Saturday, February 7, 2015

මධුසමයට පසුදා... - Day After Honymoon


දවස් දාහතරක ලස්සන හනිමූන් එක ඉවර වෙලා අපි දෙන්න ආපහු එන්න පිටත් වුණා.

“අනේ හරී ලස්සන පලාතක් සිතූ.. ආසාවේ බෑ.. ම්හ්.. තෑන්ක්ස්.. මම ඇත්තටම හිතුවෙ නැහැ අපි දෙන්නගෙ හනිමූන් එක මෙච්චර ලස්සන එකක් වෙයි කියලා..“ එයා එහෙම කිව්වා.

“ඔව් කුසූ.. මාත් හිතුවෙ නැහැ..“ එහෙම කියද්දි මට මතක් වුනේ අපේ සීයා කියපු කතාව. ඒ කාලෙ නම් එහෙම නෑලු. කසාද බැන්ද එදාම රෑට පවුලව ගෙදරට දක්කන් එනවලු. මොනාද මේ කැලෑ ගානෙයි, කදු ගානෙයි කල් මරන්නෙ කියල සීයා දවසක් ඇහුවා.



“මේ දැන් අපි මෙතැන ඉදන් කෙලින්ම යන්නෙ අපේ අලුත් ගෙදරට නේද සිතූ..“

“ඔව් කුසූ.. කෙලින්ම යන්නෙ අපේ ගෙදරට.. “

“මේ එතකොට ඔයා කිව්වා නේද ඒක තට්ටු සීයක බිල්ඩින් එකක් කියලා..“

“ඔව්, කුසූ.. ඒක ඒ පලාතෙ තියෙන උසම බිල්ඩින් එක.. හන්ඩ්‍රන්ඩ් ප්ලාසා කියල තමා කියන්නෙ. වෙන එකක් තියා අපේ කාමරේ බැල්කනියට ගියාම සමනල කන්දත් පේනවා. “

“ශා.. ඇත්තද සිතූ..“

“ඔව් කුසූ... මං හැමදාම උදේට එතැන ඉදන් බලනවා... “

“හානේ.. මට නම් අපේ ගෙදරට යන කල් ඉවසිල්ලක් නැහැ සිතූ..“

“ඒත් උදේ හවස තට්ටු හැත්තැ පහක් නගින්න බහින්න තියෙනවා..“

කමක් නැහැ සිතූ අපි නගිමු, අපි බහිමු මොකද ඉතිං අපි දෙන්නම නේ..

නගිමු බහිමු කතාවෙන් මගේ හිත ගැස්සුනා. අපේ එවුන් ඒ කාලෙම කිව්වේ මේකි වන්දනා නඩ එක්ක හොඳට නැගපු බැහැපු කෑල්ලක් වෙන්න ඇති කියලමයි. ඒත් මම ඒ සැකය මොහොතකට හංගා ගත්තා.

“නැ කෙල්ලෙ මම ඔයාට බොරු කිව්වේ. ඒ බිල්ඩින් එකේ ලිෆ්ට් එකක් තියෙනවා. ඒ ලිෆ්ට් එකේ බටන් එක ඔබලා මේ බලලා මේ බලද්දි අපි හැත්ත පස්වෙනි තට්ටුවේ... “

“හොර කොල්ලා.. මාව බොරුවට බය කළා.. මෝඩයා..“

 කතාවෙන් කතාව අපි ගේ ලගටම ආවා.

“බහින්න කුසූ...“

“හානේ.. මේ බිල්ඩින් එකේ උසඅඅඅ...“

“අඅ.බ්.. හරි යමු..“ මම බෑග් ටිකත් අරන් ඉස්සර වුණා.

