Monday, October 26, 2015

අම්මා මොනවාද අපිට කළේ ?? - “පෝයට එකක්“


http://www.pinsiri.com/wp-content/uploads/2012/11/Amma1.jpg


“අම්මා මොනවාද අපිට කළේ ??“

අවසන අසන්නේ එපමණය. කුසට ආ දා සිට දහදුක් විඳ තැනකට එන්නට මඟ පාදන්නේ ඈය. ඉන්පසු ඇය වෙනුවෙන් වෙලාවක් නැති පුත්‍රයෝ, දියණියෝ, ඇය තමන් වෙත දැක්වූ අවධානය නොදක්වන්නෝය. ලෙඩකට දුකකට බෙහෙත් ගැන්මට යාම මොහොතකින් හෝ පමා කරන්නෝය. ඒ තමන්ගේ කාර්යය බහුලත්වය නිසා බව කියන්නෝය. තමන් කුඩු කළ ලෙඩකවූ විටක ඇය තමන්ව රැගෙන ගියේ එම මොහොතේමය. ඇය එකී කාර්යය කල් නොදැමුවාය. 

“අම්මා මොනවාද අපිට කළේ ??“

ඇය ඔබට උගන්වන්නීය. ඇය ඔබේ සහෝදරයන්ට, සහෝදරියන්ට උගන්වන්නීය. එක ලෙසම සියලු දෙනා ඉල්ලනා දේ ලබා දෙන්නීය. ඒ ඔවුන් ඔවුන්ගේ ඉගෙනීමේ අවශ්‍යතාවයන් මතය. අවශ්‍යතාවයන් විවිධ වුවද ඒ සියල්ල එක ලෙස ඉටු කරන්නීය. ඉන් අයෙක් අධ්‍යාපන මට්ටමින් පරතෙරටම යා හැකිය. අයෙක් අතර මැද ඇන ගන්නට පුලුවන්ය. පසුව විවිධ වෘත්තීය මට්ටම් වලට වැටෙන්නෝය. අදායම් මට්ටම් විවිධ වන්නෝය. ඉන් ඉක්බිති සමාන අයිතිවාසිකම් ඇතිව, අවශ්‍යතාවයන් සමානව සැපුරුණු බව අමතක කළ ඇත්තෝ ප්‍රශ්න කරන්නෝය.

“අම්මා මොනවාද අපිට කළේ ??“

ඔවුන් වැඩිවියට පත්ව විවාවන්නෝය. දරු මල්ලන් හදන්නෝය. ගෙවල් දොරවල් හදන්නෝය. විටෙක ඉඩම් කඩම් මිලට ගන්නෝය. ඉන්නට ඉඩමක් නොලද්දෝ ප්‍රශ්ණ කරන්නෝය. ගෙවල් නොලද්දෝ, හැදූ නිවසට අම්මාගෙන් උපකාර නොලද්දෝ ප්‍රශ්ණ කරන්නෝය, දරුමල්ලන් බලන්නට උදව් නැත්තෝ ප්‍රශ්ණ කරන්නෝය, උක්ත සියල්ල නොපිරිහෙලා ඉටු කළද ප්‍රශ්න කරන්නෝය.

“අම්මා මොනවාද අපිට කළේ ??“

විටක ඔහු ලබන්නේ හොඳ බිරිදක්ය. විටක ඔහු ලබන්නේ නපුරු බිරිදක්ය. විටක ඇය ලබන්නේ හොඳ සැමියෙක්ය. විටක ඇය ලබන්නේ නපුරු සැමියෙක්ය. තමන්ගේ බිරිඳ ඇගේම අම්මාට සලකන්නේ නම් ප්‍රශ්න අඩුය. තමන්ගේ ස්වාමියා ඔහුගේම අම්මාට සලකන්නේ නම් ප්‍රශ්න අඩුය. ඔවුනොවුන් මාතෘ, පිතෘ උපස්ථානයේ වටිනාකම දන්නෝය. ඔවුන්ගේ එම කර්තව්‍යයට බාධා නොකරන්නේ නම්, ඇය හෝ ඔහු හෝ ඔබේ දෙමව්පියන්ට සලකන්නේද දෙවරක් නොසිතීමෙන්ය. කොටින්ම කිවහොත් ඇය ඇගේ අම්මාට සලකන්නේ නම්, ඇය අනලස්ව ඔබේ මවට එනම් ඇගේ නැන්දම්මාට සලකන්නීය. ඔහු ඔහුගේ අම්මාට සලකන්නේ නම්, ඔහු අනලස්ව ඔබේ මවට එනම් ඔහුගේ නැන්දම්මාට සලකන්නීය. තම සහකරුට, තම සහකාරියට තමන්ගේ අම්මාගේ වටිනාකම නොහැඟේ නම් ප්‍රශ්න කරන්නේද මෙලෙසමය.

