Sunday, September 29, 2013

අන් ආගම් වලට හූල්ලනවාද? තම ධර්මය අදහනවාද?



මම බෞද්ධයෙක් ලෙස ලෝකෙට පේන්න බුකියේ, සමාජයේ වැඩ දාන කිසිවෙකුට අනේ මම මගෙ ආගම, ධර්මය වෙනුවෙන් බුදු පිළිමයක්, විහාරයක්, කරවන්න හිත් වූයේද? එසේ කිරීමට හැකියාවක් නැතිනම් එකතු වී, මුල්‍ය ආධාර එකතු කොට එවන් සේවාවක් කරන්නට කවදාවත් සිත් වූයේද? අන් ආගම් ගරහමින් හෝ තමාගේම ආගමේ සඟරුවනට ගරහමින්, අන් ආගමික පූජනීය ස්ථාන ගණනින් මෙච්චරයි, අච්චරයි කියමින් හූල්ලමින් සිටින අයෙකුට අනේ අපිත් බුදු පිළිමයක්, චෛත්‍යයක් කරවන්නේ නැත්දැයි නොසිතෙන්නේ මන්ද? උක්ත ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම නිෂ්ඵල මුත්, එලෙස එක් වී කරන්නට යන සේවාවකට අත් උදව් දීම, සහය වීම අට මහා කුසල් වලින් එකක් වන්නේමය.

අට මහා කුසල් යනු,

කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා - අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”

මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.

1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

එලෙස බුද්ධ ධර්මයේ සදහන් වන පරිදි බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාර ගෙවල්, මුලසුන් ආදිය සෑදවීම අට මහා කුසල් වලින් එකක්ය. මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ දෙවන ජාතියේ දී නියත වශයෙන් විපාක දෙන කුසල කර්ම නිසායි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන කරනු ලබන මෙවැනි කුසල් නිසා දැන හෝ නොදැන කර ඇති අකුසල් තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් දෙවෙනි ජාතියේ දී නියත සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වෙන්නේය. (ඔබ දෙවන ජාතිය නියත වශයෙන් කුසල් පලදීමේ වටිනාකම ගැන සොයා බලන්න.)

කුසල් බලාපොරෙත්තුවෙන් හෝ සමාජීය සේවයක් කිරීමේ අරමුණින් හෝ, අනුරාධපුරයේ සිට කිලෝ මීටර්  20  පමණ ඇතුලට වන්නට තිබෙන පාසලකට බුදු මැදුරක් සාදා දීම අප බ්ලොග් සහෘදයෙක් ඉදිරිපත් වී සිටියි. බෞද්ධ උරුමයේ මුදුන් මල්කඩක් බඳු අනුරාධපුරය ආශ්‍රිත ගම්මානයකට බුදු මැදුරු වලින් වැඩැක් ඇත්දැයි ඔබ සිතනු ඇත. නමුත් ඔවුනට පාසලේ ඇති මෙම බුදු මැදුර හැරුනු කොට, ලඟ පාතක පන්සලක් හෝ නොමැති බවයි දැනගන්නට තිබෙන්නේ. ගම්මානයේ වයෝවෘද පුද්ලයින්ට ඈත පන්සල් වලට යාමේ අපහසුව නිසා සිල් සමාදන් වීම වැනි කටයුතු ද පාසල් භූමියේ දී සිදු කරන බවයි ඔවුන් පවසන්නේ. එවැනි තැනකට බුදු මැදුරක් කරවා ශාසනයට පූජා කිරීමට කෙහෙල් කොටුවේ බුද්ධියා සහ බුද්ධියාගේ කෙහෙල්කොටුවට යන එන උන්ගේ අරමුණ වී ඇත.

අපත් ඔහු සමඟ එකතු වී මෙම කුසල කර්මයේ කොටස්කාරයන් වෙමු. ඔබත් මෙම පිංකමට සහභාගී වෙන්න කැමැත්තක් ඇත්නම් කෙහෙල්කොටුවට ලිපියක් යවා වැඩි විස්තර ලබා ගන්න. මෙන්න ලිපිනය cyberlipi@gmail.com

Tuesday, September 24, 2013

බජාර් එකේ ලලක්කා... - The Head of Women !!!


