සෑමට හයියක් වුණ - සෑම් සහ සමාගම..

Thursday, October 29, 2015

සුදුමල් පොකුර කැරකෙන රෝදයට යටවේ...


සිංදු ඇනෝ කියා බ්ලොග්කරුවෙක් සිටින්නේය. මල වදයක් ඇත්තේ උගෙන්මය. පෝස්ට් එකක් දැම්මොත් එතැනට ගැලපෙන සිංදුවක් ඔබන්නේය. අසා ඇති ගීත මෙන්න අසා නැති නාට්‍ය ගීත පවා ගෙනත් කමෙන්ට් කර ගැලපෙන ආතල් එකක් දෙන්නේය. ඒ නිසාම ගීත ගැන යමක් ලිවිය යුතු යැයි සෑමාට සිතුණේය. ගීත කිව්වාම සෑමාට ඇත්තේ භාණ්ඩාගාරයක්ය. ඒ සෑමා හිතං ඉන්න හැටිය. ලොකු සීන්ය. ගම්පහ ගෙට්ටුවේ සෑමා ගොඩ ගියේ ගීතයෙන් ගීතය කරන්නට ගොස්ය. අඩියක් ගැසූ විට භාණ්ඩාගාරය උපරිමයෙන් ඕපන් වෙන නිසා සිංදු හදලා හෝ කිවිය හැකිය. එදා ගීත උපන්නේ අඩිය නිසාය. කුඩා කළ සිටම ගයන්නට බැරි වුවත් ගීත අසන්නට තිබූ ප්‍රියතාවය නිසා ගී පද වැල් සෑහෙන ප්‍රමාණයක් සෑමාට මතකය.



බොහොමයක් ගීත අපට බොක්කට වදින්නේ කොහෙන් හෝ කොනකින් අපේ ජීවිතයට සම්බන්ධ නිසාය. එලෙස සමහර ගීත ලයිෆ් එකේ කොනකට බද්ධ වූ හැටි හා එවන් ගීතවල කික් එක පෝස් එකක් මඟින් සමාජ ගත කළ යුතු යැයි සෑමා සිතීය. ඒ චින්තනය සිත දරාගෙන ගීත එකින් එක මතක් කළ සෑමාට සිතුනේ සියල්ල එක පෝස්ට් එකකට ගැබ් කළ නොහැකි බවය. එනිසා වෙනම කැටගරියකට දමා පෝස්ට් කිහිපයක් ලිවිය යුත්තේ යැයි සිතුණේය. මේ ලියැවෙන්නේ සැමාගේ ලයිෆ් එකේ ටැග් වූ ගීතයන්ය. මොන්ටිසෝරි යද්දී ෂර්ට් එකේ ටැග් වූ හොටු ලේන්සුව මෙන් ලයිෆ් එකේ එදා මෙදාතුර ටැග් වූ ගීත ගැන මෙලෙස ලියැවෙන්නේය.

අද මෙන් එදා හාඩ් ඩිස්ක් නැතිය. සීඩී නැතිය. තිබුණේ කැසට් පීස් පමණක්ය. බොහොමයක් ඔරිජිනල් ඒවා පට්ට ගසා ඒ උඩින් එෆ් එම් නාලිකාවල යන ගීත රෙකෝඩ් කරන්නේ නිවසේදීමය. කැසට් පීස් එකේ උඩ පැත්තේ ඇති ප්ලාස්ටික් කැබැල්ල කැඩූ විට පීස් එකේ කිසිවක් රෙකෝඩ් කළ නොහැකිය. එලෙස කරන්නේ ඔරිජිනල් එකේ ආරක්ෂාවටය. එසේ කැඩුණු ඒවාට කඩදහි කැබලි ඔබා නැවත රෙකෝඩ් කළ හැකි පරිදි සකසා ගත හැකිය. ටේප් කැඩුණු ඒවාද සෙලෝ ටේප් කර නැවත භාවිත කෙරෙන්නේය. ඒවා ඉන්පසු භාවිත කළ යුත්තේ ඉතා පරිස්සමෙන්ය. නැවත කැසට් පීස් එක FF ෆාස්ට් ෆෝවර්ඩ් හෝ RW රිවයින්ඩ් කරද්දී හෝ එතැනින් කැඩී යා හැකිය. එහෙමත් නැවත කෙළ වුණහොත් ටේප් එක එළියට ඇඳ දමා ගලක් එක් කෙලවරක ගැට ගසා ගල් මාට්ටුවක් ලෙස ගසකට පැටලීම සිරිතය. එලෙස පැටලුණු සුළඟට හෙල වෙද්දී දැනෙන්නේ මාර ආතල් එකක්ය.

