Friday, March 18, 2016

කරන්ට් නැති කතා - Power Cut Stories !!!


මේ ටිකේම කරන්ට් නැත්තේය. ඒ අස්සේ රස්නය නිසා රජයට සිදුවන බලපෑම වැඩිය. සදුදා සිට සෑමා සිටියේ ගෙදරින් පිට නිසා කරන්ට් සීන් එක වැඩිපුර දැනුනේ නැතිය. පුත්තලම, හලාවත, පැත්තේ සිට ගෙදර පැමිණි අද සෑමාට විදුලි අර්බුදයේ තරම තේරුණේය. පහුගිය ටිකේ සිටියේ හෝටල වලය. පොඩි සෑමා නින්දේය. කිටියා කොලුවාට අත කඩාගෙන පවන් ගසන්නීය. ඒකත් ශිෆ්ට් එකටය. ඊලඟ ශිෆ්ට් එකට පෙර මෙය ලියා අහවර කල යුතුය.


ඉස්සර කාලයක් එක දිගට විදුලිය විසන්ධි වූවා මතකය. සෑමා පාසල් යන ඒ කාලයේ සිටියේ චන්ද්‍රිකා මැඩම්‍ ය. ඇය ඒ කාලයේ මොකක්දෝ ජෙනරේටරයක් ගෙන්වනවාදෝ මොකක්දෝ කියා හැම රෑකම විදුලිය කැපුවාය. මතක විදියට රෑට තඩි ලොරියක පටවාගෙන අහවල් ජෙනිය ගෙනියන බවක් කීවාය. විදුලි රැහැන් වල ගෑවෙන නිසාම විදුලිය කැපුවාය. රෑට ට්‍රැෆික් නැති නිසාම ඒක රැගෙනයාම පහසු බවත් කීවාය. සෑමාට මතක ඒ ටිකය.

අවට පරිසරයම නිහඩය. ඇසෙන්නේ එහා ගෙදර සිටින මහප්පාගේ නැශනල් රේඩියෝවේ හඩ පමණක් ය. ඉස්සර සිටන් ම එහෙමය. මහප්පා කොච්චර කරන්ට් එක තිබුණත් රේඩියෝවට බැටරි පහ දැමීම අමතක නොකරන්නේ ය. මෑතක ස්වර්ණවාහිනී යේ ගිය රාජ සභාව කොමඩිය ඉස්සර අපි ඇහුවේ ස්වදේශීය සේවයේය. ඒත් ඔය නැශනල් රේඩියෝවෙන්‍මය. මහප්පාගේ ඇද වටේ රේඩියෝවට වටවී අපි ගුණදාස මදුරප්පෙරුම හා මහින්ද පතිරගේ කවුදැයි රූප සටහන් මවා ගත්තෙමු. පසුව ඔවුන් රූප පෙට්ටියට වැඩම කළ පසු සත්‍ය රූප අපට පසක් වූයේය.

මතක හැටියට මැඩම්ගේ කාලයේ සෑමාට කාර් බැටරියක් තිබුණේය. ඒ නම් පහළ බද්දට දී තිබූ කඩ කාමරයේ බැටරි කඩයෙන් ඉවත්ලූවක් ය. ඒත් ඒ කාලයේ සෑම්ගේ ගෙදර තිබූ ඩබල් ඩෙක් කැසට් ප්ලේයර් එක පත්තු කිරීමට එය ප්‍රමාණවත් වූයේය. කරන්ට් නැති විට එය දිනකට පැය කිහිපයක් වැඩ කළේය. ආතල්‍ ය. කලුවරේ ඉටිපහන් එලියේ තැන් තැන් වල වැටී සිටින ගෙදර උන් නිහඩව ගීත අසන්නෝය. ඒ ඇසුණු ගීත අද ඇසෙනා ගීත වලට වඩා රසවත්ය. වික්ටර්ගේ ගීත සෑමාගේ තාත්තා මිමිණුවා සෑමාට තවමත් මතකය.

ඉස්සර නම් කරන්ට් යන එක එච්චර ගැටළුවක් නොවුණේ මන්දැයි සෑමාට ගැටළුවක්ය. සමහර විට දැන් තියෙන තාක්ෂණික දියුණුවත් සමඟ ඉස්සර විදුලිය නොමැති වීම ගැටළුවක් නොවන්නට ඇතිය. ඉස්සර නම් කළේ රෑ පානේ රූප පෙට්ටිය වටකරගෙන සිටීම පමණක්ය. දැන් නම් කොල්ලන්ට, කෙල්ලන්ට මෙන්ම පරණ පරපුරටද විදුලිය නැතුවම බැරිව ඇත්තේය. ලැපක්, ෆෝන් එකක්, ටීවි එකක්, ලයිට් එකක්, ෆෑන් එකක් නැතුව සිටීම ජනතාවට ඉවසා සිටීමට බැරි තත්වයට පත්ව ඇත්තේය.

නොපැතූ මොහොතක විදුලිය විසන්ධි වූ සැනින් ගිණී පෙට්ටිය සෙවූ අතීතයක් සෑමාට මතකය. දැන් නම් අතේ තිබෙන ස්මාර්ට් ෆෝන් එකේ ෆෑලෑෂ් එක ඔන් කර ගිණි පෙට්ටිය සොයා ගැත හැකිය. ඒත් ඉස්සර එහෙම නැතිය. පරණ ගෙදර තිබූ කාලයේ අම්මා ඉව්වේ දර පෝරණු ලිපකය. ඒ පෝරණු බිත්තිය  පුරාම කළු පාට වී තිබුණේ දැවුණු දර වල දැලි වලින්ය. ඒ ඇරත් පෝරණුවේ පැත්ත බිත්තියක නිතරම එල්ලී තිබුණු කුප්පි ලාම්පුව නිතරම පත්තු වී තිබුණේ මන් දැයි සෑමා තවමත් නොදන්නේය. ඒ ලාම්පුව සහිත බිත්තිය වඩාත් කළු පැහැ ගැන්වී තිබුණේ ලාම්පුවේ දුම නිසාමය. ඒ කාලයේ විදුලිය විසන්ධි වූ මොහොතක ඉටිපන්දම් දල්වන තුරු එළිය දුන්නේ, සහනයක් සැලසූවේ පෝරණුවේ එල්ලා තිබූ කුප්පි ලාම්පුවය.

