සෑමට හයියක් වුණ - සෑම් සහ සමාගම..

Saturday, May 9, 2015

නියම වේලාව... - සෑම්ගේ වෙසක් කලාපය !!


ඔබ නියම වේලාව, සුභ මොහොත සහ නැකත ගැන විශ්වාස කරන්නෙක්ද? එසේ නම් කියවිය යුතුය.

සෑමාගේ නිවස ඉදිරියේ ඇත්තේ මැයි ගසක්ය. ගස නම් මැයි වූවාට මැයි මල් ගසක් වූයේ මෑතකදීය. එනම් අප්‍රේල් මාසයේ සිටය. ගස උස් මහත් වූ දා සිට කිසිම මලක් හට නොගත්තේය. මලක් තියා පොහොට්ටුවක් වත් නොතිබුණ බව සැබෑය. තත්වය එසේ තිබියදී ගිය මාසයේ මල් හට ගත්තේය. එයද අසාමාන්‍ය ලෙසකින්ය. ගස පිරෙන්නට අතු පිරෙන්නට මැයි මල්ය. අපූරුය. දකිනා සියළු දෙනා කීවේ එය සුභ ලකුණක් බවය. ඩ්‍රැකියාට පිදූ මල් ගහේ මල් ආ දවසේද හැම එකාම කීවේ එලෙසය. නමුත් මේ මැයි ගහේ මල් හට ගැනීම විශේෂ කොට සෑමාගේ අම්මා දැක්වූයේ ලැබෙන්නට සිටිනා දරුවා පිළිබදව සුභ ලකුණක් බවය. පෙර නිමිත්ත සුභ නිසා බැහැර නොකොට සිතේ තබා ගැනීම හොඳය. පෙර නිමිත්තක් නුගුණ මට්ටමේ නම් එවැනි පෙර නිමිති බැහැර කිරීම හොඳය. ඊටත් වඩා පෙර නිමිති ගැන විශේෂ අවධානයක් නොදැක්වීම හොඳය. සිතට සතුටුය. මධ්‍යස්ථය.

කුඹලාගේ කතාව එන්නේ ඊලඟටය. තඩි කුඹලෙක් සෑමාගේ නිවස ආක්‍රමණය කළේය. උළුවහු අස්සේ ගෙවල් සැදුවේය. දොර ජනෙල් අස්සේද ගෙවල් සැදුවේය. ඉන් නොනැවතී සාලය මැද ඇති වීදුරු ස්ටූල් එකේද ගෙවල් සැදුවේය. “බබාලා හම්බෙන්න ඉද්දී එහෙමයි“ හැමෝම කීවෝය. සෑමා ඒ කතාව අසා සිට දිනක් තම මිතුරෙකුගේ නිවසට ගියේය. අම්මද බොල සාලයේ කොනක තඩි කුඹල් ගෙයක්ය. මිත්‍රයාට සොයුරියන්ද නැතිය. ගෙදර සිටින්නේ මිතුරා සහ දෙමාපියන් පමණක්ය. එය දුටු විටම සෑමා ඇහුවේ කෝ බං උඹලෑ අම්මා කියාය. ඌ ගත් කටටම කිව්වේ අම්මා මචං හොස්පිට්ල් ඇඩ්මිට් කරලා කියලාය. මඟුලක්ය. මිත්‍රයාට වයස විසි අටකට කිට්ටු වෙද්දී මල්ලියෙක් නංගියෙක් ගෙදරට එන්න හදනවා විය හැකිය. කරන්නට දෙයක් නැතිය. අවශ්‍යතාවය ඇති තැන ක්‍රියාත්මක වී ඇති ගතියක් පෙනෙන්නේය. බැරිම තැන සෑමා තම මුව විවර කළේය. “මචං කාසල්ද? සොයිසාද? “ ඇස් උඩ ගිය මිත්‍රයා සෑමාට ජාතිය ඇමතුවේය. “බොට පිස්සද යකෝ.. අම්මට ප්‍රෙෂර් වැඩි වෙලා ඇඩ්මිට් කළේ..“ එහෙනම් කුඹලා වැරැද්දක් කරලාය. අපේ ගෙදර කුඹල් ගෙවල් කඩන්නට නොදී තබා ගත යුතුය. අහවල් එකක් නිසා නොව උන් පව් නිසාය. ටික දිනකින් උන් ගෙවල් හැර ගියාම කඩන එක වෙනම වැඩක්ය. අම්මා නම් කිව්වේ කුඹල් ගෙවල් සුදු පාටට පේන්ට් කළොත් කොල්ලෙක්, වෙන පාටක් ගෑවොත් කෙල්ලෙක් හම්බෙනවා කියාය. හැබැයි කිව්වත් වගේ එක කුඹල් ගෙදරක් සුදුපාට ගාලා තිබුණේය. හම්බුනේ කොල්ලෙක්ය. කුඹලාගේ ගෙදරින්ද සුභ අසුභ සහ අනාවැකි කිව හැකි බව වැටහුණේ එදාය.

