කුලේ යනු
මීයා වුණත් විකුණාගෙන කන පොරක්ය. පොලොවට ලම්බකව පහලට එල්ලා වැටෙන කුට්ටම නිසා කුලේට ගෙජ්ජියා යන නමද ලැබිණ. දිනක් සරම කැහැ පොට ගසා උදැල්ලකින් වැඩක් කරමින් සිටි කුලේගේ කුට්ටම දුටු නිසා කොටියාට, කොටියා කියනවා සේම, කුලේට ගෙජ්ජියා යන උක්ත නාමය පට්ට සාධාරණ යැයි සෑමාට නොහිතුනාම නොවේය. තරුණ කළ කැළණි නදියෙන් එපිට නිවසක වැඩ නිම කර එන විට කුලේ සරම අස්සෙන් ඉනේ අලවංගුවක් (ගල් ඉන්නක්) ගසාගෙන විත් ඇත්තේය. ඔරුවෙන් එගොඩ වුණ ඒ කාලේ ගගෙන් එතෙර වෙද්දී කිසිවෙකු ඔරුවේ සිටගෙන එන්නේ නම් තොටියාට ඒ තරම් මල පනින කාරණාවක් නොවේය. ඒ ඔහුට ඔරුව පාලනය කිරීමේ අපහසුවක් දැනෙන නිසාය. ගල් ඉන්න ඉනේ ගසා ගත් කුලේ ද තොටියා කුණු හරපෙන් බනිද්දී පවා හිටගෙන ඔරුවෙන් මෙතෙර වී ඇත්තේ ගල් ඉන්න ඉනේ ඇති නිසා කොන්ද නවා ඉද ගැනීමට ඇති අපහසුව නිසාය. "තමුසෙට පදින්න බැරි නම් නිකං ඉන්නවා ඕයි. මම හිටගෙනමයි යන්නේ" කියමින් මෙගොඩ ආ කුලේ ගං ඉවුරට අඩිය තබනවාත් සමගම කකුල් දෙක මැදින් බිමට වැටී ඉවුරේ ඇනී ඇත්තේ මෙතෙක් කුට්ටම අසල සැගවී තිබි අලවංගුවය. එදා සිට කුලේට ගල් ඉන්න යන නමද පට බැදුනේය.
දිනක් අතර අල්ලපු නිවසක ගසකින් කරපිංචා සොරාගෙන, ඒවා රැගෙන විත් සෑමාගේ ගෙදරට විකිණීම නිසා කුලේට කරපිංචා යන නමද, තවත් විවිධ හේතු නිසා, සියඹලා, ගල් සියඹලා, රඹුටන්, ආදී නොයෙක් නම්ද පට බැදිණ. සියළු නම් වැටීමේ කාරණා වලට හේතු වූයේ කුලේගේ හොර වැඩය. ඒ අතර දිනක් අළුත සදන දෙමහල් නිවසක රාජකාරී අතර තුර වයර් රෝලක් රැගෙන පනින්නට හැදූ කුලේ අතේ මාට්ටු වී ඇත්තේය. කෑම පැයේදී හදිසියේ වයර් රෝලක් දුටු කුලේ වයර් කොණක් තම ඉන වටේ පටලවාගෙන උඩ තට්ටුවෙන් බිමට පැන ඇත්තේ පහළ තිබි වැලි ගොඩට වැටෙන පරිදිය .එහෙත් බිම වැටීමට තරම් වයර් එක දිග ප්‍රමාණය අඩු වීමෙන් කුලේ පොලොවත්, සැටලිමත් අතර සරල අවලම්භයක් මෙන් චලනය වෙද්දී බාස් මහත්වරු සහ නිවසේ අයිතිකරුවා පැමිණ කුලේව බේරාගෙන ඇත්තේය. එදා සිට කුලේට වයර් රෝල මතක් කළත් මලය. පසු කලෙක වූ බලු පැටික්කියෙකුගේ සීන් එකක් නිසා කුලේට 'ඉජු ඉජු' කිව්වත් මල පනින්නේය.
