මෙය හුදෙක් අපේ දරු මුණුපුරන් සඳහා ලියන පෝස්ට් එකක් වන්නේය. ඊට හේතු වූයේ අපේ අයියාගේ කොල්ලා සෑම් සිදු කළ කතා බහක්ය. හෙතෙම නමින් බාසුරුය. බාස් ඇන්ඩ්‍රොයිඩ් හි පරතෙරටම පැමිණි අයෙක්ය. කිසියම් ෆෝන් එකක ගේම්ස් නැතැයි කියා දුන්නහොත් ඩේටා ඔන් කර, ගූගල් ඇප්ස් ඩවුන් ලෝඩ් කර ගේම් ගසන්නට තරම් බාස් වැඩ්ඩෙක්ය. පුංචිම කාලේ යූ.ඇස්.බී පෝට් එකට ඩොංගල් එක සවිකිරීමෙන්ම හෙතෙම සහජ දක්ෂතා දැක්වූයේය. මෑත දිනක බාස් සෑමා සමඟ රවුමක් ගියේය.
බාප්පේ මේ මොකක්ද ?
ඔය ප්ලේයර් එකට කැසට් දාන තැන..
කැසට් කිව්වේ???
කැසට් කියන්නෙ සිංදු අහන්න දාන පීස් එකක්.
ඒ කිව්වෙ සීඩී එක වගේද?
අන්න හරි...
එතකොට ඒක circle එකක් නේ...
ඔව්. කැසට් පීස් එක එන්නෙ හතරැස් එකක්.
ඒ කියන්නේ මෙහෙම square එකක් නේද?
(අතින් කොටුවක් අඳිමින් පෙන්වයි. කැසට් පීස් එක rectangle වුවත් ඒ ගැන වැඩි විස්තර කතා නොකළෙමි.)
අන්න හරි..
එතකොට බාප්පෙ අර පොඩි සීඩී මේකට දාන්න බැරිද??
(මේ කියන්නේ mini-CD ගැනය.)
බැහැනේ. ඒක රවුම්. අනික කැසට් පීස් වල එන්නේ ටේප් එකක්...
අනෙ බාප්පෙ මට ගෙදර ගියාම පෙන්නනවා නේද??
හරි හරි. ෆොටෝ එකක් හරි පෙන්නන්නම්.
![]() |
| ගූ-ගල් දෙයියාට පිං සිද්ද වන්නට කැසට් පීස් එකක් කොල්ලාට පෙන්නුවෙමි. |
මින් පෙනී යන්නේ ඔබ අද භාවිත කරන මෙවලම්, ඉතා ඉක්මනින් සිහිවටන බවට පත් වෙන බවක්ය. එදා තිබූ ප්ලොෆි ඩිස්ක් වලට සිදු වූ සන්ත්‍රෑන්සිය සිතා ගත නොහැකිය. එසේම සීඩී, ඩීවීඩී පවා, යූඑස්බී පවා ඉතා ඉක්මනින් සිහිවට වන්නේය. කාලයත් සමඟ තාක්ෂණික මෙවලම් ඉක්මනින් යවත් කාලීන වන්නේ එදාටත් වඩා සීග්‍රගාමීවය. අද අප පෑනකින් පැන්සලකින් ලියන්නේ කොපමණ නම් වචන ප්‍රමාණයක්ද? විටෙක ඔබ ඔපීස් එකේ අත්සන ගැසීමට පමණක් පෑන භාවිත කරනවා ඇතිය. ඔපීසියේ අත්සන ගැසීම සඳහාද තාක්ෂණික මෙවලම් තිබෙන්නේ නම්, ඔබ විටක සමහර දිනවලදී පමණක් පෑනක් භාවිත කරනවා ඇතිය. ඉස්සර පෑනක් පැන්සලක් ලඟ තබා ගැනීමේ අවශ්‍යතාවය වැඩියෙන් දැනුනද දැන් එය දැනෙන්නේ නැති තරම්ය. එසේ නම් ඔබ අදම පෑනක් පැන්සලක් සිහිවටනයක් ලෙස අරන් තැබිය යුතු නොවෙන්නේද?
