Google+ Followers

Saturday, June 21, 2014

සාධූ ද ? සා‘ඩෝ‘ ද? - Its all about losing the RESPECT !!


ධර්මය යම් දිනයකදී අස්ථාන ගත වන්නේය. ධර්මය විකෘති වීම් මගීන්, තම තමන්ට සැප සුඛ විවරණය සඳහා ධර්මය විකෘති කර ගැනීම මඟීන් දිනෙක ධර්මය අස්ථාන ගත වන්නේය. අධර්මය රජ කරන්නේය. එතැන් පටන් මිනිසුන් පෙරුම් පුරන්නේ මතු බුදුවරයෙකු පහළ වෙන තුරුය. පුංචි කාළයේ සිටම හොඳ දේ කියැවෙන තැනදී අපි සාධූ කියා කියන්නට පුරුදු වුණෙමු. සමහරෙක් සිවුර දුටු තැන අන්න සාධූ.. කීවේ සංඝයා වහන්සේටය. ලොකු පන්තිවලට යද්දී කොල්ලෙක්ට කෙල්ලෙක්ට අකරතැබ්බයක් වුණොත් එතැනදී අපේ උන් සාධූ කීවේ ආතල් එකටය. කරදරයක් වුණ එකාට හොඳ වැඩේ කීමටය. තවත් ලොකු පන්ති වලට යද්දී බුද්ධ ධර්මය උගන්වන්නට පන්තියට එන හාමුදුරුවන්ට සාධූ කීවේ නැතිය. මුල් දිනවල සිටම හාමුදුරුවන්ගේ නමත් සමඟම අහවල් හාමුදුරුවෝ යැයි අප ආමන්ත්‍රණය කරන්නට වූවේය. එහෙත් පසුවට වේවැල කෝට්ට රැගෙන පන්තියට එද්දී, ගාථා පාඩම් ගනිද්දී අපිට පහර දෙන්නට වූ තැන් වලදී හාමුදුරුවන්ගේ නමට ආදේශක හෝ වෙනත් නම් වැටෙන්නට වූයේය. එතැන් පටන් ගෞරවය පහළ බැස, විවිධ නම් පට බැඳෙන්නට පටන් ගත්තේ සිවුරේ සිටින මිනිසාගේ ගතිගුණ අපට ගෝචර නොවූ තැනදීය. 
Add caption

බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගිය ඇත්තෝ උපාසකයෝය. බුද්ධ සහ ධම්ම පිළිබඳව සැකයක් නැතිය. සරණ යා හැකිය. තෙවෙනුව සංඝ සරණ යාමේදී වර්ථමානයේ දෙවරක් සිතන්නට වන්නේය. මන්ද සිවුරට ගරු කරන තැනදී සිවුර ඇතුලේ සිට එළියට බසිනා මිනිසා ගෞරවය ලබා ගැනීමේ තැනට වැඩ සිද්ධ නොකිරීම නිසාය. එකී මිනිසා තුල දිවෙන දේශපාලනය, සිවුර ඇතුලේ සිටින මිනිසාගේ සිත ද්වේශයෙන් පුරවන්නේය. එහෙව් තැනකදී “අනේ අපේ හාමුදුරුවනේ...“ කියා බැති සිතින් කට පුරා කතා කරන්නට ගිහියා දෙවරක් සිතන්නේය.

දේශපාලන පක්ෂ නිර්මාණය කරගෙන එළියට බැස්ස බහුතරයක් හිමිවරු දැන් බණක් දහමක් කියාගන්නට වත් නොහැකි තත්වයක සිටින්නෝය. ඔවුනට එදා තිබූ ගෞරවය අද හීන වී ගොස්ය. මාකට් එක හීන වී ගොස්ය. එදා කට පුරා අනේ අපේ හාමුදුරුවනේ කියා සුමිහිරි ධර්ම දේශනා ගෙන ඒමට සමත් වූ එකී බහුතරය අද නිහඬය. ඉදහිට බණක් දහමක් දේශනා කළද ඉස්සර ගතිය නැත්තේය. ගතිය කීවේ සුමිහිරි ධර්මයක් ශ්‍රවණය කිරීමෙන් සිතේ ඇතිවන සුවය ශාන්තියට මිස ද්වේශයෙන් ස්ටේජ් එකක් තම කෑගසමින් සිටිනු දැකීමෙන් සිතට ලැබෙන අවේගකාරී කික් එක නොවේය. අපි සාධූ කීවේ නිරාමිස සුවයකට මිස, අවේගකාරී කික් එකකට නොවේය. හම්බ හැත්තට (හම්බ හැත්ත යනු මුස්ලිම් ජනතාව නොව අන්තවාදී මුස්ලිම් අයය.) ධර්මය දෙසන්නට පෙර, අපේ හැත්තට (අපේ හැත්ත යනු සිංහල බෞද්ධ ජනතාව නොව අන්තවාදී සිංහල බෞද්ධයෝය. චීවරධාරියෝද ඇතුලුය.) ධර්මය දෙසිය යුතුය.

