Google+ Followers

Sunday, March 30, 2014

කැරළි වීරයෝ මර්ධන සහ ජයග්‍රහණ... - Protests & Victories !!!




සමාජ ක්‍රමයකට එරෙහිව උඩුගම් බලා පිහිනන පුද්ගලයන් හා ඇලලුනු වීර කතාන්දර කියවා ඇත්තෙමු. කියවා අවසන පොත වසා පැත්තකින් තබා කල්පනා කරන්නේ එවන් වීරයෙකු වන්නටය. එහෙත් මොහොතකින් ඒ සියළු හැගීම් අවසානය. නැවත වැටෙන්නේ පරණ සුපුරුදු ජීවිතයටය. පවතින පාලන ක්‍රමයකට ඇලී එහි බත් බැලයන් වෙමින් ප්‍රමුඛ සුව සැප සොයමින් ජීවත් වන්නෝ කිසිදා ආත්ම තෘප්තියන් නොලබත්. එසේම ලැබෙන සුවයද තාවකාලිකය. අවසන ඉතුරු වන්නේ ‘ඉජු.. ඉජු‘ කියනා කලෙක පස්සෙන් ගොස් ගත් ආතල් පමණක්ය. එය තම කොන්දට මෙන්ම පරම්පරාගත නෑ පිරිවරටද කොන්ද කෙලින් තබා ගැනීමේ උපත් අයිතිය නැති කිරීමක් පමණය. උපතින් කොන්දක් එන්නේ කෙලින් තබා ගන්නට මිසක වකුටු කොට කොන්ද අඟට නැට්ටක් සවිකරගෙන, සිතින් පත් කර ගත් ස්වාමියාට වනන්නට නොවේය.

පවතින ක්‍රමයට විරුද්ධව නැගී සිටින්නට, අසාධරණයන්ට එරෙහිව නැඟී සිටින්නට තරම් ශක්තියක්, බත් බැලයන් දුටු කළ කැළඹෙන රත් වූ ලේ කැටියක් සහිත උපදින්නේ වීරයන්ය. විටක උන් ප්‍රකට නොවන්නෝය. නමුත් අරගලයන්ට නායකත්වය දෙන්නෝය. සාධාරණය වෙනුවෙන්, ඉපදෙන්නට ඉන්න එකා ණය කාරයෙක් නොවන්නට කටුයුතු කොට ඔහේ කැටිවෙන රුධිරයෙන් වැඩක් ගන්නෝය. බත් බැලයන් පැත්තකට වැටී අත ලෙව කමින් පුටු රත් කරමින් එක තැන වැටී ගලා යන ලේ පොඳ කැටි ගැසෙන්නට ඉඩහරිද්දී වීරයෝ තම ලේ පොඳිය රත් කොටගෙන ලෝදිය මෙන් ගලා යන්නට සලස්වන්නෝය. ඒ ගල රත් වූ ලේ දහරින් කරන්නේ පෙරළියක් මිසක කඩේ යාමක් නොවේය.

නඟුට වනමින් පස්සෙන් ගොස් ජීවිතය ගොඩ දා ගත් එකාට කොන්දක් නැතිය. කඩේ යෑම පමණක්ම ඉතුරු වන්නේය. නැත්තං කන බත් පතට කෙළ වන්නේය. එහෙව් එකාට රටක් ජාතියක් ආගමක් වැඩක් නැතිය. කටු උලා කමින් ලඟ දැවටෙමින් සිටින්නෝය. පෙරලියක් නොමැත. අරගල නොමැත. බඩේ දැවිල්ල හැදෙනා විට කට කොනට වැටෙනා දේ සුප්පු කරන්නෝය. වීරයක් පිළිකුල් කරන්නෝය. මහ එකාගේ එක උලා කමින් වැඩෙන්නෝය. විටෙක මහ එකාට වඩා ප්‍රතාපවත්ව වැඩෙන්නෝය. ඒ අස්සේ වීරයා තම දහඩියෙන් මහන්සියෙන් ගොඩ දාගන්නා දේ ඇසුරෙන් හැදී වැඩී අරගල සඳහා ශක්තිමත් වන්නෝය. කොනක සිට, මහා රුධිර වාහිනයේ සිට කේෂ නාලිකාව දක්වා පුපුරමින් බලා සිටින්නේ අසාධාරණය උසුලා ගැනීමට නොහැකිවය. නැතිනම් අනෙක් බත් බැලයන් සේ උලා කන්නට හැකියාවක් නොමැතිව නොවේය. එසේම කඩේ යන්නට නොහැකියාවක් ඇති නිසා නොවේය. හිත් කොනක සිට පුපුරා යන අසාධාරණය අවිනීතිය උසුලා ගැනීමේ අපහසුවක් නිසා මිසක, වීරයෙක් වීමේ පරම අශාවෙන්ද නොවේය.

මර්ධනයට එරෙහිව මංගල වෙඩි මුරය සනිටුහන් වෙද්දී, කැරළි වලින් සාර්ථක ඵලයන් අත් වෙද්දී ජයග්‍රහණයක සේයා ඈතින් දිස් වෙද්දී බත් බැලයෝද සැලෙන්නෝය. ඉරිසියාව උඩු දුවා මහ පාරට වැටේ වී යැයි බියෙන් මහ එකා උස්සාගෙන කැලේ දුවන්නෝය. මහ එකා කැලේ පැන්න විටක කැලේ සිට අරගල කළ වීරයෝ පාරට බසින්නේය. දෙයක් සොයා ගෙන කන්නට බැරි, අතට දෙන දේ කටේ දමා ගත් මහ එකා සේම බත් බැලයාද කැළේ අසරණ වන්නේ පෙර සිටම උපයා ගත් හැකියාවක් නොමැති නිසාය. පොඩි එකාගේ බත් පතට කෙලිමින් සීතල කාමරේ පුටු උඩ කැරකෙමින් කකා බිබී ආතල් ගත් බත් බැලයාගේ සිට මහ එකා දක්වාම කැළේදී අසරණ වන්නෝය. වීරයෝ, කැරළි නායකයෝ, අරගලකරුවෝ, මහ උන් කැළේ පන්නා පොඩි මිනිසාගේ සිට මහ එකා දක්වා එකම මට්ටමක තබමින් ලොවක් දිනන්නෝය. 

ඒ දිනය වැඩි ඈතක නොවේය. එදා සිට පුපුරමින් ගලා හැලෙන විප්ලව වාදී රුධිරය අසාධාරණයට එරෙහිව පමණක්ය. මර්ධනයට එරෙහිව පමණක්ය. කොටින්ම පොඩි මිනිසා වෙනුවෙන් පමණක්ය. බත් බැලයන්ගේ මොල පොඩ්ඩන්ට මෙය නොතේරෙන්නේ නැතිය. උන්ට ඇත්තේ කොන්දක් නැති කම මිසක උවමනාවක් නැති කම නොවේය. තම බුරිය උල්වී එන තරමට කන්නට ලැබෙන මස් කට්ටට ගිජුකමේ උඩ බලාගෙන ලොක්කාගේ කිතුල් ඇටය ලොවන්නට ඉගෙන ගත්තා මිසක ජීවත් වන්නට නොදත් නිසා පව් ගෙවන්නෝය.

මෙය අද ඊයේ පටන් ගත් සටනක් නොවේය. අසාධාරණය දුටු තැන සිට පටන් ගත අරගලයක්ය. විටක නිහඬය. විටක වැටීම් පෙරලීම්ද සහිතය. දැන් අරගලයේ උච්ච තැනය. ජයග්‍රහණයේ සංකේත දකින යුගයක්ය. ඇත් සේනා පෙරටු කොට, ගිණි සිළුවේ ආලෝකය පෙරටු කොට, කස, බෙර හඬ මැද්දේ සීනු හඩින් ජයග්‍රහණයේ සංකේත දකින යුගයක්ය. නව ජීවිතයක සැබෑ අරුණළු දකින යුගයක්ය. යුධ පිටියේදී කඩු පහරින් කැපී රතු ලේ කඩු තුඩේ දිලිසෙන්නේ යම් සේද, දිලිසෙන දිදුලන අනාගතයක පෙර නිමිතිය. එවන් අනාගතයකට හුස්ම පොදක් වූ සැමට ස්තූතිය. බත් බැලයන් වූ සැමට නොවක් ස්තූතිය. මන්ද ඔබ බත් බැලයන් වූ නිසාම අපේ රුධිරය උණු වූයේය. ඒ උණු වූ තැන සිටම අප නොනැවතී සටන් කෙරුවෙමු.

Written_by_sAm_ශ්‍රී_Perera_8:50am_30/03/14

පලි - ලිපිය කී බෝඩ් එක මත අකුරු කරද්දී දෙඅත් වෙව්ලන්නට වූ නිසා නැවත කියවා සංශෝධනය නොකරම පළ කරමි.

Wednesday, March 26, 2014

බැස්මට හේතුව.. - Reason of Going Down !!!


