Monday, February 17, 2014

මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය... - Crazy Cats Make Rats Cruel !!!


මීයන් කිව්වාම කස්ටියට මතක් වෙන්නේ පිරිමි පක්ෂයය. පූසන් කිව්වාම ස්ත්‍රි පක්ෂයය. ඒ තරමට අපේ වචන අවභාවිතය අපූරුය. ඒවාට වග කිව යුත්තේ අපිමය. මන්ද සාමාන්‍ය බස් වහරේ ඇති නාම පද කුණු හරප කියන කැටගරියට දමා ඇති නිසාය. මීයං අල්ලන් අල්ලං අල්ලං කිය කිය පොඩි උන්ගේ මීයා අල්ලන නිසාත්, කෙල්ල උඩ පනිද්දී කෝමද ආච්චී මගේ ජම්ප් එක කියා අසද්දී ආච්චී කෙල්ලගේ ගවුම අස්සෙන් අහවල් එක දැක එය ජම්ප් එක නෙවෙ කෙල්ලේ පූසා කියා අර්ථකථන දීම නිසාත්, උක්ත වස්තූන් සඳහා නියම නම, හෙවත් නාම පද කුණුහරප කැටගරියට වැටී ඇත්තේය. 

යටගිය දවස මීයා විකුණන් දියුණු වූ පුද්ගලයා ගොඩ ගියේ චුල්ල සිටු වරයා නිසාය. මෑත භාගයේ මීයන් විකිණීමට ගියේ අපේ කුලේ අංකල්ය. මේ කතාව ලියැවෙන්නේද ගෙදර සිටින මීයන් සහ මීයන් අල්ලං අල්ලං කිරීමට ගෙට වද්දා ගන්නා පූසන් සම්බන්ධව මිසක් අහවල් වස්තූන් ගැනෙ නෙවේය. මීයා වනාහි ගෙදරට මහා හිසරදයක්ය. අපි නැති අතරතුර කුස්සියේ විප්ලව කරමින් ජරා කරන්නාවූ මීයන් දුටු තැන මතක් වන්නේ මී කතුරය. පොල් කැබැල්ල තබා මීයා යට කර ගන්නා සරල යන්ත්‍රය මී කතුර වන්නේය. ඉන්පසුව ආවේ මී කුඩුවය. මී කූඩුව ඇතුලේ තිබෙන කොක්කේ කෑමක් එල්ලා තැබූ විට ඌ එය කන්නට පැමිණ දඟ කරද්දී මී කූඩුවේ දොර ඔටෝ වැසෙන්නේය. ඔටෝ කිව්වාට එය මීයා විසින්ම කර ගන්නා දෙයක්ය. ජීවග්‍රහයෙන් මීයා ඇල්ලෙන නිසා කේස් එක ඇත්තේ  එක්කෝ අපි ඌව මැරිය යුතු නිසාය. නැතිනම් කොහෝ හෝ විසි කළ යුතු නිසාය. කුලේ අංකල් මීයන් විකිනූ කතාවේ ඇත්තේද මේ ජීවග්‍රහයෙන් අල්ලා ගන්නා මීයන්ට කරනා දේ ගැනය. ඉන්පසුව මී පාසනම් ගැනත්, මීයන් ඇලවෙන ගම් සහිත බෝඩ් එකද සිහි වන්නේය. ඒ බෝඩ් එක නම් අසික්කිත් එකක්ය. කොහැල්ලෑ බබාගේ කතාව වගේ ඇලවී සිටින මීයා ගලවා ඉවත් කිරීම අප්පිරිය සීන් එකක්ය. අවසන කැරකී ඉතුරු වන තුරුම්පුව නම් පූසාය.

ඇම්ඩන්ගේ පූසා නැතිවූ කතාවේ ටීචර් ලග සිටියේ කට කෙලින් අතට ඇති පූසෙක්ය. ඒ කතාව දන්නෝ දැන් සිනහ වන්නෝය. අපේ ගෙදර මී කරදරය තරමක් දුරට අඩු කරවා ගත්තේ සැමාගේ මෙහෙයුමක් නිසාය. මීයන් ගෙට පනින පේර ගසේ අතු කැපීම මඟින් තරමක් දුටු වැඩේ ගොඩ ගියේය. ඉන්පසුව නිවසේ සීලිමේ සැගවී සිට පහර දෙන උන් මර්ධනය කිරීමට දැල් කෑලි ගැසීම තරමක් ප්‍රමාණවත් වූයේය. කෙසේ හෝ අවසන් තුරුම්පුව සුපුරුදු ලෙස ගැසුවේ කිටීය. ඒ පූසෙක් නොව සෑමාගේ පවුලය.

“මොන මඟුල කළත් හරියන්නෙ නැහැ බබා.. බැළලියෙක් ගේන්නෝනි ගෙදරට...“

“මගෙ අම්බෝ.. අර එකෙක් ඇවිත් හොරෙන් කාල යනව දැකල නැද්ද? අනික උන්ට පැටව් හම්බුණාම, උන්ගෙ මයිල් ගියාම, අනික උන් මීයො අල්ලන්නෙ නැහැ, මල වදයක් වෙයි... ඉස්සර මෙහෙ හිටිය සීයක් විතර.. අපෙ අම්මටම එපා වුණා..“

සෑමා සියළු වැඩ කැබලි දමා ගෙදරට පූසන් ගෙන ඒමේ හර්තාලය සාර්ථකව ගොඩ දා ගත්තේය. එහෙත් ඉන් පසු දවසක හොර බැලලී සහ තවත් පූස් තඩියෙක් පැමිණ මිෂන් එකක් දෙනු අප ලයිව් දුටුවෝය. එය දුටු විට ත්‍රාසයෙන් හා සතුටින් ඇලලී ගිය අප මිෂන් එකට එක් වූ පූස් තඩියන් දෙදෙනාගෙන් එකෙකු තෝරා ගැනීමේ හර්තාලය නැවත ඇරඹුවෙමු.

“අර හොර බැලලී හොදයි.. ඒකි මීයෝ අල්ලනවා..“

“අර සුදු එකා හොදා ඌ පූසා නේ.. පැටව් හම්බෙන්නෙ නැති නිසා ගොඩ..“

“ඒත් බැලලියෝ තමාලු මීයෝ අල්ලන්නෙ..“

“ඔව්.. මාත් දැකල තියෙනවා 18+ ෆිල්ම් වල.. පූසෝ මීයෝ ගිලිනවා දුක හිතෙන විදිහට..“

“විකාර නෙවෙ.. මම අර බැලලිට කන්න දීලා ගෙදරට පුරුදු කර ගන්නාව..“

“ඔන්න ඉතිං මීයෝ අල්ලන සත්තුන්ව නරක් කරල විනාස කරන්න යනවා..“

“ඇයි ඒ..??“

“ඇයි යකෝ... උන්ට කන්න නැති නිසානෙ මේ වැඩ දාල මීයෝ අල්ලන් ගිලින්නෙ.. උන්ට කන්න බොන්න දුන්නම උන් ආතල් එකේ නිකං ඉදල කන්න පුරුදු වෙනව...“

“අඩේ.. ඇත්ත තමා.. ඔන්න ඔහෙ මීයො අල්ලන් පාඩුවේ හිටපුදෙන්..“

වැඩේ එදාත් ගොඩය. මීයන් ඇල්ලීමට තියා හුරතලයටවත් පූසන් ගෙදරට වද්දා ගන්නේ නැතිය. උන් මැරුණු දාට ගෙදර කැම හැදෙන්නේත් නැතිය. ඒ කෙල්ලන්ගේ ගතියය. උන්ව කරට ගන්නේය. ඉන්පසු ගේ පුරා මයිල්ය. කළ යුතු නියම වැඩේ නම් උන්ට මීයන් අල්ලා ගැනීමට සයිඩ් සපෝට් එකක් දීම පමණක්ය.

