Thursday, July 10, 2014

අපි නොදන්න රැකියා.. - Hidden Jobs !!!


සෑමාගේ සීයා මෙලොව ඇතැර ගොස් දැනට වසර විසිපහක් වන්නේය. මාළු වැස්සේ සිටි ආච්චී ගේ ආදරණීය සැමියා වූ අපේ සීයා නොහොත් තාත්තාගේ තාත්තා මිය ගියේ සෑමා පොඩි කාලයේය. ඒ කාලයේ මල ගෙදර පොටෝ කැබලි වල සෑමා අත දරුවෙකුව සිටියේය. මාතලන් මෑතකදී ලියු මලගෙවල් ස්ටෝරියේ පොටෝ කැබලි ඇල්ලීම ගැන සදහන් වූයේය. එහෙත් ඒ කාලයේ මලගෙවල් වල පොටෝ ගැසීම රජටම වූයේය. නමුත් මෑත භාගයේ සිට මල ගෙවල් වල පොටෝ කැබලි ගැසීම එතරම් දක්නට නොමැති බව කිව හැකිය. අපේ අම්මාගේ අම්මා හෙවත් කුංකාච්චී මිය ගිය මොහොතේ පවා පොටෝ කැබලි ගසන්නට කිසිවෙකුවත් පෙළබුනේ නැතිය. එදා අම්මා ලියා තිබූ කවි පන්තියක් සෑමා පෝස්ට් එකක් ලෙස දැම්මා මතකය.

කෙසේ හෝ වේවා මල ගෙවල් ගැන ලියන්නට හදනවා නොව මේ ලියන්නට යන්නේ අපි නොදන්නා ජොබක් ගැනය. අපේ තාත්තාගේ අම්මා (ආච්චී) පෙරටු කොටගෙන අපි සීයා සිහිපත් කොට දානමය පිංකමක් කරන්නට කතිකා කර ගත්තේ මාසයකට එපිටදීය. එතැන් සිට දානය දෙන්නට තැනක් තෝරා ගැනීම, දානය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තෝරා ගැනීම පවා කළේ අපේ මහප්පාය. මහප්පා තෝරාගත්තේ රාජගිරිය වික්ටෝරියා නිවාසයය. එහි සිටිනා අබාධිත අයට දානයක් දිය යුතුය යන්න මහප්පාගේ තේරීම වූයේය. එතැන බැලීමට මහප්පා මා සමඟ එහි ගියේය. ගොස් ඔවුනට අඩුපාඩු ඇත්තේ කුමක්දැයි  සොයා බලන්නට අපි සිදුවූයේය. එමඟින් අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුගත කොට අප දිනයක් වෙන් කර ගත්තේ මහප්පාගේ මුලිකත්වයෙන්ය. යම්තාක් දුරට ආධාර ලැබෙන තැනක් වූ නිසා සෑමා කීවේ එතැන එතරම් අහේනියක් නැති තැනක් කියාය. එහෙත් දීම හෙවත් දානය අපේ පැත්තෙන් කළ යුතු වැඩක් නිසා ඒ සඳහා කටයුතු කරන්නට අප කතිකා කර ගත්තෙමු.

ගමේ පන්සලේ (අපේ ගමේ පන්සල් තුනක්ය.) මූලික කරගෙන අප පිටත් වූයේ වික්ටෝරියා නිවස බලාය. දැන් ඉන්නා තරුණ පිරිස් සහ තාක්ෂණය පිළිබඳ කතිකාවකදී තාක්ෂණය නිසා දරුවන් නොමඟ යාම පිළිබඳ කතාවක් ඇඳී ආවේය. එහෙත් සමාජ වෙබ් අඩවි ආධාරයෙන් බොහෝ තරුණ පිරිස් සමාජ සත්කාර අදියට යොමුව ඇති බවට සිතුවිල්ලක් හාමුදුරුවන්ගේ මනසේ නිර්මාණය කරන්නට හැකි වීම ගැන සෑමාට සතුටක් ආවේය. එසේම අබාධිත මනස විකල් වූ අය පිළිබඳව කතා වෙද්දී හාමුදුරුවෝ අපූරු කතාවක් කීවෝය.

“ඒ මිනිස්සු උපතින්ම සිහි විකල් වෙලා ඉන්නෙ.. ඒත් හොඳ සිහිය තියෙන අපේ මිනිස්සු ගුලිද මොනවද කාල සිහිය විකල් කර ගන්නෙ විහින් නේ...“

“අපොයි ඒක නම් ඇත්ත හාමුදුරුවනේ..“

“අපේ පැත්තේ සිරිසෝමයා මරු වැඩක් කළානේ.. පෙරහැර දවසේ...“ (සිරිසෝම යනු මන: කල්පිත නමක්ය.)

“ඒ මොකක්ද හාමුදුරුවනේ..“

“මිනිහා පෙරහැර යද්දි මාත් එක්ක කියව කියව ආව.. බෝක්කුව ලඟ වෙල ලඟ පාරෙදි..“

“ඉතිං..“

“මිනිහා වෙලෙන් පැනලා ගෙදර යන්න බලාගෙන හිටියෙ.. අනික සිහිවිකල් වෙලා හිටියෙ... වෙල ලඟදි මිනිහා කියපි.. හාමුදුරුවෝ පාරෙන් යන්න මම එහෙනම් වෙලන් වඩින්නම් කියලා....“

එදා සිරිසෝමයා වෙලන් වඩිද්දී හාමුදුරුවෝ පෙරහැරෙන් පන්සලට ගොස් තිබුණේය. හාමුදුරුවෝ ගුලි කෑමේදී සිදුවන මානසික විකෘතිය විග්‍රහ කළේ ඒ අයුරින්ය.