*******

“ෂික්... අදම ලිෆ්ට් එක කැඩිලා.. සොරි කුසූ අපි මොකද කරන්නෙ??“

“මොනා කරන්නද සිතූ කෝමෙන් හරි නගිමු..“

“හරි.. මම විසිපස්  වෙනි තට්ටුවට වෙනකල් ඔයාගෙ පාලු මැකෙන්න සිංදු කිය කියා නගිනවා..“

“ෂාහ්.. නියමයි නේ..“

“හැබැයි ඊට පස්සේ විසිපස්වෙනි තට්ටුවෙ ඉදන් පනස් වෙනි තට්ටුවට වෙනකල් ඔයා සිංදු කියන්න ඕනේ..“

“අනේ.. මට ඔයාට වගේ සිංදු කියන්න බැහැනෙ සිතූ..“

“හරි.. සිංදු බැරි නම් මොනා හරි කියන්න ඕනෙ...“

“ආ.. මං කතන්දර කියන්නම්..“

“හහ්.. ඒක හොදයි..“

“එතකොට පනස් වෙනි තට්ටුවෙ ඉදන් හැත්තැපස්වෙනි තට්ටුවට යනකල්.. “

“ආා.. එතැන ඉදන් මම ආයෙත් සිංදු කියනවා..“

“ෂාහ්.. නියමයි නේ.. එහෙනම් මේ ලිෆ්ට් එක කැඩිච්ච එකමයි හොඳ.. යං...“


කුසූව ඉස්සරකර ගත්ත මම සිංදුවක් කියාගෙනම පඩිපෙල නගින්න ගත්තා.

“බැරි බර කරේ තියන්... දෙපයට වාරු අරන්.. අපෙ බඩ කට පුරවනවා...“

“ෂාහ්.. නියමයි නේ සිතූ...“

“ආන්... ඔන්න හරි.. අපි විසිපස්වෙනි තට්ටුවටම ආවා... දැන් ඔයාගෙ වාරේ..“

 “අනේ සිතූ.. මට ලැජ්ජයි... මම කියන්නම්.... ම්..... පනස් වෙනි තට්ටුවෙ ඉදන් හැත්තැ පහට මම කියන්නම්...ම්.... පනහ වෙනකලුත් ඔයාම සිංදු කියන්න කෝ..“

“හහ්හා.. හහ්හා.. හහ්හා.. (හති යවමින්) හරි මෙතැන ඉදන් පනහට මම ම සිංදු කියන්නම් හැබැයි ඉතිං පනහේ ඉදන් හැත්තෑ පහට ඔයා සිංදු කියන්න ඕනේ..“

“හහ්හා.. හහ්හා.. හහ්හා.. (හති යවමින්) හා.. හරි හරි...“

මං ආයෙත් සිංදුවක් කියාගෙන පඩි නගින්න පටන් ගත්තා...

“ඔබ හා මෙමා.. අතිනත් අරන්.. අපගේ ලොවේ.. තනි වූ එදා..“

“ආහ්.. හරි.. ඔන්න පනස් වෙනි තට්ටුවටත් ආවා.. හහ්.. හහ්.. දැන් ඔන්න ඔයාගෙ වාරේ..“

“ඒ කියන්නෙ දැන් මං කතන්දර කියන්න ඕනෙ නේද සිතූ..“

“ඔව්, ඔව්, ඔව්.. දැන් නම් කියන්නම ඕනේ...“

“අනේ සිතු.. වෙරි සොරි...“

“ඇයි... ? ඇයි කුසූ...“

“මම කතන්දර නම් ඕනෙ තරම් කියන්නම්.. ඒත්...“

“ඇයි කුසූ ඒත් කියන්නේ?????“

“මට ඉස්සෙල්ලාම ඔයාට කියන්න තියෙන්නේ... ගොඩාක් දුක හිතෙන කතාවක් සිතූ..“

“ඒ.. ඒ.. මොකක්ද කුසූ ඒ...??“

“මේකයි ඒ දුක හිතෙන කතාව සිතූ..“

“මොකක්ද කුසූ..“

“ඔ.. ඔයා.. ඔයාා මට දීපු අපේ ගෙදර දොරේ යතුර...“

“ඔව් කුසූ...“

“මං ඒක... ක.. කාර්.. කාර් එකේ අමතක කරලා ඇවිල්ලනේ සිතූ...“

Wednesday, February 4, 2015

අපේ නොවන - සුද්දාගේ එක.. !!




මිදී බේරී රිද්දා

 කොඩිය ඉහලට ඇද්දා

ඈත් වී ගොස් හෙලයා

නිදහස විදියි සුද්දා

sAm_ශ්‍රී_perera_04/02/2015

Tuesday, January 6, 2015

මෙත් මඟින් ලොව දිනමු.. !! - The Way to Win the World !!




