Wednesday, October 9, 2013

රජ විදිලි.. - King's Shootings !!!




*****

සෑමා - “මොකද බං මේ පාරවල් කඩාගෙන හදන්නේ..“

සම්පා - “අනෙ මන්ද බං.. හොදට තිබ්බ පාරවල් නේ..“

සෑමා - “පිස්සු බං. මුන්ට සල්ලි ඕන වුනාම පාරවල් කඩනවද මන්දා..“

සම්පා - “අඩේ... මේ චෝගම් එකට වෙන්න ඇති බං හදන්නෙ..“

සෑමා - “චෝගම්.. ඒ මොකක්ද බං ඒ.. සුනාමි වගේ සීන් එකක්ද?“

සම්පා - “නැහැ යකෝ.. ඒක මොකක්ද සමුළුවක්.. “

*****

“අයියෝ පුතේ අර මනුස්සය නැති වෙලානේ..“

“කවුද අප්පා??“

“බුද්ධික දන්නවද ඔයාගෙ යාලුවා නැති වෙලා නේද?“ එතැනින් ගිය බුද්ධික අයියාද කතාවට සෙට් වේ.

“කවුද?“

“අර ටෙලිකොම් එකේ මනුස්සයා.. ත්‍රීවීල් එකේ එන්නෙ, ෆෝන් ලයින් බ්‍රේක් ඩවුන් වුනාම හදන්න“

“අහ්.. අයි.ඕ.සී එකේ කිව්ව නේද?“

“පිස්සුද මොන අයි.ඕ.සී ද? මිනිහා ටෙලි කොම් එකේ..“

“ඔව්, ඔව්.. දන්නවද සමී.. පොර ගාව මොබයිල් ෆෝන් තුනක් තියෙනවා..“ බුද්ධික අයියා සෑමාවද කතාවට සැට් කර ගනී.

“ඇත්ත වෙන්න ඇති.. පොර ටෙලිකොම් නේ.. ඉතිං ෆොන් තියෙන්න එපෑ..“ ඒ සෑමාය.

“ඔව්.. මට ආරංචි වුනා අයි.ඕ.සී එකේ කියලා..“ ඒ බුද්ධික අයියාය.

“අයි.ඕ.සී වෙන්නෙ කෝමද බං.. ඒ මනුස්සයා මෑතක් වෙනකල්ම ටෙලිකොම්..“ සෑමාගේ අම්මා බුද්ධික අයියාව නිවැරදි කළාය.

“හරි.. හරි.. ටෙලිකොම් තමා.. ඒත් දවස් දෙකක් අයි.ඕ.සී හිටියා..“ ඒ බුද්ධික අයියාය.

“යකෝ.. අයි.ඕ.සී නෙවේ.. අයි.සී.යූ...“ සෑමාට වැඩේ නිවැරදි කළේය.

“මේකා විකාර කියවනවා.. මම හිතුවා අයි.ඕ.සී කිව්වේ පෙට්ටල් ෂෙඩ් එක කියලා..“

බුද්ධික අයියා ආ ගිය අතක් නොමැත..

*****

Written by sAm_ශ්‍රී_Perera_6:45pm_8/10/13

Monday, October 7, 2013

පැරදුනා මදි... - Hate Victories???




අලි පෙරහැර එන්නා සේ හිදිමි
උන් පාර පුරා දිව යන සුව විදිමි
ගුටි පෙරහැර යනතුරු මා නිදමි
උන් පස්ස නොබල දිව ගිය සුව විදිමී..



ඒ දුක නිමක් නැති
එනමුදු කමක් නැති
යලි හිත හදා ගමි...
තනතුරු බදා ඉමී..
හෝ..ඕහ්..ඕ...



පොලු - කොඩි බිම වැටිලා සේ දුටිමි
සිරිකොත ඇතුලේ අලි සේරම රකිමී
නිල් එලි මා රකිනා බව දනිමී
ඒ හන්දා මම ඉවසගෙන සිටිමී...



ඒ දුක නිමක් නැති
එනමුදු කමක් නැති
යලි හිත හදා ගමි...
දිනයක ජය ගනිමී.. 
හෝ..ඕහ්..ඕ...



ජනපති සේ වඩිනා හැටි දුටිමි
(කොත) ඇතුලෙන් පන්තේරු නැටුම් නටමි..
අලි රැල මා හැර යන බව දනිමි...
දිවි හිමියෙන් මයියා මා රකිමී...



ඒකට කමක් නැති
මා හට බියක් නැති
මයියා රැක ගනිමී
පක්ෂය වැඩක් නැතී..
හෝ..ඕහ්..ඕ...
හෝ..ඕහ්..ඕ...

Written by sAm_ශ්‍රී_Perera_7:05pm_07/10/13

වර්ථමාන අලි පෙරහැර හා සසැදූවගයි..

Thursday, October 3, 2013

අමතක වීම්... Absent Minds... !!!