විදුලිය නැතිව හෝ ඇතිව ඒ මතකයන් සිහිනයන් පමණක්ය. අතීතයන්ය. අතපත ගෑ හැකි දුරක නොවේමය. සුන්දරය. නැවත ලඟා විය නොහැක්කේමය. විදුලිය කැපුණු මුල් දවස්වල බුකියේ ෂෙයාර් වී තිබුණේ වටිනා පෝස්ට් එකක්ය. එය කරන්ට් නැති නිසා කාමරයෙන් එළියට බැස්ස සයිබරේ කොල්ලෙක් ගේ පෝස්ට් එකක්ය.  කොල්ලා කරන්ට් නැති නිසා එදින නිවැසියන් සමඟ දොඩමලු වී ඇත්තේය. නිවසේ වෙනස්කම් දැක ඇත්තේය. ගෙදරට අලුත් පුටු සැටියක් ගෙනවිත් ඇත්තේය. අක්කාට දරු පැටියෙක් ලැබිලාය. අල්ලපු ගෙදර උන් තාප්පයක් ගහලාය. ඒ මදිවට ගෙදර උදවිය හරි මිත්‍රශීලී හොඳ කට්ටියක් බවද හෙතෙම කියන්නේය. සයිබරයේ නොහදුනා ලොවක තනිවී, ලඟ පාත උන් අමතකව සිටියදී විදුලිය විසන්ධි වී සිටියදී හෙතෙම මෙලොවට බහින්නේ විදුලිය විසන්ධි වීමත් සමඟය. පහුවදා හාඩ්වෙයාර් එකට ගිය සෑමාට හාඩ්වෙයාර් එකේ ඩෑල් එකද කීවේ එවැනිම කතාවක්ය. තම පුත්‍රයා කරන්ට් නැතිව, ෆෑන් වැඩ නැති ග්‍රීශ්මයෙන් කාමරයෙන් එලියට වැඩම කර ඇත්තේද එවැනිම පසුබිමක් තුල බවය.

තාක්ෂණය මිනිසුන් දුරස් කළ අයුරු ඛේදනීයය. බස්සීගේ කවි ලියවිල්ල පෝස්ට් එකට මඟ පෑදුවේය.


Written_by_sAm_ශ්‍රී_Perera_10:59am_18/03/16

Wednesday, March 9, 2016

උඹ කෝමද මට කලින් ඇතුලට යන්නෙ?? - How You Jailed Before ME !!!


ලියන්නට යන්නේ ක්‍රිබ් කතාවක්ය. ක්‍රිබ් එක නොදන්නා එකෙක් සිටිය නොහැකි බව සෑමා සිතා සිටියේය. එහෙත් එය එසේම නොවන බව තේරුණේ මෑතකදීය. ඒ නිසා ක්‍රිබ් යනු කුමක්දැයි සරලව සඳහන් කළ යුතු බව සිතෙන්නේය. ගැඹුරු විග්‍රහ, පැහැදිලි කිරීම්, සහ නිවැරදි කිරීම් සඳහා පහළ කමෙන්ට් තීරුව ඔබට වෙන්වන්නේය. CRIB හෙවත් ක්‍රිබ් යනු Credit Information Bureau of Sri Lanka ය. මෙමගින් ඔබගේ ණය තොරතුරු වාර්ථා පරීක්ෂා කර බැලිය හැකිය. ඔබ බද්ධ ණය කරුවෙකු/ ඇපකරුවෙකු ලෙස සම්බන්ධවූ ණය පහසුකම් පිළිබඳව නිරීක්ෂණය කළ හැකිය. ඔබේ ණය ගෙවීමේ ක්‍රමවත් බව හෝ අක්‍රමවත් බව පිළිබඳව තොරතුරු ක්‍රිබ් එකෙන් බලා ගත හැකිය.


කෙසේ හෝ සමාජ වහරේ ක්‍රිබ් එකට යනවා කියන්නේ කිසිවෙකුගේ මූල්‍ය ගණුදෙනු අක්‍රමවත් බව කියවෙන්නක්ය. ලීස් එකක් ඇරියස් වුණොත් ක්‍රිබ් එකට ගියා කියන්නේ වාහනේ අයිතිකාරයා පොලොවේ පස් කන සීන් එකක්ය. එලෙසම ක්‍රිබ් එකට ගියා කියා ඇඟ බේරා ගන්නා උන්ද අනන්තය. එය සිද්ධ වන්නේ මෙලෙසය. කිසිවෙක් තවත් අයෙකුට තමන්ගේ ණය ලබා ගැනීමකට, ලීස් එකකට, හෝ කිසියම් ගණු දෙනුවකට ඇප වන ලෙස ඉල්ලා සිටිනා විට, එය මඟ හැරීමට ඇති උපක්‍රමය ක්‍රිබ් එක පිටින් යැවීමය. අත්සන් කරන්න නම් පුලුවන් මචං, ඇප වෙන්න නම් පුලුවන් මචං, “ඒත් මම ක්‍රිබ් එකේ ඉන්නවා නේ“ කියූ විට අනෙකා වෙන අතක් බැලිය යුතුය. ක්‍රිබ් එකේ ඉන්නා එකෙකුට තවකෙකුට ඇප වෙන්නට නොහැකිය. ඒ නිසා ක්‍රිබ් එකේ ඉන්නවා යැයි කීමේ අවාසියක්ද නැත්තේය.

