උප්පැන්නයට අනුව ඔබගේ ආගම බෞද්ධ නම් ඔබ යන්නේ පන්සලටය. කතෝලික නම් යන්නේ පල්ලියටය. මුස්ලිම් නම් මුස්ලිම් පල්ලියටය. හින්දු නම් කෝවිලටය. උප්පැන්නයට අනුව අදහන ආගම ධර්මය තීරණය වී දෙවියන්, බුදුන් දැක ආගම අදහන්නේ ඒ ඒ තැන් වලට ගොස්ය. සෑමා බෞද්ධ නිසා පන්සලටද, කිටියා කතෝලික නිසා පල්ලියටද යන්නෝය. දෙදෙනාම යන්නේ එකටය. වෙසක් දවසේද මුලින්ම පල්ලියේ පූජාවට ගියේ හවසය. ඒ එන ගමන් ගියේ පන්සලටය. මඟ දිගට දන්සැලක් දෙකක් වදිමින් පන්සල් ගියේ ආගමික වතාවත් කරන්නටය. වටේ ඉන්නා උන්ට කරදරයක් නැතිනම්, කොයි දේවාලේ ගියත් අවුලක් නැතිය. එහෙත් පන්සලේ හාමුදුරුවෝද, පල්ලියේ පූජකයාද, කෝවිලේ පූසාරිද, බලන්නේ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමටය. ධර්මයෙහි, ආගමෙහි පිහිටවන්නට නොවේය. ඒ ගැන පල්ලි කතාවක් සෑමා ලියුවේ වෙඩිම අස්සේය.
මිශ්‍ර විවාහ පිළිබඳ ගැටළුව බොහෝ විට එළි බහින්නේ පල්ලියෙන්ය. එම ලිපිය කියවූ බොහොමයක් ප්‍රශ්න ඇත්තෝ සෑමා ඇමතුවේ තමන්ගේ මිශ්‍ර විවාහ ගැටළු වලට පිළිතුරු ලබා ගන්නටය. විටක සෑමාගේ බ්ලොග කියවන කතෝලික රසිකාවියක් සෑමා සමඟ විවාදයකට පවා පැටලුනේ පල්ලියකින් එවැනි බලපෑමක් කිසි දිනක එල්ල විය නොහැකි බව කියමින්ය. නමුත් එම ලිපිය කියවා බෞද්ධ සහ කතෝලික ලෙස මිශ්‍ර පෙම් සබඳතා පවත්වන බොහෝ දෙනෙක් සෑමාගෙන් විස්තර ඇසුවේය. සෑමා ඒවාට පිළිතුරු දුන්නේ හද පිරි සතුටින්ය. සෑම ආගමකම, ධර්මයකම (විකෘති නොවූ) කියා දෙන්නේ නිවැරදිව ජීවත් වන ආකාරය නිසාවෙන් ආගමක් යනු ආදරයකට ප්‍රශ්න නොවේය. අනෙක් ආගම් ගැන කතාන්දර පසෙක තැබූ විට සෑමාට කතා කිරීමට අයිතිය ඇත්තේ බෞද්ධාගම ගැනය. පන්සල් යෑම ගැනය. මන්ද මේ වෙසක් සතිය නිසාය.
කිටියා සහ ඇගේ අක්කා සෑමා සමඟ වෙසක් දා පන්සල් ගමනට ආ නිසා සැමාගේ පන්සල් වන්දනාව බලා සිටි බව තේරුණේ නිවසට ආ පසුය. උන් ඇසුවේ මොකක්ද බොල ඒ වැදිල්ල කියාය. වැඩි වේලාවක් ගත නොවීය. වෙසක් නිසා පන්සලේ තදබදයක්ය. ඒ අස්සේ ධාතුන් වහන්සේලා වන්දනා කරන පිරිස්ය. ගෙදරින් කඩාගෙන ගිය මල් බෝධිය, චෛත්‍යය, සහ බුදු පිළිම වහන්සේට පිළිවෙලින් පූජා කොට සෑමා සිතින් මල් පූජා කරන ගාථා කීවේය. පහන් පත්තු කරනා ගමන් පහන් පූජා කරන ගාථාද සිතින් කීවේය. සුවඳ දුම් පූජා කරන ගාථා සිතින් කීවේ හඳුන් කූරු පත්තු කරමින්ය. පැන් කළ රැගෙන බෝධි මළුව වටේ පැදකුනු කරන අතර බෝධි වන්දනා ගාථාද, ඉතිපිසෝ ගාථාවද සිතින් කීවේය. ඉන්පසුව ධාතුන් වහන්සේද වන්දනා කොට සෑමා ගෙදර ආවේය. උක්ත ගාථා බෝධින් වහන්සේ දෙස බලා ශබ්ධ නගා ගායනා නොකියවීමෙන්ද, දණ ගසාගෙන කල් නොමැරීමෙන්ද, අපේ උන්ගේ සිත් අවුල් වී තිබුණේය. ඉනපසු කල්පනා කළ සෑමාට සිහිවූයේ ඇත්තටම තමන් කළ දේ වැරදිද කියාය. ඇත්තටම පන්සල් ගොස් වන්දනා කළ යුත්තේ කෙසේද කියා සංවාදයක් ඇතිකොට පිළිතුරු සොයා ගත යුතු බව සෑමාට සිතුනේය.
