Google+ Followers

Sunday, September 29, 2013

අන් ආගම් වලට හූල්ලනවාද? තම ධර්මය අදහනවාද?



මම බෞද්ධයෙක් ලෙස ලෝකෙට පේන්න බුකියේ, සමාජයේ වැඩ දාන කිසිවෙකුට අනේ මම මගෙ ආගම, ධර්මය වෙනුවෙන් බුදු පිළිමයක්, විහාරයක්, කරවන්න හිත් වූයේද? එසේ කිරීමට හැකියාවක් නැතිනම් එකතු වී, මුල්‍ය ආධාර එකතු කොට එවන් සේවාවක් කරන්නට කවදාවත් සිත් වූයේද? අන් ආගම් ගරහමින් හෝ තමාගේම ආගමේ සඟරුවනට ගරහමින්, අන් ආගමික පූජනීය ස්ථාන ගණනින් මෙච්චරයි, අච්චරයි කියමින් හූල්ලමින් සිටින අයෙකුට අනේ අපිත් බුදු පිළිමයක්, චෛත්‍යයක් කරවන්නේ නැත්දැයි නොසිතෙන්නේ මන්ද? උක්ත ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම නිෂ්ඵල මුත්, එලෙස එක් වී කරන්නට යන සේවාවකට අත් උදව් දීම, සහය වීම අට මහා කුසල් වලින් එකක් වන්නේමය.

අට මහා කුසල් යනු,

කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා - අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”

මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.

1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

එලෙස බුද්ධ ධර්මයේ සදහන් වන පරිදි බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාර ගෙවල්, මුලසුන් ආදිය සෑදවීම අට මහා කුසල් වලින් එකක්ය. මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ දෙවන ජාතියේ දී නියත වශයෙන් විපාක දෙන කුසල කර්ම නිසායි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන කරනු ලබන මෙවැනි කුසල් නිසා දැන හෝ නොදැන කර ඇති අකුසල් තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් දෙවෙනි ජාතියේ දී නියත සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වෙන්නේය. (ඔබ දෙවන ජාතිය නියත වශයෙන් කුසල් පලදීමේ වටිනාකම ගැන සොයා බලන්න.)

කුසල් බලාපොරෙත්තුවෙන් හෝ සමාජීය සේවයක් කිරීමේ අරමුණින් හෝ, අනුරාධපුරයේ සිට කිලෝ මීටර්  20  පමණ ඇතුලට වන්නට තිබෙන පාසලකට බුදු මැදුරක් සාදා දීම අප බ්ලොග් සහෘදයෙක් ඉදිරිපත් වී සිටියි. බෞද්ධ උරුමයේ මුදුන් මල්කඩක් බඳු අනුරාධපුරය ආශ්‍රිත ගම්මානයකට බුදු මැදුරු වලින් වැඩැක් ඇත්දැයි ඔබ සිතනු ඇත. නමුත් ඔවුනට පාසලේ ඇති මෙම බුදු මැදුර හැරුනු කොට, ලඟ පාතක පන්සලක් හෝ නොමැති බවයි දැනගන්නට තිබෙන්නේ. ගම්මානයේ වයෝවෘද පුද්ලයින්ට ඈත පන්සල් වලට යාමේ අපහසුව නිසා සිල් සමාදන් වීම වැනි කටයුතු ද පාසල් භූමියේ දී සිදු කරන බවයි ඔවුන් පවසන්නේ. එවැනි තැනකට බුදු මැදුරක් කරවා ශාසනයට පූජා කිරීමට කෙහෙල් කොටුවේ බුද්ධියා සහ බුද්ධියාගේ කෙහෙල්කොටුවට යන එන උන්ගේ අරමුණ වී ඇත.

අපත් ඔහු සමඟ එකතු වී මෙම කුසල කර්මයේ කොටස්කාරයන් වෙමු. ඔබත් මෙම පිංකමට සහභාගී වෙන්න කැමැත්තක් ඇත්නම් කෙහෙල්කොටුවට ලිපියක් යවා වැඩි විස්තර ලබා ගන්න. මෙන්න ලිපිනය cyberlipi@gmail.com

Tuesday, September 24, 2013

බජාර් එකේ ලලක්කා... - The Head of Women !!!


අපේ අල්ලපු ගෙදර වහලෙ උඩින් හදපු කොන්කිරීට් වතුර ටැංකිය, සති ගානක් පල් කරල වතුර බොන්න පුලුවන් තත්වෙට පත් කරල වතුර පිරෙව්වෙ ජීවිත කාලෙම වතුර බෙන්න බලාගෙන. අන්න එහෙම පුරවපු වතුර ටික පෙනේරෙකින් වැක්කෙරෙනව වගේ විනාඩි දහයකින් බිමට ලීක් වෙන්න ගත්ත. එහෙව් ලීක් වෙච්ච වතුර ටැංකිය වගේ මගේ නාස් පුඩු අතරින් සොටු බේරෙන දවසක, උදේම ආව වෑන් එකක් අපේ ගේට් එක හරස් කරල බ්‍රාස් ගාල නැවැත්තුවා. රතු වෙච්ච ඇස්, නාහෙට හිරවෙච්ච ලේන්සුව, ඇගේ අමාරුවට වකුටු වෙච්ච කොන්ද, සියළු දේ දරාගෙන මම ගියා දොර ලගට, මහා පාන්දර ගේට්ටුවට තඩි බාන එකා අල්ලගෙන අඩු දෙක් කඩලා, මගෙ හොටු ලේන්සුව ඌගෙ අමුඩ ලේන්සුව කරල අන්දවල ගම වටේ ඇවිද්දවන්න. හැම ඉරිදම දහම්පාසල් ගිය මට එච්චර කේන්තියක් එන්න හේතුව මට හිතා ගන්න බැරි වුනා. ඒත් මේ හෙම්බිරිස්සාව ඒකට හේතුව කියල මගෙ යටිහිත කෑගහලා කිව්වා.

මගෙ කාලකන්නි අතිජාත යාලුවා සුමියා ගේ දොරකඩ, ෂෝටක් ගහගෙන, බලාගෙන ඉන්නව මම එනකල්. ඇයි යකෝ තෝ ලෑස්තිවුනෙ නැද්ද? ඌ එහෙම ඇහුවමයි මට මතක් වුනෙ. අද අපේ එවුන් සිරීපාදෙ යනව කියල මට කලින් මැසේජ් එක ගහල තිබ්බෙ. මට දැන් බං මතක් වුනෙ.. අනික පට්ට අමාරුයි... බලපං ඇස් රතු වෙලා... මට සෙම බං.. ඔය සීතලේ යන්නෙ කෝමද?? අනෙ මේ උඹ ගියපාරත් අපි එද්දි ලැට් එකේන එලියට බහින්නෙ නැතුව බඩේ අමාරුවක් කියල මග ඇරියා මතකද? යකෝ කෑල්ලක් වගේ ගෙදරට වෙලා නොයිද පිනක් දහමක් කර ගන්න එලියට බැහැපං. සුමියා බඩේ අසනීපකාරයෙක් වෙච්ච මාව දවසක් ටොයිලට් එකේ දොර කඩලා වෑන් එකේ දාගෙන ගිය සීන් එක මතක් වුනේ ගිය වසරේ ට්‍රිප් එක ගැන කියද්දීය. සුමියා කරන රස්සාව මොකක්ද කියා දන්නා මුත් මම එදා නම් හිතුවේ මූ සුදු වෑන් කාරයෙක් කියාය. මොකද කෝපි කෝප්ප දුසිමක් විතර ගහලත් ලැට් එකේ සනීපයෙන් ඉදගෙන ඉන්න එකෙක් දාගෙන යන්න තරම් දරුණු යාලුවෙක් කාගෙවත් ජීවිතේක ඉදල නැතුව ඇති.

හරි බං... කියමින් මාත් සුමියා ගේ අදුරු මතකයන් අවදි කිරීමට බිය වී සීතලට ඇදීමට සුදුසු ඇදුම් පමණක් මල්ලක ඔබා ගත්තෙමි. එහෙව් පුරවපු ඇදුම් මල්ලේ වැඩි පුරම ලේන්සු තිබුනු බව නොරහසක්ය. නැත්තම් මේ ගලන හොටු ගංගාව නවතාලිය නොහැක. අපේ ගම අසබඩින් ගලන ගග උතුරා ගලන කාලෙට කවුරුවත් එය නැවැත්වීමට උත්සාහ නොකළේ එය තාත්වික දෙයක් නොවන නිසාය. එහෙව් එකේ නාසයෙන් ගලන හොටු දියර උඩට අදින්නේ නැතුව පහලට හෙලමින් ලේන්සුවල රටා මැවීම තාත්වික වන්නේය. එදා උතුරා ගලපු ගගට අද මාගේ නාසය සම වන්නේය. 

මචං.. ඔන්න අපේ නඩේ ගුරා දැනුයි වාහනේට නැග්ගේ..ඌට නහය බුරුල් වෙලාලු.. ඔය ජනේලයක් අයිනක් දියන්.. නැත්තං.. සිරීපාදෙ යන්න කලින් අපේ නඩේටම හොටු හූර හූර ඉන්න වැඩක් මූ සැට් කරයි..

