ වීට් ය. ඒ තරගයේ විවිධ කොටස් ඇත්තේය. සෑමා එය දැන ගත්තේද ගූගල් දෙයියාගෙන් පොටෝ ඉල්ලන්නට ගිහින්ය. එහි සෑමා සිත් ගත් කැටගරිය වූයේ "Miss Beautiful Legs"ය. මයිල් ගලවා දිලිසෙල කකුල සෙවීම පට්ට ආතල්ය. ඒ කැටගරියේ පමණක් ගල් පෙන්නුවාට වල් නැත. ඒත් තරගය පුරාම  ගල් එලියේ බව නොරහසක්ය. දැන් බ්ලෝගාලා සෑමාට කතන්දර හදනු ෂුවර්ය. "සෑමාට තරහා මුකුත් නෙවේය. ඔය අහවල් කැටගරියට විනිෂ්චයට සාධාරණ ආරාධනයක් සෑමාට නොලැබීම නිසාය. " ලෙස කියනවා ෂුවර්ය. ඒත් කමක් නැත. ඊට සෑමාට ඇති සුදුසුකම් සෑමා ගමේ ග්‍රාම සේවක මහතාගෙන් අසා දැන ගන්න කියා ඉල්ලා සිටින්නේය.

සෑමාට ඉල්ලිමක් ඇත්තේය. එය මෙසේය. දෙරණ ගල් එලියට දැම්මාට අපිට කමක් නැත්තේය. එය තරුණ ජනතාවට මෙන්ම වයසක අයටද වටිනවාය. සීයලා හොරෙන් බලද්දී ආච්චිලා බොර බොර ගානවා සූවර්ය. ඒත් බලා ගත්තොත් තමන්ටය. මෙකී වැඩසටහනක් සිරස කලොත් මේ වගේම මුනිවත රකිනට කියා සෑමා ඉල්ලා සිටිනවාය. ඒ සංස්කෘතියට හොද යැයි සාධාරණීකරනය කරන්නට නෙවේය. හැමෝටම එක හැන්දෙන් බෙදන්නට ඕනේ නිසාය. සිරසට එකක්, දෙරණට එකක්, රෙදි හෝදන නාලිකා වලට තව එකක් වෙන්නට බැරිය. එක රිමෝට් එකෙන් චැනල් මාරු කරන්නා සේම, එක ඇන්ටනාවෙන් චැනල් ඔක්කෝම බලන්නා සේම, සිරසට වෙනසක් නොකල යුත්තේය. සිරස දෙස බලන දේශපානීකරනය වූ පාට කණ්නාඩි දමා ගත් ඇස් අහක් කල යුත්තේමය. එසේ බැරිනම් අනෙක් නාලිකා වලටද එහෙම සැලකිය යුත්තේමය.

Written by sAm_6.15pm_19.04.2012

Tuesday, April 17, 2012

තක්සලාවේ ඇදුරුතුමාගේ දියණිය තිළිණ ලද්දෙමි.


ඒක තක්සලාවෙ ෆයිනල් ඉයර් එක්ස්සෑම් කාලෙ. වෙන අවුරුදු වල වගේ නෙවේ මේ සැරේ ලමයි අතර විභාගයට පුදුම තරගයක් තිබ්බේ. වෙනද ව‍ගේම මේ සැරෙත් කඩ්ඩෙන් නම් ලකුණු වැඩි මට කියල මම ෂුවර් එකටම දැනගෙන හිටිය. ඕගොල්ලො හිතනව ඇති තක්සලාවෙ ඒ කාලෙත් 'ඉංග්‍රීසි' ඉගැන්නුවා කියලා. නැහැ මේ කඩ්ඩ කියල කිව්වේ කඩු ශිල්පයට.

ඒ වුණාට මේ සැරේ ෆයිනල් ටෙස්ට් එකට හිටපු කොල්ලො සේරම අතරේ මහ අමුතු තරගයක් තිබ්බේ. හැමෝම බැලුවේ අනිකට වැඩිය එක ලකුණක් හරි අඩුවෙන් ගන්න. දැන් ඔයාල ප්‍රශ්න කරනව ඇති ඇයි ලකුණු අඩුවෙන් ගන්නෙ කියලා. ඔව්, වෙන තැන්වල කවුරුවත් සෙකන්ඩ් වෙන්න කැමති නැති වුණාට මෙතන බැලුවේ කාට හරි සෙකන්ඩ් වෙන්න. වැඩිම ලකුණු අරන් හොදම ශිෂ්‍යයා වෙන කෙනාට ඇදුරුතුමාගෙ දුවව සරණ පාවාදෙන චාරිත්‍රයක් තිබ්බ. දැන් ඔයාල හිතනව ඇති "ෂාහ්.. මරු නේ බං" කියාල. ඔව්, ඒ වුණාට මේ අවුරුද්දේ ඇදුරුතුමාට හිටපු දුව පිටි මුට්ටයක් වගේ මෙලෝ හැඩයක් නැති, පපඩමක් වගේ මෙලෝ රහක් නැති එකක්. ඒකයි මේ කොල්ලන්ගෙ බය. ඒ හින්දා හැම කෙනාම බැලුවෙ කෝමහරි ලකුණු අඩුවෙන් අරගෙන මේ උගුලෙන් ගැලවෙන්න.

"මම නම් හොදට දන්න ගණන් සේරම වැරදියට හැදුව බං.. බුදු අම්මේ.. පිටි මුට්ටයකට කර ගහන්න.."

"මම ව්‍යාකරණ පේපර් එකේ, මම කියල පටන් ගන්න සිංහල වාක්‍යය ඉවර කලේ 'මු' දාල."