එලෙස වික්ටෝරියා නිවසට ගොස් දානමය කටයුතු නිමා කොට, සීයාට පින් අනුමෝදම් කොට, අවට අබාධිත, අසරණ වූ අය බලද්දී මහප්පා කීවේ දැන් Disabled හෙවත් ආබාධිත කියන වචනය භාවිතා නොවන බවක්ය. ඒ වෙනුවට කිසියම් හෝ හැකියාවක් ඇති බව කියවෙන differently abled කියා නම් කෙරෙන බව කියා සිටියේය. ඇත්තටම ඔවුනට සම්පූර්නයෙන් නොහැකියාවක් නැත්තේය. එනම් සම්පූර්නව ආබාධිත අය නොවූයේය. සමහරුන් සුභ පැතුම් පත් සාදා ඒවා තමන්ගේ ඇද අද්දර තබාගෙන විකුණන්නෝය. සමහරු අතේ බඳිනා බෑන්ඩ් ගොතා ඒවා විකුණන්නෝය. එවැනි සයිඩ් බිස්නස් කරන්නට තරම් හැකියාවක් ඔවුනට තිබුනේ Disabled නොවී differently Abled වූ නිසාය.

සියල්ල අවසන් වී එළිය පැමිණ විට අයෙක් රෝද පුටුවකට වී පාර දෙස බලාගෙන කුමක්ද සටහන් කරනු දක්නට ලැබුණේය. විටක ඔහු පාර දෙස බලාගෙන කවි ලියනවා විය යුතුය. දවස පුරා කිසිම වැඩක් නැතුව රෝද පුටුවට වි සිටියදී වෙන කරන්නට දෙයක් නැතුවා විය හැකිය. එක්කෝ පාර දෙස බලාගෙන පාරේ යන වාහන ගණිනවා විය හැකිය. එවැනි සිතුවිලි සිතට එද්දී අප කළේ ඔහු ලඟට කිට්ටු වී කරනා දේ කුමක්දැයි විමසීමය. ඔහු කනේ ඉයර් ෆෝන් එකක් ගසාගෙන, ෆෝන් එකකින් සිංදු අසනු අපට දක්නට ලැබුනේය. තම රෝද පුටුව මත තබා ඇති ලී කැබැල්ලේ පොතක් තබා ඇත්තේය. පැත්තක ලෑල්ලේම ඔරලෝසුවක් අලවා ඇත්තේය.

“ඔයා මොකද මෙතන කරන්නේ??“

“අහ්.. මම වැඩසටහනක් ලියනවා..“

අම්මට හුඩු කලාකාරයෝ මෙතනත් ඉන්නව නොවැ.. කියා සිතා ගත් මම තවත් ප්‍රශ්න නැගුවේ සියල්ල දැන ගැනීමටය. 1988 වසරේදී තමා ඔබ්රෝයි (අද සිනමන්) හෝටලේ වැඩ අහවර වී පාන්දර පාරට බැස්ස මොහොතේදී වෑන් රථයක් පැමිණ තමාව හප්පාගෙන ගිය බවත්, පසුවදා උදේ පිරිසක් පැමිණ තමාව කානුවකින් ගොඩ ගෙන රෝහලට රැගෙන ගිය බවත්, සිදුවූ ප්‍රමාදය නිසා තමන්ට දෙපා වාරු නැති වූ බවත් හෙතෙම කීවේය.

“හරි දැන් මේ වැඩසටහන මොනව ගැනද??“

“නැහැ.. මම කරන්නේ හවස 4 ඉදන් හවස 5 වෙනකල් එෆ් එම් නාලිකාවක යන වෙළඳ දැන්වීම් ලියනවා...“

“එතකොට..“

“ඒගොල්ලෝ ඇවිත් මේ කොළේ අරන් යනවා.. මාසෙ අන්තිමට අපිට ගාණක් දෙනවා..“

“අඩේ.. මාරයි නේ.. එයාල මොනාද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ..“

“එයාලට ඒ පැය ඇතුලත් වෙළඳ දැන්වීම් මිස් වුණාද කියල චෙක් කරනවා..“

කෙසේ හෝ වේවා, තනිවී අතරමං වී, සමාජයෙන් දුරස්ථව නිවාසයක රැදී සිටින ඔවුනට එවැනි කාර්යයක් පැවරීම නම් අගය කළ යුතුය. ඔහුට එම කුඩා රැකියාවෙන් මාසය අන්තිමට යම්කිසි මුදලක් අතට ලැබෙන බව හෙතෙම කීවේය. එවිට සෑමාට කල්පනා වූයේ අප නොදන්නා රැකියා කීයක් නම් මෙලොව ඇත්තේද යන්නයි...

Written_by_sAm_ශ්‍රී_Perera_12.01am_10/07/14

Monday, July 7, 2014

ආච්චී පටලා ගත් කකුල, මිණිබිරිය පටලා ගත් අත... - Grand Daughter Finds New Position !!!




ආච්චී සතුව තිබු
ඇන්ටික්ම ගැජට් එක
තම දුවගෙ ගෙදර එවු
දෑවැද්දෙ තිබූ එක



සීයාගෙ සරම් පොඩි
නූල් එක දෙක ගැලවි
ආච්චිගෙ දෙඅත් පොඩි
සරණින්ම වැසුනු හැටි



කකුල් තරමක් පළල්
කර තබා සීරුවෙන්
උඩ - පහළ යන ලෙසට
දුන්නානෙ ඇය රුකුල්



ආච්චී තම දුවට
කියා දුන් ශිල්පයට
නැලැවුණා මිණිබිරිය
අම්මගෙන් ලැබ දැනුම



ආච්චී දන්නෙ නැති
ලේසි පහසුම විදිහ
අම්මලා නොදත්තේ
මේ විදිහෙ ඇති රසය



ඈත් කොට රත් දෙපා
පැටලෙමින් දෙකලවා
එදා කළ රඟ සොබා
අතින් අද කරනවා



ස්වාමී අකැමැතී
කකුල් දෙක පැද්දෙද්දි
වෙනසකට ඔහු කැමති
අත් දෙකෙන් වැඩ ගත්දි



මොක වුනත් අවසානෙ
නූල ගැලවී යද්දි
දවටලා කට කොනේ
කෙළවලින් නැහැවෙද්දි 
හිලට දා ගත යුතුනේ
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*
ආච්චිලා කකුල් පටලවා ගත් මැෂිම

මිණිබිරිය අතින් දමන සෙල්ලම

Written_bY_sAm_ශ්‍රී_Perera_7:18am_7/7/14

Tuesday, July 1, 2014

රැකියාවට ආදරේ කිරීම... - Love Your Job !!!