පුංචි කාලයේ සිට අප සාධු කීවේ තුන් වරක්ය. විටෙක ඇදලා හතරවෙනි වතාවටත් සාදු කියා ඇත්තෙමු.

කායේන සංවරෝ සාධු
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු
සාධු සබ්බත්ත සංවරෝ

පළමු සාධුකාරය කයින් සංවර වීම සුහද ගුණයක්, සාධු ගුණයක්. 
දෙවන සාධුකාරය වචනයෙන් සංවර වීම තවත් සුචරිත ගුණයක්, සාධු ගුණයක්. 
තෙවන සාධුකාරය මනසින් සංවර වීම තවත් සුචරිත ගුණයක්, සාධු ගුණයක්.
හතර වෙනියට ඇදල දුන්නු සාධුකාරය. සියලු ආකාරයෙන්ම සංවර වීම සාධු ගුණයක්.

මා මෙතෙක් ගරු කළේ සාධු ගුණයට මිස අවේගකාරී සාඩෝ ගුණයන්ට නොවේය. එදා හාමුදරුවරු සාධු ගුණයට හිස නමා සාඩෝ නොකියා පෙරලියක් කළේ රට රැක ගන්නට මිස බඩ රැක ගන්නට නොවේය. අද කිසිවෙක් අන්තවාදීන්ට එරෙහිව කටයුතු කරන්නේ නම් එතැනදී සාධූ ගුණය මැකෙන තැනට පත් නොවිය යුතුය. 

ඉස්සර හිටියේ රතන හාමුදුරුවෝය, ධම්මාලෝක හාමුදරුවෝය, අවසන වටරැක හාමුදුරුවෝය, එහෙත් අද සිටින්නේ රතන, ධම්මේ සහ වටරැක ලාය. ඒ අතර ඥාණසාර හාමුදුරුවෝ වෙනුවට සිටින්නේද ඥාණසාරලාය. පාසල් සමයේ බුද්ධ ධර්මය සටහන් ලියන විට සෑමා “බුදුරජානන්වහන්සේ“ කියා ලියැවෙන තැනට “බුදුන්“ හෝ “බුදුහිමි“ කියා සටහන් පොතේ ලීවේ අකුරි ලිවීමට ඇති කම්මැලිකම නිසා සහ වේලාව ඉතුරු කර ගැනීම මිස අගෞරවයට පත්කිරීමට නොවේය. එහෙත් අද පත්තර පිටු වල ලියැවෙන්නේද  හාමුදුරුවන් කියන කොට නැතිවය. ඥාණසාර හිමි වෙනවුවට, ඥාණසාර කියාය. බහුතරයක් හාමුදුරුවෝ යැයි නොකියවෙන තත්වයට වැටී ඇත්තේය. ඊට හේතුව සිවුර ඇතුලේ සිටින පුද්ගලයාගේ නොදැමුණු, අශාන්ත බවය. අහිමි වූ සාධූ ගුණය නැවත ලබා ගන්නට මුලින්ම කටයුතු කරන්නේ නම් මහ සටනට හයියක් වෙනවා ෂුවර්ය. මන්ද චන්ඩාශෝක ධර්මාශෝක වූයේ කෑගසනා, දඟලනා හිමි නමක් දැක නොව, ශාන්තව ගමන් කරනා සංවර හිමි නමක් දැකීමෙන්ය.

පලි - ලිපියට මුල් වූ නිමිත්ත, මාරයා බුකියේ දැමූ ස්ටේටස් එකක්...

“ඥානසාර කියන්නේ බුදු හාමුදුරුවෝ නෙවෙයිනේ.. නබි කියන්නෙ අල්ලත් නෙවෙයි... මෝසස් කියන්නේ දෙවියනුත් නෙවෙයි... දෙවැනියෝ හැමෝම තම තමන්ගේ දේශපාලන වැඩට පලවෙනියාව පාවිච්චි කරපු අය.. ඒ හින්දා දෙවැනියෝ ඉද්දි කට්ටියම පලවෙනියා අදහගෙන දෙවැනියෝ කියපු කරපුවා අමතක කලානං කිසි අවුලක් නැහැනේ...“

Written_by_sAm_ශ්‍රී_Perera_7:03am_21/06/14

Thursday, June 19, 2014

අක්කා ගල විකුණද්දී, නංගී ගල රකී.. - While Elder is Selling, Younger is Protecting !!