අපේ අල්ලපු ගෙදර වහලෙ උඩින් හදපු කොන්කිරීට් වතුර ටැංකිය, සති ගානක් පල් කරල වතුර බොන්න පුලුවන් තත්වෙට පත් කරල වතුර පිරෙව්වෙ ජීවිත කාලෙම වතුර බෙන්න බලාගෙන. අන්න එහෙම පුරවපු වතුර ටික පෙනේරෙකින් වැක්කෙරෙනව වගේ විනාඩි දහයකින් බිමට ලීක් වෙන්න ගත්ත. එහෙව් ලීක් වෙච්ච වතුර ටැංකිය වගේ මගේ නාස් පුඩු අතරින් සොටු බේරෙන දවසක, උදේම ආව වෑන් එකක් අපේ ගේට් එක හරස් කරල බ්‍රාස් ගාල නැවැත්තුවා. රතු වෙච්ච ඇස්, නාහෙට හිරවෙච්ච ලේන්සුව, ඇගේ අමාරුවට වකුටු වෙච්ච කොන්ද, සියළු දේ දරාගෙන මම ගියා දොර ලගට, මහා පාන්දර ගේට්ටුවට තඩි බාන එකා අල්ලගෙන අඩු දෙක් කඩලා, මගෙ හොටු ලේන්සුව ඌගෙ අමුඩ ලේන්සුව කරල අන්දවල ගම වටේ ඇවිද්දවන්න. හැම ඉරිදම දහම්පාසල් ගිය මට එච්චර කේන්තියක් එන්න හේතුව මට හිතා ගන්න බැරි වුනා. ඒත් මේ හෙම්බිරිස්සාව ඒකට හේතුව කියල මගෙ යටිහිත කෑගහලා කිව්වා.

මගෙ කාලකන්නි අතිජාත යාලුවා සුමියා ගේ දොරකඩ, ෂෝටක් ගහගෙන, බලාගෙන ඉන්නව මම එනකල්. ඇයි යකෝ තෝ ලෑස්තිවුනෙ නැද්ද? ඌ එහෙම ඇහුවමයි මට මතක් වුනෙ. අද අපේ එවුන් සිරීපාදෙ යනව කියල මට කලින් මැසේජ් එක ගහල තිබ්බෙ. මට දැන් බං මතක් වුනෙ.. අනික පට්ට අමාරුයි... බලපං ඇස් රතු වෙලා... මට සෙම බං.. ඔය සීතලේ යන්නෙ කෝමද?? අනෙ මේ උඹ ගියපාරත් අපි එද්දි ලැට් එකේන එලියට බහින්නෙ නැතුව බඩේ අමාරුවක් කියල මග ඇරියා මතකද? යකෝ කෑල්ලක් වගේ ගෙදරට වෙලා නොයිද පිනක් දහමක් කර ගන්න එලියට බැහැපං. සුමියා බඩේ අසනීපකාරයෙක් වෙච්ච මාව දවසක් ටොයිලට් එකේ දොර කඩලා වෑන් එකේ දාගෙන ගිය සීන් එක මතක් වුනේ ගිය වසරේ ට්‍රිප් එක ගැන කියද්දීය. සුමියා කරන රස්සාව මොකක්ද කියා දන්නා මුත් මම එදා නම් හිතුවේ මූ සුදු වෑන් කාරයෙක් කියාය. මොකද කෝපි කෝප්ප දුසිමක් විතර ගහලත් ලැට් එකේ සනීපයෙන් ඉදගෙන ඉන්න එකෙක් දාගෙන යන්න තරම් දරුණු යාලුවෙක් කාගෙවත් ජීවිතේක ඉදල නැතුව ඇති.

හරි බං... කියමින් මාත් සුමියා ගේ අදුරු මතකයන් අවදි කිරීමට බිය වී සීතලට ඇදීමට සුදුසු ඇදුම් පමණක් මල්ලක ඔබා ගත්තෙමි. එහෙව් පුරවපු ඇදුම් මල්ලේ වැඩි පුරම ලේන්සු තිබුනු බව නොරහසක්ය. නැත්තම් මේ ගලන හොටු ගංගාව නවතාලිය නොහැක. අපේ ගම අසබඩින් ගලන ගග උතුරා ගලන කාලෙට කවුරුවත් එය නැවැත්වීමට උත්සාහ නොකළේ එය තාත්වික දෙයක් නොවන නිසාය. එහෙව් එකේ නාසයෙන් ගලන හොටු දියර උඩට අදින්නේ නැතුව පහලට හෙලමින් ලේන්සුවල රටා මැවීම තාත්වික වන්නේය. එදා උතුරා ගලපු ගගට අද මාගේ නාසය සම වන්නේය. 

මචං.. ඔන්න අපේ නඩේ ගුරා දැනුයි වාහනේට නැග්ගේ..ඌට නහය බුරුල් වෙලාලු.. ඔය ජනේලයක් අයිනක් දියන්.. නැත්තං.. සිරීපාදෙ යන්න කලින් අපේ නඩේටම හොටු හූර හූර ඉන්න වැඩක් මූ සැට් කරයි..