සෑමාට ක්‍රිබ් කතාවක් පත්තු වුණේ ලඟකදීය. ඒ ඌ ක්‍රිබ් ගිය නිසා නොවේය. අපේ එකෙක්ව තවත් එකෙක් ක්‍රිබ් එකට යැවූ නිසාය. සෑමාගේ මිත්‍රයා විමල් නම්, විමල්ගේ මිත්‍රයා දාස නම් කතාව දිගටම ලිවිය හැකිය. නැති නම් ඇත්ත නම් දැම්මොත් සෑමාට වන්නේ ක්‍රිබ් කෙසේ වෙතත් හිරේ යන්නටය.

විමල් හිත හොද එකාය. ඒ නිසා ඕනෑම ගින්දරකට පැනීමට ඔහුට සිත් දෙන්නේය. කොතරම් මිතුරන් සිටියත් මූල්‍ය ගණුදෙනුවකදී මිතුරුකම් පසෙකලා ටිකක් වැඩි දුරකට සිතිය යුතු බව සෑමා උගත්තේය. ඒ ගැන නම් උගත් පාඩම් බොහෝය. එහෙත් විමල් හිත හොද එකා නිසා දෙවරක් නොසිතන්නේය. කිසිවෙකුට ගණුදෙනුවකට ඇප වෙන්නට පෙර උගේ මූල්‍ය තත්වය පිළිබඳව සොයා බැලිය යුතුය. එලෙසම අත්සන ගසන්නට පෙර “මචං උබ කෝමද මේක දැන් ගෙවාගෙන යන්නේ?“ කියා හෝ ඇසිය යුතුය. විමල් එසේ ඇසුවාද නොඇසුවාද සෑමා නොදන්නේය. අසන්නට ගියේ ද නැතිය. එහෙත් එලෙස ඇසීමට සිත තබා ගත යුත්තේය. එය ඇප වන්නාටත් වඩා, ණය පහසුකම් ලබා ගන්නාටද කරන්නාවූ උපකාරයක් ලෙස සෑමා දකින්නේය. නැතිනම් අයෙකුගේ ජීවිතයක් පවා විනාශ වෙන මට්ටමට කටයුතු දුර දිග යා හැකිය. කිසියම් අයෙක් ලීසිං කම්පැණියකට ගොස් ගිණි තබා ගත් සීන් එකක්ද සෑමාට මතකයේ ඇත්තේය. ඒ නිසා ඇප වන්නාද, ණය පහසුකම ගන්නාද, සියල්ලට කලින් ටිකක් කතා බහ කළ යුතුය.

කෙසේ හෝ විමල් ඇප අත්සන ගසා ඇත්තේය. දාසයාද ණය පහසුකම අරගෙන වාහනය අරගෙන ඇත්තේය. දාස යනු පොලු කාරයෙක් නොවේය. බිස්නස් කරනා නිසා ඇති කල මුදල් බොහෝය. නැති කල බිංදුවටම බැස නැවත නැග එන්නේය. එලෙස නැති කලෙක දාසයා වාරික කිහිපයක් අතපසු කර ඇති බව විමලේ කිව්වේය. ඒ අනුව ඇප වූ විමලේට ලීසිං කම්පැනි එකෙන් කෝල් එක ආවේ සෑමා ඉන්නා තැනකදීමය. තමා වරක් දාසයාව වාරික ගෙවනා මෙන් දන්වා සිටි බවත්, නැවතත් කියා සිටිය හැකි බවත් විමලේ කම්පැනියට දන්වා සිටියේය. එහෙත් කම්පැනියෙන් කතා කළ පුද්ගලයා නැවත නැවතත් අපේ විමලේට බලපෑම් කළේ විමලේව බිය ගන්වන ආකාරයෙන්ය. එවිට විමල් කෙලින්ම කියා සිටියේ වාරික ඇරියස් නම්, වාහනය සීස් කරනා ලෙසය. තමාට ඉන් කිසිම හානියක් නැති බවත්, දාසයා නිසා තමන් ක්‍රිබ් එකට වැටී ඇති නිසා සීස් කිරීමෙන් තමන්ට ක්‍රිබ් එකෙන් නිදහස් විය හැකි බවත් විමලේ කියූ තැන කම්පැනි මහතාගේ හඬ බාල වූයේය. හෙතම නැවත ඉල්ලා සිටියේ වාරික සියල්ල ගෙවන ලෙස මිත්‍රයා දැනුවත් කරන ලෙසටය.

මා මිත්‍ර විමල් ඉන්පසු ඇමතූවේ දාසයාටය.

“මොකක්ද මචං උබෙ ඇරියස් ටික තාම ගෙව්වෙ නැද්ද?“

“හරි බං මම මේ මාසෙ වැඩේ සෙට්ල් කරන්නම්.. ඇයි උබට ලීසිං එකෙන් කතා කළාද??“

“ඒකනෙ බං... බලපං.. උඹ නිසා මාව උන් ක්‍රිබ් එකටත් දාලා..“

“පිස්සුද බං?? උන් උබව කොහෙ දාන්නද?? උබට කලින් උන් මාව දාල ඉන්න එපෑ...“



පලි - ක්‍රිබ් එක නොදත් මිතුරෙකු වෙනුවෙන් අපි විනාඩියක නිහඬතාවයක් පැවැත්වූ අතර, 
එහෙව් එකෙක්ට ඇප වූ මා මිත්‍රයා වෙනුවෙන් නිහඬතාවයක් පැවැත්වීමට නොහැකි තැන මේ පෝස්ට් එක ලියැවුණේය.

Monday, February 22, 2016

වෙජිටේරියන් සුද්දා - Vegetarian Foreigner !!


සෑමා වෙජිටේරියන් නොවේය. ලියන්නට යන්නේ වෙජිටේරියන් විය හැකි බවට ඉඟියක්ය. අද පෝය නිසාත්, වෙනදාට “පෝයට එකක්“ කියා ලේබලය යටතේ ලිපියක් ලියූ නිසාත් මේ ලිපිය ලිවීම සුදුසු යැයි සිතුනේය.