නහී වේරේන වේරාණී ගාථාවෙන් කියවෙන්නේ සියළු වෛරී සිතුවිලි අත්හැර සිත මෛත්‍රි යෙහි පිරවීමෙන් ඕනෑම වෛරී සතෙකු, සතුරෙකු මර්ධනය කළ හැකි බවක්ය. එම බුද්ධ වාක්‍යය අප රටට කෙතෙකුත් ගැලපුනේද යත්, එය අප සහ ජපානය අතර මිත්‍රත්වය දැඩි කරන හේතුවක් වූයේය. එනම් ජේ.ආර් ජයවර්ධන මහතාගේ පාලන කාලයේය. ජපානය යුධ ක්‍රියාදාමයන් අතැර සාමකාමී පිළිවෙතකට විත් සදාතනිකව යුද්ධයක් ගැන නොසිතන මට්ටමකට ආවේ උක්ත වාක්‍යය ජේ.අර් විසින් ජපාන පාලකයන් හට කියාදීමෙන්ය. ජේ.ආර් ගේ එම වදනත් සමඟ ජපානයේ සිත් පැහැදී ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සම්බන්ධයන් දැඩි වූ බව නොරහසක්ය. එහිම ප්‍රථිඑළයක් ලෙස ශ්‍රී ලංකාවට ජයවර්ධනපුර රෝහලද දායාද වූයේය. එකළ එම රෝහළට ගිලන් ඇඳන් 999ක් (නිවැරදිව ගණන මතක නැත. නැවැරදි කරන්න.) ජපානය විසින් දයාද කරන්නට යද්දී ජේ.ආර් විසින් 999ක් මොකටද තව එකක් වැඩිපුර දමන්න යැයි කියා ඇත්තේය. ඒ ඇයි ලෙස ජපානය විමසූ විට ජේ.ආර්කියා ඇත්තේ එම ඇඳ ඔහුට මරණාසන්න වූ කළෙක භාවිත කළ හැකි බවක්ය. ඒ වෛරී නෙවන තැන, මෛත්‍රිය වඩන තැන ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටකට, බුද්ධ දේශණාවෙන් ලැබුණ ප්‍රායෝගික පිළිගැනීමක්ය.

මෛත්‍රි භාවනාව වැඩිය යුත්තේ සියළු සත්වයින් සුවපත් වේවා යැයි කියා සිතන ඇත්තෝද වන්නේය. එහෙත් නිවැරදි මෛත්‍රි භාවනාව වැඩිය යුත්තේ පිළිවෙලින් සියළුම සත්වයන් සිහි කරමින්ය. එය එකින් එක පිළිවෙලට ගලාගෙන යන මට්ටමක පවතින්නේ නම් වඩා වැඩි කාලයක් භාවනාවේ යෙදීමටත්, වෛරයන් දුරු කොට සිත සැහැල්ලු කරගැනීමටත් හේතු වන්නේය. 

එය හුදෙක් සියළු ලෝ වාසින්ට උතුරු දිශාවේ, දකුණ දිශාවේ, නැගෙනහිර සහ බටහිර ඇතුලු සියළු අනු දිශා දක්වාම විහිදෙන්නාවූ මෛත්‍රියක්ය. නොඑසේනම් දකුණ පමණක්, තමන්ගේ අයට පමණක් වෙන් වූ එකක් නොවේය. සියළු සත්වයෝ ජීවත් විය යුතුය. සියළු සත්වයෝ හිත් පිත් ඇත්තෝය. එක හා සමාන අයිතිවාසිකම් ඇත්තෝය. එනිසාම උතුරු, නැගෙනහිර ඇතුලත්ව දකුණු බටහිර යන සියළු දිශා අනුදිශා සහිතව අප මෛත්‍රී වැඩිය යුතුය. එලෙස මෛත්‍රී වඩන්නාවූ ඇත්තන්ට සත්කාර කළ යුතුය. එවිට අපට හටද සත්කාර ලැබෙන්නේය.