සෑමාගේ වත්තේ ගසක මී වදයක් තිබුණේය. එය අලුතෙන් හදපු එකක්ය. එය දුටු බොහෝ අය කිව්වේ එය සුභ ලකුණක් කියාය. එසේම කිසිම කරදරයක් නොකොට තබා ගත යුතු යැයි කීවෝය. දින කිහිපයකින් මී වදය මිසින්ය. මී වදය තියා මී මැස්සෙක්වත් එතැන නොසිටියේය. අහෝ අසුභ විය හැකිය. තිබ්බා නම් සුභ නම් නැති නම් අසුභ නොවන්නේද? සෑමා හැමෝගෙන්ම ඇසුවේය. අම්මාගෙන් කුණු හබ්බ නොඇසූ ටික පමණක්ය. අනෙක් සියළු වදන් අසා ගත්තේය. මී වදය අමතකව ගියේය. බබා හම්බුණේය. ගෙදරට විත් පහුවදා බලන විට ඒ ගහේ ඒ අත්තේම මී වදයක්ය. කලින් සැට් එකමද නොදන්නේය. ඒත් මී වදයක්ය. අම්මාගේ හිත හදන්නට සෑමා එය පෙන්නුවේය. සුභ අසුභ කතන්දර සෑමාට වැඩක් නැත්තේය. අම්මාගේ හිත හදන්නට පෙන්නුවේය. දැන් සතුටින්ය. බබා ගෙදර ආවාට වැඩිය මී වදය රීප්ලේස් වී ඇති නිසාය. අනාවැකි, පලාඵල වලින් ලැබෙන ආතල් එක එයය. නරක දේවල් නම් අමතක කොට, හොඳ දේවල් නම් පොසිටිව් වී සිටීම තරම් දෙයක් ලොවෙත් නැත්තේය. 

හොස්පිට්ල් එකෙන් නික්ම ගෙදර එන්නට හදන මොහොතේ සිස්ටර් කෙනෙක් සෑමාගෙන් ඇසුවේ දැන් බබාට නමක් දැම්මාද කියාය. මල් මඟුලක්ය. වෙලාව බැලිය යුතුය. අකුරු තේරිය යුතුය. කාටවත් නැති නමක් ගැලපිය යුතුය. සම්ප්‍රදාය එයය. නැත්තම් නඩුවක්ය. “ඩිස්චාර්ජ් කරද්දිත් නම් දාගෙන ගෙදර යන අය ඉන්නවද?“ සෑමා සිස්ටර් ඇමතුවේය. “මොකද නැත්තේ ??“ සිස්ටර් පිළිවදන් දුන්නාය. කස්ටිය හොස්පිට්ල් එන්නේ වෙලාවටය. හම්බෙන වෙලාවද දන්නෝය. සීසර් කරන්නට බඩ කපන්නේ සුභ පැත්ත බලාගෙනය. එළියට ගන්නේ නැකතටය. දරුවාගේ වෙලාව කේන්දරය හැදෙන්නේ සුභ විදියටය. සුභ අකුරුද දන්නෝය. එවිට නම හදාගෙනම ඇඩ්මිට් විය හැකිය. සැප නම් කනේය. හොස්පිට්ල් සීසර් පැකේජය සමඟ නම් නොමිලේ දුන්නා නම් වටින්නේය. ඩොක්ටර් සෑමාගෙන් ඇසුවේ සීසර්ද ? නෝමල්ද? කියාය. “අනේ ඩොක්ටර් සූර පප්පා කාටුන් එකේ සීසර් චාටර් වෙන හැටි දැක්කම බබාව සීසර් කරල ගන්න හිතෙන්නෑ, අපි හම්බෙන වෙලාවට නෝමල් ගමු..“ සෑමා කීවේ එපමණක්ය. ඩොකටර් අංකල් සෑමාට ධම්ම පදයේ ගාථාවක් සහිත කාඩ්පතක් අතට දුන්නේය. “සීසර් කරනවා නම් මටත් ලාබයි. ලේසියි. අනික චාර්ජස් වැඩියි. ඒත් මමත් කැමති නෝමල් ගන්නවාට.“ ඩොක්ටර් කීවේය. ඩොක්ටර් දුන් කාඩ්පතේ තිබුනේ මේ ගාථාවය.