මාළු නම් සෑමාට පිරියක් නැතිය. කුකුලා නම් අවුලක් නැතිය. බොහෝ බෞද්ධයෝ එහෙමය. මාළුත් අවුලක් නැතිය. කුකුලාද අවුලක් නැතිය. සෑමා ඌරාද කන්නේය. එයට පුරුදු වූයේ ඌරාව බයිට් එකට සැට් කර ගැනීම නිසාය. විටින් විට බයිට් එකට සැට් වූ ඌරා අවසන කෑම පිඟානේ පැත්තකට තබා ගැනීමට තරම් දුර ගිය බව කිව යුතුය. හරකා නම් සෑමා නොකන්නේය. එකම එක දිනක් බැරි වීමකින් හරක් රොටියක් තුල තිබීම නිසා අනුභවයට ගත්තද ඉන් පසුව හරකා කාලාම නැතිය. සමහරක් හරක් නොකන්නේ ඇලජික් නිසාය. එහෙත් සෑමාට කිසිම මසකට ඇලජික්ද නැතිය. පුරුද්දක් ලෙස කන්නේ කුකුලා, ඌරා හෝ විටක මාළු පමණක්ය. එය වෘත රැකීමක් හෝ අමුතු සීලයක්, ප්‍රතිපත්තියක් හෝ නොවේය. එය හුදෙක් පුරුද්දක්ය. නැතහොත් ඒ නම් සෑමාගේ හැටිය.

කෑම හෝ නිර්මාංශ වීම ගැන සෑමාට සිහිවූයේ කතෝලිකයන්ගේ මේ දිනවල සිදුවන චතාරික සමය හෙවත් උපවාස කාලය ගැන සිහිවීම නිසාය. චතාරික සමය සෑමාට අනුව නම් අවුලක් නැතිය. එය ප්‍රතිපත්ති පූජාවක් බඳුය. අළු බදාදායින් ඇරඹී ක්‍රිස්තුස් වහන්සේගේ දුක්‌ ප්‍රාප්තිය, මරණය සහ උත්ථානය යන ත්‍රිවිධ සංසිද්ධීන් ආධ්‍යාත්මිකව සැමරීමට ඔවුන් සූදානම් වන්නෝය. ඒ අතර කෙරෙන නිරාහාරව සිටීමෙන් සංඛේතවත් කෙරෙන්නේ ශාරීරික මර්දනය තුළින් තම පව් සිහිපත් කර ඊට ස්‌ථාපනය වීමට ඉඩ සැලසීමය. තමන් නිරාහාර ශීලය රක්‍ෂා කරන විට එම ආහාර කොටස, නැතිනම් ඒ සඳහා වැය කරන මුදල ආහාර නොලබන තමාට වඩා අඩු සැප සම්පත් ඇති කවරෙකුට දීම හෝ එය පුණ්‍ය ක්‍රියාවක්‌ සඳහා වෙනත් ආකාරයකින් යොමුකිරීම සිදුකළ යුතුය. මා දන්නා, අසා ඇති කතෝලික දේශනය එයය. එහෙත් බොහෝ අය එක් වේලක් නොකා සිටින්නෝය. මස් මාංශ නොකා සිටින්නෝය. එලෙසම මත්පැන් වලින් පවා මේ කාලයේදී තොර වන්නෝය. එලෙස තමා පරිභෝජනය නොකරන කොටස කිසිවෙකුට පිරිනමනවාදැයි බහුලව දැක නැත්තේය. සියල්ල අවසාන වන දිනයේදී උත්සව ශ්‍රීයෙන් ආහාර අනුභවයෙන් සහ මත්පැනින් සියළු කාරණා නිමා කරන්නෝය. උක්ත උපවාස ක්‍රියාවලිය අද සමාජයේ කතෝලිකයන් රකිනා අයුරු විවේචනය කළ කතෝලික පූජකයෙකුගේ ලිපියක්, දේශනාවක් සෑමා දුටුවේය. ඒ අනුව ඒ පිළිබඳව සොයා බැලුවා මිසක සෑමාට ඒ පිළබඳව ලිවීමට අයිතියක් නැති බව කිව යුතුය.

කතන්දරය ඇත්තේ එතැන නෙවේය. බෞද්ධ අප අතේය. ආදර්ශයට ගත යුත්තේ කතෝලික සුද්දෙක්වය. ඈත අතීත සිද්ධියක් හා මෑත භාගයේ සිද්ධියක් සංසන්දනය කිරීමට සෑමාට සිදුවන්නේ මේ අවස්ථාවේදීය. එලෙස කිරීම පට්ට අසාධාරණය. එලෙසම වැරදිය. එහෙත් මෑත සිද්ධිය නිතරම කියන්නේ ලියපං කියාය. ඉතිං ලිවිය යුතුමය.

