Friday, January 13, 2017

කාන්තා ටයර් කතාවක්... - Female Tyre Story !!


ටයර් කිව්වාම මතක් වන්නේ ටයර්ය. ඉස්කෝලෙ කාලේ නම් ටීචර්ගේ සාරියේ අස්සෙන් පේන ටයර්ය. ලොකු වෙද්දී ද වෙනසක් නැතුව සිහවන්නේ ඒ ටයර්මය. පොඩිම කාලේ නම් ටයර් වලට කලින් මතක් වෙන්නේ රිම් එකය. ෆුට් සයිකලයකින් හෝ ඉවතලන රිම් එකක් කෝට්ටක් අස්සේ ගසාගෙන පැද යාම ඒ කාළේ නම් ක්‍රීඩාවය. දැන් උන්ට ටයර් කිව්වාම මතක් වෙන්නේ කාර් ගේම් එකක් විය හැකිය. රිම් එකක් අස්සේ කෝට්ට ගහං දුවනවා කිව්වාම සිහි වන්නේ ටෙම්පල් රන් වැනි ඇන්ඩ්‍රොයිඩ් ගේම් විය හැකිය. ඒත් මේ කියන්නට යන්නේ ටයර් ගැන කතාවක්ය. 

ටයර් කිව්වාම කස්ටිය ලෑස්ති වෙන්නේ ටීචර් කෙනෙක්ගේ සාරිය අස්සෙන් දුටු ටයර් එකක් ගැන කතාවක් අසන්නටය. මේ එහෙම එකක් නෙවේය. මේ ඇත්තටම රෝද හතරක ටයර් ගැන කතා සැට් එකක්ය. හොඳම කතාව අන්තිමට නිසා පරිස්සමට කියවිය යුතුය. ටයර් පරිස්සම් කර ගත යුතු බව තේරෙන්නේ ටයර් දාන්න ගියාමය. කුමන හෝ වාහනයක් පැදවීමේදී අපි ටයර් ගැන සිතන්නේ සුළු වෙන්ය. ටයර් එකක තිබිය යුතු ප්‍රශස්ථ වායු ප්‍රමාණය පවා විටක නොසලකන තරම්ය. අන්තිමට වැඩේ පත්තු වෙන්නේ ටයර් එකක් දාන තැනට වැඩ සිද්ධ වීමෙන්ය. හුලං ප්‍රමාණය අඩුවෙන් ධාවනය කිරීමේදී අනිවාර්යෙන් ටයර් එකට ඇණ, කම්බි ඇනෙන සම්භාවිතාවද වැඩිය. ඒ හුලං අඩු නිසා ටයර් එක මාර්ගය සමඟ ගැටෙන ප්‍රමාණය වැඩි නිසාය. කෙසේ හෝ දැන් ඕනෑම ෂෙඩ් එකක හුලං අනිවාර්යයෙන් ඇති නිසා සතියකට වරක්  හෝ හුලං ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම වැදගත්ය. එලෙසම බොහෝ අය නයිට්‍රජන් වායුව පිරවීමට යොමුව ඇති නිසා, එහි වාසි බහුල නිසාත් ටයර් නයිට්‍රජන් වලින් පුරවා ගැනීම වැදගත්ය.

මීට දින කිහිපයකට ඉහතදී සෑමාගේ නිවස ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අයිනේ නවතා තිබුණේ ටිපර් රථයක්ය. එය සෑමාගේ ඥාති සහෝදරයෙකුගේ මිතුරෙකුගේ එකක්ය. දින කිහිපයක් එක දිගට එතැන තිබියදී අපිට කිසිම අවධානයක් නැති වූයේය. එහෙත් ටිපර් එක ගැන අවධානයෙන් සිට ඇත්තේ රෑ පුරා ගම පීරන සොරුන්ය. කෙසේ හෝ හතරවන දිනයේ දී ටිපර් එකේ අමතර ටයර් එක ගලවාගෙන ගොස් තිබුණේය. එය ගලවාගෙන යන්නට කිසිදු බියක් නොමැතිව රාත්‍රී එකට පමණ ත්‍රීවීල් රථයක් පැමිණ ඇත්තේය. ඉන්පසු බස් රථයක් පැමිණ ටයර් එක පටවාගෙන යන බවත් සියල්ල CCTV කැමරා වල සටහන්ව තිබුණේය. හන්දියේ සිට සිද්ධිය වූ ස්ථානය දක්වාම කඩවල් තුනකම සිද්ධිය එකම ආකාරයෙන් පටිගත වී තිබුණේය. සියළු දර්ශන නරඹා පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ අතර සුපුරුදු පරිදි එම දර්ශණ මතක සටහන් පමණක් බවට පත්ව තිබුණේය.

ඊටත් සතියක් යන්නට පෙර සෑමාගේ නිවසට කිලෝමීටර දෙක තුනක් එහාට වන්නට තවත් ටයර් ඉස්සිල්ලක් සිදු වූයේය. පාර අසල නවත්වා තිබුණු ත්‍රී රෝද රථ දෙකකට වැඩේ සැට් වී තිබුණේය. ත්‍රී වීල් දෙකේම පසුපස රෝද දෙක බැගින් ගලවා රෝද හතරක් රැගෙන ගොස් තිබුණේය. ඒ එකම හොරු සැට් එක යැයි ගමේ උන් කියන්නෝය. සිද්ධීන් දෙක අතර මැද දිනයක හන්දියේ ෆාමසියට කඩා තිබුණේය. සිද්ධීන් තුනම එකම පුද්ගලයන් විසින් සිදුකරන ලද්දේ යැයි සැක සහිතය. සිද්ධීන් තුනටම හවුල්ව ඇත්තේ ත්‍රී රෝද රථමය. ඒ අවස්ථා තුනේදීම ගමන් කර ඇත්තේ එකම රථය බව නිශ්චිතය. පොලිසිය කෙසේ වෙතත් ඕනෑම හොරකමක් ගමේ උන් මැදිහත්ව අල්ලා දුන්නේ නැත්නම් කිසිදු පරීක්ෂණයක් ඉදිරියට යන්නේ නැතිය. රූපවාහිනී ප්‍රවෘත්ති වලට පවා පෙන්වන හොරකම් වලට සම්බන්ධ CCTV දර්ශණවල හොරු අල්ලන්නට පොලිසියට බැරිවී ඇත්තේ තාක්ෂණයේ හෝ හැකියාවේ අඩුපාඩුවක් නිසා නොවේය. සියල්ලටම හේතුව උවමනාවක් නැති කම හෝ මුදලට යට වීමය.

තත්වය එසේ තිබියදි සෑමාටද ටයර් සීන් එකක් පත්තු වුණේය. හිත හිරිවැටෙන, පොකැට් එක හඬා වැටෙන සීන් එක එයය. පිටුපස ටයර් දෙක ගෙවී ඇති නිසා අලුතින් ටයර් දෙකක් එක වර දැමීමේ කටයුත්ත පත්ත වූයේය. හිත හදාගෙන සාධාරණ මුදලකට ටයර් ජෝඩුවක් ගන්නට තැනක් සැට් කර ගත් සෑමා ටයර් කඩේට ගොස් බඩු ගනිද්දී සවස් වී තිබුණේය.