ඇත්තටම මීයන්, පූසන් නරක් කරන්නේ කාන්තාවෝය. මීයන්ට විටෙක ඇල්මක් දක්වන්නෝය. ඒ නිසාම පූසන්ට ගෙදර කෑම කන්නට දෙන්නෝය. එවිට ගෙදර මීයෝ පිට පුසන්ගෙන් ගැලවී සිටින්නෝය. මෙවැනි කාන්තා මාෆියා වන්ට නොරැවටී ගෙදර මීයා පිට පූසෙක් ලව්වා හෝ අල්වා ගත යුතුය.

පලි - ලිපියේ අවසානය, වචන අවභාවිතයක් නොවේය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:13am_17.02.14

Friday, February 14, 2014

අද දවසේ වැදගත්කම... - Today's Importance !!



සෑම පෝය දිනයකටම වැඳගත් සිදුවීමක් ඇත්තේය. බුද්ධ කාලයේ අද වැනි දිනයක...

  • බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මුගලන් අග‍්‍ර ශ‍්‍රාවකයන් වහන්සේලා පත්කර ගැනීම,
  • බුදුරජාණන් වහන්සේ ප‍්‍රථම වරට සංඝයා වහන්සේ රැස් කරවා සංඝ සම්මේලනයක් පැවැත්වීම,
  • භික්ෂූන් වහන්සේට ඕවාද ප‍්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, 
  • බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම,
සිදු වී ඇත්තේය. මෙම කරුණු හතර කියවූ විටම සෑමාගේ සිතේ ඇති වූ ඊලඟ ගැටළුව වූයේ “ඕවාද ප්‍රාතිමෝක්ෂය“ යනු කුමක්ද කියාය.

ඒ අනුව ඕවාද ප්‍රාතිමෝක්ෂයට අයත් කරුණු 13ක් ලෙස බුදු දහමේ සඳහන් වෙයි. බුදුරජානන් වහන්සේ විනය පිටකය පැනවීමට පෙර සර්වඥයින් වහන්සේ අවුරුදු 20 ක් භික්ෂූන් වහන්සේලාට උපෝසථ කර්ම වශයෙන් භාවිතා කලේ ,දේශනා කලේ ,අනුශාසානා කළේ මෙම අනුශාසනා කරුණු 13ය. එම කරුණු 13, පහත ගාථා වල ගැබ්ව ඇත්තේ 4, 6, 3 වශයෙන්ය. දීර්ඝායුශ බුද්ධ ශාසන ඇති කාල වලදි අවුරුදු 7 වරක් 6කට වරක් 5 කට වරක් 6 මසකට වරක් ආදි ලෙස සංඝයා රැස් කොට ඒ ඒ සර්වඥයින් වහන්සේ ලා මෙම අවවාද ප්‍රාතිමෝක්ෂ දේශනය සිදු කර ඇති බව ශාසන ඉතිහාසය සාක්ෂි දරන්නේය.

ඛන්ති පරමං තපො තිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතො පරූපඝාති
සමණෝ හොති පරං විහෙඨයන්තො

  1. ඉවසීම නම් වූ ක්ෂාන්තිය උතුම් තපසය.
  2. බුදුවරු නිවන උතුම් යැයි පවසන්නෝය.
  3. අනුන් පෙළන තැනැත්තා කිසිදා පැවිද්දකු නොවන්නේය.
  4. අනුන් වෙහෙස කරන තැනැත්තා කිසිදා ශ්‍රමණයකු නොවේමය.

==================

අනූපවාදො අනුපඝාතො
පාතිමොක්ඛෙච සංවරො
මත්තඤ්ඤුතාච භත්තස්මිං
පන්ථඤ්ච සයනාසනං
අධිචිත්තෙච ආයොගො
එතං බුද්ධානසාසනං

  1. අනුනට අපවාද නොකිරීමද,
  2. අනුන් තලා පෙළා හිංසා පීඩාවට පත් නොකිරීමද,
  3. ශික්ෂා පද ශීලයේ මනාව සංවරව පිහිටා සිටිම ද,
  4. සිව්පසය පමණ දැන පරිභෝග කිරීමද, 
  5. විවේක ස්ථාන වලට වී භාවනා කිරීමද , 
  6. සමථ විපස්සනා ධ්‍යාන අභිඥා මාර්ග ඵල උපදවා ගැන්මද

මෙය ලොව පහල වූ සියළු බුදුවරුන්ගේ අනුශාසනවයි.

===================
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධානසාසනං

  1. සියලු අකුසල් නොකිරීම ද,
  2. කුසල් වැඩි දියුණු කිරීම ද,
  3. එයින් සිය සිත පිරිසිදු කර ගැන්ම,

මෙය ලොව පහල වූ සියළු බුදුවරුන්ගේ අනුශාසනවයි.

උඳුවප්, දුරුතු යන මාස සමඟ ශීත සෘතුව ගෙවී යද්දී ලැබෙන හේමන්ත සෘතුව නවම් මාසේ උදා වන්නේය. මේ කාලයේ දහවල් කාලය දැඩි හිරු රශ්මියක්ද, උණුසුමක්ද රැය තුළ ශීතල ස්‌වභාවයත් ඇති කරන්නේ සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ කියමින්ය. 

නවම් පෝ දින සිදුවූ අග්‍රශාවක තනතුරු පිළිගැන්වීම එක් දහස් දෙසිය පනහක් පමණ වූ රහතන් වහන්සේ මැද  සිදු වූවේය. එහදී සැරියුත් තෙරණුවන් හට දකුණත් සව් වශයෙන්ද, මුගලන් තෙරණුවන් හට වමත් සව් වශයෙන්ද තනතුරු පිරිනැමූනේය. පස්වග මහණුන් සිටියදී එම තනතුරු නවක භික්ෂූන් වහන්සේ දෙනමකට ලබා දීම ගැන සමහර භික්ෂූන් වහන්සේ තුල සතුටක් නොවුනේය. එහෙත් සුදුස්සාට සුදුසු තැන ලබාදීමේ අරමුණින්, පූර්ව ප්‍රාර්ථනා බලයෙන් අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් මේ දෙනමගේ පූර්වකෘත පුණ්‍ය මහිමය සහ සසර පුරුදු කළ විශේෂ දක්ෂතා නිසා මේ තනතුරුවලට පත්වූ බව බුදුන් වහන්සේ දේශනා කළෝය. ඒ දෙනමගේ අතීත ප්‍රවෘත්ති කතාව උන්වහන්සේ ගෙන හැර පා වදාළෝය.