සුමියා මගේ රෝගයේ ආකෘතිය නඩේටම කියා දුන්නේ අපේ ගමේ බේස් හොස්පිටල් එකේ ඕ.පී.ඩී දොස්තර මහත්තයා වගේය. ලෙඩකට බෙහෙත් ගන්නට ගියොත් බේත අරන් ගෙදර එද්දී ලෙඩාගේ රෝග තත්වය ගමම දන්නේය. ඒ ඩොකා ලෙඩේ ගැන හැම තැනම කියන නිසාය. ඩොකා ඒ තරමට සමාජශීලී නොවුනේ නම් ගමේ බෝවෙන රෝග පැතිරීමේ අවධානම වැඩිය. හවසට බාර් එකේ දොරකඩම සැට් වෙන ග්‍රාමීය ඩොකා එතැන සිට එක එකාගේ බෝවෙන රෝග ගැන කියවන නිසා කස්ටිය එදා සිට ඒ රෝගියා අසලට නොයන්නේය. එමගින් බෝවන රෝග අවධානම පහව යන්නේය. දෙවිවරු කිව යුත්තේ එවන් දොස්තරලාටය.

ලෙඩ ගොඩක් අස්සේ සිරීපාදේ සීතල විද දරාගන්නට ඇග වැහෙන, කන් වැහෙන, හිස් වැහෙන බර ඇදුම් මල්ලකට පුරවාගත් මාවත් රැගෙන අපේ උන් ආවෙ කට්ට අවුවක් පායන, පොලවේ පය ගහන්න බැරි, දාඩිය බේරෙන රස්නයක් ඇති අනුරාධපුර පොලොන්නරු පැත්තටය. අපේ එවුන් දෙන්නේ එවන් ටොපිමය. දිනක් කොල්ලෙකුගේ මලගෙදරකට කියා මාව රැගෙන ආවේ සතියක් නයිට ගැසීමට සූදානමින්ය. ඒත් එදා මලගෙදර අහවර වී සතියක් පිරෙන තැන දානය තියෙන දවසය. අපේ එවුන්ටත් මලගෙදර මිස් වී මට මලගෙදර යැයි බොරු කියා රැගෙන විත් තිබුනේය. මුන් සමග එන විට එවන් අත්දැකිම් විද දරාගැනීමේ ශක්තිමත් සිතින් පැමිණිය යුතුය. එසේ ශක්තියක් නොවන්නේ නම් උන් එන වේලාවට ගෙදරින් පිට සිට ට්‍රිප් එක මිස් කළ යුතුය.

රාත්‍රියේ පැවැත්වෙන පූජාවක් සදහා අපේ එවුන් මල් තෙල් පහන් අරගෙන, මම එක අතකින් ලේන්සුවත් අරගෙන, මහ මලුව පැත්තට ඇදුනේ අවට සැරිසරන කෙල්ලන්ගෙන් ඇස බේරා ගනිමින්ය. රෑපයට නොරැවටී මෙහි ආ කාරණා සාර්ථකව කර ගත යුතු බැව් අපේ සුමියා කිව්වේ පුංචි කොළ කෑලි වල තමන්ගේ ටෙලිපෝං නොම්මරය ලියමින් සිටින වෙලාවේදීය. රෑප ග්‍රහනයට නොවැටෙන ලෙස බිම බලාගෙන ඉදිරියට ඇදෙන මට දෙපස මල් කඩවල් හා සෙල්ලම් බඩු කඩවල කෙල්ලන් ඇස් කොනක ගැටෙන්නට වූයේය. එහෙත් සිත තද කරගෙන නාස් පුඩු හිරකරගෙන බිම බලාගෙන යද්දී දොදොල් කඩයක කෙල්ලෙක් කඩයේ දොදොල් පිලිවෙලකට අඩුක් කරමින් සිට මා එන පාර හරහට පැන්නේ කඩේ තියෙන බඩු පැහැදිලිව පේනවා දෝ බලන්නාක් සේය. ඇය මා ඇග හැපී, මා ඇය ඇග හැපී දෙදෙනාගේ මුහුනු විනාඩියක් පමණ බලා සිටින්නට ඇත. ඒ ඇස් දෙකට කදුලු ගලාගෙන ඇවිත්.. අපෙ කතාව ආරම්භ වුණා..

“අනෙ සමාවෙන්න...“

“ඉට්ස්.. ඕකේ.. ඉට්ස් ඕකේ..“

“අනෙ දැක්කෙ නැහැ මහත්තයා..“

“හරි හරි කෙල්ලෙ.. ගණන් ගන්න එපා.. අතැවැරැද්දක්නෙ වුනෙ..“

“ඒ වුණාට.. මහත්තයගෙ ඇගේවත් හැප්පෙන්න වටින කෙනෙක් නෙවෙ මහත්තය මම...“

“ඇයි කෙල්ලෙ එහෙම කියන්නෙ.. මේ ලෝකෙ මනුස්සයො අපි ඔක්කොම එකයි නේ...“

“මහත්තය ඔහොම කිව්වට.. මේලෝකෙ ගොඩක් පෝසත් මිනිස්සු.. දුප්පත් අපි දිහා බලන්නෙ හරි පහත් විදිහට මහත්තයා..“ එයා පපුව කඩා වැටීගෙන කදුලු අතරින් කතා කරද්දි මගෙ ලෝකෙම කඩා වැටෙන්න වුණා..

“පිස්සුද කෙල්ලෙ.. සල්ලි වලින් දුප්පත් වුණාට.. හදවතින් .. රෑපෙන් ඔයා කොච්චර පෝසත් කෙනෙක්ද??“

ආයෙත් අපි අතර නිහඩතාවයක් ආව.. හරියට ඔපරේෂන් තියටර් එකකට ඇතුල් වුනා වගේ.. නිහඩයි..

“ඔයා කොහෙද කෙල්ලෙ යන්නෙ..“ මම ඒ නිහඩතාවය බින්දා. දොස්තර අතින් කතුරක් බිම වැටුන  වගේ.. ආයෙත් තියටර් එකම චංචලයි..

“එහෙමටයි කියල තැනක් නැහැ මහත්තයා..“

“අම්මලා විශ්‍රාම ශාලාවෙ ඉන්නව.. මම ආව ටිකක් මේ කඩවල් වල තියෙන ඒව බලල යන්න කියල..“

“හිහ්.. ඇයි බලන්න විතරද මුකුත් ගන් නැද්ද?“

“අහ්..අප්.. අපිට කොහෙන්ද මහ්... මහත්තයා ඕවා ගන්න සල්ලි...“ ඒ කතාවට මගෙ පපුව පිච්චිලා ගියා.. 

“හරි හරි.. එන්නකො මාත් එක්ක.. ඔයා කැමති කඩේකින් කැමති දෙයක් ගන්න..“

“අහ්. අනේ මහත්තයා..“

“මමනෙ කියන්නෙ.. මෙහෙ එන්නකො...“

“මම බලෙන්ම වගේ එයාගෙ අතින් අල්ල ගත්තා..“

“මුලින්ම එයා නැවතුනේ දොදොල් කඩයක ලග..“

ආ.. එන්න එන්න එන්න... කළු දොදොල්.. හොදා දොදොල්... ගන්න.. ගන්න.. ගන්නෝ.. කළු දොදොල්.. කළු දොදොල්... කාල බලන්න. කාල බලන්න... එන්නෝ...

කන්න කන්න කන්න.. ආ සාම්පල් කෑල්ලක්  කාල බලන්න.. මේ ඔය ගන්නව නම විතරක් කන්න.. මෙතන ඔය සාම්පල් කාල බඩ පුරවගන්න එන්න එපා..

මේ ඔය කෙල්ලට මම කියන්නෙ එනව මෙතන දොදොල් කන්න...

දොදෙල් කාරයගෙ කතාවට එයාගෙ ඇස්වලින් කදුලු පැන්නා..

“මේ එයා ඔයාගෙ දොදාල් කාල බඩ පුරව ගන්න ආවෙ නැහැ හරිද... කීයද තමුසෙගෙ දොදොල්..“

“කිලෝ එක 400යි..“

“දානව කිලෝ 10ක්...“

“කිලෝ දහයක්???“

“ඔව්.. මේ.. මීට පස්සෙවත් දැන ගන්නව මිනිස්සුන්ගෙ මූණ බලල මිනිස්සු පහත් නොකර ඉන්න..“ එහෙම කියපු මං එතැනින් දොදොල් කිලෝ දහයක්ම අරන් එයාගෙ අතට දුන්න.. ඒත් මගෙ කේන්තිය ඉවර නැහැ..

“ගන්න කෙල්ලෙ.. මේ ඕන කඩේක තියෙන ඕන දෙයක් ගන්න..“

“අනෙ මහත්තයා..“

“මංනෙ කියන්නෙ.. ඔයා ගන්න ඕන දෙයක ගන්න...“

එහෙම කියල කේන්තියෙන් හිටපු මං. හැම කඩේකින්ම එයා ආස හැම දෙයක්ම අරන් දීගෙන දීගෙන ගියා.. එයා එක පාරක් දෙපාරක් එපා කියද්දි මම බලෙන්ම වගෙ අරන් දුන්නා.. කෝම හරි දැන් එයාගෙ අතේ පුංචි ලොරියක විතර බඩු.. සල්ලි වලින් නම් ලක්ෂෙක විතර බඩු..