එදා එක් සුන්දර උදෑසනක්ය. සතිඅන්තයක කොළඹ ගිය සෑමාට මරදාන හන්දිය කිට්ටුවට වී වාහනයට වී ඉන්නට වූයේ තම මිතුරෙකු එන තුරුය. කිටියාද පැත්තකින් සිටියාය.

පිපුණු මලක හැඩ දෑස සලා..
සිතුම් විහග කැළ වසග කළා..
මගතොට රැදි නෙත් දහක් වසා..
මතකද අප නෙත් කතාකළා..

පාසලේ දහය එකොළහ වසරේ පමණ සිට මා මිමිණූ ගීතය, ඒ මොහොතේ එෆ්.එම් නාලිකාවක් ඔස්සේ ගුවනට මුදාහරිමින් තිබුණේය. කාලය හරිම පුදුමය. එකම ගීතය විවිධ අය, කීදෙනෙක්ට නම් කියන්නට ඇත්ද? මම මේ ගීතය ඇසූ දා සිට, කී තැනක, කී දෙනෙක් වෙනුවෙන් කියන්නට, සටහන් කරන්නට ඇත්ද? එකොළහ වසරේදී මා පන්තියේ තුන්වෙනි පේලියේ බිත්තිය කෙළවරේ හිඳගෙන සිටියේ බිත්තියේ කුරුටු ගී ලියන්නටය. එහි ආරම්භය වූයේ ශාලිත අබේවික්‍රමගේ උක්ත ගීතයය. එතැනින් නොනැවතී ලියැවුණු ගී, සින්දු සහ කවි කියවන්නට, මා හිඳගෙන සිටි පුටුවේ වාඩි වූ අය අපමණය. අතිරේක විශයන් සඳහා පන්ති මාරු කරද්දී, මාගේ කැටපත් පවුර කියවූ බොහොමයක් දෙනා ඇසුවේ මෙතන ඉන්නේ කවුද බන් කියාය. විටෙක බිත්තියේ බලි අදින එකාට පිස්සුදැයි ඇසූ අය නොසිටියා නොවේය. ප්‍රින්සිපල් පන්තියට පැන්න විටක, මා ආයාසයෙන් මා ලියූ ගී සින්දු කවර් කරන්නේ පැත්තට හිඳගෙන සිටීමෙන්ය.

මොහොතකට ඇසෙන පැරණි ගීතයකට ඔබව .ගෙනයා හැකි දුර අපමණය. මතකයන් සුන්දරය. ඒ මතකයන් ඔස්සේ ඇවිද යන මගේ සිත වෙනතකට හැරවූයේ අප වාහනය ඉදිරියෙන් කුණු එකතු කරන්නට යකඩ අත් කරත්තය තල්ලු කරගෙන ආ අංකල්ය. ඔහු කරත්තය තුළ වූ ඉදලට දෙඅත් ගසා වැන්දේය. ඉන්පසු කොට මිටක් සහිත වූ සවල දෝතින් ගෙන සිප ගත්තේය. මහා සුන්දර ලෝකයක සිටි මාගේ සිතුවිලි මොහොතකට උණු වෙන්නට පටන් ගත්තේ ඔහු කළ දේවල් දැකීමෙන්ය. මෙම ලිපියේ නිමිත්ත, ලිපිය ලිවීමේ අරමුණ පහල වන්නේ එතැනින්ය.

ඔහු ඒ සවලෙන් කුණු එකතු කොට කරත්තයට දමනවා විය හැකිය. දවස තිස්සේ පාර දෙපස ඇති කුණු ජරාව, බලු බෙටි බලල් බෙටි එකසේම සවලෙන් එකතු කොට කරත්තයට දමනවා විය හැකිය. තම ජීවිකාව කරගෙන යන්නට සවියක් දෙන්නාවූ තමන්ගේ රැකියාවට උර දෙන ආවුධ ආදරයෙන් සිප වැළඳගෙන දවසේ රාජකාරි ආරම්භ කරන්නට තරම් සංවේදී හැඟීමක් රැකියාව කෙරෙහි උපදින්නේ කීයෙන් කී දෙනෙක්ටද? ඔබ අද උදෑසන රැකියාවට පිටත් වන්නට උදේම නැගිටින්නට සිතෙන්නේත්, පිළිවෙලකට ඇඳ පැළඳගෙන රාජකාරියට යන්නට සිතෙන්නේත් ඔබ ආදරයෙන් හැඟීමෙන් එම රාජකාරියට සළකන නිසාය. එසේම තමන් ජීවත් වෙන, තමන් ඇතුළු පිරිසක් රැක බලාගන්නා රැකියාවට උතුම් අයුරින් සැලකීමේ යුතුකම සිතේ දරාගෙනය.

පෙර දවසෙක මා රාජකාරී කළ කම්පැනියේ ආතල් ඩයල් එකක් සිටියේය. පොර වැඩට එන්නට ඉතා මනාපය. අපි ඉස්කෝලෙ යන කාලයේ ආතල් එකේ ආසාවෙන් ඉස්කෝලෙ ගියේ පාසල් අභ්‍යන්තරයේ තිබූ බැඳීම් නිසාය. ඉගෙනීමට පමණක් නොව ඊට එහා ඉක්මවා ගිය බැඳීම් සමූහයක් නිසා අප පාසල් ගියෙමු. එලෙසම යම් කිසි විශේෂ හේතුවක් තිබෙන්නේ නම් රාජකාරියට යන පිරිසක්ද සිටින්නෝය. පෙරකී අපේ මිත්‍රයාට එසේ අහවල් බැඳීම්ද නොතිබුණේය. එහෙත් රාජකාරියට දිනපතා පැමිණියේ අව්, වැසි නොබලාය. විටක හොටු පෙරාගෙන තම පුටුවේ ඉදගෙන සිටියේ ගෙදර නොයිද වැඩට පැමිණීමේ පරම චේතනාවෙන්ය. මේ කටයුතු, හැසිරීම් සියල්ල අධ්‍යයනය කළ අපේ උන් බුවාව දිනක් ඉන්ටර්විව් කළෝය.

මචං, උඹ ඔච්චර දුර ඉදලත් වෙලාවට, හැමදාම වැඩට එනව නේ..