“අම්මා මොනවාද අපිට කළේ ??“

ඔවුන් දරුවන් ලබන්නෝය. ඔබේ දරුවන්ට මෙන්ම සොහායුරු, සොයුරියන්ගේද දරු මල්ලන්ද ඇය හදා වඩා ගන්නීය. එක ලෙසම ආදරය දක්වන්නීය. මුලින්ම උපන් පුංචි එකාගේ සිට අලුත උපන් පුංචි එකා දක්වාම ආච්චී දක්වන්නේ එකම ආදරයක්ය. මුලින් උපන් පුංචි එකාට කළ හරිය, අන්තිම එකාට කරද්දී බෙහෝ අයට අමතක විය හැකිය. අපිට නොකළ තරම උන්ට කරනවා යැයි හැගෙන්නේය. නැවතත් ප්‍රශ්න කරන්නේය. එහෙත් ඇය නිහඬය. ඇයි පිළිවදන් නොදෙන්නේ ඇය කළ තරම ඇය මෙන්ම සමාජයද දන්නා නිසාය. එහෙත් ප්‍රශ්නය නොනැවතී නැගෙන්නේය.

“අම්මා මොනවාද අපිට කළේ ??“

පිම්මේ දුවන ඇය එක වර නවතින්නීය. උණුසුම් වූ ලය විටක සිසිල් වන්නේය. හතිලමින් නොනැවතී දිවූයේ එකෙකු නිසා නොව හැම දෙනාම නිසා බව පසක් වන්නේය. එදා දුටුවේ උන්ට කළ හරිය මිස තමන්ට කළ හරිය නොවේය. තමන්ට කළ බව දැනෙන්නේද එදාටය. එහෙත් ප්‍රමාදය. කළ යුතුව තිබුණේ තමන් ලද හරිය සිහිපත් කර ඇයට තුති පිදීමය. එහෙත් ඇයට ඒ සතුට ජීවමානව ලබා නොදුනේ ඔබය. නැතිනම් අම්මා පුතා, අම්මා දුව, අතර බාධකයක් වූ ඔබේ සහකරු හෝ සහකාරියය. නැතිනම් කිසියම් හෝ සාධකයක්ය. උණුසුම් වූ ඇය ලඟ තුති පුදන්නට නොහැකිව, වචන අහිමිව, සුසුම් හිරවී හැඬුවාට පලක් නැතිය. හුස්මක් නැති ඇය ලඟ වකුටු වී තමා වෙනුවෙන් කළ කී දෑ ගණන් කළාට වැඩක් නැතිය. ඇය කළ හරිය ඇයට මතක් කර තුති පුදන්නට ඔබ ප්‍රමාද වැඩිය. එහෙත් ඔබ ඇය වෙනුවෙන් නොකළ ගුණ වැයීමේ ලැජ්ජාව වසා ගත යුතුය. නැවතත් ඇසිය යුත්තේ..

“අම්මා මොනවාද අපිට කළේ ??“


Written_by_sAm_ශ්‍රී_Perera_11.07pm_26/10/15

Thursday, October 22, 2015

මගේ පද සැරයි... - My Thoughts, So Hot !!!


තල දිගේ නලල්
ඇඳි ඇඳී තෙපුල්
පියන් ඇස් තදින්
සිඹිමි මං හොරෙන්

තෙපුල් මත වෙලී
උරහිසේ ගැටී
පපුතුරේ ඇඳී
කලබලෙන් විදී

ලැම මතින් මිදී
උදරයේ හිදී
නාභියේ තුඩේ
පොපියමින් ලගී

සිහින් ඉන කෙලවරේ
දෙපා යුග අතරෙහී
රස ගඟුල් ඇහිරුණේ
සිහින් තොල් මැතිරුණේ

අසනි වැසි ඇඳ වැටී
අහස් කුස ගිගුරුවේ
මුළු රැයම තෙත් වුණේ
මල් යහන බීරිමේ..

Monday, October 19, 2015

ක්ලබ් කතාවක්... - A Club Story !!!


අද කාලේ ක්ලබ් එකක් කිව්වාම මතක් වෙන්නේ හොඳට බොන ඒවාය. නටන ඒවාය. ආතල් ගන්නා ඒවාය. කොටින්ම කිව්වොත් නයිට් ක්ලබ්ය. වැඩි මුදලට බියර් බොන්න ඒවාය. වැඩි මුදලට අඩියක් ගසන ඒවාය. සැපක් ගන්නට ගොස් වැඩි මුදලකට කෙලවා ගන්නා ඒවාය. ඩාන්ස් කරන්නට ගොස් පදම වැඩි වී කකුල් හතරෙන් එන ඒවාය. මොක කිව්වත් අතේ සල්ලි වැඩි නම් ජනතාවට ආතල් ඒවාය.