සෑමා ගියේ කැළණි දහම් පාසලටය. කැළණි පන්සලට ඕනෑ තරම් සුද්දෝ එන්නෝය. උන් හැම එකාම බෞද්ධ නොවේය. හැම එකාම එන්නේ බුදුන්, දහම්, සඟුන් සරණ ගොස් නොවේය. එහෙත් ඒ අතරින් දැනෙනා දේ නම් අපට ඉන්දියාවෙන් ලැබුණු බුද්ධ ධර්මය, පෙර අපරදිග අධ්‍යාත්මික පිපාසිතයන් අතර බෙදා දිය යුතු බවය. බුද්ධ දේශනාව ඉතිරිව ඇත්තේ ලංකාවේය. එය නිවැරදිව සෞම්‍ය අයුරින් ලබා ගැනීමට අධ්‍යාත්මික සුවය සොයනා අපරදිගයන් ලංකාව වෙත ඇදෙන්නෝය. ඔවුන්ට එය ලබා දිය යුතුය. කලකට පෙර ලංකාවට එලෙස පැමිණි සුද්දෙක් සෑමාට හමුවූයේ දහම්පාසල් සමයේදීය. ඔහු කැළණිය බැලීමට අමතරව බුද්ධ දේශනාව පිළිබඳ පවා ප්‍රශ්න කළේය. එවිට ඔහු අසනා දෙයට පිළිතුරු දෙමින් සෑමා ජේසුස් වහන්සේගේ ආගම පිළබඳවද ප්‍රශ්න නැගුවේය. සැබෑවටම එතැනදී සිදුවූයේ කතිකාවතක්ය. සැක ඇති තැන ප්‍රශ්න කිරීමක් නොව අධ්‍යාත්මිකව දැනුම බෙදා හදා ගැනීමක්ය. මා බුද්ධ ධර්මය ඔහුට ප්‍රමෝට් කිරීමටවත්, ඔහු මට කතෝලික ආගම ප්‍රමෝට් කරන්නවත් උත්සාහ නොගත්තේය. අධ්‍යාත්මික දැනුම අන් සිතක වගා කළ නොහැකි බවත්, එය තමන් තමා තුලම ඇති කර ගත යුතු බවත් මාද ඔහුද දැන සිටියා විය යුතුය. ඒ එදා කතාවය.

මෙදා කතාවෙන් සෑමා තුල ඇති වූයේ අපට වඩා සුද්දන් කොතරම් අධ්‍යාත්මික ගුණ වගා කර ගැනීමේ පිපාසෙන් පෙලෙනවාද කියා හැගීමක්ය. භාවනාව කෙරේ අපරදිගයන් නැඹුරු වී ඇති බව නොරහසක්ය. එලෙසම නිර්මාංශ වීම කෙරේ ඔවුන් බහුතරයක් දක්වන රුචිකත්වයට ප්‍රායෝගික උදාහරණයක් ඔහු දුන්නේය. බොහෝ අපරදිගයන් නිර්මාංශ වන්නේ ශරීරයේ සෞඛ්‍ය තත්වය යහපත් කර ගැනීමට මෙන්ම අධ්‍යාත්මක සුවයක් බලාපොරොත්තුවෙන් බව සිතිය හැකිය. මා සිටින තැනකදී මා කතෝලික මිතුරෙකු ජර්මන් සුද්දෙකු සමඟ කතාවට පැටලුනේ්ය. එතැනදී ඔහු ලංකාව කෙරේ දක්වන රුචිකත්වය, ආදරය පිළිබඳවත්, ලංකාවේ වෙරළ තීරය කෙරේ ඔහු ඇති ඇල්මත් කියා පැවේය. නිර්මාංශ වූ ඔහුට සහ ඔහුගේ සහායිකාවට ලංකාවේ කන්නට ඇති තරම් කෑම ජාති තිබූ බව ඔහු කීවේ සතුටින්ය. වසර විස්සක් පුරාවට නිර්මාංශ වූ ඔහු සංචාරය කළ බොහෝ රටවල් උදාහරණයට ගෙන ඔහු කීවේ නිර්මාංශ වීම නිසා තමන් අපහසුතාවයට පත්වූ අවස්ථා පිළිබඳවය. අවසන ඔහු ඇසූවේ ලංකාවේ බෞද්ධයන් බොහොමයක් නිර්මාංශ දැයි කියාය. චතාරික සමයේදී තමන්ද නිර්මාංශ යැයි කියූ අප මිත්‍රයා සෑමාට සිතන්නට තැනක් ඉතුරු කළේය. සුද්දාද බෞද්ධයන් පිළිබඳ නැවත ප්‍රශ්න නොකළේ ඔහුට අවශ්‍ය වූ පිළිතුරක් නොලැබුනු නිසා විය හැකිය.

සෑමා සිතන්නේ එතැන් සිටය. කිසිවක්, කිසිවෙක් අදාල නැත. මා ඒ මොහොතේදී නිර්මාංශ අයෙක් වූයේ නම් වටිනා බව හැගී ගියේය. එලෙසම තමා සීලයේ පිහිටා සිටින්නේ නම්, තමා ධර්මයේ පිහිටා සිටින්නේ නම්, අනෙකෙකුට කළ හැකි බලපෑම ඉන් පැහැදිලි වූයේය.

Written_by_sAm_ශ්‍රී_Perera_2:10pm_22/02/16

Sunday, November 22, 2015

හොස්පිට්ල් එකේ අභිරහස - ෂර්ලොක් හෝම්ස් කතාවක් !!


හෝම්ස් මහත්මයා ඔබ දන්නවද ඒ සිද්ධ වුණේ පස්වෙනි ඝාතනය.

ඔබේ ගණනය කිරීම නම් හරි වොට්සන් මහත්මයා, ඒත් ඔබ දන්නවාද එය අත්වැරදීමක් බව?

අත් වැරදීමක්, ඔබ තවමත් ඉන්නෙ පාසල් අවධියේ වොට්සන් මහත්මයා. එකම රෝහලක, විශේෂ ප්‍රතිකාර අංශයේ මරණ පහක් සිද්ධ වෙනවා. ඒ සියල්ලම එකම ආකාරයට. මුළු නගරයම ඩෝසන් වීදියේ තියෙන රෝහලට විරුද්ධව කැරලි ගසන්න සූදානමින්. ඔබ කියනවා එය මිනීමැරුමක් නෙවේ අත් වැරදීමක් කියල? ඔබ කරන්න යන්නෙ මිනීමරුවා රැක ගන්න හොස්පිට්ල් එක බිල්ලට දීමක්.

වෙට්සන්, ඔබ කරන්න යන්නේ මගේ විශ්ලේෂණාත්මක රහස් පරීක්ෂක දැනුම පිළිබඳ සැක කිරීමක්. ඔබට අමතකද විශේෂ ප්‍රතිකාර අංශයේ ජනෙල් බැම්ම? කවදාවත් නොඅරින ඒ බැම්ම මත තිබුණු නියපොතු කැබලි.