අගසව් තනතුරු ලැබූ මෙම දෙනම අනෝමදස්‌සි නම් බුදුවරයාණන් වහන්සේ දවස සරද හා සිරිවර්ධන යන නම් ලැබූ මහා සිටුවරු වූවෝය. අනේක විධ වූ සැප සම්පත් වින්දනය කරමින් සිට අනතුරුව ගිහි ගෙය අතතැර ගොස් අනෝමදස්‌සී බුදු හිමියන් ගෙන් නියත විවරණ ලද්දේය. ඒ මතු උපදින ගෞතම බුදුන්ගේ අගසව් තනතුරු ලබන්නටය. එතැන් පටන් පින් පුරා ගෞතම බුද්ධ රාජ්‍ය සමයෙහි සරද තවුසා උපතිස්‌ස නමින්ද සිරිවර්ධන තවුසා කෝලිත නමින්ද උපන්නෝය. සසර පුරුදු ලෙසින් දෙදෙනා මිත්‍රයෝද වූවෝය. එකල්හිද සැප සම්පත් අනුභව කොට එදා රජගහ නුවර පැවැති ගිරග්ගසමඡ්ජ නම්වූ ප්‍රීති උත්සවයට සම්බන්ධව විනෝද වෙද්දී එලෙස නිසරු බව අවබෝධ වූවෝ විමුක්‌තිය සොයා සංජය පිරිවැජි යටතේ පිරිවැජි වෙස්‌ගෙන භාවනායෝගී වූවෝය. කල්ගත වෙද්දී දෙදෙනා විමුක්‌තිය සොයා වෙන්ව දෙමඟක යන්නේ උපතිස්‌ස පිරිවැජියාට අස්‌සජී තෙරුන් වහන්සේ හමුවී පැහැද හේතු ප්‍රත්‍ය ධර්මය විස්‌තර වන "යෙ ධම්මා හේතුප්පබවා" නම්වූ ගාථාව අසා පැහැද ධර්මය අවබෝධ වී සිය මිතුරා සමග තවත් සිය ගණනක්‌ අතවැස්‌සන් කැටුව බුදුරජාණන් වහන්සේ හමුවට ගියෝය. 

එදවසැ වේළුවනාරාමයෙහි ධර්ම සභා මධ්‍යයේ බුදු හිමි වැඩ වසන්නා වූ ඈතින් එන පිරිස්‌ දැක "අර එන්නේ මාගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක දෙනම යෑයි පැවසු සේක. පැමිණි පිරිස ඒහි භික්‌ෂු භාවයෙන් පැවිද්ද ලද අතර සැරියුත් හිමි දකුණත් සව්ද, මුගලන් හිමි වමත් සව් ලෙසටද නම්කරනු ලැබූ සේක.

සාරි නම් බැමිණියගේ පුතා සාරිපුත්ත (සැරියුත්) නමින්ද, මොග්ගලී බැමිණියගේ පුතා මොග්ගල්ලාන (මුගලන්) නමින්ද හැඳින්වූයේ මවුවරුන්ට ගරු කිරීමක්‌ හැටියට ය. පැවිදිව සත් දිනකින් මුගලන් හිමි රහත් ඵලයට පත් විය. දීඝනක පරිභ්‍රාජකයාට දේශනා කළ දහම් අසා සැරියුත් හිමිද රහත් භාවය ලද්දේ ය. අගසව් දෙනම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වරෙක මෙලෙසට ප්‍රකාශ කළෝය.

මෙලෙසට ශාසනයේ චිරස්‌ථිතිය උදෙසා අගසව් තනතුරු ආදී තනතුරු ප්‍රදානය කරන්නට සිදුවු බව බුදු හිමි අපේක්‌ෂා කළෝය. එපමණක්‌ද නොව තනතුරු නොලද හිමිවරුන්ගේ දුර්මත නැති කිරීම් වස්‌ ප්‍රථම "ඕවාද ප්‍රාතිමෝක්‌ෂය" (අවවාද කිරීම) දේශනා කළේ ද නවම් පෝ දිනයේය. මුල් යුගයේද භික්‌ෂු සමාජයට අවවාද විනය නීති අවශ්‍ය වූයේ නැති අතර සිහි කිරීම පමණක්‌ ප්‍රමාණවත් වූ බව පාරාජිකා පාලි දේශනාවට ඇතුළත්ය. බුද්ධත්වයෙන් මුල් විසිවස (පඨමාභිසම්බෝධි සමය) තුළ භික්‌ෂු සමාජයේ විනය ශික්‌ෂා නොමැති වුවද පසුව කල්යැමේදී ඕවාද ප්‍රාතිමෝක්‍ෂය අවශ්‍ය බව සඳහන් කළ හැකිය.

උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් තම පිරිවර දහසක්‌ සමග පැවිදි වීමත්, සැරියුත් මුගලන් දෙනම ඇතුළු දෙසීය පනහක භික්‌ෂු පිරිසද, යසකුල පුතු ඇතුළු පිරිසද වශයෙන් එක්‌දහස්‌ තුන්සියය ඉක්‌ම වූ සංඝ සන්නිපාතයක්‌ එදා නවම් මස පෝය දින රජගහ නුවර වේළුවනාරාම පුණ්‍ය භූමියේ රැස්‌ව සිටි විට එහිදී සුවිශේෂ කරුණු කීපයක්‌ම සිදුවූ වග ඉතිහාසයේ සඳහන් වන්නේය. 

මෙම පෝය දින වැදගත් වන තවත් එක්‌ කරුණක්‌ වන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා ආයු සංස්‌කාරය අතහැරීමට තීරණය කර ප්‍රකාශ කිරීමය. මෙම අනුවේදනීය අවස්‌ථාව වන විට බුදු හිමිට වයස අවුරුදු අසූව සම්පූර්ණ වීමට මාස තුනක්ය. මෙම අවස්‌ථාව වන විට බුදුරජාණන් වහන්සේ අග්‍ර උස්‌ථායක ආනන්ද හිමියන් සමග රජගහ නුවර චාපාල චෛත්‍ය නම්වූ ස්‌ථානයේ වැඩ සිටියෝය. මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් ලෙසට බුදුවරයකුගේ ආයු සංස්‌කාරය අත්හැරීම් අටක්‌ පිළිබඳව ආනන්ද හිමිට දේශනා කොට ඇත්තේය. "ඡන්ද, වීරිය, චිත්ත, විමංසා" යන සතර සෘද්ධිපාද වැඩූ බුදුවරයකුට කල්පයක්‌ කාලයක්‌ වැඩ සිටිය හැකි බවද බුදුහිමි තෙවරක්‌ම ආනන්ද හිමිට ප්‍රකාශ කළද "එසේ කල්පයක කාලයක්‌ වැඩ සිටින ලෙසට" බුදු හිමියන්ගෙන් ආනන්ද හිමිට ඉල්ලා සිටීමට තරම් සිහි කල්පනාවක්‌ ඒ මොහොතේ පහළ නොවූයේ දුකට පත්ව වික්‌ෂිප්තව සිටි නිසා බව පසුව අනාවරණය විය. ප්‍රථම ධර්ම සංගායනා අවස්‌ථාවේදී මේ ගැන ආනන්ද හිමියන්ට චෝදනා එල්ල වී ඉහත කී ලෙසින් පිළිතුරු දීමටද සිදු වූයේය. 