ඒ කෙසේ වෙතත් ඉස්සර නම් ක්ලබ් කිව්වොත් ඇත්තටම සැපය. මුලින්ම සිහිවන්නේ ස්පෝරට් ක්ලබ්ය. බැට්, බෝල අනිවාර්යෙන් තිබෙන එවන් ක්ලබ් එකල්හි තරුණ ජනතාවගේ සෙට් වෙන තැනය. කැරම් බෝඩ් ද අනිවාර්යය අංගයක්ය. ක්‍රිකට් ගසන්නට සැට් වී හදිසි වැස්සක් වැටුනොත් ඉන්ඩෝ(ර්) හෙවත් ගෘහස්ථ ක්‍රීඩාවක් ලෙස කළේ කැරම් ගසන එකය. එතැනින්න එහාට කාඩ් පැක් එකද එවන් ස්පෝර්ට් ක්ලබ් වල නැතිවා නොවේය. ජාත්‍යන්තර ක්‍රීඩාව ඕමිය. ඕමි බැරි උන් දිග ඇර ගන්නේ කැරම් බෝඩ් එකය. ෂොට් නොදන්නවා වුවද ඩිස්ක් එකෙන් ගසා අනුන්ගේ ඉත්තෙක් හෝ වලට දැමීමට හැකි උන් සිටීම කැරම් බෝඩ් එකෙහි ජීව ගුණය රඳවා ගැනීමට හැකි වූ එක් කරුණක්ය. උක්ත ක්‍රීඩා සියල්ල හැරුණු කොට ඉදහිට හෝ අඩියක් පුඩියක් ගැසීමද ක්‍රීඩා සමාජයේ, ස්පෝ(ර්)ට් ක්ලබ් එකේ අනිවාර්යය අංගයක්ය.

http://pachagune.blogspot.com/2011/06/blog-post_29.html

සෑමාගේ ගමේ පැරණිම ස්පෝර්ට් ක්ලබ් එක ගාමිණී ක්‍රීඩා සමාජය විය යුතුය. පරම්පරා ගණනක් අතින් අත මාරු වූ එම ක්‍රීඩා සමාජය තවමත් තිබෙනා බව සිහිවන්නේ වෙසක් කාලයටය. ඒ ඔවුන් සැට් වී දෙන දන්සැල නිසාය. ගාමිණී ක්‍රීඩා සමාජයට නම ලැබුණු හැටි සෑමා නොදන්නේය. එහෙත් ක්‍රීඩා සමාජය එකල්හි බොහෝ දුරට සක්‍රියව තිබූ බව සෑමා දන්නේය. ඊට හේතුව සෑමාගේ පියා හෙවත් කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතා එහි විවිධ තරඟවලට සහභාගිවී ලද කුසලාන තවමත් නිවසේ ඇති නිසාය. එදා ක්‍රීඩා සමාජවල ක්‍රිකට් වලට වඩා තැනක් තිබුනේ එල්ලේ වලට බව සහතිකය. එසේම දුවන, පනින, පිහිනන තරඟ පවා සරුවට තිබී ඇත්තේය. කෑලි පස්සේ පන්නන උන්, සරුංගල් පස්සේ දුව උන් නිසා මැරතන් වලට නිසි පුහුණුවක් ලැබී ඇත්තේය. වැටවල්, කඩුලු, හොර පොල් කැඩිලි, කොටු පැනිලි වගේ ඒවා සරුවට තිබී ඇති නිසා පනින උන්ද, කෑලි නානවා බලන්න යන උන් ඇලේ, දොලේ, ගඟේ කෙල්ලන්ට පේන්න වැඩ දාන නිසා පිහිනීමද ප්‍රගුණ කර ඇත්තා සේය.

තත්වය එසේය. සෑමාට මෑත අතීතයේ මතක මහප්පලෑ නිවසේ තිබූ ක්ලබ් එකය. තිබුණේ ක්‍රීඩා දෙකක්ය. එකක් කැරම්ය. අනෙක ඕමිය. බෝඩ් එක ලැබී තිබුණේ සෑමාගේ අයියා ක්‍රීඩා සමාජයකට එකතු කළ බඩු නිසාය. ඊටත් කලින් පරම්පරාගත කැරම් බෝඩ් එකක් තිබුණේය. චැම්පියන් එකක් නෙවේය. ඒත් පරම්පරා ගාණක් ගැසූ පාරවල් නිසා බෝඩ් එක පට්ට පොලිෂ්ය. වල ලගින් තිබූ සැනින් ඇතුලට යන්නේ සුරුස් ගාලාය. වල වටේ පිත්තල ෆ්‍රේම් එකක්ය. වලවල් නම් ඉරී තිබුණ නිසා පරණ මේස් කුට්ටම් අල්ලා තිබුණේය. කැරම් ගසන්නට හතරක් ඉඳගෙන සිටියදී ඕමි ගසන්නටද හතරක් සිටින්නෝය. ඒ තරමට ක්ලබ් එක නැගලා ගියේය. තේ වතුර, බිස්කට්, අරවා මේවා සියල්ල ලොකු අම්මා ගෙන්ය. ක්‍රීඩා කරන අට දෙනා හැරෙන්නට තවත් සැට් එකක් පරාද වෙන උන් නැගිටන තුරු වටේට වී සිටින්නෝය. ඒ තරමට ජනතාවක් ක්ලබ් එකේ සිටියෝය. පට්ට ආතල්ය. මැච් එකක් තිබුණත් බලන්නට සැට් වෙන්නේ එහේය. සරලව කියන්නට ඇත්තේ අන්න ආතල් කියා පමණක්ය. ඒ ආතල් දැන් නැති පොඩි උන් පව්ය. ඒ ආතල් ආයෙත් නොඑන අපි ඊටත් වඩා පව්ය.