කෝම හරි ප්‍රථිඵල පිට වෙන දවසත් ආව. කවුරු පළවෙනිය වුණත් ඒ මම නෙවේ කියලා මම දැනන් හිටියා. ඒත් මිනිස්සුන්ගෙ කරුමෙ කියන දේ නම් කෝමත් වලක්වන්න පුලුවන් දෙයක් නෙවේ කියලා මම දැනන් හිටියේ නැහැ. ඔයාලා දැන් අහයි ඒ ඇයි කියලා. මේ සැරේ විභාගෙ තිබ්බේ පරණ එකයි අළුත් ‍එකයි කියලා විශය නිර්දේෂ දෙකකට. ඒ දෙක ගලපන්න ගිහින් Z - ස්කෝර් එක එහෙ මෙහෙ වෙලා සේරම පැටලිලා, රිසාල්ට් සේරම ෆුල් කචල්. ඒකට වන්දි ගෙවන්න වුනේ මට. දැන් ඔයාල හිතනව ඇති මට W අකුරු තුනක් ලැබිල කියලා. නැහැ, මට 'ඒ' අකුරු තුනක් ඇවිත්. මම තමයි තක්සලාවෙ පළවෙනිය. 

ගුරා බලෙන්ම වගේ දුවව මට බැන්දුවා.

"ඩෝට(ර්) මේ කුමරා බොහෝම හොද ෆැමිලි එකක කුමරෙක්. ඔහුගේ රාජ්්‍යත් ඉතා ප්‍රබල එකක්. මුන්ගෙ තාත්තටත් න්‍යෂ්ඨික අවි හිටන් තියෙනවා. මුන්ගෙ රාජ්‍යයට න්‍යෂ්ටික අවි විතරක් නෙවේ. එක්සත් ජාතීන්ගේ නිශේද බලයත් තියෙනවා. මූත් එක්ක ගිහින් හොද ෆන් එකේ ඉන්ට ඕනේ.."

"එළ කිරි අප්පච්චී.."

අපි දෙන්න පහුවදාම අපේ ගම රට බලා යන්ට පිටත් වුණා. 

"කුමරිය"

"කුමරුණි"

"ඔබට කුමක්ද මේ මොහොතේ හැගෙන්නේ කුමරිය...?"

"මේ වනයේ අසිරිය දැකීමෙන් මගේ සිත පිනා යනවා කුමරුනි... අර..අර.. ඵලය කුමක්ද ස්වාමීනි.."

"එය නම් මට මතක නැහැ කුමරිය. මාගේ උද්භිත විද්‍යා පොත පෙරලුවහොත් ඔබට එය දැන ගැනීමට හැකිවේවි..."

"අහ්.. කෝ බලමු ස්වාමීනි.. ම්.. ම්.... ම්.. අහ් වෙරළු.. මරු.. මරු.. මරු.. අර ඉස්සර ගොඩාක් දෙනෙක් හත අටට කපාගෙන කෑව කියන්නේ මේව තමයි නේද ස්වාමිණි.. පොඩ්ඩක් ඉන්න මම පොල්ලක් ගහං දෙකක් කඩාගෙන කන්නං ආ.."

වෙරළු කියල රැවටිලා එයා ලුණු මිදෙල්ල පොකුරක්ම කන දිහා මම හෙමීට බලං හිටියා. 

"ඈක්කා.. තුහ්.. තුහ්.. ඊ.. ස්වාමීනි.. මේ ලුණු මිදෙල්ලනෙ හලෝ..."

"ලුණු මිදෙල්ල දන්න කුමරිය ලුණු දන්නෙ නැහැ...  පිස්සු කෙල්ල..."

අපිට ඒ විදිහට ඒ කැලේ මැද්දෙන් වැඩි දුරක් යන්න ලැබුනෙ නැහැ. එක පාරටම කැලේ  ඉන්න වැදි රංචුවක් අපිව වට කලා.

"වී..ගං ලෝලිය.. ලොබ වන්නේ..." වැද්ද කෑගැහැව්වෙ එහෙම.

"නැහැ නැහැ එයා ලෝයර් කෙනෙක් නෙවේ.."

"එබ්බා නරය වහාම තාගේ අඹුව මෙහි නවතා මෙතනින් පිට වෙව.."වැද්ද මට කිව්වා.

දැන් ඔයාල හිතනව ඇති මේක පරණ කතාවක් කියල. ඊට පස්සෙ මම කෙල්ලව වැද්දට නොදී වැද්ද එක්ක ෆයිට් කරල, පස්සෙ මම වැද්දව යට කරගෙන වැද්දව මරන්න කෙල්ලගෙන් කඩුව ඉල්ලනවා, කෙල්ල මට කොපුව දීල වැද්දට කඩුව දෙනවා කියලා.

අ‍හගෙන ඉන්න හැඩේ ඒ වගේ වුණාට කතාව ඒක නෙවේ.

"එම්බා නරය වහාම මේ සුන්දරිය මට දෙව"

"වහසි බස් නොදොඩව වනචරය. ඕන්නං කෙල්ලව ගව"

කොහොමද ගලවගන්නෙ කියල කල්පනා කර කර හිටපු කෙල්ලව වැද්දට දීල මම සතුටින් මාරු වුණා.


පලි - දෙරණ එෆ් එම් "අනුපමා" වැඩසටහනේ විකාශ වූවකි. ආතල් කතන්දර සොයන සැම වෙනුවෙන් පෝස්ටු ගත කලෙමි.
Related Posts Plugin for WordPress, Blogger...