චක්කර කොළ නම් ෆිල්ම් එකක් සොයන්නට ගිය අපේ බුද්ධික අයියා මෑත භාගයේ තවත් වැඩක් කළේය. ඒ සෑමා කමියුනිකේෂන් එකට ගිය අවස්ථාවකය. කමියුනිකේෂන් එක දාපු අලුත බුද්ධික අයියා හන්දියට ගියේ ෆුට් සයිකලේය. ගෙවල් ලග ඉදන් කන්ද පල්ලමේ පැඩල් එක ගසන්නට වත් වේලාවක් නැතිව නිකන්ම හන්දියට ගිය විට කමියුනිකේෂන් එකය. ඒ කියන්නේ පට්ට නියුට්‍රල් එකක්ය. ඒ තරමට කම්මැලි කමේ බයිසිකලේම හන්දියට යන බුද්ධික අයියා හති දාගෙන කන්ද පැත්තට පාගමින් ගෙදර එන්නේ දහවල් කෑමටය. දිනක් පොර හන්දියට ගියේ බයිසිකලේය. ඉන්පසු දහවල කෑමට ගෙදර විත් ගෙවල්, මිදුල් පෙරලමින් බයිසිකලේ හොයන්නට වූයේය. මිදුලේ නවතා තැබු බයිසිකලය කෑම බීම අහවර වී එලියට බහින විට අස්ථාන ගත වී තිබුනේය. අපිද සපෝට් එකට එලියට බැස බයිසිකලේ හෙව්වෝය.

වෙනදාට බයිසිකලය ඉල්ලාගෙන යන අයට කතා කරමින්ද, වෙනදාට නවත්වන තැන් වල අමතක වී නවත්වා ඇතිදැයි බලමින්ද, පැය දෙකක පමණ මෙහෙයුමක් දුන්නෝය. ඒ අතර සැලුන් එකට ආ එකෙක් බයිසිකලේ උස්සලාද කියා පරීක්ෂන පවා ඇරඹුනේය. අවසන අපි හිත හදා ගන්නට සහ බුද්ධික අයියාගේ හිත හැදීමට කටයුතු ආරම්භ කලෝය. “මේක අතෑරලා දාමු අපි හොරා හොයා ගමු“ සෑම අයෙකුගේම මුවින් පිටවූයේ එවන් වදන්ය. බුද්ධික අයියාද කාපු බත්ටික දිරවන්නට තරමේ වෙහෙසක් වී නැවත කමියුනිකේෂන් එකට ගියේ කැඩුනු සිතින්ය. එසේ ගොස් මොහොතකින් අපේ ගෙදරට කෝල් එකක් ආවේ බුද්ධික අයියාගෙන්ය. “මෙන්න බයිසිකලේ තියෙනවා“ ලෙස ඔහු කී පසු අපේ සැට් එකම එතැනය. සෝදිසියෙන් පෙනී ගියේ බයිසිකලය හොරු අරන් ගොස් නොවන වගත්, බුද්ධික අයියා බයිසිකලය හන්දියේ තබා ගෙදරට ඇවිත් ඇත්තේ පයින් බවත්ය.

සෑමා මීට පෙරද මෙවන් අමතක වීම් ගැන ලිපියක් ලියුවේ මතක අමතකද? කමක් නැත ශීර්ෂය යටතේය. මේ ලිපිය ලියවෙන්නට හේතු වූ කරුණ වාර්ථා වන්නේ අපේ මාමාගේ නිවසින්ය. ඒ කියන්නේ අම්මාගේ මල්ලීය. මතක අමතක ලිපියේද නිව්ටන් අංකල්ගේ කණ්නාඩි කුට්ටම් සීට් එක යටින් මතුවන අමුතු සීන් එකක් සෑමා ලියුවේය. මේ ස්ටෝරියද කණ්නාඩි කුට්ටමක් ගැනය. ඒ අපේ මාමාගේය.

දිනක් මාමා අපේ ගෙදර ආවේය. අම්මා මොනවාදෝ කොල (මුකුණුවැන්නද මන්දා..) මිටියක් බෑග් එකක දමා මාමාට දී ඇත්තේය. මාමා අපේ කඩයට වී පත්තරයක් බලමින් සිටියදී එය අතට ලැබී ඇත්තේය. එය බයික් එකේ හැන්ඩ්ල් එකේ එල්ලාගෙන මාමා මෙහෙන් පිටත් වූයේය. ඉන්පසු නිවසේ සිටියදී කණ්නාඩි කුට්ටම සිහි වී ඇත්තේය. එය අපේ ගෙදර නැතිය. තිබූ තැනක්ද නැතිය. එහෙත් ගෙදරම තිබූ බව කියමින් මාමා ගෙදර එවුන්ගෙන් අසා ඇත්තේ කණ්නාඩිය ගැනය. දෙලෝ රත් වෙමින් ගෙදර උන් නිවනක් නැතිව කණ්නාඩිය සොයමින් සිට ඇත. දවසක්ම කණ්නාඩිය අතුරුදහන් වන්නට හේතු නැත්තේය. ගෙදර නැතිනම් පිට තැනක හෝ දමා ආ යුතුය. එසේ නම් කණ්නාඩි කුට්ටම අපේ ගෙදර තිබිය යුතුය. එහෙත් තිබුණේ නැතිය. පසු දින දහවල් කෑම පිසීම සදහා මුකුණු වැන්න කොළ මිටිය එලියට ගෙන ඇත්තේ ශීතකරණය ඇතුලේ තිබීමෙන්ය. එය හැර බලන විට කණ්නාඩි කුට්ටම අයිස් වී කූල් වී තිබුණු බව ආරංචිය.