සෑමාට ක්ලබ් ගැන මතක් වූයේ සමීපතම මිතුරෙක් නිසාය. උන්ට නම් ආතල්ය. ඒ උන්ට තාමත් ක්ලබ් එකක් තියෙන නිසාය. හවසට, සති අන්තයට කස්ටිය සැට් වී කැරමක් ඕමියක් ගසන නිසාය. ක්‍රිකට් ගසන නිසාය. දිනක් මිතුරාගේ නිවසට යන අතරමග කොල්ලෝ සැට් එකක්ය. ඉඩමක් මැද, පාළු තනි ගෙයක්ය. ඒ වටේ කොල්ලෝ සැට් එකක්ය. මා සිටියේ උගෙ වාහනයේය. මග නවතා උන්ට සැලයුට් දමා හවස එන්නම් කියාගෙන ගිය අපේ එකා හඬ අවදි කළේය. “ඒ අපේ ක්ලබ් එක බං“ එතැන් සිට ක්ලබ් කතාය. ආතල් ඒවාය. ආතල්ම එක කීවේ එදා නොවේය. පසු දවසකය. මෙතැන් සිට සෑමාගේ මිත්‍රයා සුජීය. මෑතක සිට උගෙ කාඩ් එක සුජී වූයේද අර “සුජී“ ෆෝන් කෝල් එක නිසාමය.

සුජියා දිනක් ක්ලබ් එකේ තවත් එකෙක් සමඟ අඩියක් ගසන්නට ගොස් ඇත්තේය. පොඩි අඩි නොතබන සුජියා සුපුරුදු පරිදි තඩි අඩියක් ගසා අඩි පොලේ ගසමින් පැමිණ ඇත්තේය. සුජියා පොඩියට අඩියක් ගසන්නට සෑමා සමඟ තවත් 4 දෙනෙක් සමඟ ගිය විදිහ සෑමාට තවමත් මතකය. එදාද බියර් පොඩි අඩි ගසා බිල ආවේ මහ ගාණක්ය. අහවල් දෙක උකස් නොකොට බේරිලා ආවේ එතැන සිටි නොබොන එකාද සම්මාදම් කරගෙනය. කෙසේ හෝ සුජියා මිත්‍රයා සමඟ ගෙදර එමින් සිටියදී සුපුරුදු පරිදි ක්ලබ් එකේ සෙනඟය. ජනතාවට ආචාර දක්වා සුජියා ක්ලබ් එකේ ජනතාවගෙන් ඇසුවේ “මොකෝ වෙන්නේ“ කියාය. උන් නොකියා කීවේ බූරු ගසනවා කියාය. සුපුරුදු පරිදි සුජියා “හරි මචං එන්නම්“ කියාගෙන පිටත් වී ඇත්තේ මිතුරාද සමඟය.

සුජීගේ නිවස වටේම පාරය. එක පැත්තකින් ඇතුල්ව අනිත් පැත්තෙන් යා හැකිය. තරමක වටයක් ගැසිය යුතු වුවත් වාහනය හරවන්නේ නැතිව වටෙන් යන්නට ලැබීම සහනයක්ය. සුජියා තම මිතුරා සමඟ ක්ලබ් එකේ උන්ට දොස් කියන්නට වූයේය. 

“බලපං මෙහෙම චාටර් වෙනවද බං, ගමේ උන් දැන ගත්තොත් ක්ලබ් එක වහන්න වෙන්න.“

“සිරාවට, මුන්ට තේරෙන් නැද්ද, ඕව අපිට ගැලපෙන වැඩ නෙවේ යකෝ“ සුජීගේ මිතුරාද පොහොර දමන්නට විය.

“කාඩ් පැක් එකක් තියන් ඕමි ගැහුවට කමක් නෑ බං. සල්ලිවලට බූරු ගහන එක ..? අපි ගමේ පිළිවෙලකට ඉන්න කොල්ලෝ. ක්ලබ් එකේ උන් කියලත් එහෙමට චාටර් උන් නැහැනේ බං. ඕවට ගියාම අපිටත් කෙලවෙනවා.

