අම්මෝ ඒ කාලෙනෙ අවුරුදු. දැන් නම් මොන අවුරුදු ද? හැම අවුරුද්දේම හැම අයම කියන්නේ එහෙමය. ඉස්සර ඔන්චිල්ලාය. හැමෝම ගෙදරය. කැවුම් කොකිස් මුං අළුවා බදින සුවඳය. කොහා ගස් උඩය. පංච ක්‍රීඩාය. ඔලිඳ කෙලිය ය. රබන් සුරල්ය. එදා ආතල් ය. මෙදා නැතිය.
අවුරුදු කිව්වාම දැන් ඉන්නා හැමෝම කියන්නේ එහෙමය. අපේ මිනිස්සු දකින දේට වඩා ලැබෙන දේවල් වලට වඩා හිතන්නේ කියන්නේ නොලැබෙන දේවල් ගැනය. අවුරුදු නැත්තං කිරිබත්ගොඩ, මහරගම පසු කරන්න මෙච්චර වෙලාවක් ගත වෙන්නේ ඇයි දැයි ප්‍රශ්න කරන්නට කෙනෙක් නැති එක ගැන සිතිය යුතුය. ඉස්සර වගේම අලුත් අවුරුද්දට අලුත් ඇඳුමක් ගන්නට පොඳිකන්නේ අවුරුදු නැති නිසාදැයි ඇසි යුතුය.
අවුරුදු ඇත. එහෙත් අපිට මඟ හැරී හෝ අමතක කර දමා ඇත.
ඉස්සර අවුරුදු මෙන් පොඩි උන්ට ඔන්චිල්ලා බඳින්නට ගසකට නඟින්නට කෙනෙක් දැන් නැත. එක්කෝ ඔන්චිල්ලා පදින්නට තරම් හයිය අතු සහිත ගස් සොයන්න නැත. එහෙමත් නැති නම් ගස් තිබ්බාට ඔන්චිල්ලා බඳින්නට වෙලාවක් වැඩිහිටියන්ට නැත. අවුරුදු පොඩි උන්ට නැති කළේ එතැන සිටය. පංච බෝඩ් එකක් සොයා දෙන්නට කෙනෙක් නැත. කියා දෙන්නට ආච්චිලා සීයලාද නැත. එව්වා එකතු කරගෙන නිවාඩුව ගත කරන්නේ නම් අවුරුද්ද ඉස්සර වගේම ජුන්ඩක් ලැබෙනවා නිසැකය.
ගෙදර කැවුම් කොකිස් මුං අලුවා හදන්නට බැරි නම් එව්වා කඩෙන් ගන්නට හරි ඔබට බැරි නැත. කැවිලි සහිත මේසය සාදා ඉස්සර අවුරුද්ද දකින්නට ඔබට බැරි නැත. රබන් සුරල් නම් අද කරන්නට බැරි දෙයක්ය. කොහා සොයා ගන්නට බැරිය. එදාට හොඳ චැනල් එකක් ටියුන් කළා නම් ඒවාද එකතු කර ගන්නට බැරි නැත.
ඒ සියල්ල පැත්තකට දමා ඉස්සර අවුරුද්ද මෙන් හැමෝම එකට සිටින, නෑකම් යන, හෝ මහ ගෙදරට එකතු වෙන අවුරුද්ද විඳින්නට ඉඩක් දවසක් වෙන් කර ගන්නේ නම් ඉහත කිසිත් නැතුවාට ඔබට අවුරුදු දැනෙනු ඇත.
අනේ දැන් නම් ඉස්සර අවුරුදු නැහැ කියමින් සිටිනවාට වඩා. ඉස්සර අවුරුදු අද හෙට හෝ හැමදාටම මවා ගැනීම ඇත්තේ අප අතේ මිස කාගේත් අතේ නොවන්නේය.
sAmsRi 08/04/19 10:56pm