කන්දක් නැග්ගොත් බැස්මක් ෂුවර්ය. ඒ නිසා අපේ උන් හති දාගෙන කන්ද නගින්නෝය. ඒ පල්ලමක් බලාපොරොත්තුවෙන්ය. පල්ලමක් නැති වුණ දාට කෙළවෙන්නේය. හැමදාම නගින දේවල්ද, කාලයකදි හැමදාම බැස තිබෙන දේවල්ද සමාජයේ ඇත්තේය. ඒවා ජීව විද්‍යාවට අනුව කරුණු කාරණා සොයා බැලිය යුතුය. මේ ලියන්නට යන්නේ බැසීමට හේතු වෙන කරුණු ගැනය. ආනත තලයක් දිගේ අතහරින බෝලය තලය දිගේ රෝල් වන්නේ, බැස යන්නේ ඒ තලයේ ආනත බව නිසා බව අමුතුවෙන් කිව යුතු නැතිය. එහෙත් අප කවරදාකවත් නොසිතනා හේතු නිසා බැස යන දේවල් ද ඇත්තේය. යම් කිසි පුරුද්දක්, පිහිටීමක්, වෙනස් වුව හොත් බැසීමක් සිදුවන බව සෑමාට වැටහුනේ බ්ලොග් එකේ බැස්ම දුටු විටය.


මේ බැස්මට හේතුව සෑමා කල්පනා කළේය. මෙයට අවංක හේතුව නම් ලිපි ලියන ප්‍රමාණය අඩු වීමය. ලියන්නට සූදානම් වෙන විට ඇතිවන කම්මැලි කම මෙන්ම තවත් හේතු ඇති බව සෑමාට වැටහී ගියේය. එසේ කල්පනා කරන විට සිතට ආවේ කිසිවක් නොව “පිහිටීමේ“ ගැටළුවක් ගැනය. වෙනදා බ්ලොග් ලිපියක් ලියන විට සෑමා ලැප් එක තබා ගන්නේ පපුව මට්ටමට තරමක් පහලින් වූ මේසයක් මතය. කොටින්ම කිව හොත් එය ටේබල් මේට් වර්ගයේ මේසයක්ය. එය මෑත භාගයේදී සිදුවූ ව්‍යවස්ථා සංශෝධනය මත නිවසින් ඉවත් කිරීම නිසා සෑමා වැටුනේ තරමක් උසින් අඩු ස්ටූල් එකක් මතටය. ඒ මත තබාගෙන ලිපියක් ලිවීමේදී කොන්දේ අමාරුවක් මතු වන්නේය. එවිට ලිපිය අතර මඟ නැවතී ඩ්‍රාෆ්ට් කිරීමට සිදුවන්නේය. බ්ලොග් ලියන්නෙකු ලිපියක් ඩ්‍රාෆ්ට් කරන්නේ නම් ඒ ලිපිය ගැන තිබෙන අදහස අතහැරිය යුතුය. මඟදී නවතින ලිපියක් නැවත එළියට අරන් ලිවීමේදී ලිපියේ රසවත් බව අඩු වන්නාක් මෙන්ම, ලිපිය නැවත ආරම්භ කිරීමටද සිතේ අකැමැත්තක් ඇති වන්නේය. ඒ නිසා තමන්ට ගැලපෙන පිහිටීමක් නොමැති නම් එය හුදෙක් බැස්මකට හේතු වන්නේය. නියම ගැලපෙන ස්ථානයක් තෝරා ගැනීමෙන් එය නැගීමක් ඇති කිරීමට සමත් කරන්නේය. එම සරල දහම මෙතරම් දරුණු උදාහරණ සහිතව ඉදිරිපත් කළ යුතු නොවන්නේය. සිරවූ බස් රථයකට නැගීමෙන්, පසුව ගැලපෙන ස්ථානයක්, හොඳ පිහිටීමක් හිමි වීම නැඟීමකට හේතු වන්නා සේම, හොඳ තැනක්, පිහිටීමක් නොලැබීම බැස්මකට හේතු වන බව සියළු මඟීන් දන්නා කරුණක්ය.

අප ඒ කාලේ විහිළු යැයි කියූ දේවල් සැබෑවටම සිතට ගත යුතු දේවල්ය. පිහිටීම වෙනස් වීම හොද ප්‍රථිඑලයක් එළියට දීමට ඇති වන්නාවූ බාධකයක්ය. ඒ කාලයේ විහිළු කතාවක් තිබ්බේ කොන්දොස්තර කෙනෙක් ගැනය. කොන්දා බස් එකේ ටිකට් ලියන්නේ ගැස්සෙමින්ය. ගමන් කරන බස් එක ඇතුලේ අකුරු ලිවීම අපහසුය. එහෙත් කොන්දාට නම් එය අමුතු දෙයක් නොවන්නේ පොර හැමදාම කරන නිසාය. ඒ පිහිටීම තුල කොන්දා සාර්ථකය. එසේම වැනෙන, ගැස්සෙන බස් එක ඇතුලේ නොවැටී ගමන් කිරීමට තරම් කොන්දා දක්ෂ වන්නේ ඒ පිහිටීම ඔහුට උරුම වූ නිසාය. එකී කොන්දාගේ විවාහ ගිවිසීම දවස එළැබෙන්නේය. මේසය මත සියලු ලිපි ගොණු තබා කොන්දා අතට පෑන ලැබෙන්නේ විවාහය සඳහා අත්සන් තැබීමටය. කොන්දා ඉහින් කනින් දහඩිය පෙරාගෙන වට පිට බලන්නේ තමන්ගේ පිහිටීම අවුල් ගිය නිසාය. අවසන තත්වය තේරුම් ගත් දෙවෙනි මනමාලයා හෙවත් බස් රථයේ ඩ්‍රැයිවර් මහතා මේසයේ කොනක් අල්ලාගෙන වැරෙන් සොලවන්නේය. කට කොනින් සතුටු සිනා ගලා විත් කොන්දා අත්සන ලස්සනට ගසන්නේය. ඒ කොන්දා හුරු වූ පිහිටීමය. එය වෙනස් වූ කලෙක ඔහු අපහසුතාවයට පත් වන්නේය. කොන්දාගේ නැග්ම, සෙලවීම මත තීරණය වන්නා සේම බැස්ම, සෙලවීම නතර වීම මත රඳා පැවතියේය. එවිට එදින රාත්‍රියේ සෙලවූයේ ඩ්‍රැයිවර්ද කියා අසනා පුද්ගලයන්ට සිතන්නට යමක් ඉතිරි කළ යුතුය. 

ඒ කාලේ මේවාට සිනා සී අතෑර දැමූ අපිට දැන් කාලේ මෙතරම් දේවල් සිතෙන්නේ මන්දැයි පුදුම සහගතය. විනෝද චාරිකාවක් ගිය විට, හෝ ගෙදරින් පිට කිසියම් තැනක රැයක් පහන් කළ විට පසු දින උදෑසන අර්බුධයක් පැන නගින්නේය. එහ බහුතර මනුෂ්‍ය වර්ගයාට සිද්ධ වන්නාවූ දෙයක්ය. ඇත්තෙන්ම එලෙස පසුදා උදෑසන වැසිකිලි යෑමේ අර්බුධය ජනිත වන්නේ පිහිටීම වෙනස් වීමේ සංසිද්ධිය නිසාය. වරක් කන්දක් මුදුනේ නයිටක් ගසන්නට ගිය සෑමා ඇතුලු මිතුරන්ට ඔය සංසිද්ධියම වී අහවල් කාරණය සෙට් වූයේ දහවල දිය ඇල්ලකින් ස්නානය කරන විටය. එවිට සෙට් වෙන අනු පිලිවෙලින් ඇල්ලේ පහල දිශාවට ගොස් සියළු බර නිදහස් කොට ඇල්ලේ ජල පහර දිගේ ගලා යාමට සලසවන්නට වූයේ පිහිටීමේ වෙනස් වීමෙන් පීඩා විඳි නිසාය. එසේත් සිදු නොවී සමහරුන්ට නැවත නිවසට එනතුරුත් එවන් බරක් සෙට් නොවන්නේ පිහිටීමේ වෙනස් වීම නිසාය. යමෙක් හුරු පුරුදු වූ පිහිටීම නැග්මට හෝ බැස්මට හේතුවන බව ඉන් මනාවට පැහැදිලි වන්නේය.

උක්ත කරුණු කාරණා අධ්‍යයනය කිරීමෙන් බැස්මට හේතුව සොයා ගැනීමට සෑමාට හැකි වූයේය. නියම පිහිටීමකට පිවිස නැවත ලිවීම ආරම්භ කළොත් නැගීමක් ෂුවර්ය. දැනට පවතින පිහිටීම වෙනස් කොට නැවත පෙර පිහිටීමට ගොස් නැග්මක් ඇති කිරීම සෑමාගේ අභිලාෂය වන්නේය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:45am_26/03/14

Saturday, March 22, 2014

මෙවර මැතිවරණ ජය කාටද? - Who Will be the Winners ???




මෑත දිනකදී සෑමාට පාසලේ නංගී කෙනෙක් මුණ ගැසුනේය. සුළු මොහොතක ඕපා දූප කතා කිරීමකින් අනතුරුව ඇය කෙලින්ම කතාවට බැස්සේ දෙරණ ටීවී එකේද කොහෙදෝ සිටිනා දිල්කී මෙන්ය.

අයියා තාම අතනද වැඩ?

ඔව් එතන තමා.

මේ පාර අපේ ගෙදර ඡන්ද 7ක්ම ජෙනරාල්ට දෙන්නෙ අයියේ..

අඩේ එහෙමද?

ඔව්. අපි ඉතිං පරම්පරාවෙන්ම යූ.ඇන්.පී. ඒත් හරි යන්නෙ නැති නිසා දෙනවා මේ පාර ගණි සිළුවට.

ඒක හොඳයි. ඉතිං මගේ ජොබ් එකෙයි, ජෙනරාල්ගෙයි සම්බන්ධෙ මොකක්ද?