සුමියා මගේ රෝගයේ ආකෘතිය නඩේටම කියා දුන්නේ අපේ ගමේ බේස් හොස්පිටල් එකේ ඕ.පී.ඩී දොස්තර මහත්තයා වගේය. ලෙඩකට බෙහෙත් ගන්නට ගියොත් බේත අරන් ගෙදර එද්දී ලෙඩාගේ රෝග තත්වය ගමම දන්නේය. ඒ ඩොකා ලෙඩේ ගැන හැම තැනම කියන නිසාය. ඩොකා ඒ තරමට සමාජශීලී නොවුනේ නම් ගමේ බෝවෙන රෝග පැතිරීමේ අවධානම වැඩිය. හවසට බාර් එකේ දොරකඩම සැට් වෙන ග්‍රාමීය ඩොකා එතැන සිට එක එකාගේ බෝවෙන රෝග ගැන කියවන නිසා කස්ටිය එදා සිට ඒ රෝගියා අසලට නොයන්නේය. එමගින් බෝවන රෝග අවධානම පහව යන්නේය. දෙවිවරු කිව යුත්තේ එවන් දොස්තරලාටය.

ලෙඩ ගොඩක් අස්සේ සිරීපාදේ සීතල විද දරාගන්නට ඇග වැහෙන, කන් වැහෙන, හිස් වැහෙන බර ඇදුම් මල්ලකට පුරවාගත් මාවත් රැගෙන අපේ උන් ආවෙ කට්ට අවුවක් පායන, පොලවේ පය ගහන්න බැරි, දාඩිය බේරෙන රස්නයක් ඇති අනුරාධපුර පොලොන්නරු පැත්තටය. අපේ එවුන් දෙන්නේ එවන් ටොපිමය. දිනක් කොල්ලෙකුගේ මලගෙදරකට කියා මාව රැගෙන ආවේ සතියක් නයිට ගැසීමට සූදානමින්ය. ඒත් එදා මලගෙදර අහවර වී සතියක් පිරෙන තැන දානය තියෙන දවසය. අපේ එවුන්ටත් මලගෙදර මිස් වී මට මලගෙදර යැයි බොරු කියා රැගෙන විත් තිබුනේය. මුන් සමග එන විට එවන් අත්දැකිම් විද දරාගැනීමේ ශක්තිමත් සිතින් පැමිණිය යුතුය. එසේ ශක්තියක් නොවන්නේ නම් උන් එන වේලාවට ගෙදරින් පිට සිට ට්‍රිප් එක මිස් කළ යුතුය.

රාත්‍රියේ පැවැත්වෙන පූජාවක් සදහා අපේ එවුන් මල් තෙල් පහන් අරගෙන, මම එක අතකින් ලේන්සුවත් අරගෙන, මහ මලුව පැත්තට ඇදුනේ අවට සැරිසරන කෙල්ලන්ගෙන් ඇස බේරා ගනිමින්ය. රෑපයට නොරැවටී මෙහි ආ කාරණා සාර්ථකව කර ගත යුතු බැව් අපේ සුමියා කිව්වේ පුංචි කොළ කෑලි වල තමන්ගේ ටෙලිපෝං නොම්මරය ලියමින් සිටින වෙලාවේදීය. රෑප ග්‍රහනයට නොවැටෙන ලෙස බිම බලාගෙන ඉදිරියට ඇදෙන මට දෙපස මල් කඩවල් හා සෙල්ලම් බඩු කඩවල කෙල්ලන් ඇස් කොනක ගැටෙන්නට වූයේය. එහෙත් සිත තද කරගෙන නාස් පුඩු හිරකරගෙන බිම බලාගෙන යද්දී දොදොල් කඩයක කෙල්ලෙක් කඩයේ දොදොල් පිලිවෙලකට අඩුක් කරමින් සිට මා එන පාර හරහට පැන්නේ කඩේ තියෙන බඩු පැහැදිලිව පේනවා දෝ බලන්නාක් සේය. ඇය මා ඇග හැපී, මා ඇය ඇග හැපී දෙදෙනාගේ මුහුනු විනාඩියක් පමණ බලා සිටින්නට ඇත. ඒ ඇස් දෙකට කදුලු ගලාගෙන ඇවිත්.. අපෙ කතාව ආරම්භ වුණා..

“අනෙ සමාවෙන්න...“

“ඉට්ස්.. ඕකේ.. ඉට්ස් ඕකේ..“

“අනෙ දැක්කෙ නැහැ මහත්තයා..“

“හරි හරි කෙල්ලෙ.. ගණන් ගන්න එපා.. අතැවැරැද්දක්නෙ වුනෙ..“

“ඒ වුණාට.. මහත්තයගෙ ඇගේවත් හැප්පෙන්න වටින කෙනෙක් නෙවෙ මහත්තය මම...“

“ඇයි කෙල්ලෙ එහෙම කියන්නෙ.. මේ ලෝකෙ මනුස්සයො අපි ඔක්කොම එකයි නේ...“

“මහත්තය ඔහොම කිව්වට.. මේලෝකෙ ගොඩක් පෝසත් මිනිස්සු.. දුප්පත් අපි දිහා බලන්නෙ හරි පහත් විදිහට මහත්තයා..“ එයා පපුව කඩා වැටීගෙන කදුලු අතරින් කතා කරද්දි මගෙ ලෝකෙම කඩා වැටෙන්න වුණා..