නක්‌ඛත්‌තං පටිමානෙන්‌තං, අත්‌ථො බාලං උපච්‌චගා;
අත්‌ථො අත්‌ථස්‌ස නක්‌ඛත්‌තං, කිං කරිස්‌සන්‌ති තාරකාති.


නැකැත් බලා උපරිමයෙන් කෙළවාගත් නායකයන් සිටින්නෝය. අපද කෙලවා ගත යුතු නැත්තේය. කිසිවක් කරන්නට නියම වේලාව එම මොහොත යැයි බුද්ධ දේශනාවය. එහෙත් සම්ප්‍රදායට අනුව අපේ උන් හිත හදාගන්නේ වැඩක් කරන්නට නැකැත් බැලීමෙන්ය. කතාව ඇත්තය. අප මෙන්ම ජෝතිෂ්‍යකරුවෝද කීයක් හෝ හොයා ගත යුතුය. ජීවත් විය යුත්තේය. සෑමා කියන්නේ යමක් කරන්නට නැකැත් බලා ප්‍රමාද වෙනවාට වැඩිය අප්‍රමාදව, හරි දේ හරි තැනදී කළ යුතු බවක්ය.

මා පමාද’මනුයුඤ්ජේථ – මා කාමරතිසන්ථවං
අප්පමත්තෝ හි ඣායන්තෝ – පප්පෝති විපුලං සුඛං

නැකැත් පස්සෙ දුවන බාල ජනයා ප‍්‍රමාද වෙන විදිහට, ප‍්‍රමාදයේ ඇලී ගැලී වසන්ට එපා. ඔය කාම සැපයට ඇලෙන්න එපා. කාමයත් එක්ක එකතුවෙන්ටත් එපා. අප‍්‍රමාදීව බණ භාවනා කරගත්තොත් මහා සැපයකට පත්වෙන්ට පුළුවනි.

-ජේතවනාරාමයේදී නැකැත් ක‍්‍රීඩාවක් අරභයා වදාළ ගාථාවකි.

sAm_ශ්‍රී_Perera_2:50pm_09/05/2015

Tuesday, May 5, 2015

පන්සල් ගොස් වන්දනා කරන්නේ කෙසේද?


උප්පැන්නයට අනුව ඔබගේ ආගම බෞද්ධ නම් ඔබ යන්නේ පන්සලටය. කතෝලික නම් යන්නේ පල්ලියටය. මුස්ලිම් නම් මුස්ලිම් පල්ලියටය. හින්දු නම් කෝවිලටය. උප්පැන්නයට අනුව අදහන ආගම ධර්මය තීරණය වී දෙවියන්, බුදුන් දැක ආගම අදහන්නේ ඒ ඒ තැන් වලට ගොස්ය. සෑමා බෞද්ධ නිසා පන්සලටද, කිටියා කතෝලික නිසා පල්ලියටද යන්නෝය. දෙදෙනාම යන්නේ එකටය. වෙසක් දවසේද මුලින්ම පල්ලියේ පූජාවට ගියේ හවසය. ඒ එන ගමන් ගියේ පන්සලටය. මඟ දිගට දන්සැලක් දෙකක් වදිමින් පන්සල් ගියේ ආගමික වතාවත් කරන්නටය. වටේ ඉන්නා උන්ට කරදරයක් නැතිනම්, කොයි දේවාලේ ගියත් අවුලක් නැතිය. එහෙත් පන්සලේ හාමුදුරුවෝද, පල්ලියේ පූජකයාද, කෝවිලේ පූසාරිද, බලන්නේ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමටය. ධර්මයෙහි, ආගමෙහි පිහිටවන්නට නොවේය. ඒ ගැන පල්ලි කතාවක් සෑමා ලියුවේ වෙඩිම අස්සේය