සීගිරය ගලක්ය. එය විකුණන්නට යන්නේ යැයි කතන්දර ගොඩක් කියැවුණු යුගයක් තිබුණේය. එහෙත් ගල වික්කා නම් උස්සාගෙන යන්නේ කෝමදැයි සිතා ගත නොහැකිය. ගල් නොදැකපු පංචායුධ කුමාරයා කීවේ තමා සීගිරිය බලන්නට ගොස් නැති බවක්ය. ගලේ ඇති ආතල් එක නොදන්නා නිසා පොර ඒ පැත්තේ යන්නට නැතිය. එසේම ගලේ කොටා ඇති ලලනාවන් ගැනද පංචායුධ කුමාරයා නොදැන සිටියා විය හැකිය. නැතිනම් පොර ඒ පැත්තේ ගොස් ඒ කෙල්ලෙක්ගේ නිරුවත වසන්නට ක්‍රමයක් පාර්ලිමේන්තු ගත කරනවා ෂුවර්ය. ඒ තරමට පොර ඇමරිකානු විරෝධීය. බාගෙට ඇඳගෙන සුද්දෙක් ලංකාවට ආවත් අකැමැතිය. මහා දේශ ප්‍රේමීය.

කතාව වෙන පැත්තකට හැරෙන ලකුණු පහළ වෙන නිසා නැවත අලුත් ජේදයකින් කතාව ආරම්භ වන්නේය. පංචායුධ කුමාරයාගේ ගල ගැන කතා කොට වැඩක් නැතිය. ඇමරිකන් ගල් වැඩක්ම නැතිය. අපට වටින්නේ දේශීය දේය. ඒ නිසා දේශීය ගල් නිෂ්පාදනය ඉහල යවා හෝ දේශීය හස්ත කර්මාන්තය ගොඩ දැමිය යුතුය. එම සේවයේ නියතුව සිටින්නා වූ මෑත භාගයේ ප්‍රරසිද්ධ වූ කැළණිය, ස්ටේෂන් එක පැත්තේ, පේලි නිවසක හැදී වැඩුණු නිලියක් සිටින්නීය. හස්ත කර්මාන්තය ගොඩ දැමීමේ අරමුණින් ක්ෂේත්‍රයට පිවිස, දකුණේ ජනතා බලවේගයක් සාදා ගැනීමට අවමංගලටද ප්ලග් වී ඇය පරාජය වූවාය. ඒවා අපිට අදාල නැති කතන්දරය. සරලව කිව හැක්කේ අඳින ඇඳුමින්, හැසිරෙනා විදිහෙන් පවා ඇද ගලේ අවමයකට යටත්ව, එතැන සිට උපරිමය දක්වා විකුණනවා, ණයට දෙනවා, කුලියට දෙනවා, බද්දට දෙනවා යැයි සැක නැතිය.

අක්කාගේ ගල අප දැක්කේ පාසල් සමයේදීය. ඉහල මාලයේ පන්තිකාමරයේ සිට පහල ඇවිදින ඇයට වතුර ගසන්නට,කෙළ ගසන්නට තරම් අප්පිරියාවක්, පිළිකුලක් සමහරුන්ට ඇති වූයේ ඇගේ නොතිබූ නරහංකාර, අව්‍යාජ ගති නිසාය. දකින හැම එකාගේ ඇඟේ එල්ලීමේ ගතිය එදා සිට ඇය සතු වූ නිසාය. අක්කා එසේ වූ පමණින් නංගී එසේ යැයි කිව නොහැකිය. එසේ කියනවා නම් මහා අපරාධයක්ය. එහෙත් අක්කා සේම නංගීද ගල ප්‍රදර්ශනය කිරීමට “ෂෝ කේස්“ එකක දමා තිබියදී, ඒ දෙස බැලීම වරදක් සේ යමෙකු කියන්නේ නම් ඒ තරම් මෝඩ වැඩක් ලොවෙත් නැතිය.

