අයිස් බකට් නම් හමාරය. දැන් යන්නේ අමු මිරිස් චැලෙන්ජ්ය. (ෆේස් බුක් ගෘප් එක මෙතැනින්) අයිස් බකට් නාන කාලේ වත්, අමු මිරිස් කන්න පටන් ගන්න කාලේ වත් අපේ නන්දේ ගමේ නොසිටියේය. නන්දේ යනු කවරෙක්දැයි සෑමාගේ බ්ලොග බැලූ සියල්ලෝම දන්නවා ඇතිය. එහෙත් නොදන්නා අය සිටිය හැකි නිසා නන්දේ යනු කවරෙක්දැයි මෙතැනින් බලා ගත හැකිය. අපට සහ ගමටම ආතල් දුන් නන්දේ කිසිම හොරකමකට, ජඩ වැඩකට හවුල් නැතැයි සෑමා තරයේ කියන්නේය. ඔහු කළා නම් කළේ කන පාත්වෙන්නට අඩියක් ගසා සෑමාගේ වත්ත මිදුලේ කොහේ හෝ වැටී නිදා ගැනීම පමණක්ය. ඉන් නිවසට අවශ්‍ය මුරකරුවෙකුගේ සහය නොඅඩුව ලැබුණු බව කිව යුතුය. තත්වය එසේ තිබියදී ගමේ අයෙක් නන්දේට හොර ලේබලයක් ගසා ප්‍රසිද්ධ කළ නිසා නන්දේ නිදි පැදුරටත් නොකියාම ගමෙන් පිටත්ව එහා ගමට වී සිටියේය. මුහුණ පුරා වවා තිබූ “නදීක ගුරුගේ“ වැනි රැවුල කපා දමා නන්දේ එහා ගමට වී සිටියේය. මඟතොටදී සෑමා ඔහුව හමුව කතා බහ කළත් ගමෙන් පිටවූයේ මන්දැයි නන්දේ කියුවේ නැත. ඒ ගැන අසනා විටක “නෑ මහත්තයා.. නෑ..“ කියමින් මඟ හැරියා මිසක කිසිවෙකුට වචනයක් නොකිව්වේය.
නන්දේ ගමෙන් පිටවූ දා සිට එතැන ගන්නට වලි කෑවේ කුලේය. නන්දේට කලින් ගමේ උපන් එකා කුලේය. නන්දේ නම් අල්ලපු ගමේ සිට සංක්‍රාන්ති වූවෙක්ය. එසේ වුවත් කුලේට වඩා ජනාදරය දිනා ගන්නට නන්දේට කෙටි කලෙකින් හැකි වූයේ කුලේ වවන් කුහක ගති ඇත්තෙක් නොවූ නිසාය. ඒ නිසාම කුලේ සිතේ නන්දේ කෙරේ වැඩුනේ ඊෂ්‍යාවක්ය. විටක ක්‍රෝධයක්ය. එහෙත් විශේෂ කාර්යය බලකායේ සිටි නන්දේ වැනි අයෙක්ට කුලේ තම අතටවත් මදි බවත්, වැඩිහිටියෙකු නිසා ප්‍රතික්‍රියා නොදක්වන බවටත් නන්දේ දිනක් කියා සිටියේය. ඒ කුලේ නන්දේට ගසන්නට ගඩොල් ගලක් ඔසවාගෙන පැමිණි විටකය. නන්දේ නොසැලී නොබියව කුලේට හිස දී බලා සිටිනා විට කුලේ ගල උලුක් කොට ඉවත්ව ගියේය. එතැනදි නන්දේ විශේෂ බලකායේ පුහුණු ලද්දෙක් බව සෑමා සැක හැර දැනගත්තේය.
