Friday, November 30, 2012

බේබද්දා නම් හිත හොද එකෙක්ය...


බොන එකා නරකය. ගන්න දෙයක් නැතිය. මතට ලොල් එකා ගෙදරම විනාශ කරන්නේය. අතට හම්බෙන තුට්ටු දෙක පවා විනාශ කරන්නේය. ඌට අනාගතයක් නැතිය. දරුමල්ලන් ගැන නොබලන්නේය. සෞඛ්‍යය පිරිහෙන්නේය. හේ සැම දේටම ප්‍රමාදය. ගෙදර දොර නිතර අඩදබරය. සමාජයේ කොන් වන්නේය.

පංච ශීලයේ අවසන් සිල් පදය පවා අදාලව සුරා නම් හොද නැතිය.

එකී සියල්ල සත්‍යය. ඒ සියල්ල අතර මතට ලොල් පුද්ගල කුලකයේ අමුතු චරිත දකින්නට ලැබෙන්නේය. බොහොමයක් උක්ත හැසිරීම් රටා දක්වද්දී සුළු තරයක් ෂොට් එකක් දැමූවිට දෙන්නේ අමුතු ආකාරයේ ප්‍රථිචාරයන්ය. ෂොට් එකක් දාගත් පසු සිංදු කියන ඈයෝ සිටින්නේය. ඔවුන් නම් සිරාය. කාටත් කරදර නැත්තේය. සිංදුවක් කියාගෙන නැටුමක් නටාගෙන ඇග හිරි ඇරගන්නෝය. ඒ අතර ෂොට් එකක් දැමු විට වලියක වුවමනාවෙන් ඇග කිලිපොලා යන උන්ද සිටින්නේය. උන් නම් මෙලෝ රහක් නැතිය. ඇල්කොහොල් බලයෙන් ගමන් කරන මැෂින් වැන්නේය.

සමහර බල්ලන් පවා සිංහයන් වන්නේද ෂොට් එකක් දැමු විටය. උන් ගෙදර ගියාම හෙන සද්දය. ගේ දෙක කරන්නෝය. එදාට ලමයි, බිරින්දෑ ගෙදරින් එළියේය. හැබැයි මේ නාටකය බහුලව තිබුනේ ඉපැරණි සමාජයේය. දැන් නම් ඒවා නැතිය. බිව්වාට ගෙදර ඇවිත් වෙනදාට වඩා කික් එකේ වැඩ කරන පුද්ගලයන් අද බොහෝය. එසේම එදාට බිරිදට, දරුවන්ට පැලෙන්න ආදරේය. එනිසාම තම ස්වාමියා මසකට වරක් හෝ බොනවාට එවන් කාන්තාවෝ කැමතිය. ඒක නම් සාධාරණය. එවන් බීමක් නම් කාටත් කරදරයක් නැතිය.

සමහරෙක් දවසේ පඩිය වැය කරන්නේ බෙන්න මිස කෑමට නොවේය. එය අමු අමුවේ සෑමා හෙලි කළේ රුපියල් 2500න් මසක් ජීවත් විය හැකි කුලේ අංකල්ගේ කතා වෙන්ය. එසේම දවසේ පඩියෙන් හෝ අමාරුවෙන් සොයා ගන්නා මුදලකින් බොන අයෙක් ඒ මුදල කිසිවෙකුට දීමට අකැමැතිය. එහෙම එකෙක් හිටියොත් පොර නම් බෝධිසත්වයෙක්ය. ඒ කියන්නේ බෝතලයක්ම බොන එකෙක් කියා නොවේය. ගතිගුණය ගැනය.

මේ ඉන්නේ අපේ ගමේ ආනන්ද අංකල්ය. අපි අංකල් කියද්දී පොර සෑමාට කියන්නේ මල්ලී කියාය. සෑමාගේ අම්මාට පොර කියන්නේ කාන්ති අක්කේ කියාය. එසේ නම් සෑමාගේ අම්මා සහ සෑමා අක්කා සහ මල්ලී වන්නේය. ඒ ආනන්ද අංකල්ගේ ගණිතයට අනුවය.


ආනන්ද අංකල් ගංවතුරේ බයිසකල් කරේ තියාගෙන මේ තරණය කලේ තමන් දාගත් ෂොට් එකක බලයෙන්ය. ගංවතුර නොබලා ඉන දක්වා ජලයේ බැස ගමන් කළේ ඒ ෂොට් එක දමා ගැනීමටය. එතරම් මතට ලොල් ආනන්ද අංකල් ක්‍රියාවෙන් නම් හොද එකෙක්ය. ඔහුගේ පෞද්ගලික ජීවිතය කෙසේ වුවද ඔහුගේ සත් ක්‍රියාවක් සෑමා අත්දුටුවේය.