“අඩේ මල්ලී හවස නිසා ගෝලයා නැහැ.. ඔයාට අවුලක් නැති නම් ටයර් දෙක අරන් ගිහින් පස්සෙ දාගන්න. නැතිනම් හෙට එන්න..“

ටයර් කඩේ අයියා සෑමාගේ සිත රිදෙව්වේ එලෙසින්ය. ආයෙත් ඌ හමුවට යනවාට වඩා ටයර් දෙක පටවාගෙන ඇවිත් ගෙවල් අසල ටයර් කඩේකින් දා ගැනීම උචිත යැයි සිතු සෑමා ටයර් දෙක පටවාගෙන ගෙදර ආවේය. පසුදා උදේම ටයර් දෙක දුටු කිටියා අසන්නට ගත්තේ ප්‍රශ්න වැලක්ය. ටයර් දෙක තිබුණේ පැකින් පිටින්ය. සාමාන්‍යයයෙන් ටයර් පැක් කර එවන්නේ කහ පාට හෝ නිල් පාට ඉටිකොළ වැනි පටි වලින් (පහත රූපයේ පරිදි) බව හැමෝම දන්න කතන්දරයක්ය. එසේ තිබියදී කිටියා තමන්ගේ විරෝධතාවය දැක්වූයේ සෑමා ගෙනා ටයර් ජෝඩුවටය.



“මේ මොනාද මේ??“

“ඊයෙ ගෙනාපු ටයර් ජෝඩුව..“

“ඇයි දැම්මෙ නැද්ද තාම??“

“දාන්නෙ කෝමද හවස් වුණා ගනිද්දි..“

“අපෝ ඕක නම් දාන්න එපා හැබැයි.. වෙන දෙකක් දාන්න..“

“ඒ මොකෝ ඒ.. මේ ගානට සැට් කර ගත්තෙ අමාරුවෙන්.. අනික ගම්පහ ගිහින් අරන් ආවෙ..“

“ඊයා.. පිටිපස්සෙ රෝද දෙක කළු පාට තියෙද්දි.. ඉස්සරහ රෝද දෙක කහපාට වුණාම.. අනික බලන්න ඒ කහපාට කැත..“


Written_by_sAm_ශ්‍රී_9:15pm_13/01/16

පලි - සෑමා ගෙනා ටයර් ජෝඩුව පැක් කර තිබුණේ කහපාට ඉටි කොළ පටි වලින් බවත්, සිද්ධියෙන් පසු කිටියා වෙනුවෙන් දින තුනක නිහඬතාවයක් පවත්වා, උපහාර දක්වා පෝස්ට් එක ලියූ බවත් සලකන්න.

Saturday, January 7, 2017

මේසන් බාස් කතන්දර... - Masonry Stories !!




නෝමන් සීයා යනු එච්චර වයස ඩෑල් එකක් නෙවේය. දුරින් නම් අපේ නෑයෝය. නෑකමට අනුව නම් සීයාය. මෑන්ස් මේසන් බාස්ය. සෑමාගේ අම්මා නම් කියන්නේ ‘නෝමන්‘ සීයාට ලැබී ඇත්තේ නියම නම කියාය. මෑන්ස් කොච්චර වැඩ තිබුණත් ඕනෑම වැඩක් භාර ගන්නේය. ඉන් පසුව වැඩ අන්ජ බජල් වී ඉවර කර ගැනීමට නොහැකිව තවත් වැඩක් අතරමඟ දමා යන්නේය. ඒ කාලේදී “නෝ මෑන්“ ය. ඒ අන්දරස්දහන් වන සමය නෝමන් සීයා, නෝ මෑන් වන නිසා නම නම් හරිය. කෙසේ හෝ අන්තිමට පැමිණ වැඩ අවසන් කරන නිසා මෑන්ස් ට වැඩ ඇත්තේය. කොහේ වැඩ කළත් උදේට ලංකාදීපය පෙරලීමට පොර සෑමලෑ කඩේට එන නිසා නෝමන් සීයා සුපුරුදු දසුනක්ය. බොරු කළබල නිසා කතා කරන්නට අවස්ථා නැති වුණත් මෑතකදී බාස් කතන්දර කිහිපයක් පොර දිග හැරියේය.

දිනක් නෝ මෑන් සීයා සෑමලෑ නැදෑ නිවසක වැඩය. මෑන්ස් තාප්පයක ගඩොල් අල්ලන සීන් එකක් කරමින් සිටියේය. සාමානයයෙන් ටයිල් හෝ ගඩොල් ඇල්ලීමට පෙර විශාල වතුර භාජනයක ගිල්ලවන්නේය. ඒ ගඩොල් තෙත අල්ලා සිමෙන්ති හොදින් ග්‍රහණය වීමටය. නෝ මෑන් සීයාගේ අත් උදව්වට සිටි ඩෑල් එක එදා නොසිටි හෙයින් එදා අත් උදව් දී ඇත්තේ අපේ සහෝදරයෙක් ය. 

“පුතා ඔය ගල් ටික තෙමෙන්න දාන්න“ යැයි නෝ මෑන් සීයා විධානය දී ඇත්තේය.

අපේ මෑන්ස් හෙඩ් බාස්ගේ විධානය පිළිගෙන භාජනය පිරෙන තුරු ගල් සියල්ල වතුර එකේ බස්සවා ඇත්තේය. මොහොතකින් නෝමන් සීයා ගල් ගන්නට භාජනය බලද්දී තාප්පයේ අත්තිවාරමට ගෙනා කළු ගල් සැට් එකක් වතුර භාජනයේ තිබී ඇත්තේය.

“ඈ බං ගල් ටික දැම්මද භාජනයට ??“

“ඔව් මේ දාල තියෙන්නෙ..“

“මරු ගෝලයා.. ගඩොල් නෙ බොල පොඟවන්නෝනි. කළු ගල් පොගෝලා අහවල් එකක් කරන්නද??“

එදා සිට අපේ ඩෑල් එක දකිද්දී නෝමන් සීයා මතක් කරන්නේ කළු ගල් පොඟවපු සීන් එකමය.

****

මෑතකදී නෝමන් සීයා දේව වරමින් සාස්තර කියන පොට් එකක ටොයිලට් එකක් බැඳීමට ගොස් ඇත්තේය. ගිය පළමු දිනයේම සාස්තර කියන කාන්තාවගේ කතන්දර නෝමන් සීයාට සහ ගෝලයාට දිරවා නැත්තේය. වැඩ පටන් ගත් මොහොතේ සිට සැරින් සැරේ ඇය පැමිණ කියා ඇත්තේ එකම කතාවය.

“දෙවියන්ගේ වැඩ වලට සල්ලි ගන්නෑ..“

කියමින් ඇය පැයකට වරක් ඔවුන්ට පැමිණ සිහි කැදවා ඇත්තේය. එය හිතට ගත් ගෝලයා කියා ඇත්තේ නෝමන් අයියේ වැඩේ අල්ලලා දාලා යමු. අද නම් අපිට මේ ගෑණි සල්ලි දෙන්නේ නැහැ කියාය. 

“තෝ කට වහං වැඩ කරපං මම නේ සල්ලි ගන්නේ..“ යැයි උත්තර දී නෝමන් සීයා දිනය අහවර වෙන තුරු වැඩ කර ඇත්තේය. අවසන කුලිය ඉල්ලීමට ගිය විට ඇය සුපුරුදු පිළිතුර දී ඇත්තේය.

“දෙවියන්ගේ වැඩ වලට සල්ලි ගන්නෑ..“

“අනෙ මේ දෙයියන්ගෙ අම්මට *&කන්නෙ නැතුව සල්ලි දියං මෙහෙට..“

කියූ සැනින් ඇය ඇතුලට දිව ගොස් මුදල් රැගෙන විත් ඇත්තේය. ඉතිං නෝමන් සීයා දෙයියන්ගේ අම්මාගෙන් පවා කුලියක් අය කර ගත් වැඩ්ඩෙක්ය.