ඔව් බං.. මම පොඩ්ඩාව ඉස්කෝලෙ දාගෙන එහෙම්මම මෙහෙ එනවා.. ඒකයි වෙලාවට එන්න පුලුවන් වෙන්නෙත්...

අඩේ නිකමට වත් දවසක් ගෙදර ඉන්න හිතෙන්නෙ නැද්ද බං?

උඹල මේ පිස්සු කතා කරනවා.. මම ඔෆීස් එකේ විශේෂ නිවාඩුවක් වැටුනත් වැඩට යනව බං..

ඇහ්.. උඹ මෙහෙ එනවද???

මෙහෙ ඇවිත් තාප්පෙන් පනින්නද බං??

එහෙනම් උඹ කොහෙද යන්නෙ??

අනේ මන්ද බං.. මම ස්ටේෂන් එකට ගිහින් කෝච්චියෙ නැඟලා නුවර යනවා.. ආයෙ හවස් වෙද්දි එනවා...

මාර බුලට් එකක් නේ... යකෝ.. ආතල් එකේ ගෙදර ඉන්නෙ නැතුව..

උඹලට පිස්සුද? කාලෙකට ඉස්සෙල්ලා එකම එක දවසක් උණක් හැදිල ගෙදර හිටිය.. මට එදායි හිතුනෙ වැඩට ආව නම් එයිට වඩා රෙස්ට් කරන්න තිබ්බ කියල..

ඒ කිව්වෙ..

නැහැ බං.. පවුල ගෙදර නේ.. මම අසනීප වෙලා ගෙදර හිටිය දවසෙ කට කපල වැඩ.. ඒත් වැඩට ආව නම් ඩොක්ටර් කිව්ව වගේ හොඳට රෙස්ට් කරන්න තිබ්බා...

උඹ මාර ඩයල් එකක් නේ.. ඒ නිදහස ගන්නද වැඩට එන්නෙ...

මම උබලට එක උපදෙසක් දෙන්නම්.. කවදාවත් එකම වෙලාවට ගෙදර යන්න එපා. 5ට ඕෆ් වෙලා 6 වෙද්දි ගෙදර නම්.. ටිකක් ඉඳලා ගෙදර පලයල්ලා.

ඉතිං බං ට්‍රාන්ස්පෝට් එකේ ගියාම හැමදාම එකම වෙලාවට ගෙදර නේ???

ඔව්.. මම කෝච්චියෙ ගියත් එකම වෙලාවට ගෙදර.. ඒත් මම දොරට තට්ටු කරන්න කලින්.. එළියේ පුටුවක පොඩි ඇලට් එකක් දාගෙන ඉදලා ටිකකින් තට්ටුව දාන්නෙ.. එතකොට ෂේප්..

ඉතිං බොට ලැබෙන ප්‍රතිලාභේ??

ඇයි යකෝ හැමදාම 6ට ගෙට රිංගුවම පවුල අපිව හැමදාම 6ට බලාපොරොත්තු වෙනවා.. ඒ නිසා තමා අර විදිහට කරන්නෙ...

ක්‍රියාකලාපය එසේ වුවද අපේ මිත්‍රයා රැකියාව ආදරේ කළ අයෙක්ය. ගෙදරින් නිදහස් වන්නට අනුගමනය කළ ක්‍රම උපායන් හැරුණු විට බුවා රැකියාවට ආදරේ කළේය. අලුත් දවසක, අලුත් මාසයක, ඔබ නැවතත් සිතන්න. ඔෆීස් එකට, ලොක්කන්ට, ගරු නොකළත් තමන් කරන කාර්යයට උපරිමයෙන් ගරු කරන්න. නිවැරදිව ආදරයෙන් කරන්න.

Written_by_sAm_ශ්‍රී_Perera_7:08am_01/07/14

Saturday, June 21, 2014

සාධූ ද ? සා‘ඩෝ‘ ද? - Its all about losing the RESPECT !!


ධර්මය යම් දිනයකදී අස්ථාන ගත වන්නේය. ධර්මය විකෘති වීම් මගීන්, තම තමන්ට සැප සුඛ විවරණය සඳහා ධර්මය විකෘති කර ගැනීම මඟීන් දිනෙක ධර්මය අස්ථාන ගත වන්නේය. අධර්මය රජ කරන්නේය. එතැන් පටන් මිනිසුන් පෙරුම් පුරන්නේ මතු බුදුවරයෙකු පහළ වෙන තුරුය. පුංචි කාළයේ සිටම හොඳ දේ කියැවෙන තැනදී අපි සාධූ කියා කියන්නට පුරුදු වුණෙමු. සමහරෙක් සිවුර දුටු තැන අන්න සාධූ.. කීවේ සංඝයා වහන්සේටය. ලොකු පන්තිවලට යද්දී කොල්ලෙක්ට කෙල්ලෙක්ට අකරතැබ්බයක් වුණොත් එතැනදී අපේ උන් සාධූ කීවේ ආතල් එකටය. කරදරයක් වුණ එකාට හොඳ වැඩේ කීමටය. තවත් ලොකු පන්ති වලට යද්දී බුද්ධ ධර්මය උගන්වන්නට පන්තියට එන හාමුදුරුවන්ට සාධූ කීවේ නැතිය. මුල් දිනවල සිටම හාමුදුරුවන්ගේ නමත් සමඟම අහවල් හාමුදුරුවෝ යැයි අප ආමන්ත්‍රණය කරන්නට වූවේය. එහෙත් පසුවට වේවැල කෝට්ට රැගෙන පන්තියට එද්දී, ගාථා පාඩම් ගනිද්දී අපිට පහර දෙන්නට වූ තැන් වලදී හාමුදුරුවන්ගේ නමට ආදේශක හෝ වෙනත් නම් වැටෙන්නට වූයේය. එතැන් පටන් ගෞරවය පහළ බැස, විවිධ නම් පට බැඳෙන්නට පටන් ගත්තේ සිවුරේ සිටින මිනිසාගේ ගතිගුණ අපට ගෝචර නොවූ තැනදීය. 
Add caption

බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගිය ඇත්තෝ උපාසකයෝය. බුද්ධ සහ ධම්ම පිළිබඳව සැකයක් නැතිය. සරණ යා හැකිය. තෙවෙනුව සංඝ සරණ යාමේදී වර්ථමානයේ දෙවරක් සිතන්නට වන්නේය. මන්ද සිවුරට ගරු කරන තැනදී සිවුර ඇතුලේ සිට එළියට බසිනා මිනිසා ගෞරවය ලබා ගැනීමේ තැනට වැඩ සිද්ධ නොකිරීම නිසාය. එකී මිනිසා තුල දිවෙන දේශපාලනය, සිවුර ඇතුලේ සිටින මිනිසාගේ සිත ද්වේශයෙන් පුරවන්නේය. එහෙව් තැනකදී “අනේ අපේ හාමුදුරුවනේ...“ කියා බැති සිතින් කට පුරා කතා කරන්නට ගිහියා දෙවරක් සිතන්නේය.