“ඒක ඇත්ත බං. මාව ඔතනින් දාපං. මම ගෙදරට පයින් යන්නම්.“

“එල කිරි.. මාත් මෙහෙම්ම ගිහින් නිදා ගන්නවා බං..“

එදිනම නැවත යලි හමු නොවනට වෙන්වූ දෙදෙනා සමුගත්තෝය. මිතුරා මඟ අතැරියා සුජියාට නිවසට යනවාට වඩා ක්ලබ් එක පැත්තට යන්නට සිතුනේ බූරුවා ගසා කීයක් හෝ එකතු කර ගැනීමටය. මිතුරා මගින් බැස්ස නිසා නැවත ඒ පාරේම යෑම ඉල්ලං කෑමක් නිසා සුජියා කළේ වට රවුමෙන් නැවත ක්ලබ් එකට සැපත් වීමය. ක්ලබ් එකේ ෆුල් හැපනින්ය. සැට් එකම වටවී බූරු ගසන්නෝය. අඩියක් පුඩියක් ගසා සිටි සුජියාට ක්ලබ් එකේ උන් පට්ට වෙල් කම් චියර් එකක් දුන්නෝය. එහෙත් ඒ අස්සේ සිටි එකෙක් සද්ද නැතිව බිම බලා සිටියේය. සුජියාටද ඔහු දෙස බැලුවේය. ඔහුද හිස ඔසවා සුජියා දෙස බැලුවේය. දෙදෙනාගේ ඇස් යා වී විනාඩි කිහිපයකට පෙර දෙබස් යලි සිහි වූයේය.

තමා මඟ හලා ගිය සූදුවට අකැමැති මිත්‍රයා තමාටත් පෙර ක්ලබ් එකට ඇවිත්ය.

ගෙදර ගොස් නිදා ගන්නවා යැයි කියූ සුජියා මිත්‍රයාට පසුව ක්ලබ් එකට ඇවිත්ය.

සුජියා රැගෙන ආවාට වඩා මුදලක් කුදලාගෙන ගියේත්, සුජියාගේ මිතුරා තුන් හතර ගුණයක මුදලක් කුදලාගෙන ගියේත් ඔවුන් සූදුව කෙරෙහි ඇති අපරිමාණ අකැමැත්ත නිසා සහ ඒ කෙරෙහි ඇති නොදැනුවත් කම නිසා බව කිව යුතුමය.

Written_by_sAm_ශ්‍රී_Perera_11:35pm_19/10/15

Sunday, October 18, 2015

බ්ලොගට වෙච්ච දේ... - What Happened to the Blog !!


අද නම් ලියනවමයි බ්ලොගක්.

මොනවද ලියන්නෙ තියෙන්නේ ?

අරූගෙ බූරුව ගහන්න ගිය කතාව,

අහ් ඒක මරු...

විලි ලැජ්ජ නැතුව ලියන්න පුලුවන්ද ආයෙත්..?

ඇයි බැරි ?? 

කතා සැට් එකක්ම තියෙනව නේ...

මතක් කර කර පෝලිමට ලියල දානවා. 

ඉස්සර නම් සතියට කතා තුනයි. සොරොව්ව කැඩුණොත් කතා ඊටත් වැඩිය.

කමක් නෑ සතියට එකක් වත් දානවා...

ඉරිද නේ.. උදේම එකක් ලියල දාන්නෝනි..

ඔව්.. බූරුව ගහපු කේස් එකෙන්ම පටන් ගන්නවා..

එලකිරි...

ගූගල් එකට sign in වෙලාම ඉන්න හින්ද අවුලක් නැහැ. නැත්තං බ්ලොගට වෙන පාස් වර්ඩ් තිබ්බ නම් ඒකත් මතක නැහැ.

ඔව් අලුත් පෝස්ට් එකක්..

සිලෙක්ට් කරලා ලියන්න ගත්තා වචන පනහක් විතර..

“බබා...“

ඇහුනෙ නැහැ වගෙ ඉන්නෝනි. නැත්තං ලියන්න වෙන්නෑ...

“ඇහුනදෝ....“

දැන් නම් කතා කරන්නම වෙයි.. ලඟට ආවොත් කෝමත් ඉවරයක් නැහැ...

“ඇයි ??“

“පාන් රාත්තලක් ගේනවද?“

විනාසයි. ඇහුන්නෑ වගෙ ඉන්න බෑනේ...

මුකුත් නොකියා නැගිට්ටා, පර්ස් එක හෙව්වා ඒකත් මිසින්..

මේසෙ උඩ සල්ලි. අතට අරන් ගියා...

“ම්හ්.. මෙන්න...“

මේසෙ උඩ පාන් රාත්තල. පැත්තක ලැප...