නන්දේ ගිය දා සිට, කුලේ සෑමාගේ ගරාජයට පැන්නේ නන්දේ අනුගමනය කළ ක්‍රම උපායන් අනුගමනය කරන්නටය. නන්දේ නම් සෑමා වැඩ ඇරී නිවසට ආ විගස පාර බලන්නේ, වාහනය පාර්ක් කිරීමට සහය දැක්වීමටය. එන විට ගරාජයේ නිදාගෙන සිටියද, ඔහු ක්ෂණික නැගිට සහයෝගය දී වාහනය ඇතුලට දැමූ පසු ඊට එහා පැත්තේ නිදා ගන්නේය. උදෑසන සෑමාගේ තාත්තා කඩේ විවෘත කරන්නට පැමිණෙන විට, මුහුණට පෙනෙන්නට නොසිටින්නේය. ඒ උදෑසනම තමා මුනිච්චි වේ යැයි සිතාගෙන විය යුතුය. ඒ සියළු ගති සහිත නන්දේ ගිය පසු කුලේ එම ස්ථානය ගන්නට දැගලුවේය. ගරාජය තුල නිදන්නට වූයේය. එහෙත් සෑමා වැඩ ඇරී නිවසට ආ විට ගරාජයට වාහනය දමන්නට සහයෝගයක් නොමැත. සහයෝගයක් තියා නැගිටින්නේ වත් නැතිය. තත්වය එසේ නිසා සෑමා බොහෝ අවස්ථාවල වාහනය පාර අයිනේ දමන්නේ කුලයා නිදි නිසා ඌගේ අතක් පයක් උඩින් ගොස් වාහනය ඇතුලට දමන්නට බැරි නිසාය. ඒ නිසාම නන්දේ නොමැති අඩුව ගමට වඩා දැනෙන්නට වුණේ සෑමාටය. විටෙක සෑමාගේ නිවසේ අයටය.
තත්වය එසේ පැවතුණේ කෙටි කාලයක්ය. කුලේගේ ස්ථානය නැති කරමින් නන්දේ නැවත ගමට ආවේය. ඒ පසුගිය සතියේය. නන්දේ ආ තැන සිට කුලේ ආ ගිය අතක් නොමැත. ඔහු තම අක්කාගේ නිවසේ මඩුවක නිදා ගන්නවා යැයි පැවසෙන්නේය. දහවල නම් ගමේ එහේ මෙහේ ඇවිදින්නේය. විටක කන්නේ බොන්නේද සෑමාගේ අම්මා ලබා දෙන බත් පතක්ය. නන්දේ සුපුරුදු පරිදි රෑට නිදන්නට ගත්තේ ගරාජයේය. විටක බියර් බෝතල පදම වැරදුනු විට හෝ රොකට් සැර වෙනස් වූ විට නන්දේ කෙලින්නේ පිස්සුය. එලෙස පදම වැඩි වූ මොහොතක ඊයේ රාත්‍රි යේ නන්දේ නිදාගෙන ඇත්තේ ඉහළ මාලයට නගින පඩිඩපල අවසන් වන තැන, දොර අභියසය. රැය පහන් කළ නන්දේ අද සෑමාට සහ නිවසේ අයට කියා සිටියේ මෙවන් කතාවක්ය.
“බලන්න නෝනා මම නිදාගෙන ඉද්දි වතුර බාල්දියක් වගේ එකක් ඇඟට වැටුණා..“
“ඒ කෝමද එහෙම වෙන්නේ.. මම හිතන්නෙ වැස්සට තෙමෙන්න ඇති..“
“මොන වැස්සද නෝනා.. මම හිතුවා ලාල් සර් මට වතුර පනිට්ටුවක් ගැහුව කියල..“
“ඒ මනුස්සයා මොකටද නන්දෙව එළවන්නේ..“
“නෑ නෝනා.. මේකයි කතන්දරේ.. කවුද එවුන් දෙන්නෙක් ඇවිත් මට වතුර පුරවපු බෑග් දෙකකින් ගැහුවා..“
“ඒක කෝමද නන්දෙ දන්නේ.. නිදාගෙන නෙවේද හිටියේ..“
“මට වතුර ගහපු හැටියේ මම නැගිට්ටා.. මේ තියෙන්නෙ හිස් ෂොපින් බෑග් දෙක.. පහළට ඇවිත් බලද්දි බෑග් එකෙන් ලීක් වුණ වතුර සිමෙන්ති පඩිය උඩ වැටිල තිබ්බා. මම එහෙම්මම හන්දිය පැත්තට දිව්වා.. තාර පාර දිගේ වතුර අඩි පාරවල් එහෙම්මම තිබ්බා..“
“හරි මඟුලක් නේ යකෝ.. අපේ වත්තට ඇවිත්.. එහෙම වතුර ගහල යන්න..“ ඒ අම්මාය.