දේශපාලන පක්ෂ නිර්මාණය කරගෙන එළියට බැස්ස බහුතරයක් හිමිවරු දැන් බණක් දහමක් කියාගන්නට වත් නොහැකි තත්වයක සිටින්නෝය. ඔවුනට එදා තිබූ ගෞරවය අද හීන වී ගොස්ය. මාකට් එක හීන වී ගොස්ය. එදා කට පුරා අනේ අපේ හාමුදුරුවනේ කියා සුමිහිරි ධර්ම දේශනා ගෙන ඒමට සමත් වූ එකී බහුතරය අද නිහඬය. ඉදහිට බණක් දහමක් දේශනා කළද ඉස්සර ගතිය නැත්තේය. ගතිය කීවේ සුමිහිරි ධර්මයක් ශ්‍රවණය කිරීමෙන් සිතේ ඇතිවන සුවය ශාන්තියට මිස ද්වේශයෙන් ස්ටේජ් එකක් තම කෑගසමින් සිටිනු දැකීමෙන් සිතට ලැබෙන අවේගකාරී කික් එක නොවේය. අපි සාධූ කීවේ නිරාමිස සුවයකට මිස, අවේගකාරී කික් එකකට නොවේය. හම්බ හැත්තට (හම්බ හැත්ත යනු මුස්ලිම් ජනතාව නොව අන්තවාදී මුස්ලිම් අයය.) ධර්මය දෙසන්නට පෙර, අපේ හැත්තට (අපේ හැත්ත යනු සිංහල බෞද්ධ ජනතාව නොව අන්තවාදී සිංහල බෞද්ධයෝය. චීවරධාරියෝද ඇතුලුය.) ධර්මය දෙසිය යුතුය.

පුංචි කාලයේ සිට අප සාධු කීවේ තුන් වරක්ය. විටෙක ඇදලා හතරවෙනි වතාවටත් සාදු කියා ඇත්තෙමු.

කායේන සංවරෝ සාධු
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු
සාධු සබ්බත්ත සංවරෝ

පළමු සාධුකාරය කයින් සංවර වීම සුහද ගුණයක්, සාධු ගුණයක්. 
දෙවන සාධුකාරය වචනයෙන් සංවර වීම තවත් සුචරිත ගුණයක්, සාධු ගුණයක්. 
තෙවන සාධුකාරය මනසින් සංවර වීම තවත් සුචරිත ගුණයක්, සාධු ගුණයක්.
හතර වෙනියට ඇදල දුන්නු සාධුකාරය. සියලු ආකාරයෙන්ම සංවර වීම සාධු ගුණයක්.

මා මෙතෙක් ගරු කළේ සාධු ගුණයට මිස අවේගකාරී සාඩෝ ගුණයන්ට නොවේය. එදා හාමුදරුවරු සාධු ගුණයට හිස නමා සාඩෝ නොකියා පෙරලියක් කළේ රට රැක ගන්නට මිස බඩ රැක ගන්නට නොවේය. අද කිසිවෙක් අන්තවාදීන්ට එරෙහිව කටයුතු කරන්නේ නම් එතැනදී සාධූ ගුණය මැකෙන තැනට පත් නොවිය යුතුය. 

ඉස්සර හිටියේ රතන හාමුදුරුවෝය, ධම්මාලෝක හාමුදරුවෝය, අවසන වටරැක හාමුදුරුවෝය, එහෙත් අද සිටින්නේ රතන, ධම්මේ සහ වටරැක ලාය. ඒ අතර ඥාණසාර හාමුදුරුවෝ වෙනුවට සිටින්නේද ඥාණසාරලාය. පාසල් සමයේ බුද්ධ ධර්මය සටහන් ලියන විට සෑමා “බුදුරජානන්වහන්සේ“ කියා ලියැවෙන තැනට “බුදුන්“ හෝ “බුදුහිමි“ කියා සටහන් පොතේ ලීවේ අකුරි ලිවීමට ඇති කම්මැලිකම නිසා සහ වේලාව ඉතුරු කර ගැනීම මිස අගෞරවයට පත්කිරීමට නොවේය. එහෙත් අද පත්තර පිටු වල ලියැවෙන්නේද  හාමුදුරුවන් කියන කොට නැතිවය. ඥාණසාර හිමි වෙනවුවට, ඥාණසාර කියාය. බහුතරයක් හාමුදුරුවෝ යැයි නොකියවෙන තත්වයට වැටී ඇත්තේය. ඊට හේතුව සිවුර ඇතුලේ සිටින පුද්ගලයාගේ නොදැමුණු, අශාන්ත බවය. අහිමි වූ සාධූ ගුණය නැවත ලබා ගන්නට මුලින්ම කටයුතු කරන්නේ නම් මහ සටනට හයියක් වෙනවා ෂුවර්ය. මන්ද චන්ඩාශෝක ධර්මාශෝක වූයේ කෑගසනා, දඟලනා හිමි නමක් දැක නොව, ශාන්තව ගමන් කරනා සංවර හිමි නමක් දැකීමෙන්ය.

පලි - ලිපියට මුල් වූ නිමිත්ත, මාරයා බුකියේ දැමූ ස්ටේටස් එකක්...