මීට මාස ගණනාවකට පෙර සෑමා ගෙදර තිබෙන මදුරුවා බයිසිකලය කකුල් අස්සේ රුවාගෙන නිවසින් පිටත් වුනේය. ඒ මුදල් පසුම්බිය පවා නිවසේ තබමින්ය. දෙන එකාට දෙයියෝ උඩ පැන පැන දෙන්නේය. හරියටම ෂෙඩ් එකක් නැති ඇතුල් පාරක මදුරුවා පෙට්ට්‍රල් නැතුව හිට්ටේය. ඌ ලේ බොන මදුරුවෙක් වූවා නම් ලේ ජුන්ඩක් පොවා හෝ ගමන් ඇරඹීමට ඉඩ තිබ්බේය. සෑමා අසරණව වට පිට බලද්දී ආනන්ද අංකල් කසියා පොට් එකේ හිටියේය. පොර සෑමා දැක එතැනට ආවේය. 

“මොකද වුනේ??“

“මාර සීන් එකනේ පෙට්ට්‍රල් නැතුව හිට්ට නේ..“

“හරි හරි බයික් එක මම තල්ලුවක් දාන්නම් අපේ නංගිගේ ගෙදරට.. එයා ඉන්නෙ මේ ලග.. ඔයා බෝතලේකට හරි තෙල් අරන් එන්න..“

“ඒක නෙවේ අවුල, මම පර්ස් එකත් දාලනේ ආවේ...“

“හයියෝ එහෙමද? මගෙ අතේ තියෙන්නෙත් 150/-යි. මම මේ පොඩි ෂොට් එකක් දාන්න ආපු ගමන්..“

“ආ.. එහෙනම් කමක් නැහැ.. මම ෂෙඩ් එකට ගිහින් කතා කරල බලන්නම්..“

“අපෝ නැහැ නැහැ.. ඔයා මේක ගන්න.. මට මෙතනින් ණයට නොදී ඉන්නෙ නැහැ.. මම අද ණයට ෂොට් එකක් දාන්නම්...“

සෑමා අකැමැත්තෙන් වගේ සල්ලි ගත්තේය. එදා ආනන්ද අංකල් නැත්තං සෑමාට මදුරුවා ෂෙඩ් එකටම තල්ලු කරන්නට වන්නේය. පයින්ම ෂෙඩ් එකට ගොස් ආනන්ද අංකල් සොයා දුන් බෝතලයට තෙල් දමා ගද්දී සෑමාට තව මිතුරෙක් සෙට් වු නිසා නැවත බයිසිකලය ලගට යෑමට ට්‍රාන්ස්පෝර්ට් ලැබුනේය.

ඉතින් බොන එකා හොද නැද්ද?

සෑමා කලින් සේවය කළ ආයතනයක මැනේජර් කෙනෙක් කෙල්ලෙක්ට කිව්වේ බදිනව නම් පොඩ්ඩක් හරි බොන එකෙක් බැදපං කියාය. ඒකිට මල පැන්නේය. අනිත් පැත්තට හැරී “ඒ මොන එකකටද“ කියා ඇය අසද්දී මැනේජර් කිව්වේ “ඇයි යකෝ එතකොට වෙරි මරගාතෙ හරි ඌ කරපු වැරදි ටික කියවනවා නේ“ කියාය.

සැයු - මත්ද්‍රව්‍යය ඔබේ සියල්ල නැති කරයි !

Written_by_sAm_ශ්‍රී_Perera_11:14pm_29/11/12

Wednesday, November 28, 2012

ඇයි උඹ ඉගෙන ගත්තෙ නැත්තේ ??


මේ කතාව නම් සරලය. නමුත් තේරුම් ගැනීමට, සිතීමට බෙහෝ දේ ඇත්තේය.

එදා නම් බදාදා දිනයක්ය. සෑමා ගම්පහ ගියේ දිවයිනේ සුප්‍රසිද්ධ කායික විශේෂඥ්ඥ වෛද්‍ය වරයෙක් හමුවීමටය. ඔහු ඉතා නිරහංකාර පුද්ගලයෙක්ය. කතා බහ කරන්නේ විහිළුවෙන් තහළුවෙන්ය. රෝගීන්ට පවා එසේමය.

ඔහු එදා නම් ප්‍රමාදය. රෝගීන් පෝලිමේ සිටියේය. එහෙත් ඔහු වෙලාවට රාජකාරී කරන පුද්ගලයෙක්ය.

ඔහු එනතුරු පෝලිමේ සිටින අයෙක්ට ඌරු ජුවල්ය.