මෙපරිද්දෙන් සලකා බලන කල්හි නවම් පුර පසළොස්‌වක පෝය දින බුද්ධ චරිතය හා සම්බන්ධ සුවිශේෂ සිදුවීම් රාශියකට මුල්වූ බව පැහැදිලි‍ වන්නේය. ලෝක සත්වයාට වසර හතළිස්‌ පහක්‌ පුරා ධර්මය දේශනා කරමින් විමුක්‌ති මාර්ගය පෙන්වා සිය දහසක්‌ ලෝ සතුන්ට යහපත සලසා දුන් ශාස්‌තෘවරයාණන් වහන්සේගේ ජීවිතයෙහි අවසාන තුන්මස ඇරැඹෙන්නේ මෙකී ඓතිහාසික පෝයත් සමගය.

තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන්...

by_sAm_ශ්‍රී_Perera_14/02/2014

පසුගිය වසර වලදී අද වන් දිනෙක ලියවුනු ලිපි මෙතැනින්..



Wednesday, February 12, 2014

මඩයා - සෑමා සහ බනියා.. - This is How I Interviewed a Short Film Director !!


මෙතුවක් ඩ්‍රාෆ්ට් වී තිබූ ලිපියක් අද එලි දැක්වෙන්නේ මඩයාගේ මඩ වල බ්ලොග් එක නිසාය. ප්‍රථමයෙන් කියන්නට ඇත්තේ මෙය සෑමාගේ බ්ලොග් එකක්  නොවන බවය. මුල් ලිපිය මා ගැන එකක් වූ නිසාත්, මම මුල් කමෙන්ට් ටිකට රිප්ලයි දැමූ නිසාත් බහුතරයක් ඇසුවේ ඒ සෑමාගේ එකක්ද කියාය. නැවතත් එම බ්ලොග් එකට ගොස් බැලූ විට ඔබට මාගේ අත් අකුරු සහ මඩයාගේ අත් අකුරු වල වෙනසක් දකින්නට හැකිය. මඩයා සෑමාව අල්ලා ගත්තේ එදින සෑමාගේ ලක්ෂ පහේ සැමරුම් දිනය නිසාය.

ඩ්‍රාෆ්ට් වී තිබූ ලිපියේ හෙඩිම වූයේ “බනියා සහ කෙටි චිත්‍රපටය“ කියාය. එය බනියා සහ සෑමා අතර සිදුවූ ෆේස්බුක් චැට් ගණු දෙනුවක්ය. එය එසේ නොදමා මෙසේ දමන්නේ ඉන්ටර්විව් කරන්නාවූ ආකාර ලොවට කියා දෙන්නටය. මඩයා එදා ආවේ පලමු මඩ පෝසට් එක දාන්නේ සෑම්ට තමයි කියාගෙනය. පසුව ඉන්ටර්විව් එක අවසන් කළේද මචං මඩ එකතු කළාට කමක් නැද්ද කියාය. සෑමා කීවේ සෑම්ට පමණක් මඩ ගහපං, ඉන්ටර්විව් එක අතරමැද නම් කියවුනු අනිත් අයට මඩ නොගහපං කියාය. එහෙත් අවසන ලිපිය පළවූයේ මඩ බිඳක්වත් නැතුවය. එයට හේතුව ඉන්ටර්විව් එකකදී හැසිරෙන ආකරයය. අසන ප්‍රශ්නවලට සැහැල්ලුවෙන් සහ අවංකවම උත්තර දීමෙන් මඩයාට මඩ ගසන්නට අවස්ථාවක් නොලැබී ගිය බවට එය සාක්ෂියක්ය. උක්ත ක්‍රමය යොදා ගැනීමෙන් ඔබටත් මඩයාගේ මඩ වලෙන් ගොඩ ආ හැකිය. ඊලග බිල්ල කවුරු විය හැකි දැයි සිතිය නොහැකිය. එදා ඉන්ටර්විව් එක අවසානේ ඒ පිළිබඳව හෝඩුවාවක් ලැබුනු නිසා සෑමා ඒ ගැන අනුගමනය කරන්නේ නිහඬ පිලිවෙතක්ය.

ඉන්ටර්විව් එකකදී ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් මඩයාට පාඩමක් ගන්නට මේ ලිපිය භාවිත කළ හැකිය. ප්‍රශ්න අසන විට මෑත භාගයේ දී අදාල බ්ලොග්කරු හෝ කාරිය බ්ලොග් අවකාශයේ සහ බුකියේ හැසිරුණු අන්දම විපරම් කළ යුතුය. මෑත භාගයේ හිට් වූ ලිපි සහ ඒවාට අදාල කමෙන්ට් අධ්‍යයනය කරමින් ප්‍රශ්න ඇසීම වැඳගත්ය. එවිට මඩ වල සාර්ථක, සුන්දර මඩ වලක් වන්නේය. මඩ වලට සුදීක අයියා දැමූ කමෙන්ටුවක් සෑමාව සතුටට පත්කළේය. ඔහු අසා සිටියේ “මෙතරම් පිරිසිදු මඩ කොහෙන්ද ආනයනය කරන්නේ කියාය.“ කතාව ඇත්තය. මන්ද මෙය සිරි ලංකාවය. 

මෑත භාගයේදී සෑමා ෂෝට් ෆිල්ම් කිහිපයක් බලමින් සිටියදී මතක් වූයේ බනියාවය. බනියා එහි කැමරාමන්ද, නැතිනම් ඩිරෙක්ටර්ද කියා සෑමා නොදන්නේය. එහෙත් එය බැලීමට අවශ්‍ය වී වහාම බනියාව චැට් එකට කැඳෙව්වේය. එය මහා ආතල් චැට් එකක් වූයේය. ඇසූ ප්‍රශ්න සහ උත්තර ඉන්ටර්විව්ව එකක් වගේ යැයි මට සිතුනේ මඩයා ගේ ඉන්ටර්විව් එක නිසාය.

සෑම් - ඔබතුමාගේ සෝට් ෆිලුම් තුන හතරක් තිබෙන්නේ නොවේද?

බනියා - තිබෙ තිබෙ

සෑම් - සොයා ගතිමි

බනියා - මොකටද?

සෑම් - ප්‍රින්ට් අවුට් එකක් ගන්න 
(බලන්න වීඩියෝවක් ඉල්ලුවාම, ඒ මොකටද කියා අසනවා නම් දිය හැකි හොඳම උත්තය මෙය නොවන්නේද?)

බනියා - :O

සෑම් - වීඩියෝවෙන් ඇට කන්නද බොල ? බලන්න මිසක්..

බනියා - :) නැ ඉස්පෙසලි හෝන් ආපු නිසා බැලුවෙ.