සෑමාගේ ගෙදර කැසට් පීස් සැට් එකක් තිබුණේය. ඒ අතර අම්මා ගත් ඒ කාලේ ජනප්‍රිය වූ ගීත සහිත කැසට්ද තිබුණේය. සෑමාට හොඳටම මතක ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ “සුදුමල් පොකුරක්“ ගීත සැට් එක තිබූ කැසට් එකය. අතුලගේ සැනසෙන් නැලවෙන්න සුදෝ කැසට් පීස් එකද තිබුණේය. අපි ඒ කාලේ පිංකාට කියන්නේ ඒ සිංදුවය. පිංකා කියන්නේ පුංචීටය. අම්මාගේ නංගීය. අම්මාගේ නංගී අපට පිංකාය. පිංකාට අපෙ අම්මා කිව්වේ “සුදෝ“ කියාය. ඉතිං පිංකාට තද වූ විට “සැනසෙන් නැලවෙන්න සුදෝ...“ කියූ විට තවත් මලය. ඒ කැසට් පීස් අම්මා දිවි හිමියෙන් සුරැකියේය. මන්ද අපි ඊට උඩින් අපේ ආරයේ සිංදු රෙකෝඩ් කරන නිසාය. අපේ ගෙදර කැසට් සැට් එකේ පීස් දෙකක් දැමිය හැකිය. A එකෙන් ප්ලේ කළ හැකි අතර, B එකෙන් ප්ලේ කිරීම හා රෙකෝඩ් කිරීම යන දෙකම කළ හැකිය. එහි වටිනාකම වූයේ කාගේ හෝ කැසට් එකක් සැට් වුණොත් ඉන් කොපියක් ගසා ගැනීමට හැකි වීමය.

අපි කැසට් රේඩියෝ එක දාගෙන ඉන්නා විට අම්මා බලන්නේ B එකේ හෙවත් රෙකෝඩ් කරන පැත්තේ කැසට් එකක් තියෙනවාද කියාය. ප්ලේ කරන්නට එක බට්න් එකක් එබිය යුතු බවත්, රෙකෝඩ් කිරීමට බට්න් දෙකක් එබිය යුතු බවත් ඇය දන්නීය. නඩුව පත්තු වෙන්නේ බට්න් දෙකක් ඔබා ඇති විටකය. ඒ නිසා සෑමා බොහෝ විට පරණ කැසට්වල රෙකෝඩ් කරද්දී පවා බට්න් සැට් එක වැසෙන්නට යමක් තබන්නට උත්සාහ කළේය. නැති නම් වන්නේ බැනුම් කෝටියකට එකක් වැඩියෙන් අසන්නටය. තත්වය මෙසේ තිබියදී දිනක් සෑමා අම්මාට අතේ මාට්ටු වූයේය. ඒ ප්‍රින්ස්ගේ සුදුමල් පොකුරක් කැසට් පීස් එකේ සිංදුවක් රෙකෝඩ් කරමින් තිබියදීය.

රේඩියෝවේ එෆ්.එම් එකක වාදනය වුණේ අපූරු ගීතයක්ය. ගීතය තවත් දුර යන්නට නොදී රෙකෝඩ් කර ගත යුතුය. ඒ සඳහා කැසට් පීස් සෙවීමට කාලයක් නොතිබුණේය. සෑමා කලබල වී රෙකෝඩ් කරන කොටස ඇතුලේ තිබූ කැසට් පීස් එක උඩින්ම සිංදුව රෙකෝඩ් වෙන්නට දැම්මේය. රෙකෝඩ් වෙන අතරතුර බැලූ කළ ඇතුලේ තිබුණේ සුදු මල් පොකුරක්ය. පීස් එකේ මුලන්ම යන්නේද ඒ ගීතයමය. පිය ගුණ ගීයක්ය. අම්මාට මාට්ටු වුණොත් බඩුය. එහෙත් සිංදුවට දැනටමත් කෙළවී ඇති බව ෂුවර් නිසා සෑමා හිත හදා ගත්තේ දැන් රෙකෝඩ් වෙන ගීතය අවසන් වූ පසු කැසට් පීස් එක පැත්තකින් තබා මාරු වෙමි කියාය. සිංදුව අහවර වෙන්නට මොහොතක් තිබියදී අම්මා බට්න් දෙකක් ඔබා තිබෙනු දැක සෑමාට කෑගැසුවේය.