****

බාස් ලා අතර ආවුද වලට සීතල යුද්ධයක් ඇති බව නොරහසක්ය. එකෙක් තවකෙකුට ආවුදයක් දෙන්නේ කලාතුරකින්ය. ඒ දුන්නත් කොන්දේසි සීයයක් උඩය. එහෙව් තත්වයක් යටතේ නෝමන් සීයා තව බාස් ඩෑල් එකකින් කියතක් ඉල්ලා ඇත්තේය. 

“අනේ බං නෝමන් කියතේ දැත්තක් කැඩිලා බං දෙන්න විදියක් නැහැ..“

කියමින් පොර, නෝමන් සීයාගේ වැඩේ මඟ හැර ඇත්තේ ය. කිසිම අවුලක් නැතිව එතැනින් පිටත්ව ගිය නෝමන් සීයා පොරට රිටන් එකක් දෙන දවස එනතුරු බලා සිට ඇත්තේය. කෙසේ හෝ කාලාන්තරයක් ගොස් පොර නැවත නෝමන් සීයා හමුවට පැමිණ ඇත්තේ දෙපැත්තට අදින විශාල කියතක් ඉල්ලාගෙනය.

“නෝමන් මට අර කියත දියං බං. ගහක් තියෙනවා කපා ගන්න..“

“අනෙ බං මහතුවෝ මගෙ කියතේ දැති දෙකක් කැඩිලා දෙන්න විදියක් නෑ ඕයි..“

මහතුවා අන්දොස් වී නෝ කතා, නෝ සිනා ඇතුව ඉවත්ව ගිය බවක් නෝමන් සීයා කියා සිටියේය.

****
Written_by_sAm_ශ්‍රී_09:40pm_06/01/17

Thursday, January 5, 2017

සීයාගේ ෂොට් එක.. - Grand pa's Share !!


මුලින්ම කිව යුත්තේ මල ගෙවල් තමයි ආතල් කියාය. මීට පෙර පෝස්ට් කිහිපයක මල ගෙවල් ආතල් ගැන සෑමා ලියුවේය. අවුරුද්දේ ජනවාරි පළවෙනිදාම සැට් වුණේ මල ගෙයක්ය. අපේ කොල්ලෙක් ගේ සීයා කෙනෙක්ය. පළවෙනිදා දහවල සෑමාට කෝල් එකක් ආවේ තවත් මිතුරෙක්ගෙන්ය.

“සෑමා හොඳ නිවුස් එකයි, නරක එකයි දෙකක් තියෙනවා.. මොකක්ද ඉස්සෙල්ලම ඕනෙ..??“

“කැමති එකක් කියපං...“

“හොඳ එක මචං.. සුභ අලුත් අවුරුද්දක් වේවා...!!“

“අහ්.. එසේම වේවා.. දැන් කියාං බලන්න නරක එක..“

“අඩො අපෙ අරූගෙ සීයා නැති වෙලා..“

“හුප්පට ඒමද?? ඒක නරක නිවුස් එකක් නෙවෙ මචං, අන්තිම කාලෙ සීයා අමාරුවෙන් හිටියෙ. අරූ මට කිව්වා රෑට ඇදෙන් පනින නිසා බිමට මෙට්ටයක් දාල දුන්න කියලත්..“

“එහෙනම් ගුඩ් නිවුස් එකක් බං.. !!“



අන්තිමට වූයේ අපි හතර පස් දෙනෙක් මල ගෙදරට සැට් වීමය. අපෙ මිත්‍රයා අපිට ගෙනියන්නට දෙයක් ඉතුරු නොකොට සියල්ල සෙට් කර තිබුණේය. සුපුරුදු ටේබල් එක, වාහනේ ඩිකිය කර ගත් අපි සැනසල්ලේ සීයාට පිං අනුමෝදම් කරන්නට සූදානම් වීය. පුන්‍යානුමෝදනා කරන ලද පැන් බෝතලය අප මිතුරෙකු විවෘත කළේය. ඒ අතර අප හතර දෙනෙකුට පැන් බෙදා දීමට ප්ලාස්ටික් කප් හතරක් වූයේය. එක අයෙකු කප් එකක් ප්‍රතික්ෂේප කළ නිසා අපි තිදෙනා වට වීමෙන් සීයා වෙනුවෙන් අවසන් කටයුතු ආරම්භ වූයේය. එක් අයෙක් ප්‍රතික්ෂේප කළද පැන් කප් 4කට වත් කර තිබූ නිසා වැඩි වූ පැන් පිරුණු කප් එක සීයා වෙනුවෙන් වෙන් කිරීමට තීරණය වූයේය.

වට පිටාව පාළු වූ හෙයින්ද, විශාල පාළු වත්තක් වූ හෙයින්ද, කළුවර නිසාම ආරම්භ වූයේ හොල්මන් කතන්දර වටයයි. කිසිම ගාණක් නැතුව කතන්දර එකින් එක එළියට ආවේය. සීයාගේ ෂොට් එක පැත්තකය. අයෙක් කීවේ මචං ඉන්න ගමන් ෂොට් එක අඩු වෙනවද බලපං කියාය. ජීවත්ව ඉන්න කාලේ සීයා ආතල් චරිතයක්, අඩි පුඩි ගහන චරිතයක් බව ආරංචි වූ නිසා කප් එක පිළිබඳ අවධානය වැඩි වූයේය. හොල්මන් කතා අවසන, ආතල් කතාද, ඔපීස් කතාද, ආරම්භ වූයේය. අවසන් වූයේය. පැත්තක තිබුණු සීයාට පිං පිණිස සීල් කැඩූ බෝතලය කාලක්ක්‍රියා කරමින් තිබුණේය. අවසන් කාල ඉතිරිව තිබූ හරියේදී එතැනට ආවේ අපි නොදන්නා ඩෑල් එකක්ය. රස්නය හා කඳ සහිත ඕනෑම දෙයකින් ආතල් එකක් ගන්නා මට්ටමේ සිටි නිසාම ඩෑල් එක බයිටට අල්ලා ගැනීමට හැකි වූයේය.

“අම්මට හුඩු අයියා දැන්ද යන්නේ??“

“ඔව් මල්ලි.. ඔයාල කවුද??“

“අපි අරූගෙ යාලුවෝ.. අයියා කාගෙ කවුද?“

“මම සුදු අයියගෙ (අපේ එකාගෙ තාත්තාගේ) අසල්වැසියෝ“

“එල එල.. එහෙනම් හීනියට එකක් දාමු.. මම දැක්කා කැරම් ගහන තැන අයියා දුමක් එහෙම දාගෙන ඉන්නවා..“

“කමක් නෑ මල්ලි මම මේම යනවා.. මම පොඩ්ඩක් දාගෙනම තමයි ආවේ..“

“පිස්සු කෙලින්න එපා.. එකක් ගන්න..“

“හරි මල්ලි ඔයාලට මදි පාඩු නම් අපි බඩු අරන් එමු.. කන්ටැක්ස් තියෙනවා.. මම ඒනම් පොඩ්ඩක් දාගත්ත ඕං..“

බුවා අපේ මට්ටමට සිටියාද, නැතිද මීටර් නැතිය. එහෙත් පොර ඒ කාලේ කතන්දර ටිකක් ඇඳ බෑවේ අපෙ උන් එක්ක එක ක්ලාස් එකේ එකට හිටියා වගේය. 