“ඇයි යකෝ අපේ සල්ලි වලින් නිදහස් අධ්‍යාපනය අරන් ඇයි මේගොල්ලන්ට වෙලාවට වැඩක් කරන්න බැරි?“

ඔහු එය කීවේ වට පිට නොබලාය. එවිටම ඔහු පිටුපසින් රෝගින් පරීක්ෂාකරන කාමරයට යාමට පැමිණියේ විශේෂඥ්ඥ වෛද්‍යතුමාය. ඔහුට එය ඇසුනේය. ඔහු අර පුද්ගලයාගේ පිටට තට්ටු කළේය. එම පුද්ගලයා පිටුපස හැරී වෛද්‍යතුමා දෙස බැලුවේය.

“ඉතිං අපරාදෙන ඔයාටත් තිබ්බනේ ඉගෙන ගන්න...“

වෛද්‍යයතුමා හඩ අවදි කර කීවේ එපමණක්ය.

හැදෙන උන්ට හැදෙන්න මේ වචන ටික ඇතිය.

කතාව ඉවරය.

Written_by_sAm_ශ්‍රී_Perera_08:14pm_27/11/12

Monday, November 26, 2012

ඔව් ඕයි මම බඩුවක්ම තමයි...


එක් මස් කඩකරුවෙකුගේ කතාවේ ලියවුණු මචං මචං මිත්‍රයා ගේ තවත් කතාවක් සෑමාට සිහි වුයේය.

මචං ගෙවුයේ දුක්ඛිත ජීවිතයක්ය. ඒ මුදල් අග හිග කමක් නිසා නෙවේය. සහකාරියකගේ අඩුව නිසාය. ඒත් පොර කෙල්ලෝ පසු පස නොගියේය. කෙල්ලෙක් අකැමැති වන්නට තරම් පෙනෙන්නට අඩු පාඩුවක් පවා නොතිබුනේය. ඒ සිකුරා රජ නොවූ කාලයක් විය හැකිය. එහෙත් සිකුරා රජ වී පොර අසරණ වන්නට ගියේ සුළුතර කාලයක්ය.

මචංගේ මෙන්ම, අපේද මිතුරියක් ඔහුට සහය දුන්නේය. ඒ කෙල්ලෙක් තෝරා ගැනීමටය. එය එතරම් වෙහෙස කාරී දෙයක් නොවුනේ ඇයගේ මිතුරියක්ම මචංගේ නීත්‍යානුකූල පෙම්වතිය ලෙස ඉදිරිපත් වූ නිසාමය. අපේ මචං සහ කපු කම කළ මිතුරිය මාර ෆිට්ය. එසේම උන් උන්ගේ ගෙවල් වලින් හදුනන්නෝය. එසේම මිතුරියගේ, මිතුරිය නොහොත් මිතුරාගේ නොයිදුල් පෙම්වතිය පවා නිවෙස් වලින් හොදින් අදුනන්නේය. ඒ නිසාම පෙම් හබය වැඩි දුර නොගොස් විවාහයකින් කෙළවර වන මට්ටමට නිවෙස් වලින් පවා දැන ගත්තේය. කෙල්ලෝ බලා සිටින්නේ විවාහයට ඇගිලි ගණිමින්ම බව නොදත් අපේ අසරණ මිත්තරයා ගුලිය කෑවේය. ඌ පව්ය.

මෙසේ ආදර අන්දරය ගලා ගියේය. නිවැස් වලට ආවේය ගියේය. එහෙ මෙහේ ගියෝය. ඒ අතර දැවෙන ප්‍රශ්න ඇති වෙමින් තිබුනේය. ඒ අපේ එකාගේ ෆෝන් එක waiting වූ අවස්ථාවකය. එදා සිට උන් මරා ගත්තෝය. ඒ අතර කෙල්ලගේද ෆෝන් එකද waiting වූයේය. වැඩේ තවත් උත්සන්න වුයේය. කොල්ලා කෙල්ලට බනිද්දී ඇයි නිහඩව සිටියාය. රිප්ලයි නොකළාය. මැසේජ් වලට රිප්ලයි නොකරද්දි මචං මිතුරාට මල පැන්නේය. පොර ශුද්ධ සිංහල වාක්‍ය කණ්ඩ උපයෝගි කොට ඇයට සද්ද දමන්නට වුවේය. ඇය ඒවාට පවා නිහඩව සිටියාය.

සියල්ල ඉවසනු නොහැකි තත්වයක් ඇතිවී අවසන මහා දිය පහරක් දරා ගත නොහැකි මට්ටමේ වේල්ලක් කඩාගෙන පහත් බිම් යටකළේය. ඇයි සියළු විස්තර මිතුරියට හෙවත්, මගුල කළ කපු කාරියට කීවාය. ඇය සුදුසු පියවර ගැනීමට පසුබට නොවූවාය. එනිසාම උක්ත නඩුව දෙමව්පියන් මැද විසදීමට පිරිස සූදානම් වුවෝය.