අප ගරාජ් එකට යන්නේ සුපුරුදු මාර්ගයේය. ඒ මාර්ගය අතරමඟ ගරාජ් එකේ අයියාගේ නිවස ඉදිරිපිට ඇත්තේ උක්ත නිලියගේ එක් නිවසක්ය. මහා පවුරු බැඳ තිබුණත් ඉඩම මැද ඇත්තේ කුඩා දෙමහල් නිවසක්ය. එදා එතැනින් යන විට අහවල් නිලියගේ නිවසේ ගේට්ටුව විවර කරගෙන පෑන්ටියකට ජුන්ඩක් නොඅඩු ෂෝටක් ගසාගෙන නිලියේ ස්වරූපයම ඇති ලලනාවක් වූවාය. අහවල් එක තිබෙන්නාවූ ඕනෑම කොල්ලෙකු ඒ දෙස බලනවා නිසැකය. ඇයද අප දෙස බලා ඇස් ඉවතට නොගත්තා සේම, අපද ඇගේ පාදාන්තයෙන් ආරම්භ කොට මුහුණ දක්වා ඉහලට එන්නට ගිය ගමන අතරමඟ නැවතී කකුල් කරු අස්සේ නැවතුනේය. ගරාජ් එකට ගියේ ඔයිල් මාරු කරන්නට නොවන නිසා එතැනදී සිතට ගෙන පසුව අතට ගන්නට පතා අප සෙමින් ඇඳුනේ ගැරේජ් එක පැත්තටය.

ගරාජ් එක අසල පාර්ක් කරනවාත් සමඟම අපේ වාහනය හා සමගාමීව පැමිණ නැවැත්වුවේ ජීප් වර්ගයේ වාහනයක්ය. අපට ෂටර් එක පහත් කරන්නට විධානය දුන් නිසා එය ගණනකට නොගෙන සෙමෙන් වාහනයෙන් බැස ගරාජ් එක පැත්තට හැරෙද්දී ජීප් රිය පදවාගෙන ආ පුද්ගලයා අපට කතා කළේය.

“ඔයාලද අපේ ගේ පැත්තේ ඉදන් ආවෙ?“

“ඔව් අපි..“

“මගෙ වයිෆ්ගෙ ෆොටෝ එකක් ගත්තද?“

“ෆොටෝ ගන්න?? “

“ඔව්.. එතැන නවත්තන් හිටියේ??“

“ගරාජ් එකේ *** අයියා ගෙදර ඉන්නවද බැලුවේ... ෆොටෝ ගත්ත කියනව නම් ෆෝන් එක අරන් බලන්න..“

“*** අයියගෙ හිතවත්තුද??“

“ඔව්.. අපි මෙහෙන් තමා වාහන හදවන්නෙ...“

“හරි... හරි..“

එක්කෝ පවුල පොරට ගුලියක් කවා ඇත්තේය. බලා සිටි නිසා අප ෆොටෝ ගත්තා යැයි කිව්වා විය යුතුය. නැතිනම් ඇයට වැරදීමක් වී ඇත්තේය. ඒ සියල්ල පසෙක තබා “ගල ෂෝ“ කේස් එකට දැම්මා නම් එය බැලුවා යැයි එක එකාට කතන්දර කීම විලි ලැජ්ජා නැති දෙයක්ය. 

මොහොතකින් ගරාජ් එකේ *** අයියා ආවේය. සීන් එක පොරට කිව්වාට පසු පොර මහ හඩින් සිනාසුනේය. 

“පිස්සුද බං මල්ලි.. මම හැමදාම අපේ ගෙදර බැල්කිනි එකේ ඉදන් බලන් ඉන්න එකනේ.. ඌට පිස්සු.. හිටපං මම කෝල් එකක් ගහන්න.. “

“එපා.. එපා.. අපි ඔයාට කිව්වාම අපි බය වෙලා කියල හිතයි.. “

“නැහැ බං.. එක්කෝ ඌට කියන්න ඕනෙ බලන්න එපා නම් හරිහමං ඇඳුමක් අන්දපං කියලා..“

අවවාදය -

කොල්ලන්ට - ෂෝකේස්  එකට යමක් දමන්නේ බලන්න මිසක නොදැක්කා සේ යන්නට නොවේ. ෂෝ කේස් එකට දැමූ සියල්ල විකුණන්නේද නැතිය. විටක එය තබන්නේ පාරේ යන අයට පේන්නට මිසක, විකුණන්නට නොවේ. විකුණනවාදැයි මුදලාලිගෙන් අසා දැන ගෙන පමණක් අතාගා බලන්න.

කෙල්ලන්ට - ඔබ යමක් ෂෝකේස් එකට දමන්නට කලින් දෙවරක් සිතන්න. ෂෝ කේස් එකට දමා පසුව එය දෙස බලන අයට ඔරවන්නට සූදානම් නොවන්න. 

