Monday, October 6, 2014

Throne Rush ක්‍රීඩකයන් වෙඩි තබා ගත් හැටි... - Throne Rush @ Battle Ground !!!


සයිබර් අවකාශයේ එකතු වූ පිරිසක් හැබැහින් යම් තැනකට සෙට් වීම අහඹුවක් නොවන බව සෑමා තේරුම් ගත්තේ බ්ලොග් අවකාශයෙන්ය. මීට වසර කිහිපයකට පමණ ඉහතදී කිසිදා නොදුටු බ්ලොග් සහෘදයන් රැළක්  සෑමාට සෙට්වූයේ සයිබරයෙන් පිටත මහ පොළොව මතදීය. සයිබර් සිහින උලෙල, ගෙට්ටුගෙදර් වැනි සිද්ධීන් ඊට උදාහරණයන්ය. ඒ අතර සිදුවූ ලේ දන්දීම්, වැනි සමාජ සත්කාරයන්ද වූයේය. බ්ලොග් ලොවෙන් පිටත ඔන්ලයින් ගැසූ ක්‍රීඩාවකදී ෆෙස්බුක් චැට්, ෆේස් බුක් පේජ් සහ ගෘප් වලදී එකතු වූ ගේම් කාරයන් පිරිසක් සයිබරයෙන් පිටත මහ පොළොව මත පිහිටි යුධ පිටියකදී හමුවූයේ සෑමා කිසිදා නොසිතූ ලෙසින්ය. සියල්ල සිදුවූයේ ඊයේය. Throne Rush ලෙස ෆේස් බුකියෙන් ඉපිද, ඇන්ඩ්‍රොයිඩ් ඇප් හරහා ජංගමකරණයට ලක්ව ලංකාවේ අපේ උන්ට සෙල්ලම් කරන්නට හුරු වූ ක්‍රීඩාව නම් අපූරුය.

Throne Rush නගරයක් ;)

තමන්ගේ නගරය තමන් විසින් අලංකාර කරගනිමින්, යුධ භටයන් හදා ගනිමින්, රත්තරං කාසි, ආහාර පාන තමන්ම සපයා ගනිමින් සහ එක එකාගෙන් හොරකම් කරමින් මාලිගාව, ආරක්ෂක ක්‍රම යවත්කාලීන කරගනිමින් කරන්නාවූ එකී ක්‍රීඩාව අපහට ලබා දුන්නේ ආත්ම තෘප්තියක්ය. ඒ අතර සහෝදරත්වය වැඩි කරවූ Brother Hood හෙවත් කල්ලි ගැසීමේ සංකල්පයද අප අතර බැඳීම් වැඩිකළ බව නොරහසක්ය. ඊට වඩාත්ම සුන්දර උදාහරණය නම් ඊයේ උදෑසන සිට සවස් ජාමය දක්වා අප සියළු දෙනා අතර හුවමාරුවුණු අදහස්ය. 

ලංකාවේ කොල්ලෙක් වශයෙන් ලෝකෙන්ම පළමු තැන ගන්නට TOM BRUSH ට (ඌ කියන්නේ බ්‍රෂ් නෙවේ කියාය.) හැකි වූයේය. ඒ අතර ලංකාවේ බ්‍රදර් හුඩ්ද ලෝකයේ රෑන්ක්ස් වල ඉහළටම ගියේ අපේ එවුන්ගේ වැඩ කිඩ නිසාය. ගේම් එකේ වැඩ කිඩ පැත්තකට දමා අපේ සැට් එක Paint Ball ගසන්නට හංවැල්ලේ Hustler's Paintball එකට සැට් වුණෝය. 
ටොම් බ්‍රෂ් (බ්‍රෂ් නෙවේලු ඈ..), තිවකං, මේලක, දහම්, තුමුල, නලියා, සම්පත් (මූත් සෑම් ඈ..), ප්‍රමුදිත, රවියා, ඉන්ද්‍රජිත්, අසංක, සමීර, සජියා සහ මම තුමා

කස්ටිය කැලේ පැන්නේ තුවක්කු අත දරාගෙනය. කණ්ඩායම් දෙකක් වශයෙන් දෙකට බෙදී පේන්ට් බෝල් වලින් වෙඩිතියා ගන්නට අපේ උන්ට තිබුණේ මහා උනන්දුවක්ය. ක්‍රීඩාවේ නීතිරීති පිළිබඳව සහ එහි ආරක්ෂාව පිළිබඳ උපදෙස් දෙද්දී අපේ එවුන් නැවත හැරී ගෙදර එන්නට තරම් බය වූ බව කිව යුතුය. කාඩ්බෝඩ් කැබැල්ලක් හතරට නමා ඒ තුලින් පේන්ට් බෝලය පසාරුකරගෙන යනවා පෙන්නූ පසු සෙල්ලම් කරන්නට තරම් හිතට හයියක් එන්නේම නැත. ඒත් සෙල්ලම අතරමැද දී සෑමාගේ පිටුපසින් පැමිණි සාහසික එදිරිවාදියෙක් පශ්චාත් බෑයට තැබූ වෙඩි පහරින් සෑමාට පේන්ට් බෝල් සමඟ තිබු භීතිය නිවි ගියේය. 



ඉහත පිංතූරයේ සිටින පරිදි මංතුමා (ඉන්න විදිහ අවුල් ඈ), Throne Rush කප් ගැසූ ටොම්, හෙල්මට් එක වැටෙන්න නොදී අපහසුවෙන් සිටින ෆොටෝ ජෙනික් දහම් කොලුවා, වෙඩි නොවදින සජියා, අල්කයිඩා නායක මේලක, නොසැලී ඉදිරියට ගිය ප්‍රමුදිත, සහ අහිංසක යුදෙව්වා  සමීර අවි  රැගෙන ඉදිරියට යද්දී ප්‍රතිවාදී පිළ සැඟවී ගුලි ගැසී සිටි බව නොරහසක්ය. පළමු තරගය පිටියේ වාසියෙන් ජය ගන්නට ප්‍රතිවාදීන්ට හැකි වුවද, දෙවන තරඟය අපේ පිළ ජය ගත්තේය. තුන්වන තීරණාත්මක තරඟය පිටියේ වාසිය රැගෙන ප්‍රතිවාදීන්ට ජය ගන්නට නොහැකි වූයේ තරඟය සම මට්ටමට පත් කරමින්ය. ඉන්පසු පේන්ට් බෝල බෙදා හදාගෙන සහයෝගයෙන් කළ සටන ඔවුන් ජය ගත්තේ අපේ එවුන්ට වටකර පහර දෙමින්ය. පේන්ට් බෝල බෙදාහදාගෙන කළ ක්‍රීඩාව එතරම් සැළකිල්ලෙන් කරන්නට අපේ උන් මැලි වූ නිසා එය පරාජයට පත් වූ බව කිව යුතුය.