ඇගේ නිවසේ, දෙමාපියන්, ඇය, සහ කපු කාරියද, ඒ අතර තනි වූ අප මචං මිත්‍රයාද වීය.

“මොනාද පුතා මේ කරන වැඩ, ඔයාල කැමැත්තෙන් නේද යාළු වුනේ. දැන් මොකද මේ රංඩු වෙන්නේ?“

“මම රණ්ඩු වුනේ නැහැ ඇන්ටි. මෙයාගෙ ෆෝන් එක වේටිං හැම තිස්සෙම. එතකෙට මම කියපු දෙයක් දුර දිග ගියා..“

“අනේ බලන්න අම්මේ.. මෙයා කියන බොරු මුකුත් කිව්වෙ නැහැලු...“

“ඔව් මුකුත් කිව්වෙ නැහැ තමයි. ඇයි මොනාද මම කිව්වේ..??“

“මේ බලන්න මට එවපු මැසේජ්, තනිකර කුණුහරප, හරියට මම වෙන එවුන් එක්ක එහෙ මෙහෙ ගියා වගේ දාල තියෙන්නේ...“

ඒ වචන සැට් එකත් සමග ඇය තම ෆෝන් එක දිග හැරියාය. ඉන්බෝක්ස් එක සාලය මැදට හැලුවාය. අපේ එකාට හරි නම් එවලේ කට උත්තර නැති විය යුතුය. පොර තවත් ශක්තිමත් වූවේය.

“ආ.. එච්චරද ?? එතකොට මට එවපුවා.. මේ තියෙන්නේ..“

“මම ඔයාට කවදාවත් මෙහෙම ඒව එවලා නැහැ හරිද..“

“එවල නැහැ ?? මේ බලන්න ඇන්ටී...“

“තමුසෙ දවල්ට කෑවද??“

“මම ගෙදර ඕයි...“

“ඔව් තමුසෙ කියපු එක ඇත්ත තමයි.. මම බඩුවක් තමයි.. දැන් මොකද මට කරන්න කියන්නේ...“

කලවමේ හොද සහ දරුණු ඝනයේ මැසේජ් අපේ එකා සාලය මැද දිග හැරියේය. කපු කම කළ මිතුරිය අන්දොස්ය. වලිය තව තවත් ඇවිලී අවසානයක් නොදැකම අහවර වී තිබුනේය. කොල්ලා කෙල්ල දෙතැනකය. කපු කම කළ මිතුරිය අපේ මචං මිතුරා ඇමතුවාය.

“ඇත්තට උබට අරකි එහෙම කුණු හරප එව්වද බං ??“

“පිස්සුද බං. මට චාටර් වෙන්න බැරි නිසා මම මගෙ වෙන නම්බර් එකකින් මැසේජ් ටිකක් ගහගෙන ගියා.. වෙලාවට උන් මගෙ ෆෝන් එක අතට නොගෙන මැසේජි කියෙව්වේ..“

පලි - උක්ත මිතුරා අපේ එතරම් සමීප මිතුරෙකු නොවන බවත්. ඔහුගේ ක්‍රියාකලාපය තරයේ ප්‍රතික්ෂේප කරමි.

Written_by_sAm_ශ්‍රී_Perera_07:02am_26/11/12

මගෙ Huawei දුරකථනයේ නම් දිනය (උදාහරණ ලෙස පසු වූ දිනයක් දැම්මොත්) වෙනස් කලොත් අළුතෙන් එන මැසේජ් පවා මතු වන්නේ පරණ මැසේජ් අතරින්ය. මෙවන් සෙල්ලම් දමන්නන්ට මම එවන් දුරකතනයක් අනුමත කරමි.

Friday, November 23, 2012

එක් මස් කඩ කරුවෙකුගේ කතාවක්.. !

ඇයි මචං එහෙම කියන්නේ මචං. මම උඹට එහෙම කරනවද මචං. උබට කවුද මචං ඕක කිව්වෙ මචං. බොරුනම් දැන් කෝල් එකක් දීල මම ඉන්න තැනම උගෙන අහපං මචං. උබට මතක නැද්ද මචං, එදා ඌමයි මචං උඹ ඉන්න තැනම මචං උඹ ගැන එක එක ඒව කිව්වෙ මචං.