සෑම් - බලපං කෝ වෙන දේ...නලියා බ්ලොග් ලිපි පත්තරේ නේ දැම්මෙ, මම දානව වීඩියෝ fm එකේ..

බනියා - ඇහ්..මොන එෆ් එම් එකද?
(වීඩියෝවක් එෆ් ඇම් එකේ දානවා කිව්වම ඒ මොකේද කියා ඇසීම... අපූරුය... :)

සෑම් - ස්වදේශී සේවය...උබල ඕව අහන එකක් ඈ

බනියා - අහ්හ්හ්
ඔවා දන්න බැනෙ සවුන්ඩ් නැනෙ
(බනියා කියපු දේත් හරි. ෂෝට් ෆිල්ම් එකේ සවුන්ඩ් නැති නිසා එෆ් එම් වල දාන්න බැහැනේ :)

සෑම් - හිකිස්
ඒත්, පේනවනේ..

බනියා - fm කොමද බන් පෙන්නෙ

සෑම් - ලොල්..

බනියා - අනේ උඹට මාන්දම

සෑම් - ඇතුලෙ උන්ට පේනවා..

බනියා - නොදොකින්

වැදගත් - චැට් එකේ සිදුවෙන ඉන්ටර්විව් එකක් ලිපියකට හැරවීමේදී, චැට් එකෙ අතරතුර භාවිත වූ ස්මයිලීස් යෙදීම අනිවාර්යයෙන් කළ යුතුය. නැතිනම් අන්තර්ගතය වෙනස් වන්නේය. 

Written by sAm_ශ්‍රී_Perera_8:26am_12/02/14

Monday, February 10, 2014

මිලියන බාගයයි.. - Half of a Million !!!


1906 වසරේ සැප්තැම්බර් මස 17 වනදා, උපන් ජේ.ආර් ජයවර්ධන මහතා ගැටයක් ගැසුවේය. එය බලයේ ඉන්නා අයට මැණිකක්ය, විපක්ෂයේ අයට පෙරලන්නට බැරි ගල් පර්වතයක්ය. එහෙත් එතුමා සිටියා නම් එය පෙරලන හැටිද කියලා දෙන්නට තරම් කට්ටයෙක්ය. තට්ටයා කට්ටයා යන අදහසට ප්‍රසිද්ධ උදාහරණයක් වූයේද එතුමාය. ඒ එදා ගැසූ ගැටය සිහි කරමින්ය.

2011 වසරේ සැප්තැම්බර් මස 17වනදා,  තවත් ගැටයක් සයිබරයට පහළ වූයේය. ඒ පාසලේ සිදුවූ කතාවක් ලිපයක් ආකාරයෙන් සැකසී සෑම්ගේ බ්ලොග් එකට එකතු වූ දිනය. එදා පටන් අද වෙනතුරු සෑමාද, සුවහසක් රසිකයෝද එම ගැටයෙන් පීඩා විඳින්නෝය. මෙවන් බ්ලොග් උප්පත්තියකට හේතුව වූයේ සෑමාගේ පාසලේ සිටි මිතුරෙකු වන තනි ඇටයා නොහොත් අනිවාරතේ ලියනා ගැටයාගේ බ්ලොග් දැනුමය. ගැටයාගෙන් ලැබු උපකාර සහ අදහස් අනුසාරයෙන් සෑමාගේ බ්ලොග උපත ලැබුවේය. එතැන් පටන් පැරණි සුන්දර මතකයන් අතීත මතක යන කැටගරියට අයත් වූයේය. එලෙස දිනෙන් දින නොයෙක කැටගරියන් බිහි කරමින් සැමා ගමන් කළේය. එදා සෑම්ගේ බ්ලොග් එකෙන් වැටුනු ගැටයෙන් සෑමා තවමත් පීඩා විදින්නේය. පොඩ්ඩක් විවේකයක් ගෙන ලිපියක් නොදා සිටියහොත් ලැබෙනා ඉල්ලීම් බොහෝය. ඒ තරමට බලපෑම්ය.

සිතූ කුසූ ආදර කතාවේ තිබූ වචන විලාසය බොහෝ අය ප්‍රිය කළෝය. ඉන් නොනැවතී සෑමා වැලහින්නකට පෙම් බැඳීමී නම් අසම්මත කතාන්දරයද ලීවේය. කවි නිර්මාණ කරනයේදී කැත හිත් වලට ලියූ ලස්සන කවි බ්ලොග් එකට එකතු කළේ සෑමාය. කියන්නට තියෙන දේ කෙලින්ම නොකියා කිවීමෙන් කැත හිත් ඇත්තෝ හඳුනා ගැනීමට හැකි බව සෑමා සොයා ගත්තේය. විටක සමහරු බැන්නේ මූ කුණු හබ්බ ලියනවා කියාය. පසුව එයාලා තමන්ගේ සිත් කැත බව වටහා ගත්තෝය. පොඩි සෑමාගේ ලියුම් ආරම්භ වූයේ සෑමාගේ සංකල්පයක් අනුවය. එහිදී පොඩි කොලුවෙකු සමාජීය ගැටළු පිලිබඳව ලිපි ලියන්නේ රටේ වැඳගත් අයෙකුටය. ඉන් පොඩි එකාගේ මනසට ලොකු ලොකු දේවල් පෙනෙන හැටි මනාවට සමාජ ගත කෙරෙන්නේය. වෙසක් පෝය දින සහ පොසොන් පෝය දින ඉලක්ක කොට ගෙන සතියක් පුරාවට වෙසක් සහ පොසොන් සති ප්‍රකාශයට පත් කරමින් ලිපි ලියන්නට සෑමා උත්සුක වූයේය. එසේම ලොව ප්‍රථම වරට වෙඩින් මඟුලක් පිළිබඳව ලිපි, වෙඩින් එක අස්සේම අප්ලෝඩ් වීම සැලැස්වීම සෑමාගේ තවත් අලුත් වැඩක්ය. 

මේ වන විට වසර දෙකයි මාස පහක් ඇතුලත, ලිපි 344ක් ලියමින්, මිලියන පහක සීමාවට පැමිණියේ ඔබ සැමගේ ආශිර්වාදය, සහයෝගය මැද්දේය. එලෙස හොඳින්ම ලියැවුණු ලිපි සහ අතරමැද වැටුණු ගතියක් නැති ලිපි පවා කියවමින්, අදහස් දක්වමින් සෑමාගේ බ්ලොග් එකට ගොඩ වැදුනු ගල්, මල්, කොස්, පොල්, දෙල් වලින් සහය දුන් ඔබට අනේක වාරයක් ස්තුතී... !!

මේ සෑමාට බ්ලොග්කරුවන්ට අමතරව බුකියේ චැට් එකෙන් ලැබූ කමෙන්ට් කිහිපයක්..

















Written_by_sAm_ශ්‍රී_Perera_1:37pm_09/02/14

Wednesday, February 5, 2014

නින්දට පෙර අහු මුළු බැලිය යුතුය... - Check Every Hook & Corner Before You Sleep !!!