“මේ කෙල්ලෙ අපි දෙන්නත් කොහෙ හරි පොඩ්ඩක් වාඩි වෙලා කතා කරමුද?“

“මේ බඩු කන්දත් තියාගෙන කෝමද මහත්තයා අපි කතා කරන්නෙ.. මේ බඩු කන්දට මට මහත්තයාගෙ මූණවත් පේන්නෑ.. මහත්තයා මම කියන්නද? මම දූලා ගහින් අපෙ අම්මල ඉන්න විශ්‍රාම ශාලාවෙන් මේ බඩු ටික තියල එන්නම්...“

“අහ්.. ඒක හොදයි.. හැබැයි ඉක්මනට එන්නෝ....“

“හරි හරි..“

“මේ...“

“ඇයි මහත්තයා..“

“ආයෙ මට මහත්තය කියන්න එපා හොදේ..“

“හොදයි මහත්තයා..“

එහෙම කියපු එයා ආයෙ දුවන්න ගත්තා.. විනාඩි 10ක් ගියා, පැයක් ගියා, දෙකක් ගියා.. ඒත් එයා තාම නැහැ.. ඒ ගත්ත බඩු ලොට් එක විශ්‍රාම ශාලාවෙ මුල්ලක අඩුක් කලත් මෙච්චර වෙලා යන්නෙ නැහැ. පුජා අඩවියෙ තෙල් කෑම අරන් යද්දි කරදරයක් වත් වුනාද? අනික මට එයාගෙ නමක් වත් අහගන්න වුනෙ නැහැ. මම කෝම හරි එයාව හොයා ගන්නව කියල හිතපු මම, මුළු පුජා භූමිය පුරාම විශ්‍රාම ශාලා, කඩ පිල්, දොදොල් කඩ පීර පීර එයාව හෙව්වා. ඒත් ඔහෙ නැහැ. කමක් නැහැ මම දන්නව කවදා කොතැනක හරි මට එයාව හම්බෙන එක හම්බෙනවා. ආපහු යන්න හැරුණු මම නිකමට වගේ අර එයාට දොදොල් අරන් දුන්න කඩේ ඇතුලට ගොඩ වුණා.

අඩේ දෙයි හාමුදුරුවනේ.. මම දෙදොල් ගත්ත කඩේ තඩි කළු මිනිහා එතැන කඩේ ඇතුලෙ හිටපු කෙනෙකුට කියන කතාවක් ඇහිල මම එතැනම ගල් ගැහුණා.

හෙහ් හෙහ් හේ.. මුදලාලි නෝනා ඒ හාදයගෙන්ම පනස් දහක විතර බඩු ගැරුව නේ.. අපේ කඩෙන්ම ඒ හාදයා පනස් දහක විතර බඩු ගත්ත නේ... පව් අප්පා.. බැරි වෙලා හරි ඌ දන්නව නම් නෝන තමයි මේ කඩ පේලියෙම අයිතිකාරි කියල.. පපුව පැලිල මැරෙයි.. ආක්....“ 

sAm_ශ්‍රී_Perera_8:15am_24.09.13

Friday, September 20, 2013

86 අවහිර නොකරන්න.. - 86 No Parking.. !!!


“මචං වත්තලට යන්න තියෙනවා..“

“හරි උඹල දෙන්න ගිහින් වරෙන්.. මම ඉන්නම්..“

“උඹ කෑවද?“

“නැහැ බං...“

“අපෙ කෑම දෙකක් තියෙනවා ගෙදරින් ගෙනාපු.. මොකද කියන්නේ..“

“අවුලක් නැහැ.. මම මෙහෙන් කන්නම්.. උබල ගිහින් වරෙන්..“

ලකියා, දිලා සහ සෑමාට යන්නට කීවේ කඩෙන් කන බලාපොරොත්තුවෙන්ය. දිලා, සහ සෑම් පිටත් වුයේ වත්තල බලාය. දිලාගේ ඔපීසියට යෑමේ පරමාර්ථයෙන් ගිය ඒ ගමන ඛේදනීය එකක් වන බවට දෙදෙනාම නොදත්තෝය. ඒ ගමන අතරතුරදී දෙදෙනාගේ උදර අභ්‍යන්තරයේ සිටින හිගන්නා අවදි වීම නිසාය. එය හුදෙක් දෙදෙනාගේ වරදක් නොව, අභ්‍යන්තරයේ සිටින හිගන්නාගේ වරදක්ය. ඌ සැමවිටම අවදි වී කන්නට යමක් සොයන නිසා දෙදෙනාම විදින්නේ මහා ච්ත්ත සංතාපයක්ය.

“සෑමා මට බඩගිනි බං...“

“මට තාම බඩගිනි නැහැ යකෝ... ඒත් උඹට බඩගිනි නම් මට නොකා ඉන්න බැහැනේ..“

“හිටපං.. Pan එක පාරේ නවත්තලා කමු..“ කියමින් දිලා කාර් එක OKI පාසල ඉදිරියේ නැවැත්තුවේය. හරියටම 86 කියා අංකය ගසා තිබු නිවස පිහිටියේ පාසල එහා පැත්තේය. ගේට් එක මදක් පසු කොට කාර් එක නැවැත්තුවේ ඔවුනට බාධාවක් නොවන අන්දමටය. අනික එහි ගේට්ටුවේ ගසා තිබුනේ “86 ගේට්ටුව අවහිර නොකරන්න“ කියාය. එය දුටු සැනින් ඕනැම අයෙකුට සිතෙන්නේ පිස්සන් කොටුවක පිස්සෙක් ගේට් එකක ලියු අකුරු සැට් එකක්ය. ඒ තරමට නිවැසියන්ගේ තරම ඉන් කියා පාන්නේය.

“කෑම දෙකක් තියෙනව නේ..“ ඒ දිලාය.

“මුලින් මගෙ එක කමු..“ සෑමා මගෙ එක කිව්වේ කෑම එක ගැනය.

“හරි මචං.. දිග ඇරපං..“

දෙදෙනාම ඉදිරිපස සීට් දෙකේම හිදගෙන කෑම දෙක දිගහැරගෙන කන්නට වූවෝය. ඒ අතර එතැනින් ගිය ඕ.කේ.අයි ගුරුතුමියන් සුට්ටි සාරි කෑලි, පබලු මාල දමාගෙන අපගේ කෑම පාර්සල් වලට එබී බලන්නට වූයේ බොරැල්ල කනත්ත හන්දියේ සිටින සුරූපී පෙරේතයන් ලෙසය.

“මචං සෑමා.. එක පාරම බලන්න එපා.. පොඩ්ඩක් මම කියන දේ අහපං..“

“හරි කියපං..“ වට පිට නොබලාම සෑමා කෑම එක දෙස බලාගෙන කීවේය.

“මෙතන 86 ගෙදර එකා අපි දිහා ඉදගෙන බලං ඉන්නවා.. පොඩ්ඩක් ෂේප් එකේ බලපං..“

“ඌ පෙරේතයෙක්ද බං.. මෙහෙ බලං ඉන්නේ..“ සෑමා මොහොතකින් බලා ඇසුවේය.

“මන්ද බං.. පොඩ්ඩක් හිටපං.. මගෙ කෑම එක ඩිකියේ.. මම අරන් එන්නම්..“

දිලා කෑම එක ගන්න බැස ගිය විට සෑමා කා අහවර කළ කෑම එක ඔතා පැත්තකින් තැබුවේ එතැන විසික් නොකර කුණු ගොඩකට දැමීමටය. දිලා නැවත එන විට එහා පැත්තෙන් 86 ගෙදර අංකල්ද ආවේය. 

“කරුණාකර ඔතනින් අහකට ගන්නවාද?“ ඒ අංකල්ය.

“හරි අංකල් විනාඩියක් දෙන්න.. මේ බත් එක කාල ඉස්සරහට ගන්නවා..“ ගේට්ටුව අවහිර නොවී තිබුණද, දිලා එසේ කීවේ කෑම එක දිග හරින ගමන්ය.

“කෑම එක.. මම කෑම එක කාලා ඉවර වෙනකල් බලාගෙන ඉදලා තමා ආවේ... කරණාකරලා ගන්න ඉස්සරහට..“

“තව එකක් තියෙනවා අංකල්.. මේ තියෙන්නේ..“ කියමින් සෑමා කෑම එක අංකල්ට පෙන්නුවේය.

“තමුසෙලා දන්නවද මම කවුද කියලා..“

“අංකල් දන්නවද අපි කවුද කියලා..“

“මට ඔහේලා කවුරු වුණත් කමක් නැහැ.. මම තමා අවුරුදු 25ක් තිස්සේ තමුසෙලා වගේ උන්ට ලයිසන් දුන්නේ..“

“මොන මගුලක්ද ඕයි මේක.. මනුස්සයෙක්ට කන්නවත් නොදෙන සතෙක්ද මේ...“ කියමින් දිලා තමන් දිග ඇරිය බත් එකෙන් අංකල්ට දමා ගසන්නට හැදුවේය. සැමා එය වැලැක්වූයේ සත්තුන් සමග හැසිරීමේදි පරිස්සම් විය යුතු නිසාය. ඒ අතර ගෙදර ඇන්ටීද දුවගෙන ආවාය.