“ඥානසාර කියන්නේ බුදු හාමුදුරුවෝ නෙවෙයිනේ.. නබි කියන්නෙ අල්ලත් නෙවෙයි... මෝසස් කියන්නේ දෙවියනුත් නෙවෙයි... දෙවැනියෝ හැමෝම තම තමන්ගේ දේශපාලන වැඩට පලවෙනියාව පාවිච්චි කරපු අය.. ඒ හින්දා දෙවැනියෝ ඉද්දි කට්ටියම පලවෙනියා අදහගෙන දෙවැනියෝ කියපු කරපුවා අමතක කලානං කිසි අවුලක් නැහැනේ...“

Written_by_sAm_ශ්‍රී_Perera_7:03am_21/06/14

Thursday, June 19, 2014

අක්කා ගල විකුණද්දී, නංගී ගල රකී.. - While Elder is Selling, Younger is Protecting !!


සීගිරය ගලක්ය. එය විකුණන්නට යන්නේ යැයි කතන්දර ගොඩක් කියැවුණු යුගයක් තිබුණේය. එහෙත් ගල වික්කා නම් උස්සාගෙන යන්නේ කෝමදැයි සිතා ගත නොහැකිය. ගල් නොදැකපු පංචායුධ කුමාරයා කීවේ තමා සීගිරිය බලන්නට ගොස් නැති බවක්ය. ගලේ ඇති ආතල් එක නොදන්නා නිසා පොර ඒ පැත්තේ යන්නට නැතිය. එසේම ගලේ කොටා ඇති ලලනාවන් ගැනද පංචායුධ කුමාරයා නොදැන සිටියා විය හැකිය. නැතිනම් පොර ඒ පැත්තේ ගොස් ඒ කෙල්ලෙක්ගේ නිරුවත වසන්නට ක්‍රමයක් පාර්ලිමේන්තු ගත කරනවා ෂුවර්ය. ඒ තරමට පොර ඇමරිකානු විරෝධීය. බාගෙට ඇඳගෙන සුද්දෙක් ලංකාවට ආවත් අකැමැතිය. මහා දේශ ප්‍රේමීය.

කතාව වෙන පැත්තකට හැරෙන ලකුණු පහළ වෙන නිසා නැවත අලුත් ජේදයකින් කතාව ආරම්භ වන්නේය. පංචායුධ කුමාරයාගේ ගල ගැන කතා කොට වැඩක් නැතිය. ඇමරිකන් ගල් වැඩක්ම නැතිය. අපට වටින්නේ දේශීය දේය. ඒ නිසා දේශීය ගල් නිෂ්පාදනය ඉහල යවා හෝ දේශීය හස්ත කර්මාන්තය ගොඩ දැමිය යුතුය. එම සේවයේ නියතුව සිටින්නා වූ මෑත භාගයේ ප්‍රරසිද්ධ වූ කැළණිය, ස්ටේෂන් එක පැත්තේ, පේලි නිවසක හැදී වැඩුණු නිලියක් සිටින්නීය. හස්ත කර්මාන්තය ගොඩ දැමීමේ අරමුණින් ක්ෂේත්‍රයට පිවිස, දකුණේ ජනතා බලවේගයක් සාදා ගැනීමට අවමංගලටද ප්ලග් වී ඇය පරාජය වූවාය. ඒවා අපිට අදාල නැති කතන්දරය. සරලව කිව හැක්කේ අඳින ඇඳුමින්, හැසිරෙනා විදිහෙන් පවා ඇද ගලේ අවමයකට යටත්ව, එතැන සිට උපරිමය දක්වා විකුණනවා, ණයට දෙනවා, කුලියට දෙනවා, බද්දට දෙනවා යැයි සැක නැතිය.

අක්කාගේ ගල අප දැක්කේ පාසල් සමයේදීය. ඉහල මාලයේ පන්තිකාමරයේ සිට පහල ඇවිදින ඇයට වතුර ගසන්නට,කෙළ ගසන්නට තරම් අප්පිරියාවක්, පිළිකුලක් සමහරුන්ට ඇති වූයේ ඇගේ නොතිබූ නරහංකාර, අව්‍යාජ ගති නිසාය. දකින හැම එකාගේ ඇඟේ එල්ලීමේ ගතිය එදා සිට ඇය සතු වූ නිසාය. අක්කා එසේ වූ පමණින් නංගී එසේ යැයි කිව නොහැකිය. එසේ කියනවා නම් මහා අපරාධයක්ය. එහෙත් අක්කා සේම නංගීද ගල ප්‍රදර්ශනය කිරීමට “ෂෝ කේස්“ එකක දමා තිබියදී, ඒ දෙස බැලීම වරදක් සේ යමෙකු කියන්නේ නම් ඒ තරම් මෝඩ වැඩක් ලොවෙත් නැතිය.

අප ගරාජ් එකට යන්නේ සුපුරුදු මාර්ගයේය. ඒ මාර්ගය අතරමඟ ගරාජ් එකේ අයියාගේ නිවස ඉදිරිපිට ඇත්තේ උක්ත නිලියගේ එක් නිවසක්ය. මහා පවුරු බැඳ තිබුණත් ඉඩම මැද ඇත්තේ කුඩා දෙමහල් නිවසක්ය. එදා එතැනින් යන විට අහවල් නිලියගේ නිවසේ ගේට්ටුව විවර කරගෙන පෑන්ටියකට ජුන්ඩක් නොඅඩු ෂෝටක් ගසාගෙන නිලියේ ස්වරූපයම ඇති ලලනාවක් වූවාය. අහවල් එක තිබෙන්නාවූ ඕනෑම කොල්ලෙකු ඒ දෙස බලනවා නිසැකය. ඇයද අප දෙස බලා ඇස් ඉවතට නොගත්තා සේම, අපද ඇගේ පාදාන්තයෙන් ආරම්භ කොට මුහුණ දක්වා ඉහලට එන්නට ගිය ගමන අතරමඟ නැවතී කකුල් කරු අස්සේ නැවතුනේය. ගරාජ් එකට ගියේ ඔයිල් මාරු කරන්නට නොවන නිසා එතැනදී සිතට ගෙන පසුව අතට ගන්නට පතා අප සෙමින් ඇඳුනේ ගැරේජ් එක පැත්තටය.