අමතක වීම් ගැන තව කතා කිහිපයක් මතකයේ තබා ගනිමින් මේ පෝස්ට් එක ලියන්න ගත්තද, කොටස් දෙකකට ඩ්‍රාෆ්ට් කරමින් ලියු නිසා සෑමාට ඉතිරි කතාව අමතකය.

Written by sAm ශ්‍රී Perera_12:03pm_03.10.13

Sunday, September 29, 2013

අන් ආගම් වලට හූල්ලනවාද? තම ධර්මය අදහනවාද?



මම බෞද්ධයෙක් ලෙස ලෝකෙට පේන්න බුකියේ, සමාජයේ වැඩ දාන කිසිවෙකුට අනේ මම මගෙ ආගම, ධර්මය වෙනුවෙන් බුදු පිළිමයක්, විහාරයක්, කරවන්න හිත් වූයේද? එසේ කිරීමට හැකියාවක් නැතිනම් එකතු වී, මුල්‍ය ආධාර එකතු කොට එවන් සේවාවක් කරන්නට කවදාවත් සිත් වූයේද? අන් ආගම් ගරහමින් හෝ තමාගේම ආගමේ සඟරුවනට ගරහමින්, අන් ආගමික පූජනීය ස්ථාන ගණනින් මෙච්චරයි, අච්චරයි කියමින් හූල්ලමින් සිටින අයෙකුට අනේ අපිත් බුදු පිළිමයක්, චෛත්‍යයක් කරවන්නේ නැත්දැයි නොසිතෙන්නේ මන්ද? උක්ත ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම නිෂ්ඵල මුත්, එලෙස එක් වී කරන්නට යන සේවාවකට අත් උදව් දීම, සහය වීම අට මහා කුසල් වලින් එකක් වන්නේමය.

අට මහා කුසල් යනු,

කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා - අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”

මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.

1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

එලෙස බුද්ධ ධර්මයේ සදහන් වන පරිදි බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාර ගෙවල්, මුලසුන් ආදිය සෑදවීම අට මහා කුසල් වලින් එකක්ය. මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ දෙවන ජාතියේ දී නියත වශයෙන් විපාක දෙන කුසල කර්ම නිසායි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන කරනු ලබන මෙවැනි කුසල් නිසා දැන හෝ නොදැන කර ඇති අකුසල් තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් දෙවෙනි ජාතියේ දී නියත සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වෙන්නේය. (ඔබ දෙවන ජාතිය නියත වශයෙන් කුසල් පලදීමේ වටිනාකම ගැන සොයා බලන්න.)

කුසල් බලාපොරෙත්තුවෙන් හෝ සමාජීය සේවයක් කිරීමේ අරමුණින් හෝ, අනුරාධපුරයේ සිට කිලෝ මීටර්  20  පමණ ඇතුලට වන්නට තිබෙන පාසලකට බුදු මැදුරක් සාදා දීම අප බ්ලොග් සහෘදයෙක් ඉදිරිපත් වී සිටියි. බෞද්ධ උරුමයේ මුදුන් මල්කඩක් බඳු අනුරාධපුරය ආශ්‍රිත ගම්මානයකට බුදු මැදුරු වලින් වැඩැක් ඇත්දැයි ඔබ සිතනු ඇත. නමුත් ඔවුනට පාසලේ ඇති මෙම බුදු මැදුර හැරුනු කොට, ලඟ පාතක පන්සලක් හෝ නොමැති බවයි දැනගන්නට තිබෙන්නේ. ගම්මානයේ වයෝවෘද පුද්ලයින්ට ඈත පන්සල් වලට යාමේ අපහසුව නිසා සිල් සමාදන් වීම වැනි කටයුතු ද පාසල් භූමියේ දී සිදු කරන බවයි ඔවුන් පවසන්නේ. එවැනි තැනකට බුදු මැදුරක් කරවා ශාසනයට පූජා කිරීමට කෙහෙල් කොටුවේ බුද්ධියා සහ බුද්ධියාගේ කෙහෙල්කොටුවට යන එන උන්ගේ අරමුණ වී ඇත.

අපත් ඔහු සමඟ එකතු වී මෙම කුසල කර්මයේ කොටස්කාරයන් වෙමු. ඔබත් මෙම පිංකමට සහභාගී වෙන්න කැමැත්තක් ඇත්නම් කෙහෙල්කොටුවට ලිපියක් යවා වැඩි විස්තර ලබා ගන්න. මෙන්න ලිපිනය cyberlipi@gmail.com

Tuesday, September 24, 2013

බජාර් එකේ ලලක්කා... - The Head of Women !!!