ඉතින් පසෙක වාඩිවී සැහැල්ලුවෙන් පිළිවෙලට පහත වාක්‍යයන් කියවා සියළු සතුනට මෛත්‍රී වඩන්න.
ඔබ සැමට මෛත්‍රී වේවා. වෛරී සත්වයින් මෛත්‍රිෙයන්ම සැනසේවා..

මෙත්තා භාවනා – මෛත්‍රී භාවනාව..

අහං අවේරෝ හෝමි – මම වෛර නැත්තෙක් වෙම්වා..
අබ්‍යාපජ්ඣෝ හෝමි – තරහ නැත්තෙක් වෙම්වා..
අනීඝෝ හෝමි – දුක් පීඩා නැත්තෙක් වෙම්වා..
සුඛී අත්තානං පරිහරාමි – සුවසේ ජීවත් වෙම්වා..

අහං විය මය්හං – මා මෙන් ම මාගේ,

ආචරිඋපජ්ඣායා – ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ද,
මාතා පිතරෝ – මව් පියවරු ද,
හිත සත්තා – හිතවත් සත්වයෝ ද,
මජ්ඣත්තික සත්තා – මැදහත් සත්වයෝ ද,
වේරීසත්තා – වෛරී සත්වයෝ ද,

අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,
අබ්‍යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා..
අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..
සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..
දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..
යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

ඉමස්මිං විහාරේ – මේ විහාරයේ සිටින,
ඉමස්මිං ගෝචර ගාමේ – මේ ගොදුරු ගමෙහි සිටින,
ඉමස්මිං නගරේ – මේ නගරයේ සිටින,
ඉමස්මිං ලංකාදීපේ – මේ ලංකාදීපයේ සිටින,
ඉමස්මිං ජම්බුදීපේ – මේ දඹදිව් තලයේ සිටින,
ඉමස්මිං චක්කවාළේ – මේ සක්වලෙහි සිටින,

ඉස්සර ජනා – අධිපති ජනයෝ,
සීමට්ඨක දේවතා – සීමා වාසී දෙවිවරු,
සබ්බේ සත්තා – සියලු සත්වයෝ,

අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,
අබ්‍යාපජ්ඣා හොන්ත – තරහ නැත්තෝ වෙත්වා..
අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..
සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..
දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..
යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

පුරත්ථිමාය දිසාය – නැගෙනහිර දිශාවේ සිටින,
දක්ඛිණාය දිසාය – දකුණු දිශාවේ සිටින,
පච්ඡිමාය දිසාය – බටහිර දිශාවේ සිටින,
උත්තරාය දිසාය – උතුරු දිශාවේ සිටින,
පුරත්ථිමාය අනුදිසාය – නැගෙනහිර අනුදිශාවේ සිටින,
දක්ඛිණාය අනුදිසාය – දකුණු අනුදිශාවේ සිටින,
පච්ඡිමාය අනුදිසාය – බටහිර අනුදිශාවේ සිටින,
උත්තරාය අනුදිසාය – උතුරු අනුදිශාවේ සිටින,
හෙට්ඨිමාය දිසාය – යට දිසාවේ සිටින,
උපරිමාය දිසාය – උඩ දිසාවේ සිටින,

සබ්බේ සත්තා – සියලු සත්වයෝ,
සබ්බේ පාණා – සියලු ප්‍රාණීන්,
සබ්බේ භූතා – සියලු භූතයෝ,
සබ්බේ පුග්ගලා – සියලු පුද්ගලයෝ,
සබ්බේ අත්තභාවපරියාපණ්ණා – ජීවිතයක් ලබා ගත් සියලු සත්වයෝ,
සබ්බා ඉත්ථියෝ – සියලු ස්ත්‍රීන්,
සබ්බේ පුරිසා – සියලු පුරුෂයෝ,
සබ්බේ අරියා – සියලු ආර්යයෝ,
සබ්බේ අනරියා – සියලු අනාර්යයෝ,
සබ්බේ දේවා – සියලු දෙවියෝ,
සබ්බේ මනුස්සා – සියලු මනුෂ්‍යයෝ,
සබ්බේ අමනුස්සා – සියලු අමනුෂ්‍යයෝ,
සබ්බේ විනිපාතිකා – සියලු අපායවාසී සත්වයෝ,

අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,
අබ්‍යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා..
අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..
සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..
දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..
යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!
සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!
සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!!