නිදාගන්න පෙර නින්ද යන උන් බොහෝ නිසා මේ ලිපිය එවන් අයටද වැඳගත් වන බව සෑමාගේ අදහසය. නිදාගන්න පෙර නින්ද යන උන් බොහෝවිට නිදාගන්නේ පුටු උඩය, නැතිනම් සැටිය, හෝ සෝෆා සැට් එක උඩය. ඒ කියන්නේ උන් පෙර සූදානමක් නොමැතිව ටීවී එක බලන ගමන් හෝ පත්තරයක්, පොතක් බලන ගමන් හෝ නිදා ගන්නා අයය. එවන් අය පොඩ්ඩක් කල්පනාවෙන් සිට නිදාගන්නට පෙර, පහත කියන කටයුතු සොයා බලන්නේ නම් හොඳය. එය තමන්ටත් ගෙදර උදවියටත් පහසුවක් වන්නේය.

නිවසේ කටයුතු හමාර කොට, ටීවි එකේත් විකාශ නිමාව වනතුරු නිදි කිරමින් සිට, ජාතික ගීය ගායනා කරනා විට සිරුවෙන් සිටගෙන නිදි යහන කරා පියමන් කරන ඔබ විටක කිසිම බරක් පතලක් ගැන නොසිතා නින්දට වැටෙනවා විය හැකිය. නොඑසේ නම් දත් කුට්ටම පවා මදින්නේ නැතිව නිදා ගන්නවා විය හැකිය. දත් මැදීම කෙසේ වෙතත්, ඔබේ සෞඛ්‍යය ගැන නොසිතුවා වුවත්, ආරක්ෂාව ගැන සිතන විට නිදන්නට පෙර කරන්නට බොහෝ දේ තිබෙන්නේය. ඒ අතරින් ඔබට එකපාරට මතක් වනවා ඇත්තේ නින්දට පෙර චූ කරන එකය. ආරක්ෂාව ගැන සිතනා විට මුත්තරා කිරීමද වැඩක් නැත්තේය. මන්ද චූ ගියොත් බෙඩ් ෂීට් එක සේදිය හැකිය. නමුත් සිහි කල්පනාවෙන් තොරව නිදාගතහොත් ගෙදරට සොරුන් පැමිණ සියල්ල සෝදාගෙන යන්නේය.

මේ ලිපිය ලියන්නට සිතාගෙන සිටියේ ගොඩක් කළකට පෙරය. ඒ අපේ අම්මා රාත්‍රී නින්දට පෙර ගෙදර හැම තැනම සෝදිසි කරන නිසාය. ඊට හේතුව ලෙස අම්මා කීවේ දහවල් කාලයේ නිවසට සොරුන් ඇතුලු වී සැගවී සිටිය හැකි බවය. සොරුන්ට දහවල් කාලයේ නිවසට පැමිණීම ලේසිය. ජනෙල් දොරවල් කඩන්නේ නැතුව ප්‍රධාන දොරටුවෙන්ම නිවසට ඇතුලු විය හැක්කේ දහවල් කාලයේය. මන්ද දහවල බොහෝමයක් නිවෙස් වල දොරවල් විවෘතව තැබෙන නිසාය. ප්‍රධාන දොරටුව විවෘතව තබා, කුස්සයේ වැඩ කරන ගෘහනියක්, රාත්‍රී ජාමයේ ගෙදර කස්ටිය පැමිණි විට ගෙදර දොරවල් ජනෙල් වසා නිදා ගන්නේ යැයි සිතන්න. එසේ දහවල විවෘතව තිබූ නිවසට කඩා පනින හොරෙකු නිවසේ කොහේ හෝ සැගවී සිට රාත්‍රියේ නිවැසියන්ට නින්ද ගිය පසු සියල්ල සොරකම් කරගෙන යා හැකිය. එම හේතුව සිතේ තබාගෙන අපේ අම්මා නින්දට පෙර, නිවසේ දොරවල් ජනෙල් වැසීමට පෙර සියළු ඇඳන් යට, සහ සැගවී සිටිය හැකි ස්ථාන පරීක්ෂා කර බලන්නීය.

අපේ අම්මාගේ මේ පුරුද්ද මා දන්නා කාලයේ සිටම දිගටම පැවතුනේය. ඒ අතර දවසක අපේ ගෙවල් පැත්තේ අංකල් කෙනෙක්ගේ නිවසක් හොරුන් සුද්ද කොට තිබුනේය. ඔවුන් ඇතුළු වී තිබුනේ කිසිම දොරකට, ජනේලයකට හෝ සීලිමකට කිසිදු හානියක් නොකරය. වැඩි දුර පරීක්ෂණ වලදී පොලිසිය කියා සිටියේ සොරුන් විසින් දහවල් කාලයේ නිවසට වැඳී සැඟවී සිට ඇති බවක්ය. එදා අපේ අම්මා අප හමුවේ මාධ්‍ය ප්‍රකාශයක් කර සිටියාය. එවිට ඇය කීවේ අන්න ඒ හේතුව මත ඇය නින්දට පෙර නිවස පරික්ෂා කරන බවක්ය. ටෝච් එකක් ගසමින් කොන්ද නමමින් දිනපතා රාත්‍රියේ ඇඳන් යට පරීක්ෂා කිරීම නම් එපා කරපු වැඩක් බව සැබෑය. නමුත් යම් හෙයකින් හොරුන් විසින් නිවස සුද්ද කරද්දී ඔබ ඇහැරුණ හොත් සිදුවන්නේ ජීවිත හානියක්ය. මන්ද සොරා බලන්නේ තමන්ව හඳුනා ගත නොහැකි මට්ටමනේ ගේම දීමටය. ඔබ ඔහුව හඳුනා ගනී යැයි තිබෙන භීතය නිසා සොරා ඔබගේ ජීවිතයට පවා හානි කළ හැකි තැනට පත් වන්නේය.

එදා අපේ අම්මා කළ කාර්යය අද පැවරී ඇත්තේ සෑමාටය. මන්ද සෑමා දැන් සිටින්නේ උඩ තට්ටුවේය. අම්මලා යට තට්ටුවේය. දිනපතා අම්මාගෙන් ලැබෙන රාත්‍රී අවවාදය නම් “ඔය අහුමුළු බලලා නිදා ගනින්“ කියාය. අම්මා කීවත් නැතත් සෑම රාත්‍රියකම සෑමා අහුමුළු බලන්නට පුරුදුව සිටින්නේය. ඒ සෑමාට ඇති කුලප්පුව නිසාය.