අපේ අල්ලපු ගෙදර වහලෙ උඩින් හදපු කොන්කිරීට් වතුර ටැංකිය, සති ගානක් පල් කරල වතුර බොන්න පුලුවන් තත්වෙට පත් කරල වතුර පිරෙව්වෙ ජීවිත කාලෙම වතුර බෙන්න බලාගෙන. අන්න එහෙම පුරවපු වතුර ටික පෙනේරෙකින් වැක්කෙරෙනව වගේ විනාඩි දහයකින් බිමට ලීක් වෙන්න ගත්ත. එහෙව් ලීක් වෙච්ච වතුර ටැංකිය වගේ මගේ නාස් පුඩු අතරින් සොටු බේරෙන දවසක, උදේම ආව වෑන් එකක් අපේ ගේට් එක හරස් කරල බ්‍රාස් ගාල නැවැත්තුවා. රතු වෙච්ච ඇස්, නාහෙට හිරවෙච්ච ලේන්සුව, ඇගේ අමාරුවට වකුටු වෙච්ච කොන්ද, සියළු දේ දරාගෙන මම ගියා දොර ලගට, මහා පාන්දර ගේට්ටුවට තඩි බාන එකා අල්ලගෙන අඩු දෙක් කඩලා, මගෙ හොටු ලේන්සුව ඌගෙ අමුඩ ලේන්සුව කරල අන්දවල ගම වටේ ඇවිද්දවන්න. හැම ඉරිදම දහම්පාසල් ගිය මට එච්චර කේන්තියක් එන්න හේතුව මට හිතා ගන්න බැරි වුනා. ඒත් මේ හෙම්බිරිස්සාව ඒකට හේතුව කියල මගෙ යටිහිත කෑගහලා කිව්වා.

මගෙ කාලකන්නි අතිජාත යාලුවා සුමියා ගේ දොරකඩ, ෂෝටක් ගහගෙන, බලාගෙන ඉන්නව මම එනකල්. ඇයි යකෝ තෝ ලෑස්තිවුනෙ නැද්ද? ඌ එහෙම ඇහුවමයි මට මතක් වුනෙ. අද අපේ එවුන් සිරීපාදෙ යනව කියල මට කලින් මැසේජ් එක ගහල තිබ්බෙ. මට දැන් බං මතක් වුනෙ.. අනික පට්ට අමාරුයි... බලපං ඇස් රතු වෙලා... මට සෙම බං.. ඔය සීතලේ යන්නෙ කෝමද?? අනෙ මේ උඹ ගියපාරත් අපි එද්දි ලැට් එකේන එලියට බහින්නෙ නැතුව බඩේ අමාරුවක් කියල මග ඇරියා මතකද? යකෝ කෑල්ලක් වගේ ගෙදරට වෙලා නොයිද පිනක් දහමක් කර ගන්න එලියට බැහැපං. සුමියා බඩේ අසනීපකාරයෙක් වෙච්ච මාව දවසක් ටොයිලට් එකේ දොර කඩලා වෑන් එකේ දාගෙන ගිය සීන් එක මතක් වුනේ ගිය වසරේ ට්‍රිප් එක ගැන කියද්දීය. සුමියා කරන රස්සාව මොකක්ද කියා දන්නා මුත් මම එදා නම් හිතුවේ මූ සුදු වෑන් කාරයෙක් කියාය. මොකද කෝපි කෝප්ප දුසිමක් විතර ගහලත් ලැට් එකේ සනීපයෙන් ඉදගෙන ඉන්න එකෙක් දාගෙන යන්න තරම් දරුණු යාලුවෙක් කාගෙවත් ජීවිතේක ඉදල නැතුව ඇති.

හරි බං... කියමින් මාත් සුමියා ගේ අදුරු මතකයන් අවදි කිරීමට බිය වී සීතලට ඇදීමට සුදුසු ඇදුම් පමණක් මල්ලක ඔබා ගත්තෙමි. එහෙව් පුරවපු ඇදුම් මල්ලේ වැඩි පුරම ලේන්සු තිබුනු බව නොරහසක්ය. නැත්තම් මේ ගලන හොටු ගංගාව නවතාලිය නොහැක. අපේ ගම අසබඩින් ගලන ගග උතුරා ගලන කාලෙට කවුරුවත් එය නැවැත්වීමට උත්සාහ නොකළේ එය තාත්වික දෙයක් නොවන නිසාය. එහෙව් එකේ නාසයෙන් ගලන හොටු දියර උඩට අදින්නේ නැතුව පහලට හෙලමින් ලේන්සුවල රටා මැවීම තාත්වික වන්නේය. එදා උතුරා ගලපු ගගට අද මාගේ නාසය සම වන්නේය. 

මචං.. ඔන්න අපේ නඩේ ගුරා දැනුයි වාහනේට නැග්ගේ..ඌට නහය බුරුල් වෙලාලු.. ඔය ජනේලයක් අයිනක් දියන්.. නැත්තං.. සිරීපාදෙ යන්න කලින් අපේ නඩේටම හොටු හූර හූර ඉන්න වැඩක් මූ සැට් කරයි..

සුමියා මගේ රෝගයේ ආකෘතිය නඩේටම කියා දුන්නේ අපේ ගමේ බේස් හොස්පිටල් එකේ ඕ.පී.ඩී දොස්තර මහත්තයා වගේය. ලෙඩකට බෙහෙත් ගන්නට ගියොත් බේත අරන් ගෙදර එද්දී ලෙඩාගේ රෝග තත්වය ගමම දන්නේය. ඒ ඩොකා ලෙඩේ ගැන හැම තැනම කියන නිසාය. ඩොකා ඒ තරමට සමාජශීලී නොවුනේ නම් ගමේ බෝවෙන රෝග පැතිරීමේ අවධානම වැඩිය. හවසට බාර් එකේ දොරකඩම සැට් වෙන ග්‍රාමීය ඩොකා එතැන සිට එක එකාගේ බෝවෙන රෝග ගැන කියවන නිසා කස්ටිය එදා සිට ඒ රෝගියා අසලට නොයන්නේය. එමගින් බෝවන රෝග අවධානම පහව යන්නේය. දෙවිවරු කිව යුත්තේ එවන් දොස්තරලාටය.