“පිස්සුද කෙල්ලෙ.. සල්ලි වලින් දුප්පත් වුණාට.. හදවතින් .. රෑපෙන් ඔයා කොච්චර පෝසත් කෙනෙක්ද??“

ආයෙත් අපි අතර නිහඩතාවයක් ආව.. හරියට ඔපරේෂන් තියටර් එකකට ඇතුල් වුනා වගේ.. නිහඩයි..

“ඔයා කොහෙද කෙල්ලෙ යන්නෙ..“ මම ඒ නිහඩතාවය බින්දා. දොස්තර අතින් කතුරක් බිම වැටුන  වගේ.. ආයෙත් තියටර් එකම චංචලයි..

“එහෙමටයි කියල තැනක් නැහැ මහත්තයා..“

“අම්මලා විශ්‍රාම ශාලාවෙ ඉන්නව.. මම ආව ටිකක් මේ කඩවල් වල තියෙන ඒව බලල යන්න කියල..“

“හිහ්.. ඇයි බලන්න විතරද මුකුත් ගන් නැද්ද?“

“අහ්..අප්.. අපිට කොහෙන්ද මහ්... මහත්තයා ඕවා ගන්න සල්ලි...“ ඒ කතාවට මගෙ පපුව පිච්චිලා ගියා.. 

“හරි හරි.. එන්නකො මාත් එක්ක.. ඔයා කැමති කඩේකින් කැමති දෙයක් ගන්න..“

“අහ්. අනේ මහත්තයා..“

“මමනෙ කියන්නෙ.. මෙහෙ එන්නකො...“

“මම බලෙන්ම වගේ එයාගෙ අතින් අල්ල ගත්තා..“

“මුලින්ම එයා නැවතුනේ දොදොල් කඩයක ලග..“

ආ.. එන්න එන්න එන්න... කළු දොදොල්.. හොදා දොදොල්... ගන්න.. ගන්න.. ගන්නෝ.. කළු දොදොල්.. කළු දොදොල්... කාල බලන්න. කාල බලන්න... එන්නෝ...

කන්න කන්න කන්න.. ආ සාම්පල් කෑල්ලක්  කාල බලන්න.. මේ ඔය ගන්නව නම විතරක් කන්න.. මෙතන ඔය සාම්පල් කාල බඩ පුරවගන්න එන්න එපා..

මේ ඔය කෙල්ලට මම කියන්නෙ එනව මෙතන දොදොල් කන්න...

දොදෙල් කාරයගෙ කතාවට එයාගෙ ඇස්වලින් කදුලු පැන්නා..

“මේ එයා ඔයාගෙ දොදාල් කාල බඩ පුරව ගන්න ආවෙ නැහැ හරිද... කීයද තමුසෙගෙ දොදොල්..“

“කිලෝ එක 400යි..“

“දානව කිලෝ 10ක්...“

“කිලෝ දහයක්???“

“ඔව්.. මේ.. මීට පස්සෙවත් දැන ගන්නව මිනිස්සුන්ගෙ මූණ බලල මිනිස්සු පහත් නොකර ඉන්න..“ එහෙම කියපු මං එතැනින් දොදොල් කිලෝ දහයක්ම අරන් එයාගෙ අතට දුන්න.. ඒත් මගෙ කේන්තිය ඉවර නැහැ..

“ගන්න කෙල්ලෙ.. මේ ඕන කඩේක තියෙන ඕන දෙයක් ගන්න..“

“අනෙ මහත්තයා..“

“මංනෙ කියන්නෙ.. ඔයා ගන්න ඕන දෙයක ගන්න...“

එහෙම කියල කේන්තියෙන් හිටපු මං. හැම කඩේකින්ම එයා ආස හැම දෙයක්ම අරන් දීගෙන දීගෙන ගියා.. එයා එක පාරක් දෙපාරක් එපා කියද්දි මම බලෙන්ම වගෙ අරන් දුන්නා.. කෝම හරි දැන් එයාගෙ අතේ පුංචි ලොරියක විතර බඩු.. සල්ලි වලින් නම් ලක්ෂෙක විතර බඩු..