“මතකද මල්ලි සමීරයා...“

“මොකෝ නැත්තෙ.. අර අතුලයගෙ කඩේ එහා පැත්තෙ හිටියෙ..“

“අන්න හරි.. නයිට් කඩේ අතුලයා..“

“හැබැයි අයියෙ අතුලයා ඩයල් එක නේද??“

“නැතුව උබලට මතකද අපි සී.ටී.බී බස් කාරයෙක්ට ගැහුවා..“

“අපිට සීන් එක ආරංචි වුණා.. මොකක්ද ඇත්තටම උනේ බං අයියෙ..“

“මේකයි මල්ලි සීන් එක.. කොන්දා අපෙ සමීරයගෙන් ගේම ඉල්ලුවා. අපිත් හිටියනේ සීන් එකේ. ප්‍රියන්තයා පැනපු හැටියෙ කොන්දට ගැහුවා. අනික මහ රෑ වුණේ සීන් එක. අපේ උන් ඔක්කොම ඇඳල අරන් කොන්දටයි, ඩ්‍රැයිවර්ටයි දෙන්නටම කෙලියා. පැනලා දිව්වා. අන්තිමට හැංගුනේ අතුලයගෙ කඩේ.“

“ඒකනෙ අයියෙ කිව්වෙ අතුලය හොඳ එකා කියල. සමීරයා නම් මහ චාටර් ඩෑල් එක.“

“එහෙම පොඩි සීන් එකක් තියෙනවා. පොලිසිය ආවා මල්ලි අපිව හොයාගෙන. අතුලයා තමයි අපිව කඩේ ඇතුලෙ හංගලා තිබ්බෙ. අනික ඌට ගම්පහ පොලිසියෙ කන්ටැක්ස් ඒම තියෙනවා.“

“අයියා මොකෝ කියන්නෙ තව අඩියක් ගහනවද??“

“නෑ බං මල්ලි මම දැං යන්නෝනි. දෙකත් පහු වෙලා නේ. කෙල්ලො දෙන්නා බලං ඇති..“

“අම්මට හුඩු.. අයියට ලොකු ලමයි ඉන්නවද??“

“ඔව් මල්ලි එක්කෙනෙක් මේ අවුරුද්දෙ විභාගෙ, අනිත් එක්කෙනා කැම්පස්..“

“හරි අපි මේම කරමු. දානෙ දවසට සෙට් වෙමු.“

“ආයෙත් අහලා මල්ලි මගෙ නම්බරේ ගහ ගනින්. එද්දි කෝල් එකක් දියං. වල් ඌරද, ඌරද, හරකා නැතුව ඕනෙ එකක් සෙට් කරල තියන්නම්.“

“අයියගේ නම??“

“මම ආනන්ද..“

ආනන්ද අයියාගේ දරුවන් ගැන ඉතා විමසිල්ලෙන් අසා ගෙන, ඔහුව පිටත් කිරීමට කාලය එළැඹ තිබුණේය. බයිට වැඩි වුණාම බෝරිං ය. සුදුසු කළ පිටත් කළ යුතුය. අපේ උන් සමීරයාව, අතුලයාව, මතක් කරන්න යැයි පවසමින් ආනන්ද අයියාව වීල් එකට නැග්ගවීය. ඒත් උන් දන්නා අතුලයෙක්, සමීරයෙක් නැතිය. 

“අයියේ මුලක් තියෙනවා පරිස්සමෙන් රිවස් කරන්නේ..“

“හරි මල්ලී.. මම කල්පනාවෙන්..“

“හෝව්.. හෝව්.. හෝව්.. වැඩියි, වැඩියි.. පස්සට ගත්ත වැඩියි..“

“ඇයි ඇයි මොකෝ මල්ලි..“

“හෙමින් ගන්න අයියා..“

“පොඩ්ඩක් හිටහල්ල යකුනේ මම තාම වීල් එක ස්ටාර්ට් කළෙත් නැහැනේ..“

“හරි බං අයියේ.. පෙර දැනුම් දීමක් කළේ..“

****

ආනන්ද අයියා මාරු වුණේ දානය දා බයිට් සැට් කරනවා කියාය. ඉන්පසු අපේ කතන්දරය. ආනන්ද අයියාගේ දියණියන්ගේ විස්තර සොයන්නට ගිය එකා විනාසය. වීල් එක ස්ටාර්ට් කරන්නට පෙර “හෝව් හෝව්“ කියූ එකාද විනාසය. 

“අඩෝ.. සීයා ෂොට් එක දාලා..“

“කෝ යකෝ සීයගේ ෂොට් එක..??“

සීයාගේ ෂොට් එක මිසින්ය. අපි ආනන්ද අයියා බයිට් කරන අතර සීයා ඇවිත් අඩියක් ගසා ගිහින්ය. පැත්තක තිබූ පපඩම් බෑග් එකද පේන්නට නැතිය. අපෙ උන් අතින් පරීක්ෂණ ආරම්භ විය. අවසන නිගමනය වූයේ. එක්කෝ සීයා ඇවිත් ෂොට් එක දමාගෙන යන්නට ඇතිය. නැතිනම් ආනන්ද අයියාගේ වෙස් ගෙන සීයා වීල් එකේම පැමිණ අඩියක් ගසා අපිටද ආතල් දී පිටත්ව යන්නට ඇතිය.

ආනන්ද අයියා සිරාවටම ගමේ ඩයල් එකක් දැයි බැලීමට සිකුරාදා බණට සහභාගී වී බැලිය යුතුය. !!

Written_by_sAm_ශ්‍රී_Perera_11:15pm_04/01/16

Monday, January 2, 2017

ලොකු සීන් එකක් නෑ ඕයි... - No Big Deal !!!!


ඊයේ කස්ටියට උදා වූයේ අලුත් එකක් ය. ඒ 2017 ය. එහෙව් එකේ පෝස්ට් එකක් ලියන්නට ඕනෑ යැයි සෑමාට සිතුනද සුබ පැතීම කෝමත් අවුට් ඔෆ් ෆැෂන් නිසා කලින් අවුරුදු උදාවන් ගැන සෑමා සිතන්නට වූයේය. එහෙම බලාගෙන යද්දී අවුරුදු උදාව යනු ලොකු සීන් එකක් නොවන බව සෑමාට සිතුණේය.





ඉස්කෝලෙ යන කාලයේ නම් අවුරුදු උදාව දැනෙන දෙයක් වුණේය. දෙසැම්බර් නිවාඩුව නිසා අම්මට හුඩු අවුරුද්ද ඉවරයි දැන් නිවාඩු කියා සිතුණේය. අලුත් පොත් සැට් එකක් ලැබෙන්නේය. පොත් වලට පිට කවර දැමීමේ සිටම අලුත් සීන් එකක්ය. බ්‍රවුන් පේපර් දමා ඉටි කවර දැමීම සිට අලුත් බවක් දැනෙන්නේය. අලුත් අච්චු පොත් දැක්කාම, සුවඳ දැනුනාම එන මතකය අලුත්ය. ඇත්තටම අලුත් වසරක් ඇති බව දැනෙන්නේය. අලුත් ඇඳුම් ගන්නා සීන් එක සහ අලුත් යුනිෆෝම් මැසෙන තැන දක්වා අලුත්ය. අලුත් පන්තිය, අලුත් තැන යන සීන් මතක් වෙද්දී අවුරුද්දක් බව දැනෙන්නේය. දැන් කවර දැමීම ද එතරම් අමාරු කෝස් එකක් නොවන්නේය. රුපියල් 240/-ට කවර පැක් එකක් ඇති බව දැක්කේ බුක් ෂොප් එකකට ගිය වෙලාවකය. පොත් දහයකට කවර සැට් එකක් එහි අන්තර්ගතය. කරන්නට ඇත්තේ පොත මැද්දට තබා නැවීම පමණක්ය. පුංචිම කාලේ බ්‍රවුන් පේපර් වලින් කවර දැමූ අපි, පාට කැලැන්ඩර් වලින් කවර දැම්මේ ඇඩ් එකටය. විටක ටයිම්ස් හෝ ඔබ්සවර් ඇතුලේ එන මැගසින් එකක පට්ට කෑල්ලක් ඉන්න පිටුවක් අපේ පොත් කවර හැඩ කළේය. ඒ නම් ලොකු පන්ති වලදීය. පසු කළෙක ඩයරියක හොඳ කුෂන් කවරයක් ගෙන පොතට එබ්බවීමෙන් කවරයක් ලෙස භාවිත කළ අවස්ථාද ඇත්තේය. ඒ සියළු ඒවා අපට දුන්නේ අලුත් අවුරුද්දක හැඟීමක්ය.