ලෙඩ ගොඩක් අස්සේ සිරීපාදේ සීතල විද දරාගන්නට ඇග වැහෙන, කන් වැහෙන, හිස් වැහෙන බර ඇදුම් මල්ලකට පුරවාගත් මාවත් රැගෙන අපේ උන් ආවෙ කට්ට අවුවක් පායන, පොලවේ පය ගහන්න බැරි, දාඩිය බේරෙන රස්නයක් ඇති අනුරාධපුර පොලොන්නරු පැත්තටය. අපේ එවුන් දෙන්නේ එවන් ටොපිමය. දිනක් කොල්ලෙකුගේ මලගෙදරකට කියා මාව රැගෙන ආවේ සතියක් නයිට ගැසීමට සූදානමින්ය. ඒත් එදා මලගෙදර අහවර වී සතියක් පිරෙන තැන දානය තියෙන දවසය. අපේ එවුන්ටත් මලගෙදර මිස් වී මට මලගෙදර යැයි බොරු කියා රැගෙන විත් තිබුනේය. මුන් සමග එන විට එවන් අත්දැකිම් විද දරාගැනීමේ ශක්තිමත් සිතින් පැමිණිය යුතුය. එසේ ශක්තියක් නොවන්නේ නම් උන් එන වේලාවට ගෙදරින් පිට සිට ට්‍රිප් එක මිස් කළ යුතුය.

රාත්‍රියේ පැවැත්වෙන පූජාවක් සදහා අපේ එවුන් මල් තෙල් පහන් අරගෙන, මම එක අතකින් ලේන්සුවත් අරගෙන, මහ මලුව පැත්තට ඇදුනේ අවට සැරිසරන කෙල්ලන්ගෙන් ඇස බේරා ගනිමින්ය. රෑපයට නොරැවටී මෙහි ආ කාරණා සාර්ථකව කර ගත යුතු බැව් අපේ සුමියා කිව්වේ පුංචි කොළ කෑලි වල තමන්ගේ ටෙලිපෝං නොම්මරය ලියමින් සිටින වෙලාවේදීය. රෑප ග්‍රහනයට නොවැටෙන ලෙස බිම බලාගෙන ඉදිරියට ඇදෙන මට දෙපස මල් කඩවල් හා සෙල්ලම් බඩු කඩවල කෙල්ලන් ඇස් කොනක ගැටෙන්නට වූයේය. එහෙත් සිත තද කරගෙන නාස් පුඩු හිරකරගෙන බිම බලාගෙන යද්දී දොදොල් කඩයක කෙල්ලෙක් කඩයේ දොදොල් පිලිවෙලකට අඩුක් කරමින් සිට මා එන පාර හරහට පැන්නේ කඩේ තියෙන බඩු පැහැදිලිව පේනවා දෝ බලන්නාක් සේය. ඇය මා ඇග හැපී, මා ඇය ඇග හැපී දෙදෙනාගේ මුහුනු විනාඩියක් පමණ බලා සිටින්නට ඇත. ඒ ඇස් දෙකට කදුලු ගලාගෙන ඇවිත්.. අපෙ කතාව ආරම්භ වුණා..

“අනෙ සමාවෙන්න...“

“ඉට්ස්.. ඕකේ.. ඉට්ස් ඕකේ..“

“අනෙ දැක්කෙ නැහැ මහත්තයා..“

“හරි හරි කෙල්ලෙ.. ගණන් ගන්න එපා.. අතැවැරැද්දක්නෙ වුනෙ..“

“ඒ වුණාට.. මහත්තයගෙ ඇගේවත් හැප්පෙන්න වටින කෙනෙක් නෙවෙ මහත්තය මම...“

“ඇයි කෙල්ලෙ එහෙම කියන්නෙ.. මේ ලෝකෙ මනුස්සයො අපි ඔක්කොම එකයි නේ...“

“මහත්තය ඔහොම කිව්වට.. මේලෝකෙ ගොඩක් පෝසත් මිනිස්සු.. දුප්පත් අපි දිහා බලන්නෙ හරි පහත් විදිහට මහත්තයා..“ එයා පපුව කඩා වැටීගෙන කදුලු අතරින් කතා කරද්දි මගෙ ලෝකෙම කඩා වැටෙන්න වුණා..

“පිස්සුද කෙල්ලෙ.. සල්ලි වලින් දුප්පත් වුණාට.. හදවතින් .. රෑපෙන් ඔයා කොච්චර පෝසත් කෙනෙක්ද??“

ආයෙත් අපි අතර නිහඩතාවයක් ආව.. හරියට ඔපරේෂන් තියටර් එකකට ඇතුල් වුනා වගේ.. නිහඩයි..

“ඔයා කොහෙද කෙල්ලෙ යන්නෙ..“ මම ඒ නිහඩතාවය බින්දා. දොස්තර අතින් කතුරක් බිම වැටුන  වගේ.. ආයෙත් තියටර් එකම චංචලයි..