“මේ කෙල්ලෙ අපි දෙන්නත් කොහෙ හරි පොඩ්ඩක් වාඩි වෙලා කතා කරමුද?“

“මේ බඩු කන්දත් තියාගෙන කෝමද මහත්තයා අපි කතා කරන්නෙ.. මේ බඩු කන්දට මට මහත්තයාගෙ මූණවත් පේන්නෑ.. මහත්තයා මම කියන්නද? මම දූලා ගහින් අපෙ අම්මල ඉන්න විශ්‍රාම ශාලාවෙන් මේ බඩු ටික තියල එන්නම්...“

“අහ්.. ඒක හොදයි.. හැබැයි ඉක්මනට එන්නෝ....“

“හරි හරි..“

“මේ...“

“ඇයි මහත්තයා..“

“ආයෙ මට මහත්තය කියන්න එපා හොදේ..“

“හොදයි මහත්තයා..“

එහෙම කියපු එයා ආයෙ දුවන්න ගත්තා.. විනාඩි 10ක් ගියා, පැයක් ගියා, දෙකක් ගියා.. ඒත් එයා තාම නැහැ.. ඒ ගත්ත බඩු ලොට් එක විශ්‍රාම ශාලාවෙ මුල්ලක අඩුක් කලත් මෙච්චර වෙලා යන්නෙ නැහැ. පුජා අඩවියෙ තෙල් කෑම අරන් යද්දි කරදරයක් වත් වුනාද? අනික මට එයාගෙ නමක් වත් අහගන්න වුනෙ නැහැ. මම කෝම හරි එයාව හොයා ගන්නව කියල හිතපු මම, මුළු පුජා භූමිය පුරාම විශ්‍රාම ශාලා, කඩ පිල්, දොදොල් කඩ පීර පීර එයාව හෙව්වා. ඒත් ඔහෙ නැහැ. කමක් නැහැ මම දන්නව කවදා කොතැනක හරි මට එයාව හම්බෙන එක හම්බෙනවා. ආපහු යන්න හැරුණු මම නිකමට වගේ අර එයාට දොදොල් අරන් දුන්න කඩේ ඇතුලට ගොඩ වුණා.

අඩේ දෙයි හාමුදුරුවනේ.. මම දෙදොල් ගත්ත කඩේ තඩි කළු මිනිහා එතැන කඩේ ඇතුලෙ හිටපු කෙනෙකුට කියන කතාවක් ඇහිල මම එතැනම ගල් ගැහුණා.

හෙහ් හෙහ් හේ.. මුදලාලි නෝනා ඒ හාදයගෙන්ම පනස් දහක විතර බඩු ගැරුව නේ.. අපේ කඩෙන්ම ඒ හාදයා පනස් දහක විතර බඩු ගත්ත නේ... පව් අප්පා.. බැරි වෙලා හරි ඌ දන්නව නම් නෝන තමයි මේ කඩ පේලියෙම අයිතිකාරි කියල.. පපුව පැලිල මැරෙයි.. ආක්....“ 

sAm_ශ්‍රී_Perera_8:15am_24.09.13

Friday, September 20, 2013

86 අවහිර නොකරන්න.. - 86 No Parking.. !!!


“මචං වත්තලට යන්න තියෙනවා..“

“හරි උඹල දෙන්න ගිහින් වරෙන්.. මම ඉන්නම්..“

“උඹ කෑවද?“

“නැහැ බං...“

“අපෙ කෑම දෙකක් තියෙනවා ගෙදරින් ගෙනාපු.. මොකද කියන්නේ..“

“අවුලක් නැහැ.. මම මෙහෙන් කන්නම්.. උබල ගිහින් වරෙන්..“

ලකියා, දිලා සහ සෑමාට යන්නට කීවේ කඩෙන් කන බලාපොරොත්තුවෙන්ය. දිලා, සහ සෑම් පිටත් වුයේ වත්තල බලාය. දිලාගේ ඔපීසියට යෑමේ පරමාර්ථයෙන් ගිය ඒ ගමන ඛේදනීය එකක් වන බවට දෙදෙනාම නොදත්තෝය. ඒ ගමන අතරතුරදී දෙදෙනාගේ උදර අභ්‍යන්තරයේ සිටින හිගන්නා අවදි වීම නිසාය. එය හුදෙක් දෙදෙනාගේ වරදක් නොව, අභ්‍යන්තරයේ සිටින හිගන්නාගේ වරදක්ය. ඌ සැමවිටම අවදි වී කන්නට යමක් සොයන නිසා දෙදෙනාම විදින්නේ මහා ච්ත්ත සංතාපයක්ය.