ප්‍රතිවාදී පිළ ලෙස පිංතූරයේ සිටින්නේ දකුණේ සිට ඉතිහාසය උගන්වන තුමුළ, මොරටුව විස්ස විද්දාලේ සෑම්, සංධාන ගතව පහර දෙන අසංකලා ජෝඩුව, මහ මොළකරු රවියා, නිතරම හදේ සිටි තිවංක සහ නොසැලී හිටගෙන ඉදිරියට ආ වෙඩි නොවදින උස මහත නලීන් කොල්ලාය.

තරඟ නීති උල්ලංගනය කරමින් තුමුලයා තහනම් උත්තේජක ලෙස බුලත් විටක් හපද්දී, ඔවුන්ගේ කණ්ඩායම රෙෆ්රීටත් වෙඩි තබන්නට වූවෝය. විවිධ උපක්‍රමශීලී පසු බැසීම් සමඟ ඔවුන් හිටි තැනම සැඟවී සිටියෝය. කිසිම දෙයක් ගණනකට නොගත් අප කණ්ඩායම නොසැලී ඉදිරියට ඇඳෙමින් ප්‍රතිවාදීන් භීතියට පත් කළෝය.

කැමරා රැගෙන යාමේ ප්‍රතිවිපාක - මෙතන මම හැර සෙට් එකම ඇත

ගහ මරා ගැනීම් අමතක වන්නට හීන් අඩියක් ගසමින්, කැළණි ගං ඉවුරේ අඩි ගණනක් ගැඹුරු තැනෙක් දිය නා සැනසෙමින්, දිනයක විනෝදයක් සමඟ Throne Rush ක්‍රීඩකයන් Paint Ball ගැසීම අහවර කළෝය. කවදාවත් එකතු නොවේ යැයි සිතූ පිරිසක්, එකට එක්ව සුන්දර දවසක් ගත කළ අතර නැවත හමුවන සිතුවිල්ලෙන් සමුගන්නට සිදුවූයේ තුමුලයාට තංගල්ලේ බැංකුවට යන්නට තිබුණු බැවින්ය.

කතාකරන්නට, මතක් කරන්නට බොහෝ දේ ඉතුරු කරමින්, සියළු කටයුතු සම්පාදනය කළ සියළු දෙනාට සහ සංවිධායක මණ්ඩලයට හද පිරි ස්තූතිය.

පලි - Throne Rush ඇල්මෙන් ක්‍රීඩා කළද ඒ පිළිබඳ මා ලියූ ප්‍රථම බ්ලොග මෙයයි. අවුල් වගේ නම් කමා කරත්වා.

Written_by_sAm_ශ්‍රී_Perera_7.02am_06/10/14

Thursday, October 2, 2014

නැවතිලාද? නවත්තලාද? හිටලාද? - Stopped ???




සතියකට තෙවරක් යවත්කාලීන වූ බ්ලොගක් සම්බන්ධයෙන් නැගෙන්නේ උක්ත වූ ගැටළු තුනය. අයෙක් අසන්නේ සෑමාගේ බ්ලොග නැවතිලාද කියලාය. තවකෙකු නවත්තලාද කියා අසන්නේය. එකවර ඇගට කඩා පනිමින් සමහරු අසන්නේ හිටලාද කියලාය. සියල්ලට පිළිතුරු සමඟින් සෑමාගේ ආගමනය මෙසේ සටහන් වන්නේය.

නැවතිලාද?

නැවතිලා කියන්නේ ඔටෝ වෙන දෙයක්ය. ඒ කියන්නේ හිතලා කරන දෙයක් නොවේය. ටැප් එකක වතුර නැවතිලා කියන්නේ එක්කෝ ජල සම්පාදනයෙන් දෙන වතුර නවත්තලාය, නැතිනම් ටැංකියේ වතුර අහවර වෙලාය. කොටින්ම සරලව ගතහොත් වයසක සියා කෙනෙක් සෙල්ලම් කරන එක නවත්වනවා නොව සෙල්ලම නැවතිලාය. ඔහුට සෙල්ලම් කිරීම නැවැත්වීමට අවශ්‍යතාවයක් නොමැති වුවත්, සිතාමතාම සෙල්ලම නැවැත්වූවේ නැති වුවත්, කාලය සමඟ සෙල්ලම ස්වක්‍රීයවම නවතින්නේය. ඒකට කියන්නේ නැවතිලා කියලාය. 

ඒ අනුව සෑමා බ්ලොග් එක නවත්වන්නට අදහස් කර, අදහස් කරගෙන නැති නිසා බ්ලොග් එක නැවතිලා යැයි කියන එක සම්පූර්ණ වැරදිය. එසේම ලියන්නට දෙයක් නොමැති වීමේන්ද බ්ලොග් නවතින නිසා, සෑමාට ලියන්නට දෙයක් නොමැතිව බ්ලොග නැවතිලා යැයි සිතීමද අසාධාරණය. මන්ද ලියන්නට දේවල් තවමත් ඇති නිසාය. ඒ නිසා සරලව කිව යුත්තේ සෑමාට තාම නැවතිලා නැති බවක්ය. 

නවත්තලාද?