එදා පන්සල් මළුවේ සිටි සමහර උදවිය බෝධි පූජාවල නියැලමින් සිටියෝය. එවිට කළ යුතු වතාවත් අපි සැවොම දන්නා කරුණුය. පන්සල් ගොස් වන්දනා කිරීමද හැමෝම දන්නා කරුණක් විය හැකිය. එහෙත් බෝධිය දෙස බලාගෙන බොහෝ වෙලා වන්දනා කරන ඇත්තෝද සිටින්නෝය. බුදු පිළිම දෙස බලාගෙන බොහෝ වෙලා සිටින ඇත්තෝද සිටින්නෝය. විටක ඔවුන් ගාථා කියා සිත් නිවෙනා තුරු නිදහස් සිතින් බලා සිටිනවා විය හැකිය. සමහරු තමන්ගේ සිතෙහි ඇති දුක කියනවා විය හැකිය. එලෙසම සමහරු ගාථා කිව්වාට කියන්නේ ගිරා පෝතයක් ලෙසය. පාලි පාඨයන්ගෙන් සමන්විත නිසා තේරුමක් නොදැන විය හැකිය. ඒ නිසා සෑමාගේ ඉල්ලීම මේ ලිපිය අවසන තමන් පන්සලකට ගොස් වන්දනා කරන ආකාරය, කමෙන්ට් එකක් ලෙස ලියා තබන ලෙසය. එවිට එය අපිට සංවාදයකට ලක් කළ හැකිය.
මෑතකදී සෑමාගේ අක්කාගේ දියණිය යන පෙර පාසලේ දරුවන්ට පුහුණුවක් ලෙස සීල ව්‍යාපාරයක් පවත්වා ඇත්තේය. සෑම පෙරපාසල් දරුවෙක්ම පාහේ බොහොමයක් ගාථා දන්නෝය. බුදුන් වදින ගාථාවේ සිට පන්සල් ගොස් වදින බොහොමයක් ගාථාද, දෙමාපියන් වදිනා ගාථාද දන්නෝය. එහෙත් එක් එක් ගාථාව කියන්නේ කුමන අවස්ථාවටදැයි වෙන් කර ගන්නේ තරමක් වැඩිහිටියන් වෙන විටය. මන්ද පුංචි උන් කියන්නේ කට පාඩමින්ය. සිංදු කියනා ආකාරයෙන්ය. එදා සීල ව්‍යාපාරය හැසිරවූ ස්වාමීන් වහන්සේ පුංචි උන්ගෙන් අසා ඇත්තේ මල් පූජා කරන ගාථාව කුමක්ද කියාය. එවිට අත ඉහළට ඔසවා නැගිට සිටි පුංචි එකියක් පිළිතුරු දීමේ අවස්ථාව ලබාගෙන ඇත්තේය. පසුව ඇය තාලයට “රෝස මලේ නටුවෙ කටූ..“ ගීතය කියා ඇත්තේය. පැමිණ සිටි කිසිවෙක් ඇයව උපහාසයට නොගෙන පැහැදිලි කර ඇත්තේ මල් පූජා කරන ගාථාව “පූජේමි බුද්ධං කුසුමේනනේන..“ කියාය.
සවි ජා නො භවං හෝතී
සවි ජා නො පරා භවෝ
ධම්ම කාමෝ භවං හෝති
ධම්ම දෙස්සී පරා භවෝ ......!
දියුණු වෙන කෙනා හඳුනා ගැනීමට ලෙහෙසි
පිරිහෙන කෙනා හඳුනා ගැනීමට ලෙහෙසි
දියුණු වෙන කෙනා ධර්මයට කැමති
පිරිහෙන කෙනා ධර්මයට ද්වේශ කෙරති...
එලෙසම පන්සල් ගොස් ඔබ කටයුතු කරනා ආකාරය ගැන කමෙන්ට් එකක් තබනා ලෙස ඉල්ලා සිටින්නේ කරනා දේ නිවැරදිව අර්ථවත්ව සිදු කරවීමේ අවශ්‍යතාවය නිසාය.
Written_by_sAm_ශ්‍රී_Perera_9:45pm_05/05/15





