ලෝක ධර්මතාවයට අනුව ඉහළ තට්ටුවක් ඇත්නම් පහළ තට්ටුවක්ද තිබිය යුතුමය. නැති නම් පාවෙන නිවසක් විය යුතුය. නයාගේ කතාව මෙන් ගෙදර ඇති දේ කීමට නොව, කතාවක හරයක් තිබීමට කිව යුතු දේවල් ඇත්තේය. සෑමාට කරන්ට් එක වැදුන සීන් එකක් මීට බොහෝ කලකට ඉහතදී සෑමා ලිව්වේය. දෛවයේ සරදමක් මෙන් ගෙදර පොලොව ටෙරාසෝ කරන දවසේ කරන්ට් එක වැදුන නිසාත්, ටෙරාසෝ කරන විට පොලොව සම්පුර්නයෙන් තෙමා තිබුණ නිසාත් සෑමාගේ සිරුරේ දිවූ කරන්ට් එක, සෑමාව ජනෙල් ඩ්‍රිල් එකට අලවා තැබූයේ බත් ඇටයක් පොඩි කර කඩදහියක් අලවනාක් පරිදිය. එම ස්ටෝරිය බ්ලොග් ගත වූ දිනද සෑමා නයෙක් ඇරියා යයි කතන්දර හැදුනේය. ලගපාතම ඉන්න ෆිට් එවුන් සෙට් එකක් එසේ කියුවේ විහිළුවට බැව් සැමා දන්නේය. ඒ නිසා මේ කතාවේද යට තට්ටුව ගැන කියන්නේ කතාවේ අත්තිවාරම දැමීමට මිස නයි ඇරීමට නොවන්නේය.
සෑමාගේ ගෙදර පහල තට්ටුව කඩ කාමර වලට කුළියට දී ඇත්තේය. සල්ලි නැති නිසා කරන වැඩ මිසක් අපේ ගෙදර උදවිය සල්ලි වැඩි නිසා කරන වැඩ නොවේය. සල්ලි වැඩි නම් කරන්නේ කඩ නොසාදා ගෙයක් සාදාගෙන නිදහසේ සිටීම බව පොත් පත් වලින් සෑමා උගත්තේය. අපේ අමිලයා නම් කීවේ මිනිසුන් වැඩිපුර කම්මැලිවන විට නව නිර්මාණ රැසක් එළියට එන බවක්ය. ඒක ඇත්තය. ලගට ගොස් ටීවි එකේ බටන් එක එබීමට කම්මැලි නිසා රිමෝට් එක ආවේය. එය නිවැරදි උදාහරණයක්ය. පහළ තට්ටුවේ කුලියට සිටියේ සහ සිටින්නේ තේ කොළ කඩයක් කරන අංකල් කෙනෙක්ය. ලාභ දායි සහ සහන දායී මිලට තේ කොළ, ග්‍රීන් ටී ෂොප් එක පාඩුවේ කරගෙන යන අංකල් පාරේ යන උන්ට නම් මහ කරදරයක්ය. අපේ ගමේ මේ කඩය දැමූ දා සිට අංකල් පාරට වී උදේම වැඩට යන උන්ට ගුඩ් මෝර්නින් කියන්නට සහ, සවස එද්දී ගුඩ් ඊව්නින් කියන්නට පුරුදු වූයේය. ඒ අතර තමන්ගේ තේ කොළ මාකට් කිරීමද කරන්නේය.
ගුඩ් මෝනින් කියා නොනැවති අංකල් විනාඩි කිහිපයක් කතා කිරීම සහ සවස ගෙදර යද්දීද එම උගුලටම හසුවීමෙන් ග්‍රාමිය ජනතාව දහ දුක් වින්දෝය. තත්වය තවමත් එසේමය. තවද අංකල්ගේ හිත හොද කිරීමට කස්ටිය තේකොළ අරගෙන යන්නට පුරුදු වූවෝය. සාමාන්‍යෙයන් ගෙදරක තේ ගොට්ටක් සාදා ගත හොත් අවුරුද්දක් වුවද භාවිත කරන පවුල් ඇත්තෝය. ඔවුනට යන්තම කහ පාට තිබ්බත් අනේ අපුරු කහට එක කියා බොන්නෝය. තේ ගොට්ට වසර පුරාම මිරිකා බොන්නෝය. තත්වය එසේ තිබියදී අංකල් ඊයේ පෙරේදා තේ කොල ගත්ත එකාටද නැවත තේකොළ ගන්නට කියන්නේය. කාලය කා දැමෙන නිසාත්, මුදල් අහක යන නිසාත්, අංකල්ගේ සිත රිදුවීමට බැරි නිසාත් බහුතර ජනතාවක් විකල්ප මාර්ග සොයා ගත්තෝය. ඒ අතර හන්දියේ හෝල්ට් එකෙන් බැස ගෙදර යන උදවිය, කන්ද උඩ හෝල්ට් එකෙන් බැස ගෙදර යන්නට තියා ගත්තේ අංකල්ගේ සිත නොරිද වීමටය. එසේම සමහරු කඩේ පේන දුර තිබියදී පාර පැන එහා පැත්තෙන් ගමන් කළේ අංකල්ට අතවනාගෙන ගොස් දිවි බේරා ගැනීමටය.