ඔව් හෝම්ස්. ඔබ මා සමඟම ගොස් ඒ කොටස් එකතු කර ගත්තා. එහි විශේෂයක් මා දකින්නේ නැහැ.

ඇත්ත එය මටත්  විශේෂයක් නැහැ. ඒත් ඔබ දන්නා සියළු රෝගීන් මරණයට පත් වුණේ රාත්‍රී කාලයේ බවත්.

ඔව්. ඝාතකයාට පහසුම වේලාව එය වෙන්න පුලුවන්. එහෙත් ඔබ රාත්‍රි කාලයේ වූ මරණ හෝ ඝාතන නියපොතු සමඟ ගලපන්නේ කොහොමද? ඇත්තටම හෝම්ස් මෙවර ඔබ හිතන්නේ වැරදි ආකාරයකට.

ඇත්තටම ඔව්. මම හිතන්නේ වැරදි ආකාරයට. රාත්‍රී මරණ, කටින් කඩා දැමූ නියපොතු, දුටු විගස මට සිහිවන්නේ මා කාලයක් ඇසුරු කළ මාගේ මිතුරියක්. ඇය බොහෝ විට රාජකාරී කළේ රාත්‍රී කාලයේ. නිදිමත නිසා ඇහැරී ඉන්නට ඇය බොහෝ කටයුතු කළා. විටක අපි නොසිතන දෑ. ඇය ඇගේ නියමල මතුවන තුරු නියපොතු කටින් කඩා දමන්නට පුරුදු වුණේ රැකියාවේ ඇති කාර්යය බහුලකමත්, රාත්‍රී කාලයේ ඇහැරී සිටීමටත් අවශ්‍ය නිසා.

හෝම්ස් ඇය හෙදියක්ද?

ඔන්න වොට්සන් ඔබ ඒ ගමන කියන්නට යන්නේ මිනී මරුවා හෙදියක් කියලා. අනික රෝහලක. රාත්‍රීයේ. ඔබ හිතනවද රෝහලක රාත්‍රි රාජකාරී කරන හෙදියක් තම ඇසි නොපියවා තබා ගැනීමට කටයුතු කරයි කියලා. කොහෙත්ම නැහැ වොට්සන්. ඔවුන්ට ඇති තරම් ඇඳන් තියෙනවා. ඔවුන් රාත්‍රි රාජකාරියට වඩාත් ප්‍රිය අතිකාල දීමනා වැඩිපුර ලබන්නත්, රාත්‍රියක නිවසකදීටත් වඩා සුවට නිදන්නටත් අවශ්‍ය නිසා වෙන්මයි.

හෝම්ස් ඔබ නම් විහිළුකාරයෙක්. ඔබ ඔය උරන පයිප්පයේ යම් කිසි විහිළු කුඩක් මිශ්‍ර වෙලා ඇති. ඇත්තටම. 

වොට්සන්. ඇත්තටම මේක මිට විහිළුවක්. ඔබ හිතනවද ඝාතකයෙක් මෙච්චර සාක්ෂි මට ඉතිරි කරයි කියලා.

මිනී මැරුම් පහක් හෝම්ස් සහෝදරයා. කිසිම හෝඩුවාවක් නැති ඒවා. ඔබට එතරම් සාක්ෂි ලැබුණයි කියන්නෙ කෝමද? මාත් ඔබ සමඟ හිටියා. ඔබ මා දුටුවේ නියපොතු කිහිපය පමණයි. ඔබ ඒ එක සාක්ෂියෙන් ගොඩක් දුර ගිහින්. හරියට පාසල් කාලේ ආදර කතාවක් වගේ. කෙල්ල හිනා වුණාම කොල්ලා ඒ කෙල්ලව මානසිකව විවාහ වෙලත් ඉවරයි. ඔබ හරි බොලඳයි හෝම්ස්. පාසල් කාලේ ආදරයක් මතක් වෙලාද?

වොට්සන්. ඔබ නොදුටුවාද මේ මිනී මැරුම් පහ කළේ කඩිසර අයෙක් කියලා. සමාවෙන්න. ඔබ කියන ආකාරයට ඒවා මිනී මැරුම්. මම කියන ආකාරයට ඒ අතපසුවීම් පහම කළේ මහ කම්මැලියෙක්.

කම්මැලියෙක්. අනික අතපසු වීම්. හෝම්ස් මිත්‍රයා මට ඔබව කලකිරෙන මට්ටමට ඔබ ආසන්නයි. 

එපා වොට්සන් මිත්‍රයා. කළබල වෙන්න එපා. විශේෂ ප්‍රතිකාර අංශයේ විදුලි පේනු 2ක් නිතරම කිසියම් යන්ත්‍ර වලට සවි කරල තියෙන්නෙ. අනිත් එකම එක පේනුව තියෙන්නේ ඇඳට මදක් ඈතින්. එම පේනුව මෑත දිනයක භාවිත කරලා නැති තරම්. ඔබ දැකල ඇති නිතරම භාවිත කරන පේනු හීරීමකට ලක් වෙනවා. ඒ යන්ත්‍රවල ප්ලග් සවි කරන්නට ගලවන්නට නිතරම භාවිත වෙන නිසා.

ඔව් හේම්ස් ඔබ හරි. එය හෝඩුවාවක් ලෙස ඔබ දැකීම මට නම් විහිළුවක්. 

වොට්සන් මම කැමතී ඔබත් එම රෝහලේම වැඩිදුර ප්‍රතිකාර අංශයට ඇතුලත් වෙනවා නම්. ඔබට තේරෙයි මේ අතපසුවීම් පහටම සම්බන්ධ කුමන අයෙක්ද කියල දැන ගන්න.

ඔබ?? හෝම්ස් වොට්සන් ගේ ජීවිතය සීමා කරන්නද යන්නෙ?