“එහෙම කරන්නෙ කෝමද? මේක හරියට අපිට ගහල ගියා වගේ වැඩක් නේ..“ ඒ නම් සෑමාය.
“හරි මහත්තයා.. අද අපි බලමුකෝ.. අද තමා මම නියම අයිස් බකට් චැලෙන්ජ් එකට මූණ දෙන්නේ..“
හවස් ජාමයේ නන්දේ ගේ කතාව අහවර වුණේය. සෑමා නන්දේගෙන් ඇහුවේ අද මම රෑට ඇලර්ට් එකේ ඉන්නද කියාය. නන්දේ කිවේ, පිස්සුද මහත්තයා මම බලාගන්නම් වැඩේ කියාය. සියල්ල අවසන සෑමා ඩොංගලය ගසාගෙන බුකි ගත වූයේ සිද්ධිය අමතක කරමින්ය. ඒ අතර අපේ ගමේ හර්ෂයා (ධර්මේ ලෙස අනුවර්ථ නාමයකින් හර්ෂගේ කතාවක් ඉස්සර ලියැවුණේය.) චැට් එකට සැට් වුණේය.
හර්ෂ - සෑමා මොකෝ වෙන්නේ??
සෑමා - ඉන්නවා මචං..
හ - අඩෝ ඊයේ අපි මාර සැපක් ගත්තා..
සෑ - මොකෝ කළේ..
හ - බෆලෝයි, මමයි, මධුරංගයයි සෙට් වුණා..
සෑ - ෂික්.. අපි නැතුව??
හ - අහපංකෝ.. උබලගේ පඩිපෙලේ උඩ නිදං හිටපු ඩයල් එකට අපි වතුර පාරක් ගැහුව යකෝ..
සෑ - *කනවා.. යකෝ ඒ නන්දේ බං හිටියේ..
හ - නන්දේ කියන්නේ/?
සෑ - ඇයි බං උබලෑ දන්සලේ එනවුන්සිං පාර දුන්නේ...
හ - &කනවා.. අපි හිතුවේ කුළේ ඉන්නෙ කියලා.. ඒත් ලඟට ගියාට පස්සේ ඌ නෙවේ වගේ.. ඒත් ආපු එකේ ඔන්න ඔහේ ගහලා ආව බං.. අවුලක් නෑනේ..
සෑ - හුකෑස්.. පොර සීන් එකේ ඉන්නේ.. උබලට කෙලී යකෝ..
හ - මායි, බෆයි, මධුවයි ඊයේ මාර ආතල් එකක් ගත්ත ඕයි.. අපි අම්බලමටත් ගියා කුලයව හොයන්න ඌ හිටියේ නැහැ. එතන පැටී හිටියා ඌවත් නාවල තමා උබලගෙ ගෙවල් පැත්තට ආවේ.. කුලේ කොහෙද බං නිදා ගන්නේ?? මට ඌට තමයි දෙන්න ඕනේ පාර...
පලි - මා දැන් කළ යුත්තේ හර්ෂයාව, නන්දේගෙන් ගලවා ගැනීමට නිහඩ සිටීම පමණකි.
Written_by_sAm_ශ්‍රී_Perera_12:21am_16/10/14










