බුද්ධ දේශනාව නම් මැදුම් පිළිවෙතය. කාමසුඛල්ලිකානු යෝගය හෙවත් අධික සැප විදීම අත හැරීමය. අත්තකිලමථානු යෝගය හෙවත් අධික දුක් විදීමද අත හැරීමය. එනම් ඒ දෙපැත්තටම නොගොස් මැද පිලිවෙතේ සිට ලෝභ, ද්වේශ, මෝහ අතැර මැදුම් පිළිවෙතින් තෘෂ්ණාව ප්‍රහීන කිරීමය. තත්වය එසේ තිබියදී ජීවිතය ගැන කළකිරී, නිමල බුද්ධ ධර්මය ඉගෙන ගෙන සසර කතරින් එතෙර වීමට සසුන් ගත වන්නෝ හෙවත් පැවිද්දෝ බොහෝය. එලෙස පැවිදිව ඔවුන් ගෙවන්නේ මැදුම් පිළිවෙතමද? සිතිය යුත්තේ එයයි. තම පන්සලට වාහනයක නැතිනම්, බණට දානයට වැඩීමට ප්‍රවාහන පහසුකම් නැති තැන සිට සොයන්නේ සැපය. ගමනා ගමනයට වාහනයක් තිබීම හෝ ඒ සඳහා වෙනත් ක්‍රමයක් සෙවීම සාධාරණය. වාහනය හොඳ ජාතියේ එකක් විය යුතුයැයි සෙවීම, වාහනයේ සැප සෙවීම, ආදිය ආශාවන්ගේ ඇලීමේ ප්‍රමාණය මත අසාධාරණය. දානය පූජා කරන ගිහියාගේ සිට, බණ දහම් අසා බුද්ධ ධර්මය මත යැපෙන ගිහියා දක්වා එය නම් පට්ට අසාධාරණය.
විටක මෙය වාහනයෙන් නොනැවතෙන්නේය. එය ගිහි සැප දක්වාම දිවෙන්නේය. දානය ලැබෙද්දී එය රසවත් විය යුතුය. පිරිසිදු විය යුතුය. එය දන් දෙන්නා අත තිබිය යුතු ගුණයක්ය. එමෙන්ම ඕනෑම පෘථජන පුද්ගලයෙක් (පැවිද්දන් ඇතුළුව) බලාපොරොත්තුවන දෙයක්ය. එය එසේ විය යුතුය. මන්ද අපේ උන් දාන දෙන්නේ ගෙදර එකෙක් මළාමය. එවිට ලැබෙන පින් වැඩි වෙන්නට කෑම රසවත් හා පිරිසිදු වීම හොඳය. නැත්තං මැරුණ එකා ගෙදර විත් හොල්මන් කරනවා ෂුවර්ය. ඒ කෑම වේලට, දාන වේලට මැරුණ එකා කැමතිම ආහාරය මෙනූ ගත වීම තවත් හොඳය. එවිට ගෙදර උන්ට දැනෙන බය අඩුය. මන්ද මැරුණ එකාගේ හොල්මනින් බේරිය හැකිය. දානය එසේ පිරිසිදු රසවත් වීමට අමතරව පන්සලෙන්, හාමුදුරුවන්ගෙන් මෙනූ එකක් දානය දෙන ගෙදරට ලැබෙන්නේ නම් එය සාධාරණ දැයි දෙවරක් සිතිය යුතුය. කෑම කඩෙන් ඕඩර් කර ගෙන්වා ගන්නා සේම දායක මහත්යාගේ නිවසට දෙන මෙනූ එක සාධාරණ දැයි හිතන්නට තරම් දෙයක් නැතිය. පැවිද්දෙකු මස් මාළු කෑම දැන් සාමාන්‍ය සිද්ධියක්ය. මස් යනු බොහෝ විට චිකන්ය. චිකන් කෑම වරදක් නොවන තැනට වැටී ඇත්තේය. හරකා, ඌරා නම් පැවිද්දන්ට අකැප ලිස්ට් එකේ තැබෙන්නේය. චිකන් කෑම එතරම් දරුණු සිද්ධියක් ලෙසට නොගැනෙන නිසා මස් මාළු කෑම පිළිබඳ සෑමාගේ සිතේ අකැපක් නොමැති තරම්ය. එහෙත් ගිහියාගේ ආර්ථික මට්ටම අනුව සකසන්නට යන දාන මෙනූ එකට හාමුදුරුවන්ගේ මෙනූ එක බද්ධ වන්නේ නම් ඒ තරම් කොල්ල කෑමක් ලොවෙත් නැතිය.
බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගියෝ උපාසකයෝය. මේ උපාසක, උපාසිකාවෝ විටක ගෙදර ජීවත් වන්නට මුදල් නැත්නම් සරණ යන්නේ සංඝයාගේය. ගෙදර ඉන්නා හයක් හතරක් නොදන්නා පොඩි එකාව පන්සලට ගෙනිහින් දමා පැවිදි කරවන්නෝය. පොඩි එකාට උගන්වන්නට මුදල් නැති තැන ඌව පන්සලට යවා, හිස බූ ගා, සිවුර අන්දවා, පන්සලේ මුදලින් දරුවාට උගන්වන්නෝය. ඒ අතර පන්සලේ මුදල් ගෙදරට අඳින්නෝය. ඒ අතර මැද ගෙදරට වඩින පොඩි නම ගම මැද්දේ සිට නිවසට වඩම්මාගෙන වටේ පිටේ ගෙවල් වලින් කලෙක්ෂන් දමන්නෝය. ඒ අතර මැද පිරිවෙන් අධ්‍යාපනය ලබා, ගුරුවෘත්තියට බැදෙන තරුණ හිමි නම කොහෙන් හෝ කෙල්ලෙක් සැට් කරගෙන සිවුර හැර යන්නෝය.
මෑතකදී සෑමා පන්සලකට ගියේය. පැත්තකින් සෑමාගේ කන වැකුනේ සෝමතිලක ජයමහ මහතාගේ අපූරු ගීත වැලක්ය.
“ඈත රටින් ලද දූත හසුන් - බැලුවාට හොරෙන් සඳ එළියේ...
ප්‍රේම විරහ දුක සෝකය දී පිටු - පානු එපා සඳවතියේ...“
ප්‍රේම විරහ දුක සෝකය දී පිටු - පානු එපා සඳවතියේ...“
ගීතය නම් මනමාල ගිරවුය. සරලය, අර්ථවත්ය, සංගීත රසයෙන් යුක්තය. අනිවාර්යයෙන් සාහිත්‍යෙයන් පැසසිය යුත්තේය. බොහෝ ආදරබර ගීත, විරහ ගීත ලියූවන් අතර පැවිද්දෝ සිටින්නෝය. එය සාහිත්‍ය හැකියාවමය. එවන් මට්ටමකදී මෙවන් ගීත ඇසීම සාධාරණය. විවේචනය කළ යුතු නැතිය. මාද නැවත සෝමතිලකයන්ගේ ගීත ඇසිය යුතු යැයි සිතා නිවසට විත් ගීත ගොනුවේ ඇති පැරණි ගීත ලැයිස්තුව පීරුවේ ඒ නිසාමය. පන්සලේ තිබූ සබ්වූෆර් එකෙන් පැහැදිලිව ඒ හඬ ඇසුනේය. වූෆර් එක නම් මයික්‍රොලැබ් එකක්ය. ඒ බව තරුණ හාමුදුරු දෙනමගේ දෙබසින් ගම්‍ය වූයේය. ක්‍රියේටිව් වූෆර් එකේ මිලත්, කොලිටියත් මයික්‍රෝලැබ් වූෆර් එකත් සමඟ සසඳන්නට හාමුදුරු දෙනම සමත් වුණෝය. ඒ අතර ෆෝන් පිළිබඳ ඇතිවූ දෙබස අපූරුය. ඒ පැරණි ඇල්කාටෙල් මොඩ්ල් ගැන සිට අලුත් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් දක්වාම දිව ගිය කතාවක්ය. එම්.සී එකේ ඇති ෆෝන් ගැන, තාක්ෂණික මෙවලම් ගැන ඔවුන් සතු වූ දැනුම සිත් ගන්නා සුළුය. තාක්ෂණික යුගයක ඒ පිළිබඳ දැනුම ලබා ගැනීම වරදක් නොවන්නේය. එහෙත් ගිහි සැප හැරදා, පැවදි වන්නේ ලෝකෝත්තර සුවයකට මිස ලෞකික සුවයක් සඳහා නොවන බැව් නම් කිව යුතුය.