මීට පෙර අංකල්ගේ බිස්නස් පාර්ට්නර් කෙනෙක් සිටියේය. ඔහු අංකල්ට වඩා වයසින් නම් බාලය. එහෙත් වයසය. අවුරුදු පනස් ගණනක් පමණ වූයේය. අංකල්ට හැට ගාණක් විය යුතුය. එහෙත් වයසින් බාල අංකල් අප අතරින් වියෝ වූයේ ගිය අවුරුදු සමයේය. නිවසේ කවුරුවත් නොමැතිව තනිවම විසු ඔහු ඉඩ කඩම් ඇති අයෙක්ය. ජිවත්ව ඉන්නා කාලයේ දරුවන් පවා ඔහු පිළිබද සොයා නොබැලුවේය. පවුලද පැත්ත පලාතේ ආවේ නැතිය. ඒ වෙන මිනිහෙක් සමග සැට් වී තිබු නිසාය. ජීවත්ව සිටියදී අංකල් අපේ කඩේ පිටතට පන්නා වහලයක් (
මර්ලින් කතාවේ ආ වහලය) ගැසුවේ ඉස්තරම් අන්දමින්ය. අංකල් එදා කීවේ දරුවො වත් නොබලන මට ඔයාලා කන්න බොන්න දෙන නිසා මම මේ වහල කෑල්ල කවදාවත් ගලවන් යන්නෙ නැහැ කියාය. හදිසියේ වියෝවෙන් පසු අංකල්ගේ දරුවන්, ඥාතීන් ක්‍රියාශීලී වූවෝය. අපිද මලගෙදර ගියේ අවසන් ගෞරව දැක්වීමටය. ඉන් පසු ගෙදර අය අංකල්ගේ බුදලය අයිතිවාසිකම් කියා රැගෙන යන්නට ඔහුගේ නිවසට ආවෝය. ඒ අතර අපිට ගසා දුන් වහල කෑල්ලද ගලවාගෙන ගියෝය. සියල්ල අවසන් වූ පසු දැන් ඉන්න අංකල් වැඩේට බැස්සේය. දැන් පොර අප සමග එක්ව ව්‍යාපාරය කරගන යන්නේය. ටෙන්ඩර් පවා ගැනෙන්නේ අංකල්ගේ කන්ටැක්ස් වලින්ය. අපෙ අම්මාද ෂෙයාර් හෝල්ඩර් කෙනෙක්ය.
කටයුතු එසේ සිදු වෙද්දී මේ අංකල්ද තරමක් අසනීපව පසු වන්නේය. ඒ නිසා ඒ කඩය සහ මේ කඩය දෙපැත්තම අපෙ අම්මාට බලන්නට සිද්ද වී ඇත්තේය. අංකල් මොනවා වුනත් වාසනාව උරගා බලන්නට ටිකට් එහෙම ගන්නේය. අද උදෑසන පවා මේ පැත්තේ ගෙවල්වලට ගොස් ටිකට් විකුණන ඇන්ටී කෙනෙක් පැමිණියාය. ඇය සෑමාගේ ඇගේ ටිකට් දෙකක් අලවා, අපෙ අම්මාට ටිකට් විකුණා අංකල්ගේ කඩේ පැත්තට ඇදුනාය. රුපියල් විස්සක් කෙලවාගෙන සෑමා උඩට නැග්ගේය. මොහොතින් අම්මා දිව ආවේ සුභ ආරංචියක් සමගය.
“අන්න කොල්ලෝ තේ කොළ අංකල්ට කෝටියක් ඇදිලලු..“
“ඈක්??? ඒ කෝමද??“ සෑමා නිල් වී ගියේය.