මිශ්‍ර විවාහ පිළිබඳ ගැටළුව බොහෝ විට එළි බහින්නේ පල්ලියෙන්ය. එම ලිපිය කියවූ බොහොමයක් ප්‍රශ්න ඇත්තෝ සෑමා ඇමතුවේ තමන්ගේ මිශ්‍ර විවාහ ගැටළු වලට පිළිතුරු ලබා ගන්නටය. විටක සෑමාගේ බ්ලොග කියවන කතෝලික රසිකාවියක් සෑමා සමඟ විවාදයකට පවා පැටලුනේ පල්ලියකින් එවැනි බලපෑමක් කිසි දිනක එල්ල විය නොහැකි බව කියමින්ය. නමුත් එම ලිපිය කියවා බෞද්ධ සහ කතෝලික ලෙස මිශ්‍ර පෙම් සබඳතා පවත්වන බොහෝ දෙනෙක් සෑමාගෙන් විස්තර ඇසුවේය. සෑමා ඒවාට පිළිතුරු දුන්නේ හද පිරි සතුටින්ය. සෑම ආගමකම, ධර්මයකම (විකෘති නොවූ) කියා දෙන්නේ නිවැරදිව ජීවත් වන ආකාරය නිසාවෙන් ආගමක් යනු ආදරයකට ප්‍රශ්න නොවේය. අනෙක් ආගම් ගැන කතාන්දර පසෙක තැබූ විට සෑමාට කතා කිරීමට අයිතිය ඇත්තේ බෞද්ධාගම ගැනය. පන්සල් යෑම ගැනය. මන්ද මේ වෙසක් සතිය නිසාය.

කිටියා සහ ඇගේ අක්කා සෑමා සමඟ වෙසක් දා පන්සල් ගමනට ආ නිසා සැමාගේ පන්සල් වන්දනාව බලා සිටි බව තේරුණේ නිවසට ආ පසුය. උන් ඇසුවේ මොකක්ද බොල ඒ වැදිල්ල කියාය. වැඩි වේලාවක් ගත නොවීය. වෙසක් නිසා පන්සලේ තදබදයක්ය. ඒ අස්සේ ධාතුන් වහන්සේලා වන්දනා කරන පිරිස්ය. ගෙදරින් කඩාගෙන ගිය මල් බෝධිය, චෛත්‍යය, සහ බුදු පිළිම වහන්සේට පිළිවෙලින් පූජා කොට සෑමා සිතින් මල් පූජා කරන ගාථා කීවේය. පහන් පත්තු කරනා ගමන් පහන් පූජා කරන ගාථාද සිතින් කීවේය. සුවඳ දුම් පූජා කරන ගාථා සිතින් කීවේ හඳුන් කූරු පත්තු කරමින්ය. පැන් කළ රැගෙන බෝධි මළුව වටේ පැදකුනු කරන අතර බෝධි වන්දනා ගාථාද, ඉතිපිසෝ ගාථාවද සිතින් කීවේය. ඉන්පසුව ධාතුන් වහන්සේද වන්දනා කොට සෑමා ගෙදර ආවේය. උක්ත ගාථා බෝධින් වහන්සේ දෙස බලා ශබ්ධ නගා ගායනා නොකියවීමෙන්ද, දණ ගසාගෙන කල් නොමැරීමෙන්ද, අපේ උන්ගේ සිත් අවුල් වී තිබුණේය. ඉනපසු කල්පනා කළ සෑමාට සිහිවූයේ ඇත්තටම තමන් කළ දේ වැරදිද කියාය. ඇත්තටම පන්සල් ගොස් වන්දනා කළ යුත්තේ කෙසේද කියා සංවාදයක් ඇතිකොට පිළිතුරු සොයා ගත යුතු බව සෑමාට සිතුනේය. 

එදා පන්සල් මළුවේ සිටි සමහර උදවිය බෝධි පූජාවල නියැලමින් සිටියෝය. එවිට කළ යුතු වතාවත් අපි සැවොම දන්නා කරුණුය. පන්සල් ගොස් වන්දනා කිරීමද හැමෝම දන්නා කරුණක් විය හැකිය. එහෙත් බෝධිය දෙස බලාගෙන බොහෝ වෙලා වන්දනා කරන ඇත්තෝද සිටින්නෝය. බුදු පිළිම දෙස බලාගෙන බොහෝ වෙලා සිටින ඇත්තෝද සිටින්නෝය. විටක ඔවුන් ගාථා කියා සිත් නිවෙනා තුරු නිදහස් සිතින් බලා සිටිනවා විය හැකිය. සමහරු තමන්ගේ සිතෙහි ඇති දුක කියනවා විය හැකිය. එලෙසම සමහරු ගාථා කිව්වාට කියන්නේ ගිරා පෝතයක් ලෙසය. පාලි පාඨයන්ගෙන් සමන්විත නිසා තේරුමක් නොදැන විය හැකිය. ඒ නිසා සෑමාගේ ඉල්ලීම මේ ලිපිය අවසන තමන් පන්සලකට ගොස් වන්දනා කරන ආකාරය, කමෙන්ට් එකක් ලෙස ලියා තබන ලෙසය. එවිට එය අපිට සංවාදයකට ලක් කළ හැකිය.