සමහරුන් කළකට සමහර දේවල් නවත්වන්නෝය. සියළු දස්කම් දක්වාගෙන සිටින විවාහක ජෝඩු නවත්වන්නේ නැතිය. කාලාන්තරයකට එක ලෙසම ක්‍රීඩා කරන්නෝය. එහෙත් එසේ ඔවුන් කීවත් මසකට අනිවාර්යයෙන් දින කිහිපයකට නවත්වන්නට වන්නේය. ඒ ස්වාභාවික ව්‍යසනයකට ඉඩකඩ ලබා දීමට සිදු වීම නිසාය. එවිට සෙල්ලම් කරන එක නවත්වලා යැයි කියන්නට වන්නේය. එලෙසම බොහෝ අය බාර හාර ඔප්පු කිරීමට මස් මාලු අනුභවයෙන් වැලකෙන්නෝය. එවිට සරලව කියන්නේ මම මස් මාළු කන එක නවත්වලා යැයිය. සමහරු බොන එක නවත්වන්නේ නැවත බෝතලයක් දකින තුරුය. අනුන්ගේ මුදලින් බොන උත්තමයෝ වියදම් කරන්නට සිදුවෙද්දී බොන එක නවත්වලා යැයි පිළි වදන් දී, නැවත නොමිලේ බෝතලයක් දුටු විට බීම ආරම්භ කරන්නෝය. කිසිම පැකිලීමකින් තොරව දිනපතා අඩියක් ගසන ඇත්තෝ බීම නොනවත්වන්නෝය. එහෙත් බීම නවතින්නේ අග හිඟ කමක් ආවොත් පමණක්ය. එතැනින්ද නවත්වනවා සහ නවතිනවා යන වචන දෙකේ වෙනස හොඳින් පෙනෙන්නේය.

ඒ අස්සේ සෑමාට සිහිවන්නේ කිටියා නිර්මාංශ වූ ආකරය හෙවත් මස් මාළු අනුභවයෙන් තොර වූ හැටිය. මේ දිනවල සෑමාගේ නිවසේ අලුත් වැඩියා කටයුතු කිහිපියක් සිදුවෙන නිසා ඇත්තටම බ්ලොග් එකට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි වූයේය. එකී අලුත් වැඩියා කටයුතු ඉවර වෙන තුරු කිටියා මස් මාළු අනුභවයෙන් තොර වෙන බව කියමින් මසට තිත තිබ්බාය. එවැනි කැප කිරීමක් අගය කළ යුත්තේය. (සමහර වෙලාවට ඇය බ්ලොග බලන නිසා ඒ වචන ටික සඳහන් විය යුතුය.) අලුත් වැඩියා කටයුතු අහවර වෙන තැන බාරය ඔප්පු කොට මස් මාළු අනුභවය ඇරඹිය යුතුය. බාරය ඔප්පු කරන්නට දිනක් කිටියා සහ සෑමා එළි බැස්සේ දහවල ආහාරයද පිටින් ගන්නට බලාගෙනය. නිවසින් එළියට බහින විටදීම තිබුණු දැඩි බඩගින්න නිසා සෑමා යෝජනා කළේ දහවල ආහාරය අරගෙන බාරය ඔප්පු කිරීමට යමු කියාය. එහෙත් ඇය තරයේ කියා සිටියේ සියළු වැඩ අවසන කෑමට යමු කියාය. සියල්ලට පෙර බාරය ඔප්පු කළ හේතුව සැමාට අවබෝධ වූයේ ඇය දහවල ආහාරයට දෙදෙනාටම චිකන් ඕඩර් කළ නිසාය. නැතිනම් ඕඩර් කරන්නට වෙන්නේ චිකන් එකක් සහ වෙජිටබල් එකක්ය.

හිටලාද?

සමහරු නිතර ඇසුවේ මචං හිටලාද කියාය. ඒ ප්‍රශ්නයට පිස්සු කොර වෙන සෑමා අනිත් පැත්තට අසන්නේ “මොනවාද?“ කියාය. හිටනවා කියද්දී එහි ප්‍රෙභේද රැසක් ඇත්තේය. කොටින්ම කිවහොත් හිටිනා දේවල් රැසක්ය. මුලින්ම ජෝතිපාල මහතා කිව්වේ “ඔබ එනතුරු මා තනියෙන් හිටියා“ කියලාය. එතැන කිව්වේ නැවතිලා බලා සිටින එක ගැනය. දැන් කාලේ මචං හිට්ටා නේද? හිටියා නේද? කියා ඇසුවොත් පිළිතුරු දෙන්නට පෙර නැවත ප්‍රශ්නයක් නගන්නට වෙන්නේය. සෑමාට කිව හැක්කේ “මචං බ්ලොග් එක නම් හිටලා නැහැ“ කියාය. වෙන කිසිවක් හිටලාද? හිට්ටාද කියා නොඅසන්නේ නම් අගනේය.

මාසයක් පමණ නිහඩව සිට නිදහසේ ගලාගොස් ලැබුණු ලක්ෂ හයක හිට්ස් සමඟ, සෑමා නැවත නොනැවතී ලියන්නට සූදානම් වන්නේ මෙතුවක් රැදී සිටි සියළු බ්ලොග්කරුවන්ට, සියළු රසිකයන්ට ස්තූති කරමින්ය.


Written_by_sAm_ශ්‍රී_Perera_7:13am_02/10/14

Monday, September 8, 2014

පෝදින දහම් පඬුර...