“එහෙමටයි කියල තැනක් නැහැ මහත්තයා..“

“අම්මලා විශ්‍රාම ශාලාවෙ ඉන්නව.. මම ආව ටිකක් මේ කඩවල් වල තියෙන ඒව බලල යන්න කියල..“

“හිහ්.. ඇයි බලන්න විතරද මුකුත් ගන් නැද්ද?“

“අහ්..අප්.. අපිට කොහෙන්ද මහ්... මහත්තයා ඕවා ගන්න සල්ලි...“ ඒ කතාවට මගෙ පපුව පිච්චිලා ගියා.. 

“හරි හරි.. එන්නකො මාත් එක්ක.. ඔයා කැමති කඩේකින් කැමති දෙයක් ගන්න..“

“අහ්. අනේ මහත්තයා..“

“මමනෙ කියන්නෙ.. මෙහෙ එන්නකො...“

“මම බලෙන්ම වගේ එයාගෙ අතින් අල්ල ගත්තා..“

“මුලින්ම එයා නැවතුනේ දොදොල් කඩයක ලග..“

ආ.. එන්න එන්න එන්න... කළු දොදොල්.. හොදා දොදොල්... ගන්න.. ගන්න.. ගන්නෝ.. කළු දොදොල්.. කළු දොදොල්... කාල බලන්න. කාල බලන්න... එන්නෝ...

කන්න කන්න කන්න.. ආ සාම්පල් කෑල්ලක්  කාල බලන්න.. මේ ඔය ගන්නව නම විතරක් කන්න.. මෙතන ඔය සාම්පල් කාල බඩ පුරවගන්න එන්න එපා..

මේ ඔය කෙල්ලට මම කියන්නෙ එනව මෙතන දොදොල් කන්න...

දොදෙල් කාරයගෙ කතාවට එයාගෙ ඇස්වලින් කදුලු පැන්නා..

“මේ එයා ඔයාගෙ දොදාල් කාල බඩ පුරව ගන්න ආවෙ නැහැ හරිද... කීයද තමුසෙගෙ දොදොල්..“

“කිලෝ එක 400යි..“

“දානව කිලෝ 10ක්...“

“කිලෝ දහයක්???“

“ඔව්.. මේ.. මීට පස්සෙවත් දැන ගන්නව මිනිස්සුන්ගෙ මූණ බලල මිනිස්සු පහත් නොකර ඉන්න..“ එහෙම කියපු මං එතැනින් දොදොල් කිලෝ දහයක්ම අරන් එයාගෙ අතට දුන්න.. ඒත් මගෙ කේන්තිය ඉවර නැහැ..

“ගන්න කෙල්ලෙ.. මේ ඕන කඩේක තියෙන ඕන දෙයක් ගන්න..“

“අනෙ මහත්තයා..“

“මංනෙ කියන්නෙ.. ඔයා ගන්න ඕන දෙයක ගන්න...“

එහෙම කියල කේන්තියෙන් හිටපු මං. හැම කඩේකින්ම එයා ආස හැම දෙයක්ම අරන් දීගෙන දීගෙන ගියා.. එයා එක පාරක් දෙපාරක් එපා කියද්දි මම බලෙන්ම වගෙ අරන් දුන්නා.. කෝම හරි දැන් එයාගෙ අතේ පුංචි ලොරියක විතර බඩු.. සල්ලි වලින් නම් ලක්ෂෙක විතර බඩු..

“මේ කෙල්ලෙ අපි දෙන්නත් කොහෙ හරි පොඩ්ඩක් වාඩි වෙලා කතා කරමුද?“

“මේ බඩු කන්දත් තියාගෙන කෝමද මහත්තයා අපි කතා කරන්නෙ.. මේ බඩු කන්දට මට මහත්තයාගෙ මූණවත් පේන්නෑ.. මහත්තයා මම කියන්නද? මම දූලා ගහින් අපෙ අම්මල ඉන්න විශ්‍රාම ශාලාවෙන් මේ බඩු ටික තියල එන්නම්...“

“අහ්.. ඒක හොදයි.. හැබැයි ඉක්මනට එන්නෝ....“

“හරි හරි..“

“මේ...“

“ඇයි මහත්තයා..“

“ආයෙ මට මහත්තය කියන්න එපා හොදේ..“

“හොදයි මහත්තයා..“

එහෙම කියපු එයා ආයෙ දුවන්න ගත්තා.. විනාඩි 10ක් ගියා, පැයක් ගියා, දෙකක් ගියා.. ඒත් එයා තාම නැහැ.. ඒ ගත්ත බඩු ලොට් එක විශ්‍රාම ශාලාවෙ මුල්ලක අඩුක් කලත් මෙච්චර වෙලා යන්නෙ නැහැ. පුජා අඩවියෙ තෙල් කෑම අරන් යද්දි කරදරයක් වත් වුනාද? අනික මට එයාගෙ නමක් වත් අහගන්න වුනෙ නැහැ. මම කෝම හරි එයාව හොයා ගන්නව කියල හිතපු මම, මුළු පුජා භූමිය පුරාම විශ්‍රාම ශාලා, කඩ පිල්, දොදොල් කඩ පීර පීර එයාව හෙව්වා. ඒත් ඔහෙ නැහැ. කමක් නැහැ මම දන්නව කවදා කොතැනක හරි මට එයාව හම්බෙන එක හම්බෙනවා. ආපහු යන්න හැරුණු මම නිකමට වගේ අර එයාට දොදොල් අරන් දුන්න කඩේ ඇතුලට ගොඩ වුණා.