“ලියන්නෝනි බ්ලොගට වෙච්ච දේ... “



Written by sAm_ශ්‍රී_Perera_7:32am_18/10/15

Sunday, June 28, 2015

පායලා දේදුන්න.... - Unexpected Rainbow !!





ටියුන් වෙන අතර පොඩි රේඩියෝ කට්ටා
ඇසෙනා ගීතයක මගේ හිත හිට්ටා
ඉපැරණී ගීතයම ගයන්නේ වික්ටා
ලියන්නට සිත් වුණේ කවක් මට පට්ටා


 කුරුල්ලට ගී ගයන්න තනන්නේ වික්ටා
කුරුල්ලා ගේ (gay) දැයි නොදන්නෙමි ගැත්තා
ගීතය ගයන්නට ඇගේ හඬ ඉල්ලා
"දේදුන්නට හැඩය දෙන්න නෙත් බැමිත්" ඉල්ලා


අපූරුයි පද වැලම අවසනින් කොඳුරා
හැපි හැපී ඉල්ලයි ඇගෙන් ඔහු ඉඳුරා
මොක වුනත් කමක් නැත වටේටම දීලා
"එපා මැණික සිත පමණක්" කාටවත් දෙන්ටා


සුන්දරයි සම්මතයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි
බැදෙයි ප්‍රේමෙන් ලොවට අරුමයක් නොම වෙයි
දේදුන්න ගැන කිව්ව ගීයෙ පද සිහිවෙයි
පාන්දර බුකියම දේදුන්න වාගෙයි


නොදන්න උන් රැල්ලකට අසු වෙලා
දේදුන්නෙ පාට මැද තම රූපෙ දමාලා
දන්න උන් තමන්ගේ කට සද්ද වසාලා
පැත්තකට වී මේක ආතල්ද අසාලා


ගේ සීන්, ලෙස් සීන් කමක් නැත කියාලා
ආදරේ තිබේ නම් කමක් නැහැ නේ ඩලා
කෙල්ලෙක්ට බැදි තැල්ල තම අතින් ගලෝලා
කොල්ලෙක්ට බඳින්නේ තෝ කෝම අසාලා


වැල සයිට් අහු මුල්ල පීරමින් ගිය එවුන්
ආප්පේ කැටගරිය පුල පුලා බලපු උන්
කෙල්ලෙක් කෙල්ලෙක්ගෙ නලලෙ බැදි තැල්ල රන්
වැරදීද ? හරි නැද්ද ? අහපු හැටි සමාජෙන්


දැන නොදැන දේදුන්න දාගත්ත උන්දෙලා
හවසකට සමූපෙට ගොඩ වෙන්න ගිහිල්ලා
වෛයි වර්ණ දේදුන්නෙ පාට ඇත සැගවිලා
විවිධ සේවා දෙන්න උන් ඇත්තෙ පෙළඹිලා



Written_by_sAm_ශ්‍රී_Perera_2:05pm_28/06/15

පලි - ලංකාවේ බහුතරය ඇමරිකානුවන් බව සමාජ ජාලා වෙබ් අඩවි වලින් දුටු නිසා සමූපකාරයේ දේදුනු පැහැය දැක අපේ දේ අගයන්නට පද බැදි කයියකි.

Thursday, June 25, 2015

අම්ම ගහයි බැට් එකෙන්.. - Mother will Punish from a Bat !!


කාලයෙන් කාලයට අලුත් වාක්‍යයන් එන්නේය. ඉස්සර කාලයක් කිව්වේ “අම්මා ගහයි බැට් එකෙන් කියාය.“ බැට් එක එන්නට ඇත්තේ ක්‍රිකට් එල්ලේ පටන් ගත් කාලයේ විය හැකිය. නැත්තම් අම්මා ගහන්නට ඇත්තේ කොස්සෙන්, ඉදලෙන් හෝ ඉලපතින් විය හැකිය. ඉස්සර බත් බෙදන කෑම බෙදන වෙලාවක නම් සෑමා, අයියා හෝ අක්කා, වලියක් දා ගත්ත හොත් අම්මා පොල් කටු හැන්ද දික් කළාය. ඉන්පසු කියන්නේ “කට වහපල්ලා, නැත්තං හැන්ද යවනවා ගිරිය දිගේ..“ කියාය. කවදාවත් ගිරිය දිගේ හැන්දක් ගොස් නැති බව දන්නා අපි සද්ද වසන්නේ බයටය. කෙසේ හෝ අම්මා ගහයි බැට් එකෙන් භාවිතය දැන් අඩුය. 