“මොකද මොකද මේ බට්න් දෙකම ඔබලා..“ කියද්දීම සිංදුව අහවර විය. සෑමා ක්ෂණිකව රෙකෝඩින් නැවැත්තුවේය. දැන් වැඩේ ලෙසටම සැට් වී ඇත. අම්මා පෙරැත්ත කළේ දැන් ප්ලේ කරලා පෙන්නපං කියාය. නැවත මුල් තැනට ගැනීමට පීස් එක රිවයින්ඩ් කළ සෑමා හිත හදාගෙන ප්ලේ බට්න් එක එබුවේය. මියුසික් එක අපුරුය. ගීතය පටන් ගත්තේය.

කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉඳගෙන මම ඉන්නේ
පදික වේදිකා පසු කර යන්නට
තල්ලු කරන් පුතුනේ

කැඩුණු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු කරන් පුතුනේ

කිරි කැටි දෙ අතේ සවි බල දියවේ
පමා වුණොත් අප මහ මග තනි වේ
අම්මා මග ඇති නෙත් හරවා ගෙන
තල්ලු කරන් පුතුනේ

ගීතය එඩ්වඩ්ගේය. අම්මා සද්ද නැත. ප්‍රින්ස් ගේ සුදුමල් පොකුරට කෙළ වූ බව අමතකය. රෙකෝඩ් වූ ගීතයද අවුලක් නැතිය. අම්මාට මතු වූයේ එකම ගැටළුවක්ය. 

“අයියෝ අන්තිමට මම කෑගහපු ටිකත් රෙකෝඩ් වෙලානේ.. ඒකත් නැත්තම් නියමෙට තියෙනවා“

Written_by_sAm_ශ්‍රී_Perera_7:06pm_29/10/15

Monday, October 26, 2015

අම්මා මොනවාද අපිට කළේ ?? - “පෝයට එකක්“


http://www.pinsiri.com/wp-content/uploads/2012/11/Amma1.jpg


“අම්මා මොනවාද අපිට කළේ ??“

අවසන අසන්නේ එපමණය. කුසට ආ දා සිට දහදුක් විඳ තැනකට එන්නට මඟ පාදන්නේ ඈය. ඉන්පසු ඇය වෙනුවෙන් වෙලාවක් නැති පුත්‍රයෝ, දියණියෝ, ඇය තමන් වෙත දැක්වූ අවධානය නොදක්වන්නෝය. ලෙඩකට දුකකට බෙහෙත් ගැන්මට යාම මොහොතකින් හෝ පමා කරන්නෝය. ඒ තමන්ගේ කාර්යය බහුලත්වය නිසා බව කියන්නෝය. තමන් කුඩු කළ ලෙඩකවූ විටක ඇය තමන්ව රැගෙන ගියේ එම මොහොතේමය. ඇය එකී කාර්යය කල් නොදැමුවාය. 

“අම්මා මොනවාද අපිට කළේ ??“

ඇය ඔබට උගන්වන්නීය. ඇය ඔබේ සහෝදරයන්ට, සහෝදරියන්ට උගන්වන්නීය. එක ලෙසම සියලු දෙනා ඉල්ලනා දේ ලබා දෙන්නීය. ඒ ඔවුන් ඔවුන්ගේ ඉගෙනීමේ අවශ්‍යතාවයන් මතය. අවශ්‍යතාවයන් විවිධ වුවද ඒ සියල්ල එක ලෙස ඉටු කරන්නීය. ඉන් අයෙක් අධ්‍යාපන මට්ටමින් පරතෙරටම යා හැකිය. අයෙක් අතර මැද ඇන ගන්නට පුලුවන්ය. පසුව විවිධ වෘත්තීය මට්ටම් වලට වැටෙන්නෝය. අදායම් මට්ටම් විවිධ වන්නෝය. ඉන් ඉක්බිති සමාන අයිතිවාසිකම් ඇතිව, අවශ්‍යතාවයන් සමානව සැපුරුණු බව අමතක කළ ඇත්තෝ ප්‍රශ්න කරන්නෝය.