මෑතකදී සෑමාගේ අක්කාගේ දියණිය යන පෙර පාසලේ දරුවන්ට පුහුණුවක් ලෙස සීල ව්‍යාපාරයක් පවත්වා ඇත්තේය. සෑම පෙරපාසල් දරුවෙක්ම පාහේ බොහොමයක් ගාථා දන්නෝය. බුදුන් වදින ගාථාවේ සිට පන්සල් ගොස් වදින බොහොමයක් ගාථාද, දෙමාපියන් වදිනා ගාථාද දන්නෝය. එහෙත් එක් එක් ගාථාව කියන්නේ කුමන අවස්ථාවටදැයි වෙන් කර ගන්නේ තරමක් වැඩිහිටියන් වෙන විටය. මන්ද පුංචි උන් කියන්නේ කට පාඩමින්ය. සිංදු කියනා ආකාරයෙන්ය. එදා සීල ව්‍යාපාරය හැසිරවූ ස්වාමීන් වහන්සේ පුංචි උන්ගෙන් අසා ඇත්තේ මල් පූජා කරන ගාථාව කුමක්ද කියාය. එවිට අත ඉහළට ඔසවා නැගිට සිටි පුංචි එකියක් පිළිතුරු දීමේ අවස්ථාව ලබාගෙන ඇත්තේය. පසුව ඇය තාලයට “රෝස මලේ නටුවෙ කටූ..“ ගීතය කියා ඇත්තේය. පැමිණ සිටි කිසිවෙක් ඇයව උපහාසයට නොගෙන පැහැදිලි කර ඇත්තේ මල් පූජා කරන ගාථාව “පූජේමි බුද්ධං කුසුමේනනේන..“ කියාය. 



සවි ජා නො භවං හෝතී
සවි ජා නො පරා භවෝ
ධම්ම කාමෝ භවං හෝති
ධම්ම දෙස්සී පරා භවෝ ......!

දියුණු වෙන කෙනා හඳුනා ගැනීමට ලෙහෙසි
පිරිහෙන කෙනා හඳුනා ගැනීමට ලෙහෙසි
දියුණු වෙන කෙනා ධර්මයට කැමති
පිරිහෙන කෙනා ධර්මයට ද්වේශ කෙරති...

එලෙසම පන්සල් ගොස් ඔබ කටයුතු කරනා ආකාරය ගැන කමෙන්ට් එකක් තබනා ලෙස ඉල්ලා සිටින්නේ කරනා දේ නිවැරදිව අර්ථවත්ව සිදු කරවීමේ අවශ්‍යතාවය නිසාය.

Written_by_sAm_ශ්‍රී_Perera_9:45pm_05/05/15

Sunday, May 3, 2015

ආමිසයෙන් ප්‍රතිපත්තියට දොර ඇරේ...


කොහෙ නම් කූඩු හදන්නද? බටයක් කපා ගන්නට තැනක් තියෙනවද? ඕවාට වෙලාවක් තියෙනවාද? වෙසක් කූඩු ගැන කතා වෙන විට මේ දිනවල වැඩියෙන් ඇසෙන නිදහසට කාරණා බොහෝය. සියල්ල යාන්ත්‍රීකරණය වූ වර්ථමානයක, සියල්ල මුදලට විකිණෙන වර්ථමානයක, තමන් අතින් නිමවෙන වෙසක් නිර්මාණයක් දැක සතුටු වන්නේ බොහෝ අල්පයක් දෙනාය. වෙසක් සතියක ගෙදර පිරිසක් එකමුතුව, කූඩු බැඳ, සව් කොළ අලවා, එල්ලා හැඩ බැලුවේ ඉස්සරය. දැන් සව් කොළ ඇලවූ අට පට්ටමේ සිට, සැකිල්ල පමණක් ඇති අටපට්ටම දක්වාම කූඩු රැගෙන එන්නේ කඩයෙන්ය. සව් කොළ ඇලවූ කූඩුවක් රැගෙන ඒමෙන් වැඩේ ඉතා පහසු වන්නේ කූඩුව එල්ලා ලයිට් දැමීමේ කාර්යය පමණක් නිවැසියාට ඉතිරි වෙන නිසාය.