නැහැ වොට්සන්. ඔබ මගේ මිත්‍රයා මාව විශ්වාස කරන්න. අනෙක ඔබට දැන් විවේකයක් අවශ්‍යයි. අද දහවල් ඇතුලත් වෙලා, කාර්යය මණ්ඩලයේ  උදව්වෙන් නීරෝගී ඔබව අපි රෝගි ඇඳකට දමන්නම්. විශේෂ ප්‍රතිකාර අංශයේ නොමිලේ ලැබෙන ඔක්සින් මාස්ක් එකත් එක්කම ඔබ අද රැය විවේක ගන්න.

ඔබට ඇත්තටම මෙය විහිලුවක් හෝම්ස්.

මාව අවිශ්වාස නම්, ඔබ කියන ආකාරයේ ඝාතකයා අල්ලා ගැනීමට පමණක් උදව් වන්න වොට්සන්.

******

වොට්සන් කොහොමද හුස්ම ගැනීම ඉතාම පහසුයි නේද?

ඔව් හෝම්ස්. මේ මම අද දවසට ගන්නා අවසන් හුස්ම පොද වෙන්න බැරි නැහැ. ඔබ කෙරේ මා අවිශ්වාසයක් නැති නිසාමයි මෙහි ආවේ. 

ස්තුතියි වොට්සන්. අද රැය ඔබ විශේෂ ප්‍රතිකාර අංශයේ ගෙවන්න. මා ඔබ සමඟම මේ රෝහලේම රැදෙන්නම්.

බොහොම හොදයි හෝම්ස්. හදිසි අවස්ථාවක් වුවොත් මා ඔබ අමතන්නම්.

******

මිත්‍රයාගේ උපාය සාර්ථක කර ගැනීමට වොට්සන් විශේෂ ප්‍රතිකාර අංශයේ ඇඳක් මත හුස්ම ගන්නේය. ඒ ඔක්සිජන් ලබා දෙන මැෂින් එකක ආධාරයෙන්ය. වොට්සන් තනිවම ඇස් කරකවමින් බලා සිටින්නේ ඉතා අපහසු ආකරයේ රෝගියෙකු ලෙසින්ය. එහෙත් ජීවන බය කෙතරම් දැයි මේ ඔහුට දැනෙන ප්‍රථම අවස්ථාවය. ඇසෙන්නේ මැෂින් වල සියුම් හඩ පමණක්ය. ඒ අස්සේ  ඔරලෝසුවේ තප්පර හඬය. රාත්‍රී නවය පසු වූයේය. දහයද ගැටළුවක් නැතුව ගෙවුණේය. රාත්‍රී එකොලහට විශේෂ ප්‍රතිකාර අංශයේ දොර හැරුණේය.

හෙතෙම එතරම් උස නැති සිහින් සිරුරක් ඇති, අපිලිවෙල අයෙක්ය. හැද සිටියේ රෝහලේ සුළු සේවකයින්ගේ ආකාරයේ ඇඳුමක්ය. හෝම්ස් කියු ආකාරයෙන්ම කලබල නැතිය. මෙවර පැමිණෙන්නේ හෝම්ස් කියූ කම්මැලි ඝාතකයාය. නැත. හෝම්ස් කියූ අයුරින් නම් ඒ කම්මැලි අතපසුවීම් කරන්නාය.

අත තිබූ මොප් එක පැත්තකින් තැබූ හෙතෙම ඇඳ අසල වූ පුටුව ගෙන හිද ගත්තේය. ඇත්තටම ඔහු කළබල නැතිය. ඉන්පසු මොහොතක් වටපිට බලමින් සිට ඔහු පුටුව මත නිදිමතේ කිරා බාන්නට වුයේය. හෝම්ස් හරිය. මොහු කම්මැලිය. එහෙත් වොට්සන්ට ඇඳෙන් නැගිටීමට නොහැකිය. තමන් අසාධ්‍ය රෝගියෙක්ය. එහෙත් කම්මැලි ඝාතකයා තමන්ට පහර දුන්නහොත්, තමන් ඝාතනය කළහොත් ඝාතකයා කම්මැලි යැයි කියා හිත හදා ගත නොහැකිය. ජීවිතය අතැර යන්නට වන්නේය. වොට්සන්ට තමන්ගේ හද ගැස්ම තමන්ටම ඇසෙන මට්ටමට පත් වුණේ එවිටය. මැෂින් අවශ්‍ය නැතිය. නොමිලයේම තමන්ගේ හදවත ගැහෙන හඬ ඇසෙන්නේය.

ඝාතකයා නැගිට සිටියේය. තමා අත වූ වැක්‍යුම් ක්ලීනරය අතට ගත්තේය. ඇඳ අසල වූ ප්ලග් දෙකම මැෂින් වලට සම්බන්ධ කොට භාවිතයේ පවතින බව දුටුවේය. තමන්ට දුරින් ඇති පේනුව දෙසද නෙත් හෙලුවේය. ඔහු ඇත්තටම කම්මැලිය. දුර තිබූ පේනුව දෙස බලා දිගු ඈණුමක් ඇර ඔහු ඇඳ අසල තිබූ පේනුවෙන් ඔක්සිජන් මැෂින් එකේ ප්ලග් එක ගලවා පිරිසිදු කිරීම ඇඹුවේය.

හරියටම ඔහු පැය භාගයක් පමණ වැක්‍යුම් ක්ලීනරය භාවිත කළේය.

වොට්සන් මැෂින් එකෙන් හුස්ම ගන්නා රෝගියෙකු නොවුනේ වෙලාවටය.

sAm_ශ්‍රී_Perera_10:15pm_22/11/15

Tuesday, November 17, 2015

උස එකකට කොක්ක ගසනා හැටි.. - How to Hang on Roof !!