අඩේ දෙයි හාමුදුරුවනේ.. මම දෙදොල් ගත්ත කඩේ තඩි කළු මිනිහා එතැන කඩේ ඇතුලෙ හිටපු කෙනෙකුට කියන කතාවක් ඇහිල මම එතැනම ගල් ගැහුණා.

හෙහ් හෙහ් හේ.. මුදලාලි නෝනා ඒ හාදයගෙන්ම පනස් දහක විතර බඩු ගැරුව නේ.. අපේ කඩෙන්ම ඒ හාදයා පනස් දහක විතර බඩු ගත්ත නේ... පව් අප්පා.. බැරි වෙලා හරි ඌ දන්නව නම් නෝන තමයි මේ කඩ පේලියෙම අයිතිකාරි කියල.. පපුව පැලිල මැරෙයි.. ආක්....“ 

sAm_ශ්‍රී_Perera_8:15am_24.09.13

Friday, September 20, 2013

86 අවහිර නොකරන්න.. - 86 No Parking.. !!!


“මචං වත්තලට යන්න තියෙනවා..“

“හරි උඹල දෙන්න ගිහින් වරෙන්.. මම ඉන්නම්..“

“උඹ කෑවද?“

“නැහැ බං...“

“අපෙ කෑම දෙකක් තියෙනවා ගෙදරින් ගෙනාපු.. මොකද කියන්නේ..“

“අවුලක් නැහැ.. මම මෙහෙන් කන්නම්.. උබල ගිහින් වරෙන්..“

ලකියා, දිලා සහ සෑමාට යන්නට කීවේ කඩෙන් කන බලාපොරොත්තුවෙන්ය. දිලා, සහ සෑම් පිටත් වුයේ වත්තල බලාය. දිලාගේ ඔපීසියට යෑමේ පරමාර්ථයෙන් ගිය ඒ ගමන ඛේදනීය එකක් වන බවට දෙදෙනාම නොදත්තෝය. ඒ ගමන අතරතුරදී දෙදෙනාගේ උදර අභ්‍යන්තරයේ සිටින හිගන්නා අවදි වීම නිසාය. එය හුදෙක් දෙදෙනාගේ වරදක් නොව, අභ්‍යන්තරයේ සිටින හිගන්නාගේ වරදක්ය. ඌ සැමවිටම අවදි වී කන්නට යමක් සොයන නිසා දෙදෙනාම විදින්නේ මහා ච්ත්ත සංතාපයක්ය.

“සෑමා මට බඩගිනි බං...“

“මට තාම බඩගිනි නැහැ යකෝ... ඒත් උඹට බඩගිනි නම් මට නොකා ඉන්න බැහැනේ..“

“හිටපං.. Pan එක පාරේ නවත්තලා කමු..“ කියමින් දිලා කාර් එක OKI පාසල ඉදිරියේ නැවැත්තුවේය. හරියටම 86 කියා අංකය ගසා තිබු නිවස පිහිටියේ පාසල එහා පැත්තේය. ගේට් එක මදක් පසු කොට කාර් එක නැවැත්තුවේ ඔවුනට බාධාවක් නොවන අන්දමටය. අනික එහි ගේට්ටුවේ ගසා තිබුනේ “86 ගේට්ටුව අවහිර නොකරන්න“ කියාය. එය දුටු සැනින් ඕනැම අයෙකුට සිතෙන්නේ පිස්සන් කොටුවක පිස්සෙක් ගේට් එකක ලියු අකුරු සැට් එකක්ය. ඒ තරමට නිවැසියන්ගේ තරම ඉන් කියා පාන්නේය.

“කෑම දෙකක් තියෙනව නේ..“ ඒ දිලාය.

“මුලින් මගෙ එක කමු..“ සෑමා මගෙ එක කිව්වේ කෑම එක ගැනය.

“හරි මචං.. දිග ඇරපං..“

දෙදෙනාම ඉදිරිපස සීට් දෙකේම හිදගෙන කෑම දෙක දිගහැරගෙන කන්නට වූවෝය. ඒ අතර එතැනින් ගිය ඕ.කේ.අයි ගුරුතුමියන් සුට්ටි සාරි කෑලි, පබලු මාල දමාගෙන අපගේ කෑම පාර්සල් වලට එබී බලන්නට වූයේ බොරැල්ල කනත්ත හන්දියේ සිටින සුරූපී පෙරේතයන් ලෙසය.

“මචං සෑමා.. එක පාරම බලන්න එපා.. පොඩ්ඩක් මම කියන දේ අහපං..“

“හරි කියපං..“ වට පිට නොබලාම සෑමා කෑම එක දෙස බලාගෙන කීවේය.

“මෙතන 86 ගෙදර එකා අපි දිහා ඉදගෙන බලං ඉන්නවා.. පොඩ්ඩක් ෂේප් එකේ බලපං..“

“ඌ පෙරේතයෙක්ද බං.. මෙහෙ බලං ඉන්නේ..“ සෑමා මොහොතකින් බලා ඇසුවේය.