සැප නම් තවත් ප්‍රභේද ගොඩක් ඇත්තේය. ගිහියා විඳින පැවිද්දා නොවිදිය යුතු උපරිම ගිහි සැපය ලෙස දකින්නේ කම් සැපතය. එය විවිධාකාරයෙන් විදින ගිහියෝ පිළිබද සමාජගත ප්‍රසිද්ධ රහස් ඇත්තේය. ඊට පැවිද්දාට වඩා කෙලින්ම වගකිව යුත්තේ කාන්තාවන්ය. පැවිද්දා දෙවෙනුවට වගකිව යුත්තේ යැයි විටක සිතෙන්නේය. මන්ද කාන්තාවක් පැවිද්දෙකු අසලට ගොස් සැප සොයන්නේ රහස්‍යභාවය රැක ගැනීමට මිසක අන් කිසිවකට නොවන්නේය. ගමේ සිටින සිරිපාල හෝ මසිරිපාල සමඟ ජිකි ජිකියක් දැම්මහොත් එය පසුවදාම පබ්ලික් වන්නේය. පබ්ලික් නොවුන හොත් සිරිපාල හෝ මසිරිපාලම එය පබ්ලික් කරන්නේ මහ රැජිණ සමඟ ජිකියක් දැමූ අයෙක් මෙන්ය. එහෙත් පන්සලේ හාමුදුරුවෝ එසේ නැතිය. තැඹිලි, සුප් බී දන් වළදා, පළතුරු අනුභව කරන ස්වාමීන් වහන්සේ අසල සපුමල් සුවඳය. සිරුර සනීපය. සැප නම් අනන්තය. රහස්‍යභාවය නම් මහ පොලොවේ වල දැම්මා සේය. එවන් තැනකින් ලැබෙන සැප පිළිබඳව අධික විශ්වාසය දක්වන කාන්තාවෝ, සතර වරිගයම එගොඩ දමා ගන්නට සැතපෙන්නෝය. අභිධර්මය ගැඹුරින් දකින්නෝය. එතැන් පටන් පන්සලේ කුළඟන සමිතියේ සභාපතිනී, ලේකම්, හෝ භාන්ඩාගාරික තැන හොබවන්නෝය. එතැන ඇත්තේ ගිහියෙකු නොලබන පැවිදි සැපය. අපා ගත වන තාවකාලික සැපය.
මේ සියල්ල පිළිබඳ සෑමාට ලියන්නට සිත් ආවේ අද උදෑසන ඇසුණු ගීතයක් නිසාය. සිරි ලංකාවේ කම්සුව විදිඳ සමහරක් පැවදි උදවිය පිළිබඳ ලියැවී ඇති එකම ගීතය එය වන්නේය. මේ එම ගීතයේ සෑමාට ඇසුණු කොටසය.
වන මලට ආශාවේ..
වන බඹරා ආවාසේ..
මෙහි මල ලෙස උපමා කර ඇත්තේ ආශාවන් ගැනය. මල යනු කම් සැප ලෙස නම් කළහොත්, ආවාසය හෙවත් පැවිද්දන් වැඩ සිටින ස්ථානයේ සිටින බඹරා වන්නේද, කම්සැපට ලොල් වූ පැවිද්දෙක්මය. ගීතය ලියූ රචකයා බුද්ධ ධර්මයට පිටුපා කටයුතු කරන පැවිද්දන් වෙනුවෙන් යොදාගෙන ඇති උපමා සහ උපමේය නම් අගය කළ යුත්තේය.
පලි - ගීතයට වෙන අර්ථකතන දීමෙන් වලකින්න.
Written_by_sAm_ශ්‍රී_perera_06:17am_23/10/2014
මේ සියල්ල පිළිබඳ සෑමාට ලියන්නට සිත් ආවේ අද උදෑසන ඇසුණු ගීතයක් නිසාය. සිරි ලංකාවේ කම්සුව විදිඳ සමහරක් පැවදි උදවිය පිළිබඳ ලියැවී ඇති එකම ගීතය එය වන්නේය. මේ එම ගීතයේ සෑමාට ඇසුණු කොටසය.
වන මලට ආශාවේ..
වන බඹරා ආවාසේ..
මෙහි මල ලෙස උපමා කර ඇත්තේ ආශාවන් ගැනය. මල යනු කම් සැප ලෙස නම් කළහොත්, ආවාසය හෙවත් පැවිද්දන් වැඩ සිටින ස්ථානයේ සිටින බඹරා වන්නේද, කම්සැපට ලොල් වූ පැවිද්දෙක්මය. ගීතය ලියූ රචකයා බුද්ධ ධර්මයට පිටුපා කටයුතු කරන පැවිද්දන් වෙනුවෙන් යොදාගෙන ඇති උපමා සහ උපමේය නම් අගය කළ යුත්තේය.
පලි - ගීතයට වෙන අර්ථකතන දීමෙන් වලකින්න.
Written_by_sAm_ශ්‍රී_perera_06:17am_23/10/2014