Written_by_sAm_ශ්‍රී_perera_7:10am_19/06/14

Tuesday, June 17, 2014

මාකට් කිරීම... - Targeting the Market !!


සරලව සියල්ල මාකට් වී හමාරය. ජාතිය, ආගම සිට සියල්ල මාකට් එකේය. එකෙක් ගොඩ යන්නට අනෙකා තලා පෙලා දමන්නට තමන්ගේ දේ මාකට් කිරීම ආරම්භ වී ඇත්තේය. ඒ කාලයේ මාකට් කිරිල්ල නොතිබුණා යැයි නොකියමි. නමුත් අද තරම් තරඟයක් නොතිබ්බේය. විටක මිහිඳු හිමි ලංකාවට බුද්ධ ධර්මය ගෙනැවිත් මාකට් කළා යැයි කියන්නාවූ සමාජයක් මැද, එයින් පසු සිදුවූ දෑ සියල්ල මාකට් හෙවත් කාගේ හරි ඇඟේ ගැසීමක් සිදු වූවා යැයි නොකියන්නේ කවුද?

විටක සෑමා බුදු දහම මාකට් කළේ යැයි කියන්නට පිරිස් ඉදිරිපත් වුවොත් එයට පුදුම විය යුතු නැත්තේය. වෙසක් සතියකට වෙසක් කළාපයක් ඉදිරිපත් කිරීම, පොසෙන් සතියට පොසොන් කලාපයක් ඉදිරිපත් කිරීමේ, ආරම්භය හදුන්වාදුන් සෑමා බුදු දහම මාකට් කොට බ්ලොග් එක ගොඩ දා ගත්තේ යැයි කියන්නට කිසියම් හෝ තැනක මුඛයක් විවර විය හැකිය. බුදුන් දවස බුද්ධ රශ්මිය වැදී ලෝකයම බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳවන සඳ දේවදත්තයන් නැගී සිටියේ බුදුන්ට එදිරිවය. එහෙව් කළෙක එසේ වූවා නම් මෙදවස සෑමාගේ වෙසක් කළාපයට එදිරිව හඬක් නොනැඟුනේ නම් පුදුම සහගතය. එහෙත් හිට්ස් ප්‍රස්ථාරය දෙස බලාගෙන වෙසක් කළාපයක් ලිව්වා නම් ඒ සතිය අවම හිට්ස් ලැබූ සතිය, හෝ මාසය වන්නේය. ඒ තරමට අපේ උන් ධර්මයට, ධර්මය ගැන අසා දැන ගැනීමට අකැමැතිය.

ඉතින් ලිවිය යුත්තේ කුමක්ද? හොඳන්ම මාකට් කළ හැක්කේ කුමක්ද? සරලය. ප්‍රභා ජීවත්ව සිටි කළ තම සහචරයන්ට කොටා පොවා, බෙල්ලේ සයනයිඩ් කරල බැන්ඳේ ජාති වාදී වියරුවය. තමාගේ නොවන අනෙක් ජාතියේ උන් දුටු තැන මරා දැමිය යුතුය. උන් අපට එරෙහිය. එකම ලේ නොවන්නේය. තම ජාතියට එරෙහිව නැගී සිටින්නෝය. එසේ නම් උන් දුටු තැන මරා දැමිය යුතුය. නැතිනම් මරාගෙන මැරිය යුතුය. එවිට ඔබ ජාතියේ ගලවා ගැනීමේ නායකයෙක් වන්නේය. ජාතියට, ආගමට ණය නැති පුතෙක් වන්නේය. ඕනෑම ජාතියක, ආගම එකෙක්ට වස පෙවිය හැකි හොඳම වෙලඳපොල ජාතිවාදයයි. ආගම් වාදයයි. කෑමක්, බීමක්, බෙහෙතක් වේවා අද මාකට් කරන්නේ “ගන්න අපේ දේ..“ කියාය. එතැන සැඟව ඇත්තේ මාකට් එකේ හොඳම සාරයයි. හොඳටම මාකට් කළ හැකි තැනයි. එතැන් පටන් ඇරඹෙන්නේ අනෙකා මලත් තම ජාතිය, ආගම ගොඩ දමා ගත යුතු යැයි කියවෙන සංකල්පයයි.

