නිකංම විශ් කර පෝස්ටුවක් දානවාට වඩා, අළුත් අවුරුද්දට සුදුසු කතාන්දරයක් සෑමාගෙන්...
පහ වසරේදී සෑමා කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතා සොයා ගියේය. එකී පාසලේ පහේ පන්තියේ සෑමාට ඉගැන්වූ කල්‍යාණි ගුරුතුමිය තවමත් සැමට මතකය. පහ වසරේදී අපිව සවස ඉස්කෝලෙ තබාගෙන 'සතර' පොත කෙරෙව්වේ ඇයය. ඒ පොතේ පිටුපස පිළිතුරු තිබුණ නිසා අපි ඉස්කෝලේ හවස පන්තියේදි වැඩි ලකුණ ගත්තෙමු. වාසනාවන්ත ලෙස ශිෂ්‍යත්වය පාස් වීමටද හැකියාවක් එකී වසරේදී සෑමාටද හිමිවිය.
සවස පන්ති තිබුනේ ඉස්කෝලේ අහවර වී පැයකට පමණ පසුය. ගෙදර ලග ඉස්කෝලෙට ගියත් අම්මා බැදලා දෙන බත් මුල කෑම සිදු කළ යුතුය. එසේ බත් කා ඉතිරි වේලාව සෙල්ලම් කිරීම සිරිතක්ය. ඉස්සර අපි බොහෝ විට කලේ අල්ලන සෙල්ලම්ය. ටයිම් කියා විවේක ගැනීමට ගසකුත්. වයිම් කියා කලින් ඇල්ලූ පිරිස බේරා ගැනීමට තව ගසකුත් ඇත. වයිමට ගොස් ඇල්ලූ පිරිසට අත දී බේරා ගත යුතුය. බ්ලොග් ලියන බොහොමයක් ඉස්කෝලෙ ගිය ඇයවලුන් නිසා අටුවා ටීකා අනවශ්‍යය.
එසේ සෙල්ලම් කරන දවසක අපේ එකෙක්ට කක්කා බරක් සෙට් වුනා මතකය. එදා කක්කා බරක් වුනාට අපිට ඒලෙවල්, ඕලෙවල් කාලයේ සෙට් වුනේ කක්කා බර නොව බොකක්ය. පොරට කක්කා කරන්නට සියළු පහසුකම් සූදානම් කර දුන්නේ අපිමය. වැසිකිලියට ඇරලවා වතුර බාල්දියක් පවා ගෙනිහින් දුන්නේ අපේ එවුන්ය. ඉන්පසු අපි පැත්ත පලාතේ නොගියෙමු.
සියළු කටයුතු අහවර වී සියල්ලෝම පන්තියට වාර්ථා කළහ. අපේ මිතුරාද පන්තියට ආවේය. ඒත් පන්තියේ ඉන්නට බැරිය. කක්කා ගද පන්තිය දෙවනත් කරන්නට වීය. ටීචර් නඩුව අසද්දී අපි සාක්ෂි දුන්නේ පොරට සෝදා ගැනීමට වතුර පවා අපි සප්ලයි කළ බවකි. එහෙත් පොර හෝදාගෙන එලියට එද්දී වැසිකිලියේ ලිස්සා වැටී ඇත. සුදු පාට කමිසය සහ නිල් පාට කොට ෂෝට අපවිත්‍ර වැසිකිලියේ ඇතිල්ලී මිතුරාට අවාසනාවන්ත සිදුවීමටක මුහුන දෙන්නට සිදු වී තිබිණ. පසුව පන්තිය පසෙක දමා ටීචර් සහ කිහිප දෙනෙක් ගොස් මිතුරාව සෝදා ගෙදර යැව්වා තාමත් මතකය.
ඒ මිතුරා ගැන පූර්විකාවකි.
ඉස්සර අපට චක්කරය අරහංය. ඒත් අමාරුවෙන් සෑමා චක්කරය පාඩම් කර ගත්තේ තම පියාද එම විදුහලේ ගණිත ගුරුවරයෙකු නිසා කතන්දර අහන්නට බැරි නිසාය. එහෙත් 'නම වරක්' චක්කරය ටිකක් අප්සට්ය. ඒකත් පොඩි උප්පර වැට්ටියකින් අල්ලා ගැනීමට හැකිවිය. 9,18,27,36 ආදී ලෙස අන්තිම ඉලක්කමේ එකක් අඩුවෙන උප්පරවැට්ටිය කවුරුත් භාවිත කරන්නට ඇතැයි සිතමි.
දිනක් ටීචර් පන්තියේ තැනින් තැන නැගිට්ටුවා "නමය වරක්" චක්කරය පාඩම් ගනිද්දී අපේ ඉහත කී මිතුරා අසරණ වුයේය. මිතුරා නැගිට සිටියදී අවටින් සපෝට් එක තිබ්බත් පොරට එදා ගුටි කන්නටම සිදු විය.
පහ වසරේ නමය වරක් සිද්ධිය සෑමාට යලි මතක් වුනේ ගිය වසරේ මාර්තු මාසයේ පමණ වෙලද සැලකට ගිය අවස්ථාවකදීය. වසර මුලදී බොහෝ වෙලදසැල් වල "සුභ නව වසරක් වේවා" කියා පුළුන් කැබලි වලින් අලවනු දැක ඇත. ඒ වාක්‍යයේ අකුරක් හැලී හෝ ගලවා හෝ තිබුණු නිසා මට මතක් වූයේ පහ වසරේදී 'නම වරක්' චක්කරය නිසා අසරණ වූ අපේ කක්කා මිතුරාය.
එහි තිබුණේ "සුභ නව වරක් වේවා"
එකී කතාව නව වරක් ගැනය. සෑමා මේ කියන්නට යන්නේ...
ලබන්නාවූ සිංහල - හින්දු අළුත් අවුරුද්ද, පිටි කොටන්නට මෝල් ගහෙන් වංගෙඩියට තලන්නාක් මෙන් බ්ලොග් ලියන්නට කී-බෝඩ් එකට ඇගිලිවලින් තලන්නාවූ බ්ලොග් හිතවතුන්ට ආයු ආරෝග්‍යය සම්පත්තිය, යෝධ බල යෝධ විරිය ලබන්නටත් හේතු වේවා.
පොදුවේ සියළු දෙනාට ජය සතුට සාමය පිරි අළුත් අවුරුද්දක්ම වේවා.
Written by sAm_11.22pm_11.04.2012
තවද ලොවෙත් නැති - ලෝවැඩ සගරාවෙත් නැති - ලෝකෝප්‍රකාරයෙත් නැති අළුත් අවුරුද්දක් වේවා.. !
යක්ෂයන් බත් කන, දෙවියන් සිරබත් කන සංස්කෘතිය නිමවන්නට තවත් බලාපොරොතුවක් තබමි.
තවද ලොවෙත් නැති - ලෝවැඩ සගරාවෙත් නැති - ලෝකෝප්‍රකාරයෙත් නැති අළුත් අවුරුද්දක් වේවා.. !
යක්ෂයන් බත් කන, දෙවියන් සිරබත් කන සංස්කෘතිය නිමවන්නට තවත් බලාපොරොතුවක් තබමි.