“අම්මා මොනවාද අපිට කළේ ??“

ඔවුන් වැඩිවියට පත්ව විවාවන්නෝය. දරු මල්ලන් හදන්නෝය. ගෙවල් දොරවල් හදන්නෝය. විටෙක ඉඩම් කඩම් මිලට ගන්නෝය. ඉන්නට ඉඩමක් නොලද්දෝ ප්‍රශ්ණ කරන්නෝය. ගෙවල් නොලද්දෝ, හැදූ නිවසට අම්මාගෙන් උපකාර නොලද්දෝ ප්‍රශ්ණ කරන්නෝය, දරුමල්ලන් බලන්නට උදව් නැත්තෝ ප්‍රශ්ණ කරන්නෝය, උක්ත සියල්ල නොපිරිහෙලා ඉටු කළද ප්‍රශ්න කරන්නෝය.

“අම්මා මොනවාද අපිට කළේ ??“

විටක ඔහු ලබන්නේ හොඳ බිරිදක්ය. විටක ඔහු ලබන්නේ නපුරු බිරිදක්ය. විටක ඇය ලබන්නේ හොඳ සැමියෙක්ය. විටක ඇය ලබන්නේ නපුරු සැමියෙක්ය. තමන්ගේ බිරිඳ ඇගේම අම්මාට සලකන්නේ නම් ප්‍රශ්න අඩුය. තමන්ගේ ස්වාමියා ඔහුගේම අම්මාට සලකන්නේ නම් ප්‍රශ්න අඩුය. ඔවුනොවුන් මාතෘ, පිතෘ උපස්ථානයේ වටිනාකම දන්නෝය. ඔවුන්ගේ එම කර්තව්‍යයට බාධා නොකරන්නේ නම්, ඇය හෝ ඔහු හෝ ඔබේ දෙමව්පියන්ට සලකන්නේද දෙවරක් නොසිතීමෙන්ය. කොටින්ම කිවහොත් ඇය ඇගේ අම්මාට සලකන්නේ නම්, ඇය අනලස්ව ඔබේ මවට එනම් ඇගේ නැන්දම්මාට සලකන්නීය. ඔහු ඔහුගේ අම්මාට සලකන්නේ නම්, ඔහු අනලස්ව ඔබේ මවට එනම් ඔහුගේ නැන්දම්මාට සලකන්නීය. තම සහකරුට, තම සහකාරියට තමන්ගේ අම්මාගේ වටිනාකම නොහැඟේ නම් ප්‍රශ්න කරන්නේද මෙලෙසමය.

“අම්මා මොනවාද අපිට කළේ ??“

ඔවුන් දරුවන් ලබන්නෝය. ඔබේ දරුවන්ට මෙන්ම සොහායුරු, සොයුරියන්ගේද දරු මල්ලන්ද ඇය හදා වඩා ගන්නීය. එක ලෙසම ආදරය දක්වන්නීය. මුලින්ම උපන් පුංචි එකාගේ සිට අලුත උපන් පුංචි එකා දක්වාම ආච්චී දක්වන්නේ එකම ආදරයක්ය. මුලින් උපන් පුංචි එකාට කළ හරිය, අන්තිම එකාට කරද්දී බෙහෝ අයට අමතක විය හැකිය. අපිට නොකළ තරම උන්ට කරනවා යැයි හැගෙන්නේය. නැවතත් ප්‍රශ්න කරන්නේය. එහෙත් ඇය නිහඬය. ඇයි පිළිවදන් නොදෙන්නේ ඇය කළ තරම ඇය මෙන්ම සමාජයද දන්නා නිසාය. එහෙත් ප්‍රශ්නය නොනැවතී නැගෙන්නේය.