දෙපැත්තට බෙදී මරා ගන්නට ආගමක්, ධර්මයක්, ජාතියක් මාකට් කළා නම් ලැබෙන්නේ කුමක්ද? වසර විස්සක් පුරා බැට කෑ ජාතියක්, විලි ලැජ්ජා නැතුව බලා පොරොත්තු වන්නේ ලංකාව දෙකට බෙදා ගන්නටද? නැතිනම් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමටද? නැතිනම් ඒ ගැන කතා කරනා උන්ට ලේබල් ගැසීමටද? මුහුණ දෙන්නේ පිළිතුරක් නැති ප්‍රශ්න ජාලාවකටය. අපට අපේ කම, අපේ ජාතිය, ආගම ගැන ඇති කැක්කුම, උන්ටත් ඒ වගේම නැතැයි කිව හැකිද? තීරණයක් නොමැත. කතා කිරීමෙන් සිද්ධ වන්නේද ලේබල් වලට යටත් වීමක්ය.

වෙසක් සතියේ දිනක, ලංකාදීප පුවත්පතේ මැද පිටුවේ අපූරු වෙළඳ දැන්වීමක් තිබුණේය. මැද පිටු දෙකම එකතු කොට තිබුනේ නිකන්ම හිස් පිටු දෙකක්ය. තනිකරම සුදු කිසිම අකුරක් නොලියවුණු පිටුවේ යටින් ඉතා කුඩාවට තිබුවේ පේලි හතරක කවියක්ය. එය දුටු වහාම ෆොටෝ එකක් ගන්නට සෑමා පෙළබුනේ මාකට් කිරීමේ කලාව ගැන ලිපියක් ලියන්නටය. එහෙත් එදා ඒ ලිපිය ලිව්වාට වඩා මේ දවස්වල මාකට් කිරිල්ල ගැන ලිවීම උචිත යැයි සිතුනේ ලිපිය ලියන්නට පටන් ගත්තාට පසුය. මන්ද මේ දිනවල කට්ටිය මාකට් එකේ බැහැලා වැඩ නිසාය. කඩෙන් කෑම කා අත පිසදාන්නට දෙන පත්තර පිටුවේ සාපය අප සියල්ලෝම දන්නෝය. අත් දෙකේ තෙත් වතුර පිසදමා, ඒ පත්තර කඩදහියෙන්ම මුහුණ පිසදා ගතහොත් වන්නේ කළු කාබන් කට පුරා, මුහුණ පුරා, ගා ගන්නට වන්නේය. ඒ නිසාම දැන් බොහෝමයක් කඩවල් වල අත පිසින්නට ටිෂූ දිය නොහැකි තැන තබා ඇත්තේ කාබන් අකුරු නොමැති, තනි පාට කඩදාසි කොළය. එම ක්‍රමය වඩාත් සාර්ථක වන්නේය. 

මේ වගේම තවත් ලෙඩක් වැටෙන්නේ සිල් ගන්නා උදවියටය. සිල්ගත්ත එකෙක් හැටියට සෑමාද මේ සාපයට ගොදුරු වී ඇත්තේය. මන්ද කඩදහි කොළ දමා සුදු ඇඳුම හැඳගෙන ඉදගත් විට ගෙදර ගොස් කාබන් යවන්නට වන්නේය. පත්තර පිටුව එහෙම්මම සරමේ ප්‍රින්ට් වන්නේය. සිල් රෙද්දේ කාබන් වැදීම නැති කිරීමේ සත් අරමුණින් රක්ෂණ සමාගමක් විසින් වෙසක් දින, ලංකාදීප පුවත් පතේ මැද පිටුව හිස් පිටුවක් කර තිබුණේ කවි පදයක් සමඟමය.

දැක ඇති නම් අය පුද බිම පින් කරන - පාට තැවරෙනා පත්තර මත හිඳින
ඒ වෙනුවෙන් හිස් කළ මේ පත්තර අසුන - දන් දී පෝ දිනේ බෝ පින් ලැබ ගන්න


වෙසක් දා ඇඩ් එකට පසු පොසොන් දවසේද තවත් ඇඩ් එකක් සෑමාගේ ඇස ගැටුනේය. එහි තිබුණේ හිරු රශ්මියට සෙවනක් වූ බුදු පිළිමයක්ය. ඒ සෙවනේ සිල් ගන්නා උපාසිකාවෝ දෙදෙනෙක් සිටියෝය. ඉන් කියවුනේ තම ආයතනයේ නිශ්පාදන මගින් ලබා දෙන සෙවන සහ සිසිලස ගැනය. එය කුඩ ඇඩ් එකක්ය.


උක්ත ඇඩ් දෙකේ වරදක් මා දකින්නේ නැත. සියල්ල මාකට් වෙන කාලයේ ජාතිය, ආගම, මාකට් නොකර සිටින්නේ නම් පුදුමයක්ය. මීට සරලව කිව හැක්කේ...