කොක්ක ගසනවා කිව්වාම ගොඩක් උන් හිතන්නේ කෑල්ලක් සැට් කර ගැනීම ගැනය. අනික උස එකකට කොක්ක ගසනවා කිව්වාම බොහෝ සතුටු වෙන්නේ කෙල්ලට වඩා මිටි කොල්ලෝය. එහෙව් ආදර කතා සෑමා බොහෝ දැක ඇත්තේය. ඉස්කෝලෙ යන කාලේ සමහර කෙල්ලෝ කොල්ලන්ට කියන්නේ අනේ අපි මැච් වෙන්නේ නැහැ කියාය. ඔයා කොටයි කියාය. මම උසයි කියාය. එවිට සිත් තැවුලෙන් ගෙදර එන කොල්ලෝ එල්ලෙන්නේ උළුවස්සේය. මැරෙන්නට නෙවේය. උස යන්නටය. එලෙස බාල්කයේ හෝ උළුවස්සේ එල්ලී බාර් දානවා යනුවෙන් ව්‍යායාම කරන්නේ කෙල්ල කෙරේ ඇති අප්‍රමාණ සෙනෙහස නිසාය. එහෙව් කොල්ලෝ මේ පෝස්ට් එක නොබැලුවාට කම් නැත. මේ කියන්නට යන්නේ උස තැනක ඇති පරාලයකට හෝ ලීයකට ලණුවක් දා ගන්නා ආකාරයය. බොහෝවිට මෙය වඩා වැදගත් වන්නේ මඳුරු දැලක් වැනි දෙයක් එල්ලීමේදීය. කාමරයේ නෙට් එකක් එල්ලන්නට දඟලන බොහෝ අය අතපය කඩා ගන්නේ තාක්ෂණය නැති නිසාය. ඉනිමඟ රැගෙන එන්නට ඇති කම්මැලි කම නිසා කොහේ හෝ අඩිය තමා අඩමානයේ නැග බිම වැටෙන්නෝය. බොහෝ අය නෙට් එල්ලන්නේ ඇද මතට පුටුවක් තබා ඊට අඩිය තබාය. එවිට ඇදේ මෙට්ටය තුල පුටු කකුල් එරීයාමෙන් පුටුව පෙරලී යා හැකිය. සිදුවන්නේ විනාශයක්මය.

දැන් කෙලින්ම උපක්‍රමයන් ටික පහදා දිය යුතුය. මේ ක්‍රමයට කොච්චර උස එකක් වුණත් කොක්ක ගැසිය හැකිය. එල්ලිය හැකිය. සමහරු කියන්නේ උස ගස් ඉරන්නේ බිම පෙරලලා කියාය. මේ ක්‍රමයට වහලය බිම පෙරලිය යුතු නොවේය. අවශ්‍ය වන්නේ පහළ බඩු සැට් එකය.
අවශ්‍යය ද්‍රව්‍ය -
  • වහලයට තරම් දිග කොස්සක්, හෝ ලීයක්
  • ඉස්කුරුප්පුනියනක්
  • ලණුවක්, නූලක් හෝ පටියක්
මුලින්ම නියනෙහි නූල හෝ ලණුව ගැටගසා ගත යුතුය. එය පහත ආකාරයෙන් විය හැකිය.



ඉන්පසුව නියන කොස්ස මිට පැත්තේ කෙළවරට යන්තමින් සවි කර ගත යුතුය. එය ඉතා හොදින් තද නොකළ යුතු අතර පහ වසරේදී සෙලවෙන දතක් ආකාරයෙන් නොගැලවෙන ගැලවෙන මට්ටමේ විය යුතුය. පොඩි තට්ටුවකින් වැටෙන මට්ටමින් සවි වී තිබිය යුතුය.

දැන් වැඩේ සැට්ය. කොස්ස නියන සහ ලණුව එක හුස්මට අතට ගෙන දැන් ඔබ යා යුත්තේ මදුරු දැල එල්ලිය යුතු පරාලය ලඟටය. එතැනට ගොස් නියන පරාලය උඩින් තමා වහලයේ වදින ලෙස සෙල විය යුතුය. එලෙස සෙලවෙද්දී නියන බුරුල් වී ගැලවී වැටිය යුත්තේ පරාලයේ එහා පැත්තෙන්ය. කියනා දේ නොතේරෙන උන්ට පහල රූප රාමුව උපකාරී විය හැකිය.

දැන් නම් වැඩේ ගොඩය. කෙල්ලගේ සහ කොල්ලාගේ අතර මැද ඇති කොට්ටය මතින් එහා පැත්තට පනිනා ආකාරය සෑමා පහදා දී අවසානය. කොට්ටය පැන්නාට පසු කරනා දේ සෑමා පැවසිය යුතු නැත. එලෙසම පරාලය එහා පැත්තෙන් දා ගත් ඉස්කුරුප්පුව හෝ නියන නිවැරදි ආකාරයට පහලට ගැනීම කළ යුතුය. ඒ සදහා නූල කෙලවර අල්ලාගෙන සෙමින් සෙමින් සෙලවිය යුතුය. නියන පහලට රූටා එන තුරු නූල සොලවා නියන අතට ගන්න. නියන ගලවා දමා නුලෙහි අවශ්‍ය පරිදි මදුරු දැල හෝ අවශ්‍යය දෑ එල්ලා ගත හැකිය.

Written_by_sAm_ශ්‍රී_Perera_6:56pm_16/1/15

Sunday, November 15, 2015

ප්‍රංශ.. - France !!




ලංකාවෙ අපිට මහ ගේමක් නෑ ඕං

කඩයක් ගානෙ අපෙ උන් ඇද්දෙ දාම්

එහෙව් ගේම අනිත් පැත්තට කරපු උන්

තමන්ගෙ ඉත්තො කැපෙන්න දුන්න නම්

ඒකට අපි කිව්වෙ ප්‍රංශ අදිනවා කියල ආයුබෝං !!
Related Posts Plugin for WordPress, Blogger...