දිනක් සෑමා ක්‍රිකට් බැට් එකක් අතේ තියාගෙන සිටියදී, සෑමාගේ මිතුරෙක්ට ඔහුගේ අම්මා කිසියම් හේතුවක් නිසා බනින්නට වූයේය. එවිට මිත්‍රයා සෑමාට කිව්වේ “මචං ඔය බැට් එක අම්මට දියන් කියාය.“ සිද්ධිය එතරම් පැහැදිලි නොවුණ සෑමා ඒ ඇයි බං ඇසූ විට ඔහු කීවේ “එතකොට අම්ම ගහයි බැට් එකෙන් බං...“ කියාය. ඒ කාලේ කවුරුන් හෝ එකෙක් බැට් එක යෙදාගෙන මේ කතා හදන්නට ඇතිය. ඉස්සර ක්‍රිකට් ගහන්න ගෙදරින් පාන්දර එළියට බැස්සාම කොල්ලෝ ගෙදර එන්නේ හවස් වෙලාය. විටක ගෙදර ඉන්න උන්ට කොල්ලන් කැන්දන් එන්නට පිටියට යන්නට සිදු වන්නේය. ක්‍රිකට් ගහන කාලයේ මේවා අප අත්විද ඇති සිද්ධීන්ය. විටක ගෙදරින් එන අම්මා හෝ තාත්තා අපේ එවුන් සෙල්ලම් කරන බැට් එකම දෝතින් ගෙන තම පුත්‍රයාට පහර දෙන්නේය. “මේ මහ රෑ වෙනකල් තොපි අහවල් එකක් කරනවද? හවස් වෙද්දි ගෙදර එන්නෙ නැතුව..“ කියමින් සෙල්ලම් කරන උන්ව ක්‍රීඩා ගාරයට යවන්නේ පිටියට කඩා වදින දෙමව්පියන්ය. ඒ හේතුව මත අම්ම ගහයි බැට් එකෙන් වාක්‍යය කරලියට එන්නට ඇත්තේය. 

අද කාලේ එළිමහන් ක්‍රීඩා විරල නිසාත්, ලැපට කම්පියුටරයට ගැතිව ඇති නිසාත් “අම්ම ගහයි බැට් එකෙන් වාක්‍යය“ කාලීන නොවන්නේය. අද කාලයට ගැලපෙන්නේ නම් “අම්ම බුකිය හැක් කරයි..“ වගේ එකක්ය. බැට් එකෙන් කෙලිනවට වැඩිය බුකිය හැක් කලොත් අම්මාගෙන් බේරෙන්නට බැරි වෙන නිසා අද කාලේ උන්ට ඒක ගැලපෙන්නේමය.
මදුරු තලා බැට් එක

සෑමාට බැට් එක මතක් වූයේ අනෙකක් නිසා නොව මදුරුවන් තලන බැට් එක නිසාය. කොයිල් එකෙන් මැට් එකට, මැට් එකෙන් රෙපලන්ට් එකට ක්‍රමයෙන් විකසනය වූ මදුරු තැලිල්ල දැන් බැට් එකෙන් කෙළවර වී ඇත්තේය. පාර අයිනේ බැට් එකක් වනමින් සිටිනා අයෙකුගෙන් ගත් බැට් එකේ ආතල් එක ඇත්තේ මදුරුවෙක් මැරෙද්දීය. විටක කරදර කාරී මැස්සන්ටද කෙලිය හැකිය. පවක් කිරීම කොච්චර ආතල් දෙන්නේ දැයි සිතෙන්නේ, විටක කලකිරෙන්නේ එවිටය. බැට් එකේ දැලට හසුවන මදුරුවන් චටාස් ගා කැබලි ඉතුරු නොවන්නට අධික විදුලි ධාරාවකට හසුවන්නෝය. ගිණි පුලිගුවක් විසිවෙමින් උන්ට වෙච්ච දෙයක් නැති වන්නේය. ඉස්සර අපේ උන් කියූ අම්ම ගහයි බැට් එකෙන් කතාව දැන් කාලයේ ගැලපෙන්නේ මදුරුවන්ටය. දැන් ඉන්න උන් බැට් එකෙන් කෙලින්නේ මදුරුවන්ට නිසාය.

මදුරු කරදරයේදී සෑමා කැමතිම ආරක්ෂක ක්‍රමය වූයේ නෙට් එකය. මොකා හිටියත් නෙට් එක දැම්මා නම් ආතල්ය. බොහෝ විට නෙට් එකේ එලියට වඩා ඇතුලේ මදුරුවන් සිටින අවස්ථාද නැතුවා නොවේය. එහෙව් විටක කළ යුත්තේ එලියේ සිටින සියළු මදුරුවන් නෙට් එක ඇතුලට කැදවා නෙට් එක ගැට ගසා තබා නිදහසේ නෙට් එක නැතිව නිදා ගැනීමය. එලෙසම හැමදාම උදේට නෙට් එක ගැට ගසා තැබීම තරම් වදයක් ලොවෙත් නැත්තේය. විටක අම්මා බනින්නේ ඇයි යකෝ නෙට් එක අකුලන්නේ නැත්තේ කියාය. එවිට සෑමා පිලිවදන් දුන්නේ “කමක් නැහැ ඉතිං.. අද රෑටත් නිදා ගන්නවා නේ“ කියාය.