'අහේතු කාලෙන කජ්ජේන පුහුලං' කියා පමණක්ය.


Written_by_sAm_ශ්‍රී_Perera_7:35am_17/06/14

Tuesday, June 10, 2014

සීනි වෙනුවට දෝසි කෑම... - Option for Sugar !!


සෑමා මෑත කාලයේ පලකල ලිපියක නිවසේ අවශ්‍යතා නිවැරදිව කලමනාකරණය කරගැනීම සදහා වටිනා ක්‍රමයක් කියා දුන්නේය. එහි සදහන වූයේ කුස්සියට උවමනා බඩු මුට්ටු නිවැරදිව, කල් ඇතුව නිවසට ගෙන්වා ගැනීමට නම් කුස්සියේ පොත් පින්චක් තැබිය යුතු බවය. ඒ අනුව සෑමාගේ ගෙදර කුස්සියේද නෝට් පැඩ් එකක් තැබුවේය. එහි මුලින්ම ලියන්නට සිද්ධ වන්නේ පෑනක් අවශ්‍ය බවය. මන්ද පොතේ ලියන්නට පෑනක් නොතිබුණු නිසාය. පෑනක් කෝ ඇසූ විට කිටී කීවේ හෑන්ඩ් බෑග් එකේ කියාය. ඉන්පසුව හෑන්ඩ් බෑග් විස්සක් තිහක් අස්සේ පෑන තියෙන එක සොයා ගැනීම අපහසු විය. නැවත සෑමා ඇසුවේ හෑන්ඩ් බෑග් එක කෝ කියාය. පසුව නිවැරදි බෑගය සොයාගෙන පෑන ගන්නට වූයේය. එදා එලෙස ලියවූ ලිපියෙන් කියවුනේ නිවසේ බඩු වැඩි වීමෙන් මුහුණ දෙන්නට වන්නාවූ අකරතැබ්බ සහ නිසි කලමනාකරණයකින්, පෙර සූදානමකින් නිවසට අවශ්‍ය බඩු මුට්ටු රැගෙන ආ යුතු බවක්ය.



එහෙත් හැම ක්‍රමයක්ම සදාකාලික නොවන බව වැටහුනේ විවාහයෙන් මාස කිහිපයකට පසුවය. මුලින්ම බඩු ලිස්ට් පොත අප අතරින් ඉවත්ව ගියේය. තවත් ප්‍රසිද්දියේ කිව නොහැකි ක්‍රම කිහිපයක් නැතිව ගොස් අලුත් ක්‍රම අප සොයා ආවේය. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ගැන පොතේ ලියන ක්‍රමය වෙනුවට සතියකට වරක් පොලේ යාම, සුපර් මාකර්ට් යාම අපට හුරු වූයේය. මුල් සතියේ ගමේ පොලට සෑමා බැස්ස දවසේ පොලේ සිටි දන්නා හදුනනා උන් බැලුවේ පිටසක්වල කුමාරයයි, උගේ පවුලයි පොලේ ආ ලෙසින්‍ ය. සමහරු සිත යටින් සිතන්නට ඇත්තේ "ආ ඔය කරගත්තේ.." කියා විය යුතුය. කෙසේ හෝ බැදගත් බෙරේ ගැසිය යුතු බවටත්, මට වෙච්ච දේ එතරම් දෙයක් නොවන බවට සතුටක් දැනුනේ අමිලයාව පොලේදී මුණ ගැසුනු නිසාය.

"අඩෝ, අමිලයා පේනවනේ අපිට වෙච්ච දේ... "

"පිස්සුද බන්.. උබ ඔය බැදලා පොලේ එන්නේ.. මම මේ බදින්නෙත් නැතුව පොලේ එන්නේ.."

අමිලයා සෑමාගේ සිත සනසන වදන් කිහිපයක් කීවේ ඈතින්සිටි තම පෙම්වතිය පෙන්වමින්ය. උගේ වෙඩිමට තවත් තිබ්බේ මාස කිහිපයක්ය. ඊටත් පෙර සිටම කොල්ලා වැඩට බැස තිබ්බේය.