Written_by_sAm_ශ්‍රී_Perera_11:12am_06/01/2014

Saturday, December 20, 2014

නාස්තිය පහදා දීම.. - Explaining Watage !!


ඌ දිනපතා ඉරුව
සිගරට් කොටය
රුපියල් වලින්ම
30ක් වෙච්චි



ඈ දිනපතා ගත්ත
ඊ විටමින් පෙත්ත
හිසකේ දැවටිච්චි
රුපියල් 30ක් වෙච්චි


sAm_sRi_Perera

Thursday, October 30, 2014

උන් තැන නොමැත මාගේ පිංබර අම්මා...!!!



http://www.yousaytoo.com/ammaa-sndki/2726504


පෙරදා පිපුණු හිරු මල දුටුවේ නැත මා
කළු වූ වලා අතරින් එළියක් වැටුණා
හිරිපොද වැස්ස නැඟුනා හිරිගඬු පුම්බා
හිරු හැංඟිලා අඳුරින් දවසම පිරුණා


සීතල වතුර කැට එක්කොට සිරුර දොවා
තෙත් වූ නිල ඇඳුම අතගෙන දිගහැරලා
පොල් කටු ඉස්කිරිම තබලා පිරිමැද්දා
තෙත් බව දුරලන්න ඒ රස්නෙට බැරුවා


සිත් නැති වැස්ස පාසල් ගමනට බාධා
රත් කර ඇඳුම් වේලා ගන්නට බැරුවා
තෙත් බව නොවේ නිසි කළ ගත් විට සෝදා
මෙත් සිත් බිඳී අම්මා හට දොස් නැඟුණා


නැඟ බැස කන්ද පාසල් ගමනේ යෙදිලා
එන්නේ සවස හොදටම විඩා වෙලා
අම්මා කළ යුතුය මගෙ වැඩ සොයා බලා
තෙත් වූ ඇඳුම් ඈ මත වරදක් කෙරුවා


නෙසතුටු සිතින් සීතල සුසුමක් සලලා
අම්මා දෙපා නොවැඳම එළියට බැහැලා
දොරටුව අසල සිටි අම්මා දෙස නොබලා
පාසල් යන්න ආවා එළියට බැහැලා


සත්තයි බරයි වෙනදට වැඩියෙන් අඩිය
උස්සා තබන්නට බැරි තරමට වෙහෙස
ඇත්තයි දනිමි වෙහෙසන බැව් ඔබ සසර
මොහොතයි තරහ නිවසට විත් යාළු වෙමි


පාසල් ගොසින් පොත් පත් පෙරලා බැලුවා
යෙහෙලියො අතර නොගැටී නිසලව සිටියා
උණුසුම දැනෙන තැන ඒ උණුසුම වින්දා
තෙත් වූ සීත ඇඳුමෙන් සැඟවී සිටියා


චිරි චිරි වැස්ස දවසම නිවනක් නැත්තේ
පොත පත වැඩට සිතුවිලි බාධා මත්තේ
අබලන් ගෙදර අම්මා තනිවම ඇත්තේ
පාසල අතර දිව යයි සිත ගේ පැත්තේ


සුළඟින් වැස්ස දරුණුව වැඩි වී දැනුනා
ලෝකය කඩා වැටෙනා බව සිත් කිව්වා
කඳු වැටි නාය ගොස් බව ඇතමුන් කිව්වා
කලබල මැද්දෙ දෙපයින් හැම තැන දිව්වා


නිවස නොපෙනෙනා මානේ සිට බැලුව
කිසිවක් නොපෙනුනේ විදිහට මා සිතුව
පස් කඳු පමණි දිස් වුණි පොළොවේ මතුව
දියවී ගොසින් වෑහෙන කදුලැලි ඇතිව


පුපුරා දැවෙයි හදවත කදුලැලි නිම්මා
හිත් නැති අහස නිවසක් අතුරා දැම්මා

 උන් තැන නොමැත මාගේ පිම්බර අම්මා
පතනෙමි අමා සුව බුදු සරණයි සම්මා


sAm_ශ්‍රී_Perera_7:02am_30/10/14

Thursday, October 23, 2014

ගිහි සැප විඳින පැවිද්දෝ පිළිබඳ ගීතවත් කතාව... - Obey to the Lyrics !!