“අර ටිකට් ගේන එක්කෙනා අංකල්ගෙ ටිකට් නම්බර් ලියන් ගිහිල්ල. ගිය මාසෙ ටිකට් එකක. ඒ ගෑනු කෙනා බලල තියෙන්නෙ..“
“අම්මට හුඩු ඒමද??“
“කෑ ගහන්න එපා.. යමු බලන්න..“ කියමින් දෙදෙනාම බැස්සේ තෝකොල කඩයටය.
ටිකට් ගෙනෙන් ඇන්ටී, තේ කොළ අංකල්, අංකල්ගේ බැංකු මිතුරෙකු, සමග අපි දෙදෙනාද මැද්දට පැන්නේ සතුට සමරන්නටය. ඒ අස්සේ අංකල් දාඩිය පෙරාගෙන බලා සිටින්නේය. අංකල්ට හාර්ට් කේස්ය. අංකල් එලෝ නැතුව කල්පනා කරන්නේය. බලා සිටින්නේය.
“ඒකනේ මම කිව්වේ ඔයාට ටිකට් එකක් ඇදෙනවා කියල කවද හරි.. මම කිව්ව සාස්තරේ හරි..“ ඒ බැංකු මිතුරාය.
“ආ.. ඉලක්කම් ඔක්කොමයි අකුරයි තියෙනව නේද?? එහෙනම් කෝටියක් නෙවෙ.. කෝටි දෙකක්..“ ඇන්ටී තවත් ෆෝම් කළාය.
අංකල් කිසිවක් සිතා ගන්නට බැරුව පුටුව උඩ වාඩි වෙද්දී අපෙ අම්මා පැන පවන් ගැසුවේ අංකල් සෙත්තප්පෝච්චි වෙයි කියා සිතා විය යුතුය. අංකල් ෆෝන් එක අතට ගෙන තම බෑණා ඇමතුවේ පොර මෙහි ගෙන්වා ගැනීමටය. ඇන්ටීද සියල්ල ගිණි තබා යන්නට ගියාය. අංකල් තවමත් තෝන්තු මාන්තු වී සිටියේය. ඒ අතර බෑණා ටිකට් නම්බර් සහ විස්තර ගෙන ෆෝන් එක කට් කළේය. සෑමා පැත්තකට වී සිටියේ ටිකට් එක අතට අරන් බැලීම සුදුසු නැති නිසාය. අංකල් ඇස් කටේ දාගෙන කට ඇද කරගෙන සිටින්නේය. ටිකට් එක අතකද, ටිකට් එකේ ප්‍රතිඵල ලියු කොළය තවත් අතකද වන්නේය.
නැවත අංකල්ගේ ෆෝන් එක රින්ග්ස් ගියේය. ඒ බැණාය. ඒ අතර අංකල්ගේ මිතුරා ටිකට් එකේ පිටපුස අංකල්ගේ නමද, ලියා තැබුවේය.
“ආ.. එහෙමද? “ අංකල් ෆෝන් එක තැබුවේය..
“ඇයි මොකද ??“
“මේ ටිකට් එක ඇදිල නැහැ කියන්නෙ.. පුතා මණ්ඩලේට කතා කරල අහලා..“
“එතකොට මේ නම්බර් ලියල දුන්නෙ අර ගෑණි??“
“මට හිතෙන්නෙ ඒකිට වැරදිලා.. එදා මගෙ ටිකට් එක බලාගෙන නම්බර් ලියාගෙන ගිය කඩදහිය තමා මේ.. අද උස්සගෙන ඇවිල්ල තියෙන්නෙත් ඒ කඩදහි කැල්ලමද කොහෙද..“
“හපොයි.. මේ ගැණී දැන් ගමම ගිණි තියල ඇති.. අංකල්ගෙ ගෙදරට හොරුත් පනී.. මල විනාසයක් වෙන්නේ..“ සෑමා වැඩේ බරපතල කළේය..
“මේ ගෑණි මිනී මරණ වැඩනේ කරන්නෙ.. එන්නෙ නැතෑ මේ පැත්තේ..“
Written by sAm_ශ්‍රී_Perera_1:07pm_04/09/13
පලි - දයාබර ඇන්ටී ඔබ ඔබේ පණට ආදරයක් ඇතිනම් මේ පැත්තේ එන්න එපා. නිවසේම රැදී ඉන්න. මේ උණුසුම යනතුරු ගමෙන් පිටව සිටින්න. තවමත් අංකල්ගේ හිතට කියන්නේ ටිකට් එක ඇදුනා කියා විය යුතුය. මුලදී ඇතිවූ මුහුණේ ඉරියව් තවමත් එසේමය.