අයියා සර් ලඟ නේද වැඩ??

කට උත්තර නැති වූ තැන සෑමා කීවේ ජොබ කරන අතර වාරයේ පක්ෂයට සපෝට් කරන බවක්ය.

***

තවත් කතන්දරයක් සැට් වුනේ අපේ මිත්‍රෙයකුගේ නිවසේදීය. ඇන්ටී දේශපාලනය පිළිබඳ කලකිරී සිටින්නීය. මා සමඟ සිටි අපේ මිත්‍රයා කෝමත් ආණ්ඩු විරෝධීය. එහෙත් විපක්ෂයේ කුමන පක්ෂයකට කතිරය කොටයි දැයි නොදන්නේය. පොර කතාව ආරම්භ කළේ රත්තරං වාහිණියේ බුජ්ජික වගේය.

ඇන්ටී මේ පාර කාටද ඡන්දෙ දෙන්නේ..

අනේ මන්ද පුතා.. ඔක්කොම එකයි.

ඇයි ඇන්ටි එහෙම කියන්නෙ.

වැඩක් නැහැනෙ. බලන්න දැන් ඉන්න අය කරන විදිහ. අපිට එපා වෙලා ඉන්නෙ.

ඒක නම් ඇත්ත ඇන්ටි. මාත් හිතන් ඉන්නෙ ඡන්දෙ නොදා ඉන්න.

අනේ එහෙම කරන්න එපා පුතා... ඔයාගෙ අයිතිය ඔයා පාවිච්චි කරන්න. අනික ඔයා ඡන්ද පොලට ගියෙ නැත්තං ඔයාගෙ ඡන්දෙ වෙන කාට හරි දාල තියෙයි.

ඒකත් ඇත්ත තමා ඇන්ටී. ගිහිල්ල අවලංගු ඡන්දයක් දාල එන්න ඕනෙ.

එහෙත් මිතුරා නිවසින් පිටත්ව එද්දී කියා සිටියේ, “පිස්සුද මචං. අවලංගු ඡන්ද දාන වෙලා ආණ්ඩුවට පොඩ්ඩක් හරි රිද්දවන්න විපක්ෂයේ පක්ෂයකට ඡන්දෙ දෙන්න ඕනෙ“ කියාය.

***

අපේ මිත්‍රෙයකුගේ ඔපීසිය අසල පුංචි කඩයක් තිබෙන්නේය. උන් ඒකට රිංගන්නේ ප්ලේන්ටි ගැසීමට නොව ඇන්ටීගේ දුව දෙස බලමින් කහට බොන්නටය. එතැනදී ඇන්ටී ජීවත් වන්නට කීයක් හෝ හොයන්නට දෙන ගේම දකින්න හැකි වූයේය. තම ස්වාමියා බරපතල රෝගී තත්වයක සිටියදී තිදෙනාට කන්න බොන්න දෙන්නට ඉගෙනීම් කටයුතු වලට මුදල් සොයන්නේ ඇන්ටීය. මේ ඇන්ටී සමඟ ගිය සාකච්ඡාවක්ය.

මේ පැත්තෙ සැරටම ඡන්ද වැඩ නේද ඇන්ටී.

ඔව් ඉතිං මෙහෙ කොළඹ දිස්ත්‍රික්කෙට නේ අයිති වෙන්නෙ.

ඇන්ටි මේ පාර කාටද දෙන්නෙ??

අනේ මන්ද පුතා. දෙන්න කියල හරි හමං විපක්ෂයක් නැහැනෙ.

ඔව් නේ. රනිල් ලොක්ක ඉන්න කල් ගොඩ ඒමක් නැහැ වගේ.

අපේ මහත්තය නම් කියන්නෙ ජේ.වී.පී එකට දෙන්න කියල.

ඉතිං හොඳයි නේ ඇන්ටි. අනුර කුමාර මේ පාර ලොකු ගේමක් ගහනවා.

පිස්සුද පුතා. ඒ කාලෙ අපි හිටපු විදහ මතක් වෙද්දි දෙන්න හිතෙනවද?

ඇන්ටි ගියපාර දුන්නෙ කාටද?

මහින්ද මහත්තයාට තමා. 

මේ පාරත් දෙයි ඉතිං.

ඇන්ටී සිනා සැලුවාය. ඒ කියන්නේ මේ පාරත් මහින්ද ලොක්කා ගොඩය. ඇන්ටී හෙන ගේමක් දී කන්න බොන්න උත්සාහ කළත් මහින්ද ලොක්කා ගොඩය. එහෙත් ඇන්ටී එදා වෙච්ච දේ ඇසුරෙන් ජ.වි.ප.ය මැන බැලීම පට්ට අසාධාරණය. නැවත එවන් යුගයක් එනවා යැයි කීම මහා මෝඩ සිතුවිල්ලක්ය. එය ජෙනරාල්ට මැතිවරණයට එද්දී, ඉඩි අමීන් පාලනයක් ඒ යැයි, හමුදා පාලනයක් ඒ යැයි, කියා මහින්ද මාමාට කතිරය ගැසුවාක් හා සමානය.

***

මේ සියළු කතාන්දර මැද්දේ ජය ගන්නේ ගම්පහින් සුසාරද, කොළඹින් මරික්කාර් ද, කොළඹින් කිඳෙල් පිටිය යන තිදෙනාය. අවසන ජයග්‍රහණය සිරසටය. ගම්පහින් ආණ්ඩුවට දර දිය ඇද්දා වූ පිරිස සිටියදී සුසාර ජය ගැනීම පක්ෂයේ ප්‍රශ්න ඇති කරන්නක් වේද? බැලිය යුත්තේ ඊට පසුවය. මරික්කාර් සහ කිඳෙල් පිටිය පෙර සිටම විපක්ෂය වෙනුවෙන් පෙනී සිටි නිසා ගැටළු ඇති නොවන්නේය. කෙසේ නමුත් මාධ්‍යට අලුත් දෙයක් කරමින් හැමදාමත් කතන්දර ඇසූ සිරසට මෙවර මැතිවරණ ජය ලැබීම පිළිබඳ සෑමා තුල ඇත්තේද අවිහිංසක සතුටක්ය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:03am_22/03/14

Wednesday, March 19, 2014

මිණුම් දඬු සම්බන්ධවයි.. - About Measurements !!




පාසල් කාලයේදී මිණුම් දණ්ඩ කියූ විට අපේ පන්තියේ කොල්ලෝ සැට් එක සිනාසුනෝය. ඒකට හේතුව ටීචර් සෙවූයේ කුඩා දැරිවියක සේය. නමුත් “දණ්ඩ“ යන වචනය සතුව ගැඹුරු අසමජ්ජාතී අරුතක් ගැබ්ව ඇති බව ඒ වයසේ සිටි කොල්ලන්ට තේරුනෝය. ඒ නිසාම ටීචර් දණ්ඩ කියමින් පන්තිය ඉදිරිපිට සිටින විට කොල්ලෝ සිනාසුනෝය. අපේ සියලාගේ කාලේ නම් මිණුම් දඩු දැන් තරම් සරල නැතිය. ඒවා මහා සංකීර්ණ ඒවාය. යාර, හැතැප්ම, හෙක්ටයාර, ආදී ලෙස තිබූ ඒවා සංකීර්ණ ඒවාය. එහෙත් දැනට පවතින මිලි මීටර, සැන්ටි මීටර, කිලෝ මීටර ආදී ඒවා භාවිතය පහසුය. ඒවා සුද්දාගේ ඒවාය. ඒ නිසා 10, 100, 100 ආදී ලෙස වෙනස් වන්නේය. සීයලාගේ කාලේ ඒවා වෙනස් වූයේ කැඩිච්ච ගණන් වලින්ය. ඉතිං සීයලා සංකීර්ණ මිණුම් දඬු ක්‍රමයකටත්, අපි හෙවත් මුණුපුරන් සරල මිණුම් දඬු වලට හුරුව ඇත්තේය.

ටීචර් අපිට මුල්ම කාලයේ කියා දුන්නේ අඩි කොදුවෙන් මිණුම් ගන්නා හැටිය. ඒ කාලේ තිබුනේ භාගේ අඩි කෝදුවක්ය. ඒ කියන්නේ අඟල් හයේ එකක්ය. එය සැන්ටිමීටර 15ක්ය. අපිව එක වසර පන්තියට භාර දෙද්දී ලබා දුන් පොත් ලැයිස්තුවේ අඩුම කුඩුම අතර තිබ්බේ මීටර කෝදුවක් ගේන්න කියලාය. පන්තියේ ඉන්න සැට් එකේ දෙමව්පියෝ සියල්ලෝම මීටර කෝදු පන්තිභාර ටීචර්ට භාර දුන්නෝය. ඒවා ඊට පස්සේ අපිට දකින්නවත් නොලැබුනේය. එහෙත් ටීචර් පන්තිය නිෂ්ශබ්ද කරන්නට නම් ඒවා පාවිච්චි කළාය. ඒ මේසයට තඩි බාන්නටය. දඩස්, දඩස් ගා මීටර කෝදුවෙන් මේසයට ගසනා විට පන්තියම සයිලන්ට්ය.