සෑමා ගෙදර තිබූ දින දර්ශණය ගලවා විසි කළේ අලුත් එකක් ලැබුණු නිසාය. විසි කළ දින කැලැන්ඩරයේ ඉතිරිව තිබුණේ දෙසැම්බර් පිටුව පමණක් නොවේය. සැප්තැම්බර් පිටුවේ සිට දෙසැම්බර් දක්වාම ඉතිරිව තිබුනේය. ඒ කියන්නේ කැලැන්ඩරය පවා වල පල්ලට ගොස්ය. ඒ වගේම අත බදින ඔරලෝසුව පවා භාවිතයෙන් අඩු වී යන්නේ අතට ආ ස්මාර්ට් ෆෝන් එක නිසාය. කරන්නට දෙයක් නැතිය. කටයුතු කාරණා ලේසි පහසු වෙද්දී වැඩකට නැති දේ අවුට් ඔෆ් යූස් වන්නේය. අත් ඔරලෝසුව අවුට් ඔෆ් ෆැෂන් යන එකක් නැතිය. මොකද වෙලාවට වැඩ නොකරන එකා පවා එදා සිට තඩි අත් ඔරලෝසු පැලැදීමේ ෆැෂන් එකේ සිටිනා නිසාය. 

ඉස්සර කුස්සියේ තිබෙන ලිත පවා අපට ලබා දුන්නේ නැවුම් හැඟීමක්ය. වසර මුල එල්ලන ලිත වසර පුරා එතැනමය. අද නම් ලිත ගැන ගානක් වත් නැතිය. “ඈපා ලිත“ ඉස්සර හෙන මාකට්ය. අපි ඒකට කිව්වේ ඈ... පාලිත කියාය. අන්තිමට ලිතත් නැතිය. පාලිතත් නැතිය. ලිපෙන් බලන නැකැත් සිංහල අලුත් අවුරුද්දට ටීවි එකෙන්ම ලබා ගත හැකිය. සුබ මොහොත, රාහු කාලය වැනි ලබු ගෙඩි පත්තර වලින් බලා ගත හැකිය. නැතිනම් ටීවී එකේද කියන්නේය. දැන් ලිතක් ඕනෑ වුණොත් ඕනෑ වෙන්නේ හූනු සාස්තරය බලා ගැනීමටය. මෑත කාලයේ හූනු ඇටෑක්ස් කිහිපයකින් පසු සෑමා හූනු පලා පල ෆොටෝ එකක් ෆෝන් එකේ තබා ගත්තේය. දකුණු අතට වැටුණු හූනාත්, වම් අතට වැටුනු හූනාත් දෙදෙනාම කිව්වේ භයානක සහ දරුණු මරණ ගැනය. ඉන් පසු දවසක හූනෙක් වින්ඩ් ස්ක්‍රීන් එකේ ද සිටියේය. ඌ පාර මැද්දටම පැන භයානක මරණයකට ගොදුරු වූයේය. තවත් එකෙක් මදුරු නෙට් එකේ සිට නෙට් එක ගැසූ සැනින් විසිව ගොස් බිත්තියේ ඇලී සිටියේය. ඌ ලක් වූයේ දරුණු මරණයකටය. කෙසේ වෙතත් අවුරුද්දක නැවුම් බව දැනෙන ලිත පවා භාවිතයෙන් ඈතට ගොස්ය.

වසර 2000 ලබද්දී අපි කරකුට්ටං වී සිටි බව මතකය. අම්මට හුඩු Y2K කියා බය වී ලෝකයම අන්දොස් වී සිටියේය. මායා වරුන්ගේ දින දර්ශනය අහවරව ලෝකය විනාශ වන බවට පවා කතාන්දර තිබුණේය. දැන් උන්ගේ කැලැන්ඩරේ ගැන කතා නැතිය. ලෝක විනාශය ගැන කතා කළ උන් තාමත් යහතින්ය. ඒ අතර කම්පියුටර්, සිස්ටර් අරවා මේවා කෙල වෙලා යන බවට හැමෝම බව වී සිටියෝය. 99 වසරට පසු 2000 වසරේ බිංදු දෙකට බය වී සිටි ජනතාවට අද ඒවා මතක නැතිය. ඒවා සියල්ල හුුදු අතීතයක් පමණක්ය. කොටින්ම කිවහොත් අලුතෙන් ලබන එකත් ලොකු සීන් එකක් නැති දෙයක්ය. පරණ එක වගේමය. මුල් කාලේ අම්මට හුඩු අලුත් එක කියා ලග තබාගෙන ආයෙත් පරණ එක ගානටම වැටෙන්නේය. ඒ ස්භාධර්මයය. හැම දෙයක්ම අලුත් හෝ පරණ වන්නේ තමන්ගේ චින්තනය මතය. 

සෑමාගේ ලැපට දැන් අවුරුදු අටක්ය. දුහුවිලිය, ගල්ය, වැලිය,  ඒත් එය තාමත් සෑමාට අලුත්ය. අවශ්‍යතා සියල්ල ඉටු කර ගැනීමට තවමත් ප්‍රමාණවත්ය. අලුත් කර ගත හැකි ක්‍රම බොහෝය. විටක ලිනක්ස්ය, විට වින්ඩෝස් 7 ය. විටක ඔන් වෙන්නේම නැතිය. අවශ්‍ය පරිදි දි OS එක  හෝ වෙනස් කරගෙන වැඩේ අලුත් කර ගත හැකිය. ඊයේ කිටි කිටියේ නැවුම්ව ලැබුණු අවුරුද්ද දැන් පරණය. ගත වූයේ පැය විසි හතරක්ය. ලොකු සීන් එකක් නැතිය. හැමදාම එක විදියට ගෙවෙන දවස් අලුත් කර ගත යුතුය. වෙනස් කර ගත යුතුය. ඒ වෙනස නැති තැන නැවතත් ඇත්තේ පරණ සීන් එකමය. තඩි ප්ලෑන්, ඔලුවේ තියාගෙන අවුරුද්දක් ගොඩ දා ගත හැකි යැයි සෑමාට නොසිතෙන්නේය. ඉටු කර ගත හැකි බලාපොරොත්තු කිහිපයක් හිතේ තබාගෙන හැම දාම අලුත් විදියට වැඩ කළාම ලොකු සීන් එකක් නැතිය. ගිය අවුරුද්ද මහ කාලකන්නි යැයි කියවන බහුතරය ලබන වසරේද කියන්නේ ඒ ටිකමය. අලුත් වසර තමා හොඳම එක යැයි කියන උන් ලබන අවුරුද්දටත් හොඳම එක යැයි කියන්නෝය. එතකොට පරණ එක ගෙවුණ එක චාටර්ය. 

ගිය අවුරුද්ද වගේ මේ අවුරුද්දත් ගෙවෙන බව සැබෑය. ඒ ගෙවෙන සෑම දවසක්ම අලුත් විදියට ගෙවා ගැනීම කළ යුතුය. සුභ විය යුත්තේ ප්‍රාර්ථනාවන්ය. කාටවත් කාගේවත් ජීවිත සුබ කළ නොහැකිය. අසුබ කළ හැක්කේද තරමක් දුරට පමණක්ය. ඒ නිසා තමා කපා ගන්නා ලිදෙන් තමන්ම නා ගත යුතුය. එලෙසම තමා කපා ගන්නා වලේ තමන්ම ඇඳ වැටෙන්නේය.