“සෑමා මට බඩගිනි බං...“

“මට තාම බඩගිනි නැහැ යකෝ... ඒත් උඹට බඩගිනි නම් මට නොකා ඉන්න බැහැනේ..“

“හිටපං.. Pan එක පාරේ නවත්තලා කමු..“ කියමින් දිලා කාර් එක OKI පාසල ඉදිරියේ නැවැත්තුවේය. හරියටම 86 කියා අංකය ගසා තිබු නිවස පිහිටියේ පාසල එහා පැත්තේය. ගේට් එක මදක් පසු කොට කාර් එක නැවැත්තුවේ ඔවුනට බාධාවක් නොවන අන්දමටය. අනික එහි ගේට්ටුවේ ගසා තිබුනේ “86 ගේට්ටුව අවහිර නොකරන්න“ කියාය. එය දුටු සැනින් ඕනැම අයෙකුට සිතෙන්නේ පිස්සන් කොටුවක පිස්සෙක් ගේට් එකක ලියු අකුරු සැට් එකක්ය. ඒ තරමට නිවැසියන්ගේ තරම ඉන් කියා පාන්නේය.

“කෑම දෙකක් තියෙනව නේ..“ ඒ දිලාය.

“මුලින් මගෙ එක කමු..“ සෑමා මගෙ එක කිව්වේ කෑම එක ගැනය.

“හරි මචං.. දිග ඇරපං..“

දෙදෙනාම ඉදිරිපස සීට් දෙකේම හිදගෙන කෑම දෙක දිගහැරගෙන කන්නට වූවෝය. ඒ අතර එතැනින් ගිය ඕ.කේ.අයි ගුරුතුමියන් සුට්ටි සාරි කෑලි, පබලු මාල දමාගෙන අපගේ කෑම පාර්සල් වලට එබී බලන්නට වූයේ බොරැල්ල කනත්ත හන්දියේ සිටින සුරූපී පෙරේතයන් ලෙසය.

“මචං සෑමා.. එක පාරම බලන්න එපා.. පොඩ්ඩක් මම කියන දේ අහපං..“

“හරි කියපං..“ වට පිට නොබලාම සෑමා කෑම එක දෙස බලාගෙන කීවේය.

“මෙතන 86 ගෙදර එකා අපි දිහා ඉදගෙන බලං ඉන්නවා.. පොඩ්ඩක් ෂේප් එකේ බලපං..“

“ඌ පෙරේතයෙක්ද බං.. මෙහෙ බලං ඉන්නේ..“ සෑමා මොහොතකින් බලා ඇසුවේය.

“මන්ද බං.. පොඩ්ඩක් හිටපං.. මගෙ කෑම එක ඩිකියේ.. මම අරන් එන්නම්..“

දිලා කෑම එක ගන්න බැස ගිය විට සෑමා කා අහවර කළ කෑම එක ඔතා පැත්තකින් තැබුවේ එතැන විසික් නොකර කුණු ගොඩකට දැමීමටය. දිලා නැවත එන විට එහා පැත්තෙන් 86 ගෙදර අංකල්ද ආවේය. 

“කරුණාකර ඔතනින් අහකට ගන්නවාද?“ ඒ අංකල්ය.

“හරි අංකල් විනාඩියක් දෙන්න.. මේ බත් එක කාල ඉස්සරහට ගන්නවා..“ ගේට්ටුව අවහිර නොවී තිබුණද, දිලා එසේ කීවේ කෑම එක දිග හරින ගමන්ය.

“කෑම එක.. මම කෑම එක කාලා ඉවර වෙනකල් බලාගෙන ඉදලා තමා ආවේ... කරණාකරලා ගන්න ඉස්සරහට..“

“තව එකක් තියෙනවා අංකල්.. මේ තියෙන්නේ..“ කියමින් සෑමා කෑම එක අංකල්ට පෙන්නුවේය.

“තමුසෙලා දන්නවද මම කවුද කියලා..“

“අංකල් දන්නවද අපි කවුද කියලා..“

“මට ඔහේලා කවුරු වුණත් කමක් නැහැ.. මම තමා අවුරුදු 25ක් තිස්සේ තමුසෙලා වගේ උන්ට ලයිසන් දුන්නේ..“

“මොන මගුලක්ද ඕයි මේක.. මනුස්සයෙක්ට කන්නවත් නොදෙන සතෙක්ද මේ...“ කියමින් දිලා තමන් දිග ඇරිය බත් එකෙන් අංකල්ට දමා ගසන්නට හැදුවේය. සැමා එය වැලැක්වූයේ සත්තුන් සමග හැසිරීමේදි පරිස්සම් විය යුතු නිසාය. ඒ අතර ගෙදර ඇන්ටීද දුවගෙන ආවාය.

“තමුසෙලා ඔතන හරස් කළාම අපෙ ගෙදරට වාහන එන්නෙ කෝමද?“

“හරි අපි වාහනේ තියල ගියෙ නැහැනෙ. වාහනයක් ආවනම් අපි ඉස්සරහට අරන් ඉඩ අරන් දෙනවා..“

“ඒව මට වැඩක් නැහැ.. එදා මෙතන එකෙක්ට මම 2500ක දඩයක් ලියෙව්වා..“

“හරි ලියල පෙන්නනවකෝ.. “

“හරි මෙතනම ඉන්නවා.. “ කියමින් අංකල් නම්බර් එක බලාගෙන ඇතුලට ගියේය. ඇන්ටී නම් සද්ද නැතිය. 