ආරම්භක විද්‍යාව කාලයේ අපිට පන්තිය වටේ, පාසල වටේ දුර මනින්න කියා ටීචර් කීවාය. එවිට අපේ එවුන්ගේ ඇස් උඩ ගියේ “යකෝ මේ පුංචි කෝදුවෙන් කෝමද ඉස්කෝලෙ ඉඩම මනින්නේ“ කියා සිතමින්ය. ඒ හැරත් බිම දිගේ කෝදුවකින් මැනීම අපහසු බව අමුතුවෙන් කිව යුතු නැතිය. ඉන්පසු ටීචර් කීවේ ඒකට වෙනම ගැජට් එකක් තියෙනවා කියාය. එය කරත්ත රෝදයක් වගේ එකක්ය. එයට මිටක් ගසා ඇත්තේය. එය රැගෙන පන්තිය වටේ තල්ලුකරගෙන යද්දී රෝදය වටයක් කැරකෙද්දී කටස් සද්දයක් ඇසෙන්නේය. එම කටස් ශබ්ධ වාර ගණන හෙවත් වට ගණන ගණන් තබා ගැනීමෙන් දුර මැනිය හැකිය. එය කෝදුවක් රැගෙන වත්ත වටේ දුවනවාට වඩා පහසු ක්‍රමයක් වූයේය. වරක් ඇන්ටනා බටයක උස මැන ගැනීමට අවශ්‍ය වූ විටක එය බිමට පහත් කොට, බටයේ දිග මනින්ට සිදු වූයේය. එවිට අපේ එකෙක් කීවේ බටයේ උස මැනිය යුතු තැනදී බටයේ දිග මැනීම වැරදි බවක්ය. ඔහුට ගණනය කිරීමට අවශ්‍යව තිබුනේ උස මිසක බටයේ දිග නොවන බවත් හෙතෙම කීවේය. පසුව අපේ තවත් එකෙක් කුණුහබ්බ දෙකක් සමඟ ඔහුට කීවේ “තොට ඕනෙ නම් බටේ දිගේ බඩ ගාලා උස මැනපං, අපි යට ඉදන් බටේ කෙලින් කරන් අල්ලන් ඉන්නම්“ කියාය. මිතුරාගේ කට වැහුනේ එවිටය.


අපි පසු කාලීනව එළැඹුනේ කවකටු, කෝණමාන, බෙදුම් කටු යුගයටය. ඒ කාලේ කවකටු පෙට්ටිය ජාතික මෙහෙවරක් ඉටු කලේ මිණුම් කටයුතු සඳහා නොවේය. පන්තියේ බජව් දැමීමේදී සංගීතය සපයා ගැනීමේ කාර්යයේදී කවකටු පෙට්ටිය මහා ජාතික මෙහෙවරක් ඉටු කළේය. එසේම එම උපකරණ ආශ්‍රිතව විවිධ ක්‍රිඩාද බිහි වූයේය. බෙදුම් කට්ටෙන් ඉලක්කයට ගැසීමේ ක්‍රීඩාව ඉන් එකක්ය. එලෙස අංශක ආධාරයෙන් කෝණ මැනීම ආරම්භ වී ටීචර්ද පන්තියට තඩි කෝණමාන, කවකටු ගෙනාවාය. ඒවා කළු ලෑල්ලේ ඇඳීමට තරම් විශාල ඒවාය. කවකට්ට ඇතුලට හුණු කූර දමා කළු ලෑල්ලේ ඇඳීම ඉතා ආතල් වූයේය. ටීචර් ඇඹරෙමින් කළු ලෑල්ලේ අඳිනවා අපේ එවුන් බලා සිටියේ මහා කෑදර කමකින්ය. ඒ මිණුම් දඬු පිළිබඳව වූ ආශාවක් නිසාම නොව, ගණිතය කාලපරිච්ඡේදය කට් කිරීමට තරම් සිතක් පහළ නොවන මට්ටමට ටීචර් ලස්සන වූ නිසාය.



පසු කාලීනව මිනුම් සරා, වර්නියර් කැලිපර, ගෝල මානය, මයික්‍රෝ මීටර ඉස්කුරුප්පු ආමාන අදිය යොදාගෙන මහා පෙරලියක් කරන්නට වූයේ උසස් පෙළ සමයේය. ඒ කාලයේ ප්‍රස්ථාර පොතක් රැගෙන විද්‍යාගාරයේ කරපු කෙලි මතක් වෙද්දී මොලේ මඤ්ඤං වන්නේය. ඇත්තටම එම විශයන්ගෙන් බැහැර වූ කලෙක සාමාන්‍ය ජීවිතයේදී භාවිතයට නොගැනෙන එවන් දේවල් මොකට ඉගෙන ගත්තා දැයි හැගෙන්නේ එම විශයන් ගෙන් බැහැරව සාමාන්‍ය ජීවිතයට ආ කළෙකය.

අපේ රටට දැන් උදාවී ඇත්තේ මිණුම් දඬුවල පුදුම සහගත යුගයක්ය. ඉස්සර සැතපුම් කණු තිබූ කාලයේ වේගය මැන්නේ පැයට හැතැප්ම කියාය. පසුව එය කිලෝමීටර වලින් මැන්නේය. දැන් දුර මනින්නේ කාලයෙන්ය. එහෙමත් නැත්තම් “සුටුස්“ වලින්ය. මම සුටුස් ගාලා එන්නම් කියා යන උන් ඒ කාලේ නැවත ආවේ දවස් ගණනකට පසුවය. එහෙත් දැන් කඩුවෙලින් හයි-වේ එකට දැම්මාම සුටුස් ගා මාතරය. එහෙමත් නැතිනම් පෑලියගොඩින් හයි-වේ දාන උදවිය සුටුස් භාගයෙන් කටුනායකය. ඒවා හොඳ වැඩය. දිනක් “සුටුස්“ ගා යන කතාවක් දිග ඇදුනේ කඩයක් අසලදීය.


“දැන් බලන්න කිසි ගින්නක් නැතුව අපි සුටුස් ගාල යනවනේ මාතර...“

“අහ්.. දැන් මාතරටම හයි වේ එක තියෙනවද??“

“නැතුව.. මෙහෙන් කඩුවෙලට දැම්මා සුටුස් ගාල මාතර.. එහෙන් පෑලියගොඩින් සුටුස් ගාල කටුනායක...“

“එතකොට ඔයා මේ බයික් එකේ සුටුස් ගාල යනවද??“

“බයික් එකෙන් අපිට සුටුස් ගාන්න හම්බෙන්නෙ නැහැ අයිසේ.. වාහනයක් අරගෙනම ගිහින් තමා සුටුස් ගාන්න වෙන්නෙ...“

සුටුස් ගෑම එසේ තිබියදී මලින්ද මාමා නම් කීවේ ඉස්සර අපේ රටේ වේගය මැන්නේ පැයට කිලෝමීටර වලින් බවත් දැන් මනින්නේ තප්පර සහ විනාඩි වලින් කියාය.

එවිට පැත්තක සිටි අයෙක් කට කොනින් කීවේ “ඔව් සර්.. දැන් අපේ ගෙදරට බඩු ගේන්නෙත් කිලෝ ග්රෑම් වලින් නෙවේ.. ග්රෑම් වලින්...“ කියාය.

Written_bY_sAm_ශ්‍රී_Perera_7:03am_19/03/14

Friday, March 14, 2014

දියණියකගේ ගෞරවය.. !!!




“ශෙරින්.. අන්න ඔයාගෙ ලන්ච් එක අරන් ඇවිත්..“

“කවුද ටීචර්??“

“ගේට් එක ලඟ තාත්ත ඇවිත් ඉන්නවා. ගිහින් අරන් එන්න...“

****

“තාත්ත අද වැඩ නැද්ද? ඇයි අම්ම ආවෙ නැත්තෙ කෑම එක අරගෙන“

“අම්මට ටිකක් සනීප නැහැ වගේ.. ඒත් අමාරුවෙන් කෑම ටික හදපු නිසා මම අරන් ආව..“

“හරි දැන් තාත්ත යන්න..“

****

“කවුද මචං ඒ කතා කර කර හිටියෙ..??“

“අපෙ තාත්ත බං..“

“ආ. ඒ ශෙරින්ගෙ තාත්තද? මම දැක්ක ගේට් එක ලඟ ශෙරින් එක්ක ඉන්නවා..“

“ඔව්. මගෙ ලන්ච් එක අරගෙන ආව..“

****

“අම්මේ... අම්මේ..“

“ඇයි කෙල්ලෙ ගෙදර ආපු හැටියෙ බෙරිහන් දෙන්නෙ..“

“අම්ම ඇයි සනීප නැත්තං කෑම හැදුවෙ.. අනික තාත්තව ඉස්කෝලෙට එව්වෙ..“

“උදේ උඹ ඉස්කෝලෙ යන වෙලේ කෑම අරන් එන්න හිතං හිටියෙ මම තමා.. පස්සෙ කෑම හදල අමාරු පිට තාත්ත බලෙන් කෑම එක අරන් ගියෙ..“

“අම්මලත් පැහිච්ච වැඩ නේ කරන්නෙ.. “

****

“ශෙරීන් මට දැන් මාර නිදහසක් දැනෙනවා බබා..“

“ඇයි අකලංක එහෙම කිව්වෙ??“

“ඇයි මතක නැද්ද? ඉස්සර ක්ලාස් ඇරිල යද්දි අම්ම ඔයාව කුදලගෙන යන්නෙ සිකුරිටි කෙනෙක් වගේ..“