“අම්මා මොනවාද අපිට කළේ ??“

පිම්මේ දුවන ඇය එක වර නවතින්නීය. උණුසුම් වූ ලය විටක සිසිල් වන්නේය. හතිලමින් නොනැවතී දිවූයේ එකෙකු නිසා නොව හැම දෙනාම නිසා බව පසක් වන්නේය. එදා දුටුවේ උන්ට කළ හරිය මිස තමන්ට කළ හරිය නොවේය. තමන්ට කළ බව දැනෙන්නේද එදාටය. එහෙත් ප්‍රමාදය. කළ යුතුව තිබුණේ තමන් ලද හරිය සිහිපත් කර ඇයට තුති පිදීමය. එහෙත් ඇයට ඒ සතුට ජීවමානව ලබා නොදුනේ ඔබය. නැතිනම් අම්මා පුතා, අම්මා දුව, අතර බාධකයක් වූ ඔබේ සහකරු හෝ සහකාරියය. නැතිනම් කිසියම් හෝ සාධකයක්ය. උණුසුම් වූ ඇය ලඟ තුති පුදන්නට නොහැකිව, වචන අහිමිව, සුසුම් හිරවී හැඬුවාට පලක් නැතිය. හුස්මක් නැති ඇය ලඟ වකුටු වී තමා වෙනුවෙන් කළ කී දෑ ගණන් කළාට වැඩක් නැතිය. ඇය කළ හරිය ඇයට මතක් කර තුති පුදන්නට ඔබ ප්‍රමාද වැඩිය. එහෙත් ඔබ ඇය වෙනුවෙන් නොකළ ගුණ වැයීමේ ලැජ්ජාව වසා ගත යුතුය. නැවතත් ඇසිය යුත්තේ..

“අම්මා මොනවාද අපිට කළේ ??“


Written_by_sAm_ශ්‍රී_Perera_11.07pm_26/10/15

Thursday, October 22, 2015

මගේ පද සැරයි... - My Thoughts, So Hot !!!


තල දිගේ නලල්
ඇඳි ඇඳී තෙපුල්
පියන් ඇස් තදින්
සිඹිමි මං හොරෙන්

තෙපුල් මත වෙලී
උරහිසේ ගැටී
පපුතුරේ ඇඳී
කලබලෙන් විදී

ලැම මතින් මිදී
උදරයේ හිදී
නාභියේ තුඩේ
පොපියමින් ලගී

සිහින් ඉන කෙලවරේ
දෙපා යුග අතරෙහී
රස ගඟුල් ඇහිරුණේ
සිහින් තොල් මැතිරුණේ

අසනි වැසි ඇඳ වැටී
අහස් කුස ගිගුරුවේ
මුළු රැයම තෙත් වුණේ
මල් යහන බීරිමේ..

Monday, October 19, 2015

ක්ලබ් කතාවක්... - A Club Story !!!


අද කාලේ ක්ලබ් එකක් කිව්වාම මතක් වෙන්නේ හොඳට බොන ඒවාය. නටන ඒවාය. ආතල් ගන්නා ඒවාය. කොටින්ම කිව්වොත් නයිට් ක්ලබ්ය. වැඩි මුදලට බියර් බොන්න ඒවාය. වැඩි මුදලට අඩියක් ගසන ඒවාය. සැපක් ගන්නට ගොස් වැඩි මුදලකට කෙලවා ගන්නා ඒවාය. ඩාන්ස් කරන්නට ගොස් පදම වැඩි වී කකුල් හතරෙන් එන ඒවාය. මොක කිව්වත් අතේ සල්ලි වැඩි නම් ජනතාවට ආතල් ඒවාය.

ඒ කෙසේ වෙතත් ඉස්සර නම් ක්ලබ් කිව්වොත් ඇත්තටම සැපය. මුලින්ම සිහිවන්නේ ස්පෝරට් ක්ලබ්ය. බැට්, බෝල අනිවාර්යෙන් තිබෙන එවන් ක්ලබ් එකල්හි තරුණ ජනතාවගේ සෙට් වෙන තැනය. කැරම් බෝඩ් ද අනිවාර්යය අංගයක්ය. ක්‍රිකට් ගසන්නට සැට් වී හදිසි වැස්සක් වැටුනොත් ඉන්ඩෝ(ර්) හෙවත් ගෘහස්ථ ක්‍රීඩාවක් ලෙස කළේ කැරම් ගසන එකය. එතැනින්න එහාට කාඩ් පැක් එකද එවන් ස්පෝර්ට් ක්ලබ් වල නැතිවා නොවේය. ජාත්‍යන්තර ක්‍රීඩාව ඕමිය. ඕමි බැරි උන් දිග ඇර ගන්නේ කැරම් බෝඩ් එකය. ෂොට් නොදන්නවා වුවද ඩිස්ක් එකෙන් ගසා අනුන්ගේ ඉත්තෙක් හෝ වලට දැමීමට හැකි උන් සිටීම කැරම් බෝඩ් එකෙහි ජීව ගුණය රඳවා ගැනීමට හැකි වූ එක් කරුණක්ය. උක්ත ක්‍රීඩා සියල්ල හැරුණු කොට ඉදහිට හෝ අඩියක් පුඩියක් ගැසීමද ක්‍රීඩා සමාජයේ, ස්පෝ(ර්)ට් ක්ලබ් එකේ අනිවාර්යය අංගයක්ය.