උක්ත මචං සහිත ඩයලොග් එක සෑමා ඇතුළු මිතුරු පිරිසට ඇසෙන්නට ලැබෙන්නේ අපේම මිතුරෙක් කට ඇරිය විටය. පොර කතාවට වඩා කියන්නේ එකම වචනයක්ය. ඒ ‘මචං‘ යන්නය. දිනක් අපේ එකෙක් පොරට බැන්නේ තොට හැමෝටම බෙදන්න ඔච්චර නංගිලා ඉන්නවාද කියාය. හැම එකාටම මචං කියන්නට ඌට නංගිලා සිටිය යුතුය. එහෙත් නංගිලා නැතිය. හැම එකාටම කට පුරා කියන්නේ මචං කියාය. ඒ වරක් දෙවරක් නොවේය. හැම වාක්‍යයකටම දෙක බැගින්ය. 



මෙලෙස නන් ආකාරයේ මිතුරන් අප අතර ගැවසෙන්නේය. කලින් කී එකා මචං කියද්දී ‘බං‘ කියන උන්ද බොහෝය. එල, පට්ට, සිරා, දෙයියෝ සාලේ, වැනි සුපුරුදු වචන බහුලව යොදාගෙන බස කරකවන උන්ද ඒ අතරය. එකී නොකී එවුන් අතර කතා බහේදී පස්සු කෙලින උන් බොහෝය. උන්ට සෑමා කියන්නේ නම් “රොබින් හුඩ්“ලා කියාය. මන්ද උන් කට ඇරියොත් විදින්නේය. ඒ රොබින් හුඩ් ඊතල විදින්නාක් මෙන්ය. 

අපේ ලකියා නොහොත් ලක්ෂාන් කියූ කතාවක් මෙසේ ලියන්නට පෙර සෑමා ලකියා කළ වැඩක් නොකිය බැරිය. නැතිනම් එය ඌට කරන අසාධාරණයක්ය. මේ සීන් එක වුයේ කුරුණෑගල පැත්තේ මල ගෙයක් හොයාගෙන පාර අසාගෙන යන අතරය.

“අයියේ මේ පැත්තෙ මල ගෙයක් තිබ්බද?“

“ම්.. මලගෙයක්... මලගෙයක් නම් මතක හැටියට නැහැනේ....“

“හරි අංකල් අපි ඉස්සරහට ගිහින් අහල බලන්නම්..“

අපේ එකා විද්දේ නැතිය. මුලින් කතා කරද්දී අයියා වූ පාර කියන්නා විනාඩියක් යන්නට මත්තෙන් අංකල් වීම දුක්ඛිත කරුණක්ය. පොර ගේ මූණ දෙකඩ වූ බව අපි සැවොම දුටුවෝය.

එය සිද්ධිය සිදු වී විනාඩි දහයක් පමණ ගමන් කර නැවත පාර ඇසීමට වාහනයේ වේගය අඩාල කලේ අපේ ලකියාමය. අංකල් කෙනෙක් තම දියණිය ෆුට් සයිකලයේ හිදුවාගෙන පැඩලයට බර දී ගමන ආරම්භ කරන්නට වූවා පමණි. අප ලකියා වාහනය නවතා අංකල්ට කතා කළේ එහා අසුනේ සිටි සම්පතාට කතා කරන්නට ඉඩ නොතබින්ය.

“අංකල් මේ ඉස්සරහා මල ගෙදරක් තියෙනවද?“

“කවුද නැති වුන කෙනාගෙ නම ??“

“දන්නෙ නැහැ අංකල් අපේ යාළුවගෙ තාත්තා, යාළුවාගේ නම නම් මනෝජ්..“

“එහෙම නම් දන්නෙ නැහැ පුතා, කොහෙද කියන්න හරියටම ගමේ නම..“ අංකල් කෙලින්ම ඇසුවේය.

“විනාඩියක් ඉන්න අංකල් අහලා කියන්නම්..“ කියමින් ලකියා ෆෝන් එක ඔබන්නට ගත්තේය.

යකෝ අංකල් හිටපං කෝ මූ කෝල් එක අරන් ගමේ නම කියනකල්, අංකල් පැඩලයට බර දී ගමන ඇරඹුවේය.

කෙසේ හෝ මල ගෙදර ගොස් ගෙදර එද්දී නුවර පාරට වැටෙද්දී කොළ පාට බෝඩ් එකේ නුවරට සහ කොළඹට ඊතල ගසා තිබියදී ලකියා හරවා තිබ්බේ නුවර පැත්තටය. නුවර කිලෝමීටර 25ක් පමණ දුරක් තිබියදී නැවත හරවා ගෙදර ඒමට තරම් වාසනාවක් අප සතු වුවේය.

ලකියා කළ හදිය එසේය. මේ ලකියා ගේ ගෙවල් ලග අංකල් කෙනෙක් දුන් ආතල් එකක්ය. 