“අම්මෝ.. ඒ කාලෙ තිබ්බ වදයක්.. එදා කේස් එකෙන් පස්සෙ ඔක්කොම රැකවල් අහවරයි..“

“එහෙනම් කොහොමද බබා මෙහෙම නිදහසක්...“

“යනවා මෝඩයා.. ඔයා හින්ද තමා ඔක්කොම.. ඉන්න මම වොෂ් එකක් දාගෙන එන්නම්..“

****

“මොකද කෙල්ලෙ පැත්තකට වෙලා කල්පනා කරන්නෙ.. මම දැක්ක දවස් ගානක ඉදන් එහෙමයි..“

“අම්මට තේරෙන්නෙ නැහැ අම්මෙ..“

“මොකද යකෝ මට තේරෙන්නෙ නැත්තෙ.. කියපං බලන්න..“

“නැහැ අම්මෙ.. අකලංක මගෙන් ඈත් වුණා..“

“ආ.. අර අපි අනන්තවත් අහද්දි උඹ යාලු නැහැ කිව්වෙ ඌත් එක්ක නේද??“

“හරි අම්ම දැන් කෑගහන්න එපා..“

“ඔක්කෝටම කලින් උබල ඕව ඉස්සර කරගත්ත නේ.. දැන් ඉතිං ඉස්කෝල වැඩ ටිකවත් හරියට කර ගනින්..“

“බැහැ අම්මෙ.. අකලංක මට නැති වුනොත්, මටයි අම්මටයි අපේ පවුලටම අඬන්න වෙයි..“

“අනෙ උබෙ ආත්ම ගෞරවේ.. ඒක නැති වුනේ එදා තාත්තව ඉස්කෝලෙට එවපු දවසෙ නේද??“

Written_bY_sAm_ශ්‍රී_Perera_8:23pm_14/03/14

Tuesday, March 11, 2014

රෝහල් ගත වීමේ සතුට... - Happiness of Hospitalization !!!



සෑමා පුංචි කාලයේ රෝහල් ගතව ඇත්තේය. ඒ ලැජ්ජ නහරය කපා දැමීමට නොව උන්ඩුක පුච්චය ඉවත් කිරීමටය. ඒ සෑමා අට වසරේ සිටි කාලයය. අට වසරේ කොලුවෙකුට ලමා රෝහලේ ඇඩ්මිට් විය නොහැකිය. එවන් අයෙකුට හිමි වන්නේ මහ රෝහලය. එවිට ගෙදර කස්ටියට රෝගියා ලඟ සිටිය නොහැකිය. එසේ සිටිය හැක්කේ රෝගයේ බරපතලකම මතය. එහෙත් එදා සෑමා බඩයන්නට බෙහෙත් බී අවසන එය නැවතී බඩේ ලෙඩේ දරුණු වූ කළ තව දුරටත් පරීක්ෂා කිරීමේදී රෝග විනිශ්චය වූයේ appendicitis ය. itis යනු "inflammation" ය. appendic යනු appendix ය. අවසන appendicitis යනු inflammation of the appendix හෙවත් උන්ඩුක පුච්චය ආසාධනය වීමය. එදා සෑමා බැලූ වඩුවේගම දොස්තර මහත්තයා කීවේ මේ ලමයා ලඟ අම්මාට ඉන්නට හැකි වන්නට ලමා රෝහලට යොමු කරමු කියාය. අවසන සෑමා පුංචි cot එකක් අස්සෙන් දෙකකුල් එලියට දමමින් පද්දමින් සිටියේ ලමා රෝහලේය. පහුවදාම පුච්චිය කපා ඉවත් කොට ගෙදර එව්වද නැවත මැහුම් දැමූ ස්ථාන ආසාධනය වීමෙන් සැත්කමට වඩා දුකක් මාසයක් පමණ ලමා වාට්ටුවේ විදින්නට වූයේය. එහා ඇදේ සිටි පිලිස්සුම් තුවාල ලද කෙල්ලෙකුගේ විලාපය, රෝහල ඇතුලේ අත පය කඩා ගත් පොඩි උන්ගේ වේදනාව දැක, ඒ කාලයේ අමිහිරි අත්දැකීම් වලින් සෑමා ඉත සිතින් පැතුවේ අනේ කාටවත් හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නට තරම් කරදරයක් නොවේවා යන්නයි.

මේ අතර බොහෝම සතුටින් රෝහල් ගත වන්නාවූ පිරිස්ද සිටින්නෝය එයින් ප්‍රමුඛ වන්නේ හොරුන්ය. අධිකරණය මගින් හොරුන් යැයි, වරදකරුවන් යැයි ප්‍රකාශයට පත්වන්නාවූ පිරිස් වහාම රෝහල් ගත වන්නෝය. ඒ ඔවුන්ගේ ආරක්ෂාව සඳහාය. අපරාධ කරන තුරාවට හෙම්බිරිස්සාවක් හෝ කිවිසුමක් හෝ නොගිය අය උසාවියෙන් වරදකරුවන් වූ පසු කිසියම් දරුණු රෝගයක් නිසා රෝහල් ගත වන්නේ ඉතා සතුටින්ය. ඒ සඳහා ලොකු තැන්වලින් ලැබෙන අනුග්‍රහයද නොමදය. එලෙස සිත් තොසින් රෝහල් ගත වී කිසියම් මානසික ව්‍යාධියක් කියමින් ටිකට් කපාගෙන යන්නේ හිර ගෙදරට නොවේය. තමන්ගේම නිවසටය. ඒ කියන්නේ රෝහල ඔවුනට සුර ලොවක් වන්නේය. නිදහස ලබා ගැනීමේ එකම ක්‍රමය වන්නේය.

එහෙත් රෝහල් ගත වීමට කාලාන්තරයක් පෙරුම් පුරන්නාවූ පිරිස් සිටින්නෝය. ඒ දැනට තමා ඉන්නාවූ වේදනා බර රෝගී තත්වය සුව අතට හරවා ගැනීමේ අරමුණින්ය. නැතිනම් මෙලෝ මිනිහෙක් හොස්පිට්ල් යාමට පෙරුම් පුරන්නේ නැතිය. යශෝධා, ඇය සිහිනයක් දැක්කාය. තමා සිටින තත්වය හොඳ අතට හරවා ගැනීමේ අධිෂ්ඨානයෙන් ඇය කටයුතු කළාය. ඒ රෝද පුටුවක හිදගෙනය. ඒ සිහිනය දකින්නට ඇයට තව දුරටත් ඉඩ නොතබන්නට සියල්ලෝම කටයුතු කළෝය. ඒ ඇගේ සැත්කම සදහා අවශ්‍ය මුල්‍යයමය කටයුතු සම්පාදනය කරන්නටය. ලක්ෂ 45ක් අතින් ගෙන ඇය රෝහල් ගත වූයේ ඉතා සතුටින්ය. තමන් සිටින තත්වය එහි අසීරු බව ගැන සිතනා කළ ඇය රෝහල් ගත වූයේ ඉක්මනින් සුවය ලබා සාමාන්‍ය දිවියක් ලබන්නටය. නීරෝගීවන්නටය.

කිසිවෙකු රෝහල් ගත වූ බැව් කී විට අපට අනේ අපොයි කියවෙන්නේය. එහෙත් ඇය රෝහල් ගතවූ බවට ඇය දැමූ ස්ටේටස් එකට ලයික් දැමූ පිරිස බලාපොරොත්තු වූයේ ඇය වෙනුවෙන් සතුට සමරන්නටය. මෙතුවක් අපහසුවෙන් ගත කළ ජීවිතයට සමුදි ඇය නව ජීවයක්, ලබන්නට සැරසෙන්නීය. ඒ වෙනුවෙන් ලද සතුට සමරන්නට පිරිස් එක් රැස් වූවෝය. අද උදෑසන ඇය සියළු පරීක්ෂණ අවසානයේ සැත්කමට බඳුන් වන බවට ඇය අප දැනුවත් කළාය. එතැන් පටන් දැන් පැය කිහිපයක් ගත වී ගොස්ය. ඇය රෝහල් ගත වූයෙන් අප ලද සතුට දෙගුණ වන්නේ ඇගේ සැත්කම අවසානයේ ලැබෙන ප්‍රථිඵලය මතය. එය ඉතා සාර්ථක වන බව සහතික බව සියළු දෙනාම ප්‍රාර්ථනා කළෝය. ඒ අනුව ඉක්මනින් ඇය පිළිබඳ විස්තරයක් ලැබෙනා තුරු අප බලා සිටින්නෙමු.


Sunday, March 9, 2014

පොලිස්කරුවෙකු කැන්දාගෙන යාම... - Going Away With a Policeman !!!


Pic by - sAm_ශ්‍රී_Perera @ Kiribathgoda

ඔබ දුවයි කියා බයයි
“දඩ“ අඩුයි පඩිත් මදියි
බඩගින්නට එය දැනෙයි
වේලක් කන්නට මදියි

මුහුණට හිරිකිත වගෙයි
සුදු මුදු මඳහස මැකෙයි
බඩ පිට කොන්දට ඇලෙයි
(මට) උඹ මරං කන්න අගෙයි

විලි ලැජ්ජ නැහැම තමයි
පිට මිනිස්සුන්ට පෙනෙයි
සඟවන්නෙමි ඔබ මගෙයි
දිව යන්නට මට හිතෙයි

Remake_sAm_ශ්‍රී_Perera

Friday, March 7, 2014

කැසට් එක යනු... - The Cassette is... !!!