http://pachagune.blogspot.com/2011/06/blog-post_29.html

සෑමාගේ ගමේ පැරණිම ස්පෝර්ට් ක්ලබ් එක ගාමිණී ක්‍රීඩා සමාජය විය යුතුය. පරම්පරා ගණනක් අතින් අත මාරු වූ එම ක්‍රීඩා සමාජය තවමත් තිබෙනා බව සිහිවන්නේ වෙසක් කාලයටය. ඒ ඔවුන් සැට් වී දෙන දන්සැල නිසාය. ගාමිණී ක්‍රීඩා සමාජයට නම ලැබුණු හැටි සෑමා නොදන්නේය. එහෙත් ක්‍රීඩා සමාජය එකල්හි බොහෝ දුරට සක්‍රියව තිබූ බව සෑමා දන්නේය. ඊට හේතුව සෑමාගේ පියා හෙවත් කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතා එහි විවිධ තරඟවලට සහභාගිවී ලද කුසලාන තවමත් නිවසේ ඇති නිසාය. එදා ක්‍රීඩා සමාජවල ක්‍රිකට් වලට වඩා තැනක් තිබුනේ එල්ලේ වලට බව සහතිකය. එසේම දුවන, පනින, පිහිනන තරඟ පවා සරුවට තිබී ඇත්තේය. කෑලි පස්සේ පන්නන උන්, සරුංගල් පස්සේ දුව උන් නිසා මැරතන් වලට නිසි පුහුණුවක් ලැබී ඇත්තේය. වැටවල්, කඩුලු, හොර පොල් කැඩිලි, කොටු පැනිලි වගේ ඒවා සරුවට තිබී ඇති නිසා පනින උන්ද, කෑලි නානවා බලන්න යන උන් ඇලේ, දොලේ, ගඟේ කෙල්ලන්ට පේන්න වැඩ දාන නිසා පිහිනීමද ප්‍රගුණ කර ඇත්තා සේය.

තත්වය එසේය. සෑමාට මෑත අතීතයේ මතක මහප්පලෑ නිවසේ තිබූ ක්ලබ් එකය. තිබුණේ ක්‍රීඩා දෙකක්ය. එකක් කැරම්ය. අනෙක ඕමිය. බෝඩ් එක ලැබී තිබුණේ සෑමාගේ අයියා ක්‍රීඩා සමාජයකට එකතු කළ බඩු නිසාය. ඊටත් කලින් පරම්පරාගත කැරම් බෝඩ් එකක් තිබුණේය. චැම්පියන් එකක් නෙවේය. ඒත් පරම්පරා ගාණක් ගැසූ පාරවල් නිසා බෝඩ් එක පට්ට පොලිෂ්ය. වල ලගින් තිබූ සැනින් ඇතුලට යන්නේ සුරුස් ගාලාය. වල වටේ පිත්තල ෆ්‍රේම් එකක්ය. වලවල් නම් ඉරී තිබුණ නිසා පරණ මේස් කුට්ටම් අල්ලා තිබුණේය. කැරම් ගසන්නට හතරක් ඉඳගෙන සිටියදී ඕමි ගසන්නටද හතරක් සිටින්නෝය. ඒ තරමට ක්ලබ් එක නැගලා ගියේය. තේ වතුර, බිස්කට්, අරවා මේවා සියල්ල ලොකු අම්මා ගෙන්ය. ක්‍රීඩා කරන අට දෙනා හැරෙන්නට තවත් සැට් එකක් පරාද වෙන උන් නැගිටන තුරු වටේට වී සිටින්නෝය. ඒ තරමට ජනතාවක් ක්ලබ් එකේ සිටියෝය. පට්ට ආතල්ය. මැච් එකක් තිබුණත් බලන්නට සැට් වෙන්නේ එහේය. සරලව කියන්නට ඇත්තේ අන්න ආතල් කියා පමණක්ය. ඒ ආතල් දැන් නැති පොඩි උන් පව්ය. ඒ ආතල් ආයෙත් නොඑන අපි ඊටත් වඩා පව්ය.