“තමුසෙලා ඔතන හරස් කළාම අපෙ ගෙදරට වාහන එන්නෙ කෝමද?“

“හරි අපි වාහනේ තියල ගියෙ නැහැනෙ. වාහනයක් ආවනම් අපි ඉස්සරහට අරන් ඉඩ අරන් දෙනවා..“

“ඒව මට වැඩක් නැහැ.. එදා මෙතන එකෙක්ට මම 2500ක දඩයක් ලියෙව්වා..“

“හරි ලියල පෙන්නනවකෝ.. “

“හරි මෙතනම ඉන්නවා.. “ කියමින් අංකල් නම්බර් එක බලාගෙන ඇතුලට ගියේය. ඇන්ටී නම් සද්ද නැතිය. 

අංකල් ඇතුලට ගියේය. කෑම එකත් කා අහවර කර අප සිටියේ පොලිසිය එන තුරුය. පැයක් පමණ එතැනම සිට පිටත් වුයේ සිරි ලංකාවේ පොලිසිය ප්‍රමාද නිසාය. අංකල් අවුරුදු 25ක් අප වැනි උන්ට ලයිසන් දුන්නා යැයි කීවේ ලර්නස් එකකද කියා අපට සිතුනේය. එහෙත් අනිවාර්යයෙන් රජයේ උසස් යැයි සිතා ගන්නා තනතුරක සිටි අයෙක් විය යුතුය. විශ්‍රාම ගොස් නිවසට වී සිටින විට ඒ කාලයේ පවර්ස් මතක් වී මෙවැන් ලෙඩ රෝග වැලදෙන්නේය. ඒවාට කළ යුතු ශාන්ති කර්ම නැතිය. එහෙත් අංකල් ගැන හොදින් දන්නා ඇන්ටී එළියට පැමිණ අපට මුකුත් නොකීවාය. ඇය දන්නා තරමින් අප නිවැරදි විය යුතුය. එහෙත් ඇන්ටී සතුව එක වගකීමක් ඇත්තේය. එනම් දවස පුරාම බණ දහම් පෙන්වන බෞද්ධයා නාලිකාව හෝ පෙන්වා අංකල්ගේ සිත දැහැමින් පිරවීමය. අප නම් බල්ලෙකු, පූසෙකු කන බොන විට පවා, කරදර නොකරන්නේය. ඒ අපට අපායේ යන්නට බැරි නිසාය. එහෙත් උක්ත අංකල් අපායේම යන්නට සැරසෙන්නේය.

බල්ලෝ පූසෝ ගැන කී විට අපට එදාම සැට් වූ බල්ලෙකුගේ ඡායාරූපයක් මෙහි අඩංගු කරන්නේය. ඒ බල්ලා සැලුන් එකකට ගොස් මොඩිෆයි වී තිබුනේය.



Written by sAm_ශ්‍රී_Perera_8:26am_20/09/13

Monday, September 16, 2013

මුත්‍රා කිරීමේ නිදහස - Freedom to Pee !!


කොන්ද ඇත නැමීගෙන
ඉනෙන් ඉදිරියට පැන
කොමඩ් කට මාන කොට
හෙලනු ඇත හිතේ බර

සිරවෙමින් හතර කොන
හිතේ නැත නිදහස
විලි ලැජ්ජ වසාගෙන
හෙලනු ඇත මහා දුක


සුන්දරයි වට පිට
පිරිසිදුයි වාතය
සැහැල්ලුයි ලෝකය
පිටකරමි සිතේ බර

එරෙහි වෙත් ලෝකය
මට සැපයි මේ ටික
ලැජ්ජ නම් නෑ හිත
හෙලමි මම ලෝදිය


Written by sAm_ශ්‍රී_Perera_10:43pm_16/09/13
පලි -
පස්සෙ දැක්කෙ..
මේක 300 වෙනි පෝස්ට් එකලු !

Saturday, September 14, 2013

දෙකක් බැලන්ස් කරන හැටි - පිළිතුරු !!! - How to Balance Two Ladies !!




බ්ලොග් ලෝකය අතිශය සුන්දරය. හැම එකාම හොදට හැදුනු එවුන්ය. දෙකක් බැලන්ස් කළ එවුන් නැත්තේමය. ඒ නිසා කවියට පිළිතුර සොයා ගන්නට කිසිවෙකුට හැකි වූයේ නැතිය. එහෙත් දෙකකට වඩා බැලනස් කරපු එකෙක් සිටියේය. ඌ කියා සිටියේ මෙසේය.


මාතලන් ගොයියාද සාර්ථක උත්සාහයක් දරා තිබුණේය. එහෙත් එහි ආදරෙයි කියන ආකාරය දෙවිදිහටම කියවී තිබුනේය. එවිට ගෑනිගෙන් බේරීමක් නැතිය. හොර අයිටම් එක සුජීවා ය. සුජීවා මම ආදරේ සැමදා නුඹටයි කියා, නැවත සුජීවා මගේ හදවත නුඹට දුන්නා කීවොත් ගෑනි කන පැලෙන්න ගහනවා ෂුවර්ය.



හැබැයි morabba de morabba කියු පරිදි, සුජීවාට හදවත දී, නැවත මම ආදරේ හැමදාම නුඹටයි කියා පවුලට කිව හැකිය. වෙනසක් නැතිය. ඒ නිසාද නැවත කන පැලෙන්නට කන්න වෙනවා ෂුවර්ය.


ඉන්දික අයියා සුජීවා මම කියා හොර අයිටම් එකේ නම ආරම්භ කර ඇත්තේය. ඉතිරිය හැලපයියා සාර්ථක ලෙස ආදරේ නැහැ කියා කීවේය. වැඩේ තරමක් ගොඩය. එහෙත් පිලිතුර අසම්පූර්ණය. ඒ නිසා පෙනී යන්නේ බ්ලොග් ලොව දෙකක් බැලන්ස් කරන උන් නැහැ කියාය. එහෙත් බෝල දෙක බැලන්ස් කර ගන්න බැරිව ඉන්නවා යැයි මරු කමෙන්ට් සැට් එකක්ද  තිබ්බේය. ඇත්තය කොච්චර බැලන්ස් කියා සිතුවත් උපතින්ම බෝල දෙක බැලන්ස් නැතිය. 

කෙසේ වෙතත් උත්තරේ මෙහෙමය. හැම වාක්‍යෙයම මුල අකුර ගත යුතුය. අන්තිම වාක්‍ය දෙකේ පලවෙනි වචනෙම ගත යුතුය. එවිට “සුජීවා මම ආදරේ නෑ“ කියා කියවෙන්නේය. පවුලට අසුවූ සැනින් මේ විදිහට පෙන්වූ විට අනේ සුජීවා මට කරදරයක් වෙලා තියෙන්නේ ඒ නිසා මම ඒකිට ආදරේ නැහැ කියලා ලියුමක් ලිව්වා. කියා පන බේරා ගත හැකිය.

ගෑනිට අහුඋනාම එහෙමය. එහෙත් ආදරණීය සුජීවාට කියන්නෙ මෙහෙමය. හැම වාක්‍යෙයම මුල අකුර ගත යුතුය. එසේම අන්තිම වාක්‍ය දෙකම ගත යුතුය. එවිට “සුජීවා මම ආදරේ හැමදාම නුඔටමයි නෑ වෙනස් හැමදාක වෙනස්වීම වෙනස් වුවත්“ වැඩේ අවුලක් නැතිය. සුජීවාද බැලන්ස්ය.

මෙය හුදෙක් රචකයා පිලිබද දන්නා නිසාත්, කවියේ කොලිටිය නිසා දැමූවක් බවත්. නිර්මාණයක ඇති සැගවිච්ච රසයක් පෙන්වා දීමට දැමුවක් බවත් සිතා ගත යුතුය. කුමක් හෝ ලිවිය යුතු නිසා ලියුවක් බව නොසලකන මෙන් සෑමා ඉල්ලා සිටින්නේය.

පිළිතුරු දුන් සැමට ස්තුති...ජය වේවා !

Written by sAm_ශ්‍රී_Perera_9:36pm_14/09/13

Thursday, September 12, 2013

ඔබත් දෙකක් බැලන්ස් කළ හැකි අයෙක්ද? - Are You A Double Game Player ??




එකෙක් බිරිදට හොරෙන් ලිපියක් ලීවේය. ලිපියක් කීවාට කවි සැට් එකක්ය. ඒ හොර අයිටම් එකටය. මහා රාත්තිරියේ පද පෙල ලීවේ පවුලට හොරෙන්ය. ඒ නිසාම 25වන පැයේ ලියන ලද්දක් ලෙස සටහන් කළේය. තම පවුලට වඩා ආදරයෙන් වෙලී සිටි නිසාදෝ, කවි කමේ හැකියාව නිසාදෝ, අපූරු කවි පෙලක් සටහන් වූයේය. 


මෙය හොර අයිටම් එක කියවා සතුටු වූවාය. කියවිය යුතු හොර ආකාරයද රචකයා විසින් සදහන් කර යවන ලද්දේය. එහෙත් හදිසියේ තම පවුලට අසුවූ නිසා එයද බැලන්ස් කිරීමට රචකයා හෙවත් බුවා සමත් වූයේය. දැන් ඔබහට පැවරෙන රාජකාරිය මෙසේය. හොර අයිටම් එක කියවූ අයුරුත්, පවුල කියවූ අයුරුත් කමෙන්ට් එකක් ලෙස සටහන් කිරීම පමණක්ය.