ඊයේ සෑමාගේ ගෙදර ආ මිතුරෙකු කියා සිටියේ තමන් කඩෙන් කූඩු දෙකක් ගත් බවක්ය. සැකිල්ල පමණක් ඇති කූඩු දෙකක් රැගෙන මිතුරා ගෙදර ගොස් ඇත්තේ සව් කොළත් රැගෙනය. කූඩුව සම්පූර්ණව සුදු සව්කොළ අලවා නිල් පැහැති රැලි දැමීම මිතුරාගේ අදහස වී තිබුණේය. කූඩු දෙක මේසයක් මත තබා සව්කොළද පසෙකින් තබා මිතුරා සිය පවුල අමතා කූඩුව අලවන ලෙස ඉල්ලා සිට ඇත්තේය. මොහොතකින් ඔහු අතට ලැබී ඇත්තේ පාප්ප ස්වල්පයක් සෑදු වලදක්ය. එතැන් පටන් මිතුරාට කූඩුව අලවන්නට සිදු වී ඇත්තේ තනිවමය. කතාව අවසනට මිතුරා කීවේ “අනේ මන්දා මචං, ඔහොම එකක් දන්නවා නම් මම අලවපු කූඩුවක්ම ගෙදර අරන් යනවා“ කියාය.

වෙසක් කූඩු, වෙසක් තොරණ් ආදිය ඇතුලත් වන්නේ ආමිස පූජාවටය. දන්සැල්, සීල ව්‍යාපාර ආදී කටයුතු අයත් වන්නේ ප්‍රතිපත්ති පූජාවටය. බුද්ධ දේශනාව නම් වැඩිපුරම නියැලිය යුත්තේ ප්‍රතිපත්ති පූජාවේ බවය. ආමිසය නොකළ යුතු කටයුත්තක් නොවූවත්, ආමිසය තරමක් දුරට කළ යුතුය. එලෙසම ආමිසය වැඩිපුර දකින්නට හැක්කේ වෙසක්, පොසොන් පෝය වලදීය. මන්ද ඒ සමයේ වෙසක් කලාප ආදියෙහි දර්ශණය වන්නේ කූඩු සහ තොරණ් නිසාය. ගෙදරකට කූඩුවක් හදන්නට නොලැබීම ගැන කණගාටුවනවාට වඩා සිතිය යුතු කරුණක් බුද්ධ දේශනාවේ සඳහන්ව ඇත්තේය. එනම් ආමිසය බැරි නම් ප්‍රතිපත්ති පූජාවට හෝ එක් විය යුතු බවය. යහපත්ව සිතිය හැක්කේ එවිටය. මේ පාරත් අපේ ගෙදර කූඩුවක් නැතැයි කියා මිලට ගත් කූඩුවක් ගෙනත් එල්ලුවාට කම් නැත. විටක ඒ ඔබ කාර්යය බහුල නිසා විය හැකිය. නමුත් පෝය දින ලැබෙන නිදහසින් කොටසක් වැය කොට පන්සලකට ගොස් හෝ නිවසේ සිට හෝ ධර්ම කරුණු පිළිබඳ කියවීම, ඇසීම කළ හැකි නම් ඔබට එල්ලන්නට බැරි වූ කූඩුවේ වටිනාකම සම්පූර්ණයෙන් ප්‍රතිපත්ති පූජාව හරහා ජනිත වන්නේය. තමන්ට ආමිසයෙන් කර ගත නොහැකි වූ දේ ප්‍රතිපත්තිය හරහා කර ගැනීමට වෙර දැරීම අගනේය.

හැමදාකම මිනිසුන් මනින්නේ කූඩුවේ තරමය. තොරණේ උසය. බල්බ් දැල්වෙන ආකාරයය. විටක ඇස් බොඳකර තොරණ දිහා බලන්නේ බල්බ් වල ලස්සන බලන්නටය. එහෙත් තොරණේ ජාතකය අසන උන් නැතිය. තොරණේ ජාතකය දන්නා උන් නැතිය. ඒ මදිවාට තොරණ අයිතිකරුවන් කරන්නේ ජාතකයට වඩා ආධාරකරුවන්ගේ නම් කියන එකය. කවියෙන් උන්ට පින් දෙන එකය. තොරණක කතාව සම්පූර්ණයෙන් අසන්නට බැරි නම් කළ යුත්තේ ජාතකයේ නම බලා, පිළිවෙලින් රූප රාමු බලා කතාව අවබෝධ කරගැනීමට උත්සාහ කිරීමය. තොරණක ප්‍රධාන අරමුණ ධර්ම දානයක්ය. කිසියම් දහම් කරුණක් ජනතාවට ලබා දීමය. විටක තොරණක් දුටු සැනින් එයද වෙසක් කූඩුවක් මෙන්ම ආමිස පූජාවක් ලෙස, ආලෝක පූජාවක් ලෙස සිතෙන අවස්ථා එමටය. එහෙත් එය හුදෙක් ධර්ම දානයක් නිසාම ප්‍රතිපත්ති පූජාවට ඇතුලත් විය යුතුය.