මෙය හුදෙක් අපේ දරු මුණුපුරන් සඳහා ලියන පෝස්ට් එකක් වන්නේය. ඊට හේතු වූයේ අපේ අයියාගේ කොල්ලා සෑම් සිදු කළ කතා බහක්ය. හෙතෙම නමින් බාසුරුය. බාස් ඇන්ඩ්‍රොයිඩ් හි පරතෙරටම පැමිණි අයෙක්ය. කිසියම් ෆෝන් එකක ගේම්ස් නැතැයි කියා දුන්නහොත් ඩේටා ඔන් කර, ගූගල් ඇප්ස් ඩවුන් ලෝඩ් කර ගේම් ගසන්නට තරම් බාස් වැඩ්ඩෙක්ය. පුංචිම කාලේ යූ.ඇස්.බී පෝට් එකට ඩොංගල් එක සවිකිරීමෙන්ම හෙතෙම සහජ දක්ෂතා දැක්වූයේය. මෑත දිනක බාස් සෑමා සමඟ රවුමක් ගියේය.

බාප්පේ මේ මොකක්ද ?

ඔය ප්ලේයර් එකට කැසට් දාන තැන..

කැසට් කිව්වේ???

කැසට් කියන්නෙ සිංදු අහන්න දාන පීස් එකක්.

ඒ කිව්වෙ සීඩී එක වගේද?

අන්න හරි... 

එතකොට ඒක circle එකක් නේ...

ඔව්. කැසට් පීස් එක එන්නෙ හතරැස් එකක්.

ඒ කියන්නේ මෙහෙම square එකක් නේද? 
(අතින් කොටුවක් අඳිමින් පෙන්වයි. කැසට් පීස් එක rectangle වුවත් ඒ ගැන වැඩි විස්තර කතා නොකළෙමි.)

අන්න හරි..

එතකොට බාප්පෙ අර පොඩි සීඩී මේකට දාන්න බැරිද??
(මේ කියන්නේ mini-CD ගැනය.)

බැහැනේ. ඒක රවුම්. අනික කැසට් පීස් වල එන්නේ ටේප් එකක්...

අනෙ බාප්පෙ මට ගෙදර ගියාම පෙන්නනවා නේද??

හරි හරි. ෆොටෝ එකක් හරි පෙන්නන්නම්.

ගූ-ගල් දෙයියාට පිං සිද්ද වන්නට කැසට් පීස් එකක් කොල්ලාට පෙන්නුවෙමි.

මින් පෙනී යන්නේ ඔබ අද භාවිත කරන මෙවලම්, ඉතා ඉක්මනින් සිහිවටන බවට පත් වෙන බවක්ය. එදා තිබූ ප්ලොෆි ඩිස්ක් වලට සිදු වූ සන්ත්‍රෑන්සිය සිතා ගත නොහැකිය. එසේම සීඩී, ඩීවීඩී පවා, යූඑස්බී පවා ඉතා ඉක්මනින් සිහිවට වන්නේය. කාලයත් සමඟ තාක්ෂණික මෙවලම් ඉක්මනින් යවත් කාලීන වන්නේ එදාටත් වඩා සීග්‍රගාමීවය. අද අප පෑනකින් පැන්සලකින් ලියන්නේ කොපමණ නම් වචන ප්‍රමාණයක්ද? විටෙක ඔබ ඔපීස් එකේ අත්සන ගැසීමට පමණක් පෑන භාවිත කරනවා ඇතිය. ඔපීසියේ අත්සන ගැසීම සඳහාද තාක්ෂණික මෙවලම් තිබෙන්නේ නම්, ඔබ විටක සමහර දිනවලදී පමණක් පෑනක් භාවිත කරනවා ඇතිය. ඉස්සර පෑනක් පැන්සලක් ලඟ තබා ගැනීමේ අවශ්‍යතාවය වැඩියෙන් දැනුනද දැන් එය දැනෙන්නේ නැති තරම්ය. එසේ නම් ඔබ අදම පෑනක් පැන්සලක් සිහිවටනයක් ලෙස අරන් තැබිය යුතු නොවෙන්නේද? 

ඉස්සර අපි කැසට් එකෙන් ගත්ත ආතල් මෙපමණක් යැයි කිව නොහැකිය. බට්න් දෙක එකට එබීමෙන් රෙකෝඩ් කළ හැකි කැසට් ප්ලේයරයෙන් එෆ් එම් වල යන ගීත රෙකෝඩ් කළේ ඒ කාලයේ සිංදු සොයා ගැනීමට තිබූ අහේනිය නිසාය. එයට කීවේ ටේප් කරනවා කියාය. දිනක් නිවසට ගෙනා හොද කැසට් එකක් මත වැරදීමකින් බටන් දෙක් එබී ටේප් වීම නිසා සෑමා දොස් ඇසූ වාර ගණන අනන්තය. ටේප් එකේ මුල් හරියේ ඇති සුදු පාට කොටස, දුඹුරු පාට ටේප් කොටසට සම්බන්ධ වෙන තැනින් බොහෝවිට කැඩී යන්නේය. එවිට දැත්තක් වැනි රෝදය ගලවා එහි පීල්ල අස්සේ ටේප් එකේ කෙළවර සවිකොට නැවත සම්බන්ධ කළ හැකිය. එසේ නොකළ අයෙක් සිරිලංකාවේ නැත්තේය. කැසට් පීස් එකේ මැද හරියෙන් ටේප් එක කැඩුනු විට එය අලවා ගැනීම සිරිතක්ය. එසේම භාවත කළ නොහැකි මට්ටමට ටේප් එක එතුනහොත් හෝ විනාස වුවහොත් ඉන් වැඩක් ගන්නට අපේ කස්ටිය සූදානම්ය. ටේප් එකේ කෙළවර ගැටගසන ලද ගලක් ආධාරයෙන් ටේප් එක ගස්වල අතුවල පැටලෙන්නේය. ගල්මාට්ටු දමමින් එසේ අතුවල රදවන කැසට් ටේප් එක සුලඟ ආධාරයෙන් රැව් දෙන්නේය. එවිට මැවෙන රටාවන් අපූරුය.

විනිවිද පෙනෙන කැසට් පීස් වලට සෑමාගේ තිබුනේ මහත් ආසාවක්ය. එවිට කිසියම් සිංදුවක් ඇති තැනක් අපූරුවට සොයා ගත හැකිය. ඒ කැසට් පීස් එකේ පිටත කවරයේ කිසියම් සළකුණක් යෙදීමෙන්ය. දැන් තියෙන ක්‍රමය යටතේ සිංදුවක් පහසුවෙන් සොයා ගත හැකි වූවාට ඉස්සර කැසට් පීස් වලින් එසේ සෙවීම තරමක් දුෂ්කරය. නමුත් පසු කාලීනව පැමිණි කැසට් යන්ත්‍ර වල Fast Forward හෝ Rewind කළ විට ඊලග සිංදුව ලඟින් ඔටෝ නවතින්නේය. එය සිංදුවක් සොයා ගැනීමට කැසට් පීස් එකේ ආ සරලම ක්‍රමයය. ටේප් එක පැටලී එලියට පැමිණි විට කරන්නේ දැති රෝදය තුලට පෑනක් දමා කරකැවීමය. එලෙස කරකවා ටේප් එක ඇතුලට දමා ගැනීම, නැති නම් නිකරුණේ ටේප් එක කරකවමින් සිටීම තරම් සැපතක් ඒ කාළයේ නොතිබුණේය.

කැසට් පීස් දමන ප්ලාස්ටික් කවරයෙන් වැඩ ගත්තේ සර්කිට් ගහන කොල්ලෝය. සර්කිට් හදනා උදවිය බොහෝ විට තම නිර්මාණයට නිමාවක් දෙන්නට උත්සුක වන්නෝය. එවිට සර්කිට් එකට ප්ලාස්ටික් කවරයක් ලෙස බොහෝවිට යොදා ගන්නේ ඉවත දමන කැසට් පීස් කවරයක්ය. නයිට් රයිඩර් සර්කිට් එකක්, එෆ් එම් ට්‍රාන්ස්මීටරයක් වැනි දෙයක් කැසට් පීස් කවරයක මනාව අසුරා තිබූ අවස්ථා සෑමා පාසල් සමයේදීම දැක ඇත්තේය. එසේ භාවිත වූ කැසට් පීස් කවරය කොල්ලන්ගේ නිර්මාණ වලට මනා නිමාවක් අත්කර දුන්නේය.

අද අපි වැඩ දමමින් භාවිත කරන තාක්ෂණික මෙවලම් නුදුරු අනාගතයේදී සිහිවටන හෝ කෞතුක වස්තු බවට පත්වීම නැවැත්විය නොහැක්කේය. මන්ද තාක්ෂණය අප බලා සිටියදී අප පසු කර යන නිසාය. ඊට හේතුව අප දුපතක සිරවූ අහිංසක වැසියන් වන බැවින්ය. විවෘත ආර්ථිකය නොපැමිණියා නම් අපට මේ මට්ටමටවත් එන්නට බැරිය. එසේනම් සකල දීපයම කෞතුකාගාරයක් වන්නේය.

Written_by_sAm_ශ්‍රී_Perera_9:07pm_06/03/14

Wednesday, March 5, 2014

අයියෝ අසංක ප්‍රියමන්ත පීරිස්.. - He Was a Great Singer !!!