පොරත් අංකල් වුවාට අපේ ලකියා හැදින්වුයේ අයියා කියාය. ඔහු මස් මඩයක් කරගෙන කාටවත් කරදරයක් නැතිව හවසට ෂොට් එකක් දාන පොරක්ය. එසේම අපේ ‘මචං‘ මිතුරාසේම එකම වචනයක් වැඩිපුර භාවිතා කරන්නෙක්ය. පොර හවසක ෂොට් එකක් දමාගෙන මස් කඩය අසල අවි අමෝරාගෙන කෑගසමින් සිටියේය.

“මෙන්න අම්මට *** ඇවිල්ල මල්ලි...“ පොර කෑ ගසන්නේය.

“මෙන්න ඇවිල්ලා, අම්මට *** ඇවිල්ලා මල්ලී...“ නැවත පොර කෑගසන්නේය.

“මෙතන ඇවිල්ලා, අම්මට *** ඇවිල්ලා... මල්ලී...“ කියමින් පොර නැවත නැවත කියද්දී එතනින් ගිය පොරක් මස් කඩ අයියාට කිට්ටු වුනේය.

“මොකද මොකද අයියා කවුද ඇවිල්ල තියෙන්නේ...“

“නැහැ මල්ලි, මෙතන ඇවිල්ලා.. ඔයා ඇවිල්ලා දන්නවනේ මගෙ හැටි.. මම ඇවිල්ලා මල්ලි මගෙ පාඩුවෙ ඇවිල්ලා මෙතන මස් කඩේ කරනවා නේ..“

කවුද ඇවිල්ලා තියෙන්නේ කියා අහන්නට ගියා මල්ලීට වැඩේ තේරුනේය. එසේම මස් කඩ අයියාගේ අම්මාටද කරදරයක් නැති බව පොරට හැගෙන්නට ඇතිය.


Written_by_sAm_ශ්‍රී_Perera_07:01pm_23/11/12

Wednesday, November 21, 2012

හොරු අල්ලන්න උදව් කරන්න..


ඊයේ උදෑසන සෑමාගේ මස්සිනා අයියාගේ අබාන්ස් ප්‍රදර්ශනාගාරයට හොරු පිරිසක් කඩා වැදී හැකිතාක් දුරට සුද්ධයක් දමා තිබුනේය. කිරිල්ලවල පිහිටි එම ප්‍රදර්ශනාගාරයට ඇතුල්ව ඇති එම පිරිස ඇතුලට තිබූ LED රූපවාහිනී 8ක්, Hi Fi setup 2ක්, DVD player 6ක්, සහ අයන් කිහිපයක් රැගෙන ගොස් තිබුනේය. අත්, පා සළකුණු නොහිටින පරිදි ප්‍රදර්ශනාගාරය ඇතුලත වතුර දමා සළකුණු මැකීමේ උත්සාහයක්ද ඔවුන් විසින් දරා තිබුණේය. තවත් උපකරණ (අනෙකුත් ටීවී, ප්ලේයර්, සෙට්අප්, රෙදි සෝදන යන්ත්‍ර, ශීතකරන වැනි) ඉතිරිව තිබියදී සීමිත උපකරණ කිහිපයක් රැගෙන යාමෙන් ඔවුන් පැමිණ ඇත්තේ ත්‍රී රෝද රියකින් බවට පොලිසිය සැක කරන්නේය.


නැති වූ සියළු උපකරණ වල EMI (Electromagnetic interference) අංක අප සතුය. ඕනෑම හොරකමක, ඕනෑම අපරාධයක කිසියම් සුළු අතපසු වීමක් රැදෙන්නේය. එවන් අතපසු වීමකින් හොරු, අපරාධකාරයෝ අත්අඩංගුවට පත් වන්නේය. එනිසාම මෙසේ පෝස්ටුවක් දැමෙන්නේ සොරුන්  සොයා ගැනීමට හැකිවේයැයි 100%ක බලාපොරොත්තුවෙන් නොවේය. එහෙත් ඔබට කිසිවෙකුට අඩු මිලට කිසිවෙකු විසින් ඉහත කී ආකාරයේ උපකරණ විකිණීමට තැත් කලොත් ඒ පිලිබදව කිසියම් හෝඩුවාවක් ලබා දෙන මෙන් සෑමා ඉල්ලා සිටින්නේය.

ආරක්ෂිත වීඩියෝ කැමරා සවිකිරීමට අපේ එකාට නුවණ පහල වේවා යැයි සෑමාගේ පැතුමය.

හොරු අල්ලන්න මෙහෙම පුලුවන්ද? අනේ මන්දා බලමු !

ස්තුතී,
සැමට ජය !

Written_by_sAm_ශ්‍රී_Perera_10:38pm_21/11/12

Tuesday, November 20, 2012

වසර 15ක් පැරණි අපූරු ආදරණීය ලියුමක්...