පවුලගේ සීයා නැති වූ නිසාත්, සෑමාගේ ආච්චීගේ (අම්මාගේ අම්මා) වර්ෂ පූර්ණ බණ, සහ දානය සැට් වීම නිසාත් සෑමා පසුගිය ටිකේ සිටියේ කලබලකාරී ස්භාවයෙන්ය. ඒ අස්සේ මා නොදුටු බ්ලොග් මිතුරෙකු වන අවන්හලේ මහේෂ් රත්නායක සහෝදරයා පොත් ප්‍රදර්ශණය බලන්න යන්නට කළ ආරාධනය පවා ඉවත දමන්නට වූයේ මළගෙදර කටයුතු සිද්ධ වූ නිසාය. මළ ගෙදර රැදෙන්නටත්, ආච්චිගේ බණ ගෙදර එන්නටත්, නැවත මළගෙදර නයිට ගසන්නටත්, නැවත පහුවදා උදේ ආච්චීගේ දානේ ගෙදර එන්නටත්, සිදුවීම ආතල්ම සීන් එකක් වූවේය. ඒ අතර මැද බණ ගෙදරදී අසන්නට හැකි වූ බණ කතාව අද පෝදින ලිපිය ලෙස ලියා තබන්නට සෑමා සිතා ගත්තේය. ආච්චීගේ බණ ගෙදරට වැඩම කළ හාමුදුරුවන් විසින් දෙමාපියන්ට සැලකීවේ අගය පහදා දෙමින් දේශණා කළ ධර්ම පඬුරයි මේ.

ගෞතම බුදුන් වහන්සේට පමණක් දෙවෙනි වූයේ අගසව් තනතුරු දැරූ සැරයුත් තෙරුන්ය. උන්වහන්නේ පිරිනිවන්පෑමට ආසන්න වූ කළෙක බුදුහිමි අමතා මෙසේ කීවෝය. 

“ස්වාමීනී මා දැන් පිරිණිවනවට ආසන්නයි, මීටත් වඩා මා හට ශරීර ශක්තියෙන් කටයුතු කළ නොහැකි බැව් දැනෙන නිසා මා පිරිනිවනට සූදානම් වෙමි...“

එය අසා සිටි ගෞතම බුදුන් වහන්සේ අසා සිටියේ සැරයුත් මහ තෙරුන් වහන්සේ පිරිණිවනට බලාපොරෙත්තු වන්නේ කුමන ස්ථානයද යන්නයි. එවිට උන්වහන්සේ කියා සිටියේ තමන් උපන් ගම, උපන් ස්ථානය වන තම නිවස, තමන් පිරිනිවන් පෑමට යොදා ගන්නා බවයි. එය අසා සිටි ගෞතම බුදුන් වහන්සේ සැරයුත් හිමියන්ගේ වචනයට ගරු කරමින් එය වටිනා කාරණාවකැයි දන්වා සිටියෝය.

බුදුරජානන්වහන්සේගෙන් අවසර පතමින් සැරයුත් තෙරුන් වහන්සේ පන්සිය නමක් භික්ෂු සංඝයා පිරිවරාගෙන තමන් වහන්සේ උපන් ග්‍රාමයට පිවිසුනෝය. එලෙස වැඩමකොට තම නිවසට ගොස් ඉතා මහළු වූ තම මෑණියන් බැහැ දකින්නට වූවෝය. තම පුතු දැකීමෙන් උද්දාමයට පත් මෑණියන් තමන් වහන්සේට අවශ්‍ය මොනවාදැයි අසා සිටියේ උපස්ථාන කරන්නටය. සැරයුත් තෙරුන් වහන්සේ තමා ඇතුළු භික්ෂු පිරිවරට නවාතැන් පහසුකම් ඉල්ලා සිටියේ රැය පහන් කිරීමට අවශ්‍ය බව කියා සිටීමෙන්ය. පන්සියනමක් වූ භික්ෂු සංඝයාට නවතින්නට තරම් ඉඩක් නොමැති තම නිවසේ නවාතැන් පහසුකම් දෙන්නට නොහැකි බැවින් සිත් තැවුලට පත් වූ මෑණියෝ එලෙස කරන්නේ කෙසේදැයි තම පුත්‍රයාගෙන් අසා සිටියාය. පන්සිය නමකට නැති වුවත් තමන් වහන්සේට පමණක් හෝ නවාතැන් පහසුකම් දෙන්න යැයි උන්වහන්සේ ඉල්ලා සිටියෝය. එම ඉල්ලීමට අනුව උන්වහන්සේ ගිහිකළ රැදී සිටි කාමරය සිය මෑණියන් විසින් ප්‍රධානය කරන ලද්දේය.

මහා බ්‍රහ්මයා සියල්ල මැවුවේයැයි, සියල්ල ලබා දෙන්නේ මහා බ්‍රහ්මයා යැයි අන්ධ භක්තියෙන් යුතුව සිටි සැරයුත් තෙරුන්වහන්සේගේ මෑණියන් තම පුතු උගත් ධර්මය පිළබඳව කිසිත් නොදැන සිටියාය. රැය ලඟාවෙත්ම සැරයුත් තෙරුන්වහන්සේට දරුණු රෝගාබාධයක් වැළදෙන්නට වූයේය. ලේ අතීසාරය නිසා නිතරම ලේ පිටවන්නට වූවේය. නිතරම ලේ පිටවන නිසාත්, තම පුත්‍රයා නිවසට පැමිණි සුන්දර දවසක ඔහු දරුණු ලෙස රෝගාබාධයකින් පෙළෙන්නට වූ නිසාත් මෑණියෝ මහත් නොසතුටටත්, කළබලයටත් පත් වූවාය. ඇය තම පුතු සිටින කුටියට වැඳ උන්වහන්සේට උපස්ථාන කරන්නට අවසර ඉල්ලා සිටියාය. එහෙත් ඇය කළ ඉල්ලීමට උන්වහන්සේ අවසර නොදුන්නාය. ඇය නොසතුටින් රැය අවදිව සිටියදී මහා ආලෝක ධාරාවක් නිකුත් කරමින් පුතු සිටි කාමරයට සතර වරම් දෙවි වරු පහළ වූවෝය. ඔවුන් සැරයුත් මහ තෙරුන්ට උපස්ථාන කරන්නට අවසර ඉල්ලා සිටියෝය. එයටද අවසර නොදුන් උන්වහන්සේ නිහඬව බුදුගුණ සිහි කරන්නට වූවෝය. පසුව නැවත ආලෝක ධාරාවක් නිකුත් කරමින් පෙනී සිටියේ ශක්‍ර දෙවියෝය. ඔහුටද උපස්ථාන සඳහා අවසර නොලද තැන මහා බ්‍රහ්මයාද උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිමින් උපස්ථානයට අවසර ඉල්ලා සිටියේය. කිසිවෙකුට තමන් සඳහා උපස්ථානකරන්නට අවසර නොදුන් උන්වහන්සේ නොසැලී වේදනාව දරා සිටියෝය.