උදෑසනම රේඩියෝවේ විකාශය වූයේ අසංක ප්‍රියමන්තයන්ගේ පැරණි ගීතයක්ය. “පැහැසර අරුණක ඉරමල පිපුණාවේ...“ කියමින් ගීතය ආරම්භවෙද්දීම සෑමා දිවගියේ වසර ගණනාවක් අතීතයටය. අසංක ප්‍රියමන්ත නම් වූ ඒ ගායකයා එදා ගායනා කළ ගීත සහ අද ගායනා කරනා සමහරක් ගීත අතර ඇති පරස්පරතාවය සහ ප්‍රමිතියේ බාල බව සෑමාගේ සිත පෙලුවේය. දිනක් පාසල් වේදිකාවට නැග ගත් අප දෝදුවා පැහැසර අරුණක ගීතය ගායනා කළේ අපේ එවුන්ව කුල්මත් කරමින්ය. ඒ කාලයේ අසංක ප්‍රියමන්තයන්ගේ ගීත අතර අප අතරමංවී සිටි නිසා එදා, දෝදුට ලැබුණු ප්‍රතිචාර බොහෝය. ඇත්තටම එය ආදර ගීතයක් නොවුනත්, එය යුධ සමයක අදුරු තැන් පලවා හරින්නට ගැයූ ගීතයක් බව දැන සිටියේ අප කිහිපදෙනෙක් පමණක්ය. එහෙත් අසංක ප්‍රියමන්ත පිළිබඳ තිබූ පැහැදුනු බව, ඔහුගේ ගීත කෙරේ තිබූ ලොල් බව නිසාම අපේ උන් ඉතා ආසාවෙන් අසා සිටියෝය. එදා දෝදුට ඉහළ ප්‍රතිචාර ලැබුනේ ඔහුගේ ගීත ගායන කෞෂල්‍යය නිසා නොව, අසංක  ප්‍රියමන්තයන් ගයන ගීතවල ඇති රසය නිසා බව කීවොත් දෝදු මා සොයා එනු ෂුවර්ය.

පැහැසර අරුණක ඉරමල පිපුණාවේ..
යුග දුර යුධ දුම සැනෙකින් නිවුණාවේ..
හිමිදිරියේ..
සීතල හීනෙක දැවටීවත්..
පරවි පියාපත් ඇසුණාවේ..

මුල් පදපෙල ගායනා කරද්දීම දෝදුට ලැබුනේ අත්පොලසන් නාදයක්ය. අසංක ප්‍රියමන්තයන් ගායනා කළ “නුපුරුදු ඔබ දුටු පළමු දිනේ“ “සෙනෙහසකට අරුතක් පුරවන්නට“ වැනි ගීත අද  තාමත් අසන්නට හැකි මට්ටමක තිබෙන්නේය. එහෙත් ප්‍රමිතියෙන් අඩකට වඩා බාල වූ ගීත අතර අසංකයන් ගේ දක්ෂතාවය සිරකර තබන්නට හේතුව කුමක්දැයි සිතා ගත නොහැකිය. එදා ඔහු ගැයූ ගීත සහ අද ගයන “බස් ගීත“ අතර ඇත්තේ අහසට පොළොව අතරටත් වඩා ඇති පරතරයක්ය. අහස පොළොව හමුවනවා සේ පෙනෙන ක්ෂිතිජය සේ ඒ අස්සේ එහෙන් මෙහෙන් හොඳ අලුත් සිංදුවක් එළියට එන්නේය. එහෙත් එදා ඔහුගේ ගීත වල ප්‍රමිතිය දත් අපට එය අබ ඇටයක් තරම්වත් නොවන්නේය.

“ලැබුණත් නෙත් යුග දහසක උරුමේ.. “  පාසල්, දහම් පාසල් වේදිකාවක නොගැයූ තැනක් නැති තරම්ය. ඒ එදාය. ඒ වෙනුවට අද “අපේ තාත්තා.. තණ නිල්ලේ රෝල අදිනවා..“ කීවොත් කොල්ලෝ හූ කියනවා නියතය. ප්‍රමිතිය, තමා සිටි මට්ටම අමතක කරන්නට තරම් අසංකයන් පහළට වැටුනේ කෙසේදැයි සිතා ගත නොහැකිය. ඒ අහසට පොලොවට ඇති වෙනස අතර ඈතින් අහස පොලොව අතර දුරස්ථ බවක් නොපෙනෙන මට්ටමේ ක්ෂිතජයක් පෙනෙන්නේය. ඒ අබ ඇටයක් තරම් වූ ඉදහිට ලැබෙන හොඳ ගීතයන්ය. මේ ඉන් එකක්ය.

ඇතුල් හිතේ හිත ඇතුලෙම පරිස්සමට හංගා..
තුරුලු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදි කරවා..
පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කරපින්නා..
නැළැවිල්ලෙන් ආත්මයම උණුහුම් කළ අම්මා..
මගේ.. අම්මා...

ඉදහිට මෙවන් ගීතයක් කිරීම, හැමදාම හන්දියේ හෝටලෙන් කෑ එකෙක්ට තරු පහේ හෝටලයකින් කෑවා හා සමානය. ඉස්සර ගීත ඇල්බමයක්ම හිට් කළ හැකි වූ අසංකයන්, අද බස් ගීත රැසක් අතරේ හොඳ එක සිංදුවක් හෝ කිරීම ඔහුගේ පැරණි ගීත රස වින්ද අයෙක්ට වාවගත නොහැක්කක්ය. උදෑසනම රේඩියෝව කරකවමින්  සෑම බදාදා දිනකම පැරණි ගීත විකාශයවන “හිරු සුන්දර බදාදා“ ඇසීමෙන් සෑමා කරගත්තේ බ්ලොග් ලිපියකට මඟ විවර කර ගැනීමක් නොවේය. සරම කමිසය ගසා ගමේ හිටපු එකෙක් අමුඩය හැඳගෙන කැළේට පැනීම වැලැක්වීමට කරුණු කීපයක් ලියා තැබීමය. 

අසංක ප්‍රියමන්ත පොරක් වූ කාලයේ, අපේ අයියා සිටියේද ආඩම්බරයෙන්ය. මන්ද අසංක ප්‍රියමන්ත යන නමෙහි “ප්‍රිය“ කොටස ඉවත් කොට “ශ්‍රී“ අකුර දැමූ විට සෑදෙන්නේ අපේ අයියාගේ නම නිසාය. කෙටියෙන් කිව හොත් අසංක ප්‍රිය නොවූ කළ අපේ අයියාගේ නම සෑදෙන්නේය. කලින් “මුරපද“ ලිපියේ අවසනට ඇසූ ප්‍රශ්නය ලබා දුන්නේ අපේ අයියාය. එයට පිළිතුර නිවැරදිව ලබා දී තිබුණේ “සපතේරු උන්නැහේ“ය.

මෙන්න ප්‍රශ්නයට උත්තරේ...

අපේ යාලුවෙක් වැඩ කරනවා ආරක්ෂක අමාත්යාංඇශයේ පරිගණක අංශයේ උගෙ නම අසංක වෙනරගම. FB ඉන්න ඩයල් එකක්. ඉතිං ආරක්ෂක අමාත්යාංපශයේ පරිගණක අංශයට ඇතුලුවන දොරේ පාස්වර්ඩ් එකක් තියනවා හැම මාසෙම පලවෙනිදා පරණ පාස්වර්ඩ් එක අයින්වෙනවා අලුත් එකක් දාගන්න ඕනෙ. 

අපේ පොරට වැඩේ‍ අමතක උනා පලවෙනිදා උදේ ඇවිත් බැලුවාම කෙලවෙලා. පොරගත්තා බොස්ට කෝල් එකක්.

බොස් ඇහුවා පරණ පාස්වර්ඩ් එක 

"බොස් මගෙ පරණ පාස්වර්ඩ් එක මතක නෑ"

“තමුසෙ මාර පොරක්නෙ” බොස්ට කියවුනා 

“හරි මං උදවි කරන්නම් හැබැයි පරිස්සමෙන් අහගන්න ඔයාගෙ අලුත් පාස්වර්ඩ් එක අමතක වෙන්නෑ. අලුත් පාස්වර්ඩ්  එකේ පරණ පාස්වර්ඩ් එකේ තිබ්බට වැඩිය අකුරැ 3ක් වැඩියි. නමුත් ඒකෙ තිබ්බ අකුරැ 4 ක් එහෙම්ම තියනවා. ඊට අමතරව ඔයාගෙ තාත්තගෙ නමේ අකුරැ 2 කුයි. ඔයාගෙ නමේ අකුරකුයි තියනවා.”

ඒක කිව්ව ගමන් මෑන් සිං ගාලා දොර ඇරගත්තා.
පරණ පාස්වර්ඩ් එක මොකද්ද?
අලුත් එක මොකද්ද?


බුවාගේ පරණ පාස්වර්ඩ් එක “මතක නෑ“ අලුත් එක “අමතක වෙන් නෑ“. අලුත් පාස්වර්ඩ් එකේ පරණ පාස්වර්ඩ් එකට වැඩිය අකුරු 3ක් වැඩිය. අකුරු හතරක් එසේම ඇත්තේය. ‘අ‘යන්නෙන් අසංක ගේ නමේ මුල් අකුරක්ද, “වෙන්(නෑ)“ යන්නෙන් තාත්තාගේ නම හෙවත් වාසගමේ “වෙනරගම“ යන්නේ අකුරු දෙකක් ද ඇත්තේය.

Written_by_sAm_ශ්‍රී_Perera_8:30pm_04/03/14

Sunday, March 2, 2014

මුර පද... - Something About Passwords !!!