අද ඉරිදා, එදා ඒ කියන්නෙ ගිය ඉරිදා මම ක්ලාස් ආවෙ ඔයාව දකින්න ආදරය බර කරගත්ත හිතකින්. මම දන්නෙ ඔයා බහින බස් හෝල්ට් එකයි, ඔයා යන ඉස්කෝලෙයි විතරයි. ඊට වඩා විස්තරයක් හොයා ගන්න බැරි වුණ මම ඔයාව දකින්න පුලුවං එකම තැන විදිහට හිතන් ඉන්නෙ මේ මහා බිත්ති පවුරු බැදපු වාහන දුමෙන් අසරණව බලං ඉන්න පන්ති කාමර ටික විතරයි. එහෙම බලාපොරොත්තුවෙන් ආපු මට ගිය සතියෙ ඔයාව මග හැරුනා. ඒ ඔයා ක්ලාස් ආපු නැති නිසාද නැත්තම් මම ඔයා දෙනෝ දාහක් කොල්ලො කෙල්ලො අස්සෙන් එනවා නොදැක්ක නිසාද මම දන්නෙ නැහැ. ඒත් මම දන්නෙ මෙච්චරයි, සතියක වරක් තියෙන ක්ලාස් එකේ, ඔයාව එක දවසක් නෙදැක්ක කියන්නෙ මට සති දෙකක් හරියටම දවස් 14ක් ඔයාව මග හැරෙනවා. ඇත්ත ඒකයි. මගෙ හිත තේරුම් නොගෙන, ඇස් දෙක තෙමන ඇත්ත ඒකයි.

එහෙම සතියකට ලැබෙන එකම එක දවසෙත් ඔයාම මග නොහැරෙන්න මම ඔයා එනකල් ක්ලාස් එක ඇතුලට නොයන බව දන්නෙ මම විතරයි. මාත් එක්ක ඉන්න කොල්ලො සෙට් එක වුනත්, අපේ එවුන් වුනාට උන් දන්නෙ නැහැ සීන් එක. මොකද මට බයිට් වෙන්න බැහැ “ඒකිගෙ දෙමව්පියන්ට නැති කැක්කුමක් නේද තොට තියෙන්නේ“ කියල අහන්න මම අකැමැති නිසා. උන්ට මගෙ ආදරේ නොතේරෙන නිසා. ඒත් උන්ටත් නොතේරෙන්න ඔයා ආවට පස්සෙ පන්තියට රිංගන්න තැනට මම උන්ව අන්දල තියෙන්නේ. ඇතුලෙ ඉන්න බැහැ බං මාර රස්නෙයි, සර් එන්න ඔන්න මෙන්න තියල ඇතුලට යමු කියල උන්ව අන්දල තියෙන්නේ.

උන්ගෙ සපෝට් එක ගන්න බැරි තැනදි, ඔයා මට උදව්වක් වුනා. මගෙ ආදරේ තේරුම් ගත්ත ඔය ඇස් කතා කරනව මට දැනුනා. මම පොලොවෙ වැලි ගොඩක් ඉරට්ට හිර කරපු අහස් කූරක් වගේ, ඔයාගෙ ඔය බැල්ම ඒ අහස්කූරෙ කොන පත්තු කරන ගිනි පෙලල්ලක් වගේ, මාව දවනවා, දැවෙන්න දැවෙන්න ලංවෙලා මම සූස් ගාලා උඩට යනවා, මහ දුරක් උඩ ගිහින් පපුව හීතල වෙන වේගෙන් මම බිම වැටෙනවා, අළු වෙලා, පිච්චිලා, විනාස වෙලා. මම දුක් වෙනවද? ඔයාට සාප කරනවද? නැහැ මොකද හැමදේම ඔය ඇස් නිසා, මොහොතින් මම අළු වෙලා වැටුනත් ඊට කලින් මම සතුටින් උඩ යන නිසා. ලෝකෙට පේන්න ආඩම්බරෙන් මොහොතක් හරි උඩින් හිටපු නිසා.

මට නොලැබුනත් කමක් නැති ඔය ඇස්, මම පතන ආදරේ මාව කවියෙක් ලේඛකයෙක් කරලා. මට නැති වුනත් මට ම‍ම ණයයි ඔයාට.

කියවල ඉවර ඇති නේද? දැනුයි සෑමා කතාව පටන් ගන්නේ.

ඉස්සර හදිස්සියෙ දීල දුවන, මූණට කියන්න බැරි හැමදේම කැටි වෙච්ච ආදරණීය ලියුම් ගැන අදහසක් දුන්නෙ මගෙ රසිකයෙක්. ඔහු මට එව්ව ලියුම කියවලා මට ආපු හැගීම උඩ තියෙන ආකාරයට අකුරු කෙරුනා. එක දිගට ටයිප් කළා මිසක හිත හිත ටයිප් කරපු එකක් නෙවේ ඒක.