අංකල් ඇතුලට ගියේය. කෑම එකත් කා අහවර කර අප සිටියේ පොලිසිය එන තුරුය. පැයක් පමණ එතැනම සිට පිටත් වුයේ සිරි ලංකාවේ පොලිසිය ප්‍රමාද නිසාය. අංකල් අවුරුදු 25ක් අප වැනි උන්ට ලයිසන් දුන්නා යැයි කීවේ ලර්නස් එකකද කියා අපට සිතුනේය. එහෙත් අනිවාර්යයෙන් රජයේ උසස් යැයි සිතා ගන්නා තනතුරක සිටි අයෙක් විය යුතුය. විශ්‍රාම ගොස් නිවසට වී සිටින විට ඒ කාලයේ පවර්ස් මතක් වී මෙවැන් ලෙඩ රෝග වැලදෙන්නේය. ඒවාට කළ යුතු ශාන්ති කර්ම නැතිය. එහෙත් අංකල් ගැන හොදින් දන්නා ඇන්ටී එළියට පැමිණ අපට මුකුත් නොකීවාය. ඇය දන්නා තරමින් අප නිවැරදි විය යුතුය. එහෙත් ඇන්ටී සතුව එක වගකීමක් ඇත්තේය. එනම් දවස පුරාම බණ දහම් පෙන්වන බෞද්ධයා නාලිකාව හෝ පෙන්වා අංකල්ගේ සිත දැහැමින් පිරවීමය. අප නම් බල්ලෙකු, පූසෙකු කන බොන විට පවා, කරදර නොකරන්නේය. ඒ අපට අපායේ යන්නට බැරි නිසාය. එහෙත් උක්ත අංකල් අපායේම යන්නට සැරසෙන්නේය.

බල්ලෝ පූසෝ ගැන කී විට අපට එදාම සැට් වූ බල්ලෙකුගේ ඡායාරූපයක් මෙහි අඩංගු කරන්නේය. ඒ බල්ලා සැලුන් එකකට ගොස් මොඩිෆයි වී තිබුනේය.



Written by sAm_ශ්‍රී_Perera_8:26am_20/09/13

Monday, September 16, 2013

මුත්‍රා කිරීමේ නිදහස - Freedom to Pee !!


කොන්ද ඇත නැමීගෙන
ඉනෙන් ඉදිරියට පැන
කොමඩ් කට මාන කොට
හෙලනු ඇත හිතේ බර

සිරවෙමින් හතර කොන
හිතේ නැත නිදහස
විලි ලැජ්ජ වසාගෙන
හෙලනු ඇත මහා දුක


සුන්දරයි වට පිට
පිරිසිදුයි වාතය
සැහැල්ලුයි ලෝකය
පිටකරමි සිතේ බර

එරෙහි වෙත් ලෝකය
මට සැපයි මේ ටික
ලැජ්ජ නම් නෑ හිත
හෙලමි මම ලෝදිය


Written by sAm_ශ්‍රී_Perera_10:43pm_16/09/13
පලි -
පස්සෙ දැක්කෙ..
මේක 300 වෙනි පෝස්ට් එකලු !

Saturday, September 14, 2013

දෙකක් බැලන්ස් කරන හැටි - පිළිතුරු !!! - How to Balance Two Ladies !!




බ්ලොග් ලෝකය අතිශය සුන්දරය. හැම එකාම හොදට හැදුනු එවුන්ය. දෙකක් බැලන්ස් කළ එවුන් නැත්තේමය. ඒ නිසා කවියට පිළිතුර සොයා ගන්නට කිසිවෙකුට හැකි වූයේ නැතිය. එහෙත් දෙකකට වඩා බැලනස් කරපු එකෙක් සිටියේය. ඌ කියා සිටියේ මෙසේය.


මාතලන් ගොයියාද සාර්ථක උත්සාහයක් දරා තිබුණේය. එහෙත් එහි ආදරෙයි කියන ආකාරය දෙවිදිහටම කියවී තිබුනේය. එවිට ගෑනිගෙන් බේරීමක් නැතිය. හොර අයිටම් එක සුජීවා ය. සුජීවා මම ආදරේ සැමදා නුඹටයි කියා, නැවත සුජීවා මගේ හදවත නුඹට දුන්නා කීවොත් ගෑනි කන පැලෙන්න ගහනවා ෂුවර්ය.



හැබැයි morabba de morabba කියු පරිදි, සුජීවාට හදවත දී, නැවත මම ආදරේ හැමදාම නුඹටයි කියා පවුලට කිව හැකිය. වෙනසක් නැතිය. ඒ නිසාද නැවත කන පැලෙන්නට කන්න වෙනවා ෂුවර්ය.