එය හුදෙක් නිවැරදිව සටහන් කළ හැකි නම්, ඔබද එකක් පමණක් නොව, දෙකක් බැලනස් කිරීමට උපන් හපන් පුද්ගලයෙකි. මේ පද පෙලහි සියළු අයිතීන් රචකයා සතුය. රචකයා සෑමාගේ ලගම හිතවතෙකි.

පලි - සත්‍ය සිදුවීමක් බව සලකන්න..

Written by sAm_8:48pm_11/09/13

පිලිතුර මෙන්න..

Monday, September 9, 2013

ජොකා වනන නියම තැන - Better Place to Hang Your Underwear !!


මේ කියන්නට යන්නේ කුණුහරප කතාවක් නොව දැවෙන සමාජීය ගැටලුවක් ගැනය. එහෙත් විවිධ කෝණ වලින් බලා සෑමා කියන්නේ කුනුහබ්බ යැයි හංවඩුගැසීමට බැරි නැතිය. ඒ නිසා ආරම්භය මගින් කෙරෙන්නේ වචන වල ඇති සරල බව ඔප්පු කිරීමය. මිනිසාට අත්‍යාවශම අංගයක් වූ “පුක“ යනු කුණු හබ්බයක් බවට සිතනා යුගයක “කතන්දරකාරයා“ පැමිණ පුක කුනුහබ්බයක් නොවන බව ඉදුරා කීවේය. එතැන් සිට පුක යන්න බ්ලොග් ලොව කුණු හබ්බයක් නොවූ නිසාම, ජොකා යන්න එතරම් බරපතල වචනයක් නොවන්නේය. ජොකා යනු පුක වැසීමට ගන්නා නිලවස්තරය නිසා පුක යනු කුණු හරපයක් නොවන්නේ නම්, ජොකා යනු ඉතාම සුන්දර වචනයක්ම වන්නේය. මෙහිදී පුක වැසීමට ගන්නා නිලවස්තරය ලෙස හැදින් වූයේ පටි ජොකා හෝ, සපෝටර් එක ගැන නොවේය. ඒවා පුක නොවසන්නේමය.

මොන්ටිසෝරි යන කාලේ බහුතරයක් ජොකා නොඅදින්නේමය. එහෙත් පලමු වසරේ සිට ජොකා අදින්නට පෙලබෙන්නෝය. එහෙමත් නැති උන් කරන්නේ සතියට එක දවසක් ජොකා අදින එකය. ඒ පලමු වසරට සතියට දින පහක් සිවිල් පිට හෙවත් ජොකා නැතිව පාසල් ගොස්, ඉරිදා දහම් පාසලට පමණක් ජොකා සහිතව යෑමෙන්ය. එවිට සතියටම ජොකා අදින්නේ එක දවසක්ය. දහම් පාසලට ජොකා අදින්නම වෙන්නේ සරම අදින නිසාය. නැතිනම් බිම ඉදගෙන දහම් පාසලේ දගලන දැගලිල්ලට කුට්ටම එළියේය. ඒ අතරිනුත් බහුතරයක් කොල්ලෝ සරම යටින් ෂෝටක් ගසන්නෝය. එවිට විලි ලැජ්ජාව අවමය. දහම්පාසල, සරම, සහ යටින් අදින ජොකා ගැන ජීවමාන උදාහරණයක් සිටියේය. ඒ සෑමාගේ දහම් පාසලේ පන්තියේ එකෙක්ය. ඌට කීවේ කිරි මීය කියාය. දහම් පාසලේ කෙල්ලෝ කොල්ලෝ මුහුණට මුහුණලා ඉදගන්නා කාලයක් තිබුනේය. ඒ ඉදගත්තේ බිමය. කකුල් හිරි වැටෙන නිසා විවිධ ඉරියව් භාවිතය සුලභය. එහෙත් කෙල්ලෝ නම් සරල ක්‍රම වලට අවම ඉරියව් සහිතව හිදගෙන සිටින්නේ ආත්ම ගෞරවය රැක ගැනීම සදහාය.

එවන් දිනෙක අපේ කිරිමීය කකුල හිරි වැටී දෙපා දෙපසට දිග හැරි ආතල් එකේ අත් දෙකින් මුක්කු ගසාගෙන බීච් එකේ සිටින ලීලාවකින් සිටියේය. කෙල්ලෝ අත් කනට කොට අනිත් එකාලාට රහස් මුමුණන්නට ගත්තේ මේ අතරය. කොල්ලා ආත්ල එකේ කකුල් පද්දමින් බෝමළුව අසල පන්තියේ නිසාම සුලං වදිමින් සිටියේ කිරි මීයාගේ කිරි මීයා ප්‍රදර්ශනය කරමින්ය. පොඩි කාලේ නිසා කොල්ලෝ අන්න මචං උබෙ එක පේනවා කීමට ලැජ්ජාය. කෙල්ලෝද ලැජ්ජා නැතුව කිරිමීයා ගේ සුදු එක හොද හැටි බලා ගත්තෝය. මෙය ලියන අවස්ථාවේද කිරි මීයා මැවී පෙනෙන්නේ මුවට සිනහාවක් එකතු කරමින්ය. එදා ඔහු ෂෝටක්, ජොකෙක් ගැසුවා නම් ආත්ම ගෞරවය කෙළසෙන්නේ නැතිය.

එහෙව් අදින ජොකා කාමරය ඇතුලේදී ගැලවෙන්නේ රෝල් වෙලාය. අදින පැත්ත, ගලවන පැත්ත, හොද පැත්ත, කනපිට තෝරා ගත නොහැකි අන්දමට ජොකා රෝල් කර ගලවන්නට කොල්ලෝ සමත්ය. ඒ මුල් කාලයේය. එහෙත් වර්ථමානයේදී හෙවත් හය හතර තේරෙන කාලයේද එලෙස ගැලවෙන්නේ කලබලයක් වූ විටය. සාමාන්‍යෙයන් ජොකා එල්ලන්නේ ඇදුම් දාන එකේය. ඉස්සර නම් තිබ්බේ බිත්තියේ ගසන හැකිලිය හැකි ලී වලින් සැදූ ඉස්කිරිම (දෝ කොහෙද) කියන්නා වූ ගැජට් එකේය. එහි ඇති ලී කූරු අතරේ ජොකා හිර වන්නේය. ඉන්පසු සමහරෙක් ඊට උඩින් ඇදුම් දමා වසන්නේ කවුරු හෝ දුටු විට විලි ලැජ්ජාවේ බැරි නිසාය. පසු කාලීන කස්ටිය කාමරේ දොරේ එල්ලන්නට වූවෝය. පසුව කාමරේ ඇත් ස්ටෑන්ඩ් ෆෑන් එකේද, එක්සර්සයිස් කරන්නට ගන්නා මැෂින් එකේ අහුමුළු වලද එල්ලීමට තරම් ජනතාව සැහැසි වූවෝය. ඒ අතර තුර මීයන් ගෙන් සිදුවන අලාභ, පැහැරගෙන යෑම් වලට විරුද්ධව නැගී සිටීමට එකෙක් හෝ නෙවූයෙන් ජොකා අසරණ තත්වයට පත් වූවේය. විවිධ පහර කෑම් නිසා දිරා යෑම්, සිදුරු වීම් සහ ඉරි තැලීම්, බොහෝ විට නූල් ඇදීම් නිසා අවසන ජොකාට හිමි වූයේ වලං අල්ලන දැලි රෙද්ද මට්ටමට වැටීමටය. එහෙත් වසර ගණනාවක් පුක වසා අවසන කෑම කන වලං ඇල්ලීමේ තත්වයට උසස් වීමක් ලබන්නට ජොකා සමත් වීම විශේෂත්වයක්ය.

ඒ කාලයේ සිට ජොකා සම්බන්ධ ප්‍රසිද්ධ කතාවක් තිබුනේය. ඒ සතියම එක ජොකෙක් අදින කොල්ලෝ ගැනය. උන් කියන්නේ මචං හොද පිට දවස් තුනයි, ඉතිරි දවස් තුන කන පිටයි, ඇදලා පාඩුවේ මේ තනි ජෙකා පරිහරණය කරනවා කියාය. “ඒකෝ ජොක්කු භුංජති සාධූනී“ කියා පාලියෙන් කියවුනේ ඒක ගැනය. අනිත් පැත්තට මිතුරාගේ යාලුවා අහන්නේ ඇයි මචං එතකොට හත් වෙනි දවස මොකද කරන්නේ කියාය. එවිට තනි ජොක් යාලුවා කියන්නේ එදාට මචං මම ටොස් එකක් දාලා හොද පැත්ත හෝ කන පිට  අදිනවා කියාය. ඒ කතාවට දැන් ආතල් නැත්තේ හැමෝම දන්නා කතාවක් නිසාය. එහෙත් ජොකා කොතරම් ප්‍රශ්න ඇති කරනවාද, ප්‍රශ්න අවම කරනවාද කියවෙන තරම් වැදගත් මාතෘකාවක් බව ඉන් කියවෙන්නේය.