ගිය සතියේ අපේ කඩේට ආපු අංකල් කෙනෙක්ගේ නිවසේද මෙවන් දෙයක් සිදු වී තිබුණේය. ඒ නිසා දැන් අම්මාගෙන් ලැබෙන රාත්‍රී අවවාදය වඩාත් තිවෘර වී ඇත්තේය. විටක බෝල්ඩ් වූ අකුරින්ද, අන්ඩර්ලයින් කල ෆෝමැට් එකෙන්ද, හයිලයිට් කළ අයුරින්ද කියවෙන්නේ හොඳට අහුමුළු බලපන් කියාය ඒ නිසාම සෑමා දැන් වැඩිපුර අහුමුළු බලන්නේය. අංකල්ගේ ස්ටෝරිය මෙසේය. අංකල් වැඩ ඇරී නිවසට යන්නේ රාත්‍රියේය. ගෙදර ඉන්නේ ඇන්ටී සහ දුවය. ඇයද ක්ලාස් යන්නීය. දුව ක්ලාස් ගොස් හවස ගෙදර ඇවිත්ය. අංකල්ද ගෙදරය. දහවල ඇන්ටී දෝදු පිට නිවසේ කටයුතු කොට ඇත්තේය. නිවසට දහවල සොරෙකු ඇතුළු වී ඇත්තේය. ඌ සැඟව සිට ඇත්තේ දුවගේ කාමරයේය. දුව නාන කාමරයේ සිට ටවල් එකක් පිටින් කාමරයට ඇතුළු වී ටවල් එක ගලවා විසිකොට ඇත්තේ ඇදුම් රැක් එක මතටය. සිදුවී ඇත්තේ විනාසයක්ය. ඇය ටවල් එක කෙලින්ම විසි කොට ඇත්තේ රැක් එක අස්සේ සිටි සොරාගේ හිස මතටය. සොරාගේ හිස කෙල්ල දැක ඇත්තේය. කෙල්ලගේ අහුමුළු සොරා දැක ඇත්තේය. ගෙදර කස්ටිය සහ ගම්මු සැට් වී සොරාට නිල් වන තුරු පහර දී පොලිසියට භාර දී ඇත්තේය. අංකල් විලි ලැජ්ජා නැතුව බ්ලොග් ලියන එකෙක් ඉදිරියේ කතාව දිග හැරියේය.

මේ කතාව ඇසූ සෑමාට කෙලින්ම සිහි වූයේ මීට පෙර ලියූ හූනාගෙ ස්ටෝරියය. එහිදී හූනෙකු ඔළුවට වැටුණු විට හුනු සාස්තරය අනුව එම පුද්ගලයා මිය යන්නේය. එසේ නම් කෙල්ලෙකු තම සිරුරට අලවාගෙන සිටි ටවල් එකක් ඔළුවට වැටුණු සොරෙකුට සිදුවන්නේ කුමක්දැයි සිතා බැලිය යුතුය. විටක ගම්මුන්ගෙන් පහර කන්නට සිදු විය හැකිය. එහෙත් මේ හිරිමල් කතාව අස්සේ යමක් ගැබ්ව ඇත්තේය. ඔබ නින්දට පෙර තම නිවසේ අහුමුළු හොඳට බැලිය යුතුය. නැතිනම් අර අංකල්ගේ දුවට වූවාක් මෙන් සොරුන් පැමිණ ඔබේ අහුමුළු බලනවා ෂුවර්ය.

ඉතින් අද පටන්, අපිත් අහුමුළු පරීක්ෂා කරමු.. !!

Written by sAm_ශ්‍රී_Perera_7:02am_03/02/14

Monday, February 3, 2014

නිදහස පොඩි සෑමාගේ කුප්ප ලිවිල්ලක්... !!!


ඉස්කෝලෙ ඉස්පෝර්ට් මීට් එක සෙට් වුන නිසා මට කාලෙකින් ලිපියක් ලියන්නට බැරි වුණාය. මේ ටිකේම පිට්ටනියේ අව් කාෂ්ටකේ සිටි නිසා පෑනක් පොතක් ඇල්ලුවේ නැත්තේය. අපේ ගෙදරිනුත් මාව පුෂ් කරන්නේ පිට්ටනියටමය. මොන්ටිසෝලි කාලේ නම් අම්මා කිව්වේ මාව සනත් මාමා වගේ කරනවා කියාය. දැන් අම්මා ඒකට කැමැත්තක් නැත්තීය. මොකද ඒ මාමා දැන් වල් වැදිලා කියලාය. මගුලේ ඉප්පෝට් මීට් එකක් නිසා කට්ට කාල දා ගත්ත කෙල්ල මාව දාලා ගියෝය. ඇය එසේ ගියේ මගෙන් ලියුමක් වත් නැති නිසා බව මම හොදාකාරව දන්නීය. වෙනදාට ගනන් පීලියඩ් එකේ මම ලියන්නේම ලියුම්ය. ටීචර් හිතන්නේ මම සූ ගාලා ගණන් හදනවා කියාය. ටියුෂන් ක්ලාස් එකේ යන්නේ 10 වෙනි පාඩමය. ටීචර් කරන්නේ 7වෙනි පාඩමය. ඒ නිසා මම කලින්ම ගෙදරදී ගණන් අබ්‍යාස ටික කොපි + පේස්ට් කරනවාය. ටීචර් හිතන්නේ මම වැඩ්ඩා කියාය. ගිය අවුරුද්දේ ඔය සීන් එකම කරන්න ගිහින් දවසක් අනා ගත්තේ ටීචර් පාඩම් කිහිපයක් පන්නා පොතේ මැද හරියෙන් පාඩමක් පටන් ගත්ත නිසාය. එදා නම් මම හොඳටම විනාස වූවාය. කෝම හරි දැන් වෙන එකක් සැට් කර ගත යුත්තේය. අම්මා කිව්වේ මේ වයසට කෙල්ලෙක් දා ගැනීම දැයේ අවස්ස තාවය කියලාය. පන්සලේ හාමුදුරුවෙත් කීවේ හැකි තරම් දරුවන් හදන්න කියලාය.

මගේ පණ්ඩිත කම් ගැන සමාජ අද්දියන ටීචර්ද කම්ප්ලේන් කලෝය. එයා කිව්වේ මම පැහිලා වැඩියි කියාය. මම හවසට සමාජ අද්දියනය කරන්නේ අපේ ගෙදර තාප්පෙට නැගලාය. ඔපිසි ඇරිලා එන අක්කලා දුරතියා වාහන නවත්තගෙන ඩ්‍රැයිවර් අයියලා එක්ක කරන ඒවා හොදට පේන්නේ එතැනටය. එයාලා අන්තිමට බස් එකේ ආවා වගේ තැලිච්ච පොඩි වෙච්ච ඇදුම් එක්ක ගෙදර එන්නෝය. රජයේ සේවක අංකල්ලාය සොට් එකක් ගසාගෙන වැනිවැනි එන හැටි සමාජ අද්දියනට අඩංගු නොවන්නේ මන්දැයි මට හිතෙන්නේ ඒවා දැක්කාමය. ඒවා තිබ්බා නම් මට හැමදාම පන්තියේ පලවෙනියා විය හැකිය. සමාජද්දියන ටීචර් මාත් එක තරහා වුනේ මේ ලගදී දීපු උත්තරයක් නිසාය. ටීචර් ඔච්චර මට මෝඩයා කියලා බනිනවා නම් අහවල් එකට මාව නැගිට්ටවලාම ප්‍රශ්න අහන්නේ ඇයි දැයි විටක මම මගෙන්ම ප්‍රස්න කරන්නීය.

