සමාජ ක්‍රමයකට එරෙහිව උඩුගම් බලා පිහිනන පුද්ගලයන් හා ඇලලුනු වීර කතාන්දර කියවා ඇත්තෙමු. කියවා අවසන පොත වසා පැත්තකින් තබා කල්පනා කරන්නේ එවන් වීරයෙකු වන්නටය. එහෙත් මොහොතකින් ඒ සියළු හැගීම් අවසානය. නැවත වැටෙන්නේ පරණ සුපුරුදු ජීවිතයටය. පවතින පාලන ක්‍රමයකට ඇලී එහි බත් බැලයන් වෙමින් ප්‍රමුඛ සුව සැප සොයමින් ජීවත් වන්නෝ කිසිදා ආත්ම තෘප්තියන් නොලබත්. එසේම ලැබෙන සුවයද තාවකාලිකය. අවසන ඉතුරු වන්නේ ‘ඉජු.. ඉජු‘ කියනා කලෙක පස්සෙන් ගොස් ගත් ආතල් පමණක්ය. එය තම කොන්දට මෙන්ම පරම්පරාගත නෑ පිරිවරටද කොන්ද කෙලින් තබා ගැනීමේ උපත් අයිතිය නැති කිරීමක් පමණය. උපතින් කොන්දක් එන්නේ කෙලින් තබා ගන්නට මිසක වකුටු කොට කොන්ද අඟට නැට්ටක් සවිකරගෙන, සිතින් පත් කර ගත් ස්වාමියාට වනන්නට නොවේය.
පවතින ක්‍රමයට විරුද්ධව නැගී සිටින්නට, අසාධරණයන්ට එරෙහිව නැඟී සිටින්නට තරම් ශක්තියක්, බත් බැලයන් දුටු කළ කැළඹෙන රත් වූ ලේ කැටියක් සහිත උපදින්නේ වීරයන්ය. විටක උන් ප්‍රකට නොවන්නෝය. නමුත් අරගලයන්ට නායකත්වය දෙන්නෝය. සාධාරණය වෙනුවෙන්, ඉපදෙන්නට ඉන්න එකා ණය කාරයෙක් නොවන්නට කටුයුතු කොට ඔහේ කැටිවෙන රුධිරයෙන් වැඩක් ගන්නෝය. බත් බැලයන් පැත්තකට වැටී අත ලෙව කමින් පුටු රත් කරමින් එක තැන වැටී ගලා යන ලේ පොඳ කැටි ගැසෙන්නට ඉඩහරිද්දී වීරයෝ තම ලේ පොඳිය රත් කොටගෙන ලෝදිය මෙන් ගලා යන්නට සලස්වන්නෝය. ඒ ගල රත් වූ ලේ දහරින් කරන්නේ පෙරළියක් මිසක කඩේ යාමක් නොවේය.
නඟුට වනමින් පස්සෙන් ගොස් ජීවිතය ගොඩ දා ගත් එකාට කොන්දක් නැතිය. කඩේ යෑම පමණක්ම ඉතුරු වන්නේය. නැත්තං කන බත් පතට කෙළ වන්නේය. එහෙව් එකාට රටක් ජාතියක් ආගමක් වැඩක් නැතිය. කටු උලා කමින් ලඟ දැවටෙමින් සිටින්නෝය. පෙරලියක් නොමැත. අරගල නොමැත. බඩේ දැවිල්ල හැදෙනා විට කට කොනට වැටෙනා දේ සුප්පු කරන්නෝය. වීරයක් පිළිකුල් කරන්නෝය. මහ එකාගේ එක උලා කමින් වැඩෙන්නෝය. විටෙක මහ එකාට වඩා ප්‍රතාපවත්ව වැඩෙන්නෝය. ඒ අස්සේ වීරයා තම දහඩියෙන් මහන්සියෙන් ගොඩ දාගන්නා දේ ඇසුරෙන් හැදී වැඩී අරගල සඳහා ශක්තිමත් වන්නෝය. කොනක සිට, මහා රුධිර වාහිනයේ සිට කේෂ නාලිකාව දක්වා පුපුරමින් බලා සිටින්නේ අසාධාරණය උසුලා ගැනීමට නොහැකිවය. නැතිනම් අනෙක් බත් බැලයන් සේ උලා කන්නට හැකියාවක් නොමැතිව නොවේය. එසේම කඩේ යන්නට නොහැකියාවක් ඇති නිසා නොවේය. හිත් කොනක සිට පුපුරා යන අසාධාරණය අවිනීතිය උසුලා ගැනීමේ අපහසුවක් නිසා මිසක, වීරයෙක් වීමේ පරම අශාවෙන්ද නොවේය.
