Thursday, March 7, 2019

ඔය සද්ද මෙයාලට දරාගන්න බැහැ මල්ලී..


හික්කඩුවේ මඟුලක් සෙට්වී අපි කොළඹින් පිටත් වූයේ වෙඩිමට යාමටත් වඩා ට්‍රිපක් යාමට ලැබීමේ මහත් සතුටින්ය. එදා වෙඩිම අවසන හෝටලයේ ගේට්ටුව ලඟදීම ඇඳුම් උනා දමා ෂෝටට බැස්සේ මුහුදක් නොදුටු නුවර උන් වගේය. පැය ගාණක් ඇල්කොහොල් ලවන සමඟ දිය කොට ගොඩට ආවේ රාත්‍රී හතට පමණය. ගෙදර යෑමට අවශ්‍යය යැයි අපේ උන්ට සිතුනේ එවිටය. සියල්ලෝම වෑන් එකට නැග්ගේ ඉස්සෙල්ලාම කඩෙන් ප්ලේන්ටියක් ගසා මොනවා හො ගිල නැවත පිටත් වීමටය.

හෙමින් කතා කළත් දහයකගේ හඬ ඇති දෙදෙනෙක් අපේ නඩයේ සිටියෝය. අපි ඔවුන්ට කිසිදාක මචං සද්දේ අඩුවෙන් කතා කරපං යැයි නොකියන්නේ වැඩක් නැති නිසාය. උන්ගේ සද්දය අඩු කිරීමට උත්සාහ නොගන්න අපි උන්ට කියන්නේ මචං පොඩ්ඩක් කට වහගෙන හිටපං කියාය. කට වැසුවොත් මිසක් කටහඬ අඩු කර කතා කරන්නට නම් උන් දෙන්නාට නොහැකිය. පොඩ්ඩක් සද්දය අඩුවෙන් කතා කරපං කිව්වොත් මුල් වචනය හෝ දෙක පමණක් අඩුවෙන් කතා කර නැවත සුපුරුදු විලාසයට ඒම උන් උපතින් ගෙනා දෙයක් විය හැකිය. ඉතිං එව්වා හැදීමට අපිට නොහැකිය.



පොඩි කඩයකට ගොස් අප දස දෙනාම වාඩි වූයේ කෑමට සහ ප්ලේන්ටි ගැසීමටය. අරුන් දෙන්නා කඩේ වාඩි වූ වෙලාවේ සිටම නොනවත්වා කියවිල්ලය. බිත්තර ආප්ප ඉල්ලීම්, ප්ලේන් ආප්ප ඉල්ලීම්, ලුණු මිරිස් ඉල්ලීම් ඒ අතරය. නොනැවතී කඩේ ඇති බෝඩ් ලෑලි පවා කියවමින් ඇතුලේ සිටි අනිත් මිනිසුන් පවා අපහසුතාවයට පත් කිරීමට උන් සමත් වීය. කඩේ පොඩි නිසා දෝංකාරය වැඩිය. උන් දෙන්නා කියවන විට එය තවත් ඩබල්ය. කඩේ ඇතුලට ගොඩවන විට ඇතුලේ පාසැල් වැඩ කරමින් සිටි පොඩි කොල්ලෙක් සියල්ල පසෙක තබා කුස්සියට දිව්වේ අපේ උන් දෙන්නාගේ සද්දය නිසාය. කඩේ අක්කාට ඌරු ජුවල්ය.

"මල්ලී ඔය දෙන්නෑ සද්දෙ නවත්වනවද? අපෙ දරුවන්ට ඔව්වා දරා ගන්න බැහැ"

උන් දෙන්නාගේ සද්දය මැකී යද්දි කඩේම හිටිය සුවහසක් ජනතාව වහලය ගැලවෙන්න සිනාසුනේ අක්කාට ආඩම්බරයක් එක් කරමින්ය. කොල්ලාද නැවත මේසයට පැමිණ පාසැල් වැඩ පටන් ගත්තේය.

සියල්ල අවසන අක්කා බිල හැදුවාය. කෑවාට වඩා බිල වැඩි බව අප සැමට තේරුණු නිසා නැවත කාපු බීපුවා කියමින් ගණන් හැදුවේ අපේ උන් දෙන්නාය. උන්ට අක්කා සමඟ තිබුණේ සල්ලි නොගෙවා එන තරම් ඇරියස් එකක් බව කිව යුතුය.

අවසන අක්කා සියල්ල ගණන් බලා කලින් කියූ මුළු එකතුවට වඩා රුපියල් පන්සියයකට වඩා අඩු එකතුවක් කිව්වාය. අපේ උන් දෙන්නට අක්කා එල්ලා මැරීමට වරෙන්තු දුන්නා මෙන් සතුටුය.

"අක්කෙ මේ ඔයා හිතුමතේට හොර ගණන් කියන්න එපා.. අපෙ උන්ට ඔව්වා දරා ගන්න බැහැ.."

කෑගහන්නට එපා මල්ලී යැයි කියූ තැන සිට කතා නොකර සිටි ඇරියස් එක කවර් කරන්නට අපේ උන් දෙන්නාට හැකි විය. එදා සිට උන් කෑගසන හැම මොහොතකම කඩේ අක්කා මොහොතකට සිහි කළොත් සද්දට මදක් අඩු කර ගත හැකිය.

#sAmsRi_11:57pm/06/03/19

13 comments:

  1. පට්ට , අක්කා ගේ වචනයෙන් ම උත්තර දුන්න එක හොදයි !

    ReplyDelete
    Replies
    1. අක්කට දරා ගන්න බැරි වුණා :)

      Delete
  2. “ඔහොම පෝස්ට් දාන්න එපා අපේ උන්ට ඔව්වා දරා ගන්න බැහැ.."

    ReplyDelete
    Replies
    1. හෙමීට දාන්නම් ප්‍රසා දරා ගන්න පුලුවන් මට්ටමට

      Delete
  3. “ඔහොම කෙමෙන්ට් කරන්න එපා අපේ උන්ට ඔව්වා දරා ගන්න බැහැ.."

    ReplyDelete
    Replies
    1. දරා ගන්න පුලුවන් මට්ටමින් දාමු :)

      Delete
  4. පොතක් ණයයි හරිය 😂

    ReplyDelete
  5. ඔය ඒ කාලෙ කතාවක් නේද? ඒකයි බුද්ධිමත්ව ප්‍රතිපහාරය එල්ල කරලා තියෙන්නේ..
    අද එහෙම ඔහොම දෙයක් කිව්වනම් අක්කව ළමයා ඉස්සරහාම රේප් කරන සයිස් එකක් තියෙන්නේ.. සමාජය පිරිහිලා මල්ලී සමාජය පිරිහිලා.. කිසිම දෙයක් දරාගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම කියන්නෙ මට ඔව්ව දරාගන්ඩ බෑ...

      Delete
    2. @සෙන්නා - මාස දෙකකට කලින් කතාවක් මචං. ලොකු කේස් එකක් වුනෙ නැහැ.

      @ක.ලො.මල්ලි - ඇයි මට පුලුවන් කියලද හිතන්නෙ?

      Delete

Related Posts Plugin for WordPress, Blogger...