පාස්වර්ඩ් යෙදීම යනු ඒ කාලයේ නම් මහා ආරක්ෂිත ක්‍රමයක්ය. බොහෝ විට ඊට යොදන්නේ තමන්ගේම නමය. නැතිනම් එහි කොටසක්ය. එය මහා ආරක්ෂිත ක්‍රමයක් යැයි සැලකුණ කාලයක් තිබුනේය. ඉන් පසුව තමන්ගේ හොඳම හිතවතෙකුගේ නමක්, උපන්දිනය, හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය පවා යොදන කාලයක් තිබුනේය. තවමත් එසේ භාවිත කරනා අය සිටින්නේදැයි සිතිය හැකිය. ඒවා ඕනෑම කෙනෙකුට අනුමාන කළ හැකි පාස්වර්ඩ්ය. එහෙත් මෙවැනි ප්‍රාථමික මට්ටමේ පද යොදා ගන්නේ පාර්ස්වර්ඩ් එක දමනා තැන වටිනා කම අනුවය. කාටවත් ලොග් විය නොහැකිම වන්නට දමනා පාර්ස්වර්ඩ් එකක් වඩා බරපතල ලෙසත්, එතරම් වටිනාකමක් නැති තැනකට දමනා පාර්ස්වර්ඩ් එක සාමාන්‍ය මට්ටමේ අමතක නොවන එකක් ලෙස යොදා ගැනීම මිනිසුන් බහුතරයක් පෙළබෙන්නෝය.

පසුව ආ ගැටළුව නම් පාර්ස්වර්ඩ් මතක තබා ගැනීමේ අපහසුවය. ඒක ආවේ මුල්ම කාලයේය. අද දමනා පාර්ස්වර්ඩ් එක හෙට අමතක යුගයක් තිබුණේය. ඒ පාර්ස්වර්ඩ් වලට අප ආගන්තුක කාලයේය. එහෙත් සදාතනික මතක හිටිනෙ ලොවෙත් නැති පාර්ස්වර්ඩ් දමන්නට හැකි අය සෑමා දැක ඇත්තේය. සෑමාද එසේමය. කලින් ඔපිසියක අක්කා කෙනෙකු සිටියාය. ඇය යොදනා පාර්ස් වර්ඩ් ගෙස් කිරීමේ හැකියාවක් සෑමාට තිබුණේය. කිසිවෙකු සිටින මානසික මට්ටම හෝ, වටපිටාව මත පාර්ස්වර්ඩ් ගෙස් කළ හැකිය. ඇය බොහෝවිට යොදන පාර්ස්වර්ඩ් එකකට jesus යන නාමය යෙදෙන්නේය. එය සෑමාට ගෙස් කළ හැකි වූයේ ඇය බොහෝවිට දෙවියන් සමඟම සිටි බැතිමතයක් වූ නිසාය. jesus i love you, වැනි වාක්‍ය වලින් පටන් ගෙන මසකට වරක් වෙනස් වන පාර්ස්වර්ඩ් එකට දෙවියන්ගේ නම ගෑවි තිබුණේය. 
http://splashdata.com/press/pr121023.htm

ඔපීසිවල සිටින තවත් සමහරු කරන්නේ තමාට වට පිටාවේ පෙනෙන්නට තිබෙන දෙයක නමක්, වචනයක්, වගේ දෙයක් තම පාර්ස්වර්ඩ් එක ලෙස යොදා ගැනීමය. බොහෝවිට තමා අවට තිබෙන පෝස්ටර් එකක්, කැලැන්ඩරයක්, දෙස බලාගෙන එහි සටහන්ව ඇති වචනයක් යොදාගෙන තම පාර්ස්වර්ඩ් එක නිර්මාණය කර ගන්නෝය. එය ලොවෙත් අමතක නොවන පාර්ස්වර්ඩ් එකක් වන්නේය. කෙසේ වෙතත් අමතක නොවන වඩාත් රහසිගත පාර්ස්වර්ඩ් එකක් තනා ගැනීම එතරම් අමාරු කර්යයක් නොවන්නේය. එසේ කර ගන්නට බැරි එවුන් දැකීම සිත් තුල කම්පාවක් ඇති කරන්නේය.

අයියා ඩෙස්ක් ටොප් මැෂින් එකට පාර්ස්වර්ඩ් දාන කාලයේ සෑමා කළේ බෝඩ් එකේ බැටරිය ගලවා නැවත සවිකොට පාස්වර්ඩ් එක තුරන් කිරීමය. එය අතේ මාට්ටුවන පිළියමක්ය. ඉන්පසු කාලයේදී අයියා මැෂින් එකට පාර්ස්වර්ඩ් දැම්මේ නැතිය. එසේම ඒ පිළිබඳ ප්‍රශ්න නොකිරීමද, සිද්ධිය නොදන්නවා සේ කල් ගත කිරීමද සෑමාට අස්වැසිල්ලක් වූයේය. දැන් නම් පාස්වර්ඩ් ඇත්තේ ඇඩ්වාන්ස් යුගයකය. දුරකථනයට එන ඇක්ටිවේෂන් කෝඩ්, ලොගින් ඉන්ෆො, වෙරිෆිකේෂන්, ෆේස් ඩිටෙක්ෂන්, පාස්වර්ඩ් වෙනුවට එන තාක්ෂණයෙන් දියුණු විකල්ප ක්‍රම අද ඉහල තැනක ඇත්තේය. අපේ මිතුරෙකු වඩා ආරක්ෂිත පාස්වර්ඩ් එකක් දැමීමට ගත් උත්සාහයක් මේ මොහොතේ මතක් වන්නේය. ඒ මිතුරා තම නම තුන්වරක් පාර්ස්වර්ඩ් එක ලෙස ටයිප් කළේ වැඩි ආරක්ෂාව සඳහාය. එය මිතුරන් අතර ප්‍රසිද්ධ වූ විට මිතුරා විලිලැජ්ජාවේ සිටියේය. ඔහු කළේ තම නම සුනිමල් නම් “සුනිමල්සුනිමල්සුනිමල්“ ලෙස තුන්වරක් ටයිප් කිරීමය. එකම අකුර 25 වරක් යොදා තම පාර්ස්වර්ඩ් එක ලෙස භාවිත කළේ අපේ ‘බෆලෝය‘. ඒ කතාව අපේ ගමේ උන් දන්නවාය.

මේ සියළු කාරණා ගැන කීවේ අවසන ප්‍රශ්නයක් ඇසීමටය. සුපුරුදු පරිදි මේ ගැටළුව සෑමාට දුන්නේ සෑමාගේ අයියාය. මෑත භාගයේ “මුදියා“ බුකියේ දැමූ බොහෝ ප්‍රශ්න අපේ අයියා ලබා දුන් ඒවාය. ඒ සඳහා ඔහුට ස්තූති වන්නට easy.lk පැත්තේ රවුමක් ගසනා මෙන් සෑමා ඉල්ලා සිටින්නේය. කෙලින්ම ප්‍රශ්නය අසා ලිපියක් ලිවීම බහුතරයකගේ උදහසට ලක් වීමක් නිසා, ලිපියක් සමඟම ගැටළුව ඉදිරිපත් කළෙමි. ගැටළුව නම් මෙසේය.

අපේ යාලුවෙක් වැඩ කරනවා ආරක්ෂක අමාත්යාංඇශයේ පරිගණක අංශයේ උගෙ නම අසංක වෙනරගම. FB ඉන්න ඩයල් එකක්. ඉතිං ආරක්ෂක අමාත්යාංපශයේ පරිගණක අංශයට ඇතුලුවන දොරේ පාස්වර්ඩ් එකක් තියනවා හැම මාසෙම පලවෙනිදා පරණ පාස්වර්ඩ් එක අයින්වෙනවා අලුත් එකක් දාගන්න ඕනෙ. 

අපේ පොරට වැඩේ‍ අමතක උනා පලවෙනිදා උදේ ඇවිත් බැලුවාම කෙලවෙලා. පොරගත්තා බොස්ට කෝල් එකක්.

බොස් ඇහුවා පරණ පාස්වර්ඩ් එක 

"බොස් මගෙ පරණ පාස්වර්ඩ් එක මතක නෑ"

“තමුසෙ මාර පොරක්නෙ” බොස්ට කියවුනා 

“හරි මං උදවි කරන්නම් හැබැයි පරිස්සමෙන් අහගන්න ඔයාගෙ අලුත් පාස්වර්ඩ් එක අමතක වෙන්නෑ. අලුත් පාස්වර්ඩ්  එකේ පරණ පාස්වර්ඩ් එකේ තිබ්බට වැඩිය අකුරැ 3ක් වැඩියි. නමුත් ඒකෙ තිබ්බ අකුරැ 4 ක් එහෙම්ම තියනවා. ඊට අමතරව ඔයාගෙ තාත්තගෙ නමේ අකුරැ 2 කුයි. ඔයාගෙ නමේ අකුරකුයි තියනවා.”

ඒක කිව්ව ගමන් මෑන් සිං ගාලා දොර ඇරගත්තා.
පරණ පාස්වර්ඩ් එක මොකද්ද?
අලුත් එක මොකද්ද?

පලි - ඔබ පාස්වර්ඩ් නිර්මාණය කිරීමෙහි ලා දක්ෂයෙක්දැයි බැලීමට, ඔබේ සියළු පාර්ස්වර්ඩ් සෑමාට ලබා දෙන්න. ගැටළුවට පිළිතුර ඊලඟ ලිපියෙන්.

Written by sAm_ශ්‍රී_Perera_8:19am_02/03/14
Related Posts Plugin for WordPress, Blogger...