සෑමාට ක්ලබ් ගැන මතක් වූයේ සමීපතම මිතුරෙක් නිසාය. උන්ට නම් ආතල්ය. ඒ උන්ට තාමත් ක්ලබ් එකක් තියෙන නිසාය. හවසට, සති අන්තයට කස්ටිය සැට් වී කැරමක් ඕමියක් ගසන නිසාය. ක්‍රිකට් ගසන නිසාය. දිනක් මිතුරාගේ නිවසට යන අතරමග කොල්ලෝ සැට් එකක්ය. ඉඩමක් මැද, පාළු තනි ගෙයක්ය. ඒ වටේ කොල්ලෝ සැට් එකක්ය. මා සිටියේ උගෙ වාහනයේය. මග නවතා උන්ට සැලයුට් දමා හවස එන්නම් කියාගෙන ගිය අපේ එකා හඬ අවදි කළේය. “ඒ අපේ ක්ලබ් එක බං“ එතැන් සිට ක්ලබ් කතාය. ආතල් ඒවාය. ආතල්ම එක කීවේ එදා නොවේය. පසු දවසකය. මෙතැන් සිට සෑමාගේ මිත්‍රයා සුජීය. මෑතක සිට උගෙ කාඩ් එක සුජී වූයේද අර “සුජී“ ෆෝන් කෝල් එක නිසාමය.

සුජියා දිනක් ක්ලබ් එකේ තවත් එකෙක් සමඟ අඩියක් ගසන්නට ගොස් ඇත්තේය. පොඩි අඩි නොතබන සුජියා සුපුරුදු පරිදි තඩි අඩියක් ගසා අඩි පොලේ ගසමින් පැමිණ ඇත්තේය. සුජියා පොඩියට අඩියක් ගසන්නට සෑමා සමඟ තවත් 4 දෙනෙක් සමඟ ගිය විදිහ සෑමාට තවමත් මතකය. එදාද බියර් පොඩි අඩි ගසා බිල ආවේ මහ ගාණක්ය. අහවල් දෙක උකස් නොකොට බේරිලා ආවේ එතැන සිටි නොබොන එකාද සම්මාදම් කරගෙනය. කෙසේ හෝ සුජියා මිත්‍රයා සමඟ ගෙදර එමින් සිටියදී සුපුරුදු පරිදි ක්ලබ් එකේ සෙනඟය. ජනතාවට ආචාර දක්වා සුජියා ක්ලබ් එකේ ජනතාවගෙන් ඇසුවේ “මොකෝ වෙන්නේ“ කියාය. උන් නොකියා කීවේ බූරු ගසනවා කියාය. සුපුරුදු පරිදි සුජියා “හරි මචං එන්නම්“ කියාගෙන පිටත් වී ඇත්තේ මිතුරාද සමඟය.

සුජීගේ නිවස වටේම පාරය. එක පැත්තකින් ඇතුල්ව අනිත් පැත්තෙන් යා හැකිය. තරමක වටයක් ගැසිය යුතු වුවත් වාහනය හරවන්නේ නැතිව වටෙන් යන්නට ලැබීම සහනයක්ය. සුජියා තම මිතුරා සමඟ ක්ලබ් එකේ උන්ට දොස් කියන්නට වූයේය. 

“බලපං මෙහෙම චාටර් වෙනවද බං, ගමේ උන් දැන ගත්තොත් ක්ලබ් එක වහන්න වෙන්න.“

“සිරාවට, මුන්ට තේරෙන් නැද්ද, ඕව අපිට ගැලපෙන වැඩ නෙවේ යකෝ“ සුජීගේ මිතුරාද පොහොර දමන්නට විය.

“කාඩ් පැක් එකක් තියන් ඕමි ගැහුවට කමක් නෑ බං. සල්ලිවලට බූරු ගහන එක ..? අපි ගමේ පිළිවෙලකට ඉන්න කොල්ලෝ. ක්ලබ් එකේ උන් කියලත් එහෙමට චාටර් උන් නැහැනේ බං. ඕවට ගියාම අපිටත් කෙලවෙනවා.