මේ කියන්නට හදන්නේ ආමිසය අත හැරිය යුතු බවක් නොවේය. බුද්ධ ධර්මයේ ප්‍රතිපත්ති පූජාව අවධාරණය කොට ප්‍රමුඛත්වය දී ඇති බැවින් ම ආමිස පූජාවට තැනක් ඇත්තේම නැතැයි නූතන සමහර බෞද්ධයන් පන්සලට නොයන, බෝධිය නොවඳින, මල් පහන් පූජා නොකරන තත්වයට පත්වා ඒවා හෙළා දැකීම අභාග්‍යයක්ය. අර්ථවත් ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාවට මුල් වන බව ඉතිහාසය සාක්ෂි දරන්නේය. බෞද්ධ උත්සව මෙරට ආරම්භ වූයේ මිහිදු හිමි වැඩම කළ දා සිටය. බුදු දහම හඳුනාගත් මිනිසුන් ආමිස පූජා වල නිරත වන්නට වූවෝය. එය ක්‍රි.පූ 3 සියවසේ අශෝක යුගයේ සිට ආරම්භ වූවක්ය. බුදුදහම සිත් තුළට කාවැද්දීම සඳහා නොයෙක් ආකාරයේ සංකල්ප ක්‍රියාත්මක වූ තැන එහි මුල් තැන ගත්තේ උත්සවයි. එනම් ආමිසයයි.


ආමිසයට මිනිසුන් ගරහන තත්වයට පත්වී ඇත්තේ මල් පහන් පූජාව බුද්ධ පූජාව වැනි උතුම් ආමිස පූජා තරගකාරී වාණිජ සංකල්ප වලින් අන්ධ භක්තිය සිදු කරන බහුතරයේ ක්‍රියා පටිපාටිය නිසාය. සිද්ධස්ථාන අපිරිසුදු කෙරෙන තෙල් කුණු පුරවන ලෝකයට ප්‍රදර්ශනය කිරීමට ඇතැමුන් කරන ප්‍රදර්ශනය ආමිස පූජා නිසා ආමිස පූජාව ප්‍රතිඵල රහිත යැයි සැලකීම අප්‍රබුද්ධ චින්තනයේ විපාකයයි.

අර්ථවත් ව කරන ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාවට දොර ඇර දේ. ශ්‍රද්ධාව පාදක වන්නේ ප්‍රඥාව බව නොදැනීමෙන් ආමිස පූජාව කොන් කිරීම නිවැරැදි ක්‍රියාවක් නොවේ. ආමිස පූජාව අර්ථවත්ව සිදු කළ හොත් මහත්ඵල මහානිසංස දායක ය.

“ශ්‍රද්ධාවෙන් පිරී ගිය හදින් ආමිස පූජාවක් කිරීමෙන් පිබිදෙන්නේ ප්‍රතිපත්ති පූජා මනසයි.”

එසේ නම් අප කළ යුත්තේ ප්‍රතිපත්ති පූජාවට මඟ විවර කර ගැනීමය. කෙලින්ම දාන, ශීල, භාවනා ආදියට යොමු වීමට මැලි වන බෞද්ධයන්ට ආමිස පූජාවට වඩ වඩාත් නැඹුරු වීමෙන් ප්‍රතිපත්ති  පූජාවට ආරම්භයක් ලබා ගත හැකි බව සිතට ගත යුතුය. නැති නම් ඔවුන් හැමදාම කරන්නේ මල්, පහන් පූජාවේ සිට, පන්සල් යෑම දක්වාද බැන වදිමින්, තමන් නිවසේ සිට ධාර්මිකව කටයුතු කරනවා කියා එලොවටත්, මෙලොවටත් වැඩ නැති අන්ධ භක්තිකයන් වීමය.

Friday, May 1, 2015

බලමුද මේ පාරත් වෙසක් ??