ටීචර්ගේ ඊයේ මාත්තුකාව අපේ රටට නිදහස ලැබුන හැටි ගැනය. එයාට ඒක මතක් වෙන්නේ පෙබරවාරි මාසේ විතරය. එයා කෙලින්ම මට ඇගිල්ල දික් කර ඇසුවේ ඒ කවදදා කියාය. මේ මාසෙට විතරක් නිදහස මතක් වෙනවා නම්, 4වෙනිදා අපිට ඉස්කෝලෙ නිවාඩු නම් අනිවාර්යෙන් ඒ දවස මට කිව හැකිය. ටීචර්ට ඒ තරම් මොලයක් නැත්තෝය. මම පැනපු හැටියේ කිව්වේ පෙබරවාරි 4 කියාය. ටීචර් කොරවූවෝය. ඉන්පසු ටීචර් මට ගේම දෙන්නට සිතා ඇසුවේ අපට දෙවෙනි නිදහස ලැබුනේ කවදද කියලාය. මම සූර් වූවාය. අන්ද කයිප්පු කෑවා සේ මා උඩ බිම බැලුවාය. මොන යම් හෝ උත්තරයක් දීමට මා නොපැකිලීව කීවේ දෙසැම්බර් හත් වෙනිදා කියාය. ටීචර් කේන්ති ගොස් තවත් ප්‍රස්න ඇසුවෝය. හේතුව ඇසුවෝය. මම කිව්වේ නම් අපේ අක්කා බැන්ද දවස ගැනය. එදා අපේ ගෙදර කස්ටිය ඇඬුවාට අයියාට සහ ගෙදර අයට එදා සිට මහත් නිදහසක් ලැබුනු බව මම ටීචර්ව දැනුවත් කලෙමු. ඔන්ද ස්පොට් මට බැස්ටිය දෙන්නට බලා සිටි ටීචර්ට ඒ පිළිතුර දිව මතුරක් වූවෝය. හෙටම ගෙදරින් එක්කන් එක ලෙස ඈ මට බලපෑම් කළෝය.

මේ දවස් වල කුලියට දෙමව්පියන් එක්කන් ඒම ගේමක් නැතිය. මම එදා හවස කෙලින්ම ගියේ අපේ පැත්තේ ඡන්දෙ ඉල්ලන මාමා ලගටය. මාමා කිව්වාට පොර අයියා කෙනෙක් වගේය. ඒ කාලේ ඉස්කෝලෙන් පැනලා රෙකෝඩ් තියපු ඩයල් එකක්ය පොර මේ දවස් වල අපේ තාප්පයේද සිනා මුසු මූනෙන් සිටින්නාය. හවස තාප්පේ උඩ සිටින මම ඒ අයියාව රකින්නේ වෙන එවුන්ට පෝස්ටර් ගසන්නට නොදී බව අයියා දන්නේය. අයියා මට මුලින්ම බැන්නේ ඇයි යකෝ තොට ඔච්චර තේරෙන්නෙ නැද්ද අපේ අතිගරු ආශ්චර්යතුමානේ අපිට දෙවෙනි නිදහස අරන් දුන්නේ කියාය. ඒ අයියා මේ පාර එතුමාගේ පැත්තේය. මම අයියා කුලියට එක්කන් යාම පැත්තකින් තියලා තවත් ප්‍රස්න ඇසුවේ අයියා ගැන දන්නවා වුනාට අයියාගේ ලොක්කා ගැන නොදන්නා නිසාය.

“ඇත්තටම ඉතිං අයියේ ලොකු මාමද අපිට දෙවෙනි නිදහස දුන්නේ..“

“නැතුව යකෝ.. බලපං ඉස්සර කොච්චර බෝම්බ පිපිරුනාද? දැන් එහෙම තියෙනවද??“

“ඇත්ත තමයි අයියේ.. ඉතිං එයා කොටි එක්ක යුද්දෙට ගිහින් මරා ගත්තාද??“

“බොට පිස්සුද.. එතුමා ලේ බින්දුවක් වත් හලන්නෙ නැතුව වීරයෙක් වගේ අපිව බේර ගත්තා.. නිවැරදි නායකත්වයක් දුන්නා..“

“අම්මද බොල මට දැනුයි තේරෙන්නෙ ටීචර්ට කේන්ති යන එක සාධාරණයි කියල..“

“ඇයි යකෝ තෝ දන්නෙ නැද්ද ටීචර් වැඩ කරන්නෙත් මේ පාර ඒ පැත්තට..“

“ඇහ්.. කවුද අය්යා ඕව දන්නේ..“

“ඇයි යකෝ ටීචර් ඉස්කෝලෙට ලමයි දාන්න ගිහින් මාට්ටු වෙලා ලොකප් කරන්න හැදුවේ.. “

“ඉතිං ටීචර්ට නිදහස අරන් දුන්නෙත් ලොකු මාමද??“

“නැතුව බොලව්.. ඔය වටේ ඉන්න හැත්ත බුරුත්ත හැම එකාම අද නිදහසේ ඉන්නේ ඒ උත්තමය නිසා..“

“ඒත් අයියෙ මට ඒ නිදහස එච්චර ෆීල් වෙන්නෙ නැහැනෙ.. “

“ඇයි තෝ ඒම කියන්නෙ..“

“ඔය කියන කොටි නායකයා ඉන්න කාලෙත් අපෙ රටේ මැතිවරණ තිබ්බ නේද?“

“නැතුව.. උතුරෙ ඇරෙන්න තිබ්බ...“

“ඉතිං අයියෙ බලන්න දැන් ඒමද? රට පුරා මාසෙන් මාසෙට මැතිවරණ.. ඉතිං කෝ ඒ කාලෙ තිබ්බ නිදහස?“

“මේ උබ ටීචර් එක්ක දාන ජෝගි මට දාන්න එන්න එපා.. මම වැඩේ ෂේප් කරල දෙන්න එපාද උබ කියන්නෙ..“

“සොරි අයියෙ... මට පුරුද්දට වගේ අතුරු ප්‍රශ්න ඇහුනෙ..“

“ඒ මුකත් එපා සරලව හිතපං..“

“මම පොඩි එකානෙ අයියෙ සරලව තමයි හිතන්නේ..“

“බලපං.. එදා අවි අරන් හිටපු නොමැරිච්ච කොටි නායකයෝ අද කෝ...“

“අඩේ ඇත්තමයි අයියෙ.. ඒක තමා නියම නිදහස...“

“අන්න උබට දැන් තේරෙනවා.. බලපං උන් කොච්චර නිදහසේ ඉන්නවද??“

“මට මාර ආඩම්බරයි අයියේ.. උබ නියම ගුරුවරයෙක්.. අනික ලොක්ක.. අදහන්න වටින මිනිහෙක්.. අපි මේ නිදහස විඳින්නෙ එතුමා නිසා...“

“අන්න මල්ලිට සරලව හිතනකොට පැහැදිලි වෙනවා අපූරුවට..“

“එතකොට අයියෙ කුක්කු...“

“කුක්කු?????????? කුක්කු බීපං තොපෙ ටීචර්ගෙන්...“

Written_by_sAm_ශ්‍රී_Perera_11:13am_02/02/14
Related Posts Plugin for WordPress, Blogger...