ලොකු සීන් එකක් නැතිය.

අද සිට සෑම දවසක්ම තමන්ම සුබ කර ගත යුතුය... !!

Monday, December 26, 2016

සැන්ටා ක්ලෝස් වූ හැටි... - End of Santa's Role !!




ඉතිං සැන්ටා ක්ලෝස් සීයේ, ඔබගේ සැප දුක් කෙසේද? පොඩි සෑමා නම් සුවෙන්ය. ඔබට ලියන්නේ නම් කලකින්ය. දැන් නත්තල් සීයා වුණාට පොඩි සෑමා ඔයාව දන්නේ සැන්ටා ක්ලෝස්ය. ඒ පොඩි සෑමාගේ සීයා නිසාය. සීයා ඉන්න කාලේ අපේ ගමටත් සැන්ටා ක්ලෝස් කෙනෙක් සිටියේය. හැම දෙසැම්බරේම සැන්ටා ක්ලෝස් සීයාට ඇන්දේ ගමේ හිටිය සාන්ත සීයාය. වැල මැරී තිබුණත් අල බැස තිබුණු නිසා සීයා දෙසැම්බර සීතලේ සැන්ටාගේ මූණට මුවා වී වැඩ කිඩ දැම්මේය. ඒ දාපු තරමක් වැඩ දැම්මේ අල්ලපු ගෙදර ආච්චීටය. ඒ ආච්චී ගේ සීයා මැරුණු දා සිට ආච්චි බලා සිටියේ සීතල දෙසැම්බරේ තෑගි අරගෙන සැන්ටා සීයා හෙවත් සාන්ත සීයා එනතුරුය. ගමටම නත්තල් දා සාන්ත සීයාගේ තෑගි ලබන්නට පොඩි දරුවන් වෙන අපි දෑස අයා බලා සිටින්නෝය. ඒ අතරද එහා ගෙදර ආච්චී දොරකඩට වී සිටින්නේ මැදියම් රැයේ සාන්ත සීයාගෙන් අරුම පුදුම තෑගි බලන්නය. විටක සාන්ත සීයාගේ පිණි මුවා මතට ගොඩවන අල්ලපු ගෙදර ආච්චී එකල අපි අස්සයා ගෝන් ටික් ටික් කරන්නාක් මෙන් කුලප්පුවෙන් දඟලනා බව කිව්වේ අපේ ආච්චීය. ඒ අසා සිටි සීයා හරස් ප්‍රශ්න රැසක් ඇසුවේ ආච්චී ඒ අඩව් ගැන දන්නේ කෙසේද දැන ගන්නට විය යුතුය. ආච්චී ගණනකට නොගෙන කියා සිටියේ අනේ මම පිණි මුවාගේ අං තට්ටුව ගැස්සෙනාව දැක්කා කියාය. එදා සීයා ආච්චීට බැන්නේ බොට සැන්ටා ගෙන් තෑගි තියා සැනසිලි තෑගිවත් ගන්නට ඉඩක් නොතබන බව කියාය. එහෙම මොකක් හරි ආරංචි වුණොත් සැන්ටා ක්ලෝස්ව, ක්ලෝස් කරන බව සීයා කියූ වාර අනන්තය.

අපේ සීයා එහෙම කිව්වාට එහා ගෙදර මැගි ආච්චී සැන්ටාට ගොඩක් ක්ලෝස්ය. ඒකට අපෙ සීයාට පොඩි ඉරිසියාවක් තිබුණු බව අපිට වැටහී ඇත්තේය. ඒක සාධාරණ විය හැකිය. මොකද අපෙ සීයා අසල්වැසියාට ප්‍රේම කරන නිසාය. ඒත් අපෙ ආච්චීටත් ඒ සම්බන්ධය පිළිබඳව තිබුණේ මහත් තරහක්ය. කේන්තියක්ය. මැගි ආච්චීව දකින්නට තරම් ඈ අප්‍රිය කළාය. ඒ අතින් අපෙ ආච්චී වැරදිය. කරන්නට තිබුණේ මැගි ආච්චීට ප්‍රේම කිරීමය. 

පවුල් ප්‍රශ්න, ගමේ ප්‍රශ්න අඬ දඹර මොක තිබුණත් අපි සාන්ත සීයාට කෙසේ වෙතත් සැන්ටාට ආදරය කළෙමු. ඒ මෑන්ස් මොක වුණත් කන්නට ලොසින්ජරයක්  හෝ අප අත තබන නිසාය. බොහෝ විට ගම පුරාම වීදි සංචාරය කර මධ්‍යම රාත්තිරියේ සැන්ටා අපේ ගෙවල් පැත්තට එන්නේ මැගි ආච්චීට ප්‍රථම ත්‍යාගය ලබා දෙන්නය. ඒ අනුව අවසන් සැනසිලි තෑගි ලැබෙන්නේ අපිටය. මැගි ආච්චීගේ අල්ලපු ගෙදර ඉන්නා අපිට සැන්ටාගේ සැලකිල්ලත් වැඩිය. ඒ සැලකිල්ල නිසාමදෝ නත්තල් පාටියෙන් ඉතිරි වූ කෑම බීම පවා සැන්ටා වෙනුවෙන් වෙන් කර තබන්නේ අවසන් ජාමයේ කා බී විනෝද වන්නටය. ඒ අතර තුර සැන්ටා තමන්ට ලැබෙන කෑම බීම මෙන්ම, කවලං වූ අඩි පුඩිද ගසා එන බව අමුතුවෙන් කිව යුතු නැතිය.

එදා ද සුපුරුදු පරිදි සැන්ටා මැගි ආච්චීට තෑගි දෙන්නට ආවේය. සැන්ටා සීයාට පදමට ඩෝප්ය. ඒත් සීයා අපිට තෑගි දෙන්නට අමතක නොකළේය. තෑගි අප අත තබා මැගි ආච්චී බලන්නට යන්නට යද්දී අපේ ගෙදර අය කිව්වේ සීයාට කෑම එකක් ලෑස්ති කරන බවය. “හරි හරි මම මැගියා බලා එන්නං“ කියූ සීයා අල්ලපු ගෙට පැන්නේය. කෙසේ හෝ වැඩ අහවර කොට කෑම ගන්නට මේ පැත්තට එන නිසා අපේ ගෙදර අය සීයාට කෑම පාර්සලය ගසා තබන්නෝය. අපේ ගෙදර අය අපිට කිව්වේ “ඔතල තියෙන්නේ, සීයා ආවම දෙන්න කියාය“ ඒ අසා සිටි අපෙ සීයාට ඌරු ජුවල්ය. “ඔතල දීහල්ලා ඕකට මල් පඩංගුව“ කියා කිව්වේ තරහින්ය. එහෙම කිව්වාට අපිට සීයා එනතුරු නිදි මරන්නට බැරිය. පැය ගණනක් ඉවසා බලා සිටියද සීයා එන පාටක් නැතිය. හැම දෙසැම්බරේම සාන්ත සීයා මැගි ආච්චී සමඟ අහවල් එකක් කරනවා දැයි බලන්නට අපේ පුංචි හිත් වලට සාධාරණ කුතුහලයක් ආවේය. ඒ නිසාම මැගි ආච්චීගේ මැට්ටෙන් හැදූ පැල්පතේ ජනෙල් ගැට්ටෙන් ඇතුලට එබුනේ සීයාගේ පිණිමුවා බලන්නටය.