මර්ධනයට එරෙහිව මංගල වෙඩි මුරය සනිටුහන් වෙද්දී, කැරළි වලින් සාර්ථක ඵලයන් අත් වෙද්දී ජයග්‍රහණයක සේයා ඈතින් දිස් වෙද්දී බත් බැලයෝද සැලෙන්නෝය. ඉරිසියාව උඩු දුවා මහ පාරට වැටේ වී යැයි බියෙන් මහ එකා උස්සාගෙන කැලේ දුවන්නෝය. මහ එකා කැලේ පැන්න විටක කැලේ සිට අරගල කළ වීරයෝ පාරට බසින්නේය. දෙයක් සොයා ගෙන කන්නට බැරි, අතට දෙන දේ කටේ දමා ගත් මහ එකා සේම බත් බැලයාද කැළේ අසරණ වන්නේ පෙර සිටම උපයා ගත් හැකියාවක් නොමැති නිසාය. පොඩි එකාගේ බත් පතට කෙලිමින් සීතල කාමරේ පුටු උඩ කැරකෙමින් කකා බිබී ආතල් ගත් බත් බැලයාගේ සිට මහ එකා දක්වාම කැළේදී අසරණ වන්නෝය. වීරයෝ, කැරළි නායකයෝ, අරගලකරුවෝ, මහ උන් කැළේ පන්නා පොඩි මිනිසාගේ සිට මහ එකා දක්වා එකම මට්ටමක තබමින් ලොවක් දිනන්නෝය.
ඒ දිනය වැඩි ඈතක නොවේය. එදා සිට පුපුරමින් ගලා හැලෙන විප්ලව වාදී රුධිරය අසාධාරණයට එරෙහිව පමණක්ය. මර්ධනයට එරෙහිව පමණක්ය. කොටින්ම පොඩි මිනිසා වෙනුවෙන් පමණක්ය. බත් බැලයන්ගේ මොල පොඩ්ඩන්ට මෙය නොතේරෙන්නේ නැතිය. උන්ට ඇත්තේ කොන්දක් නැති කම මිසක උවමනාවක් නැති කම නොවේය. තම බුරිය උල්වී එන තරමට කන්නට ලැබෙන මස් කට්ටට ගිජුකමේ උඩ බලාගෙන ලොක්කාගේ කිතුල් ඇටය ලොවන්නට ඉගෙන ගත්තා මිසක ජීවත් වන්නට නොදත් නිසා පව් ගෙවන්නෝය.
මෙය අද ඊයේ පටන් ගත් සටනක් නොවේය. අසාධාරණය දුටු තැන සිට පටන් ගත අරගලයක්ය. විටක නිහඬය. විටක වැටීම් පෙරලීම්ද සහිතය. දැන් අරගලයේ උච්ච තැනය. ජයග්‍රහණයේ සංකේත දකින යුගයක්ය. ඇත් සේනා පෙරටු කොට, ගිණි සිළුවේ ආලෝකය පෙරටු කොට, කස, බෙර හඬ මැද්දේ සීනු හඩින් ජයග්‍රහණයේ සංකේත දකින යුගයක්ය. නව ජීවිතයක සැබෑ අරුණළු දකින යුගයක්ය. යුධ පිටියේදී කඩු පහරින් කැපී රතු ලේ කඩු තුඩේ දිලිසෙන්නේ යම් සේද, දිලිසෙන දිදුලන අනාගතයක පෙර නිමිතිය. එවන් අනාගතයකට හුස්ම පොදක් වූ සැමට ස්තූතිය. බත් බැලයන් වූ සැමට නොවක් ස්තූතිය. මන්ද ඔබ බත් බැලයන් වූ නිසාම අපේ රුධිරය උණු වූයේය. ඒ උණු වූ තැන සිටම අප නොනැවතී සටන් කෙරුවෙමු.
Written_by_sAm_ශ්‍රී_Perera_8:50am_30/03/14
පලි - ලිපිය කී බෝඩ් එක මත අකුරු කරද්දී දෙඅත් වෙව්ලන්නට වූ නිසා නැවත කියවා සංශෝධනය නොකරම පළ කරමි.