ගරාජ් එක අසල පාර්ක් කරනවාත් සමඟම අපේ වාහනය හා සමගාමීව පැමිණ නැවැත්වුවේ ජීප් වර්ගයේ වාහනයක්ය. අපට ෂටර් එක පහත් කරන්නට විධානය දුන් නිසා එය ගණනකට නොගෙන සෙමෙන් වාහනයෙන් බැස ගරාජ් එක පැත්තට හැරෙද්දී ජීප් රිය පදවාගෙන ආ පුද්ගලයා අපට කතා කළේය.

“ඔයාලද අපේ ගේ පැත්තේ ඉදන් ආවෙ?“

“ඔව් අපි..“

“මගෙ වයිෆ්ගෙ ෆොටෝ එකක් ගත්තද?“

“ෆොටෝ ගන්න?? “

“ඔව්.. එතැන නවත්තන් හිටියේ??“

“ගරාජ් එකේ *** අයියා ගෙදර ඉන්නවද බැලුවේ... ෆොටෝ ගත්ත කියනව නම් ෆෝන් එක අරන් බලන්න..“

“*** අයියගෙ හිතවත්තුද??“

“ඔව්.. අපි මෙහෙන් තමා වාහන හදවන්නෙ...“

“හරි... හරි..“

එක්කෝ පවුල පොරට ගුලියක් කවා ඇත්තේය. බලා සිටි නිසා අප ෆොටෝ ගත්තා යැයි කිව්වා විය යුතුය. නැතිනම් ඇයට වැරදීමක් වී ඇත්තේය. ඒ සියල්ල පසෙක තබා “ගල ෂෝ“ කේස් එකට දැම්මා නම් එය බැලුවා යැයි එක එකාට කතන්දර කීම විලි ලැජ්ජා නැති දෙයක්ය. 

මොහොතකින් ගරාජ් එකේ *** අයියා ආවේය. සීන් එක පොරට කිව්වාට පසු පොර මහ හඩින් සිනාසුනේය. 

“පිස්සුද බං මල්ලි.. මම හැමදාම අපේ ගෙදර බැල්කිනි එකේ ඉදන් බලන් ඉන්න එකනේ.. ඌට පිස්සු.. හිටපං මම කෝල් එකක් ගහන්න.. “

“එපා.. එපා.. අපි ඔයාට කිව්වාම අපි බය වෙලා කියල හිතයි.. “

“නැහැ බං.. එක්කෝ ඌට කියන්න ඕනෙ බලන්න එපා නම් හරිහමං ඇඳුමක් අන්දපං කියලා..“

අවවාදය -

කොල්ලන්ට - ෂෝකේස්  එකට යමක් දමන්නේ බලන්න මිසක නොදැක්කා සේ යන්නට නොවේ. ෂෝ කේස් එකට දැමූ සියල්ල විකුණන්නේද නැතිය. විටක එය තබන්නේ පාරේ යන අයට පේන්නට මිසක, විකුණන්නට නොවේ. විකුණනවාදැයි මුදලාලිගෙන් අසා දැන ගෙන පමණක් අතාගා බලන්න.

කෙල්ලන්ට - ඔබ යමක් ෂෝකේස් එකට දමන්නට කලින් දෙවරක් සිතන්න. ෂෝ කේස් එකට දමා පසුව එය දෙස බලන අයට ඔරවන්නට සූදානම් නොවන්න. 

Written_by_sAm_ශ්‍රී_perera_7:10am_19/06/14

Tuesday, June 17, 2014

මාකට් කිරීම... - Targeting the Market !!


සරලව සියල්ල මාකට් වී හමාරය. ජාතිය, ආගම සිට සියල්ල මාකට් එකේය. එකෙක් ගොඩ යන්නට අනෙකා තලා පෙලා දමන්නට තමන්ගේ දේ මාකට් කිරීම ආරම්භ වී ඇත්තේය. ඒ කාලයේ මාකට් කිරිල්ල නොතිබුණා යැයි නොකියමි. නමුත් අද තරම් තරඟයක් නොතිබ්බේය. විටක මිහිඳු හිමි ලංකාවට බුද්ධ ධර්මය ගෙනැවිත් මාකට් කළා යැයි කියන්නාවූ සමාජයක් මැද, එයින් පසු සිදුවූ දෑ සියල්ල මාකට් හෙවත් කාගේ හරි ඇඟේ ගැසීමක් සිදු වූවා යැයි නොකියන්නේ කවුද?

විටක සෑමා බුදු දහම මාකට් කළේ යැයි කියන්නට පිරිස් ඉදිරිපත් වුවොත් එයට පුදුම විය යුතු නැත්තේය. වෙසක් සතියකට වෙසක් කළාපයක් ඉදිරිපත් කිරීම, පොසෙන් සතියට පොසොන් කලාපයක් ඉදිරිපත් කිරීමේ, ආරම්භය හදුන්වාදුන් සෑමා බුදු දහම මාකට් කොට බ්ලොග් එක ගොඩ දා ගත්තේ යැයි කියන්නට කිසියම් හෝ තැනක මුඛයක් විවර විය හැකිය. බුදුන් දවස බුද්ධ රශ්මිය වැදී ලෝකයම බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳවන සඳ දේවදත්තයන් නැගී සිටියේ බුදුන්ට එදිරිවය. එහෙව් කළෙක එසේ වූවා නම් මෙදවස සෑමාගේ වෙසක් කළාපයට එදිරිව හඬක් නොනැඟුනේ නම් පුදුම සහගතය. එහෙත් හිට්ස් ප්‍රස්ථාරය දෙස බලාගෙන වෙසක් කළාපයක් ලිව්වා නම් ඒ සතිය අවම හිට්ස් ලැබූ සතිය, හෝ මාසය වන්නේය. ඒ තරමට අපේ උන් ධර්මයට, ධර්මය ගැන අසා දැන ගැනීමට අකැමැතිය.