කුලේගේ සියළු නම් පෙළ ගැස්සුවේ කුලේ ගේ 'ගල් ගැසීම්' ගැන කතා කිරීමටය. කුලේට ඉහත කී කිසියම් නමක් කිව හොත් මුලින්ම කුලේ කරන්නේ කියපු එකාට කුණු හරපෙන් බැනීමය. ඉන් පසුවත් නැවත කුලේට නමක් කිව හොත් කුලේ බනින්නේ විහිළු කරපු එකාගේ අම්මාටය. ඉන්පසුවත් දිගින් දිගටම විහිළු කරන්නේ නම් කුලේ අතට ගන්නේ ලග පාත බිම ඇති තඩි ගල් කැටයක්ය. ඉන් පසු කුලේගේ ගල් ගැසීම ඇරඹෙන්නේය. මෙතැන් පටන් මා සෑමා දුටු කුලේ ගේ ගල් ප්‍රහාර දෙකක් දිග හැරෙන්නේය.
දෝදුගේ ආච්චී සැමාගේ කඩේට ආවේය. එදා සෑමාගේ අම්මා කීවේ වත්තේ කරපිංචා ගහේ කරපිංචා තියෙනවා වෙලාවක කරපිංචා දෙන්නම් එන්න කියාය. ඉන්පසු දිනක් සෑමා දෝදුගේ නිවසට ගිය විටක ආච්චී කීවේ දෝදු සෑමාගේ ගෙදර ආපු විටක ඔහු අතේ කරපිංචා එවන්න කියාය. එසේ කියා ටික දිනකින් දෝදු සෑමාගේ ගෙදර ආවේය. මේ සියල්ල වූයේ සෑමාගේ මිදුලේය. සෑමාගේ අම්මා, දෝදු, සහ පාර අයිනේ කුලේ අංකල්ද සිටියේය.
කුලේට කරපිංචා කිව්වාම මල පනින බවක්, කුලේට තද වෙන ක්‍රමවේදය යන කිසිවක් දෝදු නොදැන සිටියේය.
"පුතේ ආච්චි එදා කිව්වා කරපිංචා එවන්න කියලා." ඒ සෑමාගේ අම්මාය.
"ඔව් නැන්දේ මට එදා කිව්ව ගිය වෙලාවක අරන් එන්න කියලා." ඒ දෝදුය.
ඒ පුංචි දෙබසට පසු අම්මා වත්ත පහලට යන්නට ඇත්තේ කරපිංචා කැඩීමට බව දෝදුට නොසිතෙන්නට ඇත. දෝදු මා සමග කතාව ඇරඹීය. මොහොතකින් සෑමාට සජීවී ගල් සෙල්ලමක් බලා ගැනීමේ ආසාවක් පහල වුයේය.
"මචං, උබලගෙ ආච්චි කිව්ව නේද කරපිංචා ඉල්ල ගෙන එන්න කියලා." ඒ සෑමාය.
"ඔව් බං මල වදේ, උඹලගෙ අම්ම අහපු නිසා මම එහෙම කතා කලේ. කාටද බං ඕව උස්සගෙන යන්න පුලුවං??" හැම කොල්ලෙකුටම ඇති පොදු හැගීම දෝදු එලියට දැම්මේය.
"මචං, අපිට නම් කරපිංච ගෙනත් දෙන්නේ ඔතන ඉන්න කුලේ අංකල්. දැන් නම් පොඩ්ඩක් බීලා. ටෝක් කරල බලපං. ගෙදරටම ගෙනත් දෙයි." ඒ සෑමාය. එවලේ කුලේද පොඩි සොට් එකක් දාගෙනය.
"අම්මට හුඩු එහෙමද? එහෙනම් මට උස්‍සගෙන යන්න දෙයක් නැහැ. පීසා හට් එකෙන් වගේ ගෙදරටම බඩු එයි." දෝදු කුලේට කිට්ටු විය.
"අංකල්, කරපිංචා තියෙන්නෙ කොහෙද?"
"මොනවා??" ඇත්තටම කුලේගේ කන් ටිකක් බ්ලොක්ය. කුලේ හිස හරවා ඇසීය.
"කරපිංචා අංකල්... හොද්දට දාන්නේ.." ඒ දෝදුය.
"තමුසෙ හිතුවද අයිසේ මට කරපිංචා අක්කර ගණන් තියෙනවා කියලා.." ඒ කුලේය. පොර හිතුවේ බයිට් එකට කියාය.