පැත්තක කුප්පි ලාම්පුවක්ය. කළු දැල්ල කෙලින්ම ඉහළට නැගෙන්නේය. පහළින් කහ දැල්ල සෙලවෙන්නේය. සැන්ටාගේ රතු පාට තෑගි මල්ල ගොම පොළොවේ දිගා වෙලාය. සැන්ටාගේ රතු පාට තොප්පිය, සුදු බූල් සහිතව ආච්චීගේ හිසේය. මැගි ආච්චීගේ සුදු කොණ්ඩයට සීයාගේ රතු තොප්පිය පට්ට මැචින්ය. එහෙත් හරි කලබලයක්ය. ආච්චී පිණිමුවා සමඟ පොර බඳනවා විය හැකිය. සීයා බිම පෙරලිලාය. මැගි ආච්චී නරකය. අහිංසක පිණි මුවා උඩ නැගී උඩ පනිනවාය. සීයා පිණිමුවා බේර ගන්නට දඟලනවාය. ඒ කළබලය නිසාම මැගි ආච්චීගේ චීත්තය බිම වැටෙන්නට ඇතිය. පිණි මුවාගේ අං තට්ටුව පැටලී ආච්චීගේ හැට්ටය ගැලවෙන්නට ඇතිය. 

“මට හඳට යන්න ඕනෙ මැගියෝ.. මලක් ඕනේ... මැගියෝ...“

සීයා හති අරිමින් කෑගැසුවේය. ඒ අතර ජනේලය පැත්ත බලමින් දැඟලුවේය. කලබලය දැක පුදුම වී සිටි අපිට සැගවෙන්නට වෙලා නැති වුණේය. අපි හිතුවේ පිණිමුවා ගැන මිසක හැංගෙන එකක් ගැන නෙවේය. 

“තොපි මොකද යකුනේ මෙතැන කරන්නේ.. පල යන්න කාලකන්නි යක්කු..“

“නෑ සීයෙ ඔතල තියෙනවා අරන් යන්න කියන්න අපි ආවේ..“

සාන්ත සීයා වෙස් මූණට මුවා වී, මැගි ආච්චී සමඟ පිණි මුවාට සලකපු ආකරය දුටු අපට දෙන්නට තිබුණු සාධාරණම පිළිතුර එයම විය.

“හෑ යකුනේ.. කවුද ඔතල තියෙනව කිව්වේ.....“

“අපෙ සීයා..“

“කවදාවත් නැතුව යකෝ.. උට මාව මතක් වුණා එහෙනම්.. උබලට විස්වාස ද? මොනවද ඌ මට ඔතල තිබ්බේ..“

මැගි ආච්චී පැත්තකට පැන්නේය. සාන්ත  සීයා නැගිට්ට නැගිටිල්ලට ආච්චීට පනින්නට දෙයක් නොතිබ්බේය. පිණි මුවා මිසිං ය. සාන්ත සීයාගේ මුහුණින් අපිට පෙනුනේ අපිට කරදරයක් නම් නොවන බවක්ය.

“සීයාට.. මල් පඩංගුවක් තිබ්බා...“

“වරෙව් යන්න.. මම මදි පාඩුවක හිටියේ.. උබලෑ සීයා හොඳ එකා මාත් එක්ක බොරුවට අමනාප වුණාට.. මැගියෝ තෝ හිටු. මම ආයෙ එන්නං...“

සැන්ටා සීයා සතුටින්ය. අපිත් ඔහු පිටුපසින් ගියේ මහත් සතුටින්ය. ලබන නත්තලේ සිට අපිට වැඩිපුර තෑගි ලැබෙනවා ෂුවර්ය. සැන්ටා සීයා දිව ගොස් අපෙ සීයාව බදා ගත්තේය. කලබලයට සීයාගේ සරම පහලට වැටී අහවල් එකක්ද කරන්නේ කියා ඇසුවේය.

“උබ හොඳ එකා.. දීහං මට මල මෙහාට්ට..“

“මොන මලක්ද යකෝ.. තෝ මෙහෙන් තොලොන්චි වෙලා පල මේ බත් පත අරං“

“එහෙනං මුං මට ඇවිත් කිව්වේ උබ මට ඔතල තිබ්බ කියල එකක්....“

“ඔතන්න..?? උබට ඔතල, රෝල් කරල එකක් ගහන්නෝනි පුකේ...“

“තොපි හැත්ත.. කියපල්ලෝ මොකක්ද මේකෙ තේරුම...??“

“ඔය තියෙන්නෙ සාන්ත සීයාට ඔතපු කෑම එක.. ඒක ගැන අපි කිව්වෙ..“

අපිට කියන්න ලැබුණේ එච්චරය. සාන්ත සීයා කුණු හරප රැසක් කියා අඩි පොලේ ගසා නික්ම ගියේය. මැගි ආච්චී නැවත අප සමඟ කතා නොකළාය. ඒ විලි ලැජ්ජාවටය. අපෙ සීයාද වෙච්ච දේ හොදා යැයි කිව්වේ එදායින් පසු සාන්ත සීයා සැන්ටාට නො ඇන්ද නිසාය. ආච්චී නම් අපට සිද්ධිය මතක්වන සැරයක් පාසා දොස් කියන්නීය.

මොක වුණත් අපිට තෑගි දෙන්නට සාන්ත සීයා එනවා නම් අපි සතුටුය. ඒත් ඒ සතුට කවදාවත් නොලැබෙන්නේය. දැන් සාන්ත සීයලා ඉන්නේ සාප්පු වලය. නත්තලටය. ඒ අපිව ගෙන්වා ගන්නටය. අපෙන් සල්ලි අරන් අපිට බඩු දෙන්නටය. නැති නම් නිකං දෙන්නට නෙවේය. එහෙව් එකේ සැන්ටා සීයා සිටියා නම් මැගි ආච්චීටද සතුටුය. අපිටද සතුටුය. 


Written_by_sAm_ශ්‍රී_10:14pm_26/12/16

Thursday, December 22, 2016

කස්සාගේ එක දෙක වේ... - Kassa's Sad Story !!




කස්සාගේ කතාව ඌට නම් ශෝක ජනකය. සෑමාට නම් ඒ තරම් කතාවක් නැත්තේය. කස්සාව කතා බහට සැට් වූයේ ඊයේ පෙරේදාය. ඒ නම් කාලෙකින්ය. කොණ්ඩය කපා ගන්නට යැයි කියමින් සැලුන් එක දක්වා ඇදුනු කස්සා හෙයාර් කට් එකට පසු පැමිණ සෑමා හමුව ඔහුගේ කතාන්දරය කියා සිටියේය. ඒ කතාන්දර අපේ කතාන්දරය කර ගැනීමට කාලය හරිය. කස්සාට එදා මේ කතාව සෑමාට කිව්වා යැයි අමතක ඇතිය. එහෙම අමතක වන්නට නොදී පෝස්ට් එක කෙටීම නම් පට්ට අසාධාරණය. එවිට ඌ කියන්නේ අඩේ බඩු වේලෙන්න කලින් විස්තරේ පත්තරේ දාලා කියාය.

“මොකැ බං වෙන්නෙ දැන් පන්සල පැත්තෙ ඒම යන්නේ නෑ නේද??“

සෑමලෑ, කස්සලෑ ගමට පන්සල් හතරක්ය. ගමේම කියන හෙඩ් පන්සල තිබියදී අනෙක්වා බ්‍රාන්චර්ස්ය. එහෙත් බ්‍රාන්චර්ස් පවා හෙඩ් ක්වාටර්ස් වන්නේ තමන්ගේ නිවස තිබෙන ස්ථානය අනුවය. කෙසේ හෝ කස්සා සහ සෑමා මේ කතා කළ පන්සල ඒ හතරෙනුත් පිට අපේ පන්සල යැයි කියවෙන අපේ දහම් පාසලය. ඔව්, කුප්ප කතන්දර රැසක් ලියැවුණු කැළණි දහම් පාසලය. පරණ පන්සල් කතා වල ලින්ක් ඇඳිය නොහැකිය. කෙසේ හෝ කස්සාගෙන් සෑමා ඇසුවේ ඉහත ප්‍රශ්ණයය. ඇයි බං පන්සල පැත්තේ යන්නෙ නැද්ද කියාය. සෑමාද එලෙසය. වෙනදාට දහම් පාසල් යන කාලයේ නම් දුරුතු මහා පෙරහැරට මේ දවස්වල සෑමාලා බිසීය. බ්ලොග් ලියන තරියා ඒවාට ප්‍රාෙයා්ගික සාක්ෂිය. ඒ කටු සහ ඒ කටු වල රස දන්නේ වැඩේ සිටි උන්ය.