බුද්ධ දේශනාව නම් මැදුම් පිළිවෙතය. කාමසුඛල්ලිකානු යෝගය හෙවත් අධික සැප විදීම අත හැරීමය. අත්තකිලමථානු යෝගය හෙවත් අධික දුක් විදීමද අත හැරීමය. එනම් ඒ දෙපැත්තටම නොගොස් මැද පිලිවෙතේ සිට ලෝභ, ද්වේශ, මෝහ අතැර මැදුම් පිළිවෙතින් තෘෂ්ණාව ප්‍රහීන කිරීමය. තත්වය එසේ තිබියදී ජීවිතය ගැන කළකිරී, නිමල බුද්ධ ධර්මය ඉගෙන ගෙන සසර කතරින් එතෙර වීමට සසුන් ගත වන්නෝ හෙවත් පැවිද්දෝ බොහෝය. එලෙස පැවිදිව ඔවුන් ගෙවන්නේ මැදුම් පිළිවෙතමද? සිතිය යුත්තේ එයයි. තම පන්සලට වාහනයක නැතිනම්, බණට දානයට වැඩීමට ප්‍රවාහන පහසුකම් නැති තැන සිට සොයන්නේ සැපය. ගමනා ගමනයට වාහනයක් තිබීම හෝ ඒ සඳහා වෙනත් ක්‍රමයක් සෙවීම සාධාරණය. වාහනය හොඳ ජාතියේ එකක් විය යුතුයැයි සෙවීම, වාහන‍යේ සැප සෙවීම, ආදිය ආශාවන්ගේ ඇලීමේ ප්‍රමාණය මත අසාධාරණය. දානය පූජා කරන ගිහියාගේ සිට, බණ දහම් අසා බුද්ධ ධර්මය මත යැපෙන ගිහියා දක්වා එය නම් පට්ට අසාධාරණය.

විටක මෙය වාහනයෙන් නොනැවතෙන්නේය. එය ගිහි සැප දක්වාම දිවෙන්නේය. දානය ලැබෙද්දී එය රසවත් විය යුතුය. පිරිසිදු විය යුතුය. එය දන් දෙන්නා අත තිබිය යුතු ගුණයක්ය. එමෙන්ම ඕනෑම පෘථජන පුද්ගලයෙක් (පැවිද්දන් ඇතුළුව) බලාපොරොත්තුවන දෙයක්ය. එය එසේ විය යුතුය. මන්ද අපේ උන් දාන දෙන්නේ ගෙදර එකෙක් මළාමය. එවිට ලැබෙන පින් වැඩි වෙන්නට කෑම රසවත් හා පිරිසිදු වීම හොඳය. නැත්තං මැරුණ එකා ගෙදර විත් හොල්මන් කරනවා ෂුවර්ය. ඒ කෑම වේලට, දාන වේලට මැරුණ එකා කැමතිම ආහාරය මෙනූ ගත වීම තවත් හොඳය. එවිට ගෙදර උන්ට දැනෙන බය අඩුය. මන්ද මැරුණ එකාගේ හොල්මනින් බේරිය හැකිය. දානය එසේ පිරිසිදු රසවත් වීමට අමතරව පන්සලෙන්, හාමුදුරුවන්ගෙන් මෙනූ එකක් දානය දෙන ගෙදරට ලැබෙන්නේ නම් එය සාධාරණ දැයි දෙවරක් සිතිය යුතුය. කෑම කඩෙන් ඕඩර් කර ගෙන්වා ගන්නා සේම දායක මහත්යාගේ නිවසට දෙන මෙනූ එක සාධාරණ දැයි හිතන්නට තරම් දෙයක් නැතිය. පැවිද්දෙකු මස් මාළු කෑම දැන් සාමාන්‍ය සිද්ධියක්ය. මස් යනු බොහෝ විට චිකන්ය. චිකන් කෑම වරදක් නොවන තැනට වැටී ඇත්තේය. හරකා, ඌරා නම් පැවිද්දන්ට අකැප ලිස්ට් එකේ තැබෙන්නේය. චිකන් කෑම එතරම් දරුණු සිද්ධියක් ලෙසට නොගැනෙන නිසා මස් මාළු කෑම පිළිබඳ සෑමාගේ සිතේ අකැපක් නොමැති තරම්ය. එහෙත් ගිහියාගේ ආර්ථික මට්ටම අනුව සකසන්නට යන දාන මෙනූ එකට හාමුදුරුවන්ගේ මෙනූ එක බද්ධ වන්නේ නම් ඒ තරම් කොල්ල කෑමක් ලොවෙත් නැතිය.

බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගියෝ උපාසකයෝය. මේ උපාසක, උපාසිකාවෝ විටක ගෙදර ජීවත් වන්නට මුදල් නැත්නම් සරණ යන්නේ සංඝයාගේය. ගෙදර ඉන්නා හයක් හතරක් නොදන්නා පොඩි එකාව පන්සලට ගෙනිහින් දමා පැවිදි කරවන්නෝය. පොඩි එකාට උගන්වන්නට මුදල් නැති තැන ඌව පන්සලට යවා, හිස බූ ගා, සිවුර අන්දවා, පන්සලේ මුදලින් දරුවාට උගන්වන්නෝය. ඒ අතර පන්සලේ මුදල් ගෙදරට අඳින්නෝය. ඒ අතර මැද ගෙදරට වඩින පොඩි නම ගම මැද්දේ සිට නිවසට වඩම්මාගෙන වටේ පිටේ ගෙවල් වලින් කලෙක්ෂන් දමන්නෝය. ඒ අතර මැද පිරිවෙන් අධ්‍යාපනය ලබා, ගුරුවෘත්තියට බැදෙන තරුණ හිමි නම කොහෙන් හෝ කෙල්ලෙක් සැට් කරගෙන සිවුර හැර යන්නෝය. 

මෑතකදී සෑමා පන්සලකට ගියේය. පැත්තකින් සෑමාගේ කන වැකුනේ සෝමතිලක ජයමහ මහතාගේ අපූරු ගීත වැලක්ය. 

“ඈත රටින් ලද දූත හසුන් - බැලුවාට හොරෙන් සඳ එළියේ...
ප්‍රේම විරහ දුක සෝකය දී පිටු - පානු එපා සඳවතියේ...“

ගීතය නම් මනමාල ගිරවුය. සරලය, අර්ථවත්ය, සංගීත රසයෙන් යුක්තය. අනිවාර්යයෙන් සාහිත්‍යෙයන් පැසසිය යුත්තේය. බොහෝ ආදරබර ගීත, විරහ ගීත ලියූවන් අතර පැවිද්දෝ සිටින්නෝය. එය සාහිත්‍ය හැකියාවමය. එවන් මට්ටමකදී මෙවන් ගීත ඇසීම සාධාරණය. විවේචනය කළ යුතු නැතිය. මාද නැවත සෝමතිලකයන්ගේ ගීත ඇසිය යුතු යැයි සිතා නිවසට විත් ගීත ගොනුවේ ඇති පැරණි ගීත ලැයිස්තුව පීරුවේ ඒ නිසාමය. පන්සලේ තිබූ සබ්වූෆර් එකෙන් පැහැදිලිව ඒ හඬ ඇසුනේය. වූෆර් එක නම් මයික්‍රොලැබ් එකක්ය. ඒ බව තරුණ හාමුදුරු දෙනමගේ දෙබසින් ගම්‍ය වූයේය. ක්‍රියේටිව් වූෆර් එකේ මිලත්, කොලිටියත් මයික්‍රෝලැබ් වූෆර් එකත් සමඟ සසඳන්නට හාමුදුරු දෙනම සමත් වුණෝය. ඒ අතර ෆෝන් පිළිබඳ ඇතිවූ දෙබස අපූරුය. ඒ පැරණි ඇල්කාටෙල් මොඩ්ල් ගැන සිට අලුත් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් දක්වාම දිව ගිය කතාවක්ය. එම්.සී එකේ ඇති ෆෝන් ගැන, තාක්ෂණික මෙවලම් ගැන ඔවුන් සතු වූ දැනුම සිත් ගන්නා සුළුය. තාක්ෂණික යුගයක ඒ පිළිබඳ දැනුම ලබා ගැනීම වරදක් නොවන්නේය. එහෙත් ගිහි සැප හැරදා, පැවදි වන්නේ ලෝකෝත්තර සුවයකට මිස ලෞකික සුවයක් සඳහා නොවන බැව් නම් කිව යුතුය.