පසුදා උදෑසන සැරයුත් හිමි ගේ මෑණියෝ රැය පුරා සිදුවූ සිද්ධීන් උන්වහන්සේගෙන් දැන ගැනීමට පැමිණියාය. පළමු ආලෝක ධාරාවක් නිකුත් කරමින් කවරෙක් පැමිණියේදැයි එතුමිය ඇසු කළ, උන්වහන්සේ කියා සිටියේ ඒ නම් සතරවරම් දෙවි වරු බවය. දෙවන ආලෝක ධාරාව සමඟ තමන් වහන්සේට උපස්ථාන කරන්නට අවසර පතන්නට ආවේ ශක්‍රයා බවත්, තෙවෙනුව මහා බ්‍රහ්මයා පැමිණි බවත් උන්වහන්සේ වදාලෝය. තමන් මෙතුවක් විශ්වාස කළ අදහන්නට වූ  මහා බ්‍රහ්මයා තම පුතුට උපස්ථාන කරන්නට අවසර ගන්නට ආ බව ඇසු මෑණියන් තුරුණුවන් කෙරෙහි පැහැදී සැරයුත් මහ තෙරුන්ගෙන් බණ අසන්නට වූවාය. එය දුටු මහාකාරුණිකයානෝ තෙවරක් සාදුකාර දී, සැරයුත් තෙරුණ් පිරිනිවනට පෙර තම මව්ගෙන් බිව් කිරිවල ණය ගෙවන්නට තරම් වාසනාවන්ත වූයේයැයි වදාලෝය.

මිය ගිය පසු මළසිරුරකට දණ බිම හොවා වන්දනා කොට, අටපිරිකර අහසට උස්සා පින් අනුමෝදම් කරනවාට වැඩිය, කිසිවෙකු ජීවත්ව සිටින සමයේ ආදරයෙන්, සිත් නොරිදා බලාගන්නේ නම් එයම ඔවුනගේ පරලොව සුගතියට හේතුවන බව ධර්මදේශනාවට වැඩම කළ ස්වාමීන් වහන්සේ තව දුරටත් දේශණා කළෝය.

Written by sAm ශ්‍රී Perera_8:13am_08/09/14

Sunday, August 31, 2014

නොහඬනු මැන සුරතාන්තය ලඟ... - Do not Cry at the Last Drop !!!!






හැඟුම් මතු කර
ගතම උණුසුම්
කළා මොහොතින්
ඔබේ සුරතින්



උදෑසන නිදි
දැහැන් බිඳිමින්
රැගෙන සුරතින්
පිරිමදී නුඹ
සයන මත පෙම්



හදිසියෙන් මෙන්
තබා පසෙකින්
අමතකව මා
ගියා සැනෙකින්



නොනැවතී පෙම්
හදින් උණුසුම්
බලා හිදිනෙම්
එනතුරා දැන්



පුපුර පුපුරා
නැගෙන පෙම් දැල්
ගිණි දවයි හද
පතුරු ගසමින්



එනතුරා නුඹ
බලා සිටිමින්
දැවෙයි සියොලඟ
මහා දුකකින්



නැගෙන ගිණි දැල්
නිවන්නට දැන්
අයෙක් ආවොත්
සමුගනිමි මං



උණුසුමින් මා
අවදි කරවා
දුරක ගිය නුඹ
යලිදු එනතුරු
බලා සිටිනට
වරම් නෑ දැන්


නොහඩනෙමි මතු
සුරතාන්තය ලඟ
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*

නිමිත්ත-

උදේ පාන්දර 6ට විදුලි ඉස්තිරික්කය ප්ලග් එකට ගසා, ඇඳුම් මැදගෙන, නැවත ප්ලග් එක නොගලවා රැකියාවට ගිය බිරිඳට ඉස්තිරික්කය ලියූ කවි පෙලක්. සෑමා 8ට පමණ ඇදුම් අයන් කරන්නට විදුලි ඉස්තිරික්කය ලඟට ගිය නිසා සිදුවන්නට ගිය මහා විපතක් මඟ හැරුනේය. මේ එම අවස්ථාවේ විදුලි ඉස්තිරික්කය සෑමාට කියූ කවි පෙලක්ය.

Written_by_sAm_ශ්‍රී_Perera_8:10am_31/08/2014

Wednesday, August 27, 2014

හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!


අත බලා සාස්තර කිව්වේ ඉස්සරය. ඊටත් පසුව මූණ බලා සාස්තර කියන්නට වූයේය. දැන් සාස්තර කියන්නේ අල්ල ස්කෑන් මැෂින් එකට තබාය. අත ස්කෑනර් එකට තැබූ විට එය කොම්පියුටරය මඟින් ඇනලයිස් කොට පුද්ගලයෙකුගේ ඕනෑම විස්තරයක් කියන්නේය. ඒ තරමට තාක්ෂනය දියුණුය. ඒත් සෑමා සාස්තර කියන්නේ පුද්ගලයෙකුගේ හැසිරීම දෙස බලාය. ඕනෑම අයෙක් සමඟ මොහොතක් කතා කොට, හැසිරීම නිරීක්ෂණය කොට ඔහු ගැන කිසියම් ගති ගුණයක් කියන්නට ජෝතිෂය විභාග සමත් විය යුතු නැත්තේය. උපන් දා සිට මෙතුවක් මුණ ගැසුණු අය, ආශ්‍රය කළ අය ඇසුරෙන් තවත් පුද්ගලයෙකු විනිශ්චය කළ හැකිය. විටක වරදින්නට පුලුවන එහෙත් වැඩි වෙලාවකට ඒවා නිවැරදි වන්නේය. එසේම කිසියම් අයෙකු දුටු මොහොතේම ඔහු කළ ක්‍රියාවක් නිසා ඔහු ගැන නිවැරදි අවබෝධයක් ලබා ගත හැකි සරල විද්‍යාත්මක ක්‍රම පවතින්නේය. මේ කියන්නට යන්නේ ඉන් සමහරක් ගැනය.