“කොහෙ යනවද බං?? අපිව ඒ කාලෙම කුජීත කරල දැම්මනේ..“

ඒ කස්සාගේ පිළිතුරය. කුජීත කළේ කවුද යැයි ඇසීම වැඩක් නැතිය. තමන්ට තමන් ඇරෙන්නට වටේ සිටින උන් කුමන හෝ කුප්ප වැඩකින් ලඟ සිටින එකා කුජීත කිරීමේ ආදරණීය වෑයමේ යෙදෙන්නෝය. කුජීත වූ දවස ඇසීමද නිෂඵලය. මන්ද ඉස්සර දහම්පාසල් යන සෑම දිනක්ම අලුත් දිනක්ය. බාල්දියක් පෙරලෙන්නේ, පෙරලගන්නේ නැති දවසක් නොමැත්තේය. ඒ නිසාම සෑම දිනක්ම අලුත් අත්දැකීමක් ලබන්නට දෑස් අයා බලා සිටිය යුතුය. සෑමාට ඇසීමට ඉතුරුව තිබුණේ එකම ප්‍රශ්ණයක්ය. එය සෑමා කෙලින්ම කස්සාගෙන් ඇසුවේය.

“කොයි සීන් එක ගැනද බං උබ කියන්නේ?? “

කස්සා කතාව දිග හැරියේය. එය කස්සාට සිනා මුසු දුක් කතාවක්ය. සෑමාට නම් එය මී පිරුණු රසවත් සිනා සාගරයක්ය.

“ඇයි බං හේරා අපිට දුන්නනේ පුඩිය..“

හේරා යනු ගුරු මණ්ඩලයේ සිටි ඇන්ටික් වස්තුවක්ය. ජාතික කෞතුකාගාරයේ තැබිය යුතු අයෙක්ය. දහම් පාසලේ උගන්වන කාලයේම වයස අසූ ගාණක් පමණ අයෙක්ය. කොණ්ඩය සුදුම සුදුය. පාඩම කියවන්නේ පොතක් බලාගෙන වුවද අවුලක් නැතිය. අපි ලියන කියන කිසිවක් ඔහු නොබලන්නේය. පන්තිය ඉදිරිපිටම කෙල්ලන්ගේ ඩෙස්ක් එකක් මත ඉදගෙන තමාට කතා කළ හැකි උපරිම දුරට ඇසෙන ලෙසද, තමාට පෙනෙන උපරිම දුර සීමාව බලාගෙනද හෙතම පාඩම කියවන්නේය. අන්තිම පේලි වල උන්ට කරදරයක් නැත්තේය. 

“මොකක්ද බං ඒ සීන් එක..??“

සෑමා වැඩි විස්තර සොයන්නේය. හේරා සෑමාට මැවී පෙනෙන්නට විය. පාඩමට අවධානය නැති වුවත් කුපාඩි වැඩකට මාට්ටු වුණොත් හේරා අපෙ උන්ගේ රෙදි ගලවන්නේය. ඔහු දැන සිටි දරුණුම වචනය “පරයා“ යන්නය.

“නැහැ බං දවසක් මම දහම් පාසල් ගියෙ නැති දවසක හේරා ඇවිත් අපෙ උන්ට පේපර් එකක් දීලා...“

“ඉතිං...“

“අපේ සම්පතා කරල තියෙන වැඩේ පේපර් එක ලියලා මගෙ නම දාලා..“

“පොඩි සීන් එකක් නෙ අවුලක්ම නෑනෙ.. අනික බං හේරා පේපර් නෙවේ මොක දුන්නත් දරුණුවට ගන්න දෙයක් නෑනෙ බං..“

“එහෙම අවුලක් නැති නිසා තමා සම්පතා මට ඉහළ උසාවියටම යන්න බඩු සැට් කළේ.. ඌ පේපර් එකට මගෙ නම දාලා P. අතාවුද කියලත්..“

“උබ පී නෙවේ නෙ යකෝ. කේ නේ..“

“ඒක තමයි.. කුපාඩි කමට බං පී දාලා තියෙන්නෙ. අනික මූ අන්තිමට තිබ්බ ප්‍රශ්ණෙට සුපිරිම ආතල් එකක් දීල තිබ්බා..“

“ඒ මොකක්ද ඒ??“

“තුන්වන ධර්ම සංගායනාව ගැන ලියන්න තිබිලා.. මූ සුපිරියටම ලියලා. මුල් ටික සිරාවට ලියලා. අන්තිමට ජෝගියක් දාලා බං“

“ඉතිං කියාංකෝ ජෝගිය..“

“මූ අන්තිමට ලියලා සංගායනාව අවසානයේ සිරස මාධ්‍ය ජාලය අනුග්‍රහයෙන් සුපිරි තරු තේරීම සඳහා සුපර්ස්ටාර්ස් තරඟයක්ද පැවැත්වුණා කියලා. පලමු ජයග්‍රාහකයා අජිත් බණ්ඩාරට සුපිරි මෝටර් රථයක්ද, දෙවෙනි හා තෙවෙනි ස්ථාන සඳහා මුදල් තෑගිද, අනෙක් දස දෙනාට සැනසිලි තෑගිද දුන්නා කියලා.“

“අඩෝ.. හේරාට උබව මාට්ටුද??“

“නිකං ම මාට්ටු වුණා බං..“

“ඒ කෝමද උබ එදා දහම්පාසල් ගියෙ නෑනෙ..“

“මේකනේ හේරා පේපර් එක උස්සං ඇවිත් කවුද මේ පරයා කියල ඇහුවා. මම අන්දුං කුන්දුං වෙලා බං හිටියෙ. පී. අතාවුද කිව්වාම මම කිව්වා මම පී නෙවේ කේ කියලා. එතකොට පන්තියම හිනා වුණා. පස්සෙ මම කිව්වා මම එදා ආවෙත් නැහැ කියලා. මූ කියපි ඒම වෙන්නෙ කෝමද මේ පේපර් එක ලියලා තියෙන්නෙ කියලා...“

“උකා.. ඇයි යකෝ රෙජිස්ටර් එක??“

“මොන රෙජිස්ටර් ද බං. මම හේරාට ගේම ඉල්ලුවා බොරු නම් එදා රෙජිස්ටර් එක බලන්න කියලා. මූ රෙජිස්ටර් එකේ බලපි. මම එදා ඇවිල්ලා කියල මාර්ක් කරල බං. අපේ එවුන්ම නේ රෙජිස්ටර් එක මාර්ක් කරන්නෙ. ඉතිං උන් කවදාවත් අපිට ආවෙ නැහැ කියලා එක නොදා ඉන්නෙ නෑ නේ...“

“අඩෝ අන්න ඒක තමයි කියන්නෙ නිරපරාදෙ එක දා ගන්න යන්න එපා කියලා..“

Written_by_sAm_ශ්‍රී_9:45pm_22/12/16
Related Posts Plugin for WordPress, Blogger...