සැප නම් තවත් ප්‍රභේද ගොඩක් ඇත්තේය. ගිහියා විඳින පැවිද්දා නොවිදිය යුතු උපරිම ගිහි සැපය ලෙස දකින්නේ කම් සැපතය. එය විවිධාකාරයෙන් විදින ගිහියෝ පිළිබද සමාජගත ප්‍රසිද්ධ රහස් ඇත්තේය. ඊට පැවිද්දාට වඩා කෙලින්ම වගකිව යුත්තේ කාන්තාවන්ය. පැවිද්දා දෙවෙනුවට වගකිව යුත්තේ යැයි විටක සිතෙන්නේය. මන්ද කාන්තාවක් පැවිද්දෙකු අසලට ගොස් සැප සොයන්නේ රහස්‍යභාවය රැක ගැනීමට මිසක අන් කිසිවකට නොවන්නේය. ගමේ සිටින සිරිපාල හෝ මසිරිපාල සමඟ ජිකි ජිකියක් දැම්මහොත් එය පසුවදාම පබ්ලික් වන්නේය. පබ්ලික් නොවුන හොත් සිරිපාල හෝ මසිරිපාලම එය පබ්ලික් කරන්නේ මහ රැජිණ සමඟ ජිකියක් දැමූ අයෙක් මෙන්ය. එහෙත් පන්සලේ හාමුදුරුවෝ එසේ නැතිය. තැඹිලි, සුප් බී දන් වළදා, පළතුරු අනුභව කරන ස්වාමීන් වහන්සේ අසල සපුමල් සුවඳය. සිරුර සනීපය. සැප නම් අනන්තය. රහස්‍යභාවය නම් මහ පොලොවේ වල දැම්මා සේය. එවන් තැනකින් ලැබෙන සැප පිළිබඳව අධික විශ්වාසය දක්වන කාන්තාවෝ, සතර වරිගයම එගොඩ දමා ගන්නට සැතපෙන්නෝය. අභිධර්මය ගැඹුරින් දකින්නෝය. එතැන් පටන් පන්සලේ කුළඟන සමිතියේ සභාපතිනී, ලේකම්, හෝ භාන්ඩාගාරික තැන හොබවන්නෝය. එතැන ඇත්තේ ගිහියෙකු නොලබන පැවිදි සැපය. අපා ගත වන තාවකාලික සැපය.

මේ සියල්ල පිළිබඳ සෑමාට ලියන්නට සිත් ආවේ අද උදෑසන ඇසුණු ගීතයක් නිසාය. සිරි ලංකාවේ කම්සුව විදිඳ සමහරක් පැවදි උදවිය පිළිබඳ ලියැවී ඇති එකම ගීතය එය වන්නේය. මේ එම ගීතයේ සෑමාට ඇසුණු කොටසය.

වන මලට ආශාවේ..
වන බඹරා ආවාසේ..

මෙහි මල ලෙස උපමා කර ඇත්තේ ආශාවන් ගැනය. මල යනු කම් සැප ලෙස නම් කළහොත්, ආවාසය හෙවත් පැවිද්දන් වැඩ සිටින ස්ථානයේ සිටින බඹරා වන්නේද, කම්සැපට ලොල් වූ පැවිද්දෙක්මය. ගීතය ලියූ රචකයා බුද්ධ ධර්මයට පිටුපා කටයුතු කරන පැවිද්දන් වෙනුවෙන් යොදාගෙන ඇති උපමා සහ උපමේය නම් අගය කළ යුත්තේය.

පලි - ගීතයට වෙන අර්ථකතන දීමෙන් වලකින්න.

Written_by_sAm_ශ්‍රී_perera_06:17am_23/10/2014
Related Posts Plugin for WordPress, Blogger...