අවංකයා හඳුනාගන්න

විටක පිරිසක් මැද මහා ගඳක් ඔබ නහයේ ගැටෙන්නට හැකිය. බොහෝ විට එය කුණ කාණුවක හෝ වැසිකිලයක ගඳකට සමාන විය හැකිය. නමුත් එය ගුවනට මුදා හැර ඇත්තේ ඔබ සමඟ සිටි පිරිසෙන් අයෙක් බව හැමෝටම සැක සිතෙන්නේ එය අධෝ වාතයක් වන නිසාය. එවිට ඔබ අසල සිටින අය දෙස ඔබ හොරෙන් බලන්නේත්, අවට සිටින අය එකිනෙකා දෙස බලන්නේත්, වාතයේ හිමිකරුවා සොයා ගැනීමටය. වටේම සිටින්නේ හිත මිතුරන් නම්, අයෙක් අත ඔසවා වාතයේ හිමිකරුවා තමන් යැයි පවසන්නට තරම් හැකියාවකින් පසු වන්නේනම් හෙතෙම සැබෑම අවංකයෙක් වන්නේය. විටෙක “ඩෝං“ සද්දයෙන් යවනා අධෝවාතයක හිමි කරුවා සොයා ගැනීම පහසු සේම, ඕනෑම අයෙක් එවැනි සද්දයෙන් යවනා වාතයක හිමිකාරත්වය ලබා ගන්නේ ආඩම්බරයෙන්ය. එහෙත් මිනී මරණ “චූස්“ සද්දයෙන් යන වාතයට නම් හිමිකරුවෝ නැත්තේ එහි ගඳේ සාන්ද්‍රණය වැඩි නිසාය. එවැනි වාතයක් තමන්ගේ යැයි හිස නමා පිළිගන්නට හැකි තැනැත්තා සෑමා දකින්නේ මහා අවංක ඩයල් එකක් විදිහටය. එලෙසම එය අවංකව පිළිගැනීමට තරම් එඩිතර අයෙක්ද වන්නේය.

ආත්මාර්ථකාමියා තේරීම

ඔබ පිරිසක් කැටුව යම් ගමනක් යන්නේ නම් වතුර බොතල් ගෙන යනවා ෂුවර්ය. ඒ අතර ඔබ රැගෙන යන වතුර බෝතලය යම් කෙනෙකු පානය සඳහා ඉල්ලන්නේ වතුර නැති කමටය. පිපාසයටය. එවිට ඔබ රැගෙන යන බෝතලය ඔබේ යැයි සිතා ඔබ කට තබා පානය කරන්නේ නම්, ඔබ බොහෝ විට ආත්මාර්ථකාමීය. නැතිනම් රැගෙන යන බෝතලය තව කෙනෙකු ඉල්ලාවි යැයි සිතා කට නොතබා පානය කරන්නේය. පාන් හෝ කිසියම් ආහාරයක් ගත් සැනින් ඔබ වතුර බෝතලයට කට තබා පානය කර බෝතලය තුල බලන්නේ නම් එහි පාන් කැබලි හෝ ආහාර කැබලි පා වෙනු දැකිය හැකිය. එලෙස ඔබ කට තබා පානය කළ වතුර හෝ බීම හෝ බෝතලයක් අන් අයෙකු වෙත පිරිනමන්නේ නම් හෝ, පිරිනමන්නට සූදානම් වන්නේ නම් දෙවරක් සිතිය යුතුය. බොහෝ අය පුරුද්දට මෙන් කට තබා පානය කරන්නේ තමන් රැගෙන ආ වතුර බෝතලය නිසාය. එහෙත් තමන්ගේම බෝතලය වුවත් කට නොතබා ඉහළට ඔසවා පානය කරන්නේ නම් තව අයෙකුට පිරිසිදු වතුර බිඳක් ලබා දිය හැකි බව සිහියේ තබා ගත යුතුය.

පරාර්ථකාමියා යනු

පරාර්ථකාමියා යනු ආත්මාර්ථකාමී නොවන පුද්ගලයා යැයි ඔබ සරලව සිතනවා විය හැකිය. නමුත් එය එසේ නොවන්නේය. පරාර්ථකාමියා සැම විටම අනෙක් අයගේ යහපත ගැන සිතන්නේය. එය ආත්මාරථකාමී නොවීමට වඩා දුර ගිය ක්‍රියාවක්ය. ඔබ බොහෝවිට පොදු වැසිකිලි භාවිත කරනවා විය හැකිය. එලෙස භාවිත කරන වැසිකිලිය වතුර ගසන්නට ඔබ මැලි වන්නේ එය ඔබේ නොවන නිසාය. පොදු වැසිකිලි අමතක කොට ගෙදර වැසිකිලිය සිහියට ගන්න. ඔබ උදෑසන අවදි වී මොහොතක් වාඩි වී කල්පනා කරන්නේ එම රජ අසුන මත හිඳගෙනය. එලෙස හිදගෙන කාර්යය නිමවා නැඟිට යද්දී ඔබ වතුර නොගසා යන්නේ නම් ඒ අමතක වීමක් නිසාය. නැතිනම් කිසියම් රාජකාරියකට ප්‍රමාද වීම නිසාය. එවිට දෙවෙනුව පැමිණෙන පුද්ගලයා අසීරුතාවයකට මුහුණ දෙන්නේ ඔබ වතුර නොගසා ගිය නිසාය. එලෙසම දෙවෙනුව පැමිණෙන්නා තද බල අමාරුවකින්, හදිස්සියකින් පැමිණියේ නම් හෙතෙම ඔබගේ ගුණ වයනවා අනිවාර්යය. 