මීට පෙර සෑමාගේ පාසලේ බැජ් මීටින් එකකට පෙර කමිටුව රැස් කළේ ශිලාගේ ගෙදරටය. ඒ පසුදින පැවැත්වෙන මීටිමට කරුණු රැස් කර ගැනීමටය. ඒ සදහා ප්‍රධාන තනතුරු කිහිපය රැස් වූවෝය. එදින අපේ උප භාණ්ඩාගාරික තුමා එහි ආවේ තම පෙම්වතියගේ නිවසේ සිටය. සාකච්ඡාව අවසන බැඩ්ම්න්ටන් ගසන්නට බැරි බවක් හේ කීවේ ජොකා අහිමි නිසාය. එදා ඔහු අසාගත් කතන්දර බොහෝය. ඒ කතාව බ්ලොග් එකක අතුරු කතාවක් ලෙස සෑමා ලීවේය. ඉන් නොනැවතුනු අපේ මිත්‍රයා නැවත දවසක් එලෙසම ආවේ සාක්කුවේ තඩි ගුලියක් පුරවාගෙනය. එය දුටු අපේ උන් ඇහුවේ මොකක්ද මචං සාක්කුවේ තියෙන්නේ කියාය. ප්‍රශ්න දහසකට උත්තර දීමට නොහැකිව අවසන කොල්ලා එය තම “ජොකා“ පව පිළිගත්තේය. කලින් දා රාත්තිරියේ මියුසිකල් ෂෝ එකක් බලන්නට ගොස් කොහේ ගෙදරක හෝ නැවති ජොකා සාක්කුවේ දමාගෙන සිවිල් පිට සිටින්නට තරම් කොල්ලා හෙම්බත් වී සිටියේය. ඉන් පසුව ඔහු කීවේ තමන් ඉරිදා දවස කුට්ටමට නිදහස දී කොහේ ගියත් යන්නේ ජොකා නැතිව බවක්ය.

ජොකා ගැන විවිධ කතන්දර හැම එකාම ලියා ඇති අතර තුර සෑමා ජොකා ඇදගත්තේ මන්දැයි බහුතරයක් වූ ජනතාව කල්පනා කරනවා ඇතිය. ඒකට හේතුව මේකය. දිනක් සෑමා කඩවත පැත්තේ යන විට දුරකථන ඇමතුමක් ලැබී වාහනය පාරේ පැත්තක නවත්වා ගත්තේය. කඩයක් අසල නවත්වා ගත් සෑමා ඉදිරියෙන් නවතා තිබු ජීප් රථය දුටුවේය. ෂුවර් එකටම ජීප් එක එතන කඩේ බුවාගේය. වැසි සමයක් වූ ඒ දිනවල ජොකා වේලා ගැනීම කඩ හිමියාට දුෂ්කර වී ඇති සැටියක් සෑමා තේරුම් ගත්තේ පොර ජොක්කු විස්සක් පමණ ජීප් එක පුරාම එල්ලා තිබූ නිසාය. එය දුටු වහාම පොටෝවක් ගසා ගත් සෑමා කඩේ බෝඩ් එක බැලුවේ එය ලොන්ඩරියක් දෝ කියමින් සිතාය. වෙලාවට එය ලොන්ඩ්රියක් නොවේය. කඩේ අංකල්ගේ ජොක්කු සැට් එකය. එවන් සැට් එකක් මහනුවර - කොළඹ මාර්ගයේ ජනතාවට පෙනෙන පරිදි ජීප් එකක් වටා එල්වා තැබීම ගුජුබ්සාජනකය.


Written by sAm_ශ්‍රී_Perera_7:59am_09/09/13

Wednesday, September 4, 2013

කෝටි දෙකක් ඇදෙනවා කියන්නෙ සෙල්ලංද ඈ?? - It is a Miracle to Win 20 Million Lottery !!!


ලෝක ධර්මතාවයට අනුව ඉහළ තට්ටුවක් ඇත්නම් පහළ තට්ටුවක්ද තිබිය යුතුමය. නැති නම් පාවෙන නිවසක් විය යුතුය. නයාගේ කතාව මෙන් ගෙදර ඇති දේ කීමට නොව, කතාවක හරයක් තිබීමට කිව යුතු දේවල් ඇත්තේය. සෑමාට කරන්ට් එක වැදුන සීන් එකක් මීට බොහෝ කලකට ඉහතදී සෑමා ලිව්වේය. දෛවයේ සරදමක් මෙන් ගෙදර පොලොව ටෙරාසෝ කරන දවසේ කරන්ට් එක වැදුන නිසාත්, ටෙරාසෝ කරන විට පොලොව සම්පුර්නයෙන් තෙමා තිබුණ නිසාත් සෑමාගේ සිරුරේ දිවූ කරන්ට් එක, සෑමාව ජනෙල් ඩ්‍රිල් එකට අලවා තැබූයේ බත් ඇටයක් පොඩි කර කඩදහියක් අලවනාක් පරිදිය. එම ස්ටෝරිය බ්ලොග් ගත වූ දිනද සෑමා නයෙක් ඇරියා යයි කතන්දර හැදුනේය. ලගපාතම ඉන්න ෆිට් එවුන් සෙට් එකක් එසේ කියුවේ විහිළුවට බැව් සැමා දන්නේය. ඒ නිසා මේ කතාවේද යට තට්ටුව ගැන කියන්නේ කතාවේ අත්තිවාරම දැමීමට මිස නයි ඇරීමට නොවන්නේය.

සෑමාගේ ගෙදර පහල තට්ටුව කඩ කාමර වලට කුළියට දී ඇත්තේය. සල්ලි නැති නිසා කරන වැඩ මිසක් අපේ ගෙදර උදවිය සල්ලි වැඩි නිසා කරන වැඩ නොවේය. සල්ලි වැඩි නම් කරන්නේ කඩ නොසාදා ගෙයක් සාදාගෙන නිදහසේ සිටීම බව පොත් පත් වලින් සෑමා උගත්තේය. අපේ අමිලයා නම් කීවේ මිනිසුන් වැඩිපුර කම්මැලිවන විට නව නිර්මාණ රැසක් එළියට එන බවක්ය. ඒක ඇත්තය. ලගට ගොස් ටීවි එකේ බටන් එක එබීමට කම්මැලි නිසා රිමෝට් එක ආවේය. එය නිවැරදි උදාහරණයක්ය. පහළ තට්ටුවේ කුලියට සිටියේ සහ සිටින්නේ තේ කොළ කඩයක් කරන අංකල් කෙනෙක්ය. ලාභ දායි සහ සහන දායී මිලට තේ කොළ, ග්‍රීන් ටී ෂොප් එක පාඩුවේ කරගෙන යන අංකල් පාරේ යන උන්ට නම් මහ කරදරයක්ය. අපේ ගමේ මේ කඩය දැමූ දා සිට අංකල් පාරට වී උදේම වැඩට යන උන්ට ගුඩ් මෝර්නින් කියන්නට සහ, සවස එද්දී ගුඩ් ඊව්නින් කියන්නට පුරුදු වූයේය. ඒ අතර තමන්ගේ තේ කොළ මාකට් කිරීමද කරන්නේය.

ගුඩ් මෝනින් කියා නොනැවති අංකල් විනාඩි කිහිපයක් කතා කිරීම සහ සවස ගෙදර යද්දීද එම උගුලටම හසුවීමෙන් ග්‍රාමිය ජනතාව දහ දුක් වින්දෝය. තත්වය තවමත් එසේමය. තවද අංකල්ගේ හිත හොද කිරීමට කස්ටිය තේකොළ අරගෙන යන්නට පුරුදු වූවෝය. සාමාන්‍යෙයන් ගෙදරක තේ ගොට්ටක් සාදා ගත හොත් අවුරුද්දක් වුවද භාවිත කරන පවුල් ඇත්තෝය. ඔවුනට යන්තම කහ පාට තිබ්බත් අනේ අපුරු කහට එක කියා බොන්නෝය. තේ ගොට්ට වසර පුරාම මිරිකා බොන්නෝය. තත්වය එසේ තිබියදී අංකල් ඊයේ පෙරේදා තේ කොල ගත්ත එකාටද නැවත තේකොළ ගන්නට කියන්නේය. කාලය කා දැමෙන නිසාත්, මුදල් අහක යන නිසාත්, අංකල්ගේ සිත රිදුවීමට බැරි නිසාත් බහුතර ජනතාවක් විකල්ප මාර්ග සොයා ගත්තෝය. ඒ අතර  හන්දියේ හෝල්ට් එකෙන් බැස ගෙදර යන උදවිය, කන්ද උඩ හෝල්ට් එකෙන් බැස ගෙදර යන්නට තියා ගත්තේ අංකල්ගේ සිත නොරිද වීමටය. එසේම සමහරු කඩේ පේන දුර තිබියදී පාර පැන එහා පැත්තෙන් ගමන් කළේ අංකල්ට අතවනාගෙන ගොස් දිවි බේරා ගැනීමටය.