මෙන්න මට ආපු මේල් එක.


සෑම්...

මට මීට අවුරුදු 15 කට කලින් ලිපියක් හම්බ උනා බස් හොල්ට් එකේදි .....
කියවලා බලන්න....ඒ කාලේ කොල්ලෙක්ගෙ අදහස් දෑන් ඉන්න අයත් එක්ක බලන්න...මම මෙක උබට දෙන්නෙ බ්ලොග් එකට ලියන්න මේකෙන් මොනා හරි අදහසක් ගන්න...මෙක ලියපු එකා දෑන් මොනා කරනවද කොහෙද ඉන්නෙ කියලවත් මම දන්නෙ නෑ....අඩුම තරමින් මෙක ලියුවෙ කවුද කියලවත් මම දන්නෙ නෑ සහො... 

මම හිතනවා උබ මේක කියවලා හොද දෙයක් ලියය් කියලා....(මම හිතන්නෙ මේක කෙල්ලට දෙන්න බෑරිවෙලා....)

බ්ලොග් එක ආසවෙන් කියවනවා...ඔබට ජය...

-- 
Thanks

G.W.K.P.K Gunawardena

ඒකෙම අමුණලා එවපු ලියුම මෙන්න.

අනුන්ගෙ ලියුම් කියවන එක හොද නැති නිසා පොඩියට දැම්මේ,
ඒත් බලන්න ඕනෙම නම්, පේනවා මදි වගේ නම් ඕක උඩ කොටන්න.
right click on pic & open with a new tab :)


තාක්ෂණයෙන් අපිව ලං කරද්දි, නොදැක හිදීමෙන් ලැබෙන ඉවසීමෙන් වැඩිවන ආදරය අඩු වෙද්දි, කලාත්මක රසය මැකිලා ගිහින්. බුකියේ දාන කවියක, මේල් එකක එන කවියක, නැති රසය එදා ලියුමක තිබ්බ බවට සාක්ෂිය මේක. මගෙ රසිකයෙක් වෙච්ච මාත් නොදන්න කැලුම් සහෝදරය කිව්වත් වගේ මේ ලියුම ඔහුට ඇයට දෙන්න බැරි වෙන්න ඇති. ඒත් මට හිතුන මේක ඇය විසික් කළ එකක්ද කියලත්, මොනව වුනත් වසර 15ක් පරණ ලිපියක අපි මේ දකින සුන්දරත්වය, අපි නොදුටු තව ලියුම් කීයක තියෙන්න ඇතිද?

එකම ලියුම ලස්සන අත් අකරු එන විදිහට දෙතුන් පාර ලියපු උන්, අත කඩදහියෙ නොගෑවෙන්න, අපිරිසිදු නොවෙන්න, නොතැලෙන්න දරපු වෙහෙස හැම දේම අසීමිත ආදරයක්, නොපෙනෙන කලාවක් හංගලා තියෙනවා.

ස්තුති නොදුටු මිත්‍රයාට,

ජය වේවා.

Written_by_sAm_ශ්‍රී_Perera_11:55pm_19/11/12

පලි - මම දන්න මට වඩා වැඩිමල් මිතුරෙක්ට (දැන් ඌ නාකියා) ඒ කාලෙ, ලියුම් විතරක් තියෙන, ටෙලිෆෝන් සීමිත කාලෙ, කෙල්ලෙක් සැට් වෙලා. දෙන්න ලියුම් කඩදහියෙන් ලව් කරල මීට් වෙන්න සැට් කොරගෙන මාලඹේ බස් හෝල්ට් එකේ. දවල් දෙකට කියමුකෝ. අපේ එකා ඉන්නවලු කෙල්ල නැහැලු. මූ පැය දෙකක් විතර කට්ට කාලා, ගෙදර ගිහින් මල පැනල ලියුමක් දාලා අරකිට හොදටම බැනලා. පහුවෙනිද අරූටත් ඒ වගේම ලියුමක් ඇවිත්. බලනකොට දෙන්නම වැරදි නැහැලු, දෙන්නම ඇවිත් හෝල්ට් එකේ දෙපැත්තෙ හිටගෙන ඉදලා යන්න ගිහින්. තමන් හෝල්ට් එකට එන බස් එක නවත්තන පැත්තෙම හිටගෙන ඉදලා එපා වුනාම ඒ පැත්තෙන්ම නැගලා ගෙවල් වලට ගිහින්.
Related Posts Plugin for WordPress, Blogger...