"නැහැ අංකල් වෙන වතු වලින් නේද ගේන්නේ.. අපේ ගෙදරටත් කරපිංච මිටි ටිකක් ගෙන්න ගන්න ඇහුවේ.." දෝදුගේ වදනට කුලේට මල් යායකි.
"අනේ මේ පු* නොදී පලයං.. @$%^ගෙ කොල්ලෝ.." කුලේගේ වදනින් දෝදුගේ ඇස් උඩ ගියේය.
"මේ මොකක්ද බං සෑම් මෙයා කියන්නේ, මෙයා කරපිංචා ඩිලිවරි කරන්නෙ නැද්ද??" දෝදු සෑමා දෙස බැලීය. දැන් සෑමාද වැඩේට හවුල් වී හමාරය. ඒත් කුලේ කිසි දිනක සෑමාට සෑමාගේ නිවස ඉදිරිපිට දී බැන වැදී නැත්තේමය. බය නැතුව සෑමාද වැඩේට එන්ටර් විය.
"මෙයාගෙ බොරු බං. මෙයා කරපිංචා බිස්නස් එකක් කරනවා." ඒ සෑමාය.
"ඒකනෙ අංකල් මම මහ දුරක නෙවේනෙ ඉන්නේ. පොඩ්ඩක් කන්ද නගින්න විතරයි තයෙන්නේ..."
"අනේ යනවා ඕයි යන්න. කන්ද නැගල ඇවිත් මම තමුසෙගෙ %^** (&&^ යන්නද??"
දෝදු නිල් විය. සෑමාටද කර කියා ගන්නට දෙයක් නැත. ඒත් චිත්‍රපටය ගල් ගැසීම දක්වා නොගියේ නම් සැපක් නැත්තේමය.
"කවුද බං මූ.. මූට පිස්සුද???" ඒ අපේ දෝදුය.
කුලේට බනින කුණු හරප අහවර විය. බිමට පහත් වී කුලේ අතට ගත්තේ කළු ගල් කැබැල්ලක්ය. දෝදුවා කළබල වුයේය. වටපිට බලා කන්ද උඩහට දුවන්නට වුයේය. කුලේ ගල් ගත්තාට ගල බදාගෙන ඉන්නවා මිසක කිසි දිනක ගලකින් ගසා නැත්තේය. ගැසුවත් ඉලක්කයට නොගසන්නේය. ඒ බව දත් සෑමා දෝදුගේ ක්ෂණික දිවිල්ල බලා සිටියදී අම්මා ආවේ කරපිංච අත්තක් කඩා සැදූ මිටියක් අතින් දරාගෙනය. දෝදු ඈත සිට සිද්ධිය දුටුවේය. එහෙත් ලගට එන්නට ශක්තියක් නැතුව බලා සිටියේ කුලේ අත දරා සිටි කළු ගල නිසාය. පසුව අම්මා මැදිහත්ව සියල්ල සමථයකට පත් කරද්දී සෑමා බලා සිටියේ දෙවන ප්‍රහාරය අම්මාගෙන් සෑමාට ලැබෙන නිසාය.
දිනක් සෑමා, හර්ෂ, ප්‍රභාත් ඇතුළු පිරිස සැලුන් එකේ සිටියදී කුලේ එතැනින් ගියේය. ප්‍රභාත් කුලේ දැක උමතු වි කෑ ගැසුවේ අඩෝ ගෙජ්ජියා කියාය. ක්ෂණිකව ආපසු හැරුණු කුලේ සැලුන් එකට රිංගද්දී ප්‍රභාත් සැලුන් එක පිටුපසින් එහා පැත්තේ කමියුනිකේෂන් එකට රිංගා ගත්තේය. රිංගාගෙන විත් පඩිපෙල දිගේ උඩ තට්ටුවට ගොස් දොර වසා ගත්තේය. සැලුන් එකේ කණ්නාඩියෙන් කුලේ ප්‍රභාත් ගේ දිවිල්ල දැක පඩි පෙල දිගේ ඉහලට නැග්ගේය. දොර ලග හිටගත් කුලේ කෑගසන්නට වුයේය.