මීට පෙර අංකල්ගේ බිස්නස් පාර්ට්නර් කෙනෙක් සිටියේය. ඔහු අංකල්ට වඩා වයසින් නම් බාලය. එහෙත් වයසය. අවුරුදු පනස් ගණනක් පමණ වූයේය. අංකල්ට හැට ගාණක් විය යුතුය. එහෙත් වයසින් බාල අංකල් අප අතරින් වියෝ වූයේ ගිය අවුරුදු සමයේය. නිවසේ කවුරුවත් නොමැතිව තනිවම විසු ඔහු ඉඩ කඩම් ඇති අයෙක්ය. ජිවත්ව ඉන්නා කාලයේ දරුවන් පවා ඔහු පිළිබද සොයා නොබැලුවේය. පවුලද පැත්ත පලාතේ ආවේ නැතිය. ඒ වෙන මිනිහෙක් සමග සැට් වී තිබු නිසාය. ජීවත්ව සිටියදී අංකල් අපේ කඩේ පිටතට පන්නා වහලයක් (මර්ලින් කතාවේ ආ වහලය) ගැසුවේ ඉස්තරම් අන්දමින්ය. අංකල් එදා කීවේ දරුවො වත් නොබලන මට ඔයාලා කන්න බොන්න දෙන නිසා මම මේ වහල කෑල්ල කවදාවත් ගලවන් යන්නෙ නැහැ කියාය. හදිසියේ වියෝවෙන් පසු අංකල්ගේ දරුවන්, ඥාතීන් ක්‍රියාශීලී වූවෝය. අපිද මලගෙදර ගියේ අවසන් ගෞරව දැක්වීමටය. ඉන් පසු ගෙදර අය අංකල්ගේ බුදලය අයිතිවාසිකම් කියා රැගෙන යන්නට ඔහුගේ නිවසට ආවෝය. ඒ අතර අපිට ගසා දුන් වහල කෑල්ලද ගලවාගෙන ගියෝය. සියල්ල අවසන් වූ පසු දැන් ඉන්න අංකල් වැඩේට බැස්සේය. දැන් පොර අප සමග එක්ව ව්‍යාපාරය කරගන යන්නේය. ටෙන්ඩර් පවා ගැනෙන්නේ අංකල්ගේ කන්ටැක්ස් වලින්ය. අපෙ අම්මාද ෂෙයාර් හෝල්ඩර් කෙනෙක්ය.

කටයුතු එසේ සිදු වෙද්දී මේ අංකල්ද තරමක් අසනීපව පසු වන්නේය. ඒ නිසා ඒ කඩය සහ මේ කඩය දෙපැත්තම අපෙ අම්මාට බලන්නට සිද්ද වී ඇත්තේය. අංකල් මොනවා වුනත් වාසනාව උරගා බලන්නට ටිකට් එහෙම ගන්නේය. අද උදෑසන පවා මේ පැත්තේ ගෙවල්වලට ගොස් ටිකට් විකුණන ඇන්ටී කෙනෙක් පැමිණියාය. ඇය සෑමාගේ ඇගේ ටිකට් දෙකක් අලවා, අපෙ අම්මාට ටිකට් විකුණා අංකල්ගේ කඩේ පැත්තට ඇදුනාය. රුපියල් විස්සක් කෙලවාගෙන සෑමා උඩට නැග්ගේය. මොහොතින් අම්මා දිව ආවේ සුභ ආරංචියක් සමගය.

“අන්න කොල්ලෝ තේ කොළ අංකල්ට කෝටියක් ඇදිලලු..“

“ඈක්??? ඒ කෝමද??“ සෑමා නිල්  වී ගියේය.

“අර ටිකට් ගේන එක්කෙනා අංකල්ගෙ ටිකට් නම්බර් ලියන් ගිහිල්ල. ගිය මාසෙ ටිකට් එකක. ඒ ගෑනු කෙනා බලල තියෙන්නෙ..“

“අම්මට හුඩු ඒමද??“

“කෑ ගහන්න එපා.. යමු බලන්න..“ කියමින් ‍දෙදෙනාම බැස්සේ තෝකොල කඩයටය.

ටිකට් ගෙනෙන් ඇන්ටී, තේ කොළ අංකල්, අංකල්ගේ බැංකු මිතුරෙකු, සමග අපි දෙදෙනාද මැද්දට පැන්නේ සතුට සමරන්නටය. ඒ අස්සේ අංකල් දාඩිය පෙරාගෙන බලා සිටින්නේය. අංකල්ට හාර්ට් කේස්ය. අංකල් එලෝ නැතුව කල්පනා කරන්නේය. බලා සිටින්නේය.

“ඒකනේ මම කිව්වේ ඔයාට ටිකට් එකක් ඇදෙනවා කියල කවද හරි.. මම කිව්ව සාස්තරේ හරි..“ ඒ බැංකු මිතුරාය.

“ආ.. ඉලක්කම් ඔක්කොමයි අකුරයි තියෙනව නේද?? එහෙනම් කෝටියක් නෙවෙ.. කෝටි දෙකක්..“ ඇන්ටී තවත් ෆෝම් කළාය.

අංකල් කිසිවක් සිතා ගන්නට බැරුව පුටුව උඩ වාඩි වෙද්දී අපෙ අම්මා පැන පවන් ගැසුවේ අංකල් සෙත්තප්පෝච්චි වෙයි කියා සිතා විය යුතුය. අංකල් ෆෝන් එක අතට ගෙන තම බෑණා ඇමතුවේ පොර මෙහි ගෙන්වා ගැනීමටය. ඇන්ටීද සියල්ල ගිණි තබා යන්නට ගියාය. අංකල් තවමත් තෝන්තු මාන්තු වී සිටියේය. ඒ අතර බෑණා ටිකට් නම්බර් සහ විස්තර ගෙන ෆෝන් එක කට් කළේය. සෑමා පැත්තකට වී සිටියේ ටිකට් එක අතට අරන් බැලීම සුදුසු නැති නිසාය. අංකල් ඇස් කටේ දාගෙන කට ඇද කරගෙන සිටින්නේය. ටිකට් එක අතකද, ටිකට් එකේ ප්‍රතිඵල ලියු කොළය තවත් අතකද වන්නේය.

නැවත අංකල්ගේ ෆෝන් එක රින්ග්ස් ගියේය. ඒ බැණාය. ඒ අතර අංකල්ගේ මිතුරා ටිකට් එකේ පිටපුස අංකල්ගේ නමද, ලියා තැබුවේය.

“ආ.. එහෙමද? “ අංකල් ෆෝන් එක තැබුවේය..

“ඇයි මොකද ??“

“මේ ටිකට් එක ඇදිල නැහැ කියන්නෙ.. පුතා මණ්ඩලේට කතා කරල අහලා..“

“එතකොට මේ නම්බර් ලියල දුන්නෙ අර ගෑණි??“

“මට හිතෙන්නෙ ඒකිට වැරදිලා.. එදා මගෙ ටිකට් එක බලාගෙන නම්බර් ලියාගෙන ගිය කඩදහිය තමා මේ.. අද උස්සගෙන ඇවිල්ල තියෙන්නෙත් ඒ කඩදහි කැල්ලමද කොහෙද..“

“හපොයි.. මේ ගැණී දැන් ගමම ගිණි තියල ඇති.. අංකල්ගෙ ගෙදරට හොරුත් පනී.. මල විනාසයක් වෙන්නේ..“ සෑමා වැඩේ බරපතල කළේය..

“මේ ගෑණි මිනී මරණ වැඩනේ කරන්නෙ.. එන්නෙ නැතෑ මේ පැත්තේ..“

Written by sAm_ශ්‍රී_Perera_1:07pm_04/09/13

පලි - දයාබර ඇන්ටී ඔබ ඔබේ පණට ආදරයක් ඇතිනම් මේ පැත්තේ එන්න එපා. නිවසේම රැදී ඉන්න. මේ උණුසුම යනතුරු ගමෙන් පිටව සිටින්න. තවමත් අංකල්ගේ හිතට කියන්නේ ටිකට් එක ඇදුනා කියා විය යුතුය. මුලදී ඇතිවූ මුහුණේ ඉරියව් තවමත් එසේමය.

Monday, September 2, 2013

පොඩි සෑමා ටෙලිවිෂන් වැඩසටහනකට යයි.. - Little sAm Attends to a TV Program !!


පුංචිම පුංචි කාලේ පොඩි සෑමා මොන්ටි සොරි ගියෙමු. ඒ කාලේ වසර අන්තිමේ කොන්සට් එකක් තියනනීය. එය කරන්නේ අපේ මොන්ටිසෝරි ටීචර්ය. අපේ පන්තියේ හැම එකාටම එක එක ඇදුම් ඩිසයින් කලේ ටීචර්ය. ඇය ඒවාට අපේ අම්මලාගෙන් ගාන කැපුවෝය. අපේ අම්මලාද අත දිග ඇරලා සල්ලි දුන්නෙමු. ඒ අපේ හැකියාව වැඩි දියුණු කළ යුතු නිසා බව පසු කාලීනව අපිට දැන ගන්න ලැබුනෙමි. එදා ටීචර් අපේ ඇදුම් මස්සවා ඇත්තේද ටීචර්ගේම ටේලර් සොප් එකකින්ය. එහි ප්‍රොෆිට් මාජින් එකද වැඩි පුර තබා ඇත්තේ අපේ ඇදුම් හොද කොලිටියෙන් මසන අරමුණින් බව කියවුනාය. පස්සේ අපේ වැඩිහිටියන්ට ආරංචි වූයේ ටීචර් ගිය අවුරුද්දේ ලමයි ඇදපු ඇදුම්ම ඩ්‍රයි ක්ලීන් කර අපිට ඇන්දවූ බවය. ඇත්තටද එදා ඇන්දේ අපි නෙවෙමි. එදා ඇන්දේ මොන්ටිසෝරියේ දෙමාපියන්ය.