ඉතින් ලිවිය යුත්තේ කුමක්ද? හොඳන්ම මාකට් කළ හැක්කේ කුමක්ද? සරලය. ප්‍රභා ජීවත්ව සිටි කළ තම සහචරයන්ට කොටා පොවා, බෙල්ලේ සයනයිඩ් කරල බැන්ඳේ ජාති වාදී වියරුවය. තමාගේ නොවන අනෙක් ජාතියේ උන් දුටු තැන මරා දැමිය යුතුය. උන් අපට එරෙහිය. එකම ලේ නොවන්නේය. තම ජාතියට එරෙහිව නැගී සිටින්නෝය. එසේ නම් උන් දුටු තැන මරා දැමිය යුතුය. නැතිනම් මරාගෙන මැරිය යුතුය. එවිට ඔබ ජාතියේ ගලවා ගැනීමේ නායකයෙක් වන්නේය. ජාතියට, ආගමට ණය නැති පුතෙක් වන්නේය. ඕනෑම ජාතියක, ආගම එකෙක්ට වස පෙවිය හැකි හොඳම වෙලඳපොල ජාතිවාදයයි. ආගම් වාදයයි. කෑමක්, බීමක්, බෙහෙතක් වේවා අද මාකට් කරන්නේ “ගන්න අපේ දේ..“ කියාය. එතැන සැඟව ඇත්තේ මාකට් එකේ හොඳම සාරයයි. හොඳටම මාකට් කළ හැකි තැනයි. එතැන් පටන් ඇරඹෙන්නේ අනෙකා මලත් තම ජාතිය, ආගම ගොඩ දමා ගත යුතු යැයි කියවෙන සංකල්පයයි.

දෙපැත්තට බෙදී මරා ගන්නට ආගමක්, ධර්මයක්, ජාතියක් මාකට් කළා නම් ලැබෙන්නේ කුමක්ද? වසර විස්සක් පුරා බැට කෑ ජාතියක්, විලි ලැජ්ජා නැතුව බලා පොරොත්තු වන්නේ ලංකාව දෙකට බෙදා ගන්නටද? නැතිනම් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමටද? නැතිනම් ඒ ගැන කතා කරනා උන්ට ලේබල් ගැසීමටද? මුහුණ දෙන්නේ පිළිතුරක් නැති ප්‍රශ්න ජාලාවකටය. අපට අපේ කම, අපේ ජාතිය, ආගම ගැන ඇති කැක්කුම, උන්ටත් ඒ වගේම නැතැයි කිව හැකිද? තීරණයක් නොමැත. කතා කිරීමෙන් සිද්ධ වන්නේද ලේබල් වලට යටත් වීමක්ය.

වෙසක් සතියේ දිනක, ලංකාදීප පුවත්පතේ මැද පිටුවේ අපූරු වෙළඳ දැන්වීමක් තිබුණේය. මැද පිටු දෙකම එකතු කොට තිබුනේ නිකන්ම හිස් පිටු දෙකක්ය. තනිකරම සුදු කිසිම අකුරක් නොලියවුණු පිටුවේ යටින් ඉතා කුඩාවට තිබුවේ පේලි හතරක කවියක්ය. එය දුටු වහාම ෆොටෝ එකක් ගන්නට සෑමා පෙළබුනේ මාකට් කිරීමේ කලාව ගැන ලිපියක් ලියන්නටය. එහෙත් එදා ඒ ලිපිය ලිව්වාට වඩා මේ දවස්වල මාකට් කිරිල්ල ගැන ලිවීම උචිත යැයි සිතුනේ ලිපිය ලියන්නට පටන් ගත්තාට පසුය. මන්ද මේ දිනවල කට්ටිය මාකට් එකේ බැහැලා වැඩ නිසාය. කඩෙන් කෑම කා අත පිසදාන්නට දෙන පත්තර පිටුවේ සාපය අප සියල්ලෝම දන්නෝය. අත් දෙකේ තෙත් වතුර පිසදමා, ඒ පත්තර කඩදහියෙන්ම මුහුණ පිසදා ගතහොත් වන්නේ කළු කාබන් කට පුරා, මුහුණ පුරා, ගා ගන්නට වන්නේය. ඒ නිසාම දැන් බොහෝමයක් කඩවල් වල අත පිසින්නට ටිෂූ දිය නොහැකි තැන තබා ඇත්තේ කාබන් අකුරු නොමැති, තනි පාට කඩදාසි කොළය. එම ක්‍රමය වඩාත් සාර්ථක වන්නේය. 

මේ වගේම තවත් ලෙඩක් වැටෙන්නේ සිල් ගන්නා උදවියටය. සිල්ගත්ත එකෙක් හැටියට සෑමාද මේ සාපයට ගොදුරු වී ඇත්තේය. මන්ද කඩදහි කොළ දමා සුදු ඇඳුම හැඳගෙන ඉදගත් විට ගෙදර ගොස් කාබන් යවන්නට වන්නේය. පත්තර පිටුව එහෙම්මම සරමේ ප්‍රින්ට් වන්නේය. සිල් රෙද්දේ කාබන් වැදීම නැති කිරීමේ සත් අරමුණින් රක්ෂණ සමාගමක් විසින් වෙසක් දින, ලංකාදීප පුවත් පතේ මැද පිටුව හිස් පිටුවක් කර තිබුණේ කවි පදයක් සමඟමය.

දැක ඇති නම් අය පුද බිම පින් කරන - පාට තැවරෙනා පත්තර මත හිඳින
ඒ වෙනුවෙන් හිස් කළ මේ පත්තර අසුන - දන් දී පෝ දිනේ බෝ පින් ලැබ ගන්න


වෙසක් දා ඇඩ් එකට පසු පොසොන් දවසේද තවත් ඇඩ් එකක් සෑමාගේ ඇස ගැටුනේය. එහි තිබුණේ හිරු රශ්මියට සෙවනක් වූ බුදු පිළිමයක්ය. ඒ සෙවනේ සිල් ගන්නා උපාසිකාවෝ දෙදෙනෙක් සිටියෝය. ඉන් කියවුනේ තම ආයතනයේ නිශ්පාදන මගින් ලබා දෙන සෙවන සහ සිසිලස ගැනය. එය කුඩ ඇඩ් එකක්ය.


උක්ත ඇඩ් දෙකේ වරදක් මා දකින්නේ නැත. සියල්ල මාකට් වෙන කාලයේ ජාතිය, ආගම, මාකට් නොකර සිටින්නේ නම් පුදුමයක්ය. මීට සරලව කිව හැක්කේ...

'අහේතු කාලෙන කජ්ජේන පුහුලං' කියා පමණක්ය.


Written_by_sAm_ශ්‍රී_Perera_7:35am_17/06/14
Related Posts Plugin for WordPress, Blogger...