“මන්ද බං.. පොඩ්ඩක් හිටපං.. මගෙ කෑම එක ඩිකියේ.. මම අරන් එන්නම්..“

දිලා කෑම එක ගන්න බැස ගිය විට සෑමා කා අහවර කළ කෑම එක ඔතා පැත්තකින් තැබුවේ එතැන විසික් නොකර කුණු ගොඩකට දැමීමටය. දිලා නැවත එන විට එහා පැත්තෙන් 86 ගෙදර අංකල්ද ආවේය. 

“කරුණාකර ඔතනින් අහකට ගන්නවාද?“ ඒ අංකල්ය.

“හරි අංකල් විනාඩියක් දෙන්න.. මේ බත් එක කාල ඉස්සරහට ගන්නවා..“ ගේට්ටුව අවහිර නොවී තිබුණද, දිලා එසේ කීවේ කෑම එක දිග හරින ගමන්ය.

“කෑම එක.. මම කෑම එක කාලා ඉවර වෙනකල් බලාගෙන ඉදලා තමා ආවේ... කරණාකරලා ගන්න ඉස්සරහට..“

“තව එකක් තියෙනවා අංකල්.. මේ තියෙන්නේ..“ කියමින් සෑමා කෑම එක අංකල්ට පෙන්නුවේය.

“තමුසෙලා දන්නවද මම කවුද කියලා..“

“අංකල් දන්නවද අපි කවුද කියලා..“

“මට ඔහේලා කවුරු වුණත් කමක් නැහැ.. මම තමා අවුරුදු 25ක් තිස්සේ තමුසෙලා වගේ උන්ට ලයිසන් දුන්නේ..“

“මොන මගුලක්ද ඕයි මේක.. මනුස්සයෙක්ට කන්නවත් නොදෙන සතෙක්ද මේ...“ කියමින් දිලා තමන් දිග ඇරිය බත් එකෙන් අංකල්ට දමා ගසන්නට හැදුවේය. සැමා එය වැලැක්වූයේ සත්තුන් සමග හැසිරීමේදි පරිස්සම් විය යුතු නිසාය. ඒ අතර ගෙදර ඇන්ටීද දුවගෙන ආවාය.

“තමුසෙලා ඔතන හරස් කළාම අපෙ ගෙදරට වාහන එන්නෙ කෝමද?“

“හරි අපි වාහනේ තියල ගියෙ නැහැනෙ. වාහනයක් ආවනම් අපි ඉස්සරහට අරන් ඉඩ අරන් දෙනවා..“

“ඒව මට වැඩක් නැහැ.. එදා මෙතන එකෙක්ට මම 2500ක දඩයක් ලියෙව්වා..“

“හරි ලියල පෙන්නනවකෝ.. “

“හරි මෙතනම ඉන්නවා.. “ කියමින් අංකල් නම්බර් එක බලාගෙන ඇතුලට ගියේය. ඇන්ටී නම් සද්ද නැතිය. 

අංකල් ඇතුලට ගියේය. කෑම එකත් කා අහවර කර අප සිටියේ පොලිසිය එන තුරුය. පැයක් පමණ එතැනම සිට පිටත් වුයේ සිරි ලංකාවේ පොලිසිය ප්‍රමාද නිසාය. අංකල් අවුරුදු 25ක් අප වැනි උන්ට ලයිසන් දුන්නා යැයි කීවේ ලර්නස් එකකද කියා අපට සිතුනේය. එහෙත් අනිවාර්යයෙන් රජයේ උසස් යැයි සිතා ගන්නා තනතුරක සිටි අයෙක් විය යුතුය. විශ්‍රාම ගොස් නිවසට වී සිටින විට ඒ කාලයේ පවර්ස් මතක් වී මෙවැන් ලෙඩ රෝග වැලදෙන්නේය. ඒවාට කළ යුතු ශාන්ති කර්ම නැතිය. එහෙත් අංකල් ගැන හොදින් දන්නා ඇන්ටී එළියට පැමිණ අපට මුකුත් නොකීවාය. ඇය දන්නා තරමින් අප නිවැරදි විය යුතුය. එහෙත් ඇන්ටී සතුව එක වගකීමක් ඇත්තේය. එනම් දවස පුරාම බණ දහම් පෙන්වන බෞද්ධයා නාලිකාව හෝ පෙන්වා අංකල්ගේ සිත දැහැමින් පිරවීමය. අප නම් බල්ලෙකු, පූසෙකු කන බොන විට පවා, කරදර නොකරන්නේය. ඒ අපට අපායේ යන්නට බැරි නිසාය. එහෙත් උක්ත අංකල් අපායේම යන්නට සැරසෙන්නේය.

බල්ලෝ පූසෝ ගැන කී විට අපට එදාම සැට් වූ බල්ලෙකුගේ ඡායාරූපයක් මෙහි අඩංගු කරන්නේය. ඒ බල්ලා සැලුන් එකකට ගොස් මොඩිෆයි වී තිබුනේය.



Written by sAm_ශ්‍රී_Perera_8:26am_20/09/13
Related Posts Plugin for WordPress, Blogger...