දැන් කස්ටිය කල්පනා කරනවා ෂුවර්ය. පොඩි සෑමාට මොන්ටිසෝරිය මතක් වුනේ කෝමද කියා හිතනවා ඇතිය. සීන් එක මෙහෙමය. පොඩි සෑමා තාම ඉස්කෝලෙ යන්නීය. ඒත් මෑත දවසක පොඩි සෑමාට චැට් වැඩසටහනකට සම්බන්ද වෙන්නට අවස්ථාව ලැබුණාය. ඒ වැඩසටහන කරන්නේ ලොව ලාබාලම පක්ෂ නායිකා අක්කා කෙනෙක්ය. අක්කා පොඩි සෑම්ව ප්‍රෝග්රෑම් එකට සැට් කර ගත්තේ දක්ෂ දරුවෙක් ලෙස නර්ථන අංගයක් ඉදිරිපත් කර ගැනීමටය. පොඩි සෑම් වැඩේට යන්නට සතියක පෙර ඇදුම් ආයිත්තම් සූදානම් කර ගත්තාය. ඒ සදහා ගෙදරින් ලැබුනේ මහා සහයෝගයක්ය. මොන්ටිසෝරි ගිය කාලේ වගේම පොඩි සෑමාට වෙනමම සූට් එකක් මැස්සුවේය. පොඩි සෑම් සූදානම් වූයේ නර්තනයකටය. එය එදින වැඩසටහනේ ඉදිරිපත් කර ලෝකයටම හැකියාව පෙන්වීම පොඩි සෑමාගේ අභිප්‍රාය වූවාය.

ඒ අතර ලොකු සෑමා ගමේ ඇන්ටනී අයියා සොයා ගියායා. ඒ අපේ ගෙදර ටීවී එකට ගැසීමට ඇන්ටනාවක් හොයාගෙන ඒමටය. මම වැඩසටහනට යනවා කියූ දින සිට ලොකු සෑමා ඇන්ටනි අයියා පස්සේ පැන්නුවේ ඒ නිසාය. අපේ ගෙදර ටීවී එකේ ඒ චැනල් එක පෙනෙන්නේ නැතිය. ඒ සදහා විශේෂ වූ ඇන්ටනාවක් සැට් කළ යුතු බව ලොකු සෑමාගේ එකම වචනය වූවාය. ඒක ඇත්තය. කොළඹ ඉන්න එකෙක්ටවත් පේන්නේ නැති තරමට චැනල් එකේ සිග්නල් හොදය. ඒ බව අපි හැමෝම දන්නා නිසාත්, මගේ නැටුම වර්චස් වුවත් අවුලක් නැති බව අක්කා කීවේය. ඒ මගේ නැටුම ගමේ හැමඑකාටම පේන්නේ නැති නිසාමි. කෙසේ වුවද මා වැඩසටහනට යන්නට දිනක් තිබියදීම ඇන්ටනාව හයි කළාය. එය කළේ ඇන්ටනි අයියාය. එම චැනල් එක බලන්නට ඇන්ටනාව ගැසූ දින සිට අනිත් එකක්වත් පෙනුනේ නැහැය. ඒ දවසේ සිටම අපි බැලුයේ එකම චැනල් එකය. ඒ අර ලොව වයසින් බාලම පක්ෂ නායිකා අක්කා ඉන්න චැනල් එකය.

එදා උදා වුණේය. පොඩි සැමා හෙවත් මා වැඩසටහනට ඇන්ටර් වුනෙමු. ඒ අර කියූ ඇදුම ඇදගෙන නර්ථනය ඉදිරිපත් කිරීමටය. කිසිම බයක් සැකක් නැතුව පොඩි සෑමා නර්තනය කළේය. අර අක්කා කොරය. එදා ඒ අක්කාගේ තාත්තා වැඩසටහනට ඇවිත් තිබුණාය. ඒක පුදුමයක් නෙවේය. එය ඒ පවුලේ අයගේ නාලිකාවක්මු. ඒ නිසා ඒ අක්කාගේ ආච්චී සීයා ආවත් වෙනසක් නැතිය. පොඩි සෑමා වැඩ දමමින් නර්තනය අවසන් කළාය. අක්කා අසුනෙන් නැගිට පොඩි සෑමා ලගට දිව ආවෙමු. අක්කා පොඩි සෑමා කිහිල්ලේ ගසාගෙන ඔළුව අතගාමින් ප්‍රශ්න ඇසුවෝය.

“මේ තරම් දක්ෂ ලමයි අපේ රටේ ඉන්නව කියල කියන්න තමා අපි මේ පොඩි දරුවව වැඩසටහනට ගෙන්නුවේ. දැන් කියන්න බලන්න මේ මල්ලිගේ නම..“ අක්කා ඇන්ටි කෙනෙක් වගේය. ඒත් වැඩසටහනට එන වැඩිහිටි ඩොක්ටර් අංකල්ලාට කියන්නේ අයියා කියාය. නළු ඇන්ටිලාට කියන්නේ අක්කා කියාය. එන අපි වන් පොඩි කිරිසප්පයන්ට කියන්නේද මල්ලී කියාය.

“මමද? මම පොඩි සෑම්...“ පොඩි සෑමා උත්තර දුන්නාය.

“අනෝ සෝක් නමක් නේ මල්ලියට දාල තියෙන්නේ..“ ඇය කීවෝය.

“පොඩි කාලේ දාපු නමනේ අක්කා..“ ඒ පොඩි සෑමාය.

“ඉතිං කියන්නකෝ කවුද මල්ලිට මේ නැටුම කියල දුන්නේ..“

“අපි මොන්ටිසෝරි යන කාලේ ටීචර් එක්ක නැටුවා. එයා තමා අපිට ඒ කාලෙ ඉදලම පුලුදු කළේ...“

“අන්න දැක්කද හොද ගුරුහරුකම් ලැබුනම ලමයි දියුණු වෙන හැටි..“ අක්කා දිගටම කතා කළෝය.

“මට කියන්න බලන්න මල්ලි දන්නවද මේ රටේ ජනාධිපතිතුමාගේ නම..“

“ඔව්.....“ පොඩි සෑමා ඇද-පැද උත්තර දුන්නාය.

“කියන්න බලන්න එතුමාගේ නම..“ ඒ අර අක්කාය.

“මලින්ද රාජ පක්ෂ මාමා“ පොඩි සෑමා කට ඇද කර කීවේය.

“අපෝ එහෙම කියන්න එපා.. අතිගරු මලින්ද රාජ පක්ෂ මාමා.. කෝ කියන්න බලන්න...“ අක්කා පොඩි සෑමාගේ කටේ ඇද ඇරියෝය.

“අතිගරු මලින්ද රාජ පක්ෂ මාමා“

“හරි එතකොට කියන්න බලන්න ඔයා එතුමාට කොච්චර ආදරේද??“ අක්කා තවත් ප්‍රශ්න ඇසුවෝය.

මාස ගණනාවක් තිස්සේ වැඩසටහන බැලූ පොඩි සෑමා අක්කාගේ සහ අක්කාගේ තාත්තාගේ ලයින් එක දන්නීය. ඒ නිසා සෑමා වැඩේ ගොඩ දමා ගැනීමට උත්තර දෙන්නට වූවාය. කරන්නට දෙයක් නැතිය. වවුලාගේ වෙඩින් එකට ආ විට වවුලා එල්ලෙන පරිදි එල්ලී සිටිය යුතුය. සෑමා නිවැරදි උත්තර කට හදමින් ලබා දෙන්නට වූවාය.

“ගොඩාාාාාක් ආදරෙයි...“

“අන්න හරි මල්ලී.. ඔයාල වගේ දක්ෂ පුංජි දරුවන්ට එතුමා ගොඩක් ආදරෙයි...“

“ඔව් නැන්දේ අපි එයාටම තමයි මනාප..“

“අන්න දැක්කද බුද්ධිමත් දරුවෝ..“ කියමින් ලොව ලාබාලම පක්ෂ නායිකා අක්කා පොඩි සෑමාගේ හිස අතගෑවෝය. අක්කාගේ තාත්තාද එදා වැඩසටහනට ඇවිත් තිබු නිසා පොඩි සැමා ගෙදර ආවේ ලිමොසින් එකෙන්ය. පොඩි සෑමා ලිමොසින් එකෙන් ගමෙන් බසිද්දී ගමේ එවුන් වට වූවෝය.

පලි- අක්ෂර වින්‍යාසය ජල්තර විය හැකිය. උක්ත ආක්‍යාත නොගැලපෙනවා ඇත. මන්ද මෙය පොඩි සෑමා විසින් ලියූවක් නිසාය. ඊයේ රාත්තිරියේ ලියන්නට පෝස්ටුවක් නැතිව කල් මරද්දී සිරිලංකාවේ නාලිකාවක, පොලොව විකුණන ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ දියණියක් දක්ෂ අයුරින් මෙහෙයවන චැට් වැඩසටහනක් දැක ලියූවක්ය.

Written_by_sAm_9:32pm_01/09/13

පොඩි සෑමා පෙර ලියූ ලිපි -

Related Posts Plugin for WordPress, Blogger...