කෙසේ හෝ නිවසේ නැති බඩු පොත් නොතැබීම නිසාවෙන් තරමක අපහසුතා මතුවන්නට පටන් ගත් බව කිව යුතුය. "ගෙදර පොල් තෙල් නැහැ.. එද්දී අරන් එන්න.." වැනි වචන දුරකතනය ඔස්සේ නිතර ඇසෙන්නට ලැබුනේ පොත නොමැති වීමෙන් පසුය. පොල් තෙල් බිත්තර වැනි දෑ කිටියා රැගෙන එන්නට කියූ කළ ඒවා ගෙදරට ලැබෙන්නේ දින කිහිපයකට පසුවය. ඒ සෑමාගේ කල්පනාවේ හොඳකම නිසාය. එහෙත් ඒවා නොමැතිවද ගෙදර කෑම, බීම සැදෙන්නේය. තෙල් නැත්නම් කෑම හැදෙන්නේ කෙසේද? යන්න සෑමාගේ සිත තුල කැකෑරෙමින් තිබූ ප්‍රශ්නයක්ය. එක්කෝ ගෙදර තෙල් අහවර වීමට ප්‍රථම කිටියා පෙර දැනුම් දීම් කරනවා විය යුතුය. එසේ සිතාගෙන සෑමා දින කිහිපයකට පසුව තෙල් රැගෙන ආවේය.

එහෙත් පසුගිය දිනක සිදුවූයේ මහා ඛේදවාචකයක්ය. දින කිහිපයකට පෙර කිටියා සීනි රැගෙන එන ලෙසට ඉල්ලීමක් කළාය. එය පොතේ හැටියට ගෙදරට රැගෙන එන්නේ දින දෙකකින්ය. මන්ද සෑමාගේ කල්පනාව ඒ තරමට හොඳය. විවාහයට පෙර අම්මාගේ තේ එක උදේම ගසන සෑමා එහි වැඩි සීනි ඇති නිසා ඉතා සතුටින් බිව්වේය. එහෙත් කිටියා අවධානමට පෙර සූදානම කියමින් සීනි දාන්නේ අඩුවෙන්ය. හිත හදාගෙන එම තත්වයට සෑමා දැන් හුරු වී ඇත්තේය. සෑමාගේ තේ එකේ කෝප්පයේ පාවෙන පෙන තිබීම, රස්නය නොමැති වීම, පිටි කැටිති තිබීම වැනි හේතු තේ එක විසි කිරීමට හේතු වන්නේය. රස්නය නැතිව තේ එක බීම සිද්ධ වන්නේ පමා වී අවදි වීමෙන්ය. එය බොන්නටම වූ තැන කරන්නේ ඇස් දෙක තදින් පියාගෙන අරක්කු බොන ආකාරයට එක හුස්මට ගිල දැමීමය. පිටි කැටිති තිබූ විට නම් නැවත තේ එක පෙරීමට සිදුවන්නේය. ඉකුත් දා පාන්දර තේ එක කටේ තබන විටදීම පිටි කැටිති ලෙස දැකීමෙන් සෑමා තේ එක පැත්තකින් තැබුවේය. මල කෙලියක්ය. නිදිමර ගාතයේ තේ එක පෙරන්නට සිද්ධ වන්නේය. එය පෙරා නැවත බිව් සෑමා ඉන් පසුව කිටියා ඇමතුවේය.

“තේ එකේ මොනවද කැට වගේ තිබ්බා.. ඔයා ඒක පෙරුවෙ නැද්ද?“

“නැහැ.. මම පෙරල නේ ගෙනාවේ...“

“මම ආයෙත් පෙරල බිව්වෙ.. මොනවද පා වුණා..“

“අප්පට හුඩු එහෙනම් පුහුල් දෝසි වෙන්න ඇති...“

“මොක?? දෝසි???“

“ඔව් බබා ගෙදර සීනි නැති තැන, පාන්දර මම දෝසි ටිකක් හූරලා තේ එකට දැම්මා.. ඒ කෑලි පොඟලා කැටි ගැහෙන්න ඇති...“

එම වචන ස්වල්පය ඇසී සෑමාගේ ඇඟ කිලි පොලා ගිය අතර ඔක්කාරයට වගේ ආවේය. එහෙත් කතා කළ යුතු තැන එතැන නොවන නිසා සෑමා සද්ද වසාගෙන සිටියේ, කුමක් හෝ ගෙදරට රැගෙන එන්නට කියූ කළ ඒ අවස්ථාවේම රැගෙන ආ යුතු බව සිතේ තබා ගනිමින්ය.

නැති නම් ගෙදර දෙහි නැති විටක, ෂැම්පූ පැකට් එකක් කඩා කෑමට දමනවා ෂුවර්ය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:12am_10/06/14

පලි - අඩේ තෙල් නැති කාලෙ මොනවද මන්දා කෑමට දැම්මේ???
Related Posts Plugin for WordPress, Blogger...