සෑමා බ්ලොග පටන් ගත්තේ 2011 සැප්තැම්බර් මාසයේය. හරියටම දාහත් වෙනිදාය. එදා පටන් ගත් බොග 2012 වසරේ දී මැයි මාසයේ වෙසක් කලාපයක් කරන්නට තරම් සරු සාර වූයේය. එම වසරේ වෙසක් සතියක් නිමිති කරගෙන ලිපි කිහිපයක් ලියූ සෑමා 2013 වසරේද වෙසක් කලාපයක් කළේය. එතැන් නොනවතී 2014 වසරේදී වෙසක් කලාපයක් ලියන්නට තරම් වාසනාවක් නොලද නිසා විලි ලැජ්ජාව වසා ගන්නට ගැලවිජ්ජා පෝස්ටුවක් දැම්මේය. එය සතියක් පුරාවට වෙසක් කලාපයක් සඳහා ලියුවක් නොවේය. එය හුදෙක් එකම එක පෝස්ට් එකක්ය. එසේම එම සෑම වසරකම පොසොන් පෝස්ට් සැට් එකක් බ්ලොග් ලොවට දායාද කළේය. 



එක දිගට ලිවීම යනු බ්ලොගක ජීව ගුණය රඳා පවතින සාධකයක් යැයි කීවේ සෑමාමය. එලෙස පොර ටෝක් දුන් සෑමාට ගිය වසරේ අග භාගයේ සිට නොනැවතී ලියන්නට වාසනාව නොලැබුණේය. ලියන්නැතිව මඟ හරිනා උන්ට ලොරි ටෝක් දුන් සෑමාට රිටන් එක ලැබුනේ එලෙසය. බුකියේ උන් ඇසුවේ ඇයි බං දැන් ලියන්නෙ නැත්තේ කියාය. එහෙන් මෙහෙන් දාන ඒවා කික් නැතැයිද කීවෝය. එලෙසම කැත හිත් ඇත්තෝ කැත හිත් සඳහා ලියනා කවිද ඉල්ලුවෝය. ඉල්ලීම් තිබුණද සෑමා අසරණව බලා සිටියේය. ලියන්නට දේවල් තිබියදී රසය මතුකොට මුදා හරින්නට සෑමා වරම් නොලද්දේය. 2014 වසරේ වෙසක් උත්සවයට ගැලවිජ්ජා පෝස්ටුවක් දැම්මද දෙසැම්බර් මාසයේ බ්ලොගක කිසිදා නොලියැවුණු වෙඩින් පෝස්ට් ටිකක් දැම්මේය. හරියටම වෙඩින් දවසේ ඔටෝ පබ්ලිෂ් වන ලෙස එම ලිපි සැට් එක සකස් කර සෑමා තනිකඩ දිවිය පල්ලියක් ඉදිරිපිටදී, පෝරුවක් මතදී උකසට තැබුවේය. සියළු කටයුතු මැද බ්ලොගද අතරමග අමතක වූයේය. විටෙක බ්ලොග් ලිපි ලෙස ලියවිය යුතු කතන්දර වාක්‍ය කිහිපයකින් බුකියේ ටයිම් ලයින් එකේ මුදා හලේය.

කොටින්ම කිවතොත් ගොනා කැරකෙන්නේ පොල් පැලය කන්නටය. සෑමාද වටින් ගොඩින් එන්නේ නැවත නොනැවතී ලියනවා කියන්නටය. මීට පෙර වරක්ද නොනැවතී  ලියනවා කියා කෙලවා ගත්තේය. මෙවර එසේ නොවන්නට වෙසක් කලාපය ආරම්භ කරමින් ලිවීම පටන් ගන්නට සූදානම් වන්නේය. බ්ලොග ආරම්භයේ සිට දැමූ වෙසක් පෝස්ට් සියල්ල මෙතැන අමුණන්නේ කියවන්නටය. කියවා ගුණ දොස් වයන්නටය.


2012 - වෙසක් කලාපය

කොයි යන්නෙද සොරකම් කරලා
කූඩුව අපි අරන් ආව පැටව් එක්කම
කැත හිත්වලට ලස්සන කවි පොඩ්ඩක්
නෑයෝ සහ මීයෝ හදුනාගන්න
නිමා නොවන නිමාවක්... 

2013 - වෙසක් කලාපය

බක්කෝ නැති - තොරණ් නැති - වෙසක් බලන්න එන්න...
දානයට වැට "නො"බැදීම
කුණු හබ්බ සීමා කිරීම
අනිත් උන් ගැනත් හිතන්න
බැලන්ස් කරන හැටි

2014 - වෙසක් කලාපය

අද නම් ඇරලා.. - Its Open Today !!


Written_by_sAm_ශ්‍රී_Perera_1:33pm_01/05/15 
Related Posts Plugin for WordPress, Blogger...