ඒ සියල්ල අමතක කොට ඔබ වතුර ගසා කොමඩ් අසුනෙන් නැඟිට ගියා  යැයි සිතන්න. එහෙත් ඔබේ වතුර ගැසීම හෝ කොමඩ් බඳුනේ ඇති වතුර ප්‍රමාණය ඔබ දැමූ උදලු මිටක් තරම් වූ බෙට්ට ගසාගෙන යන්නට තරම් ප්‍රමාණවත් නොවූ යේ නම් එය කොමඩ් එකේ රැදෙනු නිසකය. එසේම ඔබ පිටත් වෙද්දී කොමඩ් එක දෙස නොබැලුවේ නම් හෝ එය මඟහැර ගියේ නම් නැවත අසීරුතාවයකට පත් වන්නේ දෙවෙනුව පැමිණෙන පුද්ගලයාය. එසේම උදළු මිටි තරම් ඒවා කොමඩ් බඳුනේ ජලය මඟින් ගසා නොයන බවත්, එය ගසාගෙන යන්නට නම් බාස්කට් එකකට වතුර පුරවා කොමඩ් එකට හැලිය යුතු බවටත් විද්‍යාත්මකව සොයාගෙන ඇත්තේය. එවන් තත්වයක් යටතේ තදබල අමාරුවකින් පැමිණෙන අය බාස්කට් වලට වතුර පුරවා ඔසවා කොමඩ් එකට ගැසීමෙන් මහත් අසීරුතාවයකට පත්වන බව මතක තබාගත යුතුය. එසේනම් ඔබ පරාර්ථකාමී වන්නේ නැවත එන පුද්ගලයා වෙනුවෙන් නිවැරදිව කොමඩ් එක ෆලෂ් කර යෑමෙන්ය.

පිරිසිදුකම සහ පරාර්ථකාමීත්වය

ඔබේ පිරිසිදු කම තවකෙකුගේ ජීවිතයට තර්ජනයක් නොවන බව ඔබ සිතන්නේ නම් එය හුදු මුලාවක්ය. දිනක් සෑමා කඩවත පැත්තේ කඩයකින් එළවළු රොටියක් කෑවේය. ප්ලේන්ටියක්ද ගසා කඩේ මුදලාලිට මුදල් දෙන්නට යද්දී ඔහු තම කිහිල්ල කසමින් ඉතිරි දුන්නේය. එක වරක් නොව දෙතුන් වරක් කිහිල්ල කසනවා දුටු සෑමාට සිහි වූයේ තමා බඩට දා ගත් එළවලු රොටිය ඔහුගේ අතින්ම ලබාගත් බවක්ය. ඒ ගැන වැඩිය සිතන්නට ගියොත් බඩට දා ගත් එක උගුරෙන් නැවත කටට එනවා ෂුවර් නිසා සෑමා ඒ ගැන වැඩිය සිතන්නට නොගියේය. කඩවල්වල නම් පිරිසිදු කම කෝමත් අන්තිමය. එහෙත් ඔබ නිවසේ සිදුවන කටයුතු වලදී පිරිසිදු කම ගැන සිතනා අවස්ථා තිබේදැයි මතක් කළ යුතුය.

ගෙදර සුරතල් බල්ලෙකු, බැල්ලියක හෝ, පූසෙකු සිටිනවා යැයි සිතන්න. ගෙදර ගෘහණිය වන කාන්තාවක් අනිවාර්යයෙන් පූසන් සුරතල් කිරීමට කැමතිය. පූසන් පිළිබඳව කාන්තා ආකල්පය ගැන ප්‍රශ්න කළ යුතු නැති නිසා බල්ලන් ගැන නොකියා පූසන් ගැන සඳහන් කළෙමි. ඒ පිළිබඳව දොස් නොනගන්න. එලෙස පූසා සුරතල් කොට පැමිණ යම් ගෘහණියක් නැවත ආහාර පිළියෙල කිරීමේ යෙදෙන්නේ නම්, අත් සෝදන්නට අමතක වන්නේ නම්, ඇයගේ පරාර්ථකාමීත්වය අල්පය. තමන් ගැනවත් නොහිතනා තත්වයට වැටී ඇත්තේය. මන්ද ඒ පිසින ආහාර ඇයද අනුභව කරන නිසාය.

කෑම කෙසේවෙතත් තම ආදරවන්තයා හෝ අදරවන්තිය හමුවන්නට යන්නේ නම් උදෑසන දත් සැට් එක මදින්නේ නැතුව ගියහොත් සිදුවන්නේ විනාසයක්ය. එදිනට මුහුණට මුහුණ ලංකිරීමටත් නොහැකි වන්නේය. ඉන් ඔබගේ අදාරවන්තයා හෝ ආදරවන්තියගේ අනෙකා ගැන නොහිතනා ගුණය පිළිඹිබු වන්නේය. එසේම බොහෝවිට කෙල්ලන් තම කොල්ලාගෙන් බේරීමට දත් මදින්නේ නැතිව කොල්ලා හමුවීමට පැමිණිය හැකිය. එවන් අවස්ථාවක සියළු හැඟිම් සිරකරගෙන අසරණ වන්නේ කොල්ලාය. එලෙස අපිරිසිදුකම අවියක් ලෙස සිතාගෙන දත් නොමැද පැමිණෙන කෙල්ලන් සිතේ තබා ගත යුත්තේ බෙහෝ කොල්ලන් ඌරන් බවය. උන් අපිරිසිදු කම ගැන නොසිතා කටේ දමා ගත යුත්ත දමා ගන්නේ කිසිම පැකිලීමකින් තොරවය. ඒ නිසා ඔබේ පිරිසිදු කම රටේ යහපත මෙන්ම ඔබේ යහපත උදෙසා බව සිතේ තබා ගත යුතුය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:43am_27/08/14

Friday, August 22, 2014

මහින්ද මාමා පරාදයි...... - MR Lost !!