කෙසේ හෝ මදුරු බැට් එක අතට ගත් මොහොතේ සෑමාට මතක් වුණේ අට වසර පන්තියේ සිටි විශ්වයාය. ඌද කොත්තා සමග සෙට්ව සර්කිට් හදන එකෙක්ය. දිනක් පොඩි පෙට්ටි කැබැල්ලක සර්කිට් එකක් අමුනා, බැටරියක් ඔබාගෙන ඔහු පාසල් ආවේය. පෙට්ටියෙන් පිටතට කම්බි කනු දෙකක් දමා තිබුනේය. පෙට්ටියෙන් පිටතට ඇති ස්විචයක් ඔන් කර ස්වල්ප මොහොතක් තබා කම්බි කනු දෙක අපේ උන් ඇගේ ගෑව්වේ විශ්වයාය. කුණු හරප කිහිපයක් කියමින් අපේ උන් විශ්වයාට බැන්නේ එයින් අධි ධාරාවක් පිට වූ නිසාය. ගැජට් එක තුල තිබූ තඩි කන්ඩෙන්සරයෙන් ධාරාවක් ගබඩාකරගෙන සිට එකවර මුදා හරින්නේ යැයි අපට තේරුම් ගියේ පසුවය. එම යාන්ත්‍රණම බැට් එකේ ඇත්තේය. ඒ කාලයේදීම කොත්තා සහ විශ්වයා අපට වද නොදී, ගුටි නොකා එම පර්පථය ගොඩ දැම්මේ නම් මදුරු බැට් එක ගොඩ දාන්නේ අපේ එවුන් දෙන්නෙක්ය.

බැට් එකේ සර්කිට් එක
මදුරු බැට් එක විටක වැඩ කරන්නේ නැතිය. මදුරුවෙක් වැදුනත් ඌ පාඩුවේ ඉගිල යන මොහොතක් ඇත්තේය. එවිට බැට් එකේ කරන්ට් එක මදිය. චාර්ජ් කළ යුත්තේය. එවන් අවස්ථාවක බැට් එක චෙක් කරන්නට බට්න් එක ඔබා දැල ඇල්ලීමෙන් සෑමා නියම සැපක් ගත්තේය. කෙසේ හෝ අත් දෙකින් හෝ බැට් එකෙන් මරුවත් පව පවමය. මදුරු සිගිත්තන් සිගිත්තියන් දවසට විස්සක් තිහක් බාන්නට සෑමාට සිදුවන්නේ පොඩ්ඩා නිසා මේ දිනවල නෙට් භාවිතය බැරි නිසාය. ඒත් මැරෙන මදුරුවා නිසා සිදුවන පව අවම කරගත හැකි පියවරක් සෑමා සොයා ගත්තේය. මදුරුවා මැරීමට බට්න් එක යොදා බැට් එක එක වරක් වැනීමෙන් මදුරුවා සිහිසුන්ව වාගේ බැට් එකේ රැදී සිටින්නේය. නැවත බට්න් එක එබුවොත් ඌ සදා සොත්තීය. අඩු කැබැල්ලක් වත් ඉතුරු නොවන්නට දුමක් දාන්නේය. උක්ත පියවර දෙකෙන් එකක් පමණක් අනුගමනය කොට, මදුරුවා සිහිසුන් මොහොතේදී බිම අතෑරියොත් පව අඩු වන්නේ යැයි සෑමා සොයා ගත්තේය. එම සිහිසුන් මොහොතේ මදුරුවා බිම දැමූ සැනින්, කූඹි පැමිණ තම ආහාරය සපුරා ගන්නෝය. ඒ නිකංම නිකන් මදුරුවෙක් අනුභව කිරීමෙන් නොවේය. BBQ මදුරුවෙක් අනුභව කිරීමෙන්ය. ඒ නිසා සෑමා හිත හදාගෙන ඇත්තේය. තමන් මදුරුවන් නොමරන බවත්, කූඹින්ට BBQ මදුරුවන් කෑමට දමන ලෙස සිතා, කුසගිනි නිවනා පුණ්‍ය කර්මයක් කිරීමෙන් සෑමා නිතර සැනසෙන්නේය.

ඔබේ නිවසේත් මදුරු කරදරයක් ඇත්තේ නම්, කූඹින්ට BBQ මදුරුවන් කෑමට දමනා බැට් එකක් ගෙන, කූඹින්ට කෑම දැමීමේ පුන්‍ය කර්මයක් කොට දෙලොව ශාන්තිය උදා කරවා ගන්න.

Written_by_sAm_ශ්‍රී_Perera_25/06/15_6:35am
Related Posts Plugin for WordPress, Blogger...