“ඒක ඇත්ත බං. මාව ඔතනින් දාපං. මම ගෙදරට පයින් යන්නම්.“

“එල කිරි.. මාත් මෙහෙම්ම ගිහින් නිදා ගන්නවා බං..“

එදිනම නැවත යලි හමු නොවනට වෙන්වූ දෙදෙනා සමුගත්තෝය. මිතුරා මඟ අතැරියා සුජියාට නිවසට යනවාට වඩා ක්ලබ් එක පැත්තට යන්නට සිතුනේ බූරුවා ගසා කීයක් හෝ එකතු කර ගැනීමටය. මිතුරා මගින් බැස්ස නිසා නැවත ඒ පාරේම යෑම ඉල්ලං කෑමක් නිසා සුජියා කළේ වට රවුමෙන් නැවත ක්ලබ් එකට සැපත් වීමය. ක්ලබ් එකේ ෆුල් හැපනින්ය. සැට් එකම වටවී බූරු ගසන්නෝය. අඩියක් පුඩියක් ගසා සිටි සුජියාට ක්ලබ් එකේ උන් පට්ට වෙල් කම් චියර් එකක් දුන්නෝය. එහෙත් ඒ අස්සේ සිටි එකෙක් සද්ද නැතිව බිම බලා සිටියේය. සුජියාටද ඔහු දෙස බැලුවේය. ඔහුද හිස ඔසවා සුජියා දෙස බැලුවේය. දෙදෙනාගේ ඇස් යා වී විනාඩි කිහිපයකට පෙර දෙබස් යලි සිහි වූයේය.

තමා මඟ හලා ගිය සූදුවට අකැමැති මිත්‍රයා තමාටත් පෙර ක්ලබ් එකට ඇවිත්ය.

ගෙදර ගොස් නිදා ගන්නවා යැයි කියූ සුජියා මිත්‍රයාට පසුව ක්ලබ් එකට ඇවිත්ය.

සුජියා රැගෙන ආවාට වඩා මුදලක් කුදලාගෙන ගියේත්, සුජියාගේ මිතුරා තුන් හතර ගුණයක මුදලක් කුදලාගෙන ගියේත් ඔවුන් සූදුව කෙරෙහි ඇති අපරිමාණ අකැමැත්ත නිසා සහ ඒ කෙරෙහි ඇති නොදැනුවත් කම නිසා බව කිව යුතුමය.

Written_by_sAm_ශ්‍රී_Perera_11:35pm_19/10/15

Sunday, October 18, 2015

බ්ලොගට වෙච්ච දේ... - What Happened to the Blog !!


අද නම් ලියනවමයි බ්ලොගක්.

මොනවද ලියන්නෙ තියෙන්නේ ?

අරූගෙ බූරුව ගහන්න ගිය කතාව,

අහ් ඒක මරු...

විලි ලැජ්ජ නැතුව ලියන්න පුලුවන්ද ආයෙත්..?

ඇයි බැරි ?? 

කතා සැට් එකක්ම තියෙනව නේ...

මතක් කර කර පෝලිමට ලියල දානවා. 

ඉස්සර නම් සතියට කතා තුනයි. සොරොව්ව කැඩුණොත් කතා ඊටත් වැඩිය.

කමක් නෑ සතියට එකක් වත් දානවා...

ඉරිද නේ.. උදේම එකක් ලියල දාන්නෝනි..

ඔව්.. බූරුව ගහපු කේස් එකෙන්ම පටන් ගන්නවා..

එලකිරි...

ගූගල් එකට sign in වෙලාම ඉන්න හින්ද අවුලක් නැහැ. නැත්තං බ්ලොගට වෙන පාස් වර්ඩ් තිබ්බ නම් ඒකත් මතක නැහැ.

ඔව් අලුත් පෝස්ට් එකක්..

සිලෙක්ට් කරලා ලියන්න ගත්තා වචන පනහක් විතර..

“බබා...“

ඇහුනෙ නැහැ වගෙ ඉන්නෝනි. නැත්තං ලියන්න වෙන්නෑ...

“ඇහුනදෝ....“

දැන් නම් කතා කරන්නම වෙයි.. ලඟට ආවොත් කෝමත් ඉවරයක් නැහැ...

“ඇයි ??“

“පාන් රාත්තලක් ගේනවද?“

විනාසයි. ඇහුන්නෑ වගෙ ඉන්න බෑනේ...

මුකුත් නොකියා නැගිට්ටා, පර්ස් එක හෙව්වා ඒකත් මිසින්..

මේසෙ උඩ සල්ලි. අතට අරන් ගියා...

“ම්හ්.. මෙන්න...“

මේසෙ උඩ පාන් රාත්තල. පැත්තක ලැප...

“ලියන්නෝනි බ්ලොගට වෙච්ච දේ... “



Written by sAm_ශ්‍රී_Perera_7:32am_18/10/15
Related Posts Plugin for WordPress, Blogger...