ඉස්සර කතාවට කියන්නේ පෙරලුනොත් පෙරලෙන්නේ බාල්දියක් කියාය. එය දැන් යල් පැන ඇත්තේ බාල්දි, බකට්, පනිට්ටු භාවිතය තරමක් අඩුව ඇති බැවින් විය යුතුය. මන්ද ඉස්සර උදේ නැගිට්ට හැටියේ මිනිිස්සු අතට ගන්නේ පනිට්ටුවය. එය අතට ගෙන මුලින්ම ලිදෙන් වතුර ටිකක් ඇඳ ගන්නා ඈයෝ ඊට පස්සේ තවත් පනිට්ටුවකට වතුර වත්කරගෙන දුවන්නේ ලැට් එකටය. දැන් කොමඩ් තිබුණාට ඒ කාලේ දණිස් පොල් කටු නවාගෙන, කොන්ද වකුටු කරගෙන උදේම මුහුණ දෙන හොඳම එක්සර්සයිස් එක ටොයිලට් එකට යෑමය. දැන් ඒ වාගේ ආතල් එකක් ගන්නට හැකි වන්නේ කොහේ හෝ ට්‍රිපක් ගොස් එළිබහින්නට කැළෑවකට රිංගා ගත්තොත් පමණක්ය.

එහෙත් වැසි සමයේ බාස්කට් එකට එළියට බැස ඇත්තේය. ඒ වැස්සට වැටෙන වතුර එකතු කොට වතුර නොමැති පැතිවලට යවන්නට නොව, ඊට අයිස් පුරවා නාන්නටය. අයිස් බකට් සෙල්ලම ගැන ලියන්නට සිත් වූයේ සමහරුන් අභියෝග කරනා පිරිස් ගැන අසා සිටි විටය. ලිපිය ලියන්නට බ්ලොග කාලෙකින් දිගහැර බලනා විට අපේ මධුරංගයා බකට් සෙල්ලමේ නීතිරිතී සහ තරඟ කරනා ආකාරය ගැන ලියා ඇත්තේය. වඩාත් පහසුවෙන් ඒ පිළිබඳව මෙතන කොපි පේස්ට් එකක් ගසා ලිවිය යුත්ත පහතින් ලිවීමට සහයක් වූ මධුවාට මුලින්ම ස්තූති කළ යුතුය.

++++

අයිස් බාල්දි අභියෝගය එහෙමත් නැත්නම් තේරෙන විදිහට කියනවා නං අයිස් බකට් චැලේන්ජ් එකට සහභාගි වෙන කෙනා මේ අභියෝගයට සහභාගි උනාට පස්සේ ඩොලර් 10ක මුදලක් ALS සංගමයට ගෙවන්න ඕන.

අභියෝගයට සහභාගි වෙන කෙනා කරන්න තියෙන්නේ අයිස් කැට දමපු වතුර බාල්දියකින් නාගන්න එක විතරයි..අයිස් බාල්දියකින් නෑවට පස්සේ ඒ කෙනාට පුලුවන් තව කිහිප දෙනෙක්ව (තුන්දෙනෙක් විතර) නම් කරන්න.

ඒ නම් කරපු තුන් දෙනා පෑ විසි හතරක් ඇතුලත අයිස් බාල්දි අභියෝගයට මුහුණ දෙන්න ඕන. මුහුණ දීලා වීඩියෝ ගත කරලා ඒ වීඩියෝ දර්ශන යූ ටියුබ්, වෙයින්,ඉන්ස්ටග්‍රෑම් වගේ සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් කරන්න ඕන.

අභියෝගයට නම් කරපු කෙනෙක් මේ අභියෝගය බාර ගන්නේ නැතුව මඟ අරිනවා නම් ඒ කෙනා ඩොලර් 100ක මුදලක් ALS සංගමයට දිය යුතු යි !

තවත් විස්තර අවශ්‍ය නම් මධුවාගේ ලිපිය මෙතැනින් බැලිය යුතුය.

+++

අයිස් බකට් සෙල්ලම මා මුලින්ම දුටුවේ ඉරාජ් කොලුවා නාපු තැන සිටන්ය.


ඔහු අභියෝග කළේ ඔටාරා ගුණවර්ධන, මල්ෂා කුමාරතුංග, රන්දීර් විතාන සහ තනුජා ජයවර්ධන යන අයටය. ඉන් ඔටාරා නෑවේ සංගා සහ මහේලටද නාන්නට අභියෝග කරමින්ය.




ඉරාජ්ගේ අභියෝගයෙන් මල්ෂා නෑවාය.



ඇය අභියෝග කළේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මර්වින් සිල්වා සහ මහින්ද රාජපක්ෂ යන අයටය. දැනටමත් පැය 23ක් ඉක්ම ගොස් ඇති නිසා මහින්ද මාමා සහ මර්වින් මාමා අයිස් බකට් සෙල්ලමෙන් පරාද වී ඇත්තේය. නමුත් හිරුණිකා අද මහ වැස්සේ අයිස් බකට් එකක් නෑවාය.


හිරුණිකා අභියෝග කළේ හරීන් ප්‍රනාන්දු, ලාල් කාන්ත, සහ සෙනල් වෙල්ගම යන අයටය. හරීන් ලාල් සහ ශසේන්ද්‍ර මේ දවස්වල උණු වතුරින් නාන නිසා අයිස් සෙල්ලමට එනවා යැයි සිතිය නොහැකිය. එහෙත් සෙනල් වෙල්ගම පුත්‍රයා නම් පැය විසිහතරකට පෙර අනිවාර්යෙයන් නානවා ෂුවර්ය.

උදෑසන සිටම ඉවරයක් වැස්ස නිසා සෑමාද නාන්නේය. එසේම මහ මඟ සිටිනා බහුතරයක් මේ දිනවල නාන බවට අමුතුවෙන් කියන්නට දෙයක් නැත්තේය. කෙසේ හෝ අයිස් දියකර ඇති වතුරෙන් ස්නානය කොට හෝ සමාජ සත්කාරයක් සිද්ධ වන්නේ නම්, පලස්තීනයට අධාර දුන්නාට වැඩිය වටින්නේය.

වැස්සේ කරන්නට දෙයක් නැතිව,
බ්ලොග මතක් වී ලියුවේ..

sAm_ශ්‍රී_Perera
Related Posts Plugin for WordPress, Blogger...