ඉස්සර අපි කැසට් එකෙන් ගත්ත ආතල් මෙපමණක් යැයි කිව නොහැකිය. බට්න් දෙක එකට එබීමෙන් රෙකෝඩ් කළ හැකි කැසට් ප්ලේයරයෙන් එෆ් එම් වල යන ගීත රෙකෝඩ් කළේ ඒ කාලයේ සිංදු සොයා ගැනීමට තිබූ අහේනිය නිසාය. එයට කීවේ ටේප් කරනවා කියාය. දිනක් නිවසට ගෙනා හොද කැසට් එකක් මත වැරදීමකින් බටන් දෙක් එබී ටේප් වීම නිසා සෑමා දොස් ඇසූ වාර ගණන අනන්තය. ටේප් එකේ මුල් හරියේ ඇති සුදු පාට කොටස, දුඹුරු පාට ටේප් කොටසට සම්බන්ධ වෙන තැනින් බොහෝවිට කැඩී යන්නේය. එවිට දැත්තක් වැනි රෝදය ගලවා එහි පීල්ල අස්සේ ටේප් එකේ කෙළවර සවිකොට නැවත සම්බන්ධ කළ හැකිය. එසේ නොකළ අයෙක් සිරිලංකාවේ නැත්තේය. කැසට් පීස් එකේ මැද හරියෙන් ටේප් එක කැඩුනු විට එය අලවා ගැනීම සිරිතක්ය. එසේම භාවත කළ නොහැකි මට්ටමට ටේප් එක එතුනහොත් හෝ විනාස වුවහොත් ඉන් වැඩක් ගන්නට අපේ කස්ටිය සූදානම්ය. ටේප් එකේ කෙළවර ගැටගසන ලද ගලක් ආධාරයෙන් ටේප් එක ගස්වල අතුවල පැටලෙන්නේය. ගල්මාට්ටු දමමින් එසේ අතුවල රදවන කැසට් ටේප් එක සුලඟ ආධාරයෙන් රැව් දෙන්නේය. එවිට මැවෙන රටාවන් අපූරුය.
විනිවිද පෙනෙන කැසට් පීස් වලට සෑමාගේ තිබුනේ මහත් ආසාවක්ය. එවිට කිසියම් සිංදුවක් ඇති තැනක් අපූරුවට සොයා ගත හැකිය. ඒ කැසට් පීස් එකේ පිටත කවරයේ කිසියම් සළකුණක් යෙදීමෙන්ය. දැන් තියෙන ක්‍රමය යටතේ සිංදුවක් පහසුවෙන් සොයා ගත හැකි වූවාට ඉස්සර කැසට් පීස් වලින් එසේ සෙවීම තරමක් දුෂ්කරය. නමුත් පසු කාලීනව පැමිණි කැසට් යන්ත්‍ර වල Fast Forward හෝ Rewind කළ විට ඊලග සිංදුව ලඟින් ඔටෝ නවතින්නේය. එය සිංදුවක් සොයා ගැනීමට කැසට් පීස් එකේ ආ සරලම ක්‍රමයය. ටේප් එක පැටලී එලියට පැමිණි විට කරන්නේ දැති රෝදය තුලට පෑනක් දමා කරකැවීමය. එලෙස කරකවා ටේප් එක ඇතුලට දමා ගැනීම, නැති නම් නිකරුණේ ටේප් එක කරකවමින් සිටීම තරම් සැපතක් ඒ කාළයේ නොතිබුණේය.
කැසට් පීස් දමන ප්ලාස්ටික් කවරයෙන් වැඩ ගත්තේ සර්කිට් ගහන කොල්ලෝය. සර්කිට් හදනා උදවිය බොහෝ විට තම නිර්මාණයට නිමාවක් දෙන්නට උත්සුක වන්නෝය. එවිට සර්කිට් එකට ප්ලාස්ටික් කවරයක් ලෙස බොහෝවිට යොදා ගන්නේ ඉවත දමන කැසට් පීස් කවරයක්ය. නයිට් රයිඩර් සර්කිට් එකක්, එෆ් එම් ට්‍රාන්ස්මීටරයක් වැනි දෙයක් කැසට් පීස් කවරයක මනාව අසුරා තිබූ අවස්ථා සෑමා පාසල් සමයේදීම දැක ඇත්තේය. එසේ භාවිත වූ කැසට් පීස් කවරය කොල්ලන්ගේ නිර්මාණ වලට මනා නිමාවක් අත්කර දුන්නේය.
අද අපි වැඩ දමමින් භාවිත කරන තාක්ෂණික මෙවලම් නුදුරු අනාගතයේදී සිහිවටන හෝ කෞතුක වස්තු බවට පත්වීම නැවැත්විය නොහැක්කේය. මන්ද තාක්ෂණය අප බලා සිටියදී අප පසු කර යන නිසාය. ඊට හේතුව අප දුපතක සිරවූ අහිංසක වැසියන් වන බැවින්ය. විවෘත ආර්ථිකය නොපැමිණියා නම් අපට මේ මට්ටමටවත් එන්නට බැරිය. එසේනම් සකල දීපයම කෞතුකාගාරයක් වන්නේය.
Written_by_sAm_ශ්‍රී_Perera_9:07pm_06/03/14
Written_by_sAm_ශ්‍රී_Perera_9:07pm_06/03/14