ඉන්දික අයියා සුජීවා මම කියා හොර අයිටම් එකේ නම ආරම්භ කර ඇත්තේය. ඉතිරිය හැලපයියා සාර්ථක ලෙස ආදරේ නැහැ කියා කීවේය. වැඩේ තරමක් ගොඩය. එහෙත් පිලිතුර අසම්පූර්ණය. ඒ නිසා පෙනී යන්නේ බ්ලොග් ලොව දෙකක් බැලන්ස් කරන උන් නැහැ කියාය. එහෙත් බෝල දෙක බැලන්ස් කර ගන්න බැරිව ඉන්නවා යැයි මරු කමෙන්ට් සැට් එකක්ද  තිබ්බේය. ඇත්තය කොච්චර බැලන්ස් කියා සිතුවත් උපතින්ම බෝල දෙක බැලන්ස් නැතිය. 

කෙසේ වෙතත් උත්තරේ මෙහෙමය. හැම වාක්‍යෙයම මුල අකුර ගත යුතුය. අන්තිම වාක්‍ය දෙකේ පලවෙනි වචනෙම ගත යුතුය. එවිට “සුජීවා මම ආදරේ නෑ“ කියා කියවෙන්නේය. පවුලට අසුවූ සැනින් මේ විදිහට පෙන්වූ විට අනේ සුජීවා මට කරදරයක් වෙලා තියෙන්නේ ඒ නිසා මම ඒකිට ආදරේ නැහැ කියලා ලියුමක් ලිව්වා. කියා පන බේරා ගත හැකිය.

ගෑනිට අහුඋනාම එහෙමය. එහෙත් ආදරණීය සුජීවාට කියන්නෙ මෙහෙමය. හැම වාක්‍යෙයම මුල අකුර ගත යුතුය. එසේම අන්තිම වාක්‍ය දෙකම ගත යුතුය. එවිට “සුජීවා මම ආදරේ හැමදාම නුඔටමයි නෑ වෙනස් හැමදාක වෙනස්වීම වෙනස් වුවත්“ වැඩේ අවුලක් නැතිය. සුජීවාද බැලන්ස්ය.

මෙය හුදෙක් රචකයා පිලිබද දන්නා නිසාත්, කවියේ කොලිටිය නිසා දැමූවක් බවත්. නිර්මාණයක ඇති සැගවිච්ච රසයක් පෙන්වා දීමට දැමුවක් බවත් සිතා ගත යුතුය. කුමක් හෝ ලිවිය යුතු නිසා ලියුවක් බව නොසලකන මෙන් සෑමා ඉල්ලා සිටින්නේය.

පිළිතුරු දුන් සැමට ස්තුති...ජය වේවා !

Written by sAm_ශ්‍රී_Perera_9:36pm_14/09/13

Thursday, September 12, 2013

ඔබත් දෙකක් බැලන්ස් කළ හැකි අයෙක්ද? - Are You A Double Game Player ??




එකෙක් බිරිදට හොරෙන් ලිපියක් ලීවේය. ලිපියක් කීවාට කවි සැට් එකක්ය. ඒ හොර අයිටම් එකටය. මහා රාත්තිරියේ පද පෙල ලීවේ පවුලට හොරෙන්ය. ඒ නිසාම 25වන පැයේ ලියන ලද්දක් ලෙස සටහන් කළේය. තම පවුලට වඩා ආදරයෙන් වෙලී සිටි නිසාදෝ, කවි කමේ හැකියාව නිසාදෝ, අපූරු කවි පෙලක් සටහන් වූයේය. 


මෙය හොර අයිටම් එක කියවා සතුටු වූවාය. කියවිය යුතු හොර ආකාරයද රචකයා විසින් සදහන් කර යවන ලද්දේය. එහෙත් හදිසියේ තම පවුලට අසුවූ නිසා එයද බැලන්ස් කිරීමට රචකයා හෙවත් බුවා සමත් වූයේය. දැන් ඔබහට පැවරෙන රාජකාරිය මෙසේය. හොර අයිටම් එක කියවූ අයුරුත්, පවුල කියවූ අයුරුත් කමෙන්ට් එකක් ලෙස සටහන් කිරීම පමණක්ය.

එය හුදෙක් නිවැරදිව සටහන් කළ හැකි නම්, ඔබද එකක් පමණක් නොව, දෙකක් බැලනස් කිරීමට උපන් හපන් පුද්ගලයෙකි. මේ පද පෙලහි සියළු අයිතීන් රචකයා සතුය. රචකයා සෑමාගේ ලගම හිතවතෙකි.

පලි - සත්‍ය සිදුවීමක් බව සලකන්න..

Written by sAm_8:48pm_11/09/13

පිලිතුර මෙන්න..
Related Posts Plugin for WordPress, Blogger...