"අද තමා උඹ මගෙන් මැරුම් කන්නේ. හැමදාම කෑගගහා දුවන රතු ෂර්ට් කාරයා අද අහුවුනා. තෝ එලියට එනකල් මම දොර ලග ඉන්නවා. කීයට හරි එලියට වරෙන්කෝ.." කුලේ දොර ලග සිට මුර කරන්නට වුයේය. ඒ අතර ප්‍රභාත්ගේ ෂර්ට් එකේ පාටද කුලේ දැක ඇත්තේය. පහල සිටි අපට කුලේව පහලට ගෙන්වා ගැනීමට ට්‍රයි කරන්නට සිදු විය. ඒත් පොර දොර ලගින් හෙල්ලෙන්නේ නැතිය. ප්‍රභාත් ඇතුලේය. දුරකථනයෙන් ප්‍රභාත් ඇමතූ විට ඌ කීවේ "මචං ගෙජ්ජියව පහලට ගනින් මට එහා පැත්තෙ වහලෙට පැනලා එහා පාරෙන් හර්ෂලගෙ ගෙදර යන්න පුළුවං කියාය."
"වැඩක් නැහැ බං. උබේ ෂර්ට් එකේ පාට දැකලා. උඹ ගියත් ආයෙ මාසෙකට විතර මෙහෙ එන්න එපා. අනික කුලයා උබේ නමත් එක්ක කිව්වා ෂුවර් එකට ඒ උබ කියලා" අපි ප්‍රභාත්ව අප්ඩේට් කලෙමු.
"හරි බං කෝම හරි ඕකව පහලට ගනින්. මම පනින්නම්." ඒ අසරණ වු ප්‍රභාත්ය.
කෙසේහෝ පැය 2ක් යන තුරුම කුලේ එතැනින් හෙල්ලුනේ නැතිය. ඒ මදිවට ප්‍රභාත් ඇතුලේ සිට ගෙජ්ජියෝ කියමින් කුලේව ෆෝම් කරන්නේය. එනිසාම කුලේ හෙල්ලෙන්නේ නැතිය. මොහොතකින් අපි කුලේට ඔහු වෙනදාට පහර දෙන ක්‍රම වේදය කියා දුන්නෙමු.
"අංකල් ඔහොම ඉදල හරි යන්නෙ නැහැ. හොද කළු ගලක් ගන්න. ඕකගෙ ඔළුවටම ගහන්න."
එය ඇසී මොහොතකින් කුලේ පඩිපෙල පාමුලට ගියේ කළු ගලක් ගැනීමටය. එසේ යද්දි දොර ඇරගත් ප්‍රභාත් එලියට පැන්නේය. එහා නිවසේ වහලයට පැන ප්‍රභාත් හර්ෂගේ ගෙදර ගියේය. කුලේ නැවත දොර මුර කිරීමට උඩට නැගුනේය.
දැන් ප්‍රභාත් ආරක්ෂිතය. නමුත් කුලේම ඇද සිටි ඇදුම සහ මුහුණ යන්තම් මීටර් ඇති නිසා අපි සිතුවේ ඔහු නැවත එම මොහොතේ සැලුන් එකට නොපැමිණ කෙලින්ම ගෙදර යයි කියාය. එහෙත් මොහොතකින් ඔහු ආවේය. ඒ වෙන පාටක ෂර්ට් එකක් ඇදගෙනය. පොර තම ෂර්ට් එක හර්ෂගේ නිවසේ රෙදි වැලට දමා, හර්ෂගේ ඇදුමක් ඇදගෙන ඇවිත් ඇත්තේය. කෙසේ හෝ ප්‍රභාත් කොණ්ඩය කපාගෙන පඩිපෙල අසලට විත් අංකල් මොකද සීන් එක කියා ඇසුවේය.
"මොකද වෙන්නෙ කියල බලන්න තව ටිකක් ඉන්නවා.." ඒ කුලේය.
"ඇයි අංකල් මොකද සීන් එක?"
"මට වෙනදට කෑගහන රතු ෂර්ට් කාරයා ඇතුලෙ ඉන්නවා. මම අද ඕකගෙ $%^ මේ ගලෙන්ම තලලා දානවා. තමුසෙට බලාගන්න ඕනෙ නම් ඉන්නවා මෙතන, කොයි වෙලේ හරි එලියට එන්න එපෑ" ඒ බලාපොරොත්තු කරපින්නා සිටි කුලේය.
"මට පරක්කු වෙනවා අංකල් මම යනවා. වෙන දවසක බලමු."
Written by sAm_8.19_08.07.2012